ආච්චි අම්මගෙ ලුණුයි,පොල්තෙලුයි, බතුයි එක්ක මුතුගල අත්තගෙ හමුදා කතා..!!

අම්ම හැන්දෑවෙ සංගීත තරඟ පුහුණුවීම් තියෙන දාට අම්ම කොහොම හරි අපි දෙන්නව ගෙදර එවන්ඩමයි හදන්නෙ…

ඒ අපි දෙන්නගෙ ඉස්කෝලෙ හවස්වරුව ගත කිරිල්ලෙ ඉතිහාසෙ කලු පැල්ලම් බර ගාණක් තියෙන හන්ද….

පුහුණුවීම් එහෙම ඉවර වෙලා ගෙදර යන්ඩ හැන්දෑවෙ අපි දෙන්න දිහා බලනකොට ඉස්කෝලෙ ගස් ගල් ගානෙ, පොකුණු ගානෙ බැහැල පාරෙ අරන් එන්ඩ බැරි ගානට මඩ කරියො දෙන්නෙක් වගේ ඉන්න එකේ අවදානම ගන්ඩ ඉස්කෝලෙ සංගීත ගුරුතුමී වෙච්ච අම්මට බෑනෙ…

ඉතිං එහෙම දාට මල්ලියි මායි සෝමෙ මාමගෙ වෑන් එකේ ගෙදර එනව. හෝල්ට් එකෙන් බැහැල ඉස්සෙල්ලම බලන්නෙ අත්ත පේන්ඩ ඉන්නවද කියල. ඉක්මණට ඉක්මණට කඩුල්ල ලඟට ඇවිල්ල උණ බම්බු දෙකක් විතර අයින් කරන්නෙ මීක් සද්දයක් නැතුව…

වත්ත ඇතුලට ඇවිල්ල ආපහු බම්බු දෙක හරියට දාල හොරෙන් හොරෙන් යන්නෙ කුස්සිය පැත්තෙං පරණ ගෙට

අක්කෙ අත්ත පේන්ඩ නෑ… වත්තෙ වෙන්ඩ ඇති… කාල ඉක්මණට නිදාගමු… නැත්තං නාවයි අදත් අල්ලගෙන…

මල්ලි කියනව…

ආ ආවද මයෙ කොල්ලයි කෙල්ලයි..

ආච්චි අම්ම  ලිප ලඟ මොනවද හැඳි ගානව.

මොනවද ආච්චි අම්මෙ??

හොද්දෙ සුවඳට බඩ පණුවොන්ගෙ හිතට ආව දේ මං අහනව..

මේ කරවල හොද්දනෙ පුතේ….

මං තලු මරනව… හිතෙන්

අයියෝ!!! අන්න අත්ත එනව

අත්තගෙ නෑවිල්ලට අකමැති මලයගෙ මූණ නාලු වෙනව…

වත්ත පල්ලෙහා ඉඳලබෝල බඩ ගෙඩිය පල්ලෙන් අඹුඩෙ ඇඳල… උදැල්ලත් කර තියාන ,යකඩ ඉන්නත් අරං ගියාට මොකද කුඹුරක් කොටනව නෙවෙයි, වත්තෙ පැල ඉණි හිටවන එක තමයි උන්දැගෙ රාජකාරිය.

ඇයි අපි දෙන්නව නාවන එක….

උන්දැට ඉව දකොහෙද?? හරියටම අපි දෙන්න එන වෙලාව දැනගන්නෙ….

ආ.. ආවද හොරගෙඩියො දෙන්න… වරෙව් නාන්ඩ…

අත්ත උදැල්ල බිම තියල,ඉන්න පරණගෙයි පිල ලඟ බිම ඇණල හති අරිනව…

බෝල බඩගෙඩිය ඒ තාලෙට උඩට  දුවනව පහළ වැටෙනව, උඩට  දුවනව පහළ වැටෙනව

අනේ අද බෑ අත්තෙ.. සීතලයි… මට උණත් වගේ… මල්ලි හදන්නෙ ගැලවෙන්ඩ…

හහ්…. ඔය කම්බිලිකොම හරියනව වතුර බාල්දි දෙකක් වැටෙද්දි… හා හා ඉක්මණට  ඉක්මණට…

කාගෙන් බේරුණත් අත්තගෙන් බේරිල්ලක් නැති බව දන්න හන්ද අපි දෙන්නම තීරණය කරනව තාත්ත එක්ක වගේ වත්ත වටේ ඔට්ටු තියන්ඩ යන්නෙ නැතුව යටත්වෙන්ඩ…

හැබැයි නාල ඉවර වුණාම අපිට කතාවක් කියන්ඩ ඕනෙ හරිද අත්තෙ? හමුදා කතාවක්!!!

මල්ලි කොන්දේසි පණවනව…

හරි හරි ඒක බලමුකො…

දාං අතක් අදින්ඩත් ඕනෙ….

ඒ කොන්දේසිය මගෙන්…

හාහ් හාහ්.. කිව්වම අහල නාන්ඩ වරෙව්!!!කොන්දේසිවලට අත්ත යටත් වුණ බව ඉන්තේරුවෙන්ම දැනගත්තට පස්සෙ අපි දෙන්න නාන්ඩ නෙවෙයි ලිඳේ කිමිදෙන්ඩ වුණත් යනව…

ඒක යස නෑවිල්ල…

ජංගිකොට ගහගෙන ඉන්න අපි දෙන්නව මුණෙන් මූණ බලාගෙන ස්ථානගත කරගන්න අත්ත සීරුවට වතුර බාල්දිය අදිනව….

ඒ වෙලාවට වතුර වක්කරන්ඩත් කලින් වතුරෙ සීතල ගැන හිතල හිත සීතල වෙනව….

ඉතිං පොඩ්ඩ බැරිවෙනකොට සීතලේ ගැහෙන මං උඩපනිනව

අනේ අත්තේ!!! ඉක්මණට

ඔහෙ හිටු!! ආ කොල්ලද කෙල්ලද ඉස්සෙල්ල… ආ වරෙං කෙල්ල…

අත්ත තනියම තීරණය කරනව කෙල්ලට පළවෙනි වතුර පනිට්ටුව පිරිනමන්ඩ…

ලාබායි!!!!!!

අත්ත පළවෙනි බාල්දිය වක්කොරන්නෙ එහෙම කියල… ඒක එක පාරට ඔලුවට හලනව නං බැරියැ… හෙමින් හෙමින් තාලෙට පුලුවන් තරම් වෙලාවක් ඒක ඔලුවට වක්කරනව…

මං ඒ ක පිලිගන්නෙ හොඳවයිං යටිගිරියෙන් හූවක් කියල…..

හප්!! හූ තියන්නෙ මොකද කෙල්ලෙ….  ඔහෙ හිටු…!!

උන්දැ මගෙ කට වහන්ඩ තර්ජනය කරනව…

අනේ අත්තෙ හෙමින් එපා.. සීතලා…………….යි වේගෙන් වක්කරන්ඩකෝ!!!!!

මං බෙරිහන් දෙනව

හා ඔහෙ හිටු කොල්ල…

අත්ත පනිට්ටුව ලිඳට දාල මල්ලිට ඉඟි කරනව ඊලඟට එයා කියල..

අපි දෙන්න අත් අල්ලගන්නව……..

ලාබා……………………………………………………යි!!!!

ඒ අපේ අත්ත එකේ ඉලක්කම කියන හැටි…

ඔහොම ගිහින් නව වෙනි පනිට්ටුව දාන්ඩ අත්ත කියන්නෙ  අට හොඳායි…. කියල!!

අත්ත ඒක කියනකල් බලන් ඉන්න අපි දෙන්න ඒ සද්දෙ යටපත් වෙන්ඩ කෑගහනව

නවයා…………………….යි කියල

ඇයි අත්තෙ අට හොඳයි කියන්නෙ ?? අටට පස්සෙ නවයනෙ තියෙන්නෙ…

හා හා.. එහෙම කියන්නෙ නෑ.. නවය නපුරුයි..ඒකයි අට හොඳයි කියන්නෙ…

ඇයි නවය නපුරු…

එහෙම තමා බොල නවය නපුරුයි…

එහෙම කිව්වට අත්ත දැනගෙන හිටියෙ නෑ ඇයි නවය නපුරු කියල…

ඉතිං මං ඒක හැමදාම හැන්දෑවට තාත්තගෙන් අහන්ඩ එකතු කරගන්න සරං ඔඩොක්කු ප්‍රශ්න මාලාවට දාගන්නව

වරෙව් සබං ගාන්ඩ දෙන්නම…

දෙන්නටම වතුර බාල්දි පහළොවක් ගානෙ වක්කොරල අත්ත කතා කරනව..

අපි දෙන්න නෑවිල්ලෙ අකමැතිම කෑල්ල තමයි සබං ගෑවිල්ල….

අත්ත සබං ගාන්ඩ ගියාම කේසාන්තෙ ඉඳල පාදාන්තෙටම උලනව.

එකෙක්ගෙ සබං ගාල කුණු පොඟන්ඩ කියල පැත්තක හිට්ටල අනිකව අල්ලගන්නව..

ඊට පස්සෙ අතුල්ලනව පිලිවෙලට… එයා කියන්නෙ ඒකට අපුල්ලනව කියල…

අපුල්ලනව කිව්වම අපි ට අත්ත අපි දෙන්නව අතුල්ලන එක දැනෙන්නෙ හරියට ආච්චි අම්ම ලිඟ ලඟ ලොකු කිරිවාන ගලේ රෙදි ගහනව වගේ

ඇස් දැවිල්ල අල්ලල අපි මර හඬ තිබ්බත්, ඔය මදෑ…. අතාරින්ඩ පොඩි උන් දෙන්නව කියල ආච්චි අම්ම කොච්චර කිව්වත් උන්දැ නෙවෙයි අපිව හොඳටම අපුල්ලල සුදු කරල මිසක් පස්ස බලන්නෙ…

අපුල්ලල ඉවර වෙලත් මහා දිග වතුර පනිට්ටු පහළොවක් වක්කරනකල් අපි දෙන්නට ගැලවිල්ලක් නෑ..

ඉතිං අපේ ගෙදර උස වහළෙන් බිමට වැටිච්ච අත පය වලංගු නැති මීපැටව් වගේ ඉන්නව

අන්තිමට නෑවිල්ල ඉවර වෙලා මගෙ දිග කොණ්ඩෙ තෙත මාත්තු කරන වැඩේ බාරදෙනව ආච්චි අම්මට… අත්ත මල්ලිව පිහිනව…

ඊට පස්සෙ අත්ත නානව. ඒක හරියට වතාවතක් කරනව වගේ… බලං ඉන්ඩ ආසයි

ඒ හන්ද ආච්චි අම්ම කොච්චර නං කතා කලත් කන්ඩ එන්ඩ කියල අපි දෙන්න අත්ත නානකං ලිඳ ලඟින් හෙල්ලෙන්නෙ නෑ.

උන්දැ සබං ගාන්නෙ වතුර පනිට්ටු පණහක් නාල….

ඉතුරු පණහ සබං ගාල…

සබං ගෑවාම අත්ත හරියට හිම බබා වගේ පෙණවලින් වැහිල යනව….

අත්ත මූණ පුරා සබං ගාන්නෙ ලිඳ ලඟ කණුවෙ බේසමට වතුර පනිට්ටු දෙකක් දාගෙන

ඊට පස්සෙ මූණ පුරා හොඳ ගණසාරෙට සබං ගාල බුසු බුසු ගාල අතුල්ලනව. ඊට පසසෙ පුරවපු වතුර බේසමෙන් මූණ හෝදන්නෙ පලාතටම වතුර බින්දු ඉහිරෙන්ඩ.

නාල උන්දැගෙ කම්බි ලේන්සුවෙන් ඇඟපත පිහිදගෙන අමුඩෙන් සරමට මාරු වෙලා උන්දැ එනව අපිත් එක්ක බත් කන්ඩ..

මේ ඇහුණද?? .. ඇයි පැටව් දෙන්න මේතරං සීතලේ තියන්නෙ… විගහට නාවන්නෙ නැතුව..  මේ බලන්ඩ ඇඟිලි පුරුක් රැලි වැටිල…

අපි දෙන්නගෙ අත් පෙන්නල ආච්චි අම්ම අත්තට නෝක්කඩු කියනව.

ඕං ඔය තියන දෙයක් බෙදල ගනිල්ල කන්ඩ.

අත්ත මායිං කරන්නෙ නෑ ආච්චි අම්මගෙ නෝක්කඩු

අත්තට බත් පිඟාන බෙදල දීල ආච්චි අම්ම සද්ද නැතුව එක පිඟානකට සුදු බත් බෙදනව.. පොල් කටුවෙන් ලුණු වතුර ටිකක් ඒ උඩින් ඉහිනව.. කොරහෙන් අත හෝදල පිහගෙන ඊලඟට අරගන්නෙ උන්දැගෙ අත් තෙල් බෝතලේ..

පොල් කඩන දාට ගෙට පල්ලෙ රන්තැඹිලි ගහේ ගෙඩි වෙනම එක්කහු කරල ගාල මිරිකල ලිප තියල උන්දැම හිඳින අත් තෙල්!!

ඒකෙන් පොඩිත්තක් අල්ලට අරන් ඒකත් ඉහිනව බත් පිඟානට..

මේක මගේ තවත් ආසම කම්මැලි කෑමක්…

අද වුණත් මට උන්න ගමන් ඔය බත කන්ඩ හිතුණාම මං කරන්නෙ ගෙදරින් ගෙනා පොල් තෙල් ටිකක් බතට දාගෙව ලුණු කුඩු ටිකක් දියකරල ඉහගෙන හරි කන එකයි… පොල් තෙල් නැත්තං බටර් හරි කමක් නෑ නැති කමට…..

බටර් එක්ක තරහ පෙම්බරය හැමදාම මූණ පුලුටු කරගන්නව මගෙ ඔය කෝලංවලට

දැන් ඉතිං ආච්චි අම්ම කෝ තැඹිලි තෙල් හිඳින්ඩ??

පොල් ගාල කිරි මිරිකල ලිපේ තියන් වරුවක් හැඳ ගාන්ඩ වෙලාව කෝ??

රන් තැඹිලි ගහ නං එදා වගේම ඔය තියෙන්නෙ ගෙට පල්ලෙන්….

බතුයි දිය ලුණුයි තැඹිලි තෙලුයි එකට අනල ගුලි හදල පරණ ගෙයි කුස්සියෙන් කඩ කෑල්ලට නගින්ඩ තියෙන පඩි පෙලේ උන්දැ දෙපැත්තෙන් අපි දෙන්න වාඩි කරාන වාරුවෙන් මාරුවට කවනව…

ඒ නාවපු එකේ සීතල මැකෙන්ඩ….

ඊට පස්සෙ අපි බලන් ඉන්නෙ අත්ත කොයි වෙලේද විටක් කොටන්ඩ අඬගහන්නෙ කියල

අත්තට තිබුණෙ චීනච්චට්ටි වංගෙඩියක්

ඒකට විල්ලක් ගහල තිබුණ ලී කෑල්ලකින්

ඒකට තිබුණ මෝල් ගහත් ඒ වගේම චීනච්චට්ටිවලින් හදාපු හුරුබුහුටි පුංචි එකක්.. ඒක පිටිපස්සෙ නයි පෙනේ වගේ තිබුණෙ කොටාපු විට එලියට ගන්ඩ හදපු හැන්දක්ලු.

අපි දෙන්න පොරකනව අත්තගෙ විට කොටල දෙන්ඩ..

අත්තගෙ විට හරිම සශ්‍රීක විටක්…. බුලත් කොල දෙකක් අරන් එකක හොඳ හැටි හුණු තවරල…, හොඳවැයින් ලොකු පුවක් ගෙඩියකින් බාගයක්, නාරම්මල පොලෙන් ගෙනල්ල ලී කොටේ උඩ තියල රැල් කරල බෙලෙක් ටින්එකක දාල වහල තියෙන දුංකොල රැලක්,   සේරම අඩු වැඩිය ටික බුලත් කොලදෙකෙන් ඔතල වංගෙඩිය ඇතුලෙන් තියල දෙන්නෙ අත්ත.

අපි දෙන්න මාරුවෙන් මාරුවට කොටනව

සමහර දාට එනසල් කරලක ඇට, කරාඹු නැට්ටක්, පුංචි කාලෙ නැන්දලව නාවපු පල්ල හිල් වෙච්ච බේසමේ වවල තියෙන ඉඟුරුපියල් කෑල්ලක් එහෙමත් වංගෙඩියට වැඩම කරනව…

සිනිදුවට කෙටිච්ච රතු පාට විට ටික දකින්ඩ ආසයි..

අත්ත වංගෙඩිය එක අතකට අරන්  ඇඟිල්ලෙන් විට ටික පාදල අනිත් අතින් වංගෙඩි කට වහගෙන සේරම ටික එක පාරට අතට අරන් බොග්ගාල කටේ දාගන්න කල් තමයි අපි දෙන්න බලන් ඉන්නෙ..

සමහර දාට ඔය විටෙන් ඩිංගිත්තං අපි දෙන්නටත් ලැබෙනව..

ආච්චි අම්ම නං බයිනව… මේ ඇහුනද පොඩිවුංව මත් කොරන්ඩද හදන්නෙ අම්ම තාත්තත් නැති අල්ලපනල්ලෙ  කියල….

උන්දැ අත්තට කතා කළේ ඇහුණද කියල

අත්ත උන්දැට කතා කළේ ඇහුණද කියල??

ඉතිං මං අහනව කාටද අත්තෙ දැන් දෙන්නගෙන් ඇහෙන්නෙ නැත්තෙ?? කියල

අත්ත හිනාවෙනව

හේ…….හ් හෙහ් හෙහ් හෙහ් කියල

අත්තගෙ බඩගෙඩියත් ඒ එක්කල තරඟෙට හිනාවෙනව

විට   කටේ දාගෙන  කඩ කෑල්ලෙ ඉස්තෝප්පුවෙ දිග බංකුවෙ කකුලක් පිට කකුලක් දාගෙන ඉඳගෙන ඇස්දෙක පියාගෙන දහ දොලොස් වතාවක් හපල දබරැඟිල්ලයි  මැදැඟිල්ලයි යාන්තං රතු වේගෙන එන තොල් දෙකට කිට්ටු කරල කඩේ මිදුලෙ රෝස පේර ගහ මුළට කෙල ඉරක් හෙම  විදල අත්ත සූජානං වෙනව..

හා වරෙල්ල හමුදා කතා කියන්ඩ….

මල්ලි ගෙ ඇස් දෙක සතුටෙන් ඉපිලෙනව….

දෙවෙනි ලෝක යුද්ද කාලෙ අත්ත හමුදාවෙ ලොරියක් එලෙව්වලු…

අපි ඔය කියන්ඩ කියල වද කරන්නෙ ඔය හමුදාවෙ ඉන්න කාලෙ කරපු කියපු දේවල්….

අත්ත එව්ව කියන හැටි හරිම රසබරයි… විඩිං විඩේ නවත්ත නවත්තා.. රස විඳ විඳ තමා උන්දැ කතාව කියන්නෙ….

ඕං ඒ කාලෙ අපි හමුදාවෙ ඉන්නකොට අපිට උදේට කන්ඩ දෙන්නෙ පාං.. බලන්ඩ එපෑයැ ඒ කෑම මේසෙ දිග…දෙපැත්තෙ පණහ පණහ විතර අපි ඉඳගෙන ඉන්නෙ…. එක මේසෙක සීයක් විතර…

දහ පහලොස් දෙනෙක්ට කන්ඩ මේසෙ උඩ පලඟානට බටර්කැට පහ හයක් කොල දිගෑරල දානව… දියවෙන්ඩ.. ඊලඟට ජෑං…. එව්ව ගේන්නෙ ලොකු ටිං වල…. ගෙනල්ල පොක් ගාල ටිං එක කඩනව…. බටරුයි ජෑමුයි කනව නං එහෙමයි.. නැහ්නං තව එනව ටිං කරපු මස්, සාඩිං, අරව මෙව්ව….

අපි මොකෑ කරන්නෙ ගහල අරිනව අර සේරෝම…

හේ………….හ් හෙහ් හෙහ් හෙහ්

එතකොට අත්තෙ දවල්ට කන්නෙ මොනවද??

ආ දවල්ට බොහොම ජයට උයනව.. එහෙ කුස්සිය ලොකුයි අපේ මේ අලුත් ගේ වගේ තුනක් විතර… අල එහෙම අපි වගේ කුරුටු ගාන්නෙ නෑ….  පොතු අරින්නෙ මහ පදාසයක් පොත්තට යන්ඩ… මහ නාස්තිය… පොල් අඹ ගෙඩි විතර අල ගෙඩි අන්තිමට කුරුම්බැට්ටියක් විතර ඇති සුද්ද කරල ඉවර වුණාම…

කුක්ල යාලු කරගත්ත දෙමළ ගෑනු එනව අර අල පොතු අරන් යන්ඩ..

ඒ ඇයි??

තම්බල ළමයින්ට කන්ඩ දෙන්ඩ.. යුද්ද කාලෙ කෑම හිඟයිනෙ….

ඉතිං අත්තෙ අත්තලගෙ බැරැක්කෙ මිනිස්සුන්ට තිබිල නෑනෙ කිසි හිඟයක්??

ඒ කෝකටත් කට ඉස්සර කරන මං….

එහෙම තමා  හමුදාවට කන්ඩ නැතිව පණ නැති උණොත් කොහොමද යුද්දයක් ආවම දිනන්නෙ??

ඒ දුන්න උත්තරේ තාර්කිකද කියල හිතන්ඩ දැං වගේ මොළේ පළල් වෙලා තිබුණෙ නැතත් ඒ වයසෙදිත් මට හිතුණෙ  බැරැක්කෙ අරක්කැමිය අල කුරුටු ගාන්නෙ නැතුව පොතු අරින එකත්, සෙබළු අල රහ කර කර කද්දි කොහෙ හරිගෙදරක ඉන්න පුංචි පැටව් ටිකක් ඒ අලවලම පොතු ලෑටි ගාන එක හරි නෑ කියලයි….

අපේ තාත්ත නං කිව්වෙ අත්ත අවුරුදු අසූ ගාණක් වෙලත් බොහොම හොඳ ශක්ති සම්පන්නව හිටියෙ ඔය කාපු කෑම බීම වගෙම ව්‍යායාම හන්ද කියලයි… එක තැන විනාඩි පහක් ඉන්ඩ බැරි ගායක් උන්දැට තිබුණෙ

හා දැං අපි කොතනද නැවැත්තුවෙ… තරමක නිහැඬියාවකින් පස්සෙ කෙල අතක් හෙම විදල අත්ත අපෙන් අහනව..

ආ.. දවල් කෑම ගැන නෙ අත්ත කිව්වෙ..

මල්ලි මට ඔරවනව

එයාට දැනගන්ඩ ඕනෙ අත්ත එලවපු ලොරිය ගැන වගතුග….

අනේ අත්තෙ.. දැන් කෑම බීම ඇති… අත්තගෙ ලොරිය ගැන කියන්ඩ…

හා… ඔන්න ඉස්සර අපිට දෙනව මාසෙකට සැරයක් ගෙදර ඇවිල්ල යන්ඩ.. මං එන්නෙ ලොරියෙ… අපි හැමෝටම ගෙවල්වල ගේන්ඩ දෙනව හොඳ විසාල බඩු මල්ලක්ම… චීස් බටර් හැම් බේකන්, ජෑම්, අනං මනං .. නැති දෙයක් නෑ…. එව්වත් අරං මං ගෙදර එන්නෙ ලෑල්ලට පාගල….

ඔය එකම කතාව අත්ත කියල ඇති පණස් හැට වතාවක්!!

අපි අහන අහණ ගාණට…

දැන් තොපිට කීපාරක් ඔය කතා කියල තියනවද කියල එලෙව්වෙ නෑ කවදාවත්!!

ඉතිං අත්තෙ බලාගෙන ගියාම අත්ත එහෙ හමුදාවෙ ඉඳගෙන කාල බීල, හැටට හැටේ වාහන එලෝල විතරනෙ.. යුද්ද කරල නෑනෙ….??

උන්න ගමං මං කට කැඩිච්ච කතාවක් කිව්වමනං උන්දැට යකු නගිනව…

මේ මගෙන් මුකුත් නාහ පළයං කෙල්ලෙ.. ඹයි මායි දන්න යුද්දෙ?

ආව මෙතන??

හුහ්!!!!!

කතාව එතනිං ම ඉවරයි

හැබැයි ආයෙත් ටිකකිං කහට කෝප්පයක් එහෙම අරන් ලඟට ගිහිං

අත්තෙ අදිමුකෝ දාං අතක් කිව්ව ගමං උන්දැගෙ රැස් බහිනව…

හා එහෙනං වරෙංකො කියල උන්දැ බංකුව පිටිපස්සෙ බිත්තියට හේත්තු කරල තියෙන දාං ලෑල්ල අරන්  බිම තියෙන ඉත්තො ටින් එක ලෑල්ලට හලල පාට වෙං කරනව…

ඊට පස්සෙ සීරුවට ලෑල්ල හදනව…

අත්ත දාං සූරයෙක්…

මෙහෙම කියන්නෙ මං එහෙම නෙවෙයි

ඉස්සර කඩේ තියෙන කාලෙ දාං ඇදපු හැමෝම කියන්නෙ අත්ත එක්කල දාං ඇදල මේ ගමේ දිනපු කවුරුත් නෑ කියලයි…

ඉතිං එහෙව් එකේ මං ගැන කවර කතාද..??

උන්දැ කරන්නෙ අපිට ඉස්සරල ඉස්සරල දිනන්ඩ දෙන එක…

ඉත්තො දෙන්න තුන්දෙනා එක  පාරින් කපා ගන්ඩ ඉඩ දීල කිසි දෙයක් දන්නෙ නැති ගාණට බලං ඉන්නව.

අපිත් ලද අවසරයෙන් කලබල වෙලා, උද්‍යෝගය වැඩි වෙලා ඉත්තො දෙතුන්දෙනා කපල අන්තිමට අත්තට එක පාරින් දාං අතම ඉවර කරන්ඩ පාර හදල දෙනව කියල අපිට තේරෙන්නෙ නෑ…

ඔහොම  හිතුණ හිතුණ තැනට ඇදල බෑ… කල්පනා කරලයි අදින්ඩ ඕනෙ.. ඒ අතරෙ අපිට කියල දෙනව…

අත්තයි තාත්තයි දාං අදිනව සෙනසුරාදට…සමහර වෙලාවට එක දාං අතක් අදිනව පැය ගාණක්….

තාත්තව පරද්දන්ඩත් ලේසි නෑ….

ඒත් මොනව කළත්, තාත්ත කොච්චර කල්පනාවෙන් ඇද්දත් අන්තිමට

ඔන්න එහෙනං බලා ගනිං කියල

අත්ත තාත්තගෙ  පැත්තෙ ඉත්තෙක් දෙන්නෙක් ඉතුරු වෙන්ඩ  ඉතුරු සේරම කපාගෙන ගිහින් රජ වෙනව….

ඊට පස්සෙ බඩත් එක්ක හවුලෙ හිනා වෙනව

හූ…. හ් හහ් හහ් හහ්  කියල..

අනේ එහෙමත් කාලයක්!!!!!

පින්තූරෙ හම්බ වුනේ සොනාලි දලාල්ගෙන්

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මුතුගල විත්ති. Bookmark the permalink.

26 Responses to ආච්චි අම්මගෙ ලුණුයි,පොල්තෙලුයි, බතුයි එක්ක මුතුගල අත්තගෙ හමුදා කතා..!!

  1. Ravi පවසයි:

    ෂෙහ්…බොල නියමෙට ලියල තියනව!!!…

    මොකදෝ මන්ද මට මතක් උනේ ඔය කඩවලිං දහ ජරාව කාල බඩේ ගාය හැදෙනව නේද?…ඉම්පස්සෙ අල්ලනව බඩේළිය යන්ට..ආය මොනවද උක්කුටික ( සැ.යු. – කිරි ස්වල්පය නොවේ ) පෝච්චියට පස්චාත් බාගය බාගෙට පාත්කරනකොට ඔන්න බඩු බනිස්…කිසිම ආයාසයකින් තොරව බෲඌඌඌඋස්ස්ස්ස්ස්ස්…

    අන්න ඒ වගෙ කිසිම තැටමීමකින් තොරව වෙර යෙදීමකින් තොරව අපූරුවට ලියල තියනව. සමාවෙයං උදාහරණෙ ජුගුප්සාජනකයි කියල හිතේනං..ඒත් ඇත්ත කියන්ට එපාය..ඔහොම තමයි මට හිතුනෙ..ඇයිද නං අනේ මංද….උඹටවත් හිතාගන්ට ඇහැක්ද ඒ ඇයි කියල?

    • Maneka පවසයි:

      බොට තිබ්බෙම නැද්ද බොල වෙන උදාහරුපයක්…. මේ කිව්ව හරුපේ මොකද්ද!!! ඇයි බොල මං රෑට සිමෙන්ති එහෙම දාල කම්බි හිටෝපු බිල්ඩිමක් වාගේ ආප්ප දෙකක් ගිලලා.. යාන්තමට මිදි ගෙඩියක් (මිදි හෙන ගණං නෙව!) සූප්පු කොරන ගමං මේක බැලුවේ..

      • ඉතිං බං කෙල්ලෙ, අරං වරෙං ගෙදරින් පොල්තෙල් කාලක් උඹලයි අම්ම හිඳින, ලුණු පැකැට් එකක් හාල් ටිහක් ගනිං පුස්සිටියෙං…බතක් තම්බ ගන්ඩ බැයි නං ඔයි පුත්තලං බූරුවො දෙන්නෙක්ගෙ වයසට කිට්ටු වෙච්ච උඹෙං වැඩක් තියේයැ…. ඉහගෙන කන එකනෙ තියෙන්නෙ

      • Maneka පවසයි:

        බොල හිටපංකෝ මට උඹව ඇහැ ගැහෙනකං ආයේ වංගියක් … /

        පුත්තලං බූරුවො දෙන්නෙක්ගෙ වයසට කිට්ටු වෙච්ච/ කිව්වේ කාටද බොල!!! බොලා නම් කියයි… වැඩ කොරල කොරල ඇවිල්ලා.. කොම්පීතර ඉස්සරහින් ඉඳගත්තම.. හතත් පැනලා.. ඊට පස්සේ උයන්ඩ තියගත්තම.. මගේ ප්‍රොජෙට්‍ටුව කොරල දෙන්නේ බොලාද??? හුහ්! යක්කු ගස් යන වෙලාවට අපි බුදියගන්නේ බොල! බොලා නම් මොනාද… පොර්ටාල් හැක් කොර කොර ඉඳී … රෝන්දෙ ගගහ..මනුස්සයත් එක්ක!

      • ඔය ඔය ඉතිං ඕකනෙ බැරි?? මුන්ට බතක් ලිප තියන එක ගැන මතක්කොලාම තමා සේරෝම ප්‍රොජෙටුයි වැඩයි සේරෝම මතකෙට එන්නෙ.. බොල… මේ මනුස්සයො සේරෝම කොරන්නෙ කන්ඩ… බඩ පුරෝගන්ඩ… ඒ හන්ද කාල හිටු හරියට මක්කරන්ඩත් කලිං

  2. Padhmakumara පවසයි:

    ඉරිසියාවෙ බැහැ ඔයාගෙ ලමා කාලෙ ගැන මොකද මම මගෙ එක අත්ත කෙනෙක්වත් දැකල නෑ.දෙන්නම මම ඉපදෙන්න කලින් මියගිහින්.

  3. henryblogwalker පවසයි:

    මොකක්ද බං ඒ බත් කෑම. මම අහලවත් නෑ ඒ මෙනු එක නම්.

    මේ පාර කතාව හරිම රහයි, හොඳට ලුණු ඇඹුල් දාලා ලියලා.

    මේක කොටලා මම ටැබ් එක වහලා දානවා. මොකද උඹ මේකට උත්තරයක් දෙන්නේ ආයේ පෝස්ට් එකක් දානන් ටිකකට කලින් බව මම දන්න නිසා. (ඒත් හිතුනොත්)

    • ඔවු අයියෙ, ඕක මට නං මාර ගති කෑම… මං විතරක් ඉන්න උයන්ඩ කම්මැලි දාට උදේ දවල් මං කනව ඔහොම.
      /මේක කොටලා මම ටැබ් එක වහලා දානවා. මොකද උඹ මේකට උත්තරයක් දෙන්නේ ආයේ පෝස්ට් එකක් දානන් ටිකකට කලින් බව මම දන්න නිසා. (ඒත් හිතුනොත්)/

      අඩේ එහෙම කියන්ඩ එපා බං
      මං මේ උඹ හින්දමයි ආවෙ උත්තර දෙන්ඩ අම්මප

  4. Gold fish පවසයි:

    අත්තලාගේ කාලෙ ව​ගේම තමා තැන් හමුදාවෙත්… 😀

  5. බුරු පවසයි:

    මේවා අපි හැමෝගෙම කතා කියලා මට හිතෙන්නේ. එකම දේ ජනුවට වගේ අපිට ඒවා රසට තෙල් මිරිස් ලුණු දාලා ලියන්න බැරි එකයි…….
    අපි පොඩි කාලේ අපිට බොහොම කතා කියල දුන්නේ අප්පුහාමි බාප්පා කියලා අපේ වත්තේ පොල් කඩපු ඇස් පේන්නැති කෙනෙක්. කොයි තරම් දේවල් ඇස් නොපෙනුනාට එයා කලාද කියලා මට හිතාගන්න බෑ. අපි කතා අහලා ඉවරයක් නැති වද දෙනවා කියලා කවදාවත් මුකුත් කියන්නෙත් නෑ. ඒ විතරක් නෙමෙයි එයා ලිඳෙන් නාන වෙලාවක අපිත් ලිඳ ළඟ හෙම හිටියා නම් අපිවත් නාවනවා. එක දවසක් අපි ඔක්කොම එකතු වෙලා නයෙකුගේ භූමිතෙල් ගෑවත් එක්ක. හොඳම දේ එයාත් බුලත් විට කෑවනේ.

    ඈහ් ජනුවෝ මොනවාද අර තෙල් දාල කන බත්? මම එහෙම එකක් කාලම නෑ. මම පොඩි කාලේ කන්නම ආස ලුණුයි බතුයි ළුෑණුයි එකට අනලා. ඒත් අපිට එහෙම කන්න දුන්නේ නෑ අපේ අම්මා. ඒවා කෑවම අපේ බඩේ පණුවෝ හැදෙනවා කියලා. පොඩි කාලෙ අමම පණුවන්ට අමර බයක් තිබුනේ.

    • ලියනවංනං ලියන්ඩ කොයි තරං නං දේවල් තියෙනවද රංගි… තව අපි අනල හදන බලු බත්එක වගේ එකක් ගැනත් මං ලියල තියෙනව නෙ.. .ආං ඒකට නං අපි ලූණු කපල දානවථ බිත්තරෙකුත් තම්බල දානව පොඩි කරල… පොල් ටිකකුත් ගාල දාල ඇනුවම ආයෙ විස්තර කරන්ඩ වචන නෑ රහ

      • අක්කට එක දෙයක් මිස් වෙලා ,ඇය් උම්බලකඩ.
        අපේ ගමේඅම්මත් ඔහොම හමු කරලා කවපු හැටි මතක් උනා.

      • යාන්තං ඇති එකෙක් හම්බ වුණා මේක කාල තියෙන.. අපේ ආච්චි අම්ම නං උම්බලකඩ දැම්මෙ නෑ මල්ලි… මාත් කාල බලනව එහෙම… මට හිතෙන්නෙ රතු ලූණු ගෙඩියකුයි පොල් ඩිංගකුයි දැම්මම තවත් රහ ඇති නැද්ද?

  6. Kenji @ Japan පවසයි:

    ලියල තියන විදිය නම් ඒ අත්දැකීම් විදල තියෙන ගොයියන්ව අතීතයට ඇදගෙන ගිහිල්ල නවතින්නම සුපිරියටම තියෙනව.
    අර බතුයි,ලුනුයි,පොල් තෙල් කතාව පළමු වරට ඇහැව්වෙ.පලාතෙන් පලාතට වෙනස් ද දන්නෙ නැහැ.
    ඒ බත් ගුලි ගිල්ලෙව්වට පස්සෙද අර කරවල සහ අනිකුත් ඒවා එක්ක බත් කවන්නෙ.
    ඒ වගේ තැන් ටිකක් විස්තරාත්මකව දැම්මොත් හරි වටිනව.

    • ස්තූතියි කෙන්ජි. මාත් හිතන්නෙ පලාතට ආවේණික හෝ අපේ ආච්චි අම්මගෙ පවුලට ආවේණික වැඩක් වෙන්ඩ පුලුවන්… සමහර වෙලාවට ඔය ලුණුයි බතුයි ගිල්ලට පස්සෙ අපේ බණ්ඩි පිරිල.. එදාට ආයෙ වෙන මාලුපිණි එක්ක බත් කන්ඩ වෙන්නෙ නෑ… සමහර දවස් තියෙනව හැබැයි ඔය බත කාල තව එහෙමත් කන්ඩ බඩේ ඉඩ ඉතුරු වෙන…
      ලිව්වට පස්සෙ මං ලියන්ඩ හිතං හිටිය තව දේවල් මගෑරිලා වගේ දැනෙනව.. ඉන්ඩ ඒව ඊලඟට ලියන්නංකො….

  7. Gayani පවසයි:

    කාලයකින් හොඳ ලිපියක් බැලුවා.

  8. අමා පවසයි:

    හිහි ඒක මරු නෑම! ඔය පනිට්ටු ගානට නාන එක සමහරුන්ගේ පුරුද්දක්. ඉස්සර පොඩි සන්දියේ මටත් තිවුන ඔයි ලෙඩේ…ඒක පුරුදු කොළේ ආච්චි. නාන කාමරේ ලොකු බැරල් එකක් වතුරෙන් පුරෝලා උන්දැ දෙනෝ මයේ අතට පුංචි ජෝග්ගුවක්. ඒකෙන් හැටක් නාල උන්දැට කියන්ට කියල උන්දැ ඒ අතරේ රෙදි හෝදනෝ. ජොග්ගු හැටක් නෑවම උන්දැ සබන් ගානෝ…ඊ ගාවට ආයෙත් හැටක්…එකේ ඉඳන් හැටට ගණින කොට වරදින එව්වත් උන්දැ හදනවා…
    පවු…මතක් වෙද්දී දුකයි..දැන් ආච්චි නෑනේ

    මේ මෙහෙමත් කෑම ගැන ලියනවද අෆ්පා … මෙව්වා කියෙව්වම බඩගිනි හැදෙනවා ජනුවෝ !! දවල්ට කාල පැය තුනක් විතර තාම..ආයෙත් බඩගිනී !!

    හැබෑවට ඔය බතුයි පොල්තෙලුයි කෑම මම අහලම නෑනේ…
    ඔයි වාගේ සරල කෑමක් තීනවා අමුර්තේ වාගේ ඒකත්.. අපේ ආච්චි ලාහ පොඩි සන්දියේ නිතරෝම කැවෙනවා..මොනාද දන්නවද? කැකුළු බතුයි, ගාපු පොලුයි, බල මාලුයි! Yum yum!

  9. Gaminie Vijith පවසයි:

    පොල්තෙලුයි, පොලුයි, ලුණුයි එක්ක බත් මමත් කාලා තියෙනවා නගේ. අපේ තාත්තා ඒ වගේ ප්‍රෝඩාවල් දාලා අපිට පොඩි කාලෙ බත් කවනවා. අපේ නංගි කොල කැඳ නොබී ඉන්නකොට ඒකිට සීනි දාලා කොල කැඳ බොන්න පුරුදු කළා.

    අත්තගෙ චරිතය මැවිලා පෙනුනා..

  10. ජනූ අක්කගෙන් ආපහු මල්දෙණියෙ කතා ආරෙට ලියවුනු ලස්සන සටහනක්. හුඟක් රසවින්දා අක්කේ. අත්තා බඩගෙඩියත් එක්ක හවුලෙ හිනාවෙන හැටි මැවිලා පෙනුනා. 🙂

  11. Ashfa Muslimah පවසයි:

    මාත් මේ සටහන ගොඩක් රස වින්දා 🙂
    ආත්තම්මල සීයල ගැන මට නම් කිසි දෙයක් දන්නේ නෑ ,මොකද අපි ඉපදෙන කොටත් ඒගොල්ලෝ මිය පරලොව ගිහින් :/
    නමුත් බෙහෙතකට වගේ අපේ තාත්තගේ අම්ම අපේ වාපුම්මා නම් තාම ඉන්නවා,,එයත් දැන් වයසයි ..පොඩි කාලේ මං ගමේ ගියාම එයා මට හැමදාම කියනවා මට රත්තරන් ඔරලෝසුවක් තෑගී දෙනවා කියල..නමුත් අද වෙනකම් මට නම් හම්බ වුනේ නෑ.. :p

  12. Itnishantha පවසයි:

    අපේ ආච්චි ,සීයා ගැන නම් මගේ මතකය බොහොම ටිකයි මොකද මම ගොඩක් පුංචි කාලේ ඒ දෙන්නම නැති උනේ. නමුත් මට හොඳට එක දෙයක් මතකයි එක දවසක් අම්ම මට පේර කෝට්ටකින් ගහලා මම අඬනකොට ඒ ගැන කේන්ති ගියපු ආච්චි ඉදලක් කැඩෙනකන් අම්මට ගුටි දීපු සිද්දිය. නියමෙට ලියලා තියනවා හරියටම මමත් එතැන් හිටියා වගේ දැනුනේ. ඔන්න එහෙනම් අපි පදිංචි වෙනවා මෙහෙ. දිගටම ලියහන් හරිය ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )