මහ‍පොළෙන් ගත්ත “ටෙලිෆෝනය”

අම්මා මීරිගම ඉස්කෝලෙ ලඟදි මට පරිස්සමෙන් බස් එකෙන් බහින්‍ඩ කියල මල්ලිව අතින් අල්ලල පඩි බැස්සුව.

දැන් කාලෙ වගේ නම් ඉතිං කොන්දොස්තර මාම අම්මට බෙරිහන් දේවි ළමය වඩිගෙන බහින්ඩ කියල..

ඒත් ගිරිඋල්ලෙ ඉඳල එනකල්ම එක එක කවි සින්දු කිය කියා, කතන්දර කිය කියා බස් එකම විනෝද ගුලාවක් කරගෙන ආව අක්කයි මල්ලියි බැස්සාම කොන්දොස්තර මාමට පාලු හිතෙන්ඩත් ඇති…

නිල් පාට සන් සූට් එකක් ඇඳල චූටි සපත්තු දෙකකුත් දාල හිටිය මල්ලි අන්තිම පඩියෙ ඉඳල තොලත් හපාගෙන චන්ඩිකමට බිමට පැන්න විදිය දැක්කම කොන්දොස්තර මාමටත් හිනා ගියා.

අම්ම බෑග් එකත් එල්ලගෙන බහිනකල් මං මල්ලි බබාව අල්ලගත්ත බඩ මැද්දෙන් අත දාල..

එතකොට එයා උන්න ගමන් චණ්ඩිකමට දුවන්න හැදුවත් ගැලවෙන්න බෑ කියල මං හොඳට දන්නව.. ඉතිං එයා පොඩ්ඩක් දඟලල ආයෙ නිසොල්මන් වෙනව..

එයත් දන්නව එයාගෙ අක්කගෙන් ඒ වෙලාවට ගැලවිල්ලක් නෑ කියල.

හා එන්න.. චූටි පුතා අල්ලගන්න මගෙ වම් අතෙන්.. අම්ම මල්ලිව අනිත්අතින් අල්ල ගන්න ගමන් මට කිව්ව..

තුන් දෙනාම පාර පැන්න..

දැන් තියෙන්නෙ පාලමක්!!

ඇයි අම්මෙ මේ පාලමක්? මං ඇහුව.

ඉස්කෝලෙට යන්න තියෙන්නෙ කෝච්චි පාර හරහානෙ පුතේ.. ඉතිං ඒ හන්ද කෝච්චි පාරට උඩින් පාලමක් දාල තියෙනව අය්යල අක්කලට යන්න ලේසි වෙන්න.

එතකොත දැන් අපිට කෝච්චිය පේනවද අම්මෙ?

පුංචිම කාලෙත් වාහන එන්ජින් ගැන උනන්දු මල්ලිට ඇහිල තියෙන්නෙ කෝච්චිය ගැන විතරයි..

ආ… සමහර විට දැන් එකක් ඒවි පුතේ.. එහෙම වුනොත් බලන්න පුලුවන්නෙ පුතාට..

අපි ඉඳල බලල යමුද අම්මෙ කෝච්චියක්? මල්ලි පුංචි කමට කෝච්චිය බලන්න අම්මව නවත්තගන්නයි හදන්නෙ..

දැන් අපි යමු පුතේ ඉක්මණට.. තාත්තට බඩගින්නෙ අපි එනකල් බලන් ඉන්නවනෙ පුතේ.. දැන් ගිහින් කාල එහෙම හවස මහපොල බලන්න ඕනෙ නෙ අපි.. ගොඩක් දේවල් බලන්න තියෙනවනෙ ඒකෙ.. පුතාට පුලුවන්නෙ තාත්ත එක්ක ඇවිල්ල කෝච්චි බලන්ඩ..

අම්ම බාගෙට කියාගෙන යද්දිම මල්ලිගෙ කට ඇද වුනා කොන් දෙකෙන්.. ඒත් ඉතිං මහපොළ මතක් කළාම ටිකක් හරි ගියා..

ඒ පාර තුන්දෙනා එක්ක තාත්තලගෙ ජනසලු ස්ටෝල් එක තියෙන තැන හොයාගෙන ගියා.

පන්ති කාමර දෙකක් විතර එකතු කරල හදපු තාත්තලගෙ ස්ටෝල් එකේ තාත්තයි තව මාමලයි නැන්දලයි ගජරාමෙට වැඩ..

සාරි ලස්සනට නවල එල්ලනව.. හරියට පාට පාට අවාන් වගේ.. සාරිවල අග තියෙන ටසල් එල්ලෙනව ලතාවකට ඇල වෙලා..

බෙඩ්ෂීට්, තුවා, කුෂන්, එක එක විදියෙ රෙදි ගොඩවල් තාම ඒ විදියමයි..

තාත්ත මැද්දෙ ඉඳගෙන අනිත් මාමල නැන්දලට උපදෙස් දෙනව.. කුටිය හැඩ කරන්න.

ඒ අතරෙ තියෙනව තාත්ත අපේ ගමේ බෲස්ලි මාම එක්කල එකතු වෙලා ඊට කලින් දවසෙ ගෙදර ඉඳල ඇඳපු රෙදි බැනර් ටික..

ජනසළු කියල කියල අර චර්කාවක් කරකවන කොණ්ඩෙ බැඳපු ගෑනු කෙනාගෙ රූපෙත් එක්ක..

තාත්තව දැක්ක ගමන් මල්ලි දුවගෙන ගිහින් තාත්තගෙ කකුල බදාගත්ත.

ආ පොඩි බල්ලො.. ආවද..?

තාත්ත මල්ලිව වඩා ගෙන අපි දිහාට හැරුණෙ වෙහෙස පාට මූණෙ හිනාවකුත් ඇඳගෙන.

සිරිසුමන මේ බැනර් ටික දාන්නත් ඕනෙනෙ දැන් හවස් වෙන්න කලින්.. ඉක්මණට කාල මේ වැඩේ ඉවරයක් කරල දාමු..

තාත්තටත් බඩගිනි පාටයි ගොඩක්…!!

අම්ම කෙසෙල් කොලේ තවල බැඳගෙන ආව බත් මුල් ටික ලෙහා ගත්ත..

තාත්තට ලොකුම ලොකු බත් මුලක්! මටත් චූටි බත් මුලක්.. මල්ලිට ඊටත් චූටි එකක්..

අනේ එයාගෙ තනියම බත් කැවිල්ල.. අම්ම තාත්තගෙ බත් මුලෙන් හවුලෙ කන ගමන්ම මල්ලිටත් කටක් දෙකක් කවනව..

තව අනිත් මාමල නැන්දලට බෙදා ගන්න වෙනම මාලුපිණි මුල් දෙක තුනක්!!

ලූණු ගාණට කර වෙන්න අල තෙල් දාල, කරපිංච, අබ දාල මලවපු පොල් සම්බෝලයි, බටු බැදල සීනි දාල උයලයි, පරිප්පුයි..

ඔහොම දවසක ඉතිං වෙනදට පෙරැත්ත කර කර කවන්න වුනාට මල්ලා චූටි බත් මුලෙන් වැඩි හරියක් කනව.

එයා දන්නව අද හැන්දෑවෙ වාසි වැඩි වෙනව කියල හොඳ ළමයෙක් වුනොත් දැන් ම ඉඳල..

කාල ඉවර වෙලා තාත්ත ආයෙමත් වැඩවලට ගියා.
අපි දෙන්නත් පුංචි පුංචි වැඩ කරල දුන්න නැන්දල මාමලට.. මල්ලි නං ගිහින් ඇණ තියාගෙන කයියකට හේත්තු වුණා අර බැනර් එකකට රාමුවක් ගහන මාමල එක්කල.

එයාට ඉතිං ආයුදයක් මිටියක් පේන්න බෑ.. ඒව ගැන හරි ප්‍රශ්න. ඒව අහන්නෙත් හරිම පණ්ඩිත ලීලාවෙන්.ඉතිං ඒ මාමලට හිනායන්නෙ නැද්ද අප්ප මල්ලි අහන කියන ඒවට..

අනිත් එක ඔය නැන්දල මාමල එක්ක ගැවසුණාම එයාල ඉතිං චොකලට් ටොපි එහෙම ගෙනල්ලත් දෙනවනෙ..

ඒකත් හොඳ පල්ලම!!

ඒ වැඩ බලං ඉඳල කම්මැලි වුණාම ඉතිං මට පොඩ්ඩක් ඇවිදල එන්න හිතුණා.. අනික් පන්ති කාමරවල එක එක ජාතියෙ සැරසිලි එහෙම පේනකොට ඉන්න පුලුවනැයි එක තැනකට වෙලා මෙහෙම…

ඉතිං දෙපාරක් තුන්පාරක් විතර අනේ අම්මෙ අනේ අම්මෙ මන්තරේ මතුරපුවාම

හා.. යන්ඩ.. හැබැයි චූටි පුතා වැඩිය ඈතට යන්නෙ නැතුව මේ ළඟම ඉන්න ඕනෙ.. මට පේන දුරිං..

අම්ම කියනව

මල්ලිට පිටිපස්සටත් ඇස් තියෙනව එක්කො ඉව තියෙනව කියල තමා මං හිතං හිටියෙ ඒ කාලෙත්..

මං එයාට හොරෙං ආච්චි අම්මගෙ කාමරේ මී පැණි බෝතලේ කන්න යනව නං එයා දන්නව.

ඒ වගේ මං තාත්තලගෙ ස්ටෝල් එකෙන් බිමට අඩිය තිබ්බ විතරයි මෙන්න එයත් එනව දුවගෙන

මාච්චෙනවා‍… මාච්චෙනවා ගාගෙන

හැබැයි ආවට කමක් නෑ .. දඟලන්ඩ බෑ හරිද.. මගෙ අතින් අල්ලගන්නව..

මලයගෙ මේ වගේ ගමන්වල ඉතිහාසෙ හොඳ නෑ කියල, පෙර වැරදි බහුලයි කියල දන්න හන්දම ඉතිං මං මගෙ සුපුරුදු අණ පණත් පණවල නපුරු අක්කණ්ඩි චරිතෙට ආරූඪ වුණා..

කොහොම හරි කමක් නෑ වැඩේ කෙරෙනව නං කියල මලයත් ඉතිං බොහොම ලස්සනට ඔලුව වනල ඒකත් පිලි අරගෙන මගෙ අතේ එල්ලුණා..

හා …. කොහෙද යන්නෙ දෙන්න එක්කල..

තාත්ත කෑගහගෙනම අපි දිහාට ආවා

එයාගෙ වැඩ ඉවර වෙලා

තාත්තෙ අර මොකද්ද තාත්තෙ ඇ ඈත ටකරං මඩුව යට තියෙන පෙට්ටිය??

මගේ අම්මේ.. මල්ලිටත් පේන දේවල්..

ආ.. ඒක ජෙනරේටරයක් නෙ..

ජෙනරේටරයක්!! ඒ කියන්නෙ මොකද්ද තාත්තෙ..?

ඒ කියන්නෙ දැන් මහපොලට කරන්ට් ඕනෙනෙ ලයිට් දාන්ඩ.. ආන්න ඒකට කරන්ට් ගන්ඩ ගෙනාව කරන්ට් හදන මැෂින් එකක් ඒක..

ජෙනරේටර්.. ජෙන.. රේටර් තාත්තෙ අනේ මට ඒක බලන්ඩ පුලුවන්ද? එක්ක යනවද තාත්තෙ?

මල්ලිට ඔන්න හැදුන ආසාවක්!!

හා ජෙනරේටර් බැරියැ පස්සෙ. දැන් කොහෙවත් යන්ඩ බෑ.. අම්ම එක්කල ගිහින් ඇඟ හෝදගෙන ඇඳුමක් දාගන්ඩ දෙන්නම.. මහ පොළ තව ටිකකින් විවෘත කරනව නෙ.. අපි බලන්ඩ යන්න ඕනෙ..

මං අම්ම එක්ක ගිහින් ටැප් එක ලඟ බකට් එකෙන් ඇඟ හෝදවගෙන ඇවිල්ල තද රෝස පාට ගවුම ඇඳගන්නව.. දැන් නං අපි ඒ පාටට කියන්නෙ හොට් පිංක්.. වටේට චූටි ලා රෝස පාට රේන්දයක් අල්ලපු බේබි කොලර් දෙකක් දාලමහපු ඒ ගවුමෙ ඉස්සරහ අම්ම ලස්සනට ස්මොක් කරල තිබුණ. ඒ විතරක් නෙවෙයි ඒ ස්‍මොක් මෝස්තරේ උඩ බුලියන් රෝස මලුත් මහල තිබුණ තැනින් තැන.

ලා රෝස, කහ, සුදු, ලා නිල්, තද නිල් පාට පාට මල්..

පිටිපස්සෙන් එල්ලුන පටි දෙක අම්ම ලස්සනට ගැට ගැහුව බෝ එකක් එන්න..

ඊට පස්සෙ මං දාගත්ත මගේ ලා රෝස පාට බූල් බූල් සැන්ඩ්ල්ස් දෙක..

ඒකෙ ඉස්සරහ තියෙනව අර හෙලවෙන ඇස් තියෙන මූණු දෙකක්. ඕක ඉතිං දාන්නෙ එහෙමත් දවසක තමයි.

දැම්මට මොකද හරි දුකයි දූවිලි ගෑවිලා කැත වෙයි කියල.

ඉතිං එදාට ඇවිදින්නෙත් හරි අරපරිස්සමෙන් උඩිං උඩිං.

දැන් රෑ වෙලා ටික ටික සෙනග ඇදෙනව මහපොළ බලන්ඩ..

තාත්ත එයාගෙ ජනසළු ස්ටෝල් එකේ කට්ටියට වැඩ ගැන උපදෙස් දීල අපිත් එක්ක එනව මහපොළ බලන්ඩ යන්ඩ

මල්ලි තාත්තගෙ අතේ එල්ලිලා.. මං අම්මගෙ අතේ එල්ලිලා මහපොළ බලන්න යනව..

එක එක ජාතියෙ ස්ටෝල්ස් පිරිල..

බල්බ් දාල පාට පාට!!

ගස් පුරා බැඳපු ලවුස්පීකර් සද්දෙ… සින්දු යනව, කතා කරනව.

පුංචි ළමයින්ගෙ ඇස් දුවන්නෙම බැලුන් මාමල ලඟ.. සෙල්ලම් බඩු පුරෝපු කඩ ලඟ..

මල්ලි ඉතිං කාර් බාර් පිස්ස නෙ.. එයාට ඒ දවස්වල ඕනෙ වෙලා තිබුණ බැටරි දාපුවාම දුවන ලොකු ජීප් එකක්..

ඉතිං තාත්ත එයාව සෙල්ලම් බඩු කඩේකට එක්කන් ගිහින් අරන් දුන්න එයා ආසම කරන ජීප් එකක්

ඒක තැඹිලි පාටයි. ‍ලොකු රෝද තියෙනව.. ඒ විතරක් ‍නෙවෙයි.. බැටරි දැම්මාම පත්තු වෙන බල්බ් එකකුත් තියෙනව පිටිපස්සෙ කූරක හයි කරල.. ජීප් එක යද්දි අර ලයිට් එක තියන කූර දෙපැත්තට පැද්දෙනව තාලෙට.

ඉතිං ටික දුරක් ගිහින් තාත්තට ‍මල්ලියි ජීප් එකයි දෙන්නම වඩාගන්න සිද්ධ ‍වුණා.

ඔහොම ගිහින් අපි ගොඩ වුණා රුසියානු ළමා පරිවර්තන තියෙන පොත් කඩේකට

මාෂා සහ වලහා.. පිටු දිගාරිනකොට කතාවට අයිති පින්තූර ටික වෙනම පිටුවෙන් වෙන් වෙලා ඇවිත් ලස්සනට කතාව හදන පොත..

එතකොට පුංචි රවුම් බනිස් ගෙඩිය..

හත් පෙති මල..

ඔය වගේ පොත් ගොඩක් අතරෙ මට මගෙ ආසම පොතක් හම්බ වුනා එදා.
ඒ තමයි ටෙලිෆෝනය

රතු පාට තද පිට කවරෙ ලොකු රවුමක් අයින් කරල. ඒ විතරක් නෙවෙයි පොතේ පිටු සේරම ඒ රවුම අයින් කරල පිටිපස්සෙ කවරෙ හයිකරල තිබුණ කහ පාට අංක කරකවන රවුම හැම පිටුවකටම පේන්න!!

ඒ විතරක් යැ… ඒක හදල තිබුණෙ අපිට කරකවන්න පුලුවන් විදියට..

මං මීට කලින් කවදාවත් ඒ වගේ පොතක් දැකල තිබුණෙ නෑ..

එක එක ජාතියෙ සත්තු තමන්ගෙ උවමනා එපා කම්වලට ටෙලිෆෝන් එකෙන් කතා කරන හැටි තමයි කතාවෙ තිබුණෙ.

ඒකෙ කිඹුල් ජෝඩුවක් තමන්ට බඩගිනියි කියල පරණ හම් සපත්තු ජෝඩුවක් ඉල්ලන්නත් කතා කරනව.

ඔයා කියවල තියෙනවද ඒ පොත??

එක හුස්මට මං අම්මයි තාත්තයි මලයයි එක්ක කරක් ගහ ගහ හිටිය මහපොළෙන් ආපහු පියවි ලෝකෙට ඇවිල්ල මාත් එක්ක ගෙදර යන ගමන හූමිටි තිය තියා කතාව අහන් ඉන්න පෙම්බරයගෙන් අහනව

නෑනෙ … මං ලඟ තිබිල නෑ ‍ඒක….දැන් කෝ ඉතිං ඒක?

ඒක නෑ.. මගෙ මූණ ඇද වෙනව..

ඒක කාට හරි දෙන්න ඇති… අපරාදෙ.

මට වෙන කිසි දෙයක් නැති වුණාට අබමල් රේණුවක දුකක් හිතෙන්නෙ නෑ.. හැබැයි පොතක්

ගැන නං ඉතිං…

හ්ම්!! කොහොම හරි දැන් ඒක අපේ ගෙදර නෑ ඉතිං.

මං අදටත් පරණ පොත් කඩවලත් ඒක හොයනව..

මං දුක් මූඩ් එකේ..

අපි හොයාගමු ඒක.. පෙම්බරය කියනව

හ්ම් හ්ම්..

මං බකුස් හුම් හුම් ගෑවිල්ලෙ ආපහු මහපොළට යනව

 

කතාව ඉවරයි…

අනේ දන්න තැනක් තියෙනව නං කියපියෝ!!

මට ටෙලිෆෝනය පොත ආපහු ගන්න ඕනෙ!!

 

අද පින්තූරෙ මෙතනින්

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

34 Responses to මහ‍පොළෙන් ගත්ත “ටෙලිෆෝනය”

  1. තිස්ස දොඩන්ගොඩ පවසයි:

    මෙයාලත් එක්ක බෑ…
    අපව ගෙදර යවන්නමයි හදන්නේ… 😦

  2. ප්‍රියන්ත පවසයි:

    පොත තියෙන තැනක් දන්නව.. හැබැයි කියන්නෙ නෑ…

  3. සුසර පවසයි:

    ටෙලිපෝනය නද දෙනවා
    හලෝ
    කව්දෝ මා අමතන්නේ
    අලියා
    කොහොමද දැන් වැඩ කටයුතු
    වැඩි වරදක් නැහැ කිවයුතු
    කොහේද දැන් ඔබ ඉන්නේ
    ඔටුවල නුගගස් තැන්නේ
    කොයි හරියේද කොතනද තැන
    නරි වීදිය නොම්මර තුන

    පොත තිබේ
    පොතට අලුත් අයිතිකරුවන් දෙදෙනෙක්ද ඇත

  4. AKM පවසයි:

    හිපෝ මාමගේ ටෙලිෆෝනය….. රතු පාට ඩයල් පෑඩ් එක…. කොහෙන් ආපු පොතක්ද දන්නේ නෑ. මන් හිතන්නේ අයියට අරන් දීපු එකක් වෙන්නැති. හැබැයි කාලයක් මාත් ඒකෙ අයිතිකාරයෙක් වෙලා හිටියා කියලනම් මතකයි.

  5. Ravi පවසයි:

    / ජනසළු කියල කියල අර චර්කාවක් කරකවන කොණ්ඩෙ බැඳපු ගෑනු කෙනාගෙ රූපෙත් එක්ක.. /

    චර්කාව නෙවෙයි බං චරකය..චරකය…

    මහත්මා ගාන්ධි සිරගතව ඉන්දැද්දි තමන් හැඳි කදාර් රෙදි කඩ වියා ගැනීමට භාවිතා කලේ චරකයක්. එතුමා ඒ චරකය අසළ හිඳ පොතක් කියවමින් පසුවන ඉරියව්ව සහිත ලයිෆ් සඟරාවේ පළවූ ඡායාරූපය ලෝක ප්‍රසිද්ධ උනා.

  6. Nish පවසයි:

    මොනවා උනත් අද වෙනකොට ඔය රුසියානු ළමා පරිවර්ථන නැති එක නම් ලොකු අඩුවක්. මන හරි අඩුවෙන් දැකල තියෙන්නෙ පොත් කඩවල.

    ඉහල තත්වයන් වලින් මුද්‍රනය කරල තිබ්බ එවුවා කොච්චර නම් කල් තිබ්බද

  7. Nish පවසයි:

    මේන් මෙතන තියෙනව කවි ටික ඔක්කොම
    ගිහින් බලන්ඩලා …………!
    අතීතය සිහිවීම නිසා සිදුවන අපහසුතා වලට වගකියනු නොලැබේ…:)

    http://prabhaswin.blogspot.com/2011/02/blog-post.html

  8. තරූ පවසයි:

    ඒ පොත මං දැකලත් නැහැ… ආසයි කියන්න වගේම දකින්න…

  9. ප්‍රියන්ත පවසයි:

    ඒ පොත මමත් දැකල නැහැ… ආසයි කියන්න වගේම දකින්නත්…
    ඔය කියන මහපොළ තිබුනෙ අපේ පාසලේ. 1988- 1989 කාලෙ කියලයි මතක. ඒත් මං පාසලට ගියෙ 1992දී.
    අපේ පාසල කිව්වට නම කිව්වෙ නෑනෙ. මීරිගම ඩී. එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය.
    ඒ පොත ලැබෙන්නයි කියා පතමි.

  10. අම්මා කෙනෙකුට උපන්දින තෑග්ගක් විදියට දෙන්න හොඳ පොතක් කියන්න පුලුවන්ද? පරිවර්ථනයක් නම් ගොඩක් හොඳයි. අදම පුලුවන්නම් ලොකුම උදව්වක්.

  11. උපේක්ෂා පවසයි:

    මගේ ගාව තියෙනවා ඒ කතාවත් එක්ක වෙන කතා ගොඩක් තියෙන පොතක්… අවුසද වේදනා… මම ආසම ඒ වගේ කතාවක්… ගන්න තැනක් දන්නේ නැහැ… මමත් හොයනවා ‘වැඩබැරි දාස’ පොත් ඔක්කොම… නැහැ හොයා ගන්න!

    විස්තර එව්වොත් මගේ ගාව තියෙන පොත ෆොටෝකොපි කරලා එවන්නද?

    • බොහොම ස්තූතියි.. ඒත් ඔයාට තේරෙනවනෙ. මට ඕනෙ පොත කියවන්ඩම නෙවෙයි… කතාව විතරක්ම නෙවෙයි මිස් වෙලා තියෙන්නෙ.. ඒකෙ පිටකවරෙ, ඩයල් එක, ඒක කරකවන එක, ඒ විතරක් නෙවෙයි සුවඳ පවා…. ඉතිං ෆොටෝකොපියකින් මට තියෙන දොළදුක සනසන්ඩ ටිකක් අමාරුයි උපේක්ෂා

  12. නිකං පවසයි:

    ජානුස්, මෙතන තියේ ඔය පොතේ ඔරිජිනල් එක.

  13. Thushara Disanayaka පවසයි:

    හිත 1988 අවුරුද්දට ගිහින් නතරවුනා.
    මීරිගම ඩී එස් සේනානායක මධ්‍ය මහා විද්‍යාලය ඊට පස්සේ අවුරුද්දේ ශිෂ්‍යත්වයෙන් පස්සේ මගේ පාසැල වුනා.
    පාලමෙන් ගිහින් ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල්වෙන තැනම ඉස්සරහා වම්පැත්තෙ තිබුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රදර්ශන කුටිය, පාසැල් ක්‍රීඩා පිටියේ ඈත කොනක තිබ්බ දුම්රිය මැදිරිය තමා මගේ ලොකුම ප්‍රශ්නය වුනේ.
    “රේල් පාරක් නැතිව කොහොමද මේක මෙතැනට ගෙනාවේ?”
    දහසක් ප්‍රශ්න එක්ක හිත අතීතයයි වර්තමානයයි අතර දෝලනය වෙනවා තවමත්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )