ඒ ද අප වන් මිනිසුන්මය…..

අපි කාසල් රෝහල පහු කරල වැලිකඩ පැත්තට ඇදුණා.

රිය පෝලිම අතර හිරවෙලා වටපිට බලබල ඉන්න අතරෙ මම එක පාරටම දැක්ක කෙනෙක් මට අත වනනව…

මම නැවතත් බැලුව..මේ මනුස්සය ඉන්නෙ රෝද පුටුවක ඉඳගෙන…

ම්….. මම දන්න කෙනෙක්ද?

නැවතත් මම උවමනාවෙන් ඒ දිහා බැලුව…හිනාවක් මුහුනේ රඳවාගෙන නොනවත්වාම අත වනන ඒ මනුස්සය දිහා බලාගෙන මමත් නොදැනුවත්වම අත වනල ප්‍රතිචාර දක්වන ගමන්ම මම පෙම්බරයට මෙහෙම කිව්ව

අර අර… අර බලන්න අර මනුස්සය මට අත වනනව…

රෝද පුටුවක නේද එයා ඉන්නෙ…? මොහොතකට පෙම්බරයත් ඒ දිහාව බලල…

වාහනය ඔහුව පසුකලාට පස්සෙ පිටිපස්සට හැරිලත් ඔහුට අත වනපු මට නොනවත්වාම අත වනන්න වුණේ ඊට ඉදිරියෙන් රෝද පුටුවල හිටපු කීප දෙනෙක් වගේම බෝගහක් යට තනියම ඉඳගෙන අත වනමින් හිටපු එක්කෙනෙක් නිසා….

ඒ ගොල්ලන්ව නොපෙනෙන තරම් දුර යනකල් අත වනපු මම හුස්මක් උඩට ඇදගන්න ගමන් පෙම්බරය දිහා බැලුවෙ යමක් කියන්ඩයි..

අපි වෙලාවක එයාලව බලන්ඩ එමු….!

මෙන්න මම කියන්ඩ හදපු දේම පෙම්බරය කියනව…

අපි එයාලට මොනව හරි අරගෙනත් එමු…

හැබැයි මම දන්න විදියට ඔතන තියෙන්නෙ එයාලට ඉන්ඩ හදපු වෙනම හෝම් එකක් වගේ තැනක්… අපිට එකපාරටම එයාලට මොනවත් අරන් ගිහින් දෙන්ඩ පුලුවන්ද කියල නම් මට ෂුවර් නෑ ජනූ… පෙම්බරය කිව්ව..

කමක් නෑ අපි වෙලාවක ඇවිත් එයාල එක්ක කතා කරල වත් යමුකො….

මගෙ ඇවිටිල්ලට පෙම්බරය එකඟ වුණේ බොහොම කැමැත්තෙන්..

එදා ඉඳල අපි ඔවුන් පසු කරගෙන යන හැම වතාවකම ඔවුන්ට පෙනෙන මායිමේ අපි යනව නම් මම ඔවුන්ට අත වනනව…

මම විතරක් නෙවෙයි තවත් කීප දෙනෙක් මේ විදියට ඔවුන්ට අත වනනව මම දැකල තියෙනව…

සමහරු නම් ඔවුන්ගෙ මූණට පිටුපාල අහක බලාගන්නවත් ඇති..

ඒත් මට නම්  බැරි වෙලාවත් අපිට පාරෙ මැදතීරුවෙ යන්ඩ වෙලා ඒ හිනා පිරුණු මුහුණින් අත වනන මිනිස්සුන්ට අත වනන්නෙ නැතිව එතන පහු කරන්ඩ වුණොත් හරිම දුකයි..මොකද්දෝ අඩුවක්…. හිස් බවක් හිතට දැනෙනව….

ඊයෙත් පෙම්බරයයි මමයි එද්දි අපිට මේ යාලුවන්ට අත වනන්ඩ පුලුවන් වුණා…

අත වනල ටිකකින් මම කල්පනාවකට වැටුණු බව තේරුණ පෙම්බරය එහෙන් මෙහෙන් කොනිත්තල මාව පියවි ලෝකෙට ගන්න හදනව…

මොකද මොකද???

නෑ… මම මේ කල්පනා කළේ අර මිනිස්සු මොන තරම් තනි කමකින්ද ඉන්නව ඇත්තෙ??

නන්නාඳුනන මිනිස්සුන්ට අත වනන්න හවස ඉඳල පාර බලන් ඉන්න තරම්…!

හ්ම්…. !!!

දුක හිතෙන දෙයක් කිව්වම තනි වචනෙං උත්තර දෙන පෙම්බරය කිව්ව..

මම මේගොල්ලන්ට අත වනන්න ගත්ත කාලෙම රාජගිරියෙ බුත්ගමුව පාරෙ කියෙන වැඩිහිටි නිවාසයක ඉන්න සුදුම සුදු හරිම ප්‍රියමනාප වයසක අම්ම කෙනෙක් උදේට පාසල් වෑන්වල යන පුංචි දරුවන්ට අත වනනව දැක්ක…

එයත් හැමදාම ඒ වෑන් යන වෙලාවට පාරෙ ඉන්නව.. හොඳ පවුලක සැපට ජීවත් වෙච්ච කෙනෙක් කියල එයාව දැක්කම හිතෙනව..මොකක් හෝ හේතුවක් නිසා  අද එයා වැඩිහිටි නිවාසෙ තමයි ඉන්නෙ…

සමාජයේ අවධානයට ලක් වෙන්ඩ ඕනෙ දෙකොට්ඨාසයක් තමයි වැඩිහිටියන් හා ආබාධිතයන්…

අනික මට තේරිලා තියෙනව ආබාධිතයන් වැඩි දෙනා හරිම සංවේදියී…

මගේ කැම්පස් යාලුවෙක් හිටිය…ජනක කියල

ලස්සනට සින්දු කියනව… එකට සංගීත වැඩ කරපු නිසා අපි නිතර ජනක එක්ක කතාබහ කරල තියෙනව.. ඉතින් එයා කටහඬින් මාව අඳුනගන්නව කියන එක පුදුමයක් නෙවෙයි…

එක දවසක් මටයි මගේ කැම්පස් යෙහෙලියක් වුණු රජීටයි ජනකව මුණ ගැහුණ… එයා ලෙක්චර් එකකට යන ගමන්…සාමාන්‍යෙයන් අන්ධ ළමයින්ට හොස්ටල් එකේ පිරිමි ළමයි හරියට උදව් කරනව මේ වැඩවලදි.. ඒත් එදා එයා තනියම ඇවිත්….

තටහඬින් මගේ යෙහෙලියව හඳනා ගත්තු ජනක එයාව දේශන ශාලාවට එක්කරගෙන යන්න කිව්ව..

ඇය එක් අතකින් ජනකව අල්ලාගන්නකොට මේ වෙනතෙක් වඩනයක්වත් කතා නොකර හිටපු මම ජනකගෙ අනික් අතින් අල්ලගත්තෙ ඔහුව දේශන ශාලාවට එක්කරගෙන යන්නයි..

ආ ජනනි කොහොමද??? ලඟදි සින්දු කිව්වෙවත් නෑ නෙ අපි…

මගේ අත ස්පර්ශ වෙලා තත්පර ගණනක් ඇතුලත ජනක කියපු දෙයින් මමත් රජීත් පුදුමෙනුත් පුදුමෙට පත් වුණා..

පුදුමයි නේද???

මම තව කතාවක් කියන්නම් ඒ වගේම අපේ අම්මට වෙච්ච…

අපි , ඒ කියන්නෙ මමයි අම්මයි, චූටි මාමයි, මාල නැන්දම්මයි ගමේ ගිය වෙලාවක අතර මග නගරෙක අපි කටිටියම වාහනෙන් බැහැල මොනව හරි ගන්න පොලක් වගේ තැනකට ගියා…

මට කොහෙද කියල නම් මතක නෑ…

මාම පොලේ ඇවිදින අතරෙ අපිත් එක්එක දේවල් බල බල හිටිය…

ඔය පොලේ හිටිය සින්දු කියල හිඟමන් යදින අන්ධ මනුස්සයෙක්… අපි ඒ මනුස්සය හිටපු හරියෙම තැනක තිබුණු යමක් ගැන වෙළෙන්දියක් සමග අම්මා කතා කරමින් ඉන්න අතරෙ පසුබිමින් ඇහෙමින් තිබුණු සින්දුව නතර වුණා…

ඒ නිසා වටපිට බැලුව මමයි නැන්දම්මයි දැක්ක සින්දු කියමින් උන්න මනුස්සය අපි දිහාවට එනව….

අර රජරට සේවයෙ සින්දු කියන රුක්මණී තිලකරත්න නෝන මෙතන ඉන්නව නේද???

අපිව අඳුනන කිසිම කෙනෙක් මේ පලාතකවත් නෑ කියන්ඩ අපි හොඳටම දන්නව

මේ මනුස්සය එකපාරටම ඇහුවාම අපි පත්වෙච්ච තත්වෙ හිතා ගන්ඩකො…

ඒ මනුස්සය අපේ අම්මගෙ සින්දු අහල කතා කරනකොට අම්මව අඳුනා ගැනීම හරිම පුදුමසහගතයි…!

මොකද සමහරුන්ගෙ ගායනා කරන කටහඬ ඔවුන්ගෙ සාමාන්‍ය කටහඬට වඩා ගොඩක් වෙනස්..

ජනූ කතා කරන හඩ හරිම වෙනස්…

මම ඔයා සින්දු කියනව අහල දැකල නැත්තං විස්වාස කරන්නෙවත් නෑ ඔයා සින්දු කියනව කියන එක…

මම මම සින්දු කියන හඩ අහල සාමාන්‍ය ජීවිතේ කතාකරන විදිය අහපු ගොඩක් දෙනෙක් මටම කියල තියෙනව

මම ඒ වගේ වෙලාවක පටස් ගාල උදාහරණෙට ගන්නෙ අපේ කලාශූරී ලතා වල්පොල මහත්මියව…

ඉතින් කතාවෙන් කතාවෙන් කියාගෙන ආව කතාව මග ඇරිල වෙන පැත්තකට කැරකිලානෙ…

අපි කතා කර කර හිටියෙ වික්ටෝරියා නිවාසෙ ඉඳන් අත වනන මගෙ ආබාධිත යාලුවො ගැනනෙ..

අපි වෙලාවක එයාලව බලන්ඩ යමු කියල කතා වුණත් තාමත් අපිට බැරි වුණා යන්ඩ..

ඒ වෙලාවට ඒක හෙටම, ඊලඟ සති අන්තෙම කරන්ඩ උවමනා වුණත් අපේ ජීවිතවල මුල්තැන දෙන්න ඕනෙ සිද්ධීන් අපි හඳුනාගන්නෙ එදිනෙදා සිදුවීම්වලට අනුවනෙ…

ඉතින් මොනව මොනව හරි යෙදිල අපිට බැරි වුණා එයාලව බලන්ඩ යන්ඩ…

ඊයෙ දැකපු තව දේකින් මට ඒ විදියටම කරනවයි කියල හිතාගෙන හිටියත් තාම බැරිවුණ තව දෙයක් මගෙ මතකයට ආව…

දැනට අවුරුදු දෙකකට විතර කලින්  මේ උවමනාව ඇවිල්ල තකහනියක් දුරකථන අංකය පවා හොයාගත්ත..

ඒත් කොහොම හරි ඒ වැඩේ පහුගියා…

මෙන්න බලන්ඩකො ඔයාලත්

මට දැනුණ දෙවල් මෙතන විස්තර කරන්ඩ වචන නෑ..

ඔයාල මේක ඔයාලගෙම වචනවලිං විස්තර කරගන්නකො….

සමුගන්ඩ අවසරයි අදට මට!!!

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

18 Responses to ඒ ද අප වන් මිනිසුන්මය…..

  1. අද නං ඇත්තටම කියන්න දෙයක් නෑ.ඇත්තම කතාව නං කියන්න දෙයක් නෑ කියලා කිව්වේ කියන්න ඕනේ දේ කියාගන්න බෑ නැත්තං කියන්න ඕනේ එක කියාගන්න විදියක් නෑ කියන එකටයි.
    හරි සංවේදී මාතෘකාවක්, කවදා හරි හිතේ තියන විදියට ඒ අය බලලා එන්න යන්න.කවදා හරි අපිටත් ඔහොම ඉන්න වෙයිද කව්ද දන්නේ?

    • මමත් මේක ලියන්න අරං සෑහෙන වෙලාවක් කල්පනා කළා මල්ලි…
      ඒත් මගෙ හිතේ තිබුණ ඇත්තම කතාව ලියවුණා කියල හිතෙන්නෙ නැ….

      • අයියෝ මේ Miss ඔක්කොම Understand කරගත්තද කමෙන්ට් එක?නරකයි නෙවේ කියලා නෙවේ කිව්වේ,මේක පට්ට වැඩිකමට කියන්න තියන දේ කියලා ඉවර කරගන්න බැරි නිසා මුකුත් කියන්න නෑ කියලා 😛

      • පරාස්ස මලයො, මිස් හරියට අන්ඩර්ස්ටෑන්ඩ් කරල බං තියෙන්නෙ… උඹට නරකක් කිව්වෙ නැතෝ!!!!

  2. සනත් says:

    සංවේදී කතාවක්, ඒ හින්ද හිතට සිතුවිලි ආවට ඒව ගලපගන්න බෑ.

    පිහිටක් නැති
    සරණක් නැති
    සතුටක් ඇති මුහුණක් නැති
    මේ සසර දනව්වේ…….
    අපි අසරණ වෙලා වගෙයි සිතට දැනෙනවා……..
    බුදුහාමුදුරුවනේ…

  3. නෙලුමා says:

    “අනික මට තේරිලා තියෙනව ආබාධිතයන් වැඩි දෙනා හරිම සංවේදියී…”
    ඒ කතාවනම් සම්පූර්ණ ඇත්ත ඔවුන්ගේ සවෙනි ඉන්ද්‍රිය ගොඩක් බලවත්නේ,
    මටනම් හිතෙන්නේ ඒ අයට සමාජයෙන් අනුකම්පාවට වඩා ආදරය ලැබුනොත් ඒ අයගේ හිත් ගොඩාක් සුවපත් වෙයි කියලයි.

    අනේ මන්දා ඔය මට හිතුනු හැටි තමයි…

    • හරියට හරි…. නිකමට කල්පනා කරල බලන්ඩ ස්පර්ෂයෙන් එයාලට පුද්ගලයව හඳනගන්ඩ පුලුවන්…..
      අපිට???
      අපි සමහර වෙලාවට ඇස් ඇරගෙන ගිහිනුත් වලවල්වල වැටෙනව…

  4. නෙලුමා says:

    “මමත් මේක ලියන්න අරං සෑහෙන වෙලාවක් කල්පනා කළා මල්ලි…
    ඒත් මගෙ හිතේ තිබුණ ඇත්තම කතාව ලියවුණා කියල හිතෙන්නෙ නැ….”
    ඔය වගේ සංවේදි වෙලාවල් වල අපේ හිතට එන හැඟීම් වචන වලට පෙරලන්න හරිම අමාරුයි නේද ජනු. මෙහෙම හරි පද පෙරලියක් කරපු එක ගැන සතු‍ටුයි. මගෙන් සුභ පැතුම්.

    • ඇත්ත… ඒක වචනවලට කොයි තරම් හොඳට පෙරලුණත් හිතෙනව ඒ මගෙ හිතේ තිබුණු ඇත්තම හැඟීම් නෙවෙයි කියල….ස්තූතියි, මේ පැත්තට ආවට.

    • ස්තූතියි අක්කා. අපිට එයාල වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් නම් කොච්චර හොඳද. මොහොතකට හරි එයාලව සතුටින් තියන්න පුලුවන් නම්.

  5. Priyantha says:

    කියන්න දෙයක් නෑ ජනූ සංවේදී හදවතක් තියන කෙනෙකුට මේ වගේ සිද්ධියක් ලියන්න ගියාම වන දේ ඔයාගේ මේ පොස්ට් එකෙන් අපූරුවට පේනවා. එකිනෙකට නොගැලපෙන බවක් නෙනෙකුට පෙනුනත් ඔබ මේ පොස්ට් එකෙන් කියන්න යනදේ ඇත්තටම හොඳටම තේරෙනවා. ඇතැම් විටක මට ඔය වගේ කෙනෙක් අත වැනුවොත් එයාට ආපසු අත වනනවා වෙනුවට මම කල්පනා කරන්න ඉඩ තියෙනවා අනේ පවු මේ පුද්ගලයා කියා. අත වනන්න මතක් වෙන්නේ පසුවයි. මිනිසුන්ගේ විතරක් නොවේ සතෙකුගේ පවා දුක වේනදාව අසරණ කම හමුවේ සංවේදී වන්නේ සැබෑ ආදරණිය හදවතක් ඇති අයයි. ඔවුන්ට කවුරු නැතත් තම හෘද සාක්ෂිය හො ඉන්නවා දවසක තනි නොවී ඉන්න. මටනම් කියන්න ගිය දේ තදින්ම දැනුනා. ඔබේ පෙම්බරාත් ඔබ වගේම සංවේදී අයෙක් බව පෙනවා. බලන්න එතනම පෙනවා නේද හොඳ අයට ලැබෙන්නේ හොඳ බව…

    • ස්තූතියි ප්‍රියන්ත අයියට,
      මේ සිදුවීම් නිසා මම පත්වෙච්ච කම්පනය මට විස්තර කරගන්ඩ හරි අමාරුයි…
      ඒකයි මම කියන්නෙ තාමත් මගෙ හිතේ තිබුණූ ඇත්තම කතාව එලියට ඇවිල්ල නෑ කියල…මේ පිලිවෙලක් නැති කතාවෙන් වුණත් ඔයාල ඒක තේරුම් ගන්න එක හරිම වටිනව…

  6. Ravi says:

    ජනූ නංගි ඔය කියන රාජගිරියෙ වික්ටෝරියා වැඩිහිටි නිවාසයට මමත් කීප වතාවක් ගිහිල්ල තියෙනව.මම කලින් සේවය කරපු ආයතනයෙ බොස්, එයාගෙ තාත්ත වෙනුවෙන් හැම අවුරුද්දකම එක දවසක් ඔතනට දිවා ආහාරය පරිත්‍යාග කරන සිරිතක් තිබුනා.

    ඒ නිසාම කීප වතාවක් ඔතනට මමත් ගියා. ඇත්තටම හරිම ජීවිතේ ගැන හරිම කළකිරීමක්, සංවේගයක්, ඒ වගේම අපේක්ෂා භංගත්වයක් ඇතිවෙනව ඒ අසරණයින්ගෙ වේදනාවෙන් පීඩිත මූණු දැක්කම.

    ඒ කිව්වෙ ඒ අම්මල තාත්තල ගතකරන දුක්බර ජීවිතේ අපිට ඇස් පනාපිට දකින්නට ලැබිලත්, අපිට ඔය කෑම වේලක් දෙනව ඇරෙන්න, වෙන කරන්න දෙයක් ඇත්තටම නැහැ නේද? කියන දුක්බර සිතුවිල්ල හැමදාම ඔතනට ගිය වාරයක් වාරයක් පාසා දින ගනනක් යන තුරු මගෙ හිතට වද දුන්නා.

    ඔය වගෙ වෙලාවට මගෙ හිතට එන තව හිතුවිල්ලක් තමයි නංගි, අපෙ හිත් හුඟක් සංවේදී වෙන එකත් මහ කරුමයක්කියන එක. සංවේදී නොවන කෙනෙකුට ඇස් පනා පිට පෙනෙන දේ උනත් කිසිම ගානක් නැහැනෙ. අනික් අතට ඉතින් මොකද කරන්නෙ? අපිට ලැබිල තියෙන හිත සංවේදීනම් වෙන මොනව කරන්නද, විඳවනව මිසක, නැද්ද?

    • අනේ මන්ද අයියෙ ඔයාගෙ මේ කතාවට උත්තරයක් දෙන්න දෙයක් නෑ මට… අපි අනවශ්‍ය පරිදි සංවේදී වෙනවද කියලත් මට හිතෙනව වෙලාවකට…

  7. Kalith says:

    ඔය වගේ දෙයක් උනාම මට වෙන්නෙත් අර ප්‍රියන්ත අයිය කිව්ව වගේ ප්‍රතිචාර දක්වන්න ඉස්සෙල අනේ පව් කියල හිතෙන එක..දැනට අවුරුදු කීපෙකට ඉස්සර අපි වැඩිහිටි නිවාසෙකට දානයක් දුන්න…එදා එතන හිටපු ආච්චිඅම්ම කෙනෙක් ඇවිත් අපෙ අම්මගෙ අත අල්ලන් කිව්ව දුවත් හරියට මගෙ දුව වගේමයි කියල…මට දැනිච්ච හැඟීම තාමත් වචනෙට ගන්න බැහැ..

    හිත ගොඩක් සංවේදී වෙන වෙලාවට ඒ දැනෙන සිතුවිලි වචන කරගන්න එක අමාරුයි..ඔය දේ තෙරෙන ඕනම කෙනෙකුට අක්ක කියන්න හදන දේ හොඳටම තේරුම් යනව.මට හිතෙන අනික තමයි දරඳඩු හිතක් එක්ක මෙලෝ රහක් නැති කෙනෙකුට වඩා සංවේදී හිතක් තියෙන එක දාහකින් හොඳයි කියල..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s