රෙක්සිගෙ වැරදුන කුරුමානම..!

img_1405

එක පාරටම ලැබුණු අසීමිත නිදහස් ලෝකෙ කිරුල පැලඳුන දා ඉඳල රෙක්සිය හුරතල් මෝඩ් එකෙන්  අවටියෙල් මෝඩ් එකට මාරු වුණා. අපේ වත්තෙ කොට තාප්පෙට තියපු ගේට්ටුව යටින් බඩගාල රිංගල ගිහින් වෙලේ නටන්න ගත්ත.  පෙම්බරයගෙ අම්ම හිටවල ගිය මල්වල වතුර දාන වෙලාවක නං වතුර බටේ විකන්න ඇවිල්ල ඒකෙන් වතුර බොන්න දෙනකල් මට වද දෙන්න ගත්ත.ආයෙ දවසක් මං බලද්දි වත්තෙ මුල්ලක තියෙන කෙහෙල් ගස් වල වේලිලා පාත් වෙච්ච කොල ඔක්කොම ඇදල මිදුල වනසල. පොඩ්ඩක් ඇහැගහගෙන ඉන්න බැරි වුනොත් මොකක් හරි අලාබහානියක් කරල.

ඒ දවස්වල අපේ පෙම්බරයා ආසාවෙන් තියාගෙන හිටිය පොඩි කැක්ටස් පැල ටිකක්. ඒ ටික ගෙදර තාප්පෙ අයිනෙ බැම්ම උඩ තියල තිබුණෙ. මූ ඒව පෙරලල. පෙරලල නැවතිලා නෑ කටු පිරිච්ච පුංචි කැක්ටියෙක්ව කොහොම කරලද මන්ද ආප්ප හැන්දකිං ගන්න වෙන ගාණට චප්ප කරල.

ඒ මදිවට මේකා පතොක් කටු ඇණගෙන දවසක් දෙකක් කොර ඇණ ඇණත් හිටිය. මං ඉතිං අපේ අම්මගෙං අහල සර්වවිශාදිය ගෑව උගෙ ඉදිමිච්ච කකුල් කොට්ටවල. පවුනෙ පොඩි එකානෙ කියල හිතල. හැබැයි එහෙමයි කියල කිසීම ගුණයක් නෑ. කොරගහ ගහ ඇවිල්ලත් මොකක් හරි වසල වැඩක් කරල මාව යකා අවුස්සන එකම තමා කළේ.

ඉතිං ඒ හන්ද එන්න එන්නම රෙක්සියගෙ හුරතල් වැඩ ප්‍රචණ්ඩ ක්‍රියා ගණයේ ලා සලකන්න වෙන තත්වයක් තමයි ඇති වෙලා තිබුණෙ.

රෙක්සිගෙ ආගමණයෙන් වැඩියෙන්ම අසාධාරනේට ලක් වුනේ රූෆි.  ඒ කියන්නෙ අල්ලපු ගෙදර සැන්ඩි ආන්ටි ගෙ බැල්ලි. අපි පදිංචි වෙලා හිටිය ඉඩංවල මුල් අයිතිකාරයො වෙච්ච වඳුරු රංචුව, දැන් අපි පදිංචි වෙලා හන්ද ඉන්න තැනක් නැතිව, කන්න බොන්න නැතිව අනාතයො බවට පත්වෙලා ඉන්න බව දන්න හන්දම අපි දෙන්න උන්ට අඹ, කෙසෙල්කැන්වලට ඕනෙ දෙයක් කරගන්න ඇරල තිබුණ. ඒත් අපේ ගෙදර අඹවල රස දන්න හන්දම සැන්ඩි ආන්ටි නං කැමතිම නෑ උන් එනවට.  ඉතිං එයා රූෆිව එවනව ආඩම්බර ලීලාවෙන් ඇවිල්ල අපේ වත්තෙ මුර සංචාර කරන්න. අඹ කාලෙට, කෙසෙල්කැන් වැටිල තියෙන කාලෙට ඇවිල්ල ගස් වනසන කලු වඳුරො රංචුව පන්නන්න. ඉතිං රෙක්සි එන්න කලිං රූෆි හිතං හිටියෙ අපේ ගෙදර වත්තත් සින්නක්කරම එයාගෙ කියල.

ඒත් රෙක්සිගෙ ඔටුනු පැලඳීමේ මංගල්ලෙං පස්සෙ අපේ වත්තෙ රිසි සේ හක්කලං කරන අයිතිය රූෆිට අහිමිවෙලා  ගියා. ඉඳ හිට මං එහෙ ගියාම රූෆිය මං දිහා දුකෙං බලල “බලන්න ඉතිං ඔයාට ඉස්සෙල්ල ආව කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙලා නේද” කියල ආඩපාලි කිව්ව.

ඔන්න තවත් දවසක් රෙක්සියි මමයි මිදුල අතුගාන්න පටන් ගත්ත උදේ.

ඒ කියන්නෙ මං අතු ගානව රෙක්සි ඉදලට පනිනව, කොළ ගොඩ උඩ නටනව. නටල ආයෙමත් අතුගාපු හරියත් හැඩි කරනව. බේරන්නම බැරි වුණ තැන මං එයාව යාප්පුවෙන් එක්ක ගිහින් ගේ ඉස්සරහ කණුවෙ ගැට ගැහුව. ඒ පාර ඉතිං විලාප තියන්න වුණා. මට උදව් කරගන්ඩ ඒ ගන්ඩ බැරි වුණ හන්ද. මොන තරම් කර්ණ කටුක වුණත් අවධානය නොදී නෑසුනු කන්ව ඉන්න මං තීරණය කලා අතු ගාල ඉවර වෙනකල්.

මට අතු ගාල කොළ රොඩු ටික එකතු කරල පෝර කවරෙ උඩට එකතු කළා.. ඒක වලට දාන්න හම්බුණේ නෑ රෙක්සිගෙ විලාපය මහා බිරිල්ලක් බවට පත් වෙලා.අහල පහල ගෙවල්වලින් නයින් වන් වන් කෝල් කරන ගාණට ආව. ඒ පාර මං ඒක එහෙමම තියල ඉදලත් උස්සගෙන ගියේ ඉදල් මිටෙං දෙන්නං දෙකක් පස්සට කියල හිතාගෙන.

රෙක්සි දංවැල දිග තාක් ඉස්සිලා තාප්පෙ උඩට අත් දෙක තියාගෙන වැහි පීල්ල දිහා බලාගෙන බුරනව. වැහි පිල්ලෙන් ඉස්සිලා අපේ සිවිලිමේ පදිංචි වෙලා ඉන්න තලගොයා දිව දික් කරනව.

තලගොයාට ඔන්න ඔහෙ ඉන්න දීපං බල්ලො.. ඌ උඹට කලිං අපේ ගෙදර පදිංචිකාරයෙක්…

මං රෙක්සියට එහෙම කියන ගමං ඌව දංවැලෙන් නිදහස් කළා. මාවත් තල්ලු කරගෙන වැහිපීල්ලෙන් වතුර වැටෙන බටේ ලඟට පැන්න බලු තඩිය බටේට අත් තියල හිටගෙන තලගොයාට

පොළවට බැහැපන් තලයො කියල තර්ජනය කරන්න පටන් ගත්ත. ඒ අතරෙ මං දිහා බලල කෙඳිරි ගානව

“අනේ මොනාද අනේ එන්න කියන්නකො එයාට බිමට” කියල කියන්නැහෙ. ආයෙ උන්න ගමන් මං දිහා බලල බුරා හැලෙනව. “කිව්වට එයා එන්නෙ නැත්තං අරං හරි දෙන්නකො” කියන්න වගේ.

අවසානයේ බලවත් ආයාචනයට කන් දෙන්න තීරණය කරපු තලගොයා වැහි පීල්ලෙන් තාප්පෙට මාරු වුණා. රෙක්සි නොයිවසිලිමත් වුණා. බිරීම නැවතිලා හැහ් හැහ් ගාමින් බටේ ලඟින් තාප්පෙට මාරු වුණා..

තලගොයා කිසිම ගාණක් නැතුව පාඩුවේ උගේ මහේශාඛ්‍ය ගමන් ලීලාවෙන් තාප්පෙ දිගේ සක්මන් කරන අතරේ  වරින් වර උඹ අල්ලයි මගෙ වලිගෙ කියන්න වගේ රෙක්සිට දිව ඇද්ද.

රෙක්සි බුරමින් අත් දිගු කරමින් තලගොයාව බිමට බාගන්න  එහාට දිව්වා මෙහාට දිව්වා. තාප්පෙ පාදමට නැග්ගොත් නං තාප්පෙ උඩට අත දිග ඇති කියල තේරුණ පාර එහෙම නගින්න හදල දෙපාරක් විතර දබෝරියං ගාල බිම වැටිල පස්ස බිම ඇණුන.   මේ උදේ පාන්දර රෙක්සිට මොන යකෙක් වැහිලද බලන්න පහල ගේට්ටුව ලඟට රූෆි ආව. මොහොතකට තලගොයාව අමතක කරපු බලුතඩිය දුවල ගියා රූෆිට බුරන්න.

ඔය අල්ලපනල්ලෙ තලගොයාට ඕනෙ වුණා තාප්පෙන් පාර පැත්තට පැනල නොයා අපේ වත්ත හරහාම වෙල පැත්තට යන්න. ඌ හෙමින් සැරේ තාප්පෙට පහුරු ගහමින් බැහැල මිදුල හරහා හරියට කිසිම ජීවිත තර්ජනයක් නෑ වගේ ලතා දමමින් සක්මන් කරන හැටි දැක්කම මගෙ ඇඟේ ලේ වතුරවුණා.

ඉක්මණට පලයංකො යන ගමනක්!! අර වසවර්තිය දැක්කොත් උඹට මොකක් වෙයිද දන්නෙ නෑ…

මං එහෙම කියල කට ගන්න වුනේ නෑ.

වත්තෙ එහා කොණට ගිහින් රූෆිට බුරමින්  හිටියත් තලගොයා කෙරෙහි බැඳි අප්‍රමාණ දයාවෙන් ඔද වැඩිල ඌ දිහා ඇහැ ගහගෙනම හිටිය රෙක්සි පිම්මෙ පැනගෙන ආව. තලගොයා ඒ වෙද්දි මිදුලෙ අඹගහ පහු කරමින් හිටියෙ. හරියටම මගේ කොළ රොඩු  කවරෙ ලඟ. බලු තඩියා එන බව දුටු තලගොයා පුලුවන් වේගෙන් වෙල පැත්තට දුවන්න හැරුණ.

ඒත් ඌත් මාත් හවුලෙ කරපු පූරුවේ අකුසල කර්මෙකට වාගෙ උගෙ කකුලක් පැටලුණා මං කොළ එකතු කරල තිබුණ පෝර කවරෙන් ඇදිල තිබුණ රැල්ලක.

ඒ ඇහිල්ලෙන් රෙක්සි වෙසමුණියා වගේ හිස වනමින් පිඹිමින් අදනම් තලගොයි මස් කා මිස පස්ස නොබලමියි කියා බලවත් අධිෂ්ඨානයෙන් යුක්තව තලගොයාගෙ ඇඟට පැන්න. පැන්නට  වේගෙ පාලනේ කරගන්න බැරි කමට පිම්ම වැරදුණා. තලගොයත් අවිඥානිකව වුණත් උපක්‍රමශීලී වුණා. රෙක්සිගෙ පිනුම් ස්ථානගත වෙන තැන්වලින් ගෑවී නොගෑවී අයින් වුණා.

ගමේ ගොඩේ කතාවට කියනව නෙ ඔරු කාරයෙක්ට එක රිටි පාර වැරදුනාම රිටි පාර හතක් ගහල වත් ආයෙ හදන්ඩ  බෑ කියල. ආන්න ඒක සනාථ කරන්න වාගෙ රෙක්සි නැවත නැවතත් පැන්න කලබල පිමි තුන හතරක්ම තලගොයාගෙ ඇඟ මත සමපාත නොවී අඹ කොළ ගොඩ උඩට  වැටුණා. තලගොයා සිහි මුර්ජාවෙලා වගේ, කොටින්ම බල්ලට අහුවෙලත් ඌ තාම ජීවත් වෙනව කියන එක ඌටම අදහගන්න බෑ වගේ බලං හිටිය.

රෙක්සි.. අයින් වෙනව ඔතනින්!! මට සිහිය ආව ගමන් මං කෑගැහුවට රෙක්සි නෙවෙයි සටන අතාරින්නෙ..

බුරමින් තලගොයා දිහාට පනිනව. තලගොයාගෙ පිටට අත තියනව හපන්න හදනව.

හපන්න හදන වාරයක් ගානෙ මාත් මර හඩ තියනව.

බල්ලට කීප වරක් පිම්ම වැරදුන බවත්, ඒ නිසා තමන් තවම පණ පිටින් සිටින බවත් තප්පර දෙක තුනකට පස්සෙ වටහා ගත්ත තලගොයා හැකි වෙර යොදල තමන්ගෙ කකුල පෝර කවරෙන් ඇදගන්න හැදුවත් ඒක තදින් පැටලිලා.

තමන්ගෙ අභිමානයට වෙච්ච කැලල දරාගන්න බැරුව කුපිත වෙච්ච බලුනයිදෙ තලගොයා වටේ රවුම් දුවමින් ගෝත්‍රික ගිනිමැල නැටුමක් නටන්න පටන් ගත්ත.

ඒ අවසරයෙන් තමන්ගෙ කකුලෙ පැටලුණ පෝර කවරෙත් ඇදගෙන තලගොයා වෙල දිහාට දිව්ව.

බල්ලත් හති හලමින් ක්ෂණිකව පස්සෙං දිව්ව. ඒ දුවන ගමන් තලගොයාව කටින් හපන්නත් හැදුව.. කොහොම හරි තාප්පෙට අඩි දෙක තුනක් තියා රෙක්සි  තලගොයා ඇදගෙන යන පෝරකවරෙ උඩ අඩිය තියපු නිසා තලගොයාගෙ පැටලුම ලෙහුණ.

ඊලඟ මොහොතෙ සිද්ද වෙන්න යන දරුණු ඛේදවාචකය ඉවෙන් දැනුන හන්ද මාත් ඉදල අතෑරල  ඒ පස්සෙං දිව්ව.

අපරාදෙ කියන්න බෑ අතුගාල එකතු කරල විනාඩි පහක් ගතවුණ තැන අඹ කොළ ටික ආයෙමත් අතුගාන්ඩ කලින් තිබුණට වඩා අතුරල දුන්න තලගොයා මියෙම්වා රැකෙම්වා කියා අමාරුවෙන් තාප්පෙ බඩ ගාගෙන බලු කටින් බේරිලා වෙලට පැන්න.

රෙක්සිත් තාප්පෙ කොච්චර උසද, එහා පැත්තෙ තියෙන්නෙ ඇලක් ද වෙලක්ද කියල කිසිම විඥානයක් නැතුව තලගොයා පස්සෙන් තාප්පෙ පනින්න හදද්දි මං බෙල්ලෙ හමෙන් ඇදල අරන් වත්ත පැත්තට දාගත්ත.

සියලු ශරීර ශක්තිය පාවිච්චි කරල අල්ලං හිටියත් මූ මාව ඇදගෙන ආපහු තාප්පෙ ලඟට ඇවිත් තාප්පෙට අත් දෙක තියල බැලුව.පනින්න උත්සහ කළා. මං අලියගෙ නැට්ටෙ එල්ලිලා දිවිය ලෝකෙ යන්න ගිය ගමරාල වගේ බල්ලගෙ බෙල්ලෙ හමෙන් ඇදගෙන රෙක්සිට තර්ජනය කළා.

උඹ මෙතනින් පැන්නොත් නං අද මම උඹට හොඳ පාඩමක් උගන්නනව බල්ලො

තලගොයා පණ එපා කියල ඇලට පැනල වතුර මැද්දෙන් බස බස ගාල දුවල ඉවුරෙන් ගොඩවෙලා වෙල මැද්දෙ අතුරුදහන් වුණ හැටි දුකෙන් බලන් හිටිය රෙක්සි නළල රැලි කරගෙන මං දිහා බැලුව. ඒ විතරක් නෙවෙයි පිටේ මවිල් පුම්බගෙන  මගේ අනපේක්ෂිත මැදිහත් වීමෙන් තමන්ගේ ගොදුර වැලකී ගිය එක දැඩි සේ හෙලා දැක්ක.

බව් වව්වව් වව් වව් වව් වව් වව්…

 

තලගොයාගෙ පින්තූරෙ කලිත් මල්ලිගෙ බ්ලොග් එකෙන්. ස්තූතියි මල්ලි!

Posted in Uncategorized | ප්‍රතිචාර 4

රෙක්සි හෙවත් අභිනව ගෘහමූලික…!!

 

ඔන්න ඉතිං රෙක්සිය හෙමින් හෙමින් අපේ ගෙදර පාලනේ අතට ගත්ත. දවස ගානෙ ගෙදර මොනම හරි දේකට අලාබහානි කළා. හැන්දෑවට පෙම්බරය ගෙදර එනකල් බලන් පාර බලන් ඉඳල එයා ගලවල දාන මේස් කටින් අරන් එහාට මෙහාට පැන පැන අල්ලන සෙල්ලං කරන්න කතා කළා. ඒ මදිවට ගෙදරට එන කාව වුණත් සෙල්ලමට අල්ලගන්න මාන බැලුව. ඒ කාලෙ වෙද්දිත් රෙක්සිය හෙන උසයි. ඌට අපේ උරිස්සට අත් තියල අපිව බිම පෙරලන්න පුලුවන් බොහොම ලේසියෙන්. ඒ හන්ද පරිස්සමෙං තමා උන්දැ එක්ක ගනුදෙනු. මොකද පෙම්බරයයි මල්ලියි එක්ක මල්ලව පොර අල්ලල පුරුද්දට මූ මාවත් අල්ලගන්න එනව වෙලාවකට.

ලොකුම වරදකට තිබුනෙ අපේ ගෙදර හදිස්සියකටවත් කූඩුවක් නැති එක. ඉතිං ඌට ඕනෙ හැටියට අපේ දෛනික කටයුතු වෙනස් කරන්න වුණා. වෙලාවකට මට ඌරු ජුවල් නැග්ග. රස්සාවෙන් අස්වෙලා ගෙදර හිටිය මගෙ අලස සුවය මේකා ඇවිල්ල කාබාසිනිය කරල දැම්ම හන්ද.

අපරාදෙ කියන්න බෑ මේ පිස්සු හටන එක්ක ගෙවෙන කිසිම දවසක් එක වගේ නෑ.

ඒ තරම් ප්‍රීතිමත්ව, නැවුම්ව, ක්‍රියාශීලීව දවස අරඹන බල්ලෙක් මං දැකලම නෑ.  ඒ හන්දම උදේ නැගිට්ට වෙලේ ඉඳල මටත් ප්‍රීතිය කෙසේ වෙතත් දැඩි සේ ක්‍රියාශීලී වෙන්න වෙලා තිබුණෙ.

ගේ ඇතුලෙ හිටියොත් වෙන්න පුලුවන් අලාබහානිවල තත්වය ඉතා බරපතල වෙන්න ගත්ත හන්ද උදේ කෑම පිඟාන එලියෙන් තියල ඉස්සරහ දොර වහල එයාව එලියෙ තියන්න මං පුරුදු වුනේ ඒ හන්ද.

කොච්චර සෙල්ලං කළත් එලියෙ දිව්වත්  මං කාමරේ ඉන්න බව දන්න හන්ද රෙක්සිය සැරෙන් සැරේ ඇවිල්ල ජනෙල් දොරවල් හූරල එයාව ගෙට ගන්න කියල කනිපින්දං කිව්ව. මට දුක හිතෙන ස්වරයෙන් දුක් ගී ගායනා කළා. තරහෙ උපරිම අවස්ථාවෙදි ගමටම ඇහෙන්න බිරුව.

ඔන්න ඉතිං එයාගෙ බෑන්ඩ් වාදනය රටට කරදරයක් වෙන තැනට ආවාම කොච්චර අකමැත්තෙන් වුනත් මං එයාව ගෙට ගත්ත.

දොර ඇරිය ගමන් මාවත් තල්ලු කරගෙන පිස්සෙක් වගේ ගෙට එන රෙක්සි සමහර දාට තමන්ගෙ වේගෙ පාලනේ කරගන්න බැරුව ගේ ඇතුලෙ ටයිල් උඩ ලිස්සල ගිහින් වැටුන. මුල දවස් දෙක තුනක්ම මූ පිට පිට මගෙ කාසි දාන බෝල් එකම පෙරලුව. දෙවෙනි දවසෙ මං බනිද්දි ඔලුව හරව හරව බලන් හිටිය. තුන්වෙනි දවසෙ මටත් තරහ ගියා නොසෑහෙන්න. අහුලල ඉවරයක් නෑ. සමහර දවසට දෙසැරෙත් පෙරලනව ඒක.

දෙකක් දෙන්නම හිතුණ කොස්ස අරං. ඒත් හෙමින් සැරේ මොකද කියල කල්පනා කළාම තමයි මට තේරුණේ ඇයි එහෙම කරන්නෙ කියල.

ගෙට ගන්නෙ නැති තරහට රෙක්සිය අහුවෙච්ච වෙලාවෙ වේගෙන් ගෙට යන්නෙ මට තරහ යන වැඩක් කරල මාව අවුස්සන චේතනාවෙන්.

කාසි බෝල් එක ඒකට කියාපු භාණ්ඩෙ කියල ඌ දැනගෙන

දෙන්නං උඹට කියල මං ඊලඟ දවසෙ ඒක අරන් තිබ්බ අල්මාරිය උඩින්.

ඔන්න සිරිත් පරිදි දවල් මං දොර ඇරියාම රෙක්සිය පිම්මෙ දුවගෙන කෙලීන්ම ආවෙ කාසි බෝල් එක හොයාගෙන..

හෑ!! ඒක නෑ..!!

දිනපතා පෙරලල පුරුදු වෙච්ච සලබලාං බෝල් එක නැතුව රෙක්සිය එක පාරටම ඉද්ද ගැහුව වගෙ බ්රේක් කළා.

කාසි බෝල් එක තිබුණ තැන දිහාත් මගේ මූණ දිහාත් දෙපාරක් මාරුවෙන් මාරුවට බලල මොකද්ද ඔයා ඒකට කළේ!! යනාකාරයේ රෞද්‍ර බැල්මක් මං දිහාට හෙලුව.

මං හිත යටිං හිනා වෙලා කුරිරු සතුටක් ලැබුව

හොඳ වැඩේ… ඇද්ද උඹට!!

ඊලඟ තත්පර තුන හතර ඇතුලත සිද්ද වෙච්ච දේ කියන්න දුකයි!

රෙක්සිය පැන්න ගමන් රිංගුව කාමරේට. ඒකෙ එක ඇඳක් උඩට පැන්න. ඇඳ ඇතිරිලිවල මඩවලින් කකුල් පාරවල් සීල් තියමින් නැටුව..

මට කෑගැස්සුනා!!

ඒයි මෝඩ බල්ල බැහැපන් ඇඳෙන්..

මං වටපිට බැලුවෙ පාරක් දෙන්න යමක් හොයා ගන්න. කලින් වතාවෙ පස්සට අතින් ගහපු පාරෙ සැර මට දැණුන තරම අමතක වුනේ නෑ ඒ තරහ අස්සෙත්!!

අතට අහු වුණේ දොර මුල්ලෙ තියල තිබුණ, අපේ අම්ම ආවම ඇඳන් උඩ රස්නෙයි කියල එලන් නිදාගන්න කලාල පැදුර!!

මං දෑත බදල ඉලක්කෙ ගන්නකොටම මූ ඒ ඇඳෙන් පැනල කාමරේ අනික් ඇඳට නැග්ග.

අනේ ඉතිං ඒ ඇඳටත් අර වින්නැහියම වුණා!!!

මං කම්පනේටම ගල් වෙලා අතේ තිබුණ පැදුර උස්සගෙන මූට පාරක් තලාගන්ඩ අමතක වෙලා ඔහෙ බලං හිටිය.

ලස්සනට එක රැල්ලක්වත් නැතුව පිලිවෙලට තියල තිබුණ ඇඳන් දෙක යක්කු නටපු පිට්ටනි වගේ කරපු පිස්සු රෙක්සියා ඊලඟ මොහොතේ කඩාගෙන බිඳගෙන කුස්සියට දිව්ව. කලාලෙත් උස්සගෙනම මාත් රෙක්සිගෙ පස්සෙන් දිව්ව.

කුස්සියෙන් විහිදෙන ප්‍රණීත මාලු සුවඳට ඉව අල්ලපු බලුතඩිය එසැනින් හොයාගත්ත ඒ සුවඳ විහිදෙන්නෙ පැන්ට්‍රිය උඩ තියල නිවෙන්න තියල තිබුණ උගෙ බත් බාජනෙන් කියල.

ඉතිං මගෙ එදා දවසෙ වාසනා චක්‍රය තියෙන්නෙ උගේ අතේ බව මට ඉන්තේරුවෙන්ම ඒත්තු ගන්නන්ඩ වගේ  රෙක්සිය උගේ බත් භාජනේට තව ලං වෙලා ඉව කරන්න පැන්ට්‍රියට අත් දෙක තිබ්බ පාර තිබ්බවුනේ භාජනේ ගැට්ටෙ!

ටාං… රාං රාං.. රාං රාං ටං!!

භාජනේ බිම වැටිල සංගීතමය රිද්මයකට රවුම් රවුම් කැරකුණා.

බත් කන්ද කුස්සියෙ සිමෙන්ති පොළව උඩ සීසීකඩ විසිරුණා!

කටවහපන් භාජනේ!!! කියල භාජනේට පැන පැන දෙපාරක් බුරපු රෙක්සිය මං දිහා අපූරු නැටුම් බැල්මක් හෙලල බිම තුනී වුණ බත් පංගුව කාගෙන ගාගෙන යන්න පටං ගත්ත.

මං කලාලෙ බිම අතෑරල කුස්සියෙ ජනේලෙ ලඟ පුටුවෙ ඉඳගෙන කම්මුලේ අත තියාගෙන ගෘහමූලිකය සිහියක් පතක් නැතුව දවල්දානෙ ගන්න හැටි බලං හිටිය.

හොඳයි මං වෙන මක්කරන්නද?

Posted in Uncategorized | ප්‍රතිචාර 12

රෙක්සි..!

wp-1484957130873.jpg

රෙක්සි කියන්නෙ අපේ මල්ලිට පුංචි කාලෙ ඉඳල තියෙන බලු පිස්සුව ලොකු මහත් වෙලා කසාද බැඳලවත් සනීප වුනේ නැති හන්ද කැන්දං ආව බල්ලා.

අපරාදෙ කියන්න බෑ නමටම කැපෙන වංශවත් රිජ් බැක් බල්ලා.

පොඩි කාලෙ ඉඳල මල්ලිගෙ වැඩපොලේ ඉන්න ඔක්කොමල සුවාමියො කියල හිතාගෙන හිටිය ඌ මොහොතක් නිකං ඉන්න බැරි ගායක් තියෙන සතෙක්. රෙක්සි කූඩුව කඩාගෙන පනිනව. පැනල ඇලවල් ගානෙ නටල හැන්දෑවට එනව. ඒ මදිවට වැඩපොලේ මිනිස්සුන්ගෙ ඇඳුම් තුවා උඩ නටනව. එතනම කාමරයක් අරන් ඉන්න කඩලෙ (කඩල කරත්තයක් කරන ඒ ළමයට අපේ මල්ලිල ආදරේට කියන්නෙ කඩලෙ) අමාරුවෙන් දවස පුරා ලියපු පොල් කෑලි දාපු බාජන පෙරලගෙන දුවනව. අපේ ගෙදර හැදෙන විනිීත සුවච කීකරු රොවා එක්ක ගත්තම මේ රෙක්සිගෙ ගසගරත්තු වැඩ දකින අම්මට නං රෙක්සිගෙ හැදියාව හරි ගියෙම නෑ.  ඉති අපේ මල්ලි නිතර බැනුං ඇහුව “මෙතන ඉන්න උන්ගෙ හැටියට එපැයි සතා හැදෙන්න” කියල.

ඔන්න දෙයියනේ කියල රෙක්සිට මාස හය හතක් වුනාට පස්සෙ මල්ලිලට තරමක් දුරට යන්න වුණ නිසා රෙක්සියව ටික කාලෙකට අපේ ගෙදර නවත්තල යන්න වුණා.

මොනව වුනත් රෙක්සිය හෙන කියුට් බල්ල.

ඉතිං ඒ කාලෙ මං රස්සාවෙං අයින් වෙලා ෆුල් ටයිම් රෙක්සිගෙ ආයම්ම රස්සාව කරන්න පෙරුම් පුරාගෙන බලං හිටියෙ. ඒක මේ තරං කුරිරු අත්දැකීමක් වෙයි කියල මට ඒ වෙනකොට හීනෙං වත් හිතිල තිබුණෙ නෑ.

ඔන්න ඉතිං එක දෛවෝපගත හැන්දෑවක මල්ලි රෙක්සිව අපේ ගෙදරට ඇරලල, උම්ම දීල එහෙම දුකෙන් ගියා. රෙක්සි වගේ වගක් නැතුව අලුතෙන් හම්බුණ වත්ත වටේ දිව්ව. කොට තාප්පෙන් එබිල වෙල දිහා බල හිටිය.. අල්ලපු ගෙදරයි අපේ ගෙදරයි අතරෙ තියෙන ගේට්ටුවෙන් හොම්බ දාල වත්තේ දේශසීමා ගමටම කියාපාන්ඩ වගේ බිරුව.

ඒ සද්දෙට සැන්ඩි ආන්ටිගෙ බල්ල රූෆස් පිම්මෙ දුවගෙන ආව ගේට්ටුව ලඟට.

එතන තුන්වෙනි මහා සංග්‍රාමය ඇති වෙන්න කලිං අපි දෙන්න රෙක්සිව වත්තං කරං අරං ඇවිල්ල ගෙට දාගත්ත.

ඔන්න ඉතිං  රෙක්සි අපේ ගෙදර ඉන්න මංගල රාත්‍රිය උදා වුණා. පළවෙනි දවසෙ ඉතිං අපි දෙන්නත් අනේ පොඩි එකා පවුනෙ කියල ගේ ඇතුලෙ තැනක පරණ බෙඩ් ෂීට් එකක් එළල දීල එහෙම නිදාගන්න දුන්න.

රෙක්සි මැණිකක් වගේ සුවසේ නිදි ඇති කියල හිතං උදේ නැගිටල කුස්සියට යන්න එනකොට මං දැක්කෙ ඇඟ ලොඹු ඩැහැගැන්වෙන දර්ශනයක්.

අයනිං බෝඩ් එකේ යට තට්ටුවෙ තිබුණු පුංචි තෙල් කුප්පි සේරම කෑම කාමරේ පුරා විසිරිලා.. සමහර ඒව බිඳිල… තෙල් ගංගා ගලාගෙන යනව.  වේවැල් කූඩෙක දාල තිබුණ සෙලෝ ටේප්, පරණ පෑන්, බොත්තං, ආදී ලට්ට ලොට්ට සීසීකඩ.

ඔක්කොමත් හරි කැටයක් කැඩුව වගෙ කාසි!

මු මං කාසි එකතු කරපු ප්ලාස්ටික් බෝල් එක පෙරලල.

මේ ඔක්කොම මැද්දෙ හරිම ප්‍රසන්න සුවඳක් හමනව..

කාසි ගොඩ මැද්දෙ රෙක්සි විරාජමානව ඉන්නව මං ආව කියල වගේ වගක් නැතුව.

මහා අරාබියානු ධන කුවේරයෙක් ගඩුගුඩාව අදිමින් ඉන්නව වගේ නංගිගෙ කුමාරිකා තෙල් බෝතලේ හපමින්!

බෝතලෙන් එලියට ආව සැවැන්දරා මුල් රෙක්සිගෙ කට අස්සෙන් එලියට පැනල තිබුණ හන්ද නිදිමතේ වුණත් මට රෙක්සිගෙ මූණ පිස්සු හැදිච්ච සීල් කෙනෙක් ගෙ වගේ පෙනුනෙ.

මට ඉතිං උදේ පාන්දරම රතු කටුව පැන්න. මං දැක්ක විතරයි රෙක්සි නැගිට්ට. හෙන ආඩම්බර මූණක් හදාගෙන හාත්පස බලල මේ බලන්ඩ මං ඔයාලට පේන්ඩ රෑ තිස්සෙ කරපු වැඩ කියන්න වගේ මං දිහා බලල

බවු වවු වවූ….!!!

කියල පලාතම දෙදරන්න බිරුව. අනපේක්ෂිත බිරිල්ලෙං මං උඩගිහින් බිම වැටුණ.

කට වහපං! පාන්දර පහ හමාරට ශබ්ද පූජාව පවත්තන්න මොකද මේක මාලිගාවයැ?

දෙයියනේ මොකද්ද මේ කරල තියෙන විනාසෙ!!

මං පැන්න ගමන් රෙක්සියගෙ පස්සට දෙකක් දුන්න.

මගෙ අත හිරි වැටිල ගියා.. හරියට වී ගෝනියකට අතිං ගැහුව වගෙ.

රෙක්සිට ඒකෙන් කිසිම දෙයක් වැටහුනේ නෑ.. එයා හිතුවෙ මං එයා එක්ක සෙල්ලං කරන්න එනව කියල විතරයි. මං ඉතිං අමාරුවෙං තරහ පාලනේ කරගෙන රෙක්සියගෙ පස්ස පැත්තට දෙකක් දීල පුපුරු ගහන්න ගත්ත අතට පිඹ පිඹ අඩියක් ඉස්සරට තිබ්බ විතරයි වේවැල් කූඩයේ යැයි සිතිය හැකි යමක නශ්ටාවශේෂ තිබුණ වමනෙ ගොඩක් ආකාරයට කුස්සියට යන දොරකඩම.

මට ඉතිං කරන්න පුලුවං දේකට තිබුණෙ ගිනි මකර වේශයක් අරන් රෙක්සියව දවා හලුකරගෙන යන බැලුමක් හෙලන එක විතරයි.

රෙක්සි ඉතිං වගේ වගක් නැතුව උගෙ නැට්ට වන වන ඔලුව ඇලකරගෙන වසඟකරවනසුලු හුරතල් බැල්මක් හෙලාගෙන හිටිය.  මං කුස්සියට ආවම මගෙ පස්සෙං ආව

කේතලේ ලිපේ තියල ගෑස් එක පත්තු කරන සද්දෙ ඇහුණ විතරයි මෙන්න ආයෙත්

බව් වව් වවූ…….! කියල  රෙක්සි බිරුව.

උගෙ බිරුම් හඩ කුස්සියෙ උස බිත්ති අතරෙ වැදිල දෝංකාර දුන්න.

මූට මොන යකෙක් වැහිලද උදේ පාන්දර කියල තනියම කියව කියව මං තේ හදන්න ගත්තම මෙන්න මූ පැන්ට්‍රි එකට අත් තියල නැගල ඉව කරනව.

එතකොටයි මං දන්නෙ උදේ පාන්දර “බව් වව් වව්” කියන්නෙ කිරිවලට කියල!

අන්න එහෙමයි රෙක්සි මට එයාගෙ ආයම්ම විදියට පළවෙනි පාඩම කියල දුන්නෙ..

අපරාදෙ කියන්න බෑ රෙක්සි ඒ වයසටත් කිරි ලීටරයක් විතර බිව්ව.

රූමස්සල තරං බත් පිඟානකුත් කෑව..

රෙක්සිගෙ අවිනීත කෑම පිලිවෙල විනීතව, බත් ඇටයක් හැලෙන්න දෙන්නෙ නැතුව බත් කන අපේ රොවා දැක්කනං සිය වර්ගයා ගැන දරුණු කළකිරීමක් ඇතිවෙන්න ඉඩ තිබුණ කියල මට  පළවෙනි දවසෙම හිතුණ.

පළවෙනි දවසෙ උගත් පාඩම් වාර්තාව අනුව අපි දෙවෙනි දවස‍ෙ රෙක්සිගෙ නිදිපොල ස්ථාන මාරුවකට ලක් කළා.

ඒ අකමැත්තෙන් වුනත් රෑට රෙක්සිව එලියෙ නිදි කරවන්න තීරණය කරල.

ඉතිං රෙක්සිගෙ කොට්ට පැදුරු සේරම එළියෙන් තියල රෙක්සියත් එලියට දාල අපි දෙන්න දොර වැහුව.

රෙක්සි දොර සූරල අපේ කාමරේ ජනේලෙ සූරල හරියන්නෙ නැති තැන ඒ මහ රෑ තනියෙන් අල්ලන මිදුලෙ සෙල්ලං කරන්න ගත්ත බව රෙක්සි ටයිල් උඩ ලිස්සන සද්දෙනුයි බස බස ගාල වේලිච්ච කොල උඩ දුවන සද්දෙනුයි අපිට තේරුණා. ඊලඟ දවසෙ උදේ මං අවදි වෙලා ඉස්සෙල්ලම කලේ ඉතිං ආයම්ම විදියට රෙක්සි මොකද කරන්නෙ කියල බලන එක.

අනේ දුකේ බෑ!  රෙද්ද දාපු තැනම තියෙනව. රෙක්සි ඊට එහායින් ටයිල් උඩ දපල නිදි.  උන්දැ මාව දැකල අවදි වෙලා ඔලුව උස්සල බලනකොටම මං එලියට අඩිය තිබ්බ. අඩිය තියද්දි පයට පෑගුනේ වෙනද වගේ පාපිස්ස නොවෙන නිසා අවිඥානිකවම මහ හඬ දීගෙන මං පස්සට පැන්න.

පොඩ්ඩක් සංසුන් වුණාට පස්සෙ බැලුවම පාපිස්ස තිබුණ. ඒත් ඒක හදිසි වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා වගේ ඉහිදැල් වෙලා තිබුණ. රබර් පාපිස්සෙ කෑලි පෝටිකෝවෙ හතර වටේ. සෑහෙන ප්‍රමාණයක් රෙක්සිගෙ ආමාෂගත වෙලත් තියෙන බව සක්සුදක් සේ පැහැදිලියි ඉතිං.

මගෙ සද්දෙට පෙම්බරයත් අවදි වෙලා ආව. අපි දෙන්න එකතු වෙලා ඒ උදේ පාන්දරම දවසේ අලාබ තක්සේරු වාර්තාව ගත්ත.

ගේ ඉස්සරහ පාපිස්ස වනසල..

අඹ ගහ වටේ තිබුණ සරු සාර ඇන්තූරියම් පැල ටික ඒවගෙ දිග නටු ටික විතරක් ඉතුරු වෙන්න කාබාසිනිය කරල දාල..

පෙම්බරයගෙ අම්ම ආසාවෙන් වවාපු රෙඩ් පාම් ගස්වල කොල වැඩි හරියක් මැදින් කඩල.

ගෙඩි පිරිල තිබුණ බිලිං ගහට දරුණු මෝටාර් ප්‍රහාරයක් එල්ල වෙලා වගේ. ලොකු කුඩා භේදයකින් තොරව ගෙඩි බිම!

ගහේ කඳ හපල තුවාල කරල.

ඒ මදිවට නංගි කලින් දවසෙ හවස අතුගාල ගොඩ ගහපු වේලිච්ච අඹ කොල ගොඩේ නටල අඹ කොල ගොඩ ආයෙමත් මුල ඉඳල අතුගාන්න වෙන තැනට සමතලා කරල.

රෙක්සි නිසා සිදුවෙලා තියෙන ද්‍රව්‍යමය පාඩුවලට වැඩි මානසික පාඩුවක් අලාභ දැකීමෙන් උදේ පාන්දරම සිදුවීගෙන යනබව අපි දෙන්නාටම වැටහී ගියා.

උදේ පාන්දර අවදි වෙලා අපි දෙන්න තේ හදන්න ගෑස් එක පත්තු කරන්නෙ නැතුව මිදුලෙ ඇවිද ඇවිද මොන කෙහෙම්මලක් කරනවද කියල බලං ඉඳල ඉඳල බැරිම තැන පලාතම දෙදරවං අල්ලපු ගෙවල්වල මිනිස්සුත් අවදි වෙන තරං සද්දෙට රෙක්සි බිරුව.

මෙතන තක්සේරු වාර්තා ගන්නෙ මාව නැගිට්ටෙව්ව නං මට කිරි දියව්!!

බව් වව් වව්!!

Posted in Uncategorized | ප්‍රතිචාර 7

රොවා ජූනියර්ගෙ පැටිකිරිය..!

377431_10150439021318613_929799643_n

මං කිව්වනෙ කලිනුත් අපේ අම්ම රොවා (සීනියර්වයි ජූනියර්වයි දෙන්නම) ව හැදුවෙ බොහොම සිල්වත්ව දැහැමිව,පිරිසිදුව ඉන්න කියල දීල. මේ කතාව රොවා ජූනියර් ගැන. කොටින්ම එයා ඉන්නෙ එයාටම කියල කුස්සිය පිටිපස්ස දොර ඇරෙන තැන හදාපු බාග දැල් බිත්ති තියෙන කාමර කෑල්ලෙ නිදැල්ලෙ.. එතනින් එලියට මිදුලට බහින්න තියෙන දැල් දොර අස්සෙන් උන්දැට ගංගොඩට යන පාර පේනව. ඉතිං අම්මට ගංගොඩ පාරෙ යන කොල්ලොයි බල්ලොයි එක්ක රොවා හදාගන්න ආරෝවල් විසඳල ඉවරයක් නෑ. කොච්චර ගුණ දහම් කියාදීල හැදුවත් ඉතිං බල්ලෙක්ට වුණත් ඉවසන්ඩ පුලුවංද ඔය හැටි වැට අස්සෙං පොඩි කොල්ලො කොලොප්පං කරදන එක පේනකොට?

ඒ මදිවට රොවා යම් යම් දේ දන්නව.

එයා අපේ අම්ම සාරියක් ඇඳල එලියට බහිනව නං එයාගෙ විලාපය පටන් අරන් කිසිම පලක් නැති බව මනාව වටහගෙන ඉන්නෙ. හැබැයි සායක් හැට්ටයක් ඇඳල එලියට බැස්සොත් නං විනාසයි. අම්ම කඩේ ගිහිං එනකල්ම විලාප තියනව.

අම්ම හැමදාම හැන්දෑවට එයාට කිඹුල බනිසක් දෙනව. රොවා ඉතිං හැදියාව පිළිබඳ බලු තරඟයක් එහෙම තියෙනව නං ආයෙ එකෙන්ම දිනන තරං හැදියාව අතිං ඉහළයි. කවදාවත් පැන්න ගමන් කාගෙන කාගෙන යන්නෙ නෑ.. ඕක ලඟ තියාගෙන  මැණිකක් රකිනා නා රජිඳෙකු සේ ආඩම්බරෙන් ඉන්නව.  අම්ම තේ එක බීල ඉවර වෙනකොටත් ඕක තියාගෙන ඉන්නව නං අම්ම  පූසොන්ට කතා කරනව.

“පූස්… කෝ මේ පූස්.. ඇවිල්ල මේ රොවාගෙ කිඹුල බනිස් කන්ඩ” කියල.

ඔන්න රොවා නැගිටිනව.

කන් දෙක කෙලින් වෙනව. පිඹිනව. අම්මගෙ තීරණය ගැන අකමැත්ත ප්‍රකාශ කරන්ඩ  බලුකාමරේ වටේ රවුම් රවුම් කැරකෙනව. වැරදිලාවත් කාමරේ කොනේ වී ගෝනි උඩ පූසෙක් නිදාගෙන හිටියොත් ඉතිං රොවා පැන්න ගමන් අර පූසට බුරා හැලෙනව. පූස උඩ ගිහිං ඇහැරෙන්නෙ. ඉතිං උන්දැට වෙන්නෙ බෙලි ගෙඩිය තල් අත්ත උඩට වැටුණ වෙලාවෙ හාව දිව්ව වගේ දුවන්න තමා.

ගුණවතී නැන්ද ඇවිල්ල ඉන්න වෙලාවක නං එයා කියනව

“කෝ නෝම්මාත්තය මට දෙන්ඩ රොවා කන්නැත්තං කිඹුලව” කියල..

කොච්චර යාලුව වුණත් කිඹුල බනිස් නං බෙදාගන්ඩ බෑ කියල රොවා ගුණවතී නැන්දට ඔරවල හීං හඬින් ගොරවල කියනව.

රොවා හැමදාම කිඹුල බනිස කන්න පටං ගන්නෙ ඔය තේවාව පවත්වල තමා

අපේ රොවා නාන්න කොච්චර අකමැති වුණත්, පුංචි කාලෙ ඉඳල සතියක් ගානෙ අම්ම උන්දැව ගේ පිටිපස්සෙ ටැප් එක ලඟට දක්කං ගිහිං නාවනව. ඒකත් එක නාඩගමක් ඉතිං.

1796478_10152004908173613_2059645562_n

අම්මා, ගුණවතී නැන්දා සහ රොවා

“හා නාමු කොල්ලො…” හොඳට ඉර පායල අවුව වැටුණ දවසට අම්ම රොවාට කියනව. රොවා ඉතිං නහය පිඹ පිඹ හචිං ඇර ඇර එයාට හෙම්බිරිස්සාව ආදී නෑමෙන උත්සන්න විය හැකි රෝගාබාධ තියෙන බව හඟවන්න හදනව.

අම්ම යකඩ ඉන්න අතට ගත්තාම ඉතිං රොවා දන්නව එයාගෙ සම්‍යප්‍රයෝග එකක්වත් රොවා නෑවීම පිලිබඳ තීරණය වෙනස් වෙන්න හේතු වුනේ නැති බව. අම්ම  යකඩ ඉන්න ගෙනිහිං ටැප් එක ලඟ බිම හිටෝනව. ඊට පස්සෙ රොවාව ඇදගෙන බලෙන් වගේ ගෙනිහිං බෙල්ල ලඟ ඉඳල අඩියක් වගේ දුර ඉතුරු කරල යකඩ ඉන්නෙ ගැට ගහගන්නව. රොවාට වෙනම සබන් පෙට්ටියක් තියෙනව. ඒකත් ගෙනල්ල තියෙන්නෙ.

ඉතිං කොච්චර අකමැති වුණත් රොවාට නාන්න වෙනව.

සබං ගානකං ඉඳල රොවා චට පට චට පට ගාල සරුවාංගෙම ගසනව.

“මක්කරනවද කොල්ලො?” අම්ම ආදර තරවටුවක් කරනව.

නාල බාගෙට පිහල එක්කන් ඇවිල්ල එයාගෙ පිහින රෙද්ද බිම එළල දුන්නාම ඒකෙ වැටිල රොවා පිට පිහගන්නව.

රොවාට කන්න දෙන්නෙ බෙලෙක් පිඟානක. වතුර බොන්න ඇලුමිනියම් මැටිකෝප්පයක් දෙන්න වුනේ ප්ලාස්ටික් භාජනවල කල්පැවැත්ම සම්බන්ධයෙන් රොවා ගෙ ඉතිහාසය අන්තිම නරක වීම නිසයි.

පැටිය කාලෙ එයාට වතුර දුන්න ෆෘට් ඇන්ඩ් නට් ෆියෙස්ටා අයිස්ක්‍රීම් භාජනයක් අම්ම එහෙ මෙහෙ වෙනකල් ඉඳල ඇස්වට්ටියක් වගෙ වෙනකල් හිල් විදල තිබුණ. අපරාදෙ කියන්න බෑ ‍අපේ රොවා කරන වැඩේ පිලිවෙලට කරනව. ඒ හන්ද අම්මට ඒකෙං හදිස්සියකට ආස්මි වුණත් වක්කරගන්න පුලුවං ගාණටම හිල් විදල.

ආයෙ දවසක අම්ම ගෙදර එන්න පරක්කු වෙලා. මෙයාට තරහ ගිිහින්.. කරන්න දෙයක් නැති තැන කන්න දුන්න පරණ ප්ලාස්ටික් බේසම මුලුවසං සත පහේ විතර කෑලිවලට කඩල තිබුණ.

එතනින් සෑහෙන ප්‍රමාණයක් උන්දැ කාල ගිලින්නත් ඇති තියල අම්ම බයවෙච්ච පාර රොවාව එයාගෙ ඩොක්ට ආන්ටි ලඟට එක්ක ගියා.

කොයි වෙලේද කෑවෙ කියල ඇහුවට කියන්න දන්න එකක්යැ? ඒ වෙලාවට වැරදි වැඩක් කළා කියල දන්න හන්ද නට්ට අකුළං ඉන්නව විතරනෙ. ඉතිං වමනෙ යන්න බෙහෙත් දුන්නට වැඩක් නෑ කිව්වලු.

එදයිං පස්සෙ උන්දැට ප්ලාස්ටික් කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ.

පුංචිම කාලෙත් මල්ලි ගෙදර නං රොවා නිදාගන්නෙ මල්ලිගෙ කාමරේ. යන්තං ඇඳට නැගගන්න පුලුවං කාලෙ ඉඳල මල්ලි ආවම කලින්ම කාමරේට රිංගගෙන ඇඳ යට ඉඳඟෙන අම්ම කාමරෙට එන ගානෙ මෙයා අම්ම එයාව එලියට දාවි කියල හිතල කලින්ම ගොරවනව. මල්ලිට හොඳටම නින්ද ගියාම හොරෙන්ම ඇඳට නගිනව. නැගල මල්ලිව තල්ලුකරල දාල හැඩට කොට්ටෙ උඩ නිදාගන්නව.

තාමත් මල්ලි ගෙදර ගියාම ඒ දවස් ටිකට අම්ම වටේ කැරකෙන්නෙ නැතුව එයා ඉන්න තැනක ඉන්න තමා රොවාගෙ වැඩි මනාපෙ.

ඒ විතරක් යැ රොවාට වෙනම නිදාගන්න එලන රෙදි තුනක් තියෙනව.

උන්දැ මක්කරලවත් නිදාගන්නෙ නෑ ඔය රෙද්ද සෝදල සුවඳ හම හමා තිබුණෙ නැත්තං. ඔය රෙදි කතන්දරේ පටන්ගත්තෙ රොවා අම්ම නිදාගන්න කං ඉඳල ටීවී එක වහන රෙද්ද ඇදල බිම එලාගෙන නිදාගන්න පුරුද්දක් පටන් ගත්තට පස්සෙ.  ඒ පාර අම්ම ටීවී එක වහන සැටින් රෙද්ද වගෙම එකක් එයාට දුන්න නිදාගන්න.ඒත් ඒකෙ එක දිගට නිදාගන්නෙ දවස් දෙකක් නැත්තං තුනක් තමා. වැරදීමකිං හරි ඊලඟ දවසෙත් ඕකම තිබුණොත් කෙලින්ම ටීවී එක වහන රෙද්ද ගත්ත එලාගත්ත නිදාගත්ත.

ඒ පාර අම්ම එයාගෙ රෙද්ද හෝදල දුන්න. අන්න එතකොට ඒකෙ හැඩට නිදාගන්නව. පොඩ්ඩක් වත් බලු ගඳ එනව නං බල්ලෙක් වෙලත් රොවා ඒ රෙද්ද උඩ නිදාගන්නෙ නං නෑ.

ඉතිං රෑට නිදාගන්න ගෙට ආවාම අම්ම ඔය රෙද්ද දීල

“හා එලාගන්ඩ කොල්ලො” කියනව

ඉතිං ඒක කියනකල් බලන් හිටිය වගේ රොවා ඒක මේසෙ යටට ගෙනිහිං හොම්බෙං එලාගන්නව. එක රැල්ලක් නැති වෙන්න එලිල තියෙන්න ඕනෙ.

අම්ම කියනව එයා දැකල තියනෙවලු රොවා රෑ මැදත් නැගිටල ඒක රැලිවැටිල නං ආපහු එලනවලු.

රෙද්ද එලල ගිහිනං එයා ටීවී බලන ඇඳ උඩ ඉඳගෙන ඉන්න අම්මගෙ දනිස් උඩින් ඔලුව තියල මූණ බලන් ඉන්නව.

ඒ ඉන්නෙ ඔලුව අතගාවගන්න.

මල කෝලං තමා ඉතිං!

අම්ම ඉතිං ඔය දවල්ට එක එක වැඩ කරල ඇඟපතේ අමාරුවට ශූලහර හරි, තුවාලයක් එහෙම නං සර්වවිශාදී තෙල් හරි ගානව නෙ.  ඉතිං ඒ ගාල අතේ ඉතුරු තෙල් ටික අර අවුරුදු කාලෙට අපේ ඉසතෙල් ගාන්නැහෙ අම්ම රොවාගෙ ඔලුවෙ ගානව.

රොවා හරි ආසයි සර්වවිශාදී තෙල් ගානවට. තිත්තම තිත්ත රහක් තිබුණත් උන්දැ ඒ තෙල් ගෑවිච්ච තැන ලෙවකනව.

ඒ නැතත් අපේ රොවාට මීමැස්සෙක් ඇන්නත්, කිනිතුල්ලෙක් කෑවත් ඇති ඇලර්ජි වෙලා පලු දාන්න. ඉතිං අපේ අම්ම රොවාව නිතිපතා සරුවාංග පරීක්ෂාවකට ලක් කරල සර්වවිශාදී තෙල් අල්ලක් අරං ඇඟ පුරා අතුල්ලනව.

“හා ගිහිං නිදාගන්ඩ කොල්ලො” කිව්වම අම්මගෙ මූණ දිහා බලං ඉඳල දිග හුස්මක් හෙලල ගිහිං අර එලල ආව රෙද්ද උඩ නිදාගන්නව

මතක් කර කර ඔය වගෙ එව්ව ලියන්න නං බැරියැ ගමකට..

රොවාගෙ මේ නරිනාටක කාලයක් තිස්සෙ බලං ඉඳපු මට හිතෙන්නෙම එක්කො රොවාට හොඳට සිංහල තේරෙනව.. එහෙමත් නැත්තං රොවා බලු වෙසින් ඉන්න මනුස්ස පරාණයක් වෙන්ඩ ඕනෙ

බල්ලෙක්ට ගිය කලක් අම්මපා!!

 

Posted in Uncategorized | ප්‍රතිචාර 11

රොවා සහ ගැම්බලයා…!

 

ඔය අපේ බල්ල රොවා ඉන්නවනෙ. සිල්වත් සුපේශල බල්ලෙක් විදියට තමා අපෙ අම්ම හැදුවෙ. කොටිම්ම අපේ ගෙදර‍ට ගේන බටර් බලුබටර්, බිත්තර බලුබිත්‍තර, වෙනේකක් තියා කඩේ මුදලාලි මාමත් අහන්නෙ “නෝන අද බලුබිස්කට් ගන්නෙ නැද්ද?” කියල. අපේ ගෙදර පූසො කැලතකුත් හිටිය.

මේ කියන්න යන සිද්ධිය වෙනකල්ම රොවා බල්ල හිටියෙ නිකං ඌට පූසො අරහං වගෙ. උන්ට පලාතක එන්ඩ දෙන්නෙ නෑ.. අම්ම දුම්මැස්සෙ තියපු උම්බලකඩේට කිට්ටු වෙන්න වත් දෙන්නෙ නෑ. කොටින්ම අපේ පූසොන්ගෙ විනය පිළිබඳ සියලු කටයුතු අම්ම බාර දීල තිබුනෙ රොවාට. ඉතිං මේ ආකාරයෙන් කටයුතු සිද්දවෙන අතරෙ ඉපදුන දා ඉඳල සෝෆාවේ පැහැරීම වැනි අලුගුත්තේරු වැඩ කරන නොසන්ඩාල පූසෙක් වුණ ගැම්බලයගෙ විනය අන්තීම නරක තත්වෙට හැරුණ හන්ද අම්මට සිද්ද වුනා උගේ ගෘහාභ්‍යන්තර වරප්‍රසාද අත් හිටුවල ඌව නෙරපන්න. රොවත් මේ  තීරණේ ඉහලින්ම අනුමත කලා විතරක් නෙවෙයි ගැම්බලයගෙන් අම්මට නැවත කිසිදු වදයක් නොවෙන්න ආරක්ෂක විධිවිධාන තර කලා. කොටින්ම රොවා පිටිපස්සෙ දොර ලඟ හොර නින්දෙන් වැතිරිලා කටාක්ෂ නිරීක්ෂණය කරමින් ගැම්බලයගෙ ප්‍රවේශ මාර්ග අවහිර කලා.

ඒ වෙද්දි ගැම්බලයගෙ දෛනික ආහාර සලාකය පවා කපා හැරල තිබුනෙ. (එහෙන් මෙහෙන් අල්ලගන්න,දෙමලිච්චෙක් ලේනෙක් ඇරෙන්න ඒ වෙද්දි ගැම්බලයගෙ එකම ෆුඩ් සප්ලයි එක අම්ම කපුටන්ට කන්ඩ දාන බත් ටික කියලයි අපි හිතුවෙ) ඉතිං ඒ වගේ අහේනි  තත්වයක් යටතේ වුණත් ගැම්බලයා වගේ වගක් නැතිව  පුස් ඌරෙක් වගේ පුෂ්ටිමත්ව ඉන්න එක ගැන අම්මට සැක හිතුන. ඒ පිලිබඳ පරීක්ෂණ අපේ ගෙදර රහස් පරීක්ෂිකාව වන මට පැවරුණා. මුල ඉඳලම මට ගැම්බලය සම්බන්ධව රොවාගේ හැසිරීම ගැන සැක හිතුන. ඉතිං මං තීරණය කලා මගේ පරීක්ෂණය එතනින් ආරම්භ කරන්න.

මගේ මූලික නිරීක්ෂණවලින් එකක් තමා කෑම වෙලාව වෙද්දි රොවාගෙ හැසිරීම ඉතාම අසාමාන්‍ය බව. ගැම්බලයව නෙරපන්න කලින් අම්ම රොවාගෙ කෑම පිඟාන ලං කරද්දි නැගිටල මේඝ ගර්ජනා පවත්වල පූස් කැලතම එලවල දාන රොවා මේ වෙනකොට අම්ම කෑම එක ලං කරද්දි අඩු ගානෙ නැගිටින්න වත් කම්මැලි කරල එක ඇහැක් යාන්තමින් ඇරල බලල “ආ… කෑමද…. කන්නත් බෑ වගේ… ඔන්නොහෙ තියල යන්නකො” වගෙ බැල්මක් තමා හෙලන්නෙ. අනේ ඉතිං අපේ අම්ම රොවාට පණු ගාය කියල පණු බෙහෙත් දෙනව. බත් කාලම නැත්තං බලුබිත්තරයක් බුල්සයි දාල ඒක අනල බත් දෙනව.

ම්හු.. හරි යන්නෙම නෑ.. පිඟානෙන් බාගයක් හැමදාම ඉතුරුයි.

ඔන්න ඔය අතරෙ රහස් පරීක්ෂිකාවගෙ තියුණු කන්වලට කීප දවසක් ඇහුණ අම්ම කෑම එක ලං කරල ටිකකිං අමුතු කූං කූං හඬක්. ඒ හන්ද පරීක්ෂිකාව තීරණය කලා පරීක්ෂණ කටයුතු කඩිනම් කරන්න.

එදා රෑ සිරිත් පරිදි අම්ම කෑම ලං කලා. රොවාස් ෆේවරිට් උම්බලකඩ පියලි, ගාපු පොල් සහ බටර් මුසු බත් එකේ සුවඳට ජනේලෙ ලඟ ඉඳන් නිරීක්ෂණය අරඹපු  මටත් කාල බලන්න ඇත්තං කියල හිතුණ. රොවත් සුපුරුදු  උදාසීන ලීලාවෙන් අම්ම දිහා බලල දානෙ පිලිගත්ත. විනාඩියක් විතර ගෙවිල ගියා. “අයියෝ බඩගිනිත් නෑ. ඒත් මේ සුවඳවල් එද්දි ඉතිං නොකත් බෑ” වගේ මූණ හදන් ඈනුමක් එහෙම ඇරල නැගිට්ට රොවා බත් කන්ද අතනින් මෙතනින් කන්න පටන් ගත්ත. ඒත් කන් දෙක වරින් වර මිදුල පැත්තට හැරවුණා. ඒ කන වෙලාවෙ වත් රොවා තමන්ගෙ සර්වේලන්ස් නවත්තල නෑ නේද මං රොවා ගැන වැරදි වැටහීමකින් නේද හිටියෙ  කියල සත්‍යාවබෝධය ලබල මං පරීක්ෂණය නවත්තන්ඩ යද්දිම ඒ අසිරිමත් මොහොත උද වුණා.

රොවා කෑම නවත්තල කුස්සියෙ දැල් දොර ලඟට හිහින් සිව්වරක් කූං කූං ගා සංඥා කලා. ගැම්බලයගෙ කොලපාට ඇස් මිදුලෙ අඳුර අස්සෙන් මතුවුණා.

ඌට රිංගන්න ලොවෙත් බෑ යැයි කියා අම්මා සිතූ දැල් දොරේ කැඩිච්ච තැනකින් ගැම්බලයා කුස්සියට ආවා. ඇවිත් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් යටහතපහත්කමක් නැතුව රොවා ඉතිරි කරපු බත් පංගුව කාගෙන කාගෙන ගියා..
පරීක්ෂණය පිලිබඳ මං සපයපු සවිස්තර වාර්තාව ඇහුවම අපේ අම්මගෙ ඇස් උඩ ගියා!

Posted in Uncategorized | ප්‍රතිචාර 14

හොරා…!!!

insidelk_wv-sugathapala

දවස් හතරක මන්නාරම් ක්ෂේත්‍ර චාරිකාව අවසන් කරල ගෙදර ආව විතරයි. මං පහුවදා වැඩට ආවෙ හුස්මක් කටක් ගන්න නැතුව ඊලඟ දවසෙ  ඒකෙ ඩීබ්‍රීෆිං එක දාපු ලොක්කට හිතෙන් බනිමින්. මගෙ හිතේ දුකට අලගු තියන්න වගේ පාන්දරම අහසත් ගොරවන්න ගත්ත.  ඩික්මන් පාරට හරවද්දි පාර පේන්නෙ නැති ගාණට වහිනව. ඒ මදිවට පරක්කුත් වෙලා.

කුඩේ ඉහලගන්ඩ ඔයා තෙමෙන්න එපා.

තෙමෙන එක ගැන ගාණක් නැතුව මං මගෙ ලට්ට ලොට්ට මලු අරන් කාර් එකෙන් බහින්න හැදුවම පෙම්බරයා කෑ ගැහුව.

චුට්ටයි නෙ.. මං ටග්ගාල බහින්නං.

අනුමැතිය ලැබෙන කල් ඉන්නෙ නැතුව මං දොර ඇරිය.

බලාපොරොත්තු නොවුණ විදියට තඩි කුඩයක් ඉහලගෙන ඔෆිස් එකේ සෙකියුරිටි කාර් එකේ දොර ලඟ ඉඳං මං කියන්නෙත් නැතුව මගෙ පිටේ එල්ලන ලැප්ටොප් බෑග් එක ගත්ත.

මිස්…. නවල් එක තෙමෙයි. බලාගෙන

මං අනිත් දේවල් අතිං කටිං අරං බහිනකොට සෙකියුරිටි කිව්ව.

මං ඉස්සෙල්ලම සුමනසිරි ගෙ මූණ බැලුවෙ එතකොටයි. බැලුවටත් වඩා දබ වැස්ස අස්සෙත් මගෙ අතේ තිබුණු ජංගමයා ඇතුලු මිලාධික දේ ගැන නොතකා, සඳුන් ගිර ගිනිගනී පොතේ පරිස්සම ගැන හිතපු මං දන්නෙ නැති සෙකියුරිටි කවුද බොලේ කියල ඉබේම දිහා ඉබේම බැලුන.

කලින් හිටපු නිදිමත පාට කහ බතලයක් වගේ කොලු ගැටය වෙනුවට, දුඹුරු පාට යුනිෆෝම් එක අස්සෙං, හිනාවෙන ඇස් දෙකක් තියෙන, කොන්ඩ කැරලි පැත්තට පීරපු අලුත් සෙකියුරිටි තැන සුමනසිරි ඒ වැස්සෙත් හරි සිරියාවක් අරං ආව. ඒ විතරක් නෙවෙයි කෑම පැයත් ඔෆිස් එකට අයිතියි කියල හිතන ඔපීසියක පරිගණක තිරවලට හිනා වෙන ජීවිත අස්සෙ උන්න ගමන කී බෝඩ් එක යට හංගගෙනත් පොත් කියවන මට මගෙ පොත ගැන හිතන කෙනෙක් ඉන්නව කියන එක තව මොහොතකින් ඇරඹෙන ඩීබ්‍රීෆිං මීටින් එකේ කර්කෂ බව අමතක කරවන්න හේතු වුණා.

නව් වට් ආයූ රීඩිං ටුඩේ?

යූ රීඩ් එව්රි ඊවිනිං, ඉස්න්ට් ඉට් බෝරිං?

වැඩ ඉවර වෙලා පෙම්බරයා එනතුරු ආලින්දයේ පොත් කියවමින් ඉන්න මාව දකින කොට ඒ වෙලාවත් අපරාදෙ වැඩක් ගන්න තිබුණ කියල හිතමින්  අපි දාඩිය නාගෙන ට්‍රැෆික් එක කාගෙන ගෙවල්වලට යන හැන්දෑවෙ ටෙනිස් ගහන්න, ඇවිදින්න ගෙවල් බලා යන ලොක්කන්ගෙ ඇස්වලට කටු අනිනව.

මං නිහඬ විරෝධය හිනාවකිං වහගෙන ගුඩ් නයිට් කියල පොතට එබෙනව.

සුමනසිරි හැමදාම හිනාවුණා. ඒ හැම දවසකම මගෙ අතේ තිබුණ පොත සුමනසිරිගෙ සෙකියුරිටි ඇහෙන් දැඩි නිරීක්ෂණයකට ලක් වුණා.

මිස් මහත්තය පරක්කුයි වගේ නේද අද…?

පෙම්බරයා එන්නට හිතුවාට වඩා පමාවුණ, ආලින්දයේ සැප පුටුව උඩ ඉඳගෙන වටේ පිටේ අලියෙක් ඇවිද්දත් නොදැනෙන තරම් නිර්වින්දිතව පොතට එබීගෙන හිටිය ඒ හැන්දෑවෙ  ගුඩ් මෝනිං මිස් ගුඩ් නයිට් මිස් කියන යාන්ත්‍රික වචනවලට වඩා යමක් කිව්ව සුමනසිරිගෙ හඬින් මං ගැස්සුනා.

ලා අඳුරක් ඔෆිස් එක වහගෙන. මං වගේ වගක් නැතිව පොතකට ඔලුව ඔබාගෙන ඉන්නාතර සුමනසිරි වරක් දෙකක් මගේ අවටින් යන්නත් ඇති. ඔෆිස් එක වහගන්න විදියක් නැතිව.

ඔවු… දැන් ලඟ ඇති..! සුමනසිරි එහෙනං දොර වහන්න. මං එලියට යනව කොහොමත් දැන්. ගුඩ් නයිට්!

එහෙම කියාගෙන මං මල්ල එල්ලගෙන ගේට්ටුවෙන් පාරට බැස්ස.

මලු ටික ගේට්ටුව ලඟ බිම අතෑරල මං එතන මහ ගහ වටකරපු කෙටි තාප්පෙ උඩ ඉඳගත්තම අත් නිරායාසයෙන් පොතේ පිටු පෙරලුව අනාරාධිතවම ඇස් පොතේ ඇලුන..

දෙයියනේ මිස්.. ඇයි ඔතන ඉඳගෙන කියවන්නෙ..? මං හිතුවෙ ගියා කියලනෙ…අනේ ඔතන ඉන්න එපා එන්න එන්න ඇතුලට..මහත්තය එනකල් ඇතුලෙ ඉඳන් කියවන්න.

මං ගියාම ඉස්සරහ දොර වහං පිටිපස්සෙ දොරවල් චෙක් කරන්න ගිහින් ආපහු එද්දිත් මං ඉන්නව දැක්ක සුමනසිරි බූතයෙක් දැකල බය වුණා වගේ පැන්න ගමන් පුටුවකුත් එයාගෙ මේසෙ ලඟ තියල.

ඒ ඉල්ලීමකට වඩා විධානයකට කිට්ටු වචනවලට මට හීන් නුරුස්නා ගතියක් දැණුනත්, නෑ කමක් නෑ කියල එලියෙ ඉන්න හිතුණත් සුමනසිරි බලෙන්ම මගෙ බෑග් ටිකත් ඇතුලට ගත්තෙ ඇතුලට ආවෙ නැත්තං ඊ ලඟට ඔෆිස් එකේ සෙකියුරිටි හැටියට මට සිද්ධ වෙනව මිස්ව උස්සගෙන ගෙනිහිං පුටුවෙං ඉන්දන්න කියන එක ව්‍යංග්‍යාර්ථයෙන් හඟවන්න වගෙ.

මං දුරස්ථ පාලකයකින් පාලනය කළා වගෙ ඇවිල්ල ඉඳගත්ත.

මෙතන ගෑනු දරුවෙක්ට එලියෙ ඉන්න හොඳ තැනක් නෙවෙයි මිස්..මේ ගෙදර මීට ඉස්සර ගණිකා නිවාසයක් තිබුණලු..මං මිස්ට තියා කාටවත් ඔතන හවසට ඉන්න දෙන්නෙ නෑ.

සුමනසිරි එයාගෙ රලුබවට හේතු දක්වන්න ගත්ත.

මෙතන හිටගෙන ඉන්නකොට වාහනවල යන එන මිනිස්සු අමුතු තාලෙට බලනව නං දැකල තියෙනව. ඒත් මං දැනගෙන හිටියෙ නෑ ඒ බවක්. තෑන්ක්ස් සුමනසිරි ඒක කිව්වට. මං මීට පස්සෙ ඇතුලෙන් ඉන්නං.

මොකද්ද මිස් අද කියවන පොත…?

සුමනසිරි ඇහුවෙ සතියක් විතර තිස්සෙ අහන්න පරණ කර කර හිටපු ප්‍රශ්නයක් කියල මට ඒක අහපු වේගෙන් දැණුන.

රිදීතිරංගනාව… සුමනසිරි පොත් කියවනවද? ආ බලන්න.. හරි යයිද නං දන්නෙ නෑ

මං පොත දික්කලා.

ඒ ගමන් මං මගෙ හිත ඇතුලෙන් හදාගත්ත සුමනසිරි කියවනව නං ඒ මොන ජාතියෙ පොත් වෙන්න ඕනෙද කියල ලිස්ට් එකක්.

මේ රස්සාවට මං කැමති රෑට නිවි හැනහිල්ලෙ පොතක් පතක් කියවන්න වෙලාව තියෙන එක.. හොඳ පොතක් කියන්නෙ නිදිමතට හොඳ බේතක් මිස්!!

සුමනසිරි සුනේත්‍රගෙ රිදීතිරංගනාව මේසෙ උඩ ඉන්දල ලාච්චුව ඇරල පොත් මිටියක් අරන් ඈ ලඟින් තිබ්බ. ආඩම්බරෙන් මේසෙ උඩ මොහොතක් විරාජමාන වුණ රිදී තිරංගනාවගෙ අඟල් දෙකේ උස යටපත් කරල රාහුබද්ධ, අමරකීර්ති, ඉලයප්පආරච්චි සමග විජේමාන්න එකා මත එක නැග්ගම ඇගේ අයිතිකාර අංගනාවට ඇගෙ මනෝමය සෙකියුරිටි නවකතා ලැයිස්තුව ගැන මහා ලැජ්ජාවක් ආව.

පොතක් කිසිදා එහි කවරයෙන් නොමනින්න!

ඒ වගේම මිනිසෙකුගේ රසවින්දනය කිසිදා ඔහුගේ රැකියාවෙන් නොමනින්න!

මම අයිතිකාර අංගනාවට මොහොතකට අමතක වෙලා ගිය යමක් මතක් කරල දුන්න

මං දැනගෙන හිටියෙ නෑනෙ සුමනසිරි කියවනව කියල..

මගෙ කටහඬේ මින් පෙර කවරදාකවත් ඔෆිස් එකේ සගයෙක් වෙනුවෙන් තවරපු නැති තරම් සුහදකමක් තැවරුණ බව මට දැණුන.

සුනේත්‍රගෙ සඳුන් ගිර ගිනි ගනී තමා තාමත් හොඳම පොත. සමහරු කියනව එයාගෙ උත්කර්ෂය රිදීතිරංගනාව කියල.. මං තාම කියවල නෑ මේක. ලයිබරි එකේ කවදාවත් නෑ.. කඩෙන් ගන්න බැරි තරං ගණන් නෙ මිස්. ඒත් මං අනිත් පොත් ගොඩක් කියෙව්ව එයාගෙ.  මට හිතෙන්නෙ හර්ද සූත්‍රයෙන් පස්සෙ එයා එයාගෙ සෙල්ලක්කාර ලේඛන ශෛලිය වෙනස් කරල දේශනා ශෛලියකට අනුගත වෙලා වගේ.  

සුමනසිරි එක පාරටම පරචිත්ත විජානන ඥානය ලැබුණ වගේ මෙන්න මගෙ හිත කියවන්න ගත්ත.

වැඩකට නැති බිල්ඩිමක් සහ ඔෆිස් එකට වටිනා අචේතනික වස්තු සමුදායක් ආරක්ෂා කරමින් රෑට නිදිවරන බහිරවයෙක් වගේ ඔෆිස් එකේ අපි හැමෝටම පෙණුනට ඒ අස්සෙ සරල පාඨකයෙක්ට වඩා යොදුන් ගාණක් දුර ගිය ලොකු ජීවිත කියවීමක් කරපු විචාරකයෙක් ඉන්නාබව වාක්‍ය කීපයකින් හෙලිදරවු වීමෙන් මම මහා උඩක ඉඳල පහලට පත බෑවුණා. ඒත් ඒකෙන් ඇති වුණ වේදනාව එසැණින් අමතක කරල මං සුමනසිරිට මිත්‍රත්වයේ දෑත් දිගු කළා.

මෙන්න.. මේක කියවන්න… කියවල මට කියනන්නකො සුනේත්‍රගෙ උත්කර්ෂය රිදී තිරංගනාවිද සඳුන්ගිර ගිනි ගනීද කියල

අනේ… ඒක හරි නෑ නෙ මිස්… මිස් කියව කියව ඉන්න එකනෙ… මට පස්සෙ දෙන්න..

ඒ අදිමදිය කුලෑටි කම මිසක පොත කියවන්න අකමැතිකම නෙවෙයිනෙ.

පිස්සු නැතුව මේක ගන්න.. අරං කියවන්න සුමනසිරි. මං මේ මේක කාලෙ ගෙවාගන්න අතරින් පතර කියවන්නෙ.. අඩුම ගානෙ විසි පස් පාරක්වත් කියවල ඇති.  

කාර් එක බ්රේක් ගැහුවා. පෙම්බර හෝන් එක පීප් පීප් ගෑවා.

අන්න සර් ආවා… සුමනසිරි හිනාවුණා.

කියවන්න කැමති පොත් කිව්වොත් මං ලඟ තියෙනව නං මං ගෙනත් දෙන්නං. මට කියවල ආපහු දෙන්නකො.

මං ලට්ටලොට්ට ටික පටවං කාරෙකට නැගල දොර වහගන්න කලිං රිදීතිරංගනාවිව තුරුල් කරං ගේට්ටුවෙන් එලියට ඇවිල්ල බලං හිටිය එයාගෙ අලුත් පෙම්වතා සුමනසිරිට කෑගහල කිව්ව.

මට තියෙන අරුම පුදුම යාලුකං ගැන හැමදාම පුදුමවෙන පෙම්බරයට හිනාවක් ගියා.

සුමනසිරි මට අපුරු හිනාවක් දික්කරගෙන අපි යන දිහා බලං හිටිය.

ඉන්පසු ගෙවුණ, පෙම්බරයා පමාවුණ බොහෝ සන්ධ්‍යාවල මීට කලිං ගණිකා නිවාසයක්ව තිබුණ, ගේ ඉස්සරහ අයිතිකාරල එල්ලිලා මැරිල හිටියලු කියා සුමනසිරිම කිව්ව ඒ දොරකඩ අද්දර පුංචි පුංචි සාහිත්‍ය රස උල්පත් පැන නැංග.

මිස් මට තියෙනව නං ගුන්තර් ග්‍රාස් ගෙ පොතක් ගෙනත් දෙනවද?

ආනේ! මිස් මායාවාස ගත්තද? කියවල මටත් දෙනවැයි?

සුමනසිරි ඉල්ලුව

සමහර පරිවර්තකයො පොත්වලට කරන අසාධාරණය ගැන බොහොම දුකෙන් කතා කළා.

පොත කාල මිස්.. මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. කිව්ව.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරගෙන සල්ලි මත්තෙ පොත් එලි දක්වන එකෙන් එයාල කරන්නෙ දවසිං දවස එයාලගෙ හොඳම කියවන්නො නැති කරගන්න එකයි. බලන්න මිස් මේ මනුස්සයගෙ ඉස්සර පොතුයි දැන් ලියන එව්වයි..

හරියට මං පොත් සම්බන්ධ අධිකාරි බලයක් තියන කෙනෙක් කියල හිතල වගේ මට පැමිණිලි කළා.

මිස් මං අද ඕෆ් වෙලා ලයිබ්‍රරි යනව. පොත් මොනව හරි ඕනෙද? කියල ඇහුව

මිස් ඔය ඇටමැස්ස පොතේ ඉටි කවරෙ පරණ වෙලා තියන හැටියෙං මට හිතෙන්නෙ මිස් ඔය ඕක කියවන්නෙ අඩුම ගානෙ සියවෙනි වතාවට වෙන්න ඕනෙ…

සුමනසිරි අනුමාන කළා.

ඕලෙවල් ලියල ඉස්සෙල්ලාම ඇටමැස්ස, ගුරුගීතය කියවපු දවසෙ ඉඳල සෑහෙන කාලයක් යනකල් ඒ පොත් දෙකම මගෙ කොට්ටෙ යට තිබුනෙ. කිසිම කෙනෙක්ට කියවල ගෙනත් දෙන පොරොන්දුව පිට වත් දුන්නෙ නෑ. ඒ දෙකට පණ තියෙනව වගේ දැණුනෙ. රෑ නින්දෙන් නැගිටලත් කොට්ටෙ යටට අත දාල අතගාල බලන තරම්!

මං ඔෆිස් එකේ කිසිම කෙනෙක් එක්ක බෙදා නොගන්න මගේ පිස්සු රහස් පොත් කියවන බහිරවය එක්ක බෙදා ගත්ත.

බහිරවය හිනා වුණා..

ඔෆිස් එකේ උයන මාරිඅප්පන්ට, අතුපතුගාන මාලට සිකුරිටි මල්ලිගෙයි ජනනි මිස්ගෙයි පයුරු පාසානම පොත් ගැන බව මුල ඉඳලම වැටහිලා තිබුණ.

ජනනි මිස්ගෙ මොකද්ද සූත්‍රය පොත මං සුමනෙ මල්ලිගෙං ඉල්ලගත්ත ඔෆිස් එකේදි වැඩ නැති වෙලාවට කියවන්න. මං ගෙදර ගෙන්යන්නෙ නෑ මිස් හොඳේ. මෙහෙදි කියවනව.

මාල කිව්වෙ මම දිවි නොතකා හෝ පොත් රකින බව සුමනෙ මල්ලිගෙන් දැනගෙන මගේ හර්ද සූත්‍රයට රක්ෂණ වාර්තාවකුත් සපයමින්.

කිව්වට මොකද මං ඉස්සෙල්ලම හිතුවෙ මොකක් හරි බණ පොතක් කියල මිස්. බැලුවමයි ඒක ආදර කතාවක් කියල තේරුණේ.  ඒ වුණාට ජනනි මිසුයි සුමනෙ මල්ලියි කියවන වැඩි හරියක් අපිට මේ සම්මජ්ජාතියෙ තේරෙන එව්ව නං නෙවෙයි අප්පා. මට නිදිමත එනව පේලි තුන හතරක් කියවද්දි.

මාල එහෙම කිය කියා බෑග් එකෙන් සිරිකත පත්තරේ අතට ගත්ත.

පොත් කියන්නෙත් බලගතු ඹෟෂධයක් මාලා… දැං බලන්ඩ මාලට නිදිමත එනව මේ පොත කියවද්දි, මේ පොතම සුමනසිරිව රෑට අවදියෙන් තියනව. ඒක හරියට මිනිස්සු දුකටත් සතුටටත් බොන අරක්කු වගේ.

මං එහෙම කියල කුස්සියෙං එද්දි මට මක්කරලවත් මකාගන්න බැරි හිනාවක් මගෙ තොල්වල ඇඳිල තිබුණ.

සුමනසිරි බොහොම සතුටින් ජීවත් වෙන බව එයා ඉඳහිට කියන දේවල්වලින් තේරුණා.

මගෙන් පුරුදු වෙලා දුවත් හරියට පොත් කියවනව මිස්. එයා නවය වසරෙ දැන්. අන්න රිදී තිරංගනාව කියවනව. අපේ උන්දැ මට බනිනව එක එක හරුප පොත් ගෙනල්ල දරුවව  පොඩි වයසෙදිම නරක් කරනව කියල. ඒ එයා දුකට කියන කතා. මං සද්ද නැතුව ඉන්නව. එයාට හිතෙනව ඇති දුව පොඩි වයසෙන්ම ලොකු පොත් කියවල ඉක්මණටම අපිව අමතක කරල ඉස්සරහට ඇදෙයි කියල.

එයාට හෙමින් තේරෙයි. දරුවංගෙ ගමන අපිට බලෙං නවත්තන්න බෑ කියල.

ඉතිං ඔය වගේ කතා අහන හැන්දෑවල්වල මං කවදාවත් නොදුටු සුමනසිරිගෙ දුව මගෙ හිතට ඇවිල්ල අපේ ගෙදර හිටිය, ශිෂ්‍යත්වෙ ලිියපු දවසෙ හවස ඉඳල තාත්තගෙ පොත් කබඩ් එක තනි සමුබුත්තියට අයිති කරගත්ත කෙල්ලව බදාගන්නව.

ආයෙමත් වැහි කාලෙ ඇවිල්ල තිබුණ.

එක උදේක මං වාහනෙන් බහිද්දි ඔෆිස් එක ඉස්සරහ මහ ගාලගෝට්ටියක්.

කීර්ති මහ හයියෙං කාටදෝ කතා කරනව. වයසක මෙහෙයුම් අධ්‍යක්ෂතුමා ඉණට අත්දෙක තියාගෙන බරපතල කල්පනාවක. ඒ මැද්දෙං අන්ද මන්ද වෙලා ඇතුලට රිංගුව මං යාන්තමට දැක්ක අලුත් සෙකියුරිටි කෙනෙක් වාර්තා කරල ඉන්නව.

දන්නවද නංගි… සුමනසිරි කියන්නෙත් නැතුව අස්වෙලා ගිහිං. මෙහෙ ගොඩක් අයගෙං සල්ලි ඉල්ලගෙන නැතිබැරිකං කියල.. ආපහු දෙන්න වෙන හන්ද නොකියම ගිහිං.. මගෙන් පන්දාහක් ඉල්ලුව ගිය සතියෙ. මගෙ ලඟ තිබුණෙ නෑ. ඒ වෙලාවෙ. නැත්තං මාත් අහු වෙනව මිනිහගෙ බොරුවට.

දුකට සැපට එකට හිටිය ආශක්ක කිව්ව.

මං මෙතෙක් කලක් නොදැන හිටි සුමනසිරි කෙනෙක් ගැන ඔෆිස් එකේ මිනිස්සු දවස පුරාම කතා කළා.

මගෙන් නං දාහයි. ඔයාගෙං කීයක් ගත්තද? සඳා ඇහුව

ඕක ගෙරිය… මගෙං දහ දාහක් ඉල්ලුව. මං පවුනෙ කියල දෙදාහක් දුන්න ගෙදර කන්න නෑ කිව්ව හන්ද දුකට. සෙනේෂ් ගුගුරන්න ගත්ත.

ඔයාගි  ලුකු යාලුව නේත එයා? කීයක් ඉල්ලකත්තද?

ගණකාධිකාරී විමලනාදන් මගෙ හිතට හීනි ඉඳිකටු තුඩකින් ඇනල රිද්දන ගමන් මගෙන් ප්‍රශ්න කළා.

ඒ හැමෝම එකතු වෙලා මං දැනගෙන හිටිය සුමණසිරිගෙ මූණට වංචාකාරයෙක්ගෙ මූණ බද්ධ කරන්න සටන් කළා.

මං දන්නෙ නෑ විමල් ඔයාලගෙන් සල්ලි ඉල්ලගත්ත බවක් මේ දැන් ඔයාල කියනකල්.

මගෙං කිසි දවසක පොතක් පතක් මිසක ඒ මනුස්සය සල්ලි ඉල්ලුවෙ නෑනෙ..

සුමනසිරිව ආවරණය කරන්න මගෙ දුර්වල පොත් පලිහ කිසිසේත් ප්‍රමාණවත් නොවන බව දැන දැනත් මං කිව්ව.

සෙකියුරිටි කම්පනි එකේ ලොක්කො තුන්දෙනෙක් ඇවිල්ල මීටිමකින් පස්සෙ බුම්මගෙන යන්න ගියා.

හොඳ වැඩේ ඕකුන්ට. හොරු රස්සාවට ගන්නවට කිසි වගකීමක් නෑ. අහගත්ත හොඳවයිං අද.

සුමනසිරිගෙන් මූල්‍ය වංචාවට ලක් වුණු හැමෝම තමන්ගෙ තුවාලවලට සෙකියුරිටි ලොක්කොන්ට දෙසාබාපු එකෙන් පැලැස්තර දාගත්ත.

අඩුම තරමේ මට සුමනසිරි මගෙන් ඉල්ලගෙන ගෙනත් නොදීපු පොත් නැවත නොලැබේවි කියල මතක් වුනේ වත් නෑ.

ඊට වඩා මේ ඇඳෙන අලුත් රූපයේ වංචාකාර මූණ දකින ගානෙ මට දරුණු වේදනාවක් දැනුන.

ඒත් එක පාරටම පළවෙනි මුද්‍රණයේ කවරය සහිත රිදී තිරංගනාව සිහිපත් වෙලා ඒ වේදනාව කලං තුන හතරකිං වැඩි වුණා.

මහා මුස්පේත්තු ආකාරයට ගෙවුණ එදා දවස අවසානෙ ගෙදර යන්න පිටත් වෙනකොට මට මතක් වුණා. සුමනසිරිගෙ පොත් මගෙ කබඩ් එකේ නේද කියල.

ඒ ටිකත් අරං යන්න ඇති!

දවසම සුමනසිරි ගැන එක එක ආකාරයේ මොල ශෝධක කතාවලින් හෙම්බත් වෙලා හිටිය මං ඕනෙවට එපාවට කබඩ් එක ඇරල බැලුවෙ කිසිම බලාපොරොත්තුවෙන් නෙවෙයි.  ශූන්‍ය හිතකින්.

ඒත්

අනපේක්ෂිත වෙලාවක මගේ රිදී තිරංගනාව හා ඇගේ පරිවාර සේනාව කබඩ් එකේ පළවෙනි තට්ටුව උඩම මහා දුකකින් බලං හිටිය. ඊට පහලින් සුමනසිරි වරින් වර මට දුන් පුස්තකාල පොත් ගොන්න මං තියල තියපු විදියටම තිබුණ දැක්කම මගෙ ඇස්වල උල්පත් මතු වුණා.

උල්පත් උතුරල වතුර බොර වුණා..

ඒ අස්සෙන් බිම බලාගත් බහිරවයාගේ අතින් අල්ලාගෙන හිටිය මූණක් නැති කෙල්ල මගෙ හිතේ උසම උස පඩිය බැහැල මට අත වනල බොඳවෙලා ගියා.

Posted in Uncategorized | ප්‍රතිචාර 13

ඉඳිආප්ප කතාව…!

img_20160915_183341

“අනේ තාත්තෙ අදත් ඉඳිආප්පද? මට බෑ හැමදාම ඉඳිආප්ප කන්න.”

තුං දවසක් එක දිගට රෑට ඉඳිආප්ප කාල හතර වෙනි දවසෙත් රෑට තාත්ත ඉඳිආප්ප පිටි අනනකොට මං නහයෙං අඬනව.

“එහෙනං චූටි පුතාට කන්න  දවල් බත් ඇති…”

මගෙ අඬෝවැඩියාව අහං ඉන්න බැරි තැන අම්ම මට මතක් කරනව.

ඔක්කොමත් හරි කෑවෙ නැතත් තාත්ත මට දෙනව ආ මෙන්න පුරුදු වෙනව කියල ඉඳි ආප්ප මිරිකන්න..

ඔය ඉඳිආප්ප තැම්බිල්ලෙ එපාම වෙන ටික තමා අර කෑලි දෙකේ වංගෙඩියෙං ඉඳිආප්ප මිරිකන එක. ඒ කාලෙ ඉතිං මං ඉඳිආප්පයක් මිරිකල විනාඩියක් හති අරිනව කියල තාත්ත හිනා වෙනව.

ඉස්සරම ඒ කියන්නෙ දැං වගේ ඉඳි ආප්ප පිටි පැකට් කඩේ ගන්න නැති කාලෙ අපේ ගෙදර සතියකට වතාවක් අපි ඉඳි ආප්ප පිටි තැම්බුව.

ඒ කියන්නෙ පාං පිටි පිට්ටු ගොට්ටෙ දාල ස්ටීමර් එක ඇතුලෙ තියල පැයක් විතර තම්බනව. අපේ පැතිවල තියෙනව පිටි තම්බන්ඩම වියපු ගොටු. ඒක කිරි ගොටුව කියල අපි කියන පොල් කිරි පෙරන වේවැල් ගොටුවට වඩා කෝණාකාර බවින් අඩු, කට පැත්තෙන් තරමක් මහත ගැටියක් තියෙන ගොටුවක්.

එතකොට ලිපෙන් බෑවාම එලියට එන්නෙ පිට්ටු ගොට්යෙ හැඩේට පිටි ගුලියක්.. ඕක නිවෙනකල් තියන්න බෑ.. කැට ගැහෙනව.

ඊට කලිං උණු උණුවෙන්ම පොඩි කරන්න ඕනෙ.. අන්න ඒකට මං හරි ආසයි.. මං කරන්නෙ පිහියක් අරං ඒ පිටි කැටේ කෑලි කපනව. ඒක හරියට පිහියකින් චීස් කපනව වගේ.

ඊට පස්සෙ යාන්තං නිවුනම අතින් පොඩි කරල පෙනේරෙන් හලනව. ඒ පිටිවලට ගානට උණු වතුර දාගෙන තමා ඉඳිආප්පවලට පිටි අනන්නෙ..

පිටි ඇනිල්ලත් එක්තරා සාස්තරයක්. වතුර රස්නෙ වැඩි වුණත් අඩුවුණත් ඉඳි ආප්ප අවුල් වෙනව. ඒ විතරක් නෙවෙයි වතුර වැඩි වෙලා පිටි දියාරු වුණොත් මිරිකන්න ලේසි වුණාට ඉඳි ආප්ප හයියයි. වතුර ගාණට දාල භාජනේ නොඇලෙන පදමට ඇනුවාම මිරිකන්න අමාරු වුණත් ඉඳි ආප්ප ගාණට තියෙනව.  අනික අපේ තාත්ත මිරිකන්නෙ අර කඩවල තියෙන අස්සෙං අහස පේන ඉඳි ආප්ප නෙවෙයි.

තාත්ත නං හෙමිං රවුං පහක් මිරිකනව එක ඉඳිආප්පෙකට. ඉඳි ආප්පෙ නිකං තාප්පයක් වගෙ වෙන්ඩ

“කෙල්ලෙ ඹලයි තාත්ත මිරිකන මිරිකන ඉඳිආප්ප පහක් කන්න හොදි පීරිසියක් ඕනෙ” කියලයි අත්ත කිව්වෙ ඉස්සර.

ඉඳිආප්ප කන්ඩ කිරිහොදි, අල හොදි, එක්කො පරිප්පු හොදි. පොල් සම්බෝලයක් වරදින්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි, මාලු මිරිසට හොද්දක් හෝ වෙන මාංශයක් තිබුණත් තම්බපු බිත්තරයක් වරද්දන්නෙ නෑ.

මම කොහොමත් පාංපිටි ඉඳිආප්ප කන්න ආස නෑ.

ආච්චිඅම්ම ඉන්න කාලෙ නං කලින්ද පෙ‍ඟෙන්න දාපු කැකුලු හාල් වංගෙඩියෙ කොටලල තාච්චියක දාල ගාණට බැදල අරන් ඉඳි ආප්ප හැදුවම මං ආසයි.

තාත්ත ඉඳිආප්ප හදන්න පුරුදු වෙලා තියෙන්නෙ ආච්චි අම්ම ඉස්සර අත්තගෙ තේ කඩේ තියෙන කාලෙ පාන්දර ඉඳිආප්ප හදන්න උදව් වෙලාලු. ආච්චි අම්මා ඉතිං ඉඳි ආප්ප, බත්, රොටී වගෙ එක එක කෑම ජාති හදල උදේට කඩේට එක අයට වෙලඳාම් කරනවලු. ඉතිං උදේට වැඩ බොහොමයක් තියෙන්න ඇති. දැං අපි මේ වේලක් උයාගන්නත් අඩුම ගානෙ පැය බාගයක් වැය කරනවනෙ.

එහෙව් එකේ කෑම ජාති ගාණක් හදල එව්වට තව හොදි මාලුපිනිත් උයන්ඩ ඕනෙ නෙ. මට මතකයි ආච්චි අම්මා ඉඳි ආප්ප මිරිකද්දි බොහොම පිරිමැස්මෙන් කරන්නෙ.

තාත්ත වගේ ඕසෙට මිරිකන්නෙ නෑ. ආච්චිඅම්ම ඉඳි ආප්පෙකට සාධාරණ ප්‍රමාණයක් පිටි වැටෙන විදියට තමයි මිරිකන්නෙ.

තාත්තා උයද්දි අත් උදව්වට මාව අල්ලගන්න හරිම රුසියා.

“හා ලොකු බල්ල මෙහෙ වරෙං. මේ ලූණු ටික සුද්ද කරපං. ඉඳි ආප්ප තට්ටු ටික පේලියට තියපං” කියල අණක් දෙනව වගෙ දැනෙන්නෙ නැතුව ඒක කරන්න එයා දන්නව.

මම නං උදව් කරන්න යන්නෙ වෙන දේකට නෙවෙයි. වෙන වැඩකට. තාත්ත ඉඳි ආප්ප මිරිකල ඉතුරු වෙන පිටි ටික එකතු කරල සීනි චුට්ටකුත් දාල බෝලයක් හදල ඒක රවුමට වඩනව. ඊට පස්සෙ ඒක පරිස්සමට තියනව තැම්බෙන්ඩ තියන්ඩ යන ඉඳි ආප්පයක් උඩින්.

ඒක තැම්බෙන්න තියන්නෙ ඉතිං අන්තිම වඩියට නෙ. දෙනකල් ඉතිං ඉවසිල්ලක් නෑ මට.

ඒ කටේ ඇලෙන, පැණිරස තලිය මහ ලොකු රහක් නැති වුණාට ඕකට මං හරි කැමතියි. ඒ හන්ද තාත්ත කියන වැඩ කරල දෙන්න මං ඕනෙ වෙලාවක ඉස්සරහට පැන්න.

‍හෙමින් හෙමින් අපි ලොකු මහත් වුණාට ආච්චි අම්මයි අත්තයි වයසින් වගෙම ගතින් වැහැරුණා.. ඉතිං ඉඳිආප්ප ආප්ප කන්ඩ පිටි මල් වගේ කෙටිල තියෙන්න ඕනෙ කිය කියා හිතේ හයියට හවුලෙ පිටි කෙටුවට පහු වෙද්දි දෙන්නට හිතේ හයියත් නැති වුණා. හෙමින් හෙමින් ගෙදර මුලුතැන්ගෙයි මූලිකකම අම්මට ලැබුණ.. ආච්චිඅම්ම පුංචි පුංචි වැඩ කරලදීල උදව් වුණා.

ඒ වෙද්දි ගංගොඩේ වෙල් යායට කලින් මුස්ලිම් ගෙදරක ඇඹරුම්හලක් දාල තිබුණ. අම්ම හාල් දියේ දාල ගොඩ අරන් මෝලට ගිහින් කොටාගෙන එන්න පටන් ගත්ත. එදිනෙදා ගලේ අඹරපු කහ මිරිස් තුනපහ ගුලි තුනක් වැරදුනේ නැති අපේ ගෙදරත් කලමනා වේලල බැදල මෝලට ගෙනිහිං කුඩු හදාගෙන එන්න ගත්ත එක ගැන නං ආච්චි අම්මගෙ ඒ හැටි මනාපයක් තිබුණෙ නෑ.. ඒත් උයන පිහන වැඩවලට යන කාලය අවම වෙන තරමට අලුත් පරම්පරාව ගලේ තුනපහ අඹර අඹර ඉන්ඩ කැමති වෙන්නෙ නෑ කියල ආච්චි අම්මට තේරිලා තිබුණ. ඒ හන්ද උන්දැ නිහඬ වුණා.

ලස්සන තැඹිලි පාට කහ මදයක් තිබුණ ගං බිත්තර වෙනුවට ෆාම් බිත්තරත්, කරවල සහ වෙල් මාලු වැඩියෙන් කාල, කලාතුරකින් ගෙනල්ල උයපුවාම කට රිදෙනකල් හපන්න වුණ ගම් කුකුල් මස් වෙනුවට නිතර දෙවේලෙ බ්‍රොයිලර් කුකුල්මසුත් ගෙවල්වල නිතර ඉදෙන්න ගත්ත. ඉරිද පොලට ගිහිං සතියටම බඩු ගෙනාව ගම ඇතුළෙ මිනිස්සුත්, මොකට ඒ හැටි වදවෙනවද කියල හිතල ලඟ පාත ඔක්කොම ජාති තියෙන කඩේට නිතර එන්න ගත්ත. අත් කැඩෙනකල් බර උස්සං එන එකේ වාසිය සතියට දෙවතාවක් ගංගොඩේ ඉඳල පයිං හරි ත්‍රී විල් එකක හරි පාරට එන එකේ ලේසියෙන් වැහුණ.

ඉඳිආප්ප හදන්නම විශේෂයෙන් නිෂ්පාදනය කරපු පිටිවර්ගත් වෙළෙඳපොලට එන්න ගත්තම අපේ ගෙදරත් කිරල ගන්න පුලුවන් ඒ පිටි ගෙනල්ල ඉඳිආප්ප හැදුව මට මතකයි. ඒ ඉඳිආප්ප කන්න තරං කල් ආච්චි අම්මත් අත්තත් දෙන්නම අපි අතර හිටියෙ නෑ.

තාත්තත් යන්න ගියාම ඉඳිආප්ප අපේ ගෙදර නොහැදෙනම දේ වුණා. අපිත් ඉගෙන ගන්න ගිහිං කොළඹ තාවකාලිකව පදිංචි වෙලා පස්සෙ කසාද බැඳල ස්ථිරවම පදිංචි වුණ හන්ද අම්මගෙ ඉවුම් පිහුම් බොහොම අවම වුණා.

ඒ නිසා අපි ගෙදර යන දවසක අම්ම ගංගොඩේ කුසුම නැන්දගෙන් හාල් පිටි ඉඳිආප්ප ඇනවුම් කරල එයාගෙ ස්වයං රැකියාවට අත දුන්න.

අපේ ගෙදර තිබුණ කෑලි දෙකේ ඇලුමිනියම් ඉඳිආප්ප වංගෙඩියෙන් අත කැඩෙනකල් ඉඳිආප්ප මිරිකල පුරුදු මට පෙම්බරයගෙ අම්ම උන්දැ ලඟ තිබුණ කරකවල වක්කරන පිත්තල වංගෙඩියක් දෑවැද්දට දුන්න. ඒ හන්ද ඒ කාලෙ අපි දෙන්න නිතර ඉඳිආප්ප හැදුව..

ඒ කියන්නෙ මං හැදුව. පෙම්බරය එව්ව කාල මට උදව් කළා.

අපි උත්තරාර්ධගෝලීය කොදෙව්වක ඉඳල දක්ෂිණාර්ධගෝලෙ කොදෙව්වකට සංක්‍රමණය වෙද්දි සිරිතට වගේ ඉඳිආප්ප වංගෙඩියක් හා තට්ටු ටිකක් අරං ආව. අම්මගෙ පරණ වංගෙඩිය අරං එන්න දුක හිතුණ මට. ඒ විතරක් නෙවෙයි අර කෑලි දෙකේ වංගෙඩියෙන් මිරිකල උද්දච්ච වෙච්ච හිත කිව්වෙම ඒ ජාතියෙ වංගෙඩියක්මයි ගෙනියන්න ඕනෙ කියල.

ඒත් ඒ හිතට කල්පනා වුනේ නෑ අපි අපේ අම්මලට වඩා ඉක්මණට ගතින් වැහැරෙන, ශක්තියෙන් හීන වෙන පරම්පරාවක් නේද කියල..

අම්මලට කලිං අපිට අතපය කැක්කුං එන්නෙ හරියට අපි අම්මල කළා වගෙ දවස ගානෙ දර පලල, වතුර ඇදල නං තව කමක් නෑ.

මෙහෙ තියෙන ලංකාවෙ කඩවලට ගියාම අලිය ක්‍රීම් සෝඩාවල ඉඳල, පුහුල් දෝසි දක්වා සියලුම පැණි රස කෑම ඕනෙ වෙන, යන කොයිම වෙලාවකවත් කඩේ උම්බලකඩ නැති එක ගැන දුක් වෙන, නවසීලන්තෙ උද්‍යානෙක ඇරෙන්න පොල් ගහක් බේතකට නැති එක ගැන කණිපින්දං කියල ඉවරයක් නැති පෙම්බරයට අලුත් බලාපොරොත්තුවක් ආව ඔය ඉඳිආප්ප වංගෙඩිය දැකපු පාර. ඉතිං  ලංකාවෙ කඩේ ඉඳිආප්ප පිටි පැකට් දැකල උන් හිටි තැන් අමතක වෙලා කඥ්ඥං හැමදාම ඉඳි ආප්ප කියල මුන්දැ මං පිටි පැකට් දෙකක් අරගත්තම මූණ ඇද කරල තව පහක් කූඩෙට දාපි.

ඒත් හවුලෙ මිරිකලත් අර වංගෙඩියෙං ඉඳිආප්ප දහයක් මිරිකුවාම අතේ කැක්කුමට පැය කාලක් හති අරින්න වෙන හන්ද අපි දෙන්නගෙ ඉඳිආප්ප හැදිල්ලේ ශීඝ්‍රතාව අඩු වෙමින් යන්න ගත්ත.

ඒ මදිවට එක දවසක් මං සැරෙන් සැරේ අනන්න කම්මැලිකමට පිටි පැකට් එකක්ම එක පාර අනාගෙන ඉඳිආප්ප පහක් මිරිකන්න වුණේ නෑ.. වංගෙඩියෙ හිල් තියෙන තට්ටුවත් එක්ක පල්ල ගලවගෙන මිරිකමින් හිටිය ඉඳි ආප්පෙ උඩට වැටිච්චි.

හිතට ආව ආවේගෙට ඉඳිආප්ප වංගෙඩිය උණු වෙලා යන්න  තරං රස්නෙට ඒ දිහා රවල බලපු මං කෙලින්ම ඒක අරං ගිහිං රිසයිකල් බින් එකට අතෑරිය.

පෙම්බරය ආවම කේලමත් කිව්ව.

“අපි අම්මට කතා කරල බලමු. එයා සමහර විට කියයි ඕකට කරන්න දෙයක්.”

“ඕනෙ නෑ… මං ඒක විසි කළා. ලංකාවට යන කෙනෙක්  අත කරකවන වංගෙඩියක් ගෙන්න ගන්න ඕනෙ අප්පා.. මේක කරන්න බෑ.”

මං එහෙම කිව්වම අචේතනික වස්තු එක්ක තරහ ගන්න මගෙ නාට්‍යමය ඉතිහාසෙ දන්න පෙම්බරයගෙ කටත් ඇරිල බකස් ගාල හිනාවකුත් පැන්න..

“එහෙම පල්ල යන්නෙ ඕකෙ ත්‍රෙඩ් බුරුල් ඇති.. නූලක් වගෙ එකක් ඔතල ආයෙ දවසක මිරිකල බලන්ඩ”

කියල පෙම්බරයගෙ අම්මගෙන් උපදෙස් ලැබුණම මට ආයෙමත් වංගෙඩියා ගැන දුක හිතුණ.

ඉතිං රෑම ගිහිං පිටි නාවර පෙරාගෙන හිටිය ඌව රිසයිකල් බින් එකෙං උස්සං ඇවිල්ල නාවල එහෙම තිබ්බ.

පෙම්බරයගෙ ටිකිරි මොලේ පාවිච්චි කරල අපි නූල් වෙනුවට ත්‍රෙඩ් සීල් එකක් ගෙනල්ල එතුවම වංගෙඩියගෙ අට අනූවක් හන්දිපත රුදා සුව වෙච්ච හන්ද තාමත් උන්දැ අපෙ ගෙදර වසනව. ඉඳල හිටල අමුත්තොත් එන දවසක ඉඳිආප්ප හදනව. ඒත් උන්න ගමන් රැස්පොට් පෙන්නනව.

අපි දෙන්නත් අරින්නෙ නෑ.. ඔතනව ගමකට ‍ත්‍රෙඩ් සීල්. ඔතල තද කරල ඔහෙ හිටු කියල වැඩ ගන්නව.

ඒත් උන්දැට නෑහෙන්ඩ වංගෙඩියගෙ රැස්පොට් බල බල ඉඳිආප්ප කන්ඩ මේ හැටි නැහෙන්ඩ බෑ කියල කණු කුණු ගාන මගෙ හිත කියනව ආයෙ ලංකාවට ගිය වෙලාවක හරි, යන කාට හරි කියල හරි කරකවන වංගෙඩියෙක්ව ගෙන්න ගත්තනං අහවරයි නෙ කියල.

 

එතකල් ඉතිං යාප්පුවෙං මේ වංගෙඩියව තියාගන්න වෙනව.. හන්දිපත් අමාරුවට බෙහෙත් බැඳල කරල..

නැත්තං අපි කලාතුරකිං හරි ඉඳිආප්පයක් කන්නෙ  කොහොමෙයි?

 

 

පින්තුරෙ මගෙ

 

 

Posted in Uncategorized | ප්‍රතිචාර 15