දැන් ඉතින් අපේ තාත්තාට තනියක් නොවනු ඇත…!

16816_393203637428329_167764899_n

 

ට්‍රීං….. ට්‍රීං ට්‍රීං….

හවස් වරුවක අපේ ගෙදර දුරකථනය නාද වෙනව.

මං හෙලෝ කියනව..

හෙලෝ දුව, මං මේ සුනිල් මාම… අනේ.. මට පොඩි උදව්වක් කරනවද?

බෑ… ඔය උදව්ව මොකද්ද කියල ඉන්තේරුවෙන්ම දන්න හන්ද මං ගත්තු ගමන් කියනව…

අනේ….එහෙම කරන්න එපා… මට බ්‍රින්දාබනී සාරංග රාගයේ බඩා ඛ්‍යාල් එක ක්‍රමික් පුස්තක් එකෙන් ලියල තියනවද මං තව පැයකින් වගෙ එනව…

ඔය කියන්නෙ ඉන්දියානු ශ‍ාස්ත්‍රීය සංගීතයේ භාවිත වන ගීතයක් හින්දි භාෂාවෙන් ලියවුණු පොතකින් සිංහලට පරිවර්තනය කරල තියන්න කියල.

පොඩ්ඩක් ඉන්න… බ්‍රින්දාබනී සාරංග කිව්ව? මොකද්ද සුනිල් මාමෙ මං ඕක ඔයාට ගිය මාසෙද කොහදෙත් ට්‍රාන්ස්ලේට් කරල දුන්නනෙ.. කෝ ඒක?

හැමදාම ලියල දෙන එක නැති කරගන්න මේ මනුස්සය නං හැදෙන්නෙ නෑ…කියා හිතුනාම හීං තරහක් හිතට ඇවිල්ල මං බනිනව..

ඒක නැති වෙලානෙ… කොහෙද මේ ළමයි මගෙ මේසෙ ඇදල දානව නෙ… අනේ හොඳ දුව වගෙ ඒක ලියල තියන්න..

හෙනම අහිංසක තාලෙං එහෙම කිව්වාම ඉතිං මට නොකර ඉන්න හිතෙන්නෙ නෑ…

ඔය ලියල දෙන ඒව ෆයිල් කරගන්නකො මාමෙ.. නැත්තං සී ආර් පොතක් ගේන්න මං ඒකෙ ලියල දෙන්නං.. මං ඉතිං හැමදාම කියනව… වැඩක් නෑ…

ඉතිං මං ඒක  කොලේක ලියල තියනව…

ඔන්න ඉතිං සුනිල් මාම හැන්දෑවෙ පන්ති ඉවර වෙලා පරණ මෝටර් බයිසිකලේ එනව. ඒ ඇවිල්ල දොර ලඟ ඉඳල කෑ ගහනව

රුක්මනී අක්කා…. කියල

අර ගීතය අරං යන්න ආවට ඇවිල්ල තේත් බීල, තව තාත්ත ඇවිල්ල හිටියොත් කයියකුත් ගහල, තාත්ත ඩෝල්කී එක ගහද්දි හාමෝනියම් එකෙන් නාඩගම් සින්දුවක් ගහල සින්දුත් කියල යන පුරුද්දක් සුනිල් මාමට තිබුණ.

ඉස්සර පුංචි කාලෙ අම්මගෙයි තාත්තගෙයි වෙඩින් ෆොටෝස්වල සුනිල් මාම තෙල් ගාල කොන්ඩෙ පීරල දෙවනි මනමාලයට ඉන්නව දැක්කම මල්ලියි මායි දෙන්න හිනා වෙනව. ඉතිං සම්බන්ධය නෑ කමක්ද යාලුකමක්ද කියා නොදන්නවා වුණත් මල්ලිටත් මටත් පුංචි කාලෙ ඉඳලම සුනිල් මාම ගෙදර කෙනෙක්.

දන්න කාලෙ ඉඳල සුනිල් මාම අපේ ගෙදර එනව.. එන්නෙ මෝටර් බයිසිකලේ… එයාගෙ ගෙදර තියෙන්නෙ පාර අයිනෙ තියෙන අපේ ගෙදර ලඟින් තියෙන ගුරුපාරෙ ටික දුරක් ගියාම…එයා බස් එකේ ගමන් යනව නං අපේ ගෙදර බයිසිකලේ දාල යන්නෙ… උඩින් දාපු කමිසයක් ඇඳගෙන, රබර් සෙරෙප්පු දාගෙන, අපේ අම්මා සාගත මල්ල කියා නම් තියාපු බෑග් එක බඩ හරහට දාගෙන එන සුනිල් මාමා හැමදාමත් මම දැකපු සරලම මනුස්සයෙක්..

ඒ විතරක් නෙවෙයි අම්ම එක්ක මහා ශාස්ත්‍රීය සංගීත සංවාදවල යෙදෙන්නත්, තාත්ත එක්ක සින්දු කියන්නත් අපි දෙන්න එක්ක නරි නැටුම් නටන්නත් සුනිල් මාමට පුලුවන්.. අපි පුංචි කාලෙ තාත්ත උන්න ගමන් දවසක සුනිල් මාම ආවොත් තාත්ත ඩෝල් කී ගහද්දි අපි තුන් දෙනාම කෑ ගහ ගහ සින්දු කියල නටනව..අම්මට හිනාව නවත්තගන්න බෑ.

ඒ විතරක් නෙවෙයි. ඉස්සර ඉඳලම අපි දෙන්නව රවට්ටන්න බය කරන්න රුසිය..

මට  අමතක වෙන්නෙ නෑ කවමදාවත් එක දවසක් එයා මං පුංචි කාලෙ බීල ඇවිල්ල කියල රඟපාල මාව බය කරපු හැටි..

කවදාවත් සුනිල් මාම බීල ඉන්නව දැකල නැති මං හොඳටම බය වෙලා ගිහිං අම්මට කිව්ව

අම්මෙ සුනිල් මාම බීල ඇවිල්ල කියල

අපේ අම්ම ඒක අහල හොඳටම හිනා වුණා… එයාට මං කියපු දේ ඇත්ත කියල ඒත්තු ගන්නන්න නෑ අම්මෙ කොණ්ඩෙත් අවුල්, හොඳටම වැනෙනව කතා කරගන්නත් බෑ කියලත් කියන්න වුණා… අම්මයි මායි දොරලඟට යනකොට මෙන්න සුනිල් මාම හොඳට කෙලින් හිටගෙන කොන්ඩෙ පීරනව…මූනෙ අපූරු හිනාවක් ඇඳගෙන..

හූ රැවටුනා නේ…. කියන්න වගේ… මං ඉතිං තරහෙන් පිපිරි පිපිරි හිටිය …

මොනව කරනවද මන්ද මේ පොඩි එවුං බය කර කර…

අම්ම ඒ බනින්නෙ ඉතිං ඇත්තට නෙවෙයි….හිනාව බොහොම අමාරුවෙන් නවත්තගෙන.

ආ… සංගීත සංහිතා ගත්තද රුක්මනී අක්ක… අනේ මටත් ඕනෙ….

ඔන්න  ඒ පාර එයා ගෙට ඇවිල්ල අම්මගෙ අලුත් පොත් දිහා කෑදර කමෙන් බලනව..

ගෙනියන්නෙ එහෙම නෑ… හෙල ගී මග අරන් ගියා වෙච්ච දෙයක් නෑ… කියවනව මෙහෙ ඇවිල්ල. ගෙනියන්න දෙන්නෙ නෑ..

අපේ අම්ම බනිනකොට ඉතිං සුනිල් මාමගෙ මූණ කලු වෙලා යනව..

අම්ම එක්ක හරි තාත්ත එක්ක හරි ඔහොම ඒවට තරහ වෙලා සුනිල් මාම ඕනෙ නං සති දෙකක් නෑවිත් ඉඳීවි…

ආයෙමත් දවසක එයා ඇවිල්ල රුක්මනී අක්කා, තිලක් අයියා කියන්නෙ අර පරණ පුරුදු සෙනෙහසින්මයි…

ඒ සහෝදර බැඳීම් වචනයට නගන්නට අසීරුයි. ඉතා අසීරුයි..

සංගීතය නිසා ඇතිවුණ බැඳීම අතික්‍රමණය කරපු, තමන්ගෙම සහෝදරයෙක් සමග ඇතිවන්නාවූ අපූරු බැඳීමක් ඒක.

ඒ කාලෙ කිසිම පිලිවෙලක් නැතුව ඉන්න එක ගැන හැමදාමත් සුනිල් මාම අම්මගෙනුයි තාත්තගෙනුයි බැනුම් ඇහුව..

එයා පිලිවෙලක් වෙනව දකින්න තාත්ත ජීවතුන් අතරෙ හිටියෙ නෑ..

කාලයක් තිස්සේ අසනීපෙන් ඉඳල පහුගිය දවස්වල බොහොම බැරෑරුම් තත්වෙක ඉන්නකොටත්

පුතා ආවෙ නැද්ද?  දුව කතා කළාද? එහෙ භූමි කම්පාවෙන් එයාලට කරදරයක් නෑ නේද?

අහන්න තරම් සුනිල් මාමා අපිට ආදරේ කළා…

ඉතිං අද අවේලාවක අම්මා කතා කරන්නේ මොනවටද කියන්න මම ඉවෙන් වගේ දැනගෙන හිටිය…

මේ ලියන වෙලාවෙ වෙද්දි සුනිල් මාමා අපි අතරින් සදහටම වෙන්ව ගිහින්… පිය විප්පයෝගය අත් විඳල පත්තියං වෙලා හිටියත් මේ වෙලාවෙ මම දරුණු විදියට හෙල්ලිලා..

තාත්තා නැති වුණ දවස්වල මට ගන්න හුස්මක් පවා මහා බරක් විදියට දැණුන.. අදත් ඒ වගේ දවසක්.

තාත්තා ලඟට අපි බොහෝ සමීපව හිටි, අපිට දැනිච්ච එකම පුද්ගලයාත් අද යන්න ගිහින්…

 

මට සමා වෙන්න සුනිල් මාමේ,

මං මේ කරන්නෙ බොහොම ආත්මාර්ථකාමී වැඩක්…  ගෙදරින් සැතපුම් එකොලොස් දාහක් දුරින් ඉඳං මං මේ කරන්නෙ, අවසාන මොහොතෙ තාත්තව දැකගන්න බැරි වුණාම ඇති වුණා වගේ දැනෙන මගෙ දුක තුනී කරගන්න ඒක අකුරු කරන එක! පුංචි කාලෙ ඉඳල ඊයෙ වෙනකල් මාමා ගැන තිබුණ මතකයන් එක්ක ගෙවුණ අද හවස් වරුවෙත්, මේ අගක් මුලක නැති වැල්වටාරම ලියන අතරෙත් මගේ ඇස් බොඳවුණු වාර ගණන මම ගැන්නෙ නෑ..

ඉතින් සුනිල් මාමේ..දිව්‍යලෝකෙට නොගියත් මාමා යන්නෙ හොඳ තැනකට වෙන්න ඕනෙ…

ඒ විතරක් නෙවෙයි මාමා යන තැනක ඉන්තේරුවෙන්ම තාත්තාත් ඇති!

අනේ පුලුවන් නම් ඉස්සර සුනිල් මාමට ගෙදර යන්න හුලු අතු බැඳල දෙනකොට තාත්ත ඒව අස්සෙ රතිඥ්ඥා හංගල මාමව බය කළාට තාත්තට සමාව දෙන්න.

අපි වෙනුවෙන් එයාව වැලඳගෙන මල්ලිත් මමත් ආදරෙන් එයාව මතක් කළා කියන්න…  ඔය දෙන්නාත් මල්ලියි මමයිත් ලඟ නැතිව දැන් අම්මාට බොහොම පාලුවෙන් ඉන්නට වෙන බව කියන්න..

හදිසියේම නික්මයාම ගැන, අවසන්වරට දකින්නට නොලැබෙන එක ගැන කිසිදා නොනිමෙන දුකකින් වුණත්, නුඹ ගිය නිසා අවුරුදු ගාණක් තනියෙන් හිටිය තාත්තාට දැන් ඉතින් තනියක් නැති වේවි යැයි හිතා හිත හදාගන්න හදන දුවට පුලුවන් නම් සමා වෙන්න…

ඉතින් සුබ ගමන්… ආදර සුනිල් මාමේ!

 

 

 

පින්තූරය මෙතනින්

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි, Uncategorized. Bookmark the permalink.

6 Responses to දැන් ඉතින් අපේ තාත්තාට තනියක් නොවනු ඇත…!

  1. Thushara Disanayaka පවසයි:

    අවුරුද්ද 2000 හෝ 2001.
    මගේ මිත්‍රයෙක් වන ධම්මික ප්‍රභාත් හතුරුසිංහ දවසක් මට කතා කරලා කියනවා මචං මගේ සෝන්ග් වගයක් තියෙනවා රෙකෝඩින් එකට පොඩ්ඩක් සපෝට් එකක් දීපන් කියලා.

    ස්ටුඩියෝ එකට ගියාම එතැන හිටපු සාගර සුරේෂ් විජේසිංහ එතැන හිටපු තව කෙනෙක්ව හඳුන්වලා දෙනවා.
    මචං මේ සුනිල් දයානන්ද කෝනාර.
    වික්‍රමශීලාවේ සංගීත සර් වගේම ජනප්‍රිය ගීත ගණනාවක පද/ තනු නිර්මාපකයෙක්.
    එහෙම කියද්දී ඔහු හිනාවෙලා කතා කළා.
    පසුව අවස්ථා කිහිපයකදීම සංගීතමය කටයුතු වලදී හමුවුනත් කාලයත් එක්ක කලාවට සමු දීලා යකඩ එක්ක හැප්පෙන්න පටන්ගත්තට පස්සේ ඔහු හමුවුනේම නැහැ.
    ආයේ ඔහු ගැන මතකය අලුත් වුනේ උඹ හින්දා නංගියේ.
    කපුගේ ගැන කතා කරද්දී රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ගැන නොකියාම බෑ වගේ දවසක දිවුල්ගනේ කියන “ගායකයා” ගැන කතා කරද්දී සුනිල් අයියා අයිකන් එකක්.
    එට අමතරව ඔහු නිර්මාණය කල තනු වල සුවිශේෂී ගුණයක් තමයි ඇතුල් හදවතට කතා කරන එක.

    ලෙයින් කඳුලින් ඩහදියෙන් තෙම්පරාදු වුනු මිනිස්සුන්ට නිර්මාණකරණයේදී තාත්වික දේවල් ගලන්නේ නිරායාසයෙන්.
    සුනිල් අයියත් එහෙම තෙම්පරාදු වුනු චරිතයක්.

    සුභ ගමන් සුනිල් අයියේ.

  2. ravi පවසයි:

    මම මේ මොහොතකට කලින් ලංකාදීපෙ හදිස්සියෙ දැක්කෙ සුනිල් දයානන්ද කෝනාර මහත්මයා මියගිහින් කියල. මම ඒත් උඹලගෙ මේ සමීප සම්බන්ධකම දැනගෙන හිටියෙ නෑ. ඒත් දේහය දඹදෙණියෙ මුතුගල නිවසේ තැන්පත් කර ඇත කියල දැක්කම උඹෙං අහන්ට ඕනය කියල හිතාගත්ත දන්නවද කියල…:(

    “වහින්නට හැකිනම් ගිගුම් දී” සහ “ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා”………

    ඔහුට සුගතියක්ම වේවා!!!

  3. nisman ransinghe පවසයි:

    උඹේ එක කියවන කොට මගේ ඇසුත් බොඳ වුණා…ලොකු ගණුදෙනු නැහැ තිබිලා…හැබැයි හොඳ මනුස්සයෙක්…දන්න හැමෝම වගෙ හොඳම කියපු (මැරුණට පස්සෙ නෙමෙයි ජීවත්ව ඉද්දි,මැරුණට පස්සෙනම් ඕන කෙනෙක් උපාසක මහතානෙ) කෙනෙක්…
    සරලකම තරමටම ගැඹුරුයි….මට දැණුන හැටි

  4. සොඳුරු සිත පවසයි:

    ඇත්තම කියන්නම්.මම නම් නොදන්න කෙනෙක් ඒ. ඒත් රවි අයියගේ කමෙන්ටුවෙ තියන සිංදු දෙක නම් හොඳටම දන්නවා. ගොඩක් වෙලාවට “ගායකයා “ මිසක් “පද/තනු“ නිර්මාපනය කරපු කෙනාව අපි අදුර ගද්දි එයා ගොඩාක් දුර ගිහින්.

  5. aruge adaviya පවසයි:

    නිශ්මං කියනවා වගේම මගේ ඇස් දෙකත් තෙත් වුනා. මේ සුනිල් ඒ සුනිල් කියලා හිතුවෙම නැහැ කමෙන්ට්ස් කියවන කම්. සුන්දර මිනිසෙක් පිලිබඳ හිත හඬවන ලියවිල්ලක්.

    වහින්නට හැකි නම් ගිගුම් දී……

  6. raj1st80 පවසයි:

    සුබ ගමන්!

    //ඉතින් සුනිල් මාමේ..දිව්‍යලෝකෙට නොගියත් මාමා යන්නෙ හොඳ තැනකට වෙන්න ඕනෙ…
    ඒ විතරක් නෙවෙයි මාමා යන තැනක ඉන්තේරුවෙන්ම තාත්තාත් ඇති!//
    😦

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )