රොවා සහ ගැම්බලයා…!

 

ඔය අපේ බල්ල රොවා ඉන්නවනෙ. සිල්වත් සුපේශල බල්ලෙක් විදියට තමා අපෙ අම්ම හැදුවෙ. කොටිම්ම අපේ ගෙදර‍ට ගේන බටර් බලුබටර්, බිත්තර බලුබිත්‍තර, වෙනේකක් තියා කඩේ මුදලාලි මාමත් අහන්නෙ “නෝන අද බලුබිස්කට් ගන්නෙ නැද්ද?” කියල. අපේ ගෙදර පූසො කැලතකුත් හිටිය.

මේ කියන්න යන සිද්ධිය වෙනකල්ම රොවා බල්ල හිටියෙ නිකං ඌට පූසො අරහං වගෙ. උන්ට පලාතක එන්ඩ දෙන්නෙ නෑ.. අම්ම දුම්මැස්සෙ තියපු උම්බලකඩේට කිට්ටු වෙන්න වත් දෙන්නෙ නෑ. කොටින්ම අපේ පූසොන්ගෙ විනය පිළිබඳ සියලු කටයුතු අම්ම බාර දීල තිබුනෙ රොවාට. ඉතිං මේ ආකාරයෙන් කටයුතු සිද්දවෙන අතරෙ ඉපදුන දා ඉඳල සෝෆාවේ පැහැරීම වැනි අලුගුත්තේරු වැඩ කරන නොසන්ඩාල පූසෙක් වුණ ගැම්බලයගෙ විනය අන්තීම නරක තත්වෙට හැරුණ හන්ද අම්මට සිද්ද වුනා උගේ ගෘහාභ්‍යන්තර වරප්‍රසාද අත් හිටුවල ඌව නෙරපන්න. රොවත් මේ  තීරණේ ඉහලින්ම අනුමත කලා විතරක් නෙවෙයි ගැම්බලයගෙන් අම්මට නැවත කිසිදු වදයක් නොවෙන්න ආරක්ෂක විධිවිධාන තර කලා. කොටින්ම රොවා පිටිපස්සෙ දොර ලඟ හොර නින්දෙන් වැතිරිලා කටාක්ෂ නිරීක්ෂණය කරමින් ගැම්බලයගෙ ප්‍රවේශ මාර්ග අවහිර කලා.

ඒ වෙද්දි ගැම්බලයගෙ දෛනික ආහාර සලාකය පවා කපා හැරල තිබුනෙ. (එහෙන් මෙහෙන් අල්ලගන්න,දෙමලිච්චෙක් ලේනෙක් ඇරෙන්න ඒ වෙද්දි ගැම්බලයගෙ එකම ෆුඩ් සප්ලයි එක අම්ම කපුටන්ට කන්ඩ දාන බත් ටික කියලයි අපි හිතුවෙ) ඉතිං ඒ වගේ අහේනි  තත්වයක් යටතේ වුණත් ගැම්බලයා වගේ වගක් නැතිව  පුස් ඌරෙක් වගේ පුෂ්ටිමත්ව ඉන්න එක ගැන අම්මට සැක හිතුන. ඒ පිලිබඳ පරීක්ෂණ අපේ ගෙදර රහස් පරීක්ෂිකාව වන මට පැවරුණා. මුල ඉඳලම මට ගැම්බලය සම්බන්ධව රොවාගේ හැසිරීම ගැන සැක හිතුන. ඉතිං මං තීරණය කලා මගේ පරීක්ෂණය එතනින් ආරම්භ කරන්න.

මගේ මූලික නිරීක්ෂණවලින් එකක් තමා කෑම වෙලාව වෙද්දි රොවාගෙ හැසිරීම ඉතාම අසාමාන්‍ය බව. ගැම්බලයව නෙරපන්න කලින් අම්ම රොවාගෙ කෑම පිඟාන ලං කරද්දි නැගිටල මේඝ ගර්ජනා පවත්වල පූස් කැලතම එලවල දාන රොවා මේ වෙනකොට අම්ම කෑම එක ලං කරද්දි අඩු ගානෙ නැගිටින්න වත් කම්මැලි කරල එක ඇහැක් යාන්තමින් ඇරල බලල “ආ… කෑමද…. කන්නත් බෑ වගේ… ඔන්නොහෙ තියල යන්නකො” වගෙ බැල්මක් තමා හෙලන්නෙ. අනේ ඉතිං අපේ අම්ම රොවාට පණු ගාය කියල පණු බෙහෙත් දෙනව. බත් කාලම නැත්තං බලුබිත්තරයක් බුල්සයි දාල ඒක අනල බත් දෙනව.

ම්හු.. හරි යන්නෙම නෑ.. පිඟානෙන් බාගයක් හැමදාම ඉතුරුයි.

ඔන්න ඔය අතරෙ රහස් පරීක්ෂිකාවගෙ තියුණු කන්වලට කීප දවසක් ඇහුණ අම්ම කෑම එක ලං කරල ටිකකිං අමුතු කූං කූං හඬක්. ඒ හන්ද පරීක්ෂිකාව තීරණය කලා පරීක්ෂණ කටයුතු කඩිනම් කරන්න.

එදා රෑ සිරිත් පරිදි අම්ම කෑම ලං කලා. රොවාස් ෆේවරිට් උම්බලකඩ පියලි, ගාපු පොල් සහ බටර් මුසු බත් එකේ සුවඳට ජනේලෙ ලඟ ඉඳන් නිරීක්ෂණය අරඹපු  මටත් කාල බලන්න ඇත්තං කියල හිතුණ. රොවත් සුපුරුදු  උදාසීන ලීලාවෙන් අම්ම දිහා බලල දානෙ පිලිගත්ත. විනාඩියක් විතර ගෙවිල ගියා. “අයියෝ බඩගිනිත් නෑ. ඒත් මේ සුවඳවල් එද්දි ඉතිං නොකත් බෑ” වගේ මූණ හදන් ඈනුමක් එහෙම ඇරල නැගිට්ට රොවා බත් කන්ද අතනින් මෙතනින් කන්න පටන් ගත්ත. ඒත් කන් දෙක වරින් වර මිදුල පැත්තට හැරවුණා. ඒ කන වෙලාවෙ වත් රොවා තමන්ගෙ සර්වේලන්ස් නවත්තල නෑ නේද මං රොවා ගැන වැරදි වැටහීමකින් නේද හිටියෙ  කියල සත්‍යාවබෝධය ලබල මං පරීක්ෂණය නවත්තන්ඩ යද්දිම ඒ අසිරිමත් මොහොත උද වුණා.

රොවා කෑම නවත්තල කුස්සියෙ දැල් දොර ලඟට හිහින් සිව්වරක් කූං කූං ගා සංඥා කලා. ගැම්බලයගෙ කොලපාට ඇස් මිදුලෙ අඳුර අස්සෙන් මතුවුණා.

ඌට රිංගන්න ලොවෙත් බෑ යැයි කියා අම්මා සිතූ දැල් දොරේ කැඩිච්ච තැනකින් ගැම්බලයා කුස්සියට ආවා. ඇවිත් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් යටහතපහත්කමක් නැතුව රොවා ඉතිරි කරපු බත් පංගුව කාගෙන කාගෙන ගියා..
පරීක්ෂණය පිලිබඳ මං සපයපු සවිස්තර වාර්තාව ඇහුවම අපේ අම්මගෙ ඇස් උඩ ගියා!

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

14 Responses to රොවා සහ ගැම්බලයා…!

  1. ඌට බලු මනුස්සකම් තිබිලා! ඒකයි… 😀

  2. KUSUMSIRI says:

    ඹය ඇත්තම ද?

  3. යකෝ උම්මග්ග ජාතකේ බලු එලු සීන් එක වගේ නෙ.. ඔය කිව්වට ගැම්බ ත් විස්සාස නෑ .. සාලවනේ එහා කොනේ ඉන්න බලු නෑම්බියන්ට රොවාගෙ එස් එම් එස් ගෙනියන්නෙ ගැම්බ ද දන්නෑ..

  4. නදී says:

    කවුද දන්නේ රොවිිගේ අවටියල් වැඩක් එහෙම ගැම්බලයට මාට්ටු වෙලා, ගැම්බලයා ඒකෙන් රොවාව බ්ලැක්මේල් කරනවද දන්නෙත් නෑ. මේ නම් ෂර්ලොක් හෝම්ස්ට භාරදෙන්න වටින අභිරහසක් නොවැ…

  5. මාර ඩබලක්නේ අප්පා. බල්ලො ඔහොම කරාට පූසෝ ඔච්චර ලෙන්ගතු නැහැ මගේ හිතේ.

  6. ජරා වැඩක් කලාම බලු වැඩ කරන්න එපා කියන එක කොයිතරම් වැරදිද! හරිනම් කියන්න ඕනෙ මනුස්ස වැඩ කරන්න එපා බං කියලයි.

  7. ravi says:

    The Difference between Dogs & Cats:

    A dog thinks: ‘Hey, these people I live with feed me, love me, provide me with a nice warm, dry house, pet me and take good care of me … THEY MUST BE GODS!’

    A cat thinks: ‘Hey, these people I live with feed me, love me, provide me with a nice warm, dry house, pet me and take good care of me … I MUST BE A GOD!’

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s