මං කිව්වනෙ කලිනුත් අපේ අම්ම රොවා (සීනියර්වයි ජූනියර්වයි දෙන්නම) ව හැදුවෙ බොහොම සිල්වත්ව දැහැමිව,පිරිසිදුව ඉන්න කියල දීල. මේ කතාව රොවා ජූනියර් ගැන. කොටින්ම එයා ඉන්නෙ එයාටම කියල කුස්සිය පිටිපස්ස දොර ඇරෙන තැන හදාපු බාග දැල් බිත්ති තියෙන කාමර කෑල්ලෙ නිදැල්ලෙ.. එතනින් එලියට මිදුලට බහින්න තියෙන දැල් දොර අස්සෙන් උන්දැට ගංගොඩට යන පාර පේනව. ඉතිං අම්මට ගංගොඩ පාරෙ යන කොල්ලොයි බල්ලොයි එක්ක රොවා හදාගන්න ආරෝවල් විසඳල ඉවරයක් නෑ. කොච්චර ගුණ දහම් කියාදීල හැදුවත් ඉතිං බල්ලෙක්ට වුණත් ඉවසන්ඩ පුලුවංද ඔය හැටි වැට අස්සෙං පොඩි කොල්ලො කොලොප්පං කරදන එක පේනකොට?
ඒ මදිවට රොවා යම් යම් දේ දන්නව.
එයා අපේ අම්ම සාරියක් ඇඳල එලියට බහිනව නං එයාගෙ විලාපය පටන් අරන් කිසිම පලක් නැති බව මනාව වටහගෙන ඉන්නෙ. හැබැයි සායක් හැට්ටයක් ඇඳල එලියට බැස්සොත් නං විනාසයි. අම්ම කඩේ ගිහිං එනකල්ම විලාප තියනව.
අම්ම හැමදාම හැන්දෑවට එයාට කිඹුල බනිසක් දෙනව. රොවා ඉතිං හැදියාව පිළිබඳ බලු තරඟයක් එහෙම තියෙනව නං ආයෙ එකෙන්ම දිනන තරං හැදියාව අතිං ඉහළයි. කවදාවත් පැන්න ගමන් කාගෙන කාගෙන යන්නෙ නෑ.. ඕක ලඟ තියාගෙන මැණිකක් රකිනා නා රජිඳෙකු සේ ආඩම්බරෙන් ඉන්නව. අම්ම තේ එක බීල ඉවර වෙනකොටත් ඕක තියාගෙන ඉන්නව නං අම්ම පූසොන්ට කතා කරනව.
“පූස්… කෝ මේ පූස්.. ඇවිල්ල මේ රොවාගෙ කිඹුල බනිස් කන්ඩ” කියල.
ඔන්න රොවා නැගිටිනව.
කන් දෙක කෙලින් වෙනව. පිඹිනව. අම්මගෙ තීරණය ගැන අකමැත්ත ප්රකාශ කරන්ඩ බලුකාමරේ වටේ රවුම් රවුම් කැරකෙනව. වැරදිලාවත් කාමරේ කොනේ වී ගෝනි උඩ පූසෙක් නිදාගෙන හිටියොත් ඉතිං රොවා පැන්න ගමන් අර පූසට බුරා හැලෙනව. පූස උඩ ගිහිං ඇහැරෙන්නෙ. ඉතිං උන්දැට වෙන්නෙ බෙලි ගෙඩිය තල් අත්ත උඩට වැටුණ වෙලාවෙ හාව දිව්ව වගේ දුවන්න තමා.
ගුණවතී නැන්ද ඇවිල්ල ඉන්න වෙලාවක නං එයා කියනව
“කෝ නෝම්මාත්තය මට දෙන්ඩ රොවා කන්නැත්තං කිඹුලව” කියල..
කොච්චර යාලුව වුණත් කිඹුල බනිස් නං බෙදාගන්ඩ බෑ කියල රොවා ගුණවතී නැන්දට ඔරවල හීං හඬින් ගොරවල කියනව.
රොවා හැමදාම කිඹුල බනිස කන්න පටං ගන්නෙ ඔය තේවාව පවත්වල තමා
අපේ රොවා නාන්න කොච්චර අකමැති වුණත්, පුංචි කාලෙ ඉඳල සතියක් ගානෙ අම්ම උන්දැව ගේ පිටිපස්සෙ ටැප් එක ලඟට දක්කං ගිහිං නාවනව. ඒකත් එක නාඩගමක් ඉතිං.

අම්මා, ගුණවතී නැන්දා සහ රොවා
“හා නාමු කොල්ලො…” හොඳට ඉර පායල අවුව වැටුණ දවසට අම්ම රොවාට කියනව. රොවා ඉතිං නහය පිඹ පිඹ හචිං ඇර ඇර එයාට හෙම්බිරිස්සාව ආදී නෑමෙන උත්සන්න විය හැකි රෝගාබාධ තියෙන බව හඟවන්න හදනව.
අම්ම යකඩ ඉන්න අතට ගත්තාම ඉතිං රොවා දන්නව එයාගෙ සම්යප්රයෝග එකක්වත් රොවා නෑවීම පිලිබඳ තීරණය වෙනස් වෙන්න හේතු වුනේ නැති බව. අම්ම යකඩ ඉන්න ගෙනිහිං ටැප් එක ලඟ බිම හිටෝනව. ඊට පස්සෙ රොවාව ඇදගෙන බලෙන් වගේ ගෙනිහිං බෙල්ල ලඟ ඉඳල අඩියක් වගේ දුර ඉතුරු කරල යකඩ ඉන්නෙ ගැට ගහගන්නව. රොවාට වෙනම සබන් පෙට්ටියක් තියෙනව. ඒකත් ගෙනල්ල තියෙන්නෙ.
ඉතිං කොච්චර අකමැති වුණත් රොවාට නාන්න වෙනව.
සබං ගානකං ඉඳල රොවා චට පට චට පට ගාල සරුවාංගෙම ගසනව.
“මක්කරනවද කොල්ලො?” අම්ම ආදර තරවටුවක් කරනව.
නාල බාගෙට පිහල එක්කන් ඇවිල්ල එයාගෙ පිහින රෙද්ද බිම එළල දුන්නාම ඒකෙ වැටිල රොවා පිට පිහගන්නව.
රොවාට කන්න දෙන්නෙ බෙලෙක් පිඟානක. වතුර බොන්න ඇලුමිනියම් මැටිකෝප්පයක් දෙන්න වුනේ ප්ලාස්ටික් භාජනවල කල්පැවැත්ම සම්බන්ධයෙන් රොවා ගෙ ඉතිහාසය අන්තිම නරක වීම නිසයි.
පැටිය කාලෙ එයාට වතුර දුන්න ෆෘට් ඇන්ඩ් නට් ෆියෙස්ටා අයිස්ක්රීම් භාජනයක් අම්ම එහෙ මෙහෙ වෙනකල් ඉඳල ඇස්වට්ටියක් වගෙ වෙනකල් හිල් විදල තිබුණ. අපරාදෙ කියන්න බෑ අපේ රොවා කරන වැඩේ පිලිවෙලට කරනව. ඒ හන්ද අම්මට ඒකෙං හදිස්සියකට ආස්මි වුණත් වක්කරගන්න පුලුවං ගාණටම හිල් විදල.
ආයෙ දවසක අම්ම ගෙදර එන්න පරක්කු වෙලා. මෙයාට තරහ ගිිහින්.. කරන්න දෙයක් නැති තැන කන්න දුන්න පරණ ප්ලාස්ටික් බේසම මුලුවසං සත පහේ විතර කෑලිවලට කඩල තිබුණ.
එතනින් සෑහෙන ප්රමාණයක් උන්දැ කාල ගිලින්නත් ඇති තියල අම්ම බයවෙච්ච පාර රොවාව එයාගෙ ඩොක්ට ආන්ටි ලඟට එක්ක ගියා.
කොයි වෙලේද කෑවෙ කියල ඇහුවට කියන්න දන්න එකක්යැ? ඒ වෙලාවට වැරදි වැඩක් කළා කියල දන්න හන්ද නට්ට අකුළං ඉන්නව විතරනෙ. ඉතිං වමනෙ යන්න බෙහෙත් දුන්නට වැඩක් නෑ කිව්වලු.
එදයිං පස්සෙ උන්දැට ප්ලාස්ටික් කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ.
පුංචිම කාලෙත් මල්ලි ගෙදර නං රොවා නිදාගන්නෙ මල්ලිගෙ කාමරේ. යන්තං ඇඳට නැගගන්න පුලුවං කාලෙ ඉඳල මල්ලි ආවම කලින්ම කාමරේට රිංගගෙන ඇඳ යට ඉඳඟෙන අම්ම කාමරෙට එන ගානෙ මෙයා අම්ම එයාව එලියට දාවි කියල හිතල කලින්ම ගොරවනව. මල්ලිට හොඳටම නින්ද ගියාම හොරෙන්ම ඇඳට නගිනව. නැගල මල්ලිව තල්ලුකරල දාල හැඩට කොට්ටෙ උඩ නිදාගන්නව.
තාමත් මල්ලි ගෙදර ගියාම ඒ දවස් ටිකට අම්ම වටේ කැරකෙන්නෙ නැතුව එයා ඉන්න තැනක ඉන්න තමා රොවාගෙ වැඩි මනාපෙ.
ඒ විතරක් යැ රොවාට වෙනම නිදාගන්න එලන රෙදි තුනක් තියෙනව.
උන්දැ මක්කරලවත් නිදාගන්නෙ නෑ ඔය රෙද්ද සෝදල සුවඳ හම හමා තිබුණෙ නැත්තං. ඔය රෙදි කතන්දරේ පටන්ගත්තෙ රොවා අම්ම නිදාගන්න කං ඉඳල ටීවී එක වහන රෙද්ද ඇදල බිම එලාගෙන නිදාගන්න පුරුද්දක් පටන් ගත්තට පස්සෙ. ඒ පාර අම්ම ටීවී එක වහන සැටින් රෙද්ද වගෙම එකක් එයාට දුන්න නිදාගන්න.ඒත් ඒකෙ එක දිගට නිදාගන්නෙ දවස් දෙකක් නැත්තං තුනක් තමා. වැරදීමකිං හරි ඊලඟ දවසෙත් ඕකම තිබුණොත් කෙලින්ම ටීවී එක වහන රෙද්ද ගත්ත එලාගත්ත නිදාගත්ත.
ඒ පාර අම්ම එයාගෙ රෙද්ද හෝදල දුන්න. අන්න එතකොට ඒකෙ හැඩට නිදාගන්නව. පොඩ්ඩක් වත් බලු ගඳ එනව නං බල්ලෙක් වෙලත් රොවා ඒ රෙද්ද උඩ නිදාගන්නෙ නං නෑ.
ඉතිං රෑට නිදාගන්න ගෙට ආවාම අම්ම ඔය රෙද්ද දීල
“හා එලාගන්ඩ කොල්ලො” කියනව
ඉතිං ඒක කියනකල් බලන් හිටිය වගේ රොවා ඒක මේසෙ යටට ගෙනිහිං හොම්බෙං එලාගන්නව. එක රැල්ලක් නැති වෙන්න එලිල තියෙන්න ඕනෙ.
අම්ම කියනව එයා දැකල තියනෙවලු රොවා රෑ මැදත් නැගිටල ඒක රැලිවැටිල නං ආපහු එලනවලු.
රෙද්ද එලල ගිහිනං එයා ටීවී බලන ඇඳ උඩ ඉඳගෙන ඉන්න අම්මගෙ දනිස් උඩින් ඔලුව තියල මූණ බලන් ඉන්නව.
ඒ ඉන්නෙ ඔලුව අතගාවගන්න.
මල කෝලං තමා ඉතිං!
අම්ම ඉතිං ඔය දවල්ට එක එක වැඩ කරල ඇඟපතේ අමාරුවට ශූලහර හරි, තුවාලයක් එහෙම නං සර්වවිශාදී තෙල් හරි ගානව නෙ. ඉතිං ඒ ගාල අතේ ඉතුරු තෙල් ටික අර අවුරුදු කාලෙට අපේ ඉසතෙල් ගාන්නැහෙ අම්ම රොවාගෙ ඔලුවෙ ගානව.
රොවා හරි ආසයි සර්වවිශාදී තෙල් ගානවට. තිත්තම තිත්ත රහක් තිබුණත් උන්දැ ඒ තෙල් ගෑවිච්ච තැන ලෙවකනව.
ඒ නැතත් අපේ රොවාට මීමැස්සෙක් ඇන්නත්, කිනිතුල්ලෙක් කෑවත් ඇති ඇලර්ජි වෙලා පලු දාන්න. ඉතිං අපේ අම්ම රොවාව නිතිපතා සරුවාංග පරීක්ෂාවකට ලක් කරල සර්වවිශාදී තෙල් අල්ලක් අරං ඇඟ පුරා අතුල්ලනව.
“හා ගිහිං නිදාගන්ඩ කොල්ලො” කිව්වම අම්මගෙ මූණ දිහා බලං ඉඳල දිග හුස්මක් හෙලල ගිහිං අර එලල ආව රෙද්ද උඩ නිදාගන්නව
මතක් කර කර ඔය වගෙ එව්ව ලියන්න නං බැරියැ ගමකට..
රොවාගෙ මේ නරිනාටක කාලයක් තිස්සෙ බලං ඉඳපු මට හිතෙන්නෙම එක්කො රොවාට හොඳට සිංහල තේරෙනව.. එහෙමත් නැත්තං රොවා බලු වෙසින් ඉන්න මනුස්ස පරාණයක් වෙන්ඩ ඕනෙ
බල්ලෙක්ට ගිය කලක් අම්මපා!!
සමහර දරුවන්ටවත් දෙමව්පියන්ගෙන් මෙහෙම ආදරයක්, අවධානයක් යොමු නොවෙන කාලෙක ඔයාලගේ අම්මා ළග හැදෙන්න බල්ලෙක් උනත් රොවා ලොකු පිණක් කරලා ඇති අක්කා.
ඒකනෙ රොවා එක්ක අපි ලාවට වගෙ ඉරිසියා
මේ ජානු වෝ… ( එහෙම කියන්නේ අපි ආදරේට හරි ) මට බැරිද බං ඔය උඹලාගේ ගෙදර ගිහින් දවසක් දෙකක් ඉඳලා එන්න බොලත් පිටගම් රටවල් වල ගිය එකේ බොලාගේ අම්මා මටත් කිඹුලෙක් දෙකෙක් ගෙනත් ටිකක් සාත්තු සප්පායම් කරයි නෙව. !
රොවා ගැන ඇහුවම හරි ආදරේ හිතෙන පිළිවෙළක් ඌට තියෙනවා. සුවර් එකට මනුස්ස බව්වේක් වෙන්න ඕනේ.
මොනවා වුනත් සිසිර සීතලෙන් ඇහැරෙන්න රොවා හරි ඉන්න එක මට හරි සතුටුයි බං
අපේ ගෙදර ගියාම බොට කාල බීල කරතියං එන්න දේවලුත් දෙයි අම්ම.
මම කොහොමත් කැමතියි බලු කතා වලට. අපේ ගෙදර ඉන්න එකත් ඔය ආකාරෙම එකෙක්. (සර්වවිසාදිය සහ ටීවී රෙද්ද හැර.) ඌ කරන මල සමයං දැක්කම හිතේ තියෙන ප්රශ්ණ අමතක වෙනවා. අන්න දැනුත් අපේ පොඩි එකාගෙ ඇඳේ හොඳටම නිදි
බල්ලන්ට අපි නොහිතන තරම් අපිව තේරෙනව අප්පා
බල්ලෙකුට වුනත් ඉතිං හැමදාම කිඹුලා බනිස්ම කන්ට පුළුවනෑ.. අම්මට කියන්ට බැරිද එවුවා පොඩ්ඩක් එහාමෙහා කරලා දෙන්ටය කියලා? අද කිඹුලා බනිස්, හෙට ජෑම් බනිස්, අනිද්දට ඥානකතා වගේ… :-O
මං හිතන්නෙ ජෑම් බනිස් නං ඌ කන්නෙ නෑ බූරයිය. හැබැයි ක්රීම් ක්රැකර් රුසිය.
ක්රීම් ක්රැකරුත් කන එකේ, චීස් කෑල්ලකුයි, වයින් වීදුරුවකුයි දීලා බලන්න. එපා කියන එකක් නැහැ.
/ වතුර බොන්න ඇලුමිනියම් මැටිකෝප්පයක් දෙන්න වුනේ …./
මොකද්ද බොල මේ ඇලුමිනියම් මැටි කෝප්පෙ කියන්නෙ?
/අම්ම කියනව එයා දැකල තියනෙවලු රොවා රෑ මැදත් නැගිටල ඒක රැලිවැටිල නං ආපහු එලනවලු./
මේ යෝදියෙ..මේ සීන් වීඩියෝ කරල අප්ලෝඩ් කරපංකො අපටත් බලන්ට, අර උඹේ මේ ලෝකෙ රහක් නැති සිංදු ක්ලිප්ස් අප්ලෝඩ් කරන වෙලාවෙ….:)
ඇලුමීනියං මැටි කෝප්පෙ කියන්නෙ මැටිකෝප්පෙ හෙවත් මඩක්කුවෙ හැඩේට ඇලුමිනියම්වලිං හදාපු එක
ඒක වීඩියෝ කරන්ඩ කියල මං අපේ මල්ලිට කියන්නංකො එහෙනං