වල්ගතරුවක්…!

“තාත්තෙ?”

“ඇයි බල්ලො?”

උදේ වැඩට යන්ඩ සැරසිලා  මගෙ කාමරේට ඇවිත් ඕඩිකොලොං බෝතලේ ඇඟට හලාගනිමින් හිටිය තාත්ත මගෙ දිහාට හැරුණ.

“නෑ… මේ… මේ… අර වල්ගතරුව, හේල්බොප්..අන්න ඒක බලන්ඩ. ඒක අපිට පේන්නෙ අද ඉඳල… ඒක පේන්නෙ උතුරු පැත්තෙං කියල කිව්වෙ.. ඒක හවස පහමාර හයවගෙ වෙද්දි පේනව කිව්වෙ අහසෙ උතුරු දිශාවෙං මැද හරියට වෙන්….

ආහ්…. ඒකට ද?

ආතර් සී ක්ලාක් ගෙ පොත් කියවල, තව සතිපතා විදුසර පත්තරෙයි සමුදුර පත්තරෙයි ඔය වල්ගාතරුව ගැන විතරක් නෙවෙයි  අටෝරාසියක් තරුරටායි, සෞරග්‍රහ මණ්ඩලෙයි, මන්දාකිණියි, ග්‍රහකයි ගැන පලවෙච්ච ලිපි අකුරක් නෑර කියවල දැනුමෙන් ආඪ්‍ය වෙලා ඉන්න ලොකු බල්ලට මේ උදේ පාන්දර මෙහෙම කටකමසිරියාවක් නැතුව  කියවන්ඩ ඉඩ දුන්නොත් හෙම වල්ගාතරුවෙ දිග පළල උස විතරක් නෙවෙයි තව ටිකකිං විශ්වයේ උපත ගැනත් කියාගෙන යන්ඩ ඉඩ තියෙන බවත්, ඒකෙං මේකෙං තමාට පහයි හතලිස්පහ අල්ලගන්ඩ බැරි වෙනබවත් දන්න තාත්තා මැද්දට පැනල බාධා කළා.

“හරියට කියන්ඩ බෑ බල්ලො… බස් පරක්කු වුණොත් එහෙම ඉතිං රෑ වෙනවනෙ. බොලා මල්ලියි අම්මයි එක්ක බලන්ඩකො…”
තාත්ත එහෙම කිව්වම මගෙ මූණ ඇද වුණා.

මං ඔය වල්ගතරුව ගැන තාත්ත එක්ක කියවල ඇති ඔය වෙද්දි සිය වතාවක්වත්. ඔය කාලෙ ඉතිං අන්තර්ජාලය හැම අතකම කෙසේ වෙතත්, හැම දොරකඩකවත් නෑනෙ. ඉතිං පත්තර සඟරාවල පිහිට තමයි. මාස ගාණක් තිස්සෙ ඒක ගැන පලවෙච්ච් දේවල් කියවල කියවල දැං ඕක බලන්ඩ මට තියෙන උනන්දුව ආකාශවස්තු පර්යේෂණ ආයතනෙටවත් නැතුව ඇති.

“අනේ එයාල ටිකක් වෙලා බලල යනව නෙ.  එයාල ඉන්නෙ නෑ රෑ වෙනකල් .අර උල්කාපාත වැස්ස දවසෙ මතකනෙ තාත්තෙ මල්ලිට නිදිමත වුණ හැටි. මට හොඳට බලන්ඩ ඕනෙ මේක නං.”

ඒ පාරනං මං මැසිවිල්ල කියාගෙන කියාගෙන ගියා.

“හරි හරි හරි මං බලන්නංකො ඉතිං කලිං එන්ඩ”
බේරුමක් නැති තැන තාත්ත කිව්ව.

හරි හරි හරි කියල ඔලුව හොලවපු තාලෙට තාත්තගෙ දිග කොණ්ඩ කැරලිත් හෙලවුණා.

සම්පූර්ණ පොරොන්දුවක් නැතත් කලින් එන බවට බාග පොරොන්දුවක් හරි ලැබුණ එක සෑහෙන්න වටින නිසා  මේ උදේ පාන්දර  ඊට වඩා කණිපින්දං කීමෙන් අත් වෙන සෙතක් නැති බව මං දන්නව. ඒ හන්ද මාත් ඉතිං ඉස්කෝලෙ යන්ඩ පොත් බෑක් එක සූදානං කළා.
හරේ… ඒ කියන්නෙ තාත්ත අද කලිං එනව.
මගෙ හිත සංතෝසෙං කොට්ට පිනුං ගහනව. ඉහ වහ ගිය සංතෝසෙං ඉවසිල්ලක් නැතිව ගිය පාර, කාලසටහන බලල පොත් ටික දාගන්ඩ පවා වෙලාව නාස්ති කරන්ඩ බෑ කියල හිතිල මං මේසෙ උඩ තියෙන අච්චු පොත්, කොපි පොත් සේරෝම බෑක් එකට පුරව ගත්ත..

“ඒයි ඒයි… ඔය මොකද්ද ඔය කරන්නෙ… බොලාට කාලසටහන මං ලියල බිත්තියෙත් ගහල දුන්න නේද පහුගිය දවසක. ඒක  බලල ඕනෙ පොත් ටික ගෙනියන්ඩ බැරිද තාම.”


තාත්තා ඔලුව පීරන ගමං කණ්නාඩියෙන් මං ගැන අංජනමුත් බලනව.

මේ වෙලාවේ එහෙම කරන්ඩ හේතු ඉදිරිපත් කිරීම, එකට එක කීම අවාසිදායක ලෙස බලපාන්ඩ ඉඩ තියෙන නිසා මං කරබගෙන ආයෙත් පොත් ටික එලියට අරං කාලසටහන අනුව පිලිවෙලකට ඇතුලට දාගත්ත.

ඒ අස්සෙත් මං හිතෙං අද හවස වල්ගතරුව  බලන හැටි සැලසුම් කළා.

තාත්තෙ..”


“ඒ පාර මොකෝ බල්ලො?”


“අපිට දැං කුස්සියෙ ස්ලැබ් උඩ ඉඳං මරු එකට ඒ වල්ගතරුව බලන්න පුලුවන්.”

“ඈ…බොලා කොහොමද දන්නෙ ඒකට නගින හැටි?”

තාත්තා මට පිටුපාල හිටියත් ඇස් උඩ ඉන්දගන්න හැටි මට කණ්නාඩියෙන්  පෙනුනා.

“නෑ මං කිව්වෙ මේ… පත්තරේ තිබුණ තාත්තෙ උස තැනක ඉඳල බැලුවම හොඳට පේනව කියල ඒකයි.”

ගෙදර පිටිපස්සෙ කෑල්ල හදන කාලෙ කාමරවලයි කුස්සියෙයි උඩ බිත්තිවලට අල්ලල කොංක්‍රීට් ස්ලැබ් හැදුවෙ ගබඩා පහසුවට. බිත්ති ටික බැඳගත්තට මොකද අපිට වහලෙ ගහගන්ඩ සල්ලි තිබුණෙ නෑ කාලයක් යනකල්. ඉතිං ඒ කෑල්ල අහසට විවෘත හන්ද  මල්ලියි මායි ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල පිටුපස්සෙ වඩු බංකුවට නැගල ස්ලැබ් එකේ එල්ලිලා නැගල හවස අම්ම කෑ ගහල බස්සනකල් ඕක උඩ කියල තාත්ත තාම දැනගෙන නෑ එහෙනං.


” නෑ නෑ… මං එනකල් කවුරුත් නගින්නෙ හෙම නෑ.
“බොලා දෙන්නත් එක්ක මං නැති අතරෙ අම්මගෙ
ඇස් වහල නගිනව නේද ඒකට?”

තාත්තාව එහෙම  මගෙ ලුණුගොරකවලිං  තම්බන්ඩ ලේසි නෑ. ඒ හදන්නෙ මාව කටෙං අල්ලගන්ඩයි.

” නෑ තාත්තෙ, අපි  නගින්නෙ නෑ තාත්ත එනකල්. මං තාත්තට කලිං එන්ඩ කිව්වෙත් ඒක නෙ ඉතිං..”
 
ඒ වගේ වෙලාවල මීක් කියන්නෙවත් නැතුව ඉන්නවට වඩා අහිංසක තාලේ උත්තරයක් දීම තමා හරි යන්නෙ කියා අද්දැකීමෙන් දන්න හන්ද මං කිව්ව.

හා මං යනව එහෙනං….

තාත්ත හැඩ වෙලා ඉවරයි

“අනේ හොඳ තාත්ත වගෙ අද කලිං එන්ඩ, හා නේද? එනව නේද? “
මං හැමදාමත් වැඩට යන්ඩ කලිං කරන විදියට තාත්තව වැලඳ ගත්ත.

“එන්නංකො එන්නංකො…”


එහෙම කියල තාත්ත වැඩට ගියා.

හේල් බොප් කියන්නෙ මගෙ ජීවිතේ ඉස්සිස්සෙල්ලම  දෙයියනේ  කියල පියවි ඇහෙං දකින්ඩ ලැබෙන වල්ගතරුව. මට ඕනෙ හවස ඉඳලම ඒක පායනකල් රැකගෙන අහස දිහා බලං ඉන්ඩ. අම්මයි මල්ලියි ඉතිං ඇවිත් පොඩ්ඩක් ඕක බලයි. ඊට පස්සෙ මල්ලි සෙල්ලං කරන්ඩ දුවයි, අම්ම උයන්ඩ තියෙනව කියල යයි. මට ඉතිං එහෙම බෑනෙ. ඒක හොඳට බලාගන්ඩ ඕනෙ.

ඉතිං ඕකට තාත්ත මොකටද? බලාගන්ඩ බැරියැ තනියෙං ඇති තරං…

මං එදා හවස තුනේ විතර ඉඳං දොරකඩ පේර ගහේ දෙබලට නැගල දංසාලාව ලඟ හෝල්ටෙකේ නවත්තන බස් දිහා බලං හිටිය. කොළඹ ඉඳං එන හවස පහේ බස්සෙකෙං තාත්ත බහිනව දැක්කම මං කිසි කිසි ගාල පේර ගහෙං බැහැල කඩුල්ල ලඟට දිව්ව. 
“හොඳ….. තාත්ත”

එහෙම හිතුණ නං ඒක වැරදියි.

ඒකාලෙ මං ඔය ආකාශ වස්තු ගැන දැඩි උනන්දුවෙක් වුණාට මොකද පොඩි  පරහකට තියෙන්නෙ මට එව්ව දිහා තනියෙන් දිහා බලං ඉන්ඩ බයයි. කොටිංම ඒකාලෙ මං දේදුන්නටත් බයයි.
තාත්තට කලිං එන්ඩ කියන්නෙ ඒකයි.
රෑ ගණන් එක එක ග්‍රහලෝක බලන්ඩයි, තරු රටා බලන්ඩයි, දවල් ගෙදර ඉන්න දවසක යන්තං වැහිඇල්ලක් ගියත් දේදුන්න බලන්ඩ කියලයි මාත් එක්ක මිදුලෙ ඉඳල තියෙන හන්ද තාත්ත දන්නව මගෙ ආකාශවස්තු භීතිකාව ගැන. ඉතිං සතියෙන් සතිය වෙනස් වෙන මගේ විනෝද ව්‍යාපෘතිවලට සහයට මිදුලට එන එක කොච්චර වදයක් වුණත් තාත්ත මුවින් නොබැණ ඒවට එක්කාසු වුණා. 

“හොඳ…… තාත්ත”

“කෝ කෝ… එහාට වෙයං බල්ලො.. බස් එකේ දාඩිය කුණු ජරාව ගාගන්නෙ නැතුව.”

තාත්තා එයාට හෙල්ලෙන්නවත් බැරි වෙන්න වැලඳගෙන හිටිය මට කිව්ව.

“බොලා දන්නවද බොලා ඉතාම වාසනාවන්තයි කියල?”

එදා රෑ අහසම එලිය කරල පායපු ඒ අයස්කාන්ත වල්ගතරුව දිහා කුස්සියෙ ස්ලැබ්වල බිම වැතිරිලා  බලං හිටිය තාත්ත ඇහුවෙ මගෙං.

“මේක මනුස්සයෙක්ට ජීවිතේ නොලැබෙන අවස්ථාවක්. හේලිගෙ වල්ගතරුව අන්තිමට මේ කිට්ටුවට ආවෙ අසූ හයේ. ඒත් ඒක හරියට පියවි ඇහැට දැක්කෙ බොහොම ටික දෙනයි. ඒක මෙහෙම ලොකුවට දිස්නෙට පෑව්ව බවක් මං අහලත් නෑ. අනික ඒක ආයෙ මේ පැත්තට එනකොට මම තියා උඹවත් ජීවතුන් අතර නොයින්න ඉඩ තියෙනව ලොකු බල්ලො.
ඒ හන්ද මේක හොඳට බලාගනිං.. හොඳට ඉස්සරහට ඉගෙනගනිං..”

මං මොකුත් කිව්වෙ නෑ හැරිල තාත්තව වැලඳගත්ත මිසක.

එදයින් පස්සෙ දවස් ගාණක් අපි ස්ලැබ් එකේ ඉඳං වල්ගතරුව බැලුව ඒක නොපෙනී යනකල්ම.

ගෙදර වහලෙ ගැහුව. අපි නැගල තරු බලපු ස්ලැබ්වල ගෙදර නිතර පාවිච්චි නොකරන ලට්ට ලොට්ට ගබඩා වුණා.

ඉතා සාමාන්‍ය  ලෙස ගෙවී ගිය ඔය කාලය තුළ මං  සාමාන්‍ය පෙල ලියල උසස්පෙලත් ලිව්ව. 

උසස්පෙල පාස් වෙලා කැම්පස් යනකල් ටික කාලයක් මං නාරම්මල මහජන බැංකුවෙ වැඩ කළා.

“ඒයි ඒයි… කොහෙද දුවන්නෙ….”

මං හැමදාම වැලඳගන්න තාත්තවත් අමතක වෙලා, දඩි බිඩි ගාල කඩුල්ල පනිනකොට වැඩට යන්ඩ සූදානං වෙලා, පරණ ගෙදර  ජනේලෙ ලඟ මේසෙ උඩ තියං ඩෝල්කී එක වාදනය කරන ගමන් හිටිය තාත්තා කෑ ගැහුව.

“පරක්කු වෙනවෝ……, අද උදේ බැංකුවෙ තේ මේසේ… හවස ඇවිල්ල පොලියත් එක්කම දෙන්නාං…

එහෙම කියාගෙන මං හැල්මෙ බස් එක අල්ලන්ඩ දිව්ව.

එදා හවස තාත්තා යන්න ගියා.
පොලිය තියා ණය විතරක් ගෙවන්න වත් ඉඩක් නොතියාම.


හරියට වල්ගතරුවක් වගේ, ආයෙ එන දවසක් නොකියාම

ආයෙමත් ලියන්න ඕනෙ කියල හිතිල නං බොහොම කල්. පුලුවන් හැටියට ආයෙමත් ලියන්න හිතුවට මොකෝ ඉපදෙන්නත් කලින් ඉඳලම එයාගෙම වැඩසටහනකට අනුව වැඩ කරන අපෙ කොලු පැංච එක්ක  ඔට්ටු වෙන ගමං ඉන්න හන්ද ඒ ගැන පොරොන්දුවක් තියා බාග පොරොන්දුවක්වත් දෙන්න බෑ  ඉතිං. පලවෙනි වාක්‍ය දෙක තුන ලියද්දිම තේරුණා නොලියා මගෑරලම හිටියනං කොච්චර නං ලේසිද කියල.
දිගටම හෙමින් හෙමින් ලිව්වත් සුපුරුදු රිද්මයට එන්න නං සෑහෙන කාලයක් යයි

ප:ලි: මාව සිසිර තාරක නිද්‍රාවෙන් අවදි කළාට ප්‍රියන්ත අයියාට ස්තූති කරන්න. නිද්‍රාවට පත්, බ්ලොග් හැරගිය ලබැඳියන් කිහිප දෙනෙක් හෝ මේ ලිපිය කියවා අඩුම ගාණෙ මුහුණුපොතේ පිටුවක් හෝ අටවාගෙන යමක් ලියාගෙන අවදි වේවි කියලත් පොඩි පැතුමක් හිතේ නැත්තෙම නෑ.

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

11 Responses to වල්ගතරුවක්…!

  1. Rangi Haris says:

    අඩේ. මේ හැබෑවටම ලියලා නේන්නන්.
    මම නම් නොකියා හිටියේ කීවටවැඩක් නෑ කියලා.

  2. Kumara says:

    ආයෙ ලියන්න පුළුවන් හැටියට. අර කකා කියනවා වගේ මේකෙ ලියල ලින්ක් එක දාන්න. ඔබේ ලිපි ගොඩක් කියවල තියෙන මට අහන්න දෙයක් තියෙනවා. ඇයි තාත්තා ඔයාට බල්ලෝ කියලා අමතන්නේ ආදරේට කියන දෙයක්ද?

  3. Rasika Suriyaarachchi says:

    මං නං කියන්නෙ බ්ලොග් එක දාලා ෆේස්බුක් එකේ ලියන්න යන්න එපා කියලයි. මෙතන ලියලා ලින්ක් එකක් දාන්න facebook එකට.

    • කකා, ස්තුතියි අදහසට. මේක අතාරින්න කල්පනාවක් නෑ. එකම දේ මම නොලියා හිටිය කාලෙ සෑහෙන තාක්ෂණික වෙනස්කම් සිදුවෙලා වර්ඩ්ප්‍රෙස්වල. දැන් මේකෙ ඉඳල ෆේස්බුක් එකට ලින්ක් එක පබ්ලිෂ් කරන එක ඉස්සර වගේ ප්ලගින් එකකින් වෙන්නෙ නෑ. කොහොමත් ලින්ක් එක කොපි කරල පේස්ට් කරන්න වෙනව. ඒ නිසා හිතුව ඒ වෙනුවට මේකෙ ලියන සටහන ඒ විදියටම මේ නමින්ම තියෙන ෆේස්බුක් පේජ් එකකට පෝස්ට් කරන්න.

  4. ravisandu says:

    හේල්-බොප් ආවෙ 1997දි…මම එතකොට හිටියෙ බකමූණෙ…උදේ පාන්දර හීතලේ බෙඩ් ෂීට් එකකුත් පොරවාගෙන මම අප්‍රි ක්වාටර්ස් එක පිටිපස්සෙ තිබ්බ කොහොඹ ගහ යට ඉඳගෙන වල්ගා තරුවක් බැලුව මතකයි ඒ ඕක වෙන්න ඕන.
    1973 අවුරුද්දෙත් ආව වල්ග තරුවක්..ඒකෙ නම කොහුටෙක්…ඒක එන්ට ඉස්සෙල්ල මහා කලබැගෑනියක් කරා පත්තර වලින් එහෙම ඒක තමයි මෙතෙක් කාලෙකට පායපු දීප්තිමත්ම වලගා තරුවෙයි කියල. කොටින්ම මහ දවල් ඉනත් පේනවයි කියලයි කිව්වෙ..ඒත් අන්තිමට ඒ මොකවත් නෑ..මේ පොඩිම පොඩි වල්ගාතරුවක් ඒක. මම එතකොට හිටියෙ කෑගල්ලෙ…
    වරෙන් වරෙන් මොකවත් ලියමු බ්ලොග් එකේ මාසෙකට දෙපාරක්වත්…..මාත් එහෙමයි හිතාගෙන ඉන්නෙ…

    • ඔවු ඔවු. අනූ හතේ තමයි. ඊට පස්සෙත් එකක් ආව හයකූටාකේ කියල. ඒකත් බොහොම දීප්තිමත් ලොකු වල්ගතරුවක් කියලයි කිව්වෙ. ඒත් ඒක හේල්බොප් වගෙ හැම රටකටම පෙනුනෙ නෑ.
      හෙහෙ බලමු බලමු අයියෙ. පොඩි බොස් ඉඩ අවසර දෙන හැටියට එපැයි කෝකත් කරන්න

  5. Ian says:

    සංවේදී කථාවක්.
    බල්ලො කියල අමතන්නෙ ඇයි කියල පැහැදිලි කරන්වද?

    • තාත්තා මට ඇමතුවෙ ලොකු බල්ල කියල,මල්ලිට ඇමතුවෙ පොඩි බල්ල කියල. ආදරේට එයාම හදාගත්ත සින්දුවකුත් තිබුණ මං කලින් තාත්ත ගැන ලියපු සටහනක ඒ ගැන ලියල ඇති. බොහොම ස්තුතියි.

  6. Sujeewa Abegunawardhana says:

    හරිම ආසාවෙන් කියවපු බ්ලොග් එකක. සතුටුයි නැවත දැකීම.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s