ඔය අපේ මුතුගල අත්තගෙ එකම නැන්දා ඒ කාලෙ අපේ ගම කෙළවර පදිංචි වෙලා හිටිය මුස්ලිම් මනුස්සයෙක් එක්ක පැනල ගියාලුනෙ. කතාවට කියන්නෙ දැං එතන තියෙන මුස්ලිම් ගම ආරම්භ වුණේ ඒ දෙන්නගෙ එකලාසෙං කියල තමා. පුංචි සන්දියෙ මතකෙකට මට තියෙන්නෙ ඒ ආච්චිගෙ දුවෙක් වුණ රහිමි ආච්චි අපේ අත්තගෙ කඩේට එන එක. කපු සාරි ඇඳල කොණකිං ඔලුව වහං කඩේට එන, එයාට කැරලි කැරලි කොණ්ඩයක් තිබුණෙ. එයාගෙ එක පුතෙක් වුණ හංසුව මාමට කඩල කරත්තයක් තිබුණ. බොහොම අහිංසකයෙක් වුණ හංසුව මාම මොකක් හරි ගෙදරත් එක්ක ඇතිවුණ ආරෝවකට වහ බීල වෙළ ලඟ වැටිල හිටියලු. එයාගෙ කඩල කරත්තෙ වෙළකට පෙරලිලා තිබුණලු. ඒ වෙද්දි මට වයස අවුරුදු හයක් හතක් විතර වෙන්නැති මහිතෙ. දැන් නං අපේ ගෙවල්වලට පොඩ්ඩක් පල්ලමේ ඉඳල මහ පාර අද්දර වෙල් යාය වෙනකල්ම ගෙවල් හැදිල, මස් කඩ, හාඩ්වෙයාර්, පිටි තුනපහ කොටන මෝල්, එතකොට තේ කඩ, සිල්ලර කඩ විතරක් නෙවෙයි පල්ලියක් පවා හැදිල තිබුණට, මට මතක කාලෙත් එතන තිබුණෙ ගෙවල් තුන හතරක් වගෙ තමා ඉතිං.
ඊටත් පස්සෙ කාලෙක ඔන්න අපේ ගෙදරට ෆ්‍රිජ් එකක් ගෙනාව. ඒ දවස්වල තාත්ත නෝම්බි කාලෙට ගෙදර ලොකු කෝප්පවලට වතුර පුරවල මුදවනව. හවසට ඒ ගෙවල්වල මගෙ වයසෙ කොලු ගැටවු එනව අයිස් අරං යන්න. ඊලඟ දවසෙ එද්දි හිස්කෝප්පවලට කංජි පුරවල ආපහු ගෙනත් දෙනව රාමසාන් උත්සව දවසට අපේ ගෙදරට වටලප්පමක් වරදින්නෙ නෑ ඉතිං.
කොහොමිං හරි ඔන්න අදටත් අපි මුස්ලිං ගංගොඩට එහයිං තියෙන අපේ වෙළට එහෙම යනකොට නෑකං කියල කතා කරල, තේ හදල දෙන මුස්ලිම් නෑයො අපිට ඉන්නව.
තාත්ත ඉන්න කාලෙ මුතුගල හන්දියෙ දන්සලේ ලයිට් වැඩවලට උදව්වට සුල්තාන් මාම එනව. අදට වුණත් අපේ ගෙදර ඉලෙක්ට්‍රික් වැඩකට කෝල් එකක් දීපු සැණින් එයා එනව. ඒ කාලෙ නං සතියකට වතාවක් විතර රහිමි ආච්චිගෙ අනික් පුතා, මරික්කාර් මාම එනව කොස් කඩං යන්න. රහිමි ආච්චි මැරුණෙ කොයි කාලෙද කියල නං මට මතක නෑ. ඒත් ඒ වෙලාවෙ අම්මයි තාත්තයි දෙන්නම මලගෙදර ගියාට මොකද සිරිත් අනුව ඇතුළට එක්කං ගිහිං මිනිය පෙන්නුවෙ අම්මට විතරයිලු. මට මතකයි “යකෝ මමනෙ උඹලගෙ නෑය, මට පෙන්නන්නෙ නැතුව හරියනවද” කියල තාත්ත පස්සෙ දවසක මරික්කාර් මාම එක්ක බොරුවට එකට එක කියා ගත්තත් එක්ක.
ඉතිං මං මේ පරණ තෝම්බු අවුස්සාන කියං ආවෙ ඔය ආච්චි මුස්ලිම් මනුස්සයෙක්ව බැන්ද එකයි, ඔය ගම හැදුන හැටියි ගැන තාත්තල කියපු අපූරු සින්දුවක් මතක් වෙලා.
කන බොන මනුස්සය වෙච්චි තාත්තට වෙසක් පොසොන් දවස් කියන්නෙ අපෙ ගෙදර බජව්වක් වරදින්නෙ නැති දවසක්. අපේ ගෙදර පැටියෝ එකට (Patio) අපි කිව්වෙ හුඩ් එක කියලනෙ. ගොඩක් වෙලාවට ඔය බජව්ව තියෙන්නෙ හුඩ් එක යට. තාත්තයි, අරනෝලිස් මාමයි, තව ජයතිලක මාම ආවොත් එයයි එකතු වෙලා සප්පායං වෙලා හෙම ගෙදරත් පාර අද්දර වෙච්චි දෙනෝදාහක් වෙසක් වන්දනාව යන දවස වෙච්චි කිසිම තැකිල්ලක් නෑ මහ හයියෙං සින්දු කියනව ඉතිං. තාත්ත සර්පිනාව හරි ඩොලැක් එක හරි වාදනය කරනව, ජයතිලක මාමනං නොවැරදීම එයාගෙ ජපන් මැන්ඩලින් එක අරං එනව. ජපන් මැන්ඩලින් එක හරි අපූරු භාණ්ඩයක්. යතුරු ඔබල පොඩි පතුරකින් කම්බි හතර නාද කරල ඒක වාදනය කරද්දි එන සිලි සිලි නාදෙට මට හිතෙන්නෙම ඒ යතුරු පුවරුවෙ හැම ස්වරයක් යටිංම කාසි මල්ලක් එල්ලල ඇති කියල.
පාන්දරම සිල් ගන්න යන ආච්චි අම්ම සිල් පවාරණේ කරල එනකොට බජව්වෙ මධ්‍යම භාගය. ඒ කියන්නෙ බුදුන්ගේ අමා ධර්මේ…, බුද්ධං සරණං ගච්ඡාමී.. වගේ ගීතවලිං වෙසක් සායං තවරල පටං ගත්තට මොකද බජව්ව මෝරණකොට හින්දි තනුවලට ලියපු සිංහල ප්‍රේම ගීතත් එක්කාසු වෙන්ඩ අරං. ආච්චි අම්ම පන්සලේ ඉඳල ගෙදර ආව කියන්නෙ ඉතිං බජව්වට වැඩි ආයුෂක් නෑ හමාර කරන්න වෙලාව ඇවිල්ල කියල තාත්ත ඇතුලු ගායක පිරිසට තේරෙනව. මල් නෙලන්ඩ යමිං එමිං දෙපාරක් විතර ආච්චි අම්ම තාත්තට රවනව. ඔන්න ඉතිං එතනිං පස්සෙ බජව්ව අවසාන භාගයට එළඹෙනව. බොහොමයක් වෙලාවට බජව්ව හමාර වෙන්නෙ මං අර කිව්ව ගීතෙ කියල තමා.
හින්දි තනුවකට ලියවෙච්ච සිංහල ගීතයක් තියෙන්නෙ”මුලදි නොකීවාට හෙව්වේ බැලුවේ නෑ නේද” කියල…අන්න ඒ තනුවට තමා මේ ගීතයත් ගැයුවෙ.
අබ්දුල්ලා මේ හනිෆාද
මුම්මානේ මේ උම්මාද
………………………………………
මේ වාගෙ ගෑනූ හින්දාම දරුණු
සිංහලය වැනසී ගියා
මීරැස්ස අරගත්ත පොඩි අප්පුහාමී
…………………………………………………..
…………………………………………………..
…………………………………………………..
තට්ටය රහිමීට කෙරුවාද ආලේ
………………………………………………..
………………………………………………..
………………………………………………..
ඔන්න ඔහොමයි ඒකෙ පද අමුණල තිබුණ. කතෘ අඥාතයි. හැබැයි මට හිතෙනව අපේ අත්ත ඔය පරණ සිද්ධි ගැන කියපු කතන්දර අහල තාත්ත ඕක ලියන්න ඇති කියල. මං මේ කියන කාලෙ වෙද්දි වෙසක් දවසට සප්පායං වෙලා බජව් දැම්මට මොකද ඉස්සර කොල්ල කාලෙ තාත්ත සුනිල් මාමත් එක්ක එකතු වෙලා ගමේ භක්ති ගීත වැඩසටහන් හෙම කරල තියෙන්නෙ භක්ති ගීත එයාලම ලියල, තනු දාල. තාත්ත වෙසක් නාට්‍ය, පොසොන් නාට්‍ය පිටපත් ලියපු, රතු තද පිට කවරෙ තියෙන සී ආර් පොත් අපේ ගෙදර තාමත් තියෙනව. ඒ කාලෙ ඔය බුද්ධිමය දේපල ගැන වැඩි තැකීමක් නෑ නෙ. ඉතිං තාමත් අපේ පැත්තෙ සමහර දහම්පාසල්වල තාත්ත ලියපු භක්ති ගීත ගායනා කරනව වෙසක් පොසොන් කාලෙට. ඒ කවුරුත් දන්නෙවත් නෑ මහිතෙ ඒව කොහෙන් ආවද කියල. ඉතිං මට සාධාරණ හේතු තියෙනව ඒක අපේ තාත්තගෙ වැඩක් කියල හිතන්න.
ඔය මුම්මාන කියන්නෙ අපේ ගෙවල් කිට්ටුව තියෙන මුස්ලිම් අය වැඩියෙන් ඉන්න ගමක්.. එතකොට ඔය අබ්දුල්ලා කියන මනුස්සය ගැන විවිධ කතාවලදි කියවිලා තියෙනව. අර අපේ මී ආච්චිඅම්මෙක් පැනල ගියයි කියන්නෙ එයා එක්කද කියන්න මට හරියටම නං මතක නෑ. කොහොමිං හරි පරම්පරා කීපයක් තිස්සෙ ඒ පැත්තෙං මේ පැත්තටත්, මේ පැත්තෙං ඒ පැත්තටත් ජෝඩු වෙලා පැනල ගිහිං හරි හිර ගනුදෙනු සිද්ධ වුණා කියන්න ඔය ගීතය සාක්කි දරනව. ඔන්න ඉතිං බජව්ව සමාප්ත කරන්න එන වෙලාවෙ ගායකයො සේරමලගෙ හඬ උස් වෙනව. අන්තිම වඩිය ටිකක් ලොකුවට වක්කරගෙන හන්ද ගායකයො වාදකයො හැමෝම ටිකක් වැඩිපුර හිතට අරගෙන එක අතක් උස්සල ලෙලවන ගමන් ගීතයෙ අවසාන කොටස ගායනා කරනව.
මේ වාගෙ ගෑ..න්නූ හින්දාම ද…රුන්…ණු
සිංහලය වැන…ස්සී ගියා… ආ……..
සිංහලය වැන…ස්සී ගියා… ආ……..
පාර අද්දර හන්ද ලෑන්ඩ් මාස්ටර්, ට්‍රැක්ටර්වල වෙසක් බලන්න යන සෙනගට පවා මේ බජව්ව හොඳට ඇහෙනව. සමහරු අප්පුඩි තලාගෙන, කෑ ගහගෙන යනව. ගෙදර පහු කරගෙන කඩේට යන අය බඩවල් අල්ලගෙන හිනා වෙනව ඕක ඇහුණම. ඒ විතරක් නෙවෙයි පහල මුස්ලිං ගංගොඩේ වයසක පහේ උදවියත් පාරෙ යනවනෙ. ඒ කෙනෙක්ට ඔය ගීතය ඇහුණොත් පාර අයිනෙ නතර වෙලා හිනා වෙවී අහං හිටිය. සමහර වෙලාවට ගෙදරට ගොඩ වෙලා අහගෙන ඉඳල පරණ මතක සිහි කරල හිනා වුණා. ආච්චි අම්ම නං ඒ හැටි කැමති නෑ ඔය සින්දුව කියනවට.. ඇරත් මහ හයියෙං නෙ.. ඒත් ඉතිං ඔය අන්තිම කොටස තනිකරම විනෝදය පිණිස මිසක කාටවත් එල්ල කරල අපහාසෙකට ලියපු හෝ ගයපු දෙයක් නෙවෙයි කියල හැමෝටම තේරුණා මහිතෙ.
කාල වකවානු හරියට මතක නෑ මට ඒත් නැගෙනහිර පලාතෙ දරුණු සටන් යන කාලෙ අපි දන්න අඳුනන කීප දෙනාට වඩා ගොඩක් දෙනෙක් ගමට එක්කාසු වුණා. මට මතකයි නිමල් මාමලගෙ වී මෝලට අල්ලපු හිස් ඉඩමෙ සුදු පාට ඉටිකොළ කූඩාරම් ගහගෙන ඒ අය සෑහෙන කාලයක් ජීවත් වුණා. පාර අද්දර අනාත නිවස කියල සිංහලෙන් අතින් ලියපු බෝඩ් එකක් ගහල තිබුණ. ඒ ඇයි කියලවත්, ඒක කරන්න ඇත්තෙ කවුද කියලවත් මට හිතා ගන්න බෑ. සමහර විට ඒ මිනිස්සුන්ට උදව් කරන්න එක්කාසු වුණ බෲස්ලි මාමලගෙ, වීරෙ මාමලගෙ හෙම වැඩක් වෙන්න ඇති.
ඔය කාලෙ වෙද්දි අපි ලොකුයි නෙ. ඉතිං ගෙදර බජව් දැමිලි සෑහෙන්න අඩු වුණා. හෙමින් සැරේ තාත්ත ඔය සින්දුව මිමිණුවත් අනේ මොකද්ද තාත්තෙ කියල අපි ඇහුවට දුවපියව් යන්ඩ කියල අපිට සැර කලා මිසක් ඒක අපිට ඇහෙන්න කිව්වෙත් නෑ.
අම්මෙ.. අම්මට මතකද අර තාත්තල බජව් දාද්දි කියන සින්දුව..? අර අබ්දුල්ලා මේ හනිෆා ද කියන එක??
මං අද හවස අම්මට කතා කරපු වෙලාවෙ ඇහුව..
අනේ මටත් තැනිං තැනිං මිසක් හරියට මතක නෑ චූටි පුතා.. අරනෝලිස්ට නං මතක ඇති. අරනෝලිස් එක්ක ඉතිං දැං වැඩි ගනුදෙනුවක් නෑනෙ.. දැක්කෙවත් නෑ කාලෙකිං
සමහර විට ජයතිලක මාමටත් මතක ඇති නේද?
අපරාදෙ ඉතිං අපි කාටත් ඒ සින්දුව මතක තියෙන්නෙ තැනින් තැනින්. මං ගිය පාර ලංකාවට ගියාම චූටි නැන්දව අල්ලගෙන සෑහෙන්න ට්‍රයි කලා ටිකක් හරි මතක් කරගන්න. එයාට මතක තිබුනෙත් මට මතක තැන්ම විතරයි. දැන් ඉතිං ඒක අහගන්න තාත්තත් නෑනෙ. තාත්ත නැති වුණාට පස්සෙ තාත්තගෙ යාලු මිත්‍ර ගායක වාදක සමූහයෙ යාම් ඊම් නැවතුනා නෙ. ඉතිං අන්තිමට මට කණිං කොණිං ඇහිච්ච, මතකෙ තිබිච්ච ටික මිසක මොකෝ ලියාගෙන තිබුණ කියලයැ පස්සෙ බ්ලොග් එකක් ලියන කාලෙක ඒ ගැන ලියන්න කියල හිතල.
කාලෙකට පස්සෙ ලියන්න මතක්වෙලා තියෙන්නෙ.
හෙහෙ… ඩ්‍රාෆ්ට් එකේ තිබුණ එකක් අයියෙ
ඔබේ පියා හරි සතුටින් ජීවිතය ගෙවපු කලාකාමී චරිතයක් වගේ.
ඔවු හරියටම හරි.
After a long long time. Glad to see this at an unexpected time akka..
Thanks nangi. 🤗
ඒ කාලෙ පැල් බැඳගෙන කියවපු බ්ලොග් එකක් පාළුවට ගිහින් තියෙන හැටි!
ඒකනෙ බං.
ඔයාට කියන්න ජනූ මං ළඟදි බුල්ටො කතාවක් ලිව්වා. ඒක ලියද්දි මට මතක් උනේ ඔයාවමයි. මතකද ඔයාත් ලියලා තිබ්බා කාලෙකට කලින්. ඩූඩ්වත් මතක් උනා. එයාත් දැන් ලියන්නෙ නෑනෙ. ඒ උනාට මේවා කියවනවා ඇති කියලා මට හිතෙනවා. ඔයාගෙ ආගමනය ගැන සන්තෝස වෙන තවත් කෙනෙක් ඒ.
ඔයාගෙයි රවි අයියගෙයි බ්ලොග්පෝස්ට් මට ඊමේල් එකෙන් එනව. ඉතිං මං එව්ව දකින වෙලාවට ෆ්‍රී නං කියවනව. ඒ ඇරුණම ඉතිං පහුගිය කාලෙ ලියන්න තරං විවේකයක් හෝ හිතක් තිබුනෙ නෑ. මේකත් මේ අවුරුදු ගාණකට කලිං ලියපු ඩ්‍රාෆ්ට් එකක්. සින්දුව හොයා ගන්නකල් දාන්නෙ නෑ කියල හිතං හිටියෙ ඉතිං. එහෙමවුණොත් දාන්නමවෙන එකක් නෑවගෙ කියල හිතුණ නිසා දැම්ම. දැං දෙන්න තුන්දෙනා වෙලා නිසා ටිකක් අමාරුයි වෙන වැඩකට වෙලාව හදාගන්ඩ.බලමුකො
බුදු අම්මෝ ජනුවෝ… මේක දැක්කම ඇති වුනු සන්තෝසෙ.. මං හිතන්නෙ අවුරුදු තුනකට විතර පස්සෙද කොහෙද…
අර කියන විදියේ ජපන් මැන්ඩලින් එකක් දැකලම නැද්ද කොහෙද.. ඒකෙ සද්දෙ ගැන කියනකොට අහන්නම හිතුනා…
සිංදුවේ අන්තිම ටික කියන විදිය කියවනකොට මට ඒක මැවිලා පෙනුනා… ඉන්න බෑ හිනාවෙ… සම්පූර්ණ සිංදුවම කියවන්න තිබ්බ නම් මරු…
🤗🤗
Just checked if you’ve written anything. So you have. Thanks so much and welcome back Janu.