බක්කි ඇවිස්සිලි සහ දෙගරාවේ නිදන් හෑරිලි…

ඔය අපේ අත්තගෙ කඩේ තියෙනව නේද??

නැති  දෙයක් නෑ ඒකෙත්…

පරණ ටින් අස්සෙ සිවංගුරු, පල්මානික්කං, දුම්මල,

ටොපි බෝතල් දෙක තුනකුයි, පරණ ෂෝ කේස් එකක දාපු ඔය බනිස් පාං අනං මනං ටිකකුයි විතරයි කඩේටම තිබුණෙ අලුත්ව කියල..

ආ ඇයි ආච්චි අම්මට කියල කෑලි රෙදිවලිං මස්සගත්ත කොට්ට උර එල්ලල තිබුණ විකුණන්ඩ..

තව ඊට වඩා ලොකු රෙදිකෑලිවලිං ආච්චි අම්ම මහපු ගවුම් පොඩි දෙක තුනකුත් තිබුණෙ ඔය..

මගෙ විනෝදාංශෙ තමයි ගෙදර ඉන්නව නං අත්තගෙ පරණ කඩේ ටින් බෙලෙක්ක ඇරල බලන එක..

එව්ව මොනවද කියල අත්තගෙන් අහල දැන ගන්න එක.. එව්ව අරගන්නෙ මොනවටද කියල දැන ගන්න එක…

ඕව අස්සෙ තියෙනව මාව මායාමය ලෝකෙකට පාවෙලා යන්න  හේතුවෙන තරං වටිනා දේවල්

එක වතාවක් මට හම්බවුණා ටෙනිස් බෝලෙකට වඩා පොඩ්ඩක් පොඩි ජිල්  බෝලයක්..

මට ඒක දැණුනෙ නිකං ඔය මායා කාරියංගෙ අංජනං බෝලයක් අතට ලැබුණ වගේ..

මං ඕක අරං අව්වෙ තියල බැලුව..

අත්තගෙ කෑලි තුනේ ටෝච් එක ගහල  ඒක හරහට එළිය යන හැටි බැලුව රෑට ලයිට් නිවල…

දැන් නං කොහෙදවත් මන්ද..

ජීවිතේ එක වයසකදි අපි ඇතුළෙ අපූරු අපූරු චරිත ගොඩක් ජීවත් වෙනවනෙ..

මන්තරකාරියො, රහස්පරීක්ෂකයො, ටිං ටිංල, දොස්තර හොඳ හිතල,

ඒ අස්සෙ, කුල‍සේන ෆොන්සේකා වගේ රචකයො ලියපු වීර වික්‍රමාන්විත වැඩ කරන කොල්ලොන්ගෙ පොත් කියෙව්වාම ඔය උණ දෙගුණ තෙගුණ වෙනවනෙ ඉතිං…

ඉතිං ඒ කාලෙ මං අස්සෙත් හිටිය එක එක ජාතියෙ එව්වො..

පාඩං වැඩ, ගෙදර වැඩ කරනවට වඩා මං ආස කරපු, ඔය හැම චරිතයක් ම එක්කාසු වෙලා මටම කියල හදල දීපු වෙනම ලෝකයක් තිබුණ..

ඉස්සර අපේ අම්ම කියන්නෙ මට කියල වැඩක් කරවගන්ඩ නං දහ පාරක්වත් කියන්ඩ ඕනෙ කියල..

මට මොනව හරි ගේන්න කියල මං හා කියල ගියාට මොකද මට මතක නෑ ඒ ගේන්න කිව්වෙ මොනවද කියලවත් තප්පර දෙක තුනක් යද්දි..

එව්ව ආපහු මතක්කරගන්ඩ තමයි මගෙ අමතක මතක දොර තිබුණෙ..

එක අතකට අම්ම ඔය කියන දේවල් ඇහෙන්නෙ නැතිව යන එක, මතක නැති වෙන  එක අහන්ඩත් දෙයක්යැ?

ඇයි හිතේ කීයක් නං දේවල්ද?? කීදෙනෙක් ට ඕනෙ කරන  දේවල් කරන්ඩ කියලද??

අනික දවසකට පාරක් බැනුමක් අහගත්තෙ නැත්තං නිකං වේලක් කාල නෑ වගෙ නෙ ඒ කාලෙට..

ඉතිං ඉස්කෝලෙ වැඩ කරනවට වඩා මගේ උනන්දුව වැඩියෙන් තිබුනෙ, පොත් කියවිල්ලටයි නිදං හෑරිල්ලටයි තමයි..

කඩේ පැත්තකිං තිබුණ ලට්ට ලොට්ට දාපු දෙගරාව තමයි මගෙ නිදන් ආකරය..

නියම රහස් පරීක්ෂක ගුහාව,  ජනේලයක් වත් නෑ…පුස් ගඳත් තියෙනව ගාණට.. කලුවරයි කෑලි කපන්ඩ පුලුවං වෙන්ඩ..

ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල, කාල, ඉස්කෝලෙ වැඩ තියෙනවං නං උඩිං පල්ලෙං ඒව ගහල දාල, අත්තගෙ කොට්ටෙ යටිං කෑලි තුනේ ටෝච් එක අරන්  තමයි මං යන්නෙ  මගෙ දෙගරා නිදං හෑරිල්ලට

ඒකෙ නැති දෙයක් නෑ… පරණ බීරලු කොට්ටයක්, පාට පාට බෝතල් රාක්කයක්, ආච්චි අම්මගෙ  හද්ද පරණ අඩි උස සපත්තු, තාත්තලගෙ පරණ පොත් පෙට්ටි, ලන්තෑරුං කෑලි, එතනිං ගියාම බූරු ඇඳං කෑලි, පරණ බිල්පොත්, පුංචි දිනපොත්,

ඔය දිනපොත්වගෙ එකක තමයි අත්ත ඉස්සර මට තනි අකුරට පිලි එක්කාසු කරල වචන ලියල පෙන්නන්නෙ..

පුරා පේර පඳුර, කොකෙක් කාක්කෙක් කෑවා, වගේ එව්ව අත්ත ලියනව ඔය පොත්වල මට පේන්ඩ..

වැඩේ තියෙන්නෙ  ඔය දෙගරාවෙ තිබුණ කිසි දෙයක් වටින දේවල්වත් කිසිම වැදගැම්මකට නැති දේවල්වත් ‍නොවුණට ඒව කොච්චර බැලුවත්, කොච්චර අතපත ගෑවත් එපා වෙන්නෙ නැති හැටි නෙ…

ඔන්න එතන ඔය පරණ පොත් ගොඩක් අස්සෙ තිබිල මට හම්බුණා මැජික් පොතක්!!

ඒකෙ තිබුණ, මිනියකට පණ දෙන හැටි, බිත්තරයක් බෝතලේකට දාන හැටි, බිත්තරයකයට කියල හූ කියවන හැටි, බිත්තරයක් පියාඹවන හැටි!! ගල් මෙලෙක් කරන බේතකුත් තිබුණ…

මැරිච්ච මිනිහෙක්ට පණ දෙන  එක කොච්චර ලොකු හපංකමක් වුණත් මට ඒක කරන්ඩ නං හිත හදාගන්ඩ බැරි වුණා.. එච්චරටම බයයි මං පොඩි කාලෙ කවුරු හරි මැරෙනවට..

මිනියටත් වඩා මිනී පෙට්ටිය‍ට බයයි පණ යන්ඩ.. රෑට නින්දෙනුත් බය වෙන තරං ඒ කාලෙ..

බිත්තරේ බෝතලේකට දාන එක නං තාත්ත කරල පෙන්නල තිබුණ..  ඒ හන්ද ඒක අතෑරිය..

ඒ පාර මට ඕ‍නෙ වුනේ බිත්තරයක් පියාඹවන්ඩ හරි හූ කියවන්ඩ හරි!!

මට හරියට මතක නෑ ඉතිං හොයාගන්ඩ ඕනෙ වෙච්ච දේවල්…

හැබැයි ඒකෙ තිබුණ විදියට වැඩේට රසදිය ඕනෙ වෙනව.. රසදිය දාපු බිත්තරේ පින්නෙ තියන්ඩ ඕනෙ පුරා රැයක්..

එතකොට හූකියනවද කොහෙද

ඕකට රසදිය හොයාගන්ඩත් මං අත්තගෙ ටිං බෙලක්ක ඇද්ද..

ම්හු!!

වැඩේට ඕනෙ කරන කිසිදෙයක් අත්තගෙ බක්කි අස්සෙ තිබුණෙ නෑ නෙව

ඒ වැඩේ හරිගියේ නැති තැන මං කලුගල් මෙලෙක් කරන්ඩවත් ඕනෙ කියල ඒකට ඕනෙ දේවල් එක්කාසු කරන්ඩ ගත්ත..

අපේ තාත්තට නං හොඳටම හිනා  ඉතිං මගෙ ව්‍යාපෘති ගැන.. ඔය ඉතිං මට හිනා වෙනවම නෙවෙයි… එයාගෙ පොඩි කාලෙ මතක් වෙලා වෙන්ඩ ඇතිනෙ..

ඔය ගල් මෙලෙක් කරන බේතටත් මොකක්හරි දෙයක් තිබුණ හොයාගන්ඩ අමාරුම..

ඔය වැඩේ කොච්චර නං මගෙ හිතට වැදුණද කියනව නං මං අහුවුණ අහුවුණ දේ දාල බෙහෙත් අඹරන ගලේ අඹරල තලපයක් වගේ හදල කලුගල් කෑලිවල ගාල බැලුව මෙලෙක් වෙනවද කියල..

ඒ පොත් පෙට්ටි අස්සෙ තිබුණ තව ශාරීරික විද්‍යාව හා ස්වසතාව කියල පොත් පෙලක්…හරියට ‍අපේ කාලෙ සෞඛ්‍ය පාඩම වගේ තාත්තල‍ගෙ කා‍ලෙ උගන්නන්ඩ ඇත්තෙ ඒපොත් තමා..

මං එව්ව ‍සේරම කියෙව්ව.. එතනිං ගිහාම තව තිබුණ සමාජ අධ්‍යයනයට පොත් පෙළක්, ඒවගෙත් නැති දෙයක් නෑ අපේ දෙගරාව වගෙම තමා..

යකඩ කර්මාන්තය, වීදුරු හදන හැටි, ‍ගොවිතැන් කරන හැටි, එතකොට පිග්මි, ඉග්ලු ගෝත්‍ර ගැන.. මං ඉස්සෙල්ලාම ඉගෙනගත්තෙ තාත්තලගෙ පොත් කියවල තනියෙං..

චිත්ත රූප මව මව එව්ව කියවන එක මට ඉස්කෝලෙ පන්තියෙ ඉගෙන ගන්න එකට වඩා අල්ලල ගියා

මට පුදුමත් හිතුණ පස්සෙ කාලෙක අන්තර්ජාලෙ වැඩියෙං කරක් ගහන්ඩ පටං අරං යූ ටියුබ් ‍එකෙන් යකඩ හදන හැටි දැක්කාම.. ඒ කාලෙ යකඩ කර්මාන්තය ගැන ලියල තිබුණ දේවල් ගැන මම හිතේ ඇඳගත්ත විදිය තිතට හරි නේද කියල හිතිල..

ඔය දෙගරාව අස්සෙ ඉන්නකොට කාලෙ ගතවෙනව තේරෙන්නෙ නෑනෙ.. ඔය පොතක් අරං පුටු කබලක වාඩි වුණාම ඉතිං ටෝච් එළිය ඇති හොඳටෝම පොත ඉවර වෙනකල් හරි කියවන්ඩ…

අම්මල හතර අතේ කෑගහල ප්‍රතිචාරයක් නැති තැන මාව ‍හොයන්ඩ එන්නෙ ඔතෙන්ට තමයි..

මක්කරනවද මන්ද මේ ළමය.. මොකෙක් හරි සතෙක් කව්වගෙන තමයි නවතින්නෙ අම්මප…

දවසක් මගේ දෙගරා සංචාරයෙන් පස්සෙ කෑගහන සද්දෙ ඇහිල මීයෙක් වගේ කුස්සියට ආව මට බැනුම් කෝටියයි..

හැබැයි එතන තිබුණ ඩීමන් ආනන්දගෙ පොත් ටික නං මං අරං ආව කවුරු හරි ඉන්න වෙලාවට මිසක් දෙගරාවෙ තනියෙං කියවන්ඩ පුලුවනෑ එව්ව… අනික එව්ව කියවන්ඩ තහනං කරලනෙ තිබුණෙ…

කොච්චර කිව්වත් ඔය තහනං කරපුව කියවන්ඩ බලන්ඩ ඇතිවෙන ආසාවල් ගැන මං ආයෙ අමුතුවෙං කියන්ඩ දෙයක් නෑනෙ නේද??

ලස්සන වැඩේ කියන්නෙ මං මිනීවලටත් බයයි, මිනී  පෙට්ටිවලටත් බයයි, ඒත් ‍පණ නහගෙන හරි ඔය කතා කියවන්ඩත් ඕනෙ.. .අපරාදෙ කියන්ඩ බෑ ඕවගෙ චරිත ආයෙ නෑ හිතේ මැවෙනව නිකං අපි දැක්ක වගෙ..

දැං ඔය කියන දවසෙත් මං ඩීමන් ආනන්දගෙ  යම දෙවු දුවගේ භීෂණය වගේ පොතකුත් අරං තමයි ආවෙ..

තාත්තත් ඇවිල්ල… මං ‍කොච්චර වෙලාවක් දෙදරාවෙ හිටියද කියන්ඩ මං දන්නෙවත් නෑ….

ඇස්කොණෙං මාවත් පොත පිටිපස්සට කරල හංගගත්ත මගෙ අතත් නිරීක්ෂණය කරපු තාත්ත, හිනාවක් දැම්ම මට..

පහුවදා නිවාඩු දවසෙ හැන්දෑවෙත් මං ගියා දෙගරා හෑරිල්ලට…

එදත් ඉතිං මං ලට්ට ලොට්ට අස්සෙ අමාරුවෙන් පය රිංගවගෙන ටෝච් එක රාක්කෙ මුල්ලක රඳවගෙන යාන්තං එළිය කරගෙන රාක්ක ඇද ඇද ඉන්න‍ අස්සෙ අමුතු එළියක් දෙදරාවෙ කට හරියෙං එන හැටි යාන්තමට ඇහැ ගැටුණ..

දවාලෙ කියව කියව හිටිය යම දෙව්දුවගේ භීෂණය පොත මතක් වෙලා දාඩිය දාන්ඩත් ගත්තම නං හිතුණ මේ වෙලාවෙ දෙගරාවට නෑවිත් හිටිය නං ඉවරයි කියල..

ඒත් දැං ආපහු යන්ඩත් බෑ.. ගියොත් ආයෙ එන්ඩ වෙන්නෙ නං නෑ…

ඒ හන්ද හුස්මක් හෙළල යම දෙව්දුව අමතක කරල  මම ආයෙමත් මගේ වැදගත් ගවේශන ආරම්භ කරන්න තීරණය කළා??

හැබැයි ඊලඟ මොහොතෙදි  සියල්ල වෙනස් වුණා!!!

යන්තං එන එළිය ටික ටික වැඩි වුණ හැටි ඉවෙන් වගෙ දැණිල ඔලුව හරවල බලපු මං දැක්කෙ දෙගරා කටෙං මතුවෙච්ච කට රතුපාටට එළිය වෙච්ච යකා ඔලුව කරකවන හැටි..

උගෙ දිව එලියට ඇදිල රතුම රතුපාටයි.. දත් තිස් දෙකම පේනව!!.. ඒ අස්සෙ බෝල ගෙඩි ඇසුත් හොඳටම ඇරිල…

කලබල වෙලා උන්න හිටිතැං අමතක වෙච්ච මං කකුල් ඇදල ගන්ඩ හැදුවෙ දුවාගන්ඩ..

ඒත් යකා ඉන්නෙ  දෙගරා කට  ලඟ… ඌ එතන හිටගෙන ඔලුව කරකෝන හැටි දැක්කම මට හීන්දාඩිය දැම්ම…

බුදු අම්මෝ කියවෙන එක අහන්ඩත් දෙයක්ද??

ඒ විතරක් නෙවෙයි.. කරුවලේ  ලට්ට ලොට්ට අස්සෙ කකුල් අදින්ඩ ගිහිං පැටලිලා එහෙමම තාත්තගෙ පරණ ඩෝල්කි කොටයක් උඩ ඉන්දවුණා..

ඒ පාර යකා දෙගරා කට ලඟ තියල තිබුණ කසි කබල් රාක්කෙ හොල්ලන්ඩ ගත්තම ඒකෙ අහුරල අඩමානෙට තිබුණ පරණ ටිං කබල් ටික සේරම බිම වැටෙන්ඩ ගත්ත මහ සද්දෙං..

මං කෑ ගැහුව!! අපරාදෙ කියන්ඩ බෑ ගිය ආත්මෙ ගණ්ටාර පූජ කරපු පින මේ ආත්මෙ  පල දීල හන්ද පුලුවන් තරං හයියෙං කෑ ගැහුව…

ඒ  කෑ ගැහිල්ල අස්සෙ අම්මයි ආච්චි අම්මයි කුස්සි කෑල්ලෙ ඉඳල කෑ ගහගෙන එනව ඇහිල යකා  බයවෙච්ච පාර ඌ දෙගරාවෙ  කට ලඟ තිබුණ  බැරල් එකට මුවා වුණා මට යාන්තමට පෙණුන…

ඒ පාර මං මුලු හයියම දාල කෑ ගැහුව..

ආච්චි අම්මේ …. ඔතන බැරල් එක ලඟ යකා හැංගුනෝ

නෑ නෑ මේ මම… මම..

යකාගෙන් පිට වෙච්ච තාත්තගෙ හුරු පුරුදු කටහඬ ඇහුණම තමයි මට පොඩ්ඩක්  විතර පියවි සිහියට ආවෙ…

යකා එහෙම කියාගෙන නැගිටින ගමං ආයෙමත් දත් විලිස්සල රතු පාට කට එහාට මෙහාට වැනුව..  අම්මගෙ මූණ ලඟටත් විරිත්තල ආච්චි අම්මටත් විරිත්තුව..

හරියට අර දහ අට සන්නියෙ යකෙක් වගේ..

හූ.. හැක් හැක් හැක්!!!

ඒ අවුඅස්සෙ  යකා පන්නන්ඩ අතේ තිබුණ පොල් උලත් අරං එතෙන්ට කඩාපාත්වෙච්ච අත්තගෙ හිනාවත් ඇහුණ…

ආච්චි අම්මටයි අම්මටයි නං තරහ ගිහිං හොඳටම..

කොච්චර එපා කිව්වත් අහන්නෙ නැතුව මේක අස්සෙ කරග්ගහනවට හොඳ වැඩේ!!

අහුවුණාදෙංකො මට ආයෙ එනව මේ පැත්තට…

අම්මට නං හොඳටම තරහ ගිහින්

ඇටපල් කලුවරේ ඉඳගෙන මේකි මේක අස්සෙ මක්කරනවද දන්නෙ නෑ නෙ හැබෑට??

අම්ම  මට බැන බැන  පාර පෑදුව

මොනව කරනවද මන්ද පොඩි එකී බය කර කර.. මේ ගොම්මංයාමෙ…

අනේ අම්මප මෙහෙමත් තාත්තල.. තාත්තලත් එකයි දුවලත් එකයි..

තාත්තගෙ විලිස්සපු කට යටිං අල්ලගෙන හිටිය ටෝච් එක උදුරල අරගත්තු ආච්චි අම්ම තාත්තට බැන බැන ලට්ට ලොට්ට අස්සෙං ඇවිත් මාව සුන් බුන් ගොඩෙන් ඇදල ගත්ත.

 පින්තූරෙ

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මුතුගල විත්ති. Bookmark the permalink.

14 Responses to බක්කි ඇවිස්සිලි සහ දෙගරාවේ නිදන් හෑරිලි…

  1. හිරු පවසයි:

    අපි ඔක්කොම පොඩි කාලෙ එකම ජාතියෙද කොහෙද… පොත් වල කීයෝන චරිත මවා ගන්න, ඒ වගේ වීර වැඩ කරන්න, තහනම් කරපු වැඩම කරන්න තියෙන ආසාව…. හි හි… මම නං ඔය වගේ වැඩ වලින් කරලා තියෙන උපරිමේ අපේ ආච්චිට ප්‍රෙශර් හදවලා ඉස්පිරිතාලෙ ඇරපු එක විතරයි… මොකද ඉතිං ආච්චි විතරනෙ හිටියෙ… හි හි

  2. මධුරංග පවසයි:

    මාත් ආසයි ඕවගේ වැඩ වලට… ඔය හැමදේම අවුස්සලා බලන වැඩේ නං මාත් පොඩි කාලේ කලා. මම පෙට්ටගම සයිබෝට්ටුව කී වතාවක් නං අවුස්සලා ඇතිද කියලවත් මතක නෑ.

  3. තිසර පවසයි:

    මොකෑ නගේ මේ දෙගරාව කියන්නේ?

  4. අයාල් සිත් පවසයි:

    අපේ ගෙදරත් ඔය වගේ පොත් රාක්කයක් තිබුණ.ඒකෙත් හැම ජාතියෙන්ම පොත්.නවීන විද්‍යා කතා කියල පොත් පෙළක්,විද්‍යා විජ්ජා කියල පොතක්,පරණ මීෂා සඟරා ගොන්නක්(මේක රුසියන් සඟරාවක්.පින්තූර ගොඩක් ලස්සනයි කියලනම් මතකයි.) වයි.පෙරෙල්මාන් ගේ ගණිත විනෝදය පොත,පිටු අතුරුදහන් වෙච්ච උම්මග්ග ජාතක පොතක්,ඒ මදිවට 9,10,11,වසරවල විද්‍යාව අච්චු පොත්.මගේ පලවෙනි ලිංගික අධ්‍යාපනය ලැබුවේ ඔය විද්‍යාව අච්චු පොත් ටිකෙන්.බිත්තර,හැඳි පාකරන ඒවා,බෝතල් වලට බිත්තර දාන ඒවා තිබුනේ විද්‍යා විජ්ජා පොතේ.ඔය පොතේ තියෙන ඒවා ට්‍රයි කරාට හරිගියේ බැලුන් යවන එක විතරයි.

  5. aruge adaviya පවසයි:

    මේ නම් හදවතින්ම ලියන අපූරු සටහන්. මම හරි ආසයි සීයගේ කඩ පොඩ්ඩට. බොහෝ මතකයන් ඇවිස්සෙනවා. මට කියන්නකෝ මේ සිවංගුරු කියන්නේ මොනවාද කියලා. මට මතක නිකම් ලුනුකැට වගේ බෙහෙත් ජාතියක්.

  6. henryblogwalker පවසයි:

    Pandora’s box සහ ඉංග්‍රීසි සාහිත්‍ය පොතේන් තිබ්බThe Lumber room මතක් වෙන්නේ නැද්ද?

  7. Chandana පවසයි:

    හප්පේ.. තාත්තල අත්තල දූල සෙරම එකයි නෙහ්.. 😀
    හ්ම්ම්.. මටත් ඉස්සර තිබුන ඔය ලට්ට ලොට්ට අවුස්සන පිස්සුව. ඒකටම සෙට් වෙන සොල්දරයක් වගෙ එක්ක් තිබුන අපේ මහ ගෙදර.. ඒකෙත් නොතිබුනා කියන්න දෙයක් නෑ..

  8. kathandarakaraya පවසයි:

    මං නං ආච්චීලා ගේ ගෙදර ගියාම ඇවිස්සුවේම පරණ පොත් පෙට්ටි තමයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )