කපුටියකගෙ කේජු මතක…!

“අපෝ මොනවද මේ මහ රෑ කන කෑම?”

සැප පුටුවෙ දපල ඉඳගෙන චිත්‍රපටිය බලනවයි කියල නිදි කිරන, ඒ නින්දෙං ඇහැරිලා කිසි නිදිමතක් නෑ වගේ රෑ එකොළහට දොළහට කුස්සියෙ චීස් කපන මාව දකින පෙම්බරයා අහනවා.
“කේජු…. රසම රසයි කේජූ……!”  ඉස්කෝලෙ කාලෙ නාට්‍යයක මීයෙක්ට රඟපාපු දෙබසක මතකෙන් මං නාට්‍යමය ස්වරයෙන් කියනව.


“කොහොම කනවද මන්ද ඔය ජරාව” උන්දැ නහය අකුලනව.
ඔය වැඩිමනත් පිට වෙන්නෙ කේජු අරහං උන්දැට, අම්මත් එක්ක හරි හරියට ඕනැම වෙලාවක කේජු කන්ඩ සැදී පැහැදී ඉන්න කොලුවෙක් දැං ඉන්න එකේ ආරෝව බව දන්න මම කවියක් වෙනස් කරල අරන් ජවනිකාව තව නාට්‍යමය කරනව. 

“කේජුවල ගුණයත්
එහි ඇති අමා රසයත්
කන අය මිස වෙනත්
නොකන අනුවණ දනෝ නොදනිත්”

“අනේ මහලොකු ගුණේ, නහය ලඟට ගන්ඩ බෑ”

“ආ එතකොට අර දවසක්ද වැරදිලා මගෙ චීස් දාපු බර්ගර් එක කෑවෙ” ඇයි එතකොට….
“අනේ මටත් ඔහොමම තේ එකක් හදන්ඩකො” මං උන්දැ චීස් කාපු දවස් ලැයිස්තුව ලකුණුකරන්ඩ ගන්නකොටම උන්දැ මැද්දෙං පැනල මාතෘකාවෙන් පලා ගොස් පහු බහිනව.

මගෙ ඔය මහ රෑ චීස් කෑමට හේතුව තනිකරම පෙරේතකම. දවල් කාලෙ ඕනැම වෙලාවක චීස් කුට්ටිය එළියට ගත්තොත්, ඒකෙං කපන කපන කෑල්ල ඩැහැගන්ඩ ලෑස්ති වෙලා ඉන්න කොලුව හන්ද කොයි වෙලේකවත් හිතේ හැටියට චීස් කාගන්ඩ වෙන්නෙ නැති එකෙං කවදාවත් අඩු වෙන්නැති බඩජහරිකම.
ඒත් ඉතිං හිතල බැලුවම ඕක ඔය අදක ඊයෙක ඉඳල එන පෙරේතකමකුත් නෙවෙයි.

දැං වගේ පුංචි කාලෙ අපිට පොඩි බඩගින්නටත් චීස් කන්ඩ පුලුවන්කමක් අපිට තිබුණෙ නෑ. අපි ජිවත් වෙච්ච පරිසරයෙ ගෙවල්වල චීස් බටර් නිතර ගැවසුණේ නෑනෙ. සුපිරි වෙළඳසැල් නොතිබුණු ඒ කාලෙ අපි හාල් සිල්ලර ටික ගන්න ගමේ කඩේ මොන චීස් ද? අනික නිතර දෙවේලෙ සුකුරුත්තං කෑම අපිට අරන් දෙන්ඩ අම්මටවත් තාත්තටවත් සල්ලි තිබුණෙත් නෑ.
අපිට චීස් හම්බුණේ එක්කො අපි හොඳටම  අසනීපවෙලා උන්න කාලෙක තාත්ත කොලඹිං ගෙනත්. නැත්නම් කවුරු හරි කලාතුරකිං අපේ ගෙදරට ගේන තෑගි පාර්සලේක තිබුණොත් තමයි ඉතිං. ක්‍රාෆ්ට් කියල ගහල, නිල් පාර දවටනයකින් සරසපු ඒ හුරුබුහුටි චීස් ටින් එක මට අදත් මතකයි. ඔක්කොටම වඩා එහෙම තෑගි පාර්සලේක තිබිල ඕක හම්බුණාම හිතට එන සතුට….
මට මගේ ජීවිතේ කිසිම දවසක අමතක නොවන මතක අතරෙ ඒ සතුටත් තියෙනව.

ඒක ඉතිං හම්බෙච්ච පලියට එහෙම ආවට ගියාට කන්නෙ නෑ. ඕක නීල මාණික්‍යයක් වාගෙ කොහෙ හරි  පරිස්සමට ගබඩා කරනව.
ඒ මාසෙ නාරම්මල ආර් එම් එස් කඩෙං බඩු ගන්නකොට අම්ම රතු පාට කොටු හැඩේ මැලිබන් ක්‍රීම් ක්‍රැකර් පැකට් එකකුත් ගන්නව.
තාත්තත් ගෙදර ඉන්න සති අන්තෙ හවසක  අම්ම චීස් ටින් එක තාත්ත අත තියනව. මල්ලියි මමයි බලු නගුට වාගෙ තාත්‍තා පස්සෙන් වැටෙනව. තාත්ත ඒ ටින් එක අරන් ගිහින් ගෙයි එළිපත්තෙ තියෙන ලොකු මිරිස් ගල ළඟ ඇණ තියාගෙන ඒකෙ ටින් එකේ දාර මිරිස් ගලේ අතුල්ලන්න ගන්නව. ඒ කාලෙ ගෙවල්වල ටින් කටර් එකක් කියන්නෙ අත්‍යවශ්‍ය උපකරණයක් නෙවෙයි. ගම්වල මිනිස්සු සැමන් ටින් කැඩුවෙත් එහෙම ගලේ ගාල. සැමන් ටින් කඩන හද්ද පරණ ටින් කටර් එකක් අපේ ගෙදර තිබුණට මොකද ඒක මේ චීස් ටින් එක පැත්ත පලාතට වද්ද ගන්නෙ නෑ.
මොකද එහෙම ගලේ ගෑවම, ඒ දාර ගෙවිල ටින් එකේ දාර සමතල වෙලා අයින්වලින් පියන ඉබේම ගැලවිලා, හරි ලස්සනට චීස් කුට්ටිය මතු වෙන හන්ද.

“අනේ තාත්තෙ අපිටත් දෙන්නකො ඒක අතුල්ලන්න…” ඒක හරි විනෝද වැඩක් කියල හිතන මල්ලියි මායි ඔහොම ඉල්ලල ඉවරයක් නෑ ඉතිං එදාට.
“බෑනෙ ලොකු බල්ලො, මේක පරිස්සමෙන් කරන්ඩෝනැ වැඩක් නෙ. කෝ ගිහිං අම්මගෙං පිහින රෙදි කෑල්ලක් ඉල්ලං එන්ඩ” තාත්ත මාව වැඩකට යවන්ඩ හදනව.
“හැබැයි ඔන්න තාත්තෙ මං නැති අතරෙ මල්ලිට ගලේ ගාන්ඩ එහෙම දෙන්ඩ බෑ හරිද?” මං එතනිං නැගිටින්නෙ  තාත්තට අණ පණත් පනවල.
ඒක සෑහෙන වෙලා යන වැඩක් ඉතිං. සැරෙන් සැරේ අතට උනන දාඩිය පිහින්ඩ ඕනෙ. ඒ විතරක් යැ. ලෝහ කුඩු චීස් එකට වැටෙනවට ටින් එකේ දාරත් පිහින්ඩෝනෙ. ඔන්න අන්තිමට ගලේ ගාල ගාල පියන ගැලවෙන්න ඔන්න මෙන්න තියන ටින් එකත් අරං අපි ගෙට යනව. එතකොට අම්ම අපිට තේ හදල, ක්‍රීම් ක්‍රැකර් පැකට් එකත් කඩල ලෑස්ති කරල තියල.
තාත්තා හරි සීරුවට හීනි පිහියකින් ලස්සනට කපල චූටි චීස් ත්‍රිකෝණ එළියට ගන්න හැටි මට මේ ලියන වෙලාවෙත් මැවිල පේනව.
ඊට අවුරුදු දහයකට පහලොවකට පස්සෙ ඉගෙන ගන්ඩ කොළඹට එන කාලෙ වෙනකොට  බහු ජාතික පීස කඩවල දැවැන්ත දැන්වීම් පුවරු චීස් දාපු පීස කියන්නෙ අපිට බොහොම සාමාන්‍ය ආහාරයක් කියල කියන්න පටන් අරන් තිබුණ. ඉතිං ඔහොම කාලෙ ගෙවිල ගිහින් ඉඳල හිටල ගිහිං පිලාවුස් කඩෙං චීස් කොත්තුවක් කන්ඩ, උදේට උයාගන්ඩ බැරිවුන දාට කන්තෝරුව ළඟ කෑම කඩෙං චීස් සැන්විච් අරං කන්ඩ එහෙමත් මං පස්සෙ කාලෙ පුරුදු වුණානෙ. වෙන එකක් තියා චීස් විරෝධියෙක් එක්ක ජීවිතේ බෙදාගන්ඩ වුණාට පස්සෙත් මං මාසෙට උයන පිහන බඩු ගන්නකොට ෆුඩ් සිටියෙන් ක්‍රාෆ්ට් චීස් පෙට්ටියක් අරන් ගිහින් තනියෙන් කන්නත් පුරුදු වෙලා හිටිය.
හැබැයි ඔය කොච්චර කන්ඩ ලැබුණත් මගේ කේජු ලෝලීත්වයේ අඩුවක් නං වුණේ නෑ එන්ඩ එන්ඩම වැඩි වුණා මිසක.

චීස් කියන්නෙ ක්‍රාෆ්ට් චෙඩර් චීස් විතරයි කියල හිතං හිටිය මගේ කේජු ඥානය සෑහෙන්න  වර්ධනය වුණේ ඊටත් ටික කාලෙකට පස්සෙ මං වැඩ කරපු කන්තෝරුවෙ ලොක්ක නිතර දෙවේලෙ දාපු කේජු සහ වයින් සාදවලදි.
සමකයේ ඉඳල දක්ෂිණ අර්ධගෝලයේ දිවයිනකට සංක්‍රමණය වෙලා සුපිරි වෙළෙඳසැල්වල තියෙන දිගම දිග චීස් පුරෝපු රාක්කෙ මං අනිවාර්යයෙන්ම නතර වෙන තැනක් වුණේ නිරායාසයෙන්ම. හරියට නිකං මම ලොකු මහත් වුණේ චීස් කාල වගේ! මටම හිතෙනව.
ඒක හරියට චීස්වල චුම්බක බලයක් තියෙන නිසා මාව ඒ රාක්කෙ දිහාට ආකර්ෂණය වෙනව වගේ එකක්.
එතන තියෙන, පලතුරු දාපු, කජු දාපු, පුස්කාපු නානාප්‍රකාර චීස්වර්ග අතරින් මගෙ රහට ගැලපෙන, කන්ඩ පුලුහං ඒව තෝරං එන්ඩ පුලුවන් වුනෙත් ඉතිං අර ලොක්කගෙ කේජු සහ වයින් සාදවලින් ලද දැනුමෙන් තමා.
ඒ විතරක් ද? මෙහෙ කන්තෝරුවෙ කේජු පළඟාන්වලින් අරන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔය එක එක කජුවර්ග දාපු කේජු කන්ඩ ගිහිං මට දරුණු ආසාත්මිකතාත් ඇති වෙලා තියෙනව. ඒ මොනව වෙලාවත් අඩු නොවුන මගෙ කේජු පෙරේතකමට අලගු තියන්ඩ “අම්මේ…. මට චීස් කෑල්ලක් දෙන්ඩ” කියාගත්තු ගමන් ඉන්න කොලුවෙකුත් ඉපදිච්ච එක කොච්චර හොඳද හැබෑට… ඔය රෑ දෙගොඩහරියෙ කේජු කන මට හිතෙනව.

බලන බලන අත කේජු තියෙන රටක ඉඳන්, කේජු සහ විස්කෝතු තියල හැඩකරල පළඟාන් හදන, පීස හදන, කේජු දාල රටේ නැති කෑම හදන හිතිච්ච හිතිච්ච වෙලාවට කපං කන මං සමහර වෙලාවට හිතෙන් අම්ම ඉස්සර චීස් ටින් එක අරන් තියන කබඩ් එක ලඟට යනව.
ඒ විතරක් ද? අවුරුදු හතලිහක්ම ගෙවිලත්, ඉස්සර සැරෙන් සැරේ කබඩ් එක ඇරල අම්ම ඒකෙ උඩම තට්ටුවෙන් අරන් තිබ්බ චීස් ටින් එක දිහා බලන්  හීල්ලුව පොඩි කෙල්ල එතන තාමත් බලන් ඉන්නවා මට දැනෙනවා. තාත්තා චීස් කපනකල් නොයිවසිල්ලෙන් හිටිය ඇගේ හිත ගැහුණ හැටි අදත් මට දැනෙනව.

හරි අපූරුයි නේද?

මං අහන්නෙ මේ හීනිම හීනි කේජු තීරුවකටත් හරිම අපූරුවට මතක නහරවලට පණ දෙන්න පුලුවන් කියන එක??

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි, මතක. Bookmark the permalink.

10 Responses to කපුටියකගෙ කේජු මතක…!

  1. DGM Bassa says:

    +++++++++++👌😊🙏

    පලමුව වැට, දෙවනුව කියවීම.😊

  2. Buratino says:

    රතු වයින් සහ චීස් කියන්නෙ මය‌ෙත් බොහොම ආදරණීය කම්බිනේෂන් එකක්. තව මම ආසයි ඔලිව් ඔයිල්, ෆෙටා චීස් හොඳ පදමට දාලා හදන ග්‍රීක් සැලඩ්වලටත්. හැබැයි ඔය ඔක්කෝටම වඩා තාමත් ආසයි මැලිබන් ක්‍රීම් ක්‍රැකර් මැද්දට චෙඩර් පෙත්තක් තියලා කන්න, බොලා කියනව වගේ. ඒ රස දෙක හොඳට මැච් වෙන රස දෙකක්.

    යජියට මොකෑ බොලං චීස් කන්න බැරි? ඇලර්ජි ද? නැහ්නං අපුල ද? මයෙ යාළුවෙක් ඉන්නවා ඩේරි ප්‍රඩක්ට්ස් කිසිම දෙයක් කට අහලකට ගන්න බැරි ජාතියෙ. අපුලයි ලු. මං කියනවා ඉතින්, අපුල නෙවෙයි බොලැයි පින නැති කම කියලා.

    • උන්දැට චීස් කියල දැක්කොත් හරි කිව්වොත් හරි තමා අවුල, දකින්නෙ නැතුව ඕනෙ තරං බඩට යනෝ. 😂
      රතු වයින් චීස් සහ කොළ මිදි 😍😍😍
      මැලිබන් ක්‍රීම් ක්‍රැකර් එක්ක චෙඩර්වලිං එන රහ නං මෙහෙ කිසිම ක්‍රැකර් එකකිං එන්නෙ නෑ. 🤗🤗

  3. තරු says:

    මමත් චීස් පෙරේතියක් තමයි… රට ඉඳන් එන ඕන යාළුවෙක් ඇහුවොත් ‘‘මොනවද ඕන?“
    මං කියන්නෙ ‘‘චීස් කුට්ටියක්…“ කියල තමයි.
    දැන් ඉතින් ඇවිලුණා ආපහු කේජු කෑදරකම. හවහට මැලිබන් ක්‍රීම් ක්‍රැකර් එකයි, චීස් කැබලිත්තකුයි ගන්න ඕන කියල හිතුණා… තාමත් ලංකාවෙ අපට නම් හිතේ හැටියට කේජු කන්න බෑ… ඉස්සරහට බත් කන්නවත් ලැබේද දන්නෙ නෑ ඕං…

    • අනේ කේජු කුට්ටියක් එවන්නවත් හැටියක් නෑනෙ මේ වසංගතේ හන්ද. මෙහෙ ක්‍රාෆ්ට් නෑ. චීස් ස්ප්‍රෙඩ් එකක් විතරයි තියෙන්නෙ. ඉතිං මට මෙහෙ චීස් කන්න වෙනමම පුරුදු වෙන්න වුණා. දැන් නම් ඉතිං දවසට චීස් කෑල්ලක් නැතුවම නිකං නින්ද යන්නෙත් නෑ වගෙ. කිරි තියෙන රටක් වුණාට මෙහෙත් චීස් ලාබයිම කියන්න බෑ ඉතින්. මට මැලිබන් ක්‍රිම් ක්‍රැකර් දැන් ඉස්සර රහ නෑ තරූ දැන්. මොකද්ද පුලුන් ගතියක් තියෙනව.
      කාලෙකින් බ්ලොග් එකට ඇවිත් කමෙන්ට් කරද්දි හරි ආසයි. 🤗🤗

      • Tharu says:

        කිසිම දේක ඉස්සර රහ දැන් දැනෙන්නෙ නෑ අනේ… ඒ දේවල් වෙනස් වෙලාද, අපි වෙනස් වෙලාද කියල මමත් වෙලාවකට හිතනවා…

        මම ඇත්තටම එදා යන ගමන් ක්‍රීම් ක්‍රැකරුයි, චීසුයි ගෙනිහින් කෑවා කියන්නකො….

      • අනේ, ඒක ඇත්ත. අපිත් වෙනස් වෙලා ඇති. මමත් උන්න ගමන් ඔය පරණ රහවල් මතක් වෙලා දේවල් ගෙනත් කාල බලාපොරොත්තු සුන් වෙලා ඉන්නව තරු අක්කා 🤣

  4. DGM Bassa says:

    ජනුවෝ, මේං මේකා උඹව “පුරා වස්තු . . . . (ඇන්ටික් බ්ලොග්)” කැටගරියට දාලා. 😂🤣
    https://sandhakadapahana.blogspot.com

    • හැබෑම නේන්නං. හැබැයි ඉතිං පුරාවස්තු ගොඩේ හරි ඉන්නේකනෙව වටින්නෙ. මොකෝ ඔය සුද්දො වුනත් ගිහිං බලන්නෙ ලංකාවෙ අතීත සී විබූතිය මිසක වෙන අහවල් දෙයක්යැ බස්සයියෙ. 😁

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s