පොතක් සහ හිතවත්කමක්..!!

ගෙදරටම වෙලා, කිසිම වැදගත් දෙයක් නොකර ගෙවුන වෙසක් දවස් දෙකකට පස්සෙ යෙදුන සිකුරාදාව ඔපීසියෙන් නිවාඩු දීල තිබුණ අපිට..

එදා පෙම්බරයත් වැඩට ගිය, තනියම හිතුණ දේ කාල හිතුණ දෙයක් කරල ඉන්ඩ යෙදිච්ච දවසක්..

හැමදාම හැල්මෙ දුවනකොට උන්න ගමන් එහෙම දවසක් තියෙන එකේ වටිනාකම දැනෙනව හරියට.

තමන්ටට කියල වෙන් වෙච්ච පුංචි අවකාශයක අතරමං වෙලා වගේ.. අතරමං වෙලාමත් නෙවෙයි..

ඒක හරියට ආයෙමත් පරණ පුරුදු සංකීර්ණ ධාවන තරගය තියෙන බව දැනදැනම, සියල්ල අමතක කරල මොහොතක් ජීවත් වෙනව වගේ දෙයක්!

දඩි බිඩි ගාල අතුපතු ගාල රෙදි සෝදල අස් පස් කරල ඇඳට පැන්න. මාස ගාණක රෝන්දයක් ගහල ඇවිල්ල කලින් දවසෙ ඉඳල මගෙ අතට පයින්නෙ කොයි වෙලේද කියල පේවෙලා බලන් ඉඳපු සුබෝධාලංකාරය හිනා වුණා මට.

පිස්සු කෙල්ල!! පොත හිතනව ඇති

මට හිතුණ.

මං පොත් ගත්තාම කරන වෙනම තේවාවල් තියෙනව. ඉටිකොලවලින් සෙලෝටේප් වලින් අඩුම විදියට පොතට ඇලෙන විදිය සැලසුම් කරල පිටකොල දාල. නම ලියල, ගත්ත දවස ලියල, බුක් මාක් එකක් ‍එහෙම දාල,

හරියට පොතට පණ තියෙනව වගේ, හැඟීම් දැනීම් තියෙනව වගේ

ඊට පස්සෙ නහය අද්දරට අරන හොඳවැයිං හුස්මක් ඉහලට අරන් නැවුම් සුවඳ වින්දාම තමයි හරි යන්නෙ.

ඔය පොත්වල සුව‍‍ඳ මට නං කියවන්ඩ ආකර්ශනයක්!!

ඉතිං වෙනදට මල්ලි මගෙ පොත් අල්මාරියෙ පොත් ඇද්දාම,මට හොරෙන් එයාගෙ යාලුවන්ට දුන්නාම, බලු කන් නවල කියවල තියෙනව දැක්කාම අහ අට පාලිය නටන මගේ සුබෝධාලංකාරය මාස ගාණක් තිබුනෙ ඔපීසිය ඉස්සරහ පෝස්ට් ඔෆිස් එකේ මං නොදන්නා ළමයෙක් ලඟ.

පොතකට වුණත් මං ගැන එහෙම නොහිතුණොත් තමා පුදුම එක අතකට…

උපන්දින තෑග්ගකට පොත් ටිකක් පාර්සල් තැපෑලට දාන්ඩ එතෙන්ට අරං ගියාම දැනට අවුරුදු දෙකකට විතර කලිං අම්පාරෙයි, මඩකලපුවෙයි, මන්නාරමෙයි, තිරිකුණාමලෙයි ඔපිස්වලට වෙඩින් කේක් තැපැල් කරපු, එහෙම නිකංම ඒ පාර්සල් අනුමත කරන්ඩ බෑ කියාපු පෝස්ට් ඔපිස් එකේ කොල්ලන්ටයි, මාමලටයි, එවෙලෙම කේක් සාම්පල් ගිහින් දුන්න ටිකක් පිස්සු කෙල්ලව අඳුනගත්ත මාම එතනම හිටිය ඔසරියක් ඇඳගත්ත නංගිට මගෙ වැඩේ බාර දුන්නෙ මෙයා තමයි අර වෙඩින් කේක් තැපැල් කරල අපිටත් ගෙනත් දුන්නෙ කියල මගෙ කතාවත් කියලමයි!!

මං එතකොටයි දන්නෙ වෙඩින් කේක් කතාව පෝස්ට් ඔපිස් එකේ හැමෝම දන්න, අලුතෙන් එන උන් පවා දන්න එකක් කියල..

මං ඉතිං හිනා වුණා.

තෑග්ගක් වගේ!!

ඈ හැදුවෙ හිතවත් වෙන්ඩ

ඈ එතකොට තමයි දැක්කෙ මං ගෙනත් තිබුණෙ පොත් කීපයක් බව..

එක පාරටම ඈ කලබල වුණා.. සියලුම හැසිරීම් මොහොතකට වෙනස් වුණා. හරියට ඉන්නෙ කොහෙද කියල, තමන් කරන රාජකාරිය මොකද්ද කියලත් මො‍හොතකට අමතක වුණා.

ඇස්වල මහා පොත් පෙරේතකමක් ඇඳුන..

සීට් එකේ ඉඳගෙන හිටිය තැපැල් නිලධාරිණිය යටපත් වෙලා පොත් ගුල්ලියෙක් එක පාරටම එලියට පැන්න.

පොත් හතර අතට අරගත්ත ඈ ඊලඟට කරන්න නියමිත බර කිරන රාජකාරිය වෙනුවට ඉස්සෙල්ලාම කළේ සී‍රුවෙන් ඒවගෙ නම් ටික කියෙව්ව එකයි..

මේක බලල තියෙනව… ආ මේකත් බැලුව..

සු බෝ ධා ලං කාරය… මේක නං බලල නෑ.. අලුත් එකක්ද කොහෙද? ඈටම කියා ගත්තු ඇගේ ‍තොල් පොඩ්ඩක් යටට හැරුණ..

ඒ පාර ඒ ටික එකතු කරල තරාදිය උඩින් තියල මං දිහා බලල හිනාවක් පෑව..

ඈ නොදැනුවත්වම හුස්මක් හෙලුන

සති අන්ත රස්තියාදු ගමන්වල අග සරසවියට ගොඩවැදුණම පොත් රාක්ක අස්සෙ අතරමං වෙලා, මොකක් ගන්නද, මොකක් නොගන්නද කියල හිතාගන්ඩ බැරුව, පොත් හතරක් පහක් තුරුල් කරගෙන, ඒත් එච්චර ගන්ඩ සල්ලි නෑ නේද කියල හිතල මුදල් පසුම්බියට වරද පටවල එක පොතක් ආපහු රාක්කෙට දාල, ඔය හැටි කියවන්ඩ වෙලාවක් නෑ කියල හිතල තව එකක් රාක්කෙට දාල, මාත් එක්කම නොරිස්සුමකින් එක පොතක් හෝ දෙකක් අරන් එතනින් පල්ලම් බැසීම, බස් එකේ පොතක් කියව කියව යන කෙනෙක් දැක්කාම ඒ පොත මොකද්ද කියල දැනගන්නකන් ඉවසිල්ලක් නැතුව ඉඳීම වගේ ඊට සමාන අවස්ථාවල් බර ගාණක් පහු කරල හිටිය පොත් අරන් ආව කෙල්ලට ඈ දැක්කම හිනා ගියා.

 

ඒත් ඒ සැනින් ඈට දුක හිතුණ.. තමන් කියවල නැති පොතක් අනුන් කියවනව දැකීම වගේ බොලඳ සිතිවිල්ලකට ඇගේ හිත වුණත් කොච්චර නං පෙලන්න පුලුවන්ද කියන එක මතක් වෙලා

ඕනෙද කියවන්ඩ?

හදිස්සියෙ හිතුණාම මටවත් අඩංගු නැතුව අනුන්ගෙ හුස්ම අස්සෙ හැංගිච්ච කතා හොයන, ඇස්වල කඳුලු, තොල්වල බර අස්සෙ හැංගිච්ච දුක් දකින මං අස්සෙ ඉන්න හිතුවක්කාර මගෙ හිතට ඒ ප්‍රශ්නෙ අහන්නෙ නැතුව ඉන්ඩම බැරි වුණා..

මොකද්ද….? කිලෝ එකකට ටිකක් වැඩියි..

එයා හිතුවෙ මං බර අහනව කියල පොත් වල

නෑ මං ඇහුවෙ මේ පොත කියවන්ඩ ඕනෙද කියල?

ඈ හිනා වුණා..

ඔවු අරගන්න ඕනෙ..

ඈ කිව්ව.

මං ගෙනත් දෙන්නද දැන්?

ඒ මං

ඇගෙ මුව ඇරුණ..

කලින් දන්නෙ අඳුනන්නෙවත් නැති, රාජකාරිමය කටයුත්තකට ඇවිල්ල විනාඩි පහක් ගතවුණ තැන පොතක් කියවන්ඩ ගෙනත් දෙන්ඩ අහන මේකිට පිස්සුද නැත්තං හැටිද වගේ බැල්මක් ඒක..

මගෙ ඔෆිස් එක මේ ලඟ.. මේ ටික ගන්න ගමන් මම මටත් එකක් ගත්ත. මේ දවස්වල මට කියවන්න වෙන්නෙ නෑ ඉතිං. මං ඔයාට ගෙනත් දෙන්නං ඕනෙ නං.

මං කිව්වෙ ඇත්තමත් නෙවෙයි. හැබැයි බොරුමත් නෙවෙයි. ඕක අරන් ගියා නං මං සර්වරාත්‍රික කියවීමක් දාල එක දවසින් අහවර කරනව කියල දැන දැනත් හිත වඩා ඇලුම් කලා මට වඩා ඈ කියවන එක වටිනව කියල හිතුණ හිතිවිල්ලට

අනේ….!! කමක් නැද්ද?

ඈ තාමත් අදිමදි කරනව, පස්ස ගහනව

තාමත් මූණෙ ඇඳිච්ච විමති රේඛා එහෙමමයි..

ඒත් ඔයා තාම කියවල වත් නෑනෙ… මට දුකයි එහෙම ගන්න. එහෙනං ඔයා කියවල ගෙනත් දෙන්න.

එහෙම එකක් නෑ ළමයා.. ඔයාට කියවන්න ඕනෙ නං කියන්න මං ගෙනත් දෙන්නං.

මට ඒක ඕනෙ වෙලාවක කියවන්න පුලුවන්නෙ. මේ වෙලාවෙ මං කැමතියි ඒක ඔයා කියවනවට

මං නිශේධ බලය අතට අරන් තීරක චරිතයට අනුගත වෙලා ඈට පොත් ටිකේ බරට මුද්දර ගාණ හදල තියන්න කියල පාර පැන්න ඔපීසියට.

පොතේ පළවෙනි පිටුව පෙරලල නමටයි දිනේටයි යටින් මගේ ජංගමයගෙ අංකෙ ලිව්ව.

මං පොතත් අරන් එද්දි ඈ පොත් පාර්සලේ පෙට්ටියකට දාල අලවන්න බලන් ඉන්නව මං එනකල්.

මෙන්න

ඈ පොත අතට ගත්තෙ හරියට නිල් මැණිකක් අතට පත් වෙච්ච රත්නපුරේ මැණික් ගරන මනුස්සයෙක් වගේ..

ඇස් දිලිසුණා!

ආයෙමත් හුස්මක් උඩ පහල ගියා!!

ඈ හෙමින් සැරේ පොත හිනාවක් පිපුණ මූණට ලං කළා

මට මාවම මතක් වෙලා හිනා ගියා!

අනේ බොහොම ස්තූතියි!!

ඈ හිටියෙ තාමත් නන්නාඳුනන මං මේ පොත කියවන්ඩ ගෙනත් දීම සිහිනයක්ද ඇත්තක්ද කියල හිතාගන්න බැරි තැනක වෙන්න ඕනෙ.

මේ මට බයක් නෑ ඔයා ඕක ආපහු මට දෙන එකක් නෑ කියල. ඔයා බය වෙන්ඩ එපා මං ආපහු එන්නං ඕක ගන්ඩ. කියවන්නකො ඉස්සෙල්ල. ‍

මං හිනා වෙලා අවස්ථාව සාමාන්‍යකරණය කරල පාර්සලේ රෙජිස්ටර් කවුලුවට අරන් ගිහින් ඒ වැඩ කරන්න දුන්න.

මං කොහොමද මේක ඔයාට ආපහු දෙන්නෙ??

වැඩකට ඔලුව ඔබාගෙන හිටිය ඇගේ ඩෙස්ක් එකට තට්ටුවක් දාල යන ගමන් ඈට අත වනාගෙන යන්න යද්දි ඈ ඇහුව..

ඔය පොතේ මුල පිටුවෙ මගෙ මොබයිල් නම්බර් එක ඇති. කියවල ඉවර වුණාම මට කෝල් කරන්නකො.. මං ඇවිල්ල ගන්නං.

මං එහෙම කියාගෙන ඔපීසියට යන්න හැරුණ.

එක දවසක් මං හදිස්සියෙ වෙන වැඩකට පෝස්ට් ඔපිස් ගියාම ඈ හිටිය. පොත නෑ.

මං පොත ගෙනියන්න ආවෙ නැති වග දැන දැනත් ඈ දුක් වුණා.

ඔහොම ගිහින් අවුරුදු නිවාඩු, සහ තවත් නිවාඩු සති කීපයක් සුබෝධාලංකාරය ඈ ලඟ ගත කළා.

මං අවුරුද්දට ගමේ ගිහින් ඉන්දෙද්දි අවුරුදු සුබ පැතුමක් එක්ක ඈ කතා කළේ මගෙ ඔපීසිය තියෙන තැන අහගන්න.

ඔයා එන්නෙ නෑ අක්කෙ මේක ගෙනියන්න… මට ඔයා එන දවස කියන්ඩ මං මේක අරන් එනව එදාට.

ඈ හිනා වෙවී කිව්ව

එහෙනං පෝස්ට් ඔෆිස් එක ඉස්සරහින් පාර පැනල කෝල් එකක් දෙන එකයි. එතකොට මං එළියට එන්නං

මාත් හිනා වෙවී කිව්ව

මේ….. මේ පොත ඔයා කියෙව්ව කියල හරි ටික දවසක් ඔයා ලඟ තිබුණ කියල හරි ඒ පොතේ කිසි දෙයක් නැති වෙන්නෙ නෑ.. වැදගත් වෙන්නෙ ඔයා කියෙව්ව එක. ඒක මට සතුටක්!!

සමහර විට මං කියවල ලබන සතුටට වඩා සතුටක්!! ආයෙ සොරි කියන්න ආවොත් ඒ ඉතිං මගෙන් පොත් නොලැබෙන පොටක් තමයි!!

තඩි චොක්ලට් පෙත්තකුත් උස්සං ඇවිල්ල මට පොත ගෙනත් දුන්න ඈ දිගින් දිගටම පමා වීම ගැන සමාව ඉල්ලන්ඩ ගත්තම මං හිනා වෙවීම සැර කළා.

හරි හරි!! ආ‍යෙ ඉල්ලන්නෙ නෑ.. ඈ කිව්ව

මොනවද? පොත්ද? මං ඇහුව

නෑ සමාව!!

ඈටත් නොදැනී පැන්න හිනාව මටත් බෝ වුනා!!

තමා නිසා නන්නාඳුනන සහෘද හදවත් දෙකක් එකිනෙකා හඳුනාගත් ප්‍රහර්ශයෙන් සුබෝධාලංකාරය ඒ වෙලාවෙත් මගෙ තුරුලෙ ඉඳන් හිනාවෙන උණුසුම මට දැණුනා.

 

 

දිග නිවාඩුවක් කියන්නෙ හොඳ හෘද විරේකයක්!!

සති අන්තෙ ගෙදර ගිහින් අම්මත් එක්ක ඉස්තෝප්පුවෙ පඩිය උඩ ඉඳගෙන ආගිය වං හුං කතා කර කර ඉන්න ගමන් ‍එහෙමම දිගෑදිලා සීතල ‍පොළවෙ වැතිරිලා ඉඳීම, සුබෝධාලංකාරයට වහ වැටීම විතරක් නෙවෙයි අල්ලපු ගෙදර නෙලුම් විලෙන් කොල කඩාගෙන ඇවිල්ල පෙම්බරයයි නෑනන්ඩියි එක්ක එව්වට බෙදාගෙන බත් කෑම, අම්ම එක්ක ඉරිද පොලේ ඇවිදින අතරෙ කඩචෝරු කෑම වගේ විකාර වැඩ දෙක තුනකින් මාස ගාණක ඇරියස් කවර් වීමම සතුටක්!!

 

සුනේත්‍රාගේ සුබෝධාලංකාරය කියවපු කම්පනයෙන් කියන්න ආවෙ වෙන කතාවක්!!

කිව්වෙ තව කතාවක්!!

නොකියූ කතාවත් අරන් නැවතත් එන්න හිතමින්

ආයෙමත් කොලොම්පුරේ අධිවේග සතික ධාවන පථයට පිවිසෙමින්!

 

පින්තූරෙ මෙතනින්

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

12 Responses to පොතක් සහ හිතවත්කමක්..!!

  1. සුසර says:

    කොයි තරං පොත් බලන අය හිටියත් තමන් වගේම කියවන කෙනෙක් මුණගැසෙන්නේ කලාතුරකින් .මට හිතෙන්නේ ජනුටත් එහෙම කෙනෙක් හමුවෙලා. බර වචන වලින් කිව්වොත් සහෘදයෙක්. ඔහොම ඇතිවෙන හිතවත්කම් කාලයක් පවතිනවා.

  2. ඔය පොත් වල සුවඳ බලනෙක “ගෑණු වැඩක් “ ද මන්දා. මමත් නොදැනිම කරන දෙයක්.අලුත් පොතක් අතට ආව ගමන් නොදැනිම නහයට කිට්ටු වෙනවා..
    අපේ ස්කෝලෙ ටීචර් කෙනෙක් විශ්‍රාම ගියා .ඇය එදා ඉදලම කීවේ අය වෙනුවෙන් ලොකු උත්සව ලොකු තෑගි මුකුත්ම එපා කියලා.ඇය ඒ තරම් සරලයි.හැබැයි ඇය නොපැකිලව එකමෙක දෙයක් කීවා. “මට තෑග්ගක් දෙන්නම ඕනි නම් පොතක් දෙන්න “ කියලා. ඒකෙනුත් අමාරුවෙ වැටුනෙ අපි. මොකද කියනව නම් , ඇය නොකියවපු පොතක් හොයනෙක ලේසි නැති නිසා. සමහර විට ඇය මේ පොත කියවල නැතිව ඇති. ඇයට ඒ කාලේ අලුත් පොත් ගිහින් දුන්නෙ මම. මමත් මේ පොත ගැන දැන ගත්තෙ අද. ඒ කියන්නේ ඇය මේ පොත කියවල නැතිවැති. ඉතින් ඔයාට ගොඩාක් ස්තූතියි කෙනෙක්ට තෑග්ගක් දෙන්න හොඳ ඔත්තුවක් දුන්නට හරිය…………..

    • Buratheno says:

      // ඔය පොත් වල සුවඳ බලනෙක “ගෑණු වැඩක් “ ද මන්දා. මමත් නොදැනිම කරන දෙයක්.අලුත් පොතක් අතට ආව ගමන් නොදැනිම නහයට කිට්ටු වෙනවා //

      මගුලක් කියනවා, ඒක “පොත්ගුලු වැඩක්”.. මගෙත් පුංචි කාලෙ ඉඳන් තියෙන පුරුද්දක් තමා අලුත් හෝ පරණ හෝ පොතක් අතට ගත්ත ගමන් ඒකෙ සුවඳ විඳින එක.. මං වැඩියෙම්ම කැමැති පරණ පොත්වල සුවඳ විඳින්ට..

    • kathandarakaraya says:

      සරසවි ප්‍රකාශන සහ විජේසූරිය පොත්වල සුවඳ දයාවංශ පොත්වලට වඩා වෙනස්.

      පාසල් කාලේ සෝවියට් දේශය සඟරාවල සුවද යි, චයිනා පික්ටෝරියල් එකේ සුවඳයි මතකද?

      ඇමරිකන් සෙන්ටර් එකේ පොත්වල සුවඳ හරිම අමුතුයි. ඒවා acid free කොල මගෙ හිතේ.

  3. Asokamala says:

    මා ගාව සුනෙත්‍රාගෙ සේරම පොත් තියනවා නමුත් සුබොධාලන්කාරය නම් නැහැනෙ. මම ලන්කාවට එන්න කලින් දන්න කෙනෙක් මේ පැත්තෙ එනවානම් මටත් ඒක එවන්නකො 🙂

  4. Ravi says:

    පොතක් ගත්තම බාල්ල ඒක කියවහල්ල……ආය පොත් ඉඹ ඉඹ ඉන්නෙ ..මොන විකාර වැඩක්ද ඒක? දන්නවද මෙහෙම කිව්වෙ කවුද කියල?

    ” Never kiss a book nor try to read a woman; either would be a sheer waste of time. “

  5. අනේ ඒ පොත මම කියවලා නෑ. අර කලින් පොත් එවපු එක්කෙනා මේක දැකලා තව පොත් ටිකක්වත් එවයිද දන්නේ නෑ.

    සුවඳ බලන වැඩේ මාත් කරනවලු. 🙂

  6. තරූ says:

    සුබෝධාංලංකාරය ආසාවෙන් කියවපු පොතක්…. පොත් කියවන්න දෙන එක, පොත් තෑගි දෙන එක මමත් ආශාවෙන් කරන දෙයක්.. ඔය ජනූගෙ පොත් කෑදරකම, පොත් සත්කාරය මටත් එහෙමම පිහිටල තියෙනවා…. පොත් ගුල්ලියො කියන්නෙ ඒ අයටම වෙන්න ඇති…

  7. නවම් says:

    උඹහෑට කියන්න බන් මට ඔයි පොත මක්කොරලවත් කියවගන්න බැරි උනා නෙව. දෙතුන් විඩක්ම අතට ගත්ත ඒත් මොකන්ද මන්ද ටක්කෙටම මෙන්න මෙකෙයි කියල ඇඟිල්ල තියල පෙන්නන්න බැරි හේතුවක් හන්ද කියවිල්ල යට යනව.

    පොත් ඉඹිල්ල කිව්වම මතක් උනේ, ඔයි පරන පොත් නම් ඉඹින එක එච්චර හොඳ වැඩක් නෙමෙයි, ඔවයෙ තියනව මහ සැර දූවිල්ලක්.

  8. හ්ම්… මටත් තිබුණා මෙහෙම හිතවත්කමක් ඒ කිව්වෙ නන්නාඳුනන කෙනෙක්ට පොතක් දීලා ඇති කර ගනිපු හිතවත්කමක් 🙂

  9. ජනූ හොඳ ළමයෙක්!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s