සති දෙකක සෙමෙස්තර විරාමය හුලඟට ගහගෙන ගියා වගේ ගෙවිල ගියා.
ඒ විතරක් නෙවෙයි එයිනුත් දවස් තුනක්ම අධ්‍යයන කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කටයුත්තකට වැය වුණා.
සුපුරුදු පරිදි සඳුදා පාන්දර ජංගමයා අවදි වෙන්නට වෙලාව හරියි කියා මතක් කළාම සති දෙකක් ගෙවුණ හැටි අග ඉඳල මුලට හිතෙන්න ගත්තම දුක නොහිතෙන්නෙ කාටද?
ජීවිතේ තුන්වෙනි දශකය ගෙවිලත් අපිට තාමත් අධ්‍යයන නිවාඩුව විනෝද සමයක් කරගන්න බැරි වීම ගැන දුක දැනෙන්නෙ අපි වයසින් මුහුකුරා ගියාට හදවතින් මෝරන්න බැරිකම හන්ද වෙන්න ඇති කියල හිත හිතා විස්සෝප වෙවී මං කඩිමුඩියේ පාන්පෙත්තක මාමලේඩ් උලල හැපුවෙ රස බලබල කන්න හිතාගෙන නං නෙවෙයි.
හැල්මෙ දුවන්න වෙන දවස ගැන කල්පනාවෙන්.
ඒත් ඒ මාමලේඩ් රස දැණුන පළවෙනි වතාවෙම මාව අවුරුදු පහක පුංචි ළමයෙක් වෙලා හිතෙන් ආපහු ලංකාවටම පාවුණා.
ආන්ටි ඊව්,
මගේ පෙරපාසල් ගුරුතුමී.
සුදුම සුදුයි, කොන්ඩෙ දුඹුරුයි,
ඔවු ඔවු සුද්දියෙක් තමා…
කොටින්ම මං ඉස්සිස්සෙල්ලාම අයන්න ආයන්න ඉගෙන ගත්තෙ ඒ සුද්දිගෙන්.
ඒ විතරක් නෙවෙයි, සංගීත ගුරුතුමියකගෙ දුවෙක් වෙච්ච මං ඉස්සෙල්ලාම සංගීතය ඉගෙන ගත්තෙත් සුද්දිගෙන් තමා
එයාගෙ තාත්තට අපි කිව්වෙ ඩොක්ට බීලිං කියල.
අම්මයි තාත්තයි පවුල පිටින්ම ඇවිල්ල අපේ අම්ම උගන්නපු ඉස්කෝලෙ ලඟම ගෙදරක හිටපු ආන්ටි ඊව් ගෙදර ගරාජ් එකේ අපිට මොන්ටිසෝරියක් කළා.
එයා පවුලෙ අයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කළාට හැබැයි අපිත් එක්ක හොඳට සිංහලෙන් කතා කළා.
මොන පාටද කියල හොයාගන්න බැරි තරම් කුණු බැඳුනු තඩි ක්ලේ ගුලියක් ෆ්‍රිජ් එකේ තියාගෙන අපිට සෙල්ලං කරන්න දුන්න.
මට සින්දු කියන්න පුලුවන් කියල තේරුණාම එයා බදාද හවසට මාව පැයක් තියාගෙන පියානෝ උගන්නන්න ගත්ත.
මං පියානෝවෙ තඩි යතුරු ඔබල ඇඟිලි රිදෙන්න ගත්තම එක්ස්කියුස් කරල එලියෙ රවුමක් දානව.
ආන්ටි ඊව්ගෙ ගෙදර පලතුරු ගස් ගොඩක් තිබුණ. විල්ලුද ඇඳුමක් ඇඳගත්ත වටකුරු ඇඹුල් ගෙඩි, පැඟිරි රස පුංචි පුංචි නාරං… සමහර ඒවගෙ නමක් අපි දන්නෙවත් නෑ. කොහෙන් ආවද දන්නෙත් නෑ.
මගෙ හිත ගත්තෙ තැඹිලි පාට පුංචිම පුංචි නාරං ගහ. ඒ නාරං ලෙල්ලත් එක්කම කන්න පුලුවන්. පොඩි පැඟිරි රහක් එක්ක ඇඹුල් රහයි, පැණි රහයි මුහු වෙලා පොඩ්ඩක් කට ඇද වුණාට.
මං අසනීපෙන් උන්න දවසක ආන්ටි ඊව් වෙනම මාව එයාගෙ ගේ ඇතුලෙ තියාගත්ත හැටි, පුංචි පුංචි වීදුරු සත්තු දීල මාව සනසවන්න මහන්සි ගත්ත හැටි,
මතක පේලියක් එකා පස්සෙ එකා හැදුණ.
අපි මොන්ටිසෝරිය අතෑරල ඉස්කෝලෙ යන්න පටන් ගත්ත.ටික කාලෙකින් ආන්ටි ඊව් කසාද බැඳල ඔස්ට්‍රේලියාවට ගියා. එයාල හිටපු, අපේ මොන්ටිසෝරිය තිබුණ ගෙදර ලංකා බැංකුව දැම්මාම නං මට තදබල අතීත කාමයක් වැළඳුනා. බැංකුවෙ සෙකියුරිටි අංකල්ට කතන්දරේ කියල මං දවසක් ඉස්කෝලෙ ඇරිල යන ගමන් ඒ ගෙදර පිටිපස්සට දුවල අපේ මොන්ටිසෝරිය හිතෙන් මවාගෙන ආපහු ආව.
කානේශයි මායි එකවගේ ගවුම් ඇඳල මොන්ටිසෝරි ගිය හැටි, සුරංගයි මායි දෙන්න ගරාජ් එකේ ආනත කටු සිමෙන්තියෙ අපේ පුංචි අත් අතුල්ලගන්න හැටි, අතුල්ලල අතුල්ලල ටික වෙලාවකින් අත හිරි වැටිල, ඒව එකට ඇතිල්ලුවාම සිනිඳු වෙලා වගෙ දැනෙන හැටි, පොඩි කාලෙත් පිරිමි ළමයින්ට ක්‍රිස්කෝ බිස්කට් එකක් එක කටට කන්න පුලුවන් කියල ගෑනු ළමයින්ට පැහැදිලි කරල දෙන්න සුරංගයි සමීරයි දෙන්න මගෙ ලන්ච් බොක්ස් එකේ තිබුණ ක්‍රිස්කෝ බිස්කට් ටික සේරම ඉවර කරපු හැටි මතක් වුණා.
පියුමියි මමයි බටර් කේක් කුඩු කරල කනකොට වැඩිය රහයි කියල හොයාගත්තෙත් එතනදි.
ඒ විතරක් නෙවෙයි, ගෑණු ළමයි ඉඳගෙන චූ කරද්දි, පිරිමි ළමයි හිටගෙන චූ කරන්නෙ හේතුවක් ඇතුව කියල අපි දෙගොල්ලම තේරුම් ගත්තෙත් ආන්ටි ඊව්ලගෙ වත්තෙ ඈත කෙළවරකට රංචු පිටින් ගිහින් පෝලිමට චූ කරද්දි.
ඉතිං සෙකියුරිටි අංකල් මට පිස්සු කියල හිතුව වගේ නෙවෙයිනෙ අතීතකාමය සුවපත් කරගන්න එක ඊට වඩා වටිනව නෙ.
පස්සෙ කාලෙක ආන්ටි ඊව්ලගෙ පවුලෙ හිතවතුන් වුණ ධර්මරත්න ඩොක්ට අංකල්ගෙන් බෙහෙත් ගන්න ගියාම ආන්ටි ඊව්ගෙ තොරතුරු වගේම එයා අපිව තාමත් මතක තියන් ඉන්න බව දැනගන්න ලැබුණ. ඒත් මෙච්චර කල් මහලොකුවට අතීත මතක බ්ලොග් එකක ලියපු මට අඩුගානෙ ඩොක්ට අංකල් ගෙන් ආන්ටි ඊව්ගෙ ඊමේල් එක ඉල්ලන්න සිහිපත් නොවෙච්ච එක ගැන මහ පසුතැවිල්ලක් දැනෙන්න ගත්ත.
එයා ඊමේල් එකක් පාව්ච්චි නොකරනව වෙන්න බෑනෙ. අම්ම කතා කළාම අම්මව ඩොක්ට් අංකල් ලඟට යවල ඉල්ලවගන්න ඕනෙ. අවුරුදු විසි තිස් ගාණක් ගෙවිල ගිහිණුත් එයාට අපිව මතක එකේ මොන වැඩ රාජකාරි අස්සෙ වුණත් එයාට ලියන්න ඕනෙ කියල මම මටම කියාගත්ත.
මතක සැමරුම් අස්සෙන් පාන් පෙත්ත නොදැනිම ඉවර වුණා… හරියට නිවාඩුව වගේ..
ඒත් අවුරුදු තිස් ගාණක්ම කෙනෙක්ට මගෙ හිතේ හැංගිලා ඉඳල මාමලේඩ්වල පැඟිරි රස අතරින් ඉපිලෙන්න පුලුවන් වෙයි කියල කවුද හිතන්නෙ?
අපේ හිතේ පැලපදියං වෙච්ච රසවල් සුවඳවල් එක පාරට අලුත් වෙලා අපිට රස මතකයන් අරන් එන්නෙ කොහොමද?
පුදුමයි නේද?
ඉතිං මං මාමලේඩ් රස මතක බෝතලෙන් හැන්දක් බෙදාගන්නෙ නැතුව කොහොම ඉන්නද?
පින්තූරෙ මෙතනින්
ඔබේ ලිපියක් බොහොම කාලෙකින් කියෙව්වේ. ඔබට මාමලේඩ් වගේම මට මාමයිට් ගෙනෙන්නෙත් මේ වගේම හැගුම් සමුදායක් තමා.
කනබොන දේවල් දාල මේ යෝධි මාව යකා කරවන්නද හදන්නේ? මේ වගේ රසයන් එක්ක බැඳුනු අතීත රසයන් ආයෙමත් දැනෙනකොට මට මහා දුකක් දැනෙනවා. ඇයිද කියන්න දන්නේ නැහැ. එහෙම දුක්බර දේවලුත් නෙවෙයි සමහර ඒවා. ඒත් චීස් එක්ක මගේ තියෙන සම්බන්ධෙ ඔය වගේ උනාට මාරම කම්ප්ලිකේටඩ්…
කෑවා කෑවා! සතියක් යයි දැන් ගොඩ එන්න!
මේ…මේ…මේ……..නිකම් පලයන් බන් යන්න..අපිට සුදුලූණු පොඩි කරන්ට එන්නෙ නැතුව? ….දඹදෙණියෙ කොහෙද බන් සුද්දියො?…..අපි නොදන්න දඹදෙණිය …හෙහ්,හෙහ්..ෂුවර් එකටම ඔය හික්මීයෙක් වත් කාපු බබලතෙක් වෙන්ට ඇති…හරි..හරි..බොලාගෙ අර එව්ලින් නැන්දගෙ පොඩි කාලෙ හික් මීයෙක් කෑවද කොහෙද නේද? හා..හරිනෙ…එව්ලින් නැන්ද තමයි මේ ආන්ටි ඊව් වුනේ….හෙහ්…හෙහ්…නරකම නෑ ඒකත්…
හරි මේක මේ උඹෙ අතේ රෝලක් නෙවෙයි නම් ඔය සුද්දිගෙ ඊ-මේල් එක හම්බ උනහම මටත් දීහන්කො මාත් අහල බලන්ට මේ යෝදි මේ සුද්දියෙකුගෙන් ඉගෙන ගත්තු කතන්දරේ ඇත්තදැයි කියාල.
සුවඳ හා බැඳුන රස මතක වගේම දුක හිතෙන කතාත් තියෙන බව මතක් වුනා.
සුවඳ එක්ක බැඳුණ ළඟම මතක ඒක ටිකක් විකාරයක් වගෙයි. ඒත් ගොයං කපල ඉවර වෙලා පහුවෙන්දැයිං වගෙ පස්සෙ පිනි වැටුණම එන පුස්ඹයි ටිකක් අවුව සැර වැඩි වෙද්දි අර ඉපනැල්ලෙන්ම එන තැම්බුං සුවදයි පිදුරු ගොඩවල් ඔලිං එන පුස්ඹයි තරං එක සුවඳක් වත් නෑ මට නං. ඒකත් මහ අරුම මතකයක්. එක පේලියට මීමැස්සො වහනව වගේ හිත පුරවන මතක කඳු හිත බරවෙනව නොදැනිම
ඊව් ආන්ටිගෙ මතක… කියන්න දෙයක් නෑ නෙව. එයාට කතා කල වෙලාවක කියපු දෙයකුත් වෙලාවක දාන්න. එයාට ඔයාලව දැනිච්ච විදිය. දාල ගියාට පස්සෙ දැනුන විදිය
සමාරවිට එයැයි ටත් කතාවක් ඇති
අවංකවම මට නම් මාමලේඩ් පෙන්නන්න බැරිය.එපාම කරපු හැඟීමක් දැනේනෙ මාමලේඩ් ගැන.ඒත් අක්කගෙ මතකය නම් සුන්දරයි…
Aurudu ganakata passe blog kiyawanna hithuna issalama mathak une januge satahan eth dawas ganak search kala ada thama page eka hoyagaththe ,soduru jeewitha hagima liyana januge blog eka kiyawaddi aurudu ganak passe blog ekak kiyawime sathuta danuna eth dan podi dukak danuna janu blog liyanne na wage dakkama