පණගැහෙන ඒ දම්පාට හදවත්…!


ඒ දිග කොරිඩෝව දිගේ මං ඇවිදං ආවෙ අමාරුවෙන්, යජිත් වරින්වර උදව් වෙන්න අහන එක ගැනත් තරහ ගනිමින්. කලින් දවසෙ හැන්දෑවෙ හදිසි සිසේරියෙන් සැත්කම සිදු වෙලා ගත වුණේ පැය කියද? වෙන සැත්කමක් කරපු මනුස්සයෙක් නම් දවස් ගාණක් ඇඳේනෙ. අම්ම කෙනෙක් එහෙම ද? සිහිය ආව වෙලාවෙ ඉඳල අම්මෙක් තමන්ගෙ තුවාලවල වේදනාව පැත්තක දාල දරුවගෙ අවශ්‍යතා සපුරන්න ඕනෙ. ඉතිං තුවාලය වරින් වර ඇදුම් කමින් වේදනා දුන්න එක පුදුම වෙන්න දෙයක් නෑනෙ. මොකද මට ඕනෙ වුණේ තුවාලෙ රිදුමෙන් මගෙ හිත රිද්ද ගන්න. මටම දඬුවම් දෙන්න. කකුලක් ඉස්සරහට තියන ගානෙ ඇදුම් කන තුවාලෙ වේදනාවට වඩා වේදනාවක් හිතේ එක්කාසු වුණා.
අනිත් අතට මට මං ගැනම පුදුම තරහක් ඇති වෙලා තිබුණ. ඒක කොහෙන් හරි බිමට පැනල මැරෙන්න තිබුණු මෝඩ තරහකට වඩා, බොහොම පැහැදිලි, නිශ්චිත කාරණාවක් නිසා උපන් ඉතා දරුණු හිත් වේදනාවක්! නින්දෙන් ඇහැරිලා බලනකොට එච්චර පරිස්සම් කරං බඩ බැඳං රැකපු මගෙ ජීවිතේ වටිනාම වස්තුව කවුරුහරි උදුරන් ගියාම දැනෙන පශ්චාත්තාපී හැඟීමක්!
“බලපන් ඉතිං උඹට දරුවව ආරක්ෂා කරගන්න බැරි වුණා”, “කිසි අමාරුවක් නෑ කිය කියා පරිස්සං වෙන්නෙ නැතුව උඩ පැන්නනෙ, දැන් ඔය කළේ”, මගෙ ඔලුව ඇතුළෙ සෙනග රැස් වෙලා ලොකු විරෝධතා රැලියක් පවත්වනව වගේ මට දැණුනෙ. “චූටි පුතා, කොයි එකටත් හත්මාසෙ වගෙ වෙද්දි සේරම දේවල් ලෑස්ති කරල තියාගන්න.” ඒ අස්සෙ අම්ම යන්න කලින් මගින් මගට කියපු හැටිත් මට මතක් වුණා. එයා ආපහු ලංකාවට ගිහින් දවස් තුනයි. මට දැණුනෙ කවුරුහරි මාව හතරවෙනි තට්ටුවට එක්ක ගිහින් ඔලුවට ගෝනියක් දාල වතුර වක්කරනව වගෙ හුස්ම හිරවිල්ලක්.
දරාගන්නම බැරි වෙලාවක “අනේ අම්මවත් හිටියනම්!” කියල හිතුණම
ඒ වේදනාව එලියට පැන්නෙ ඇස්වලින්. කිසි කතාවක් බහක් නැතුව යමිං එමිං ඇස්වලිං දිය ඇලි වැටෙන මං දිහා හැමෝම බලනව, එයාල මට අනුකම්පා කරනව කියන හැඟීම, හැමදේම තනියෙන් කරගන්න කැමති, ඒ ගැන ආඩම්බර හැඟීමකින් හිටිය මාව තවත් පෙලන්න ගත්ත. අමාරුවෙන් වාට්ටුවට ඇවිදං ගිහින් මගෙ කාමරේ දොර ලඟදි මට යාබද කාමරේ ඊට කලින්දා ඉපදුන පුංචි පැටියගෙ බඩගිනි නාදෙ ඇහුණ.
මට මැවිල පෙනුන අම්ම එයාව ආදරෙන් වඩාගෙන, හිස සිඹ සිඹ නළවමින්, එයාට කිරි දෙන්න සූදානම් වෙන හැටි. වීදුරු ගැබක, වයර් ජාලාවක් මැද්දෙ තමන් ජීවත්වෙන බව ඩිජිටල් තිරවල නොනවත්වා ලියන, වරින් වර හුස්ම ගන්න ඕනෙ කියන එක අමතක කරල දොස්තරලව බය කරන, අම්මයි තාත්තයි දෙන්නව පණ පිටින් අපායට ඇද දාන, අඩියක් උස නැති මගේ පුතා යන්තමින් අතපය ගසන, හීන් හඬින් අඬන එක නේද අම්මෙක් විදියට මම දැකපු පළවෙනිම දර්ශනය? ඒ එක්කම මගෙ ඔලුවට අකුණක් වගෙ පාත් වුණා.
ඒක වචනයෙන් විස්තර කළ හැකි වේදනාවක් නෙවෙයි.
මං පුතාව ඉස්සෙල්ලම අතට ගත්තෙ දවස් තුනකට පස්සෙ.
මං එයා ඉස්සෙල්ලම අඬනව ඇහුවෙ ඉපදිලා සති හයෙන් දෙන එන්නත් දුන්න වෙලාවෙ.
කකුල් දෙකටම රිදවපු එන්නත් නිසා සෑහෙන්න වෙලාවක් මගේ පපුව උඩ මහා අඳෝනාවක් කියන අතරෙ මගෙ ඇස්වලින් කඳුලු ගැලුව නොනවත්වාම. ඒ එයාට රිදුණ නිසා දුකට වැටුණ කඳුලු විතරක් නෙවෙයි. අම්මෙක් ඉස්සෙල්ලම අහන දරුවෙක්ගෙ ඇඬුම අහන්න මට සති හයක් ගියා නේද කියන ආත්මානුකම්පාවට වැටුණ කඳුලුත් එතන තිබුණ.
හුස්ම ගන්න පහසු කරන්න දාපු නළ තට්ටුවකින් මුලු මූණම වහගෙන හිටිය එයාගෙ මූණ හරියට දැක්කෙ හෙදිය එයාගෙ සත්කාර කරන වෙලාවට ඒක ගැලෙව්වම විතරයි. ඉතින් පුතාව ඉස්සෙල්ලම සිපගන්න මම මාස දෙක හමාරක් එයා තනියෙන් හුස්ම ගන්න පුරුදු වෙනකල් බලන් හිටිය. ඒක සුලුපටු ඉවසීමක් නෙවෙයි. පුතාගෙ උස් පහත්වීම් දරාගෙන ඉවසල ඉවසල දැන් නම් බෑ කියල හිතුණමත් ඉවසීම ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ කියල තේරුණාම, මට සමීපතමයො එක්ක එච්චර ඉවසීමක් නැතිව යන බව දැණුන. පොඩි දේට තරහ යන්න, ඇස්වල කඳුලු පිරෙන්න ගත්ත. කොටින්ම ඒ වෙද්දි මම ඉස්සර හිටිය මම නෙවෙයි, ඒක සාමාන්‍ය නෑ කියල මට දැනෙන්න ගත්ත. දවස් අනූවක ඒ ගමනේ අපි පහු කරපු උස කඳු, ඇද වැටුණු මහා අගාධ, දණගාගෙන  බඩගාගෙන ඒව තරණය කළ හැටි මෙහෙම කියල ඉවර කරන්නත් බෑ. ඒත් අද මතක් කළාම හීනයක් වගේ දැනෙන ඒ අත්දැකීම් ගැන අද මෙහෙම ලියන්න පුලුවන් වෙන තැනට එන්න මට සෑහෙන කාලයක් ගියා.
අද නොවැම්බර් දහ හත් වෙනිදා මට විශේෂ දවසක්! මට විතරක් නෙවෙයි, නොමේරූ දරු උපතක් ලබපු හැම අම්මෙක්ගෙම දවස! නොමේරූ දරුවෙක්ව ඉපදුණ හැම දරුවෙක්ගෙම දවස.ඉතින්  මේ කතාව ලියවෙන්නෙ හැම අවුරුද්දකම නොවැම්බර් දා හත්වන දිනට යෙදෙන ලෝක නොමේරූභාවයේ දිනය වෙනුවෙන්.
මට ඒ අත්දැකීමට මුහුණ දෙන්න වුණේ නොසිතූ විදියට අහම්බෙන්. අදටත් කල්පනා කළාම මට හිතාගන්න බෑ ඒ බියකරු කාලය අපි සිහි කල්පනාවෙන් කොහොම ගෙව්වද කියල. මම නිකං චාරිත්‍රට ඒ ගැන යන්තමින් කියවල තිබුණ මිසක ඒ වගේ අවස්ථාවේ පවුලක් විදියට අපි මුහුණ දෙන සිදුවීම්වල බරපතලකම ගැන මම දැනගෙන හිටියෙ නෑ. අන්න ඒ නිසා විවාහක අවිවාහක, අනාගතේ දරු උපතක් ගැන සිහින මවන හැම කාන්තාවක්ම නොමේරූ දරු උපත් ගැන දැනගෙන ඉන්න ඕනෙ කියල මම විස්වාස කරනව.

නොමේරූ දරු උපතක් කියන්නෙ දෙමවුපියන් දැඩි කම්පනයකට ලක් වෙන, මොනවද ඊලඟ මොහොතෙ කළ යුත්තෙ කියා හිතාගනන්නවත් බැරිව වික්ෂිප්තව යන, අතරමං වූ බවක් හැඟෙන, තමන් ඉතා දුර්වල බව හැඟෙන මොහොතක්. දුක, බය, තරහ, පසුතැවිල්ල මේ හැමදේම එක්ක ඒ අපි සූදානම් වෙන්නෙ දරු උපතක් ලබල අපි බලාපොරොත්තු නොවුන අනාගතය අත්විඳින්න නෙවෙයි. ජීවිතය අපිට අපි බලාපොරොත්තු වුණ අනාගතය ලබා නොදෙනකොට අපි ඕනෙම කෙනෙක් කොච්චර අසරණ වෙනවද?
ඒ වගේ ඉතා හැඟීම්බර මොහොතක,අපිට අපි ඒ සිදුවීමට ප්‍රතිචාර දක්වන ආකාරය ගැන පූර්ව නිගමන වලට එන්න බැහැ. නොමේරු දරු උපතකුත් ඒ වගේම තමයි. ඒ නිසාම ඔබට එවැනි අවස්ථාවක පවුලක් ලෙස වෘත්තීය උපකාර අවශ්‍ය වෙන බව පිලිගන්න පමා වෙන්න එපා.

අනිත් කාරණාව තමයි නොමේරූ දරු උපතකදී සමහර මව්වරුන්, පියවරුන් ඉතා හොඳින් ඒ අවස්ථාවට මුහුණ දෙනවා. නමුත් ඔවුන් තමන් මුහුණ දුන් භයංකර අවස්ථාවට ප්‍රතිචාර දක්වන්න ගන්නෙ පරක්කු වෙලා. ඇතැම් විට සති ගණනක්, මාස ගණනක්, අවුරුදු ගණනක් වුනත් පමා වෙලා. එකිනෙකා මුහුණ දෙන අත්දැකීම්වල බරපතලභාවය අනුව අපිට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වන්නට වසර ගණනක් ගත වෙන්නටත් ඉඩ තිබෙනව. ඒ නොමේරූ දරු උපතකදි අහිමි වීම් වැඩි නිසා. තමන්ගෙ දරුවා අහිමි වීම, නිසි ගර්භනි කාලය ගත කරන්න නොහැකිවීම, තමන් බලාපොරොත්තුවෙන් සිටි දරු උපත් අත්දැකීම ලබන්නට නොහැකිවීම, දරුවාට කිරි දෙන්නට නොහැකි වීම, දරුවාව වඩාගන්න නැති වීම, ඒ වගේ අවස්ථාවක අත්‍යවශ්‍ය පුද්ගලිකත්වය අහිමි වීම වගේ අහිමිවීම් ගණනාවකට දෙමවුපියන්, විශේෂයෙන් දරුවාගේ මව මුහුණ දෙනව.

ඒක ඒ අත්දැකීම නොවින්ද කෙනෙක්ට වටහා ගන්න පවා අසීරුබවත් මට තේරෙනව.
අන්න ඒ නිසා අද දවසේ මනුශ්‍යත්වයේ නාමයෙන් ඔබට කියන්නට දේවල් කිහිපයක් මට තියෙනව.
1. කිසිම දවසක නොමේරූ දරු උපතකට මුහුන දුන් අම්මෙක්ගෙන් “මොනවද ඔයා මේ කරගත්තෙ?” කියල අහන්න එපා. සමහර නොමේරූ දරු උපත් සිදු වෙන්නේ නිශ්චිතව හඳුනාගත නොහැකි හේතු මත කියා දැනගෙන ඉන්න.
2. කිසිම විටෙක වේදනාවෙන්, විලාප තියන, පටාචාරා වගේ හැසිරෙන අම්මෙක්ව හෙලා දකින්න එපා, විවේචනය කරන්න එපා.ඔවුන් ඔබට තර්ජනයක් කියා සිතන්නත් එපා.
දවස් අනූවක දුෂ්කර NICU ජීවිතයෙ ලබපු, එක අත්දැකීමක් විතරයි මේ. ඒ කාලය ඇතුලත මම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා පුනරුත්ථාපනය වෙමින් ඉන්න, වෙනත් වැරදි නිසා සිර අඩස්සියේ රඳවපු, විලාප තියමින් කොරිඩෝ දිගේ ඇවිදින, ඒ වගෙම පසු ප්‍රසව විශාදයට ලක් වෙලා දරුවව ළදරු දැඩි සත්කාර ඒකකයෙන් අරන් පැනල දුවන්න හදපු නිසා ආරක්ෂක නිලධාරීන් මැද්දෙ බබාව බලන්න එන අම්මල දැක්ක. හැබැයි ඒ කිසිම දවසක මට හිතුණෙ නෑ ඒ මිනිස්සු මගෙ දරුවට කරදරයක් කරාවි කියල. “පසු ප්‍රසව විශාදය” කියන්නෙ ඔබත් මාත් ඇතුළු මවක් වන්නට බලාපොරොත්තු වෙන ඕනෑම කාන්තාවකට මුහුණ දෙන්න සිදුවිය හැකි මානසික අසමබරතාවක්. අපි එකිනෙකාගෙ ජීවිත වෙනස්. අපේ ජීවන අරගල විවිධාකාරයි. ඒත් මම හිතන්නෙ ඒ දුක වින්ද හෝ නොවින්ද හෝ කිසිම කෙනෙක්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ තවත් අම්මෙක්ව විවේචනය කරන්න හෝ අවතක්සේරු කරන්න.

අපි එකිනෙකා දරුණු කම්පනයකින් ගොඩ එන්න තෝරගන්නා මාවත් වෙනස්. මම මගෙ කම්පනයෙන් ගොඩ එන්නෙ, මම වින්ද අත්දැකීම, තනිකම තවත් කෙනෙක් අත්විඳීම වැලැක්වීමෙන්. නොමේරූභාවය ගැන මගේ අත්දැකීම් මම මෙහෙම නොසඟවා කතා කරන්නෙම ඒක මට එක්තරා ආකාරයකට සහනයක් ගේන නිසා. ඒක මට මම සාමාන්‍ය තත්ත්වයට අරන් එන්න උපකාර වෙන බව දැනෙන නිසා.
කොටින්ම නොමේරූ දරු උපතකින් පසු ගත වුණ මුල් අවුරුදු තුන කියන්නෙ වෙනම ජීවිත කාලයක් බව දන්න නිසා.
ඉතින් එච්චරයි!
💜️💜️💜️💜️💜️💜️

පින්තූරෙ https://images.app.goo.gl/VR3EaYZxCRfj135H8

Posted in Uncategorized | 4 Comments

ජීවිතේ සිදු වීම…!

අහම්බෙන් වගේ ගෙදර අනිත් කාටත් කලින් අවදි වුණ උදේක, මම කෝපි කෝප්පෙකුත් වක්කරගෙන කරන්න නිශ්චිත වැඩක් නැති කමට පරණ වට්සැප් තෝම්බු අවුස්සන්න ගන්නව. ඔන්න ඔය වෙලාවට තාර්කික අංගනාව එළි බැහැල කට කොණකින් මට හිනා වෙලා ජංගමයට එබෙන්ඩ එනව. එයා හිතං ඉන්නෙ අපි දෙන්නගෙං වැඩියෙංම බුද්ධිය මෙහෙයවල තීන්දු තීරණ ගන්න කෙනා එයා කියලනෙ. අනේ මයෙ මොකෝ!
මගෙ පිලිසඳර ලැයිස්තුවේ පතුලෙම තියෙන්නෙ  මගේ දකුණු අප්‍රිකානු මිතුරිය ශමේන් එවූ අවසාන පණිවිඩය. අවුරුදු තුනක් තිස්සෙ මං ඒක තියං ඉන්නේක ගැන තාර්කිකා ඒ හැටි මනාපයක් නෑ. එයා ඉතිං කොහෙ හරි ගිහිං එද්දි මං ලී කෑල්ලක්, ලස්සන ගල් කෑල්ලක් අරං එන එකටත් හිනාවෙන ගෑනි වෙච්චි එයා හිතන්නෙ එව්ව නිකං කිසි තේරුමක් නැති “භාවාතීශ ලටපට” කියලනෙ

“ඒක තියාගෙන ඉඳීම කිසි පලක් නැති වැඩක් නේද?” එයා අහනව.
“මේ මේ…. එන්ඩ එපා ඒකට අත තියන්ඩ නං ඕං” මම තර්ජනාංගුලිය පෙන්නනව.
තාර්කිකා උන්න ගමන් බොහොම ගානට වැඩි ගෑනි. නැත්තං මොකෝ ඒ පණිවිඩේ දකින ගානෙ “ශමේන් ගැන මතක සියල්ල තියෙන්නෙ ඔහේගෙ හිතේ නේද” කියල ඒක මකන්නම යන්නෙ? හැබැයි ඉතිං මගෙ යාප්පුවෙ බලේට උන්දැ ඒක නොමකා ආපහු හැරිච්ච වාර කීයක් නම් ඇද්ද?
“ළමයා, ඒක දැක්කම ඔයාට මතක් වෙන්නෙ කෙටි කාලෙකදි, ශමේන් මවපු ජීවිත කාලෙක මතක සටහන් කන්ද නෙවෙයි, එයා අන්තිමට ආදාහනාගාරයේ චිමිනියෙන් වා තලයට එක් වුණ හැටි. ඕක මකන්න, ඕක දුක් ගොඩගහගැනිල්ලක්” උන්දැ තව මට බණ දෙසන්ඩත් එනව.
“නෑ මකන්නෙ නෑ”
තාර්කික අංගනා ඇස්‍ රෝල් කරද්දි, ඒක දැක්කෙ නෑ වගේ මම පහළට යනව.
පිලිසඳර ලැයිස්තුවේ එහෙම පහළට පහළට  යනකොට, ජීවිතේ සමහර කාලවල දිනපතා කතා කළ ජීවීන්ට අවුරුදු ගාණකින් හායි කියල නෑ කියල පේන්න ගන්නව.

“OMG!! WHERE WERE YOU ALL THIS TIME? WHAT HAPPENED TO YOU?

අවුරුදු ගාණකට පස්සෙ මම හායි! කිව්වම මගේ පැරණි කාර්යාල මිතුරිය ලීසා කැපිටල් අකුරෙන්  ලියා එවනව. එයා එසැණින් උත්තර එවන බව මං දන්නව මොකද එයත් මං වගේ හිමිදිරි ජීවියෙක් බව මං දන්නවනෙ. 

Well, LIFE happened 😊 මම පිලිතුරු දෙනව.
අවුරුදු තුනක් දිග කතාවක් කියන්නෙ වට්සැප් චැට් එකකින් කවදාවත් කියන්න බැරි තරම් දිග කතාවක්! ඉතිං අර වචන ටික කියල මං ලඝු කරන්නෙ.

ලීසයි මායි කවදාවත් ෆෝන් එකෙන් කතා කරල නෑ. මෙහෙ මිනිස්සු අත්‍යවශ්‍ය දේකට ඇරෙන්න තව කෙනෙක්ට දුරකථන ඇමතුම් දෙන්නෙ නෑනෙ, කෙටි පණිවිඩයක් යවනව ඇරෙන්න.
“සමාවෙන්න කෙල්ලේ මෙච්චර දවසක් ඔයාට කොහොමද කියලවත් ඇහුවෙ නැතුවට.
ඈ ලියා එවනව.”
“ඒකට කමක් නෑ ඔයා කාර්‍යබහුල බව මම දන්නවනෙ. අනික මටත් ඔයාට කතා කරන්න බැරිවුණා නෙ” මම ඒ අතපසුවීමෙ වගකීම හරි මැදින් දෙකට බෙදනව.
මට ලීසාව හෝ ලීසාට මාව අමතක වුණා නෙවෙයි කියල දන්නව වුණත් හීන් පසුතැවිල්ලක් හිතට රිංගනව. ඒක ලීස ගැනම ඇතිවුන එකක්ම නෙවෙයි, එදා මෙදා තුර මග හැරුණු මිතුරුදම් බොහොමයක් වෙනුවෙන් බව දැනෙනව.
“මේ ලොක්ඩවුන් එක ඉවර වුණාම අපි කෝපි එකක් බොන්න මුණ ගැහෙමු” කියා අපි කතාව හමාර කරනව.
පණ්ඩිත තාර්කික අංගනාව උන්දැගෙ තොල්වල ලාවට සමච්චල් හිනාවක් ඇඳගන්නව මට දැනෙනව. 

“ළමයා, දැන් මේ වෙනකොට කී දෙනෙක්ට ඔහේ කෝපි පොරොන්දු දුන්න ය?” ඔව්ව ඉස්ට කරන විදියකුත් හිතල බැලුව නං නේද හොඳ” ඔන්න ඒ පාර ගෑනි ඇඟිලි නව නව මගෙ කෝපි පොරොන්දු පත්‍ර ටික ගනිනව. “ඇනා ට, මයික් ට, තව ටිංටිං ට, මේ දැන් ලීස ට, එතනින් ගියාම…..
දඩාස්….! 
කාමරේ දොර ඇරෙනව.
“හෙල්ලෝ අම්මා..!”
එහෙම කියාගෙන නිදිමතක නාමයක් නැති, කැරලිකාර පුංචි කොලුවා සමනල් කොට්ටෙත් බදාගෙන සබයට කඩා වදිනව. මෙච්චර වෙලා මහ බරසාර දේසනා පවත්වපු තාර්කික අංගනාව  “අනේ ඔයාම බලාගන්ඩ, මං දන්න ළමයි බැලිල්ලක් නෑ අනේ” කියල දඩිබිඩියෙ කටුව අකුලගෙන පැත්තකට වෙනව.
ඉතින් මට හිනා යනව.
“ආව මෙතන පණ්ඩිතකං කියවන්ඩ” මං එයාට දිව අදින ගමන් කොලුවව තුරුල් කරගන්නව.
වැල්වටාරම් හිතන්න තප්පරයක්වත් නැති ජීවිතේ තවත් දවසක් ඇරඹෙනව..
“මේක ස්වයංක්‍රීයව දුවන රොබෝමය දවසක් නෙවෙයි. මේක පණ ගැහෙන, මීමැසි ප්‍රබෝධයක්  තියෙන දවසක්!
හීතල හවසක වුණත් මතක් කළාම උණුසුමක් හිතට ගේන මතක නොදැනීම පොදි බැඳෙන දවසක්!”
කොලුවත් තුරුල් කරගෙන මම මටම කියල දිග හුස්මක් අරන් තහවුරු කරගන්නව.
“අපි කන්න ඕනේ” බඩගිනිකාර කොලුවා කියනව
“යං පුතේ!” මං පුටුව පාමුල ඇල්වෙච්ච කෝපි ටික එක හුස්මට බීගෙන යනව.
මේ ජීවිතේ බ්‍රේක්ඩවුන් වෙන්ඩ ඉඩක් තියන්ඩ අපිට බෑ. මොකද ඒක තල්ලු ස්ටාට් කරන්ඩ බෑ.

හැබැයි, ජීවිතේට තියෙන්නෙ සතුටින් ආරෝපණය වෙන බැටරියක්!

අන්න ඒක අපිට අමතක කරන්න බෑ.

උදේ ඇවිදින ගමන නවත්තල, ගිනි අව්ව දවසක තණකොළ අස්සෙන් එළියට ඇවිත් සිමෙන්ති අඩිපාර තරණය කරනව වගේ භයංකර තීරණ අරන් එළියට එන ගැඩවිල්ලන්ට “මරු දවස! හරියට මියෙම්වා රැකෙම්වා කියල වාගෙ නෑගං යන්ඩ දාගෙන තියෙන්නෙ” කියල උන්ට බැන බැන උන්ව පාරෙ රස්නෙන් පිච්චෙන්ඩ කලින් පාර පන්නන්ඩ අම්මට උදව් කරන්ඩ සැදී පැහැදී ඉන්න කොලුව දැන් “අපි ගැඩවිලන්ට උදව්කරන්නෝනෙ” කියල ඈත තියාම කියනව. ඒ විතරක්ද? කිසි බයක් නැතුව උන්ව අල්ලල පාරත් පන්නනව.
“අනේ පවු ගැඩවිල්ලො, එයාල මැරිලනෙ, බලන්නකො?”
අපේ ඇස්වහල හිතුවක්කාරෙට ගිනි අව්වෙ පාර පනින්ඩ ගිහින් මැරිච්ච ගැඩවිල්ලො දැක්කම කොලුවා දුක් වෙනව.  
“ඔය සහකම්පනය ඔහොමම හිතේ තියාගනින් පුතේ ඒ ඇති!” අම්මා මුමුණනව.

ඉතින්
ජීවිතේ
ආරෝපණය වෙනව!

“අන්න කෝව්ඩ් නයින්ටීන්!”  ඔය යන අතරමග එන්නත්කරණ මධ්‍යස්ථානයෙ බෝඩ් එක දැකල කොලුව කෑ ගහනව. වසංගතයක් හන්ද සමාජයෙන් දුරස්තවීම සතුටක් නොවුණත්,  කොලුව එහෙම කෑගැහුවම මට මහා සතුටක් දැනෙනව. කොච්චර ආදරෙන් අතගගා හැදුවත් පුංචි පැළයක් ටික ටික ලොකු වෙනව අපිට පෙනුනට ඒක ලොකු වෙනවයි කියල අපිට දැනෙන්නෙ නෑ. අපිට ඒ බව දැනෙන්න ගන්නෙ ඒ පැළය අපි නොහිතන මොහොතක මලක් පූදල පෙන්නුවම. අන්න ඒ වගේ මොහොතක් ඒක!
ඒත් කොලුව ඒ නොකිය කියන්නෙ තමන්ට ලැබෙන සුලු රූපවාහිනී කාලය ඇතුළෙත් ඒකා කෝවිඩ් වසංගත දැන්වීම පාඩම් හිටිනකල් දැකල තියෙනව කියල නේද?  පාරෙ ඇවිදින අනිත් මිනිස්සුන්ගෙන් මීටර් දෙකක් දුරින් යන මගෙ සතුට වැහි වලාකුලකින් වැහෙනව.
“අපි පාලම යටින් ගිහින් වතුර බලමු නේද පුතේ? ඊට පස්සෙ ඩැන්ඩෙලයන් කඩමු”
වැස්සක් වෙලා කඩං වැටෙන්න කලින් මම ඒ වලාකුල ඈතට තල්ලු කරනව.
“අපි ඩැන්ඩෙලයන් කඩන්න ඕනේ!”
අම්මගෙ හිතේ මතුවෙන ඕනෙම පිස්සු විකාරයකට එක පයින් හා කියන පොඩි කොලුවෙක් කියන්නෙම විසි හතර පැයේම පායපු දේදුන්නක්!
මට හිතෙනව.

ඉතින්
ජීවිතේ
බලාපොරොත්තු
පොදි බඳිනව

ඔන්න ඔය වගේ හරිම ප්‍රබෝධමත් නෙස්ටොමෝල්ට් වගේ දවස් අස්සෙ වගෙම, කම්මැලිම කම්මැලි ගොලුබෙලි දවස්වලත් පුංචි හරි සතුටක් තියෙනව. ඒ සතුට හොයා ගන්නයි අමාරුම. හැබැයි හම්බුණහම ඒක හරියට දේවතා එළියක් දැක්කම වගේ විස්මබරිත ප්‍රහර්ශයක් හිතට ගේනව.
හරියට තනියෙන් වී පෑලක් කෙටුව වගේ කෙඩෙත්තුවක් දැනෙන හැන්දෑවක හීන් හුළං රැල්ලක් ඇඟේ වැදුන වගේ සුවයක් ඒක!

“ඒ වුණාට සමහර වෙලාවට ඔයා හරියට සමාන්තර ලෝකෙක අතරමං වෙලා ඉඳල ඇවිත් වගේ අනේ” කිසි දෙයක් හරියට නොකෙරුණා කියල හිතෙන වෙලාවට අර නමට විතරක් තාර්කික අංගනාව ඔන්න ඔහොම හෘදසංවේදී වෙන්ඩ යනව නම් තමයි. ඒත් “මේ මොනව කියනවද? ජීවිතේ අතපහු වුණ, මග හැරුණ අටෝරාසියක් දේ හෙමින් අහුලමින්, තමුංව ආපහු හොයාගන්ඩ දඟලමින් ඉන්න ගෑනුන්ට කවදාවත් එහෙම හිත හිතා විස්සෝප වෙවී ඉන්ඩ ඉඩක් තියෙනව ද?” කියල මං ඈව නිහඬ කරනව.
ඊටත් වඩා, කාලාන්තරකට පස්සෙ ආපහු ලියන්ඩ හිතක් පහළ වෙලා තියෙන එකේ, යමිං එමිං ජංගමයගෙ නෝට් පොතක අකුරක් ලියාගන්ඩ දඟලන අම්මෙක්ට මේ ලියන අතරෙත් ඇඟට පැනගෙන, අකුරු ලියාගන්න බැරි වෙන තරමට පුටුව හොළවන, ඇඟේ එල්ලිලා සිඟිති අත් කම්මුල්වල තියල “අනේ..අම්ම හරි සිනිඳුයි” කියන තමුංගෙ කොලු පැටියගෙ හිත බොහොම සිනිඳුයි කියල දැනෙන එකම, ජීවිතය හරියටම සිදුවුණ බවට සාක්කි කියනවනෙ.
ඉතින් ආයෙ තවත් අටුවා ලියන්නෙ මොකටද?

ඉතින්
අන්න එහෙම
ජීවිතේ සිදුවෙනව….!

ලස්සන බ්ලොග් කියවන්න පුලුවන් තැනක් තමයි සඳකඩපහන. කැමති අය ගිහින් බලන්නකො

පින්තූරෙ https://images.app.goo.gl/LAfRrTHQGSwjPCFy5

Posted in මට හිතෙන හැටි, Uncategorized | Tagged , , | 12 Comments

වැහිවතුර පොකුණක නෙලුම් උමතුව…!

“සුබ උදෑසනක් කොහොමද ඔයාට? මම ඔයාට උදව් වෙන්න ඕනෙ කොහොමද?”

එක එක හැඩේ ලොකු පොකුණු, පොඩි පොකුණු, ප්‍රතිමා, පුංචි සත්තුන්ගෙ හැඩ පිරුණු උද්‍යානය ඇතුළෙ වතුර මල්වල වතුර සිරි සිරිය ඇහෙද්දි, සිමෙන්ති කණු, තඩි පිළිම දිහා බල බල ඇවිත්, බුදු හිසක ආකාරයට සැකසුණ තඩි මල්පෝච්චියක් දැකල, ඒක ලංකාවෙ ඉන්න සමහර බෞද්ධයො දැක්ක නං සිද්ද වෙන්න පුලුවන් දේවල් හිත හිතා තනියෙං හිනා වෙවී ළදරු කරත්තෙත් තල්ලු කරන් ඇවිදින මට ඇහුණම මං ගැස්සුණා. මං හැරිල බැලුවම ගාඩිනිය මලක් වාගෙ සුදු උන්දැ මං දිහා සුහද සිනාවක් පාල, ඊට පස්සෙ කරත්තෙ හිටිය කොලුවට ඔමරි පාන්ඩත් ගත්ත.
මේ කිවියො උදේ දිවා රෑ නැතුව “හව් ආ යූ ඩුයිං?” කියල අහන එක මෙහෙට ආව මුලම කාලෙ නං මට විකාරයි.ඒ දවස්වල කවුරුහරි එහෙම ඇහුවම මං හිර වෙනව. හිතන්ඩකො, උදේ පාන්දරක නිකං “ගුඩ් මෝනිං” කියල කියන්නෙ නැතුව “හායි, හව් ආයූ ඩුයිං?” කියල ඇහුවම ඔන්න මං ගල් වෙලා ඒකට උත්තර හොයනව. දවස තාම පටං ගත්ත විතරයි. වැඩට ආව එක ඇරෙන්න දවසෙ වෙන කරපු කියපු ලොකු දේකුත් නෑ. කියන්ඩ තරං හොඳකුත් නෑ. මහා ලොකු අවුලකුත් නෑ. ඔහොම හිතුණ කියල මොකෝ කියන්ඩ ද?  ඉතිං මං හිර වෙනව, “හායි ගුඩ් මෝනිං” ම කියල මෝඩ තාලෙට මගාරිනව. ඒ ප්‍රශ්නෙ මට විතරක් නෙවෙයි තව අයට තියෙන බව දැනගත්තම පොඩ්ඩක් හිතේ ලැජ්ජා ගතිය ගියා. කිවියොන්ට ඒක නිකං අපි “කොහොමද?” කියල නන්නාඳුනන  කෙනෙක්ගෙනුත් අහනව වගෙ ආචාරශීලී වෙන්ඩ කරන චාරිත්තරයක් විතරයි කියල තේරුණාට පස්සෙ ඉඳල මං දන්නව දවස කොච්චර අජපල් වුණත් කියන්ඩ ඕනෙ “ගුඩ් තැංක් යූ,ඇන්ඩ් යූ?”  වගෙ උත්තරයක් කියල.  ඒ හන්ද අදත් එහෙම කියල මං එයාගෙ දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්න.
“මං හොයන්නෙ නෙලුම් පැලයක්…”
ගාඩිනිය මලේ ඇස් දෙක එලිය වුණා.

“ඔයා ආවෙ හරි තැනට! විශ්වාස කරන එකක් නෑ මං මේ දැන් අපේ නෙලුම් පැල සප්ලයර්ට කතා කරල ආවෙ. අද නැත්තං හෙට එයා පැළ අරන් එනවයි කිව්ව.” එයා කිව්වම මට මතක් වුණේම, ඉස්සර ලංකාවෙදි බඩු ගන්ඩ ගියාම කවදාවත් ඒ බඩුව නැහැයි නොකිය “අනේ…. ඒ ජාතිය තිබිල මේ අද ඉවරවුණා” කියන මුදලාලිලව. ඒත් මෙයාල ලඟ නෙලුම් පැල තියෙන බව මට කිව්වෙ අල්ලපු ගෙදර චීන කොලුව.අල්ලපු ගෙදර යට තට්ටුවෙ සාම්ප්‍රදායික චීන තේ  කඩයක් කරන තරුණ චීන ජෝඩුව තමංගෙ වත්ත පිටිපස්සෙ පොඩි පොකුණක් හදල ඒකෙ නෙලුම් පැළයක් වවල!
ඒකට රතුපාට මාලුත් දාල!
ඒ මදිවට ඒකෙ ඉබ්බෙකුත් පීනනව!
බැල්කනියට රෙදි වනන්ඩ යනකොට පුංචි නෙලුම් කොළ හුළගට පැද්දෙන හැටි දැක්කම ඒ ගිනි අව්වෙත් ලංකාවෙ වැවක් ලඟ සුවය මට දැනෙන්ඩ ගත්ත. අන්න ඒකෙන් තමයි මට මේ නෙලුම් උමතුව හැදුණෙ. ඔය වගේ උමතුවක් හැදුණොත් ඉතිං ආයෙ ඒක ලේසි වෙන් නෑ. දිවා රෑ ඕක ඕනෙ වෙන්ඩ ගන්නව. එදිනෙදා ජීවිතේ සැලසුම් ඔක්කොම අර නෙලුම් පැලේ වටා කැරකෙන්න ගන්නව. කරන යමක් වැරදුනත්, “අනේ නෙලුම් පැලයක් ගෙදර තිබ්බනං එහෙම වෙන්නෙ නෑනෙ!” කියල හිතෙනව. කොටිංම හීනෙනුත් නෙලුම් පේන්ඩ ගන්නව, හිතේ නෙලුම් පිපෙන්ඩ ගන්නව.
රන්වන් මාලු එහෙ මෙහෙ පීනන, ලස්සන කොළ පාට පෙති මීවන හෙවණක, තද කලු ගල් අල්ලපු, තෙත ගල්වල දියසෙවෙල බැඳිච්ච පොකුණක පිපුණ නෙලුම් මල්, කොළ එක්ක මුකුලු කරන හැටි හිත හිත මං මේ හුණ්ඩු ගෙයි අයිතිකාරයංගෙ නීති රීති කඩන්නෙ නැතුව, හෙවණට ගහක් කොළක්වත් නැති හතරැස් කොටු වත්තෙ නෙලුම් පොකුණක් හදන්ඩ පිඹුරුපත් හදනව.

“මෝඩි ඒකෙ ඔහෙට ඔය හිතෙන ආකාරෙට නෙලුම් වවන්ඩ තැනක් නෑ. ඒ තියා ඒ බිම හරිහමනකට සමතලාවත් නෑ නේද” කියල තාර්කික අංගනාව උන්දැගෙ පාණ්ඩිත්‍ය විදහා පානව. ආ… තාර්කික අංගනාව කියන්නෙ මගෙ සිරසින් පැන නගින සහසක් උමතු කල්පනා ගැන තාර්කිකව හිතල බලල මාව උමතුවෙන් බිමට ඇදල දාන මගෙම අනිකි ට මං දාපු නම. 
“මං හිටියෙ නැත්තං ඉතිං මෙයැයි මැරිච්චි තැංවල ලොකු කවුරි ගසුත් පැළ වෙලා”  එයා ඔලොක්කුවට කියනව. ගෑනිට ඉතිං හරි ජොලි ඔය වගෙ පිස්සු කල්පනාවකිං මාව බිම දෙරිගැස්සෙව්වහම.
සතියකට විතර පස්සෙ ඔය නෙලුම් උමතුවෙන් ආතුර වෙලා තිබුණ මගෙ හිත ටිකෙන් ටික සත්‍යාවබෝධය ලබමින් තිබුණ.
“ඔන්නොහෙ පස්සෙ කාලෙක බැරියැ පොකුණු ඩිංගක් හදාගන්ඩ. නෙලුම් පැලයක් හොයං පොඩි ප්ලාස්ටික් බේසමක වවා ගන්නව දැනට,” කියල හිත හිත උදේ පාන්දරක වීදුරු දොර ළඟ පුටුවෙ ඉඳගෙන වටපිට සිරි නරඹ නරඹ තේ කහට ඩිංගක් බොනකොට තමයි පහළ වුණේ ගණදෙවි නුවණ!!
ඇයි අනේ ….. මේ ගෙදර පිටිපස්සෙ සාගරයක් වගේ ඔය තියෙන්නෙ වැහිවතුර පොකුණ.
නෙලුම් මොකෝ! ඒකෙ හදන්ඩ බැරියැ පස් පියුම්! ඔන්න ඉතිං මගෙ උමතුව ගෙදර පොකුණෙන් වැහිවතුර පොකුණට පැන්න. දවස පුරාම මං හිතුව දෙයක් ඇත්තං ඒ කොහෙං හරි නෙලුම් පැලයක් ගෙනත්  පොකුණට දාන එකයි, ඊට පස්සෙ අපි උදේ නැගිටල ජනේලෙන් එළිය බලනකොට නෙලුම් යායක් පිපිල වැනෙන හැටියි තමා.
“ඔය වතුර පොකුණ හදල තියෙන්නෙ වැහි වතුර හරියට බැහැල යන්ඩ හැකි වෙන්ඩ. ඔය වැහිවතුර බස්නා පද්ධති ගැන ඉගෙනගත්තු කෙනෙක් වෙලා ඔහේ ඕකෙ නෙලුම් වැව්වම ඕක ගොඩ වෙනව කියල තේරෙන්නෙ නැද්ද ඔහෙගෙ කුඩා මොළේට?” අතොරක් නැතුව වහින ඕක්ලන්තෙ පාරවල් දිගේ ඔහේ ගලන වැහිවතුර එක්කාසු කරන්ඩම හදපු පොඩි උද්‍යාන බලන්ඩ ගිය හැටි මතක් කර කර තාර්කික අංගනාව හරියට එයා මේ ඕක්ලන්තෙ මහ ඒජන්‍ත වාගෙ මගෙං ප්‍රශ්න කරන්ඩ ආව. “අනේ යන්ඩ, ඒකට තමයි කවුන්සිල් එක තියෙන්නෙ,  එයාලට පුලුවන් නෙ ඔය තණකොල කපන්ඩ එනව වගෙ ඇවිල්ල නෙලුම් ගොඩක් හැදෙන්නෙ නැතිවෙන්න පාලනය කරල තියාගන්ඩ. මේක කරන්ඩ බෑ. ඔයා මං කරන්ඩ හිතන හිතන දේට බාල්දි අදින්ඩ එන එක හරි අසාධාරණයිනෙ..එව්ව නං කොහෙද? ” මං පාරම් බෑව.
වැහිවතුර පොකුණ නෙලුම් පොකුණක් කිරීමේ  ව්‍යාපෘතියට කවුරු විරුද්ධ වුණත් ඒක කරගෙන යන්ඩ මම තීරණය කළා.

“ඒක නං මරු, මාත් හිත හිත හිටියෙ ඇයි ඔයා ඔය මොකක් හරි මල් පිපෙන පැළයක් ගෙනල්ල ඕකට දාන්නෙ නැත්තෙ? කියල”
පෙම්බරයත් පෝර දැම්ම.

“හනේ හැබෑට එව්වට නං මුං දෙන්න ජාඩියට මූඩිය වාගෙ.” තාර්කිකාට හොඳටෝම නැගල.

“ඒකනෙ කියන්නෙ, ඇයි මතක නැද්ද ඔහෙට අපි දෙන්න ඊයෙ පෙරේද ෆේස්බුක් කියමනකුත් දැක්ක ‘ඔබේ හිත තුල ජීවත් වෙන ළදරුවාව අනුමත කරන කෙනෙක් තෝරාගන්ඩ, නැත්තං ඔබට ඒ ළදරුවව මරා දමන්ඩ සිදුවනු ඇත’  කියල” මං නාට්‍යාකාරයෙන් කිව්ව.
” විකාර…! කිව්ව නාහන ගුරු ඉහළිං ගියත් එකයි පහළිං ගියත් එකයි, ගිහිං ගන්නේකයි ඇත්තෙ නෙලුම් පැලයක් බැරි නං ඕන බතල අලයක් “. තාර්කික මහගෙ කට හතරැස් කරගත්ත.
පහුවදා එළවලු පැලවලට වතුර දාන්ඩ පහළට ගිය වෙලාවෙ චීන කොලුවත් වත්තෙ ඉන්නව දැක්කම “මේ ඔහෙ ඔයනෙලුම් පැලේ ගත්තෙ කොයිබින්ද?” කියල මං නාහ ඉන්නෙ කොහොමද හා?
“මේ පැත්තෙන් එන්ඩ, ඔයාට මම අපි ලඟ  පොකුණෙ තියෙන පැළේ පෙන්නන්නම්..”
ගාඩිනියා හාමිනේ උද්‍යානයේ ජලමල්වල සිරි සිරි හඬත්, මගෙ හිතිවිලි වැලත් බින්දා..
“යමු…!” අපි ඈට එකතු වුණා.
“අන්න මල්!! අන්න වයිට් මල්!!”
පුංචි පොකුණක පිපුණු ලොකුම ලොකු සුදු නෙලුම් මල දැක්කාම කොලුවත් සන්තෝසෙං කෑ ගැහුව. නොබෝ කලකින් අපේ වීදුරු දොරෙන් බැලුවම වැහිවතුර පොකුණෙ හෙළවෙන සුදු නෙලුම් මල්වල සුවඳ මට ඒ වෙලාවෙම දැනෙන්න පටන් ගත්ත.
” අපි විකුණන්නෙ අවුරුදු දෙකක් වයස පැළ. නෙලුම්වලට හොඳට අව්ව ඕනෙ. දියර පොහොර සති දෙකෙන් දෙකට දාන්න ඕනෙ, අවුරුද්දෙං අවුරුද්ද පෝච්චි මාරුකරන්න ඕනෙ…” ගාඩිනියා උන්දෑ කියාගෙන කියාගෙන ගියා.
“කියපං කියපං මේ දකුණු කුරු රටට පදිංචියට ආවට මං  ඉපදුණේ දුරාතීතෙ ඉඳලම වැව් බැඳි රටක ඉඳල ය, මං ඔය කිසි සාත්තු සප්පායමක් නැතුව ඉබේ හැදෙන මහ නෙලුම් යායවල් ඕනැ තරං දැකල කියල”  මගෙ උමතු නෙලුම්මල් ව්‍යාපෘතියට හිනාවෙන පණ්ඩිත අංගනාගෙ සෝපාහාසය සතපහකට මායිං නොකර ඉන්ඩ මම තීරණය කළා “ඉන්නවකො ඔහේට පාඩමක් උගන්නන්ඩ මං අද නෙලුම් පැලයක් අරං මිසක් ගෙදර යන්නෑ” කියල පණ්ඩිත අංගනාවට ඔරවනකොටම ගාඩිනියා උන්දැ පැළේ ගාණ කිව්ව.

දෙයි හාමුදුරුවනේ, ඩොලර් අසු නවයක්!!!

මගෙ ඇස් දෙක නිලංකාර වුණා.
“අසූ නවයක්??”  මට ඉබේම ඇස්සවුණා.

ඇයි අසූ නවයක්, ගන්නවකො ඔහේ ඕක අනූවක්ම දීල”  තාර්කික අංගනාට ආයෙත් පොටක් පෑදුණා.
ඩොලර් මොකෝ කජු ඇට ද කොස් ඇට ද??
ඕං මාත් රස්සාව කරන කාලෙ නං කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔය වගෙ උමතුවකට වියදං කරන්ඩ තිබ්බ. අනික තනි පඩියෙං ඔක්කොම සුමේ කරන අපිට ඩොලර් අසූනවයක්  කියන්නෙ ලොකු ගානක්නෙ!
තාර්කික අංගනා සට පට ගෑවිල්ලෙ එක එක ගණිතකර්ම දාල ගණන් හැදුව සංක්‍රමණික පවුලකට වැහි වතුර පොකුණක නෙලුම් හිටවනවට වඩා ප්‍රයෝජනවත් විදියට ඩොලර් අසූ නවයක් යොදවන්න පුලුවන් විධි ගැන.

“තොරතුරු කිව්වට බොහොම ස්තුතියි! මං ආයෙ එන්නම්” කියල හැරිල ආවට මං ආයෙ එතෙන්ට යන්නෙ නැති බව මං තීරණය කරලයි තිබුණෙ. කොයි වෙලෙත් ඔලොක්කුවට හිනාවෙන්ඩම බලං ඉන්න තාර්කික අංගනාවටත් කියාගන්ඩ දෙයක් නැති වුණා මං ආපහු හැරුණයිං. ගෑනිත් කට පියාගත්ත. ඩිංගක් හරි දුකක් හිතෙන්ඩ නැතෑ උන්දැටත් මං ගැන.

“ඒක ගණං වැඩියිනෙ යුකියො, නෙලුම් පැලේකට ඩොලර් අසූ නවයක් දෙන්ඩ තරං අපි පෝසත් නෑනෙ”
මං යුකියට කිව්වෙ හරියට නෙලුම් පැලේ යුකිය ඉල්ලුව එකක් වගේ.

විනෝදෙට  පොකුණක් හදල, ඒකෙ නෙලුම් වවන්ඩ සල්ලි තියෙන අල්ලපු ගෙදර චීන පවුලත් මෙහෙ ඉන්න බොහොමයක් චීන ජාතිකයො වගෙ සල්ලි ආකරයක් තියෙන අය වෙන්ඩ ඇති. මහ ලොකුවට මිනිස්සු ගැවසෙන්ඩ එන්නෙ නැති ඒ තේ කඩේ කරනව ඇත්තෙත් නිකං ඉන්ඩ බැරි කමට වෙන්ඩ ඇති. කරත්තෙ තල්ලු කරන් පාරෙ ඇවිදන් එන අතරෙ මට හිතුණ “දැං නම් අපි තුන්වෙනි ලෝකෙං උඩට ඇවිත් තියෙන්නෙ” කියල හිතන රටක ඉපදිලා, පළවෙනි ලෝකයේ රටවලට සංක්‍රමණය වුනහම, අපි ඇත්තටම  සල්ලි වියදම් කරන්ඩ ඕනෙ මොනවටද කියල දෙපාරක් තුන්පාරක් හිතන්ඩ වෙනව. ලංකාවෙ ඉන්නකොට හිතුණ ගමන් පොඩි සිමෙන්ති පොකුණක් ගෙනල්ල, අපේ ගමේ වැවේ ඔහේ නිකං පිපිල තිබුණ, කාටවත් අගයක් තිබුණෙ නැති නෙලුම් පැලයක් උගුල්ලං ඇවිල්ල, ඇලෙං මාලු ටිකක් අල්ලල දාල පොකුණක් හදාගත්තයි කියල, මෙහෙදි එහෙම කරන්න බෑ. මේ රටවල මිනිස් ශ්‍රමය මිලාධික යි. මේ රටවලත් දුර්ලභ දේවල් කියන්නෙ ඉහළ මිලක් නියම වෙන දේවල්!
ගාන අහල නෙලුම් පැළේට ඩොලර් අසූවක් දෙන්ඩ මට හිත නොදුන්නට මොකද, අපි ඉස්සර වත්තෙ පෑගුණාම චප්ප කරල දාන මෙහෙ නිදිකුම්බ පැළත් විකිණෙන්නෙ අස්ප ගණංවලට.
ඕං ඉතිං වැවෙං ගොඩ ආවට මගෙ හිතේ මඩ ගෑවිලා විතරක් නෙවෙයි, යන්තං ගොඩට අඩියක් තිබ්බ ගමන් ඒකෙ නිදිකුම්බ කටුත් ඇණෙන්න ගත්ත.

“ඔයා නෙලුම් පැලයක් ගේනව කිව්ව නේද අද?”

පෙම්බරයා හවස ඇහුවම ආයෙත් හිත ඩිංගක් පෑරුන්නැත්තෙ නෑ.
ඒත් “පැළ ඇවිල්ල තිබුණෙ නෑනෙ..” කිව්ව මිසක් ඒකෙ ගාන  එවෙලෙ කියන්ඩ හිතුණෙ නෑ. මං ගණං වැඩි නිසා ගන්නෙ නැති බව දැනගත්තම උන්දැ කතා දෙකක් නෑ මට ඕකෙ ගාණක් බලන්නෙ නැතුව ගන්ඩෙයි කියන බව දන්න හන්ද. 
ඒකෙන් මේකෙන් මගෙ නෙලුම් උමතුව ඩිංග ඩිංග සමනය වුණා.
ඒත් පායන කාලෙට වැහිවතුර පොකුණ පාසිවලින් වැහිල දුක්බර වෙලා තියනව දකින ගානෙ “කවද හරි ගෙනත් දෙන්නම්කො නෙලුම් පැලයක් ලස්සනට වවාගෙන මල් පූද්දන්ඩ” කියල මං විඩිං විඩේ තොල් මැතුරුව.
සීත කාලෙ ඇවිදින්ඩ ගිහිං එන අතර මග දවසක්  වැහිවතුර පොකුණෙ හුරු පුරුදු හැඩයක් දැක්කම මං නැවතුනා.


දෙයියනේ ඒ මානෙල් කොළ නේද??

මං නැවතිලා ඇස් දෙක හොඳට පිහලත් බැලුව.
කවුරු හරි වැහිවතුර පොකුණට මානෙල් පැළයක් ගෙනත්දාල. ලොකු මානෙල් කොළ වතුර උඩ පාවෙනව!
ඒක දැක්කම ඇති වෙච්ච සන්තෝසෙට මං තව ඩිංගෙං ඒ කුණු වතුරට බැහැල ඒක බදාගන්නව. ඒත් දැං ඔය වාගෙ උමතු වැඩක් කරන්ඩ කලිං “මං අම්මෙක් ය, ඒක කොලුවට වැරදි ආදර්ශයක් වෙන්ඩ ඉඩ තියෙනවය” කියල හිතන්ඩ වෙලා ටික කාලයක් හන්ද හැමදාම ඇවිල්ල ඒක බලල යන්ඩ හිතං සද්ද නැතුව කොලුවත් එක්ක ගෙදර ගියා.

ඒ කියන්නෙ මට වගෙම පිස්සු කල්පනාවල් එන මිනිස්සු මේ රටේ ඉන්නව කියන එක නෙ. මං කියන්නෙ නැත්තං කොහෙන්ද එතෙන්ට මානෙල් පැළයක් ආවෙ?? හැබැයි කියන්ඩ බෑ බාගෙදා ඔය මට වගෙම උමතුවක් හැදිච්ච නරයෙක් මානෙල් පැලයක් ගෙදර ගෙනිහිල්ල ඊට පස්සෙ ඒක නඩත්තු කරගන්ඩ බැරිවෙනකොට කරගන්ඩ දෙයක් නැතුව වැහිවතුර පොකුණර ගෙනත් අතෑරිය වාගෙ එකක් සිද්ධවුණා වෙන්ඩත් බැරි නෑ ඉතිං…
“ඒ මොකක් වුණත් ඔයා ඉන්නෙ හරිම තැන!” මං තොල් මැතිරුව, හරියට මානෙල් පැලේට ඇහෙයි වාගෙ.

එදා රෑ මහ වැස්සක් වැස්ස!

“අනේ මානෙල් පැළේ ගහගෙනවත් යයිද?” මහ වැස්ස දබදබ ගාල වහලෙට වැටෙන සද්දෙට ඇහැරිලා නින්ද යන්නෙ නැති අල්ලපනල්ලෙ මට  මට හීල්ලුනා!

පහුවදා වැස්ස පොඩ්ඩක් තුරල් කරපු වෙලාවෙ තකහනියක් කොල්ලවත් ඉස්සර කරං මානෙල් පැලේ බලන්ඩ ගියාට මොකෝ ඒක තිබ්බ ලකුණක්වත් හොයාගන්ඩ බැරි වුණා. බාගදා ඒක පහළටම ගහගෙන ගිහින් වතුර යටට පෙරෙන දැලේ රැඳිල ඇති! මං හිතුව. ඒත් ඒක කොහෙවත් පේන තෙක් මානෙක තිබුණෙ නෑ.

“අයිනෙනෙ තිබුණෙ, කවුරු හරි දැකල අරන් යන්ඩ ඇති. දැං මට ඕක  හදාගන්ඩ හරි හමං තැනක් තිබ්බ නං මාත් කරන්නෙ ඒ ටික නෙ” මං හිත හදා ගත්ත. කලින් තරංම දුක හිතුණෙ නැති එකම මදෑ..

නෙලුම් නැතිකොට ඇඳුණු මානෙල් පිපෙන හීනෙත් බොඳවෙලා ගියේ අන්න එහෙමයි.

මං ඇවිදින්ඩ ගියත්  පොකුණ පැත්තෙං නොයා ඉන්ඩ ගත්තෙ එතකොට දුක හිතෙන හන්ද.

“අම්මේ, අපි තණකොල කපන්ඩ යමු ද? මට තණකොල කපන්ඩ ඕනේ” එකම දේ එක එක තාලෙට කිය කියා අද උදේ ඉඳන් පාර අද්දර තණකොළ කපන හිතක් ඇවිල්ල හිටිය කොලුවයි මායි  එයාගෙ තල්ලු කරන සෙල්ලම් තණකොළ කපනයත් අරන් පාරට බැස්ස. ඒකෙ ටොක ටොක සද්දෙට ගෙවල් ළඟ ව්‍යාපාරික ප්‍රජාව එළියට එබිලත් බැලුව.  ඔහොම මිනිස්සු හිනස්ස හිනස්සා අමාරුවෙන් තණ කොළ උඩ ඒක තල්ලු කරන් තණකොළ කපනව කියල එකක් කරං අපි දෙන්න ඇවිල්ල තිබුණෙ වැහිවතුර පොකුණ ළඟ අඩි පාරට.
ආයෙමත් පරණ දුක හිතේ හිල් අස්සෙං රිංගාගෙන එද්දි තමයි මං දැක්කෙ  කැත පාසි තට්ටුව අස්සෙං එබිල, එහා ඉවුරට කිට්ටුව වතුරෙ පාවෙන මානෙල් කොළ!

ඒක තියෙනවා!!! ඒක තියෙනවා!!!

ඒක දැක්කම මං මහ හයියෙං කෑ ගහ ගහ අඩිපාර මැද ජැක්සන් ඇන්‍තනි නෙයිනගෙ සූදුව කිය කියා නටන වැලමිටි නැටුම වාගෙ එකක් නැටුව. කිසි සංයමයක් නැතුව මහපාරෙ නටන අම්ම දිහා බලං හිටිය කොලුවත් තණකොළ කපන යන්තරේ අතෑරල බක බක ගාල හිනාවෙන්ඩ ගතිපි.
“කොහොමත් අම්මට තියෙන උමතුවෙ තරම ඌත් පොඩි කාලෙ ඉඳල දැනගෙන ඉන්න එකනෙ හොඳ. නැද්ද?” තාර්කිකත් හිනා වෙනව.

“මෙව්ව මේ  ආක්‍රමණික ජලජ පැළ, අපි එව්ව විනාස කරන්ඩ ඕනෙ” කියල කොයි වෙලේ හරි කවුංසිල් එකේ බෝට්ටුව ඇවිල්ල ඕක උගුලං යාවි කියල හිතේ බයක් කරනම් ගහනව නං තමයි.
ඒත් මේ ග්‍රීස්ම කාලෙ ඒ වැහිවතුර පොකුණෙ නෙලුම් පිපුණෙ නැතත් මානෙල් මලක්වත් දකින්ඩ ලැබෙයි කියා හිතෙන හීනෙන් මිදෙන්ඩ හිතක් නං දැං මට නෑ!

Posted in Uncategorized | 9 Comments

කපුටියකගෙ කේජු මතක…!

“අපෝ මොනවද මේ මහ රෑ කන කෑම?”

සැප පුටුවෙ දපල ඉඳගෙන චිත්‍රපටිය බලනවයි කියල නිදි කිරන, ඒ නින්දෙං ඇහැරිලා කිසි නිදිමතක් නෑ වගේ රෑ එකොළහට දොළහට කුස්සියෙ චීස් කපන මාව දකින පෙම්බරයා අහනවා.
“කේජු…. රසම රසයි කේජූ……!”  ඉස්කෝලෙ කාලෙ නාට්‍යයක මීයෙක්ට රඟපාපු දෙබසක මතකෙන් මං නාට්‍යමය ස්වරයෙන් කියනව.


“කොහොම කනවද මන්ද ඔය ජරාව” උන්දැ නහය අකුලනව.
ඔය වැඩිමනත් පිට වෙන්නෙ කේජු අරහං උන්දැට, අම්මත් එක්ක හරි හරියට ඕනැම වෙලාවක කේජු කන්ඩ සැදී පැහැදී ඉන්න කොලුවෙක් දැං ඉන්න එකේ ආරෝව බව දන්න මම කවියක් වෙනස් කරල අරන් ජවනිකාව තව නාට්‍යමය කරනව. 

“කේජුවල ගුණයත්
එහි ඇති අමා රසයත්
කන අය මිස වෙනත්
නොකන අනුවණ දනෝ නොදනිත්”

“අනේ මහලොකු ගුණේ, නහය ලඟට ගන්ඩ බෑ”

“ආ එතකොට අර දවසක්ද වැරදිලා මගෙ චීස් දාපු බර්ගර් එක කෑවෙ” ඇයි එතකොට….
“අනේ මටත් ඔහොමම තේ එකක් හදන්ඩකො” මං උන්දැ චීස් කාපු දවස් ලැයිස්තුව ලකුණුකරන්ඩ ගන්නකොටම උන්දැ මැද්දෙං පැනල මාතෘකාවෙන් පලා ගොස් පහු බහිනව.

මගෙ ඔය මහ රෑ චීස් කෑමට හේතුව තනිකරම පෙරේතකම. දවල් කාලෙ ඕනැම වෙලාවක චීස් කුට්ටිය එළියට ගත්තොත්, ඒකෙං කපන කපන කෑල්ල ඩැහැගන්ඩ ලෑස්ති වෙලා ඉන්න කොලුව හන්ද කොයි වෙලේකවත් හිතේ හැටියට චීස් කාගන්ඩ වෙන්නෙ නැති එකෙං කවදාවත් අඩු වෙන්නැති බඩජහරිකම.
ඒත් ඉතිං හිතල බැලුවම ඕක ඔය අදක ඊයෙක ඉඳල එන පෙරේතකමකුත් නෙවෙයි.

දැං වගේ පුංචි කාලෙ අපිට පොඩි බඩගින්නටත් චීස් කන්ඩ පුලුවන්කමක් අපිට තිබුණෙ නෑ. අපි ජිවත් වෙච්ච පරිසරයෙ ගෙවල්වල චීස් බටර් නිතර ගැවසුණේ නෑනෙ. සුපිරි වෙළඳසැල් නොතිබුණු ඒ කාලෙ අපි හාල් සිල්ලර ටික ගන්න ගමේ කඩේ මොන චීස් ද? අනික නිතර දෙවේලෙ සුකුරුත්තං කෑම අපිට අරන් දෙන්ඩ අම්මටවත් තාත්තටවත් සල්ලි තිබුණෙත් නෑ.
අපිට චීස් හම්බුණේ එක්කො අපි හොඳටම  අසනීපවෙලා උන්න කාලෙක තාත්ත කොලඹිං ගෙනත්. නැත්නම් කවුරු හරි කලාතුරකිං අපේ ගෙදරට ගේන තෑගි පාර්සලේක තිබුණොත් තමයි ඉතිං. ක්‍රාෆ්ට් කියල ගහල, නිල් පාර දවටනයකින් සරසපු ඒ හුරුබුහුටි චීස් ටින් එක මට අදත් මතකයි. ඔක්කොටම වඩා එහෙම තෑගි පාර්සලේක තිබිල ඕක හම්බුණාම හිතට එන සතුට….
මට මගේ ජීවිතේ කිසිම දවසක අමතක නොවන මතක අතරෙ ඒ සතුටත් තියෙනව.

ඒක ඉතිං හම්බෙච්ච පලියට එහෙම ආවට ගියාට කන්නෙ නෑ. ඕක නීල මාණික්‍යයක් වාගෙ කොහෙ හරි  පරිස්සමට ගබඩා කරනව.
ඒ මාසෙ නාරම්මල ආර් එම් එස් කඩෙං බඩු ගන්නකොට අම්ම රතු පාට කොටු හැඩේ මැලිබන් ක්‍රීම් ක්‍රැකර් පැකට් එකකුත් ගන්නව.
තාත්තත් ගෙදර ඉන්න සති අන්තෙ හවසක  අම්ම චීස් ටින් එක තාත්ත අත තියනව. මල්ලියි මමයි බලු නගුට වාගෙ තාත්‍තා පස්සෙන් වැටෙනව. තාත්ත ඒ ටින් එක අරන් ගිහින් ගෙයි එළිපත්තෙ තියෙන ලොකු මිරිස් ගල ළඟ ඇණ තියාගෙන ඒකෙ ටින් එකේ දාර මිරිස් ගලේ අතුල්ලන්න ගන්නව. ඒ කාලෙ ගෙවල්වල ටින් කටර් එකක් කියන්නෙ අත්‍යවශ්‍ය උපකරණයක් නෙවෙයි. ගම්වල මිනිස්සු සැමන් ටින් කැඩුවෙත් එහෙම ගලේ ගාල. සැමන් ටින් කඩන හද්ද පරණ ටින් කටර් එකක් අපේ ගෙදර තිබුණට මොකද ඒක මේ චීස් ටින් එක පැත්ත පලාතට වද්ද ගන්නෙ නෑ.
මොකද එහෙම ගලේ ගෑවම, ඒ දාර ගෙවිල ටින් එකේ දාර සමතල වෙලා අයින්වලින් පියන ඉබේම ගැලවිලා, හරි ලස්සනට චීස් කුට්ටිය මතු වෙන හන්ද.

“අනේ තාත්තෙ අපිටත් දෙන්නකො ඒක අතුල්ලන්න…” ඒක හරි විනෝද වැඩක් කියල හිතන මල්ලියි මායි ඔහොම ඉල්ලල ඉවරයක් නෑ ඉතිං එදාට.
“බෑනෙ ලොකු බල්ලො, මේක පරිස්සමෙන් කරන්ඩෝනැ වැඩක් නෙ. කෝ ගිහිං අම්මගෙං පිහින රෙදි කෑල්ලක් ඉල්ලං එන්ඩ” තාත්ත මාව වැඩකට යවන්ඩ හදනව.
“හැබැයි ඔන්න තාත්තෙ මං නැති අතරෙ මල්ලිට ගලේ ගාන්ඩ එහෙම දෙන්ඩ බෑ හරිද?” මං එතනිං නැගිටින්නෙ  තාත්තට අණ පණත් පනවල.
ඒක සෑහෙන වෙලා යන වැඩක් ඉතිං. සැරෙන් සැරේ අතට උනන දාඩිය පිහින්ඩ ඕනෙ. ඒ විතරක් යැ. ලෝහ කුඩු චීස් එකට වැටෙනවට ටින් එකේ දාරත් පිහින්ඩෝනෙ. ඔන්න අන්තිමට ගලේ ගාල ගාල පියන ගැලවෙන්න ඔන්න මෙන්න තියන ටින් එකත් අරං අපි ගෙට යනව. එතකොට අම්ම අපිට තේ හදල, ක්‍රීම් ක්‍රැකර් පැකට් එකත් කඩල ලෑස්ති කරල තියල.
තාත්තා හරි සීරුවට හීනි පිහියකින් ලස්සනට කපල චූටි චීස් ත්‍රිකෝණ එළියට ගන්න හැටි මට මේ ලියන වෙලාවෙත් මැවිල පේනව.
ඊට අවුරුදු දහයකට පහලොවකට පස්සෙ ඉගෙන ගන්ඩ කොළඹට එන කාලෙ වෙනකොට  බහු ජාතික පීස කඩවල දැවැන්ත දැන්වීම් පුවරු චීස් දාපු පීස කියන්නෙ අපිට බොහොම සාමාන්‍ය ආහාරයක් කියල කියන්න පටන් අරන් තිබුණ. ඉතිං ඔහොම කාලෙ ගෙවිල ගිහින් ඉඳල හිටල ගිහිං පිලාවුස් කඩෙං චීස් කොත්තුවක් කන්ඩ, උදේට උයාගන්ඩ බැරිවුන දාට කන්තෝරුව ළඟ කෑම කඩෙං චීස් සැන්විච් අරං කන්ඩ එහෙමත් මං පස්සෙ කාලෙ පුරුදු වුණානෙ. වෙන එකක් තියා චීස් විරෝධියෙක් එක්ක ජීවිතේ බෙදාගන්ඩ වුණාට පස්සෙත් මං මාසෙට උයන පිහන බඩු ගන්නකොට ෆුඩ් සිටියෙන් ක්‍රාෆ්ට් චීස් පෙට්ටියක් අරන් ගිහින් තනියෙන් කන්නත් පුරුදු වෙලා හිටිය.
හැබැයි ඔය කොච්චර කන්ඩ ලැබුණත් මගේ කේජු ලෝලීත්වයේ අඩුවක් නං වුණේ නෑ එන්ඩ එන්ඩම වැඩි වුණා මිසක.

චීස් කියන්නෙ ක්‍රාෆ්ට් චෙඩර් චීස් විතරයි කියල හිතං හිටිය මගේ කේජු ඥානය සෑහෙන්න  වර්ධනය වුණේ ඊටත් ටික කාලෙකට පස්සෙ මං වැඩ කරපු කන්තෝරුවෙ ලොක්ක නිතර දෙවේලෙ දාපු කේජු සහ වයින් සාදවලදි.
සමකයේ ඉඳල දක්ෂිණ අර්ධගෝලයේ දිවයිනකට සංක්‍රමණය වෙලා සුපිරි වෙළෙඳසැල්වල තියෙන දිගම දිග චීස් පුරෝපු රාක්කෙ මං අනිවාර්යයෙන්ම නතර වෙන තැනක් වුණේ නිරායාසයෙන්ම. හරියට නිකං මම ලොකු මහත් වුණේ චීස් කාල වගේ! මටම හිතෙනව.
ඒක හරියට චීස්වල චුම්බක බලයක් තියෙන නිසා මාව ඒ රාක්කෙ දිහාට ආකර්ෂණය වෙනව වගේ එකක්.
එතන තියෙන, පලතුරු දාපු, කජු දාපු, පුස්කාපු නානාප්‍රකාර චීස්වර්ග අතරින් මගෙ රහට ගැලපෙන, කන්ඩ පුලුහං ඒව තෝරං එන්ඩ පුලුවන් වුනෙත් ඉතිං අර ලොක්කගෙ කේජු සහ වයින් සාදවලින් ලද දැනුමෙන් තමා.
ඒ විතරක් ද? මෙහෙ කන්තෝරුවෙ කේජු පළඟාන්වලින් අරන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔය එක එක කජුවර්ග දාපු කේජු කන්ඩ ගිහිං මට දරුණු ආසාත්මිකතාත් ඇති වෙලා තියෙනව. ඒ මොනව වෙලාවත් අඩු නොවුන මගෙ කේජු පෙරේතකමට අලගු තියන්ඩ “අම්මේ…. මට චීස් කෑල්ලක් දෙන්ඩ” කියාගත්තු ගමන් ඉන්න කොලුවෙකුත් ඉපදිච්ච එක කොච්චර හොඳද හැබෑට… ඔය රෑ දෙගොඩහරියෙ කේජු කන මට හිතෙනව.

බලන බලන අත කේජු තියෙන රටක ඉඳන්, කේජු සහ විස්කෝතු තියල හැඩකරල පළඟාන් හදන, පීස හදන, කේජු දාල රටේ නැති කෑම හදන හිතිච්ච හිතිච්ච වෙලාවට කපං කන මං සමහර වෙලාවට හිතෙන් අම්ම ඉස්සර චීස් ටින් එක අරන් තියන කබඩ් එක ලඟට යනව.
ඒ විතරක් ද? අවුරුදු හතලිහක්ම ගෙවිලත්, ඉස්සර සැරෙන් සැරේ කබඩ් එක ඇරල අම්ම ඒකෙ උඩම තට්ටුවෙන් අරන් තිබ්බ චීස් ටින් එක දිහා බලන්  හීල්ලුව පොඩි කෙල්ල එතන තාමත් බලන් ඉන්නවා මට දැනෙනවා. තාත්තා චීස් කපනකල් නොයිවසිල්ලෙන් හිටිය ඇගේ හිත ගැහුණ හැටි අදත් මට දැනෙනව.

හරි අපූරුයි නේද?

මං අහන්නෙ මේ හීනිම හීනි කේජු තීරුවකටත් හරිම අපූරුවට මතක නහරවලට පණ දෙන්න පුලුවන් කියන එක??

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි, මතක | 11 Comments

නමක්…!

මං හිතන්නෙ ඩොක්ට චන්ද්‍රසේකරන් තමයි අද රූම් වන්  එකේ ඉන්නෙ. ඔයාට දැනගන්න ඕනෙ දෙයක් තියෙනව නම් එයා එක්ක කතා කරන්න හොඳ ද? ”

රෝහලේ පවුල් කටයුතු භාර හෙදිය ඇඩෙල් මාව ළදරු දැඩි සත්කාර ඒකකයෙ කාමරය ළඟට ඇරලන්න යන ගමන් කිව්ව.

“චන්ද්‍රසේකරන්!”

ටොම්, මැට්, ජෙස්, ක්‍රිස්, මැක්, ඇනා, රේචල්, ජෙෆ් වගෙ නම් ඇහිල, උදේ ඉඳන් හවස් වෙනකල් සුදු මූනු දැකල, ඉංග්‍රීසියෙන් කතා කරල  ඒ හැමෝම ආව ගමන් අහන “හව් ආයූ ෆීලිං ටුඩේ?” කියන ප්‍රශ්නෙට උත්තර දීලම හෙම්බත් වෙලා හිටිය මගෙ හිත ඇතුළෙ මොකද්දෝ එළියක් දැල්වුණා.. නුහුරු රටක, හුරු පුරුදු නමක් ඇහෙන එක පවා ඒ තරම් සතුටක් ගේනවයි කියල මං අත්වින්දෙ  එදා. ඒ වෙලාව “ටේක් වන් ඩේ ඇට් අ ටයිම් මයි ලව්!” කියන සුද්දො සුද්දියන්ට වඩා මගෙ හිතේ තියෙන දරුණු දකුණු ආසියාතික දුක කිව්වම ඒක  හදවතින්ම අහන්න නම් ලංකාවෙන්ම ආව තවත් හිතක් ඕනෙ කියල තදින් දැනෙන්න අරන් තිබුණ වෙලාවක්. එහෙව් එකේ දකුණු ආසියාවෙන් ආව ආත්මයක් වුණත් මක්වෙනවද කියල ඒ මොහොතෙ මට හිතුණ.

හායි! ජනානි, මම ඩේව් චන්ද්‍රසේකරන්! මමයි කාර්ලයි තමයි අද ඔයාගෙ පුතා බලාගන්නෙ”


කාමරේට ඇතුල් වුණ මට එහෙම කිව්වෙ ජපන් මූණක්!


“එතකොට ඩේව් චන්ද්‍රසේකරන් කියන්නෙ ජපනෙක් ද??”


කලු දුඹුරු හමක් තියෙන, ලංකාවෙ නොවුනත් අඩුම තරමෙ ලංකාව අයිති කලාපයෙන් ආව, ටිකක් වයසක පහේ දොස්තර කෙනෙක් දකින්ඩ බලාපොරොත්තු වුණ මට ඩේව් චන්ද්‍රසේකරන් නමින් ජපනෙක්ව, ඊටත් පොඩි ජපං කොලුවෙක්ව දැකපු එක වෙන වෙලාවක නම් මගෙ හිතට මහ කුතුහලයක් වේවි. මගෙ මුඛරි කට ඩේව් පැත්තක තියල චන්ද්‍රසේකරන් කෑල්ලක් ජපනෙක්ට ආව කතාව දැනගන්න ඕනෙයි කියාවි. ඒත් ඒ එහෙම දවසක් නෙවෙයි. මහා කෝඩ දවසක්!  මගෙ හිත හඬා වැළපෙනව එළියට වුණත් ඇහෙන්න පුලුවන් දවසක්!


ඒක දරුණු ශාරීරික, මානසික වේදනා ගංවතුරක් දරාගෙන ඉන්න හිතේ ඉවුරු ඕනැම මොහොතක කඩා වැටෙන්න ඉඩ තියෙන බව දැනුන මොහොතක්!


“හෙලෝ ඩේව් සහ කාර්ලා, බොහොම ස්තුතියි මගෙ පුතාව හොඳින් බලාගන්නවට”

මං ජපන් කොලුවටයි, පිලිපීන හෙදිය කාර්ලටයි කිව්ව.
වෙනදට නන්නාඳුනන කෙනෙක්ටත් උණුසුම්, රැස් විහිදෙන හිතවත්කමක් පා කරන මගෙ හඬ එදා හරිම යාන්ත්‍රිකයි කියල මටම දැණුන.
“සමාවෙන්න මට ටිකක් වෙහෙසයි.” කියල ඒ වාක්‍යය අගට අමුණන්න හිතුණෙ ඒ නිසා.
පොඩ්ඩක්වත් නොවෙනස් සුහද හිනාවක් පාපු ඒ දෙන්න මට අසුන් පනවල තමන්ගෙ වැඩවලට ගියා. දවස් ගාණක් හෙම්බත් වෙලා, මානසික කම්පනයක උපරිම සීමාව අත්වින්ද ගැහැනියකගෙන් ඊට වඩා සුහදකමක් බලාපොරොත්තු නොවෙන්න එයාල අද්දැකීමෙන්ම දන්නව.


“ජනානි, ඇයි ඔයා වෝඩ් එකට ගිහින් විවේක ගන්නෙ නැත්තෙ?”


ඩේව් කිව්වෙ පැය ගණනක් ඉන්කියුබේටර් එක ළඟ පුටුවෙ වාඩි වෙලා කිසි කතාබහක් නැතුව ඔහේ ඉන්න මං දිහා බලං ඉන්න බැරි තැන වෙන්න ඕනෙ.
“මට තනියෙන් ඉන්න පුලුවන්, ඔයාල ගෙදර ගිහින් ටිකක් නිදාගෙන ඉඳල එන්න” කියල පෙම්බරයවත්, නංගිවත් පිටත් කරල, ටිකක් වෙලා තනියෙන් ඉන්න ලැබුණ එක කොච්චර දෙයක්ද කියල හිතුවට මොකද මොකද ඊලඟ මොහොතෙ ඒක දරුණු වේදනාවක් වුණා.

මං යන්තං හිනා වුනා.. මට එතකන් කල්පනා වුනේවත් නෑ එතන ඩේව් හිටිය බවක්.

“සමාවෙන්න මට, කමක් නැත්නම් මම අද මෙතන තව ටිකක් වෙලා ඉන්නම්. මට කාමරේ තනියෙන් ඉන්න බෑ වගේ.”

“අපොයි ඔයාට ඕනෙ තරම් වෙලා ඉන්න පුලුවන් මෙතන. මට හිතුණෙ ඔයාට රෙස්ට් කරන්න ඕනෙ ඇති කියලයි.  ඔයාට මූඩ් එකක් තියෙනව නම් අපි ටිකක් කතා කරමු. කතා කරමු කිව්වට හැබැයි මේ රූම්ස් දෙකේ ඉන්කියුබේටර් එලාම්ස් වැදුනොත් මට යන්න වෙනව. ඒ ගැන සමාවෙන්න.”

එච්චර ආචාරශීලී වෛද්‍යවරු මං ලංකාවෙදි හීනෙන්වත් දැකල තිබ්බෙ නෑ. එහෙම දකින්න මං කවදාවත් රෝහල්ගත වෙලා ඉඳලත් නෑනෙ. හිතාගන්නවත් ඉස්පාසුවක් දෙන්නෙ නැතිව  ජීවිතේ පළවෙනි වතාවට සිද්දවේගෙන ගිය සිදුවීම් ගණනාවක් මතක් වෙලා මගෙ හිත ආයෙත් මාව පුටුව උඩ තියල අවකාශයේ සැරිසරන්න ගත්ත.

“මම නෝට් කළා දෙයක්!  ඔයාලගෙ නම් හරිම දිගයි නේද?”

ඩේව් ගෙ ප්‍රශ්නය මගෙ කණේ ටික වෙලාවක් දෝංකාර දුන්න.
මං ආපහු අවකාශයෙන් හිත මං ළඟට ඇදගත්ත.

“ඔවු ඒක ශ්‍රී ලංකාවෙන් ආව ගොඩක් අයට පොදු යි. අපිට නම් ගො… “

“හානේ….. ඔයා ලංකාවෙන්ද? මගෙ තාත්තත් ලංකාවෙ. මගෙ අම්ම තමයි ජපානෙ.”

මට මගෙ වාක්‍යය සම්පූර්ණ කරන්න වුණේ වත් නෑ ඩේව් පැන්න ගමන් කිව්ව.
ඩේව්ගෙ හිනාව එයා හරියට එයාගෙ පිය පාර්ශ්වයෙ නෑදෑයෙක් දැක්ක වගේ දිලිසුණා.

“සොරි…… ඔයා කියන්න. ලංකාවෙන් ආව කෙනෙක් හම්බුනාම මම ටිකක් එක්සයිටඩ්”

මගෙ කතාවට බාධා කරන්න වුන එක ගැන ඩේව් හිනාවෙමින් කිව්ව.
මටත් හිනා ගියා. ඒ හිනාව මගෙ හිතේ අඳුරට මැටි පහනක ආලෝකය ගෙනාව.

“අපිට ගිවන් නේම්ස් ගොඩක් තියෙනව ඩේව්. ඒ විතරක් නෙවෙයි තව පරම්පරාවෙන් එන මහ දිග සර්නේම් එකකුත් ඒකට එකතු වෙනව. ඉතිං අන්‍තිමට අපේ නම පොඩි පොයම් එකක් වගෙ වෙනව.”

මම කිව්ව. දැන්වත් ඉවර වෙන්නෙ නැද්ද, කියල හිතෙන, අවසානය මොනවගේද කියල පේන්නෙ නැති පොතක් කියවනව වගේ දැනෙන හිතක් තිබුණට මොකද, මට ඒ වෙලාවෙ ඩේව් දිගු කරන සුහද දෑත ප්‍රතික්ෂේප කරන්න ඉඩ දුන්නෙ නැත්තෙ අර හිනාවෙන් නැගුණ ආලෝකය.

“ඔයාට ඩේව් කියල නමක් ලැබුණ හැටි මට හිතාගන්න පුලුවන්. ඒත් ඔයාට චන්ද්‍රසේකරන් කෑල්ල ලැබුණ විදිය ලස්සන කතාවක් වගේ.”

මං කිව්ව.

“ඔවු මමත් මගෙ සර් නේම් එකට කැමතියි. ඒත් අනිත් අයට ඒක හරි අමුතුයි. සමහරු මගෙ නම අහල මං දිහා බලන්නෙ ඒක නිකං නොගැලපීමෙ උපත වගෙ හිතල. මං ගොඩක් ජැපනීස් පාටයි නෙ. අඩු ගානෙ මට ජපන් මුල් නමක් තිබුණ නම් මං වඩා කැමතියි.”

ඇස් දෙක තවත් පොඩි කරල හිනා වෙලා ඩේවිඩ් චන්ද්‍රසේකරන් හෙවත් ඩේව් කිව්වම තමයි මම හරියට එයාගෙ මූණ දිහා බැලුවෙ.
අම්මගෙ මුහුණුවර වැඩියෙන් ඇවිල්ල ජපන් පාට වැඩි වුණාට, ඒ මූනෙ තිබුණ ශ්‍රීලාංකික හැඩ එතකොට මට පේන්න ගත්ත. ඝන ඇහි බැමි, තොල්වල තියුණු උඩු රේඛා, සෘජු නහය ඔහු ජපනෙක්ම නොවන බව කියන්නම සූදානම් වෙලා හිටිය.
“අපොයි නෑ, හොඳට බලන කෙනෙක්ට ඔයාගෙ මූණෙ ශ්‍රී ලාංකික හැඩත් ඕනෙ තරම් පේනවනෙ”

මම කිව්වෙ ඇත්තටම මට එහෙම පේන්න අරන් තිබුණ නිසා.
එයා හිනා වුණේ ඒක ගැන එයාට විස්වාස නෑ වගේ.


“මට නම් හිතෙන්නෙ නමක් ඇහිල අපේ හිතේ ඇඳෙන කෙනාට හාත්පසින්ම වෙනස් රූපකායක් දකින එක, ඒකෙන් කෙනෙක්ව විස්මයට පත් කරන්න පුලුවන් වෙන එක හරි අපූරුයි. ඔයාගෙයි ඔයාගෙ නමෙයි ඒ ගුණය තියෙනව. අනිත් අතට ලෝකෙම මානව වර්ගයා එහෙම මිශ්‍ර වෙන්න ඕනෙ, නමකින්, වාසගමකින්, පාටකින්, රූපකායෙ විශේෂතාවලින් මිනිස්සුන්ගෙ අනන්‍යතාව තීරණය කරපු කාලෙ දැන් ඉවරෙටම ඉවර වෙන්න ඕනෙ….”

නොදැනුවත්වම මම මගේ සුපුරුදු මුඛරිකමට වැටිල හිටිය.
ඩේව් මගෙ දේශනාව කටත් ඇරන් අහන් හිටිය. ඊට පස්සෙ කල්පනාවට වැටුණ.

“බිප් පීප් පිප් පිප් පිප්”

  යාබද කාමරේ ඉන්කියුබේටරවාසී පුංචි ජීවියා තමන් හුස්ම ගන්න හැටි වෙනස් වෙන බව දැනුම් දුන්නා.

“ඔයා ඒක විග්‍රහ කරපු විදියට මම හරි කැමතියි ජනනි. මං දුවනව. පසුව හමු වෙමු.”

ඩේව් ගාල කඩාගෙන ඒ කාමරේට දිව්ව.
ළදරු දැඩි සත්කාර ඒකක එහෙමයි. එතන නිශ්චිත යමකට තියෙන්නෙ අවිනිශ්චිතතාව විතරයි.

“ඔයාල බබාට නමක් තිබ්බ ද?”

ඊලඟ දවසෙ පුතාව බලන්න හිටිය හෙදියත් ඇහුව. ඉපදුණ දවසෙ ඉඳලම දකින දකින හෙදිය මගෙන් නම අහන එක, නූපන් දරුවන්ට නම් ලෑස්තිකරන සිරිතක් නැති ආසියාතික රටකින් ආව මට තරමක වදයක් වුණා. 

“තවම නෑ…” 

මං ආයාසයෙන් හිනාවක් ඇඳගත්ත.

“නමක් දැම්මම කියන්නකො, මට එයාගෙ ඉන්කියුබේටර් එකට ලස්සන නේම් ටැග් එකක් හදන්න ඕනෙ ඒකයි..”

එයා තව දුරටත් කිව්ව.
ළදරු දැඩි සත්කාර ඒකකයෙ හෙදියො එහෙමයි. ඒ පුංචි ජීවීන්ගෙ කටයුතු බොහොම ආදරෙන් කරුණාවෙන් කරන්නෙ හරියට අපිඑක්ක කතා කරනව වගේම හැබැයි හරිම මෘදු හඬින් කතා කරමින්. එයාල ඒ දරුවන්ව අපිටත් කලින් එයාලගෙ කරගන්න බව මට මේ දවස් කීපයට වැටහිලා තිබුණ නිසා,කොච්චර වදයක් වුණත් එයාලගෙන් තරහ පිට කරන්නෙ නැතිව ඉන්න මං උත්සාහ කළා.

ලංකාවෙ අපිට දරුවෙකුට නම් තියන එක, එයා ඉපදුනාට පස්සෙ පවුලම එකතුවෙලා කරන දෙයක් ය, ඒකට සුභ අකුරු බලනව ය, ගණ පිහිටවනව ය කියල දීර්ඝව විස්තර කරන්න තිබුණනම් හොඳයි තමයි. ඒත් හිතේ හයිය ඔය හැම දේකටම ක්ෂය කරගන්න ඒවෙලාවෙ මට පුලුවන් කමක් තිබුණෙ නෑ.

“අපි ඉක්මනින් එයාට නමක් තියනව”

කියල කෙටියෙන් කියල ඉඳගන්න හැරෙන කොටයි මම දැක්කෙ ඩේව් මේ කතාව අහන් හිටිය බව.

“එයාල ඔය නමක් තිබ්බද අහන්නෙ ආදරෙන් කතා කරන්න. එහෙමයි කියල ඔයාල නමක් තියන්න හදිස්සි වෙන්න ඕනෙ නෑ. වෙලාව අරන් ලස්සන නමක් තියන්න. ශ්‍රී ලංකාවෙ අයට බබාට නම තියන එක පොඩි ඉවෙන්ට් එකක් කියල මම දන්නව.”

සොෆී පොඩ්ඩක් පැත්තකට වෙනකල් ඉඳල ඩේව්  කිව්වෙ හරියට මගෙ හිත කියවල වගේ.

ඒත් මගෙ හිත වද දෙන්න ගත්ත. මෙහෙ මිනිස්සු ඔය වෙලාවල්, අකුරු ,ගණ පිහිටවන්නෙ නැතුව කලින්ම නමක් හිතල තියන එක මේ වගෙ වෙලාවක කොච්චර නම් ප්‍රායෝගික ද?

පුතාට  ඉක්මණින්ම නමක් ඕනෙමයි කියල මට දැනෙන්න ගත්ත. ඒ පාර මං කාටවත් නොකිය නම් හොයන්න ගත්ත.

“එයාට තවත් “බේබි කුරුප්පු” කියන්ඩ දෙන්ඩ බෑ. එයාට නමක් ඕනෙ. හදිස්සියෙ අපිව දාල යන්න වුණොත් එයාට නමක් නැතුව යන්න දෙන්න බෑ..”

“මොකටද නම් තියන්න හදිස්සි වෙන්නෙ” කියල අහපු පෙම්බරයටත්, මං හොයපු නම් ගැන හිතල බලන්න තව වෙලාව ඕනෙ කියාපු නංගිටත් කවදාවත් නැති විදියට මම ගර්ජනා කළා.
ඒ දෙන්නගෙ ඇස් උඩ ගියා. මම තෝරන නමකට එයාල එකඟ බව කිව්ව.
කලින් නමක් නැති පුතා බලන්න ගිය අපි එදා ගියේ “යුකිත” කියල අපි නම තියපු අපේ පුතාව බලන්න.

“ඔයාලට පුලුවන් එයාට “යුකී” කියන්න.”

යුකීටා, යුකීට කිය කියා අමාරුවෙන් ඒ නම වර නගන හෙදිය ජොඈනාට මම කිව්ව.
පහුවදා මම යනකොට ලස්සන පොඩි නාම පුවරුවක් ඉන්කියුබේටර් එකේ අලවල තිබුණ.

යුකී!

පුංචි දුඹුරු වලහෙකුත්, හාවෙකුත් නරියෙකුත්, බකමූණෙකුත් ඒ නාම පුවරුවෙ හිනාවේගෙන හිටිය.

ඒ එක්කම ඩේව්ත් ආව. කාමරේ පුංචි වෙනස්කම් එයාලට හොඳට ඇහැට හසු වෙනව. 

“හා…..නේ ඔයාල එයාට ජපන් නමක් තියලනෙ. යුකී කියන්නෙ ජපන්වලින් හිමවලට, තව ධෛර්යයට” 

ඩේව් ගෙ ඇස් ඒ වෙලාවෙ තරු දෙකක් වගේ වුණා. දඩිබිඩි ගාල ඇවිත් මට හග් එකකුත් දුන්න.

“මට හරිම සතුටුයි. බොහොම ස්තුතියි “ ඔහු කිව්ව.

නමේ අක්මුල් මොන දේශෙන් ආවත්, නමට මොන තේරුම් තිබුණත් ඒ පුතාට ගැලපෙනම නම කියල මට එවෙලෙ හිතුණ.

ඒක අපූරු මොහොතක්!

ගිනි කඳු පපුව මැද ඇවිලෙද්දිත් අහම්බෙන් හිතට සතුටක් රිංගපු වෙලාවක්!

ඉතිං…ඊට වඩා කිසි දෙයක් මොකටද?

කාලයක් සිසිර තාරක නින්දෙ ඉඳල එකපාරටම නැගිටල ලියන්න ගැනීමත් එක්තරා ප්‍රීතියක්. වෙනද වගේ නිදහසේ ඉඳගෙන, හෙමින් පෙලගස්ස ගස්සා ලියන්න වෙන එක නම් ඉතිං තව සෑහෙන කාලෙකට හීනයක් විතරයි. ඒ නිසා අවාරෙට අඹ වැටෙන්න වාගෙ ලියන ලියවිල්ලක් ගැන විතරක් බලාපොරොත්තු තියන්ඩලා…

ලියපං ලියපං කියල පයිං ඇනල මාව ඇහැරෝපු බුරතීනො අයියත්, දොරකඩ ගහේ බස්සයියත්, අවුරුදු ගාණක් බ්ලොග් ලිව්වට ගිය සතියෙ දෙන්නට දෙන්න හඳුනාගත් ප්‍රීතිය සමරන්න හරි ලියපං කියමින් ආයෙ ලියන්ඩ ආව සිතිවිල්ලට පෝර දැමූ හෙල්මලී අක්කටත් පින්!

අවසර එහෙනං!

Posted in Uncategorized | 17 Comments

බ්‍රින්ග් බැක්මයි බොනි ටුමී…!

මයි බෝනී ලායික් ඕව දී ඕ..ෂන්…
මයි බෝනී ලයික් ඕව ද සී

මං කුස්සියට ආවෙ සින්දුවෙන්. ඒකත් මහ හයියෙං..
මගෙ සද්දෙට කුස්සි කෑල්ලෙං කෑම කාමරේට යන උලුවස්සට ටිකක් එහයිං ලොකු වංගෙඩිය ලඟ පුටුවෙ ඇස් දෙක පියං, කකුලප්පිට කකුලක් දාගෙන තාලෙට උඩ කකුල වනවන හිටිය අත්ත ගැස්සිලා ඇස් ඇරිය.

මොකද්ද බොල කෙල්ලෙ ඒ සින්දුව? අත්‍ත ඇහුව

අත්තගෙ අතේ තේ කෝප්පෙන් ලතාවකට දුම් විහිදුනා. උදේ පාන්දරම අඹුඩෙට බැහැල, දවස පුරාම වත්ත පල්ලෙහා වැට ඉණි හිටවල ඇවිල්ල, හවස ඉස්කෝලෙ ඇරිල ආව මල්ලිවයි මාවයි අල්ලල ලිඳ ලඟට හෙනිහිං අපුල්ලල ඇඟ හෝදවල අම්මට බාර දීල රෑට කෑම හැදෙනකල් එයා පුටුව උඩට වෙලා තේ කෝප්පෙ තොල ගගා ඉන්නව. ඔය වෙලාවට ඉතිං අම්මයි ආච්චිඅම්මයි කුස්සියෙ  උයනව. මල්ලි එයාගෙ චූටි තුරුල් කොට්ටෙත් තුරුල් කරන් අම්ම වටේ දැවටි දැවටි නිදිකිරා වැටෙනව.
අද කලින් ගෙදර ආව තාත්තා කෑම මේසෙ උඩ ඉඳිආප්ප තට්ටු වනාගෙන තාත්තා ඉඳිආප්ප මිරිකනව.
 
ආ… ඒක තමයි මයි බොනී ලයික් ඕව දි ඕෂන්. අපේ ඉංග්‍රිසි  පන්තියෙ සිංගිං ඩේ එකට අපි කියන සින්දුවක් අත්තෙ..

තාත්ත අහල තියෙනවද මයි බොනී…?

අත්ත එක්ක කතා කළාට තාත්තත් මං දිහා බලං ඉන්න බව ඇස් කොණිං දැකපු මං තාත්තවත් සම්බන්ධ  කතාවට සම්බන්ධ කරගන්න බැලුව. ඔවු කියන්ඩ තොල් තද කරගෙන ඔලුව උඩ පහල වනපු තාත්ත ඉක්මනින්ම ආපහු ඉඳිආප්ප තට්ටු දිහා බලා ගත්ත.
බුලත් විටක් කාල් කෙල පුරවගත්තම තාත්ත කතා කරන්නෙම ඔහොම

මං ඉතිං ආයෙ සින්දුව පටන් ගත්ත.

මයි බෝනී ලායික් ඕවා දී ඕ..ෂන්…
මයි බෝනී ලයික් ඕවා ද සී
මයි බෝනී ලායික් ඕවාදී ඕ..ෂන්…
ඕ බ්‍රිං බැක් මයි බෝනී ටුමී

බ්‍රීං බෑක් ඕ බ්‍රීං බෑක් ඕ බ්‍රිං බැක් මයි බෝනි ටුමී ටුමී
බ්‍රීං බෑක් ඕ බ්‍රීං බෑක් ඕ බ්‍රිං බැක් මයි බෝනි ටුමී

අත්ත දන්නවද ඒකෙ තේරුම? ඒ කියන්නෙ අත්තෙ ඔන්න බොනී කියල කෙනෙක් හිටියලු එයා මුහුදට ගොඩක් ආසයිලු.ඉතිං එයා මුහුදෙන් එහාට ගිහිල්ල. බොනීගෙ යාලුව තමයි මේ සින්දුව කියන්නෙ. එයාට බොනීව ගෙනත් දෙන්න කියල. තේරුණාද අත්තට??
මං බොහොම බැරෑරුම් තාලෙට අත්තට සින්දුව සිංහලට හරවල දුන්න.

තමන් කෙල්ලගෙ ගායනය ගැන තඹ දොයිතුවකට තැකීමක් නෑ කියල පෙන්නන්න හැදුවට මොකද මගෙ පරිවර්තනය ඇහුණම තාත්තට බකස් ගාල හිනා පැන්න. ඒ කියන්නෙ එයා විටක් නෙවෙයි හිනාව තමා මෙච්චර වෙලා හප හප ඉඳල තියෙන්නෙ…

මයි බොනී ලයික් නෙවෙයි ලොකු බල්ලො ලයිස් ලයිස්, මයි බොනී ලයිස් ඕවර් දි ඕෂන්.
තාත්ත කිව්වෙ හිනාව නැවතුනාම.
ඒ කියන්නෙ එයා ඉන්නෙ මුහුදට එහායින් කියල.

නෑ තාත්තෙ, ලයික් තමයි හරි. තරංගනී ලියං තිබුණෙත් එහෙම. අනික ලයිස් කියන්නෙ බොරු වලටනෙ. ඇයි අර ජොනී ජොනී යෙස් පපා සින්දුවෙත් තියෙන්නෙ ටෙලිං ලයිස් නෝ පපා කියල.

තාත්ත මං දිහා බලං හිටිය. කටත් ඇරිල, කර කර හිටිය වැඩෙත් අමතක වෙලා.

දැං බොලාගෙ හෝම්වර්ක් ඔව්වද?

කෙල්ලගෙ මේ තර්කය බිඳින්නට කලිං ඉංග්‍රිසි  භාෂාවෙ එක සමානව ඇහෙන සමානව ලියන, ඒත් වෙනස් තේරුම් තියෙන වචන ගැන ඒත්තු ගන්නන්ඩ තමාට සෑහෙන අසීරු පැහැදිලිකිරීමක් කරන්න වෙන බව තේරුණාම තාත්ත තීරණය කළා පසුපසට අඩියක් තියන්න. 

ඉස්කෝලෙ හෝම් වර්ක් ඉවරයි තාත්තෙ. හෙට ඉංග්‍රීසි පන්තියෙ සිංගිං ඩේ නෙ. ස්පෙලිං ටිකක් පාඩං කරන්ඩ තියෙනව කාල ඉවර වෙලා.

හා එහෙනං ඇවිල්ල මෙන්න මේ තට්ටු ටික පෙලට තියනව..
තාත්ත මාව හෙමින් සැරේ එයාගෙ වැඩේට සම්බන්ධ කරගන්නව.

කණිෂ්ටෙ ඇරිල හැමදාම අපි කට්ටිය පාරෙ දකුණු පැත්තෙං ඇවිදගෙන බඩ මැද්දෙන් තියාගෙන  අයිස්, රටකජු පැකට්, පේස්ට්‍රි විකුණන හංග්‍රි බෙයා කඩේ පහුකරගෙන ශ්‍රියානි ආන්ටිලගෙ ගෙදරට එනව. ගෙදර ලැටිස් ගහපු ඉස්තෝප්පුව ඉස්සරහ
ලොකු අඹ ගහක්. අපි ඉංග්‍රීසි පන්තිය ඉවර වෙලා අම්මල එක්කන් යන්න එනකල් සෙල්ලම් කරන්නෙ ඒ ගහ යට බෑක් තියල.ගෙදර වම් පැත්තෙ මල් ආරුක්කුවක් ඇතුලෙන් ගිහින්  පඩි දෙකක් නැගල දොරෙන් ඇතුල් වෙලා ආයෙ බැස්සම ලස්සන මැද මිදුල තියෙනව. පන්තිය තියෙන්නෙ ඒක පහුකරන් ගියාම තියෙන දැල් ගහපු කොට බිත්ති තිබුණ කාමර කෑල්ලෙ.
මං පන්තියෙ ආසම දවස තමයි බදාද.  එදාට පන්තිය කලින් ඉවර කරල අපි ශ්‍රියාණි ආන්ටිගෙ පියානො එක වටේ හිටගෙන නර්සරි රයිම්ස් කියන දවස. එයා ලස්සනට තාලෙට පියානෝ වාදනය කරනව අපි සින්දු කියනකල්. එයාගෙ පොඩි පුතා ශමල් අයිය ගෙදර ඉන්න දවසක් නං එයත් අපි එක්ක එකතු වෙලා සින්දු කියනව. හරි විනෝදයි.

ඉස්කෝලෙදි මං එදා දවසම ඉන්නෙ කොට බිත්තියෙං බෙල්ල එලියට දික්කරං. ලොකුසර්ගෙ ඔෆිස් එකෙන් බෙල්ලයිය එලියට බහිනව දැක්ක මගෙ හිත සන්තෝසෙන් බට්ට පනින්ඩ ගන්නව. තුන වසරෙ ලමයින්ට ඔරලෝසු බඳින්ඩ බෑනෙ ඒ කාලෙ. ඉතිං බෙල්ලයියා තමයි අපි කාගෙත් ඔරලෝසුව. මං වමතිං ලියන හන්ද පේලියෙ එකට ඉඳං ඉන්න යාලුවො මාව බිත්තියෙ අයිනෙම පුටුවට දානව නැත්තං ලියන වෙලාවට වැලමිටි කඩු සටන් කරන්න වෙනවනෙ. වෙනදට නං ඒකට එච්චර ආස නැති වුණාට  බදාදට නං කොට බිත්තිය ලඟ හිටිය එක ගජ වාසියක් වගෙයි දැණුනෙ.

ටාං ටාං ටාං ටං ටාං..!
අන්තිම බෙල් එක වදිනව
එක පාරටම පුටු පස්සට දාන සද්දෙ, පුටු ඩෙස් උඩින් නවන, ළමයි පොත් බෑක් හදාගන්න ගමං කතා කරන සද්දෙං මුලු ඉස්කෝලෙම පිරෙනව.
ටාං ටාං….
ඊලඟ කොට බෙල් එකට ඉස්කෝලෙම නිහඬ වෙනව.    ඒ බෙල් එකට අඩංගු නොවුණෙ ඉඳහිට අඬපු කාක්කො විතරයි.
යෝවදතම්පවරෝ මනු ජේසු….
එකොලහ වසරෙ අයියල අක්කල මහ හයියෙන්  ඡත්ත මානවක ගාතා කියන්න ගන්නව.
අපි හැමෝම පාඩං පාඩං තැංවලිං එයාලට එක්කාසු  වෙනව.
රීඩ්ං ඉවර වෙලා රයිටිනුත් ඉවර වෙලා ආන්ටි අපෙන් එයා කලින් දවසෙ දුන්න වචන දහයෙ ස්පෙලිංස් පාඩං ගන්නව.
සින්දු කියන්ඩ මිසක් ස්පෙලිං පාඩං කරන්ඩ කිසිම උනන්දුවක් නැති මට දිග වචන මතක හිටින්නෙම නෑ. දවසක් අපිට දුන්න වචන අතරෙ ස්ට්‍රෝබෙරි කියල තිබුණ. ඒ වචනෙ දැක්කමත් මට තරහයි. පොතකිං ඇරෙන්න ස්ට්‍රෝබෙරි ගෙඩියක් දැකල නැති, මකනයක් ඉඹල මිසක ස්ට්‍රෝබෙරි රස සුවඳ නොදන්න එකේ  එච්චර දිග වචනයක්  ඉංග්‍රීසියෙං ලියන්නෙ කොහොමද කියල දැනගෙන වැඩක් නෑ නෙ කියලමයි මට හිතුණෙ
ස්පෙලිං පාඩම් ගන්න කලිං මමයි පියුමියි දෙන්න එකිනෙකාගෙං වචන ටික පාඩම් ගන්නව.
එස් ටී ආර් ඕ බී.. මං ස්ට්‍රෝබෙරි ස්පෙල් කරනව.

වැරදියි… පියුමි කට ඇද කරනව.

එහෙනං …?

එස් ටී ආර් ඒ ඩබ්ලිව් බී ඊ ඩබල් ආර් වයි. පියුමි කියාගෙන යනව.

ස්ට්‍රෝ කියන්ඩ ඒ අකුරකුයි ආර් අකුරකුයි කොහෙන්ද එන්නෙ කියල හිතාගන්ඩ බැරිව මං බලං ඉන්න හැටි දැකල පියුමි පැන්සල අරන් මගෙ ගවුම් කොලර් එකේ ස්ට්‍රෝබෙරි කියල ලියනව.
පෝලිමේ ඉන්න ගමන් බලල පාඩම් කරගන්න. එයා අණ දෙනව.
ඉතිං අපෝලිමේ ඉන්න ගමන මම කොලර් එක ඉස්සරහට ඇදගෙන අමාරුවෙන් ඒක දිහා බල බල ස්ට්‍රෝබෙරි පාඩම් කරනව. 

ස්පෙලිං ඉවර වෙලා පොඩි විවේකයක් එහෙම අරන් අපි ගෙදර සාලෙට ගිහින් පියානෝ එක වටේ රවුමට ඉන්නව. හොඳට සිං කරන අය ඉන්නෙ ඉස්සරහ  පේලියෙ. මං ගොඩක් වෙලාවට ඉන්නෙ පියානෝ එක ලඟම ශ්‍රියානි ආන්ටිට පේන තැනක.

ආන්ටිට පොතක් තිබුණ. එයා ඒක දිහා බලං තමා පියානෝ එක වාදනය කරන්නෙ.  එයා සින්දුව මොකක්ද කියල කියනව පටන් ගන්න කලින්. වාදනය අස්සෙ එයාගෙ ඉඟිය අනුව අපි සිං කරන්න පටන් ගන්නව

පැටකෙක් පැටකෙක් බේකස් මෑන්
බේක් මී අ කේක් ඈස් ෆාස්ටෑස් යූ කැන්
රෝලිට් ඇන්ඩ් පැටිට් ඇන්ඩ් මාකිට් විත බී
පුටිට් ඉන්දි අවන්ෆෝ බේබි ඇන්ඩ් මී

සින්දුව කියා ගෙන යනකොට මට ඉතිං හිතෙනව හැමදාම කියනවට වඩා පොඩ්ඩක් වෙනස් කරන්න ඊලඟ කොටස අනිත් අයට පොඩ්ඩක් පහු වෙලා පටන් ගන්න.  අපේ අම්ම සමස්තලංකා තරගවලට අයියල අක්කලගෙ ගායනා පුරුදු කරද්දි එහෙම කරනව මං අහල තියෙනව.
එතකොට එයාලයි මමයි කියන නෝට්ස් ලස්සනට හාමනි වෙලා ඇහෙන්න ගන්නව.

ෆො බේබි ඇන්ඩ් මී ෆො බේබි ඇන්ඩ් මී
දෙයා විල් බී ප්ලෙන්ටී ෆො බේබි ඇන්ඩ් මී.

ප්ලේ කරන අතරෙ මං වෙනම අනිත් අයට පස්සෙ ගයන්න පටන් ගත්ත බව දැණුනම ආන්ටි ඔලුව උස්සල මං දිහා බලල  ලස්සන හිනාවක් දානව. ආන්ටි හරි ආසයි මං එහෙම හිතල සින්දු ලස්සන කරනකොට.

ආන්ටි අපි මේරි හැඩ ලිට්ල් ලෑම්බ් සින්දුවෙ අන්තිම පේලිය අග දෙපාරක් සිං කරමුද?

ආන්ටි අපි අද කේසෙරා සෙරා ඉස්සෙල්ලම කියමුද?

හැමදාම බදාද පන්තිය පටන් ගන්න කලිං ගිහින් මං එදා දවසෙ ගායනා ගැන මොකක්ම හරි යෝජනාවක් කරනව. ශ්‍රියානි ආන්ටි එයාගෙ මුතු අහුරක් වගෙ ලස්සන හිනාවෙන් ඒව ඉවසනව.

සුන්දර ලපැටි මතක අහුරු අහුරු හිතේ පොපියනව.

දශක තුනකටත් එහා ඉංග්‍රීසි පන්තියෙ බදාදා ගායනා මතකෙන් චූටි යුකියට පේන්න නටමින් රඟපාමින් නර්සරි රයිම්ස් කියන වෙලාවට අහම්බෙන් ඇස් දෙක පියාගත්තොත් මට පේන්නෙ සැතපුම් දහස් ගාණක් දුරින් තියෙන සෙනරත්පායෙ  සාලෙ මැද ශ්‍රියානි ආන්ටි පියානෝ එක ප්ලේ කරනව. එයාට ඉස්සරහහින් හිටගෙන පියානෝවට මුක්කුවකුත් තියාගෙන ඔලුව වන වනා සින්දු කියපු පුංචි ගෑනුළමයා සහ එයාගෙ යාලුවො ටික ඒ එක්කම අත්වැල් අල්ලන් හිතට එනව.

හිටි අඩියෙ අම්මගෙ කෝලම් නැවතුන බව දැණුනම සිඟිති අතක් මගෙ මූණෙ වදිනව.
හිනාවක් එක්ක මං ඇස් අරිනව.

දන්නවද යුකියො, පුංචි කාලෙ මතකෙන් ජීවිත කාලයක් ගෙවන්න පුලුවන්..

මං  චූටි යුකියට කියනව.

හරියට මං කිව්ව දේ තේරුණා වගේ ඒ පුංචි මූණෙ අපූරු හිනාවක් ඇඳෙනව.

පින්තූරෙ ලැබුණෙ මෙතනින් https://www.music-for-music-teachers.com

Posted in Uncategorized | 1 Comment

වල්ගතරුවක්…!

“තාත්තෙ?”

“ඇයි බල්ලො?”

උදේ වැඩට යන්ඩ සැරසිලා  මගෙ කාමරේට ඇවිත් ඕඩිකොලොං බෝතලේ ඇඟට හලාගනිමින් හිටිය තාත්ත මගෙ දිහාට හැරුණ.

“නෑ… මේ… මේ… අර වල්ගතරුව, හේල්බොප්..අන්න ඒක බලන්ඩ. ඒක අපිට පේන්නෙ අද ඉඳල… ඒක පේන්නෙ උතුරු පැත්තෙං කියල කිව්වෙ.. ඒක හවස පහමාර හයවගෙ වෙද්දි පේනව කිව්වෙ අහසෙ උතුරු දිශාවෙං මැද හරියට වෙන්….

ආහ්…. ඒකට ද?

ආතර් සී ක්ලාක් ගෙ පොත් කියවල, තව සතිපතා විදුසර පත්තරෙයි සමුදුර පත්තරෙයි ඔය වල්ගාතරුව ගැන විතරක් නෙවෙයි  අටෝරාසියක් තරුරටායි, සෞරග්‍රහ මණ්ඩලෙයි, මන්දාකිණියි, ග්‍රහකයි ගැන පලවෙච්ච ලිපි අකුරක් නෑර කියවල දැනුමෙන් ආඪ්‍ය වෙලා ඉන්න ලොකු බල්ලට මේ උදේ පාන්දර මෙහෙම කටකමසිරියාවක් නැතුව  කියවන්ඩ ඉඩ දුන්නොත් හෙම වල්ගාතරුවෙ දිග පළල උස විතරක් නෙවෙයි තව ටිකකිං විශ්වයේ උපත ගැනත් කියාගෙන යන්ඩ ඉඩ තියෙන බවත්, ඒකෙං මේකෙං තමාට පහයි හතලිස්පහ අල්ලගන්ඩ බැරි වෙනබවත් දන්න තාත්තා මැද්දට පැනල බාධා කළා.

“හරියට කියන්ඩ බෑ බල්ලො… බස් පරක්කු වුණොත් එහෙම ඉතිං රෑ වෙනවනෙ. බොලා මල්ලියි අම්මයි එක්ක බලන්ඩකො…”
තාත්ත එහෙම කිව්වම මගෙ මූණ ඇද වුණා.

මං ඔය වල්ගතරුව ගැන තාත්ත එක්ක කියවල ඇති ඔය වෙද්දි සිය වතාවක්වත්. ඔය කාලෙ ඉතිං අන්තර්ජාලය හැම අතකම කෙසේ වෙතත්, හැම දොරකඩකවත් නෑනෙ. ඉතිං පත්තර සඟරාවල පිහිට තමයි. මාස ගාණක් තිස්සෙ ඒක ගැන පලවෙච්ච් දේවල් කියවල කියවල දැං ඕක බලන්ඩ මට තියෙන උනන්දුව ආකාශවස්තු පර්යේෂණ ආයතනෙටවත් නැතුව ඇති.

“අනේ එයාල ටිකක් වෙලා බලල යනව නෙ.  එයාල ඉන්නෙ නෑ රෑ වෙනකල් .අර උල්කාපාත වැස්ස දවසෙ මතකනෙ තාත්තෙ මල්ලිට නිදිමත වුණ හැටි. මට හොඳට බලන්ඩ ඕනෙ මේක නං.”

ඒ පාරනං මං මැසිවිල්ල කියාගෙන කියාගෙන ගියා.

“හරි හරි හරි මං බලන්නංකො ඉතිං කලිං එන්ඩ”
බේරුමක් නැති තැන තාත්ත කිව්ව.

හරි හරි හරි කියල ඔලුව හොලවපු තාලෙට තාත්තගෙ දිග කොණ්ඩ කැරලිත් හෙලවුණා.

සම්පූර්ණ පොරොන්දුවක් නැතත් කලින් එන බවට බාග පොරොන්දුවක් හරි ලැබුණ එක සෑහෙන්න වටින නිසා  මේ උදේ පාන්දර  ඊට වඩා කණිපින්දං කීමෙන් අත් වෙන සෙතක් නැති බව මං දන්නව. ඒ හන්ද මාත් ඉතිං ඉස්කෝලෙ යන්ඩ පොත් බෑක් එක සූදානං කළා.
හරේ… ඒ කියන්නෙ තාත්ත අද කලිං එනව.
මගෙ හිත සංතෝසෙං කොට්ට පිනුං ගහනව. ඉහ වහ ගිය සංතෝසෙං ඉවසිල්ලක් නැතිව ගිය පාර, කාලසටහන බලල පොත් ටික දාගන්ඩ පවා වෙලාව නාස්ති කරන්ඩ බෑ කියල හිතිල මං මේසෙ උඩ තියෙන අච්චු පොත්, කොපි පොත් සේරෝම බෑක් එකට පුරව ගත්ත..

“ඒයි ඒයි… ඔය මොකද්ද ඔය කරන්නෙ… බොලාට කාලසටහන මං ලියල බිත්තියෙත් ගහල දුන්න නේද පහුගිය දවසක. ඒක  බලල ඕනෙ පොත් ටික ගෙනියන්ඩ බැරිද තාම.”


තාත්තා ඔලුව පීරන ගමං කණ්නාඩියෙන් මං ගැන අංජනමුත් බලනව.

මේ වෙලාවේ එහෙම කරන්ඩ හේතු ඉදිරිපත් කිරීම, එකට එක කීම අවාසිදායක ලෙස බලපාන්ඩ ඉඩ තියෙන නිසා මං කරබගෙන ආයෙත් පොත් ටික එලියට අරං කාලසටහන අනුව පිලිවෙලකට ඇතුලට දාගත්ත.

ඒ අස්සෙත් මං හිතෙං අද හවස වල්ගතරුව  බලන හැටි සැලසුම් කළා.

තාත්තෙ..”


“ඒ පාර මොකෝ බල්ලො?”


“අපිට දැං කුස්සියෙ ස්ලැබ් උඩ ඉඳං මරු එකට ඒ වල්ගතරුව බලන්න පුලුවන්.”

“ඈ…බොලා කොහොමද දන්නෙ ඒකට නගින හැටි?”

තාත්තා මට පිටුපාල හිටියත් ඇස් උඩ ඉන්දගන්න හැටි මට කණ්නාඩියෙන්  පෙනුනා.

“නෑ මං කිව්වෙ මේ… පත්තරේ තිබුණ තාත්තෙ උස තැනක ඉඳල බැලුවම හොඳට පේනව කියල ඒකයි.”

ගෙදර පිටිපස්සෙ කෑල්ල හදන කාලෙ කාමරවලයි කුස්සියෙයි උඩ බිත්තිවලට අල්ලල කොංක්‍රීට් ස්ලැබ් හැදුවෙ ගබඩා පහසුවට. බිත්ති ටික බැඳගත්තට මොකද අපිට වහලෙ ගහගන්ඩ සල්ලි තිබුණෙ නෑ කාලයක් යනකල්. ඉතිං ඒ කෑල්ල අහසට විවෘත හන්ද  මල්ලියි මායි ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල පිටුපස්සෙ වඩු බංකුවට නැගල ස්ලැබ් එකේ එල්ලිලා නැගල හවස අම්ම කෑ ගහල බස්සනකල් ඕක උඩ කියල තාත්ත තාම දැනගෙන නෑ එහෙනං.


” නෑ නෑ… මං එනකල් කවුරුත් නගින්නෙ හෙම නෑ.
“බොලා දෙන්නත් එක්ක මං නැති අතරෙ අම්මගෙ
ඇස් වහල නගිනව නේද ඒකට?”

තාත්තාව එහෙම  මගෙ ලුණුගොරකවලිං  තම්බන්ඩ ලේසි නෑ. ඒ හදන්නෙ මාව කටෙං අල්ලගන්ඩයි.

” නෑ තාත්තෙ, අපි  නගින්නෙ නෑ තාත්ත එනකල්. මං තාත්තට කලිං එන්ඩ කිව්වෙත් ඒක නෙ ඉතිං..”
 
ඒ වගේ වෙලාවල මීක් කියන්නෙවත් නැතුව ඉන්නවට වඩා අහිංසක තාලේ උත්තරයක් දීම තමා හරි යන්නෙ කියා අද්දැකීමෙන් දන්න හන්ද මං කිව්ව.

හා මං යනව එහෙනං….

තාත්ත හැඩ වෙලා ඉවරයි

“අනේ හොඳ තාත්ත වගෙ අද කලිං එන්ඩ, හා නේද? එනව නේද? “
මං හැමදාමත් වැඩට යන්ඩ කලිං කරන විදියට තාත්තව වැලඳ ගත්ත.

“එන්නංකො එන්නංකො…”


එහෙම කියල තාත්ත වැඩට ගියා.

හේල් බොප් කියන්නෙ මගෙ ජීවිතේ ඉස්සිස්සෙල්ලම  දෙයියනේ  කියල පියවි ඇහෙං දකින්ඩ ලැබෙන වල්ගතරුව. මට ඕනෙ හවස ඉඳලම ඒක පායනකල් රැකගෙන අහස දිහා බලං ඉන්ඩ. අම්මයි මල්ලියි ඉතිං ඇවිත් පොඩ්ඩක් ඕක බලයි. ඊට පස්සෙ මල්ලි සෙල්ලං කරන්ඩ දුවයි, අම්ම උයන්ඩ තියෙනව කියල යයි. මට ඉතිං එහෙම බෑනෙ. ඒක හොඳට බලාගන්ඩ ඕනෙ.

ඉතිං ඕකට තාත්ත මොකටද? බලාගන්ඩ බැරියැ තනියෙං ඇති තරං…

මං එදා හවස තුනේ විතර ඉඳං දොරකඩ පේර ගහේ දෙබලට නැගල දංසාලාව ලඟ හෝල්ටෙකේ නවත්තන බස් දිහා බලං හිටිය. කොළඹ ඉඳං එන හවස පහේ බස්සෙකෙං තාත්ත බහිනව දැක්කම මං කිසි කිසි ගාල පේර ගහෙං බැහැල කඩුල්ල ලඟට දිව්ව. 
“හොඳ….. තාත්ත”

එහෙම හිතුණ නං ඒක වැරදියි.

ඒකාලෙ මං ඔය ආකාශ වස්තු ගැන දැඩි උනන්දුවෙක් වුණාට මොකද පොඩි  පරහකට තියෙන්නෙ මට එව්ව දිහා තනියෙන් දිහා බලං ඉන්ඩ බයයි. කොටිංම ඒකාලෙ මං දේදුන්නටත් බයයි.
තාත්තට කලිං එන්ඩ කියන්නෙ ඒකයි.
රෑ ගණන් එක එක ග්‍රහලෝක බලන්ඩයි, තරු රටා බලන්ඩයි, දවල් ගෙදර ඉන්න දවසක යන්තං වැහිඇල්ලක් ගියත් දේදුන්න බලන්ඩ කියලයි මාත් එක්ක මිදුලෙ ඉඳල තියෙන හන්ද තාත්ත දන්නව මගෙ ආකාශවස්තු භීතිකාව ගැන. ඉතිං සතියෙන් සතිය වෙනස් වෙන මගේ විනෝද ව්‍යාපෘතිවලට සහයට මිදුලට එන එක කොච්චර වදයක් වුණත් තාත්ත මුවින් නොබැණ ඒවට එක්කාසු වුණා. 

“හොඳ…… තාත්ත”

“කෝ කෝ… එහාට වෙයං බල්ලො.. බස් එකේ දාඩිය කුණු ජරාව ගාගන්නෙ නැතුව.”

තාත්තා එයාට හෙල්ලෙන්නවත් බැරි වෙන්න වැලඳගෙන හිටිය මට කිව්ව.

“බොලා දන්නවද බොලා ඉතාම වාසනාවන්තයි කියල?”

එදා රෑ අහසම එලිය කරල පායපු ඒ අයස්කාන්ත වල්ගතරුව දිහා කුස්සියෙ ස්ලැබ්වල බිම වැතිරිලා  බලං හිටිය තාත්ත ඇහුවෙ මගෙං.

“මේක මනුස්සයෙක්ට ජීවිතේ නොලැබෙන අවස්ථාවක්. හේලිගෙ වල්ගතරුව අන්තිමට මේ කිට්ටුවට ආවෙ අසූ හයේ. ඒත් ඒක හරියට පියවි ඇහැට දැක්කෙ බොහොම ටික දෙනයි. ඒක මෙහෙම ලොකුවට දිස්නෙට පෑව්ව බවක් මං අහලත් නෑ. අනික ඒක ආයෙ මේ පැත්තට එනකොට මම තියා උඹවත් ජීවතුන් අතර නොයින්න ඉඩ තියෙනව ලොකු බල්ලො.
ඒ හන්ද මේක හොඳට බලාගනිං.. හොඳට ඉස්සරහට ඉගෙනගනිං..”

මං මොකුත් කිව්වෙ නෑ හැරිල තාත්තව වැලඳගත්ත මිසක.

එදයින් පස්සෙ දවස් ගාණක් අපි ස්ලැබ් එකේ ඉඳං වල්ගතරුව බැලුව ඒක නොපෙනී යනකල්ම.

ගෙදර වහලෙ ගැහුව. අපි නැගල තරු බලපු ස්ලැබ්වල ගෙදර නිතර පාවිච්චි නොකරන ලට්ට ලොට්ට ගබඩා වුණා.

ඉතා සාමාන්‍ය  ලෙස ගෙවී ගිය ඔය කාලය තුළ මං  සාමාන්‍ය පෙල ලියල උසස්පෙලත් ලිව්ව. 

උසස්පෙල පාස් වෙලා කැම්පස් යනකල් ටික කාලයක් මං නාරම්මල මහජන බැංකුවෙ වැඩ කළා.

“ඒයි ඒයි… කොහෙද දුවන්නෙ….”

මං හැමදාම වැලඳගන්න තාත්තවත් අමතක වෙලා, දඩි බිඩි ගාල කඩුල්ල පනිනකොට වැඩට යන්ඩ සූදානං වෙලා, පරණ ගෙදර  ජනේලෙ ලඟ මේසෙ උඩ තියං ඩෝල්කී එක වාදනය කරන ගමන් හිටිය තාත්තා කෑ ගැහුව.

“පරක්කු වෙනවෝ……, අද උදේ බැංකුවෙ තේ මේසේ… හවස ඇවිල්ල පොලියත් එක්කම දෙන්නාං…

එහෙම කියාගෙන මං හැල්මෙ බස් එක අල්ලන්ඩ දිව්ව.

එදා හවස තාත්තා යන්න ගියා.
පොලිය තියා ණය විතරක් ගෙවන්න වත් ඉඩක් නොතියාම.


හරියට වල්ගතරුවක් වගේ, ආයෙ එන දවසක් නොකියාම

ආයෙමත් ලියන්න ඕනෙ කියල හිතිල නං බොහොම කල්. පුලුවන් හැටියට ආයෙමත් ලියන්න හිතුවට මොකෝ ඉපදෙන්නත් කලින් ඉඳලම එයාගෙම වැඩසටහනකට අනුව වැඩ කරන අපෙ කොලු පැංච එක්ක  ඔට්ටු වෙන ගමං ඉන්න හන්ද ඒ ගැන පොරොන්දුවක් තියා බාග පොරොන්දුවක්වත් දෙන්න බෑ  ඉතිං. පලවෙනි වාක්‍ය දෙක තුන ලියද්දිම තේරුණා නොලියා මගෑරලම හිටියනං කොච්චර නං ලේසිද කියල.
දිගටම හෙමින් හෙමින් ලිව්වත් සුපුරුදු රිද්මයට එන්න නං සෑහෙන කාලයක් යයි

ප:ලි: මාව සිසිර තාරක නිද්‍රාවෙන් අවදි කළාට ප්‍රියන්ත අයියාට ස්තූති කරන්න. නිද්‍රාවට පත්, බ්ලොග් හැරගිය ලබැඳියන් කිහිප දෙනෙක් හෝ මේ ලිපිය කියවා අඩුම ගාණෙ මුහුණුපොතේ පිටුවක් හෝ අටවාගෙන යමක් ලියාගෙන අවදි වේවි කියලත් පොඩි පැතුමක් හිතේ නැත්තෙම නෑ.

Posted in Uncategorized | 11 Comments

අවුරුදුම දහ අටක්…!

තාත්තෙ”

“හ්ම්ම්”

තාත්ත මට හූමිටි තියන්නෙ මහ පාරෙං ගුරුපාරට හරවපු බයිසිකලේ රූං ගාල යන ගමං අතවනං ගිය බූස්ලි මාමට හිනාවෙලා සැලියුට් එකක් ගහන ගමං.

මං ඉන්නෙ තාත්තගෙ සරං බොක්ක ඇතුලෙ
තාත්ත ඉන්නෙ අපේ ගෙදර ඉස්සරහ දොරෙං පැටියෝ එකට බහින පඩිදෙකෙන් උඩම පඩියෙ ඉඳගෙන විටක් හපන ගමං

“තාත්තෙ”

“මොකද ලොකු බල්ලො?”

“තාත්තෙ මොකද්ද කඩේ මල්ලියගෙ නම….?”

ම්ම්ම්… මක මකක ඈ බොඅ… බොආඅ එ මකක කියෙය්එ ඔව්ව”
තාත්ත විට කෙල පිරිච්චි කටෙං උත්තර දීල, පැත්තකිං තියං ඉන්න හිස් මිල්ක්මේඩ් ටින් කබලට නැමිල කෙල ගහනව.
ඒ කෙල කට ගහල උත්තර දෙනකල් ඉන්ඩ ලොකු බල්ලට ඉවසිල්ලක් නැති බව තාත්ත දන්නව.

“තාත්තෙ…”

“ම්ම්ම්ම්…..”

“දැක දරුවන්නේ මුහුණු පිපෙන්නෙ ආප්ප වගෙද මල් වගෙද?”
මොක?
“ඇයි අර හඳහාමී පීස් එකේ තියෙන්නෙ සිරිමත් මගෙ සකි සින්දුව, ඒකෙ තියෙන්නෙ පාසල් යන්නේ දෙව්ලොව මෙන්නේ දැක දරුවන්නේ මුහුණු පිපෙන්නේ කියල.. ඉතිං කොහොමද මුහුණු පිපෙන්නෙ? ආච්චි අම්ම කියන්නෙ ආප්ප උයනදාට ආප්ප පිපිල මදියි කියල.. එතකොට තව මලුත් පිපෙනවනෙ.. ඉතිං මං අහන්නෙ… ”
“හා.. හරි හරි තේරුණා…”
යන්තං ඇති.. තාත්තට මගේ ප්‍රශ්නය තේරුම් කරල් දෙන්න මට සැහෙන උත්සාහයක් දරන්න වෙලා මගෙ කටහඩට නුරුස්නා ගතියක් ගෑවීගෙන එනකොටම තාත්තට මං ඇහුව දේ තේරුණා.

“හරි..ඒ කියන්නෙ බලාබොල්ලො (බොලා බල්ලො) සිරිමත් කොච්චර හොඳ ළමයෙක්ද කියනව නං එයා ඉස්කෝලෙට එනකොට අනිත් ළමයිංගෙ මූණු හිනාවෙං පිරෙනව කියන එක නෙ.. තේරුණා ද”

“හ්ම්ම්….” සිරිමත් හොඳ ළමයෙක් වුණාට එයා ඉස්කෝලෙට එනව දකිද්දි අනිත් ළමයින්ට එච්චර හිනාවෙං පිරෙන්න තරං සතුටු හිතෙන්නෙ ඇයි කියල හිතාගන්න බැරි වුණත් මං අවිනිශ්චිත හඬකිං හූමිටි තියනව…

“අන්න සෝමෙ මාමගෙ වෑන් එක යනව…”

අටෝරාසියක් ප්‍රශ්න අහන අස්සෙ පාරෙ යනඑන වාහන දිහත් බලන මම කෑ ගහනව.
තාත්ත ඔය අස්සෙම නැවිල විට වට්ටියෙං බුලත් පුවක් අරන් කටේ ඔබාගෙන එයාගෙ විට අලුත් කර ගන්නව..

තාත්තෙ…

ම්ම්ම්ම්……

“අපි රෝසගස් ගොඩක් වවාගත්තොත් අම්මට හැමදාම අපිට තෝසෙ හදල දෙන්න පුලුවන් වෙයි නේද?”

මගෙ හතර බීරි ප්‍රශ්නෙට තාත්තට නොහිතූ වෙලාවක හිනාවක් ගිහිං රතුපාට කෙල බින්දු පැටියෝ එක පුරා විසිරෙනව. එකක් දෙකක් මගෙ ඇඟටත් වැටෙනව.
මං එව්ව අතිං පිහගෙන අත ගවුං සායෙ පිහගන්නව

“මොකද්ද බලාබොල්ලො දැං ඔය රෝස ගසුයි තෝසෙයි අතරෙ තියෙන සම්බන්දෙ?”

එයා කට මිල්ක්මේඩ් පඩික්කමට හිස් කරගෙන මගෙං අහනව

“ඇයි තාත්තෙ අර හඳහාමී පීස් එකේ තියෙන්නෙ… රෝස ගසිං මල් අවලා තෝස වැඩෙයි සිත විපුලා කියල. දැං අපිට තියෙන්නෙ රෝස ගස් තුනයි නෙ… ඉතිං ගස් ගොඩක් වැව්වොත් රෝසමල් ගොඩක් හැදුනම එව්වයිං අපිට හැමදාම තෝසෙ හදන්න පුලුවන් නෙ..”

මං අපිට රෝස ගස් ගොඩක් තිබීමේ වැදගත්කම තවදුරටත් පැහැදිලි කරනව.

තාත්ත හිනාවක් පුපුරන්න එන කට තද කරං ටිකක් වෙලා මං දිහා බලං ඉන්නව.

“තෝසෙ හදන්නෙ උඳු පිටිවලින්නෙ. දැං ඔය සින්දුවෙං කියන්නෙ බොල, රෝසමල්වලිං තෝසෙ හදනව කියල නෙවෙයි. රෝස ගස්වල මල් පිපුණම දකින අයගෙ හිත් සන්තෝස වෙනව කියලනෙ… තෝස වැඩෙයි කියන්නෙ සන්තෝසය වැඩි වෙයි කියන එක.”

ආනන්ද මාමල ඒ පාර අවුරුද්දට එනකොට අපට හඳහාමි කැසට්පීස් එක තෑගි ලෙස ගෙනත් දීමෙන් සෑහෙන්න වින්නැහියක් තමන්ට සිදුවෙලා තිබෙන බවත්, ඒ නිසා කෙල්ලගේ සහ තමන්ගේ සති අන්ත ප්‍රශ්නෝත්තර සන්ධ්‍යාව සෑහෙන්න බරපතල වෙමින් පවතින බව සක්සුදක් සේ පෙනී ගිහින් තිබුණත් තාත්තා නොසැලී උත්තර දෙනව…

“බොලා තෝසෙ කන්ඩ එච්චර ආස ද?”

කුමාරතුංග මුනිදාස කිවිඳුන් මොන එහෙකට මේ වගේ සංකීර්ණ භාෂාවකිං ළමා ගීත ලිව්වද කියල හිතෙං හිතන ගමං වෙන්ඩ ඇති තාත්ත මගෙං අහනව.
“නෑ… තෝසෙවලට මං ආස නෑ .. තෝසෙ කෑලි කඩ කඩ ඒව අස්සෙ තියෙන අබ ඇට හොයල කන්ඩ තමයි මං කැමතිම..”

මං ඔය කියන්නෙ අම්ම තෝසෙ පිටි මිශ්‍රණයට දාන කරපිංචා ලූණු තෙම්පරාදුවෙ තියෙන අබ ඇට ගැන.
“ආ ඒක මිසක්… මං මේ අම්මට කියමු කියන්න හැදුවෙ තෝසෙ හදමු කියල… අබ ඇට ඇහිඳං කන්ඩ නං තෝසෙ හදන්ඩ මහන්සි වෙන්ඩ ඕනෙයැ..”

මගෙ වල්බූත කතා අහල මහ හයියෙං හිනාවෙන්ඩ පුලුවන් වුණත් හිනාව හපාගෙන තාත්ත කියනව.

ෆ්‍රිජ් එකේ තිබුණ ගල් ගෙඩියක් වගේ බටර් කුට්ටිය අරං අර ඇංකර් බටර් ඇඩ් එකේ පෙන්නන විදියට පිහියෙං බටර් රැලි රැලි හිටින්ඩ අරගන්ඩ ගිහිං බටර් කුට්ටිය විනාස කරපු, එතකොට, එස් ආර් ඇඩ් එකේ වගේ ලස්සනට දත් බුරුසුවෙ අග ඉඳල මුලටම දත්බෙහෙත් මිරිකන්ඩ ගිහිං දත්බේත් නාස්තිකරල අම්මගෙං බැනුං අහපු, මිදුලෙ පිඟං කටු නිදං හාරන, දකින අහන හැමදේකිංම හදාගන්න මනෝමය වෘත්තාන්තවල චරිත කීපයක් එක දවසෙ රඟපාන මගේ විප්‍රකාරවල ඉතිහාසය දන්න එකේ මං මේ අහන හතර බීරි ප්‍රශ්න අපේ තාත්තට පුදුමයක් නෙවෙයි.
පුදුමෙ තමයි ඒ වගෙ විලම්බීත ප්‍රශ්න අහනකොට බින්දුවක්වත් තරහ නොගෙන බොහොම ඉවසිල්ලෙන් උත්තර දෙන්න තාත්තට පුලුවන් වුණ එක..

ඊට ටික කාලෙකට පස්සෙ කරවල ඔතල ගේන චිත්‍රකතා පත්තරවල ඉඳල අතට අහුවෙන හැම දේම කියවන්න ඇබ්බැහි වුණ මම

“තාත්තෙ අනුරතිය කියන්නෙ මොකද්ද?” වගේ
තාත්තව අමාරුවෙ වැටෙන ප්‍රශ්න අහන්න ගත්ත.
ලොකු බල්ලා තමංගෙ බිත්ති පොත් රාක්කෙට පුටු තියලනැගල වයසට වැඩි පොත් කියවන බව තේරුණ තාත්ත තරහ ගන්නවා වෙනුවට පොත් රාක්කෙ අස් කරන්න තීරණය කළා. අනුරතියෙන් ආදරයට, කරුමක්කාරයෝ, පී බී අල්විස් පෙරේරාගෙ කවිපොත් වගේ එව්ව උඩම තට්ටුවට දාල

“බිම ඉඳල ඒ තට්ටුවෙ පොත් ගන්න පුලුවන් තරම් ලොකු වුණ කාලෙට එව්ව කියවපං, දැංම එපා ලොකුබල්ලො” කිව්ව.

ඒ වුණාට, එයා දැනගෙන හිටිය ලොකු බල්ලගෙ ඇබ්බැහියේ තරමට එච්චර උසමහත් වෙනකල් ඒ පොත් කියවන්න නොදී පරිස්සං කරන්න බැරි බව. ඒකත් හරියට අර තාත්තල තමංගෙ ළමයි සල්ලි හොරෙං ගන්න බව දැන දැනම පර්ස් එක එතනම තියනව වගෙ වැඩක්.

තාත්තා ගිහින් පහුගිය ජනවාරි පළවෙනිදාට අවුරුදු දහ අටක්!
ඒ කාලෙ ඇතුලත ලෝකෙ කොච්චර වේගෙන් කැරකිලාද? අන්තර්ජාලය අත්දෙකට එන කාලෙ වෙනකල් අපේ තාත්තල ජීවත් වුණේ නැති එක අපරාදෙ කියල පෙම්බරයත් මමත් නිතර කතා වෙනව.
හැමදාම ජනවාරි පළවෙනිදාට තාත්තා වෙනුවෙන් දානෙ උයන අපේ ගෙදරට හැතැම්ම දාස් ගාණක් දුරිං ඉඳං අපි අපේ පුතාට ඉස්සිස්සෙල්ලම කිරිබත් කැව්ව. සිරිතක් විදියට හදන පෙම්බරයගෙ කේක් එක කැපුව.

අවුරුදු දහ අටක් ඇතුළෙ අපේ ජීවිතවල කොච්චර දේවල් වෙනස් වුණත් තාත්ත ගැන වෙනස් වුණේ, ඉස්සර “අනේ තාත්ත හිටියනං!” කියල දවසට කීපවතාවක් හිතෙනව වෙනුවට,දැන් “අනේ තාත්තාට අපේ පුතාව දකින්න ලැබුණා නං!” කියල හිතෙන එක විතරයි.

තාත්තා කොහේ හෝ ඉන්න තැනක සතුටින් ඉන්නවා ඇතැයි ඉන්තේරුවෙන්ම දන්නා නිසා හිතට දුකක් නොදැනුනත්, තාත්තා නෑ කියන සිතුවිල්ල හිතේ පාලු කලු කුහරයක් හාරනව. ජීවිතේ හැම සතුටක්ම එක්කාසුකරල පිරෙව්වත් නොදැනෙන තරමට ඒ කලු කුහරය ගැඹුරුයි.

සිසිර තාරක නින්දෙන් අවදි වෙලා ලියන හිතක හිටියත් දැන් ඉතිං ලියන්න හිත තිබුණටම මදිය.
මේක ලියන්න හිටියෙ ජනවාරි පළවෙනිදා ය.
ඒත් ගේ හැමතැනම සක්මන් කරන කොලු පැංචා නිසා වයර් ඇදගෙන ඔඩොක්කු පරිගණකයේ වැඩ කරන්න දැං විදියක් නැතුවාය. දැං ඉතිං ලේසි ම විදිය ගූගල් කීප් එකේ ලියන එකය. යන්තං කොල්ලා නිදි අතරේ ලියන්න ගත් වෙලේ හිටං, ඉබි ගමනිං වැඩ කරන මගේ කබල් ජංගමයාගේ ඈලිමෑලි ගතිය යවන්ඩ කියා උන්දෑට ඊයේ බැඳපු පත්තුව හරි නැතිය, වෙන බෙහෙතක් අද බඳින්ඩ ඕනැය, ඒකට ජංගමයව එයැයිට බාර දෙන්ඩය කියමිං පැය බාගෙකට වතාවක් ඇවිත් කනිපින්දං කියන පෙම්බරයාට ජංගමයා බාර දෙන්ඩ කලිං මේක අවසන් කරන්න ඕනෙ ය.
ඉතිං ආයෙ ලියවිල්ලක් කවදා දකින්න වේදැයි සිතමින් ඉන්නා කෙනෙක් වේ නං, ඒ උදවියට ආදරයෙන් කියන්නට ඇත්තේ, “ඒ මේ වාගේ අහම්බෙං ලිව්වොත් තමා කියලා” ය.

Posted in Uncategorized | 4 Comments

අබ්දුල්ලා, හනිෆා සහ මුම්මානේ උම්මා…

maxresdefault
ඔය අපේ මුතුගල අත්තගෙ එකම නැන්දා ඒ කාලෙ අපේ ගම කෙළවර පදිංචි වෙලා හිටිය මුස්ලිම් මනුස්සයෙක් එක්ක පැනල ගියාලුනෙ. කතාවට කියන්නෙ දැං එතන තියෙන මුස්ලිම් ගම ආරම්භ වුණේ ඒ දෙන්නගෙ එකලාසෙං කියල තමා. පුංචි සන්දියෙ මතකෙකට මට තියෙන්නෙ ඒ ආච්චිගෙ දුවෙක් වුණ රහිමි ආච්චි අපේ අත්තගෙ කඩේට එන එක. කපු සාරි ඇඳල කොණකිං ඔලුව වහං කඩේට එන, එයාට කැරලි කැරලි කොණ්ඩයක් තිබුණෙ. එයාගෙ එක පුතෙක් වුණ හංසුව මාමට කඩල කරත්තයක් තිබුණ. ‍බොහොම අහිංසකයෙක් වුණ හංසුව මාම මොකක් හරි ගෙදරත් එක්ක ඇතිවුණ ආරෝවකට වහ බීල වෙළ ලඟ වැටිල හිටියලු. එයාගෙ කඩල කරත්තෙ වෙළකට පෙරලිලා තිබුණලු. ඒ වෙද්දි මට වයස අවුරුදු හයක් හතක් විතර වෙන්නැති මහිතෙ. දැන් නං අපේ ගෙවල්වලට පොඩ්ඩක් පල්ලමේ ඉඳල මහ පාර අද්දර වෙල් යාය වෙනකල්ම ගෙවල් හැදිල, මස් කඩ, හාඩ්වෙයාර්, පිටි තුනපහ ‍කොටන මෝල්, එතකොට තේ කඩ, සිල්ලර කඩ විතරක් නෙවෙයි පල්ලියක් පවා හැදිල තිබුණට, මට මතක කාලෙත් එතන තිබුණෙ ගෙවල් තුන හතරක් වගෙ තමා ඉතිං.

ඊටත් පස්සෙ කාලෙක ඔන්න අපේ ගෙදරට ෆ්‍රිජ් එකක් ගෙනාව. ඒ දවස්වල තාත්ත නෝම්බි කාලෙට ගෙදර ලොකු කෝප්පවලට වතුර පුරවල මුදවනව. හවසට ඒ ගෙවල්වල මගෙ වයසෙ කොලු ගැටවු එනව අයිස් අරං යන්න. ඊලඟ දවසෙ එද්දි  හිස්කෝප්පවලට කංජි පුරවල ආපහු ගෙනත් දෙනව රාමසාන් උත්සව දවසට අපේ ගෙදරට වටලප්පමක් වරදින්නෙ නෑ ඉතිං.
කොහොමිං හරි ඔන්න අදටත් අපි මුස්ලිං ගංගොඩට එහයිං තියෙන අපේ වෙළට එහෙම යනකොට නෑකං කියල කතා කරල, තේ හදල දෙන මුස්ලිම් නෑයො අපිට ඉන්නව.

තාත්ත ඉන්න කාලෙ මුතුගල හන්දියෙ දන්සලේ ලයිට් වැඩවලට උදව්වට සුල්තාන් මාම එනව. අදට වුණත් අපේ ගෙදර ඉලෙක්ට්‍රික් වැඩකට කෝල් එකක් දීපු සැණින් එයා එනව. ඒ කාලෙ නං සතියකට වතාවක් විතර රහිමි ආච්චිගෙ අනික් පුතා, මරික්කාර් මාම එනව කොස් කඩං යන්න. රහිමි ආච්චි මැරුණෙ කොයි කාලෙද කියල නං මට මතක නෑ. ඒත් ඒ  වෙලාවෙ අම්මයි තාත්තයි දෙන්නම මලගෙදර ගියාට මොකද සිරිත් අනුව ඇතුළට එක්කං ගිහිං මිනිය පෙන්නුවෙ අම්මට විතරයිලු. මට මතකයි “යකෝ මමනෙ උඹලගෙ නෑය, මට පෙන්නන්නෙ නැතුව හරියනවද” කියල තාත්ත පස්සෙ දවසක මරික්කාර් මාම එක්ක බොරුවට එකට එක කියා ගත්තත් එක්ක.

ඉතිං මං මේ පරණ තෝම්බු අවුස්සාන කියං ආවෙ ඔය ආච්චි මුස්ලිම් මනුස්සයෙක්ව බැන්ද එකයි, ඔය ගම හැදුන හැටියි ගැන තාත්තල  කියපු අපූරු සින්දුවක් මතක් වෙලා.

කන බොන මනුස්සය වෙච්චි තාත්තට වෙසක් පොසොන් දවස් කියන්නෙ අපෙ ගෙදර බජව්වක් වරදින්නෙ නැති දවසක්. අපේ ගෙදර පැටියෝ එකට (Patio) අපි කිව්වෙ හුඩ් එක කියලනෙ. ගොඩක් වෙලාවට ඔය බජව්ව තියෙන්නෙ හුඩ් එක යට. තාත්තයි, අරනෝලිස් මාමයි, තව ජයතිලක මාම ආවොත් එයයි එකතු වෙලා සප්පායං වෙලා හෙම ගෙදරත් පාර අද්දර වෙච්චි දෙනෝදාහක් වෙසක් වන්දනාව යන දවස වෙච්චි කිසිම තැකිල්ලක් නෑ මහ හයියෙං සින්දු කියනව ඉතිං. තාත්ත සර්පිනාව හරි ඩොලැක් එක හරි වාදනය කරනව, ජයතිලක මාමනං නොවැරදීම එයාගෙ ජපන් මැන්ඩලින් එක අරං එනව. ජපන් මැන්ඩලින් එක හරි අපූරු භාණ්ඩයක්. යතුරු ඔබල පොඩි පතුරකින් කම්බි හතර නාද කරල ඒක වාදනය කරද්දි  එන සිලි සිලි නාදෙට මට හිතෙන්නෙම ඒ යතුරු පුවරුවෙ හැම ස්වරයක් යටිංම කාසි මල්ලක් එල්ලල ඇති කියල.

පාන්දරම සිල් ගන්න යන ආච්චි අම්ම සිල් පවාරණේ කරල එනකොට බජව්වෙ මධ්‍යම භාගය. ඒ කියන්නෙ බුදුන්ගේ අමා ධර්මේ…, බුද්ධං සරණං ගච්ඡාමී.. වගේ ගීතවලිං වෙසක් සායං තවරල පටං ගත්තට මොකද බජව්ව මෝරණකොට හින්දි තනුවලට ලියපු සිංහල ප්‍රේම ගීතත් එක්කාසු වෙන්ඩ අරං. ආච්චි අම්ම පන්සලේ ඉඳල ගෙදර ආව කියන්නෙ ඉතිං බජව්වට වැඩි ආයුෂක් නෑ හමාර කරන්න වෙලාව ඇවිල්ල කියල තාත්ත ඇතුලු ගායක පිරිසට තේරෙනව.  මල් නෙලන්ඩ යමිං එමිං දෙපාරක් විතර ආච්චි අම්ම තාත්තට රවනව. ඔන්න ඉතිං එතනිං පස්සෙ බජව්ව අවසාන භාගයට එළඹෙනව. බොහොමයක් වෙලාවට බජව්ව හමාර වෙන්නෙ මං අර කිව්ව ගීතෙ කියල තමා.
හින්දි තනුවකට ලියවෙච්ච සිංහල ගීතයක් ‍තියෙන්න‍ෙ”මුලදි නොකීවාට හෙව්වේ බැලුවේ නෑ නේද” කියල…අන්න ඒ තනුවට තමා මේ ගීතයත් ගැයුවෙ.

අබ්දුල්ලා මේ හනිෆාද
මුම්මානේ මේ උම්මාද

………………………………………

මේ වාගෙ ගෑනූ හින්දාම දරුණු
සිංහලය වැනසී ගියා

මීරැස්ස අරගත්ත පොඩි අප්පුහාමී

…………………………………………………..

…………………………………………………..

…………………………………………………..

තට්ටය රහිමීට කෙරුවාද ආලේ

………………………………………………..

………………………………………………..

………………………………………………..

ඔන්න ඔහොමයි ඒකෙ පද අමුණල තිබුණ. කතෘ අඥාතයි. හැබැයි මට හිතෙනව අපේ අත්ත ඔය පරණ සිද්ධි ගැන කියපු කතන්දර අහල තාත්ත ඕක ලියන්න ඇති කියල. මං මේ කියන කාලෙ වෙද්දි වෙසක් දවසට සප්පායං වෙලා බජව් දැම්මට මොකද  ඉස්සර කොල්ල කාලෙ තාත්ත සුනිල් මාමත් එක්ක එකතු වෙලා ගමේ භක්ති ගීත වැඩසටහන් හෙම කරල තියෙන්නෙ භක්ති ගීත එයාලම ලියල, තනු දාල. තාත්ත වෙසක් නාට්‍ය, පොසොන් නාට්‍ය පිටපත් ලියපු, රතු තද පිට කවරෙ තියෙන සී ආර් පොත් අපේ ගෙදර තාමත් තියෙනව. ඒ කාලෙ ඔය බුද්ධිමය දේපල ගැන වැඩි තැකීමක් නෑ නෙ. ඉතිං තාමත්  අපේ පැත්තෙ සමහර දහම්පාසල්වල තාත්ත ලියපු භක්ති ගීත ගායනා කරනව වෙසක් පො‍‍සොන් කාලෙට. ඒ කවුරුත් දන්නෙවත් නෑ මහිතෙ ඒව කොහෙන් ආවද කියල.  ඉතිං මට සාධාරණ හේතු තියෙනව ඒක අපේ තාත්තගෙ වැඩක් කියල හිතන්න.

ඔය මුම්මාන කියන්නෙ අපේ ගෙවල් කිට්ටුව තියෙන මුස්ලිම් අය වැඩියෙන් ඉන්න ගමක්.. එතකොට ඔය අබ්දුල්ලා කියන මනුස්සය ගැන විවිධ කතාවලදි කියවිලා තියෙනව. අර අපේ මී ආච්චිඅම්මෙක් පැනල ගියයි කියන්නෙ එයා එක්කද කියන්න මට හරියටම නං මතක නෑ. කොහොමිං හරි පරම්පරා කීපයක් තිස්සෙ ඒ පැත්තෙං මේ පැත්තටත්, මේ පැත්තෙං ඒ පැත්තටත් ජෝඩු වෙලා පැනල ගිහිං හරි හිර ගනුදෙනු සිද්ධ වුණා කියන්න ඔය ගීතය සාක්කි දරනව. ඔන්න ඉතිං බජව්ව සමාප්ත කරන්න එන වෙලාවෙ ගායකයො ‍සේරමලගෙ හඬ උස් වෙනව. අන්තිම වඩිය ටිකක් ලොකුවට වක්කරගෙන හන්ද ගායකයො වාදකයො හැමෝම ටිකක් වැඩිපුර හිතට අරගෙන එක අතක් උස්සල ලෙලවන ගමන් ගීතයෙ අවසාන කොටස ගායනා කරනව.

මේ වාගෙ ගෑ..න්නූ හින්දාම දරුන්…ණු
සිංහලය වැන
…ස්සී ගියා… ආ……..

සිංහලය වැන…ස්සී ගියා… ආ……..

පාර අද්දර හන්ද ලෑන්ඩ් මාස්ටර්, ට්‍රැක්ටර්වල වෙසක් බලන්න යන සෙනගට පවා මේ බජව්ව හොඳට ඇහෙනව. සමහරු අප්පුඩි තලාගෙන, කෑ ගහගෙන යනව. ගෙදර පහු කරගෙන කඩේට යන අය බඩවල් අල්ලගෙන හිනා වෙනව ඕක ඇහුණම. ඒ විතරක් නෙවෙයි පහල මුස්ලිං ගංගොඩේ වයසක පහේ උදවියත් පාරෙ යනවනෙ. ඒ කෙනෙක්ට ඔය ගීතය ඇහුණොත් පාර අයිනෙ නතර වෙලා හිනා වෙවී අහං හිටිය. සමහර වෙලාවට ගෙදරට ගොඩ වෙලා අහගෙන ඉඳල පරණ මතක සිහි කරල හිනා වුණා. ආච්චි අම්ම නං ඒ හැටි කැමති නෑ ඔය සින්දුව කියනවට.. ඇරත් මහ හයියෙං නෙ.. ඒත් ඉතිං ඔය අන්තිම කොටස තනිකරම විනෝදය පිණිස මිසක කාටවත් එල්ල කරල අපහාසෙකට ලියපු හෝ ගයපු දෙයක් නෙවෙයි කියල හැමෝටම තේරුණා මහිතෙ.

කාල වකවානු හරියට මතක නෑ මට ඒත් නැගෙනහිර පලාතෙ දරුණු සටන් යන කාලෙ අපි දන්න අඳුනන කීප දෙනාට වඩා ගොඩක් දෙනෙක් ගමට එක්කාසු වුණා. මට මතකයි නිමල් මාමලගෙ වී මෝලට අල්ලපු හිස් ඉඩමෙ සුදු පාට ඉටිකොළ කූඩාරම් ගහගෙන ඒ අය සෑහෙන කාලයක් ජීවත් වුණා. පාර අද්දර අනාත නිවස කියල සිංහලෙන් අතින් ලියපු බෝඩ් එකක් ගහල තිබුණ. ඒ ඇයි කියලවත්, ඒක කරන්න ඇත්තෙ කවුද කියලවත් මට හිතා ගන්න බෑ. සමහර විට ඒ මිනිස්සුන්ට උදව් කරන්න එක්කාසු වුණ බෲස්ලි මාමලගෙ, වීරෙ මාමලගෙ හෙම වැඩක් වෙන්න ඇති.

ඔය කාලෙ වෙද්දි අපි ලොකුයි නෙ. ඉතිං ගෙදර බජව් දැමිලි සෑහෙන්න අඩු වුණා. හෙමින් සැරේ තාත්ත ඔය සින්දුව මිමිණුවත් අනේ මොකද්ද තාත්තෙ කියල අපි ඇහුවට දුවපියව් යන්ඩ කියල අපිට සැර කලා මිසක් ඒක අපිට ඇහෙන්න කිව්වෙත් නෑ.

අම්මෙ.. අම්මට මතකද අර තාත්තල බජව් දාද්දි කියන සින්දුව..? අර අබ්දුල්ලා මේ හනිෆා ද කියන එක??

ම‍ං අද හවස අම්මට කතා කරපු වෙලාවෙ ඇහුව..‍

අනේ මටත් තැනිං තැනිං මිසක් හරියට මතක නෑ චූටි පුතා.. අරනෝලිස්ට නං මතක ඇති. අරනෝලිස් එක්ක ඉතිං දැං වැඩි ගනුදෙනුවක් නෑනෙ.. දැක්කෙවත් නෑ කාලෙකිං

සමහර විට ජයතිලක මාමටත් මතක ඇති නේද?

 

අපරාදෙ ඉතිං අපි කාටත් ඒ සින්දුව මතක තියෙන්නෙ තැනින් තැනින්. මං ගිය පාර ලංකාවට ගියාම චූටි නැන්දව අල්ලගෙන සෑහෙන්න ට්‍රයි කලා ටිකක් හරි මතක් කරගන්න. එයාට මතක තිබුනෙත් මට මතක තැන්ම විතරයි. දැන් ඉතිං ඒක අහගන්න තාත්තත් නෑනෙ. තාත්ත නැති වුණාට පස්සෙ තාත්තගෙ යාලු මිත්‍ර ගායක වාදක සමූහයෙ යාම් ඊම් නැවතුනා නෙ. ඉතිං අන්තිමට මට කණිං කොණිං ඇහිච්ච, මතකෙ තිබිච්ච ටික මිසක මොකෝ ලියාගෙන තිබුණ කියලයැ පස්සෙ බ්ලොග් එකක් ලියන කාලෙක ඒ ගැන ලියන්න කියල හිතල.

 

Posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මතක, මුතුගල විත්ති, Uncategorized | 13 Comments

රෙක්සිගෙ වැරදුන කුරුමානම..!

img_1405

එක පාරටම ලැබුණු අසීමිත නිදහස් ලෝකෙ කිරුල පැලඳුන දා ඉඳල රෙක්සිය හුරතල් මෝඩ් එකෙන්  අවටියෙල් මෝඩ් එකට මාරු වුණා. අපේ වත්තෙ කොට තාප්පෙට තියපු ගේට්ටුව යටින් බඩගාල රිංගල ගිහින් වෙලේ නටන්න ගත්ත.  පෙම්බරයගෙ අම්ම හිටවල ගිය මල්වල වතුර දාන වෙලාවක නං වතුර බටේ විකන්න ඇවිල්ල ඒකෙන් වතුර බොන්න දෙනකල් මට වද දෙන්න ගත්ත.ආයෙ දවසක් මං බලද්දි වත්තෙ මුල්ලක තියෙන කෙහෙල් ගස් වල වේලිලා පාත් වෙච්ච කොල ඔක්කොම ඇදල මිදුල වනසල. පොඩ්ඩක් ඇහැගහගෙන ඉන්න බැරි වුනොත් මොකක් හරි අලාබහානියක් කරල.

ඒ දවස්වල අපේ පෙම්බරයා ආසාවෙන් තියාගෙන හිටිය පොඩි කැක්ටස් පැල ටිකක්. ඒ ටික ගෙදර තාප්පෙ අයිනෙ බැම්ම උඩ තියල තිබුණෙ. මූ ඒව පෙරලල. පෙරලල නැවතිලා නෑ කටු පිරිච්ච පුංචි කැක්ටියෙක්ව කොහොම කරලද මන්ද ආප්ප හැන්දකිං ගන්න වෙන ගාණට චප්ප කරල.

ඒ මදිවට මේකා පතොක් කටු ඇණගෙන දවසක් දෙකක් කොර ඇණ ඇණත් හිටිය. මං ඉතිං අපේ අම්මගෙං අහල සර්වවිශාදිය ගෑව උගෙ ඉදිමිච්ච කකුල් කොට්ටවල. පවුනෙ පොඩි එකානෙ කියල හිතල. හැබැයි එහෙමයි කියල කිසීම ගුණයක් නෑ. කොරගහ ගහ ඇවිල්ලත් මොකක් හරි වසල වැඩක් කරල මාව යකා අවුස්සන එකම තමා කළේ.

ඉතිං ඒ හන්ද එන්න එන්නම රෙක්සියගෙ හුරතල් වැඩ ප්‍රචණ්ඩ ක්‍රියා ගණයේ ලා සලකන්න වෙන තත්වයක් තමයි ඇති වෙලා තිබුණෙ.

රෙක්සිගෙ ආගමණයෙන් වැඩියෙන්ම අසාධාරනේට ලක් වුනේ රූෆි.  ඒ කියන්නෙ අල්ලපු ගෙදර සැන්ඩි ආන්ටි ගෙ බැල්ලි. අපි පදිංචි වෙලා හිටිය ඉඩංවල මුල් අයිතිකාරයො වෙච්ච වඳුරු රංචුව, දැන් අපි පදිංචි වෙලා හන්ද ඉන්න තැනක් නැතිව, කන්න බොන්න නැතිව අනාතයො බවට පත්වෙලා ඉන්න බව දන්න හන්දම අපි දෙන්න උන්ට අඹ, කෙසෙල්කැන්වලට ඕනෙ දෙයක් කරගන්න ඇරල තිබුණ. ඒත් අපේ ගෙදර අඹවල රස දන්න හන්දම සැන්ඩි ආන්ටි නං කැමතිම නෑ උන් එනවට.  ඉතිං එයා රූෆිව එවනව ආඩම්බර ලීලාවෙන් ඇවිල්ල අපේ වත්තෙ මුර සංචාර කරන්න. අඹ කාලෙට, කෙසෙල්කැන් වැටිල තියෙන කාලෙට ඇවිල්ල ගස් වනසන කලු වඳුරො රංචුව පන්නන්න. ඉතිං රෙක්සි එන්න කලිං රූෆි හිතං හිටියෙ අපේ ගෙදර වත්තත් සින්නක්කරම එයාගෙ කියල.

ඒත් රෙක්සිගෙ ඔටුනු පැලඳීමේ මංගල්ලෙං පස්සෙ අපේ වත්තෙ රිසි සේ හක්කලං කරන අයිතිය රූෆිට අහිමිවෙලා  ගියා. ඉඳ හිට මං එහෙ ගියාම රූෆිය මං දිහා දුකෙං බලල “බලන්න ඉතිං ඔයාට ඉස්සෙල්ල ආව කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙලා නේද” කියල ආඩපාලි කිව්ව.

ඔන්න තවත් දවසක් රෙක්සියි මමයි මිදුල අතුගාන්න පටන් ගත්ත උදේ.

ඒ කියන්නෙ මං අතු ගානව රෙක්සි ඉදලට පනිනව, කොළ ගොඩ උඩ නටනව. නටල ආයෙමත් අතුගාපු හරියත් හැඩි කරනව. බේරන්නම බැරි වුණ තැන මං එයාව යාප්පුවෙන් එක්ක ගිහින් ගේ ඉස්සරහ කණුවෙ ගැට ගැහුව. ඒ පාර ඉතිං විලාප තියන්න වුණා. මට උදව් කරගන්ඩ ඒ ගන්ඩ බැරි වුණ හන්ද. මොන තරම් කර්ණ කටුක වුණත් අවධානය නොදී නෑසුනු කන්ව ඉන්න මං තීරණය කලා අතු ගාල ඉවර වෙනකල්.

මට අතු ගාල කොළ රොඩු ටික එකතු කරල පෝර කවරෙ උඩට එකතු කළා.. ඒක වලට දාන්න හම්බුණේ නෑ රෙක්සිගෙ විලාපය මහා බිරිල්ලක් බවට පත් වෙලා.අහල පහල ගෙවල්වලින් නයින් වන් වන් කෝල් කරන ගාණට ආව. ඒ පාර මං ඒක එහෙමම තියල ඉදලත් උස්සගෙන ගියේ ඉදල් මිටෙං දෙන්නං දෙකක් පස්සට කියල හිතාගෙන.

රෙක්සි දංවැල දිග තාක් ඉස්සිලා තාප්පෙ උඩට අත් දෙක තියාගෙන වැහි පීල්ල දිහා බලාගෙන බුරනව. වැහි පිල්ලෙන් ඉස්සිලා අපේ සිවිලිමේ පදිංචි වෙලා ඉන්න තලගොයා දිව දික් කරනව.

තලගොයාට ඔන්න ඔහෙ ඉන්න දීපං බල්ලො.. ඌ උඹට කලිං අපේ ගෙදර පදිංචිකාරයෙක්…

මං රෙක්සියට එහෙම කියන ගමං ඌව දංවැලෙන් නිදහස් කළා. මාවත් තල්ලු කරගෙන වැහිපීල්ලෙන් වතුර වැටෙන බටේ ලඟට පැන්න බලු තඩිය බටේට අත් තියල හිටගෙන තලගොයාට

පොළවට බැහැපන් තලයො කියල තර්ජනය කරන්න පටන් ගත්ත. ඒ අතරෙ මං දිහා බලල කෙඳිරි ගානව

“අනේ මොනාද අනේ එන්න කියන්නකො එයාට බිමට” කියල කියන්නැහෙ. ආයෙ උන්න ගමන් මං දිහා බලල බුරා හැලෙනව. “කිව්වට එයා එන්නෙ නැත්තං අරං හරි දෙන්නකො” කියන්න වගේ.

අවසානයේ බලවත් ආයාචනයට කන් දෙන්න තීරණය කරපු තලගොයා වැහි පීල්ලෙන් තාප්පෙට මාරු වුණා. රෙක්සි නොයිවසිලිමත් වුණා. බිරීම නැවතිලා හැහ් හැහ් ගාමින් බටේ ලඟින් තාප්පෙට මාරු වුණා..

තලගොයා කිසිම ගාණක් නැතුව පාඩුවේ උගේ මහේශාඛ්‍ය ගමන් ලීලාවෙන් තාප්පෙ දිගේ සක්මන් කරන අතරේ  වරින් වර උඹ අල්ලයි මගෙ වලිගෙ කියන්න වගේ රෙක්සිට දිව ඇද්ද.

රෙක්සි බුරමින් අත් දිගු කරමින් තලගොයාව බිමට බාගන්න  එහාට දිව්වා මෙහාට දිව්වා. තාප්පෙ පාදමට නැග්ගොත් නං තාප්පෙ උඩට අත දිග ඇති කියල තේරුණ පාර එහෙම නගින්න හදල දෙපාරක් විතර දබෝරියං ගාල බිම වැටිල පස්ස බිම ඇණුන.   මේ උදේ පාන්දර රෙක්සිට මොන යකෙක් වැහිලද බලන්න පහල ගේට්ටුව ලඟට රූෆි ආව. මොහොතකට තලගොයාව අමතක කරපු බලුතඩිය දුවල ගියා රූෆිට බුරන්න.

ඔය අල්ලපනල්ලෙ තලගොයාට ඕනෙ වුණා තාප්පෙන් පාර පැත්තට පැනල නොයා අපේ වත්ත හරහාම වෙල පැත්තට යන්න. ඌ හෙමින් සැරේ තාප්පෙට පහුරු ගහමින් බැහැල මිදුල හරහා හරියට කිසිම ජීවිත තර්ජනයක් නෑ වගේ ලතා දමමින් සක්මන් කරන හැටි දැක්කම මගෙ ඇඟේ ලේ වතුරවුණා.

ඉක්මණට පලයංකො යන ගමනක්!! අර වසවර්තිය දැක්කොත් උඹට මොකක් වෙයිද දන්නෙ නෑ…

මං එහෙම කියල කට ගන්න වුනේ නෑ.

වත්තෙ එහා කොණට ගිහින් රූෆිට බුරමින්  හිටියත් තලගොයා කෙරෙහි බැඳි අප්‍රමාණ දයාවෙන් ඔද වැඩිල ඌ දිහා ඇහැ ගහගෙනම හිටිය රෙක්සි පිම්මෙ පැනගෙන ආව. තලගොයා ඒ වෙද්දි මිදුලෙ අඹගහ පහු කරමින් හිටියෙ. හරියටම මගේ කොළ රොඩු  කවරෙ ලඟ. බලු තඩියා එන බව දුටු තලගොයා පුලුවන් වේගෙන් වෙල පැත්තට දුවන්න හැරුණ.

ඒත් ඌත් මාත් හවුලෙ කරපු පූරුවේ අකුසල කර්මෙකට වාගෙ උගෙ කකුලක් පැටලුණා මං කොළ එකතු කරල තිබුණ පෝර කවරෙන් ඇදිල තිබුණ රැල්ලක.

ඒ ඇහිල්ලෙන් රෙක්සි වෙසමුණියා වගේ හිස වනමින් පිඹිමින් අදනම් තලගොයි මස් කා මිස පස්ස නොබලමියි කියා බලවත් අධිෂ්ඨානයෙන් යුක්තව තලගොයාගෙ ඇඟට පැන්න. පැන්නට  වේගෙ පාලනේ කරගන්න බැරි කමට පිම්ම වැරදුණා. තලගොයත් අවිඥානිකව වුණත් උපක්‍රමශීලී වුණා. රෙක්සිගෙ පිනුම් ස්ථානගත වෙන තැන්වලින් ගෑවී නොගෑවී අයින් වුණා.

ගමේ ගොඩේ කතාවට කියනව නෙ ඔරු කාරයෙක්ට එක රිටි පාර වැරදුනාම රිටි පාර හතක් ගහල වත් ආයෙ හදන්ඩ  බෑ කියල. ආන්න ඒක සනාථ කරන්න වාගෙ රෙක්සි නැවත නැවතත් පැන්න කලබල පිමි තුන හතරක්ම තලගොයාගෙ ඇඟ මත සමපාත නොවී අඹ කොළ ගොඩ උඩට  වැටුණා. තලගොයා සිහි මුර්ජාවෙලා වගේ, කොටින්ම බල්ලට අහුවෙලත් ඌ තාම ජීවත් වෙනව කියන එක ඌටම අදහගන්න බෑ වගේ බලං හිටිය.

රෙක්සි.. අයින් වෙනව ඔතනින්!! මට සිහිය ආව ගමන් මං කෑගැහුවට රෙක්සි නෙවෙයි සටන අතාරින්නෙ..

බුරමින් තලගොයා දිහාට පනිනව. තලගොයාගෙ පිටට අත තියනව හපන්න හදනව.

හපන්න හදන වාරයක් ගානෙ මාත් මර හඩ තියනව.

බල්ලට කීප වරක් පිම්ම වැරදුන බවත්, ඒ නිසා තමන් තවම පණ පිටින් සිටින බවත් තප්පර දෙක තුනකට පස්සෙ වටහා ගත්ත තලගොයා හැකි වෙර යොදල තමන්ගෙ කකුල පෝර කවරෙන් ඇදගන්න හැදුවත් ඒක තදින් පැටලිලා.

තමන්ගෙ අභිමානයට වෙච්ච කැලල දරාගන්න බැරුව කුපිත වෙච්ච බලුනයිදෙ තලගොයා වටේ රවුම් දුවමින් ගෝත්‍රික ගිනිමැල නැටුමක් නටන්න පටන් ගත්ත.

ඒ අවසරයෙන් තමන්ගෙ කකුලෙ පැටලුණ පෝර කවරෙත් ඇදගෙන තලගොයා වෙල දිහාට දිව්ව.

බල්ලත් හති හලමින් ක්ෂණිකව පස්සෙං දිව්ව. ඒ දුවන ගමන් තලගොයාව කටින් හපන්නත් හැදුව.. කොහොම හරි තාප්පෙට අඩි දෙක තුනක් තියා රෙක්සි  තලගොයා ඇදගෙන යන පෝරකවරෙ උඩ අඩිය තියපු නිසා තලගොයාගෙ පැටලුම ලෙහුණ.

ඊලඟ මොහොතෙ සිද්ද වෙන්න යන දරුණු ඛේදවාචකය ඉවෙන් දැනුන හන්ද මාත් ඉදල අතෑරල  ඒ පස්සෙං දිව්ව.

අපරාදෙ කියන්න බෑ අතුගාල එකතු කරල විනාඩි පහක් ගතවුණ තැන අඹ කොළ ටික ආයෙමත් අතුගාන්ඩ කලින් තිබුණට වඩා අතුරල දුන්න තලගොයා මියෙම්වා රැකෙම්වා කියා අමාරුවෙන් තාප්පෙ බඩ ගාගෙන බලු කටින් බේරිලා වෙලට පැන්න.

රෙක්සිත් තාප්පෙ කොච්චර උසද, එහා පැත්තෙ තියෙන්නෙ ඇලක් ද වෙලක්ද කියල කිසිම විඥානයක් නැතුව තලගොයා පස්සෙන් තාප්පෙ පනින්න හදද්දි මං බෙල්ලෙ හමෙන් ඇදල අරන් වත්ත පැත්තට දාගත්ත.

සියලු ශරීර ශක්තිය පාවිච්චි කරල අල්ලං හිටියත් මූ මාව ඇදගෙන ආපහු තාප්පෙ ලඟට ඇවිත් තාප්පෙට අත් දෙක තියල බැලුව.පනින්න උත්සහ කළා. මං අලියගෙ නැට්ටෙ එල්ලිලා දිවිය ලෝකෙ යන්න ගිය ගමරාල වගේ බල්ලගෙ බෙල්ලෙ හමෙන් ඇදගෙන රෙක්සිට තර්ජනය කළා.

උඹ මෙතනින් පැන්නොත් නං අද මම උඹට හොඳ පාඩමක් උගන්නනව බල්ලො

තලගොයා පණ එපා කියල ඇලට පැනල වතුර මැද්දෙන් බස බස ගාල දුවල ඉවුරෙන් ගොඩවෙලා වෙල මැද්දෙ අතුරුදහන් වුණ හැටි දුකෙන් බලන් හිටිය රෙක්සි නළල රැලි කරගෙන මං දිහා බැලුව. ඒ විතරක් නෙවෙයි පිටේ මවිල් පුම්බගෙන  මගේ අනපේක්ෂිත මැදිහත් වීමෙන් තමන්ගේ ගොදුර වැලකී ගිය එක දැඩි සේ හෙලා දැක්ක.

බව් වව්වව් වව් වව් වව් වව් වව්…

 

තලගොයාගෙ පින්තූරෙ කලිත් මල්ලිගෙ බ්ලොග් එකෙන්. ස්තූතියි මල්ලි!

Posted in Uncategorized | 5 Comments