එක පාරටම ලැබුණු අසීමිත නිදහස් ලෝකෙ කිරුල පැලඳුන දා ඉඳල රෙක්සිය හුරතල් මෝඩ් එකෙන් අවටියෙල් මෝඩ් එකට මාරු වුණා. අපේ වත්තෙ කොට තාප්පෙට තියපු ගේට්ටුව යටින් බඩගාල රිංගල ගිහින් වෙලේ නටන්න ගත්ත. පෙම්බරයගෙ අම්ම හිටවල ගිය මල්වල වතුර දාන වෙලාවක නං වතුර බටේ විකන්න ඇවිල්ල ඒකෙන් වතුර බොන්න දෙනකල් මට වද දෙන්න ගත්ත.ආයෙ දවසක් මං බලද්දි වත්තෙ මුල්ලක තියෙන කෙහෙල් ගස් වල වේලිලා පාත් වෙච්ච කොල ඔක්කොම ඇදල මිදුල වනසල. පොඩ්ඩක් ඇහැගහගෙන ඉන්න බැරි වුනොත් මොකක් හරි අලාබහානියක් කරල.
ඒ දවස්වල අපේ පෙම්බරයා ආසාවෙන් තියාගෙන හිටිය පොඩි කැක්ටස් පැල ටිකක්. ඒ ටික ගෙදර තාප්පෙ අයිනෙ බැම්ම උඩ තියල තිබුණෙ. මූ ඒව පෙරලල. පෙරලල නැවතිලා නෑ කටු පිරිච්ච පුංචි කැක්ටියෙක්ව කොහොම කරලද මන්ද ආප්ප හැන්දකිං ගන්න වෙන ගාණට චප්ප කරල.
ඒ මදිවට මේකා පතොක් කටු ඇණගෙන දවසක් දෙකක් කොර ඇණ ඇණත් හිටිය. මං ඉතිං අපේ අම්මගෙං අහල සර්වවිශාදිය ගෑව උගෙ ඉදිමිච්ච කකුල් කොට්ටවල. පවුනෙ පොඩි එකානෙ කියල හිතල. හැබැයි එහෙමයි කියල කිසීම ගුණයක් නෑ. කොරගහ ගහ ඇවිල්ලත් මොකක් හරි වසල වැඩක් කරල මාව යකා අවුස්සන එකම තමා කළේ.
ඉතිං ඒ හන්ද එන්න එන්නම රෙක්සියගෙ හුරතල් වැඩ ප්‍රචණ්ඩ ක්‍රියා ගණයේ ලා සලකන්න වෙන තත්වයක් තමයි ඇති වෙලා තිබුණෙ.
රෙක්සිගෙ ආගමණයෙන් වැඩියෙන්ම අසාධාරනේට ලක් වුනේ රූෆි. ඒ කියන්නෙ අල්ලපු ගෙදර සැන්ඩි ආන්ටි ගෙ බැල්ලි. අපි පදිංචි වෙලා හිටිය ඉඩංවල මුල් අයිතිකාරයො වෙච්ච වඳුරු රංචුව, දැන් අපි පදිංචි වෙලා හන්ද ඉන්න තැනක් නැතිව, කන්න බොන්න නැතිව අනාතයො බවට පත්වෙලා ඉන්න බව දන්න හන්දම අපි දෙන්න උන්ට අඹ, කෙසෙල්කැන්වලට ඕනෙ දෙයක් කරගන්න ඇරල තිබුණ. ඒත් අපේ ගෙදර අඹවල රස දන්න හන්දම සැන්ඩි ආන්ටි නං කැමතිම නෑ උන් එනවට. ඉතිං එයා රූෆිව එවනව ආඩම්බර ලීලාවෙන් ඇවිල්ල අපේ වත්තෙ මුර සංචාර කරන්න. අඹ කාලෙට, කෙසෙල්කැන් වැටිල තියෙන කාලෙට ඇවිල්ල ගස් වනසන කලු වඳුරො රංචුව පන්නන්න. ඉතිං රෙක්සි එන්න කලිං රූෆි හිතං හිටියෙ අපේ ගෙදර වත්තත් සින්නක්කරම එයාගෙ කියල.
ඒත් රෙක්සිගෙ ඔටුනු පැලඳීමේ මංගල්ලෙං පස්සෙ අපේ වත්තෙ රිසි සේ හක්කලං කරන අයිතිය රූෆිට අහිමිවෙලා ගියා. ඉඳ හිට මං එහෙ ගියාම රූෆිය මං දිහා දුකෙං බලල “බලන්න ඉතිං ඔයාට ඉස්සෙල්ල ආව කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙලා නේද” කියල ආඩපාලි කිව්ව.
ඔන්න තවත් දවසක් රෙක්සියි මමයි මිදුල අතුගාන්න පටන් ගත්ත උදේ.
ඒ කියන්නෙ මං අතු ගානව රෙක්සි ඉදලට පනිනව, කොළ ගොඩ උඩ නටනව. නටල ආයෙමත් අතුගාපු හරියත් හැඩි කරනව. බේරන්නම බැරි වුණ තැන මං එයාව යාප්පුවෙන් එක්ක ගිහින් ගේ ඉස්සරහ කණුවෙ ගැට ගැහුව. ඒ පාර ඉතිං විලාප තියන්න වුණා. මට උදව් කරගන්ඩ ඒ ගන්ඩ බැරි වුණ හන්ද. මොන තරම් කර්ණ කටුක වුණත් අවධානය නොදී නෑසුනු කන්ව ඉන්න මං තීරණය කලා අතු ගාල ඉවර වෙනකල්.
මට අතු ගාල කොළ රොඩු ටික එකතු කරල පෝර කවරෙ උඩට එකතු කළා.. ඒක වලට දාන්න හම්බුණේ නෑ රෙක්සිගෙ විලාපය මහා බිරිල්ලක් බවට පත් වෙලා.අහල පහල ගෙවල්වලින් නයින් වන් වන් කෝල් කරන ගාණට ආව. ඒ පාර මං ඒක එහෙමම තියල ඉදලත් උස්සගෙන ගියේ ඉදල් මිටෙං දෙන්නං දෙකක් පස්සට කියල හිතාගෙන.
රෙක්සි දංවැල දිග තාක් ඉස්සිලා තාප්පෙ උඩට අත් දෙක තියාගෙන වැහි පීල්ල දිහා බලාගෙන බුරනව. වැහි පිල්ලෙන් ඉස්සිලා අපේ සිවිලිමේ පදිංචි වෙලා ඉන්න තලගොයා දිව දික් කරනව.
තලගොයාට ඔන්න ඔහෙ ඉන්න දීපං බල්ලො.. ඌ උඹට කලිං අපේ ගෙදර පදිංචිකාරයෙක්…
මං රෙක්සියට එහෙම කියන ගමං ඌව දංවැලෙන් නිදහස් කළා. මාවත් තල්ලු කරගෙන වැහිපීල්ලෙන් වතුර වැටෙන බටේ ලඟට පැන්න බලු තඩිය බටේට අත් තියල හිටගෙන තලගොයාට
පොළවට බැහැපන් තලයො කියල තර්ජනය කරන්න පටන් ගත්ත. ඒ අතරෙ මං දිහා බලල කෙඳිරි ගානව
“අනේ මොනාද අනේ එන්න කියන්නකො එයාට බිමට” කියල කියන්නැහෙ. ආයෙ උන්න ගමන් මං දිහා බලල බුරා හැලෙනව. “කිව්වට එයා එන්නෙ නැත්තං අරං හරි දෙන්නකො” කියන්න වගේ.
අවසානයේ බලවත් ආයාචනයට කන් දෙන්න තීරණය කරපු තලගොයා වැහි පීල්ලෙන් තාප්පෙට මාරු වුණා. රෙක්සි නොයිවසිලිමත් වුණා. බිරීම නැවතිලා හැහ් හැහ් ගාමින් බටේ ලඟින් තාප්පෙට මාරු වුණා..
තලගොයා කිසිම ගාණක් නැතුව පාඩුවේ උගේ මහේශාඛ්‍ය ගමන් ලීලාවෙන් තාප්පෙ දිගේ සක්මන් කරන අතරේ වරින් වර උඹ අල්ලයි මගෙ වලිගෙ කියන්න වගේ රෙක්සිට දිව ඇද්ද.
රෙක්සි බුරමින් අත් දිගු කරමින් තලගොයාව බිමට බාගන්න එහාට දිව්වා මෙහාට දිව්වා. තාප්පෙ පාදමට නැග්ගොත් නං තාප්පෙ උඩට අත දිග ඇති කියල තේරුණ පාර එහෙම නගින්න හදල දෙපාරක් විතර දබෝරියං ගාල බිම වැටිල පස්ස බිම ඇණුන. මේ උදේ පාන්දර රෙක්සිට මොන යකෙක් වැහිලද බලන්න පහල ගේට්ටුව ලඟට රූෆි ආව. මොහොතකට තලගොයාව අමතක කරපු බලුතඩිය දුවල ගියා රූෆිට බුරන්න.
ඔය අල්ලපනල්ලෙ තලගොයාට ඕනෙ වුණා තාප්පෙන් පාර පැත්තට පැනල නොයා අපේ වත්ත හරහාම වෙල පැත්තට යන්න. ඌ හෙමින් සැරේ තාප්පෙට පහුරු ගහමින් බැහැල මිදුල හරහා හරියට කිසිම ජීවිත තර්ජනයක් නෑ වගේ ලතා දමමින් සක්මන් කරන හැටි දැක්කම මගෙ ඇඟේ ලේ වතුරවුණා.
ඉක්මණට පලයංකො යන ගමනක්!! අර වසවර්තිය දැක්කොත් උඹට මොකක් වෙයිද දන්නෙ නෑ…
මං එහෙම කියල කට ගන්න වුනේ නෑ.
වත්තෙ එහා කොණට ගිහින් රූෆිට බුරමින් හිටියත් තලගොයා කෙරෙහි බැඳි අප්‍රමාණ දයාවෙන් ඔද වැඩිල ඌ දිහා ඇහැ ගහගෙනම හිටිය රෙක්සි පිම්මෙ පැනගෙන ආව. තලගොයා ඒ වෙද්දි මිදුලෙ අඹගහ පහු කරමින් හිටියෙ. හරියටම මගේ කොළ රොඩු කවරෙ ලඟ. බලු තඩියා එන බව දුටු තලගොයා පුලුවන් වේගෙන් වෙල පැත්තට දුවන්න හැරුණ.
ඒත් ඌත් මාත් හවුලෙ කරපු පූරුවේ අකුසල කර්මෙකට වාගෙ උගෙ කකුලක් පැටලුණා මං කොළ එකතු කරල තිබුණ පෝර කවරෙන් ඇදිල තිබුණ රැල්ලක.
ඒ ඇහිල්ලෙන් රෙක්සි වෙසමුණියා වගේ හිස වනමින් පිඹිමින් අදනම් තලගොයි මස් කා මිස පස්ස නොබලමියි කියා බලවත් අධිෂ්ඨානයෙන් යුක්තව තලගොයාගෙ ඇඟට පැන්න. පැන්නට වේගෙ පාලනේ කරගන්න බැරි කමට පිම්ම වැරදුණා. තලගොයත් අවිඥානිකව වුණත් උපක්‍රමශීලී වුණා. රෙක්සිගෙ පිනුම් ස්ථානගත වෙන තැන්වලින් ගෑවී නොගෑවී අයින් වුණා.
ගමේ ගොඩේ කතාවට කියනව නෙ ඔරු කාරයෙක්ට එක රිටි පාර වැරදුනාම රිටි පාර හතක් ගහල වත් ආයෙ හදන්ඩ බෑ කියල. ආන්න ඒක සනාථ කරන්න වාගෙ රෙක්සි නැවත නැවතත් පැන්න කලබල පිමි තුන හතරක්ම තලගොයාගෙ ඇඟ මත සමපාත නොවී අඹ කොළ ගොඩ උඩට වැටුණා. තලගොයා සිහි මුර්ජාවෙලා වගේ, කොටින්ම බල්ලට අහුවෙලත් ඌ තාම ජීවත් වෙනව කියන එක ඌටම අදහගන්න බෑ වගේ බලං හිටිය.
රෙක්සි.. අයින් වෙනව ඔතනින්!! මට සිහිය ආව ගමන් මං කෑගැහුවට රෙක්සි නෙවෙයි සටන අතාරින්නෙ..
බුරමින් තලගොයා දිහාට පනිනව. තලගොයාගෙ පිටට අත තියනව හපන්න හදනව.
හපන්න හදන වාරයක් ගානෙ මාත් මර හඩ තියනව.
බල්ලට කීප වරක් පිම්ම වැරදුන බවත්, ඒ නිසා තමන් තවම පණ පිටින් සිටින බවත් තප්පර දෙක තුනකට පස්සෙ වටහා ගත්ත තලගොයා හැකි වෙර යොදල තමන්ගෙ කකුල පෝර කවරෙන් ඇදගන්න හැදුවත් ඒක තදින් පැටලිලා.
තමන්ගෙ අභිමානයට වෙච්ච කැලල දරාගන්න බැරුව කුපිත වෙච්ච බලුනයිදෙ තලගොයා වටේ රවුම් දුවමින් ගෝත්‍රික ගිනිමැල නැටුමක් නටන්න පටන් ගත්ත.
ඒ අවසරයෙන් තමන්ගෙ කකුලෙ පැටලුණ පෝර කවරෙත් ඇදගෙන තලගොයා වෙල දිහාට දිව්ව.
බල්ලත් හති හලමින් ක්ෂණිකව පස්සෙං දිව්ව. ඒ දුවන ගමන් තලගොයාව කටින් හපන්නත් හැදුව.. කොහොම හරි තාප්පෙට අඩි දෙක තුනක් තියා රෙක්සි තලගොයා ඇදගෙන යන පෝරකවරෙ උඩ අඩිය තියපු නිසා තලගොයාගෙ පැටලුම ලෙහුණ.
ඊලඟ මොහොතෙ සිද්ද වෙන්න යන දරුණු ඛේදවාචකය ඉවෙන් දැනුන හන්ද මාත් ඉදල අතෑරල ඒ පස්සෙං දිව්ව.
අපරාදෙ කියන්න බෑ අතුගාල එකතු කරල විනාඩි පහක් ගතවුණ තැන අඹ කොළ ටික ආයෙමත් අතුගාන්ඩ කලින් තිබුණට වඩා අතුරල දුන්න තලගොයා මියෙම්වා රැකෙම්වා කියා අමාරුවෙන් තාප්පෙ බඩ ගාගෙන බලු කටින් බේරිලා වෙලට පැන්න.
රෙක්සිත් තාප්පෙ කොච්චර උසද, එහා පැත්තෙ තියෙන්නෙ ඇලක් ද වෙලක්ද කියල කිසිම විඥානයක් නැතුව තලගොයා පස්සෙන් තාප්පෙ පනින්න හදද්දි මං බෙල්ලෙ හමෙන් ඇදල අරන් වත්ත පැත්තට දාගත්ත.
සියලු ශරීර ශක්තිය පාවිච්චි කරල අල්ලං හිටියත් මූ මාව ඇදගෙන ආපහු තාප්පෙ ලඟට ඇවිත් තාප්පෙට අත් දෙක තියල බැලුව.පනින්න උත්සහ කළා. මං අලියගෙ නැට්ටෙ එල්ලිලා දිවිය ලෝකෙ යන්න ගිය ගමරාල වගේ බල්ලගෙ බෙල්ලෙ හමෙන් ඇදගෙන රෙක්සිට තර්ජනය කළා.
උඹ මෙතනින් පැන්නොත් නං අද මම උඹට හොඳ පාඩමක් උගන්නනව බල්ලො
තලගොයා පණ එපා කියල ඇලට පැනල වතුර මැද්දෙන් බස බස ගාල දුවල ඉවුරෙන් ගොඩවෙලා වෙල මැද්දෙ අතුරුදහන් වුණ හැටි දුකෙන් බලන් හිටිය රෙක්සි නළල රැලි කරගෙන මං දිහා බැලුව. ඒ විතරක් නෙවෙයි පිටේ මවිල් පුම්බගෙන මගේ අනපේක්ෂිත මැදිහත් වීමෙන් තමන්ගේ ගොදුර වැලකී ගිය එක දැඩි සේ හෙලා දැක්ක.
බව් වව්වව් වව් වව් වව් වව් වව්…
තලගොයාගෙ පින්තූරෙ කලිත් මල්ලිගෙ බ්ලොග් එකෙන්. ස්තූතියි මල්ලි!
යුනික්…. !!!!
ඇත්තටම උඹ නොලියපු කාලේ වෙච්ච තරහාවල් ඔක්කොම හේදිලා යනවා මේවා කියවල… 😉
///////එක පාරටම ලැබුණු අසීමිත නිදහස් ලෝකෙ කිරුල පැලඳුන දා ඉඳල රෙක්සිය හුරතල් මෝඩ් එකෙන් අවටියෙල් මෝඩ් එකට මාරු වුණා//////////
හුරේ….මටත් ඕකම තමයි වුනේ කාලෙකට ඉස්සෙල්ලා. :
That’s a great shot. What a little beauty! That’s gone miles over the top of midwicket.”
මාර ලියවිල්ලක් හලෝ…ටෝනි ග්‍රෙග් ෆිෆ්ටි ඕවර්ස් මැච් එකක කමෙන්ට්‍රිස් දෙනවා වගේ. ෆුල් ඔෆ් ෆැක්ට්ස් ඇන්ඩ් ඩිටේල්ස්!!!
The more I learn about people, I love my dog more වගෙ කතාවක් කිව්වෙ කවුද? Mark Twainද? හැබැයි උඹලෑ රෙක්සියව නම් අර ඩෝග් විස්පරර් ගාවට යවන්න වෙනවා. ඌ අකීකරු වැඩියි. ඌ උඹලව යටත් කරගෙන ඉන්නෙ. අර සුපර් මාකට් වල බිම පෙරලිලා අඬන ළමයි වගෙ. උඹලා ඌට නරක් වෙන්න ඇරලා තියෙන්නෙ. උඹලා පොඩි එකෙක් ඉන්න කාලෙක ඔහොම හැදෙන්න දෙන්න එපා. 🙂
අපේ ගෙදර හැදෙන බලු නෑම්බිගෙ මල්ලි කෙනෙක්ද කොහෙද ඔය රෙක්සි. හැබැයි ඔයතරම්මත් දඟ නෑ. ලඟදි දවසක එයත් තලගොයි නාටකයක් නැටුවා. එයාව බැඳපු තැනට පේන්න තලගොයි පවුලක් ඇවිත් මල්පාත්ති වනසලා යනවා. තව දවසක් තලගොයා ලඟට ගියාම අපේ ලැසීට මහා ආඩම්බරකාර බැල්මක් දාලා බාව වනලා තරවටුවකුත් දමනවා මං බලාගෙන. ඒත් දවසක් ඒ තලගොයා අල්ලලා පොලොවේ ගහලා මැරුවා. 3 දෙනෙක් ආව ගමන අද ඒන්නේ දෙන්නෙක් විතරයි.
මාස දහයක් තිස්සෙ මොනවාත් ලියන්නෙ නැත්තෙ මොකද ලමයො????????