කුමාරයා අයියා…!

මං දොර ඇරියෙ අම්මගෙ වයලින් පන්තියෙ පොඩි උන්ව බලාපොරොත්තුවෙන්.

කාව හම්බෙන්නද?

දොර ඇරපු ගමන්  දැක්ක දෙයින් තුෂ්නීම්භූත වෙච්ච මට ඉබේම ඇහුණ.

මට පිටුපාල, ඉටි කවර දෙක තුනක් අතින් එල්ලගෙන දොරකඩ හිටිය කොල්ලා මං දිහාට හැරුණ. උඩ ඉඳල පහළට බලපු මං පහළ ඉඳල උඩට  එද්දි සැන්ඩ්ල්ස් ජෝඩුවක්, ඩෙනිම් කලිසමක්, ඉනේ ලොකු බෙල්ට් එකක්,  කොටු කොටු කමිසයක්, ඔරලෝසුවක්,  බෙල්ලෙ චේන් එකක් දැක්ක.

ඊට පස්සෙ කලු පාට මූණෙ හිනාව දැක්ක. දිලිසෙන, ඇහිපිල්ලමක් වත් නොවදින ඇස් දැක්කෙ ඊටත් පස්සෙ. හරියට මගෙ දිහා බලාගෙන වෙන කොහෙදෝ අතරමං වෙලා වගේ.

කාව හම්බෙන්නද?

කතා බහක් නැතුව විනාඩි බාගයක් විතර ගියාම පොඩි බයකුත් හිතට ආව හන්ද මං තරමක් හිතට අරං ආයෙත් ඇහුව.

මේ…මෙහෙ හිටිය නෝන අරි මාත්තය අරි ඉන්නවද?

තිගැස්සිලා පියවි ලෝකෙට ආව කලු කොල්ල බොහොම හෙමිං හඬක් නැගුව.

ආ… ඉන්න මං එන්න කියන්නං.

එහෙම කියාගෙන එක පාරටම අම්මට කතා කරන්න යන්න ආපස්සට හැරිලත් මං ආයෙ කල්පනා කළා.

ඔලුව ඇතුළෙ තප්පර ගාණකින් හේතු සීයක් ඒ සිතුවිල්ලට විරුද්ධව පෙළ ගැහුණ.

නන්නාඳුනන මනුස්සයෙක් දොරකඩ.  දෙමළ ආරක කතාව. කාලෙ හැටියට ඇතුළට ඇවිල්ල ඉඳගන්න කියන්නත් බයයි. මොනව හරි විකුණන්න ආව මනුස්සයෙක් වගෙ වුණා නං  එළියෙ ඉද්දි දොර වහල ගිහිං අම්මට කතා කරන්න තිබුණ.  ඒත් මේ මනුස්සය අපිව දන්නව වගේ. එතකොට නිකං මූණට දමල ගහන්න වාගෙ දොර වහල යන්නත් මොකද්ද වගේ.

සේරම කිරල මැනල බලල අන්තිමට මං තීරණය කළා සෑහෙන්න අවිනීත වුනත් එතන ඉඳල බෙරිහන් දීල අම්මව ගෙන්නන්න.

අම්මේ….! අම්මේ,  අම්මේ….!‍

මොකද චූටි පුතා මේ බෙරිහන්දෙන්නෙ?

දොරකඩ හිටගෙන බෙරිහන්දෙන මට බැනගෙන ආව අම්ම හුඩ් එක යට හිටගෙන හිටිය කොල්ල දැකල හිටිවනම නැවතුණා.

නෝනා…..නෝනට මාව අඳුනන්න පුලුවන්ද?

ඉස්සරහට ආපු කොල්ල ඇහුව

මේ.. කුමාරය නේද?

අම්මා ඇහුව.

කොල්ලගෙ මූනෙ ඇඳුන හිනාවෙන් සතුට දෝරෙ ගලන්න පටං ගත්ත.

චූටි පුතේ මේ පොඩි කාලෙ ඔයාව බලාගත්ත කුමාර නෙ. ඔයා කිව්වෙ කුමාරයනෙ.

අම්මගෙ මූණෙත් කාලෙකින් ඇඳෙන තාලෙ හිනාවක්

මට මගේ ඇස් අදහාගන්න බැරි වුණා.

ඇයි මේ දොරකඩ. එන්න එන්න ඇතුළට.

දොරකඩට වෙලා අම්මගෙයි කුමාරයගෙයි මූණු දිහා මාරුවෙන් මාරුවට බල බලා හිටිය මට යන්තං  මතක් වුණා කුමාරට ඉඳගන්න කියන්න.

කුමාර ඇතුළට ආවා. ඇවිත් පරිස්සමට සෙටියෙ ඉඳගත්තෙ හරියට ඒක කැඩෙයි කියල බයේ වගේ.

මේ.. එතකොට මං බලාගත්තු චූටි පේපිද?

වාඩි වෙලා ලොකු හුස්මක් අරන් පහළ හෙලන ගමන් නළලෙ දාඩිය අතින් පිහින ගමන් මා දිහා බලපු කුමාරයා ඇහුවෙත් බොහොම පරිස්සමෙන්, වචනයක් වැරදුනොත් දඬුවම් කරන්න කවුරු හරි බලං ඇති කියල හිතේ බයෙන් වගේ..

ඔවු ඔවු.. මේ එයා තමයි කුමාර.  අම්මා උත්තර බැන්දා

අඳුනන්නෙ කෝමද ඉතිං. මෙච්චර කාලෙ නෙ බලාගත්තෙ මං

ඇස් ලොකු කරගෙන මං දිහා බලාගෙන කුමාර ඒ  කාලෙ මගෙ උස බිම ඉඳල අවකාශයට මැනල පෙන්නල කිව්ව.

ඒ කාලෙ පේපි මගෙ කරේ තමයි ඉටියෙ.  මගෙ වැඩේ ලුණු ගෙනියනව.. ඇම තිස්සෙ කතා කරනවා කරනවා… කච කච  කච කච. ලොකු නෝනා  පේපි ට බුදු ආමුදුරුවංගෙ කතාව කියල දුන්නා පස්සෙ ඉඳල තමා මට කුමාරයා කියන්නෙ.

කුමාරයා මූනෙ අපූරු හිනාවක් ඇඳගෙන කියාගෙන කියාගෙන ගිය හැටියට මටත් හිනාවක් ගියා.

ඉන්න ඉන්න.. ඔය විස්තර කලබලේ නෙවෙයි අහන්න ඕනෙ මට. පොඩ්ඩක් ඉන්න මං තේ එකක් හදාගෙන එනකල්.

හිනාවෙන්ම කියපු මං කුස්සියට යන්න හැරුණ.

පුතේ ගුණවතී නැන්දට කියන්න පොල් ටිකක් එහෙම ගාන්න කියල. කුමාර අදම ආපහු යන්නෙ එහෙම නෑ ඔන්න. අම්මා කියනව ඇහුණ.

කුමාරයා ගැන මූණ මතක් කරගන්න තරමට මතකයක් නැතත් මටත් මතක තියෙන්නෙ පොඩි කොලු පැංචෙක් මාව කරේ තියාගෙන ගේ වටේටම ලුණු ගෙනිච්ච වගක්. ඒ ඇරුණාම මං කුමාරය කියල කෙනෙක්ට කතා කළා මතකයි.  ඒ අර චූටිකාලෙ ෆොටෝ තියෙන ඇල්බම් එක බලල අම්මල පෙන්නල, කුමාරයයි මායි ගැන කතා කිව්ව හන්ද මගෙ හිතේ ඇඳිච්ච මතක චිත්‍රයක්ද නැත්තං ඇත්තමට ඒව ගැන මට මතකද කියල කියන්න මට බෑ.

ඒත් පුංචිම කාලෙ වුණත් වෙච්ච සමහර දේවල් මට මතකයි. ඒ හන්ද සමහර විට මට ඇත්තටම කුමාරය සම්බන්ධ දේවල් ඇත්තටම මතක තියෙනව වෙන්නත් ඇති.

අපේ අම්මලගෙ ගමේ ලැයිමෙ ඉඳල කුමාරයා මාව බලාගන්න අපේ ගෙදරට ඇවිල්ල තිබුණෙ එහෙ ගැබිණි වාට්ටුවක් වාගෙ වෙලා තිබුණ කාලෙක.

මට අවුරුද්දකුක් නැතුව ඇති, අමිල මල්ලි ඉපදුන ගමන් වගේ. අපේ අම්මට මල්ලිව හම්බෙන්න. ලොකු නැන්දට තමර මල්ලිව හම්බෙන්න, පුංචි අම්මට මුතූව හම්බෙන්න. කොහෙම හරි ඔය ගැබිණි වාට්ටුවෙ වැඩ කටයුතු අහවර වෙලා මට යමක් කමක් තේරීගෙන එන කාලෙ වෙනකල් කුමාරයා අපේ ගෙදර හිටියලු

මාව බලාගන්න කියල එක්ක ආවට මොකද මහ කැලතක් හිටපු අපේ ගෙදර උයමන්වලට ආච්චි අම්මට වතුර ඇදල මුට්ටි පුරවල දෙන, පොල්ගාල දෙන වැඩත් කුමාරය කලා ලු.

කුමාරට කුමාරයා කියල බෞතීස්ම කලේ මමලුනෙ.

ඒ කාලෙ අම්ම මට කියල දෙන කතාවල වැඩි හරියක් ඉන්නෙ කුමාරයොනෙ. ඉතිං නමින් ජයකුමාර් වුණාට, ගෙදරට  හැමෝම කුමාර කුමාර කියපු හන්ද මං හිතන්න ඇත්තෙ කුමාර කියන්නෙ ඇත්තටම අම්ම කියපු කතාවල හිටිය වගේ කුමාරයෙක් කියලයි.

කොහොම හරි කුමාර හැමෝටම “කුමාරයා” වුණේ එහෙමලු.

කුමාරය තියාගන්න..අනේ කුමාරය තියාගන්න… කියල  අපේ ගෙදරින් යන දවසෙ මං විලාප තියල ඇඬුව බවක් මට මතක තියෙන්නෙ පස්සෙ කාලෙක අම්මල කිව්ව හන්දද මන්ද.

ඒ මතක හරිම පැටලිලි සහගතයි කියල හිතෙනකොටත් දුකයි.

පස්සෙ කාලෙක කුමාරය ගැන මතක් කරල තියෙනව අපි අනන්තවත්. පුංචිම කාලෙත් තොරතෝංචියක් නැතුව කතා කරන, ප්‍රශ්න අහන මං එක්ක ඉහ ගහල, මගෙ දඟකාර වැඩවලට තරහ ගියත් නිය පිටින් කොනිත්තන්නෙවත් නැතුව මාව බලාගන්න, සිංහල හරියට කතා කරගන්න බැරි කුමාරයා හොඳ සටනක් කළා කියල තමයි තාත්ත මට හිනා වුනේ.

මං තේ හදාගෙන එනකොට කුමාරයා අම්මට එයාගෙ වර්තමාන කතාව කියනව.

නෝන මේ ඉඳල මං කොළඹ අපේ අක්ක ලඟට තමයි ගියේ.  ඒත් කොටි කළබල එනකොට අයියත් නැතුව අක්ක එහෙ ඉන්න පය වුණා. දුවල පුතාල පහයි.  අරි පොඩියි. එයා ආපහු ගියා ගමට. මට කොළඹ දාල යන්ඩ බේ කියල මං ඉටිය. ගමේ ගීල්ල මොනා කරන්නද නෝන?

මං තෙං තෙංවල ඉටිය. වෙල්ලවත්තෙ සයිවර් කඩේක වේටර් වෙඩ කලා. සමහර කාලෙ නාටාමි වෙඩෙත් කළා, තව කාලෙට කන්ඩ නැතුව පාරෙත් ඉටිය.

 පස්සෙ මාත්තයෙක් මාව වෙඩට ගත්ත එයාගෙ පැට්ටේරියෙ සිකුරිටි. දැං  අවුරුදු කානක් එතන තමා වැඩ කරනවා. නිවාඩු අම්බුනම ගමේ යනව. තැං අවුරුදු තෙකකට කලිං අම්මත් මලා. අක්කත් ඒ නේ. නංගිත් රට. තැං ගමේ ගියාට කවුරුත් නේ. ඉතිං  මේපාර කොහෙ යනවා කියල කල්පනා කළා. ඉස්සර මං ඉටිය තැනට යන්න ඕනෙ කියල ඉතුන. ආව.

ඉතිං කුමාරට මතක තිබුණද ඉතිං අපේ ගෙදර? දැං වෙනස් නෙ ගොඩක්.

මං කතාවට එකතු වුනේ කුමාරයට තේ එක දෙන ගමන්

බයින තැන යන්තං මතක තිබුණ නෝනා. මේ පරණ කඩේ නේ නෙ. ඉතිං මට එකපාරට බැරිවුනා ඔයාගන්න.ලොකු මාත්තය වැඩට ගීන්ද?

අම්මටයි මටයි මූනෙන් මූණ බැලුණ.

අම්මගෙ මූණෙ ඇඳුන දුක් රේඛා එක්ක මගෙ හදිසි නිහැඬියාව නිසා කුමාර විපිලිසර වුණා.

මහත්තය නැති වුණා නෙ කුමාර. දැන් අවුරුදු දෙකක් වගේ වෙනව.

අය්යෝ! මොනා වුනේ?

අම්මා තාත්තාගෙ මරණය විස්තර කරන හැටි මට හීනෙන් වගේ ඇහුණ. මං හිටියෙ හිතෙන් පුංචි කාලෙට එක පාරටම ගිහින්. තාත්තගෙ ඔඩොක්කුවෙ.

පුතා කුමාර  එක්ක කතා කරන්නකො. අර පන්තියට ළමයි ඇවිත්. මං ඉක්මණට පාඩම බලල පිටත් කරන්නං

අම්ම ගියා.

මං පියවි සිහියට ආව.

ඉතිං කුමාරය අයියෙ කියන්නකො විස්තර.. මං කයිවාරුව පටං ගත්ත. ඒ විතරක් නෙවෙයි මටත්  නොදැනිම කුමාරයාට අයියා කියන්නත් පටන් අරන් තිබුණ.

පේපි ලොකු වෙලා ගොඩක්. ඉස්සර මෙච්චරයි.

මං අනපේක්ෂිත ආකාරයට සුහදවීම නිසාද කොහෙදෝ කුමාරය අයියා සබකෝලය අතෑරල දොඩමලු වෙන්න පටන් අරන් තිබුණ. මටත් පුදුමාකාර විදියට කුමාරය අයියා  එක්ක පුංචි කාලෙ වගේම තොරතෝංචියක් නැතුව කියවන්න හිතක් පහල වෙලා තිබුණෙ.

ඉතිං කුමාරය අයියත් දැන් ලොකු වෙලා වයසට ගිහින් නෙ. මට මතක ඉතිං මාව බලාගත්තු පොඩි කුමාරය අයියනෙ. කවුද හිතන්නෙ එයා ආපහු අවුරුදු ගාණකට පස්සෙ එයි කියල අපිව බලන්න?

දැං පේපි මොනා කරනවා?

මං කැම්පස් එකේ කුමාරය අයියෙ. දැං තුං වෙනි අවුරුද්ද. තව අවුරුද්දක් තියෙනව ඉගෙන ගන්න.

ඉතිං කොළඹමද ඉන්නෙ?

ඔවු.. මාමලගෙ ගෙදර

ආ චූටි මාතියගෙ ගෙදර. චූටි බේබි කෝ දැං?

මල්ලිත් ඉගෙනගන්නවනෙ කුමාරය අයියෙ. එයාට නිවාඩු නෑ. ඉතිං ගෙදර ආවෙ නෑ.

දැං වයස කීයද පේපිගෙ.

ම්…….විසි හතරක් විතර

අප්පා… අපෙ අක්කට විසි අතර වෙද්දි ළමයි අතර දෙනයි පේපි.

කුමාරයා කල්පනාවට වැටුණ.

මං මේ ඉන්න කාලෙ ඔන්දට කාල බිල ඉටිය. කොළඹ ගීන් පස්සෙ බඩගින්නෙ ඉන්ඩ වුණාම මට ඇමතිස්සෙ මතක් වුණා මේ ඉටිය කාලෙ.

පේපි ඉගෙනගන්න. ගොඩක් ඔන්දට ඉගෙනගන්න.  මං කවදඅරි මගෙ දරුවෙක්ට උගන්නන්න ඕනෙ ඒ වගේ.

කුමාරයා අයියා තමන් පොදිබඳින බලාපොරොත්තු මල්ල ලිහුවා.

ඒක හොඳයි. කුමාරය අයිය එහෙම හිතන එක කොච්චර හොඳද? ඉතිං අපිව බලන්න එන්න හිතුණෙ මොකද එකපාරටම?

පේපි, මං මේං ගියේ හරි දුකෙං.  මට තැනුත් මතක වෙනවා පේපි මං යනකොට කෑගාල ඇඬුව. අවුරුදු අතරක් වගෙ ඇති පේපිට.

මටත් ඇඬුන. මගෙ නංගිව මට මතක් වුනේ. මගෙ නංගිව මට බලාගන්න බැරි වුණා.

මං පේපිව බලාගත්තෙ මගෙ නංගි කියල ඉතලනෙ. ඒත් මං යන්න ඕනෙ වුනා. ගීං ගොඩාක් කල් ගීනුත් අරියට මතක් වුණා. කවදා අරි බලන්න යනවා කියල ඉතා ගත්ත.

කවදත් කීව නාහ වැඩ කරන මගෙ ඇස්වලට ඕනෙ වුණා ඒ වෙලාවෙම එදා  තමං වඩාගෙන ගේ වටේ දුවපු කුමාරයා යන දුකින් අම්මගෙ තුරුලෙ ඉඳල විලාප තියපු පුංචි කෙල්ලගෙ ඇස්වලට කඳුලු පුරවන්න. පුටුවෙ ඉඳන් කුමාරයා අයියා එක්ක කතා කරන ලොකු මහත් වෙච්ච කෙල්ලට තේරුණා තමන් මහ හයියෙන් විලාප තිබු බව මතකයේ තියෙන්නෙ කවුරුත් කියූ නිසා විතරක්ම නොවන බව. පොඩි එකී අස්සෙ රිංගගත්තු ලොකු කෙලී, ඒ උණපු කඳුලු හංගගන්න මහා උත්සාහයක් දරමින් නැගිට්ට.

ඒ කෙල්ල ආපහු ආවෙ ඇල්බම් එකක් අරන්

ඒ පුංචි පේපිට බත් කවපු දා පේපිව බලාගත්තු අවුරුදු දොළහක පොඩි කොල්ලා, පේපිව තුරුල් කරගෙන ඒ පැදුරෙම ඉඳගෙන ගත්තු තරමක් පරණ වේගෙන ආව පින්තුරයක් කුමාරයා අයියාට පෙන්නන්න.

කුමාරයා අයියා ඒ දිහා බලන් හිටියා.

කතාබහක් නැති මිනිත්තු ගාණකට පස්සෙ කුමාරයා අයියා හිස එසෙව්වෙ ඇස්වල කඳුලු හංගගන්න කිසිම උත්සාහයක් නැතුව..

මේක ගත්තෙ පේපිගෙ තාත්ත.  මට අරි ආදරෙයි මාත්තයා. බූන්දි ගෙනත් දෙනවා මට.

කුමාරයා අයියා ඒ පින්තූර කතාවෙ මට මතක නැති තැන් සිහිපත් කළා.

ඔවු කාලෙ ගතවෙලා හරි වේගෙං.. ඇස්වලට ආයෙමත් උණාගෙන එන කඳුලු අස්සෙං මට කියවුණා.

කුමාර ඇඳුම් එහෙම මාරු කරගෙන මහන්සි අරින්න. මොනව හරි උයන්න යමු චූටි පුතා.

පන්තිය ඉවර කරල අම්ම ඇවිල්ල කතා කරනකල් ඊට එහා වචනයක් කතා කරගන්න බැරුව කුමාරයාත් පේපිත් දෙන්න හිස් අවකාශය දිහා බලන් හිටිය.

ලබන සතියෙ මං කසාද පඳිනව නෝනා. කොළඹ කෙල්ල තමා. ඒත් අරි ඔඳයි. මං පොඩි කාමර කේල්ලක් කුලියට ගත්තා. ඒකෙ ඉඳල රස්සාවට යනව. පස්සෙ කාලෙක කඩයක් දාන්න ඉතං ඉන්නෙ අපි. අපිට මේම උනේ අපිට ඉගෙනගන්න බැරිවුන අන්ද නෝනා.. අපි ඉතුවෙ කවදඅරි අපේ දරුවන්ට ඔන්දට උගන්නන්න ඕනේ කියල තමා.

බත් පිඟාන අනන ගමන් කුමාරයා අයියා කප්පරක් ඉදිරි බලාපොරොත්තු අම්මාට කිව්වා.

මං හිටියෙ තාත්තගෙ වියෝවත් එක්ක අඳුරු වෙලා හිස්ව ගිහින් තිබුණ අපේ ජීවිතවලට  හදිසියේ එළීයක් වැටුණ වගේ දැනෙන සිතුවිල්ලෙන් උද්දාම වෙලා. හරියට කාලෙකින් නෑදෑයෙක් ගෙදර ඇවිල්ලා වගේ.

බැන්දාම නෝනත් එක්ක කුමාරයා අයියා ආයෙත් අපේ ගෙදර එන්න..!!

පහුවදා යන්න පිටත් වෙන කුමාරයා අයියාට මං කිව්ව.

මං එනව පේපි! කවදහරි ආයෙ එනව!

කුමාරයා අයියා තොල් අස්සෙන් තරමක් ඉස්සරහට ආව දත් විදහල එයාගෙ අපූරු හිනාව පෙන්නල කිව්වා.

අම්මට වැඳල මං දිහා ආදරෙන් බලල හිනාවෙලා යන්න පිටත් වුණ කුමාරයා අයියා ගේට්ටුවෙන් එළියට ගිහින් ආපහු හැරිලා අත වැණුවා.

අලුත් ජීවිතයක් අරඹන්න, ජීවිතේ ජයගන්න බලාපොරොත්තු පොදියක් උස්සාන යන  ජයකුමාර් අයියා දිහා අපේ ගෙදර දොරකඩ ඉඳන් බලන් හිටිය එයාගෙ චූටි නංගිත් හිනාවෙලා එයාට අත වැනුවා.

පින්තූරෙ මෙතනින්

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to කුමාරයා අයියා…!

  1. katussaa පවසයි:

    මනුස්සකම කියන දේට ජාතියක්,ආගමක් කියන දේවල් අදාල නෑ.එතන තියෙන්නේ ආදරය විතරමයි.
    ජය වේවා……

  2. ගමින්ද පවසයි:

    ගොඩක් කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාල. මං හිතුවෙ බ්ලොග් එක අතඇරල දාල කියල.
    අපේ ආච්චිලගෙ ගෙදරත් මම පොඩිකාලෙ මෙහෙම දෙමළ ලමයෙක් හිටියා. එයාට කිවුවෙ “කන් කොට මෝග” කියල. එයාගෙ එක කනක් ඇදයි. දෙමළ සිංදු කිය කියා නටනවා. ආච්චි එයාව සිංහල ඉස්කෝලෙකට යැවුවා. පස්සෙ ඒගොල්ලන්ගෙ කට්ටිය ඇවිත් එක්ක ගියා. ඊට පස්සෙ විස්තරයක් නැ. මට එයාව මතක් උනා.

  3. Buratheno පවසයි:

    පරණ මතක ගොඩාරියක් අලුත් වුනා බං..

    බ්ලොග් එක පූර්ණ සිංහලීකරණය වෙලා වගේ.. 😀

    පෝස්ට් එක රීඩර් එකේ අප්ඩේට් වෙලා තිබුනෙ නෑ.. (රීඩර් එකට දැන් උඹව මතක නැතුං ඇති.) හොඳ වෙලාවට FB එකේ share කරලා තිබුනෙ..

  4. නුවර කුමාරි පවසයි:

    අපිව පොඩිකාලේ බලාගත්ත කාන්ති මතක් උනා… ඈ නම් ආයෙත් එන්නේ නැහැ. ආවොත් කියල එක මොහොතකදී හිතුන. කැමතිනම් කියවන්න ජනුවෝ මගේ කාන්ති ගැන…

  5. Asoka Basnayake පවසයි:

    අනේ මගෙ ඇස්වලට කඳුලු ඉනුවා ජනු. අපේ ගෙදර අපි පොඩි කාලේ හිටිය සිරියා මතක් උනා. සිරියා කිව්වට එයා සිරිපාල. මායි මල්ලියි ස්කූල් බස් එකෙන් එනකන් සිරියා මගේ බයිසිකලය තියාගන හන්දියේ බලාගන ඉන්නවා. මම බයිසිකලය පැදගෙන එනකොට සිරියා මගේ පොත් මල්ලත් අරගෙන පස්සෙන් දුවනවා. ඊට පස්සෙ මල්ලිගෙ සයිකලය පැදගෙන හන්දියට ගිහින් මල්ලිව අරගන එනවා.

  6. ravisandu පවසයි:

    ජීවිතේ ඒ ඒ කාලවලදි නොහිතපු විදිහට අපිට බොහොම කිට්ටුවෙන මිනිස්සු / ගැහැණු ඒ වගේම නොහිතපු විදිහට අපිව අතඇරල යනව.මගෙත් ඔය වගේම අත්දැකීමක් තියෙනව. ඈ දෙමළ තරුණියක්. මට කිව්වෙ චූටි මහත්තය කියල. අපි අනුරාදපුරේට ගියාම ඈ ඒ පැත්තෙ දෙමළ තරුණයෙක් එක්ක හාද වෙලා පැනල ගියා. මම එතකොට කොළඹ..ඉස්කෝලෙ යනව. ඒ විස්තර මම හරියටම දන්නෙ නෑ. අම්මල අත්තම්මල කියපු දේවල් තමයි.

    පස්සෙ කාලෙක මට අවුරුදු 15 වගෙ කාලෙ ඈ අපේ ගෙදර ආව ඇගේ ස්වාමියත් එක්ක මට තෑග්ගකුත් අරගෙන. ඒ නවකතාවක්..” .චූටි මහත්තය ඒ කාලෙ ඉඳල පොත් කියවනවනෙ..ඒ නිසා මම මේක ගත්ත චූටි මහත්තයට..” ඈ අහිංසක විදිහට හිනාවෙලා කිව්ව.මගෙ ඇස් වලට උණපු කඳුළුවල සීතල මට තාමත් මතකයි බං… 😦

  7. සිඳු පවසයි:

    කාලෙකින් ඇවිත් බල්ද්දි අක්කත් කාලෙකින් පෝස්ට් එකක් දාල. ඉතුන් ඒ කුමාරය නෝන එක්ක ආපහු ආවෙ නැද්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )