සෞම්‍යා‍ලෝකයේ උණුසුමෙන් සුවපත්ව…!!

නිවාඩු දවසක රෙදි හේදිල්ල, ඉවිල්ල, අතුගෑවිල්ල වගේ අත්‍යවශ්‍ය රාජකාරිත් බලෙන්ම අමතත කරල දාල හාන්සි පුටුවට හරි ඇඳ විට්ටමට හරි හේත්තුවක් දාගෙන පොතකට ඇබ්බැහි වීම තරම් සුන්දර දෙයක් තවත් නෑ. ඒක හරියට කාලයක් තිස්සෙ මගහැරිල හිටිය තමන්ගෙ අංශුමාත්‍රයක් පවා අඳුනන කෙනෙක් ආයෙ මුණ ගැහිල කෙරෙන පැය ගාණක සුන්දර කතාබහක් වගේ!!

අහම්බෙන් හිතක් හිතිල, නැත්තං වෙන වැඩකට ගිය ගමන් කාලෙ‍ ගෙවල දාන්න සරසවියට ගොඩ වෙලා සුනේත්‍රගෙ අලුත් පොතක් දැක්කම දැඩි පෙරේතකමක් එනවනෙ හිතට. ඉතිං ඒ මාසෙ රිම් එකෙන් නෙවෙයි හබ් එකෙන් ගියත් ඒක ගන්න හිතෙන හිතට වහල් වෙලා විඩින් විඩේ ගත්තු පොත් කීපයක් තිබුණ. ඒත් ලඟකදි ඉඳල පරණ පුරුදු සුනේත්‍රා ශෛලියෙන් මිදිල වෙනම ආරකට ලියවෙන ඒ පොත් කියවන්ඩ ඕනෙ කරන මානසික සූදානම තිබුණෙ නෑ සෑහෙන කාලයක් යනකල්.

කියවන්ඩ හිතෙන් ඇත්තටම ලකලැහැත්තියක් නැතුව එහෙම උඩින් පල්ලෙන් කියවල වැඩක් නෑ කියල හිතිල මං ඒව අමතක කළා.

ඒත් වරද සුනේත්‍රා පිට පටවල අත් දෙක පිහ ගන්න මට බෑ. පහුගිය කාලෙ දිහා සීරුවෙන් හිතල බැලුවොත් මං කම්මැලි වෙලා හිටිය. ඊට පස්සෙ යෝග ව්‍යායාම ව්‍යාපෘතියක් සහ ඇවිදීමේ ව්‍යාපෘතියක් පටන් ගත්ත. කියවනවට, ලියනවට වඩා චිත්‍රපට බලන්න පුරුදු වුණා.

එක වෙලාවකට මටම හිතාගන්න බෑ ඉස්සර පොතක් කොට්ටෙ යට තියාගෙන නිදාගත්තු, පිටුවක් දෙකක් කියවන්නෙ නැතුව නිදාගන්න බැරි වෙච්ච මං කොහොමද එච්චර කල් හිටියෙ කියවන්නෙ නැතුව කියල.

ඒත්.. එහෙම වෙනව.

සමහර කාලවලදි අපිට අපි ආදරේ කරන දේවල් ආදරේ කරන අය මග හැරිල යන්නෙ.. ඒ වගේ පුරුදුත් මග හැරෙනවනෙ..

පහුගිය කාලෙ මට කියවීමත් එහෙම වුණා. සංගීතයට තිබුණ ඇල්ම වුණත් එහෙම ඇල් මැරිල ගිහින් නාන කාමරේට, කුස්සියට සීමා වෙලා තිබුණ.

උයන, කන බොන, නිදාගන්න ඒකාකාරී ජීවිත රවුන්ඩබවුට් එක වටේ දුවල ඒකෙන් මෝහනය වුණාම අවට අපිට පහු වෙලා යන සුන්දර දේවල් අතපහු වුණා කියල හිතන්න වත් වෙලාවක් නෑ නෙ.

ගිය සතියෙ ලැබුණ අහඹු නිවාඩුව මට විඳින්න මග හැරිච්ච දේවල් කොච්චරක් නං ආපහු අරන් ආවද මට දැන් දැනෙනව.

අපේ ගෙදර නිවී හැනහිල්ලෙ ඉන්ඩ කියාපු තැනක්. පෙම්බරයයි අපේ මලයයි නං කැමති අපේ ගෙදර ගියාම විටක් හපාගෙන, චැනල් දාහක් විතර තියෙන අපේ අම්මගෙ ටී වී එක දාගෙන ඒක බලන්ඩ දාල තියෙන ඇ‍ඳට වෙලා දපල ඉන්ඩ තමයි.

මට නං ඉතිං අපේ ගෙදර ගියාම තියෙනව මහ ගොඩක් වැඩ.

බලු රාලය එක්ක හුරතල් වෙන්ඩ, වත්ත පල්ලෙහා කරක් ගහන්ඩ,

තව කොහිල අගල් පහුකරගෙන ගිහින් වත්ත පල්ලෙහා මහ කොහිල වළට එපිටින් තියෙන සුදු වැලි ඇතිරිච්ච ගස් හෙවනෙ පොඩ්ඩක් වෙලා ඉඳගෙන ඉන්ඩ.

කීයක් නං දේවල්ද?

 

අම්මට උයන පිහන වැඩවලට උදව්වෙලා ඉවර වුණාට පස්සෙ පොතකුත් අරන් අලුතෙන් ඈඳපු කුස්සි කෑල්ලෙ පරණ ලී පුටුවට වෙලා පොතකුත් අරන් හරිබරි ගැහුණම ඉතිං ආයෙ පැයකට නැගිටින්න හිතෙන‍්නෙ නෑ..

සුනේත්‍ර‍ගේ සෞම්‍යාලෝකයට මං වහ වැටු‍ණෙ එහෙමයි. හරියට කාලෙකින් අඹ යාලුවෙක් මුණ ගැහිල වගේ.

පොතක් කියවනව කියන හැඟීමම පවා හි‍තේ හැටියට විඳින්න ඕ‍නෙ කාරණාවක්නෙ. කියවල, වරුවක්, දෙකක් සතියක් හමාරක් තනියම කල්පනා කරල හිතේ හැටියට වින්දට පස්සෙ එහෙමම යටපත් වෙන්න දෙන්න නරකයි.

ලියන්න ඕනෙ. හිතෙන බහුබූත සේරම ලියන්න ඕනෙ.බ්ලොග් එකක නැති වුණත් කොල කෑල්ලක කවියක් හරි කුරුටු ගාන්න ඕනෙ. ඒ වගේ වැමෑරීමක් එක්ක තමයි මට මගේ කියවීම පූර්ණ විඳීමක් වෙන්නෙ.

‍හරියට මාව මං මුලා වෙලා ඇවිද ඇවිද ඉන්න අතරේ ඇදල අරන් ඇවිදින්න එපා දැන්වත් පියාඹපන් කියල අහසට විසි කරල වගේ..

ඒ කතාව කෙනෙක්ට අසාමාන්‍ය, අභව්‍ය කතාවක් විදියට දැනෙන්නත් ඉඩ තියෙනව. මට වුණත් නොදැණුනා නෙවෙයි. අනෙත් අතට සුනේත්‍රා දැන් නවකතාවෙදි වුණත් දේශනා ශෛලියකට අනුගත වෙලා කියලත් හිතෙනව. කතාව ගැන දැඩි විවේචනයක් කරල ඒක කියවන්න ඉන්න කෙනෙක්ට අසාධාරණයක් කරන්න යන එක හොඳ නෑ.

මට දැනිච්ච දේවල් දෙක තුනක් ලිව්වාම හොඳටම ඇති.

පොත කියවගෙන යනකොට අපි අපිවම ප්‍රශ්න කරන්න පටන් ගන්න තැනක් එනව.

පශ්චාත් යුද සමයත් පසුකරල වේගෙන් ඉදිරියට ඇදෙනව වගේ දැණුනට, අපි මේ ජීවත් ‍වෙන්නෙ එහෙම කාලෙක විඳින්න වෙයි කියල හිතන් හිටියට වඩා හාත්පසින්ම වෙනස් සමාජ,දේශපාලන, ආර්ථික හැල හැප්පීම් මැද්දෙ නේද කියල හිතෙන්න ගත්තෙ අද නෙවෙයි වුණාට ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්න සෞම්‍යාලෝකයෙන් එලියක් ලැබුණද කොහෙද.

අවුරුදු තිහක් වයස යුද්ධයක් දැක්ක අපිට යුද්ධය අවසන් කළා කියල උදම් ඇනුව, කිරිබත් බෙදුවට දැන් ශ්‍රී ලාංකිකයො විදියට ඇද වැටෙමින් යන්නෙ ‍ගොඩ එන්න ලේසි පාසු අගාධයකට නෙවෙයි කියල දැනෙන එක ටිකක් හිත හෙල්ලිලා යන විදියෙ කාරණාවක් තමයි.

යුද්ධයෙන් මිනිස්සුන්ගෙ හිත්වලට වෙච්ච තුවාල ගැන තාමත් යුද ආ‍වේගයෙන්ම හිතන කෙනෙක්ට මේ කතාව මෙහෙම දැනෙන එකක් නෑ, සනීප කරන්න තුවාල බර ගාණක් තියෙද්දි යුද ජයග්‍රහණය වවාගෙන කන හැටි අත් විඳිනව වුණත් ඒ ගැන මෙහෙම කතා කරන එක ජාතිවාදී, යුධවාදී හිතක් තියෙන මනුස්සයෙක්ට නං තේරුම් ගන්න තියා විඳගන්නත් අමාරු අත්දැකීමක් වෙයි.

කතාව ගැන විවිධ විවේචන තියෙන්න පුලුවන්. ඒත් මං කතා කරන්නෙ ඒ කතාවෙ දේශපාලන දෘෂ්ටිය ගැනම නෙවෙයිනෙ.

ඊට වඩා විඳින්න පුලුවන් තැන් ඒකෙ තිබුණනෙ.

ඒ පොත අස්සෙ උන්න සමහර චරිත, මගෙ හිතේ නොගැලවෙන්නම ඇලිල පැලපදියම් වෙච්ච පොත්වල චරිත මත සමපාත වෙලා ඉන්නව මම දැක්ක.

ඇටමැස්සා, ආතර් බර්ටන්ගෙ ෆාද්රේ ඇවිල්ල පාදිරිසාමිවයි, රිදීවතුරෙ පන්සලේ ලොකු හාමුදුරුවන්වයි වැලඳගත්තු විදියටම ගෝරාගෙ අම්මා ආනන්දමයී දෑත විහිදන් ඇවිදින් සෞම්‍යයන්ගෙ අම්ම පෙ‍ට්ට්‍රෝනිව වැළඳගන්න හැටි දැක්කාම ම‍ගෙ ඇස්වල කඳුලුවලට තිරිංග දාන්න මට හිතුණෙ නෑ..

ඒ හන්ද මට ඒ කතාව අභව්‍යයි කියල බැහැර කරන්න බැරි මොකද්දෝ ගතියක් තියෙනව.

රජෙකුට අං තට්ටුවක් දැම්මම ‍ගොනෙක් වෙනව. ගොනෙකුට ඔටුන්නක් දැම්මට රජෙක් වෙන්නෙ නෑ..” “ගොන්නු රජ වෙනවා. රජවරු ගොන්නු වෙනව.

චන්ද්‍රන් අස්සෙ හිටිය සෞම්‍යයන් එක්ක අත් අල්ලන් යමින් හිටිය ගමන පොඩ්ඩක් නතර ‍වෙලා ගිමන් හරිමින් ඉන්නකොට සුදු ගොනා බැඳපු කරත්තෙ දක්කන ඉස්ටියාවන් මාමගෙ දාර්ශනික කතා මතක් වුණා.

එයා කොහොමද මේ තරම් හොඳ දේශපාලන විචාරකයෙක් වුණේ කියල පුදුමත් හිතුණ,

හිනහත් ගියා අපි අපේ රටේ මේ දවස්වල අහන දකින දේශපාලන කියුම් කෙරුම් මතක් වෙලා.

ඔහොම ගිහින් චන්ද්‍රන් හෙවත් සෞම්‍යයන්ගෙ කතාව දකුණු ඉන්දියාවෙ තිරුතංගගිරියෙන් පටන් අරන් ලංකාවෙන් කෙළවර වුණා!!

ඒත් සෞම්‍යාලෝකයේ කිරණින් උණුසුම් වුණ මගේ කතාව ආපහු පටන්ගත්ත.

මට වැදගත්ම දේ ඒකයි.

කාලයක් අතපහු වුණත් අද රෑටත් පිටුවක් කියවන්නෙ නැතුව නිදාගන්න නොහිතෙන පොත්වල උණුසුමට මම දැන් ආයෙමත් ඇබ්බැහි වෙලා!!

පින්තූරය ලැබුනෙ හිරණ්‍ය සෞම්‍යාලෝකය ගැන ලිව්ව පිටුවෙන්… මෙන්න කැමති නම් ඒකත් කියවන්න.

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

8 Responses to සෞම්‍යා‍ලෝකයේ උණුසුමෙන් සුවපත්ව…!!

  1. Buratheno පවසයි:

    අන්තිමටම සුනේත්‍රාගෙ කියෝපු පොත් හැම එකක්ම මට මහ ඒකාකාරී විදියකටයි දැනුනෙ.. එයා ඉස්සර තරං රහට දැන් ලියන්නෙ නැද්දෝ කියලා මට සමහර වෙලාවට හිතිලා තියෙනවා.. මේකත් හොයාගෙන කියෝමුකො බලාන්ට..

  2. amilac2014 පවසයි:

    මම මේ ඇත්තියෙගේ පත පොත කියෝල නැති නිසා මට අදහසක් නැහැ මේ ගැන.

  3. ජීජී මාමාගෙ කථාවෙන් පස්සෙම මගෙ list එකේ update වෙලා නෑ. කථාවක් ලියන්න කියන්නයි ආවෙ. මග ඇරිල කථා 2ක්ම.

  4. henryblogwalker පවසයි:

    පොත නම් කියවලා නෑ.
    නමුත් ඔහොම මග ඇරෙන දේවල් නම් ඕනෙ තරම් තියෙනවා කියලා අම්ටත් ඩහෙනිලා තියෙනවා.
    එකක් පත්තර කියවීම.
    නමුත් රෑට නිදාගන්නකොට පොතක් කියවන එක නම් තවම කරනවා.

  5. bindi2 පවසයි:

    ජිවන චක්කරේ ඔහොම තමයි නංගියේ …ඕන අගුපිලක ඉඳන් පොතක් කොළ කෑල්ලක් දිහා ඇස්දෙක අලවන් ඉන්න ඇබ්බැහි වෙලා තිබ්බ මටත් ඔහොම තමයි අද. .හැබැයි වෙලාවකට පරන මම මතු නොවෙන්නෙත් නැහැ .මගේ මිනි මොඩල් දෙකක් දැන් ගෙදර ඉන්නවා. එයාලත් මම වගේ වෙයිද .

  6. aruge adaviya පවසයි:

    ///////සමහර කාලවලදි අපිට අපි ආදරේ කරන දේවල් ආදරේ කරන අය මග හැරිල යන්නෙ.. ඒ වගේ පුරුදුත් මග හැරෙනවනෙ//////////
    ඔව්…..සමහර පුරුදු නම් එහෙම මගහැරෙනවා. සමහරක් කොහොමවත් බැහැ.

  7. Ravi පවසයි:

    සවුම්මියාලෝක උනුහුමෙං සුවපත්වෙන්ට මට තාමත්. බැරිවෙච්චි හැටියක් ..අම්මාපල්ල. 😦

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )