
මයි බෝනී ලායික් ඕව දී ඕ..ෂන්…
මයි බෝනී ලයික් ඕව ද සී
මං කුස්සියට ආවෙ සින්දුවෙන්. ඒකත් මහ හයියෙං..
මගෙ සද්දෙට කුස්සි කෑල්ලෙං කෑම කාමරේට යන උලුවස්සට ටිකක් එහයිං ලොකු වංගෙඩිය ලඟ පුටුවෙ ඇස් දෙක පියං, කකුලප්පිට කකුලක් දාගෙන තාලෙට උඩ කකුල වනවන හිටිය අත්ත ගැස්සිලා ඇස් ඇරිය.
මොකද්ද බොල කෙල්ලෙ ඒ සින්දුව? අත්‍ත ඇහුව
අත්තගෙ අතේ තේ කෝප්පෙන් ලතාවකට දුම් විහිදුනා. උදේ පාන්දරම අඹුඩෙට බැහැල, දවස පුරාම වත්ත පල්ලෙහා වැට ඉණි හිටවල ඇවිල්ල, හවස ඉස්කෝලෙ ඇරිල ආව මල්ලිවයි මාවයි අල්ලල ලිඳ ලඟට හෙනිහිං අපුල්ලල ඇඟ හෝදවල අම්මට බාර දීල රෑට කෑම හැදෙනකල් එයා පුටුව උඩට වෙලා තේ කෝප්පෙ තොල ගගා ඉන්නව. ඔය වෙලාවට ඉතිං අම්මයි ආච්චිඅම්මයි කුස්සියෙ උයනව. මල්ලි එයාගෙ චූටි තුරුල් කොට්ටෙත් තුරුල් කරන් අම්ම වටේ දැවටි දැවටි නිදිකිරා වැටෙනව.
අද කලින් ගෙදර ආව තාත්තා කෑම මේසෙ උඩ ඉඳිආප්ප තට්ටු වනාගෙන තාත්තා ඉඳිආප්ප මිරිකනව.
ආ… ඒක තමයි මයි බොනී ලයික් ඕව දි ඕෂන්. අපේ ඉංග්‍රිසි පන්තියෙ සිංගිං ඩේ එකට අපි කියන සින්දුවක් අත්තෙ..
තාත්ත අහල තියෙනවද මයි බොනී…?
අත්ත එක්ක කතා කළාට තාත්තත් මං දිහා බලං ඉන්න බව ඇස් කොණිං දැකපු මං තාත්තවත් සම්බන්ධ කතාවට සම්බන්ධ කරගන්න බැලුව. ඔවු කියන්ඩ තොල් තද කරගෙන ඔලුව උඩ පහල වනපු තාත්ත ඉක්මනින්ම ආපහු ඉඳිආප්ප තට්ටු දිහා බලා ගත්ත.
බුලත් විටක් කාල් කෙල පුරවගත්තම තාත්ත කතා කරන්නෙම ඔහොම
මං ඉතිං ආයෙ සින්දුව පටන් ගත්ත.
මයි බෝනී ලායික් ඕවා දී ඕ..ෂන්…
මයි බෝනී ලයික් ඕවා ද සී
මයි බෝනී ලායික් ඕවාදී ඕ..ෂන්…
ඕ බ්‍රිං බැක් මයි බෝනී ටුමී
බ්‍රීං බෑක් ඕ බ්‍රීං බෑක් ඕ බ්‍රිං බැක් මයි බෝනි ටුමී ටුමී
බ්‍රීං බෑක් ඕ බ්‍රීං බෑක් ඕ බ්‍රිං බැක් මයි බෝනි ටුමී
අත්ත දන්නවද ඒකෙ තේරුම? ඒ කියන්නෙ අත්තෙ ඔන්න බොනී කියල කෙනෙක් හිටියලු එයා මුහුදට ගොඩක් ආසයිලු.ඉතිං එයා මුහුදෙන් එහාට ගිහිල්ල. බොනීගෙ යාලුව තමයි මේ සින්දුව කියන්නෙ. එයාට බොනීව ගෙනත් දෙන්න කියල. තේරුණාද අත්තට??
මං බොහොම බැරෑරුම් තාලෙට අත්තට සින්දුව සිංහලට හරවල දුන්න.
තමන් කෙල්ලගෙ ගායනය ගැන තඹ දොයිතුවකට තැකීමක් නෑ කියල පෙන්නන්න හැදුවට මොකද මගෙ පරිවර්තනය ඇහුණම තාත්තට බකස් ගාල හිනා පැන්න. ඒ කියන්නෙ එයා විටක් නෙවෙයි හිනාව තමා මෙච්චර වෙලා හප හප ඉඳල තියෙන්නෙ…
මයි බොනී ලයික් නෙවෙයි ලොකු බල්ලො ලයිස් ලයිස්, මයි බොනී ලයිස් ඕවර් දි ඕෂන්.
තාත්ත කිව්වෙ හිනාව නැවතුනාම.
ඒ කියන්නෙ එයා ඉන්නෙ මුහුදට එහායින් කියල.
නෑ තාත්තෙ, ලයික් තමයි හරි. තරංගනී ලියං තිබුණෙත් එහෙම. අනික ලයිස් කියන්නෙ බොරු වලටනෙ. ඇයි අර ජොනී ජොනී යෙස් පපා සින්දුවෙත් තියෙන්නෙ ටෙලිං ලයිස් නෝ පපා කියල.
තාත්ත මං දිහා බලං හිටිය. කටත් ඇරිල, කර කර හිටිය වැඩෙත් අමතක වෙලා.
දැං බොලාගෙ හෝම්වර්ක් ඔව්වද?
කෙල්ලගෙ මේ තර්කය බිඳින්නට කලිං ඉංග්‍රිසි භාෂාවෙ එක සමානව ඇහෙන සමානව ලියන, ඒත් වෙනස් තේරුම් තියෙන වචන ගැන ඒත්තු ගන්නන්ඩ තමාට සෑහෙන අසීරු පැහැදිලිකිරීමක් කරන්න වෙන බව තේරුණාම තාත්ත තීරණය කළා පසුපසට අඩියක් තියන්න.
ඉස්කෝලෙ හෝම් වර්ක් ඉවරයි තාත්තෙ. හෙට ඉංග්‍රීසි පන්තියෙ සිංගිං ඩේ නෙ. ස්පෙලිං ටිකක් පාඩං කරන්ඩ තියෙනව කාල ඉවර වෙලා.
හා එහෙනං ඇවිල්ල මෙන්න මේ තට්ටු ටික පෙලට තියනව..
තාත්ත මාව හෙමින් සැරේ එයාගෙ වැඩේට සම්බන්ධ කරගන්නව.
කණිෂ්ටෙ ඇරිල හැමදාම අපි කට්ටිය පාරෙ දකුණු පැත්තෙං ඇවිදගෙන බඩ මැද්දෙන් තියාගෙන අයිස්, රටකජු පැකට්, පේස්ට්‍රි විකුණන හංග්‍රි බෙයා කඩේ පහුකරගෙන ශ්‍රියානි ආන්ටිලගෙ ගෙදරට එනව. ගෙදර ලැටිස් ගහපු ඉස්තෝප්පුව ඉස්සරහ
ලොකු අඹ ගහක්. අපි ඉංග්‍රීසි පන්තිය ඉවර වෙලා අම්මල එක්කන් යන්න එනකල් සෙල්ලම් කරන්නෙ ඒ ගහ යට බෑක් තියල.ගෙදර වම් පැත්තෙ මල් ආරුක්කුවක් ඇතුලෙන් ගිහින් පඩි දෙකක් නැගල දොරෙන් ඇතුල් වෙලා ආයෙ බැස්සම ලස්සන මැද මිදුල තියෙනව. පන්තිය තියෙන්නෙ ඒක පහුකරන් ගියාම තියෙන දැල් ගහපු කොට බිත්ති තිබුණ කාමර කෑල්ලෙ.
මං පන්තියෙ ආසම දවස තමයි බදාද. එදාට පන්තිය කලින් ඉවර කරල අපි ශ්‍රියාණි ආන්ටිගෙ පියානො එක වටේ හිටගෙන නර්සරි රයිම්ස් කියන දවස. එයා ලස්සනට තාලෙට පියානෝ වාදනය කරනව අපි සින්දු කියනකල්. එයාගෙ පොඩි පුතා ශමල් අයිය ගෙදර ඉන්න දවසක් නං එයත් අපි එක්ක එකතු වෙලා සින්දු කියනව. හරි විනෝදයි.
ඉස්කෝලෙදි මං එදා දවසම ඉන්නෙ කොට බිත්තියෙං බෙල්ල එලියට දික්කරං. ලොකුසර්ගෙ ඔෆිස් එකෙන් බෙල්ලයිය එලියට බහිනව දැක්ක මගෙ හිත සන්තෝසෙන් බට්ට පනින්ඩ ගන්නව. තුන වසරෙ ලමයින්ට ඔරලෝසු බඳින්ඩ බෑනෙ ඒ කාලෙ. ඉතිං බෙල්ලයියා තමයි අපි කාගෙත් ඔරලෝසුව. මං වමතිං ලියන හන්ද පේලියෙ එකට ඉඳං ඉන්න යාලුවො මාව බිත්තියෙ අයිනෙම පුටුවට දානව නැත්තං ලියන වෙලාවට වැලමිටි කඩු සටන් කරන්න වෙනවනෙ. වෙනදට නං ඒකට එච්චර ආස නැති වුණාට බදාදට නං කොට බිත්තිය ලඟ හිටිය එක ගජ වාසියක් වගෙයි දැණුනෙ.
ටාං ටාං ටාං ටං ටාං..!
අන්තිම බෙල් එක වදිනව
එක පාරටම පුටු පස්සට දාන සද්දෙ, පුටු ඩෙස් උඩින් නවන, ළමයි පොත් බෑක් හදාගන්න ගමං කතා කරන සද්දෙං මුලු ඉස්කෝලෙම පිරෙනව.
ටාං ටාං….
ඊලඟ කොට බෙල් එකට ඉස්කෝලෙම නිහඬ වෙනව. ඒ බෙල් එකට අඩංගු නොවුණෙ ඉඳහිට අඬපු කාක්කො විතරයි.
යෝවදතම්පවරෝ මනු ජේසු….
එකොලහ වසරෙ අයියල අක්කල මහ හයියෙන් ඡත්ත මානවක ගාතා කියන්න ගන්නව.
අපි හැමෝම පාඩං පාඩං තැංවලිං එයාලට එක්කාසු වෙනව.
රීඩ්ං ඉවර වෙලා රයිටිනුත් ඉවර වෙලා ආන්ටි අපෙන් එයා කලින් දවසෙ දුන්න වචන දහයෙ ස්පෙලිංස් පාඩං ගන්නව.
සින්දු කියන්ඩ මිසක් ස්පෙලිං පාඩං කරන්ඩ කිසිම උනන්දුවක් නැති මට දිග වචන මතක හිටින්නෙම නෑ. දවසක් අපිට දුන්න වචන අතරෙ ස්ට්‍රෝබෙරි කියල තිබුණ. ඒ වචනෙ දැක්කමත් මට තරහයි. පොතකිං ඇරෙන්න ස්ට්‍රෝබෙරි ගෙඩියක් දැකල නැති, මකනයක් ඉඹල මිසක ස්ට්‍රෝබෙරි රස සුවඳ නොදන්න එකේ එච්චර දිග වචනයක් ඉංග්‍රීසියෙං ලියන්නෙ කොහොමද කියල දැනගෙන වැඩක් නෑ නෙ කියලමයි මට හිතුණෙ
ස්පෙලිං පාඩම් ගන්න කලිං මමයි පියුමියි දෙන්න එකිනෙකාගෙං වචන ටික පාඩම් ගන්නව.
එස් ටී ආර් ඕ බී.. මං ස්ට්‍රෝබෙරි ස්පෙල් කරනව.
වැරදියි… පියුමි කට ඇද කරනව.
එහෙනං …?
එස් ටී ආර් ඒ ඩබ්ලිව් බී ඊ ඩබල් ආර් වයි. පියුමි කියාගෙන යනව.
ස්ට්‍රෝ කියන්ඩ ඒ අකුරකුයි ආර් අකුරකුයි කොහෙන්ද එන්නෙ කියල හිතාගන්ඩ බැරිව මං බලං ඉන්න හැටි දැකල පියුමි පැන්සල අරන් මගෙ ගවුම් කොලර් එකේ ස්ට්‍රෝබෙරි කියල ලියනව.
පෝලිමේ ඉන්න ගමන් බලල පාඩම් කරගන්න. එයා අණ දෙනව.
ඉතිං අපෝලිමේ ඉන්න ගමන මම කොලර් එක ඉස්සරහට ඇදගෙන අමාරුවෙන් ඒක දිහා බල බල ස්ට්‍රෝබෙරි පාඩම් කරනව.
ස්පෙලිං ඉවර වෙලා පොඩි විවේකයක් එහෙම අරන් අපි ගෙදර සාලෙට ගිහින් පියානෝ එක වටේ රවුමට ඉන්නව. හොඳට සිං කරන අය ඉන්නෙ ඉස්සරහ පේලියෙ. මං ගොඩක් වෙලාවට ඉන්නෙ පියානෝ එක ලඟම ශ්‍රියානි ආන්ටිට පේන තැනක.
ආන්ටිට පොතක් තිබුණ. එයා ඒක දිහා බලං තමා පියානෝ එක වාදනය කරන්නෙ. එයා සින්දුව මොකක්ද කියල කියනව පටන් ගන්න කලින්. වාදනය අස්සෙ එයාගෙ ඉඟිය අනුව අපි සිං කරන්න පටන් ගන්නව
පැටකෙක් පැටකෙක් බේකස් මෑන්
බේක් මී අ කේක් ඈස් ෆාස්ටෑස් යූ කැන්
රෝලිට් ඇන්ඩ් පැටිට් ඇන්ඩ් මාකිට් විත බී
පුටිට් ඉන්දි අවන්ෆෝ බේබි ඇන්ඩ් මී
සින්දුව කියා ගෙන යනකොට මට ඉතිං හිතෙනව හැමදාම කියනවට වඩා පොඩ්ඩක් වෙනස් කරන්න ඊලඟ කොටස අනිත් අයට පොඩ්ඩක් පහු වෙලා පටන් ගන්න. අපේ අම්ම සමස්තලංකා තරගවලට අයියල අක්කලගෙ ගායනා පුරුදු කරද්දි එහෙම කරනව මං අහල තියෙනව.
එතකොට එයාලයි මමයි කියන නෝට්ස් ලස්සනට හාමනි වෙලා ඇහෙන්න ගන්නව.
ෆො බේබි ඇන්ඩ් මී ෆො බේබි ඇන්ඩ් මී
දෙයා විල් බී ප්ලෙන්ටී ෆො බේබි ඇන්ඩ් මී.
ප්ලේ කරන අතරෙ මං වෙනම අනිත් අයට පස්සෙ ගයන්න පටන් ගත්ත බව දැණුනම ආන්ටි ඔලුව උස්සල මං දිහා බලල ලස්සන හිනාවක් දානව. ආන්ටි හරි ආසයි මං එහෙම හිතල සින්දු ලස්සන කරනකොට.
ආන්ටි අපි මේරි හැඩ ලිට්ල් ලෑම්බ් සින්දුවෙ අන්තිම පේලිය අග දෙපාරක් සිං කරමුද?
ආන්ටි අපි අද කේසෙරා සෙරා ඉස්සෙල්ලම කියමුද?
හැමදාම බදාද පන්තිය පටන් ගන්න කලිං ගිහින් මං එදා දවසෙ ගායනා ගැන මොකක්ම හරි යෝජනාවක් කරනව. ශ්‍රියානි ආන්ටි එයාගෙ මුතු අහුරක් වගෙ ලස්සන හිනාවෙන් ඒව ඉවසනව.
සුන්දර ලපැටි මතක අහුරු අහුරු හිතේ පොපියනව.
දශක තුනකටත් එහා ඉංග්‍රීසි පන්තියෙ බදාදා ගායනා මතකෙන් චූටි යුකියට පේන්න නටමින් රඟපාමින් නර්සරි රයිම්ස් කියන වෙලාවට අහම්බෙන් ඇස් දෙක පියාගත්තොත් මට පේන්නෙ සැතපුම් දහස් ගාණක් දුරින් තියෙන සෙනරත්පායෙ සාලෙ මැද ශ්‍රියානි ආන්ටි පියානෝ එක ප්ලේ කරනව. එයාට ඉස්සරහහින් හිටගෙන පියානෝවට මුක්කුවකුත් තියාගෙන ඔලුව වන වනා සින්දු කියපු පුංචි ගෑනුළමයා සහ එයාගෙ යාලුවො ටික ඒ එක්කම අත්වැල් අල්ලන් හිතට එනව.
හිටි අඩියෙ අම්මගෙ කෝලම් නැවතුන බව දැණුනම සිඟිති අතක් මගෙ මූණෙ වදිනව.
හිනාවක් එක්ක මං ඇස් අරිනව.
දන්නවද යුකියො, පුංචි කාලෙ මතකෙන් ජීවිත කාලයක් ගෙවන්න පුලුවන්..
මං චූටි යුකියට කියනව.
හරියට මං කිව්ව දේ තේරුණා වගේ ඒ පුංචි මූණෙ අපූරු හිනාවක් ඇඳෙනව.
පින්තූරෙ ලැබුණෙ මෙතනින් https://www.music-for-music-teachers.com
ඔබේ ලියැවිල්ල ලස්සනයි