තවත් එක ජනේරු පළවෙනිදාවක් අත ලඟ…!!

මහ දවල්!!

ඉර හරියටම මුදුනෙ..

ඒ මදිවට දවසම ඔෆිස් ඇතුළෙ ඉඳල කලාතුරකින් දවල්ට එළියට බහින අපිට ඇස් අරින්න බැරි තරමට රැස් විහිදන්න අරන්…

පාර පනින්න ඉන්න මිනිස්සු දැක්කම පාර උඩ තප්පරෙත් මහා හුඟක් වටිනව කියල මතක් වෙන, වාහනේ වේගෙන් පෑගෙන, මිනිස්සුන්ව ඇතුළෙ දාගත්තු වාහන පේලියක් යනකල් එක අතකින් අවු රැල්ලට මූණ ආවරණය කරන් අනික් අතින් ප්‍රමිතගෙ අතත් අල්ලගෙන මං බලන් හිටිය..

ඔෆිස් එක ලඟ අලුතෙන් දැම්ම රස කැවිලි කඩේට රවුමක් දාන්න අපි දෙන්න පිඹුරුපත් අඳින්නෙ දැන් ටික දවසක ඉඳන්..

අසරණ විලාසෙන් පාර දිහා බලන් ඉන්න අපි දෙන්න ගැන දුක හිතිච්ච රියදුරෙක් ගෙ පිහිටෙන් පාර පැනගත්ත අපි දෙන්න අර රසකැවිලි කඩේට රිංගුව..

නවීන තාලෙ ඉංග්‍රීසි අකුරුවලින් ඇඳපු බෝඩ් එකයි, සුදු පාට බිත්තිවලට ගැලපෙන්ඩ කලු පාට ගාපු පුටු මේසයි තිබුණට මොකද  ඒවගෙන් එලියට පේන මහා ශ්‍රී විභූතිය ඇතුළට ගියාම නැති බව දැනුනම අපි දෙන්නගෙම මූණු ඇද වුණා..

කප්කේක් ටිකකුයි මේ අල ටොෆි ටිකකුයි විතරනෙ තියෙන්නෙ..

අපි වලක් කැපුවොත් ඒකෙ ගෙම්බෙක්

යමු යමු… මේකෙ මොනව ගන්නද…

ප්‍රමිතා මට කොඳුරන්න ගත්ත…

හා එහෙනං යමු… කිව්වට එහා පැත්තෙ සිල්ලර කඩෙන් ටොෆියක් හරි අරන් යන්න හිතුණ හන්ද දෙන්නම හැරුණ ඒ පැත්තට

කඩේට ගියාම ගන්න හිතුවෙ වත් නැති දේවල් ඕනෙ වුනා.

මට චික් බිට්ස් පැකට් එකකුත් දෙන්න..

වෙනදට බිස්කට් කන්නෙත් නැති මං ඉල්ලුව…

මොකද මේ අද කවදාවත් නැතුව බිස්කට් ගන්නෙ… අනික මං ලඟ ක්‍රීම් ක්‍රැකර් තියෙනව..

එපා ගන්ඩ…

ප්‍රමිත එයාගෙ සුපුරුදු අක්කණ්ඩි චරිතෙට රිංගල මාව නවත්තන්ඩ හැදුව..

ඒව කාල කාටද හරි ගියේ!! මට අද තරු බිස්කට් කන්ඩ ඕනෙ… මං මුරණ්ඩු වුණා..

ඔයාව නං හදන්ඩ බෑ…

ඔය අතරෙ මං දැක්ක ප්ලාස්ටික් බෝතලේක දාල මුදලාලිගෙ ලඟ මේසෙ උඩ තිබුණ නාරං බික්…

අන්න…. නාරං බික් !!!

මං බෝතලේ දිහාට අත දික්කලා..

ඒයි.. ගන්නෙ නෑ ඒව..මොකද වෙලා තියෙන්නෙ අද…??

හා.. ඉන්ඩකො මං හවස යන ගමන් ආපිකෝ එකෙන් ගන්නංකො… එතකොට ඔයා නෑනෙ..

මං මූණ ඇඹුල් කරගෙන ප්‍රමිත දිහා බලල  කිව්ව

මාව දන්න මුදලාලිටත් හිනා…

කඩේ කීප දෙනෙක් හිටිය වුණාට හැමෝම හිටියෙ හදිස්සියෙන් හන්ද අපේ කතාව ඇහුණෙ නෑ …

ඒත් මට කෙනෙක් එකම ඉරියව්වෙන් ඉන්නව පෙනුණ ඇස්කොණකට…

ඒ මනුස්සයගෙ බැල්ම යොමු වෙලා තියෙන්නෙ මං දිහාවට කියල දැනුනෙ කොහොමද මන්ද…

මං යාන්ත්‍රිකව ඒ දිහාට හැරුණ

දෙයියනේ …..මට මහ දවාලෙත් අයිස්ලන්ත සීතලක් දැනුන!!!

තාත්ත…!!!

ලා දුඹුරු පාට කමිසයක් ඇඳල, පාට පිච්චිලා‍ ගිය පරණ තද දුඹුරු කලිසමක් ඇඳල…

සුදු කැරලි කොණ්ඩෙ හිතුවක්කාරකමට එහෙ මෙහෙ විසිරිලා

අඩිය පැත්තට ගෙවිච්ච.. සපත්තුවෙ වයසට නොගැලපෙන කලු පාට දිස්නයක් දෙන්ඩ හදල තිබුන

යාන්තං දැක්ක මේස් දෙක ඒ කලුපාටට කොහෙත්ම ගැලපුනේ නෑ වුනත් ඉලාස්ටික් ඇදිල කකුල දිගේ රූටල තිබුණ හන්ද  සපත්තුවල වයසට නං ගැලපෙන බව තේරුණා

තාත්තා!!!!

මගෙ දිහා බලන් හිටිය…

එතන තියපු කකුල් උස රවුම් බංකුවක ඉඳගෙන

එක අතක බාගෙට කාපු මාලු බනිසක්!!

එතන බිත්තියටම හයි කරල තිබුණ ලෑල්ල උඩ වීදුරු කෝප්පෙක තේ!!

රාජ්‍ය සේවකයන්ට දෙන ඩී අයි හම් බෑග් එක ලෑල්ල උඩ ඊට  එහා පැත්තෙන් තිබුණ…

ඒවගෙ බෑග් එකක් දැක්ක ගමන්ම මගෙ ඇස් ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා හොයන්නෙ තාත්තගෙ කටු අකුරුවලින් තාත්තගෙ නම ලියපු සුදු පාට කොලේ ඒකෙ තියෙනවද කියල

ලා හිනාවක්… තොල්වල ඉරි… ඒවගෙ තද රතුපාට ඉරි…විට කන බව තහවුරු කරන්ඩ වගේ!!

ඇස් බොර පාට වෙලා…

දරුණු කුසගින්නක් උහුලපු බව කියන්ඩ වගේ කඳුලු පොදක් යාන්තං ඇස්වල තිබුණ කියල මට හිතුණ

මං ඇහිපිය ගහන්නෙ නැතුව බලන් හිටිය…

තාත්තත් බලන් හිටිය…

මට හරි සිහියට එන්ඩ ටිකක් වෙලා ගියා

තාත්ත ජීවතුන් අතර නෑ කියල මතක් වෙන්ඩත්, නෑ.. ඒ තාත්ත නෙවෙයි!!! කියල හිතෙන්ඩ තවත් තප්පර දෙක තුනක් ගියා..

ඇස් තෙත් වෙනව දැනි දැනී, මේ දැන් බොඳ වෙනව කියල දැනි දැනී..

ගිනි මද්දහනෙ සීතලේ වෙවුලන්ඩ ඔන්න මෙන්න හිටිය මම ඇහැරිලා ඉඳිමින්ම හීනයක් දැක්ක….

නෝන මේ බඩු ටික.. මුදලාලිගෙ ඇමතුම මට  මහා සැනසිල්ලක් වුණා..

දඩිබිඩි ගාල ඒකත් අරන් ප්‍රමිතවත් ඇදගෙන කඩෙන්  එලියට පැන්න මම ඔෆිස් එකට ඇවිදන් ආව හැටි මතකයේ නෑ..

මගෙ විකාර සමයං දන්න හන්දම එයත් කට වහගෙන හිටිය….ඇයි කියලවත් ඇහුවෙ නෑ…වෙන කෙනෙක් නං අහවි මොන මල යකෙක් වැහිලද මේ කියල..

හීනියට පසුතැවිල්ලක් මාව වෙලා ගත්ත… ඒකෙ හීතල පපුවට දැනෙන්ඩ ගත්තම කඳුලු පිරෙන එක නවත්තගන්න අමාරුයි කියල මං දන්නව….

මම ආරක්ෂිත පියවර යෝජනා කරන්ඩ ගත්ත මටම

අඬන්ඩ තියා ඒ ගැන හිතන්ඩ බැරි වෙන තරමට  හවස් වරුවට වැඩ පුරවගත්ත මං..

කරන්න කම්මැලි කමට පස්සට දදා හිටපු වැඩත් ඉවර කළා…

එහෙම කරලත් අන්තිමට මං අහු වුණා

මටම….

මම මටම හැංගි හැංගි ඉන්න එකේ උපරිම සීමාවට ආවම මට මටම මුහුණ දෙන්ඩ වුණා…

ඔය හැංගෙන්නෙ කාගෙන්ද?? කියල අහන්ඩ වගේ තාත්ත පැත්තක ඉඳල බලන් ඉන්නව මට දැණුන…

ඉන්ඩ…..

මට ඕනෙ තාත්තව නිවී හැනහිල්ලෙ මතක් කරගන්ඩ.. මෙහෙම දඩි බිඩියෙ නෙවෙයි… මට වෙලාව දෙන්ඩ…

මම කිව්ව…

අන්තිමට වෙලාව ආව  හිතන්ඩ

තාත්ත ගැන හිතන්ඩ

ආයෙ ආයෙත් හිතන්ඩ…

උ‍දේ පාන්දර පහමාරෙ බස් එකේ නැගල කොළඹ යන, නවය හමාරෙ බස් එකේ ගෙදර එන තාත්තගෙ දාඩිය සුවඳ

සමහර දාට ගිරිඋල්ලෙන් ගෙදර එන්ඩ බස් නැතුව ගෙදරට එනකල් පයින් ආව තාත්තගෙ මූණෙ අපි දැක්කම  ඇ‍‍‍ඳුන විඩාබර හිනාව

බින්දුවක් අඩු නොවී මතක් කරගන්ඩ…

තාත්ත පයින් ඇවිදගෙන හැතැම්ම ගණන් ආවම කකුල් කොච්චර නං රිදුනද කියල අහන්ඩ තාත්ත නැති වුණත් රස්සාවක් කරල පවුලක වගකීම් දැනෙනකොට ඒ රිදිලි දැනෙන බව කියන්ඩ.

කුරුණෑගල නාවින්න ඉස්පිරිතාලෙ ඉඳගන්ඩ පුටුවක්වත් නැතුව නයි කූඹි කාල කකුල් පුරාම තුවාල හැදිල ඒ අමාරුවට අඬ අඬ හිටිය මාව වඩාගෙන ඇවිද්ද හැටි මතක් කරගන්ඩ…

කොහෙන් එනවද කියල තේරෙන්නෙ නැති වේදනාවක් ගලාගෙන ඇවිත් පපුව මැද නැවතිලා වේදනා පොකුණක් හදනව!!

ඒ වේදනාව අස්සෙ හැංගිච්ච මතක පොතේ පිටු පෙරලෙනව…!!

එදිනෙදා බඩු මුට්ටු අතරට ඇපල් මිදි වගේ  දෙයක් ගන්න කොට මට මතක් වෙනව මට කම්මුල් ගාය හැදිල හිටපු කාලෙක මට කන්ඩ  කොළ පාට මිදි දෙසියපණහක් ගෙනල්ල දුන්න හැටි… සෝදල අරන් ඇවිල්ල එක එක අරන් කට ඇරගන්ඩවත් බැරුව හිටිය මට හෙමින් හෙමින් කවපු හැටි…

හෙමින් හෙමින් අරන් කාපං බල්ලො….මං හෙට තව ගේන්නං!! කියපු හැටි.

ඒත් අද ඒ මතක වෙනම දිශාවකට ඉලක්ක වෙලා මාවත් ඇදගෙන දුවන්ඩ පටන් අරන් තිබුණ…

ඊලඟ දවසෙත් ගේන්නං කියල කිව්වට මට එදා මිදි දෙසිය පණහක් ගෙනත් දෙන්නෙ කොහොමද කියල තාත්ත කලින් දවසෙ මුලු රෑම කල්පනා කරන්න ඇති කියල මට හිතෙන්නෙ ඇයි??

සමහර විට එදා ගෙදරින් කෑම නොගෙනිච්ච දවසක් නං තාත්ත දවල්වේල නොකා ඒ සල්ලිවලින් මිදි අරන් එන්න ඇති කියල මට දැනෙන්නෙ කොහොමද??

දවල් දැක්ක ඒ මනුස්සය අස්සෙ මං  හැන්දෑ වෙද්දි අපේ තාත්තව හෙව්ව…

සමහර විට ඒත් තාත්තෙක් වෙන්ඩ ඇති… තමන්ගෙ දරුවට මොනව හරි ගෙනියන්න සල්ලි ඉතුරු කරගන්න දවල් වේල මාලු බනිසකටයි තේ කහට උගුරකටයි සිල්ලර කරගත්ත වෙන්ඩ ඇති!!

තාත්තත් එදා මට මිදි දෙසියපණහක් අරන්.. ඉතුරු සල්ලිවලින් බස් එකට ගාණ තියාගෙන ලෑලි කඩේකින් බනිසකුයි ප්ලේන්ටියකුයි බොන්න ඇති!!

සමහර විට ඒ වගේ දවස්…. කීයක් නං ගෙවෙන්න ඇත්ද ඔය ජීවිත කාලෙ අස්සෙ??

තාත්තේ!!!

මට ගෙනත් දුන්න වගේ මං හම්බ කරපු සල්ලියකින් එක දවසක් ආසාවට  තාත්තට මිදි දෙසිය පණහක් අරන් දෙන්න පුලුවන් වුණා නං!!

තාත්තට මතකද ඉස්සර ඉස්කෝලෙ යන්ඩ කලින් ඉඹල යන එක හිතා මතා අමතක කරල දුවනව…

ඒ හොරට…..අමතක වෙලා නෙවෙයි….තාත්ත මොකද කරන්නෙ කියල බලන්ඩ??

දැන් තාත්ත හිටිය නං මං එහෙම කරන්නෙ නෑ….

ඒයි ඒයි කො‍හෙද අමතක වෙලා දුවන්නෙ කියල තාත්තට කෑ ගහන්න ඉඩ තියන්නෙ නැතුව, ඊට පස්සෙ ආ අමතක වුණා නෙ කියල දුවගෙන ඇවිත් කම්මුල ඉඹල දුවන්නෙ නැතුව තාත්තව ඉඹල තාත්තට තුරුල් වෙලා ඉන්නව එහෙනං!!

තාත්ත මොනව කරයිද දැන් හිටිය නං..!!

විශ්‍රාම අරන් හන්ද ඉස්සර වගේ මහ පාන්දර නැගිටල කොළඹ යන්ඩ ඕනෙ නෑනෙ….

වෙලාව තියෙන හන්ද, පොත් කියවයි, තබ්ල බඳියි..

අම්මගෙන් බැනුම් අහ අහ අම්මගෙ පරණ හාමෝනියම් ගලවල අලුත් විදියට හදන්ඩ හදයි..

ඒවට ඕනෙ කරන කෑලි අපි දෙන්නට කියල ගෙන්න ගනියි!!

අපරාදෙ තාත්ත හිටියනං  තබ්ලා බඳින්ඩ හම් හොයන්ඩ අපි දෙන්නට කොටුවෙ වීදිවල ඇවිදින්ඩ තිබුණ..

තාත්තව සරසවි එකට, ගුණසේන එකට එක්කං ඇවිල්ල කියවන්ඩ පොත් අරන් දෙන්නත් තිබුණ!!

ඊයෙ ඩීවීඩී කඩේක පාථර් පන්චාලි තියෙනව දැක්කම මට තාත්තව මතක් වුණා…

මට එතකොට නං දුක හිතෙනව තාත්ත කලින්ම අපිව දාල ගිය එක ගැන..

හිටිය නං අපි දෙන්නට ඔය ෆිල්ම් බලල ඒව ගැන කතා කරන්ඩ තිබුණ නෙ.. එකඟ නොවෙන තැන් ගැන වාද කරන්ඩ තිබුණ නෙ..

අනික අපි දෙන්නට කොළඹ කොටුවෙ කවුරුත් නොයන අස්සවල් මුල්ලවල් පුරා කරග්ගහල පරණ හින්දි චිත්‍රපට හොයන්ඩ තිබුණනෙ…මට වරුවක් නිවාඩු දාල ඇවිල්ල, තාත්තට කෙළඹට එන්ඩ කියල..

ඊට පස්සෙ ඩේවිඩ් ග්‍රෑම් එකෙන් අම්මට කන්ඩ කඩල රටකජු මලු අරන් එතන එහා පැත්තෙ බොම්බෙ ස්වීට් එකෙන් ජිලේබි කාල ෆලූඩ බොන්ඩ තිබුණ… තව අයිස් ක්‍රීම් දාල කන්ඩ ගුලාබ් ජමූන් ගන්ඩත් තිබුණ..

මං හිටියෙ තාත්ත එක්ක හිත අස්සෙන් කතා බහක..

තාත්ත එක්ක කොටුවෙ වීදි ගානෙ ඇවිදින හැටි!! කතා කරන හැටි හිතේ ඇඳෙන මගෙම ෆිල්ම්  එකක් බල බලා..

ජනනි නංගි, තාත්තලගෙ ආදරේ හරි වෙනස්!!

ඉස්සර අපේ තාත්ත නූල් ගෙනත් දෙනව අක්කට මහන්ඩ.. ඒව ගේන්නෙ කොළඹින් කියල දන්නව මිසක් කොහෙන් ගේනවද කියල දන්නෙ නෑ අපි.. කොළඹ කිව්වාම  ඉතිං අපි දන්නෙ බස් එකක කලාතුරකින් යන එනකොට දකින පාර දෙපැත්තෙ මහ තඩි බිල්ඩිං ටික විතරනෙ..

තාත්ත නැති වුණාම පස්සෙ කාලෙක අක්කට නූල් ඕනෙ වෙලා ඒ නූල් ගෙනාව බ්‍රවුන් පේපර් කවරෙක තිබුණ සීල් එකකින් එඩ්‍රස් එක බලාගෙන කොටුවෙ අස්සකට රිංගුවාම තමයි මට තාත්ත  ඒව ගේන්ඩ කොච්චර නං දුක් විඳලද තියල තේරුණේ!!

කැම්පස් එකේ මගේ ලඟම යාලුවෙක් කිව්ව කතාවකුත් ඒ අස්සෙ උඩට ඇවිල්ල මගෙ කතාව එක්ක සමපාත වෙනව දැණුන..

ජනූ මං ඇවිල්ල ඉන්නෙ ඔයාව ගන්ඩ..

පෙම්බරය ඇවිත් කතා කතා කළා!!

හීන පැත්තක තියන්නෙ නැතුව ඒ හීනෙන් හුස්ම අරන් මං ගෙදර යන්ඩ හැරුණ..

හ්ම්!!!

දුක අස්සෙත් සතුටු වෙන්ඩ හේතු හදල තියෙන ජනවාරි පළවෙනිදාවක් ආයෙමත් ලඟ ලඟම!!

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි, Uncategorized. Bookmark the permalink.

18 Responses to තවත් එක ජනේරු පළවෙනිදාවක් අත ලඟ…!!

  1. මී පැටියා පවසයි:

    මගෙන් තමයි පලවෙනි කමෙන්ට් එක.

    කාලෙකින් බ්ලොග්ස් පැත්තේ ආවෙත්. බොහෝම සංවේදී පෝස්ට් එකක්.

    ජනවාරි පලවෙනිදත් එනවා තමයි. මේ අවුරුද්දේ මොනවද් කරේ කියලත් වෙලාවකට හිතෙනවා.

    මොනව වුනත් සුබ අලුත් අවුරුද්දක් වේවා..

  2. පොඩ්ඩි පවසයි:

    මේ කතාව ජනවාරි පලවෙනිදා නොදැම්ම එක හොඳයි. නැත්නම් උදේම අඬන්ට වෙනවනේ.:)

    මට ජනූගේ කතාව කියවපුවාම වෙනදා වගේ අප්පච්චි මතක් වෙලා ඇස්වලට කඳුලු ආවා. ඒ එක්කම හිතුණා අර කඩේ තේ බොමින් හිටපු කෙනාට, ඔයා ඇයි කතා නොකලේ කියලා. එයා එක්ක වාඩිවෙලා ටිකක් කතා කරලා ගියානම් ඔයාගේ හිතට ඒක ලොකු සහනයක් වෙන්ට තිබ්බේ නැද්ද වගේ කල්පනාවන් ඔලුවට ආවා.

    මම නම් එයාගේ තේ බිල ගෙවලා, ගෙදර ලමයින්ට ගෙනියන්ට මොනවා හරිත් අරන් දෙයිද කියලත් හිතුණා. ඔලුවේ කල්පනාවන් ගොඩක් පහල වෙච්ච සටහනක්!!

    වෙනදා වගේම අපූරුයි ජනූ…ඔයාටත්, පෙම්බරයටත් දෙන්නටම සුබ නව වසරක්!!!

  3. kathandarakaraya පවසයි:

    කාටත් ගැලපෙන දුක්බර කතාව.

    මගේ පියා මිය ගොස් දැන් තුන් වසරක්.

    කවදා හරි මා ගැනත් මේ වගේ කතාවක් ලියවේවි!

    ජීවිතේ!

  4. mekuwi පවසයි:

    ඔයා තාත්තා ගැන දන්න පෝස්ට් වලට මට හැමදාම කඳුලු එන්නෙ, මගෙත් අත්දැකීම මේ වගේම නිසය්.ඔයට ජනවාරි පලවෙනිද වගෙ මට ඒ දවස දෙසැ.29 වෙනිදා..මන් A/L කරද්දි මාව පන්ති ඇරලල යලුවෙක්ගෙ මලගේක ගිය තාත්තා ආය් ආවෙ නෑ..අපි හැදුනු පලාත්, ජීවිතේ ගෙවුනු හැටි ගොඩාක් වෙනස් උනත් තාත්තගෙ ආදරෙ කොහේත් එක වගෙය්..කිසිම වෙනසක් නෑ..හැම කාලෙදිම..ඔයා වගේම මාත් දුක් වෙනව මටත් තාත්තට පොඩි දෙයක් වත් අරන් දෙන්න බැරිවීම ගැන..ඔය දෙන්නා හින්දි ෆිල්ම් බැලුව වගෙ අපි දෙන්න බැලුවෙ කාටූන්..මේක දිගටම ලිව්වොත් ඔයාගෙ පෝස්ට් එකට වඩා දිග වැඩිවෙය් ජනූ..දිග වැඩි උනාට සමාවෙන්න.. තව එක දෙයක් කියන්නම්..හැම කාලෙම වගෙ දැන් මගෙ දූත් මන් මොනව කලත් තාත්තගෙ අස්සෙමය්..ඉතින් මන් ළඟදි දවසක් අපෙ අම්ම ත් එක්ක කිය කිය නාහෙන් ඇඬුව මේ කෙල්ල මන් මොනා කලත් තාත්තාටමනෙ ආදරේ කියල..අම්ම කිව්වෙ එක දෙයය් “ඉතින් ඔයා වගෙ තමය්..ඔය පොඩිකාලෙ විතරක් නෙමෙය් තාත්ත නැතිව අවු.13ක් ගිහිනුත් මන් මොන කලත් තාම තත්තාගෙ අස්සෙනෙ කියල”.. ඉතින් ආය් මන් මොන කියන්නද..

  5. Ravi පවසයි:

    ජානුස්,

    උඹ තාත්ත ගැන ලියන හැමදාම මම මේ කතාව කියල ඇති.මටත් අපෙ තාත්ත ගැන ..අපි නම් කිව්වෙ අප්පච්චිය කියල…ලියන්න ලොකුවට ඕනකම තියනව..උඹත් මම ඔය කතාව කියපු හැම දාකම කියනව ඉතිං ලියහං අයියෙ කියල..මට තාම ඒකට හිත එකඟ කරගන්ට බෑ බං…ඒත් අද මම හිතා ගත්ත කොයිමක් කරල හරි මගෙ මතක බනවරත් ලියල ඉවරයක් කරන්ට ඕනය කියල.

    ඔන්න එහෙම හිතල මම වැඩේ පටන් ගත්ත..ස්තූතියි ජනූ…හැමදාම උගුරට හොරා බේත් කනව වගේ කල්දමමින් හිටපු කාර්යයක් අවම වශයෙන් ආරම්භකිරීමට හෝ මට ධෛර්යයක් වීම පිළිබඳව.

    ******************************************

    රෑ දහයට වාට්ටුවෙ ලයිට් නිවනව.ඊට පස්සෙ දැල්වෙන්නෙ කොරිඩෝවෙ සිවිලිමේ අඩි තිහෙන් තිහට වගෙ සවිකරල තියෙන දිගටි හැඩැති මලානික එළියක් නිකුත් කරන ප්‍රතිදීප්ත පහන් පමණයි. ඒත් හැම ඇඳක් ළඟම බිත්තියෙ පොඩි විදුලි පහනක් තියනව හදිසියකදි අත දිගුකරල දල්වා ගන්ට හැකිආකාරයට.

    පේරාදෙණියෙ රෝහල හැදුවෙ ජපානෙ මිට්සුයි සමාගම. ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ඉවරවෙලා ඒ එක්කම තමයි මේකෙ වැඩ පටන්ගත්තෙ. ජපනගෙ වැඩ දන්නවනෙ. හරිම පිළිවෙලයි. රෝගීන්ට ඕන හැටිය ඉරු එළිය එන්ට ස්වභාවික වාතාශ්‍රය ලැබෙන විදිහට විශාල කවුළු තියනව හැම තැනම වගෙ. මේ වෙලාවෙ නම් වැටෙන්නෙ හඳ එළිය විතරයි. කොරිඩෝවෙ එහා කෙළවරට ගිහාම හන්තාන කඳුවැටිය අතින් අල්ලන්ට ඇහැකිය කියලයි හිතෙන්නෙ. හීතල හුළඟක් හමාගෙන ආව. ඇඳගෙන උන්නු කමිසෙ බෙල්ල ගාව බොත්තමත් දාල වහගෙන මම හැරිල කොට බිත්තිය උඩින් බැලුව ඇඳ අංක 24 දිහාවෙ.

    සුදුපාට බොකුටු කොණ්ඩෙ විතරයි අඩ අඳුරෙ මෙතනට පේන්නෙ. බෙල්ල ගාවටම පොරෝනයෙන් වැහිල සරීරයම. ඒ මයෙ අප්පච්චි…මේ පේරාදෙණිය රෝහලේ වාට්ටු අංක 18, හෘද රෝගීන් යම් තරමකට සුවය ලැබුවම රෝහලෙන් ඉවත්ව යනතෙක් මේ වාට්ටුවෙ තමයි රඳවන්නෙ. මේ පිරිමි වාට්ටුව. අංක 19 ගැහැණු වාට්ටුව. අප්පච්චි දවස් හතරක් දැඩි සත්කාර ඒකකයෙ ඉඳලයි මෙතනට ආවෙ.

    ” මිස්ටර් වීරසිංහ තාත්තගෙ තත්වය එච්චරම හොඳ මදි.මයිල්ඩ් ඇටෑක්ස් තුනක් එක පිට එක ඇවිල්ල තියනව. මයෝ කාඩියැක් ඉන්ෆ්‍රාක්ෂන්. “

    ” ඩොක්ටර්, ඔපරේෂන් එකක් කරන්න වෙයිද? “ මම හීන් හඬින් ඇහුව.

    ” දැනට නම් ඕන නෑති වෙයි මම හිතන්නෙ. ක්‍රිටිකල් ස්ටේජ් එක පහුවෙලා තියෙන්නෙ. අපි බලමු. තව සතියක් වගෙ වෝඩ් එකේ හිටපුවාවෙ. “

    හෘද රෝග විශේෂඥයයි මායි අතරෙ එහෙම කතාබහක් ඇතිඋනේ අද උදේ.

    අප්පච්චි ළඟට හෙමිහිට ගිහිල්ල මම ඇඳ ලඟ තිබ්බ ප්ලාස්ටික් පුටුවෙ ඉඳගත්ත. වමත පොරෝණෙන් එළියට පැනල ඇඳෙන් පහලට එල්ලෙනව. මැණික් කටුවට ටිකක් උඩින් ගහල තියෙන්නෙ සේලයින් කටුව. මම හෙමිහිට අත ආපහු ඇඳ උඩින් තියල පොරෝණෙන් වැහුව.

    අප්පච්චි එක්ක හුඟක් දේවල් මට කතා කරන්න තියෙනව. පොඩි කාලෙ ඉඳලම හිතේ පැහැව පැහැව තිබ්බ හුඟාක් දේවල්. ඒත් එව්ව කියාගන්ට මට කාලයක් නැතිවෙයිද? මහෙ හිතේ මහ බයක් හෝ දුකක් වගෙ හැඟීමක් ඇතිවෙලා උගුර හරහා ඇවිල්ල පිට උනේ දෑස් අග තෙත් කරමින්. මම හෙමිහිට අත දාල පොරෝනය අස්සෙන් අත දාල අප්පච්චිගෙ අත අල්ලල හෙමිහිට මිරිකුවා.

    අප්පච්චි එක පාරටම ඇස් ඇරියා.

    ” පුතා……”

    ” අප්පච්චී ….”

    මම පුටුවෙන් නැඟිටල පාත්වෙල අප්පච්චිගෙ නළල හෙමිහිට අත ගෑව.

  6. Bindi පවසයි:

    සිල්ලර කඩේදී තත්තව දකින කම් හිනා වේවි කියෙව්වා. ඊට පස්සේ අකුරු බොඳ වුනා .ඒ එක්කම , හැමදාම රෑ දහයට එකොළහට විතර පැණිරස මොනව හරි ඔතන් ඇවිත් ” කෝ ළමයි නිදිද ” අහපු , මේ මහා රෑ මොන එහෙකට ලංඅයිඅ ඇහැරවනවද ” කියල අම්මගෙන් නෝක්කාඩු අහපු , තාත්තා …ඒ එක්කම හොරට නිදා ඉඳල දනී පනී ගාල නැගිටලා ගෙනාපු එක කන්න එන ළමයි හතර දෙනෙක් . …ජනුගේ අකුරු උඩින් එහෙ මෙහෙ ගිය නිසා මට ඉතුරු ටික හරියට කියවන්න බැරි වුනා ..මන් මොනවා කරන්නද

  7. ප්‍රියන්ත පවසයි:

    තාත්තිත් ඇවිත් ඔයාගෙ තාත්තත් එක්ක!

  8. මුදියන්සේ පවසයි:

    ජනූ,
    මම මේ හරියටම අවුරුද්දකින් දාන පළවෙනි කොමෙන්ට් එක. හරියටම 2012 දෙසම්බර් 22 වෙනිදට පස්සේ දාන පළවෙනි කොමෙන්ට් එක. එද ඉදන් අද දක්වා බ්ලොග් කියෙව්වත් එක කොමෙන්ට් එකක් වත් දාන්න හිතුනේ නෑ, හිතුනත් කම්මලි උනා. දෙසැම්බර් 23 වෙනිදා අප්පච්චි අපිව දාල ගියා හ්දිස්සියේම. උඹේ මේ පොස්ට් එක කියවද්දි බොද වුන ඇස් කෙවනි, නැවත මතකයන්ගෙන් පිරුන හිත මට බල කල මේකට කොමෙන්ට් කරල යන්න.
    මගේ අප්පච්චිත් මේ වගේ අනේක දුක් විදින්න ඇති අපිට සැප දෙන්න, එත් අපිට පුලුවන් කාලේ එක වතුර උගුරක් පොවා ගන්න බරි වුනා මගේ අතින්.
    බොහොම සංවේදී සටහනක් ජනූ

  9. henryblogwalker පවසයි:

    මේ පාර ලංකාවට ආපු වෙලාවේ උඹලෑ ගෙදර එන්නවත්, අඩු ගානේ උඹලට ෆෝන් කෝල් එකක් දෙන්නවත් අතපසු වුනා. පුලුවන්නම් සමා වෙයල්ලා.

    තාත්තා ගැන උඹ ලියන කතාවල් වලට මට කියන්න දෙයක් නැත්තේ, ඒවා ඒ තරම්ම මගේ බොක්කටම වදින හන්දා. මගේ තාත්තා නැතිවෙලා අවුරුදු 18ක් වුනා. දැන් මම තාත්තෙක් හැටියට, තාත්තා ඒ ඒ අවස්ථාවේ ඒ ඒ දේවල් කලේ ඇයි කියලා තේරුම් ගනිමින් ඉන්නවා.

    උඹ වගේම මමත් නිතර හිතන දෙයක් තමයි, තාත්තට තවත් ලඟින් ඉන්න තිබුනා නේද කියන එක. ඒ වගේම අද තාත්තා හිටියානම් කියන සිතුවිල්ල…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )