තට්ටු ගවුම…!!!

කට්ටිය එක්ක පිට්ටනිය මැද්දෙන් අම්මලගෙ ඉස්කෝලෙට ආව මං එයාලගෙන් වෙන් වෙලා ඇවිත් ඉස්සෙල්ලාම කැන්ටිම ට එබුණ.

අම්ම හිටියෙ නෑ..

ඒ පාර කෙලින්ම උඩ පැන පැන ඇවිත්  නතර වුණේ සංගීත කාමරේ.

අපි පහේ ශිෂ්‍යත්වෙ ඉවර වෙලා පහ හමාරට එන කල් හැම අවුරුද්දකම ඉස්කෝලෙ කොන්සට් එකට තියෙන අයිටම් කීපෙකටම ඉන්න හන්ද මේ මාසෙ අන්තිමට තියන කොන්සට් එකේ අරුමයක් මට තිබුණෙ නෑ..

ඒත් අද කොන්සට් එකට ළමයි තෝරද්දි දැනගන්න ලැබුණ ආරංචිය අම්මගෙ කනේ තියනකල් මට නිවනක් නෑ…

කාමරේ මේසෙ ලඟ ගුරුපුටුවෙ වාඩි වෙලා අම්ම උත්තර පත්තරවල ලකුණු කියවනව

එතනම ඉස්සරහ පුටුවෙ අනිත් සංගීත සර්, තිස්ස මාම ඒව ලියනව. පන්තිවලට බෙදන්න පොඩි තීරු වගේ කොලවල.

කාමරේට ළමයි ආවාම ඉඳගන්න තියෙන කලාල එලපු ගමන්,

ඈත කොණේ බිත්තියට ‍හේත්තුව දාගෙන හිටිය වයලින් ටිකයි, රාක්කෙ හිටපු තම්මැට්ටං දවුල් ටිකයි සේරම මං අම්මට කියන්ඩ යන ආරංචිය දැනගන්ඩ බලං ඉන්නව කියලයි මට හිතුණෙ.

සතුට හන්ද වෙනදට ආව ගමන් මතුරණ බඩගිනි මන්තරෙත් අමතක වෙලා තිබුණෙ..

අම්මෙ,

ම්…!!

මං තිස්ස මාමගෙ ලකුණු කොලේට එබුණ.. තිස්ස මාම ලියන ගමන්ම මට විරිත්තුව.. මාත් විරිත්තුව

තිස්ස මාමත් සෙල්ලං කරන්න නං අපිටම හරියනව..

උන්න ගමන් මං කලින් ආව දවසක තිස්ස මාමට ‍ෆ්‍රී පීරියඩ් එකක් නං මං එයාට අපේ ශිෂ්‍යත්ව පන්තියෙ සිංහල ප්‍රශ්න වගේ ඒව ලියල ප්‍රශ්න පත්තර දෙනව.

ඒ කියන්නෙ දැන් ඔය ප්‍රස්ථාව පිරුළුවල හිස්තැන් පුරවන්ඩ වගේ ඒව

කටුස්සාගේ කරේ                       බැන්දා වගේ

පෙරළෙන ගලේ                         නොබැ‍‍‍‍‍‍‍ඳේ

එයා ඉතිං හරි සීරියස් මූණක් හදාගෙන ඒවගෙ හිස්තැන් පුරවනව මෙන්න මෙහෙම

කටුස්සාගේ කරේ සර්පිනාව බැන්දා වගේ

පෙරළෙන ගලේ තබ්ලාව නොබැ‍‍‍‍‍‍‍ඳේ

ලියල මගෙ අතට දෙනව..

මං හිනා වෙනව ඉතිං උඩ පැන පැන එයාගෙ උත්තරවලට

අද  තිස්ස මාමත් වැඩක.

ඉතිං බලාපොරොත්තුවෙන් ආව තරම් අවධානයක් අම්මගෙන් නොලැබෙනකොට ආරංචිය කියන්ඩ මගෙ හිතේ තිබුණ නොයිවසිල්ල දෙගුණ තෙගුණ වුණා.

වටයක් දෙකක් අම්ම වටේ කැරකුණා

අම්මෙ..

මං මෙච්චර වැදගත් ආරංචියක් කියන්ඩ පුල පුලා බලං ඉඳිද්දි අම්ම ඇස් කොණකිං මං දිහා බලල ආයෙ මං ආව කියල වගක්වත් නැතුව ලකුණු කියවන එක ගැන නං මගෙ කිසිම කැමැත්තක් තිබුණෙ නෑ…

මං සංගීත කාමරේ එහාට ඇවිද්ද මෙහාට ඇවිද්ද

තම්මැට්ටං දවුල්වලට ටොක්ක ගානෙ ඇන්න.

ඊට පස්සෙ කබඩ් එක ඇරිය. බෑන්ඩ්  එකේ මෙලෝඩිකා, රෙකෝඩර් නලා එහෙම තියෙන්නෙ ඒකෙනෙ.

රෙකෝඩර් නලාවක් අරන් පොප් පොප් ගගා හිටිය තව ටිකක් වෙලා.

ඒක එපා වුනාම  සංගීත කාමරේ ජනෙල්වලට හයි කරපු කිරිබත් කෑලි වගේ කම්බි ග්‍රිල්වල එල්ලිලා ඉස්කෝලෙ ඇරිල හොස්ටල් යන අක්කල එක්ක කොමල පපා හිටිය.

චූටි පුතා යමු!!

ඒකෙන් මේකෙන් වෙලාව ගියා. අම්මයි තිස්ස මාමයි වැඩේ ඉවර කරල යන්ඩත් ලෑස්ති වෙලා.

ඔෆිස් එකට ගිහින් අම්ම අස්සං කරල එනකල් මං හිටිය බෑග් එකත් කරේ එල්ලාන අරලිය ගහ යට වැලි ගොඩට පයිං ඇන ඇන.

අම්මෙමේ පාර අපේ කොන්සට් එකේ ෆැන්සි ‍‍ඩ්‍රෙස් පැරෙඩ් එකක් වගේ අයිටම් එකක් තියෙනව.

මං ඉන්නෙ ගායිකාවකට.. මනුකුලරත්න ටීච කිව්ව ලස්සන මගුල් ගෙදරකට අඳිනවගේ ගවුමක් හොයාගන්න කියල.. මං හෙට අර ලොකුමාමගෙ මගුල්ගෙදරට අම්ම මට මහල දීපු ගවුම අරන් යනව හොඳද ටීචට පෙන්නන්න..

අම්ම ඔෆිස් එකෙන් එළියට බැස්ස ගමන් බස බස ගෑවිල්ලෙ මං කියාගෙන කියාගෙන ගියේ මොකද්ද කියල අම්මට තේරෙන්න ටිකක් වෙලා ගියා.

 

ඒක අරන් යන්න එපා චූටි පුතා ඉස්කෝලෙට.. කොන්සට් එකට අඳින්ඩ ඒක හොඳ වැඩියිනෙ.

ඒකට එච්චර ලස්සන එකක් ඕනෙ නෑනෙ පුතේ.. අපි ඔයාගෙ නේවි කොලර් එක තියෙන ගවුම අඳිමු නේද?

ඕක නෙ අම්ම එක්ක  බැරි.. මං ඒ ගවුම ඉස්කෝලෙට අරං ගිහිං මනුකුලරත්න ටීචට පෙන්නන්ඩත් කලිං පන්තියෙ ගෑනු ළමයින්ට පෙන්නල එයාල ඇස්පිය හෙලන්නෙ නැතුව මාරුවෙන් මාරුවට මං දිහාවයි ගවුම දිහාවයි බලන විදිය හිතේ මවාගෙන ඉන්නකොට අම්ම කියනව මෙන්න නේවි කොලර් එක තියෙන ගවුම අරන් යන්ඩලු!!

අනේ අම්මෙ.. ඒක හරි නෑනෙ.. අනික ටීච කිව්වෙ ඒ වගෙ එකක් නෙවෙයි. ලස්සන රැලි තියෙන අර වගේ එකක් ගේන්ඩ කියල. මං කිව්වත් එක්ක ටීචට මගෙ ලඟ එකක් තියෙනව කියල.හෙට මං ගෙනියන්නං කො ඒක පෙන්නන්ඩ.. හාද‍?

මං ඇහුවෙ අදහස ගඟට අතාරින්ඩ හිතාගෙන ඉවුරෙ ඉඳන්

හ්ම් බලමුකො!!

අම්ම සෑහෙන වෙලාවකට පස්සෙ කිව්ව

ඒ වචන දෙකෙන් දැල්වුණ බලාපොරොත්තුවේ එළිය කජු ලෙල්ලක් වගේ ඇද වෙලා තිබුණ මගේ මූණට හිනාවක් ගෙනාව

බේබි රෝස පාට ඒ ගවුම මහල තිබුණෙ වීදුරු වගේ ඔගන්දි රෙදිවලින්. පපුව හරියෙ රෝසයි නිලුයි බේබි රිබන්වලින් පැදුරක් වගේ වියල..

ඒක දෙපැත්තෙ ඕගන්දි රැලි මැද්දෙ දිලිසෙන ටිෂූ රෙදිවලින් අම්මම හදාපු රෝස නිල් කහ සුදු රෝසමල් පොහොට්ටු අල්ලල. මල් වැල් දෙකක්!!

හරියට මගෙ ගවුමට ඇත්තම රෝස මල් අල්ලල වගේමයි පේන්නෙ.

සාය කෑල්ලට ඕගන්දි රැලි දාල.. ඒ රැලි අස්සෙත් අතරින් පතර පුංචි රෝස පොහොට්ටු අල්ලල..

අම්මෝ!!

මං ඔය ගවුමට කොච්චර නං ආස කලාද කියනව නං මහද්දි අම්ම ලඟින් හෙල්ලුනේවත් නෑ…

එක බින්දුවක් ඒ ගවුම මහන  එක දකින්නෙ නැතුව මිස් වුණොත් වැඩක් නෑ කියලයි මට හිතුණෙ..

ඒ තරම්ම ලස්සනයි ඒක.. අම්ම මුතූගෙ ගවුමෙ තිබුණ අත නැතුව බෝරිච්චි අතක් දාපු එක ගැන නං මගෙ වැඩි කැමැත්තක් තිබුණෙ නෑ තමයි..

ඒත් ඒ ගවුම මට පුදුම ලස්සනකට පෙනුණෙ මහල ඉවර වුණාම..ලොකු මාමගෙ මගුල් ගෙදර දවසෙ අපි කට්ටිය එකම විදියෙ ගවුම් ඇඳගෙන උඩ පැන පැන හිටිය විදියත් මතක් වුණා ඒ අස්සෙ…

පුංචි අම්ම කොහෙන්දෝ බලන් ඇවිල්ල මුතූ නංගිට මහපු ඒ විදියෙ ගවුමක් අරන් ආව අම්ම ඒ විදියට මටත් එකක් ඕනෙ අඩුම කුඩුම හොයාගන්ඩ සෑහෙන්ඩ මහන්සි වෙන්ඩ වුණා. ඒ කාලෙ කොළඹ ෂොපිං යන්ඩ අපි දන්නෙත් නෑ..අනික ඒ කාලෙ එහෙම මහපු ඇඳුම් කඩෙන් ගන්න පුරුද්දක් තිබුණෙත් නෑ නෙ මිනිස්සුන්ට.

අපි දෙන්න කුරුණෑගල ගිහින් හතර වටේම කරක් ගහල තමයි ඒකට රෙදි, රිබන්, එහෙම අරන් ආවෙ…

ඕක ඉතිං අඳින්ඩ දෙන්නෙ මගුල් ගෙදරක් ආවාම විතරනෙ.. නිකං  සාමාන්‍ය නෑදෑ ගමනක් යද්දි අඳින්ඩ බෑ නෙ

ඉතිං එහෙම දවසක  ඇඳල ගෙදර ආවාම ඉතිං ඕක ගලවන්ඩ හිතෙන්නෙ නෑ.. ඉතිං මං ඉන්නව එකෙල මෙකෙල වෙවී, හැම කාමරේකම තියෙන කණ්නාඩි ගානෙ සක බඹරෙ වගෙ කැරකි කැරකි හැඩ බල බල.

චූටි පුතා, ඔය ගවුම ගලවල තියන්ඩ. ඔයා ඕකෙ මොනව හරි ගාල ආයෙ අඳින්ඩ බැරි වෙන්ඩ වැඩේ කරගන්නව දැන්..

මගෙ සලු පාලිය ඉවසා දරාගන්ඩ බැරි තැනට ආවාම අම්ම කෑ ගහනව.

මං ඉතිං බොහොම අකමැත්තෙං තමා ඒක ගලවන්නෙ

අම්ම ඒක පරිස්සමෙන් හෝදල හොඳට වේලල එහෙම තමා අරන් තියන්නෙ. හරියට ආච්චි අම්ම හැන්දෑවට කඩන මල් වට්ටිය වගේ තමා..

ඉතිං ඒක සුවඳ ගහ ගහ ඇඳුම් අල්මාරියෙ අපිට අත පොවන්ඩ තහනං පැත්තෙ එල්ලීගෙන ආඩම්බරෙන් ඉන්නව

කොහෙ හරි යන්ඩ අල්මාරිය ඇරියාම මං ඉතිං අම්මට කරදර කරල අල්මාරියෙ අනික් පැත්ත අරවගෙන ගවුමෙ ටිෂූ රෝසමල්, රිබන් වියමන එහෙම පොඩ්ඩක් අතගාල බලනව.

දෝනියැන්දගෙ මේ විකාර සමයං දන්න හන්ද ඉතිං අම්මත් ඔන්න ඔහෙ පොඩ්ඩක් බලාපු දෙන් කියල ඉඩ දෙනව.

එදත් ඉස්කෝලෙ ඉඳන් ගවුමෙ සිහියෙන් ආවට ඒක අමතක වුණා ටිකකින්. ගෙදර ඇවිල්ල ගෙදර වැඩ ටික උඩින් පල්ලෙන් ගහල දාල බයිසිකල් පැදල, නටල ඉවර වෙනකොට ආයෙ මතක් වුණා මට ගවුම් කතාව.

ඒ පාර ගෙදර වැඩ ඉවර කරනකල් මං අම්ම පස්සෙං වැටුණ මං. අහරෙං මෙහෙං ඔය එක් එක දේවල් ෆ්‍රිජ් එකට දාන්ඩ, හෝදන්ඩ එහෙම උදව් වුණා..

ඉස්කෝලෙ සුදු ගවුම්, මල්ලිගෙ ඇඳුං මැදල එහෙන ඉවර වෙනකල් මං හිටිය ඉඳගෙන නිදි කිර කිරා..

අම්මෙ.. ගවුම…. ඉස්තිරික්කෙ ගලවල අම්ම යන්ඩ හැරෙද්දි මං ආයෙත් ඇහුව.

අම්ම මං දිහා බලල අල්මාරිය ඇරල පරිස්සමෙන්  ගවුම එළියට ගත්ත.

මං මේක අරන් ඇවිල්ල ටීචට පෙන්නන්නං පුතේ.

අනේ අම්මෙ.. ඉතිං මං අරං යන්නංකො ඒක.. අම්ම එන්න ඕනෙද ඒක අරන්??

නෑ පුතේ…. මේක ඔයා ගෙනියන්ඩ එපා. ඔයා ඕක පන්තියට අරන් ගියාම ළමයි හැමෝම දකිනව.

පුතා දන්නවනෙ අපිත් මේ ගවුම මැහුවෙ අමාරුවෙන්නෙ. ඉස්කෝලෙ ඉන්න ගොඩක් ළමයිංගෙ අම්මලට සල්ලි නෑනෙ පුතේ එහෙම දේවල් අරන් දෙන්න. එහෙම වුනාම එයාලට දුක හිතෙනවනෙ පුතා ඕක ගිහින් පෙන්නුවාම.

ගවුම අඳින දවසට මිසක් කලින් ගිහින් ඕක පන්තියෙ දිගාරින්ඩ එපා. ඒක හරි නෑ…

අම්ම මට කිව්වම මට ආයෙත් ගවුම ඉල්ලන්න බැරි වුණා.

ඇත්ත, අරුමෝසම් දේවල් අපි ලඟ තියෙනව කියන්නෙ ඒ කාලෙ  පුංචි කමට අපිට හරි ලොකු දෙයක් නෙ.

ඉතිං ප්ලාස්ටික් බටේ ඇතුළෙ දිලිසෙන ගෝල්ඩ් ඩස්ට් දාපු උල් මාරුකරන පැන්සලක්, සුවඳ බැලුවාම කන්ඩ හිතෙන මකනයක් ලැබුණාම දිව්‍ය ලෝකෙම අපි අතේ වගේ කියල තමයි හිතෙන්නෙ. අපි ශිෂ්‍යත්වෙ ලියන කාලෙ අම්මල මැදපෙරදිග යන්ඩ ගත්ත අලුත. ඩුබායි සවුදි ගිය අම්මල එවපු නානාප්‍රකාර බඩු මුට්ටු ඉස්කෝලෙට අරන් ඇවිත් පෙන්නනල අනිත් ළමයින්ව වසඟ කරවන හැටි දැකල තිබුණ හන්ද වෙන්න ඇති මටත් හිතුණ මගෙ ලඟ තියෙන ලස්සන ගවුම අරන් ගිහින් පොඩ්ඩක් පෙන්නුවාම මක් වෙනවද කියල.

ඒත් අම්ම එහෙම කිව්වාම මට එහෙම අරන් යන්න හිතුණ එක ගැන පවා ලැජ්ජ හිතෙන්න ගත්ත. එහෙම කරල අනිත් ළමයින්ගෙ හිත් රිද්දන්න අවුස්සන්න හොඳ නෑ නේද කියන එක අම්ම කියන්න ඉස්සෙල්ල මට නොහිතුණ  එක ගැන මටම දොස් කියාගත්ත. කොච්චර හොඳ වෙන්ඩ හැදුවත් මාත් නරක ළමයෙක් නේද කියන සිතිවිල්ල දරාගන්න ටිකක් අමාරු වුණ හන්ද ඇස්වල කඳුලු පිරිල තිබුණ නිදාගන්ඩ ගිහින් කොට්ටෙ බදාගෙනත් සෑහෙන වෙලාවක් යනකල්..

ඊට පස්සෙ කොන්සට් එක දා වෙනකල් ගවුම ගැන කතා කළේ නෑ මං. අම්ම ගෙනිහිං ඒක පෙන්නන්න ඇති මනුකුලරත්න ටීචට.

අම්ම ඇවිල්ල කලින් තිබුණ ජන ගී කණ්ඩායමට මං ඇඳගෙන හිටපු රෙද්දයි හැට්ටෙයි ගලවල ඊලඟ එකට ඒ ගවුම අන්දනකොට කාමරේ ඇඳුම් මාරු කරකර හිටිය ළයින්ගෙ විතරක් නෙවෙයි, අම්මලගෙත් ඇස් ලොකු වුණා.

හීනියට ලැජ්ජාවක් ගලාගෙන ආව ආයෙමත් මගෙ හිතට.. එහෙම වෙන්න ඕනෙ නැති වුණත් නොගැලපෙන තැනකට නොගැලපෙන ඇඳමක් ඇන්ද කියල හිතෙන හැඟීමෙන් මිදෙන්න ටිකක් අමාරු වුණා ඉතිං.

ඒක කොහෙන්ද? කවුද මැහුවෙ, කී යක් ගියාද? යනාදී ප්‍රශ්නවලට උත්තර දෙන්ඩ  මං ස්ටේජ් එකට ගිහිල්ලත් සෑහෙන වෙලාවක් යනකල් අම්මට සිද්ධ වෙන්ඩ ඇති.

මාත් අම්මට කියනව මට මේ වගෙ එකක් මහල දෙන්ඩ කියල..

තරංගනී ගවුමෙ රෝසමල් අල්ලල බලන ගමන් කිව්ව හැටි මට අදත් මතකයි.

හිරාන් එයාගෙ පුංචි ඕගන් එකෙන් මට මට සංගීතය සපයද්දි මං  සින්දුව කියකියා ඉංග්‍රීසි ගායිකාවක් විදියට රඟ පෑව

O dear, what can the matter be?
O dear, what can the matter be?
O dear, what can the matter be?
Johnny’s so long at the fair.

He promised he’d bring me a bunch of blue ribbons.
He promised he’d bring me a bunch of blue ribbons.
He promised he’d bring me a bunch of blue ribbons.
To tie up my bonny brown hair.

කොන්සට් එක ඉවර වුණා.

හැමෝම ගවුම ලස්සනයි කිව්ව එක ගැන කොච්චර සතුටු වුණත් මගේ හිත යට මොකද්දෝ අපහසුවක් දැණුන මං ඒක පන්තියට අරන් එන්න හැදුව කියල මතක් වෙන ගානෙ.

ඒත් තමන් සන්තක දේ උලුප්පා පෙන්වීම නරක වැඩක් කියල ඉගෙන ගත්ත පාඩම මට තේරුණා

ඒක එදාට විතරක් නෙවෙයි මුලු ජීවිතේටම වටින බව බොහොම හොඳින් මට තේරුණා.

පින්තූරෙ මෙතනින්

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි, මුතුගල විත්ති. Bookmark the permalink.

46 Responses to තට්ටු ගවුම…!!!

  1. අපේ පුංචි කාලේ අපි වාසනාවන්තයි. ගොඩාක් ළමයින්ට නැති දේවල් ලබන්න ඔයා මම වාසානාවන්ත වුනා. ඒත් මම ඒකෙම අවාසනාවන්ත පැත්තත් අත්දැකල තියෙනවා. තාත්තට රස්සාව නැතිව පඩි නැතිව ඉද්දි.
    ඔයාගේ කතාව මට මගේ අතීතය මතක් කරල දුන්නා.
    ඔයාගේ ලිවිල්ල නම් උපරිමයි…….

  2. Buratheno පවසයි:

    අඩේ මට මතක් වුනේ තුනේ පන්තියෙ ඉන්දැද්දි ඉන්ග්ලිෂ් ‍ඩේ එකට අපි කරපු නාට්ටිය….

  3. Ravi පවසයි:

    / ඒත් තමන් සන්තක දේ උලුප්පා පෙන්වීම නරක වැඩක් කියල ඉගෙන ගත්ත පාඩම මට තේරුණා /

    ඉතිං බං උඹ දැන් මේ කරන්නෙත් ඒ නරක වැඩේ නෙවෙයිද? මෙහෙම එළේට ලිව්වම අපිට හිතෙනව අනේ අපිට මෙහෙම ලියන්න බෑනෙව කියල. එහෙම හිතිල අපිට දුක හිතෙනව. 🙂

  4. henryblogwalker පවසයි:

    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ පෙනෙන නමුත් ඇත්තටම එහෙම නොවෙන කමෙන්ට් එකක් දාන්නම්.
    මමත් උගන්නන්න ගිය අලුත කුලුහරකා වගේ. සංවේදනා නෑ. ඇත්තෙන්ම දැනුත් එච්චරම නෑ. දැන් සංවේදනා නැත්තේ හැඟීම් නැති උන්ට උගන්නන නිසා. ඒ දවස්වල සංවේදනා නොතිබුනේ මම ඉස්කෝලේ ගියාට පස්සේ ඒ වෙනකොටත් ‘හීලෑ වෙලා’ නොහිටිය නිසා.

    ඉතින් ඒ කාලේ මම එක වතාවක් තාත්තා ගැන රචනාවක් ලියන්න කියලා එක ළමයෙක් ලියලා තිබ්බේ නෑ. මම සැරෙන් මොකද කියලා ඈහුවාම තමයි දැනගත්තේ ඒ ළමයට තාත්තා නැති බව. මට ______ පයින් ගහගෙන මැරෙන්න හිතුනා. හැබැයි ඒ බව දැනගත්ත ගමන්ම මම අවංකව කණගා‍ටුවෙන්නත්, ඉන් පස්සේ මේ වෙන තෙක්ම ඒවගේ මාතෘකාවල් ගැන කතා නොකරන්නත් අධිෂ්ඨාන කරගන්නත් තරම් සංවේදී වීම ගැන මට ආඩම්බරයි.

    ඊට පස්සෙ මම ඔය ගැන කොච්චර හිතුවද කිව්වොත්, මම ඊට පස්සෙ මම අහන ප්‍රශ්ණ පවා rephrase කරලා තියෙන්නේ.

    ‘ඔයගොල්ලන්ගේ ගෙදර ටීවී එකක් තියෙනවද?’ වගේ ගොං ප්‍රශ්ණත් මම අහන්නේ
    ‘ඔයගොල්ල ටීවී එකේ ප්‍රවෘති යද්දි දැකලා තියෙනවද…?’ වගේ වෙනත් මාර්ගයකින්. (ටීවී එකක් තමන්ට තියෙනවද කියන ප්‍රශ්ණේ අදාල නොවෙන්න.) අද ටීවී එකක් නැති ගෙදරක් නැති වෙන්න පුලුවන්. ටීවී එකක් big deal එකක් නෙවෙයි තමයි. නමුත් එක කාලයක් තිබුනා එහෙම. මම කියන්නේ ඒ කාලේ ගැන.

    ඉස්කෝලෙ යන කාලේ අපි ඔය හැඟීම් වලින් කොච්චර තොරද කියලා දැනගන්න, contrast එකටත් එක්ක, මම උඹට කියන්නම් මම උගන්නන්න ඉස්සෙල්ලම ඉස්කෝලෙකට ගියාම කොල්ලෝ මගෙන් අහපු ප්‍රශ්ණේ.

    “සර්, සර්ට බඩුවක් ඉන්නද?”

    • නවම් පවසයි:

      මමත් ඔයිට ටිකක් විතර වෙනස් කතාවක් අහල තියනව, එකෙ විදියට හැමදාම එකම පොට්ට පාට වෙච්ච ෂර්ට් එකක් ඇඳන් එන ළමයෙකුට ගුරුවරයා හොඳටම බැනල “මොකෝ ආණ්ඩුවෙන් දුන්න රෙද්ද විකුණාගෙන කෑවද” කියල. ටික වෙලාවක් බලාගෙන ඉඳපු ළමය කිව්වලු “තාත්තගෙ පාංසුකූලෙට තිව්ව සර්” කියල.

      කිව්වත් වගේ එහෙම කතාවක් ඇහුවම කණපිට ගහගෙන මැරෙන්න හිතෙනව තමා !!

      • henryblogwalker පවසයි:

        තැංකුයි නවමා. උඹ උත්තරයක් දුන්නොත් මිසක් මේ බ්ලොග ලියන එකී නම් මේ ආත්මෙට උත්තරයක් දෙන්නේ නෑ. හැබැයි ඇහුවොත් නං කියන්නේ අනේ බුදු අයියේ මම උඹලගේ බොලොග්ගුත් කියෝනවා ඒ වුනාට කමෙන්ට් දාන්නේ නෑ කියලා. ඒ කතා පැත්තකින් තියහංකෝ. තනියෙම කතාකරනකොට නවං උඹට මොකද හිතෙන්නේ? පිස්සෙක් කියලා නේද? දැන් නම් ඒක වෙනස් වෙලා හෑන්ඩ්ස්‍ෆ්‍රී බ්ලූටූත් හෙඩ්සෙට් නිසා. ඒක නිසා මාත් තිනියෙම කතා කරනවා අවුලක් නැතුව. ඒ වුනාට තනියෙම කමෙන්ට් දාන එකනම්…

        මම මගේ කමෙන්ට් එකේ “සර්, සර්ට බඩුවක් ඉන්නද?” කියන එක “සර්, සර්ට බඩුවක් ඉන්නවද?” යනුවෙන් සංශෝධනය වෙන්න ඕනෙ කියන එක කියන්නත් එක්කයි මේ ලිව්වේ.

      • නවම් පවසයි:

        උඹට කියන්න බං අයියේ මම ඒ කොමෙන්ට් එක දැම්මෙ උඹ එතන තනියම පිස්සෙක් වගේ කියෝනව බලං ඉන්න බැරුව බං. හෙහ් හෙහ්…

      • ඔය මං නැතුවට ඉන්නෙ අයියෙ උත්තර දෙන්න ඈයො.. ආයෙ මං මොකෝ නවම් මොකෝ..
        අනික මං දැන් මෙතන රිප්ලයි කළොත් ඕකට උත්තරේ විදියට ලියන්න වෙන්නෙ මං මේකෙ ලියන්න ඉන්න කතාවක්.. දැන් එහෙම ලිව්වට පස්සෙ මට ඕක මේ ලියනව වගේ වවල ලියන්න කම්මැලි හිතෙනව.. මං උඹෙං බැනුම් අහලම දැන් පදං වෙලා.. කම්මලේ බල්ල වගේ වෙලා ඉන්නෙ.. 🙂

  5. Nish පවසයි:

    මේක නම් වල්ලපට්ට…………

    ආයෙමත් ඉස්කෝල කාලෙට ගියා. ඔය ඉතින් අපි හැමෝම මූනදීපු තත්වයක් නේ. කොහොම උනත් ඔය පාඩම උඹට කියල දෙන්න පුලුවන් කමක් තිබ්බ අම්මෙක් ලැබීම උඹේ වාසනාව.
    මොකද අදටත් මට සමහරු මුනගැහෙනව කොච්චර වයසට ගියත් ඔය පාඩම ඉගෙන ගත්තෙ නැති.

  6. තරෑ පවසයි:

    හිත අතීතයට ගියා…

    ලස්සන ලස්සන දේවල් දකිද්දි අනේ මටත් තිබුණ නම් කියල පුංචි කාලෙ හිතුණා තමයි. රට ගිහින් එන කෙනෙක් දුන්න ලස්සන පැන්සල් පෙට්ටියක් මහමෙරක් වගේ වුණා මතකයි…
    මටත් තිබුණා රෝස පාට සෙටින් රෙද්දෙන් මැහුව ඉණ වටේ රැළි කරපු ලස්සන ගවුමක්… ඒ ගවුමට කොයි තරම් ආදරේ කලාද ඒ දවස්වල…

    ඔයා ලියන විදියට හරිම ආස හිතෙනවා නංගි…

  7. නවම් පවසයි:

    ජනූ, උඹට කියන්න බං මටත් ඔහොම අවස්ථාවන්වලට මූණදෙන්න හරිම අමාරුයි, අගයකිරීම් දරාගන්න අමාරුයි. ඒ වෙලාවට කොහෙන්හරි රිංගල පැනල යන්න හිතෙනව නොපෙනෙන තැනකට.

  8. නවම් පවසයි:

    කියන්න අමතක උනා, ඔය වයසෙදි මම බොහොම ආසා කරපු ඇඳුමක් තිබුන, අම්ම ගමේ එන දවසක ගෙනැල්ල දීපු පූසෙක් සාක්කුවක එම්බ්‍රොයිඩර් කරල තිබිච්ච වූල් වගේ රෙද්දකින් මහපු කොට කලිසමක්, දවසක් අච්චි ඕක හෝදන්න ඩෝබිට දීල පූසගෙ හම යවල තිබුන. මගෙ අම්මේ එදා මම කරපු පෙරළියක් !!!!

    • henryblogwalker පවසයි:

      උඹත් හෝ ගාලා තනියෙම කතා කරන නිසා මට පව් කියලා හිතුනා. උඹ අර මෙගේ කමෙන්ට් එකට උත්තරත් දුන්නනේ මේ මහගේ මේඝ ඝර්ජනාවක් මැද්දේ ගිය අධෝ වාතයක් (like a fart in a thunderstorm) තරම්වත් ගනන් ගත්තේ නැතුවත්.

      මටත් තිබ්බ යකෝ ඔහොම එකක් ඒකට කියන්නේ හාවා කෝට් එක කියලා. තව තිබ්බා ඇංකර් එකක් මහපු ටී ෂර්ට් එකක්.

      • නවම් පවසයි:

        අපි දෙන්න අපිදෙන්නට හරි කතා කරපු එක හොඳයි බං අයියෙ, නැත්නන් මේක දකින රට්ටු හිතයි බොටයි මයයි පිස්සුය කියල, ඒක නෙමෙයි මුන්දැ ගෙදර නැති අල්ල පනල්ලෙ මෙතන වනසමුද රවියවත් අල්ලගෙන ?

    • Nish පවසයි:

      අඩේ නවම උඹට කියන්න මටත් තිබ්බනේ බන් ඔය කියන වර්ගෙම පූස් කලිසමක්. මොකදෝ මන්දා ඒ දවස්වල ඕක මගේ ප්‍රියතම කලිසම් කොටේ. ඒක මරු කලිසම අප්පා……………

      ඔන්න ඉතින් මම නම් මේක ලිව්වෙ උඹ තනියම පිස්සෙක් වගේ කියවන හින්දාවත් අර උන්දෑ කමෙන්ට් රිප්ලයි නොකරන හින්දා වත් නෙමෙයි හරිය. උඹේ කමෙන්ට් එක දැක්කම කලිසම් කොටේ මතක් උනු නිසා. මොනව උනත් ඉඳලා ඉඳලා මේකි ලියන සොච්චමෙන් අපේ පරන මතක අළුත් වෙන එකම මැදෑ බන්.

      • නවම් පවසයි:

        හෙහ් හෙහ්.. චීත්ත කලිසං කොට ඈඳ ඇඳ ඉඳපුකාලෙ එයිං ජාතියෙ කලිසං කොටයක් කියන්නෙ ආයෙ ඉතිං රජ බඩුවක් තමා. ඒක ඇන්දම ආයෙ හඩු ගැහිල යනකල් මම නෙවෙයි ගලවන්නෙ, ඒ ගලවන්නෙත් මයෙ උවමනාවට නෙමෙයි, අපෙ ආච්චිගෙන් කනක් අහිල ඉන්න නැති උනාම.

    • Buratheno පවසයි:

      මට තිබ්බා මගේ ෆේවරිට් ‘පී පී සූට්’ එකක්.. ඒකට එහෙම කිවුවෙ ටී-ෂර්ට් එකේ මැද හිටපු තාරාවා (තාරාවද පූසාද මට මතක නෑ බං දැන්) අතින් එබුවහම ඒක පී පී කියලා කෑ ගහන නිසයි..

      // මුන්දැ ගෙදර නැති අල්ල පනල්ලෙ මෙතන වනසමුද රවියවත් අල්ලගෙන ? //

      මං එක පයින් සූදාණං.. හෙට උදේ මුන්දෑ නැගිටින කොට ඉසේරදේ හැදෙන්ට දිලා ඇදලා තියමුද.?? 😀

      • නවම් පවසයි:

        එහෙනං එහෙනං, මේවගේ කම්මැලි කෙල්ලන්ට දෙන්ටෝන සහලෝල උණ ගන්න. දැන් බුරත් හරි ඩූඩත් හරි මාත් හරි එත් කෝ රවිය ?

      • Buratheno පවසයි:

        රවියා දැන් ෂුවර් එකටම නස්කූනි වෙන්ට ගහලා දපලා ඇති.. දන්නැද්ද ඕකගෙ හැටි.. දැන් හෙට උ‍දේට එයි මොකක් හරි කට කැඩිච්චි කතාවකුත් කියාගෙන..

      • Ravi පවසයි:

        මම මේ මැච් එක බලනව බොලව්….අනික ජනූ කියන්නෙ මයෙ නඟා….මෙතන ඒකි නැතිවෙලාවෙ ජවුසෙං නටන්ට දෙන්ට බෑ උඹලට ..දැනගනියව්!!!

      • Buratheno පවසයි:

        ඔය මැච් එකේ මොනව බලන්ටද බං? තව ටිකකින් වහින්ට පට්ටාං ගන්නවා.. ඊට පස්සෙ ඕන ඇබන්ඩොං කරලා දාන්ට තමා වෙන්නෙ..

        මෙන්න මෙහෙ වරෙං බං පොඩි ජවුසමක් නටන්ට..

      • henryblogwalker පවසයි:

        මට පේන්නේ මුලින්ම රවියා බාවලා ඉන්න වෙයි වගේ.

      • අනේ මටත් තිබුණ බැලුන්ගොඩක් අල්ලන් උඩ පැන පැන යන ටෙඩියෙක් ඇප්ලික් කරල අම්ම මහපු පුංචි ගවුමක්!! මාත් ඒකට හරි ආසයි ඉස්සර…
        අනේ උඹල ඕනෙ එකක් කරගනිල්ල මෙතන. . මයෙ මොකෝ.. මං මට හිතිච්චාම ඇවිල්ල උඹලට මොනව හරි ලුණු ඇඹුල් ටිකක් දාල යන්නං.. 🙂
        (මදැයි ඉඳල ඉඳල මං මෞන වෘතය රකින්ඩ පටං ගත්ත..කොහෙද මුං එක්ක ඒක කරන්නෙ??)

  9. නවම් පවසයි:

    කම්මැලි ජනුවට එන්න කියාපිය
    මේවට උත්තර දෙන්න කියාපිය // 😀

  10. කෙල්ල මෙවුවා දකිනවා…… //ඔබේ ප්‍රතිචාරය අනුමත කිරීම බලාපොරොත්තුවෙන් සිටී // ජනුවා හිනා වේවී බලා ඉන්නවා.

    • Buratheno පවසයි:

      ඈ බං වත්තො, මෙවුවා ඔටෝ පබිලිස් කමෙන්ට්ස් නෙ.. බොලාට විතරද මන්දා ඔය // ඔබේ ප්‍රතිචාරය අනුමත කිරීම බලාපොරොත්තුවෙන් සිටී // කෑල්ල එන්නෙ.. මං ඒත් කීප දවසක්ම දැක්කා බොලා‍ගෙ කමෙන්ට්ස් පරක්කු වෙලා වැටෙනවා.. මුන්දෑට කියහං ඒවා ස්පෑං එකටවත් යනවද කියලා බලන්ට කියලා..

      • ඔවු අනේ මං ඊයෙ බලාගෙන කට්ටිය මේකෙ දඟර නැටුම් නටනව.. ආයෙ ඔය අස්සෙ මගෙ සලුපාලිය නටන්නෙ මොකටද කියල මං හිටිය කරබගෙන.. පොඩ්ඩක් සංසුං වුණාම එනව කියල හිතාගෙන
        බූරයියෙ ඒව ස්පෑම් වෙන්නෙ නෑ.. එයාට විතරක් මගෙ ඇප්රූවල් ඕනෙ

  11. Mankea පවසයි:

    අම්මටසිරි දෙමු ගේමක් මාත් එවරෙඩි! ඕකි ගෙදෙට්ට වෙලා කම්මැලිකමට කකා බිබී ඉන්නවා කොමෙන්ට් වලට උත්තර නොදී! ආන්න ඒ පාර වවන්ඩලු යන්නේ .. අනේ උන්දැගේ වැවිල්ල.. අපි නොදන්නවායේ ඒ ටික !

  12. kathandarakaraya පවසයි:

    මට මතක් වුනේ පන්තියේ අනිත් කොල්ලෝ දිග කලිසන් අඳින අතරේ ගෙවල්වලට කරදර කරන්න දුක හින්දා (දිග කලිසමක් මහන්න දෙගුණයක් රෙදි සහ දෙගුණයකටත් වඩා මැහුම් කුලී යනවා) එකොලහේ පන්තිය වෙනකල්ම කොට කලිසන් ඇඳපු මාත් ඇතුලු කොල්ලේ හතර පස්දෙනා ගැනයි.

  13. පොඩ්ඩි පවසයි:

    චූටි කාලේ කරපු ඔක්කොම නැටුම් ටික හිතට ආවනේ ජනූ….ඔය වගේ සෝස පාට ගවුමක් මටත් තිබ්බා… 😀

  14. aruge adaviya පවසයි:

    අවශ්‍ය කාලේ නොතිබුනු……අනවශ්‍ය කාලේ තිබුනු දේවල් ගැන මතක්වුනා…

  15. Dr වීරකෝන් පවසයි:

    සුපිරි ලිවිල්ල සහෝදරි..අදයි මෙහ පැත්තට ආවේ…මේකේ පලෝ කරන ජිරිබිරිස් එක නැද්ද wordpress ගැන නම් මම දන්නේ නෑ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )