තාත්තෙක්, හීනයක් සහ වාසනාවන්ත දුවෙක්..!!

මෙන්න බොලව් අපගේ බලු පුතුනා

මේකා නම් මහ නරක බල්ලෙකිය

මේ බල්ලා කොයි සිට ආවේ

මේකා අපායෙ ඉඳ ආවේ

 

ඔලුවෙ ඉඳන් රෙදි පොරවාලා

හොරට නිදාගෙන මේ ඉන්නේ

නැගිටපියවු හොර ගෙඩි දෙන්නා

පස්සට ඉර අවුවත් වැටිලා

 

හොඳ ලොකු කෝටුව ගෙනැවිල්ලා

මේකට දෙක තුන දීපන්නේ

තාත්ත ඈත ඉඳන්ම ඕක කියාගෙන එනව ඇහෙද්දිම ඉතිං ඉස්කෝලෙ යන්ඩ තියෙනව කියල දන්න හන්ද බා‍ගෙට ඇහැරිලා හිටිය වුණත් ඇඳේ ගුලි වෙලා පොරෝණයගෙ අස්සෙම ගුලිවෙන්ඩ කැමති මමයි මල්ලියි දෙන්නම කම්මැලිකමට ඇස් පියාගෙනම කෙඳිරිගගා නැගිටිනව.

ඔය තාත්ත එන්නෙ අපිව ඇහැරවන්ඩයි.

හා යමු.. දෙන්නම දත්මැදල මූණ සෝදල කිරි බොන්ඩ.

තාත්ත අපි දෙන්නව ඉඹල මල්ලිව වඩාගෙන මගෙ අතින් අල්ලල නැගිට්ටවගෙන එක්කන යනව කුස්සිය පැත්තට. ඒ ඉතිං පුංචිම කාලෙ.

ඒත් අපි දෙන්න ලොකු වෙලා තනියෙන් වැඩ කරගන්න කාලෙත් තාත්ත ඇවිල්ල ඔය කවිය කියල අපිව ඇහැරවනව. ඕක කියාගෙන එන වෙලාවට අපි අවදි වෙලා හිටියෙ නැත්තං ඉතිං හංකිති කව්වගෙන, කෑගහගෙන, හූතියාගෙන, ඇඳ රෙදි අකුලගෙන බිම දාල අම්මගෙන් තුන් දෙනාම බැනුනුත් අහගෙන තමයි නැගිටින්ඩ වෙන්නෙ.

ඒක එයාම හදාගත්තු බහුකාර්ය කවියක්.

නැලවිලි කවියත් ඒක, කූද්දන කවියත් ඒක.. කොටින්ම කියනව නං අපි දෙන්න උදේ ඉඳන් කරන නාහෙට අහන්නෙ නැති වැඩවලට අපිට දඬුවම් නියම කරන්නෙත් ඒ කවියෙන්ම තමයි.

හැමදාම හවසට ගෙදර ආවාම ඇඟ සෝදගෙන එහෙම තේ බීල ඉවර වෙලා තාත්ත මාවයි මල්ලිවයි ටිකක් වෙලා වඩා ගෙන ඉන්නව. ඉස්සෙල්ලාම වඩවගන්න අපි දෙන්න පොර කනව.. ඒ පාර තාත්ත දවසක් මාව යි දවසක් මල්ලිවයි ඉස්සෙල්ල වඩාගන්න පටන් ගත්ත.

උන්න ගමන් ඉතිං අපේ මල්ලි නීති රීති කඩල මාව ඉස්සෙල්ල වඩාගන්න  තියෙන දවසට තාත්ත තේ බීල කෝප්පෙ තිබ්බ ගමන්ම ඔඩොක්කුවට පැන්නම මං රණ්ඩු වෙලා ඇඬුවත් එක්ක..

තාත්ත වඩාගත්තාම හරි සැපයි. කොහෙන්වත් හිර වෙලා තද වෙලා රිදෙන්නෙ නෑ.

අනික තාත්තගෙ පිරිච්ච උරිස්ස තරම් සැප කොට්ටයක් තවත් නෑ.. ඉතින් අපි තාත්ත වඩාගෙන ඉන්න ඒ ටික වෙලාවට හරි ආසයි..

ඒ වෙලාවට තාත්ත මුමුණ මුමුණ ඉන්නෙත් ඒ කවියම තමයි.

මෙන්න බොලව් අපගේ බලු පුතුනා

මේකා නම් මහ නරක බල්ලෙකිය

මේ බල්ලා කොයි සිට ආවේ

මේකා අපායෙ ඉඳ ආවේ

 

උදේ ඉඳන් නටලා නටලා

වැදිලලු අත්තාගෙන් ගුටියක්

තාත්තගේ කරඋඩ නැගලා

දැන් හොඳ බල්ලෙක් වගෙ ඉන්නේ

 

හොඳ ලොකු කෝටුව ගෙනැවිල්ලා

මේකට දෙක තුන දීපන්නේ

 

හා දැං ඇති බල්ලො.. බැහැපං..මගෙ අත රිදෙනව දැං..

අපිව වඩාගෙන ඉඳල ඉඳල අත් රිදෙන්න ගත්තාම ඉතිං අපි දෙන්න අකමැත්තෙන් වුණත් තාත්තගෙ තුරුල්ලෙන් බහිනව.

පස්සෙ පස්සේ ඉතිං අපේ කරදඬු ඉස්සුනාම තාත්තට අපිව වඩාගෙන ඒ හැටි වෙලා ඉන්ඩ බැරි වුණා..

ඒත් උන්න ගමන්

තාත්තෙ වඩා ගන්නකො චුට්ටක්…. කියල අපි කිව්වාම

හපොයි වඩාගත්තම කකුලුත් බිම වදිනව බොලාගෙ දැන් කියල උස්සල ටිකකින් බිමින් තියනව

ඔය කවියෙ මුල කොටස එහෙමම තියෙද්දි ඒකට අවස්ථාවෙන් අවස්ථාවට ගැලපෙන්න වෙනස් කරන්න, තව කෑලි අමුණන්න තාත්ත හරි හපනා. ඒ හන්දම ඉතිං ඕක අතොරක් නැතුව වෙනස්කම්වලට ලක් වුන කවියක්!

සමහර දවසට එකම දවසෙ දෙපාරක් විතර වෙනස් වෙනව ඕක.

මල්ලිටයි මටයි මොකක් හරි අලකලංචියක් වුණාම නං අනිවාර්යයෙන්ම ඒක ගැන ඔය කවියෙ මැද කවිය වෙනස් වෙනව.. එතෙන්ට තව අලුත් කවි කෑල්ලක් ඈඳෙනව.

ඔන්න වැහැල වැහැල වත්තෙ වතුර පිරිච්ච දවසක අපි තුන්දෙනා කෙහෙල් කොට පුරුද්දල පහුරක් හදාගෙන කංකුං වලට ඕක දාගෙන පදින වෙලාවෙ කබරයෙක් දැකල මල්ලි කලබල වෙච්ච පාර පහුර පෙරලුණා.

අපි තුන්දෙනා අහල පහල වතු සේරම හෝදගෙන එන මඩ වතුරෙ ජබි ගහල ගොඩට ඇවිල්ල අම්ම එද්දි නාල සුද්ද වෙලා පිරිසිදුවට හිටියට මොකද පහුවදා ඇඟ පුරාම කසන බිබිලි දාල.

මෙන්න බොලව් අපගේ බලු පුතුනා

මේකා නම් මහ නරක බල්ලෙකිය

මේ බල්ලා කොයි සිට ආවේ

මේකා අපායෙ ඉඳ ආවේ

 

කෙහෙල් පහුරෙ උන් අපෙ පොඩි බල්ලා

කබරගොයා දැක බියවීලා

ඒක පෙරලිලා වතුරෙ වැටී

හොරි හැදිලා කස කස ඉන්නේ

 

හොඳ ලොකු කෝටුව ගෙනැවිල්ලා

මේකට දෙක තුන දීපන්නේ

ඉතිං අපිව හිනස්සන්නෙත්, ඇහැරවන්නෙත්, ලෙඩ වුනාම, නිදිමත වුණාම වඩාගෙන උරිස්සෙ නිදිකරවගෙන පිටට තට්ටු දදා කියන්නෙත් ඔය කවි තමා.. ඒව ඉතින් කිසිම නීතියකට රීතියකට යටත් වෙලා හදපුව නෙවෙයි. බෙහොම අහම්බෙන් එලිසමයක් වැටුණොත් මිසක් කවදාවත් තාත්ත ඒ පද හතර එකකට එකක් ගැලපෙන්ඩ කියනව මං අහලම නෑ. හැබැයි.. ඒ වචන අස්සෙ තියෙනව අපිට වෙච්ච දේ බොහොම කෙටියෙන්, මුලු කතාවම.

අනික් එක ඔය හැම කවියම ඉවර වෙන්නෙ හොඳ ලොකු කෝටුව ගෙනැවිල්ලා අපිට දෙකක් තුනක් වදින කෑල්ලෙන් තමා..

ඒ විතරක් යැ, අහන කෙනෙක්ට බඩ පුරා හිනාවෙන්ඩ පුලුවන් වෙන්ඩ තාත්ත ඒක කියනව. ඉස්සර අම්මයි ආච්චි අම්මයි දෙන්න උයන පිහන ගමන් තාත්තගෙ ඒ කවි වලට හොරෙන් කන්දීගෙන ඉඳල හිනා වෙනව..

ඇයි එතකොට උන්නු ගමන් අපි තුන්දෙනා සති අන්තෙ හවස පොඩි නින්දක් දාන්න ගිය වෙලාවට ජගත්චන්ද්‍රයගෙයි සූටියගෙයි කතාව ගොත ගොතා කියල එපා වුණාම සමහර දවසට අපි දෙන්නම තාත්තට කියල ඔය කවිය කියව ගන්නව. තාත්ත ඉතිං ගොඩක් දවසට අපි දෙන්නව නිදිකරවල තියල හොරෙන්ම නැගිටල යනවනෙ.

ඒක දන්න හන්දම අපි සෑහෙන වෙලාවක් හොරට නිදි වගේ ඉඳල ඉඳල එයාව අල්ල ගන්නව. යන්න නොදී තියාගන්නව

ඉතිං තාත්ත ආයෙත් නැවතිලා අපි දෙන්නව තුරුල් කරගෙන කවි කියනව..

මෙන්න බොලව් අපගේ බලු පුතුනා

මේකා නම් මහ නරක බල්ලෙකිය

මේ බල්ලා කොයි සිට ආවේ

මේකා අපායෙ ඉඳ ආවේ

 

ඔටෝ ටැක්සි කතාව අහලා

නිදිමත හැදිලලු බල්ලන්ට

නැගිටල යන්නෙමි මං පැනලා

ගොරවන සද්දෙත් ඔය එන්නේ

 

හොඳ ලොකු කෝටුව ගෙනැවිල්ලා

මේකට දෙක තුන දීපන්නේ

ටිකකිං ඉතිං දන්නෙම අපි දෙන්නට නින්ද ගියාම ටික වෙලාවකින් තාත්තටත් කවිය කියන එක එපා වෙනව….සමහර දාට අතරමගදි දන්නෙම නැතුව තුන්දෙනාටම නින්දත් ගිහින්.

අද හරිම පුදුම දෙයක් වුණා!!

අද උදේ දැකපු හීනෙක තාත්ත මාව වඩාගෙන නාවින්නෙ ඉස්පිරිතාලෙ හිටිය.

මාව නයි කූඹි කාල කකුල් පුරාම තුවාල හැදිල ඉන්න කාලෙ මාව නාවින්නෙ ඉස්පිරිතාලෙට උස්සන් ඩොක්ට අංකල් එනකල් මාව නාඬා තියාගන්න ඕනෙ හන්ද කොරිඩෝ දිගේ කකුල් රිදෙනව කියල අඬන මාව වඩාගෙන ඇත්තටම තාත්ත එහෙම ඇවිදල තියෙනව.

මං අද ඒක එහෙම පිටින්ම හීනෙන් දැක්ක

මෙන්න බොලව් අපගේ බලු පුතුනා

මේකා නම් මහ නරක බල්ලෙකිය

මේ බල්ලා කොයි සිට ආවේ

මේකා අපායෙ ඉඳ ආවේ

 

වැස්ස දවසෙ සාලේ මැද්දේ

කූඹි තලන්නට ගිය බල්ලා

වී පැදුරේ උන් නයි කූඹි

පස්සා පැත්තත් උන් කාලා!

 

හොඳ ලොකු කෝටුව ගෙනැවිල්ලා

මේකට දෙකතුන දීපන්නේ

තාත්ත ඔය කවිය කිව්වෙ එහෙම ඇවිද ඇවිද ඉන්නකොට මගෙ කණට කරල.

තුවාලවල අමාරුවටම උණ අරන් කඳුලු පෙර පෙර හිටියත් ඒක අහල මං හිකි හිකි ගගා හිනා වුණා..

තාත්තට මාව වඩාගෙන පඩි නගින්න අමාරුයි. ඒ හන්ද ඉස්පිරිතාලෙ ට්‍රොලි තල්ලු කරගෙන යන්ඩ ආනතව හදපු කටු සිමෙන්ති පාරෙ තමයි මාව වඩාගෙන ඇවිදින්නෙ.

ඒක හීනයක් වෙලත් එහෙම නගිනකොට ඒ වෙලාවෙ තාත්ත හෙමින් හෙමින් උඩ අතට ඇවිද්ද්දි මට දැණුන මං ටික ටික උස යනව වගේ හැඟීම පවා ඇති වුනේ කොහොමද කියන එක මට හිතාගන්න බෑ.

සමහර විට ඒක මං හැබැහින් ඇත්තටම විඳපු දෙයක් ගැන හීනයක් හන්ද වෙන්න ඇති..

අපේ මතකයන් ඉතා තදින් පුංචි දේවල් එක්ක බැඳෙන එක ගැන මං හැමදාමත් ආසයි.

ඒ වගේම ඒක මට පුදුමයක්!!

හීනෙන් ඇහැරුණාම කවි කියන්න තාත්තා අද නැති බව මතක් වීම නම් මහා දුකක්!

ඒත් මං හිතන්නෙ මං වාසනාවන්ත දුවෙක්!!

මෙච්චර ලොකු කාලෙත් හීනෙන් හරි තාත්ත තමන්ව වඩාගෙන වඩාගෙන කවි කියන එක දකින්න තරම් වාසනාවන්ත දුවෙක්!!

පින්තූරෙ මෙතනින්

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි, තාත්තයි, මතක, මමයි, මල්ලියි, මුතුගල විත්ති and tagged , , , . Bookmark the permalink.

24 Responses to තාත්තෙක්, හීනයක් සහ වාසනාවන්ත දුවෙක්..!!

  1. indika27 පවසයි:

    කදිම කතාවක් තමයි. අපේ තාත්තත් ඉස්සර ඔය වගේ කවියක් කියනවා දැන් මතක නැහැ නේ මොකද්ද කියලා.

  2. Nish පවසයි:

    ඔව් වාසනාවන්ත දුවෙක්…………

  3. Buratheno පවසයි:

    මෙන්න බොලව් ‍මේකිට ඇහැ ඇරිලා
    මේකි නං මහ නරක කෙල්ලෙකිය
    මේ පෝස්ට් එක ඔය දැම්මෙත්
    මාස හතර පහකට පස්සේ නොවෙද!

    හොඳ ලොකු කෝටුව ගෙනැවිල්ලා
    මේකිට දෙක තුන දීපන්නේ

  4. Kenji ogawa පවසයි:

    රසයි….කතාව…..
    කොහෙද බොල …නාවින්න ආයුර්වේද හොස්පිටිල් එකද….

  5. henryblogwalker පවසයි:

    සත්‍යය ප්‍රබන්ධය බිම දැමූ මොහොතක…

  6. Hath Pethi Mala පවසයි:

    මෙන්න බොලේ අපගේ කම්මැලි ජනුවා
    බ්ලොග් පෝස්ට් එකක් ලියලා

    ෆේස් බුක් එකේ දැක්ක හැටියම ඇවිත් කියෙව්වා.බොහොම සංවේදී සටහනක් .මේ ගැන කියන්න දාහක් දේවල් තිබ්බත් නොකිය ඉන්න හිතුනා

  7. ravisandu පවසයි:

    මුවින් නොබැණ නිහඬ වන්නෙමි.
    ඒ මසිත නැඟෙනා හැඟුම් මින් පෙර කිහිප විටක්ම සවිස්තරවැ පවසා ඇති බැවිනි, මා සොයුරියනි.

  8. උපේක්ෂා පවසයි:

    අප්පච්චියෙක්ගේ සරමෙන් හැදුනු උණුහුම් ඔන්චිල්ලාවේ ගුලිවෙලා ඉන්න පොඩි කෙල්ලෙක් වෙන්න ආයෙත් ආසයි. දුකක් දැනුනත්, මට හිතෙන්නේ අපි අපිට උරුම විදියට ලොකුමහත් වෙලා කියල. මෙහෙම දෙයක් ලියාගන්න තරම් මම ශක්තිමත් කෙනෙක් නෙවෙයි. ඒ හින්ද මේ ලියවිල්ල මට වීරත්වයක්. ආදරේ පෙන්නන වගේම, ආදරේ නොපෙන්නන අප්පච්චිලත් මට එක වගේ , ඒත් ආදරේ පෙන්නන අප්පච්චිලා අපේ ජිවත වලින් ඈත් වෙන්නේ ඉතාම හෙමින්… එතකොට එහෙම සීයල අපේ දරුවෝ දකින්නේ ‘සියල්ල දුන් සීයා’ කෙනෙක් විදියට , ඒක වීර චරිතයක්.. කවදාවත් මුණගැහුනේ නැති… ( ස්පයිඩර් මෑන් , බෙන් ටෙන් ට වඩා ප්‍රභලයි ඒ වීර චරිත… අපි හිතන්නේ එහෙම නැහැ කියල.. ඇත්ත ඒකයි )

    • තාත්තගෙ සරම් ඔඩොක්කුව තරම් සැප පුටුවක් වත්, උරහිස තරම් සුව දායක කොට්ටයක්වත් වෙන කොහෙන්වත් හොයන්න වෙන්නෙ නෑ..ඒ සුවය දන්න හන්ද අපි මෙච්චර ලොකු කාලෙත් ඒව විඳින්න හිතෙන් සූදානම්!!
      චොකලට් ටොපි දුසිම් ගණන්වලින් ආදරේ බෙදපු දුප්පත් තාත්තෙක්ට වඩා ජීවිතේ විඳින්න කියල දීපු, බොහෝ දේට ආදරේ කරන්න කියා දීපු, කවද හරි අපේ දරුවෙක්ට දෙන්න අපි ලඟ සල්ලි නැතුව ඒ දේවල් විතරක් ඉතුරු කරල ගිය බොහොම පොහොසත් තාත්ත කෙනෙක් ගැන ලියද්දි ඒ ගැන මතක සැමරුම් තමන් ලඟ තියෙන කෙනෙක්ට ඒක දැනෙනව වැඩියි.
      මට තේරෙනව..
      ස්තූතියි උ‍පේක්ෂා

  9. Mankea පවසයි:

    කවිය කියෙව්වේ මාමාගේ කට හඬිං…… මටත් මතකයි මේ කවිය…. 😦

  10. තිස්ස දොඩන්ගොඩ පවසයි:

    පහුගිය මාස අටට හත් ගමනක් හීනෙන් දැක්ක…
    උන්දැ වෙනුවෙන් පිංකං කලා මදිද මන්ද අප
    හැමදාම දකින්නේ සුදු ඇඳන්, එකම තැන – ගෙයි සාලෙ 😦

  11. ගමින්ද පවසයි:

    අද අහම්බෙන් හම්බ උන මේ බ්ලොග් එකේ තැනින් නැනින් ලිපි කීපයක් කියෙවුවා. මේක ලියන නෝනාමහත්මයා කියවන කෙනාව ඇද බැද ගන්න විදියට පුන්ච් සිද්ධි භාෂාවෙන් චිත්‍රනය කරනවා කියල මට හිතෙන්නෙ. වෙලාවක් ලැබනහම ආයිත් ඇවිත් තව ටිකක් කියවනවා.

  12. ලාරා පවසයි:

    අද අහම්බෙන් හම්බ උන මේ බ්ලොග් එක හරිම රසවත්. සිංහල ටයිප් කරන්න දන්ෙන නැති නිසා වැඩිය ලියන්න අමාරැයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )