හොරා…!!!

insidelk_wv-sugathapala

දවස් හතරක මන්නාරම් ක්ෂේත්‍ර චාරිකාව අවසන් කරල ගෙදර ආව විතරයි. මං පහුවදා වැඩට ආවෙ හුස්මක් කටක් ගන්න නැතුව ඊලඟ දවසෙ  ඒකෙ ඩීබ්‍රීෆිං එක දාපු ලොක්කට හිතෙන් බනිමින්. මගෙ හිතේ දුකට අලගු තියන්න වගේ පාන්දරම අහසත් ගොරවන්න ගත්ත.  ඩික්මන් පාරට හරවද්දි පාර පේන්නෙ නැති ගාණට වහිනව. ඒ මදිවට පරක්කුත් වෙලා.

කුඩේ ඉහලගන්ඩ ඔයා තෙමෙන්න එපා.

තෙමෙන එක ගැන ගාණක් නැතුව මං මගෙ ලට්ට ලොට්ට මලු අරන් කාර් එකෙන් බහින්න හැදුවම පෙම්බරයා කෑ ගැහුව.

චුට්ටයි නෙ.. මං ටග්ගාල බහින්නං.

අනුමැතිය ලැබෙන කල් ඉන්නෙ නැතුව මං දොර ඇරිය.

බලාපොරොත්තු නොවුණ විදියට තඩි කුඩයක් ඉහලගෙන ඔෆිස් එකේ සෙකියුරිටි කාර් එකේ දොර ලඟ ඉඳං මං කියන්නෙත් නැතුව මගෙ පිටේ එල්ලන ලැප්ටොප් බෑග් එක ගත්ත.

මිස්…. නවල් එක තෙමෙයි. බලාගෙන

මං අනිත් දේවල් අතිං කටිං අරං බහිනකොට සෙකියුරිටි කිව්ව.

මං ඉස්සෙල්ලම සුමනසිරි ගෙ මූණ බැලුවෙ එතකොටයි. බැලුවටත් වඩා දබ වැස්ස අස්සෙත් මගෙ අතේ තිබුණු ජංගමයා ඇතුලු මිලාධික දේ ගැන නොතකා, සඳුන් ගිර ගිනිගනී පොතේ පරිස්සම ගැන හිතපු මං දන්නෙ නැති සෙකියුරිටි කවුද බොලේ කියල ඉබේම දිහා ඉබේම බැලුන.

කලින් හිටපු නිදිමත පාට කහ බතලයක් වගේ කොලු ගැටය වෙනුවට, දුඹුරු පාට යුනිෆෝම් එක අස්සෙං, හිනාවෙන ඇස් දෙකක් තියෙන, කොන්ඩ කැරලි පැත්තට පීරපු අලුත් සෙකියුරිටි තැන සුමනසිරි ඒ වැස්සෙත් හරි සිරියාවක් අරං ආව. ඒ විතරක් නෙවෙයි කෑම පැයත් ඔෆිස් එකට අයිතියි කියල හිතන ඔපීසියක පරිගණක තිරවලට හිනා වෙන ජීවිත අස්සෙ උන්න ගමන කී බෝඩ් එක යට හංගගෙනත් පොත් කියවන මට මගෙ පොත ගැන හිතන කෙනෙක් ඉන්නව කියන එක තව මොහොතකින් ඇරඹෙන ඩීබ්‍රීෆිං මීටින් එකේ කර්කෂ බව අමතක කරවන්න හේතු වුණා.

නව් වට් ආයූ රීඩිං ටුඩේ?

යූ රීඩ් එව්රි ඊවිනිං, ඉස්න්ට් ඉට් බෝරිං?

වැඩ ඉවර වෙලා පෙම්බරයා එනතුරු ආලින්දයේ පොත් කියවමින් ඉන්න මාව දකින කොට ඒ වෙලාවත් අපරාදෙ වැඩක් ගන්න තිබුණ කියල හිතමින්  අපි දාඩිය නාගෙන ට්‍රැෆික් එක කාගෙන ගෙවල්වලට යන හැන්දෑවෙ ටෙනිස් ගහන්න, ඇවිදින්න ගෙවල් බලා යන ලොක්කන්ගෙ ඇස්වලට කටු අනිනව.

මං නිහඬ විරෝධය හිනාවකිං වහගෙන ගුඩ් නයිට් කියල පොතට එබෙනව.

සුමනසිරි හැමදාම හිනාවුණා. ඒ හැම දවසකම මගෙ අතේ තිබුණ පොත සුමනසිරිගෙ සෙකියුරිටි ඇහෙන් දැඩි නිරීක්ෂණයකට ලක් වුණා.

මිස් මහත්තය පරක්කුයි වගේ නේද අද…?

පෙම්බරයා එන්නට හිතුවාට වඩා පමාවුණ, ආලින්දයේ සැප පුටුව උඩ ඉඳගෙන වටේ පිටේ අලියෙක් ඇවිද්දත් නොදැනෙන තරම් නිර්වින්දිතව පොතට එබීගෙන හිටිය ඒ හැන්දෑවෙ  ගුඩ් මෝනිං මිස් ගුඩ් නයිට් මිස් කියන යාන්ත්‍රික වචනවලට වඩා යමක් කිව්ව සුමනසිරිගෙ හඬින් මං ගැස්සුනා.

ලා අඳුරක් ඔෆිස් එක වහගෙන. මං වගේ වගක් නැතිව පොතකට ඔලුව ඔබාගෙන ඉන්නාතර සුමනසිරි වරක් දෙකක් මගේ අවටින් යන්නත් ඇති. ඔෆිස් එක වහගන්න විදියක් නැතිව.

ඔවු… දැන් ලඟ ඇති..! සුමනසිරි එහෙනං දොර වහන්න. මං එලියට යනව කොහොමත් දැන්. ගුඩ් නයිට්!

එහෙම කියාගෙන මං මල්ල එල්ලගෙන ගේට්ටුවෙන් පාරට බැස්ස.

මලු ටික ගේට්ටුව ලඟ බිම අතෑරල මං එතන මහ ගහ වටකරපු කෙටි තාප්පෙ උඩ ඉඳගත්තම අත් නිරායාසයෙන් පොතේ පිටු පෙරලුව අනාරාධිතවම ඇස් පොතේ ඇලුන..

දෙයියනේ මිස්.. ඇයි ඔතන ඉඳගෙන කියවන්නෙ..? මං හිතුවෙ ගියා කියලනෙ…අනේ ඔතන ඉන්න එපා එන්න එන්න ඇතුලට..මහත්තය එනකල් ඇතුලෙ ඉඳන් කියවන්න.

මං ගියාම ඉස්සරහ දොර වහං පිටිපස්සෙ දොරවල් චෙක් කරන්න ගිහින් ආපහු එද්දිත් මං ඉන්නව දැක්ක සුමනසිරි බූතයෙක් දැකල බය වුණා වගේ පැන්න ගමන් පුටුවකුත් එයාගෙ මේසෙ ලඟ තියල.

ඒ ඉල්ලීමකට වඩා විධානයකට කිට්ටු වචනවලට මට හීන් නුරුස්නා ගතියක් දැණුනත්, නෑ කමක් නෑ කියල එලියෙ ඉන්න හිතුණත් සුමනසිරි බලෙන්ම මගෙ බෑග් ටිකත් ඇතුලට ගත්තෙ ඇතුලට ආවෙ නැත්තං ඊ ලඟට ඔෆිස් එකේ සෙකියුරිටි හැටියට මට සිද්ධ වෙනව මිස්ව උස්සගෙන ගෙනිහිං පුටුවෙං ඉන්දන්න කියන එක ව්‍යංග්‍යාර්ථයෙන් හඟවන්න වගෙ.

මං දුරස්ථ පාලකයකින් පාලනය කළා වගෙ ඇවිල්ල ඉඳගත්ත.

මෙතන ගෑනු දරුවෙක්ට එලියෙ ඉන්න හොඳ තැනක් නෙවෙයි මිස්..මේ ගෙදර මීට ඉස්සර ගණිකා නිවාසයක් තිබුණලු..මං මිස්ට තියා කාටවත් ඔතන හවසට ඉන්න දෙන්නෙ නෑ.

සුමනසිරි එයාගෙ රලුබවට හේතු දක්වන්න ගත්ත.

මෙතන හිටගෙන ඉන්නකොට වාහනවල යන එන මිනිස්සු අමුතු තාලෙට බලනව නං දැකල තියෙනව. ඒත් මං දැනගෙන හිටියෙ නෑ ඒ බවක්. තෑන්ක්ස් සුමනසිරි ඒක කිව්වට. මං මීට පස්සෙ ඇතුලෙන් ඉන්නං.

මොකද්ද මිස් අද කියවන පොත…?

සුමනසිරි ඇහුවෙ සතියක් විතර තිස්සෙ අහන්න පරණ කර කර හිටපු ප්‍රශ්නයක් කියල මට ඒක අහපු වේගෙන් දැණුන.

රිදීතිරංගනාව… සුමනසිරි පොත් කියවනවද? ආ බලන්න.. හරි යයිද නං දන්නෙ නෑ

මං පොත දික්කලා.

ඒ ගමන් මං මගෙ හිත ඇතුලෙන් හදාගත්ත සුමනසිරි කියවනව නං ඒ මොන ජාතියෙ පොත් වෙන්න ඕනෙද කියල ලිස්ට් එකක්.

මේ රස්සාවට මං කැමති රෑට නිවි හැනහිල්ලෙ පොතක් පතක් කියවන්න වෙලාව තියෙන එක.. හොඳ පොතක් කියන්නෙ නිදිමතට හොඳ බේතක් මිස්!!

සුමනසිරි සුනේත්‍රගෙ රිදීතිරංගනාව මේසෙ උඩ ඉන්දල ලාච්චුව ඇරල පොත් මිටියක් අරන් ඈ ලඟින් තිබ්බ. ආඩම්බරෙන් මේසෙ උඩ මොහොතක් විරාජමාන වුණ රිදී තිරංගනාවගෙ අඟල් දෙකේ උස යටපත් කරල රාහුබද්ධ, අමරකීර්ති, ඉලයප්පආරච්චි සමග විජේමාන්න එකා මත එක නැග්ගම ඇගේ අයිතිකාර අංගනාවට ඇගෙ මනෝමය සෙකියුරිටි නවකතා ලැයිස්තුව ගැන මහා ලැජ්ජාවක් ආව.

පොතක් කිසිදා එහි කවරයෙන් නොමනින්න!

ඒ වගේම මිනිසෙකුගේ රසවින්දනය කිසිදා ඔහුගේ රැකියාවෙන් නොමනින්න!

මම අයිතිකාර අංගනාවට මොහොතකට අමතක වෙලා ගිය යමක් මතක් කරල දුන්න

මං දැනගෙන හිටියෙ නෑනෙ සුමනසිරි කියවනව කියල..

මගෙ කටහඬේ මින් පෙර කවරදාකවත් ඔෆිස් එකේ සගයෙක් වෙනුවෙන් තවරපු නැති තරම් සුහදකමක් තැවරුණ බව මට දැණුන.

සුනේත්‍රගෙ සඳුන් ගිර ගිනි ගනී තමා තාමත් හොඳම පොත. සමහරු කියනව එයාගෙ උත්කර්ෂය රිදීතිරංගනාව කියල.. මං තාම කියවල නෑ මේක. ලයිබරි එකේ කවදාවත් නෑ.. කඩෙන් ගන්න බැරි තරං ගණන් නෙ මිස්. ඒත් මං අනිත් පොත් ගොඩක් කියෙව්ව එයාගෙ.  මට හිතෙන්නෙ හර්ද සූත්‍රයෙන් පස්සෙ එයා එයාගෙ සෙල්ලක්කාර ලේඛන ශෛලිය වෙනස් කරල දේශනා ශෛලියකට අනුගත වෙලා වගේ.  

සුමනසිරි එක පාරටම පරචිත්ත විජානන ඥානය ලැබුණ වගේ මෙන්න මගෙ හිත කියවන්න ගත්ත.

වැඩකට නැති බිල්ඩිමක් සහ ඔෆිස් එකට වටිනා අචේතනික වස්තු සමුදායක් ආරක්ෂා කරමින් රෑට නිදිවරන බහිරවයෙක් වගේ ඔෆිස් එකේ අපි හැමෝටම පෙණුනට ඒ අස්සෙ සරල පාඨකයෙක්ට වඩා යොදුන් ගාණක් දුර ගිය ලොකු ජීවිත කියවීමක් කරපු විචාරකයෙක් ඉන්නාබව වාක්‍ය කීපයකින් හෙලිදරවු වීමෙන් මම මහා උඩක ඉඳල පහලට පත බෑවුණා. ඒත් ඒකෙන් ඇති වුණ වේදනාව එසැණින් අමතක කරල මං සුමනසිරිට මිත්‍රත්වයේ දෑත් දිගු කළා.

මෙන්න.. මේක කියවන්න… කියවල මට කියනන්නකො සුනේත්‍රගෙ උත්කර්ෂය රිදී තිරංගනාවිද සඳුන්ගිර ගිනි ගනීද කියල

අනේ… ඒක හරි නෑ නෙ මිස්… මිස් කියව කියව ඉන්න එකනෙ… මට පස්සෙ දෙන්න..

ඒ අදිමදිය කුලෑටි කම මිසක පොත කියවන්න අකමැතිකම නෙවෙයිනෙ.

පිස්සු නැතුව මේක ගන්න.. අරං කියවන්න සුමනසිරි. මං මේ මේක කාලෙ ගෙවාගන්න අතරින් පතර කියවන්නෙ.. අඩුම ගානෙ විසි පස් පාරක්වත් කියවල ඇති.  

කාර් එක බ්රේක් ගැහුවා. පෙම්බර හෝන් එක පීප් පීප් ගෑවා.

අන්න සර් ආවා… සුමනසිරි හිනාවුණා.

කියවන්න කැමති පොත් කිව්වොත් මං ලඟ තියෙනව නං මං ගෙනත් දෙන්නං. මට කියවල ආපහු දෙන්නකො.

මං ලට්ටලොට්ට ටික පටවං කාරෙකට නැගල දොර වහගන්න කලිං රිදීතිරංගනාවිව තුරුල් කරං ගේට්ටුවෙන් එලියට ඇවිල්ල බලං හිටිය එයාගෙ අලුත් පෙම්වතා සුමනසිරිට කෑගහල කිව්ව.

මට තියෙන අරුම පුදුම යාලුකං ගැන හැමදාම පුදුමවෙන පෙම්බරයට හිනාවක් ගියා.

සුමනසිරි මට අපුරු හිනාවක් දික්කරගෙන අපි යන දිහා බලං හිටිය.

ඉන්පසු ගෙවුණ, පෙම්බරයා පමාවුණ බොහෝ සන්ධ්‍යාවල මීට කලිං ගණිකා නිවාසයක්ව තිබුණ, ගේ ඉස්සරහ අයිතිකාරල එල්ලිලා මැරිල හිටියලු කියා සුමනසිරිම කිව්ව ඒ දොරකඩ අද්දර පුංචි පුංචි සාහිත්‍ය රස උල්පත් පැන නැංග.

මිස් මට තියෙනව නං ගුන්තර් ග්‍රාස් ගෙ පොතක් ගෙනත් දෙනවද?

ආනේ! මිස් මායාවාස ගත්තද? කියවල මටත් දෙනවැයි?

සුමනසිරි ඉල්ලුව

සමහර පරිවර්තකයො පොත්වලට කරන අසාධාරණය ගැන බොහොම දුකෙන් කතා කළා.

පොත කාල මිස්.. මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. කිව්ව.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරගෙන සල්ලි මත්තෙ පොත් එලි දක්වන එකෙන් එයාල කරන්නෙ දවසිං දවස එයාලගෙ හොඳම කියවන්නො නැති කරගන්න එකයි. බලන්න මිස් මේ මනුස්සයගෙ ඉස්සර පොතුයි දැන් ලියන එව්වයි..

හරියට මං පොත් සම්බන්ධ අධිකාරි බලයක් තියන කෙනෙක් කියල හිතල වගේ මට පැමිණිලි කළා.

මිස් මං අද ඕෆ් වෙලා ලයිබ්‍රරි යනව. පොත් මොනව හරි ඕනෙද? කියල ඇහුව

මිස් ඔය ඇටමැස්ස පොතේ ඉටි කවරෙ පරණ වෙලා තියන හැටියෙං මට හිතෙන්නෙ මිස් ඔය ඕක කියවන්නෙ අඩුම ගානෙ සියවෙනි වතාවට වෙන්න ඕනෙ…

සුමනසිරි අනුමාන කළා.

ඕලෙවල් ලියල ඉස්සෙල්ලාම ඇටමැස්ස, ගුරුගීතය කියවපු දවසෙ ඉඳල සෑහෙන කාලයක් යනකල් ඒ පොත් දෙකම මගෙ කොට්ටෙ යට තිබුනෙ. කිසිම කෙනෙක්ට කියවල ගෙනත් දෙන පොරොන්දුව පිට වත් දුන්නෙ නෑ. ඒ දෙකට පණ තියෙනව වගේ දැණුනෙ. රෑ නින්දෙන් නැගිටලත් කොට්ටෙ යටට අත දාල අතගාල බලන තරම්!

මං ඔෆිස් එකේ කිසිම කෙනෙක් එක්ක බෙදා නොගන්න මගේ පිස්සු රහස් පොත් කියවන බහිරවය එක්ක බෙදා ගත්ත.

බහිරවය හිනා වුණා..

ඔෆිස් එකේ උයන මාරිඅප්පන්ට, අතුපතුගාන මාලට සිකුරිටි මල්ලිගෙයි ජනනි මිස්ගෙයි පයුරු පාසානම පොත් ගැන බව මුල ඉඳලම වැටහිලා තිබුණ.

ජනනි මිස්ගෙ මොකද්ද සූත්‍රය පොත මං සුමනෙ මල්ලිගෙං ඉල්ලගත්ත ඔෆිස් එකේදි වැඩ නැති වෙලාවට කියවන්න. මං ගෙදර ගෙන්යන්නෙ නෑ මිස් හොඳේ. මෙහෙදි කියවනව.

මාල කිව්වෙ මම දිවි නොතකා හෝ පොත් රකින බව සුමනෙ මල්ලිගෙන් දැනගෙන මගේ හර්ද සූත්‍රයට රක්ෂණ වාර්තාවකුත් සපයමින්.

කිව්වට මොකද මං ඉස්සෙල්ලම හිතුවෙ මොකක් හරි බණ පොතක් කියල මිස්. බැලුවමයි ඒක ආදර කතාවක් කියල තේරුණේ.  ඒ වුණාට ජනනි මිසුයි සුමනෙ මල්ලියි කියවන වැඩි හරියක් අපිට මේ සම්මජ්ජාතියෙ තේරෙන එව්ව නං නෙවෙයි අප්පා. මට නිදිමත එනව පේලි තුන හතරක් කියවද්දි.

මාල එහෙම කිය කියා බෑග් එකෙන් සිරිකත පත්තරේ අතට ගත්ත.

පොත් කියන්නෙත් බලගතු ඹෟෂධයක් මාලා… දැං බලන්ඩ මාලට නිදිමත එනව මේ පොත කියවද්දි, මේ පොතම සුමනසිරිව රෑට අවදියෙන් තියනව. ඒක හරියට මිනිස්සු දුකටත් සතුටටත් බොන අරක්කු වගේ.

මං එහෙම කියල කුස්සියෙං එද්දි මට මක්කරලවත් මකාගන්න බැරි හිනාවක් මගෙ තොල්වල ඇඳිල තිබුණ.

සුමනසිරි බොහොම සතුටින් ජීවත් වෙන බව එයා ඉඳහිට කියන දේවල්වලින් තේරුණා.

මගෙන් පුරුදු වෙලා දුවත් හරියට පොත් කියවනව මිස්. එයා නවය වසරෙ දැන්. අන්න රිදී තිරංගනාව කියවනව. අපේ උන්දැ මට බනිනව එක එක හරුප පොත් ගෙනල්ල දරුවව  පොඩි වයසෙදිම නරක් කරනව කියල. ඒ එයා දුකට කියන කතා. මං සද්ද නැතුව ඉන්නව. එයාට හිතෙනව ඇති දුව පොඩි වයසෙන්ම ලොකු පොත් කියවල ඉක්මණටම අපිව අමතක කරල ඉස්සරහට ඇදෙයි කියල.

එයාට හෙමින් තේරෙයි. දරුවංගෙ ගමන අපිට බලෙං නවත්තන්න බෑ කියල.

ඉතිං ඔය වගේ කතා අහන හැන්දෑවල්වල මං කවදාවත් නොදුටු සුමනසිරිගෙ දුව මගෙ හිතට ඇවිල්ල අපේ ගෙදර හිටිය, ශිෂ්‍යත්වෙ ලිියපු දවසෙ හවස ඉඳල තාත්තගෙ පොත් කබඩ් එක තනි සමුබුත්තියට අයිති කරගත්ත කෙල්ලව බදාගන්නව.

ආයෙමත් වැහි කාලෙ ඇවිල්ල තිබුණ.

එක උදේක මං වාහනෙන් බහිද්දි ඔෆිස් එක ඉස්සරහ මහ ගාලගෝට්ටියක්.

කීර්ති මහ හයියෙං කාටදෝ කතා කරනව. වයසක මෙහෙයුම් අධ්‍යක්ෂතුමා ඉණට අත්දෙක තියාගෙන බරපතල කල්පනාවක. ඒ මැද්දෙං අන්ද මන්ද වෙලා ඇතුලට රිංගුව මං යාන්තමට දැක්ක අලුත් සෙකියුරිටි කෙනෙක් වාර්තා කරල ඉන්නව.

දන්නවද නංගි… සුමනසිරි කියන්නෙත් නැතුව අස්වෙලා ගිහිං. මෙහෙ ගොඩක් අයගෙං සල්ලි ඉල්ලගෙන නැතිබැරිකං කියල.. ආපහු දෙන්න වෙන හන්ද නොකියම ගිහිං.. මගෙන් පන්දාහක් ඉල්ලුව ගිය සතියෙ. මගෙ ලඟ තිබුණෙ නෑ. ඒ වෙලාවෙ. නැත්තං මාත් අහු වෙනව මිනිහගෙ බොරුවට.

දුකට සැපට එකට හිටිය ආශක්ක කිව්ව.

මං මෙතෙක් කලක් නොදැන හිටි සුමනසිරි කෙනෙක් ගැන ඔෆිස් එකේ මිනිස්සු දවස පුරාම කතා කළා.

මගෙන් නං දාහයි. ඔයාගෙං කීයක් ගත්තද? සඳා ඇහුව

ඕක ගෙරිය… මගෙං දහ දාහක් ඉල්ලුව. මං පවුනෙ කියල දෙදාහක් දුන්න ගෙදර කන්න නෑ කිව්ව හන්ද දුකට. සෙනේෂ් ගුගුරන්න ගත්ත.

ඔයාගි  ලුකු යාලුව නේත එයා? කීයක් ඉල්ලකත්තද?

ගණකාධිකාරී විමලනාදන් මගෙ හිතට හීනි ඉඳිකටු තුඩකින් ඇනල රිද්දන ගමන් මගෙන් ප්‍රශ්න කළා.

ඒ හැමෝම එකතු වෙලා මං දැනගෙන හිටිය සුමණසිරිගෙ මූණට වංචාකාරයෙක්ගෙ මූණ බද්ධ කරන්න සටන් කළා.

මං දන්නෙ නෑ විමල් ඔයාලගෙන් සල්ලි ඉල්ලගත්ත බවක් මේ දැන් ඔයාල කියනකල්.

මගෙං කිසි දවසක පොතක් පතක් මිසක ඒ මනුස්සය සල්ලි ඉල්ලුවෙ නෑනෙ..

සුමනසිරිව ආවරණය කරන්න මගෙ දුර්වල පොත් පලිහ කිසිසේත් ප්‍රමාණවත් නොවන බව දැන දැනත් මං කිව්ව.

සෙකියුරිටි කම්පනි එකේ ලොක්කො තුන්දෙනෙක් ඇවිල්ල මීටිමකින් පස්සෙ බුම්මගෙන යන්න ගියා.

හොඳ වැඩේ ඕකුන්ට. හොරු රස්සාවට ගන්නවට කිසි වගකීමක් නෑ. අහගත්ත හොඳවයිං අද.

සුමනසිරිගෙන් මූල්‍ය වංචාවට ලක් වුණු හැමෝම තමන්ගෙ තුවාලවලට සෙකියුරිටි ලොක්කොන්ට දෙසාබාපු එකෙන් පැලැස්තර දාගත්ත.

අඩුම තරමේ මට සුමනසිරි මගෙන් ඉල්ලගෙන ගෙනත් නොදීපු පොත් නැවත නොලැබේවි කියල මතක් වුනේ වත් නෑ.

ඊට වඩා මේ ඇඳෙන අලුත් රූපයේ වංචාකාර මූණ දකින ගානෙ මට දරුණු වේදනාවක් දැනුන.

ඒත් එක පාරටම පළවෙනි මුද්‍රණයේ කවරය සහිත රිදී තිරංගනාව සිහිපත් වෙලා ඒ වේදනාව කලං තුන හතරකිං වැඩි වුණා.

මහා මුස්පේත්තු ආකාරයට ගෙවුණ එදා දවස අවසානෙ ගෙදර යන්න පිටත් වෙනකොට මට මතක් වුණා. සුමනසිරිගෙ පොත් මගෙ කබඩ් එකේ නේද කියල.

ඒ ටිකත් අරං යන්න ඇති!

දවසම සුමනසිරි ගැන එක එක ආකාරයේ මොල ශෝධක කතාවලින් හෙම්බත් වෙලා හිටිය මං ඕනෙවට එපාවට කබඩ් එක ඇරල බැලුවෙ කිසිම බලාපොරොත්තුවෙන් නෙවෙයි.  ශූන්‍ය හිතකින්.

ඒත්

අනපේක්ෂිත වෙලාවක මගේ රිදී තිරංගනාව හා ඇගේ පරිවාර සේනාව කබඩ් එකේ පළවෙනි තට්ටුව උඩම මහා දුකකින් බලං හිටිය. ඊට පහලින් සුමනසිරි වරින් වර මට දුන් පුස්තකාල පොත් ගොන්න මං තියල තියපු විදියටම තිබුණ දැක්කම මගෙ ඇස්වල උල්පත් මතු වුණා.

උල්පත් උතුරල වතුර බොර වුණා..

ඒ අස්සෙන් බිම බලාගත් බහිරවයාගේ අතින් අල්ලාගෙන හිටිය මූණක් නැති කෙල්ල මගෙ හිතේ උසම උස පඩිය බැහැල මට අත වනල බොඳවෙලා ගියා.

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

13 Responses to හොරා…!!!

  1. ravi පවසයි:

    පොත් හින්දමයි මම හිතන්නෙ උඹ බේරුණෙ….තමන්ගෙ සද්ධි පාඨකයෙකුට (Fellow reader) එහෙම වංචාවක් කරන්ට මම හිතන්නෙ සුමනසිරිට හිත්දෙන්න නැතුව ඇති. පොතක් පතක් මලාට කියවන්නෙ නැති බුම්මට්ටංට පොඩි දඬුවමක් විදිහටයි සුමනසිරි උංගෙං සල්ලි අරගෙන තියෙන්නෙ.

    සුමනසිරිට අහුවෙච්චි එවුං ඌට බණින කොට බොට මෙහෙම කියන්ට තිබ්බෙ. “උඹල බං පොතක් පතක් වත් කියවනවය මැරූකොට…සල්ලි ගොඩ ගහනවම මිසක.ඒ හින්ද සුමනසිරිට හිතෙන්ට ඇති බොලාගෙන් කීයල් හරි කොටාගත්තට පව් නෑය කියල…ඒ හින්ද බොලාත් මීට පස්සෙවත් පොතක් පතක් කියවහල්ල මේ මං වාගෙ….”

    පලි – සද්ධි විහාරික කියල වචනයක් අහල තියෙනවද? ඒ කියන්නෙ එකම ආරාමයේ වසන කියන අර්තයෙන්. මම ඒකෙන් තමයි සද්ධි පාඨක කියල වචනයක් හැදුවෙ..:)

  2. hasitha පවසයි:

    ඇත්ත, පොත් කියන්නෙ නිදිමතට හොඳ බේතක් .මාත් ඉස්සර පොත් ගුල්ලෙක්. ස්තූතිය තාත්තට ඔහු මට අතට අහුවෙන ඕනම පොතක් කියවන්න නිදහස දීල තිබුණ ( හිට්ලර්ගෙ ජීවන චරිතය ගැන පොතක් තිබ්බ ඒක කියවනකොට මට අවුරුදු 10ක් වගේ ඇති)වගේම පොත් සෑහෙන ප්‍රමාණයක එකතුවකුත් තිබුණ ඔහු ලඟ.
    මේ බ්ලොග් එකට ගොඩවුණේ අදමයි. ඔබේ ලිවීමේ ශෛලිය හරි ලස්සණයි එක හුස්මට කියවන්න පුළුවන්. කලින් පෝස්ට් කියවන්න බුක්මාක් එකකුත් දාගත්තා.

  3. nisman ransinghe පවසයි:

    ඔයාට තිබුණෙ නැවත සුමනසිරිට කතා කරන්න…
    මට විශ්වාසයි ඒක පොඩි පිිරිසක් එකතු වෙලා කරපු චෝදනාවක් බව.ඊට පස්සෙ මිනිහ ආයෙ එන්නෙ නැහැ කියල දැන ගත්තම ඒ පොඩි පිරිස පෙරහැරක් වෙනවා.ඒකට හේතුව සුමනසිරිගෙ ගතිගුණ පොත්වලට ආස උඹට දිරෙව්වට එයාගෙ මට්ටමේ ඉන්න අයට දිරවන්නෙ නැහැ.ඔයාගෙ විශේෂත්වය පව ඒ අයට වදයක් මනසට.

  4. nisman ransinghe පවසයි:

    බම්බලපිටියෙ හන්දියෙ ඉස්සර හිටිය ගණිකාවක්…දැන් කාගිල්ස් බැංකුව තියෙන තැන පාරට ඉස්සරහ තිබුණ පෙට්ටි කඩයක්.කළු කියල කෙනෙක් කළේ.ඒකට පුවක් දැම්මෙ මගේ යාළුවෙක්.එහෙම අදුර ගත්තු මම නිශාචර ජීවිතයෙ ඔතන සිගරට් එකක් ගහං කළු එක්ක කතාව දානවා.ඒ වෙලාවට ගණිකා සහෝදරියොත් මා එක්ක ආ ගිය තොරතුරු කථා කරනවා.ඒ අතර හිටපු පානදුර පැත්තෙ කෙනෙක්.එයා එක්ක මම ඇත්තටම සම්බන්ධකම් පවත්වලත් තියෙනවා.ගොඩක් සමීපයි මට.අවුරුදු කිහිපයක් වැඩිමල්.
    ඇයගෙ බෑගයේ විකල්ප පුවත්පත් පිරිලා.ඇය දන්න දේශපාලනයක් නැහැ.89 එයාගෙ අයියා මරල තියෙන්නෙ හමුදාවෙන්.එයාව ගැහැණියෙක් වෙලා තියෙන්නෙත් ඒ විදිහට අයියව අල්ලන්න ආපු අය අතින්.
    අපි ජීවිතය ගැන බොහෝ දේ ඒ තට්ටුව ළඟ කතා කළා.ඇය පසුව රට ගියා.මම ඒ කාලෙ හිටිය ඔෆිස් එකට කතා කරලා එතනින් අලුත් බ්‍රාන්ච් එකට අරගෙන ලංකාවට ආපු වෙලාවක මට කතා කරල මණ ගැහුණා.එයයි එයා දැන් බැදල ඉන්න කෙනයි එකතු වෙලා ඩ්‍රින්ක් එකක් දැම්මා.
    ඊට පස්සෙත් ලංකාවට ආවම කතා කරන්න ඇති මම ඒ පළාතකවත් නැහැ මගේ තොරතුරුත් ඒවයෙ නැහැ.රස,දැණුම වගේම වෙන දේවල් නිසාත් මිනිස්සු කියවනවා.ඒකට කැප කිරීමක් කියලා කියන්න මම ආසයි.

  5. aruge adaviya පවසයි:

    රසවත් ලියවිල්ලක්. සුමනසිරිගේ ලෝකයේ මුදල් නැහැ. විමලනාදන්ලගේ ලෝකයේ රසය නැහැ. මේ දෙකම තියෙන තැන් අඩු මිසක් වැඩි නැහැ.
    ////////මිනිසෙකුගේ රසවින්දනය කිසිදා ඔහුගේ රැකියාවෙන් නොමනින්න!////////
    පොඩිරත්න අඟමලේ…ධර්මසිරි බෙනඩික් වගේ චරිත මතක්වුනා, ඒ අස්සේ මාත් ඉන්නවද කියලා මටම හිතුනා.

  6. ප්‍රියන්ත පවසයි:

    සුමනසිරි උඹව ගල් කරලයි යන්න යන්නෙ. ඒක මහ කාලෙකට පස්සෙ හරි ලියල උඹ අපිව ගල් කරවනව!

  7. තිසර පවසයි:

    පෝස්ට් කීපයක්ම තියනව වගේ කියවන්න…. මේ වහේ පැහැදිලි කරන්න බැරි එකිනෙකට වෙනස් ගතිගුණ තියන මිනිස්සු මටත් මුණ ගැහිලා තියනවා… වැඩේ තියෙන්නේ ඒ අයගේ සමහර හොඳ ගති ගුණ නිසා, නරක ගතිගුණ දැනෙනවා වැඩියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )