මතක සවාරි…!!

 
ඉස්සර අලුත් ගේ හදන්ඩ කලිං අපේ තාත්තල ජීවත් වෙලා තිබුණෙ ඉස්සරහ පැත්තෙ කඩයක් එක්ක පිටිපස්සට දිගට හදාපු ටකරං හෙවිල්ලපු වරිච්චි බිත්ති ගෙදරක..

දැන් නං එහෙම එකක් තිබුණද කියල තිබුණ සලකුණක්වත් නැති වුණාට හිතේ ඇඳිච්ච ඒ පරණ ගේ කෑල්ල මේ දැනුත් ඇස් පියාන මතක්කරන්ඩ පුලුවං යස අගේට…

ඒකට ගෙදරක් කියනවට වඩා ගැලපෙන්නෙ කඩ කෑල්ලක් කියන එකයි…

කඩේ කෑල්ලෙන් පටං අරං  අන්තිම කොණේ තමයි  කුස්සිය තිබුණෙ… කඩ කෑල්ලෙ ඉස්සරහ ලෑලිවලින් වහන්ඩයි තිබුණෙ…ඒ ලැලිවල මුදුනෙ එකේ ඉඳල දොළහට හුණු කූරකින් අංක දාල තියෙන්නෙ වහන්න යද්දි ලෑලි මාරු වෙනවට…

කඩේ කෑල්ලෙන් පස්සෙ තිබුණෙ කාමරේකුත් නොවන ඒත් ඇඳකුයි, පුංචි අල්මාරියක්  උඩින් තියාපු මේසයක් වගේ එකකුයි තියෙන තරමක් අඳුරු කෑල්ලක්…

ඔය කෑල්ලෙන් වහල පාත් වෙන තැන බාල්කෙ තමයි කෙහෙල් කැන් එල්ලන්නෙ…

වත්තෙං කපල ගේන කෙහෙල්කැන්වල ආයෙ ඇවරි කපන්ඩ දෙයක් නෑ.. කහ ගැහෙනකල් ගෙයි මුල්ලක ගෝණියක් පොරවගෙන ඉන්න කෙහෙල්කැන අලෙවි වෙන්ඩ තියෙන්නෙ අත්ත ලණුවක් දාල එල්ලන පමාව විතරයි..

යමිං එකයි එමිං එකයි කන්ඩ පිරිවර නං  එමට…

එතනින් පඩි දෙක තුනක් බැස්සම ඒක කෙලින්ම වැටෙන්නෙ දිග කෑම කාමරේට.. වැඩි පුර කොටල අරන් තියාපු තුනපහ බෝතල්, ආච්චි අම්ම හිඳපු අත් තෙල් බෝතල් එහෙම තිබුණ ලෑලි පෙට්ටියයි, බිත්තිවල එල්ලිච්ච එක එක ප්‍රමාණයේ පොල්කොල, පං කොල වට්ටියි, එක එක සැම්පලේ පොල් කටු හැඳි පිරිච්ච පං හැඳි ආනවල් දෙක තුනකුයි, බෙලෙක් පිඟං, පෝසිලේන් පිඟං කෝප්ප පීරිසි රඳවපු පිඟං රාක්කෙයි, තව මහ වංගෙඩියයි එයාගෙ තනියට වගේ ඉන්න කොට වංගෙඩි  දෙක තුනයි තියෙන්නෙ කෑම කාමරේ තමයි.

එතනින් කුස්සියට ඇතුල් වෙන්ඩ තිබුණ උලුවස්සෙන් කෙලින්ම බැලුවාම තිබුණෙ ජනේලෙ හයි කරපු බිත්තිය.. ඒ පාමුල ලෑලි අට්ටාලයක් උඩ තිබුණෙ කුස්සියෙ හැම වැඩේටම ඕනෙ වෙන වතුර මුට්ටි දෙක.. ඒ දෙක වහපු පියන් දෙක උඩින් තියල තිබුණෙ පරණ කොසු මිටක අඩි දෙකක්  විතර දිග කෑල්ලකට ඇණ ගහල කිරි ටින් එකක් හයි කරාපු වතුර ගන්න හැන්ද…..

ටැප් වතුර තිබුණෙ නැති මෑතක් වෙනකල්ම ලිඳෙන් ඇදල වතුර පුරවපු මුට්ටි දෙක කුස්සියට වැඩිය හැම වේලකටම කලින්…

එතනම දොර ලඟ තිබුණෙ පරණ තාලෙ ටෙරාසෝ ලෑල්ලක් හයි කරාපු උයන දේවල්  ඒදන මේසෙ… ඊට ඉස්සරහ බිත්තියෙ ලෑලි රාක්කෙක ජෑම් බෝතල්වල දාපු තුනපහ අඩුවැඩිය තිබුණ…මේසෙ උඩ කොණකට වෙන්ඩ මැටි පියනකිං වහපු පුංචි මැටි කෝප්පෙක කහ ගුලියයි, මිරිස් ගුලියයි ගොරක ගුලියකුයි තිබුණ..

වතුර මුට්ටි අට්ටාලෙට එහා පැත්තෙන් තිබුණෙ  සම්බෝල ලුණු මිරිස් කොච්චරක් ඇඹරුණාද කියල කියාපාන්ඩ වගේ මැද්දෙන් බොක්ක ගෙවිච්ච ලොකු මිරිස් ගල.. . ඒක හිටගෙන අඹරන්ඩ පුලුවන් වෙන්ඩ ගඩොල් තියල ගොම පිරිමැදපු වේදිකාවක හයි කරලයි තිබුණෙ…  මිරිස් ගල පාමුල එක එක ප්‍රමාණෙට හදාපු මිටි බංකු දෙක තුනක් එක උඩ එක තියල..

ඊට එපිටිං තිබුණෙ ආච්චි අම්ම හැමදාම ගෙට ගන්න දර උකුල දාන තැන… පොල්පිති හතරක් පහක් කපල, පලල දර මැස්සෙ අඩුක්කරල තියෙන කොටං දර කෑලි හතර පහක් හනසු දෙකක් තුනක් විතරක් නෙවෙයි පොල් අතු අග්ගිස්සකුත් ඔය දර උකුලෙ වරදින්නෙ නෑ..

ඒ එක්කම තියෙන්නෙ ගොම ගාපු බිමම හදාපු ලිප් හතරක්.. හැම සිංහල අවුරුද්දටම කැඩිච්ච බිඳිච්ච තැං පිලිසකර කරල ගොම අතක් ගෑවෙන ලිප් හතර තමයි කුස්සියෙ ප්‍රධානම තැනක් ගත්තෙ.. ආච්චි අම්ම මිටි බංකුවක ඉඳගෙන ලිපේ හොද්ද හැඳිගාන හැටි මට මේ දැනුත් පේනව වගේ..

ඊට මත්තෙන්  කොප්පර කෑලි, අහුලං එන ගොරක මද, කහ කෑලි එහෙම වේලන දැල.. ඒක එල්ලල තියෙන්නෙ ලිපට උඩින්  හිටින්ඩ දෙපැත්තෙ බිත්තිවල ඉඳල බාල්ක දාල හදාපු දුම් මැස්ස…

කජු ගෝනිය, කරුංක ගෝනිය වගෙම හදිස්සියකට බෙහෙතට හොයන, සම්බෝලෙට හොයන කොට්ට පොල් එහෙමත් තියෙන්නෙ දුමේ තමයි

එලියට බහිනකොටම වං පැත්තෙ තිබුණෙ එක එක ජාතියෙ මැටි වලං කන්දරාවක් උහුලගෙන හිටිය වළං මැස්ස. ඒකෙ ඉතිං ආච්චි අම්මට හින්දන මාලුපිනි උයන්ඩ වෙනම තැටි වළං, හොද්දට උයන්ඩ බොකු වළං, කිරිබතට වෙනම මුට්ටි, බත් උයන්ඩ වෙනම මුට්ටි,  කැඳ ජාති හදන්ඩ වෙනම මුට්ටි, ඒ විතරක් නෙවෙයි හෙම්බිරිස්ස උණකට අරත්ත, පත්පාඩගං, ආඩතෝඩ, කොත්තමල්ලි හෙම තම්බන්ඩ වෙනම මුට්ටියක් තිබුණ..

දකුණු පැත්තෙ පිල දිගට තිබුණෙ වීදුරු බෝතල් හෙම අඩුක්කරල…කුස්සියෙ දොර ඇරපු ගමංම වාගෙ පෙනුනෙ ලිඳ..

ඊට එපිටිං මහ කොස් ගහ…

ආච්චි අම්ම උදේට උයන වෙලාවට කුස්සියෙ ජනේලෙන් එන දුං පාරවල් ඉර එලියත් එක්ක කොස් ගහ අස්සෙන් දිලිසෙනව!

තාත්තයි නැන්දල දෙන්නයි පොඩි කාලෙ අත්ත හමුදා සේවෙං අස්වෙලා ඇවිල්ල සිල්ලර කඩයක් කළා ලු… අපි පුංචි කාලෙත් ඔය සිල්ලර කඩේ ඉතුරු බිතුරු දේවල් තිබුණ… රාක්ක, විස්කෝත්තු බෝතල් හෙම.. පස්සෙ කාලෙක කඩේ කෑල්ල අස් කරද්දි ඔය සීනක්කාරං, සහිඳ ලුණු, පල්මානික්කං, සිවංගුරු වගේ බෙහෙතට ගන්න දේවල් දාපු බෝතල් වගේ ම ආච්චි අම්ම මහපු කොට්ට උර, පුංචි ගවුම් පොඩි එහෙමත් තිබුනයිං  මට නං හිතුවෙ ඒ කාලෙ ගමක  සිල්ලර කඩයක් කිව්වාම මිනිස්සුන්ට මහා පරාසයක පැතිරිච්ච සේවාවක් ලබා දුන්න තැනක් වෙන්ඩ ඕනෙ කියලයි.. දැං කාලෙ සුපර් මාකට් එකක් වගේ තියෙන්ඩ ඇති ඉතිං තරමක හොඳ සිල්ලර කඩයක්!!

ඒ කාලෙ ඉතිං සිල්ලර කඩවලම පැත්තක තේ බොන්ඩ, කෑම කන්ඩ වගේ දේවලුත් පුලුවන් නෙ… ඉතිං ඒ  කාලෙ ආච්චි අම්ම උදේම නැගිටල ඉඳි ආප්ප තම්බනවලු.. ඒකට පරිප්පු හොදි හරි අල හොදි හරි හදල පොල් සම්බෝලෙයක්, කරවල, හාල්මැස්සො දාපු තිබ්බටු මැල්ලුමක් හදනවලු..

ඒ එක්කම ඊට කලින්දා රෑ හදල ඉතුරු හොද්දකට ඉතුරු මාලුපිනි දාල රත් කරල ගන්න හොද්ද ඉල්ලගෙනම කඩේට එන ගනුදෙනු කාරයො හිටියයි කියලයි තාත්ත කිව්වෙ..

ඒ කියන්නෙ ඔය රෑ වැටකොලු කිරි හොද්දකට හරි පරිප්පු හොද්දකට හරි  වැටකොලු පොතු ටිකයි, හාල්මැස්සොයි, කොස්සැටයි, දඹලයි, මෑකරලුයි එහෙම  එක දාල හිඳෙන්ඩ උයපු මාලුවක්, නැත්තං කැකිරි මාලුවක්, එහෙම දාල රත් කළාම ඒ දෙකේම රස එක්කාසු වෙලා එන අමුතුම රහක් තියෙන්නෙ.. ඉඳිආප්ප, පාං කන්ඩ කියාපු දේ!!

ඒ විතරක් නෙවෙයි අර වගේ කලවං මාලු හින්දපු ඇතිලිවල මාලුව ඉවර වුණාම බත් දාගෙන පිහල කනකොටත් නියමයි!

ආච්චි අම්මගෙ ඉවිල්ල ඒ තරං ඉස්තරං!!

කොස් ඇට කලු පොල් මාලුව, කොහිල ඇඹුල, පිපිඥ්ඥ නියඹලාව,  ගොටුකොල හිඳෙන්ඩ උයාපු මාලුව, ඔය මං කලිනුත් කියාපු කලවං මාලුපින්න… කොහිල දලුයි කොස් ඇටයි මාලුවෙ විතරක් නෙවෙයි… උන්දැගෙ පරිප්පු හොද්දෙ වුණත් අමුතුම රහක් තිබුණෙ..

ආයෙ ඉතිං අවුරුදු කාලෙට ඉදෙන කජු නාඹර මාලුව ගැන නොකිය කොහොමද.. කීප වතාවක් ඇතිලි පිහං කාල තියෙනකොට..එදාට දවසට දෙතුන් පාරක් දවල්ට කාල තියෙනකොට

උන්දැට තිබුණ අමුතුම පිලිවෙත් උයද්දි..

උන්දැ පරිප්පු හොද්දට සුලුලූණු දාන්නෙ  බික් පිටින්.. පලල තලල දාන්නෙ නෑ බේත් රහ එනව කියල…

එතකොට කොළ මැල්ලුමට වුණත් පොල් ගලේ  අඹරල තමා දාන්නෙ…

ඔය අඹ ඇඹුලක් ඇඹරැල්ල මාලුවක් එහෙම හදනව නං සීනි එහෙම දාල ලිපෙන් බාල උන්දැ දානව  එවෙලෙම කබලෙ බැදල ගන්න අබ උලුහාල් කුඩු කරල…

අබ වැඩියෙන් උලුහාල් අඩුවෙන්…

කොහිල ඇඹුලටත් දානව ඉන් ටිකක්..

ඔය ගොටු කොළ මාලුව තියෙනව නෙ.. ඒක හරිම වෙනස්!!

ගොටු කොළ අඟල් බාගෙ විතර කෑලිවලට කපල යහමිං රතුලූණු උම්බලකඩ දාල මිටි කිරි ඇබින්දක් දාල උයන්නෙ..

ඒකට තුනපහ රම්පෙ කරපිංච මොනවත් දාන්නෙ නෑ.. කෑලි මිරිස් ඩිංගකුයි ලුණුයි විතරයි දාන්නෙ… ඒක ලිපෙන් බාන්නෙ හොඳට ඉස්ම හිඳිල, තෙල් පෑදෙන ගානට ඇවිල්ල අඩිය අල්ලන නොඅල්ලන ගානට එද්දි තමයි..

කිරි හොදි, අල හොදි පරිප්පු හොදි වගේ ඕනෙ  එකක් එක්ක ඒක ගැලපෙනව..

අපේ මලය නං  ගොටුකොළ මාලුව එක්ක කැමතිම අල හොද්දට හරි කොටු අමුවෙන්ම කොටු කපල එකවරම කිරි දාල හින්දල උයන අල මාලුවට හරි තමා..

ආයෙ උන්දැ රෑක හාල් දියෙ දානව නං ඉතිං අපි දන්නව ඊලඟ දවසෙ රෑට එක්කො ආප්ප නැත්තං පිට්ටු කියල…

උන්දැ ආප්ප වලට කිරිබත්වලට පොල් කිරි මිරිකන්නෙ බොහොම උකුවට.. ඒ කියන්නෙ යහමිං ගාගත්තු පොල් කොටස් දෙකකට  බෙදාගෙන එක කොටසක් මිරිකල ගන්න කිරිවලට අනික් පොල් ටික දාල මිරිකගෙන තමයි උන්දැ ආප්ප පිටි අනන්නෙ.. කිරිබතට මුහු කරන්නෙ..

අනික ආප්ප හදනකොට පිටි ටික කරකවල තාච්චිය ලිපේ තියල වහන්නෙ උඩ කබලෙන්.. ඒ කියන්නෙ නිකංම පියනක් නෙවෙයි… පොල් ලෙලි ඇවිලෙන ගිනි කබලක්!!

ඒක තමයි ඔය කඩේ තියෙන තටු ආප්ප වගේ නැතුව කරස් ගාල හැපෙන ගානට කර වෙන ආප්පවල රහස..

රැට බත් කනව නං ඉතිං ගොඩක් වෙලාවට කිරට හදන හොද්දක් එක්ක බැදුමක්, හින්දපු මාලුවක් තමයි..

අලයි හාල්මැස්සොයි  හොද්ද හදල, පපඩං බැදල..

අලයි බිත්තරයි හොද්ද හදල ගොටුකොළ සම්බෝල හදල

බාන්ඩ කලිං එවෙලෙම ගලේ අඹරපු ගම්මිරිස් කෑලි දාපු, පදමට දෙහි මුහුකරපු හාල්මැස්සො කිරිහොද්ද එක්ක බත්..

මාසෙකට සැරයක් විතර රෑට නිකංම නිකං ලුණු කැඳ මුට්ටියක්…

ඒකෙත් තිබුණ අමුතුම රහක්!! ඔය කැඳ හැඳිගාන පුංචි පොල්කටු හැන්ද ගන්නෙ නෑ මේ සම්මජ්ජාතියෙ වෙන කිසිම දෙයක් හැඳිගාන්ඩ!

ඒක කැඳට විතරම තමයි..

සමහර දාට උන්දැ හදනව රෑට කන්ඩ මුංකිරිබත්!!

මුං කිරිබත් කියන්නෙ ඉතිං මුංඇට හාල් සමෝ සමේ වගේ දාල හදන කිරිබතක්. ඕක කන්ඩ සමහර පලාත්ව අය හදන්නෙ කට්ට සම්බෝල වුණාට ආච්චි අම්ම හැදුවෙ ගොඩ හොද්දක්

හොඳට පැහිච්ච කොච්චි අහුරක්, උම්බලකඩ අහුරක්, රතුලූණු ගෙඩි දහයක් පහලොවක් එක්ක, ලුණු පොල්කට්ටෙං අරගත්ත කැට ලුණු  දාල සිනිදු වෙන්ඩ ගලේ අඹරගන්න තලපෙට වතුර එක්කාසු කරල පදමට දෙහි දාගත්ත අමු හොද්දක් තමයි අපේ ආච්චි අම්මගෙ ගොඩ හොද්ද..

මුං කිරිබත් කෑලි කපන්නෙ නෑ.. ලිපෙන් බාපු ගමන් රස්නෙ පිටම බෙලෙක් පිඟංවලට බෙදනව

බඩගිනිකාරයො ඒ වෙනකොටත් අර කුස්සි කෑල්ලෙ පඩිපෙල උඩ පේලියට ඉඳගෙන ඉන්නෙ…

ඔය අපේ මනේක ඇවිල්ල හූමිටි තියන්නෙ නැතැයි අපේ පරණ කුස්සියෙ පඩි පෙලේ ඉඳං අපි කෑම කාපු හැටි ගැන.. හැබැයි උන්දැ බොහොම පුංචි සන්දියෙ හන්ද මතක තියෙනවද දන්නෙ නෑ උන්දැට..

දැං ගිනි ගිනියෙ කිරිබත බෙදුවට ඊට උඩිං අර ගොඩ හොද්ද වක්කලාම කිරිබත කන්ඩ පුලුහං ගානට නිවෙනව…

මං නං ආස අර අතිරස වඩද්දි  ලෑල්ල උඩ තියෙන පිටි එක මැද්දෙ වලක් හදල තෙල් දාගන්නව වගේ කිරි බත මැද්දෙ වලක් හදල ඒකට ගොඩ හොදි පුරවගෙන මුං කිරිබත් ගුලි හදල ඒකෙ ඔබාගෙන කන්ඩයි..

ඔය රෑට හදන ඉඳිආප්ප ඉතුරු වුණාම ඒව අව්වෙ වේලල අරන් තියනව..

එව්ව ගැඹුරු තෙලේ බැද්දම රවුං ආස්මී වගේ!

හැන්දෑවක තේබොනකොට කන්ඩ ආච්චි අම්ම ඒව බැදල පැනි දානව…

නැත්තං ගම්මිරිස් ඇට හෙම දාල කුඩු කරන හාල්පිටිවලිං අග්ගලයක් දෙකක් හදනව..

නැත්තං කොහෙ හරි නෑගමනක් එහෙම යන්ඩ තියෙනව නං වැලිතලප හැඳිගානව..

දොදොල් හදල  බොන් බොන් වගේ කොලපත්වල රවුමට ඔතල වහලෙ එල්ලල යටිං  කොරහක් තියනව බේරෙන තෙල් එක්කාසු වෙන්ඩ

ආච්චි අම්ම හිටිය නං!

උන්දැගෙ උයමං බලං ඉඳල උයමනට කැමති අපිට ඉගෙන ගන්ඩ තිබුන බොහොම දේවල්..

ඉවුං පිහුං විතරක් නෙවෙයි උන්දැගෙන් මැහුං ගෙතුං පවා ඉගෙන ගන්ඩ තිබුණනෙ කෙල්ලො සේරෝටම..!!

ආච්චි අම්ම නැති වෙලා අවුරුදු ගාණකට පස්සෙ දානයක් ඉවර  වෙලා කට්ටිය මහන්සියෙන් වැටිල ඉන්න වෙලාවක අපේ චූටි නැන්ද  හදල තිබුණ ඉතුරු මාලු ඇඹුල් තියල් එක්ක බත් කන්ඩ පරිප්පු හොද්දක්!

චූටි නංගිගෙ පරිප්පු හොද්ද කාල මට අද අපේ අම්මගෙ පරිප්පු හොද්දෙ රහ මතක් වුණා…

තාත්ත එදා බත් කාල කිව්ව.

මට නං හිතෙන්නෙ අපේ ලොකු නැන්දට තමයි ආච්චි අම්මගෙ උයමං හොඳටම පිහිටල තියෙන්නෙ…

ඉඳල හිටල එහෙ දවල් කෑමකට ගියාම පුංචි කාලෙ ආච්චිඅම්මගෙ කෑමවල රහ මතක් වෙනව..

මට ඒ තරං හොඳ රහට උයන්ඩ පිහන්ඩ  නං බෑ තමයි…  ඒ වුණාට ඔය කෑමක් බීමක් හදල බලන ආසාවවත් තියෙනව නෙ…අඩුගානෙ උයන පිහන එකට කම්මැලිකමක් නෑ කියන්නෙත් ලොකු දෙයක්නෙ කියල මට වෙලාවකට හිතෙනව..

ඕං  බලන්ඩකො අද උදේට මුංකිරිබතුයි ගොඩ හොදියි හදන අතරේ මං හිතෙං ගහපු සවාරියක තරම!!!

පින්තූරෙ මෙන්න මෙතනින්

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි, මුතුගල විත්ති. Bookmark the permalink.

23 Responses to මතක සවාරි…!!

  1. මෙහෙම කෑම ඇහුවමයිද කොහෙද? අනික කනවා කියලා ඔහොමත් කනවද? අපි නම් ඔහොම ඒවා කන්නේ නෑ. ඕවා තිත්ත රස විතරක් නෙමෙයි මිරිස් රසත් එක්ක. මට නම් එපා. නිකම් දුන්නත් මම ඔය කෑම කන්නෙ නෑ ඔන්න.

  2. Maneka පවසයි:

    හි‍ටු මං කියන්ඩ අපේ අම්මට!

  3. තිසර පවසයි:

    ඉස්සර මටත් ප්‍රශනයක් උණා… අර ආප්ප ගැන කියන තේරවිල්ල… උඩිනුත් ගින්දර, යටිනුත් ගින්දර, මැද සුද කියලා…. මොකද අපි දැකල තිබ්බේ නෑ උඩින් කබලකින් වහන එක… පස්සෙ කාලෙක කවුදෝ කියලා දුන්නා ඒක…

    මමත් කාලයක් මොකෑලන්තෙ ඉන්නකොට, මැටියෙන් හදලා තල් අතු සෙවිලි කරපු, මහ ගෙදර කුස්සියේ ඉඳන් උයන පිහන හැටි බලං හිටියා… සම්බෝලයක් ගලේ අඹරගන්නත්, බත් මුට්ටිය ඉදුනහම වට්ටියට දාලා නිවා ගන්නත් උදව් කලා…

  4. සපතේරු උන්නැහේ පවසයි:

    අපේ ගෙදර උන්දැ ලඟ තියෙනව ගුණසේන සූප ශාස්ත්‍රය කියල තඩි පොතක්… මම ඔය වගේ ආච්චි අම්ම උයපු කෑම මතක් වුණාම අර පොත අරන් ඒකෙ පටුන කියවන එක විනෝදාංශයක්…
    ……….
    මම ඔය ඔක්කොම කාල තියෙනව ගොඩ හොද්ද ඇර…

  5. පවසයි:

    අපේ නෑයෝ කට්ටියකුත් හිටියා කඩ කාමරේක කාලයක් ඒකත් ඔය කියන වගේම දිග තීරුවක් වෙනස තියෙන්නේ සිමෙන්තියෙන් හදපු එකක් විතරයි.

    තාමත් ගම් පළාත්වල තියෙන සිල්ලර බඩු කඩ වල නැති දෙයක් නැහැ. සිල්ලර කිව්වම හැමදෙම කියන අදහස එනවා ඇති සමහර විට.

    පෝස්ට් එක ඉතින් හැමදාම වගේ නියමයි 😀

  6. Chathuri පවසයි:

    මේ ලිපිය කියෙව්වම සිබිල් නැන්දාගේ ” වැනියං කළු වැනීයං ” පොත, සරච්චන්ද්‍ර ජයකොඩි මහත්මයගේ ” ගමේ ඇත්තෝ ” පොත එහෙම මතක් වුණා. හරිම රසවත්. හරියට මේ කෑම බීම කෑව බිව්ව වගේ දැනුණා 🙂

  7. පොඩ්ඩි පවසයි:

    ඇස් වහගෙන ඔයා ඇඳපු චිත්‍රේ දිගේ ගියා. ඔයා පාවිච්චි කරලා තියෙන සමහර වචනවල පුදුම ලස්සණක් තියෙන්නේ. ‘දර උකුල’ ? ඇහුවමයි. ඒ වගේ වචන කීපයක් තිබ්බා. දෙවෙනි පාර කියවනකොට හොයාගන්ට නෑ. 😀

    ගොටුකොළ උයලා. තිත්තයිනේ. අනික් කෑම ජාති නම් ඔක්කොම රහයි ඒක ඇරෙන්ට. 🙂

  8. henryblogwalker පවසයි:

    අපි කමෙන්ට් දැම්මට උඹ ගනං ගන්නේ නැති හන්දා මම මේ පෝස්ට් එක ගනං නොගෙන ඉන්නෙ තීරණය කලා.

  9. Ravi පවසයි:

    ඕක අසනීපයක් බං කිව්වට තරහ වෙන්ට එපා..ලබ්බ ගලේ ගැහුවහෙ ඇත්ත කියන එක මගෙ සිරිත කියල උඹ දන්නවනෙ..දන්නෙ නැත්තං අදවත් දැනගං…

    ඔය අසනීපෙට කියන්නෙ Cibusphilia කියල. ඕක හැදිච්චි අයට ඒ කියන්නෙ මේ උඹ වගෙ අයට කියන්නෙ   Cibusphile or Cibusfutuero කියල

    මෙහෙමයි ඒ වචනෙ හැදෙන්නෙ…

    Cibusphile

    Cibus: Latin for Food

    Phile: Latin for likes

    1. A person of either sex who is getting pleasured by food or is pleasuring food.

    2. A person who gets aroused when thinking about food or eating food.

    ඔන්න බාං හැම දේකම හොඳ පැත්තක් තියනව කියනවනෙ…අපෙ ලොක්කිගෙ පල්ලෙහ පංතියෙ ක්ලාස් මේට් කෙනෙක් ඉන්නව පේරාදෙණියෙ මෙඩිකල් ෆැකල්ටියෙ සීනියර් ලෙක්චරර්..මම පොරත් එක්ක කතා කලා.

    ඔය අසනීපෙ පොත්පත් වල තිබ්බට ලංකාවෙ තාම කිසිම රෝගියෙක් හොයාගෙන නෑලු. හෙහ්, හෙහ්, ඔන්න යෝදියෙ බොට සුවීප් එකක් ඇදුන වගෙ චෑන්ස් එකක්. සතියට එකම දවසයි උඹට යන්ට තියෙන්නෙ පේරාදෙණියෙ මෙඩිකල් ෆැකල්ටි එකට. එයාලගෙ ලෙක්චර්ස් වලට ආදර්ශකයක් හැටියට පෙනී ඉන්ටයි බොට තියෙන්නෙ. තව ඔය පොඩි පොඩි පර්යේසන එහෙමත් කරයි. අමාරු එව්ව නෙවෙයි …

    ඔන්න උඹෙ ඔලුවට එක එක සෙන්සර්ස් හයි කරල CAT Scan Meachine එහෙකට උඹව සම්බන්ද කරල එක එක කෑම ජාති ගැන විස්තර කියයි. ගොඩ හොද්ද ගැන, කොස් ඇට කලු පොල් මාලුව ගැන, කොහිල ඇඹුල ගැන, පිපිඥ්ඥ නියඹලාව ගැන,  ඒ වෙලාවෙ උඹේ මොලේ ක්‍රියකාරිත්වය CAT Scan එකේ සටහන් වෙනව.ඒ දත්ත අනුසාරයෙන් එයාල බලාපොරොත්තු වෙනව රීසර්ච් පේපර් එකක් කරල ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරන්ට.

    A case study of a chronic cibusphile in Sri Lanka ; Observations,Deductions and Conclusions ( Subject – Thilakaratne J.H. , 31 )

    වැඩේට බොට සෑහෙන ගාණකුත් හම්බවෙයි . අනික සල්ලිම බලන්ට එපා බං…. ඒ වගේද මේ වැඩෙං උඹ ලෝක ප්‍රසිද්ද වෙනව.සෙල්ලංද ඒක?..

    පලි – රයිට්..මම මෙහෙම උදව්වකුත් කරන්නං..අපෙ ගෙදර ඉඳල විනාඩි දහයයි ෆැකල්ටියට. නෝ ප්‍රොබ්ලම්….සත පහක්කත් මට එපා. බොලා දෙන්න ඇවිල්ල අපෙ ගෙදර ඉඳහල්ල..අන්න එහෙමයි අපි හරිය? හෙහ්, හෙහ්,

  10. දැං ඉතිං තව මතක පොතේ තව කතාවක් කියන්න කාලෙ නේද?

  11. Thushara Disanayaka පවසයි:

    ආච්චි ආප්ප හැදුවට මිණිපිරීට බෑනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )