මං හනි හනිකට කෝන් එක උඩ දුම් දම දම තිබුණ වැනිලා අයිස්ක්රීම් බෝලෙ පුලුවන් දියවෙන්ඩ කලින් සමතලා කළා
ඊලඟට පටන්ගත්තෙ ඉතුරු අයිස්ක්රීම් ටික කෝන් එක ඇතුලට තල්ලු කිරීමේ වැඩසටහන..
කෝන් එක පෙඟිල කර කර ගාන ගතිය යන්න කලින් ඒකෙ හීනි මුල්ලට යනකල් අයිස්ක්රීම් තල්ලු කරල ටික ටික කෝන් එක කන එක තමයි දැන් කරන්ඩ තියෙන්නෙ…
මං කරන්නෙ මොකද්ද කියල වගේ වගක් නෑ වගේ පෙම්බරය මගෙ එහා පැත්තෙන් ඉඳගෙන තමන්ගෙ අයිස්ක්රීම් එක රසවිඳිනව.
අයිස් ක්රීම් තියේ නං ඉතිං ආයෙ වෙන මොනවත් ඕනෙද එයැයිට?
ටික ටික අයිස්ක්රීම් පිරිච්ච කෝන් එක ඉවර වෙනකොට තව එකක් කෑමේ ආසාව දැඩිසේ වැඩෙනව.. අනික අන්තිම ටික කන්ඩ ලෝබ හිතෙනව..
හ්ම්!!!
මං හුස්මක් එහෙම පහතට හෙලල අන්තිම කෑල්ල කටට දාගන්ඩ හැදුව විතරයි අසුරු සැනින් අතක් ඇවිල්ල මගෙ අතින් ඒ කෑල්ල උදුරගන්නව..
හරියට වුණේ මොකද්ද කියල තේරිලා මං හැරෙනකොටත් පෙම්බරය ඒකෑල්ල කාල කට වහගෙන මොකුත් නොවුණ වගේ මූණ හදාගෙනත් ඉවරයි ඉතිං
ඒ මදිවට තව මං නෙවෙයි කියල කියන්ඩ වගේ මූණත් හදාගෙන.
මං ඔය කෝන් එකේ අන්තිම කෙළවර දක්වා අයිස්ක්රීම් පුරවල තියෙන්නෙ කියල විතරක් නෙවෙයි, ඒ ටික කන්නෙ ලෝබ කමෙන් කියලත් උන්දැ දන්නව
එහෙම කරන එක වැරදියි නේද ඉතිං?
මං අහන්නෙ හිතේ ඇඳිච්ච හිනාව එලියට පේන්න නොදී බොරුවට කට දෙපැත්තෙන් පාත් කරගෙන නරක්වෙච්ච මූණක් හදාගෙන
ආ.. ඉතිං දැන් මං ඔයාගෙන් ඔය කෑල්ල ඉල්ලුව නං.. ඔයා දෙනවනෙ මට.. නැද්ද??
මං නෑ කියන්ඩ ඔලුව දෙපැත්තට වනනව. හිනාවක් පුපුරන්ඩ එනව තොල් අස්සෙන්… ඒක හපාගෙන මං ඔලුවෙන් නෑ කියනව…
හා දෙන්නෙ නැද්ද??
ම්හු.. ඒකට අයිස්ක්රීම් පුරවල පුරවල ඔයාට දෙන්ඩ.. හරි වැඩක්නෙ..
ආ… ඒක මටත් අයිතියි.. මොකද ඔයා මගෙ වයිෆ් නෙ.. ඉතිං වයිෆ් පුරවපු අයිස්ක්රීම් කෝන් එක මටත් අයිතියි..
ඒ පාර පෙම්බරය මට එයාගෙ වෛවාහික අයිතීන් පවා ඉදිරිපත් කරනව එයාගෙ වංචනික ක්රියාව සාධාරණීකරණය කරන්ඩ..
හා එහෙනං දැන් ඔය ඔයාගෙ අතේ තියෙන අයිස්ක්රීම් එක මටත් අයිතියිනෙ.. දෙන්ඩකො මටත් ටිකක්…
මං උන්දැගෙ වචනම අනික් පැත්තට විදිනව… අයිස්ක්රීම් එක බොරුවට උදුරන්ඩ හදනව
මං කොයියම්ම මොහොතක හරි පැනල අරගනියි කියල බයේ පෙම්බරය තමන්ගෙ අයිස්ක්රීම් එක කාගෙන කාගෙන යන හැටි දැක්කම මට ඉතිං හිනාව පනින එක නවත්ත ගන්ඩ බෑනෙ..
හා ඉන්ඩකො මං අරන් යනව අද ගෙදර යද්දි.. වැනිල අයිස් ක්රීම් පෙට්ටියකුයි කෝන් පෙට්ටියකුයි.. ගෙනිහිල්ල හංගල තනියම කනව.. දෙන්නෙ නෑ එකක්වත්
මං කියන්නෙ අර අන්තිම කෑල්ල කාගන්ඩ බැරි වෙච්ච දුකට මිසක් කවමදාවත් කෙරෙන වැඩක් නං නෙවෙයි ඉතිං..
ඕකෙ හිනාම යන දේ තමයි ජීවිතේ තුන්වෙනි දශකය ගෙවන්ඩ පටන් අරගෙනත් තාම ඔය බොළඳ ඇබ්බැහිකංවල සීමාවක් නැති එක..
ඔන්න තව එකක්..
ඉස්සර ආච්චි අම්ම අපේ ගෙදර ආප්ප හදද්දි අපි එතනම පැදුරක් එලාගෙන කන්ඩ ඉඳගන්නව පිඟනුත් අරන්..
ආප්ප හත අටක් උයල ආච්චි අම්ම අපේ අම්මට මෙහෙම කියනව
දුවේ ඔය බිත්තර පෙට්ටිය මෙහෙට ගෙනාවනං
ඔන්න ඕක ඇහෙනකල් අපි ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ..
ආච්චි අම්ම දන්නව අපි එක එක්කෙනාට බිත්තර ආප්ප ඕනෙ විදිය…
මායි මල්ලියි දෙන්නම බිත්තරෙ කහ මදේ හෙල්ලෙන ගානට තියෙන්ඩ බිත්තර ආප්ප ඉල්ලන්නෙ ඒකෙ ගාගෙන ආප්ප කන්ඩයි..
ආච්චි අම්ම උඩ කබල අයිං කරල බිත්තර ආප්පෙ ආප්ප හැන්දෙන් ගලවල තියන්නෙ තව ආප්පයක් උඩ.. ඊට පස්සෙ ඒක දෙන්ඩ කලින් තව ආප්පෙකින් වහනව..
ආච්චි අම්ම ආප්ප හදන ලිප ලඟම පැදුරෙ ඉඳගෙන ගාණට දුඹුරු පාට වෙච්ච ආප්ප වාටි බිත්තර සාරුවෙ ගාල කන එක තමයි ආප්ප කෑමේ පරම සතුට!!
ඕක කෑවම ඉතිං වෙන මොනවත් කන්ඩ මගෙ නං බඩේ ඉඩක් නෑ..
අනික මාලු හොද්දකුයි හොඳවයිං කට්ට සම්බෝලෙකුයි වරදින්නෙ නැතුවම තිබුණට මොකද බිත්තර ආප්පෙ කහ මද සාරුවෙ ගාගෙන එක්ක ආප්පයක් කෑවෙ නැත්තං අර කෑම සම්පූර්ණ නෑ වගේ මට නං..
දැන් කාලෙ උන්න ගමන් කඩවල ආප්ප කන්ඩ ගිහින් එතන ඉන්න ආප්ප බාස් බිත්තර ආප්ප ඉල්ලුවාම කරන්නෙ බිත්තරේ කඩල දාල කහමදේ සුනු විසුණු කරල ඊට උඩින් ලුණු ගම්මිරිස් තලියකුත් දාන එක..
මට කෑගැස්සෙන්ඩ යනව ඉතිං..
මං ඒ වෙලාවට දන්න අඳුනන තැනක් නං ඉතිං හෙමින් සැරේ කියනව
ඊලඟ එක කහ මදේ කැඩෙන්නෙ නැතුව.. වැඩිය තැම්බෙන්නෙ නැතිව අරන් දෙන්න කියල
ඔය නන්නාඳුනන ආප්ප කඩවල ඉන්න මිනිස්සු නං පුදුමත් වෙනව ඇති හැමෝම අර ලුණු ගම්මිරිස් ආප්පෙ රහ කරකර කන අස්සෙ මං නිකංම නිකං ජොල් ආප්පයක් ඉල්ලනකොට.. මොන රහකට කනවද කියල..
ඒත් ඉතිං ඒකෙ රහ දන්නෙ මං නෙ..
ඒ විතරක් නෙවෙයි, බුල්ස් අයි එකක් දැම්මත් මං කහ මදේ ඒ හැටි තම්බන්නෙ නෑ…
අලි පේර කියන්නෙ මගේ ප්රියතම පලතුරක්!! හැමෝම වගේ සීනි එක්ක කන අලිපේර මං කන්නෙ කිතුල් හකුරුත් එක්ක..
ඉස්සර අම්ම ගිරාගම වැඩකරන කාලෙ මං කැම්පස් නිවාඩුවට යනව එහෙ එයා එක්ක නතර වෙන්ඩ..
අලිපේර කාලෙට උදේ පාන්දරට පිලිමතලාව අවට ගම්වල මිනිස්සු අලිපේර මලු අරන් ගුරු විද්යාලෙට එනව..
හොඳට ඉදුන ලොකු ගෙඩියක්ම වෙන්නෙ රුපියල් පහක් විතර..
ඉතිං මං අම්මට කරදර කරල අලිපේර මලු දෙකක් විතර අරගන්නව..
ඔය ගෙඩිය දෙකට පලල ඇටේ අයිං කරල ඒ ඉඩට අම්ම තේබොන්ඩ අරං ඇවිල්ල තියෙන කිතුල් හකුරු බෑය කුරුටු ගාල දාගෙන මං යන්නෙ ගුරු නිවාසෙ පඩිපෙල පටංගන්න තැන බැම්ම උඩටයි..
පිටේ බැඳගෙන එන කතා පොත් මල්ලෙන් එකක් අරන්, තේ හැන්දකුයි හකුරු පුරෝපු අලි පේර බෑයයිත් අරන් ඔය බැම්මෙ ඉඳගෙන පැති තාප්පෙට හේත්තුවක් දාල එහෙම හරි බරි ගැහිල ඉඳගන්නව..
මං අලිපේර චප්ප කරල මිශ්රකරල කන්ඩ ආස නෑ… පොත ඔඩොක්කුවෙ තියාගෙන හැන්දෙන් ලොකු අලිපේර කුට්ටි කඩාගෙන හකුරු රැල් එක්ක කන එක තමයි ඉස්සෙල්ලාම කරන්නෙ..
හවසට අම්ම එක්ක පයිං පිලිමතලාව ටවුමට ගිහිං එළවලු ටිකක් අරං එන එකයි, ගුරු විද්යාලෙ සමර් හට් එකේ ඉඳගෙන ඈත කඳුවලල්ල දිහා බලං ඉන්න එකයි ඇරෙන්න වෙන කරන්ඩ වැඩකුත් නැති එකේ අලිපේර කාල බඩ පුරෝගෙන පොතකට වහ වැටිල තාප්පෙ ඇලිල ඉන්න එක හරි විනෝදයි..
අදත් කාල නෑ නේද උදේටයි දවල්ටයි දෙකටම…. ??
අනේ අනේ ඔය විදියට දවසට අලිපේර හතරක් පහක් කෑවාම ආයෙ වෙන දෙයක් කන්ඩ පුලුවංද??
ඒ මදිවට මගෙ හකුරු බෑය නාස්ති කරන හැටි අම්මපා…!!
හදාගන්ඩකො චූටි පුතා බඩේ අමාරුවක්වත්…
අම්ම උදේ යද්දි උයල යන දේවල් හැන්දෑවටත් එහෙමම තියෙනව දැක්කම අම්ම ඉතිං බනිනව.
බැනල රෑට නවරත්න කල්කෙන් කෝපි ඇටයක් විතර දෙනව ගිලින්ඩ..
මං ගිරාගමින් ආපහු කැම්පස් යන්නෙ ඉතිං සති දෙක තුනට හිටිය වගේ දෙකක් විතර වෙලා තමයි….
අලි පේර විතරක් විතරක් නෙවෙයි.. කිරි යෝගට් කනකොටත් මං ඒව මිශ්රකරල කන්නෙ නෑ.. සමහරු ඉන්නවනෙ කිරි කෝප්පෙට දාල පැනිත් දාල හොඳටම අනල කන.. මං එහෙම කනව තියා එහෙම අනන කෙනෙක් ලඟ ඉන්නෙවත් නෑ… ඒක දැකපු දාට කිරි කන්නෙත් නෑ…
මං කනව නං කන්නෙ ඒක ලොකු කුට්ටියක් වගේ පරිස්සමට දීසියෙ තියාගෙන හැන්දෙන් කුඩු නොවෙන්ඩ පැණි තවරල කන එක..
එක එක සමයං තියෙනව නෙ ඉතිං එක එක උදවියට නැද්ද???
අපේ මල්ලිත් මං වගේ කිරි අනල කන්නෙ නැති වුණාට එයාට තියෙනව එයාම හදාගත්තු අමුතු කෑම. මං නං කියන්නෙ ඒවට ඌරු කෑම කියල
දැං ජෝඩු දෙකම අපේ ගෙදර ගියාම අම්මගෙ පැණි හකුරු ඉවර කරන්නෙ මල්ලි තමයි.
කෙසෙල් ගෙඩි පෙති කපල දීසියක දාගෙන, ඒකට උඩින් අම්ම රොවාට දෙන්ඩ ගෙනත් ටින් එකක දාල තියං ඉන්න ක්රීම් ක්රැකර් දෙකකුත් කෑලි කරල දාගෙන, ඊටත් උඩින් අම්මගෙ කිතුල් පැනි බෝතලෙන් සැලකිය යුතු ප්රමාණයක් වක්කරගෙන කනව විතරක් නං මදැයි.. ඒක අනිත් අයට කව්වල රහ පෙන්නන්ඩත් එනව..
ඕයි අක්කෙ.. මේ කාල බලනවකො මේක… මේ මාර රහයි..
මං ලඟට ඇවිල්ල කොච්චර පෙරැත්ත කලත් මං නෙවෙයි බලන්නෙවත් ඒක දිහා..
මට කන්ඩ බෑ… ඒක මං කැමති රහක් නෙවෙයි
කැමතිද නැද්ද කියල බලන්ඩ කනවකො ඉස්සෙල්ල..
අම්මේ.. මෙන්න……
මල්ලි උත්සාහය අතාරින්නෙ මං ඉස්සර වගේම අම්මව ගෙන්නන්ඩ කෑ ගහන්ඩ යනකොට තමයි.
පැණි නැතුව කිරි කන්ඩ බැරි එක, කිතුල් හකුරු නැත්නං අලි පේර කෑවට වැඩක් නෑ කියල හිතෙන එක ඉතිං දැන් චිරාත් කාලයක් මගෙත් එක්කම වැඩිච්ච ඇබ්බැහිකං නෙ..
ඒ හන්ද කිරි කන්ඩයි අලිපේර කන්ඩයි මං ලඟ තියෙන පැණි හකුරුටික පරිස්සං කරගන්නෙ වෙන මොනවටවත් ගන්නෙ නැතුව.. එව්ව හම්බවුණ වෙලාවට කන්ඩ…
ආ… මෙන්න චූටි පුතා මෙන්න කිතුල් හකුරු.
ගිය සති අන්තෙ ගෙදර ගියාම උන්න ගමන් අම්මගෙන් කිතුල් හකුරු මුලක් ලැබුණම මට හිතුණෙ මෙන්න මෙච්චරයි.
ෂහ්!! අලි පේරත් තිබුණ නං..!!
පින්තූරෙ මෙන්න මෙතනිං
//අලි පේර විතරක් විතරක් නෙවෙයි.. කිරි යෝගට් කනකොටත් මං ඒව මිශ්රකරල කන්නෙ නෑ.. සමහරු ඉන්නවනෙ කිරි කෝප්පෙට දාල පැනිත් දාල හොඳටම අනල කන.. මං එහෙම කනව තියා එහෙම අනන කෙනෙක් ලඟ ඉන්නෙවත් නෑ… ඒක දැකපු දාට කිරි කන්නෙත් නෑ…//
මමත් එහෙමනෙ…
😀
මල්ලි කියනවට දවසක ඔය ඌරු කෑම ටිකක් කාලා බලන්ටකො.. ඒවා තමා හලෝ රහම රහ.. 😀
හාකො.. ඇස් වහගෙන තමයි කන්ඩ ඕනෙ ඉතිං.. ඒක පෙනෙද්දි තමයි අමාරු කාගන්ඩ.. බූලයියා කාලෙකින්!!
ඇයි බොලං, කෙහෙල් ගෙඩියි ක්රීම් කැකරුයි කිතුල් පැණියි කියන්නෙ ඔච්චර අප්පිරිය දෙයක්ද.!? අර නිශ් කියනවා වගේ අයිස්ක්රීම් ටිකකුත් දාගත්තම පංකාදු පහයි.. හැබැයි මම නං වැඩියෙම්ම කැමැති ෆෘට්-ඇන්ඩ්-නට් අයිස්ක්රීම් ටිකක් දාගෙන කන්ට තමා..
බලාගෙන ගියාම මෙවුන් ඔක්කොමල ඒක කාල නෙව.. හිටු මාත් කනව අද හෙටම. දෙන්නං වැඩේ!!
ෆෘට් ඇන්ඩ් නටුත් හොඳයි. ඒත්
මම නම් කැමති වැනිලා වලට කිතුල් පැනියි වැනිල අයිස් ක්රීමුයි එකතු උනාම හොඳ රහක් හැදෙනව.
ජනූ
කන හින්දා නෙව කියන්නෙ බන් වෙලාවක කාලා බලලා විස්තරේ කියන්නකෝ
හා.. හිටපියවු.. මං කනව මේ සතිය ගෙවෙන්ඩ කලිං අම්මප
බිත්තර ඔහොම කන්න ආසනම් ඊලග පාර poached egg එකක් හදලා බලන්න.
🙂 ස්තූතියි ඔත්තුවට
අයිස්ක්රීම් කද්දි කෝන් එකේ අග්ගිස්ස වෙනකම් තල්ලු කරල අග්ගිස්ස පුරවල කන පුරුද්ද මටත් තියෙනෝ. ඒ ටික තමයි රහම
නැත්තං.. ඒ ටිකේ රස.. කෝන් එක ගානට පෙඟිල ඒක හපද්දි අයිස්ක්රීම් එකේ දිය වෙච්ච ටික ඒ කෝන් එක හරහා එනකොට තමයි නියම!!
අයිස් කෝන් කද්දි එහෙම කරන්ඩ හිතෙනව නේන්නම්
මේක දැක්කම අයිස් කෝන් එකක් දැං තියෙනවනම් කියල හිතෙනව මෙහෙම කන්ඩ 😀
කවදත් වගේ රසවත් පෝස්ට් එකක්.
අදනම් කමෙන්ට් එකක් දාන්නම හිතුණා 😀
ඕක හරියටම හරි යන්නෙ අර පරණ තාලෙ අයිස්ක්රීම් කෝන් එක්ක තමයි.. ඒ රහ මතක් වුණාම අයිස් ක්රීම් පෙට්ටියක් අරන් කෝන් පැකට් එකකුත් අරන් ගෙදර යන්න හිතෙන්නෙ නැත්තං තමයි පුදුමෙ ඉතිං
අයිස් කෝන් එකේ කොණටම අයිස් ක්රීම් තල්ලු කරන එක මමත් කරනවා.
උඹ කාලා තියෙනවා නේද කිරිපිටි සහ සීනි. මගේ යාලුවෙක් ඔය මිශ්රණයට වතුර පොඩ්ඩක් දාලා පාන්වල ගාගෙන කනවා බං.
ඇයි උම්බලකඩේට වැඩේ දීලා අලු ගාලා තියන්නේ.
කිරි පිටි!! කිරිපිටි කන එක අයියෙ කලාවක්.. කලබලේට එහෙම බෑ.. උඩු තල්ලෙ දිවේ කට හැම තැනම ඇලෙනව පොඩ්ඩ වැරදුන ගමන්.. ඉස්සර අපි දෙන්න කිරිපිටි හොරාකන්ඩ තෝරගන්නෙ අම්මල ගෙදර එන්ඩ වැඩි වෙලාවක් යන දවස්…
පාංවල ගාගෙන කන්ඩ වෙන මොනවත්ම තිබුනෙ නැද්ද අයියෙ යාලුවට.. අපේ පෙම්බරයගෙ ලොකු තාත්තකෙනෙක් හිටියලු මී කිරියි, බතුයි, කිරි හොදියි කන, උඹගෙ යාලුව දෙවෙනි වෙනව නං වෙන්නෙ ඒ ලොකුතාත්තට තමයි.
මල්ලි තමයි උම්බලකඩේ කන්නෙ නං අපේ ගෙදර.
ඔය කෑම ජාති ඔය විදිහටම කන්න තමා මාත් මනාප.
කොහොම උනත් දැන් ඉන්න ආප්ප බාස්ලට බිත්තරේ කඩන්නෙ නැතුව හදන්න දන්නෙ නෑ. ඒත් කොළඹ අවට තැන් දෙක තුනක් තියෙනව ඔහොම ආප්ප කන්න පුලුවන්.
පැනි නැති වෙලේට මම නම් කරන්නෙ අලි පේරෙට හරි කිරි ටිකට හරි සීනි ටිකක් දාලා පොඩ්ඩක් පැත්තකින් තියල තියන එක.ටික වෙලාවකට පස්සෙ සීනි ටික දිය උනාම කුට්ටි පිටින් කන්න පුලුවන්.
අර මල්ලිගෙ ඌරු කෑම එකට වැනිල අයිස් ක්රීම් ස්කූප් දෙකක් දා ගත්තහම නියම රසයි. දවසක කලාබලනවා
දැන් ආප්ප බාස්ලට ස්පෙෂල් ඉන්ස්ට්රක්ෂන් දෙන්නත් හරි අමාරුයි නිෂ් .. ඒතරං හදිස්සියි නෙ එයාලට.. ඒත් බිත්තරේ කොහොම හරි දමාගත්තත් ආප්ප කියල තියෙන්නෙ තාප්ප වගේ වාටි තියෙන මලාට ඇකිලෙන්නෙ නැති, කර වෙන්නෙ නැති ඒවනෙ. ඒවගෙ අර ගෙදර රස නෑ ඉතිං..
මං සීනි එක්ක නං කිරි කන්නෙම නැති තරං.. පැණි බෝතලේ තරං කුස්සියෙ පරිස්සං කරන වෙන දේකුත් නෑ 😀
දැන් මේ හැමෝම මල්ලිගෙ ඌරු කෑම ට්රයි කරල බලන්ඩ කියන්නෙ ඔයාල ඕක කාල තියෙනවද??
හපොයි!!
මට මතකයි එයා දවසක් කෑව චීස් බට්න්ස් බිස්කටුයි, මුද්දරස්පලමුයි. ඔන්න කාල බලනව නං තව ඌරු කෑමක්
//එක එක සමයං තියෙනව නෙ ඉතිං එක එක උදවියට නැද්ද???//
ආයෙත් අහලා!!!
අපෝ කඩේ බිත්තර ආප්පා ගැන නම් කතා කොරල වැඩක් නෑ අප්පා! ඒක බිත්තර ආප්පෙට කරන අගෞරවයක්!
අපෝ!! මතක් කරන්ඩ එපා.. මේ ලඟදි පැනි ආප්ප කියල ජාතියක් කෑව.. මැද්ද අමුම අමු..
කෑම හදන්න ඕනෙ කරන ඉවසීම, රහ ගැන ඉව, නැති මිනිස්සු රස්සාවට කෑම හදන්න ආවාම තමයි ඉතිං එහෙම වෙන්නෙ
මේක ඔයාට මතකද දන්නෙ නෑ..ඉස්සර අපේ ගෙදර ආවාම ඔයාල තමරයි, අපේ මල්ලියි දෙන්න චූටි ජෙම් බිස්කට් කණු හදනව කන්ඩ කලින්.. හදන්නෙ මෙහෙමයි… එක බිස්කට් එකක් උඩින් තව බිස්කට් එකක් හපල හපල ක්රීම් කරල දානව
ඒක උඩින් බිස්කට් එකක් තියෙනව…
ඔහොම තලපෙයි බිස්කට් එකයි, තලපෙයි බිස්කට් එකයි.. එක උඩ තියල කණු හදාගෙන තමයි ඒ දෙන්න බිස්කට් කන්නෙ..
ඉකෙයියා! මට මතක නෑ එහෙම එකක්! එනිවේ ඇඩඩ් ටු මයි ඩේටාබේස්!
/ ඉස්සර අම්ම ගිරාගම වැඩකරන කාලෙ මං කැම්පස් නිවාඩුවට යනව එහෙ එයා එක්ක නතර වෙන්ඩ.. /
උඹ ඔය ගිරාගම හිටියෙ කොයි කාලෙද? ඉඳහං බලන්ට අනුමාන කලොත් 2003, 2004 වගේද?…හෙහ්, ඔය කාලෙ බාං මමත් පිළිමතලාවෙ ටවුමෙ කරක් ගහනව දවස් දෙහෙකට සැරයක් විතර. අම්මාපල්ල් උඹයි අම්මයි දැකලත් ඇති. හෙහ්..හෙහ්..
අර පරණ යකඩ පාලම මතකද ඔර්ලෝසු කණුව ගාව තියන.ඕකෙ දිගටම එළවළු වෙළෙන්දො…උඹල එළෝළු ගන්නෙ එයාලගෙන්ද? නැත්තං එතනම මහ පාර අයිනෙ තියන මාළු කඩේට අල්ලපු එළෝළු කඩෙන්ද? එතනම ඉස්සරහ තිබ්බ බාබර් සැලූන් එකක්.අර පරණ තාලෙට හයවෙනි ජෝජ් රජ්ජුරුවංගෙ, එළිසබෙත් රැජින කුමාරි කාලෙ, එතකොට ඩී.එස්. ඩඩ්ලි. සර් ජෝන්, බන්ඩාරනායක උන්නැහැගෙ එහෙම රාමු කරපු පින්තූර එල්ලපු. නවීන පන්නෙ සැලූන් වලට වඩා බං මම රැවුල කොණ්ඩෙ කපන්ඩ ආස ඔය පරන තාලෙ සැලූන් වලින්. එව්වගෙ ඒ තියෙන මෙව්ව එක අලුත් සැලූන් වල නැහැ.
ඔය සැලූන් එක ගැනත් තියනව හොඳ කතාවක්. 🙂
ගිරාගම ගුරු විද්යාලෙට යන පාරෙ වම් පැත්තෙ තිබ්බ ඉස්කෝලෙ මතකද? අපෙ ලොක්කි ඕකෙ ඉගැන්නුව අවුරුද්දක් විතර. අපෙ මහ ගෙදර බං ඔර්ලෝසු කණුව ගාව ඉඳල කොළඹ පැත්තට හෝල්ට් තුනයි. මම ගොඩක් වෙලාවට රේල් පාර දිගේ පයිං එන්නෙ පිළිමතලාව ටවුමට.
හරියට හරි හරියට හරි.. ඒ කාලෙ තමයි.. ඇත්තටම අයියෙ අපි දැකල ඇති එහෙනං අනන්ත.. අපි අර පාලම උඩිනුත් ගන්නව.. ඔය හැම තැනින්ම ගන්නව.. අර බේකරියක් තිබුණෙ.. එතනින් තේ බොන්ඩත් එනව උන්න ගමන්. අම්මපා… උඹව දකින්ඩම ඇති කියලයි දැන් මගෙ හිත කියන්නෙම
චැහ් උඹ පූරුවෙ වාසනාවක් හන්ද මට ඒකාලෙ මුලිච්චි නොවුන කියල හිතාගනිං අයියෙ.. නැත්තං උඹේ පිස්සුව ඒ කාලෙමයි දෙගුණ තෙගුණ වෙන්නෙ.
විකාර කෑම නම් හරි අපූරුයි, මටත් තිබුනා ඔහොම කෑම දං ගෙඩියි සීනියි වගේ ඒවා. අලිපේර උයලා කාලා තියෙනවද? මට නම් කටේ තියන්නවත් බැරි උනා. ඒත් රසයිලු.
අපේ ගෙදර ඉස්සර ලෙමන් ගාලක් තිබුණ.. අපි ඕකෙ ගැට කඩල පිහියෙන් කපල ඇතුල ටිකක් තලනව පිහි තුඩෙන්ම.. ඊට පස්සෙ දානව ඒකට සීනියි ලුණුයි.. හැන්දක් අරන් කන එක තමයි ඊට පස්සෙ කරන්නෙ කට ඇඹුල් කර කර.:-D
ඇයි අමු දිවුල් දෙකට පලලා, ලුණු, ගම්මිරිස්, කොච්චි එකට කොටලා. මම නම් ඒක කරන්නේ දිවුල් කට්ටේ තියාගෙනම තමයි.
ඔය ගානට පැහිච්ච දිවුල්වලට අපේ පෙම්බරය කියන්නෙ බත්ජූල්. එයැයි නං කන්නෙ දිවුල් ගෙඩිය දෙකට පලල එක බෑවක උඩට ලුනු කොච්චි දාල පිහියෙන්ම පොඩි කර කර. ආයෙ කොට කොටා ඉන්නෙ නෑ.