රෙක්සි හෙවත් අභිනව ගෘහමූලික…!!

 

ඔන්න ඉතිං රෙක්සිය හෙමින් හෙමින් අපේ ගෙදර පාලනේ අතට ගත්ත. දවස ගානෙ ගෙදර මොනම හරි දේකට අලාබහානි කළා. හැන්දෑවට පෙම්බරය ගෙදර එනකල් බලන් පාර බලන් ඉඳල එයා ගලවල දාන මේස් කටින් අරන් එහාට මෙහාට පැන පැන අල්ලන සෙල්ලං කරන්න කතා කළා. ඒ මදිවට ගෙදරට එන කාව වුණත් සෙල්ලමට අල්ලගන්න මාන බැලුව. ඒ කාලෙ වෙද්දිත් රෙක්සිය හෙන උසයි. ඌට අපේ උරිස්සට අත් තියල අපිව බිම පෙරලන්න පුලුවන් බොහොම ලේසියෙන්. ඒ හන්ද පරිස්සමෙං තමා උන්දැ එක්ක ගනුදෙනු. මොකද පෙම්බරයයි මල්ලියි එක්ක මල්ලව පොර අල්ලල පුරුද්දට මූ මාවත් අල්ලගන්න එනව වෙලාවකට.

ලොකුම වරදකට තිබුනෙ අපේ ගෙදර හදිස්සියකටවත් කූඩුවක් නැති එක. ඉතිං ඌට ඕනෙ හැටියට අපේ දෛනික කටයුතු වෙනස් කරන්න වුණා. වෙලාවකට මට ඌරු ජුවල් නැග්ග. රස්සාවෙන් අස්වෙලා ගෙදර හිටිය මගෙ අලස සුවය මේකා ඇවිල්ල කාබාසිනිය කරල දැම්ම හන්ද.

අපරාදෙ කියන්න බෑ මේ පිස්සු හටන එක්ක ගෙවෙන කිසිම දවසක් එක වගේ නෑ.

ඒ තරම් ප්‍රීතිමත්ව, නැවුම්ව, ක්‍රියාශීලීව දවස අරඹන බල්ලෙක් මං දැකලම නෑ.  ඒ හන්දම උදේ නැගිට්ට වෙලේ ඉඳල මටත් ප්‍රීතිය කෙසේ වෙතත් දැඩි සේ ක්‍රියාශීලී වෙන්න වෙලා තිබුණෙ.

ගේ ඇතුලෙ හිටියොත් වෙන්න පුලුවන් අලාබහානිවල තත්වය ඉතා බරපතල වෙන්න ගත්ත හන්ද උදේ කෑම පිඟාන එලියෙන් තියල ඉස්සරහ දොර වහල එයාව එලියෙ තියන්න මං පුරුදු වුනේ ඒ හන්ද.

කොච්චර සෙල්ලං කළත් එලියෙ දිව්වත්  මං කාමරේ ඉන්න බව දන්න හන්ද රෙක්සිය සැරෙන් සැරේ ඇවිල්ල ජනෙල් දොරවල් හූරල එයාව ගෙට ගන්න කියල කනිපින්දං කිව්ව. මට දුක හිතෙන ස්වරයෙන් දුක් ගී ගායනා කළා. තරහෙ උපරිම අවස්ථාවෙදි ගමටම ඇහෙන්න බිරුව.

ඔන්න ඉතිං එයාගෙ බෑන්ඩ් වාදනය රටට කරදරයක් වෙන තැනට ආවාම කොච්චර අකමැත්තෙන් වුනත් මං එයාව ගෙට ගත්ත.

දොර ඇරිය ගමන් මාවත් තල්ලු කරගෙන පිස්සෙක් වගේ ගෙට එන රෙක්සි සමහර දාට තමන්ගෙ වේගෙ පාලනේ කරගන්න බැරුව ගේ ඇතුලෙ ටයිල් උඩ ලිස්සල ගිහින් වැටුන. මුල දවස් දෙක තුනක්ම මූ පිට පිට මගෙ කාසි දාන බෝල් එකම පෙරලුව. දෙවෙනි දවසෙ මං බනිද්දි ඔලුව හරව හරව බලන් හිටිය. තුන්වෙනි දවසෙ මටත් තරහ ගියා නොසෑහෙන්න. අහුලල ඉවරයක් නෑ. සමහර දවසට දෙසැරෙත් පෙරලනව ඒක.

දෙකක් දෙන්නම හිතුණ කොස්ස අරං. ඒත් හෙමින් සැරේ මොකද කියල කල්පනා කළාම තමයි මට තේරුණේ ඇයි එහෙම කරන්නෙ කියල.

ගෙට ගන්නෙ නැති තරහට රෙක්සිය අහුවෙච්ච වෙලාවෙ වේගෙන් ගෙට යන්නෙ මට තරහ යන වැඩක් කරල මාව අවුස්සන චේතනාවෙන්.

කාසි බෝල් එක ඒකට කියාපු භාණ්ඩෙ කියල ඌ දැනගෙන

දෙන්නං උඹට කියල මං ඊලඟ දවසෙ ඒක අරන් තිබ්බ අල්මාරිය උඩින්.

ඔන්න සිරිත් පරිදි දවල් මං දොර ඇරියාම රෙක්සිය පිම්මෙ දුවගෙන කෙලීන්ම ආවෙ කාසි බෝල් එක හොයාගෙන..

හෑ!! ඒක නෑ..!!

දිනපතා පෙරලල පුරුදු වෙච්ච සලබලාං බෝල් එක නැතුව රෙක්සිය එක පාරටම ඉද්ද ගැහුව වගෙ බ්රේක් කළා.

කාසි බෝල් එක තිබුණ තැන දිහාත් මගේ මූණ දිහාත් දෙපාරක් මාරුවෙන් මාරුවට බලල මොකද්ද ඔයා ඒකට කළේ!! යනාකාරයේ රෞද්‍ර බැල්මක් මං දිහාට හෙලුව.

මං හිත යටිං හිනා වෙලා කුරිරු සතුටක් ලැබුව

හොඳ වැඩේ… ඇද්ද උඹට!!

ඊලඟ තත්පර තුන හතර ඇතුලත සිද්ද වෙච්ච දේ කියන්න දුකයි!

රෙක්සිය පැන්න ගමන් රිංගුව කාමරේට. ඒකෙ එක ඇඳක් උඩට පැන්න. ඇඳ ඇතිරිලිවල මඩවලින් කකුල් පාරවල් සීල් තියමින් නැටුව..

මට කෑගැස්සුනා!!

ඒයි මෝඩ බල්ල බැහැපන් ඇඳෙන්..

මං වටපිට බැලුවෙ පාරක් දෙන්න යමක් හොයා ගන්න. කලින් වතාවෙ පස්සට අතින් ගහපු පාරෙ සැර මට දැණුන තරම අමතක වුනේ නෑ ඒ තරහ අස්සෙත්!!

අතට අහු වුණේ දොර මුල්ලෙ තියල තිබුණ, අපේ අම්ම ආවම ඇඳන් උඩ රස්නෙයි කියල එලන් නිදාගන්න කලාල පැදුර!!

මං දෑත බදල ඉලක්කෙ ගන්නකොටම මූ ඒ ඇඳෙන් පැනල කාමරේ අනික් ඇඳට නැග්ග.

අනේ ඉතිං ඒ ඇඳටත් අර වින්නැහියම වුණා!!!

මං කම්පනේටම ගල් වෙලා අතේ තිබුණ පැදුර උස්සගෙන මූට පාරක් තලාගන්ඩ අමතක වෙලා ඔහෙ බලං හිටිය.

ලස්සනට එක රැල්ලක්වත් නැතුව පිලිවෙලට තියල තිබුණ ඇඳන් දෙක යක්කු නටපු පිට්ටනි වගේ කරපු පිස්සු රෙක්සියා ඊලඟ මොහොතේ කඩාගෙන බිඳගෙන කුස්සියට දිව්ව. කලාලෙත් උස්සගෙනම මාත් රෙක්සිගෙ පස්සෙන් දිව්ව.

කුස්සියෙන් විහිදෙන ප්‍රණීත මාලු සුවඳට ඉව අල්ලපු බලුතඩිය එසැනින් හොයාගත්ත ඒ සුවඳ විහිදෙන්නෙ පැන්ට්‍රිය උඩ තියල නිවෙන්න තියල තිබුණ උගෙ බත් බාජනෙන් කියල.

ඉතිං මගෙ එදා දවසෙ වාසනා චක්‍රය තියෙන්නෙ උගේ අතේ බව මට ඉන්තේරුවෙන්ම ඒත්තු ගන්නන්ඩ වගේ  රෙක්සිය උගේ බත් භාජනේට තව ලං වෙලා ඉව කරන්න පැන්ට්‍රියට අත් දෙක තිබ්බ පාර තිබ්බවුනේ භාජනේ ගැට්ටෙ!

ටාං… රාං රාං.. රාං රාං ටං!!

භාජනේ බිම වැටිල සංගීතමය රිද්මයකට රවුම් රවුම් කැරකුණා.

බත් කන්ද කුස්සියෙ සිමෙන්ති පොළව උඩ සීසීකඩ විසිරුණා!

කටවහපන් භාජනේ!!! කියල භාජනේට පැන පැන දෙපාරක් බුරපු රෙක්සිය මං දිහා අපූරු නැටුම් බැල්මක් හෙලල බිම තුනී වුණ බත් පංගුව කාගෙන ගාගෙන යන්න පටං ගත්ත.

මං කලාලෙ බිම අතෑරල කුස්සියෙ ජනේලෙ ලඟ පුටුවෙ ඉඳගෙන කම්මුලේ අත තියාගෙන ගෘහමූලිකය සිහියක් පතක් නැතුව දවල්දානෙ ගන්න හැටි බලං හිටිය.

හොඳයි මං වෙන මක්කරන්නද?

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

12 Responses to රෙක්සි හෙවත් අභිනව ගෘහමූලික…!!

  1. ravi says:

    උඹ චේතිය බොරුද කොහෙද බං කියන්නෙ? අර වීඩියෝ එකේ ඉන්න බල්ල හරිම සීදේවි පාටයිනෙ. දැක්කම වඩාගන්ට හිතෙනව…:)

  2. අපේ දුව දවසක් කිව්වා, බල්ලන්ට ඕනෙ අපි කවුරුවත් රස්සාවල්වලට, ඉගෙනගන්න නොගිහින් ගෙදරටම වෙලා උනුත් එක්ක සෙල්ලම් කර කර ඉන්නයි කියලා. අපි මේ මහන්සි වෙලා පාං කියාගන්න බැරුව ඉන්නකොට උන් එනවා බෝලයක් අරගෙන සෙල්ලම් කරන්න.

  3. Asokamala says:

    ඒ බල්ලාත් මේ බල්ලාත් හැර තවත් බල්ලන් කී දෙනෙකු සිටීද කියලා ඇහුවට තරහ නැහැ නේද? 🙂

  4. rangi says:

    කිසි ගතියක් නෑ බං. රෙක්ශියා බොට සලකලා මදිවගේ…
    අඩු ගානේ අපි සතුටුවෙන්න ඕනේ උඹට මේ වගේ කවුරුහරිවත් හිටිය එක ගැන සිසිර කාරක නින්දෙන් ඇහැරවන්න…
    thank u recsi boy…

    • හෙහෙ.. අනේ බොල

      • rangi says:

        එහෙම කියන්න එපා හරි… බව් බබාලා අවුරුදු දෙහක් වෙනකම් තමයි හැදෙන්නේ. ඊට පස්සේ උන් වයසට යන්නේ හෙමින්. අර කාලේ උන් කරන්න ඕන ඔක්කොම ටික කරනවා. හරියට මම පොඩි කාලේ වගේ….
        දැන් රෙක්ශි සයිලන්ස් වෙලා ඇති. එයාලා හිතන්නේ මුළු ලෝකෙම සෙන්ටර් වෙන්න ඕනේ එයාලට අනුව කියලා. කොටින්ම මගේ යාළුවගේ බව්වා යාළුවගේ ළමයට කරන හැමදේටම කලින් බව්වටත් ඒ විදියටම ට්‍රීට් කරන්න ඕනේ. නැත්නම් ස්ට්‍රයික්… කොටින්ම අර පොඩි කොල්ලව හග් කරලා වඩා ගත්තොත් බව්වාව හග් නොකර එතන ඉඳන් අපිත් හතුරෝ. දැන් අවුරුදු දෙකට වැඩියි දැන් ඕනේ දෙයක්. හෙන ගැහුවත් ගාණක් නෑ. හරියට අපි වගේමයි බං.

  5. බල්ලො පොඩි කාලෙයි, කොල්ලෝ පොඩි කාලෙයි දෙකම එක වගේ කියලා අපෙ අම්මා කියනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s