ආනන්ද මාමා ගෙනා “හඳහාමි”

ඉස්සර අපි පුංචි කාලෙ අපිට හැමදාම බත් කාල කන්න ටොපි චොකලට් ලැබුණෙ නෑ..එහෙම අරන් දෙන්න අම්මලට සල්ලි තිබුණෙත් නෑ…

අහම්බෙන් දවසක පෙරේර බේකරියෙන් පාන් බනිස් ගන්නකොට අම්ම අපි දෙන්නට බන්ටි ටොෆි දහයක්, මයිලේඩි ටොෆි පහ හයක් අරන් දුන්නොත් ඇරෙන්න චොකලට් කියන්නෙ නං ඉතිං ඒ කාලෙ හැමදාම දකින සුරංගනා හීනවලවත් තිබුණෙ නැති කෑමක්..

මල්ලියි මායි විභාගයක් පාස් වුණා නං වුණේ, වාර විභාග, ආණ්ඩුවෙ විභාගවලට ලකුණු ගත්තනං ගත්තෙ අම්මලව කිසිම දෙයක් අරන් දෙනවයි කියල පොරොන්දු කරවගෙනත් නෙවෙයි. විභාග ඔහේ ආව.. අපි ලිව්ව..

පාස් වුණොත් ඒ වෙලාවට අම්මයි තාත්තයි අතේ සල්ලි තිබුණොත් අපි දෙන්න හීන මවාගෙන ඉන්නවයි කියල හිතෙන දෙයක් එයාල අරන් දුන්න.

මල්ලිට මවුන්ටන් බයිසිකලයක් ලැබුණෙත්, මට එක පාරටම ඇටමැස්සා, අපූ ත්‍රිත්වය ඇතුලු පොත් කන්දක අයිතිය ලැබුණෙත් අන්න එහෙමයි. අහම්බෙන්..

හැබැයි අපි චොකලට් කන්න බලාගෙනම හිටිය දවසක් තිබුණ. ඒ අවුරුද්දට ඉසතෙල් ගාන දවස. එදාට චූටි නැන්දයි, ආනන්ද මාමයි, අමිල මල්ලියි, මනේක නංගියි ( ඔවු ඔවු අර මේකෙ කමෙන්ට් කරන වදකාර නෑනන්ඩි තමයි) අපේ ගෙදර එනව.

එයාල තමයි අපිට චොකලට් අරන් එන්නෙ.. අවුරුදු කාලෙට විතරක් නෙවෙයි, එයාල කවද ආවත් අපි දෙන්නට චොකලට් වරදින්නෙ නෑ..

ඒත් ඉතිං දැන් කාලෙ වගේ ටෙලිෆෝන් තිබුණෙ නෑනෙ අපිට. ඉතිං එහෙම දවස් හරි අහම්බෙන්, නොසිතූ විදියට තමයි උදා වෙන්නෙ.

ඒත් ඉසතෙල් ගාන දවස ඉතිං චොකලට් ගැන බලාපොරොත්තු තියාගත්තට පාඩු නැති දවසක්.. ඒ කාලෙ විතරක් නෙවෙයි අද වුණත්….

අනික එයාල ගේන්නෙ කැන්ඩොස් චොකලට්. එක්කො ක්‍රීම් බෝල්ස්. නැත්තං ඒ දවස්වලට ජනප්‍රිය වෙලා තියෙන මොකක් හරි කැන්ඩොස් චොකලට්. ඒකත් එකක් නෙවෙයි, මල්ලිටයි මටයි දෙකක්!!

අපි දෙන්න ඕක කන්නෙ හෙමින් හෙමින්. එක්කෙනෙක් ගෙ එකක් කඩල කාල තමයි අනිකගෙ එක කඩන්නෙ.. ඒක තමයි තාත්තගෙ නියෝගය.. බඩ පිරෙන්න බත් කාල ඉවර වුණාම රසම රස ක්‍රීම්බෝල් හතරක් විතර කන්න අවසර ලැබෙනව..

උන්න ගමන් ඉතිං තාත්තගෙ ඇහැ වහල අපි දෙන්න ඇස් ගහගෙන බෝල දෙක තුනත් පන්නගෙන කන්නෙත් නැත්තෙම නෑ..

කොහොම හරි ඉතිං අවුරුදු කාලෙට අඹ ගහේ අත්තක තාත්තට වද දීල බන්ද ගන්න ඔන්චිල්ලාව ඇරුණාම, තාත්තයි අම්මයි කඩේට බඩු ගන්ඩ ගිහින් ආවම ලැබෙන නිලා පෙට්ටියයි, බඹර චක්කර ටිකයි ඇරුණාම අපි දෙන්නගෙ අවුරුද්ද සර්ව සම්පූර්ණ වෙන්නෙ ඔය චොකලට් දෙකෙන් තමයි.

මට මතක විදියට ඒ එක්දාස් නවසිය අසු හත වෙන්න ඕනෙ..

ඒ අවුරුද්දට නං අපි දෙන්නට හම්බුනේ චොකලට් විතරක් නෙවෙයි. එදා ආනන්ද මාම ඇවිල්ල තිබුණෙ අපි දෙන්න ඒ චොකලට් එකට වඩා පස්සෙ ගොඩාක් ආදරේ කරපු දෙයක් අරගෙන..

ඒ තමයි “හඳහාමි”

අමිල මල්ලිට හඳහාමියෙක් ගන්න ගමන් අපි දෙන්නටත් එයා හඳහාමියෙක් අරගෙන..

කවුද මේ හඳහාමි??

හඳහාමි කියන්නෙ කැසට් පටයක්. ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුණිදාස කියන රචකයන් දෙපල විසින් කුඩා දරුවන්ටම  ලියැවණු ගී පද නන්දාමාලනිය විසින් ගායනා කෙරුණු කැසට් පටයක්.. ඒ විතරක් නෙවෙයි, මේ ගීත එකතුව, ඒවගෙ බටහිර  සහ පෙරදිග තනුත් එක්ක ලියවිලා, සිබිල් වෙත්තසිංහ නැන්දගෙ අලංකාර ළමා චිත්‍රවලින් හැඩ වෙච්ච පොතකුත් ලැබුණම!!

හ්ම්.. හරියට අපි දෙන්නට රටක් රාජ්ජයක් පහල වුණා වගෙයි!

අපි දෙන්නගෙ වැඩේ ඉතිං එදා ඉඳල අපේ ගෙදර තිබුණ පරණ තාලෙ රිදී පාට අයිවා ප්ලේයර් එකේ ඕක දවසට දහ පාරක් විතර අහන එක තමයි. අද වගේ පුංචි දරුවන්ට රියැලිටි තරඟ නොතිබුණ, සීඩි, ඩීවීඩි නොදැක්ක, අපි දෙන්න වගේ බොහොමයක් දෙනෙක් එදා හඳහාමි බොහොම ආසාවෙන් රස විඳින්න ඇති.

උදය, මල් බස්, හාවාගෙ වග, කඳුකර දර්ශන, ගඟ, රාත්‍රිය,

සරල තනුවක්, නන්දා නැන්දගෙ ආදරණීය ඇමතුමක් සමගින් මේ ගීත අපි ඇහුවෙ ඒ සිද්ධි හිතේ මවාගෙන..

මට නං  ඒ හැම ගීතයකටම මමම හදාගත්ත නැටුමක් තිබුණ. ඒ නැටුම්වල තිබුණෙත් ගීතය අහල ඒක අපි තේරුම්ගත්තු විදියත් එක්ක හැදිච්ච අමුතුම අංග චලන..

සරලයි වුණාට ඒ ගීත අපේ රසවින්දනය විතරක් නෙවෙයි වාග් කෝෂය  ඔප් නංවන්නත් බොහොම උපකාර වෙන්න ඇති.

දැන් බොහොම පොඩි දුරක් යන පෞද්ගලික බස්වලත් ටීවී  එකක් හයි කරලනෙ තියෙන්නෙ.

හුළං පොදක් වදින්න වීදුරු ටික හරියට ඇරෙන්නෙ නැති වුනාට මගීන්ගෙ විනෝදාස්වාදය උපරිමයි බස් ඇතුළෙ දැන්.

ජිංජර්ගෙ, බේබි ශානිකාගෙ අඟර දඟර නැටුම් යන අස්සෙ අස්සෙ උන්න ගමන් පෙන්නනව පහුගිය කාලෙ පුංචි එවුන්ව කරලියට ගෙනල්ල තියපු රියැලිටි තරගවලින් දිනපු පුංචි ළමයි දැන් වේදිකාවල සින්දු කියන ඒව.

අමරදේවයන්ගෙ සින්දු කියල රියැලිටි තරගයක් දිනපු බටු ඇටයක් වාගෙ පුංචි කොල්ලෙක් වේදිකාවෙ පිනුම් ගහනව ඊට පස්සෙ එන පොඩි කෙල්ල  නට නටා වයසට නොගැලපෙන නාට්‍ය ගීතයක් කියනව අහගෙන ඉන්න අපේ කාලෙට වඩා දැන් කාලෙ තාලෙ කොච්චර වෙනස් කියල දන්නව වුනත් මට අමාරු වුණා.

මට නම් හිතෙන්නෙම දැන් අම්මල තාත්තල ඒ පොඩි එකාගෙ හැකියාව පුංචි කාලෙම විකුනල හම්බකරගන්නව. ඕක ඉස්සරත් වුනේ නෑ කියන්න බෑ.. අතීතයේ කළ එළි බැහැපු දක්ෂ ළමා ගායිකාවන්ට වුනේත් ඕකම තමයි. මුල් කාලෙ ජනප්‍රිය රැල්ලට ඉල්ලුමක් හැදුනට.. වැලේ වැල් නැතුව යනව කාලෙකදි.

හුදෙක් අනුකරණවාදීන් නොවී තමන්ගෙම අනන්‍යතාවක් පෙළින් පෙළට ගොඩ නගාගන්න තියෙන වටිනා කාලය ඒ පුංචි දරුවන්ගෙන් උදුරා ගන්න එක ගැන නම් හරි දුකක්!!.

අනික තමයි ඒ වයසෙදි සල්ලි හම්බ කරන උමතුවක් වැලඳුනාම තමන්ගෙ දක්ෂකම් ඔප්නංවාගන්න තව බොහොම දුරක් යන්න තියෙන බව දරුවන්ට පවා අමතක වෙලා යනව..

අනිත් අතට පුංචි කමට තමන් පවුල නඩත්තු කරන බව දැනුනාම, තමන්ට පවුල තුළ තීරක බලයක් තියෙන බව දැණුනාම හිතුවක්කාර වෙන්න, ඒ නිසාම අයාලේ යන්න තියෙන ඉඩ බොහොම වැඩියි කියල දෙමාපියන් තේරුම් ගත යුතුයි කියල මට හිතෙනව.

ඒක එක අතකට ඒක කීරි ගැහිල යන හිතේ අමාරුවක් විතරක්ම නෙවෙයි.. ඒක අපේ රටේ අනාගත තාරුණය ගැන, තාරුණ්‍යෙය් ගමන්මග ගැන අපිට ලැබෙන දරුණු ගණයේ ඉඟියක්.

අපි වින්ද ළමා කාලෙ මතක් වෙලා දුක්වෙලාම හරි යන්නෙ නෑ කියල හිතන්න කාලෙ ඇවිල්ල.

තාක්ෂණය මහ ලොකු දියුණුවක් කරා ගිය, ජනප්‍රිය සංස්කෘතිය රටේ මහා භූමිකාවක් නිරුපණය නොකළ ඒ කාලෙත් අපිට රසවිඳින්න හොඳ ගීත ළමා ගීත සාහිත්‍යයක් තිබුණ එක ගැන අපි සතුටු වෙන්න ඕනෙ තමයි..

ඒත්, අද කාලෙ විහිලු මෙගා නාට්‍යවල චරිතවල අනුසාරයෙන් පවුල් ජීවිත ගෙවන වැඩි හරියක් අම්මල තාත්තල අමුවට දරුවන්ව තරුණ වියට ඇදගෙන යන හැටි දැක්කාම නැතුව දරුවන්ට දරුවන් විදියට හැදෙන්න වැඩෙන්න අවශ්‍ය වට පිටාව නොලැබෙන එක ගැන නම් දුකයි.

කාලෙකට පස්සෙ හඳහාමි අහල හිතෙන් මගෙ පුංචිකාලෙට දුවපු මම අද ලිව්වෙ ලියන්න හිතපු විදියට නං නෙවෙයි.. ලියවුණ විදියට.

ඒ හන්ද මහ ලොකු රහක් බලාපොරාත්තු වෙන්න බැරිවෙයි මේ ලියවිල්ල අස්සෙ..

සමා වෙන්න ඒ ගැන..

 

අපේ අම්ම හැමදාමත් එන්නෙ මට පුදුමයක් අරන්!!

ඊයෙ කාලයක් තිස්සේ මං හොයපු දෙයක් එයාගෙන් ලැබුණා…

හඳහාමී!!

මහා කම්මැලි, කණහිරියා වැඩක් කර කර වුණත් අද හඳහාමි අහපු මට අඩු තරමෙ වැඩේට ගිය කාලෙවත් දැනුනෙ නැති තරම්…

ඒ මුලු වැඩේ අස්සෙම හිතෙන් මං හිටියෙ අපේ ගෙදර සාලෙ රේඩියෝ එක ඉස්සරහ නට නටා!!

 

 

පින්තූරෙ මෙතනින්

 

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

40 Responses to ආනන්ද මාමා ගෙනා “හඳහාමි”

  1. ඔය මනේකා කිව්වේ අර රත්තරං ඉන්දියන් කාරයින්ට බනින එකී නේද?

    ඇයි මතකද “මං පුංචි වෙළෙන්දා, ස්වීප් විකුණාලයි ජීවත් වෙන්නේ” කිව්ව ගොබිලා?

    ජස්ටින් බීබර් ලමයටත් ඔය දේමද?

    • ඩිලාන් says:

      ඌ හිටි ගමන් ස්ටේජ් නගිනවා දැන් දොස්තර කෙනෙක්

      • ඒකි තමා අයියෙ… තාම දැකල නෑ මහිතෙ.
        මතකයි මතකයි.. රුවන් ශ්‍රීලාල් නෙ.. අඩු ගානෙ ඉගෙනගත්තනෙ බං.. මේ දැන් ඉන්න එවුවොන්ට මොනව වෙයිද මන්ද?

      • kathandarakaraya says:

        ළමා ගායකයින් ටික ටික ලොකුවෙලා උගුරු අෙටේ කැඩෙන කොට පිම්මක් පනින්න වෙනවා, ඒ හදමාමා කිරිපැණි ගීතවලින්ගෙන් පෙම් මල් මාලා වලට මාරු වීම.

        මෙය කරලා තියෙන්නේ ටික දෙනෙයි. හුඟ දෙණෙකුගේ ලොකු වූ පසු කටහඬ නැගලා යන්නේ නැති වෙනවා.

        මා මේ ගැන සඳහන් කරපු කතන්දරයක් මෙන්න. මේ ළමා කවි වලින් පෙම් කවි ලියන්නට මාරු වීම ගැනයි.
        http://kathandara.blogspot.com.au/2009/11/blog-post_14.html

        රුවන් දල්පතාදු කියූ තවත් සින්දුවක් තමයි – පස්සෙන් පාරේ පන්නන්නෙපා, මගෙ සුදු අම්මේ මට බඩගිණි නෑ!

      • පස්සෙන් පාරේ පන්නන්නෙපා…….පොඩි එකෙකුගේ සින්දුවකට මහ එවුන් නටපු අවස්තාවක්. ඔය කොල්ලා රුසියාවේ ගිහින් ඉගෙණගත්තා. දැන් කරන්නේ සින්දුම කියපන් හෝ ක්‍රිකට්ම ගහපන් කියන එකනේ.

    • Mankea says:

      //ඔය මනේකා කිව්වේ අර රත්තරං ඉන්දියන් කාරයින්ට බනින එකී නේද? //
      මං කිව්වය කියලා හිතාගනිල්ලා දෙන්නම …රත්තරං!!!!

  2. Buratheno says:

    මයිලේඩි ටොෆි.!? ඈක්කා… අපි නං කෑවෙ සසම සම ඩෙල්ටා ටොෆි…

    “සිරිමත් මගෙ සකි – යහපත් ළමයෙකි..”

    • සසම සස ඩෙල්ටා ටොෆී…. මාත් එකඟයි….

    • Buratheno says:

      කැන්ඩොස් චොක්ලට්.. 🙂

      ඔබමයි මා හදවතේ
      සතුටු සිනාවන් මතු කලේ
      ඒ රසබර හැඟුමක් වී – හැම මුවේ

      කෙලි බිමේ මිතු දම් මැවේ
      මිහිරටයි සිත දිව ගියේ
      ඒ විඳින්න කැන්ඩොස් දැන් – සිනා මැවේ

    • තිසර says:

      ‘මයි ලේඩී – හරි මිහිරියි’ කියනකොට අර පාට පාට කුඩයක් කරකව කරකව හිටිය ගැල්ලමයා මතකද?

      • kathandarakaraya says:

        ඔය බන්ටි කියන ටොෆී ජාතියේ නම කවදාවත් දෙමල භාෂාවෙන් ලියන්නේ නෑ ඒ ගොල්ලෝ, දෙමල දැන්වීම්වල අනිත් සේරම දෙමලෙන් දාලා බන්ටි කියන නම විතරක් ඉංගිරිසියෙන් දාන්නේ!

        දන්නවානේ ඇයි කියලා?

    • ආ.. මොකද නැත්තෙ අපිත් කෑව.. හැබැයි මං නං වැඩි‍යෙන්ම ආස වුනේ මයිලේඩි ඒවට.. ඩෙල්ට කෑවෙ තනිකරම කොළ එක්කාසු කරන්න. ඒව දහයක් එකතු කළාම විස්සක් එකතු කළාම සීයක් එකතුකළාම දේවල් ලැබෙන එක එක තරග තිබුණ නෙ..

      • කාටවත් මතකද Sweetie Toffees ? ඩෙල්ටා සමග කරට කර හිටියා. අබේසිංහ කන්ෆෙක්ෂනරීස්…කොලොන්නාවේ සාලමුල්ලේ තමයි ෆැක්ටරිය තිබුනේ. පස්සේ මොනවා වුනාද දන්නේ නැහැ. ඔය අයිතිකාර කෙනාගේ දුව සෙන් පෝල්ස් මිලාගිරියට ගියේ. මේ කියන්නේ 1980 ගණන්වල.

  3. ඩිලාන් says:

    මෑත කාලේ දෙරන හරහා ජනප්‍රිය උනු හිමාශ කියන පොඩි එකාව මතක් උනේ.පිට රට ප්‍රසංග පවා යනවා,පොඩි එකාට බර වැඩී කියලා පේනවා හොදටම,මැදපෙරදිග ප්‍රසංග වලදී මිනිස්සු ඒ පොඩි එකාට ස්ටේජ් එකට සල්ලි විසි කරනවා,ඌත් ඒවා ඇහිදලා සාක්කුවේ දාගන්නවා,උගේ තාත්තත් සින්දුවක් කියලයි යන්නෙ,කොල්ලව වඩාගෙන මුල් කාලේ ආවෙ

    • එයාගෙ වීඩියෝ තමයි ඔය බස්වල යන්නෙ වැඩියෙන්.. ඔය විදියට අමුවට දරුවො තරුණ කරන අම්මල තාත්තල ඒවගෙ නරක ප්‍රතිඵල අත් විඳියි ඉතිං

  4. මට නම් බන්ටි ටොෆී මතක නෑ. ඒ වුනාට අර කහ පාටත් තව මොකක්ද පාටක් මිශ්‍ර වෙලා පොඩි ළමයින්ගේ පින්තූරෙත් එක්ක ආව ඩෙල්ටා ටොෆී නම් මතකයිඇයි ඒකේ කිරි රහ….
    රනිල් මුදුන්කොටුවට පින් සිද්ද වෙන්න මම ආයෙත් ඒ සින්දු ඔක්කොම ඇහුවා අන්තිමට මට හිතුනේ අර දැන් කාලේ තියෙන සිලින් බිරින් සංගීතෙට වඩා මේ සින්දු කොයි තරම් අපේ ළමා හිත්වලට කතාකරන්න ඇතිද කියලා.
    චොකලට් ගැන කියද්දි මතක් වුනේ ඒ කාලේ චොකලට් එකක් ලැබෙනවා කියන්නේ රාජධානියක් ලැබුනා වගේ. දැන් අපිට ඕනේ තරම් හිතේ මනාපෙට කන්න පුළුවන් වුනත් අර කලින් හැඟීමවත් කන්න හිතෙන්නේවත් නෑ.
    මේ මතක නොස්ටැල්ජියාව නම් ඒකටත් එක්ක රහ කර කර ආයේ ආයෙත් ඔබ ඔබ ඉන්න පුළුවන් තනියම.

    • Buratheno says:

      බන්ටි ටොෆි ආවෙ අසූව දශකයෙ අග භාගයෙ.. රස පහකින් ආවා, ඔරේන්ජ්, මැංගෝ, ජින්ජර්, ස්ට්‍රෝබෙරි හා ලෙමන්ද කොහෙද… ඇයි අර ඇඩ් එකක් තිබුනෙ ඇනිමේටඩ් එකක්.. “මම තමා ජින්ජර් බන්ටි, මම තමා ඔරේන්ජ් බන්ටි, මම තමා ස්ට්‍රෝබෙරි බන්ටි…”

      බන්ටි ටොෆි කොළද කියලා මට හරියටම මතක නෑ.. ඒ කාලෙ ආවා ටොෆි කොළ ඇදීමේ කන්ටෙස්ට් එකක්.. කොළේ ඉරෙන්නෙ නැතුව වැඩියම දිගට ඇද්ද එකා දිනුම්.. ඕකෙ විස්තර හරියටම අහගන්ට පුළුවන් අර ‘ටොෆි කොළ හතලිහෙ කතා වස්තුවෙ’ කෙහෙල් කොරොට්ටාගෙන්..

      • තිසර says:

        ඩොට් ටොෆී ආවෙ කොයි කාලෙද?

      • බන්ටි තමයි බූරයියෙ.. අඩියක්ද කොහෙද වෙනකල් දිගට අදින්න ඕනෙ.. හපෝ ඒ කාලෙ අපේ ඉස්කෝලෙ පුරාම නයි වගේ දිග බන්ටි ටොපි කොල. ඔය ටොපි කොලෙ ඇදෙද්දි අර බන්ටි ප්‍රින්ට්වෙලා තියෙන එක එක එක අතට ඇදුනම අකුරු විරූපී වෙනවනෙ.. ඒක මට හරි විනෝදයි ඒ කාලෙ..

        තිසර අයියෙ.. ඩොට් ටොෆි ආවෙත් අසූ ගණන්වල තමයි.
        හැමෝම එක එක ජිංගල්ස් ලිව්ව එකේ මාත් ‍නොලිය බෑ නෙ…

        මාමේ අන්දරේ – මොනවද ඔය පැදුරේ
        ‍මේව තමයි ඩොට් කියන්නෙ හරි පැණි රස ටොෆී
        ඩොට් කියලා අලුත් ටොෆී??
        පුතේ දුවේ මේ අහන්න – පැණි රස ගැන කියා දෙන්න
        මටත් වැඩිය ජගතෙක් නෑ
        ඩොට් ටොෆි‍යේ රස දැණුනම – සීනි කෑව සිහි වෙනවා
        ට්‍රාන්ස් ලංකා ගෙනනෙ – ඩොට් ටොෆී
        බොහොම ඉස්තරම්
        උඹේ කටෙත් ඩොට් – මගේ කටෙත් ඩොට්!!

      • kathandarakaraya says:

        /* මාමේ අන්දරේ – මොනවද ඔය පැදුරේ */

        මං අද දක්වා හිතාගෙන හිටියේ “හා නේ, අන්දරේ…” කියලයි.

      • kathandarakaraya says:

        අර මහදැනමුත්තයි ගෝලයෝයි ගමනක් යන්න ගිහින් –

        මහදැනමුත්තව ලිස්සල වැටුනා
        ගෝලයො සේරම එකතුවෙලා
        මුත්තව ගොඩ ගන්නට බැලුවා
        ඒත් බැරිවුණා….!

        ළමයිනේ ඇවිත් උදව් කෙරුවට
        ඕනැ දෙයක් කියන්න…

        එතකොට ළමයි ඉල්ලන ටෙෆී ජාතියෙ මොකක්ද?

      • මහදැනමුත්තයි ගෝලයො රොත්තයි
        දවසක් උදයෙම ගමනක් යනවා
        එතකොට??
        මහදැනමුත්තව ලිස්සල වැටුණා
        ආ!!
        ගෝලයො සේරම එකතු වෙලා
        මුත්තව ගොඩගන්නට හැදුවා
        ඒත් බැරිවුණා!!
        අපොයි අපොයි බර-ගුරුතුමෝ ඔබේ
        අදිමු අදිමු අපී- ගුරුතුමා අපේ
        ළමයිනේ ඇවිත් උදව් කෙරුවට
        ඕනෙ දෙයක් දෙන්නෙමි මම
        කියන් මා හට
        ගෝල්ඩ් මාරි – මැලිබන් ගොල්ඩ් මාරි

        ගෝලයිනේ ගෝලයිනේ ගනිව් පොත නුඹේ
        රන් අකුරින් ලියා ගනිව් මාරි ගැන පොතේ
        හ හ හා
        මැලිබන් ගෝල්ඩ් මාරි!! 😀

  5. මම මේ පැත්තේ ආවමද කොහෙද …… දැන් පොඩි අයට ලමා කාලයක් කියලා දෙයක් තියෙනවද කියලා හිතෙනවා ඒ අය දිහා බලන් ඉන්දැද්දී…. මේ ලඟදි මෙහෙ ඉන්න සිංහල පව්ලක පොඩි එකෙක් මගෙන් අහනවා අන්කල් වට් ඉස් ද පොල්පිත්ත ?? ඇන්ඩ් හව් ඉස් ඉට් රයිඩ් ??? හෆොයි මට අනේ අපොයි කියලා හිතුනා

    • ඔවු.. මැලේ රාල ආව පළවෙනි වතාව තමයි. අපිට වගේ නිදහස් ළමා කාලයක් ලැබුණෙ නැතත් පුංචි අයව බලෙන් ලොකු කරන්නෙ නැතුව එයාලට එයාල‍ගෙ සුන්දර ලෝකෙ පුලුවන්තරම් කල් ඉන්න දෙන්න පුලුවන් නං ඒකත් ඇති.

  6. තිසර says:

    අර ඇතුලේ රටකජු ඇටයක් තියන කැන්ඩෝස් චොකලට් බෝල වලට කියන නම මොකද්ද?

    ඇපේ නැන්දා නිතරම රට ගිය ආව නිසා ටිකක් වැඩිපුර චොකලට් කෑමේ වරම අපිට ලැබුණා..

    • තිසර අයියෙ ඒව තමයි අනේ ක්‍රීම්බෝල්ස් කියන්නෙ… වෙන මොනවද??

    • kathandarakaraya says:

      රටකජු ඇටයක් තියන කැන්ඩෝස් චොකලට් බෝල වලට කියන්නේ චොකෝනට්ස් කියායි.
      http://www.thilinasrilanka.com/media/catalog/product/cache/1/image/5e06319eda06f020e43594a9c230972d/f/i/file_16.jpg

      දන්නවාද ඒවා හදන විදිය?

      ලොකු කල්දෙරම් තියෙනවා අර කොන්ක්‍රීට් / සිමෙන්ති අනන මැෂින් වගේ, ඒවාට රට කජු දාලා ටික ටික චොකලට් මිශ්‍රණය දාලා කරකවනවා රටකජු ඇටේ වටා චොකලට් බෝල හැදෙන තුරු.

      මං කැන්ඩොස් එකේ වැඩ කරපු කාලේ (සති දෙකයි) මේ ක්‍රියාවලියේ වැඩි හරියක් වුනේ ශ්‍රමයෙන්.

  7. Nish says:

    අපි නම් කෑවේ සෙලර්ස් චොකොලට්. ඒවත් එක්ක ලුමිනස් ස්ටිකරුත් හම්බ උනා. පස්සෙ තමා කැන්ඩොස් මමා ගෙනාපු එවුවා කෑවෙ.
    මයි ලේඩි ටොපි වලත් අර සුදුපාට එක්ක මිශ්‍ර වෙච්ච රටාව තමා සෝක්.
    ඕක දිහා පැය ගනන් බලා හිටලත් තියෙනව නොකා.
    ඩෙල්ට, බොන් බොන්, ඩොට් ටොපි ඕවත් තිබ්බා නේ.

    කොහොම උනත් මාතෘකාවට ගියොත් දැන් ඉන්න පොඩි උන් පවු අප්පා. මට නම් ඔය පොඩි උන්ගේ රියැලිටි පෙන්නන බෑ. පව් අහිංසකයෝ.
    ඒ කාලේ එහෙම ළමා සාහිත්‍යක් තිබ්බ එක ගැන සතුටුයි තමා. ඒත් අද එහෙම දෙයක් නැති එක ගැන නම් බොහොම දුකයි.
    අඩුම ගානෙ පොඩි එකෙක්ත පෙන්නන්න අර පරන ඒවා වත් හොයා ගන්න නෑ.

    • ආ මට මතකයි සෙලර්ස්. ස්ටිකර් නං ඒ කාලෙ පිස්සුවක් නෙ.. මං ආසම අර එම්බෝස් ස්ටිකර්ස් වලට.. අර ෆෝම්කෑලි ඇතුළට දාල තියෙන ලස්සන ස්ටිකර්..
      මං ඒවට කොච්චර ආසද කියනව නං මං කැම්පස් යද්දි දැකලත් අරන් තියෙනව..

      මයිලේඩි ටොෆිවල රටාව දිහා මමත් ඔහොමම බලන් ඉඳල තියෙනව.. ඔයාට තේරිලා තියෙනවද ඒ තියෙන්නෙ ඒ ටොෆියෙ රසට අදාල පළතුර. දැන් දම්පාට ටොෆිය මිදි රසයි නෙ. ඒකේ රටාව මිදි පොකුරක් වගේ.. එතකොට දොඩං රස එකේ තියෙන්නෙ නිකං දොඩං බෑයක් වගේ එකක්.. අයියෝ දැන් නෑනෙ ඒ ටොෆි. දැන් මයිලේඩිල හදන්නෙ අර චොකෝ මින්ට් එක විතරයිද කොහෙද.. ඒකට මං ආසම නෑ අප්ප..
      රියැලිටිවල රියැලිටි තේරුම් ගත්ත මිනිස්සු කවදාවත් තමන්ගෙ දරුවන්ව ඒ තැනට ඇදල දාන්නෙ නෑ නිශ්. අඩු ගානෙ ඒ ටික දෙනා හරි හැදෙයිනෙ..

      • ඔය කියන රටාවට මම ඉස්සර මාර විදියට ආසයි…

        තනියෙන් පය ගණන් බලාගෙන ඉන්නවා කොහේ හරි මුල්ලකට වෙලා.. නැත්තම් අපේ අය්යට මාට්ටු උනොත් පල් කරනවා එකසිය ගානට

  8. kathandarakaraya says:

    ළමයි සහ චොකලට් ගැන කියන කොට මට මතක් වුනේ මං දැන් අවුරුදු කිපයකට කලින් දන්න අඳුණන ගෙදරකට ළමයින් දෙන්නාට චොකලට් දෙකක් අරගෙන ගියා ඒ ළමයින්ගේ තාත්තාව හමු වෙන්න ගිය වෙලේ.

    මේ ළමයි දෙන්නා එවේලේම චොකලට් දෙක කන්න පටන් ගත්තා, ඒ මදිවාට රුපර් ඉරලා කෙලින්ම බිම දැම්මා, ඒ තාත්තාත් මොකුත් කීවේ නෑ. මට ඇති වුණේ ඒ ගැන ලොකු කලකිරීමක්!

    • කකා, ගොඩක් දෙමව්පියො ළමා මනෝවිද්‍යාවෙ එන සමහර තැන් වරදවා වටහගෙන තියෙන්නෙ. ඒකෙ එක ප්‍රතිඵලයක් තමා දරුවා කරන කියන දේට එපා කීම වරදක් කියල හිතං ඉන්න එක.
      ඒත් දරුවා සමාජගත වෙද්දි එ් දරුවා සමාජයට ඔබින දරුවෙක් වුනේ නැත්නම් බරපතල ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනව කියන එක අමතක කරල බෑ.. ඒත් අවාසනාවට දෙමවුපියන් සමහරක් වටහගන්නෙ නෑ දරුව‍න් තනිවම හැදෙන්න ඕනෙ කොතනද, දෙමව්පියන් නිවැරදි කළ යුතු තැන් කොතනද කියල..

  9. Mankea says:

    //හැබැයි අපි චොකලට් කන්න බලාගෙනම හිටිය දවසක් තිබුණ. ඒ අවුරුද්දට ඉසතෙල් ගාන දවස. එදාට චූටි නැන්දයි, ආනන්ද මාමයි, අමිල මල්ලියි, මනේක නංගියි ( ඔවු ඔවු අර මේකෙ කමෙන්ට් කරන වදකාර නෑනන්ඩි තමයි) අපේ ගෙදර එනව.//
    හි‍ටු! බොගේ බ්ලොගේ ආයේ මං එක අකුරක් ලියන්නේ නෑ! පැත්ත පළාතක පස් පාගන්නෙත් නෑ! ඕං මං කිව්වා කියලා හිතා ගනිං!!!

    • Mankea says:

      යකෝ මං අදටත් බොලා බලන්ඩ එනකොට හැමදාම චොකලට් පෙට්ටියක් උස්සං එනවා! හි‍ටුකෝ මං ආයේ පැත්ත පළාතක එන්නෙත් නෑ! නෑ එක්කොත් එනවා! හැබැයි එන්නේ අත වන වන!

      • මගේ වගේ උත්තරයක්! එලම එල…

        මගේ හොඳම යාලුවත් මාව හම්බෙන්න එනකොට වරද්දන්නෙ නැතුව මට චොක්ලට් ගේනවා. මම යනකොට යන්නේ අත් දෙක වන වන… මගේ තියෙන ජරාම ගතියක්

  10. බොරු කියන්නේ මොකටද…

    මමත් ඔහොම පරණම පරණ කැසට් දාගෙන (ළමා ගීත) තනියෙන් ගෙදර දොරවල් වහගෙන නටල තියෙනවා. මම හිතන්නේ කිසි කෙනෙක් දන්නේ නැහැ අපේ ගෙදර… හි.. හි… ඉබ්බියක් නේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s