පොරොන්දු සහ ඇරියස්…!!

ගෙදරට  මගේ නමටම ඇවිල්ල තිබුණ ලියුම මං කැඩුවෙ හරි ආඩම්බරෙන්…

පරණ ඉස්කෝලෙන් අපිට දැනුම් දීල තිබුණ අපිව ශිෂ්‍යත්ව ලකුණු අනුව තේරුණ අලුත් ඉස්කෝලෙ මෙන්න මේකයි, යන්ඩ තියෙන්නෙ අහවල් දවසෙ ඉඳනුයි කියල..

ඉස්කෝලෙන් සමුගැනීමේ උත්සවාරාධනාවත් ඒත් එක්කම ….

යාන්තං ඇති!! ගන්දබ්බ කාලෙ ඉවර වෙලා අපි ආයෙමත් ලබන වාරෙ ඉඳල ඉස්කෝලෙ යන්ඩ පටන් ගන්නව!!

ඒ විතරක් යැ…..ලොකු ඉස්කෝලෙට යන්නෙත්!!

අම්මත් එක්ක උදේ කණිෂ්ටෙට ගිහින් පාසැලෙන් සමු ගැනීමේ උත්සවයට සහභාගි වෙලා පරණ ඉස්කෝලෙ දාල එ ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච නැති යාලුවො දුකෙන් බලන් ඉන්නෙද්දි එන එක දුකක්!!

ඒ වුණත් හිත ඇතුළන් මහ සතුටක් ඉපිලුණා!

ටික දවසක් ගියාම ආයෙමත් ඉස්කෝලෙ යන එක එපා වුණාට, අම්ම එක්ක හැමදාම අම්මලගෙ ඉස්කෝලෙට ඇවිල්ල ගෙවපු ජීවිතෙත් ඒකාකාරී වේගෙන ඇවිල්ලනෙ තිබුනෙ..

හය වසරට එන්නෙ අම්ම උගන්නන ඉස්කෝලෙටම හන්ද අපි යාලුවො කට්ටියම එකම පන්තියකට වැටෙන බව, කවුද පන්ති භාර ගුරුතුමී වගේ අනිත් ළමයින්ට ආගන්තුක විස්තර අපි කලින්ම දැනගෙන හිටිය.. පොත් ලැයිස්තුව පවා අපිට කලින්ම ලැබිල තිබුණ ඉතිං..

ඒ හන්දද කොහෙද නිවාඩු කාලෙ ඉක්මණට ගෙවිල ඉක්මණට ඉස්කෝලෙ යාමේ හිතක් පහල වෙලා, ඒ ගැන හීන මව මවා තමයි මං හිටියෙ..

හවස යනකොට පොත් ලැයිස්තුව ගමුද අම්මෙ?

මං ඇහුවෙ උත්සවේ ඉවර වෙලා ලොකු ඉස්කෝලෙට අම්ම එක්ක පයින් ඇවිදන් එන ගමන්..

හ්ම්!!  අදම ගන්න ඕ‍නෙ නෑනෙ නේද පුතේ?? නිවාඩු කාලෙ අරගමු..

අම්ම කල්පනාවක ඉන්න ගමන් උත්තර දුන්න..

ජීවනියි ගංගයි නම් අරං පිටකොලත් දාගෙන ඉවරයි.. හිරානුත් අද ගන්නව කිව්ව.

……..

අපිටත් අද ගන්න පුලුවන් වෙයිද?? එතකොට මට පිටකොල දාල තියන්න පුලුවන් නෙ නිවාඩු කාලෙ..???

………

අම්මෙ???

අම්මගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති වාක්‍ය දෙක තුනකට පස්සෙ මං අම්මට මං අම්ම එක්ක කතා කරමින් ඉන්න බව මතක් කළා

හ්ම්… බලමුකො චූටි පුතා!!

අම්ම හුස්මකට පස්සෙ උත්තර දුන්න…

ඉස්කෝලෙ ඇරිල ළමයින් හිස්වේගෙන ගිහින් ටවුම පාලු වෙලා යන වෙලාව ලං වෙනකොට ඉස්කෝලෙන් පිටත් වෙච්ච අම්මයි මායි දෙන්න යන ගමන් මුරුගන්ස් බුක් ෂොප් එකට ගොඩ වුණා.

ඇත්තම කිව්වොත් මං ඉස්සෙල්ල ගොඩවුණා.. මං පස්සෙන් අම්මටත් ගොඩ වෙන්ඩ වුණා..

කඩේ ගොඩක් සෙනග හිටියෙත් නෑ.. හොඳ වෙලාවට අපි ඇවිත් තියෙන්නෙ!!

කොටු රූල් පොත් දෙකයි

දික් රූල් පොත් දොළහයි

මං කඩේ අය්යට පොත් ලැයිස්තුව කියෙව්ව

පුතේ දික් රූල් පොත් දොළහක්ම ගන්ඩ ඕනෙ නෑනෙ දැන්ම.. විෂයයන් ගාණට දැනට පොත් ගමු.. ඉතුරුව ඕ‍නෙ වුණාම ගමු..

එහෙම කියල අම්ම කොටුරූල් පොත් එකයි දික් රූල් පොත් අටකුයි දාන්ඩ කියල කඩේ අයියට කිව්ව..

අනේ අනේ කියල නාහෙං අඬන්නෙ නැතුව හ්ම් කියල තනි වචනෙන් එකඟ වුණාට මගෙ හිතට හීන් නොසතුටක් නං උණාගෙන ආව….

චිත්‍ර පොත් එකයි

මං ආයෙමත් පොත් ලැයිස්තුව කියෙව්ව..

කෝ මෙහෙ දෙන්ඩ බලන්ඩ ඕ‍ක…

අම්ම මගෙ අතින් පොත් ලැයිස්තුව ඉල්ලගත්ත.

දැන් ඔයා සංගීතය නේද කරන්නෙ??

ඉතිං මේ චිත්‍රපොතයි, පැස්ටලුයි වෝට කලරුයි වැඩක් නෑනෙ චූටි පුතා!!

ඒව ගන්ඩ ඕනෙ නෑ නේද ඉතිං??

හ්ම්!!

කෝටු බබෙක්වත් ඇඳගන්ඩ බැරි වුණාට ගෙදර ගිහින් සුවඳ හමන අලුත්ම චිත්‍ර පොතේ පැස්ටල්වලින් ලස්සන මල් වත්තක් අඳින හීනෙං එක පාරට ඇහැරුණාම ආයෙත් දුක් උල්පතට පණ ආවා…

අම්ම මට ලැයිස්තුවෙ තියෙන  ඒව එකක්වත් ගන්ඩ දෙන්නෙ නෑනෙ

වගේ හැඟීමක් හිතට ගලාගෙන එන එක වලක්වගන්ඩ මං දත කෑව.

කොහොමිං හරි පෑන් හය තුනකටත්, පැන්සල් දෙක එකකටත් අඩුවුණා විතරක් නෙවෙයි

කටර් එකෙන් උල් කරන පැන්සලක් වෙනුවට උල් මාරු කරන පැන්සලක් ගන්න මවපු හීනෙත් සබන් බෝලයක් වගේ බිඳිල ගියා..

හ්ම්!!

හිත ඇතුළෙ  දුක් උල්පත් හරි හිතුවක්කාරයි..

පොඩ්ඩක් පෑදුණාම උණන්ඩ ගන්නව… මොන තරම් පවුරු බැන්දත්!!

ඇයි පිට කොළ දාන්ඩ බ්‍රවුන් පේපර් එහෙම ඕනෙ නේද මිස්??

කඩේ අයිය අම්මට සිහිපත් කලා!

ඕනෙ නෑ නේද චූටි පුතා.. මං ගිය අවුරුද්දෙ එල්ලල තිබුණ කැලැන්ඩර් ටික අරන් තිබ්බ.. ඒවගෙ සුදු පාට පැත්ත උඩට එන්ඩ පිටකොළ දාගමු..

හ්ම්!!

බ්‍රවුන් පේපර් දාල, පොලිතිනුත් දාපු ලස්සන පොත් ඉස්කෝලෙ අරන් යන්ඩ මවාපු තව හීනයක් කොට උඩ ගියා!!

හීනෙ ඇතුළෙ ‍පොත්වල අලවල තිබුණ ලස්සන එම්බෝස් ස්ටිකර් වල හිටිය පුංචි සත්තු මගෙ හිත ‍කොනිත්තන්න ගත්ත..

ජීවනීල, ගංගල ලස්සන ස්ටිකර් අලවපු පොත්  අරන් එනකොට මං විතරක් සුදු පාට නිකං ම නිකං කැලැන්ඩර් කොළවලිං පිට කොළ දාපු පොත් අරන් යනව කියන එක මගෙ හිතට ටිකක් දරාගන්ඩ අමාරු වුණා..

ඇයි පැන්සල් පෙට්ටියක් ඕනෙ නැද්ද නංගිට??

කඩේ අයිය අම්ම මැද්දට පැනල එපා කියනකල් ඉන්නෙ නැතුව හනිකට ශෝ කේස් එක අස්සෙන් පැන්සල් පෙට්ටි පහක් හයක් අරන් මේසෙ උඩ තිබ්බ..

කාන්දම් පෙට්ටි!!

පියන් ලස්සන පින්තූරවලින් වැඩ කරපු, කුෂන් වගේ එබෙන කාන්දම් පෙට්ටි!!

බට්න් එබුවම කටර්, තව රහස් තට්ටුත්  එළියට එන කාන්දම් පෙට්ටි..!!

ඒ මදිවට හැම තිස්සෙම ඇරිල බෑග් එක ඇතුලට පෑන් වැටෙන මගෙ පරණ පැන්සල් පෙට්ටිය වගේ නෙවෙයි… මේවගෙ පියන් යාන්තං වැහුවාම ටක් ගාල ගිහින් කාන්දමේ ඇලෙනව!!

මෙච්චර මායාකාර වැඩකෑලි තියෙන පැන්සල් පෙට්ටිවලිං මගෙ ඇස් රවට්ටල ඈත් කරගන්නෙ කොහොමද ඉතිං??

කීයද මේව??

අම්ම ඇහුව..

මේක දෙසිය පණහයි, මේක තුන්සීයයි, මේක එකසිය විසි පහයි, කඩේ අයිය හරියට රොබෝවෙක් වගේ කියාගෙන ගියා!!

එයාට කොහොම මතක තියෙනවද දන්නෙ නෑ ඔයහැටි බඩුවල ගනං..

මං එතකොටම දැන ගත්ත ඉතිං ඒ වැඩේ කෙරෙන්නෙත් නැති බව..

කොච්චර ලස්සන වුණත්, මං කොච්චර ආස වුණත් රුපියල් දෙසිය පණහක් දීල පැන්සල් පෙට්ටියක් ගන්ඩ තරම් අපි ‍පෝසත් නැති බව මං කොහොමත් දන්නවනෙ…

 

ඉම්පෝටඩ් ඒවනෙ මිස්, මේව හරි හයියයි බිම වැටුණට කැඩෙන්නෙ එහෙම නෑ..

හ්ම්!!

ටික දවසක් යනකල් ඔයාගෙ පරණ පැන්සල් පෙට්ටිය පාවිච්චි කරමු පුතේ!!

මං පස්සෙ එකක් අරන් දෙන්නම්!

අම්ම එහෙම කිව්වට මොකද ඒක ඉටු නොවෙන පොරොන්දුවක් වෙන්ඩ තමයි වැඩිපුර ඉඩ තියෙන්නෙ කියල මං දන්නව…

කාන්දම් පෙට්ටි ආසාව පැත්තකට කරල මිනිරං කුඩු ගෑවිලා, තීන්ත පෑනෙන් උතුරපු තීන්ත පැල්ලං තියෙන පරණ ප්ලාස්ටික් පැන්සල් පෙට්ටිය හෝදල ටිකක් පිලිවෙල කරල ගන්නව කියල හිතෙන් හිත හිත මං දෙපැත්තට ඔලුව වනල අම්මට එකඟ වුණා…

යාලුවො ඔක්කොමල කාන්දම් පෙට්ටි අරන් උජාරුවට ඇරල පෑන් අරගන්න හැටි මැවිල පේන එක බොඳ වෙලා ගියේ ඇස්වල හීං කඳුලු දැලක් බැඳුන හන්ද වෙන්ඩ ඕනෙ..

අපි වැඩි පරිස්සමට ෂොපින් බෑග් දෙකකම දාගත්තු පොත් ටිකත් උස්සගෙන පල්ලම් බැස්ස

අම්මෙ, ඇයි අද බනිස් ගන්නෙ නැද්ද අපි??

අම්ම වෙනද හැන්දෑවට නවතින පෙරේර බේකරිය ලඟ නතර වුනේ නැතුවම යන්ඩ යද්දි.

ඒකෙ තියෙන දඟර බනිස් කන්ඩ අපි දෙන්න හරි ආසයි.. අපි ටවුමට ගිහින් බස් එකට නගින හැම දවසකම වගේ ගෙදර ගිහින් හැන්දෑවට තේ බොන්ඩ අරන් ගියේ දිග පණුවෙක් වගේ පිටි රෝලක එක කොණක් අඹරවල, ඒක වටේට පිටි රෝලෙ ඉතුරු ටික කරකවල තියෙන මහ පැණිරහක් නැති ඒ බනිස්..

අද බනිස් ගන්ඩ සල්ලි නෑ පුතේ…අපි දෙන්නට බස්  එකේ යන්ඩ ගාණට වගේ තමයි අතේ ඉතුරු වුණේ..

අම්මගෙ ඒ වචන මට ඇහුණෙ අම්ම වෙනම ‍කොහෙදෝ ‍ඉඳල කතා කරනව වගේ!!

ශෝකයක් පිරියම් වෙච්ච  අම්ම ඒ වචන ටික කිව්ව විදියට  අකුරෙන් අකුර මගෙ පපුව මැද්දෙන් වලක් හාරගෙන කොහේ තියෙනවද කියල නොතේරෙන හිත ඇතුළට බහින්න ගත්ත.

පපුව මැද දැවිල්ලක් ඉතිරි කරලගිය ඒ අකුරු ඔස්සේ විදුලි වේගෙන් හිත හිස් වෙන හිස් වෙන ගාණට පිරුණ..

සෙල්ලම් කරල බඩගිනි වෙලා අම්ම හැන්දෑවෙ ගේන බනිස් ගෙඩිය බන්ඩියට දාගන්ඩ මග බලන් ඉන්න මල්ලිව මට පේන්න ගත්ත.

බනිස් ගෙනාවෙ නෑ කියල කිව්වම මල්ලි අඬයි කියල හිතුණ මට..

කවදාවත් කන්ඩ දේවල් ගෙනත් දෙන්ඩ කියල ඉල්ලුවෙ නැති වුනාට අපි එන වෙලාවට හැන්දෑවෙ තේ හදන්ඩ කේතලේ ලිප තියාන බලන් ඉන්න ආච්චි අම්මව මතක් වුණාම ඇස්වල කඳුලු පිරුණ..

අම්මගෙ යාලු ආන්ටිල එක්ක හවුලෙ දවල්ට ගේන බත් මුල කන හන්ද, කට්ටිය වට වෙලා රහයි කිය කියා කද්දි වැඩි හරියක් යන්නෙ එයාලගෙ බඩට මිසක් අම්මගෙ බඩට නෙවෙයි කියල මතක් වුණාම මට පොත් ටික අරන් ආපහු මුරුගන්ස් එකට දුවල ගිහින් දීල එන්ඩ තරං හිතුණ…

අම්ම ලඟ සල්ලි තියෙනවද කියල අහන්නෙත් නැතුව ඔහේ පොත්ටික ගන්ඩ ඕනෙ කියල හිතුණ පලියට මුරුගන්ස් එකට ගොඩවුණ එක ගැන මම මටම සාප කරගත්ත..

හැන්දෑවෙ වෙළඳ සංකීර්ණෙ ලඟ කොට්ටම්බ ගස්වලට එක්කාසු වෙමින් උන්න කාක්කො, මයිනො, ගස්වලට රණ්ඩුකරන්ඩ කෑකොස්සංගහන හැටි මට දරාගෙන ඉන්ඩ බැරි වුණා..

මට දැණුනෙම උන් මට දොස් කියනව වගේ

අම්මෙ, අම්මට බඩගිනිද??

ඇවිදගෙන යන ගමන්ම කඳුලු වැටෙන්ඩ ඔන්න මෙන්න තිබුණ ඇස් අහකට හරවගෙන මං අම්මගෙන් ඇහුව

නෑ..චූටි පුතේ….  අපි ගිහින් තේ බොමු!! ගෙදර ඇතිනෙ ජෙම් බිස්කට්!!

පුතාට බඩගිනිද??

ඒ අම්මල….

කුසගින්නෙන් දැවි දැවිත් දරුවන් කුස වේදනා ගැන හිතන අම්මල

යන ගමන්ම මම නෑ කියන්ඩ ඔලුව වැනුව.. අමමට මූණ දෙන්ඩ බැරි තරම් පසුතැවිල්ලක්, ලැජ්ජාවක්, මං මොකද්ද ඒ කළේ වගේ හැඟීමක් එක්ක මම බස් එකේ ආවට මොකද හිතෙන් මහා වේදනාබර සිතුවිලි ගොන්නක පැටලුණා..

අද බනිස් නෑ පුතේ… අක්කට පොත් ගන්න වුනා නෙ අලුත් ඉස්කෝලෙට යන්ඩ…

අම්ම මගට දුවගෙන ආව මල්ලිට කලින්ම කිව්ව….

ආ ඒකට කමක් නෑ අද කඩේ ආච්චිඅම්ම  එවපු ලැවරිය තියෙනව අපිට තේබොන්ඩ!!

මල්ලි සුපුරුදු ගිරා කටෙන් කියාගෙන කියාගෙන ගියා

මගෙ හිතේ කුහරෙ දෙපැත්තට ඇදිල ගිහින් ආයෙත් යාන්තං ලං වෙනව තේරුණා…

හ්ම්!!

මම කඩේ ආච්චි අම්මගෙ ලැවරිය ටික  පාවිචිචි කරල මාවම යථා තත්වයට පත් කරවන්ඩ උත්සාහ කළා

ඒත් පොත් ලයිස්තුව පස්සෙ ගනිමු කියල කියද්දිවත් අම්ම අතේ සල්ලි නැතිව ඇති කියල අම්මගෙ දුවට දැණුනෙ නැති එක  ඒ ගැන විතරක් නෙවෙයි අම්ම පොත් ලයිස්තුව අඩු කරනවට හිතෙං නෝක්කඩු කිව්ව දුවට සමාවක් දෙන්න බැරි වුණා..

දවස් ගෙවුණ..

ඉස්කෝලෙ යන දවස ටික ටික ලං වුණා..

කැලැන්ඩර් කොලවලින් පිටකොල දාපු පොත්වල සුදෙත් අමුතු ලස්සනක් මට පෙනුන..

මං ඒ ටිකත් අරගෙන ඉස්කෝලෙ ගියා..

උල්මාරුකරන පැන්සල්, එකේ පාට තුන හතර ලියවෙන පෑන්, සුවඳ හමන මකන කෑලි, බ්‍රවුන් පේපර්, පොලිතින් පිට කවර නැතිවත් ඉගෙනගන්න පුලුවන් කියන එක දැනෙන්න ඉතිං ටික කාලයක් ගියා නං තමයි..

ඒත්, ඒ බොළඳ ආසාවල් මැඩගෙන අනික් අයට තියෙන දේවල් ගැන නොහිත, තමන්ට නෑ කියල දුක් නොවී ඉන්ඩ පුලුවන් හිතක් හැදිච්ච ගෑනු ළමයෙක් බොහොම ටික කාලෙකින්ම අර පරණ අලු ගසා බසා දාල නැගිට්ට..

කාලෙකට පස්සෙ ඉරිදා පොලට ගිය දවසක බඩු මලුත් අරන් එන ගමන අම්ම මාවත් එක්ක මුරුගන්ස් ගියා..

ඔන්න ඔයා කැමති පැන්සල්පෙට්ටියක් තෝරගන්ඩ චූටි පුතා..

මං නොහිතපු විදියට එතනදි කවදාවත් ඉටු නොවෙයි කියල මං හිතපු පොරොන්දුවක් ඉටුවෙන්න යනකොට මට දැණුන මං ඒ තෑග්ග ලබන්න තරම් නෑ කියල..

හිතේ ආයෙමත් වරදකාරී හැඟීම් ගැවසෙන්ඩ ගත්ත…

මේව ගණන් අම්මෙ…

කමක් නෑ අරගන්ඩ.. ඔයා ආසයිනෙ චූටි පුතා මේකට…

ඒත් අපි ලඟ සල්ලි නෑනෙ අම්මෙ ඒ තරම්??

මං වචනයෙන් නොකියපු ටික රැලිකරපු නළලෙන් කියවපු අම්මට  හිනාවක් ගියා..

ඒක අපූරු හිනාවක්!!

දරුවෙක්ගෙ හිත ටක්කෙටම කියවපු අම්මෙක්ට යන හිනාවක් ඒක!!

මං නිහඩව ඈ දිහා බලන්ඉන්න වෙලාව තප්පර දහයක් විතර පැන්නාම ඈ මෙහෙම කිව්ව
ගන්ඩ… මට ඇරියස් එකක් ලැබුණ..

 

පින්තූරෙ මෙතනින්

 

 

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මතක, මුතුගල විත්ති. Bookmark the permalink.

23 Responses to පොරොන්දු සහ ඇරියස්…!!

  1. budditha says:

    කාලෙකට පස්සේ බ්ලොග් එකක් කියවලා ඇස් දෙකට කදුළු ආව! ඇත්තමයි.. මේක ඇත්ත කතාවක් වෙන්න ඇති කියලා හිතනවා.. මාත් පොඩි කාලේ අම්මා එක්ක ගම්පහ ගුණසේනෙට පොත් ගන්න යන හැටි මතක් වුනා.. හැබැයි ඉතින් මම නම් මේකේ වගේ හොඳ ළමයෙක් නෙමේ! යමක් ඕනේ වුනොත් ඒක ඕනෙමයි.. ගෙදර අයට කන්න තියනවද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් වුනේ නෑ.. මට ඒ ගැන තියෙන්නේ පසු තැවිල්ලක් මන් හිතන්නේ… මොනවා වුනත් දිගටම ලියන්න..

    • මේක ඉතිං ඇත්ත කතාවක් තමයි.. අනික කවුරුත් එක්තරා කාලෙක තමන්ට ඕනෙ දේ ඕනෙමයි කියන තැන ඉන්නව.. මේ ලියන මං වුණත් එහෙමයි.. සමහර දේවලට තියෙන ආසාව දැඩි වුණාම..
      ස්තූතියි බුද්ධිත 🙂

  2. Ravi says:

    ජනූ,

    උඹත් අම්මාපල්ල අන්තිම අන්තවාදියි නෙව. ලියන්නෙ නැතිකොට මාස ගණං ඉන්නව අර නැට්ට කොහෙද ගහගෙන ලිබ්බොක්කෙ ගුලිවෙච්චි බලු කුක්කෙක් වගෙ. එහෙම ඉඳල ඔන්න එක පාරටම ලියන්ට ගන්නව අර මොකාගෙද කොහාටද මොනවද ගැහුව වගෙ..හෙහ්, හෙහ්,

    අවුලක් නෑ…ඉස්තරං……මල් හතයි..හඳුන්කූරු දාහතරයි..අම්ම විතරක් නෙවෙයි මට පේන්නෙ උඹත් ඇරියස් අල්ලනව වගෙ… 😀

    • මං ඉතිං එක පාරට සිසිරතාරක නින්දෙං ඇහැරිලා ලියන එකානෙ අයියෙ.. මගෙ මූඩ් ෆික්ස් වෙන්නෙ එහෙම තමයි.

  3. Asokamala says:

    අනේ ජනු කෙල්ලෙ මේක කියවලා අපේ අම්මා තාත්තා මතක් උනා. එයාලත් ගුරුවරු. අපිටත් ඔය වගේ අනන්ත කතාවල් තිබුනා. SSC පාස් උනාම මට මතකයි තාත්තා මට ගෙනත් දුන්න පාකර් පෙන් එක. ඔයා මේ ටිකේ දිගටම ලියන එක නිසා සතුටුයි.

    • ස්තූතියි අසෝකා නැන්දා.. කාලෙකින්!!

      • Asokamala says:

        බ්ලොග් එක නම් කියවනවා නමුත් මම බ්ලොග් ලොවෙන් ටිකක් අයින් වෙලා හිටියෙ කාර්ය බහුලතා නිසා. මගෙ කන්තොරුව වෙන පලාතකට යනවා. මම යන්න අකමෑති නිසා අලුත් රස්සාවක් හොයන්න වෙනවා. හිත කලබල නිසා මම හොල්මන් වෙලා ඉන්නෙ. බ්ලොග් ලියන එක නවත්වල නවකතාවක් ලියන්නත් ගත්තා. වචන 30000 විතර ලියල තියෙන්නෙ. එච්චරයි හොන්ද ආරන්චියකට තියෙන්නෙ.

  4. රජයේ සේවකයන්ගේ ළමයින්ට මේ තරම් අපහසුකම් තිබුනා නම් ඒ කාලේ ගමේ සුළු රැකියාවක් කරපු අයට කොහොම දැනෙන්නැද්ද ජනූ.
    මට නම් ඉස්සර මම කියපු දෙයක් තිබ්බා නම් ඒක ඕනේමයි. දැන් මහ ලැජ්ජාවක් තමයි. ඒ වුනාට පොඩි කාලේ බ්‍රේක් තිබුනේ නෑනේ. දැන් නේ තේරෙන්නේ අම්මලා කොහොම දුක් විඳින්න ඇතිද අපේ හිත් රිදවන්නෙත් නැතිව අපේ අඩුපාඩුකම් පිරිමහන්න. 😉

    • හ්ම්.. විශේෂයෙන් දෙන්නම ගුරුවරු නම්, එහෙමත් නැත්නම් තාත්තට සැලකියයුතු තරම් පඩියක් අතට එන්නෙ නැත්තං, අම්මලට සිද්ධ වෙනව පවුල් ජීවිතේ වැඩි වගකීමක් අතට ගන්ඩ..
      වතාවක් දෙකක් දේවල් ඉල්ලල ඇඬුවට ටික ටික ලොකු වෙද්දි තේරුණා අම්මලට ඒව අරන්දෙන්ඩ තියා මාසෙ කාල බීල ඉන්ඩවත් සරිලන ගානක් ලැබෙන්නෙ නැති බව..
      එහෙම වුනාම ඉබේම අර හිතුවක්කාර ගති සමනය වෙනව රංගි..

  5. සපතේරු උන්නැහේ says:

    ඔන්න නංගි උඹ මාව ඇඬෙව්ව … මම ඔය වයසෙදි කොහොමටවත් දෙමව්පියන්ගෙ අමාරුකම් තේරුම් ගත්තෙ නැති … හිතපු දේම ඉල්ලල කරදර කරපු එකෙක් ..

    • හ්ම්… අපි හැමෝම අඩු වැඩි වශයෙන් එහෙම තමයි අයියෙ.. අදටත් ඒක එහෙම තමයි ඉතිං..
      එයාල අපිට නොකියන අමාරුකම් කොච්චර නං තියෙනවද අදටත්??

  6. සපතේරු උන්නැහේ says:

    අනෙක් කොමෙන්ටු ටික දැක්කෙ පස්සෙ … දැන් ටිකක් දුක අඩුවුණා.. 🙂

  7. magenama says:

    මට නම් තත්ත්වය ඔයිට දරුණුයි.පොත් වලට කොහොමත් දැම්මේ පරණ සඟරාවල කොළ.එකපාරක් පත්තරයකිනුත් දාගෙන ගියා.පොත් ඉතුරු කරන්න උඩම රූලේ ඉඳන් යටටම එනකන් ලියුවා.වෝටර් කලර්,ගත්තේ 9 වසරෙනුත් පස්සේ.ඒත් මං එක දෙයක් දැනගත්තා.ආවරණයට වඩා ඇතුලාන්තය ගොඩක් බලවත්.මගේ පොත්වල,පිටකවරවල ලස්සන ගැන හොයන්න ඕන නැති ගානට අපි වැඩ කරනවනම් ඒ චාටර් නීති හඳේ.
    සමහරවිට මං ඉස්කෝලේ හිටපු ‍රැඩිකල්ම චරිතයක් වෙන්නත් ඇත්තේ ඒ හින්දා.

  8. thushara says:

    Harima sundaray, Podi ayage hithe kochchara dewal ettda apata nokiyana, Awrudu 25 withara hithapassata gihin, pasal kale mathak una. Narammala nagaraya, Mayurapade, Kottamba gas…

    Harima apuuruy. Oya harima sanwedi widihata liyanawa.

  9. Chathuri says:

    මටත් මගේ පාසල් විය මතක් වුණා. මේ වගේ ආසාවල් මටත් ඒ කාලෙ තිබුණනෙ 😀
    ඒත් මං කවදාවත් අම්මගෙන් ඉල්ලුවෙ නෑ.
    මට නිකම්ම දැනිලා තිබුණා වැඩිය ගණන් දේවල් ගන්ඩ අම්ම ළඟ සල්ලි නැති බව.
    ඒත් රට ගිය අම්මල ඉන්න ළමයින්ගෙ ලස්සන කාන්දම් පැන්සල් පෙට්ටි දැකල මං වසඟ වෙලා හිටියෙ මටත් එයින් එකක් තිබුණනම් කියලා
    මට දෙපැත්තම පියන් තියෙන කාන්දම් පැන්සල් පෙට්ටියක් ගන්ඩ පුළුවන් වුණේ චිත්‍ර තරඟෙකට මම ඇඳපු චිත්‍රෙකට පොඩි මුදල් ත්‍යාගයක් ලැබුණ දවසෙයි. තාත්තයි අම්මයි දෙන්නම කිව්ව ඒකෙන් මට ඕනි දේවල් ගෙනත් දෙන්නම් කියල.ඉතින් මං ඉල්ලුවෙ කාන්දම් පැන්සල් පෙට්ටියක් 😀

  10. දෙයක් ඉල්ලලා කරදර කරන්න නොහිතෙන ගතියක් ඒ දවස් වල මට තිබ්බා. නමුත් නංගියි මල්ලියි එහෙම නෙවෙයි තමන්ට ඕනේ දේට සටන් කලා. මම ඒ නිසාම තවත් පසු බැස්සා. මේ ලක්ෂණ ජීවිතේටම බල පෑවා පස්සෙ කාලෙකදි වුනත්.

    මෙහෙම කතාවක් තවත් කවුද කිව්වා මෑතකදි. පොඩ්ඩක් හිටහං. මේ මතක් වෙනකල් ඉන්නේ…

    • මෙන්න කතාව. හිතේ තියෙන දේ. මම මට මෙතනදි මාවම මතක් වුනත් මම ඒක නෙවෙයි කිව්වේ කමෙන්ට් එකට. මේක කියවපං ජනූ.

    • මම දේවල් ඉල්ලල නැති කෙනෙක් නෙවෙයි හෙන්රි අයියෙ.. හැබැයි ඒ බොහොම කලාතුරකින්.. වද දීල අඬල දෙයක් ඉල්ලුව නං ඒ බොහොම අඩුවෙන්.. තේරුමක් නැතිම කාලෙ..
      අපි ආස සුකුරුත්තං අරන් දෙන්ඩ තියා අම්මල අපිට කන්ඩ බොන්ඩ දෙන්නෙ පවා අමාරුවෙන් කියන එක අපිට ඒත්තු ගිහින් තිබුණෙ..
      ඒ අතිං මලයයි මායි දෙන්නම එහෙම වද දුන්න ළමයි නෙවෙයි අම්මලට..උඹත් එහෙම එකෙක් නෙවෙයි වගේ..
      බොහොම ස්තුතියි අර ලින්ක් එකට..

    • තිසර says:

      හෙන්රි, මාත් එසේමැයි බං…. කිසිම දෙයක් ඉල්ලලා කරදර කරනව මට මතක නැහැ. අපේ අක්කගෙයි නංගිගෙයි ඔය ඉල්ලන ගතිය තිබ්බ නිසා උඹ වගේම මමත් කලේ තවත් මගේ අවශ්‍යතා නොකියා නිශ්ශබ්ද වෙච්ච එක…. පහු කාලෙක ගෙදර ආර්ථිකය යහපත් වුනත් මගේ පුරුද්ද නැති උණේ නෑ. ඕක කොච්චර බලවත් වුනාද කියනවානම්, මම බෝඩිමේ ඉන්නකොට මාසෙ වියදම දෙන්න අහනකොට මම කෙලින්ම ගාණක් කියන්නේ නෑ. අහවල් පන්තියට 80, අරකට 160, තව මේ පන්තියට 80, මේ …. මේ … මේ…. ඉස්කොලේ අහවල් සමිතියට 50 දෙන්න කිව්වා… තාත්තට සමහර වෙලවට කේන්තිත් යනවා. “කියනවකෝ ඕයි ඉතිං ඔක්කොම කීයක් ඕනෙද? …., රුපියල් 400 විතර….., ඇයි එතකොට බස් එකේ යන්න එන්න? …., ආහ් ඔව්…, 500ක් ඇතිද? …, හා…., හදිසියක් උණොත්?, හ්ම්ම්ම්…., ආ.. මේ දෙසීයත් තියාගන්නවා”…. ඔන්න ඔහොමයි වෙන්නේ.

  11. මේ කතාව කියවා අප කඳුළු සලන්නේ ඔබේ දුක ගැන නොව ඇත්තටම අපේ දුක ගැන බව සිහිවී ඒ කඳුළු වියලී ගියා.

  12. Chams says:

    ඩූඩ් කියපු පාරදිගේ ආවෙ. ගොඩක් වෙලාවට අපි කොයි තරම් ආස දෙයක් උනත් ඉල්ලලා අනිත් අයට කරදර කරන්නෙ නෑ. ඒ අයම ඒක තේරුම් ගනී කියල හිතනවා. එහෙම ලැබුනෙ නැති උනත් අපි ඒක අඟවන්නෙවත් නෑ.
    මේ කතාවෙදි වගේ අම්මා කෙනෙක් නම් එහෙම කරන්නෙ නොකරම බැරි කමට මිසක් කැමැත්තෙන් නෙවෙයි කියල අපි හොඳටම දන්නවනෙ….
    බොහොම සංවේදී කථාවක් ජනූ….ඔයා අපූරුවට ඒ කථාව වචන වලට හරවලා තියෙනවා

  13. ඇරියස් එකත් මරු නේ !
    ඔය ලියන ලියවිල්ල ලස්සනයි !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s