
“මං හිතන්නෙ ඩොක්ට චන්ද්‍රසේකරන් තමයි අද රූම් වන් එකේ ඉන්නෙ. ඔයාට දැනගන්න ඕනෙ දෙයක් තියෙනව නම් එයා එක්ක කතා කරන්න හොඳ ද? ”
රෝහලේ පවුල් කටයුතු භාර හෙදිය ඇඩෙල් මාව ළදරු දැඩි සත්කාර ඒකකයෙ කාමරය ළඟට ඇරලන්න යන ගමන් කිව්ව.
“චන්ද්‍රසේකරන්!”
ටොම්, මැට්, ජෙස්, ක්‍රිස්, මැක්, ඇනා, රේචල්, ජෙෆ් වගෙ නම් ඇහිල, උදේ ඉඳන් හවස් වෙනකල් සුදු මූනු දැකල, ඉංග්‍රීසියෙන් කතා කරල ඒ හැමෝම ආව ගමන් අහන “හව් ආයූ ෆීලිං ටුඩේ?” කියන ප්‍රශ්නෙට උත්තර දීලම හෙම්බත් වෙලා හිටිය මගෙ හිත ඇතුළෙ මොකද්දෝ එළියක් දැල්වුණා.. නුහුරු රටක, හුරු පුරුදු නමක් ඇහෙන එක පවා ඒ තරම් සතුටක් ගේනවයි කියල මං අත්වින්දෙ එදා. ඒ වෙලාව “ටේක් වන් ඩේ ඇට් අ ටයිම් මයි ලව්!” කියන සුද්දො සුද්දියන්ට වඩා මගෙ හිතේ තියෙන දරුණු දකුණු ආසියාතික දුක කිව්වම ඒක හදවතින්ම අහන්න නම් ලංකාවෙන්ම ආව තවත් හිතක් ඕනෙ කියල තදින් දැනෙන්න අරන් තිබුණ වෙලාවක්. එහෙව් එකේ දකුණු ආසියාවෙන් ආව ආත්මයක් වුණත් මක්වෙනවද කියල ඒ මොහොතෙ මට හිතුණ.
“හායි! ජනානි, මම ඩේව් චන්ද්‍රසේකරන්! මමයි කාර්ලයි තමයි අද ඔයාගෙ පුතා බලාගන්නෙ”
කාමරේට ඇතුල් වුණ මට එහෙම කිව්වෙ ජපන් මූණක්!
“එතකොට ඩේව් චන්ද්‍රසේකරන් කියන්නෙ ජපනෙක් ද??”
කලු දුඹුරු හමක් තියෙන, ලංකාවෙ නොවුනත් අඩුම තරමෙ ලංකාව අයිති කලාපයෙන් ආව, ටිකක් වයසක පහේ දොස්තර කෙනෙක් දකින්ඩ බලාපොරොත්තු වුණ මට ඩේව් චන්ද්‍රසේකරන් නමින් ජපනෙක්ව, ඊටත් පොඩි ජපං කොලුවෙක්ව දැකපු එක වෙන වෙලාවක නම් මගෙ හිතට මහ කුතුහලයක් වේවි. මගෙ මුඛරි කට ඩේව් පැත්තක තියල චන්ද්‍රසේකරන් කෑල්ලක් ජපනෙක්ට ආව කතාව දැනගන්න ඕනෙයි කියාවි. ඒත් ඒ එහෙම දවසක් නෙවෙයි. මහා කෝඩ දවසක්! මගෙ හිත හඬා වැළපෙනව එළියට වුණත් ඇහෙන්න පුලුවන් දවසක්!
ඒක දරුණු ශාරීරික, මානසික වේදනා ගංවතුරක් දරාගෙන ඉන්න හිතේ ඉවුරු ඕනැම මොහොතක කඩා වැටෙන්න ඉඩ තියෙන බව දැනුන මොහොතක්!
“හෙලෝ ඩේව් සහ කාර්ලා, බොහොම ස්තුතියි මගෙ පුතාව හොඳින් බලාගන්නවට”
මං ජපන් කොලුවටයි, පිලිපීන හෙදිය කාර්ලටයි කිව්ව.
වෙනදට නන්නාඳුනන කෙනෙක්ටත් උණුසුම්, රැස් විහිදෙන හිතවත්කමක් පා කරන මගෙ හඬ එදා හරිම යාන්ත්‍රිකයි කියල මටම දැණුන.
“සමාවෙන්න මට ටිකක් වෙහෙසයි.” කියල ඒ වාක්‍යය අගට අමුණන්න හිතුණෙ ඒ නිසා.
පොඩ්ඩක්වත් නොවෙනස් සුහද හිනාවක් පාපු ඒ දෙන්න මට අසුන් පනවල තමන්ගෙ වැඩවලට ගියා. දවස් ගාණක් හෙම්බත් වෙලා, මානසික කම්පනයක උපරිම සීමාව අත්වින්ද ගැහැනියකගෙන් ඊට වඩා සුහදකමක් බලාපොරොත්තු නොවෙන්න එයාල අද්දැකීමෙන්ම දන්නව.
“ජනානි, ඇයි ඔයා වෝඩ් එකට ගිහින් විවේක ගන්නෙ නැත්තෙ?”
ඩේව් කිව්වෙ පැය ගණනක් ඉන්කියුබේටර් එක ළඟ පුටුවෙ වාඩි වෙලා කිසි කතාබහක් නැතුව ඔහේ ඉන්න මං දිහා බලං ඉන්න බැරි තැන වෙන්න ඕනෙ.
“මට තනියෙන් ඉන්න පුලුවන්, ඔයාල ගෙදර ගිහින් ටිකක් නිදාගෙන ඉඳල එන්න” කියල පෙම්බරයවත්, නංගිවත් පිටත් කරල, ටිකක් වෙලා තනියෙන් ඉන්න ලැබුණ එක කොච්චර දෙයක්ද කියල හිතුවට මොකද මොකද ඊලඟ මොහොතෙ ඒක දරුණු වේදනාවක් වුණා.
මං යන්තං හිනා වුනා.. මට එතකන් කල්පනා වුනේවත් නෑ එතන ඩේව් හිටිය බවක්.
“සමාවෙන්න මට, කමක් නැත්නම් මම අද මෙතන තව ටිකක් වෙලා ඉන්නම්. මට කාමරේ තනියෙන් ඉන්න බෑ වගේ.”
“අපොයි ඔයාට ඕනෙ තරම් වෙලා ඉන්න පුලුවන් මෙතන. මට හිතුණෙ ඔයාට රෙස්ට් කරන්න ඕනෙ ඇති කියලයි. ඔයාට මූඩ් එකක් තියෙනව නම් අපි ටිකක් කතා කරමු. කතා කරමු කිව්වට හැබැයි මේ රූම්ස් දෙකේ ඉන්කියුබේටර් එලාම්ස් වැදුනොත් මට යන්න වෙනව. ඒ ගැන සමාවෙන්න.”
එච්චර ආචාරශීලී වෛද්‍යවරු මං ලංකාවෙදි හීනෙන්වත් දැකල තිබ්බෙ නෑ. එහෙම දකින්න මං කවදාවත් රෝහල්ගත වෙලා ඉඳලත් නෑනෙ. හිතාගන්නවත් ඉස්පාසුවක් දෙන්නෙ නැතිව ජීවිතේ පළවෙනි වතාවට සිද්දවේගෙන ගිය සිදුවීම් ගණනාවක් මතක් වෙලා මගෙ හිත ආයෙත් මාව පුටුව උඩ තියල අවකාශයේ සැරිසරන්න ගත්ත.
“මම නෝට් කළා දෙයක්! ඔයාලගෙ නම් හරිම දිගයි නේද?”
ඩේව් ගෙ ප්‍රශ්නය මගෙ කණේ ටික වෙලාවක් දෝංකාර දුන්න.
මං ආපහු අවකාශයෙන් හිත මං ළඟට ඇදගත්ත.
“ඔවු ඒක ශ්‍රී ලංකාවෙන් ආව ගොඩක් අයට පොදු යි. අපිට නම් ගො… “
“හානේ….. ඔයා ලංකාවෙන්ද? මගෙ තාත්තත් ලංකාවෙ. මගෙ අම්ම තමයි ජපානෙ.”
මට මගෙ වාක්‍යය සම්පූර්ණ කරන්න වුණේ වත් නෑ ඩේව් පැන්න ගමන් කිව්ව.
ඩේව්ගෙ හිනාව එයා හරියට එයාගෙ පිය පාර්ශ්වයෙ නෑදෑයෙක් දැක්ක වගේ දිලිසුණා.
“සොරි…… ඔයා කියන්න. ලංකාවෙන් ආව කෙනෙක් හම්බුනාම මම ටිකක් එක්සයිටඩ්”
මගෙ කතාවට බාධා කරන්න වුන එක ගැන ඩේව් හිනාවෙමින් කිව්ව.
මටත් හිනා ගියා. ඒ හිනාව මගෙ හිතේ අඳුරට මැටි පහනක ආලෝකය ගෙනාව.
“අපිට ගිවන් නේම්ස් ගොඩක් තියෙනව ඩේව්. ඒ විතරක් නෙවෙයි තව පරම්පරාවෙන් එන මහ දිග සර්නේම් එකකුත් ඒකට එකතු වෙනව. ඉතිං අන්‍තිමට අපේ නම පොඩි පොයම් එකක් වගෙ වෙනව.”
මම කිව්ව. දැන්වත් ඉවර වෙන්නෙ නැද්ද, කියල හිතෙන, අවසානය මොනවගේද කියල පේන්නෙ නැති පොතක් කියවනව වගේ දැනෙන හිතක් තිබුණට මොකද, මට ඒ වෙලාවෙ ඩේව් දිගු කරන සුහද දෑත ප්‍රතික්ෂේප කරන්න ඉඩ දුන්නෙ නැත්තෙ අර හිනාවෙන් නැගුණ ආලෝකය.
“ඔයාට ඩේව් කියල නමක් ලැබුණ හැටි මට හිතාගන්න පුලුවන්. ඒත් ඔයාට චන්ද්‍රසේකරන් කෑල්ල ලැබුණ විදිය ලස්සන කතාවක් වගේ.”
මං කිව්ව.
“ඔවු මමත් මගෙ සර් නේම් එකට කැමතියි. ඒත් අනිත් අයට ඒක හරි අමුතුයි. සමහරු මගෙ නම අහල මං දිහා බලන්නෙ ඒක නිකං නොගැලපීමෙ උපත වගෙ හිතල. මං ගොඩක් ජැපනීස් පාටයි නෙ. අඩු ගානෙ මට ජපන් මුල් නමක් තිබුණ නම් මං වඩා කැමතියි.”
ඇස් දෙක තවත් පොඩි කරල හිනා වෙලා ඩේවිඩ් චන්ද්‍රසේකරන් හෙවත් ඩේව් කිව්වම තමයි මම හරියට එයාගෙ මූණ දිහා බැලුවෙ.
අම්මගෙ මුහුණුවර වැඩියෙන් ඇවිල්ල ජපන් පාට වැඩි වුණාට, ඒ මූනෙ තිබුණ ශ්‍රීලාංකික හැඩ එතකොට මට පේන්න ගත්ත. ඝන ඇහි බැමි, තොල්වල තියුණු උඩු රේඛා, සෘජු නහය ඔහු ජපනෙක්ම නොවන බව කියන්නම සූදානම් වෙලා හිටිය.
“අපොයි නෑ, හොඳට බලන කෙනෙක්ට ඔයාගෙ මූණෙ ශ්‍රී ලාංකික හැඩත් ඕනෙ තරම් පේනවනෙ”
මම කිව්වෙ ඇත්තටම මට එහෙම පේන්න අරන් තිබුණ නිසා.
එයා හිනා වුණේ ඒක ගැන එයාට විස්වාස නෑ වගේ.
“මට නම් හිතෙන්නෙ නමක් ඇහිල අපේ හිතේ ඇඳෙන කෙනාට හාත්පසින්ම වෙනස් රූපකායක් දකින එක, ඒකෙන් කෙනෙක්ව විස්මයට පත් කරන්න පුලුවන් වෙන එක හරි අපූරුයි. ඔයාගෙයි ඔයාගෙ නමෙයි ඒ ගුණය තියෙනව. අනිත් අතට ලෝකෙම මානව වර්ගයා එහෙම මිශ්‍ර වෙන්න ඕනෙ, නමකින්, වාසගමකින්, පාටකින්, රූපකායෙ විශේෂතාවලින් මිනිස්සුන්ගෙ අනන්‍යතාව තීරණය කරපු කාලෙ දැන් ඉවරෙටම ඉවර වෙන්න ඕනෙ….”
නොදැනුවත්වම මම මගේ සුපුරුදු මුඛරිකමට වැටිල හිටිය.
ඩේව් මගෙ දේශනාව කටත් ඇරන් අහන් හිටිය. ඊට පස්සෙ කල්පනාවට වැටුණ.
“බිප් පීප් පිප් පිප් පිප්”
යාබද කාමරේ ඉන්කියුබේටරවාසී පුංචි ජීවියා තමන් හුස්ම ගන්න හැටි වෙනස් වෙන බව දැනුම් දුන්නා.
“ඔයා ඒක විග්‍රහ කරපු විදියට මම හරි කැමතියි ජනනි. මං දුවනව. පසුව හමු වෙමු.”
ඩේව් ගාල කඩාගෙන ඒ කාමරේට දිව්ව.
ළදරු දැඩි සත්කාර ඒකක එහෙමයි. එතන නිශ්චිත යමකට තියෙන්නෙ අවිනිශ්චිතතාව විතරයි.
“ඔයාල බබාට නමක් තිබ්බ ද?”
ඊලඟ දවසෙ පුතාව බලන්න හිටිය හෙදියත් ඇහුව. ඉපදුණ දවසෙ ඉඳලම දකින දකින හෙදිය මගෙන් නම අහන එක, නූපන් දරුවන්ට නම් ලෑස්තිකරන සිරිතක් නැති ආසියාතික රටකින් ආව මට තරමක වදයක් වුණා.
“තවම නෑ…”
මං ආයාසයෙන් හිනාවක් ඇඳගත්ත.
“නමක් දැම්මම කියන්නකො, මට එයාගෙ ඉන්කියුබේටර් එකට ලස්සන නේම් ටැග් එකක් හදන්න ඕනෙ ඒකයි..”
එයා තව දුරටත් කිව්ව.
ළදරු දැඩි සත්කාර ඒකකයෙ හෙදියො එහෙමයි. ඒ පුංචි ජීවීන්ගෙ කටයුතු බොහොම ආදරෙන් කරුණාවෙන් කරන්නෙ හරියට අපිඑක්ක කතා කරනව වගේම හැබැයි හරිම මෘදු හඬින් කතා කරමින්. එයාල ඒ දරුවන්ව අපිටත් කලින් එයාලගෙ කරගන්න බව මට මේ දවස් කීපයට වැටහිලා තිබුණ නිසා,කොච්චර වදයක් වුණත් එයාලගෙන් තරහ පිට කරන්නෙ නැතිව ඉන්න මං උත්සාහ කළා.
ලංකාවෙ අපිට දරුවෙකුට නම් තියන එක, එයා ඉපදුනාට පස්සෙ පවුලම එකතුවෙලා කරන දෙයක් ය, ඒකට සුභ අකුරු බලනව ය, ගණ පිහිටවනව ය කියල දීර්ඝව විස්තර කරන්න තිබුණනම් හොඳයි තමයි. ඒත් හිතේ හයිය ඔය හැම දේකටම ක්ෂය කරගන්න ඒවෙලාවෙ මට පුලුවන් කමක් තිබුණෙ නෑ.
“අපි ඉක්මනින් එයාට නමක් තියනව”
කියල කෙටියෙන් කියල ඉඳගන්න හැරෙන කොටයි මම දැක්කෙ ඩේව් මේ කතාව අහන් හිටිය බව.
“එයාල ඔය නමක් තිබ්බද අහන්නෙ ආදරෙන් කතා කරන්න. එහෙමයි කියල ඔයාල නමක් තියන්න හදිස්සි වෙන්න ඕනෙ නෑ. වෙලාව අරන් ලස්සන නමක් තියන්න. ශ්‍රී ලංකාවෙ අයට බබාට නම තියන එක පොඩි ඉවෙන්ට් එකක් කියල මම දන්නව.”
සොෆී පොඩ්ඩක් පැත්තකට වෙනකල් ඉඳල ඩේව් කිව්වෙ හරියට මගෙ හිත කියවල වගේ.
ඒත් මගෙ හිත වද දෙන්න ගත්ත. මෙහෙ මිනිස්සු ඔය වෙලාවල්, අකුරු ,ගණ පිහිටවන්නෙ නැතුව කලින්ම නමක් හිතල තියන එක මේ වගෙ වෙලාවක කොච්චර නම් ප්‍රායෝගික ද?
පුතාට ඉක්මණින්ම නමක් ඕනෙමයි කියල මට දැනෙන්න ගත්ත. ඒ පාර මං කාටවත් නොකිය නම් හොයන්න ගත්ත.
“එයාට තවත් “බේබි කුරුප්පු” කියන්ඩ දෙන්ඩ බෑ. එයාට නමක් ඕනෙ. හදිස්සියෙ අපිව දාල යන්න වුණොත් එයාට නමක් නැතුව යන්න දෙන්න බෑ..”
“මොකටද නම් තියන්න හදිස්සි වෙන්නෙ” කියල අහපු පෙම්බරයටත්, මං හොයපු නම් ගැන හිතල බලන්න තව වෙලාව ඕනෙ කියාපු නංගිටත් කවදාවත් නැති විදියට මම ගර්ජනා කළා.
ඒ දෙන්නගෙ ඇස් උඩ ගියා. මම තෝරන නමකට එයාල එකඟ බව කිව්ව.
කලින් නමක් නැති පුතා බලන්න ගිය අපි එදා ගියේ “යුකිත” කියල අපි නම තියපු අපේ පුතාව බලන්න.
“ඔයාලට පුලුවන් එයාට “යුකී” කියන්න.”
යුකීටා, යුකීට කිය කියා අමාරුවෙන් ඒ නම වර නගන හෙදිය ජොඈනාට මම කිව්ව.
පහුවදා මම යනකොට ලස්සන පොඩි නාම පුවරුවක් ඉන්කියුබේටර් එකේ අලවල තිබුණ.
යුකී!
පුංචි දුඹුරු වලහෙකුත්, හාවෙකුත් නරියෙකුත්, බකමූණෙකුත් ඒ නාම පුවරුවෙ හිනාවේගෙන හිටිය.
ඒ එක්කම ඩේව්ත් ආව. කාමරේ පුංචි වෙනස්කම් එයාලට හොඳට ඇහැට හසු වෙනව.
“හා…..නේ ඔයාල එයාට ජපන් නමක් තියලනෙ. යුකී කියන්නෙ ජපන්වලින් හිමවලට, තව ධෛර්යයට”
ඩේව් ගෙ ඇස් ඒ වෙලාවෙ තරු දෙකක් වගේ වුණා. දඩිබිඩි ගාල ඇවිත් මට හග් එකකුත් දුන්න.
“මට හරිම සතුටුයි. බොහොම ස්තුතියි “ ඔහු කිව්ව.
නමේ අක්මුල් මොන දේශෙන් ආවත්, නමට මොන තේරුම් තිබුණත් ඒ පුතාට ගැලපෙනම නම කියල මට එවෙලෙ හිතුණ.
ඒක අපූරු මොහොතක්!
ගිනි කඳු පපුව මැද ඇවිලෙද්දිත් අහම්බෙන් හිතට සතුටක් රිංගපු වෙලාවක්!
ඉතිං…ඊට වඩා කිසි දෙයක් මොකටද?
කාලයක් සිසිර තාරක නින්දෙ ඉඳල එකපාරටම නැගිටල ලියන්න ගැනීමත් එක්තරා ප්‍රීතියක්. වෙනද වගේ නිදහසේ ඉඳගෙන, හෙමින් පෙලගස්ස ගස්සා ලියන්න වෙන එක නම් ඉතිං තව සෑහෙන කාලෙකට හීනයක් විතරයි. ඒ නිසා අවාරෙට අඹ වැටෙන්න වාගෙ ලියන ලියවිල්ලක් ගැන විතරක් බලාපොරොත්තු තියන්ඩලා…
ලියපං ලියපං කියල පයිං ඇනල මාව ඇහැරෝපු බුරතීනො අයියත්, දොරකඩ ගහේ බස්සයියත්, අවුරුදු ගාණක් බ්ලොග් ලිව්වට ගිය සතියෙ දෙන්නට දෙන්න හඳුනාගත් ප්‍රීතිය සමරන්න හරි ලියපං කියමින් ආයෙ ලියන්ඩ ආව සිතිවිල්ලට පෝර දැමූ හෙල්මලී අක්කටත් පින්!
අවසර එහෙනං!
කාලෙකට පස්සෙ ආයෙ ලියන්න පටන් අරන්…
ඔවු නෙ.. ආ අපි ඉන්නෙ නවසීලංතෙ අයියෙ 🤗
මැදපෙරදිග රටකද ඉන්නෙ?
නවසීලන්තෙ
වෙල්කම් බැක්. ස්තූතියි, ආයෙ ලියන්න ගත්තට. ආයෙ එන්නම්.🙏😊
ඉස්තුතියි බස්සයියා 🤗
කාලාන්තරේකට පස්සෙ හරි අර පරණ පුරුදු ඉට්ටැයිල් එකේ කතන්දරයක් දුන්නාට යුකියාගම හාමිනේට මයේ හද පත්ලෙන් බුර බුරා නැගී එන මෙවුවා එක ඈ.
ආං ඔහොම තමා පොඩි එවුන්ට නම් දාන්නෝන. ෂෝට් ඇන්ඩ් ස්වීට්, කියවන්න ගියාම සුද්දන්ගෙ හුස්ම හිරවෙලා පණ යයිදෝ කියලා බය වෙන්නෝන්නැති, ලොකුවෙලා ඇප්ලිකේෂන් ෆෝම් එකක් පුරවන්න ගියාම ඒකෙ තියෙන කොටු ගාන මදිවෙලා අම්මටයි තාත්තටයි, නෑදෑ සනුහරේටමයි හිතෙන් බනින්න හිතෙන්නැති ජාතියෙ නම් තමා දාන්නෝන. Hats Off!
// බුරතීනො අයියත් //
ඒ කවුද බාං ඒ? බුරයියා කියලා එකෙක් නං හිටියා ඒ කාලෙ. 🙂
අපේ දිග නං හන්ද අපිට මෙහෙ වෙච්චි එව්ව ලිව්වොත් තව බ්ලොග් පෝස්ට් එකක් ලියාගත්තෑකි 😂
ආ බුරතීනො අයිය කිව්වෙ කාලෙකිං එන හන්ද පොඩ්ඩක් නම්බු දීල කතාකොරන්ඩෝනැ නෙ ඒ හන්ද. නැහ්නං බොලා බූරයියම තමා 🤗🤗
Nicely written.
Thanks so much Pra 🤗
මම කලිනුත් කියල තියනවා, මිනිසුන් කියැවීම තමයි මගේ ප්‍රියතම දේ කියලා. ඒ වගේම, මෙහෙම අපට කම්පනයක් දැනෙන ලිපි විරල නිසයි, බොලාව අපට මිස් වෙන්නෙ බාං. ස්තූතියි. අද දවසෙ මගෙ මූඩ් එක හැදුවාට. ආයෙ එනවා, ඉතුරු ටික කියන්න. දැන් යන්න තියනවා සොපින්.
මේ, දන්න නරියෙකුයි, බල්ලෙකුයි ඉන්නවා, එන්න කියන්නද?
සොපිං ගීං වරෝ, නරියයි බල්ලයිත් බ්ලොග් කියවනවනං උන් දෙන්නටත් එන්ඩෙයි කියමු.🤗
මම ටොමියා, වංසෙ ලෝකල් පරයා ඩෝග්. බොහෝ කාලෙකට පෙර, සල්ලි ගෙවලා, පෝලිමෙ ඉඳලා ගියා ඇස්- ඉස්පෙසලිස්ට් ජොස්තර මාත්තයෙක් හම්බවෙන්න. බොහොම යටහත් පහත්ව, මම ඇහැව්වා පෙනීම දුර්වල වේගන එන බව තේරෙනවා. මම වැඩ කරන්නෙ, මෙන්න මේ වගේ පරිසරයක, මොකක්ද ඒකට කරන්නෙ කියලා.
මේකා මා දිහා නුරුස්සන බැල්මක් දාලා කියපි “ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි” කියලා. මට ආවෙ “හා, හා ඊළඟ” කියන වයිබ් එක. ඒ තමා , බල්ලෙක් ඇස්- ඉස්පෙසලිස්ට් කෙනෙක්ව චැනල් කරපු අන්තිම වතාව.
මෙන්න මේ කවිය “නිදිගෙ පංච තන්තරේ” නිදි එව්වා. ඇවිත් කමෙන්ට් එක දාගන්න බැරි වුනා, කියල කිව්වා.
මෙහෙට ආව විත්තිය මගෙ මතකෙ නැත
කියවන් යද්දී නැඟි කඳුළක් ඇසේ ඇත
තව ලියපං හංසි, මනු සිත් කරමු තෙත
පතුරමු හැම ජාතියෙම ඇත්තන් වෙතට මෙත
ඒක අපූරුයි.
ඔය නම් ගැන නං මහ ලොකු කතා තියේ. එපා වෙන තරං 😃😃😃
කෙඩෙට් කරද්දි කොලුවෙක් හිටිය. ඉනීෂියල් 24යි නම කෑලි දෙකයි. හෝඩියෙන් qxz ඇර අනික්ව ඔක්කම තිබ්බද මංංද😃😃😃
ආසාවෙන් දිගටම කියවගෙන ගියා.
දවසක් මගේ මේසේ ලඟින් යද්දි, සිංහලෙන් මම ලියපු එකක් දැකලා, චීන හැඩ හුරුකම් තියෙන් කොල්ලෙක් මා එක්ක කතා කළා. එයත් ලංකාවේ සිංහල අකුරුත් ටිකක් පුළුවන් කීවා. මම මතක විදියට එයාගේ ආච්චි ලංකාවේ කෙනෙක්, නමුත් අම්මයි තාත්තයි චීන. එයා පොඩි කාලේ ඉදලා හැදිලා තියෙන්නේ ලංකාවේ.
පේනව නේද, නොලියා ඉන්න එකෙන් කොයිතරම් සුන්දර සිතුවිලි පාඨකයන්ට නොලැබී යනවද කියල?