පිඟන් කටු පුරාවස්තු සහ සිහින මුහුදු වෙරළ…!!

ඔය දෙගරා ඇවිස්සිල්ලෙං ඩීමන් ආනන්දගෙ පොත් හම්බවෙලා කියවපු එක තව දුර දිග ගියා…

ඔය අස්සෙ ඇවිදින මළමිනිය කියල  එකක් තිබුණ, මැරිච්ච මනුස්සයෙක්ට පණ දෙන.. පණ ඇවිල්ල  ඒ මනුස්සය පාලනය කරගන්ඩ බැරි තරම් දරුණු වෙන… දවල් කාලෙ මිනිස්සු මරල අතුණු බහන් එළියට අදින කතාම වැඩිපුර තිබුණ මේ කතාව කියවල රෑ වෙද්දි ගෙදර ඇතුළෙ කාමරේකින් කාමරේකට යාගන්ඩ බැරි තරං බය වෙලයි මං ඉන්නෙ

එතකොට යමදෙවුදුවගේ භීෂණය කියල එකක් තිබුණ.. පුරාවිද්‍යාඥයෙක් මොකද්ද පුරාණ දේවාලෙක තිබුණ පැරණි භාණ්ඩ අරන් ඇවිල්ල.. ඊට පස්සෙ එතනට අධිපති යම දෙව්දුවගෙන් අඩන්තේට්ටංවලට ලක් වෙන….මේකත් අරකට දෙවෙනි නෑ..
වෙන එකක් තියා ගෙදර තිබුණ සරස්වතී පිළිමෙ දිහා බලන්ඩත් මං ඒ කාලෙ බයයි!!

ඒ වුණාට ඔය පොත්වල බලපෑමෙන් මගෙ විනෝදාංශ සෑහෙන්න වෙනස් වුණා

ඒ කියන්නෙ දැන් ඔය යම දෙව්දුවගෙ භීෂණය කියන පොත කියවපු පාර මටත් ඕනෙ වුනා පුරාවිද්‍යාඥයෙක් වෙන්ඩ…

ඕක පටං ගත්තෙ පිටිපස්සෙ මිදුලෙ ඔංචිල්ලාව බැඳල තිබුණ අඹ ගහ පාමුල තිබිල මට හම්බ වෙච්ච පුංචි පිඟං කටු කෑල්ලකිං..

ලස්සන රෝසමලක් ඇඳල තිබුණ ඒ පිඟං කෑල්ලෙ තිබුණ සියුම් ඉරිතලායාම් ඒකෙ පෞරාණික ගතිය වැඩි කළා….

නියමයි!!!

අහම්බෙන් නොසිතූ මොහොතක පුරාවිද්‍යාඥවරියක් වෙන්ඩ ලැබුණ එක ගැන උද්දාම වෙලා මං මගෙ නැටුම් ගමනිං ගියා ආච්චි අම්ම ලඟට

මොකද්ද ආච්චි අම්මෙ මේ??

මං පිඟං කට්ට අරං ගිහින් ආච්චි අම්මගෙ අතේ තිබ්බම ආච්චි අම්ම මහ මහ හිටපු මැහුම නවත්තල ඇස් පුංචි කරල ඒ දිහා බැලුව…

කෝ බලන්ඩ….ආ… මේ අර ඉස්සර මෙහෙ තිබුණ ජොංසං පිඟං සැට් එකේ පිඟානක කෑල්ලක්නෙ..

කොහෙන්ද ‍මේක??

ආ මට අඹ ගහ මුල තිබිල හම්බ වුනේ.. ‍මේක කොච්චර පරණ ඇතිද ආච්චිඅම්මෙ??

සෑහෙන්ඩ පරණ ඇති පු‍තේ.. මං දීග එන කාලෙ වෙද්දිත් ඔව්ව මෙහෙ ‍තිබුණ.. ඒ කාලෙත් පරණයි ඉතිං..

වැඩේ හරි..

මට දැනගන්ඩ ඕනෙ වුනේ ඒක හා හා පුරා මං විසින්  කළ විධීමත් පුරාවිද්‍යා සොයාගැනීමක් විදියට මට පිලිගන්ඩ පුලුවන් තරම් පරණද කියලයි..

දැන් ඔය ආච්චි අම්මගෙ සෑහෙන්ඩ පරණයි කියන වචනෙන්ම ඒ කටයුත්ත ඉෂ්ට සිද්ධ වුණා!!

ඒ පාර මං ගියා පුරා විද්‍යාඥවරියකට කැණීම් කටයුතු සඳහා උවමනා වෙන උපකරණ ඇඳුම් පැළදුම් සකස් කරගන්ඩ..

වැඩි වෙලාවක් ගියේ නෑ ඉතිං..  ඔය සීගිරිය බලන්ඩ ගියපු වෙලාවක කට්ටිය වලවල්වල බැහැගෙන කනින හැටි  වරුවක් තිස්සෙ හොඳට බලං ඇවිල්ල තිබුණ එක අහක ගියෙත් නෑ…

මොකද්ද දරුවො ඔය කරන්නෙ දැං වරුවක් තිස්සෙ මිදුල  තැන තැන හාර හාර??

කවදාවත් බෝ එක ගැට ගහන්නෙ නැති හන්ද පටි දෙක එල්ලීගෙන තියෙන ගවුං කොටේකුත් ගහගෙන , ඊට උඩිං තාත්තගෙ පරණ අත් දිග කමිසෙයක් ඇඳගෙන, තඩි පං තොප්පියකුත් දාගෙන, දාඩිය හලාගෙන, මිදුලෙ ඇන බාගෙන, පැත්තක් උල් කරපු කෝටුවකිං පොළවට ඇන ඇන හාරන පුරාවිද්‍යාඥවරියගෙන් ආච්චි අම්ම ප්‍රශ්න කළා

ආ මං මේ පුරාවිද්‍යා කැණීමක් ආච්චි අම්මෙ!!

පුරාවිද්‍යාඥවරිය නැගිට්ටම උඩට ඇඳල හිටිය තඩි කමිසෙන් දනිස්සටත් පල්ලට  වැහුණ.. අමාරුවෙං අකුලගෙන හිටිය අත් දෙකත් පඹයෙක්ගෙ වගේ එල්ලිලා තිබුණ..

ඒ මදිවට ගවුමෙ ගැට ගහපු නැති පටි දෙක කමිසෙ පිටිපස්සෙං නරු වැල් දෙකක් වගේ එල්ලුණා!!

ආච්චි අම්මට  පළවෙනි හිනාව පැන්නෙ මාව දැක්කාම

මොකද්ද ළමයො ඔය ඇඳගෙන ඉන්නෙ

ආ.. මේ අව්වෙ වැඩකරන‍කොට මෙහෙම ඒව අඳිනවනෙ…මං මේ පුරාණ පිඟං කටු එක්කහු කරනව..

මගෙ ලඟ තිබුණ බෙලෙක් තැටියක ඒ වෙනකොටත් තිබුණ මං හොයාගත්තු පිඟං කෑලි දෙක තුනක්.. සුදු පාට පිඟානෙ නිල් පාටින් එක එක විදියෙ මල් ඇඳපුව, එතකොට ලා රෝසපාට, මුහුදු නිල් පාට වගේ පාට පාට පිඟන් කෑලි..

ආච්චි අම්මට හිනාව නවත්ත ගන්ඩ බැරි වුණා..

මෙන්න මෙහෙ එනව ඇඟ හෝදවන්ඩ..  පිඟං කටු කොහොමද පුරා වස්තු වෙන්නෙ… පුරාවස්තු කියන්නෙ ළමයො ඔය පරණ බුදු පිළිම වගෙ එව්වනෙ අනුරාදපුරේ දිහාවින් හම්බ වෙන…. කැණීමක් නං මන්ද.. ආං අර ගුණවතී නැන්ද වෙල්වැඩට යන්නෙත් ඕං ඔය වාගෙ ඇඳගෙන තමා..

ආච්චි අම්ම හිනා වෙවී මෙහෙම කියන ගමන් නාවර පෙරාගෙන හිටිය පුරාවිද්‍යාඥවරියව යථා තත්වයට ගැනීමේ මහා මෙහෙයුම දියත් කරන්ඩ ලෑස්තිය..

බෑ බෑ.. දැන්ම බෑ.. පිඟං කටු දහයක් වත් හොයාගන්න කල් මට එන්ඩ බෑ.. මං අම්ම ආවාම ඇඟ හෝදන්නං ආච්චි අම්මෙ

එහෙමත් යන්ඩ පුලුවන්ද මහා වටිනා කැණීමක් අතර මග දාල.. ආච්චි අම්ම කිව්වට??

මේ විකාර සමයං බල බලා ඉන්නවට වඩා රෙදි කෑලි මූට්ටු කළා නං හොඳයි කියල හිතිල වෙන්ඩ ඇති ආච්චි අම්ම හිනා වෙවීම පල්ලං බැස්ස..

කොහොමිං හරි මං ඔය වත්ත වටේම හාරල සෑහන ප්‍රමාණයක් පිඟං කටු එක්කහු කරගත්ත.. එව්ව එක් එක හැඩේ, එක එක පන්නෙ, එක එක මෝස්තරවල..

ඒ මදිවට ඒව දාල තියන්ඩ කෙඳිරි ගාල කෙඳිරි ගාල අම්මගෙන් අර නිල්පාට ශඩස්‍රාකාර මැලිබන් බිස්කට් ටින් එකකුත් ඉල්ලගත්ත..

ඔය මිදුල පල්ලමේ අතුගාල කොල ටික තල්ලු කරන තැන කැණීම‍කිං මට හම්බ වුණා මගෙ මුව පැටියව..

පුංචි කාලෙ මගෙ බත් කැවිල්ල දවසෙ ෆොටෝවල හිටිය, පස්සෙ කාලෙක හුළං ගිහින් ඔත්පල වෙච්ච, ලොකු වෙද්දි අමතක වෙච්ච, හුළං පුම්බපු, ලස්සන මැණික් ඇස් දෙකක් තියෙන  මුව පැටියව….

මහා දුකක් හිතට දැණිල ඌව ගොඩ දාගෙන ඌව සුද්ද පවිත්‍ර කරල ගන්ඩ හැදුවට වැඩක් නෑ ඌ දිරලත් නෑ.. නැත්තෙත් නෑ…

ඒ පාර ආයෙත් විසි කරන්න දුකට අම්‍මගෙන් බැනුම් අහ අහ කුස්සිය මුල්ලෙ තියල තිබුණ…

මිදුලෙ කැනීම් අවසන් වුණාට පස්සෙ මං වත්තෙ පැත්තකිං මහ පාර දිගේ සොලොප්පුවෙන් වැහි දාට විතරක් ගලන ඇල කනින්න පටන් ගත්ත..

ඒක මගේ ගවේශන කටයුතුවල නිම්වළලු පුලුල් කළා..

අහල පහල වතුවල රැඳිච්ච සේරෝම ලට්ට ලොට්ට හෝදගෙන ඇවිදින් අපේ වත්තෙ රැ‍ඳුන ඇළ පුරා විද්‍යා ගවේශනවලට කියාපු තැන..

ඉවුර දෙපැත්තෙ තැන්පත් වෙන්නෙ ඔය පොලිතින් කෑලි, බෝතල් අනං මනං.. ලොකු වැදගත්කමක් නෑ.. හැබැයි  ඔය අතරෙ ලස්සන පාට පාට බෝතල් කුප්පි එහෙම වතුරෙ ගහගෙන එනව.. අන්න එව්ව නං වැදගත්..

‍පරණ සෙල්ලං බඩු, ඒ කියන්නෙ පරණ කාර් කටු, එව්වගෙ රෝද, බෝනිකි කෑලි,

තව බබාලගෙ නැපීවලට ගහන කටු, උල්මාරු කරන පැන්සල්වල විල්ලෙ එල්ලිලා ඉන්න පුංචි ප්ලාස්ටික් සත්තු,

‍ පිහි තල

සොලොප්පුවෙන් එන වතුර එක්ක ගහගෙන ඇවිල්ල තැන්පත් වෙලා කෝපි කැලේ යට හැදිල තියෙන සුදු වැලි තලාව කනින එක හරිම ලේසියි

අනික ඒක අස්සෙ තිබිල  හම්බ වෙන්නෙ අපූරු දේවල්!

පාට පාට මාල කෑලි, අරුමෝසං ආභරණවල අලවල තියෙන මැණික් වගේ  ඔප දාපු ගල් කෑලි, එක එක හැඩේ පබලු,

නානාප්‍රකාර විකාර පුරා වස්තු!!

ඕවගෙ කාල නිර්ණයක් නෑ .. හම්බ වුන වස්තුව කොච්චර පරණ වුණත්, අලුත් වුණත්, කොහොම වුණත්  මට  එව්ව පුරා වස්තු

ගවේශන කටයුතු ඇළ දෙසට යොමු වුණ එක මට දැණුනෙ මං හරියට මැණික් ආකරයකට බැහැල වගේ

ඒ විතරක් නෙවෙයි දවස ගානෙ කැනීම් කරල කරලම වඩා වධිමත්ව කැනිම් සහ ගවේශන කරන්ඩ මගෙම විදියක් හැදෙමින් පැවතුණා….

දවසෙ ගවේශන නිමා කරල අන්තිමට මං එදා දවසෙ මගේ සොයාගැනීම් පරීක්ෂා කළා.. ඒව ගබඩා කළා පරිස්සමෙන්..

කොහෙන් දැනගෙනද මන්ද ඒව ලැයිස්තු ගත කළා තාත්තගෙ පරණ දිනපොතක..ඔහොම කාලෙන් කාලෙට එක එක අරුමෝසං විනෝදාංශ මට තිබුණ

එක කාලෙක සිප්පි කටු…

තව කාලෙක යන යන තැනිං ගල් කැට…

මගෙ කාමරේ අස්සෙ තිබුණෙ නැත්තෙ මොනවද??

අන්තිමට මං කැම්පස් ගියාටත් පස්සෙ කාලෙක අපේ අම්ම මගේ කාමරයට කඩා වැදිල ඒක සුද්ද පවිත්‍රකිරීමේ ව්‍යාපෘතියක් දියත් කරල තිබුණ…

මං ඒ වෙනකොට පහුකරමින් හිටිය වයසට කිසිසේත්ම නොටිනා භාණ්ඩ කියල තීරණය කරල ඒ වෙනකල් මගෙ කාමරේ ඇඳ යට, අල්මාරිය අස්සෙ,  තිබුණ පුරාවස්තු ටින් ටික මිදුලට හලල..

සිප්පි කටු, වරින් වර ගාලු මාතර ගමන්වලදි මං ගෙනල්ල තිබුණ අමුතු බෙල්ලො එකතු කරල, දොළවල්වලින් අහුලං ආව රවුං ගල් තියල, මුහුදු වැලි අතුරල, මගේ පුංචි පොත් කබඩ් එක උඩ මං හදාගෙන තිබුණ සිහින මුහුදු වෙරළත් පේන්ඩ තිබුණෙ නෑ..

ගෙදර ඇවිල්ල කාමරේ හිස්බව දැනිල, පුංචි කාලෙ ඉඳල මාත් එක්ක එක‍ටම හිටිය පුරාවස්තු ටික නෑ කියල දැනගත්තම පුලුවන් නං ඉස්සර වගේ විලාප තියල ‍කෑගහන්ඩ හිතුණ නං තමයි..

ඒත් කැඩිච්ච බිඳිච්ච හිතකිං ඇස්වල කඳුලු පුරවගෙන මං අම්මගෙ වැඩේට ඉඩ දුන්න…

මං හිතන්නෙ මට තේරුණා…අම්ම මට යමක් පැහැදිලි කරමින් උන්න කියල…

සිප්පි කටු, මුහුදු වෙරළවල්, ගල් කැට, වේලිච්ච මල් පහුකරල මට බොහෝ දුරක් යන්ඩ තියෙන බව.

ඒවට මාව දැන් අයිති නෑ කියන එක…..

හ්ම්!!

පහුගිය දවස්වල බින්දි අක්ක කිව්වනෙ මං පිස්ස වතුර ඇද්දහෙ ලියාගෙන ලියාගෙන ගිහිං කියල… එහෙම හිතක් හිතිල ලියාගෙන ගියාට මොකද වැඩක් ඇවිල්ල හිර වුණොත් හිරවුණාම තමයි..

හා දැං තියෙනව වැඩක් මට.. ගැට පද විවරණයක් දෙන්ඩ

පහුගිය ‍ලියවිල්ලෙ තිබුණ දෙගරාව ගැන පැහැදිලි කරන්ඩ කියල ගොඩක් අය ඉල්ලීම් කරල තිබුණ..

සමහරු නං දවසක් දෙකක් බලං ඉඳල කෙලිංම දෝස්මුරේ දැම්ම..

ඕං එහෙනං අහගන්නෙකයි…

ඔය දෙගරාව කියන වචනෙ මං අපේ පෙම්බරයගෙ අම්මගෙන් අහුලගත්ත එකක්..  උන්දැ දෙගරාව කියන්නෙ අපේ ගෙදර තාප්පෙනුයි බිත්තියකිනුයි ආවරණය වෙච්ච ‍පොඩි තීරුවකට..  හරියට අපේ ගෙවල්වල තියෙන‍ ඔය බිත්ති දෙකක් අතරිං යන්ඩ තියාපු පැසේජ් වගේ.

අපේ අත්තගෙ කඩේ තිබුණෙත් හරියටම ඒවගේ එකක්..ඒකට හරියට කිව්ව නමක් නෑනෙ ඉතිං.. ලට්ට ලොට්ට කෑල්ල වගේ  මොකක් හරි ඒ වෙලාවට කියල ඒක හඳුන්නනව ඇරෙන්න..

ඉතිං මං මොකද්ද කලේ??

මුතුගල තිබුණ ලට්ට ලොට්ට කෑල්ල හඳුන්නන්ඩ වලස්ගලිං වචනයක් ආනයනය කළා..

පැහැදිලිය ඔහෙලට??

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි, මුතුගල විත්ති. Bookmark the permalink.

31 Responses to පිඟන් කටු පුරාවස්තු සහ සිහින මුහුදු වෙරළ…!!

  1. Chathuri පවසයි:

    සිත්ගන්න විදියට ලියලා
    එක හුස්මට කියවගෙන ගියා.
    වැඩේ කියන්නෙ ඔයා ළමා කාලෙ ගැන ලියන මේ ජාතියෙ හැම ලිපියකින්ම මාවත් මගේ පුංචි කාලෙට අරගෙන යනවනෙ 😀

  2. henryblogwalker පවසයි:

    පැහැදිළියි. පැහැදිළියි.

    ඔය අර්ථදැක්වීම ඉංග්‍රීසියෙන් කලා නම් space between a wall and a wall වෙනවා නේද? මොකද බිත්තියයි, තාප්පෙයි දෙකම wall නිසා.

    අර උමෙයි මල්ලිගෙයි ෆෝටෝ එකේ ඉන්න පොඩි කෙල්ලට ඔය බෝ එක ගැට න්ගහපු ගවුංකෑල්ලයි, විශාල කමිසෙයි අන්දලා පන්කොළ තොප්පිය දාලා චිත්ත රූපයක් මවාගෙනයි මං කියෙව්වේ.

    ඇයි බං, මේ වගේ ඇති දේකුත් නැති, නැති දේකුත් නැති අතීත සැමරුම් වලට අපි මෙච්චර පෙරේත?

    (අපේ තාත්තගේ පොත් අතරෙත් තිබ්බා ගංතෙර හොල්මන කියලා පොතක් මම හිතන්නේ ඩීමන් ආනන්දගේ. ඒක කියෙව්වාමත් මට කාමරේකින් කාමරේකට යන්න බයයි. )

    • හරියට හරි. බිත්තියයි, තාප්පෙයි අතරෙ ඉඩ තමයි.
      අනේ මන්ද බං. මගෙ ලඟ අදත් තියෙනව ඔය පෙම්බරය මූදු ගිහින් එද්දි ගෙනත් දුන්න ගල්මල් කෑලි, මග තොටදි අහුලපු ලී පතුරු, ගංගාවල පාවෙලා ආව පොඩි කෝටු කෑලි. අනං මනං..
      මේ ලඟදි කාර් එකේ එහෙම ලී පතුරක් තියෙනව දැකපු අපේ යාලුවෙක් කිව්ව අපිව පොලිසියෙන් අල්ලයි ඒව වල්ලපට්ට ගහක හිතල කියල
      වැඩේ කියන්නෙ එව්ව විසි කරන්ඩත් බෑ නේන්නං. තේරෙන්නෙ නැති, විස්තර කරන්ඩ අමාරු බැඳීමක් එව්ව එක්ක තියෙනව අපිට.

  3. kusumsiri edirappuli පවසයි:

    පෙම්බරා වලස්ගලද?, අපේ අසල්වැසි ගමක් නෙ

  4. Pravin Indranama පවසයි:

    මට කාලයක් තිබුන යතුරු එකතු කරන පිස්සුවක්… සෑහෙන්න යතුරු ගොඩක් තිබුනා එකතු කරලා… දැන් ඒවා කොහෙද නෑ…
    ඔය කැලේ අතරමං වෙන, දූපත් වල අතරමං වෙන යොවුන් නවකථා කියෙව්ව කාලෙ තිබුනා ඒ වගේ අතරමංවීමකට සූදානම් වෙන්න උපකරණ සූදානං කරගන්න පිස්සුවක්… කැන්වස් බෑග් එකක දාලා තිබ්බා ඔය පිහියක්, ගිණි පෙට්ටි, ඉටිපන්දං, ඉඳිකටු නූල්බෝලයක්, හණ කඹයක් වගේ නානාප්‍රකාර උපකරණ කැලේක අතරමං උනොත් ජීවිතේ ගැටගහගන්න ඕනෙ වෙන.. 😀

    • හෙහ්! මට තිබුන කී ටැග්ස් එකතු කරන පුරුද්දකුයි, බුක් මාක් එකතු කරන පුරුද්දකුයි. එව්ව කොහෙද මන්ද දැන්?
      කැම්පස් යන කාලෙ මගෙ පැන්සල් පෙට්ටියෙ නැති දෙයක් නෑ. අල්පෙනෙත්තක, රබර් බෑන්ඩ් එකක ඉඳල කැම්පස් එකේදි උවමනා වෙන හැම මංගල්ලයක්ම ඒකෙ තිබුණ. කොල්ලො ඉස්සර කියන්නෙ ඒකෙ බත් ඔතන කොලයක් වුණත් තියෙන්ඩ පුලුවං කියල.
      ඔයාගෙ උපකරණ සූදානම් කරගැනීම ගැන කියෙව්වාම මට ඒක මතක් වුණා.

  5. මීවනපලානේ ජයා පවසයි:

    මේ දරුවා රාවණාවංශිකයෙක් බව පෙනෙනවා..

  6. සිත්තරී මං පවසයි:

    හා හා මේ….. දාඩිය පෙරාගෙන කැණීම් කරන්න යන්න එපා. කාබන් එකතු වුණාම පුරාවස්තු වල කාලනීර්ණය වෙනස් වෙනවනේ
    අනික ඔය අණ්ඩ හැලෙන ඇඳුම් හොඳින් තද කරලා ගැටගහගන්න. මොකද කැණීම් වලේ ඕව හැලුණොත් ඉතිං පුරාවස්තු කියලා වැරදිලා ඒවත් කෞතුකාගාර ගත වෙයි
    (අනික, හිතුමතේ හාරන්න යන්න එපා. පුරාවස්තු පොලිසියෙන් අල්ලන් යයි ඕං

  7. Bindi පවසයි:

    ඊයේ කොටාපු කොමෙන්ටුව පබ්ලිෂ් වුනේ නැහැ අප්පා. ආයේ කම්මැලියි. හැමදාම වගේ අපේ අතීතයත් මතක් වුනා

  8. kathandarakaraya පවසයි:

    දැන් කාලේ නං ඔය ඇල පාරවල් අද්දරින් උපත් පාලන කොපු හමුවෙන්නත් ඉඩ තියෙනවා.

    මේ පහත කතාව බොහෝ දෙනෙක් දන්නවා ඇති. මං හිතන්නේ ඔය උඩින් නම සඳහන් මීවනපලානේ ජයරත්නත් මේ වගේ දෙයක් ලියා තිබුණා.

    ඔන්න රෝමයේ පුරාවිද්‍යා කැනීමකදී කොපර් වයර් කෑල්ළක් හම්බවුණාලු. එතන හියි පුරාවිද්‍යාශයෝ නිගමය කළ ලු අතීතයේ රෝමයේ දුරඛතන තිබිලා තියෙනවාය කියලා.

    ග්‍රීසියේ දී කැණීමකිදී ලැබුණාලු පරණ ඔප්ටික් කේබල් කැල්ලක්. ඒ කියන්නේ එහේ තිබිලා තියෙන්නේ හයි ස්පීඩ් බ්‍රෝඩ්බෑන්ඩ් කියලා නිගමයය කළා ලු.

    ලංකාවේ කැනීමකින් කියසිම වයර් ජාතියක් ලැබිලා නෑ.

    අපේ පුරාවිද්‍යාඥයෝ නිගමය කළා ලු ලංකාවේ ඉස්සර තිබිලා තියෙන්නේ වයර්ලස් ටෙක්නොලොජි කියලා.

  9. Chandana පවසයි:

    මං හිතුවෙ ආයෙ අර තාරකා නින්ද ද මොකක්ද එකට ගිහින් කියල. 😀

    සුළු සුළු වෙනස් කම් තිබුනත් මේ සිද්ධි අපි හැමෝටම වාගෙ පොදුයි නේද. ඒක නිසා වෙන්න ඇති කවුරුත් වාගෙ ඒ පුංචි කාලෙ විස්තර ආයෙ කියවන්න මෙච්චර කැමති.

  10. අයාල් සිත් පවසයි:

    පොත් කියෝපුවහම හැමෝටම එක එක ජාතියේ ලෙඩ බෝ වෙනවා වගේ..මට ඔය එකතු කිරීමේ,නිදන් හෑරීමේ පිස්සුව නම් ආවේ නැහැ.ඒත් වීර වික්‍රම චාරිකා කියෝලා ඒ වගේ ගමන් යන්න ආසාවක් නම් ඇති වුනා.තවමත් ඒ ආසාව එහෙමමයි.අපිට ඉතිං යුධ නැව්,සැහැල්ලු ගුවන් යානා,අස්සයෝ බැඳපු කරත්ත නෑ නෙව.තියෙන යකඩ අස්සයා පිටේ තමයි ගමන.

  11. aruge adaviya පවසයි:

    බොහෝම රසවත් ලිවීමක් සහ සුන්දර මතකයන්…..මට දැන් ලෝභ හිතෙනවා මේ වගේ නිදහසේ සැරසරන්න පුළුවන් වටපිටාවක අපේ දුවව හදාවඩා ගන්න බැරිවුනේ ඇයි කියලා. නගරය හරිම සීමාසහිතයිනේ ළමයෝ. ඇය මේ වගේ කතාවලට හරි කැමතියි වැඩිහිටි තරුණියක් වුනත්.

  12. Ravi පවසයි:

    පොඩි කාලෙ මම බොහොම ආසාවෙන් කියවපු කතා පෙලක් Just William Series එක. ඒ කතා මාලාවෙ එක කතාවක් මට මතක් උනා ඔන්න උඹේ මේ කැණීම් කටයුතු ගැන කියෙව්වම.

    William and the Early Romans

    / ඔය සීගිරිය බලන්ඩ ගියපු වෙලාවක කට්ටිය වලවල්වල බැහැගෙන කනින හැටි  වරුවක් තිස්සෙ හොඳට බලං ඇවිල්ල තිබුණ එක අහක ගියෙත් නෑ…/

    මමත් ඔය පුරාවිද්‍යා කැණීම් වලට සම්බන්ධ ආයතනයක අවුරුද්දක් හමාරක් වගෙ රස්සාව කරපු හින්ද මම දන්නව ඔය සීන් එක. ඔය කැණීම් වලවල් ලකුණු කරන එකෙත් තියනව පිළිගත් ක්‍රමවේදයක්. මීටර් පහේ පහේ ද කොහෙද වලවක් ලකුණු කරන්නෙ. වලවල් දෙකක් අතර මිලිමීටර් 600 පලල කණ්ඩියක් ඉතුරු කරනව Sඇවිදින්ට එහෙම.ඒ වලවල් නම් කරන්ටත් තියනව ක්‍රමයක්. අත්දිග ෂර්ට් ඇඳල පිදුරු තොප්පි දාල තමයි ඔය කැණීම් කටයුතු කරන අය හිටියෙ. අව්වෙන් බේරෙන්ට. එසඳ තිබ්බ උපාධිධාරී ස්ථාපන සේවය කියල එකක්. ටීචිං වගෙ මොකක් හරි හම්බවෙනකල් දුන්නු තාවකාලික රස්සාවක්. ගොඩක් ඔය ස්ථාපන සේවය යටතෙ වැඩ කරපු උපාධිධාරීන් තමයි ඔය කැණීම් කටයුතු කලේ.නැත්නම් කම්කරුවො කැණීම් කරනව අධීක්ෂණය කලේ.

    / කෝ බලන්ඩ….ආ… මේ අර ඉස්සර මෙහෙ තිබුණ ජොංසං පිඟං සැට් එකේ පිඟානක කෑල්ලක්නෙ../

    එංගලන්තෙ ජොන්සන් බ්‍රදර්ස්ලගෙ පිඟන් ලෝක ප්‍රසිද්ධයි. ඒ කාලෙ දෑවැද්දට දෙනවයි කියන්නෙත් කෑලි පණස් හයේ ජොන්සන් පිඟන් බඩු කට්ටලයක්. අපෙ අම්මගෙ මහ ගෙදර ඒ කාලෙ තිව්ව වෙජ්වුඩ් පිඟන් සෙට් එකක්. එව්වත් මයෙ හිතේ වටිනව සෑහෙන ගාණක්.

  13. සිඳු පවසයි:

    අක්කා ලියන ඒවා දැක්කම පොඩි කාලෙ එක එක ඒවා මතක් වෙනවා…..
    හිනාත් යනවා, දුකත් හිතෙනව

  14. Miyuru පවසයි:

    සොලොප්පුව කියන්නෙ මොකක්ද කියල කියන්නකො අනේ…
    ඔය බය හිතෙන පොත් ජාති කියෙව්වම මටත් උනේ ඔය සන්තෑසියම තමයි… අන්තිමට එළියට බහින්න බැරුව දඟලනකොට අම්මා බනිනව විකාර පොත් කියවලාය කියල….
    මරු පුරාවිද්‍යා ගවේශණ… 😀
    ඔය උඩම තියෙන පින්තූරෙ දැක්කම මට මතක් උනා අපේ අත්තම්ම ළඟත් ඔය වගේ නිල්පාටින් මෝස්තර තියෙන පිඟන් බඩු සෙට් එකක් තිබ්බ නේද කියලා… ඒවයෙ යට පැත්තෙ වීඕසී කියල ගහල තිබ්බ වගේ මතකයි… අර ඕ සී අකුරු දෙක කැපිල යන්න පත වී අකුරක් ගහල තිබ්බෙ…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )