හිතවත්කම්…!!

ටිං ටිං ටිං ටිං ටිං….

දිගු සීනු නාදෙන් පස්සෙ  උදේ ඉඳල බුදු මැදුරෙ ‍ඉඳගෙන සෙල්ලම් කරන අපි ඔක්කොමල නැගිටිනව..

මුලු ඉස්කෝලෙම පුටු තල්ලු වෙන හඬ එක පාර ඇහෙනව..

ළමයි ගෙදර යන්න බෑග් ලෑස්ති කරනව…

සීනු හඬ  එක්කම ගෙදර යන්න සූදානම් වෙලා නැගෙන කෑගැහිල්ල අඩු වෙන්නෙ යෝ වද තම්පවරෝ කියල ඡත්ත මානවක ගාතා පටං ගන්නවත් එක්කයි.

ගාථා ඉවර වෙලා බෝයිස් හොස්ටල් එකේ අයියල පේලියට ‍‍ හොස්ටල් එකට එන වෙලාව වෙනකොට අපි විසිරිලා යනව..

හිරානුයි, ගංගයි, ජීවනියි, ලැබ් එකට…

මම සංගීත කාමරේට…

අම්මට හවස ඉන්නෙ නැති දවසක් වෙන්ඩ ඕනෙ අද…

හෑන්ඩ් බෑග් එකට අමතරව, උදේට දවල්ට බත් ගෙඩි දාගෙන එන සාගත මල්ලත් අම්මගෙ මේසෙ උඩ ගෙදර යන්න සූදානමෙන් ඉන්නව දැක්කම මට හිතෙනව.

ඒ දවස්වල සංගීත කාමරේ තිබුණෙ මේන් හෝල් එකේ කොනේ කාමරේ..   මං මේන් හෝල් එකේ ඉඳල ග්‍රවුන්ඩ් එකට බහින පඩි පෙළ උඩ ඉඳගන්නව.. හවස ක්‍රීඩා පුහුණුව පටන්ගන්න සූදානමින් අයියල අක්කල ග්‍රවුන්ඩ්  එකට එනව..

ශිෂ්‍යත්ව විභාගෙ ඉවර වෙලා ප්‍රතිඵල එනකල් අපි හිටියෙ පහ වසරටත් අයිති නැති හය වසරට ගිහිනුත් නැති මහා ගන්දබ්බ කාලෙක..

උගන්නන්නෙ නැති හන්ද අපි අපේ ඉස්කෝලෙ ගියේ නැතත් අම්මලට අපිව ගෙදර දාල එන්නෙ නෑ… අඩු ගානෙ අපි යාලු‍‍වො ටික එකතු වෙලා  ඉන්න හන්ද අපිට ටයි නැතිව යුනිෆෝම් අන්දගෙන උදේ ඉස්කෝලෙට එක්කන් ආව.. අපි උදේ ඉඳන් බුදු මැදුරෙ ඉන්න හේතුව අන්න ඒකයි…

කන්ඩ බොන්ඩ යන වෙලාවට විසිරිලා ගිහින් අම්මලගෙ බත්වලින් කටවල් දෙක තුනක් කාල එන්ඩ යන වෙලාව ඇරුණාම අපි සේරමල පොත් කියවන්නෙ, කයිය ගහන්නෙ, සෙල්ලම් කරන්නෙ බුදු මැදුරෙ..

කරස් කරස් කරස් කරස්..

ඔෆිස් එක පැත්තෙ ඉඳල අම්ම වැලි පාර දිගේ ඇවිදගෙන එන සද්දෙ මට ඇහෙනව..

අඩි උස නැති පැතලි සෙරෙප්පු පළඳින අම්මගෙ අඩි සද්දෙ මට අඳුනන්න පුලුවන්!!

යමු චූටි පුතා.. අම්ම එන්නෙ එහෙම කියාගෙනමයි.

අම්ම අතේ දුඹුරු පාට ලියුම් කවරයක්.. අද අම්මලගෙ පඩි දවස

යන ගමන් බඩු අරන් යන්නත් ඕනෙ.. ඉක්මනට බෑග් අරන් යන්ඩ ලෑස්ති වෙන්ඩ චූටි පුතා..

අම්ම නොකිව්වත් ඉස්කෝලෙ දෙකේ තුනේ කාලෙ ඉඳලම පඩි දාට මාසිකව කෙරෙන චාරිත්‍රය ගැන මම දන්නව.

අපි මලු කරේ එල්ලගෙන… කැන්ටිම ලඟින් පල්ලම් බහිනව..

කොස්ගස් පේලිය හරියෙ  ඉස්කෝලෙ ඇරුණාම හරිම නිහඬයි… දවල් කාලෙ වගේ නෙවෙයි.

ඒත් ළමයි එකා දෙන්න තාමත් ඉස්කෝලෙ ගැවසෙනව පේනව…

ගේට්ටුවෙ මාමට යන්නං කියාගෙන අපි ඉස්කෝලෙන් එළියට ඇවිල්ල තානායම ලඟ වංගුවෙන් හැරිල මහ පාරට එනව..

නාරම්මල ටවුමට යන්ඩ..

අපි යන්නෙ ආර් එම් එස් එකට

ආර් එම් එස් කියන්නෙ අම්ම බඩු ගන්න කඩේ..

ආ නෝන මහත්තයා.. එන්ඩ එන්ඩ..

කඩේ මැද පුටුවෙන් එකක් පිරෙන්ඩ ඉඳගෙන ඉන්න  ලොකු මුදලාලි කතා කරනව..  එයා තමයි සල්ලි ගන්නෙ…

සුදු රැවුල පපුව තෙක් වැවිල.. කොටු සරමක් ඇඳල, සුදු තොප්පියක් දාල ඉන්නෙ..

ඊට එහා පුටුවෙ ඉන්නෙ එයාගෙ පුතා මුදලාලි.

අර තරම් රැවුල දිග නෑ..

ඒත් අඳින්නෙ කොටු සරම්..සුදු තොප්පි..

කොයි වෙලෙත් හිනා වේගෙන.. පොඩි ළමයි ආවාම කයිය ගහන්ඩ අල්ලගන්ඩ බලාගත්තු ගමන්..

එයා තමයි බඩු ලැයිස්තුවලට ගනන් දාන්නෙ..

කොච්චර සෙනග හිටියත්, කාර්යබහුල වුණත් මුදලාලිල දෙන්න  හැම කෙනෙක්ටම පුද්ගලිකව කතා කරනව

මේ නෝන මහත්තයගෙ බඩු ලැයිස්තුව  ඉක්මනට දෙනව ළමයා..

කියල  වැඩ කරන කෙනෙක්ට පවරනව..

අම්ම ගෙදර ඉඳල ලියාගෙන එන බඩු  ලැයිස්තුව අර ළමයට දීල කරවල තෝරන්න යනව..

අම්මට වෙන කවුරුවත් කරවල තේරුවට හරි යන්නෙ නෑ.. එයාම ලඟට ගිහින් කූරිය අල්ලල ඔබල බලල, නහයට ලං කරලත් බලන කල්..

බබා එන්ඩ.. ඉඳගන්ඩ..

පොඩි මුදලාලිට වැඩ අඩු වෙලා

මට ඒ කතා කරන්නෙ කයිය ගහන්ඩ..

මං ගිහින් ඉඳගන්නව එතන තියෙන දිග බංකුවෙ..

ඒ බංකුව මිනිස්සු ඉඳගෙනම මැදිල දිලිසෙනව.. හරියට පොලිෂ් කළා වගේ

ඇයි බබා කෝ ටයි එක??

මුදලාලි ග්‍රොසරි බෑග් එකක් අරන් ඒකෙ කට ඇරල මුද්දරප්පලම් බෝතලේට අත දාන ගමන් අහනව..

අපිට උගන්නන්නෙ නෑ අපේ ඉස්කෝලෙ.. ශිෂ්‍යත්වෙ ලියල ප්‍රතිපල එනකල් ඉන්නෙ..

මං කතාව පටං ගන්නව.. විස්තර ඇතුව කියන්ඩ

ආ එතකල් අම්ම එක්ක ඉස්කෝලෙ යනව ඒමද??

මගදිම මුදලාලිට කතාවෙ වැඩි හරියක් තේරෙනව

බෝතලේ තියෙන පොඩි ටින් එකෙන් එකක් මුද්දරප්පලම් කවරෙට දාල මගෙ අතට දෙනව..

මං එක පාරට ගන්න යන්නෙ නෑ.. අදි මදි කරනව… අම්ම කියල තියෙන්නෙ  එහෙම කෙනෙක්  දෙන දෙයක් අතට ගන්ඩ එපා කියල.. විශේෂයෙන් කන බොන දේවල්!!

ඒව පුංචි කාලෙම හිතට තදට වැදිච්ච අවවාදනෙ ඉතිං..

ඒ හන්ද ටිකක් පස්ස ගහනව කොච්චර පෙරේත වුණත්..

ගන්ඩ….  ගෙදර ගිහින් කන්ඩ එහෙනං..කෝ අද මල්ලි??

 එයා ගෙදර

ඉතිං දැන් බබා විභාගෙ පාස් වුණාම මොන ඉස්කෝලෙටද යන්නෙ?? අම්මගෙ ඉස්කෝලෙද නැත්තං කුරුණෑගල යනවද??

නෑ මං අම්මලගෙ ඉස්කෝලෙටමයි යන්නෙ..

බබා ආස කවුරු වෙන්නද ඉගෙනගෙන??

මං ඕකට නං එක එක උත්තර දීල තියෙනව  මාසයක් ගානෙ කඩේට යනකොට මුදලාලි අහන අහන සැරේට..

පස්සෙ පස්සෙ මුදලාලි මගෙන් අහන්න ගත්ත

දැන් අද බබාට කවුරු වෙන්නද කැමති ‍ලොකු වුණාම කියල..

අ‍පේ අම්මට ඉතිං තනියම හිනා

ඒත් මාසයක් ගානෙ යන යන වතාවෙ වචන තුන හතරක් හරි කතා කරන එක නං පුරුද්දක් වුණා.. සමහර විට එතනට එන මගෙ වයසෙ අනිත් ළමයි කවුරුවත් එහෙම කතා කරන්නෙ  නැතුව ඇති.

ඔහොම ඉතිං නොයෙකුත් දේවල් කතා කරන අතරෙ එන පාරිභෝගිකයො හන්ද කතාවට බාධා එල්ල වෙනව..

මං හෙමින් සැරේ මුද්දරප්පලම් මල්ලත් අරන් අම්ම ඉන්න පැත්තට යනව.

අම්ම කරවල අරන් ඉවර වෙලා ඉතුරු බඩු ටිකට ගණන් දාල පිලිවෙලට මලුවල අහුරණකල් බලන් ඉන්නව

මං කඩේ මිල දර්ශනය කියවනව..  ඒක තියෙන්නෙ හුණුවලින් ආයෙ ආයෙත් ලියන්න පුලුවන් වෙන විදියට කලු ලෑල්ලක් වගේ එකක

ඊට වඩා කරවල ගොඩවල් හාල්මැස්සො ගෝනිවල කරවලයගෙ නමයි කිලෝ එකක මිලයි ගහල තියෙන කඩදාසි බෝඩ් කියවන එක තමයි කඩේ යාමේ තියෙන ජොලිම වැඩේ..

ඇයි අම්මෙ අර හාල්මැස්සොන්ට ආල් මැස්සො කියල ලියල?? ඒ මදිවට හුරුල්ලොන්ට  උරුල්ලා කියල ලියල ඇයි??

මට හිනා යනව ඉතිං

කරවල තියෙන හරියෙ කඩේ උදව්වට ඉන්න.. දැල් දැල් බැනියමක් ඇඳගෙන,සරම කැහැපට ගහගෙන ඉන්න කලුම කලු පාට  මාමටත් කර කර ඉන්න වැඩේ අස්සෙ හිනා යනව මගෙ කතාවට. එකත් එකටම එයා වෙන්ඩ ඇති බෝඩ්වල ලිව්වෙ…

පොඩි මුදලාලි ගණන් දාල ඉවර වෙලා බිල ලොකු මුදලාලිට දෙනව.. එයා ඒක කැල්කියුලේටරේ ආයෙමත් ගහල බලල… ගාණ රවුම් ගාණකට අඩු කරල අම්මට දෙනව..

අම්ම සල්ලි දෙනව..

ඊට පස්සෙ තියෙන්නෙ ලොකු මලු අම්ම අරන් පොඩි මලුටික මගෙ අතට අරන් එල්ලගෙන ගෙදර යන එක..

මාසෙටම දේවල් අරන් යන හන්ද මලු පොඩි වුණාට අපිට ගෙනියන්න තියෙන බර වැඩියි.. ඒ හන්ද ටවුමටම පයින් යන්නෙ නැතුව මග හෝල්ට් එකෙන් නගින්න හිතල නවතිනව.

හිරාන් වල්සෝම්ස් කියල නම තියපු වැඩිහිටි කෙනෙක්ට හිටගෙනවත් යන්ඩ බැරි සෝමෙ මාමගෙ වෑන් එක ආවාම ඒකට නැගල… බඩු ටිකත් පරිස්සමෙන් තියාගෙන කොන්ද නමාගෙන හැතැම්ම පහක් එන අම්ම පරිස්සමෙන් මාව බස්සල බඩු ටිකත් අරගන්නව..

අපි දෙන්න හෙමින් හෙමින් මලුටික උස්සන් ගෙදර පැත්තට ඇවිදිනව..

උණ බම්බු කඩුල්ල ලඟ අත්ත මොකද්දෝ හිටවන්ඩ හදනව..

අත්ත ලඟ සෙල්ලම් කර කර ඉන්න මල්ලි අපි දැකල දුවගෙන දුවගෙන එනව..

කාලය ගෙවුණ.. රට යන අත වෙනස් වුණා….

සත පහෙන් කොළඹ වටේ ගිය හැටි ගැන කියපු අම්මල තමන්ගෙ දරුවො පුංචි කාලෙ තුනයි පණහට තිබුණු පාන් රාත්තලක වටිනාකම දවසින් දවස ඉහල යන හැටි දැක දැක කාලය ගෙවුණ…

අපේ මිලදී ගැනීමේ රටා වෙනස් වුණා….

අපි ලොකු වෙනකොට, ගමේ සිල්ලර කඩ හැදෙනකොට, ටවුමෙන් මාසෙටම බඩු ගෙනල්ල තැබීමේ අවශ්‍යතාව හෙමින් අඩු වුණා…

ඉතිං හෙමින් හෙමින් අපි ආර් එම් එස් එකෙන් ඈත් වුණා..

පහුගිය කාලෙක නාරම්මල ටවුමට ගිය වෙලාවෙ මායි අම්මයි ආර් එම් එස් එකට ගොඩ වුණා. අවුරුදු පහලවකින් විතර මං හිතන්නෙ…

ආ නෝන මහත්තයනෙ… බොහොම කාලෙකින්… කොහොමද ඉතිං??

පරණ සුහද කතාවක් එක්ක කොහේදෝ ඇහිල පුරුදු හඬක්  මැද සීට් එකෙන් ඇහුණ..

ලොකු මුදලාලි වෙනුවට පොඩි මුදලාලි ඒ සීට් එකේ හිටිය… තරමක් තලත්තෑනි පෙනුමක් ඇවිල්ල.. හරියට ඒ සිට් එකට ගැලපෙන්ඩ වගේ..

පොඩි මුදලාලිගෙ සීට් එකේ ඒ හැඩම තියෙන තරුණයෙක් බිලක් ලියන ගමන් කාර්යබහුලයි.

සේරටම වඩා මට පුදුම හිතුණෙ  මුදලාලි පරණ සුහද හිනාවම පාල ආ බබා කොහොමද??  එන්ඩ ඉඳගන්ඩ?? කිව්වමයි

දැං බබා මොනවද කරන්නෙ??

බිලක් එක්ක හරඹ කර කර හිටපු අලුත් පොඩි මුදලාලි ඔලුව උස්සල  අම්ම ලඟ හිටගෙන ඉන්න  මහ බබා දිහා බැලුව පුදුමෙන් වගේ…

කාලය වේගයෙන් පියාඹගෙන ගිහින් ඇතිකරපු වෙනස්කම් ගැන මගෙ හිතේ ඇති වෙච්ච හැඟීම් එක්කහු වෙලා මූණෙ හිනාවක් ඇන්ද..

මං පුංචි කාලෙ මතකෙත් ඔඩොක්කුවට අරන් ඉස්සර වගේම දිලිසෙන දිග බංකුවෙ ඉඳගත්ත.

ලොකු, කුඩා, ජාති,කුල, පන්ති ‍ භේදයක් නැති පැරණි හිතවත් කමක් අලුත් වීමේ සතුට මගෙ ඇස්වල දිලිසුණා..

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

25 Responses to හිතවත්කම්…!!

  1. හිරු පවසයි:

    ඇත්තටම අන්තිමට මට ඇඬුනා….

    කාලය ගෙවිලා යන ඉන්මණ…

  2. amilac2014 පවසයි:

    ඉස්සර අපේ තාත්ත මාව තියං බයිසිකලේ නැගල යනව ගොඩක් දුර නාන්න. නාල එන ගමන් පුංචි මහත්තලයි කඩේ ලග නවත්තනවා බීම පැකට් බොන්න. තාත්ත ඒ අතරෙ මොක්ක හරි කතාවක. මං පොඩි බංකු කෑල්ලෙන් වැඩිවෙල බීම් පැකට් බොනව.ඒ අවුරුදු විස්සකට ඉස්සර..

    දැන් ඒ කඩේ ඉස්සර තරං සාර නැහැ. අලුත් අවුරුද්දට ගමේ ගියාම මට කඩේට යන්න වුනා සීනි ගන්න. ඉතිං කඩේ මුදලාලි හාමිනේ උන්නෙ. ඒ ගෙදර දෝනියැන්දා මට වඩා අවුරුදු තුනක් විතර බාලයි. දෝනියැන්දා කොම්පියටර් උපාදියක් කරන්න කොළඹ යෑම ගැන අම්මා නොසතුටින් හිටියෙ.
    පවුලෙ එකම දරුවා නිසා දුක ඇති. ඒ අම්මා නම් ඉස්සර ලක්ෂණ යුවතියක්. දැන් දෝනියැන්දත් ලක්ෂනට පාට වැටිල ඇති. ඒත් ඉතිං ආයි දකින එකක් නැහැ. දැක්කත් අපිව අඳුනන එකකුත් නැහැ.

  3. henryblogwalker පවසයි:

    දැන් අද බබාට කවුරු වෙන්නද කැමති ‍ලොකු වුණාම?

    මේක නම් මරු ප්‍රශ්නේ. සර්වකාලීනයි. එක අතකට මුදලාලි දාන්නේ small talk එකක් වුනත්, මිනිහට විස්තර මතක තියෙන බව ඒකෙන්ම පැහැදිළියි.

    මටත් ඔහොම චරිතයක් මුණ ගැහෙනවා. නමුත් එයා නම් ප්‍රශ්ණ අහන්නේ නිකං අහන්න ඕනෙවට. හැමදාම එකම ප්‍රශ්ණ. මම එතෙන්ට යන්නේ බැරිම වුනොත් තමයි.

  4. හරිම ලස්සනට ලියල තියෙනවා කෙල්ලේ. මට හිතා ගන්න බැහැ සමහර වෙලාවට හිතේ ඇතිවෙන හැඟීම් මේ තරම් කොහොම ද වචන වලට ගන්නෙ කියලා.හරිම සරලයි.හරිම සංවේදි.හරිම ලස්සනයි.වචන ඇවිත් හිතේ වැදිල යන්නේ හිතමහ අමුතු කරමින්….. මම ආවේ ෆේස් බුක් එකේ මරණේ ශෙයාර් කිරල තිබ්බ ලින්ක් එකෙන්.මරණෙ දෙයක් ෂෙයාර් කරනව කියන්නේ අනිවා ඒකෙ ආයෙ කියවන්න දෙයක් තියෙනව මයි…..

  5. මෙන්න ජනූ ආයේ ඇවිත්…
    අර අන්තිම වචනේ කිහිපේ තදට දැනුනා.

    ලොකු, කුඩා, ජාති,කුල, පන්ති ‍ භේදයක් නැති පැරණි හිතවත් කමක් අලුත් වීමේ සතුට මගෙ ඇස්වල දිලිසුණා..

  6. kathandarakaraya පවසයි:

    පේලි අතරේ කතන්දරේ අර බොඩු බාල සෙන්නාකාරයින්ට තේරුනොත් ඩෙඟා නටයි මෙතන.

  7. තිසර පවසයි:

    නගේ…. මම සංගීතෙ ඉගෙන ගන්න කාලේ සංගීත කාමරේ තිබ්බේ, ගර්ල්ස් හොස්ටල් එකේ ඉඳලා පහලට එද්දි මුලින්ම හම්බවෙන බිල්ඩිං එකේ කොණේ කාමරේ. ටක් ෂොප් එකයි පහළ පන්ති වල බෝයිස් හොස්ටල් හෝල් එකයි ළඟ. මම ඉස්කෝලෙ හිටියේ අවුරුදු කීපයයි නිසා හරියටම පැහැදිලිව හැම දෙයක් ගැනම හිතේ පින්තූරයක් ඇඳගන්න අමාරුයි. ඒත් බුදු මැදුර, මේන් හෝල් එක, හොස්ටල්, ටක් ෂොප් නම් අමතක වෙන්නේ නෑ.

    ගෙදර ඉඳලා සඳුදා පාන්දර ඇවිත්, මම හොස්ටල් එකට යන්න කලින් බස් ස්ටෑන්ඩ් එක ලඟ තියන පොඩි හෝටලේකිං කිරි මාළු එක්ක පාන් කාලා යන්නේ. ඒ කඩෙත් වැඩ කරන්න හිටියේ මුස්ලිම් අය. ඉස්කෝලෙ ඇඳුම ඇඳලා ලොකු බෑග් එකකුත් එල්ලගෙන එන මේ ළමයා ගැන පොඩි සැලකිල්ලක් ඒ අයගේ තිබ්බා. හොදි පෙරේතයෙක් වෙච්ච මට කීප වතාවක් ඉල්ලන්නෙම නැතුව හොදි ගේන්නත්, පාන් ඉවර වෙලා එහෙම තිබ්බොත් වෙන කඩේකින් හරි ගිහින් පාන් අරන් ගෙනත් දෙන්නත් එයාලා ඉදිරිපත් වුණා.

    • henryblogwalker පවසයි:

      තිසරත් ඔය රුක්මනී මැඩම්ගෙන් සංගීතේ ඉගෙන ගත්තා නේද? නම හරි නේද ?

    • ම්… සංගීත කාමරේ හරිම අහිකුණ්ටිකයි ඒ කාලෙ අයියෙ… ඉස්සෙල්ලාම තිබුණෙ ‍ඔය මං ලියල තියෙන මේන් හෝල් එකේ කාමරේ.. ඊලඟට තමයි අයිය කියන තැනට ගියේ.. ඊටත් පස්සෙ ඔන්න පොඩි බෝයිස් හොස්ටල් එක පිටිපස්සෙ කැලේ හරියටත් ගියා.. ආයෙ ආව අර ගර්ල්ස් හොස්ටල් එකට යන පාරෙ තිබුණ වොලිබෝල් පිට්ටනියෙ අලුතෙන්ම හදාපු බිල්ඩිමකට.. දැන්නං කොහෙ තියෙනවදවත් දන්නෙ නෑ…
      ඔය ඉස්සෙල්ලාම කැන්ටිම තිබුණෙත් බෝයිස් හොස්ටල් එකට යන පාර හරියෙ කොස් ගහක් පාමුල.. ඒ කැන්ටිමට නං මං තවත් හරි ආසයි.. පරණ තාලෙ ඉඩ තියෙන කැන්ටිමක්..
      බුදු මැදුර ඉස්සර තිබුණ වගේ නෙවෙයි දැන්.. වෙනස්..
      අයිය කියන ඔය හෝටලේ තියෙනවදවත් දන්නෙ නෑ දැන්.. බස් ස්ටෑන්ඩ් එකත් බිමට සමතලා කරල තිබුණ මෑතක අපි ඔය පැත්තෙ කරක් ගහද්දි..
      හ්ම්.. !!

  8. Ravi පවසයි:

    අම්මාපල්ල බොලාට මේක තේරෙන්නෙ නැති හැටියක්..කොච්චර කිව්වත් සත පහක වැඩක් ඇත…බංකුවෙ ඉන්දල මුද්දරප්පලං දුන්නම හරි…රට ජාතිය ආගම ඔක්කොම අමතකයි…ආර්.එස්. එම්. තමයි ඉතිං පොර..අනේ අම්මපා..මොකටද මගෙ කට….

    ඔය ආර්.එම්.එස්. එකේ මුද්දරප්පලං වලින් පටන් ගත්තු සීන් එක තමයි අද නෝ ලීමිට්, Fashion Bug දක්වාම ඇවිල්ල තියෙන්නෙ. බොලාට ඉතිං කොච්චර කිව්වත් වැඩක් ඇත..හබරල කොලේට දිය ඉහිනව වගෙ තමයි…

    මම පොඩි කාලෙ අම්මත් එක්ක ඔය වගෙම බඩු ගන්ට ගියෙ කෑගල්ලෙ ඒ දවස්වල තිබ්බ තාලිබ් වෙළඳ සැල කියල මහා පරිමාණ කඩයක්..අන්න ඒකට…ඒ මුදලාලි මට ඔය කඩේ තිබ්බ මුද්දරපලං අරක මේක දුන්නෙ නෑ තේරුණාද? එහා පැත්තෙ තිබ්බ මිල්ක් බෝඩ් එකෙන් අයිසි චොක් එහෙකුයි, අම්මට චොක්ලට් මිල්ක් එහෙකුයි …අන්න මිනිස්සු…

    අවුරුදු දහයකට වගෙ කලින් මම කෑගල්ලෙ ගිය වෙලාවක ගියා ඒ කඩේ තිබ්බ තැනට. අනේ ඒක නෑ දැන්..එතන තුන් මහල් සුපිරි වෙළඳ සංකීර්ණයක්…මගෙ පපුව කඩාවැටුන වගෙ උනා..සුපර් මාකට් කම්ප්ලෙක්ස් එක ඉස්සරහ පාරෙන් අනික් පැත්තෙ හිටගෙන මම සෑහෙන වෙලාවක් ඒ දිහා බලා ඉඳල පපුව හිස් වෙන්ට සුසුමක් පිටකරල ආපහු එන්ට ආව 😦

  9. Chathuri පවසයි:

    ලස්සනයි. එක හුස්මට කියවගෙන ගියා.
    මටත් පොඩි කාලෙ මතක්වුණා. මාත් ඉස්සර ඉස්කෝලෙ ඇරිලා අම්මගෙ ඉස්කෝලෙට යනවා.
    1.30ට අම්මගෙ ඉස්කෝලෙ ඇරෙනකම් විලෝ ගහක් යටට වෙලා පිට්ටනියෙ ළමයි සෙල්ලම් කරන හැටි බලන් ඉන්නවා.
    නැත්නම් පුස්තාකාලෙට වෙලා මිහිර පත්තර කියවනවා.
    ඒත් මං සෑහෙන බලාපොරොත්තු ඇතිව යන්නෙ අම්ම මාව කැන්ටිමට එක්ක ගිහින් අරන් දෙන දේ ගැනයි 😀

  10. ප්‍රියන්ත පවසයි:

    කාරණා කිහිපයක්ම හිතුන….

    කරෝල ලෑල්ලෙ ඉඳන් තියෙන මේ මතකය නං මාරයි කියන එක!
    ජාතික සමගිය ගැන ලියන කවි, සින්දු (ටෙලි නාට්ටි නං ඒව ළඟට වත් නැහැනෙ) ඇතුළු අට අනූවක් නිර්මාණවලට වඩා මේ ලියවිල්ල කොච්චර ප්‍රබලද කියන එක.!
    මනුස්සකම ගැන දැනෙන අසීමිත හැඟීම මේ වගේ ලියවිල්ලක කොච්චර ද කියන එක…!

    ඔහොම හිතිල හිතිල… අන්තිමට හිතුනෙ…
    ඇයි ජනූ බබාට මේ පාර මුදලාලි දුන්නු මුද්දරස්පලං ගැන නොලිව්වෙ කියන එක…. එතෙන්ට එද්දිම කතාව ඉවරයි. චහ්… අපරාදෙ!!

  11. Bindi පවසයි:

    හැමදාම ජාන්ස්ගේ කතා එක්ක මගේ කතා පැහෙන එක තමයි පුදුම වැඩේ .අපි දෙන්නගේ වයස පරතරය අවුරුදු දහයක් වත් වෙන්න ඕන ..නමුත් මේ අතීත අත්දැකීම් එකට සමපාත වෙන්නේ ඒ අවුරුදු දහය තුල ලෝකය හෙමින් කැරකුනාද මන්ද . අපේ අම්මත් සතියකට සැරයක් හරි සති දෙකකට සැරයක් හරි පිටකොටුවේ නැත්නම් තොටළඟ මාකට් එකට එහෙමත් නැත්තන් කඩුවෙල පොලට යනවා . ඒ ඇරෙන්න හතේ කණුවේ කඩේ..[.ඇත්තටම එතන හතේ හැතැප්ම කණුව] තමයි ඔය වගේ හාල් තුනපහ වැඩිය ගන්න තිබුනේ. අවුරුදු අට නවය කාලේ මන් තනියම බස් එකෙත් ගිහින් අම්ම ලියා දෙන ලිස්ට් එකට බඩු අරන් ඇවිත් තියෙනව . පොලිතින් බෑග් තිබ්බෙම නැද්ද කොහෙද . කඩදාසි වල ඔතල ගෝනි නුලෙන් ගැට ගහල තමයි සිනි පවා දෙන්නේ. දැන් නම් පුදුමයි තනියම කල වැඩ ගැන. එහෙව් නිදහසේ හැදුනු අපේ පරම්පරාවේ උන්ගේ ළමයින්ට පාරේ බැහැල යන්න නිදහසක් නැති වුන එකට නම් මට හරිම දුකයි . පරිණාමයේ ඉහලට එද්දී අපට ලැබුණු හුඟක් හැකියාවන් එක්ක නැතිව වුන වලිගය වගේ තමයි ඒ නිදහසත් ..මට හිතෙන්නේ එහෙමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )