අර්ථසාධක සටන්..!

අපි කම්කරු දෙපාර්තමේන්තුවට ගියේ තුන්වෙනි දවසට.

ආයතන කීපයක සේවය කළ යජිත්ගේ නම ඒ ඒ ආයතනයට අදාල සේවක අර්ථසාධක අරමුදල් ගිණුම්වල විවිධාකාරයට සඳහන් වන නිසා එය නිවැරදි කර ගැනීමට අවශ්‍යව තිබුණා. එය මහා ලිහා ගත නොහෙන නූල් බෝලයක් බවට පත්ව තිබුනේ සේවකයා මෙන්ම සේව්‍යයාගේ පාර්ශවයේ නොසැලකිලිමත්භාවය හේතුවෙන්. ඒ ඒ ආයතනයන්හි මානව සම්පත කළමනාකරණය කල, සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධ ලිපි ලේඛන භාරව කටයුතු කළ අය තමන්ගේ අලසභාවය මැනවින් පෙන්නුම් කරමින් සේවකයා විසින් පුරවා දෙනු ලබන “B” කාඩ් පතේ සඳහන් වන නම දිගින් වැඩි බව තීරණය කර ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක ගිනුම වෙනුවට තමන් රිසි නමක් ලබා දීම නිසා සේවකයා සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව සතු තොරතුරු සහ මහ බැංකුව සතු තොරතුරු විෂම වී ඇතිවා පමණක් නොව එක් ආයතන‍යක් තම සේවකයන් වෙනුවෙන් “B” කාඩ්පත සැකසීම සඳහා හෝ කිසිදු වෑයමක් දරා නොතිබූ නිසා ආයතනයෙන් ඉවත් වූ විටත් එය ලැබී තිබුනේ නෑ.

අර්ථසාධක මුදල් ලබා ගැනීමේ ක්‍රියාවලිය ගැන අප කළ සොයා බැලීම්වලට අනුව එකම ජාතික හැඳුනුම්පත් අංකයක් යටතේ මුදල් බැරවී තිබුනත් ඒ ඒ විෂම නම්වලින් හැඳින්වෙන්නේ එකම පුද්ගලයෙකු බව සනාථ කරමින් ඒ ඒ ආයතනවලින් සකසාගත් ලිපි ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අර්මුදල් දෙපාර්තමේන්තුවට භාර දී එම නිවැරදි කිරීම් කරන තෙක් අදාල අර්ථසාධක මුදල් ලබා ගත නොහැකියි.  කෙසේ හෝ මේ නම්වල වෙනස්කම් සකස්කර ගැනීම පිලිබඳව අපට කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලබා දුන් උපදෙස් ප්‍රකාරව මහත් පරිශ්‍රමයක් දරා ඒ ඒ ආයතනවලින් ලබා ගත් ලිපි ශ්‍රී ලංකා මහ බැංකුවට භාරදුන් අවස්ථාවේ ඒවා තම ආයතනයේ නම සංශෝධනය සඳහා නියමිත ආකෘතියෙන් බැහැර බව පවසා සිංහල බසින් ඇති ආකෘතියක් ලබාදී කවුන්ටරය  අසලින්ම ආපසු හරවා එවා තිබුණා. අඩුම තරමේ  ඉංග්‍රීසි බසින් සකසා තිබූ එම ලිපි කියවා බලා අදාල සියලු කරුණු තිබෙනවාද යන්න විමසා බැලීමට හෝ කාරුණික නොවී ආපසු හරවා එවූ නිසා අප එතෙක් දරා තිබූ පරිශ්‍රමය ලත් තැනම ලොප් වී තිබුනා.

එකම කාරණාව සම්බන්ධයෙන් අදාල ආයතන දෙක විසින් ලබා දුන් ලිපි ආකෘතිවල පරස්පරතා නිසා අප කබලෙන් ලිපට වැටී තිබුනා පමණක් නොව තත්වය මහත් උභතෝකෝටිකයක් බවට පත්ව තිබුනේ එසේ වෙනස් කරගැනීමට අදාල එක් “B” කාඩ් පතක් (ආයතනයෙන් සකසා නැති නිසා) අප සතුව නොමැති වීමෙන්. එය නොමැතිව කිසිසේත් එම ආයතනයට අදාල මහ බැංකු වාර්තාවල නම සංශෝධනය කළ නොහැකි බවද දැනගන්නට ලැබුණා. මුදල් ලබාගැනීමේ අදහස එතැනම අත් හල අප දෙදෙනාගේ ඊලඟ වෑයම වුනේ අපට ඇති සීමිත දින ගණන ඇතුළත අඩුම තරමේ නම්වල විෂමතා මතා සකස්කර ගැනීමයි. අවසානයේ අප දෙදෙනාටම සිදුවුනේ රාජකාරි ජීවිතයේ අප කිසිසේත් අගය නොකරන, කිසිදා නොකළ යමක් කරන්නටයි. ඒ එකී රාජ්‍ය ආයතනවල සේවය කරන මිතුරන් හරහා අභ්‍යන්තර උපකාර බලාපොරොත්තු වන්නටයි.
අද එවැනි උපකාරයක් හරහා අපට දැනගන්නට ලැබුනේ මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ කවුන්ටරය අපව ආපසු හරවා යැවීම වෙනුවට කළ යුතුව තිබුනේ අපව නිසි උපදෙස් සඳහා වෙනත් අංශයක් වෙත යොමු කිරීම බවයි.
අපව එම අදාල අංශය වෙත යොමු කළ මිතුරා නිසා මහා සාගරයේ අතරමංව හසරක් නොපෙනී මෙන් විස්සෝපව සිටි අපට ප්‍රදීපාගාරයක එලියක් දකින්නට හැකි වුනා.
අප කල මේ හටන ගැන ලියම් දෝ නොලියම්දෝයි සිතමින් සිටි මට කොතෙක් දිගු වුවත් ඒ ගැන ලියන්නට හිතුනේ කාරණා කීපයක් නිසා මේ තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වන බව හැඟුන නිසයි.
එය සේවකයන් හා සේව්‍යයන් අමතා පොදුවේ ලියන්නේ මේ සිදුවීම් පෙල හා සම්බන්ධ යම් යම් නොසැලකිලිමත්භාවය පිලිබඳ කාරණාවලදී දෙපාර්ශවයම වරදකාරී බව හැඟී ගිය නිසයි.

1. ආයතනයක  අභිවෘද්ධිය වෙනුවෙන් කැප වී සේවය කරන ඔබ, ඔබට හිමි ප්‍රතිලාභ ගැන පවා ඒ හැටි උනන්දු නොවන්නෙක් විය හැකියි. නමුත් ඔබේ නොසැලකිලිමත්භාවය නිසා පසු කලෙක එම ප්‍රතිලාභ ලබා ගන්නට යාමේදී ඔබට නිමක් නොවෙන ගැටලුවලට ලක්වන්නට සිදු වේවි. එසේම හදිසියේ ඔබ මියගියහොත් එම ප්‍රතිලාභවලට හිමිකම් ඇති කලත්‍රයා, දුවා දරුවන් පවා දැඩි අපහසුතාවලට පත් වන්නට සිදු වෙන අවස්ථාවක් බව සිහි තබා ගන්න. ඒ නිසා අඩුම තරමේ ඔබ ඔබේ ලියකියවිලිවල සඳහන් නම්වල විෂමතා නොමැති බව තහවුරු කරගන්න. ඔබ සේවය හැර යාමේදී අදාල සියලු ලිපි ලේඛන ඔබ වෙත ලැබී ඇත්දැයි පරීක්ෂා කරන්න. ලැබී නැති නම් ඒවා කඩිමින් ලබා ගැනීමට කටයුතු කරන්න. “ගන්න වෙලාවට බැලුවම මදැයි” කියා නොසිට ඔබ නමින් නිසි පරිදි මුදල් බැරවූ බව තහවුරු කරගන්න. එපමණක් නොව ඒවා නිසි පරිදි වාර්තාගත වී ඇත්දැයි සොයා බලන්න. එය සේවකයෙකු ලෙස ඔබේ අයිතියක් බවත්, පසුකාලීනව ඔබේ කටයුතු  සඳහා මහත් රුකුලක් පහසුවක් වන බව සිත තබාගන්න.

2. වසර 5කට වරක් ලබාගත හැකි සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගිනුම්වල මුදල් අයදුම් කර ලබාගන්න.  නැතිනම් එය පහසුවෙන් අයදුම් කළ හැකි ආකාරයට සකස් කර තබා ගන්න. අදාළ විෂය භාරව කටයුතු කරන ඔබේ සමකාලීන සේවකයන් සිටින අවස්ථාවේ ඒවා සම්පූර්ණ කරගැනීම ඔබටත් ආයතනයටත් පහසුවක් වේවි. මන්ද යත්, ආයතනයකින් ඉවත්ව ගොස් වසර ගණනක් ගතවූ පසු ලියකියවිලි පුරවා සහතික කර ගැනීම ඔබටත්, ඒවා ඔබ ගැන පැරණි වාර්තා සොයා බලා පුරවා සහතික කිරීම ආයතනයටත් සැලකියයුතු කාලයක් ගත වන,  හිතන තරම් ලෙහෙසි පහසු නොවන්නක් බැවින්.

3.ඔබ් යම් ආයතනයක මානව සම්පත හසුරුවන, සේවක ප්‍රතිලාභවලට අදාල ලිපි ලේඛන හසුරුවන පුද්ගලයෙකු නම් එකී ලියකියවිලි තමන් රිසි ආකාරයට නොපුරවා නිසියාකාරව සම්පූර්ණ කරන්න.  විශේෂයෙන්ම අලස නොවී සේවකයන්ගේ දිගු නම් එකම ආකාරයට, සංගතතාව රැකෙන පරිදි සටහන් කරන්න. කම්කරු දෙපාර්තමේන්තුවට ප්‍රතිලාභ ලබා ගන්නට එන වැඩිදෙනෙකුගේ “B” කාඩ් පතේ සඳහන් නම සහ මහ බැංකුවේ ගිනුමට ආයතනය විසින් යවා ඇති නම වෙනස් වන්නේ ආයතනයේ මානව සම්පත් කළමනාකාරීත්වයේ දුර්වල සංවිධානය නිසා බව මනාව පෙනී යන්නක්. ඔබේ ආයතනයෙන් සේවය හැර යන පුද්ගලයන්ට අදාල ලියකියවිලි නිවැරදිව පුරවා ලබාදීම ඔබේ වගකීමක්. ඔබේ සුලු වරදක් අනිත් කොණේදී ඉතා විශාල ගැටලු ඇති කරනාතර ඔබ විසින් දුර දිග නොබලා සිදු කරන මෙවන් දෑ අතපසුවීම් නොව රාජකාරි කටයුතුවලදී ඔබේ නොසැලකිලිමත්භාවය පෙන්නුම් කරන්නක්.මදක් සිතන්න, විශේෂ තත්වයන් කිහිපයක් මත හැර පුද්ගලයෙකුට මේ ප්‍රතිලාභ අයදුම් කළහැක්කේ අවුරුදු 50, 55 සම්පූර්ණ වූවාටත් පසුවයි. ඒ වන විට ඔවුන් සතු එකම ආර්ථික අපේක්ෂාව එය ලබා ගැනීමයි. ඒ වන විට ඇතැමෙක් රෝගීන් හෝ ආබාධිත තත්වයට පත්ව සිටින තනිව යමක් කරගන්නට පවා අපහසු අය. ඒ ගැන මානුෂිකව බලන්න, ආයතනයට මහත් සේවයක් කොට ඉවත් වන එවන් සේවකයන් ඔබේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් දැඩි අපහසුතාවලට ලක් වන බව තරයේ සිහි තබා ගෙන ඔබ ඔබේ රාජකාරිය නිසි පරිදි කරන්න.

4.  ඔබ විශාල පරාසයක උගත්, නූගත් මහජනයා වෙනුවෙන් සේවයක් සලසන කම්කරු දෙපාර්තමේන්තුව වැනි ආයතනයක සේවය කරන්නෙක් /කරන්නියක් නම් කරුණාකර තමන් භාරව සිටින විෂය පිලිබඳව හොඳින් දැනුවත්ව සිටින්න. ආයතනයෙන් ඒ ඒ විෂය ගැන ලබාදෙන පොදු උපදෙස් පත්‍රිකාවට අමතරව කෙනෙකුට යම් විශේෂ උපදෙස් ලබා දීමට සිදු වේ නම් ඒ ගැන අනුමාන කරුණු පවසා මහජනයා නොමග නොයවා, පරිගණකගතව ඇති තොරතුරු හා සසඳා නිවැරදි ක්‍රමවේදය ඔවුනට පැහැදිලි කිරීමට ඔබ මුලින්ම දැනුවත්වන්න.  අවශ්‍ය සියලු කරුණු සහිතව ඔබ හමුවට එන මුල් අවස්ථාවේම මහජනයා දැනුවත් කරන්නට කටයුතු කරන්න. මන්ද, කාලය සැමදෙනාටම එක වටිනා දෙයක්. ඔබ ඔබ ලබාදෙන උපදෙස්වල විශ්වසනීයත්වය මත පදනම්ව මහජනයාට තවත් රාජ්‍ය/පෞද්ගලික ආයතනවලින් ලිපි ලේඛන සකසාගැනීම් ඇතුලු කටයුතු රාශියක් කරගන්නට සිදුවිය හැකියි. ඔබේ උපදෙස්වල අඩු ලුහුඬුකමක් හේතුවෙන් නැවත එම කටයුත්ත කරවා ගැනීමට දිගු කාලයක් ගතවන්නට හැකි අතර ඇතැම් විටෙක සේවයෙන් ඉවත්ව කාලයක් ගතවූ ආයතනයක් සේවකයෙකුගේ එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්නට පවා ඉඩකඩ තිබෙනවා. විශේෂයෙන්ම යමක් පැහැදිලිව වටහා ගන්නට තරම් අධ්‍යාපනයක් නොලද, අඩුම තරමේ අත්සන් කරන්නට හෝ සාක්ෂරතාවක් නොමැති මහජනයා කෙරෙහි වඩාත් කාරුණික වන්න.
යමක් විමසා දැනගන්නට හෝ හැකි අප වැනි වුන්ට වඩා උදේ පටන් හරිහමන් අහරක් නැතිව, මළපොතේ අකුරක් බැරිව , වතු ගානේ ඔට්ටු වී දිවි සරි කළ තමන් වෙනුවෙන් ඉතිරිව ඇති සොච්චමක් ලබා ගන්නට ඔබෙන් උදව් පතා ඔවුන් එන්නේ දහසකුත් එකක් ප්‍රාර්ථනා පොදි බැඳගෙනයි.

ලියන්නට තවත් දහසක් දේ සිත රැඳුනද මෙය මෙතෙකින් අවසන් කළ යුතුයි. මේ දීර්ඝ ලියමන මෙහි නම් සඳහන් කිසිදු රාජ්‍ය/පෞද්ගලික ආයතනයක නිලධාරින් සමග  පුද්ගලික ද්වේශයක් නිසා ලියවෙන්නක් නොව ඔබට දැනුවත් වීම සඳහා පමණක්ම ලියවෙන්නක් පමණක් නිසා ඔබට යම් අදහසක් එක්කරන්නට ඇත්නම් එය සංයමයෙන් යුතුව  කරන්නට කාරුණික වන්න. ඒ ගැන තව කෙනෙක් දැනුවත් කරන්නට උත්සුක වන්න.මන්ද යත් හෙට දිනයේ, ඔබේම අතපසුවීමකින් හෝ ආයතනනයක නොසැලකිලිමත්භාවය නිසා හෝ  මෙවන් තත්වයකට මුහුණදීමට සිදුවන්නේ ඔබේ පවුලේ කෙනෙකුට සගයෙකුට හෝ  ඇතැම් විට ඔබටම විය හැකියි.

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි and tagged . Bookmark the permalink.

8 Responses to අර්ථසාධක සටන්..!

  1. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    Thank you Janu Akka. Very useful information. Hope you two are doing fine. TC.

  2. කම්කරු දෙපාර්තමෙන්තුවේ හා සේවක අර්ථසාධක අරමුදලේ මහජන සේවය නම් කියලා වැඩක් නැ. 2010 වසරේ මැයි මස දි මම ඉල්ලුම් කල ඉතා සුළු කටයුත්තක් මාහට කරගැනීමට හැකි උනේ 2015 වසරේ පෙබරවාරි මාසයේ. ඒ අතරතුර මම කම්කරු දෙපාර්තමෙන්තුවට බදාද දින 20ක් පමන ගිනින් තියනවා. එක මේසයකින් තව මේසයකට ලියුමක් යන්න මාස 3ක් වත් යනවා, ඒකත් ගිහින් මතක් කලාට පස්සෙ.

    කියන්නෙන්නං කාර්යක්ෂම සේවයකට සියල්ල පරිඝණක ගත කරල කියල

  3. කුරුටු ගෑ ගී පවුර says:

    වැදගත් උපදෙස් ටිකක්…. අැත්තට ම මේ අායතන මීට වඩා මහජන හිතකාමී තැන් විය යුතුමයි… මේ මිනිස්සු තමයි රටට ලොකු මුදලක් ඉතුරු කරලා ධනය උපයලා දෙන්නේ…නමුත් සලකන්නේ ඒතන වැඩ කරන අයගේ සල්ලි ගන්න අපි ගියා වගේ තමා..

  4. අපිට නම් කෙලින්ම අදාල නොවුනත්, රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකේම අකාර්යක්ෂමතාව හොඳින් රස බැලූවන් තමයි අපි.

  5. A Reader says:

    ඔය දෙන්න රට අත ඇරල යන්න වගේ යන්නෙ නේද?. අනාගත සැලසුම් සාර්ථක වේවා.. ජය !! ලියවිල්ල දිගටම කරන්න.

  6. Nirosha says:

    Nangi,
    mage athdakimanam mita idurama wenas deyak. Man mage etf, epf dekama gaththa masayak athulatha. kisima karadarayak nathiwa, kagenwath upakarayak ganne nathiwa. man narahenpita giye dawas dekai. ekak forms ganna, anika ewa bara denna. edath man ethana hitiye 1 1/2 h witarai.
    Habai, mage hama thorathurakma niwaradiwa man wadakala ayathana walin adala hama thanakatama yawala thibuna. e hama document ekakma hariyatama galapuna.
    matanam hithenne, wada karana ayathanawala HR department eka wagema, apeth eka wage salakimak e gana dakwanna one. mage salakilla kese wethath, man wada kala ayathana niyama widiyata e wade karala thibuna. e wagema, e dewal wala wadagathkamath mata kiyala thibuna.
    habai, e hama ayathanayakama e wage barawa hitiye, HR training awa lamayek. e aya trained kenekta wada hodin e hamadema karala thibuna. me post eka kiyewwama, mata e aya gana loku pahadeemak athi una. labour department ekedi unath, kisima karadarayak, pamawak une ne. kiyapu kalaseemawatath kalin mage e mudal mata labuna.

  7. saman keeragala says:

    මා මෙම ක්ෂේත්‍රයේ දිගු කාලයක් වැඩ කල අයෙක්……. මගේ දැනීමේ සහ අත්දැකීම් අනුව සේවක අර්ථසාධක අරමුදලේ යම් නම් විෂමතාවයක් පවතින විට මුදල් ආපසු ලබා ගැනීමට පෙර හෝ නිවාස අරමුණු සදහා ණය මුදල් ලබා ගැනීමකට පෙර එම නම් වෙනස්වීම නිවැරදි කර ගැනීම අසීරු කටයුත්තක්. මේ සදහා හොදම විකල්පය නම් සේවා ආයතනයෙන් ලබාගත් නම් සහතිකයක් සුරක්ෂිතව ලග තබා ගැනීම. එවිට මුදල් ආපසු ගැනීමකදී හෝ නිවාස ණය ලබා ගැනීමේදී අදාල ඉල්ලුම් පත් සමග අදාළ නම් සහතිකය ඇමිණීම පර්මානවත්. ඔබ ප්රිතිලබ හෝ නිවාස ණය ඉල්ලුම් කරන අවස්ථාවේදී සේවය කල ආයතනය වසා ඇත්නම් ග්‍රාමනිලදාරි සහතික කල ප්‍රාදේශීය ලේකම් අනුඅත්සන් කල ආකෘති පත්‍රිකා ඉදිරිපත් කිරීම ප්‍රමනවත්වේ.

  8. නීති රීති හදලා තියෙන්නේ ප්‍රතිලාභ දෙන්න නොවෙයි, නොදෙන්නයි!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s