අවුරුදු කාලේ කෝඳුරු කැවුම්…!!!

කුහූ කුහූ!!!!!

කුහූ කුහූ!!!!!

කොහා ඇවිල්ල පාන්දරින්ම!!  ඒ නාදෙට ඉතිං කොහෙ නිදාගන්ඩද??

කොච්චර නං ඉහේ ඉඳල වහගත්තත් වැඩක් නෑ නින්නාද දෙනවනෙ….

හැම වතාවෙම කොහා එන්නෙ මහ කිතුල් ගහට…

පරණ ගෙයි කුස්සියෙ එලිපත්තට කිට්ටුවෙන්ම උසට උසේ හැදිච්ච මහ කිතුල රෑන් රෑන් මල් එල්ලාගෙන කොයි වෙලාවෙත් ඉතිං මගුල් ගෙදරක යන්ඩ වගේ  සැරසිලා..

කොහාගෙ නාදෙට අවුරුදු නිවාඩුවටත් උදේ පාන්දරින් ඇහැරෙන මං දුවන්නෙ කිතුල් ගහ මුලට.

රේණු රේණු පිරිච්ච මල් බිම වැටිල හරියට චීත්ත රෙද්දක් වගේ ගහ යට.

දවස ගානෙ වැටිච්ච මල් එක්කහු වෙලා මහ ගණ තට්ටුවක් හැදිල

මං ඒ ඇතිරිල්ල උඩට පය තිබ්බම එරෙනව මල් අස්සට..

සර සර සර නාදෙත් එක්ක මා ආව බව දැනගෙන වගේ මහ කිතුල එක පාරටම මල් අහුරක් වට්ටනව ඉහ මත්තට…

නානාප්‍රකාර චරිත රඟපපා පැය ගණං ගත කරන්ඩ කියාපු තැන…

ඊට එහායින් දෙවට පාර… ගංගොඩේ ඉඳල කඩපලට යන ලියන අත්තට හැංගිලා ඉඳල හූ කියන්ඩත් එතන නියමයි

මක්කරනවද ඔය හැබෑට?? කිතුල් මල් ගොඩේ ඉඳල කකුල් කසන්ඩ අල්ලයි ළමයො… මෙන්න මෙහෙට එන්ඩ..කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ…

ඇස් දෙක පියාගෙන ඒ සර සරේ අහං ඉන්නකොට වතුර කොරහ එළියට විසික්කරන්ඩ එන අච්චිඅම්මට මාව අහුවුණා.

කුස්සියෙ දුං කවුලුවලින් දුං ගුලි පිට වෙනව කියන්නෙ ආච්චි අම්ම උදේම වැඩ පටන් අරං කියන එක තමා ඉතිං..

අවුරුදු නිවාඩුව ලැබුණ විතරයි ඉතිං ගෙදර පිරිසිදු කිරිලි, හාල් දිය දැමිලි, කැවුං හැදිලි තියෙන හන්ද උදෙන්ම උයාගත්තම ලේසියි නෙ…

මං හාල් සේරු දෙකක් දිය දැම්ම දුවේ.. හෙට උදැහැනැක්කෙ කොටමු.. කොණ්ඩ කැවුං ටික කලිං හදල තෙල් බහින්ඩ තිබුණාම හොඳයි…

ආච්චි අම්ම ඊයෙ හවස අම්මත් එක්ක කතා වුනා ඇහුණනෙ

අද මොනවද ආච්චි අම්මෙ හදන්නෙ?? මං ඉතිං ඇහුවෙ නොදැන නෙවෙයි..

ඔය කැවිලි පෙවිලි හැදිලි ගැන ඇහුවාම ආච්චි අම්මට තරහ අමතක වෙනවනෙ… ඒ හන්ද

අද කොණ්ඩ කැවුං හදන්ඩයි යන්නෙ පුතේ… ආං ගුණවතී නැන්දත් අර එන්නෙ

උදෙන්ම ආවද ගුණවතී…. ඔය හාල් ටික ගරල ඇත්තෙ… වංගෙඩිය එහෙම අරන් ලෑස්ති කරගන්ඩකො…

ගුණවතී නැන්ද ගෝණියක් හෙම එළල වංගෙඩිය පෙරලගෙන ඇවිත් පිටි කොටන්ඩ පටන්ගත්තම ඉතිං මටත් ඕනෙ වුණා පිටිකොටන්ඩ..

ඔය ඉතිං… මේ වැඩ අස්සෙ කරදර කරනවනෙ

ආච්චි අමමට ඇහුණොතිං වැඩේ කපෝති වෙන හන්ද මං හොරෙන්ම ගුණවතී නැන්ද එක්ක ගිවිසුමක් ගහ ගන්නව.

පුංචි මෝල්ගහ අරන්  ගුණවතී නැන්ද එක්ක හරි හරියට දෙමෝලෙන් පිටිකොටන එක විනෝද වැඩක්…

තාලෙට දෙමාරුවට එහෙම කරන්ඩ නං දෙන්නම එකම තාලෙට එන්ඩ ඕනෙනෙ…

ඒ වුණාට පිටි ඩිංගිත්තක් හරි ඉහිරුණොත් ඉතිං ආච්චිඅම්මගෙන් බැනුං තමයි…

පිටි ටික හලල එහෙම ලැහැත්ති වෙද්දි ආච්චි අම්ම පැණි ටික උණු වෙන්ඩ තියල අම්ම ලිප ලඟම ඉඳන් ඒකෙ පදම බැලුවා.

අම්මෙ බඩගිනියි……

මල්ලිත් කොහෙදෝ ඉඳල කුස්සියට දුවගෙන එන්නෙ පැණි උණු වෙන සුවඳට…

හා අන්න බත් බෙදල ඇති කන්ඩ දෙන්නත් එක්කල…

කවන්ඩ බෑ සුදු පුතේ…. අද කැවුං උයනවනෙ.. කන්ඩකො අක්කත් එක්ක ගිහින්…

අම්ම කිව්වා… මල්ලිත් වෙනද වගේ වැඩි පෙරැත්තයක් නැතුවම ඇවිල්ල කෑවයිං නොකෑවයිං ආපහු මිදුලට පැන්න..

බයිසිකලේ උඩම තමයි ඉතිං නිවාඩු දවස් ටිකට එයාගෙ රාජකාරිය

ආච්චි අම්ම කැවුම් පිටි අනන අතරෙ කුස්සියෙ දොරෙන් මිදුලට බහිනකොට තමයි මං දැක්කෙ කුස්සියෙ පිලට උඩින් ටකරං වහලෙන් එල්ලෙන මකුලුදැල්වල කෝඳුරුවො පදිංචි වෙලා ඉන්න හැටි…

ඒක හරියට කෝඳුරුවො හැදිච්ච වැලක් වගේ

ආච්චි අම්මෙ … මෙන්න කෝඳුරුවො ඇවිල්ල….

ආ.. .අපි කැවුං උයන බව ආරංචි වෙලා තමයි ඔය ඇවිල්ල තියෙන්නෙ…

ඒක ඇහිල ගුණවතී නැන්ද කිව්ව

පිටි ටික අනල තරමක් වෙලා තියෙන්ඩ ඇරල එහෙම පිලට එහා ගොම මැටි පිරිමැදපු කෑල්ලෙ අලුතෙන්ම ලිපක් හදාන හනසු මිටියත් ලඟට කිට්ටු කරාන ආච්චි අම්ම තෙල් තාච්චිය ලිපේ තිබ්බා

ගුණවතී නැන්ද කිට්ටු කරපු කොලොම්බු කැටේ උඩ ඉඳගෙන පුංචි පෝසිලේන් කැවුං කෝප්පෙට ගාණට මිම්මට කැවුං පිටි දාගෙන හොඳට රත් වෙච්ච තෙල් තාච්චියට හෙමිහිට වක්කලා..

ඒ අතරෙ තෙල් හැන්දෙන් ලතාවට තෙල් ඉස්ස

ටිකෙන් ටික කැවුම උඩට එනව මට පෙණුනෙ හරියට වැවක් මැද්දෙන් කන්දක් මතු වෙනව වගේ!!

ඊට පස්සෙ කිරිගොට්ට උඩ තිබුණ කූර අරන් කැවුම මැදට දාල කරකවන ගමන් තෙල් ඉහල කැවුමෙ කොණ්ඩෙ බැන්ද

අච්චුවක් නැතුව කොණ්ඩ කැවුං හදන්ඩ ඉතිං අතේ හුරුවක් ඕනෙ..

නැත්තං ඉතිං කන්ඩ වෙන්නෙ හැඳි කැවුං තමා…

අනේ ආච්චිඅම්මෙ  ඔන්න මටයි ඉස්සෙල්ලාම කැවුම හරිද??

ආච්චි අම්ම වැලිතලප හෙම කපද්දි අහුකොන් කාල පුරුද්දට මල්ලි දුවගෙන දුවගෙන ආව කැවුං ඉල්ලගෙන

හා හා… අපි තෙල් තාච්චිය ලිප තියෙද්දි ඒ බැදපුව කන්නෙ නෑනෙ පුතේ…

ආ මෙන්න මේ  ඉස් කැවුම එල්ලන්ඩකො  ගුණවතී කෝඳුරුවන්ට

ආච්චි අම්ම ඉස්ඉස්සෙල්ලාම උයපු කැවුම දුන්න ගුණවතී නැන්ද අතට

ආ.. මට නරක කැවුං කෝඳුරුවන්ට හොඳ වුනේ කොහොමද??

මල්ලිගෙ මූණ නොරොක් වුණා…

අර බලන්ඩකො සුදු පුතේ…උන් එල්ලිලා ඉන්න හැටි…!! කෝඳුරුවන්ට අපිට වගේ අවුරුදු නෑනෙ.. ඒ වුණාට අවුරුද්දට අපි කැවුං හදන ආරංචියට උං ඇවිල්ල පදිංචි වෙලා..

ඉතිං අපි උන්ට ඉස්සෙල්ලාම කැවුම දෙනව…

එතකොට ඒක කාල උන් යන්ඩ යනව…

ඉතිං ….. මටත් දුන්න නං මාත් කාල යනවනෙ බයිසිකල් පදින්ඩ…

මල්ලිගෙ පණ්ඩිත කතාවට අපි හැමෝටම හිනා!!!

සුදු පුතා මෙන්න මෙහෙ එන්ඩ.. අපි කැවුම එල්ලමු වහලෙ…

අම්ම මල්ලිට කතා කළා..

කැවුමෙ කොණ්ඩෙන් එල්ලෙන්ඩ හණ ලණුවක් ගැටගහපු අම්ම කොලොම්බුවක නැගල වහලෙ පරාලෙක කැවුම  එල්ලුව

ඊට ඩිංගිත්තකට පස්සෙ බැලුවාම අර මකුලු දැලේ එල්ලිලා හිටිය කෝඳුරු රංචුවම කැවුමෙ  වහල හිටිය….

පහුගිය අවුරුද්දට ඉස්ඉස්සෙල්ලාම තනියම  කැවුං හදද්දි මට මතක් වුණා කෝඳුරු කැවුම…

ආච්චි අම්ම හැම වතාවකම කෝඳුරුවන්ට කැවුමක් එල්ලන හැටි..

පස්සෙ කාලෙක ඉතිං දැනගත්ත ඔය කැවුම එල්ලන්නෙ උන්ගෙ බඩගින්න ගැන හිතලවත් අවුරුද්ද ගැන හිතල වත් නෙවෙයි… කැවුං වට්ටියට ඇවිල්ල ඒකෙ වහන එක වලක්කන්ඩ කියල..

ඒත් ඔය මොනව කරන්ඩත්  ඉතිං කෝ දැන් කෝඳුරුවො??

හැබෑ ට උන් නැද්ද දැන්???

පින්තූරෙ මෙතනින්

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මුතුගල විත්ති. Bookmark the permalink.

14 Responses to අවුරුදු කාලේ කෝඳුරු කැවුම්…!!!

  1. amila chathuranga පවසයි:

    අපේ පැත්තෙ තිබුනා හාල් කිරි හදනවා කියල වැඩක්. හාල් කිරි කියන්නෙ නිකං අර කිරිදාන වලට ගන්න කිරියා කියන එක මෙහා හොල්ට් එකෙන් බෑව වගේ වර්සන් එකක්. ඒක අර්ධ ගන පාප්පයක් වගේ වත්කරනකොට. පස්සෙ ඝන වෙනවා.
    ඉතිං අපි ඕවා කුඩා ගොටුවලට දාල වහලෙ තියනවා කෝඳුරුවන්ට. හප්පේ ඉස්සර අපේ කොරටු වාඩිවල ඉන්න කෝඳුරුවො අකුල.
    ලේසියෙන් යන්නෙත් නැහැ. ඇත්තට දැන් නම් උන් දැක්කෙම නැහැ. අපේ පියානෝ නම් කියන්නෙ මේ කෘමිනාශක ඉහිල්ලත් එක්ක උන් නැත්තටම සීරෝ වෙලා ගිහින් කියලා.

  2. Ravi පවසයි:

    ආ..මොකෝ බොට මතක් උනේ බ්ලොග් එකක් කියල අටමගලයක් තියනවය කියල? ඉවරද අර දේවකාරියක් වගෙ පේවෙලා කරන වැඩේ? 🙂

    අපෙ ගෙදර ඒ දවස්වල තිබ්බ දුමට එහා පැත්තෙ මුල්ලෙ ලොකු පරාල ඇණයක් ගහල ඒකෙ තෙල්ගාර පොටක් ගැටගහල..අඟල් නමයක් වගෙ ඇති දිග. කොස් කපද්දි කොහොල්ලැ ඔක්කොම අත්තම්ම හොඳ සීරුවට එකතු කොර ගන්නව ඒ කරල අර ලණු පොටේ ගානව. ඔහොම කොස් කපන ගානෙ කොහොල්ල ගාලම අන්තිමට එතන අඟල් දෙක තුනක විස්කම්බෙ තියන කොහොල්ල කිඹුලෙක් හැදෙනව.

    මට ඒක පේන්නෙම කිඹුල බනිසක් වගෙ හින්ද කොහොල්ලෑ කිඹුල කියලයි මම කිව්වෙ.ඔය කොහොල්ල මොකටද දන්නවද? හට්ටි මුට්ටි එහෙම ගිණි රස්නෙට පිපුරුවම ඔය කොහොල්ල කිඹුල ලිහල අරගෙන අත්තම්ම උන්දැගෙ තෝස් ලාම්පුව පත්තු කරල කිඹුලව උණු කරල සීරුවට දානව අර පැලුං වලට. රස්නෙ පිටම ගනකම රෙදි කෑල්ලකුත් අලෝනව. ඒ හට්ටි මුට්ටි ආය උයන්ට ගන්ට බෑ. මිටිහාල් දාන්ට …වැලිකොස් තනන්ට, මුං ඇට, පරිප්පු , වේලිච්චි මිරිස් දාන්ට, එව්වට තමයි…ආ..තව කැවුං එහෙමත් දානව එව්වයෙ.

    අහ්හ්..දැම්මේ කොහොල්ල කිඹුල ගැන කියන්ට ඕන උනේ මොකෝ දන්නවය?…ඕකෙ කොහොල්ල පේන්නෙ නැතිගානට වැහිල රොද බැඳගෙන උන්නෙ කෝඳුරුවො…කොහු මිටකිං කිඹුල හොල්ලල උං ඉගිල්ලවන එක මයෙ ඒ කලෙ ප්‍රදාන විනෝදාංසයක්…” එපා පුතේ..ඔය පව්කාර වැඩ කරන්ට ” අත්තම්ම කෑගහනව අත් දෙකත් උස්සගෙන..

    පලි – තෝස් ලාම්පු ගැන නොදන්න උදවියටයි මේ,

    • Maneka පවසයි:

      ඔය දේවකාරිය ගැනනං මාත් මෙතන ඩිංගක් හොම්බ දාන්ඩ ඕනෑ.. අම්මප විස්වාස කොරහන් අයියේ.. මේකි එක පාරක් ෆෝන් එකත් බදාන පන්සලකට ගෙහුන්.. ෆීල්ඩ් එකක් ය කියලා… එහාට මෙහාට ඇවිදලා .. ඇවිදලා.. . රිංගුවේ නැතැයි ආවස ගෙටත්! ෆීල්ඩ් කියලා! ගිනි පත්තු වෙච්ච පාර මං විජහට ගිහින් මේකිව වදෙන් පොරෙන් ඇදන් ආව! ඔන්න වැඩේ! සිහියක් පතක් නෑ .. ඉන්නේ කොහෙද කියලවත් !!!

  3. henryblogwalker පවසයි:

    මම අදමයි ආවේ. හොඳ බ්ලොග් එකක් වගේ පේනවා. පටන් ගත්තා වගේම දිගටම ලියන්න. අපි එන්නම් කියවන්න. ඒ වගේම හංසකිංකිණිව සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් ලෝකයට. ජයවේවා.
    ප.ලි: කෝඳුරු කාලේ ආලය කියලත් කතාවක් තියෙනවනේ…

    • Ravi පවසයි:

      ඈ බොල උඹ ද දැන් වියුණු ලොවෙහි පිළිගැනීමේ නිලධාරී..ඈ???? 🙂

    • සපතේරු උන්නැහේ පවසයි:

      ජනූ නගා ,ඔන්න ඕකයි ඉඳල හිටලවත් යමක් කුරුරු ගාල යන්න කියන්නෙ… මචෝ ඩූඩ් … මේකි ලියන්නෙ බොටත් කලින් හිටන් මහිතෙ.. ඒත් ඔහොම තමා ඇඳේ වැරදි පැත්තෙන් බැස්ස දාට ඇවිත් ලියල දාල දුවනව ආයි කොහෙ ගියාද නෑ… මං දැක්ක ආං ඕහිය දිහෑ හීතලේ ගුලි ගැහිල ඉන්නව…

      • henryblogwalker පවසයි:

        😀 වැඩේ නැගලා යයි වගේ. මචං සපතේරු. එහෙමනම් ඔය පහුගිය පෝස්ට් වල බලහං හෙන්රිබ්ලොග්වෝකර් නොහොත් ඩූඩ් කියලා එකෙක් හීනෙංවත් කමෙන්ට් කරලා තියෙනවද කියලා.

        ඒක නෙවෙයි බං.

        උඹ අර මළ මුහුදේ ගිලුනාවත්ද? :-O

      • සපතේරු උන්නැහේ පවසයි:

        සික් .. හෙන්රියො. බොගෙ වර්ගපූර්ණිකාවට මම ටැපලුනා එහෙනං… ඔක්කොම මේ ජනුවගෙ වැරදි…

      • Buratheno පවසයි:

        // ජනූ නගා ,ඔන්න ඕකයි ඉඳල හිටලවත් යමක් කුරුරු ගාල යන්න කියන්නෙ… //

        ඉඳහිටවත් යමක් කූරු ගාන එකෙක් තමා ඔය කතාව කිවුවෙ ඈ… 😉

  4. සිතුවිලි සිතූ පවසයි:

    “ඉතිං ….. මටත් දුන්න නං මාත් කාල යනවනෙ බයිසිකල් පදින්ඩ…”

    මල්ලි කියලා තියෙන්නේ ඇත්තනේ. දැන්නම් ඉතින් කැවුම් හදන්නේ නෑනේ කඩෙන් ගෙනත් කනව ඇරෙන්න.

  5. ඇත්ත නේන්නං, කෝඳුරුවො දැන් ඉස්සර තරම් පේන්න නෑ තමා. වෙසක් කූඩු හදද්දි පාප්ප හදාගෙන දවසක් දෙකක් යනකල් ඒ පාප්පෙන්ම කූඩු අලව අලව හිටියොත්නම් ඔන්න කෝඳුරුවො කැරකෙන්න ගන්නවා. තව හොඳටම ඉදුණු කෝලිකුට්ටු වලටත් එනවා. කෝඳුරු කැවුම ගැනනම් ඇහුවේ අක්කගේ මේ ලිපියෙන්ම තමයි. කැවුමක් විතරක් නෙමෙයි ඕනෙම තෙලේ බදින කෑමක් හදද්දි මුල් හරියෙන් පොඩ්ඩක් අහක් කරන එක සිරිතක් විදිහට කළත් මේ වගේ හේතුවක් දැනගෙන හිටියෙ නෑනේ. හැමදාමත් වගේ අක්කට ගොඩක් ස්තූතියි මේවා අපි එක්ක බෙදාගන්නවාට. 🙂

  6. මධුරංග පවසයි:

    මට නම් සෑහෙන ලිපි තොගයක් මග ඇරිලා. හිමිහිට ඉතුරු ටිකත් බලන්ඩ ඕන. ලියවිල්ල ගැන මම කිසිදෙයක් කියන්නේ නෑ. සෑහෙන ලස්සනයි.

    ඔයැයි පොතක් ලිව්වා නම් හරි. 🙂

  7. රූ පවසයි:

    කෝඳුරු කැවුම් එල්ලන එක නම් අපේ පැත්තෙත් කෙරුනා…ඒත් කෝඳුරුවො ඉන්නෙ අවුරුදු කාලෙට විතරක්ම නෙවි..
    දැන් නම් කොළඹ පැත්තේ කෝඳුරුවො පේන්න නැත්තේ උන්ට අවුරුදු නැති නිසා වෙන්න ඇති..!!

  8. henryblogwalker පවසයි:

    මම මේ ටැබ් එක වහලා දානවා. උඹ උත්තරයක් දුන්න දවසක මේල් එකක් දාපංකෝ නඟා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )