තක්කඩිකං මට්ටු කරපු පීජී මාමා..!

හා හා ඔය මොනවද ඔය කරන්නෙ.. මගෙ දින‍පොතේ බලි අඳින්නෙ.

නැගිටින්ඩයි කිව්වෙ පුටුවෙන්..

කඩේ බක්කි දෙක තුනට එහායින් පාරට මූණදාල තිබුණ මේසෙ ලඟ ඉඳගෙන අත්තගෙ දවසට එක ගානෙ කොළ තියෙන පුංචි දිනපොතක කුරුටු ගගා හීන ලෝකෙකට ගිහින් ඒක අස්සෙ හිටපු මං උඩ ගියා..

එක පාරට ආපු අත්තගෙ ගෝරනාඩුවට මාව පුටුවෙන් නැගිට්ටුනා..

කටත් ඇද වුණා.. එහෙම්මම ඇල වෙලා බක්කියට වාරු වුණා.

ලැජ්ජාවකුත් ආව… හොඳ වෙලාවට කඩේ වෙන කවුරුත් හිටියෙ නැත්තෙ අත්ත බයින වෙලාවෙ. නැත්තං එහෙම වස ලැජ්ජාවයි.

අපෝ ඕක පරණ දිනපොතක්නෙ… අනේ අත්තෙ ඒකෙ එක කොලේක ලිව්වම මොකද වෙන්නෙ..

ඇද කරගත්තු කටෙන්ම මං අත්තට කිව්ව.

හා ඒක මං මේ කඩේ ගනු දෙනු ලියල තියන්න තියං ඉන්නෙ… උඹ ඒක නහත්ති කළාම හරියනවද?

මට හරි තරහයි..

අපෝ තියාගන්ඩ අත්තම.. අත්තගෙ පරණ ලඩි දිනපොත

හැටි විතරක් ඒකෙ..

අපේ තාත්ත ලඟ තියෙනව ඕනෙ තරං දිනපොත්.. මං ඉල්ලන්නව එකක් නෙවෙයි දෙකක්ම..

හා.. බලං හිටපං. ආං එහෙම තාත්තගෙං එකක් ඉල්ලගෙන ඕනෙ මල් බලියක් අඳින එකයි.. මගෙ දිනපොතේ කුරුටු ගාන්ඩ එන්නෙ නැතුව..

අපෝ අත්තගෙ ආඩම්බර.. එයාට දින පොතක් තියෙනව කියල.. ඉන්ඩකො මං තාත්ත ආවම ලස්සන සුදුපාට කොල ඉල්ලගන්නව.

එහෙම හිත හිතා මං බක්කියෙ තිබුණ එලවලු අරන් එක එක විදියෙ මූණු හදන්ඩ ගත්ත.

දැන් වුනත් මගෙ විනෝදාංශයක් තමා ඔය උයන්ඩ ගෙනාපුවගෙනුත් එක එක මූණු හදන එක.

දැන් ඔහොම මූණු හදනකොට කටට තියන දෙයින් මූණ සම්පූර්ණයෙන් වෙනස් වෙනවනෙ.

ඒකත් නියම වැඩේ.. එක එක විදියෙ මූණු හැදෙන්නෙ.

හරියට බස් එකක යනකොට ඒකෙ යන මිනිස්සුංගෙ මූණු දිහා බලං ගියා වගේ.

ගෝව ගෙඩියක බාගයක් උඩින් එළබටු ගෙඩි දෙකක් ඇස් දෙකට තිබ්බ.

වකුටු මිරිස් කරලක් අරන් කටට තිබ්බ..

හිනා මූණක් හැදුන.

මටත් හිනා ගියා  ඒක දැක්කම..

ඒ පාර ටිකක් ඇද මිරිස් කරලක් තියල බැලුව.

හිනා වෙවී හිටිය ගෝව මූණ එක පාරටම දුක් මූණක් වුණා.

මං කටත් ඒ විදියටම ඇද කරගෙන නහයට තියන්ඩ දෙයක් බලද්දි තමයි දැක්කෙ වට්ටක්ක ගෙඩියක් කපාපු පලුවක් තියෙනව.

ඒකට අත දාපු මම එ‍්කෙන් ඇටයක් අරගත්තෙ නහයට තියන්ඩ.

ඒ පාර එළවලු ටික අදිනව..

කිව්ව නේද කඩේ බඩු විනාස කරන්ඩ එපා කියල දැන් සැරෙයක් මං…

මේසෙ උඩ මාරු කාසි ගැන ගැන හිටියට අත්තට දිවැස් තියෙනවද මන්ද

ඒ මදිවට ‍අද මොකද මේ මං කරන කරන  එකට එපා කියන්නෙ..?

එහෙම හිත හිතා මං වට පිට බැලුවෙ තරහ පිටකරගන්ඩ විදියක් හොය හොය..

අත්ත පොඩ්ඩක් බක්කිය පැත්තට වෙනකල් හොරගල් අහුලපු මං සුටුස් ගාල දිනපොත අරන් කලබලෙන් කලබලෙන් පිටුවක පුලුවන් තරං ලොකුවට බලියක් ඇඳල කඩේ මිදුලට පනින්ඩ යනකොටම තමයි දැක්කෙ කඩේ ඉස්සරහ එල්ලල තිබුණ  කහ පාටට දිලිසෙන කෙසෙල්කැන.

දෙන්නං වැඩේ…

දෙපාරක් හිතන්නෙ නැතුව කෙලින්ම කෙසෙල්කනේ පහලම ඇවරියෙන් ගෙඩි දෙකක් ඇදගන්නකොටම අත්ත දැක්ක වැඩේ

ඔහෙ හිටු… තක්කඩි කෙල්ල

අත්ත බක්කි අස්සෙන්  හැරි හැරි  මිදුලට එනකොට අත්තට හූවකුත් කියාගෙන පස්සෙන් පස්සට පැනල කඩේ මිදුලට පැන්න මාව කඩේට එන්න ආව කාගෙදෝ හැප්පිච්චි.

කවුද වෙදමහත්තය ‍මේ හූකියන්නෙ?? මං අල්ලල ගිලින්ඩද??

විසිවෙලා වැටෙන්ඩ ගිය මාව අල්ලගත්තෙ කවුද කියල බලන්ඩ මට  හැරෙන්ඩ වුනේ නෑ

ඒ පීජී මාම!!!

වෙනදට කොහොම හරි දුවල ගිහිං හැංගුනාට අද අතටම අහු වෙලා

අපොයි දෙයියනේ!!!

ඒ පාර නං හොඳටෝම බය වෙච්ච මං අතේ තිබුණ කෙසෙල් ගෙඩි දෙකත් බිම අතෑරල හූ තියන්ඩ ගත්ත.

කඳුලු බේරෙන්න ගත්ත. පීජී මාමගෙ අත් අස්සෙන් රිංගල යන්ඩ හදන ගමන් අත පය ගහ ගහ විලාප තිබ්බ.

අනේ අම්මේ… මාව බේරගනියෝ!!

පීජී මාම මාව ගිලින්ඩ යනෝ!!

තාත්තේ!!

ආච්චි අම්මේ!!

අත්ත හිනා‍ වෙවී බලං හිටිය..

කඳුලු පෙර පෙරා අඬන හැටි දැක්කම පීජී මාමට දුක හිතිලද කොහෙද මාව අතෑරිය.

දුවල දුවල ගිහින්  මං නැවතුනේ කඩේ අස්සෙන් ගිහින් කුස්සියෙ උයන ගමන් හිටිය ආච්චි අම්මගෙ චීත්තෙ අස්සෙ

මොකෝ මේ..??

කෝ කෝ.. මොකද කරගත්තෙ චූටි පුතා??

අඬන්නෙ නැතුව කියන්ඩකො??

ආච්චි අම්ම තුනපහ බෝතලේ එහෙමම මේසෙ උඩ තියල මාව අල්ලගෙන ඇහුව…

පී… ජී පී… ජී.. මා මා.. මාව ගිලින්ඩ හැදුව..

මං ඉකි ගහන්ඩ ගත්ත!!

ආ.. චි චි අම්ම… ආ.. වෙ නෑ.. මං ..බය වෙලා කෑ ගැහු වා…

ඒ අස්සෙ මාව බේරගන්ඩ නාපු එක ගැන ආච්චි අම්මට නෝක්කඩුත් කිව්ව..

ආච්චි අම්ම ඉතිං  ඒ පාර ඉවිල්ල පැත්තක දාල.. මාත් එක්කම කඩේ ඉස්සරහ පැත්තට ගියා…

පී ජී මාම එතකොටත් කඩේ බඩු ගන්නව.

දැං මං යන්නෙ ආච්චි අම්මගෙ චීත්තෙ එල්ලිලා.. ආච්චි අම්මගෙ පිටි පස්සෙ හැංගිලා.

පී ජී..චූටි පුතාව ගිලින්ඩ හදන්ඩ එපා ආයෙ.. එයා ආයෙ දඟ වැඩ කරන්නෙ නෑ කියල කියනව..

ආ…. එහෙමද…?

එහෙනං කමක්නෑ හාමිනේ… මං මේ හිතුවෙ මේ චූටි මැණිකෙ අල්ලගෙන ගිලින්ඩ වෙන  දඟ වැඩක් කරල කියල හූ කිය කිය මිදුලෙ ඉන්නකොට..

පී ජී මාම රතු තොල් අස්සෙං තැඹිලි දත් පෙන්නල හිනා වුණා.

හම්මේ!!

මගෙ ගෙ හුස්ම හරියට වැටෙන්ඩ ගත්තෙ පීජී මාම කඩෙන් බැහැල ගමේ පාරටත් හැරිල ‍නොපෙනී ගිහිනුත් ටික වෙලාවකින් තමයි ඔන්න.

අත්තගෙ කඩේට  එන යන අ‍යගෙන්  මං පුංචි කාලෙ බයම පීජී මාමට ඔය පී ජී කියනව ඇත්තෙ මොකද කියල මං චූටි කාලෙත් හරියට කල්පනා කරල තියෙනව. අහම්බෙන් දවසක කවුදෝ කියනව ඇහුණ ඒ පිය‍සේන ගමගේ කියන එක කෙටි කරලයි කියල.

මං ඉස්සර නරක වැඩ, දඟ වැඩ කළාම ගෙදර හැමෝම කිව්වෙ පීජී මාම ආව වෙලාවක අල්ලල දෙනව කියල..

ගස් නැග්ගාම, ඔංචිල්ලාවෙ හිටගෙන පැදල අහු වුණාම, මල්ලි එක්ක ආච්චි අම්මගෙ කාමරේ සයිබෝට්ටුව උඩ තියෙන මී පැණි බෝතලේ හොරාකාල අමතක වෙලා ඇරල තිබ්බම ඒකට කූඹි ගිහින් බඩුත් එක්කම හොරු අහු වුණාම, කිරිපිටි හොරා කන්ඩ පුරුදු කරල අහුවුණාම. එකී මෙකී සියලුම නොසන්ඩාල වැඩ වලට බේත තමයි පීජී මාම කඩේට එන එක.

පී ජී මාම උසයි.. කලුම කලුයි.. විටක් කටේ වරදින්නෙ නැති හන්ද දත් පේලි දෙකම තැඹිලි පාටයි.

තොල් දෙක රතු පාටයි..

ඔක්කොටම හපං යාන්තං කැරලි වෙච්ච කොන්ඩේ  වවාගෙන ‍ඉන්නෙ කාක් කූඩුවක් වගේ.. ඇස් දෙක ගොරොක් මද දෙකක් වාගෙ!!

ඒ වුණාට බයම හිතෙන්නෙ ගොරෝසු ඉදලක් වගේ වවාගත්ත උඩු රැවුලට තමයි. දැං අපේ මෙත්තෙ මාමත් උඩු රැවුලක් වවල හිටියට  මොකද අපිව අලිය පිටෙත් ගෙනියනවනෙ.හරි යාලුයිනෙ..  ඒ වුණාට පීජී මාමගෙ රැවුල එයාට එකතු කළේ හරිම බයංකාර පෙනුමක්.

පීජී මාම සිල්ලර බඩු ටික ගන්ඩ කඩේට ගොඩවෙන්නෙ වෙල් වැඩ කරල ඉවර වෙලා ගෙදර යන ගමං

ඉතිං කකුල්වල ගෑවිලා තියෙන මඩ තට්ටුව මිදිල හරියට මේස් දාල වගේ.

සරමත් කැහැපොට ගහගෙන.. දැල් දැල් බැනියමක් ඇඳගෙන ඉන්නෙ පාට මොකද්ද කියලවත් හොයාගන්ඩ බැරි.

එහෙම නැත්තං ‍බොත්තං පියවල නැති කමිසයක් එක උරේක දාගෙන.

ඒ මදිවට කොයි වෙලෙත් මාව දැක්කම ඔරවනව.. මට රවල තනියෙං හිනා වෙනව.

කුස්සිය පිටිපස්සෙ කිතුල් ගහ පාමුලට වෙලා ඉඳගෙන කඩපොලට යන ලියන අත්තට හූ කියනව වුණාට පී ජී මාම දැක්කාම නං මං පැත්ත පලාතක නෑ…

ඔය දඟ වැඩක් කරල අහුවෙලා ගුටි කාපු, බැනුං අහපු දවසක මං ඉන්නෙ පණ බයේ.. පීජී මාම එන‍බව දන්නව නං එහෙම ඉන්නෙ ඉතිං ඇඳක් අස්සෙ තමයි.

පීජී මාමටත් මං  එයාට බය එක තරං විනෝදයක් තවත් නෑ..

පීජී මාම‍ගෙ පවුල ගැන විස්තරයක් මං අදටත් දන්නෙ නෑ..අපි දන්න කාලෙ ඉඳල පීජී මාම අත්තගෙ කඩේට ආව.. අත්ත කඩේ වැහුවට පස්සෙ ඉතිං පී ජී මාම අපේ බංකො‍‍ලොත් කඩේ පහු කරං පරෙයි කඩේට ගියා. යන එනකොට  අපේ කඩ කෑල්ලෙ ඉස්තෝප්පුවෙ ඉන්න අත්ත  එක්ක කතා කරල එ‍හෙම ගියා.

කාලෙත් එක්ක, ඉස්කෝලෙ එහෙම යන්ඩ පටං ගත්තයිං මං අත්ත එක්ක වලි දාගන්නව වෙනුවට දාං අදින්ඩ පුරුදු වුණා..

කඩ කෙරුවාව එහෙමම නැවතිලා ගිය හන්ද කඩේට ආව ගිය අපූරු හිතවත්තු ටිකෙන් ටික ඈත් වුණා.

නිතර දකින්ඩ නැති හන්දම පීජී මාමව අමතක වෙලා ගියා වගේම එයාට තිබුණ බයත් නැති වෙලා ගියා.

අහම්බෙන් පාරෙදි දැක්කොත් පීජී මාමට හිනාවකින් සංග්‍රහ කරල යන්නත් අමතක කළේ නෑ

පස්සෙ ඉතිං මං කැම්පස් යන්ඩ කොළඹ ඇවිත් කොළඹටම වුණාට පස්සෙ අහම්බෙන්වත් පී ජී මාමව දැක්කෙ නෑ..

කොච්චර නං දේවල් වෙනස් වෙනවද අවුරුදු කීපෙකට ගමක වුණත්??

කෙලි පැංචියො, කොල්ලො කුරුට්ටො ඕලෙවල් ලියපු දාට පහුවදා ඉඳල ගාමන්ට් යන්ඩ පටං ගත්ත.

වැස්සෙං බේරගෙන  විගහට අස්වනු ගෙට ගන්ඩ ඕනෙ හන්ද ගොයං කැපිල්ලට අත්තං හොය හොය බලන් ඉන්නව වෙනුවට ගමේ මිනිස්සු සුනාමියක්, බූතයෙක් පාරෙ යනකල් බලන් ඉන්ඩ පටන් ගත්ත.

ඒකෙන් පීජී මාමල වගෙ අයට වැඩත් නැති වෙලා යන්න ඇති.

වෙනද වගේ කඩේ මිදුලෙ පේරගහේ ලැගල ඉන්ඩ තරං ඉස්පාසුවක් වත්, හිතක්වත් තිබුණෙ නෑ..

ආච්චි අම්ම නැති වුණා. අත්තත් නැති වුණා.

ඊටත් පස්සෙ තාත්ත අපිව දාල යන්නම ගියාම ඒ එක්ක කොච්චර නං ‍දේවල් ගියාද?

තාත්ත නැති වුණාට පස්සෙ තමයි අපිට තේරුණේ අපේ ගේ ඉස්සරහ තිබුණ පරණ කඩ කෑල්ල කොයි තරං අබලන් ද කියල..

ඒක කඩන් වැටීමේ අවදානම ගන්න බැරි හන්ද ඉක්මනින්ම අපිට ඒක කඩල බිමට සමතලා කරන්ඩ වෙන බව දැණුනාම හිතට දරාගන්න බැරි අමුතු කාන්සියක් දැණුන. හරියට ඒ ගේත් එක්ක අපිට තිබුණ පුංචි කාලෙ මතකයන් බිමට සමතලා කරල දාන්ඩ හිත හදාගන්ඩ බෑ වගේ එකක්..

පරණ කඩේ තිබුණ තැන දැන් අපේ ගෙයි වහලෙටත් උඩින් අතු විහිදන් ඉන්න නෙල්ලි ගහයි, පිහිඹිය ගහයි, අඹ ගහයි කියන්නෙ ගත වෙච්ච කාලෙ සුලු නෑ කියලයි.

පවුල් පන්සල් වෙලා, රස්සාවල් අස්සෙ අපිත් ගෙදර යන්නෙ දැං එහෙමත් දවසකනෙ. ඒකත් ඉතිං කඩදහිය ලිපේ දැම්මහෙ නෙ.

කො‍හොම හරි මෑතක පාර අයිනෙ ලියද්දෙ ගොයං වැඩ අහවර වෙලා නැති හන්ද අපේ වෙලට සුනාමියක්වත් බූතයෙක්වත් ගන්ඩ විදියක් නැතුව ආපහු පරණ පුරුදු අත්තමට යන්ඩ වුණා. ඉතිං ඔය  ගොයං කැපිල්ලට මායි,පෙම්බරයයි, මල්ලියි, එයාගෙ පෙම්බරියි අපේ ගෙදර ගියා.

කට්ටියම වෙලේ ගොයං  එක්ක ඔට්ටු වෙන අතරෙ මාව ඉතිං සුපුරුදු පරිදි ඇඹුල උයන වැඩවලට හේත්තු වුණා..

දවල්ට ඇඹුලත් අරන් ආවම තමයි දැක්කෙ අපේ ගොයං වැඩවලට උදව්වෙන්ඩ ඇවිල්ල හිටියෙ කවුද කියල..

පී ජී මාම..

ඉස්සර වගේම සරමත් කැහැපොට ගහගෙන අමුණ බැඳපු තැනින් පාත් වෙලා අත හෝදගෙන නැගිටල ඇඹුල කන්ට ආව පීජී මාම මාව දැකල එක පාර කලබල වෙලා  කැහැපොට ගලවල බයාදු හිනාවක් පාල

ආ චූටි නෝනත් ඇවිල්ල… කිව්ව

මගෙ හිත බර වෙලා ඇස්වලට කඳුලු එන්ඩ වැඩි වෙලාවක් ගියේ නෑ. ඉස්සර මාව බය කරපු පීජී මාම එදා මං ඉස්සරහ ඒ තරම් බයාදු වුනේ ඇයි කියල මට හිතාගන්න බැරි වුණා..

ඉස්සර පුංචි කෙල්ලෙක් කාලෙ මාව බය කළාට දැන් ලොකු ගෑනියෙක් වෙලානෙ කියල හිතෙන්න ඇති, කැම්පස් ගිහිං ඉගෙන ගෙන මොලේ පළල් වෙලා කියල හිතෙන්න ඇති, කොළඹ ඉන්න හන්ද ආඩම්බර වෙලා කියල හිතෙන්නත් ඇති.

ඒ හන්ද මාව නෝන කෙනෙක් කරල නම්බු දීල කතා කරන්ඩ පීජී මාමට හිතෙන්න ඇති.

කතා බහ කලත් මං උද්දච්ච කමට කතා නොකර ඉඳීවි කියල බයකුත් තියෙන්ඩ ඇති..

සමහර විට එහෙම අත්දැකීම්වලට මුහුණ දීලත් ඇතිනෙ පීජී මාම.

ඒත් මට දැණුනෙ දරුණු දුකක්!!

කොහොමද පීජී මාමෙ…??

උගුර හිරකරන් එන වේදනාව දරාගෙන මං හිනාවක් මවාගෙන ඇහුව.

ඔහෙ ඉන්නව නෝන. ඔය ගොයං කැපිල්ලට කොළඹ ඉඳංම ආවද?

ඔවු මාමෙ, අද ඉතිං නිවාඩු දවසනෙ.. අනේ අනේ, මට නෝන කියන්ඩ නං එපා පීජී මාමෙ දුවේ කියල කතා කරන්ඩ..

මෙන්න පිඟාන අරන් ඉඳගන්ඩ..

මං ඒ ටික කියා‍ගත්තෙ බොහොම අමාරුවෙන්

හොඳ වෙලාවට අපේ අම්මත් කතාවට එක්කාසු වුනේ..

පීජීට මතකද ඉස්සර දුව පරාණ බයයි පීජී එද්දි.. ඉන්නෙ ඇඳං යට…

මට හිනාවක් ගියා..

ඇයි එක දවසක් මං පීජී මාමගෙ අතටම අහු වු‍ණානෙ අම්මෙ…

එදා මං හිතුවෙම ඇත්තටම මාව ගිලියි කියල!!

ඒක ඇහුණම බිම බලාගෙන ගුණවතී නැන්ද බෙදුව බත් පිඟාන අනන ගමන් හිටිය පීජී මාමට බුරුසු රැවුල අස‍්සෙන් අපූරු හිනාවක් ගියා.

ඒ හිනාවෙන්ම පීජී මාම මගෙ දිහා බැලුව.

ඉස්සර යකෙක් වගේ මාව ගිලින්ඩම බලන් හිටියට ඒ මූණෙ තිබුණ අහිංසක කම මං හරියට දැක්කෙ එදයි. කවදාවත් අමතක වෙන එකකුත් නෑ!

ඒත් සමා වෙන්න.

ඒ  හිනාව අස්සෙ ලියවිලා තිබුණ ලොකු කතාව මට මෙතන ලියල ඉවරයක් කරන්න බැරි වේවි කවදාවත්..

ලිව්වෙ නැතුව නෙවෙයි. ලිව්ව. ඒත් ඒවගෙ මට ඕනෙ ගතිය තිබුණෙ නෑ. ඒ හන්ද කම්මැලිකම පිට දාල එකක්වත් පෝස්ට් කලේ නෑ..

අනික මං බ්ලොග් කියවන්න කම්මැලි වෙලා ඉන්නෙ. කමෙන්ට් කරන්න ඊට වඩා කම්මැලියි.

කොටින්ම කිව්වොත් බ්ලොග් එකට තිබුන ආසාව ටික ටික දිය වෙලා යනවද මන්ද?

ඒ අස්සෙ ඇවිල්ල දැන් ඇති නේද සිසිරතාරක නින්දෙ හිටිය කියල මාව කොනිත්තන හැමෝම වෙනුවෙන් අද මගෙ අසම්පූර්ණ සටහන් අතරින් එකක් පොලිෂ් කරන්ඩ හිතුණ.

කාලයක් තිස්සෙ කුකුළ පහුරු ගාන්නැහෙ ලිව්ව මිසක් හරි දෙයක් ලියල නෑ නෙ. ඉතිං පරණ රිද්මයට එකපාර එන්න අමාරුයි.

සියල්ලෝ මට කමත්වා!!

පින්තූරෙ ගත්තෙ මෙතනින්

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

29 Responses to තක්කඩිකං මට්ටු කරපු පීජී මාමා..!

  1. ප්‍රියන්ත says:

    කිසිම තත්වයක් මත බ්ලොග් ලිවීම නතර කිරීම තහනම් කරමි!

  2. amilac2014 says:

    බ්ලොග් ලියන්න මට හිතෙන්න මම පේස්බුක් ගියාම අනික් බ්ලොග් බැලුවාම මටත් හිතෙන දේ කියල දාන්න ඕනි කියල හිතෙන නිසා.
    හොඳ මතකයන් ගොන්නක් තියෙනවා. මම පුංචි කාලෙ හිටියෙ ගමේ නෛමෙයි. නිවාඩුවකට ගියාම තමයි ගමේ යාලුවො එක්ක එකතු වෙන්නෙ. මං එක්ක බෝල ගහපු යාලුවොන්ට දැන් අවුරුදු හත අටේ පොඩි උන් ඉන්නවා. සමාර උන් ගෙවල් දොරවල් හදාගෙන පවුල් පන්සල් වෙලා..
    අනෙක් ජීවිත එක්ක ගහගෙන යන්නෙ නැතුව එකම තැන ඉන්න එක වෙලාවකට සනීපයි. වෙලාවකට වේදනාවක්..

    • ලියන්න ලියන්න. මං ලියන්න කම්මැලි වුණාට අනිත් අය ලියනවට නං මනාපයි.
      ඇත්ත තමයි. ගහගන්න, තරග කරන්න නොගියත් වෙලාවකට හිතෙනව නේන්නං අපි ඉගෙනගෙන, ජීවිතේ හිතා මතාම අමාරු කරගෙන කියල.

  3. Buratheno says:

    මේවට ඉතිං කොහෙන් කමෙන්ට් කරන්ට පට්ටාං ගන්ටද මන්දා..

    ඉස්සර මට පුරුද්දක් තිබ්බා බත් කාලා ඉවරවෙලා පිඟා‍නෙ ඉතුරුවෙන ඔය එකේක කසිලි බිසිලි එකතු කරලා පිඟානෙ එකේක රූප හදන.. බොලාගෙ ඔය එළෝළුවලින් මූනු හදනවා වගේම තමා ඒ විකාරෙත්..

    ඒ මොකද්ද බං සුනාමියක්, බූතයෙක් කියන්නෙ.!? දැං කාලෙ ගොයං වැඩවලට බූතයොද ගන්නෙ.? එච්චරෝටම මිනිස්සු හිඟද.!? 😀

    • කිව්වට විස්වාසෙට ගනිං අයියෙ මං තාමත් ඕක කරනව. කරපිංච කොළ ඇස්වලට තියල රම්පෙ කෑලි නහයට තියල, ඉතුරු වෙච්ච බත් ටිකක් එහෙම තියෙනව නං ඒකෙං හදනව ත්‍රිමාණ නහයක්ග මිරිස් කෑලි තමයි කටට සිරාවට හරි යන්නෙ. එක එක භාවයන් සහිත මූණු හදන්ඩ කෑම පිඟානෙ ඉතුරු බිතුරු ටිකත් පංකාදුයි.
      ඔය සුනාමි, බූතයො කියන්නෙ අයියෙ මහා පරිමාණ ගොයම් වැඩ කරන යන්තර. සුනාමියට වෙළේ බහින්ඩ බෑ. එයාට කපල කවන්ඩ ඕනෙ. එතකොට වී ටික වමාරනව. හැබැයි බූතය ඉන්නවනෙ. ඌ වෙලේ බැහැල පෝලිමට ගොයං ටික කපල වී ටික වෙං කරනව. අපිට තියෙන්නෙ උරයක් අල්ලන්ඩ විතරයි.

      ඕං මං දවසක් අපේ අම්මට කතා කළා.
      උන්දැ උත්තර දුන්නෙ හෙනම කළබලෙන්.
      මෙන්න කිව්ව දේ..
      මං පස්සෙ කතා කරන්නං චූටි පුතා මං මේ ගුණවතී නැන්දත් එක්ක බූතයෙක් අල්ලන්ඩ පාරට ඇවිල්ල ඉන්නෙ.
      හොඳ වෙලාවට මං බූතයව දන්නව. නැත්තං මං හිතන්නෙත් උඹ වගේ තමයි. අපේ අම්ම බූතයො බැඳගෙන වැඩ ගන්නව කියල 😀

  4. දුකා says:

    මමත් දැන් බොහොම කලාතුරකින් බ්ලොග් කියවන්නේ . . මරේ (මගේ මරනේ) එයාගේ ෆේස්බුක් එකේ මේ ලින්ක් එක දාලා තිබ්බේ මේක එයාගේ හිතට අල්ලපු නිසා කියලා මම දන්නවා. . . මරේ ගේ ටේස්ට් එකයි මගේ ටේස්ට් එකයි එකම වගේ කියලා මට හිතෙන්නේ . . මේ සටහන කියවද්දී කියා ගන්න බැරි මොකද්දෝ හේතුවකට මගේ ඇස් දෙක කඳුලින් පිරුනා . . . මගේ ආදරනීය කරුණාසේන ජයලත් මහත්මයගේ ශෛලියක් මම දැනුනා මේ පෝස්ට් එක ඇතුලේ . . . හරිම අපූරුයි හංස කිංකිනි . . . ඇත්තෙන්ම මාරයි . . ඒත් අහන්න එපා මොකද්ද මාර කියලා කතාවද රටාවද මටත් දැනෙන්නේ නෑ ඒත් දැනෙන එකම දේ මේ පෝස්ට් එක මාරයි කියන එක විතරයි . ..

    • ස්තූතියි දුකා අයියා.
      ලැජ්ජයිත් එක්ක. මං ලියන්නෙ නිකං යලට මහටනෙ දැන්.
      කම්මැලිකං අතෑරල ලියන්ඩ ගන්ඩ ඕනෙ කියල හිතුණට ඒක කෙරෙන්නෙ නෑ. මේක දැම්මෙත් බයෙන් බයෙන්. ලියන්න ඕනෙ කරපු රිද්මය එන්නෙ නෑ කියල හිතිල අතෑරල දාපු ලියවිලි තියෙනව මහ හුඟක්.
      අම්මෝ මං එච්චර හොඳට ලියන්නෙ නෑ. ඒත් ජයලත්ගෙ පොත් ටික ආයෙ කියවන්ඩ දොළ දුකක් ආව අයිය එහෙම කිව්වාම.

      • දුකා says:

        මම නම් ඒවායින් ටිකක් මගේ ලඟ තියාගෙන ආපහු ආපහු කියෝනවා . . සමහර පොත් 25වතාවකට වඩා කියෝලා ඇති . .. කිරි හොද්දක දෙහි රසක් දැනුනත් රිදී නිම්නය පොතම මතකෙට එන තරම් කියෝලා තියෙන්නේ . ..

        මේකේ “ඉස්සර යකෙක් වගේ මාව ගිලින්ඩම බලන් හිටියට ඒ මූණෙ තිබුණ අහිංසක කම මං හරියට දැක්කෙ එදයි. කවදාවත් අමතක වෙන එකකුත් නෑ!” තැනදි මට එක පාරට මතකෙට ආවේ යහලු යෙහෙලි පොත . . හැබෑමයි බන් නගේ

      • රිදී නිම්නය!!
        මතක් කළානෙ ඉතිං. ගෙදර තියෙන පොත් එක එකා උස්සං ගිහිල්ල. දැන් කීප වතාවක් සරසවියට ගිහිං පොත් ටික සේරම අතගාල වෙන මොකක් හරි අරන් ආව. සේරෝම ටික එකට ගන්න හීනෙ තව පස්සට දාල. මේ පාර නං ඉවසං ඉන්ඩ බැරි වෙන ගානයි. අතීතකාමය කියන්නෙත් මහා ලෙඩක් බං අයියෙ

    • Buratheno says:

      ‍යකඩෝ… දුකාගෙ කමෙන්ට් එකක් දැක්කෙ අවුරුදු ගානකට පස්සෙ.. 😉

  5. Hath Pethi Mala says:

    මේකට කමෙන්ට් එකක් නොදා ඉන්න බැරි වුනා කියෙව්වට පස්සේ

    පොඩි කාලේ මටත් හිටිය ඔය වගේම කෙනෙක් ජයවීර මාමා කියලා .උස මහත කෙනෙක් .වරායෙ වගේ තැනක රස්සාව කලේ .සෑහෙන්න දඟ මල්ලක් නිසා පොඩිකාලේ ගෙදර අය මාව බය කලේ ජයවීර මාමට අල්ලල දෙනවා කියලා .එයා අපේ ගෙදර ඉස්සරහින් බයිසිකලේ යද්දී නවත්වලා අහනවා මගේ දඟ වැඩ නැවතිලාද කියලා .ඒතකොට මම පණ බයේ දුවනවා අහල පහලක නොඉඳ . ඒත් ජයවීර මාමා නපුරු නැති බොහොම අහිංසක මනුස්සයෙක් බව තේරුනේ ගොඩක් පස්සේ . අසූතුනේ වැඩ වර්ජනේ කරලා රස්සාවක් නැතිව , සල්ලි නැතිව ගෙදර ඉන්නවෙලා ටික කාලෙකින් මනුස්සයා වහ බීලා මැරුණා .මළගෙදර ගිහින් මූණ බැලුවමයි මට තේරුණේ මම දැක්ක යෝධයෙක් වගේ මනුස්සයා හරි අහිංසක කෙනෙක් කියලා . එදා තමයි මම හොඳින්ම ජයවීර මාමා දිහා බැලුවෙත් .ඒත් ඒ වෙනකොට මනුස්සයා මේ ලෝකෙන් තුරන් වෙලා ගිහින්

    • දුකයි!
      ඒ මිනිස්සු ඇතුලෙන් හරිම අහිංසකයි.
      ඒක අපි තේරුම් ගන්නෙ සෑහෙන්න පරක්කු වෙලා. ඒක තමයි වැඩියෙන් දුක

  6. සමාව: ඔව්/නැහැ
    හරි සමාව දුන්නා.
    ඉතින් ලියාපං.

    • තරහ අවසර උතුමාණනි හෙන්රී!! හැකි විටෙක පරණ පුස්කන ලියමන් ඇද දූලි ගසාබසා දමා පල කරන්නෙමැයි ශපථ ක‍රමි.

  7. Nish says:

    අපි පොඩි කාලේ අපිට ලොකු මිනිස්සු උන අයට අපි ලොකු උනාම අපිව පේන්නේ ඒගොල්ලන්න්ටත් වඩා ලොකුමිනිස්සු හැටියට එහෙම තමා. ඒ ගොල්ලො හිතන්න කැමති නෑ අපිට හැමදාමත් ලොකු මිනිස්සු කියලා……..

    ඇත්ත රිදම් එක 100% නෑ තමා මේකට අපූරුයි කියන්න බැරි උනාට කට ඇරල හොඳා කියන්න පුලුවන් ලියවිල්ලක්. තව පෝස්ට් දෙක තුනක් පොලිස් කොරද්දි ඔය රිද්මේ හරියයි.
    මගේ යුනි කෝඩ් ටික අපරාදෙ උනේ නෑ

    • ස්තූතියි නිෂ්,
      ලියාගෙන යනකොටම ඕනෙ කරන කම්පනය තියෙන්න ඕනෙ මට.. පස්සෙ කොච්චර පොලිෂ් කළත් මේවගෙ පරණ රිදම් එක නං එන්නෙ නෑ ඉතිං. ඒත් තව දෙකක් තුනක් ලිව්වම හරි යයි කියල හිතමු

  8. Chandana says:

    මේකෙ සමහර ඒව මගේ ළමා කාලයම තමයි. අපේ මග ගේ ටික කාලෙකට කලින් කැඩුවා. දැන් අවුරුදු ගාණකට පස්සෙ එන අපේ තත්තගෙ හිතවතුන් හෙම ඒ ගෙපලට ගිහින් “අනේ අපි කොච්චර නං මෙහෙ ….. අයියත් එක්ක කතා කර කර ඉඳල ඇද්ද” කියන්නෙ හරියට තමන්ගෙ ගෙයක් නැති වුනා වගේ. ඒ මිනිසුන් අතර එච්චර ලෙංගතු කමක් තියෙන්න ඇති. මේ කතාවෙත් මට ජනූ ගෙ අත්තා සහ ගමේ මිනිසුන් අතර පේන්නෙ ඒ හිතවත්කම. ඒක ඇත්තටම සුන්දරයි.

    //ගෝව ගෙඩියක බාගයක් උඩින් එළබටු ගෙඩි දෙකක් ඇස් දෙකට තිබ්බ. වකුටු මිරිස් කරලක් අරන් කටට තිබ්බ.. හිනා මූණක් හැදුන. // මේකට නම් හයියෙන්ම හිනා ගියා. 😀

    මෙහෙම ලස්සනට ලියන්න පුළුවන් අයනෙ අම්මපා මේ කම්මැලියි කම්මැලියි කියන්නෙ.

    • අපේ කඩේ තිබුණෙ මහ පාරට මූණලා, ගමට යන අතුරු පාරට මායිම් වෙලා. ඉතිං සම්බන්ධතා ‍ගොඩනැගෙන්න කියාපු පසුබිම.
      අනික අත්තල කිරි අම්මල දැන් අපිට වඩා මිනිස්සු එක්ක ගනුදෙනුවලට ප්‍රියයි. දැන් අපි බලන්නෙ අපේ කාර්යබහුලකම් එක්ක කටුව අස්සට වදින්නෙ කොයි වෙලේද කියලනෙ. එයාල එහෙම නෑ..

      හිහි.. ඕව කරල බලන්ඩකො.. එතකොට ඊට වඩා හිනා යනව.

  9. කදුලු ආවා. දුකත් හිතුනා. එත් අන්තිමට සතුටු හිතුනා. මේ වගේ ස0වේදී මිනිස්සු තාමත් මේ ලොකේ තැන් තැන් වල හරි ඉතුරුවෙලා ඉන්නවානේ කියලා හිතලා… හොද හුස්මක් අරන්… ඉස්සර කාලේ මතකයන් දැන් නැති එකේ දුක ඒකේ පා කරලා ඇරියා. . . 🙂
    කම්මැලි නැතුව ලියන්න අක්කේ අපි කියවන්න ආසයි.

  10. Miyuru says:

    ඈ බං ජනුවො… උඹ අත්තට හූ කිව්වද…? 🙂
    පීජී මාමා ගැන ලියපු අන්තිම කොටස කියවනකොට ඇහැට කඳුලකුත් ආවා… පව්… මටත් මතක් උනා අපේ ගමේ කුඹුරු වැඩ කරද්දි එකතු වෙන මිනිස්සු ටික…
    සුනාමි ගැන අහල තිබ්බට බූතයො ගැන අහල තිබ්බෙ නෑනෙ… අයියෝ… 😀

    • හි හි.. මියුරුවො ඉඳිං ඊගාව කතාව ලියනකල්.
      මාත් ඔය වතා‍වෙ තමා බූතයෙක්ව ලඟටම දැක්කෙ.
      ඌ ‍ගොයං කන හැටියට බය හිතෙනව බං.
      හැබැයි වැඩේ ලේසි වුණාට නහත්තිය නං බොහොමයි.
      ඌ කාපු ගොයං ගස් ටිකේ වී ඉතුරු වෙනව. අනික හලනව ගොඩවල්. අපරාදෙ ඉතිං…

  11. Ravi says:

    අත්තයි ආච්චි අම්මයි ගැන දුකයි බං..උඹට වයස කීයෙදි විතරෙයි එවුන්දල අන්තරා උනේ?

    මගෙ ඔය අත්තල දෙන්නම එක්ක ආශ්‍රයක් තිබ්බෙ නෑ. අම්මගෙ තාත්ත ( එවුන්දැට අපි කිව්වෙත් අපුච්ච කියල ඒ අම්මා කියපු විදිහට ) නැතිවෙලා තියෙන්නෙ මම ඉපදෙන්ටත් අවුරුදු තුනකට වගෙ කලියෙන්. අප්පච්චිගෙ තාත්ත ( එයයිට කිව්වෙ මුත්ත කියල ) මට යන්තමට හීනෙං වගෙ මතකයි. මට අවුරුදු තුනක් වගෙ වෙද්දි උන්දැත් නැතිවෙලා.

    අප්පච්චිගෙ අම්ම ( ආතම්ම ) උන්නෙ බෝම දුර බැහැර අකුරැස්සෙ හන්ද ඔය අවුරුද්දකට සැරයක් වගෙ එහෙ ගියාම මිසක වෙන උන්දැ එක්කත් නෑ පයිරු පාසානයක්. අන්න ඒකට අපෙ අත්තම්ම ( අම්මගෙ අම්ම ) මගෙ ජීවිතේට ලොකුම බලපෑමක් කලේ උන්දැ. මම මේ ලියන අමුතු වචන වලින් තුන් කාලක් උන්දැගෙ හෙහ්, හෙහ්,

    හරි අත්තල අත්තම්මල ගැන ඒ ඇති. උඹත් ආය කියල වැඩක් නෑ බං..ඉඳල ඉඳල එක පාරට ඇහැරල හතර අතට වනාගෙන යනව හනුම දර පලන්නැහෙ.මේ ආයම නිදියන්ට යන්ට ඉස්සර තව දෙකක් තුනක් වත් ලියාල දාපං හොඳ එකී වාගෙ..ඇහුණෙයි? 🙂

    • අපේ තාත්තගෙ අම්මයි තාත්තයි නෙ මට ලඟින්ම හිටියෙ අයියෙ. ආච්චි අම්ම නැති වෙද්දි මට අවුරුදු 8යි. අත්ත නැති වුනේ 93දි.
      අම්මගෙ අම්මයි තාත්තයි නැති වුනේ නං අපි සෑහෙන්න ලොකු කාලෙ.
      අපි ඉතිං සෑහෙන කාලයක් උන්දැල දොගොල්ලම ආස්සරේ කළා.
      මටත් ඔය සබරගමුවෙයි, සත්කෝරලෙයි කලවං භාෂාවක් ඇවිල්ල තියෙන්නෙ උන්දැලගෙ ආස්ස‍රේ හන්ද තමා.
      හනුම දර පලන්නැහෙ කිව්වාම මට තාත්තව මතක් වුණා. ඔයවගේ එව්ව ‍අපේ තාත්ත හරියට කියනව.

  12. hasithag says:

    කතා 2 ක් මතක් වුණා මේ කතාවෙන්. එකක් තමා අපෙත් බාප්පා කෙනෙක් හිටියා මහත විශාල බඩ ගෙඩියක් තියෙන. අම්මලා අයියවයි මාවයි බය කළෙත් එයා ගිලියි කියලා. ඇත්තටම අපිත් පරාණ බයෙන් තමා හිටියේ.
    …
    …අනික් කතාව තමා අපේ ගමෙත් මනුස්සයෙක් ඉන්නවා ආර්. ජී කියලා. එයාට නම වැටිලා තියෙන්නේ එක කකුලක තියෙන කොරයක් නිසා. ඒ කාලේ හිටිය ආර්. ජී. සේනානායක කියන මන්ත්‍රීතුමාටත් එහෙම කොරයක් තිබ්බලුනේ. ඒ නිසා මෙයාටත් ආර්. ජී කියන නම වැටිලා තියෙනවා

  13. මට මේ සටහන කියවලා ඉවරවෙනකොට ඇස් දෙක කඳුළෙන් පිරුනා සත්තකින්ම. ඒ ජනූගේ ලියවිල්ලේ රසවත්කම වෙන්න ඕන. මම ඒ වයසටම අතීතයට ගියා. පිජී මාමාලා වගේ උදවිය කොච්චර නම් අපූරු මිනිස්සුද….මට දරා ගන්න බැරි අපි ලොකුවෙලා ඒ අය දකිනකොට ඒ දක්වන බයාදු කම…මම ඒ වෙලාවට දණ ගහලා වඳිනවා…ඒ බයාදුබව වෙන අතකට හරවන්න.

  14. namal says:

    mage gamth me wage eth dan gamata giya kaalayak mathaka naa.eth sunndara mathakayak thiyenawa.digatama liyanna .ganganath ge ”pani walalu”wala rasaya enawa

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s