ඉඳිආප්ප කතාව…!

img_20160915_183341

“අනේ තාත්තෙ අදත් ඉඳිආප්පද? මට බෑ හැමදාම ඉඳිආප්ප කන්න.”

තුං දවසක් එක දිගට රෑට ඉඳිආප්ප කාල හතර වෙනි දවසෙත් රෑට තාත්ත ඉඳිආප්ප පිටි අනනකොට මං නහයෙං අඬනව.

“එහෙනං චූටි පුතාට කන්න  දවල් බත් ඇති…”

මගෙ අඬෝවැඩියාව අහං ඉන්න බැරි තැන අම්ම මට මතක් කරනව.

ඔක්කොමත් හරි කෑවෙ නැතත් තාත්ත මට දෙනව ආ මෙන්න පුරුදු වෙනව කියල ඉඳි ආප්ප මිරිකන්න..

ඔය ඉඳිආප්ප තැම්බිල්ලෙ එපාම වෙන ටික තමා අර කෑලි දෙකේ වංගෙඩියෙං ඉඳිආප්ප මිරිකන එක. ඒ කාලෙ ඉතිං මං ඉඳිආප්පයක් මිරිකල විනාඩියක් හති අරිනව කියල තාත්ත හිනා වෙනව.

ඉස්සරම ඒ කියන්නෙ දැං වගේ ඉඳි ආප්ප පිටි පැකට් කඩේ ගන්න නැති කාලෙ අපේ ගෙදර සතියකට වතාවක් අපි ඉඳි ආප්ප පිටි තැම්බුව.

ඒ කියන්නෙ පාං පිටි පිට්ටු ගොට්ටෙ දාල ස්ටීමර් එක ඇතුලෙ තියල පැයක් විතර තම්බනව. අපේ පැතිවල තියෙනව පිටි තම්බන්ඩම වියපු ගොටු. ඒක කිරි ගොටුව කියල අපි කියන පොල් කිරි පෙරන වේවැල් ගොටුවට වඩා කෝණාකාර බවින් අඩු, කට පැත්තෙන් තරමක් මහත ගැටියක් තියෙන ගොටුවක්.

එතකොට ලිපෙන් බෑවාම එලියට එන්නෙ පිට්ටු ගොට්යෙ හැඩේට පිටි ගුලියක්.. ඕක නිවෙනකල් තියන්න බෑ.. කැට ගැහෙනව.

ඊට කලිං උණු උණුවෙන්ම පොඩි කරන්න ඕනෙ.. අන්න ඒකට මං හරි ආසයි.. මං කරන්නෙ පිහියක් අරං ඒ පිටි කැටේ කෑලි කපනව. ඒක හරියට පිහියකින් චීස් කපනව වගේ.

ඊට පස්සෙ යාන්තං නිවුනම අතින් පොඩි කරල පෙනේරෙන් හලනව. ඒ පිටිවලට ගානට උණු වතුර දාගෙන තමා ඉඳිආප්පවලට පිටි අනන්නෙ..

පිටි ඇනිල්ලත් එක්තරා සාස්තරයක්. වතුර රස්නෙ වැඩි වුණත් අඩුවුණත් ඉඳි ආප්ප අවුල් වෙනව. ඒ විතරක් නෙවෙයි වතුර වැඩි වෙලා පිටි දියාරු වුණොත් මිරිකන්න ලේසි වුණාට ඉඳි ආප්ප හයියයි. වතුර ගාණට දාල භාජනේ නොඇලෙන පදමට ඇනුවාම මිරිකන්න අමාරු වුණත් ඉඳි ආප්ප ගාණට තියෙනව.  අනික අපේ තාත්ත මිරිකන්නෙ අර කඩවල තියෙන අස්සෙං අහස පේන ඉඳි ආප්ප නෙවෙයි.

තාත්ත නං හෙමිං රවුං පහක් මිරිකනව එක ඉඳිආප්පෙකට. ඉඳි ආප්පෙ නිකං තාප්පයක් වගෙ වෙන්ඩ

“කෙල්ලෙ ඹලයි තාත්ත මිරිකන මිරිකන ඉඳිආප්ප පහක් කන්න හොදි පීරිසියක් ඕනෙ” කියලයි අත්ත කිව්වෙ ඉස්සර.

ඉඳිආප්ප කන්ඩ කිරිහොදි, අල හොදි, එක්කො පරිප්පු හොදි. පොල් සම්බෝලයක් වරදින්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි, මාලු මිරිසට හොද්දක් හෝ වෙන මාංශයක් තිබුණත් තම්බපු බිත්තරයක් වරද්දන්නෙ නෑ.

මම කොහොමත් පාංපිටි ඉඳිආප්ප කන්න ආස නෑ.

ආච්චිඅම්ම ඉන්න කාලෙ නං කලින්ද පෙ‍ඟෙන්න දාපු කැකුලු හාල් වංගෙඩියෙ කොටලල තාච්චියක දාල ගාණට බැදල අරන් ඉඳි ආප්ප හැදුවම මං ආසයි.

තාත්ත ඉඳිආප්ප හදන්න පුරුදු වෙලා තියෙන්නෙ ආච්චි අම්ම ඉස්සර අත්තගෙ තේ කඩේ තියෙන කාලෙ පාන්දර ඉඳිආප්ප හදන්න උදව් වෙලාලු. ආච්චි අම්මා ඉතිං ඉඳි ආප්ප, බත්, රොටී වගෙ එක එක කෑම ජාති හදල උදේට කඩේට එක අයට වෙලඳාම් කරනවලු. ඉතිං උදේට වැඩ බොහොමයක් තියෙන්න ඇති. දැං අපි මේ වේලක් උයාගන්නත් අඩුම ගානෙ පැය බාගයක් වැය කරනවනෙ.

එහෙව් එකේ කෑම ජාති ගාණක් හදල එව්වට තව හොදි මාලුපිනිත් උයන්ඩ ඕනෙ නෙ. මට මතකයි ආච්චි අම්මා ඉඳි ආප්ප මිරිකද්දි බොහොම පිරිමැස්මෙන් කරන්නෙ.

තාත්ත වගේ ඕසෙට මිරිකන්නෙ නෑ. ආච්චිඅම්ම ඉඳි ආප්පෙකට සාධාරණ ප්‍රමාණයක් පිටි වැටෙන විදියට තමයි මිරිකන්නෙ.

තාත්තා උයද්දි අත් උදව්වට මාව අල්ලගන්න හරිම රුසියා.

“හා ලොකු බල්ල මෙහෙ වරෙං. මේ ලූණු ටික සුද්ද කරපං. ඉඳි ආප්ප තට්ටු ටික පේලියට තියපං” කියල අණක් දෙනව වගෙ දැනෙන්නෙ නැතුව ඒක කරන්න එයා දන්නව.

මම නං උදව් කරන්න යන්නෙ වෙන දේකට නෙවෙයි. වෙන වැඩකට. තාත්ත ඉඳි ආප්ප මිරිකල ඉතුරු වෙන පිටි ටික එකතු කරල සීනි චුට්ටකුත් දාල බෝලයක් හදල ඒක රවුමට වඩනව. ඊට පස්සෙ ඒක පරිස්සමට තියනව තැම්බෙන්ඩ තියන්ඩ යන ඉඳි ආප්පයක් උඩින්.

ඒක තැම්බෙන්න තියන්නෙ ඉතිං අන්තිම වඩියට නෙ. දෙනකල් ඉතිං ඉවසිල්ලක් නෑ මට.

ඒ කටේ ඇලෙන, පැණිරස තලිය මහ ලොකු රහක් නැති වුණාට ඕකට මං හරි කැමතියි. ඒ හන්ද තාත්ත කියන වැඩ කරල දෙන්න මං ඕනෙ වෙලාවක ඉස්සරහට පැන්න.

‍හෙමින් හෙමින් අපි ලොකු මහත් වුණාට ආච්චි අම්මයි අත්තයි වයසින් වගෙම ගතින් වැහැරුණා.. ඉතිං ඉඳිආප්ප ආප්ප කන්ඩ පිටි මල් වගේ කෙටිල තියෙන්න ඕනෙ කිය කියා හිතේ හයියට හවුලෙ පිටි කෙටුවට පහු වෙද්දි දෙන්නට හිතේ හයියත් නැති වුණා. හෙමින් හෙමින් ගෙදර මුලුතැන්ගෙයි මූලිකකම අම්මට ලැබුණ.. ආච්චිඅම්ම පුංචි පුංචි වැඩ කරලදීල උදව් වුණා.

ඒ වෙද්දි ගංගොඩේ වෙල් යායට කලින් මුස්ලිම් ගෙදරක ඇඹරුම්හලක් දාල තිබුණ. අම්ම හාල් දියේ දාල ගොඩ අරන් මෝලට ගිහින් කොටාගෙන එන්න පටන් ගත්ත. එදිනෙදා ගලේ අඹරපු කහ මිරිස් තුනපහ ගුලි තුනක් වැරදුනේ නැති අපේ ගෙදරත් කලමනා වේලල බැදල මෝලට ගෙනිහිං කුඩු හදාගෙන එන්න ගත්ත එක ගැන නං ආච්චි අම්මගෙ ඒ හැටි මනාපයක් තිබුණෙ නෑ.. ඒත් උයන පිහන වැඩවලට යන කාලය අවම වෙන තරමට අලුත් පරම්පරාව ගලේ තුනපහ අඹර අඹර ඉන්ඩ කැමති වෙන්නෙ නෑ කියල ආච්චි අම්මට තේරිලා තිබුණ. ඒ හන්ද උන්දැ නිහඬ වුණා.

ලස්සන තැඹිලි පාට කහ මදයක් තිබුණ ගං බිත්තර වෙනුවට ෆාම් බිත්තරත්, කරවල සහ වෙල් මාලු වැඩියෙන් කාල, කලාතුරකින් ගෙනල්ල උයපුවාම කට රිදෙනකල් හපන්න වුණ ගම් කුකුල් මස් වෙනුවට නිතර දෙවේලෙ බ්‍රොයිලර් කුකුල්මසුත් ගෙවල්වල නිතර ඉදෙන්න ගත්ත. ඉරිද පොලට ගිහිං සතියටම බඩු ගෙනාව ගම ඇතුළෙ මිනිස්සුත්, මොකට ඒ හැටි වදවෙනවද කියල හිතල ලඟ පාත ඔක්කොම ජාති තියෙන කඩේට නිතර එන්න ගත්ත. අත් කැඩෙනකල් බර උස්සං එන එකේ වාසිය සතියට දෙවතාවක් ගංගොඩේ ඉඳල පයිං හරි ත්‍රී විල් එකක හරි පාරට එන එකේ ලේසියෙන් වැහුණ.

ඉඳිආප්ප හදන්නම විශේෂයෙන් නිෂ්පාදනය කරපු පිටිවර්ගත් වෙළෙඳපොලට එන්න ගත්තම අපේ ගෙදරත් කිරල ගන්න පුලුවන් ඒ පිටි ගෙනල්ල ඉඳිආප්ප හැදුව මට මතකයි. ඒ ඉඳිආප්ප කන්න තරං කල් ආච්චි අම්මත් අත්තත් දෙන්නම අපි අතර හිටියෙ නෑ.

තාත්තත් යන්න ගියාම ඉඳිආප්ප අපේ ගෙදර නොහැදෙනම දේ වුණා. අපිත් ඉගෙන ගන්න ගිහිං කොළඹ තාවකාලිකව පදිංචි වෙලා පස්සෙ කසාද බැඳල ස්ථිරවම පදිංචි වුණ හන්ද අම්මගෙ ඉවුම් පිහුම් බොහොම අවම වුණා.

ඒ නිසා අපි ගෙදර යන දවසක අම්ම ගංගොඩේ කුසුම නැන්දගෙන් හාල් පිටි ඉඳිආප්ප ඇනවුම් කරල එයාගෙ ස්වයං රැකියාවට අත දුන්න.

අපේ ගෙදර තිබුණ කෑලි දෙකේ ඇලුමිනියම් ඉඳිආප්ප වංගෙඩියෙන් අත කැඩෙනකල් ඉඳිආප්ප මිරිකල පුරුදු මට පෙම්බරයගෙ අම්ම උන්දැ ලඟ තිබුණ කරකවල වක්කරන පිත්තල වංගෙඩියක් දෑවැද්දට දුන්න. ඒ හන්ද ඒ කාලෙ අපි දෙන්න නිතර ඉඳිආප්ප හැදුව..

ඒ කියන්නෙ මං හැදුව. පෙම්බරය එව්ව කාල මට උදව් කළා.

අපි උත්තරාර්ධගෝලීය කොදෙව්වක ඉඳල දක්ෂිණාර්ධගෝලෙ කොදෙව්වකට සංක්‍රමණය වෙද්දි සිරිතට වගේ ඉඳිආප්ප වංගෙඩියක් හා තට්ටු ටිකක් අරං ආව. අම්මගෙ පරණ වංගෙඩිය අරං එන්න දුක හිතුණ මට. ඒ විතරක් නෙවෙයි අර කෑලි දෙකේ වංගෙඩියෙන් මිරිකල උද්දච්ච වෙච්ච හිත කිව්වෙම ඒ ජාතියෙ වංගෙඩියක්මයි ගෙනියන්න ඕනෙ කියල.

ඒත් ඒ හිතට කල්පනා වුනේ නෑ අපි අපේ අම්මලට වඩා ඉක්මණට ගතින් වැහැරෙන, ශක්තියෙන් හීන වෙන පරම්පරාවක් නේද කියල..

අම්මලට කලිං අපිට අතපය කැක්කුං එන්නෙ හරියට අපි අම්මල කළා වගෙ දවස ගානෙ දර පලල, වතුර ඇදල නං තව කමක් නෑ.

මෙහෙ තියෙන ලංකාවෙ කඩවලට ගියාම අලිය ක්‍රීම් සෝඩාවල ඉඳල, පුහුල් දෝසි දක්වා සියලුම පැණි රස කෑම ඕනෙ වෙන, යන කොයිම වෙලාවකවත් කඩේ උම්බලකඩ නැති එක ගැන දුක් වෙන, නවසීලන්තෙ උද්‍යානෙක ඇරෙන්න පොල් ගහක් බේතකට නැති එක ගැන කණිපින්දං කියල ඉවරයක් නැති පෙම්බරයට අලුත් බලාපොරොත්තුවක් ආව ඔය ඉඳිආප්ප වංගෙඩිය දැකපු පාර. ඉතිං  ලංකාවෙ කඩේ ඉඳිආප්ප පිටි පැකට් දැකල උන් හිටි තැන් අමතක වෙලා කඥ්ඥං හැමදාම ඉඳි ආප්ප කියල මුන්දැ මං පිටි පැකට් දෙකක් අරගත්තම මූණ ඇද කරල තව පහක් කූඩෙට දාපි.

ඒත් හවුලෙ මිරිකලත් අර වංගෙඩියෙං ඉඳිආප්ප දහයක් මිරිකුවාම අතේ කැක්කුමට පැය කාලක් හති අරින්න වෙන හන්ද අපි දෙන්නගෙ ඉඳිආප්ප හැදිල්ලේ ශීඝ්‍රතාව අඩු වෙමින් යන්න ගත්ත.

ඒ මදිවට එක දවසක් මං සැරෙන් සැරේ අනන්න කම්මැලිකමට පිටි පැකට් එකක්ම එක පාර අනාගෙන ඉඳිආප්ප පහක් මිරිකන්න වුණේ නෑ.. වංගෙඩියෙ හිල් තියෙන තට්ටුවත් එක්ක පල්ල ගලවගෙන මිරිකමින් හිටිය ඉඳි ආප්පෙ උඩට වැටිච්චි.

හිතට ආව ආවේගෙට ඉඳිආප්ප වංගෙඩිය උණු වෙලා යන්න  තරං රස්නෙට ඒ දිහා රවල බලපු මං කෙලින්ම ඒක අරං ගිහිං රිසයිකල් බින් එකට අතෑරිය.

පෙම්බරය ආවම කේලමත් කිව්ව.

“අපි අම්මට කතා කරල බලමු. එයා සමහර විට කියයි ඕකට කරන්න දෙයක්.”

“ඕනෙ නෑ… මං ඒක විසි කළා. ලංකාවට යන කෙනෙක්  අත කරකවන වංගෙඩියක් ගෙන්න ගන්න ඕනෙ අප්පා.. මේක කරන්න බෑ.”

මං එහෙම කිව්වම අචේතනික වස්තු එක්ක තරහ ගන්න මගෙ නාට්‍යමය ඉතිහාසෙ දන්න පෙම්බරයගෙ කටත් ඇරිල බකස් ගාල හිනාවකුත් පැන්න..

“එහෙම පල්ල යන්නෙ ඕකෙ ත්‍රෙඩ් බුරුල් ඇති.. නූලක් වගෙ එකක් ඔතල ආයෙ දවසක මිරිකල බලන්ඩ”

කියල පෙම්බරයගෙ අම්මගෙන් උපදෙස් ලැබුණම මට ආයෙමත් වංගෙඩියා ගැන දුක හිතුණ.

ඉතිං රෑම ගිහිං පිටි නාවර පෙරාගෙන හිටිය ඌව රිසයිකල් බින් එකෙං උස්සං ඇවිල්ල නාවල එහෙම තිබ්බ.

පෙම්බරයගෙ ටිකිරි මොලේ පාවිච්චි කරල අපි නූල් වෙනුවට ත්‍රෙඩ් සීල් එකක් ගෙනල්ල එතුවම වංගෙඩියගෙ අට අනූවක් හන්දිපත රුදා සුව වෙච්ච හන්ද තාමත් උන්දැ අපෙ ගෙදර වසනව. ඉඳල හිටල අමුත්තොත් එන දවසක ඉඳිආප්ප හදනව. ඒත් උන්න ගමන් රැස්පොට් පෙන්නනව.

අපි දෙන්නත් අරින්නෙ නෑ.. ඔතනව ගමකට ‍ත්‍රෙඩ් සීල්. ඔතල තද කරල ඔහෙ හිටු කියල වැඩ ගන්නව.

ඒත් උන්දැට නෑහෙන්ඩ වංගෙඩියගෙ රැස්පොට් බල බල ඉඳිආප්ප කන්ඩ මේ හැටි නැහෙන්ඩ බෑ කියල කණු කුණු ගාන මගෙ හිත කියනව ආයෙ ලංකාවට ගිය වෙලාවක හරි, යන කාට හරි කියල හරි කරකවන වංගෙඩියෙක්ව ගෙන්න ගත්තනං අහවරයි නෙ කියල.

 

එතකල් ඉතිං යාප්පුවෙං මේ වංගෙඩියව තියාගන්න වෙනව.. හන්දිපත් අමාරුවට බෙහෙත් බැඳල කරල..

නැත්තං අපි කලාතුරකිං හරි ඉඳිආප්පයක් කන්නෙ  කොහොමෙයි?

 

 

පින්තුරෙ මගෙ

 

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

17 Responses to ඉඳිආප්ප කතාව…!

  1. ravi පවසයි:

    /ඉඳිආප්ප කන්ඩ කිරිහොදි, අල හොදි, එක්කො පරිප්පු හොදි. පොල් සම්බෝලයක් වරදින්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි, මාලු මිරිසට හොද්දක් හෝ වෙන මාංශයක් තිබුණත් තම්බපු බිත්තරයක් වරද්දන්නෙ නෑ./

    මටනං ඔය ඔක්කොම තිබ්බත් වැඩක් නෑ කරපිංචි යහමිං දාපු කූනිස්සං සම්බෝලෙ නැත්තං…හෙහ්..ඉඳිආප්ප මැරුවැහැකි.

    මෙහෙ ලංකාවෙ එවුං කරන කඩවල තියෙන ඉඳිආප්ප එහෙම කමකට නෑ. ඒත් ඔන්න මේ මාස තුන හතරකට එහා ගාල්ල පැත්තෙ පොඩි කොල්ලෙක් (පෙනුමට නම් අවුරුදු 22/23 කට වඩා වැඩිවෙන්ඩ බෑ) පටන්ගත්ත කේටරිං සර්විස් එකක්. අඩේ එක ඉඳිආප්පයක් බරයි ග්‍රෑම් 50 කට වැඩිය.

    පහුගිය දෙසැම්බර් 31 වෙනිද රෑ අපි දුන්න යාලුවො දහ දොළොස් දෙනෙකුට පාටියක්. අපෙ ගෙදර තියෙන්නෙ හතරවෙනි තට්ටුවෙ. පල්ලෙහට ඉඳිආප්පයි, හොදි මාලුයි, සම්බෝලයි ගෙනල්ල කේටරිං කාරය කෝල් එකක් දුන්න.මමයි ගියේ බඩු බාරගෙන උඩහට ගේන්න. මයෙම කරුමෙ කියන්නෙ හරියටම එදා ලිෆ්ට් එක කැඩිල රෙපයාර්. කිව්වට විස්වාස කරපං බං මගෙ වැළමිට ඇදිල දවස් තුනක් සිද්දාර්තෙ ගාලයි යන්තං එක විදිහක් උනේ…හෙහ්,හෙහ්,

  2. henryblogwalker පවසයි:

    අනික ත්‍රෙඩ් සීල් ටිකක් ඉඳිආප්පෙකට වැ‍ටුනත් හොයන්නත් බැරි නිසා ගානක් නෑ.

    ඔය ඉඳි ආප්ප වැඩේ අපිට පිහිටන දෙයක් නෙවෙයි. කවදාවත් පදම ගන්න බැරි වුනා. පපොල් ගස් වලට කොච්චර පිටි මිශ්‍රනේ කවල ඇද්ද ඉස්සර. ඒක හරියන වැඩක් නොවන නිසා කඩෙන් ගෙනත් කනවා ලංකාවට ගියාම.

    හැබැයි එහෙම ගියාම උදේට ඉඳි ආප්පයි ආප්පයි කාල ඒ දෙකත් එපා වෙනවා.

    දැන් දිගටම ලියයිද?

    • හෙහෙ.. හෙන්රි අයියට කියන්න මමත් එදා පිටි කිලෝ එකක්ම විසි කළා ඉතිං. හදන්න පුලුවං වෙන දේවල් කොච්චර දේවල් මතක් වුණත් තරහටම විසිකලේ. පපුව හෝස් ගාල ගියා ඉතිං.
      මගෙ විදිය ඉතිං හිතුනගමං ඇවිල්ල පිස්ස වතුර ඇද්ද වගෙ ලියං යන එකනෙ..තව දවසකිං දෙකකිං එපා වුනොත් ආයෙ හයිබනේදට් වෙනව.

  3. Buratheno පවසයි:

    බොලවුනේ, ඉඳිආප්ප කන්ටයි, වෙන අනං-මනං ලංකාවෙ කෑම බීම කන්ටයි ඕන නම් ලංකාවෙම හිටපියවුකො.. මොන මංගල්ලෙකට ද කිවිලන්තෙට ගියෙ? බොලාත් හරියට අර අඟහරුලෝකෙට ගියත් ඉන්දියන් කෑම හොයන ඉන්දියන් කාරයො වගේ නෙවැ.. 😛

  4. sujeewa පවසයි:

    ඉඳි ආප්ප පොල් මැල්ලුම්. මාළු ඇඹුල් තියල්, අල කිරිහොදි මගේ ප්‍රියතම කෑම. වගේ රසට ලියවිලා තියෙනවා. කෝ අර ඔයාගේ පුංචි දවස්වල “මව්පියො කන්න” අඩපු මල්ලි බබා?

  5. aruge adaviya පවසයි:

    /////ඒත් ඒ හිතට කල්පනා වුනේ නෑ අපි අපේ අම්මලට වඩා ඉක්මණට ගතින් වැහැරෙන, ශක්තියෙන් හීන වෙන පරම්පරාවක් නේද කියල..//////////

    ජනූගේ පෝස්ට් එකේම සාරාංශයම මෙතන තියෙනවද කියලා මට හිතුනා.

    මොන දෙයක්ද මන්දා ජනූ, මට පාන් පිටි ඉඳිආප්ප තරම් හාල්පිටි ඉඳිආප්ප එච්චර අල්ලන්නේ නැහැ. රතුපාට එක නම් ඊටත් එහා. පාන්පිටි ඉඳිආප්පයි, අමු බිලින්වලින් උකුවට හදපු ජල්බරිස් එකයි, තම්බපු බිත්තරයයි, අර රවියා කියන කූනිස්සන් පොල් මැල්ලුමයි තමයි රසේ උල්පත. මාරයා එක පාරක් ඔය බිලින් මාළුව හදන හැටි පෝස්ට් එකක් දාලා තිබුනා.

    මට ඉඳිආප්ප කතාව ටෙලියත් මතක්වුනා, ටයිටල් එක දැක්කම.

  6. helapaya පවසයි:

    ඉඳිආප්ප හදන එක ඔච්චර සීග්ගර වැඩක් නෙවෙයි බොලල්ලා. මම නං කිසි අවුලක් නැතුව ඉඳිආප්ප ටික මිරික ගන්නවා ප්‍රශ්නෙ තියෙන්නෙ හැලපිට ඉඳිආප්ප එපාම වෙලා. ඉතිං හැදුවොත් ඉතුරුයි. මම හැලපයා.

  7. rangi පවසයි:

    අනේ ජනුවෝ මට නම් ඔය ඉඳි ආප්ප ඒ තරම් ගැන ඒ තරම් ආශාවක් නෑ නෙව. ඒකටත් එක්ක මගෙ ආසම ප්ලේන් ආප්ප. ඒව හදන්නත් ඔය තරම් මහන්සි වෙන්න ඕනේද දන්නේ නෑ. එහෙනම් ඒකටත් තිත තියන්න වෙනවා.
    By the way ආපහු ඉඳලා හිටලාවත් මේ පැත්තට හොම්බ දාන එකට උපරිම සතුටුයි ඕන්…

  8. ~ChAnDiKa~ පවසයි:

    ඉඳිආප්ප.. ම්ම්ම්ම්.. යම් යම්යම්…..

  9. කණ්ඩා ~ Kanda පවසයි:

    හිත බොහොම දුරගියා මේ කතාව කියවල !

    ඒ එක්කම කටට කෙළ උනල ඉවරයක් නැහැ දැන් ගෙදර ගිය ගමන් ඉඳියප්ප හොයන්න වෙනව 😁

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )