ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි…..!

ඔයා මට ආදරේ ඇයි…..?

අපේ පෙම්බරය කීප වතාවක් මගෙන් අහල තියෙනව…

මටත් ඉතිං නිශ්චිත පිලිතුරක් නෑ දෙන්ඩ…

එක පාරටම ඇහුවම කොහොමත් උත්තර දෙන්ඩ අමාරුයිනෙ මොන තරම් හිතේ පිරිච්ච දේවල් තිබුණත්…

ආදරේ කියන්නෙ වචනවලට හරවන්ඩ පුලුවන් දෙයක් නෙවෙයි ළමයා….. ඒක දැනෙන  දෙයක්… ඔයා අහන්නෙ ලෝකෙ උත්තර දෙන්ඩ අමාරුම ප්‍රශ්නයක්….

මං ඉතිං මගෙ සුපුරුදු කටකාරකම පාවිච්චි කරල වෙට්ටුවක් දානව…

මේ… මං අහන්නෙ සරල ප්‍රශ්නයක්….. ඔය තරම් අහස පොළව ගැටලල කල්පනා කරන්ඩ තරම් දෙයක් නෙවෙයිනෙ…

ඕක අහපු හැම දාකම මට හරි උත්තරයක් දීගන්ඩ බැරි  වෙලා පෙම්බරයගෙ මූන ඇද වෙනව….

ඒ මදිවට මම ඒ ප්‍රශ්නෙම ඇහුවම පෙම්බරයටත් නිශ්චිතම උත්තරයක් නෑ….

මම කැමතියි ඔයාගෙන් ලැබෙන රැකවරණයට…. ගෑනු ඒකට හරි ආදරෙයි…

ඔයා පොඩි ළමයෙක් වගේ කරන කියන දේවල්වලටත් මං හරි ආසයි…

මං ඉතිං ඔයවගෙ වෙලාවට කියවගෙන කියවගෙන යනව…

ඒත් ඒ උත්තර එකක්වත්පෙම්බරයගෙ හිතට හරියන ඒව නෙවෙයි කියල දැන දැනම…

අද මේ ලියන්නෙ මට මෙච්චර කල් කියාගන්ඩ බැරි වුණ දෙයක්ද මන්දා??

බලමු අදවත් මට හරි උත්තරයක් දීගන්ඩ පුලුවන් වෙයිද කියලා……!

 

අපි පහුගිය සති අන්තෙ අපේ ගෙදර ගියා..

පෙම්බරයගෙ පවුලේ සහ අපේ පවුලෙ හැමෝම එකට එකතු වෙලා ගත කරපු ඒ සති අන්තය හරිම සුන්දරයි….

ඉරිදා හවස් අතේ අපි කට්ටියම දඹදෙනියෙ ගලට නැග්ගා

පහුගිය මාස ගණනාවක් පෙම්බරය හිතේ ඒ තරම් කැමැත්තකින් නෙවෙයි කොහෙවත් ගියේ…

මොකද දැක්ක දුටු තැන ඡායාරූප ගන්න එයා බොහෝ සේ ආදරය කළ පුංචි කැමරාව නැති වෙච්ච නිසා.

ඒ කැමරාවත් එක්ක කොයිතරම් බද්ධ වෙලා හිටියද කියනව නම් ගෙදර ළඟ හන්දියට ගිහින් එන්න වුණත් ගෙදරින් එළියට බහිනකොට වුණත් ගෙනියනව… ඒ විතරක් නෙවෙයි… මගදි දකින මල්,  මුණ ගැහෙන බල්ලො, පූසො, මේ සේරම දකින දකින දේවල්වල ඡායාරූප ගන්නව…

අපේ පෙම්බරය මේ ගමනට සහභාගි වුණේ හරීම ආසාවෙන්..ඇයි මම උපන් දිනේට කැමරාවක් දුන්නනේ….

නැති වුණ කැමරාව වගේම එකක්!!

ඉතින් දඹදෙනි ගල නගිද්දිත් හරිම සතුටින් මග දිගටම ඡායාරූප ගනිමින් තමයි ගියේ..

හරිම පරිස්සම්.

කැමරාවට දාල තියෙන ආරක්ෂක පටිය අතට දාල තමයි කැමරාව අතට ගන්නෙත්. ඒ තරම්ම ආදරෙයි ඔය කැමරාවට…

දඹදෙනි ගල මුදුනටම නැංගාම හරිම ලස්සනට වටපිටාව බලන්න පුලුවන්…

ගල පාමුළ කරල් පැහිල බිමට බර වෙච්ච සුන්දර වෙල්යායෙ ගොයම් කපන කාන්තාවො, ඉපනැල්ලෙ දුව පැන නටන පුංචි ළමයි, ඈත මහ පාරෙ ඉඳල ගමට ඇදෙන වෙල් යාය මැදින් වැටිච්ච පාර දිගෙ එන බයිසිකල්කාරයො, ඈත කඳු, හාත්පස සුන්දරත්වය බල බලා එතන වරුවක් ඉන්න පුලුවන්….

එ විතරක්ද නිල්වන් අහස කිරි සුදු වළාකුලින් පිරිල…පෙම්බරයගෙ වැඩේ අහස පසුබිමට එන විදියට අපේ ඡායාරූප ගන්න එක.

ආ… මෙන්න මගෙත් ෆොටෝ එකක් ගන්න…මං අන්න අර ගල උඩට ගියාම මාවයි අහසයි විතරක් පේන විදියට…

පෙම්බරය මගෙ අතට කැමරාව දීල එතන තිබුණ උසම ගල් තලාවට නැංගා. මම ඒකෙ ආරක්ෂක පටිය අතට දාගෙන එහෙම වැඩේට ලෑස්ති වුණා.

ඒත් මම කැමරාවට ආධුනිකයි. ඡායාරූපයක් ගන්ඩ මට ටිකක් වෙලා යනව… අනිත් එක මට හිතෙනව ඕනෙම දෙයක් ගැන ඕනෙවට වඩා අවධානය යොදනව.

දැන් මේ පෙම්බරය ඡායාරූපය අරගන්න කිව්වාම මට ඕනෙ වුනේ පුලුවන් හොඳම විදියට ලස්සනට ඒක ගන්න.

ඔන්න එතකොටම මගෙ හෙවනැල්ල ගල් තලාව මත වැටිල තියෙනව දැක්ක මට ඕනෙ වුණා ඒක ගන්න.

ඉතින් මම ඒක ගන්ඩ හැරුණාම ඡායාරූපය ගන්නකල් බලන් ඉන්න වුණ පෙම්බරය හිත නරක් කරගත්ත.

අනේ ඕව පස්සෙ ගන්නකො…

ඉතින් ඒ වචනෙන් කලබල වෙච්ච පාර මම දඩි බිඩි ගාල එතන දණින් හිඳගෙන ඡායාරූපය ගන්ඩ ගියාම වලංගු නැතිව මං බිමට අත තිබ්බ. ආරක්ෂක පටිය අතේ පැළඳගෙන හිටියත් ක්‍රියාත්මක කරලා කාචය එළියට ඇවිත් තිබ්බ කැමරාව ගල් තලාවෙ වැදුනෙ හරියට මගෙ හදවතට පිහියකින් ඇන්න වගේ..

මොකද  වුනේ….? වැදුන නේද බිම……?

පෙම්බරය එහෙම ඇහුවාම ම බිය මුසු කලබලයකට පත් වුණා….

අනේ …. කැමරාව වැදුන බිම….. මේ මොකක් හරි වෙලා….

මගෙ මූණ වෙනස් වෙනව දැක්ක පෙම්බරය අඩියට දෙකට මගෙ ලඟට ආව…

කැමරාව අතට ගත්ත.

දැන් ලෙන්ස් එක ඇතුලට යන්නෙ නෑ… අයියෝ…..!

මගෙ පපුවෙ ඉඳල එන උණුසුම් රබර් බෝලයක් උගුර ළඟ හිර වෙලා වගේ මට දැනුන.

ඇස්වල කඳුලු පිරෙනව තේරුණා

මගෙ හඬ හැඬුම්බරයි….පෙම්බරය බැලුව පොඩ්ඩක් එහාට මෙහාට කරල කැමරාව යථා තත්වයට ගන්න. ඒත් බැරි වුණා…

අනේ දැන් මොකද කරන්නෙ……?

අනේ … ඒක අරන් මාසයක් වත් නෑනෙ…පෙම්බරය කොයි තරම් සන්තෝස වුණාද උපන්දිනේට කැමරාව ලැබුණාම…

අනිත් එක මම කොයි තරම් සන්තෝසෙන්ද ඒ කැමරාව තෑගි දුන්නෙ…?

මම දැනගෙන හිටිය ඒක තරම් පෙම්බරයව සතුටු කරන්ඩ පුලුවන් දෙයක් නෑ කියල…

ඕනෙ තරම් කැමරා වර්ග තියෙද්දි මට ඕනෙ වුණේ පෙම්බරය ලඟ තිබුණ වගේම කැමරාවක් තෑගි දෙන්න… කැමරාව දැන් නිශ්පාදනය නොවන, වෙළඳපොලට නොඑන මාදිලියක් වුණු හින්ද මම ඒක හොයන්ඩ මහන්සි වෙච්ච තරම්…!

පෙම්බරය ඒකට හරි යන මතක චිපයක් පවා ගෙනාව විදේශයකින්…

සියල්  මගෙ හිතට ගලාගෙන ආව හරියට ඊ තල වගේ

අනේ …. දැන් ඉතින් මොකද කරන්නෙ….

පුංචි දේටත් ඉක්මනට නොසන්සුන් වෙන තරහ ගන්න පෙම්බරය දැන් මේ ගැන මොනව කියයිද?

හොඳටම බනියිද?

අපිට මේක හදා ගන්ඩ බැරි වෙයිද?

ම්හ්…. අපිට හදන්ඩ බෑ වගේ….

මේ ඔක්කොම අතර කඳුලු පොකුණු යුග පිරිල ඉතිරෙන්න ඔන්න මෙන්න…

මගේ කඳුලු දකින්න ඉතා අකමැති පෙම්බරය කැමරාව ගැන හොයනවට වඩා මගේ මුහුණෙ වෙනස්කම් අධ්‍යයනය කරන බව දැනිල දෝ මන්ද පොකුණු දෙකත් ඉතිරිලා යන්ඩ බියෙන් ඔහේ බොඳ වෙලා තිබුණ.

ඕව ගණන් ගන්ඩ එපා දුවේ… ඔය වගෙ දේවල් අද තිබිල  හෙට නැතිවෙලා යන දේවල් නෙ…. පෙම්බරයගෙ අම්ම කිව්ව

වැඩි කතා බහක් නැතිව චාරිකාව අවසන් කරල ගෙදර ඇවිත් පෙම්බරය මට කිව්ව

මොනව කරන්ඩද ජනූ…? ඔයත් හිතල බිම දැම්ම නෙවෙයිනෙ….. අපි මේක හදා ගන්ඩ බලමු…..මේකට වඩා මට  ඔයාව වටිනවනෙ….!

හොඳ බැනුමක් අහන්ඩ බලන් හිටපු මට පෙම්බරයගෙ හඬ ඇහුණෙ  කොහේදෝ වෙනත් ලෝකෙක ඉඳල වගේ…

කඳුලු පොකුණු වාන්දාන්න පටන්ගත්තෙ අනපේක්ෂිත සෙනෙහෙබර වදන් දරාගන්න බැරිවයි…

ඇයි ඉතින් අඬන්නෙ මම බැන්නෙ නෑ නෙ ඔයාට….

අනේ ඇයි බනින්නෙ නැත්තෙ….?

මං හැඬුම් හඬින් ඇහුව

ආ දැං මං බනින්ඩද ඕනෙ…..?

පෙම්බරය හීන් හිනාවක් මුව නංවාගෙන ඇහුවට එයාටත් දුකයි වෙච්ච දේට කියල මම දන්නව…

ඊට පස්සෙ රෑ වෙලා කැමරාවෙ මතක චිපය පරිගණකයට සම්බන්ධ කරල අපි අරන් තිබුණු ඡායාරූප ටික බලන්න ගත්ත.

මම නම් බලන් ඉන්න හිතක් තිබුණෙ නෑ…..වෙන වෙන දේවල් කර කර හිටියෙ….

ඒ ඉන්න ගමන් කැමරාව අතපත ගාපු පෙම්බරය වෙන දෙයක් වුණාවෙ කියල එලියට ඇවිත් පැත්තකට බර වෙලා තිබුණු කැමරා  කාචය හැරෙව්ව.

ටකස්…..

කාචය නැවත තිබුණු තත්වයට ආවා…

හරි ගියා නේද?

දන්නෙ නෑ…..ගේන්ඩ ගේන්ඩ ඉක්මනට බැට්රි එක…..

මම දිව්ව… දුවල ගිහින් බැට්රිය අරන් ආව

හරී…………………………………..!

අපි දෙන්නගෙ ජය ගෝසාවට අම්මල දෙන්නත් හැරිල බැලුව මේ මොකද්ද වෙලා තියෙන්නෙ කියල….

කැමරාව හරි ……..!

මං උඩ පැන්නෙ නැති ටික විතරයි…..!

යාන්තං ඇති එක්කෙනෙක් හිනා වෙනව….දැන් ටිකකට කලින් ඇඬුවනෙ අම්මෙ..

පෙම්බරය අපේ අම්මටත් කිව්ව…

හැමෝගෙම හිත් සැහැල්ලු වුණා…..

ඉතිං ඇයි මං මේ වැල්වටාරං ලියාගෙන ආවෙ…..?

නිකම්ම නෙවෙයි මං අවබෝධ කරගත්ත යමක් කියන්න.

ටිකකට හිතන්න….

කැමරාව බිම වැදිච්ච වෙලාවෙ පෙම්බරයට මහා තරහක් සහ දුකක් හිතට දැනෙන්ඩ ඇති…

එයාට ලැබිච්ච තෑග්ග…. කලින් වතාවෙත් හරියට ශරීරයේ කොටසක් වගේ වෙච්ච කැමරාව නැති වුණා….

මේපාර අතට ලැබුණ විතරයි

මගේ අතපසු වීමකින් වුණත් ඒක කැඩුණ නෙ…

මට බනින්ඩ බොහොම සාධාරණ හේතු තියෙද්දිත් පෙම්බරය වචනයක් කිව්වෙ නෑ…

වෙනද පාරෙ යන වාහන එක්ක තරහ ගිහින් පෙම්බරය කෑ ගහනකොට මම කියනව…

මොකටද ඔයා ඔහොම නිස්කාරණේ කෑ ගහන්නෙබොරුවට ලේ පුච්චගන්නෙ කියල…

ඉතින් පෙම්බරය ගැන මට තිබුණ මේ අත්දැකීම් අනුව මගෙ අතින් වෙච්ච දේට තරහ යන එක බොහොම ස්වාභාවිකයි

ඒත්…

සිද්ධ වුණේ හාත්පසින්ම වෙනස් දෙයක්නෙ….

මට හිතෙන්නෙ තමන් අතින් වුණ වැරැද්දක් පිළි ගන්න එක සහ සමාව දෙන එක වගේම සිදුවීම් අවබෝධ කරගෙන ඒ අනුව ප්‍රතිචාර දැක්වීම දෙදෙනෙක් අතර සම්බන්ධතාවක පැවැත්මට ඉතාම වැදගත්…

අනිත් කාරණේ කොච්චර ලැදිව ආදරේ පෙන්නාගෙන හිටියත් පිරිමි හා ගැහැණුන්ගෙ සැබෑ ස්වරූපය එළියට එන්නෙ ඔය වගේ හදිසි සිදුවීම්වලදි…. ඒ වගේ අවස්ථාවක  අසරණ  වෙලා වරදකාරී හැඟීමකින් පෙළෙන පුද්ගලයා කෙරෙහි  අනිත් පුද්ගලයා ප්‍රතිචාර දක්වන ආකාරය කොයි තරම් නම් වැදගත්ද?

මගෙ අතින් කැමරාව වැටුන වෙලාවෙ හැමෝම ඉදිරියෙ පෙම්බරයා මට දොස් කිව්ව නම්…..!

මම පත් වෙන තත්වය මොන වගේද?

මම හිතල කැමරාව බිම දැම්ම නෙවෙයි…

මට අවශ්‍ය වුණේ ඉතාම හොඳට ඒ ඡායාරූපය අරගන්න…. උපරිම අවධානය යොදල…

ඒත් අත්වැරදීමකින් මගෙ අතින් කැමරාව බිම වැටුණා….

පෙම්බරය මට දොස් කිව්ව නම් මෙන්න මෙහෙම…..!

කොහෙද ඉතිං… තමුසෙට ෆොටෝ එකක්වත් හරියට ගන්ඩ බෑනෙ… බලන්ඩකො…අපරාදෙ කැමරාව ….. කොච්චර ගාණක්ද?  අතට දීල තත්පර දෙකයි….. බිම දැම්ම….මෝඩ ගෑනු….!

උඹ වැරැද්දක් කලානං උඹ විඳවපං…. මගෙන් නෑ සමාවක්….

යන්න ගැබ් වෙන මේ වදන්වලට වඩා පෙම්බරයගෙ

මොනව කරන්ඩද ජනූ…? ඔයත් හිතල බිම දැම්ම නෙවෙයිනෙ….. අපි මේක හදා ගන්ඩ බලමු…..මේකට වඩා මට  ඔයාව වටිනවනෙ….!

කියන වචන තුළ ගැබ් වෙන්නෙ

මොනවා වුණත් මම ඔබ සමගයි. ඒ මා නුඹට ආදරේ නිසයි…

කියන දේ නෙවෙයි ද?

හමු වූ මුල් කාලයේ දිනක් අප අවන්හලක කතාබහක යෙදෙද්දී පෙම්බරයා කියූ දෙයක් මට අදත් මතකයි….

මම ඔයා වගේ ගොඩාක් මිනිස්සුත් එක්ක කතා කරල නෑ….

මම ලස්සනට කතා කරන්ඩ දන්නෙත් නෑ…

මගේ ජීවිතේ වැඩි හරියක් මම චිත්‍රපට බැලුව එකයි කළේ…..ඉතින් චිත්‍රපට බලල මම සම්බන්ධතා ගැන තේරුම් ගත්ත දෙයක් තමයි…. බොහෝ වෙලාවට වෙන්වෙන්නෙ එකට ජීවත් විය යුතුය කියලා හැඟීමක් නැති අය කියන එක.

ජීවිතේ මොන තරම් බාධක, දුෂ්කරතා දුක් කම්කටොලුවලින් පීඩා විඳින්නට වුණත්.. ගැහැණියක හා පිරිමියෙකු අතර සැබෑ සමිබන්ධතාවක් පවතින්නේ ඒ දෙදෙනා අතරෙ මොන දේ වුණත් තමන් එක්ව ජීවත් විය යුතුයි යන හැඟීම තිබුණොත් තමයි….

ඉතින් අද මේ කතාවට එකතු කරන්න මටත් දෙයක් තියෙනව මම තේරුම් ගත්ත….

ඔය එකට ජීවත් විය යුතුයි කියන හැඟීමත් ඉබේ ඇති වෙන්නෙ නෑ නෙ….

අන්න ඒකට තමයි ඔය මම කියපු එකිනෙකාගේ අසීරු අවස්ථාවලදී ඔවුන් හා සිටීම වැදගත් වෙන්නෙ.

ඉතින් මම මගේ පෙම්බරයට පෙම් කරන්නේ ඇයි කියල මහ ලොකු  දාර්ශනික උත්තර බඳින්න නම් යන්නෙ නෑ…

ඒත් පෙම්බරයට කියන්න දෙයක් නම් තියෙනව

ඒක සියලුදෙනාටම ඇහෙන්න කියන්නයි මම කැමති..

මාලිගා

තනන්නත් බැරි වේවි….!

රන් රුවන්

ලබන්නත් බැරි වේවි….!

අඳුරු වළා

නැග ඒවි…!

අනෝරා වැසි වැටේවි…!

නියං සා ගිනි මැද

මල් පිපෙන දිනක්

හිතන්නත් බැරි වේවි….!

ඒත්

මේ ජීවිතේ

අඳුරට

ඔබ මට ආලෝකයක්….!

මට ඒ ඇති….!

 

 

 

 

 

 

 

 

 

 

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in පෙම්බරයයි මමයි. Bookmark the permalink.

23 Responses to ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි…..!

  1. කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
    වටී වටී ඔබ මටමැ වටී
    බෝධියකින් වට බෝ කොළයක් සේ
    අගේ අගේ ඔබ මටමැ අගේ

    මේ කුරුළු ජෝඩුවට මම හදවතින්ම සුභ පතනවා. හැමදාම සතුටින්, ගැඹුරු අවබෝධයෙන්, නොසැලෙන ආදරයෙන් ඉන්න ලැබෙන්න ඕනේ!

  2. රොයිලි ප්‍රනාන්දු පවසයි:

    “අනිත් කාරණේ කොච්චර ලැදිව ආදරේ පෙන්නාගෙන හිටියත් පිරිමි හා ගැහැණුන්ගෙ සැබෑ ස්වරූපය එළියට එන්නෙ ඔය වගේ හදිසි සිදුවීම්වලදි…. ”

    +1

  3. ගෝල්ඩ් fish පවසයි:

    නියමයි අක්කා… වෙන මුකුත් කියන්නේ නෑ, ඔය දෙන්නට ගොඩක් ආදරෙන් ගොඩක් සතුටෙන් හැමදාම ඉන්න ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  4. තාරා පවසයි:

    මගේ ඇස් වලටත් කඳුලු අවා… මමත් ඉය දෙන්නට ගොඩක් සුභ පතනවා…

  5. සමනලී පවසයි:

    හැමදාමත් සතුටින් ලගින් ඉන්න ලැබෙන්න කියලා සමනලි අයිතිකාරයා එක්කම ප්‍රාර්තනා කරනවා…. මේ කතාව සමනලීට බොහොම හොදින් හිතට දැනුනා, ඒ සමනලීගේ අයිතිකාරයා හැමවෙලේම කියන මේ කතාව නිසා: ” ඒ මොනවත් මට වැඩක් නෑ ඔයාව මට නැතිනම්”

  6. Ravi පවසයි:

    අවංකවම නෙතට කඳුලක් පපුවට බර ගතියක් ගෙනාපු කතාවක් නංගි,හිත ඇතුලට එබිල බැලුව වගෙ ලස්සනටම ලියල තියෙනවා,වෙන කියන්ඩ දෙයක් නැහැ,

    ආදරය ගැන මම කලකට ඉස්සර කියවපු තවම මගෙ මතකෙ රැඳිල තියන කතාවක් මේක, ඉංග්‍රීසියෙන්ම ලියන්නම් මොකද සිංහලට පරිවර්ථනය කලොත් ඒ කතාවෙ ගතිය නැතිවෙයි කියල මට හිතෙනවා,

    Once I worked as a nurse attached to a provincial hospital specializing in caring for patients suffering from memory loss,

    Every morning i saw an old guy about 70 years of age, visiting his wife who has suffered total memory loss; he satyed with her the whole day, feeding her, combing her hair, reading to her, virtually doing everything possible to make her life easier even though she never recognized him; he was no different to her from any other hospital employee,

    One day when he was leaving in the evening after saying good bye to his wife I couldn’t help asking “Why do you keep doing this every day? She doesn’t even know you, does she?”

    He looked at my face for a long time as though he didn’t understand my question and then smiling slowly answered as if teaching something to a small child,

    “But, I know who she is, doesn’t I? She may have lost her memory & doesn’t know me but I haven’t & I know her, when I am with her I relive every moment I have spent with her”

    That is the most poignant definition of love I have ever heard of and it still brings tears to my eyes every time I remember it,

  7. රහස පවසයි:

    රවි අයියගේ කතාවයි ..නෝට් බුක් චිත්‍රපටියයි ගොඩක් සමානයි තමයි… ඇත්තටම එහෙම ආදරයක් ලෝකෙ තියනව ද?

  8. TG පවසයි:

    කැමරානම් ඉතින් බොහොම පරිස්සමින් තමයි ජනුවේ පාවිච්චි කොරන්න ඕනේ . නමුත් ඉතින් බිම වැටිලා ලෙන්ස් ඇද වුනාට බයවෙන්න කාරි නෑ ඕවා රෙපෙයාර් කරන තැන් එමට තියෙනවා

    කොහොම උනත් බොහොම හොඳ අවංක සටහනක් . ලඟින්ම ආදරේ කලත් ඔහොම සිත් රිදීම් වගේ දේවල් ඇති වෙනකොට ඒව තේරුම් අරන ජීවත් වෙනහැටි ගැහ හොඳ පාඩමක්

    මාත් කැමරාව නැතුව එලියට බහින්නේ නෑ . හි හී

    • ඒක හරි අක්කෙ… මං නං දැං කැමරාව අල්ලන්නෙ පෙම්බරය කියල දීපු විදියටමයි.. ඒ වුණාට මංම උපන්දිනේට දීපු කැමරාව… ඒකට වෙනම මෙමරි කාඩ් එකකුත් අරන් ආව පෙම්බරය.. කැමරාව වැටිල ලෙන්ස් එක ඇද වෙලා ඇතුලට යන්නෙ නැතුව තියෙනකොට මගෙ පපුව හෝස් ගාල ගියා.. ඒකට වියදම ගැන හිතල නෙවෙයි… මට දැණුනෙ අපේ ලඟම යාලුවෙක් අනතුරකට ලක්වෙලා ඉස්පිරිතාලෙ ඉන්නකොට බලන්ඩ ගියාම ඇතිවෙන හැඟීම වගෙ එකක්.. දුක හිතුණෙ අපි දෙන්නම ගැන…. කැමරාව නැතුව එලියට බැස්සම වැඩක් නෑනෙ ගමනෙං…. හි හී

  9. Kalith පවසයි:

    // ජීවිතේ මොන තරම් බාධක, දුෂ්කරතා දුක් කම්කටොලුවලින් පීඩා විඳින්නට වුණත්.. ගැහැණියක හා පිරිමියෙකු අතර සැබෑ සමිබන්ධතාවක් පවතින්නේ ඒ දෙදෙනා අතරෙ මොන දේ වුණත් තමන් එක්ව ජීවත් විය යුතුයි යන හැඟීම තිබුණොත් තමයි…. //

    වාසනාවන්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )