ගම්මිරිස් කොළ කැවිල්ල…

මයෙ කෙල්ලේ!!

හොඳ එකී වගෙ ගිහිං  බුලත් කොලයක් දෙකක් කඩාගෙන වරෙංකො..

දවල් බත සප්පායං  නින්දකුත් නිදාගෙන එහෙම කඩේ ඉස්සරහ බංකුවෙ ඉඳගෙන විටක් හපන්ඩ ලක ලෑස්ති වෙන අත්ත කතා කළේ කඩේ තියෙන බක්කි අස්සෙ කරක් ගහ ගහ එක එක එව්ව ඇද ඇද හිටි මට.

ඉස්සර නං හොඳ සාරෙට තිබිල තාත්තල ලොකුමහත් වෙලා රස්සාවල් කරන්ඩ ගියාට පස්සෙ වැහිල ගිය කඩේ  දැන් නං වැඩි වෙළදාමක් නෑ.. ඒක එයා‍ නිකං එයාගෙ පාලුවට දාගත්ත එකක්නෙ.. උදේට උමුඩයක් ගහගෙන ගල් ඉන්නයි, උදැල්ලයි උස්සගෙන ගිහින් ටික කාලෙකින් ඒක එපා වුණාම උන්දැ කඩේ දානව..කඩේට වැඩිපුර එන්නෙ ඉතිං චාලි අත්ත තමයි..

චාලි අත්ත කියන්නෙ අපේ අත්තගෙ මල්ලි..

දෙන්නගෙ වැඩේ දවසට දෙතුං විඩයක් දාං අදින එක..

ඒ මදිවට අත්තටත් වැඩ මතක් වෙන්නෙ මං බක්කි අතගාන වෙලාවටමයි..

මං ඉතිං හාං කියල ඕනෙවට එපාවට ගියා… බුලත් කඩං එන්ඩ..

කොහෙද පුතේ යන්නෙ??

ඔලුවත් කස කස බුලත් වැල පැත්තට යන මාව දැක්කම  ආච්චි අම්ම ඇහුව

පොල්ලතු විය විය බිම බලාගෙන හිටියට ‍මොකද ආච්චි අම්මට ඉවද කොහෙද

අත්තට බුලත් කඩන්ඩ..

ආ.. ඔය තෙල් ගෑවිච්ච අත්වලිං කඩන්නෙහෙම නෑ බුලත්… වැලම ඉවරයි..

අනේ අම්මප මේ මනුස්සය මේ ‍තේරෙන්නැති පොඩි එකාව  එවනවනෙ බුලත් කඩන්ඩ..

ආච්චි අම්ම කියාගෙන කියාගෙන ගියේ යහමිං තෙල් ගාල පත්තෑයෙක් වගේ ගොතල තියෙන කොණ්ඩෙ අස්සෙං අත දමං ඔලුව කසන මං දිහා බල බලා…

ඉන්ඩ කඩල දෙනකල්!!

ඒ පාර ආච්චි අම්ම විය වියා හිටිය පොල් අත්ත පැත්තකට දාල උඩට ඇඳල හිටිය පරණ චීත්තෙන් අත පිහදාගෙන මට බුලත් කොළ තුන හතරක් කඩල දුන්න..

ඔය මදෑ… ‍වේලෙනවනෙ කඩල තිබ්බම..

අනේ අත්ත මාව ආයෙ එවයි මදි කියල.. මං කිව්ව

නෑ ඕනැන්නෙ නෑ.. ඔය ඇති..

ආච්චි අම්ම එක්ක බෑ.. එයා බුලත් වැල බලාගන්නෙ දරුවෙක් වගේ..

මගෙ හිතට හරි නෑ ඒ වුණාට.. වට පිට බැලුවාම තමා දැක්කෙ කොස්ගහ දිගේ දිගට දිගේ බඩගාල තියෙන ගම්මිරිස් වැල..

බුලත් කොල අස්සෙ ගම්මිරිස් කොළත් තිබ්බම අත්ත රැවටෙයි..රැවටිලා කෑවොත් නං නියමයි.. ‍

ඊයෙ දැක්කනෙ මාව දාං අතෙන් පරාද කරල හිනාවෙච්ච හැටි.. හොක් හොක් ගාල

දෙන්නං වැඩේ..

කාපුදෙං අද ගම්මිරිස් කොල…

පෝඩ්ඩක් හැඩෙන් වෙනස් වුණාට ගම්මිරිස් කොලේ බුලත් කො‍ලේ වගේමයි.. හැබැයි මෝරපු කොළ ටිකක් රලුයි… ඒව ගත්තොත් වැඩේ අහුවෙයි..

මං හෙමින් සැරේ ආච්චම්මගෙ ඇස් වහල ගිහින් බුලත් ‍කොළ පාටම තියෙන ලපටි ගම්මිරිස් ‍කොළ දෙක තුනකුත් කඩල අර බුලත් ටික මැද්දෑවෙ ගැහුව..

එකක් උඩිංම තිබ්බ..

අරන් ගිහින් අත්තට දුන්න කිසිම වෙනසක් නොපෙන්න.. හරිම අහිංසක විලාසෙං

දීල මගේ අටෝරාසියක් වැඩවලට ගියා… ඒ කියන්නෙ කඩේ පැත්තක තියෙන දෙදරාවෙ නිදං හාරන්ඩ..

පරණ පොත් පෙට්ටි අවුස්සන්ඩ.. ටිං බෝතල් ඇරල බලන්ඩ.

මං මගෙ දෙදරා නිදං හෑරිල්ල ඉවර වෙලා එනකොටත් අත්ත හොඳට විටක් කකා.. හේත්තුව දාගෙන ඉන්නව කඩේ කොට බිත්ති‍යට..

කෙල ගහල කෙල ගහල පේර ගහ මුල රතුපාට කරල!!

හික් හික්.. කන්ඩ ඇති අත්ත ගම්මිරිස් කොලෙත් එක්ක විට…

මං හිත ඇතුළෙන් හිනා වුණා…

ඒත් මොකුත් වෙනසක් වුණ බවක් නං මූනෙං පේන්ඩ නෑ.. සමහර විට මොකක් වත් වෙනසක් නැතුව ඇති, පොඩි වුණාම සුවඳ වෙනස් වුණාට

අත්ත මං දිහා බැලුව

මං මගෙ රහස් පරීක්ෂක මූණ ටක් ගාල වෙනස් කරගත්ත…

පොඩි එකියෙ තේ කහට ඩිංගක් වක්කරන්ඩ කියමුකො  ආච්චිඅම්මට  අත්ත කිව්ව..

මාත් මගෙ උඩ පැන පැන යන ගමන් තාලෙන් ගිහින් පණිවිඩේ කිව්ව ආච්චි අම්මට..

කාල හැන්දෑවෙ පොඩි නින්දක් නිදාගෙන ඉඳල නැගිටපු තාත්තත් කුස්සිය පැත්තට ආව

අම්ම නං මොකද්දෝ මැහුං වැඩක..

ආච්චම්ම හදාපු තේ එකත් අරං මිටි බංකුවෙ වාඩිවෙලා බීපු තාත්ත කඩේ පැත්තට ගියා..

දාං අතක් අදින්ඩ වගෙයි සූදානම දෙන්නගෙ..

මල්ලිත් මිදුලට ආව සෙල්ලං කරන්ඩ.. අපි දෙන්න  චොපර් බයිසිකලේ නැගල මාරුවෙන් මාරුවට රවුම් පදින සෙල්ලම කරන්ඩ…

මං මිදුල වටේ රවුම් දෙකයි ගියේ…

තාත්තගෙ ගෝරනාඩුවක් ඇහෙන්ඩ ගත්ත…

කවුද  මේ බුලත් කොළ අස්සෙ ගම්මිරිස් කොල තියපු අසමජ්ජාති එකා…??

මගෙ ඉහ මුදුනෙං දුං පිටවුණා ඒ සද්දෙට??

මළා!!

අත්තට කව්වන්ඩ තියාපු ගම්මිරිස් කොල ටික කෑවද තාත්තවත්!!

මං එහෙමම බයිසිකලේ නැවැත්තුව.. එහෙමම බිම දාල දුවගෙන ගිහින් කඩේ පිටිපස්සෙ වැට අස්සෙන් ඇවිල්ල කොට තාප්පෙන් හොරෙන් එබිල බැලුව…

තව ඩිංගෙන් කැවෙනව මට නිදි මතේ හිටියනං එහෙම.. මං මේ හුණු ගාන්ඩ අග මුල කඩද්දි වෙනස් මොකද කියල බැලුකොටයි දැක්කෙ…

ඔය කෙල්ල තමයි කඩං ආවෙ බුලත්!! ඔය පුතාට අහුවෙයි කියල හිතන්ඩ නෑ….. මට කවුවන්ඩ නෙ ගෙනත් තිබ්බෙ…

හොක් හොක් හොක්..

අත්තගෙ සමච්චල් හිනාව තමයි මට කාල ඉන්ඩ බැරි…

මං දැක්ක කලිංම.. සද්ද නැතුව කෑව වගේ හිටිය..

ඉතිං තාත්ත එව්ව විසි කරන්ඩවත් එපැයි??

කවුද දන්නෙ පුතා  විට වට්ටියට අත දායි කියල.. මං එහෙම්මම තිබ්බ පොඩි එකීව රවට්ටන්ඩ

හූ…..හොක් කොක් කොක්!!

හපොයි …අත්තව රවට්ටන්ඩ ගෙනත් තියපු ගම්මිරිස් කොළ මුලදිම අත්ත අඳුනගෙන.. කාලත් නෑ.. ඒ මදිවට ඒක අහුවුණා තාත්තට..

මදැයි කොලා!!

අද නං පාරක් කන්ඩ වෙන බව තමයි පෙන්නුං කරන්නෙ…..

මට හිතීගෙන හිතීගෙන ගියා

හිටපංකො  දෙන්ඩ දෙකක් පස්ස පැත්තෙ වැවිරි හිටින්ඩ ආයෙ ඔ‍හොම වැඩ නොකරන්ඩ

තාත්ත විට වට්ටිය එහෙමම දාල එහෙ මෙහෙ එබුණෙ හරියටම මං කොට තාප්පෙන් එබෙනකොටමයි

ඔහෙ හිටු!!

තාත්ත ලඟ තිබුණ වැටෙං මංඥොක්ක කෝටුවක් ක‍ඩාගෙන එන ටිකට මං ළිඳ පහුකරලත් ඉවරයි..

වත්ත වටේ කොහිල අගල් ගාණෙ මාව පන්නපු තාත්තටම ඇති වෙලා නවතින කල් මාත් ඇරියෙ නෑ දිවිල්ල..

මක්කරනවද ඔය පොඩි එකාට ගහන්ඩ පන්නන්නෙ…

ආච්චි අම්ම කෑගැහුව ඈත ඉඳල

ගහන්ඩ නෙවෙයි මේකිව හම ගහන්ඩ හොයන්නෙ..

තාත්තත් කෑ ගැහුව..

වත්ත පහළ දෙල් ගහට නැගල හැංගිලා පැයක් දෙකක් හිටියම ආච්චි අම්ම ඇවිල්ල මාව එක්කන් ගියා තාත්තගෙන් බේරගන්නව කියල පොරොන්දු වෙලා…

රෑ කෑම වෙලාව වෙනකල් කට්ටි පැන්නට මොකද කෑම වෙලාවෙදි තාත්ත‍ගෙ මූණටම මුලිච්චි වෙලා රැව්ව රැවිල්ලට මාව පොඩ්ඩක් පස්සට විසි වුණා..

ඒත් දවල් දුවල දුවල හති වැටිල ඉණටත් අත් තියං කණ්ඩිය උඩ බලං හිටිය හැටි මතක් වුණාම ආයෙ හිනා ගියා..

මං ඒ හිනාව පොඩ්ඩක් පාල බැලුව යාප්පුවෙං..

ම්හු…

තාමත් අබ පුපුරන්ඩ තරං !!

දැං මොකද අත්තට කවන්ඩ ගම්මිරිස් කොළ ගෙනත් තිබ්බෙ?

අම්මයි ආච්චි අම්මයි තමයි කුස්සියෙ ඉඳන් ලොකුම විනෝදෙ ගන්නෙ මේ නඩු ඇහිල්ලෙන්!!

ඉතිං තාත්තෙ අත්ත දාං ඇදල මාව පරද්දල හිනාවෙනවනෙ හොක් හොක් ගාල…

බත් පිඟානත් අල්ලට අරන් පොඩි පුටුවෙ ඉඳගෙන කකුලක් පිට කකුලක් දාගෙන බත් කකා හිටපු අත්තට ආයෙමත් බකස්ගාල හිනාව පැන්න…

ඉතිං… ඒකට  දාං ඇදල අත්තව පරද්දනව.. පරද්දල හිනාවෙනව තමනුත් ඇති තරං…

එක එක විගඩං කරන්නෙ නැතුව

දැං අත්තට ඒව කැවුණ නං මොකද වෙන්නෙ?? ම්?? කට තුවාල වෙලා එක්ක යන්ඩ වෙයි ඉස්පිරිතාලෙත් එක්ක..

මට කැවුණ නං එහෙම??

මං හොඳටම දන්නව ඔය වගේ වෙලාවට කට ඇරියොත් වචන පැන්නොත් පාඩුයි කියල.. ඒ හන්ද සිමෙන්ති  පොළවෙ මහපට ඇඟිල්ලෙන් මනෝමය හිලක් හාරගෙන ඒක වර්ධනය කර කර හිටිය මිසක් ඔලුව උස්සලවත් නෑ බැලුවෙ..

මට ඉතිං නඩු ඇහිල්ල මැදක් යනකොටම තේරුණා නඩුකාර උන්නාන්සෙටත් හිනාව නවත්ත ගන්ඩ බැරුව කට ඇතුළෙං හිනාව හපාගෙනයි ඉන්නෙ කියල…

ආ මෙන්න මේ චොක්ලට් කෑල්ල ගිහින් දෙනව අත්තට..

ගිහින් සමාව ඉල්ලනව වැඳල… ආයෙ එහෙම කරන්නෙ නෑ කියල

කාල පරණ ගෙට නිදාගන්ඩ ගිය අත්ත ලඟට තාත්ත මාව පිටත් කළා

මං ගිහින් කතා කළා..

අත්තෙ චොකලට්!!

ආ.. ‍කෝ මෙහෙ දියං..

අත්ත ආදරේට වරෙං පලයං දියං කිව්වට අපි තරහ වෙන්නෙ නෑ

සැප පුටුවෙ වාඩි වෙලා හොඳ සුරුට්ටුවක් ඇද ඇද ඉන්න උන්දැ මගෙ අතිං ඒක ඉල්ලගත්ත

අත්තෙ, මාත් එක්ක තරහද අත්ත… මං ගම්බිරිස් කොළ තිබ්බට??

නෑ.හ්! අනික මං දැක්ක උඩිංම ගම්බිරිස් කොළයක් තියෙනව.. ඒ පාර හොඳට බලල බුලත් කොළයක් අරං කාල ඒ ටික එහෙමම තිබ්බ…

ඉතිං අත්ත ඒ ටික විසිකරන්ඩ එපැයි.. ඇයි ඒ ටික එහෙමම ඉතුරු කළේ??

ආ ඒ උඹලයෙ තාත්තට කවන්ඩ නෙ!!

හොක් හොක් හොක්!!

මගෙ ඇස් දෙක උඩ ගියා!!  ඒ මදිවට අත්ත හිනාවෙන හැටි දැක්කම මටත් හිනාව නවත්තගන්ඩ බැරි වුණා!!

හැබැයි අද  තව ඩිංගෙං උඹ ගුටි කනව කෙල්ලෙ….

අනේ නිකං ඉන්ඩ අත‍්තෙ,  තාත්ත අල්ලයි  දුවල මගෙ නැට්ට!!

ඔන්න අත්තගෙයි මිනිබිරීගෙයි වැඩ!!

පින්තූරෙ මෙන්න මෙතනින්

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මුතුගල විත්ති. Bookmark the permalink.

35 Responses to ගම්මිරිස් කොළ කැවිල්ල…

  1. kusumsiri edirappuli says:

    මොකෝ මේ හදිස්සිය. ඇරියස් එකක් කවර් කරනවද? 😀

  2. මේක මරු,
    මරු සීයයි මිණිබිරියි…

  3. Bindi says:

    නගේ අන්තිම පෝස්ට් දෙකම මගේ බ්ලොග් රෝලේ නම් අප්ඩේට් වී නැත.

  4. amilac2014 says:

    අපේ සීයට තියුනෙ අමතක වෙන ලෙඩේ..මේ උදේ කියපු එක හවහ වෙනකොට මතක නැහැ.. උන්දැ එක්ක ගමන බිමනට නම් වැඩිය මනාප නැහැ..හෙමිං කතාවක් ඇත්තෙම නැහැ..ගමට ඇහෙන්න හයියෙන් කතාව. ඒ මදිවට නියර උඩින් ටික දුරක් යද්දි උස්සගන්නව සරම පිටිපස්සෙන්..

    • හිහි.. මං නං හෙන ආසයි අපේ අත්ත කතා කරනකොට හයියෙං..අනික උන්දැ කියන කතාවලට හිනා ගිහින් ඉවරයක් නෑ..

  5. ගම්මිරිස් කොළෙයි බුලත් කොලෙයි තියෙන්නෙ පුදුමාකාර සමානකමක් නුපුනුණු ඇහැකට (අපේ වගේ).

    • විට ජීවිතේ කෑල්ලක් වෙච්ච අත්තවයි තාත්තවයි දෙන්න මට ගම්මිරිස්කොළ තියල රවට්ටන්ඩ නං වෙන්නෙ නෑ අයියෙ එහෙම..

  6. Ravi says:

    උඹ කවද්දෑ ආයම හයිබරනේට් වෙන්නෙ? ඈ බොල?

    මෙව්ව මෙහෙම එක පිට දාන්ට එපා බොල..කොංඩ කැවුං, අතිරහ, අග්ගල,වැලිතලප ඔක්කොම එක පිට එක කාගෙන ගිහාම ඒ එහෙකවත් රහ හරියකට විඳින්ඩ අමාරුයි.

    උඹට ආයෙම නිදියන්ට යන්ටම ඕන නං මෙහෙම කරාපං. ඇහැරල ඉන්න වෙලාවෙ ඔක්කොම ටික ලියාපං..ඒ කරල අර පෙම්බ්‍රාස්ට මෙහෙම කියාපං..” ඒයි මේ ඇහුණදෝ? මම සිසිර තාරක නිද්‍රාවට සමවදින්ටයි යන්නෙ. මේ ලියල තියපුව ඔහෙ මතක ඇතුව සතියට දෙක ගානෙ පබිලිස් කොරන්ට ඕන හරිය? ඔන්න නොකිව්වයි කියන්ට එපා “

    • ඔය ඉතිං උඹල අල්ලගන්නෙම වැරදි කොණ නෙව… දැං උඹල හිතං ඉන්නෙ මේ මං මයෙ උවමනාවට ලියනව කියලැයි??
      පෙම්බ්‍රාස් තමා මෙව්ව ලියන්ඩ කියන්නෙ එක පිට එක.. දවසට එක ගානෙ කියල ටාගට් දීල. මං මගෙ සිසිරතාරක නින්දෙං ඇහැරිච්ච දවසෙ ඉඳල

  7. රවි කියන කතාව හරි නේන්නං… එකක් කියෝල හැරෙන්න බැහැනෙ… මෙන්න තව එකක් අතෑරල! කිව්වැහේ පෙම්බ්‍රාස් මේකෙ සඟිස්කාරක මණ්ඩලේට ගන්ට කාලෙ හරි!

  8. අපේ අංකල් මිනිහම කඩාගෙන කෑවා.

  9. Chanaka says:

    හොක් හොක් හොක්
    හොක් හොක් හොක්
    හොක් හොක් හොක්

    හිනා වෙල බණ්ඩිය රිදෙනෝ

  10. අහම්බෙන් හම්බ උනේ.. ඔහේටම ගැලපෙන රසිකයෝ සැට් එකකුත් ඉන්නේ.. ආයෙත් එන්නම් නොවරදවාම.. මටත් අපේ සීයා මතක් උනා..

  11. මම මේ කල්පනා කලේ ජනුවව අර මොකක්ද මන්දා නින්දට (සිසිරතාරක නින්දට) නොයවන්න ක්‍රමයක් හොයාගන්න බැරිද දන්නේ නෑ අපිට. ඕනෙ නම් ගම්මිරිස් ඇට ටිකක් දිය කරලා බීමක් හදලා දෙන්නම් එතකොට සිසිරයක් එන එකක්ම නෑ නේ.

    • මං ඉතිං එක එක කාලෙට එක එක එව්වට ඇබ්බැහි වෙනවනෙ රංගි. පහුගිය කාලෙ ගේම් එකකට ඇබ්බැහි වුණා.. තව ටික කාලෙකින් ආයෙත් අතුරුදහන් වෙයි ඉතිං..

  12. Chandana says:

    මං ආවමයි ද කොහෙද මේ පැත්තෙ. යස මිනිබිරියි අත්තයි.. කොහෙද ඔය කඩෙ තියන්නෙ. වැරදිලා වත් ආවොත් වතුර එක්ක වත් නොබී ඉන්නයි ඇහුවෙ 😀

  13. Asokamala says:

    අනේ ජනු දවසට එක ගානෙම ලියන්න කෙල්ලෙ. ඉරිදා උදේ කම්මෑලි කමට ඊමේල් එක බලපු එක හොදයි අලුත්ම කතාව කියවන්න පුලුවන් උනානෙ. තව ලියන්න. දිගටම ලියන්න. මමත් ඔයාට පින් සිද්ද වෙන්න සින්හලෙන් ටයිප් කරන්න ඉගන ගත්තනෙ 🙂

    • අසෝක නැන්ද සිංහල ටයිප් කරන්න ඉගෙන ගත්ත එකෙන් වැඩක් ගන්න එක ගැන සන්තෝසයි!!
      ආයෙ කම්මැලි වෙලා වෙන මොනවට හරි ඇබ්බැහි වෙනකල් ඉතිං මං ලියාවි
      🙂

  14. kusumsiri edirappuli says:

    බ්ලොගර් වලට මාරු උනොත් නරකද? රීඩර් එක අප්ඩේට් වෙන්නෙ දවස් දෙකකට පස්සෙ. ඊමේල් නිසා මම නම් කලින්ම බැලුව.

  15. අදනේ මෙහෙම ඒකක් දැක්කේ…මම නම් ආසයි මේ ලියන විදිහට…උඩ කස්ටිය කියනවා වගේ ස්ටේෂන් කීපයක නවත්ත නවත්ත ගියොත් තවත් ලස්සන වෙයි. එතකොට අපට අවට බලාගන්නත් පුළුවන්.

    • ඔහොම කියන්න එපා අරූ. මේ මනුස්සයා අවුරුද්දකට ලියන්නෙත් එකයි දෙකයි. හිටි ගමන් මෙහෙම නින්දෙන් ඇහැරලා දැම්මට ආයේ මාස කීයකින් දායිද දන්නේ නෑ ඊලඟ පෝස්ට් එක. මුලින්ම මම මේ බ්ලොග් එක කියවන්න ගත්ත දවසේ රෑ නිදාගන්නෙත් නැතිව දවස් දෙකක් කියවලා තමයි ඉවර කලේ. මේකත් එක විදියකට අරූගේ බ්ලොග් එකට සමානයි. අපි නොදකින් අපේ මතක කතා මේ බ්ලොග් එකෙත් තියෙනවා ගොඩාක්.

  16. Bindi says:

    අපේ ආතාත් බුලත් කොරටුවක් කළා. උන්දැටත් ඔය ගොවිතැන් උන සැරේට තිබුණ. වෙලා අයිනේ ඉඩමක තනිකර එළවලු බුලත් හෙම වැවුව. ඉස්සර රස්සාවක් කරපු කාලෙත් එහෙමයි කියල අපේ අම්ම කියන්නේ . බයිසිකලෙන් බියගම ඉඳන් පට්ටිය හන්දියට යනවලු . එතනින් කෝච්චියෙන් මරදානට . බඩු ගබඩාවේ වැඩ කරලා තියෙන්නේ .
    ආයේ හවසට ගෙදර එන්නෙත් ඒ ක්රමෙටලු. හැබැයි ඔය අවු අස්සේ පාන්දරට කොටුවලට වතුර දාල යනවලු. සවසටත් ආයේ කොටුවේ වැඩ කරනවලු. ආයේ ඔය කොලෙස්ටරෝල් සිනි අරව මේවා මුකුත් තිබ්බේ නැහැ. අපි දන්නා කාලේ ආතා පෙන්ෂන්. පුර්ණ කාලින වගාව තමයි. අපිත් ඉතින් එහෙ ගියහම වැඩිහරියක් ආතාගේ පස්සේ . නැත්තන් ආච්චි පස්සේ. . ඔලුවේ තෙල් ගාලා බුලත් කොටුවට යන්න එපා කියල මාත් අහල තියෙනව. අනික බුලත් කඩන්නේ පාන්දර කළුවරේ. පොලට ගෙනියන්නෙත් පාන්දර . ආතාත් බුලත් කෑවේ කොටලා. ඔය රාජකාරියට නම් මම හරිම මනාපයි. එයින් ටිකක් කටේ දාගන්නත් ලැබෙනවානේ. අපි කටේ දාගන්න වග දන්නා හින්දාම ආතා දුන්කොල දාන්නේ ඇබින්දයි. ආච්චි නම් ඉක්මනට ලෙඩ වෙලා මිය පරලොව ගියා . ආතා නිකන් එතකොට අතරමන් වුනා වගේ ගතියක් දැනෙන්න ඇති. එක එක ළමයින්ගේ ගෙවල් වල ටික කාලය බැගින් හිටියා . නමුත් ඒ එකක් වත් ඇල්ලුවේ නැහැ . අපිට ආතා ආදරේ කල තරමට අපෙන් එයාට ආදරේ ලැබුනේ නැහැ වෙන්ට ඇති. මොකද ඉගෙන ගැනීම රැකියා කිරීම් එක්ක අපි ළමයි හැමෝම කාර්ය බහුල වුනා ..අපේ ගෙවල් වල හිටියත් ආතාට කාන්සියක් දැනෙන්න ඇති. අනික පරණ යාළුවො. අන්තිම කාලේ ආයේ මහා ගෙදෙට්ට ගියා. කන්ද පල්ලම බැහැල හන්දියේ කඩ පිලට ගොඩ වෙලා පරණ යාලුවෙක් එක්ක කතාවක් දාන එක තරම් සතුටක් නැතුවෙන්න ඇති අපේ ගෙවල් වල. එහෙම ගිහින් ටික දවසකින්ම නැති වුනා . නින්දෙන්ම ..

  17. මරු සීයයි මිනිපිරීයි..
    කොහොමහරි මිනිපිරීගේ කේන්තිය ගියේ තාත්තගේ පිටිං..හික්ස් 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s