ඔන්න බලාගන්නව… සම්බෝලෙ ගලේ හැම තැනම ගෑවෙන්නෙ නැතුව අඹරන්නෙ මෙන්න මෙහෙමයි…
තාත්ත මෙහෙම කියල මං අඹරල තිබුණු ලුණු, මිරිස්, උම්බලකඩ, රතුලූණු තලිය උඩට පොල් ටික දාල ලතාවට අඹරන්ඩ ගත්ත.
අත් ගලේ සීමාවෙං එහාට නොයන්ඩයි සම්බෝලෙ අඹරන්ඩ ඕනෙ.. අත් ගල වටේටම පොල් තවරගන්ඩත් බෑ… එකම පැත්තෙන් තමා ඇඹරෙන්ඩ ඕනෙ…
මෙහෙම කිය කියා තාත්ත අත් ගල ඇඹරුං ගල දිගේ ඉස්සරහට පස්සට කරන හැටි මං බලන් හිටිය…
අත ටිකක් තද කරල ඇඹරුවෙ නැත්තං පොල් හීං වෙන්නෙ නෑ… අනික සම්බෝලෙ හොඳට ඇඹරිලා මිශ්‍ර වුණාම තමයි රසේ වැඩි…
තාත්ත අත්ගලේ සීමාවෙං එහාට ගිය අඩක් රතුපාට පොල් නැවතත් මැද්දට කළා… තුන් හතර පාරක් අඹරන තාත්ත අත්ගලේ සීමාවෙන් පිට යන පොල් නැවත මැද්දට අරගත්ත…
ඔහොම යනකොට එක වටයක් ඉවර වුණා…
මිරිස් ගල උඩ අත්ගලට පිටිපස්සෙන් තිබුණ පොල් සේරම ඇඹරිලා ඉස්සරහ පැත්තට එකතු වුනා..
තාත්ත අත් ගලේ අඹරපු පැත්ත පිහදාල ඉදිරියෙන් තියල සම්බෝල සේරම නැවත මිරිස් ගලේ පහලට එකතු කළේ දෙවනි වටේ අඹරන්ඩයි..
පොල් සම්බෝලෙ රහ මතු වෙන්ඩ නං තුං පාරක් වත් ඇඹරෙන්ඩ ඕනෙ…
වැඩි කතා බහක් නැතුව තුන් වටයක් අඹරපු තාත්ත සම්බෝලෙ මගෙ අතේ තිබුණ මැටි කෝප්පෙට දැම්මෙ බොහොම සීරුවෙන්… ඉස්සෙල්ලාම අත් ගලේ ඇලිල තිබුණ සම්බෝල බොහොම සීරුවට අරන් මිරිස් ගලට දැම්ම… ඒක පැත්තකින් තියල මිරිස් ගල උඩ තිබුණු සම්බෝල එක්කාසු කළා… මැටි කෝප්පෙට දැම්ම..
මේං මේ ටික තමා රහම හරිය… ඒටික සීරුවෙං එක්කාසු කරගත්තෙ නැත්තං වැඩක් නෑ…
තාත්ත මහපටැගිලි තුඩින් මිරිස් ගලේ ඇලිල තිබුණු සම්බෝල ටික සීරුවට සූරල අරන් දාන ගමන්…..!!
හොඳට මතක තියාගන්ඩ… මිරිස් ගලේ තියද්දි කවමදාවත් සම්බෝලවලට දෙහි දාන්නෙ නෑ…
ඇයි කියල ඒ වෙනකොට තේරෙන හන්ද මං මොනවත් නොඅහ ඔලුව වැනුව….
ඉස්සර තාත්තගෙ අම්මයි තාත්තයි ඒ කියන්නෙ අපේ ආච්චිඅම්මයි අත්තයි දෙන්න කඩයක් කළා නෙ.. කඩයක් කිව්වට ඒකෙ ඇති දේකුත් නෑ නැති දේකුත් නෑ ලු… හෝටලේකුත් තේ කඩේකුක් සිල්ලර බඩු හා ආච්චි අම්ම මහන පුංචි ඇඳුම් විකුණන කෑල්ලකුත් තිබුණ ඒ කඩේ අපි ඉපදෙන කාලෙ වෙද්දි නං වහල දාලයි තිබුණෙ…
ආච්චි අම්ම හැමදාම උදේට ඉඳි ආප්ප තම්බල කඩේ තියනවලු… ඉතිං තාත්තයි නැන්දල දෙන්නයි ආච්චි අම්මට උදව් පදව් කරන්ඩ ඇතිනෙ… ඒ හන්ද එයාල හැමෝටම හොඳ හැටි කුස්සියෙ වැඩපල පුලුවං වෙලා… තමයි එයාල තුන් දෙනාගෙම මං දැක්ක විශේෂය තමයි තුන් දෙනාම කෑම හදන්ඩ හරි උනන්දුයි… කම්මැලි නෑ…. ඒ විතරක් නෙවෙයි කෑම එක්ක අත්හදාබැලීම් කරන්ඩත් උනන්දුයි…
මං හිතන්නෙ මට පිහිටන්ඩ ඇත්තෙත් එයාලගෙ ගතියක් තමා!!
අවුරුදු අහයක් දොලහක් වෙන කාලෙ ඉඳලම අම්ම මට උදේ හතර හමාරට ඇහැරවනව.. පාසල් ගැරුවරියක් වෙච්ච ඇගේ උයන පිහන වැඩ වලට මගෙන් එහෙමට ලොකු උදව්වක් නැති වුණත් ශීතකරණයේ තියෙන දේවල් අම්ම ලඟට ගෙනල්ල දෙන්ඩ…. ලිපේ තියෙන හොදි එලවලු හැඳි ගාන්ඩ… මැල්ලුම්වලට පොල් ගාල දෙන්ඩ ඈ මට කියනව… මුලදි උදේ නැගිටින එක වදයක් වගේ දැණුනත් පස්සෙ මම ඒකට හුරු වුණා… ඊට පස්සෙ අම්ම නැගිටල ගියාට පස්සෙ අම්ම කතා නොකලත් මම නැගිටිනව..
දන්නවනෙ ඉතිං අලුත බැඳපු හන්ද මේ දවස්වල හැමෝගෙම ප්‍රශ්නෙ කොහොමද අපි දෙන්න වැඩපල කරගන්නෙ කියල නෙ…. එතනිනුත් ගෑණු කට්ටිය මගෙන් වැඩිපුරම අහන්නෙ මෙන්න මේවගෙ ප්‍රශ්න
දැන් උදේ කීයටද ඔයා නැගිටින්නෙ??
හතරයි හතලිස් පහට….
ඈ……?? අම්මෝ… නිදාගන්නෙ කීයටද??
දහයට එකොලහට…
හැමදාම ඉතිං ඔහොම උදේ නැගිටල උයනවද???
ඔවු… කම්මැලිම හිතුනොත් ඇරෙන්ඩ හැමදාම උයනව…
මං දන්නෙ නෑ කසාද බැඳල ළමයි ඉන්න අම්මලත් මගෙන් මෙහෙම අහන්නෙ ඇයි කියල….සමහර විට උයන එක එයාලට ලොකූ වැඩක් විදියට තේරෙනවද දන්නෙ නෑ…. මට නං ඉතිං ඒක විනෝදයක් නෙ… මහන්සි වෙලා ගෙදර ආව වෙලාවට මටත් උයන්ඩ කම්මැලි හිතෙන වෙලාවල් තියෙනව… ඒ වුණාට ඉතිං එහෙමයි කියල උයන්නෙ නැතුව ඉන්නෙත් නෑ… කලාතුරකින් දවසක මිසක්…
ඔන්න එතකොට තමයි හිතෙන්නෙ මම අකමැත්තෙන් වුණත් අම්ම මට පුරුදු කළේ කොයි තරම් හොඳ පුරුද්දක්ද කියල!!!
අදට වුණත් මට පාන්දර නැගිටිනව කියන එක ඒක අද දවසෙ මගෙ වැඩපල කරගන්ඩ කොයි තරම් මට පහසුවක් වෙලාද කියන එක ඔයාලට අමුතුවෙන් කියන්ඩ ඒනෙ නෑනෙ
ඉතිං මං අම්මට පුංචි පුංචි දේවල් කරල දුන්න මිසක් තාත්ත වගේ උයන පිහන වැඩවල බර දේවල් අම්ම දුන්නෙ නෑ…
වැඩිම වුණොත් උදේට උයල යන වලං ටික ලිඳ ලඟට ගිහින් හෝදනව ඇරෙන්ඩ….
ඒකාලෙ දර ලිපේ උයන අපේ වලංවල දැලි අතේ ගාගන්නෙ නැතුව ඉඳුල් බින්දුවක් නැතුව හෝදන්ඩ, පොල්කටු හැඳි ගලවල හෝදල නැවත හයි කරන්ඩ, ඔන්න ඔය වගේ වැඩ විතරයි…
සාමාන්‍යයෙන් නිශ්ශබ්දව තමන්ගෙ වැඩේ කරන අම්ම ඇහුවොත් දෙයක් කියනව මිසක් වැඩි විස්තර නෑ….
තාත්ත එහෙම නෙවෙයි… එයා කුස්සියට පැනල උයන දවසට පොල් ගෑමෙ, ලූණු සුද්ද කිරිල්ලෙ ඉඳල හොද්ද ලිපේ තියෙන තැනට එකකල්ම වැඩ තියෙනව…. එයා ඒ වැඩ ගන්නෙ ඒවගෙ තියෙන වැදගත්කම, ඒව කරන්ඩ ඕනෙ විදිය ගැන හොඳට පැහැදිලි කරනව…
අන්න ඒක තමයි වෙනස…
ඊයෙ මං පළමුවෙනි වතාවට තනියම ඉඳිආප්ප හැදුව…මීට කලිං තාත්තට උදව් වෙලා තියෙනව මිසක් තනියම සේරම දේවල් කරගන්ඩ වෙලා නෑ නෙ…
දැං ඉතිං පෙම්බරයයි මමයිඉන්න ගෙදර අපි දෙන්න උඩු යටිකුරු කළත් කවුද බලන්ඩ එන්නෙ…. අපි දෙන්නගෙ රාජ්ජෙ නෙ!!
ඉතිං ඉඳි ආප්ප කන්ඩ කිරි හොද්දක් හදල පොල් සම්බෝලයක් හදන්ඩ ගත්තම තාත්තව මතක් වුණා…
ඔයා දන්නවද මට උයන්ඩ කියල දුන්නෙ තාත්ත කියල??
මං සම්බෝලෙ අඹරන ගමන් අපේ පෙම්බරයගෙං ඇහුව…
පෙම්බරය මගෙ දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථ ලකුණක් මූණෙ රන්දගෙන…
මං හෙමින් හෙමින් සම්බෝලෙ අඹරන ගමන්ම කතාව පටන් ගත්ත
හරියට තාත්ත මට සම්බෝල අඹරන්ඩ කියල දුන්න වගේම
සිරිතක් විදියට අපේ ගෙදර ඉඳිආප්ප, වටලප්පං, වගේ දේවල් හදන්නෙ තාත්ත..
හොද්දක් ඒදගන්ඩ, (ඒ කියන්නෙ ගානට පහේ දාල අරගන්ඩ), සම්බෝල අඹරන්ඩ, මම ඉගෙන ගත්තෙ තාත්තගෙං…
ඒ විතරක් නෙවෙයි අපි එකතු වෙලා මහ තඩි යකඩ තැටියක් කපල කෑල්ලක් හදාගෙන ගෝදම්බ රොටී පරාට එහෙමත් හදන්ඩ පටංගත්ත….
ආ මල්ලි කිව්ව තමයි දවසක ගෙදර හදමු පරාට කියල…
පෙම්බරයට මතක තිබුණ අපේ මල්ලි කියපු කතාවක්!!
හ්ම්!! අවසක හදමු!!
මම තමයි රොටීවලට පිටි අනන්නෙ.. රොටී හදන්ඩ තව තහඩු කෑල්ලක් ගහපු ලී තැටියක් තිබුණ…
මම ඒක උඩට ගානට පිටි දාල ලුණු දාල පිටි කන්දක් හදනව… ඔට පස්සෙ ඒක මැද්දෙ වලක් හදල ඒකට වතුර පුරවගන්නව…
මැද්දෙ ඉඳල ටිකෙන් ටික අනල ලොකු ගුලියක් හදාගෙන ඒක පුංචි පුංචි ගුලිවලට කඩල තැටියක අහුරල පැය බාගයක් විතර තියනව…
එතකොට රොටී හදන්නෙ තාත්ත.. එයා තමයි ඒක ලස්සනට ලේන්සුව වගේ හදන්ඩ දන්නෙ… මල්ලි ඉන්නෙ ලිප ලඟ.. එයා තමයි රොටී පුච්චන්නෙ….
බිත්තර රොටියක් දාන්ඩ හොඳ ලේන්සු වගේ රොටී කලින් බලන් ඉඳල බිත්තරේ කඩල දාන්ඩ මට එන්ඩ කියන්නෙත් එයා….
මං විස්තර කියන ගමන්ම පොල් සම්බෝලෙ වැඩ ඉවර කළා!!!
සම්බෝලෙට දෙහි දාල මිරිස් ගලයි අත් ගලයි හෝදල කියල පෙම්බරයට කතා කළා උදේට කෑම කන්ඩ…
දෙන්නත් එක්කල සේරම දේවල් අපේ කෑම මේසෙට අරන්ගිහින් උදේ කෑම පටන් ගත්ත..
ඉඳි ආප්පයි , පදමට රත් කරපු කිරි හොදියි, හරි ගාණට ලුණු දෙහි වැටිච්ච ලූණු , උම්බලකඩ කෑලි හැපෙන පොල් සම්බෝලයි, කහ මදේ අලුපාට නොවී කහ පාටට හිටින්ඩ තම්බපු බිත්තරේකුයි තිබුණනං තව වෙන මොනවද ඕනෙ!! නැද්ද???
හා හා… ඔය දුරු රටවල ඉන්න කාලෙකිං ඉඳිආප්පයක් ඇහැට දැක්කෙ නැති කට්ටිය හෙම ඉන්නව නං මට බනින්නෙ නැතුව ඔය කට දෙපැත්තෙං බේරෙන කෙළ පිහගන්ඩලා!!!!
ලංකාවට ආව වෙලාවක හදල දෙන්නංකො ඇති වෙනකල් කන්ඩ!!
ඔයාලගෙ රස නහර අවුස්සන්ඩ අද පින්තූරෙ හොයාගත්තෙ මෙන්න මෙතනින් riceandcurry.wordpress.com
අනේ මට නම් බැරියෝ….ජනුවේ ඔයා නම් නරකම නරකයි. මෙහෙම වැඩ කරන එකට පව් සිද්ද වෙනවා වෙනවාමයි.
අය්යෝ අර සම්බෝලේ…..ඉහි..ඉහි…:D:D:D
ඉතිං අක්කෙ හදන්ඩකො ඔයත් සම්බෝලයක්!! ගෙඹි කුමාරයට කාල දැවිල්ල අල්ලල වත්ත වටේ… නෑ වැරදුනා ගේ වටේ පැන පැන යන්ඩ වැඩේ කරමු!!
අක්කණ්ඩියෙ, අර අන්තිමට දාලා තියෙන පේළිය දකිනකල්ම මං හිතං හිටියෙ පින්තූරෙ තිබුණෙ ඔයා උයපුවා කියලා. 😀
මටත් ඔය ප්‍රශ්න පත්තරේ සෑහෙන්න ලැබෙනවා. ඒත් හැබැයි මම ලෝකේ හෙමින්ම කරන වැඩේ තමයි ඉවිල්ල. ඒත් ඉස්සරට වඩා දැන් ටිකක් ඉක්මන්. කල් ගත වෙද්දි හරි යයි කියලා හිතනවා. අපේ ගෙදර කරවල බදින, ඔම්ලට් හදන වගේ වැඩ කරන්නේ සිත්තරා තමයි. ඒවා කන්නෙත් එයාමනේ. අපේ ගෙදරත් අපි දෙන්නගෙ රාජ්ජේ තමයි. ඒ ගැන අක්කා කියලා තියෙන කතවනම් සම්පූර්ණ ඇත්ත.
හදලා පුරුදු නැති කෑම ඉස් ඉස්සෙල්ලාම හැදිල්ල ගැන අක්කා කියපුවාම මතක් උනේ, සිත්තරා හරි ආසයි වණ්ඩු කන්න, පිටි, පොල් සීනි දාලා හදන්නේ. ඉතිං දවසක් ඕක හදන්න ගිහිං පදම වැරදිලා අන්තිමට අපි දෙන්නා කෑවේ පැනි රස රොටි!!! ඇයි, මං මුළින්ම අළුවා හැදුවෙත් ගිය අවුරුද්දෙ සිංහල අවුරුද්දට. ඒකත් පදම වැරදුනා. ඊටපස්සෙ ඒ ටික එහෙමම අම්මලාගෙ ගෙදර උස්සං ගිහිං මුං පිටි එක්ක අනලා අම්මත් එක්ක මුං කැවුම් හදාගත්තා. ඊලඟට ගෙදර ඇවිත් ආයෙ තනියම අළුව හැදුවා, ඒ ගමනනම් හරි ගියා.
තාත්තගෙ ඉවුම් පිහුම් ගැන කියන්න අමතක උනානේ. අපේ තාත්තත් ඉඳලා හිටලා පළතුරු බීම ජාති, එක එක අමුතු අමුතු කඩචෝරු, රසකැවිලි ජාති හදනවා. තාත්තා සම්බෝල හරි ලුණු මිරිස් හරි හැදුව දාට ඒවා වාශ්ප වෙලා යනවා වගේ ඉක්මණට ඉවර වෙනවා. ඒ තරමට රහයි. අර සමීර කියලා තියෙනවා වගේ මම හිතන්නෙ ඒ අම්මා උයනවට වඩා වෙනස් රහක් දැනෙන නිසා වෙන්න ඇති අපිට ඒවයෙ වැඩි රසක් දැනෙන්නේ. කෑම ජාති ගැන එහෙම උනත්, මම ජීවිතේට බීලා තියෙන රසම තේක අපේ තාත්තා හදන තේක. ඒත් හැම පෝයටම පන්සලේ සිල් ගන්න උදවියට තේ හදන්නේ අපේ තාත්තා තමයි. තාත්තා හදපු තේකක් මම මුලින්ම බිව්වෙත් පන්සලේදි තමයි. කිරි තේකට ඉඟුරු දාලා හරිම රසයි.
අපේ ගෙදරත් තාත්ත තේ හදන විදියට මමත් ආසයි.. වැඩේ තියෙන්නෙ ඒව බොන්ඩ බැරි තරම් පැණි රහයි නෙ නගේ… එයාල සීනි බෝතලේම හලල නෙව තේ හදන්නෙ
අරකෑම එක දැක්කම කෙළ ගිලුනා.සම්බෝල කන්න ඔනේ මටත් දැන් 😦
කෙල ගිලින්ඩ එපා අනේ!!පුරුදු වෙන්ඩත් එක්ක සම්බෝලයක් හදල බලන්ඩ
ෂා…නියම කෑමක්නෙ….. දවසක කඩුවෙලින් බැහැලා එන්නද කන්න…
මටනම් උයන්න ගියාම වරුවක් විතර යනවා.4.3ට නැගිටිනවා තියා හිතන්නවත් බෑ…
එන්ඩ එන්ඩ…. සාදරෙන් පිලිගන්නව!!!
ඒව නගේ පුරුදිදෙන් එන දේවල් නෙව… බෑ කියල දෙයක් නෑ….. ආසාවයි උනන්දුවයි විතරයි ඕනෙ
ඉවුම් පිහුම් හොඳටම දනනෙ තාත්තලා තමයි, අම්මලා නෙවෙයි. ගෙවල් දොරවල් ලස්සනට පිරිසිදුව පිළිවෙලට තියාගන්න දන්නෙත් අම්මලාට වඩා තාත්තලා තමයි.
අපේ තාත්ත තමයි ගමේ දන්සැලේ කහබත හදන්නෙ… වැඩ කරන අයට බොන්ඩ ඊට කලින් දවසෙ මහ ලොකු අයිස් කෝපි හැලියක් හදනව!!!
හැබැයි උයන්ඩ ගියාස හැම දේම ලගට කරල දෙන්ඩ ඕනෙ!!!
මිරිස් ගලේ අඹරලා ගත්තු සම්බෝලයක් කාපු කාලයක් මතක නෑ.. මෙහේ කොහෙද ඉතින් මිරිස් ගල්…
මම පොඩි කාලේ, අපේ තාත්තා ඉඳලා හිටලා උනයනවා.. එදාට කෑම කන්න හරී ආසයි… කොහොමත් එයා උයන ඒවා රහයි.. ඒට් ඉතින් ඒ හැමදාම අම්මා උයන ඒවා කාලා කාලා වෙනසක් නිසාද දන්නේ නෑ..
ඒ වෙනසත් අපිට දැනෙනව.. හැමදාම අම්ම උයන දේවල් කාල වෙනසක් වුණාම ඒක අපිට ගොඩක් රසට තේරෙනව… ඒ කොහොම වුනත් එයාල උයන්ඩ නං දක්ෂයො!!
අම්මේ සම්බෝල මරු නේ, බූඩි කන්න ආසම දෙයක්. සම්බෝල හදනවා කියන එක සිම්පල් දෙයක් කියලා හිතන් හිටියට හරියට රහට සම්බෝලයක් හදන්න එක හරිම අමාරු දෙයක්. උදේට නැගිටින එක නම් හරිම හොදා , සම්බෝල වලට ජය වේවා !!!
ජය වේවා!!!
අපේ අම්මත් මාව හතරට නැඟිට්ටවනවනේ. ඒ වගේම තමයි මමත් ලුණු මිරිස්, කට්ට සම්බෝල රසටම හදන්න ඉගෙන ගත්තෙ අපේ තාත්තාගෙන්.
අනිත් එක තමයි වටලප්පන්. අපේ තාත්තට වගේ රසට ඒක හදන්න කාටවත් බෑ. ඒත් ඉතින් තාත්තා ඒක දැන් වැඩිපුර නොහදන්නෙ ඇයි කියලා අර මගේ පින්තූරෙ දැක්කම ඔයාට හිතාගන්න පුළුවන් නෙ?
පේනව පේනව ලකියො මොකද තාත්ත ඒව හදන්නෙ නැත්තෙ කියල
ෂා…. දැක්කම කටට කෙල ඉනුවා. අපේ තාත්ත ඉද්දි උයන කෑම මාර රසයි. මාත් ආසම සබ්ජෙක්ට් එකක් තමයි උයන එක.
ආන්න හොදයි උයන්ඩ පිහන්ඩ පුරුදු වෙන එකේ වරදක් නෑ!!!
අපේ ගෙදරත් මිරිස්ගල පාවිච්චි වෙන්නෙම නෑ දැං… පොඩි ලී වංගෙඩියෙන් වැඩේ ෂේප කරගන්නව අම්ම. ඒ වුණාට මිරිස් ගලේ සම්බෝලෙ රස තාම මතක් වෙනකොට දුකයි… අර කෑම පිඟාන නම් සුපිරි. ඒක දිහා බලාගෙන වේලක් දෙකක් පරිප්පුයි බතුයි වුණත් කන්න පුළුවන්!
අපේ මහ ගෙදර තිබුණ මිරිස් ගල පරම්පරා දෙකක් සම්බෝලම අඹරල මැද්දෙන් බොකු ගැහිල තිබුණෙ.. මට මතකයි කාලෙකට පාරෙ එන වයසක සීය කෙනෙක් අපේ මිරිස්ගල කොටනව.. ඒ කියන්නෙ ආපහු මට්ටම් කරනව.. මේක සෑහෙන වෙලා යන වැඩක්!! වංගෙඩියෙ කෙටුවාම එන රහයි ගලේ ඇඹරුවාම එන රහයි සෑහෙන්ඩ වෙනස්!! අනික කරල් මිරිස් ඇඹරුවාම එන රහට ගහන්ඩ නං බෑ වෙන මොනම සම්බෝලෙකටවත්!!!
මමත් උයන්න ඉගෙන ගත්තෙ තාත්තගෙන් තමයි. පොල් සම්බෝලයි පරිප්පුයි ඉඳලා මස් මාලු, කේක් වටලප්පං වෙනකම් ඔක්කොම. අපෙ අම්ම බොහොම normal විදියට තමයි උයන්නෙ. තාත්ත තමයි වැඩ දාලා ආයෙ ලස්සනට හදන්නෙ. කිවුවට විශ්වාස කරන්න අපෙ අම්ම කේක් , පුඩින් ජාති හදන්න දන්නෙ නෑ. මස් ජාති අල්ලන්නෙ නැති නිසා උයන්නෙ නෑ. ඉස්සර තාත්ත තමයි ඒවා හදන්නෙ. දැන් අපි කොල්ලො තුන් දෙනා. හිතුන හිතුන ජාති හදනවා. බොන්න සෙට් උනාම බයිට්… ඕන දෙයක්….
හි හි.. මං දන්න තව කොල්ලො තුන් දෙනෙක් ඉන්නව ඔය වගේ!! නියමයි!! අන්න එහෙම තමයි ඉන්ඩ ඕනෙ!!!
නියමයි අක්කා කතාව… දැන් ඉතිං උයන්න පිහන්නත් වෙන නිසා මෙව්වා මතක් කර ගන්න එක හොඳයිනේ නේද… 😀
ආ පිෂ් මලයෝ!!! වෙනම නතක් කරන්ඩ නං දෙයක් නෑ බොලං… හැබැයි ඉතිං ඉස්සරට වඩා අලුත් අලුත් දේවල් හදල බලනව….උඹත් මලයො උයන්ඩ ඉගෙන ගනිං!! හරි ජොලි!!! අපි කෑම හදද්දි අත්හදා බැලිලි කරන එක නං හරිම වටින දෙයක්!!!
mamath dan yaluwo ekka ekathuwela uyanna purudu wenawa….e gollo nam hodata uyanawa ..matanam hariyata tama tea ekakwath hadanna danne naha….balamu
බලමු බලමු තව ටික දවසකින් බොහොම රහට උයන්ඩ පුලුවං වෙයි!!
බඩ පිරුනා පිංතූරේ දැක්කම….
හුහ්! අනේ බං, උඹ හිතුවැයි අපි ඕවට අහුවෙයි කියලා.. මේ ඊයෙ පෙරේදාත් ඉඳි ආප්ප කෑවා.. පොල් සම්බෝලයි, පරිප්පුයි, චිකන් හොදියි එක්ක.. හැබැයි ඉතිං බොරු කියන්නෙ මොකටෙයි, ගලේ අඹරපු සම්බෝලයක් කාපු කාලයක් මතක නෑ.. මම මෙහෙ තියාගෙන ඉන්නවා පුංචි ගල් වංගෙඩි පොඩ්ඩක්, ඒකෙ දාලා කොටන එක තමා කරන්නෙ.. අනෙක මමනං සම්බෝලෙ මලවනවා, එතකොට මාර රහයි අර පොල්වල තියෙන තෙල්ගතිය මතුවෙලා ආවම..
පලි: මටත් හිතාගන්න බෑ කස්ටිය මොකද මේ උයනවා කියන එක මහ දෙයක් වගේ හිතාගෙන ඉන්නෙ කියලා.. අපේ අම්මා ඉස්සර ඉඳන්ම මට ඉඳහිට ගෙදර උයන්න චාන්ස් එක දීලා තිබ්බා, ඒ නිසා ලංකාවෙන් එනකොටත් තරමකට උයාගන්න පුළුවනි.. දැන්නං ඉතිං උයලා උයලාම එක්ස්පර්ට් වෙලා.. 😀
ආ කියන්න අමතක වුනා.. ගෙදර ඉන්න කාලෙත් මට තමා සම්බෝල හදන්නයි, ලුණුමිරිස් හදන්නයි දෙන්නෙ.. මට තරං රහට හදන්න අපේ ගෙදර කාටවත් බෑ.. 😉
බූරා ගලේ ඇඹරුව පොල් සම්බලට ටිකක් ආසන්න එකක් හදාගන්න පුලුවන් ග්‍රයින්ඩරේ දාලා ටිකක් ඇඹරුවොත් . මාත් මොනව නැතත් පොල් සම්බල් හදන්න දන්නවා ආස කෑම වලින් එකක්
උයනව කියන්නෙ නං මහ ලොකු දෙයක් නෙවෙයි අයියෙ.. හැබැයි ඒ උයන්ඩ ආස කෙනෙක්ට…සමහර අය උයන්ඩ කැමති නෑ නෙ… අපේ පෙම්බරයත් ආසයි අබ චුට්ටක් කරපිංච කොළහෙම දාල මලවල ගත්ත සම්බෝලෙට… අපේ මලයටත් රහට උයන්ඩ පුලුවං… දැං අපි දෙන්න ගෙදර ගියාම අම්ම අපි දෙන්න කැමති දේවල් හදාගන්ඩ කියනව මිසක් උයන්නෙ හරි අඩුවෙං
අපේ හිංගලයන්ට වෙලා තියෙන හෙණේ ඕක නෙව….අතීතෙ මතක් කොර කොර ඉන්නව…ඒ කාලෙ අපි වැව් දාගැබ් හැදුවෙ මෙහෙමය….සඳකඩ පහනට තෙල් දාල පත්තු කලේ මෙහෙමය…….ගල් කණු තුනක් විකට් වලට ඇන්න බෝල ගැහුවෙ මෙහෙමය……අම්මප,…..ඔලුවත් විකාර වෙනව පම්පෝරිය ඇහුවම…..
දැං මේ උඹ කොරන්නෙත් ඒකම නෙව…..ගලේ සම්බෝල අඹරපු හැටියි….පරාට වලට මෝලිය අල්ලපු හැටියි තොර තෝංචියක් නැතුව කියවනව වක්කඩේ කැඩුවැහෙ…
මිනිස්සු උනහම බාං ඉස්සරහට යන්ට ඕන….අලුත් අලුත් කෙරේම සහ විදි කියන එව්ව කොරල බලන්ටෝන….නැත්නං වෙන්නෙ වතුර බහින්නැති කොහිල වලක පණුවො බෝවෙන්නැහෙ එකතැනම තමා.
‘ අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී ” කියල කිව්වෙ කුමාරතුංග මුනිදාස මහත්මය…
අනික බාං මිනිස්සු කන්නෙ ජීවත් වෙන්ට මිසක ජීවත් වෙන්නෙ කන්ට නෙවෙයි…අන්න ඒක මතක තියාගං……හරිය?
මෙච්චර මේ වැදගත් දේවල් තියනව ලියන්ට…..ලියාපියකො එව්ව ගැන….අර අයිස්වර්යාට දුවක් හම්බුවෙල….දුවට තාම නමක් දාල නෑ…මොන විදිහෙ නමක් දායිද කියල අනුමාන කොරල ලියාපිය පෝස්ට් එකක්…එහෙම එව්ව ලියන්නෙ නෑ…මේ පාර ඔස්කා සම්මාන උලෙලෙ ජොලී නංගි කකුල පෙන්නල…මාර ජොලි වැඩේ ඒක….ලියාපිය ඒ ගැන මොනව හරි…එව්ව බෑ…කෑම….කෑම…කෑමම තමයි,
ඊට හපනි මෙතන කොමෙන්ට් දාන එවුං….බොටම හරියන බඩජහරියො ටිකක්….කෙල හල හල ඔය තියෙන්නෙ කොමෙන්ට් කොරල…..අනෙ අම්මප, මට එන කේන්තියක්…..මේ හලෝලා…මේ කියන්නෙ මෙතන කොමෙන්ට් කොරපු කස්ටිය ඔක්කෝටමයි….ඇහුණදෝ…….ආමාසය කියන්නෙ සරීරෙ එක අවයවයක් විතරයි…..ඊට වඩා වැදගත් අවයව තව බොහොම තියනව..ඒ නිසා ආමාසෙ මත්තෙම නැහෙන්ට එපල්ල……
අනික ඔය උඹ කොරන වැඩෙං ලංකාවෙ ආර්තික වර්දනේට සුවල්ප හානියක්ද වෙන්නෙ කියල උඹ නිකමටවත් හිතුවද?
ගෙදර එනකොට කඩුවෙලිං බැහැල පාර අයිනෙ තියෙන වෑන් එහෙකිං දෙන්නට පරාට දහයකුයි පරිප්පු හොදි බෑග් එහෙකුයි තව ඔන්නම් මස් හොදි ඩිංගකුයි අරං ඇවිදිල්ල දෙයියනේ කියල කාල එහෙම බුදියගන්නෙ නැතුව උඹ කොරන්නෙ පරාට හදන එක…ඒ මදිවට බොලොග් එකෙත් දමනව ඒක කොරන්නෙ මෙහෙමයි..අරමයි කියල…මෙව්ව කියවන එවුන්ටත් මදෑ ඕක…..අනේ, අක්කේ, අනේ ජනූ, අපිත් කොරනව එහෙම කියල උන්දැලත් පටං ගන්නව අල්ලන්ට මෝලිය…
දැං මොකක්ද අනිවාර්ය ඊලඟ ප්‍රතිපලේ…අර පරාට ටිකක් විකුණගෙන කීයක් හරි හොයාගෙන දෙයියනේ කියල දරු පවුල රස්සා කරපු අහිංසකයට වැලේ වැල් නැතිවෙනව…බැරිම තැන මිනිහ පටං ගන්නව කුඩු බිස්නස්…..ඔය වගෙ කෑම සප්ලයි කාරයො ඔක්කොම කුඩු වැඩේට බැස්සොත් අපේ රටට මොකද වෙන්නෙ?
ආර්තික වර්දනේ එහෙම්මම ඇණ හිටිනව…අන්තිමට වැඩි කල් නොගොහිං මුලුරටම ඉවරෙටම ඉවරයි….
දැං තේරෙනවය උඹ මේ කොරන වැඩේ බරපතලකොම?…..ඕක වෙලා තියෙන්නෙ උඹල කවුරුවත් යමක් කොරන්ට කලින් දුර දිග හිතාබලන්නෙ නැති එක නෙව….අපිම ඉන්ට ඕන උඹලට මෙව්වයෙ තියන බාරදූර කම පෙන්නල දෙන්ට…….
ඒ නිසා ජනූ නඟේ…මීට පස්සෙ මිරිස් ගලට පොල් ටික දාන්ට ඉස්සරවෙලා…..පිටි කන්ද මුදුනෙ වලක් හදල වතුර පුරවන්ට ඉස්සරවෙලා…ඉඳිආප්ප වට්ටියට ඉඳිආප්පෙ මිරිකන්ට ඉස්සරවෙලා….නතර වෙයං මොහොතක්….හොඳට පපුව පිරෙන්ට හුස්මක් ගං….හෙමීට හුස්ම පහලට දාපං පුලුවන් තරම් වෙලා අරගෙන…ඒ කරල තමංගෙංම අහපං මෙහෙම “‘ මම මේ කරන්නේ රටට ජාතියට හානියක් වෙන දෙයක් නේද?, රහට කට දිව පිනවන එකට වැඩිය මට මගෙ රට වටිනවද ? නැත්ද? මේ වෙලාවෙ රට ජාතිය වෙනුවෙන් දේසප්පෙරේමී ලාංකික දියණියක් විදිඔහට මගෙං කෙරෙන්ට ඕන යුතුකොම මොකක්ද?”
මට සහතිකයි..ජනූ උඹට හරි දැක්ම පහල වෙනව කියල……
ඒ වගේම මම දන්නව මීට පස්සෙ උඹ කවදාවත් කෑම බීම ගැන ලියන්නෙ නම් නෑ කියල….
අටුවාම නම් බොහොම දික් උනා…ඒත් මට මේ ටික නොලියාම බැරිඋනා…රටට ජාතියට ආදරේ කරන නියම දේසප්පෙරේමියෙක් හැටියට…
ප.ලි. – මම දන්නව මේකට උඹේ ප්‍රතිචාරය මොකක්ද කියල….
” හිතවත් රවි අයියේ…ඔබේ දීර්ඝ අටුවාව කියවා මගේ ණැනැස අවදි වූබව පවසන්නේ ඉමහත් සතුටිනි.මවිසින් මෙතෙක් නොදැනුවත්ව වුවද කර ඇත්තේ බලවත් අපරාධයක් බව සිහිවන විට සිතට නැඟෙන්නේ සිත් පුරා පැතිර ගිය පශ්චාත්තාපයකි. මෙවන් අප නොදක්නා මානයකට අප සිත් යොමු කරවීමට සමත් විදග්ධ බහුශ්‍රැත එමෙන්ම විචක්ෂණශීලී බුද්ධිමතකු වන ඔබ වැන්නකු ආශ්‍රය කිරීමට ලැබීම පවා මහත් භාග්‍යයක් කොට සළකමි. ඔබට මාගේ ගෞරවාදර ස්තූතිය නැවත වරක් පල කරමි. ”
එතකොට මම කියනව මෙහෙම….කොහොමද?
” You are welcome , Januu , you are most welcome….heh, heh, ”
අන්න දාලා දාලා…නම අභිලාෂා ලු!!!
ඔන්න මං නම් කෙල හල හල කොමෙන්ට් දැම්මේ නෑ….
හප්පේ….. ඉදිආප්පයක් කන්ඩ නැතුව කොච්චර නං හිත රිදිලද රවී අයියගෙ….!! 😀
සහෝදරීගේ පෙම්බරයා ගැන මට නම් ඉරිසියාය ! බලාගෙනය ! සහෝදරීගේ කෑම කා ඒකා මහත් වෙන්නට බලනු ඇත…
උයන්න දන්නැති ගෑනු ලමෙක්ගෙන් වැඩක් නෑ හලෝ… ඒ අතින් ඔයාගේ තාත්තට මල් තියලා වඳින්න ඕනේ. තමන්ගේ පෙම්බරියට හදවතින් ආදරේ පිරිමියෙක්ට තමන්ගේ ගෑනිගේ කෑම තරං වෙන මොනවත් රහ නෑ.
මං ආස නෝනි උයන ඒවා කන්න. නෝනි ආස මං කන්න කැමති ඒවා උයලා දෙන්න. ඔය ඩබලත් එසේම වෙන්නැති. ආඃ !!! අළුත් ජෝඩුවක් කිව්වා නේද ? ඔන්න මගෙනුත් සුභාසිරි !!!
අඅමුතුවෙං මහත් වෙන්නට දෙයක් ඒකාගේ නැතිය.
හරියට හරි…!!! රහට උයන එක ආදරේ වැඩි වෙන්ඩත් හේතු වෙනව තමා!!
බොහොම ස්තූතියි මලේ සුබපැතුමට!!!
අපොයි ඔහෙලැයි මලයා හදන පරාටා! උන්දෑ මාත් එක්ක්ත් වංගියක් කීවා නෙව හදමුය කියල..දැන් කල්ප දෙහෙකට විතර මත්තෙන්… කෝ????
මේ ඒක නෙවේ.. ඔය වටලප්පන් කාරිය හෙම හදනව් නම් කලින් දැනුං දුන්නානම් හොඳා.. අපිත් එනවා ඔය පැත්තේ.. අලුත් ජෝඩුව බලලා යන්ඩ බිස්කට් පෙට්ටියකුත් ඇන්න…
හි හි… උන්දැ සෑහෙන දවසකිං ඒව හැදුවෙ නං නෑ තමා!!
අන්න වැඩේ!!
ඉසතෙල් ගාන දවසට අපි හදමු පරාට… ඔයාල එනවනෙ එදාට!!!!
අපි ඊයෙත් හැදුව වටලප්පං නං.. ආව නං ඒ පැත්තෙ කන්ඩ තිබුණ ඕං!!!!
පරාට නෙවේ.. ගෝදම්බ රොටී ගැන කීවේ… චැහ් මට කීවේ නෑනේ.. මන් හෙනහුරාදා කොළඹත් හිටියනේ බොල..:(.. ආයේ හදමු… මං එන්නංකෝ වෙලාවක ඇහැක් වුණොත් අරකිවත් ඇදගෙන..:ඩී
වරෙං වරෙං නංගියෙ
මටත් උයන්න ඉගැන්නුවෙ තාත්තා…….
මං හිතන්නෙ වැඩි දෙනෙක්ට උයන්ඩ උගන්නල තියෙන්නෙ තාත්තල තමයි නිෂ්!!
ඕක තමයි කේස් එක හුඟ දෙනෙක් උයන්න කැමති නෑ. තරහෙන් උයන්නෙ.
තරහෙන් ඉව්වාම කෝමද කෑම රස වෙන්නෙ…?? කෑම උයන්ඩ ඕනෙ කනව නං කාපං නැත්තං නිකං හිටපං කියල නෙවෙයි නෙ.. ආදරෙත් මුසු වෙන්ඩ ඕනෙ…. එතකොට තමයි රස වෙන්නෙ
අපේ අප්පච්ච් පොල් සම්බෝල හැදුවා නම් මතක නෑ. ඒත් ඉස්සර අපි පොඩි කාලේ සෙනසුරාද දවසට උයනවා නම් මතකයි. එයා නිතරම කරවිල හැදුවා කොටින්ම අදටත් මගේ කරවිල කෑමේ රහස ඒක වෙන්න ඕනේ. ඒ දවස්වල එයා උයද්දි හැමවෙලේම අපිව ලංකරන් මේ ඔයාලා වෙනුවෙන්ම හදන කෑම කියලත් කීවා. ඒක හින්දාමද කොහෙද අපි ආසාවෙන් කෑවා.
අම්මා කෑම උයද්දි එහෙම කියලා තිබ්බේ නෑ වෙන්න ඕනේ. අනික ඉතින් එයා එහෙම උයන උයන පාරට කියන්න ගියා නම් අපි කන එකකුත් නෑ නේ.
අපේ ගෙදර මිරිස් කුඩු කරන ගල් ගොඩාක් තිබ්බා. අදටත් තියෙනවා වෙන්න ඕනේ. ඒත් මම ඒවා කවදාවත්ම භාවිතා කරලා නෑ නේ. ඒ වුනාට මිරිස් නැති පොල් සම්බෝල දෙහි හා රතු ළුෞනු දාපු මගෙත් ප්ප්රියතම කෑමක්…