බඩගින්න…!!!

එකවරම දුම්රියේ ගමන් තාලය මාරු වුණා.

ඒ තාලයත් එක්ක හිතෙන් බැඳිල ඒ ඔස්සේ කල්පනා ලෝකෙක බොහෝ දුර ගිහින් හිටිය මාව පියවි ලෝකෙට ඇදගෙන වැටුණ.

ඉන්දියාවෙ තැනිතලා බිම්වල දිවෙන දුම්රිය ගමන්තාලය වෙනස් වෙන්නෙ කලාතුරකින්.

පාලමක් උඩින් යනකොට… එහෙමත් නැත්නම් පැයකට දෙකකට පස්සෙ හමුවෙන නවාතැන්පොලකට සේන්දු වෙනකොට…

ලංකාවෙ උඩරට දුම්රිය මාර්ගයේ ගමන්කරන දුම්රිය ගමන්ලතාවල නේකවිධ රිද්මයට පුරුදු වෙච්ච මට මේ වෙනස දැණුන.

අබකෙත්, මුඩු බිම්, තැනිතලා පහුකරගෙන ලක්නව් ඉඳල ඊට දවස් එකහමාරකට විතර කලින් දුම්රියට ගොඩවුණ අපි තරමක් ජනාකීර්ණ ප්‍රදේශයක් පහුකරමින් හිටියෙ.

වෙලාව අහස තුනට විතර ඇති… යාබද අසුනෙ හිටිය අම්මත් නිදිබරව….

මල්ලිට නං කතා සගයෙක් මුණගැහිල තිබුණ.

මම හිතන්නෙ දැන් අපි චෙන්නායිවලට කිට්ටුව වෙන්ඩ ඕනෙ… මට හිතුණ

ලක්නව් යන ගමනෙදි දුම්රිය නැවතුම්පොලවල් ලියාගත්ත සටහන්පොත අරන් බලන්ඩ තිබුණෙ කුසීතකමක්.. පාලුවක්..

ඒක සෑහෙන වෙලාවකින් මැටි කෝප්පෙක දාපු චායේ එකක් බොන්ඩ නැතිව ඇති වෙච්ච එකක්ද කොහෙද…

දුම්රියේ අසුන්වල හිටිය මිනිස්සු එකවරම කලබල වුණා.

ඉන්දියානු දුම්රිය ගමන්වලට ආගන්තුක අපි පරක් තෙරක් නැති පොළවක ඇදෙන දුම්රිය නවාතැනකට ලං වෙනව කියල තේරුම් ගන්නෙ අනිත් මගීන්ගෙ හැසීරීම් රටාවෙන්.

ගැබ්බර ලඳක් වගේ සීරුවට ගිහින් නැවතුන දුම්රිය හතිලන්ඩ පටන් ගත්ත

සාරිවල ගැටගහපු බඩු මලු එල්ලන් පුංචි දරුවො අතින් අල්ලන් බහින අම්මල…. බරට බරේ බෑග් අරන්,වට්ටි අරන් ඊට පස්සෙ බහින තාත්තල…. තමන්ගෙ දුම්රිය එනකල් නැවතුම්පලේ අසුන්වල ඉඳගෙන දොඩන මිනිස්සු,  කලබලෙන් තමන්ගෙ මැදිරිය හොයා එහෙ මෙහෙ යන මිනිස්සු…

අජීවී දුම්රිය නැවතුමක මොන තරම් සජීවී දේවල් තියෙනවද??

මං කවුලුවෙන් එලියට ඔලුව දාල බැලුවෙ පේනතෙක් මානයක චායේ වෙලෙන්දෙක් එහෙම ඉන්නවද කියලයි..

එහෙම කෙනෙක් එන පාටක් නැති බව පෙනුණත් ටික වෙලාවකට නවත්තපු දුම්රියෙන් බැහැල ගිහින් නැවතුම්පලේ තියෙන කෝපි මැෂිමකින් කෝපි අරන් එනව වගේ වික්‍රමාන්විත ක්‍රියා කරන්ඩ යනවට අම්ම විරුද්ධ බව දන්න හන්ද මං කරබාගත්ත…

සාබ්…..!!!

හීන් හඬින් ඇහිච්ච සද්දෙට මං හැරිල බැලුව ඇතුළ

උඩුකය නිරුවත් පොඩි කොලුගැටයෙක් අපිට එහාපැත්තෙ ආසනවල හිටපු මහත්මයාට අත පාගෙන…

එක්කෙනෙක් නෙවෙයි…  කාණ්ඩයක්ම නැගල හිටිය බව දැක්කෙ එතකොටයි…

මහත්මයා හිස දෙපසට වැනුව. දෙන්ඩ මොනවත් නෑ කියන්න වගේ…

කොලුව අත කට ලඟට කරල හිස ඇල කරල නැවතත් ඉල්ලුවෙ කන්ඩ යමක් බව තේරුණාම මගෙ හිත නොසන්සුන් වුණා ආයෙමත්……

හටෝ!!

පිට පලුවක් වගේ ඇඟේ දැවටිලා එල්ලා හැලෙන කලිසම වැටෙන්නට නොදී එක අතකින් අල්ලාගෙන අනිත් අත ඉදිරියට පාගෙන හිටිය කොලුවට මහත්මයා සැර වුණා…

අනපේක්ෂිත අවස්ථාවක ඇහුණු ගැඹුරු කට හඬට වැඩි දෙනෙක් ඒ පැත්ත බැලුව….

තමන් මතට හෙණයක් පතිත වුණා වගේ පස්සට විසි වෙච්ච කොලුව එතනින් ඇදිල ගියා…

ඒ පිටිපස්සෙන්  අනිත් කොලු රැලත් ඇදිල ගියා…. එක එක තැන්වලට…

කාන්පූරය හරියෙන් සිය පවුල සමග දුම්රියට නැගුණු ඒ මහත්මයාගෙ දරුවෙක් ගෙ අතේ ඒ වෙලාවෙත් යම් රස කැවිල්ලක් තියෙන බව  මං දැක්ක…

මොහොතකට හිත ශූන්‍ය වෙලා හීන් තරහක් මෝදු වෙන්ඩ ගත්ත…

මැදිරියේ ආසන අතර ප්‍රතික්ෂේප වෙමින්, පහර කන්නට ආසන්න අවස්ථා කීපයකින් බේරෙමින් අපි හිටිය ආසන වෙතට ලඟා වෙච්ච දරුව  ඒ වෙද්දි අතේ තිබුණ කවුදෝ දුන්න ලඩ්ඩුවක් කටේ දාගෙන අපට අතපෑවම අම්ම ලඟ තිබුණු විස්කෝතු දෙක තුනක් දුන්න.

පුරුදු කරගත්තම හරි වදයක්!!  දැන් එයි පෝලිමට…

අපිත් එක්ක කතා කරකර ආව අපිට ඉස්සරහින්  ඉඳගෙන හිටිය ගෑනුකෙනා ගෙ ස්වරය තරමක් අවවාදාත්මකයි..

තමන්ට නොලැබුණ යමක් එකෙකුට ලැබුණ බව ඉව වැටුණ කොලු ගැටවු ටික  කෑගහමින් අම්මව වට කරගත්තෙ එක පාරටම අපිට වෙන්නෙ මොකක්ද කියල හිතාගන්ඩවත් බැරිවෙන්ඩයි…

හැමෝටම විස්කෝතු ඕනෙ වුණා….

පාලනය කරගත නෙහෙන කලබලය මැද්දෙ යාන්ත්‍රිකව වටපිට බලපු අම්මට අන්තිමට සිද්ධ වුණා මුලු විස්කෝතු පැකට් එකම එකම එක ළමයෙක්ට දීල දාන්ඩ…

කාටද උහුලන්ඩ පුලුවන් කුසගිනිකාර කටවල් ගොඩක කරව්ව??

ඒත් ඒක අතට පත්වුණු ළමයා එකවරම අනිත් ළමයි තල්ලු කරල දාල මහා ආත්මාර්ථකාමී හැඟීමකින් ඈතට දුවයි කියල අම්ම හීනෙකින්වත් බලාපොරොත්තු වෙන්ඩ නෑ…..

ළමයි සේරම අසුරු සැණින් ඒ ළමය පස්සෙ දිව්ව!!

ඒකනෙ මං කිව්වෙ!!!

ක්‍රමයෙන් අඩුවේගෙන ගිය ළමා කරව්ව අස්සෙන් අර ගෑනු කෙනාගෙ ජයග්‍රාහී හඬ ඇහුණ…

මට දුක  හැමෝටම දෙන්ඩ බැරි වෙච්ච එක ගැනයි..

අම්ම කිව්ව…

ඈට වද දුන්නෙ පසුතැවිල්ලක්!!!

ඒක හැම ළමයම එකයි කියල හිතන අපේ අම්මට මොන තරං හිතේ වේදනාවක් ඇති කරන්ඩ ඇද්ද කියල මට හිතාගන්ඩ පුලුවන්….

අම්ම මොනව කරන්ඩද ඉතිං….!!

මං කිව්වෙ එච්චරයි.

දුම්රියක  ගමන් ගන්නාතරතුර හදිසියේ හඳුනාගත්තවුන් බොහෝ දෙනෙක් අතර අතර කතා බහ හදිසියේ ඇතිවෙලා හදිසියේ නැති වෙනව..

පැය ගණනක, දින ගණනක තනිකම මකා ගන්ඩ, එකිනෙකාගේ ආරක්ෂාව සලසාගන්ඩ වගේ බොහොම සීමිත හේතු කාරණා කීපයක් උඩ ඇති වෙන ඒ වගේ කතා බහ හරියට අර සැරෙන් සැරේ වැටෙන පොද වැහිවගේ…

ඒ රිද්මයට හුරු වෙච්ච අපි තුන් දෙනාගෙත් කතා බහ අඩුවෙලා තිබුණ…

කවුලුවෙන් ඈත බලන්ඩ බැරි තරමට තමන්ගෙ අණසක පතුරවමින් හිටපු ගිණි බෝලයක් වගේ ඉර හෙමින් හෙමින් ගිලෙන්ඩ ගත්ත….

මං වටපිට බැලුවෙ කම්මැලිකම ඉවසාගන්ඩ බැරුව….පොඩ්ඩක් නැගිටල මැදිරිය වටේ ඇවිදල එන හිතකින්.

මං නැගිට්ට…

ඉක්මණට එන්ඩ..

අම්ම මට මතක් කරල දුන්නෙ මං වැඩි වෙලාවක් එයාගෙ ඇස් මානෙන් ඉවත් වෙලා ඉන්නවට තියෙන අකමැත්ත..

හරි හරි.. මං අම්මව පහු කරල ආසන අතර පොදු ඉඩට අඩිය තිබ්බ..

ඈත වැසිකිලි දොරට හේත්තු වෙලා කොහෙදෝ ඈත බලාගෙන හිටිය කොලු ගැටයව මං දැක්කෙ එතකොටයි…

මට ඇතුලට යන්ඩ උවමනාවක් ඇති කියල හිතපු කොලුවා නැගිටින්ඩ හැදුව මං ඈත එද්දිම..

මං අතින්ම එපා කිව්ව…

මට ඕනෙ වුනේ දොරක් ලඟට ගිහින් ටිකක් ඉඳල එන්ඩ… දුම්රිය ගමනට වේගෙන් පස්සට ඇදෙන ගස්කොලන් දිහා බලන් ඉන්ඩ විතරයිනෙ..

ඒත් කොල්ල නැගිට්ට…

ඒ නැගිටිනකොට අහම්බෙන් ඇහැ ගැහුණ යමක් රටක් රාජ්ජයක් ලැබුණ වගේ සතුටින් අහුලගත්තු කොලුව ඒක කටේ දාගත්ත….

මගෙ ඇඟ හිරිගඩු පිපුණෙ ඒ මොකක්ද කියල මට දැණුන හන්දයි…

මං එහෙමම මට දෙපැත්තෙන් තිබුණ අසුන් අල්ලගෙන ගල් ගැහුණ….

එක පාරට කිසිම දෙයක් නැතුව හිස් වුණා වගේ සීතලක් පපුව මැද්දෙ තෙරපුණා….

වැසිකිලි දොර ලඟ බිම වැටිල තිබිල ඒ කොලුවගෙ කටට ගිය චපාති කෑල්ල මං ඉස්සෙල්ලාම දැක්කෙ  දවස් එකහමාරකට කලින් දුම්රියට නගින මොහොතෙ….

ඒ දවස් ගාණම වැසිකිලියට යන එන මිනිස්සුන්ගෙ පයට කී වතාවක් නං ඔය රොටි කෑල්ල පෑගෙන්ඩ ඇද්ද??

අර දරුවා කෑවෙ ඒ රොටී කෑල්ල

දෙවියනේ!!!

ඒ තරම් බඩගින්නක්!!!!

පෙරේතකමට ගස් යට වැටිල තියෙන ගඩාගෙඩි අහුලං කන්ඩ දැඟලුවට කවදාවත් වැසිකිලියක් ලඟ දවස් ගාණක් පරණ වෙච්ච රොටී කෑල්ලක් කන්ඩ තරම් බඩගින්නකින් මං කවදාවත්ම දැවිල නෑ කියල මතක් වුණාම සීතල වෙච්ච පපුව හාරගෙන උඩට ආව වේදනාවට මගෙ ඇස්වලට කඳුලු පිරුණ…

කා එක්ක  ඇතිවුණාද කියල හිතාගන්ඩ බැරි නොරිස්සුම් සහගත හැඟීම් ගොඩක් මගෙ හිතේ ගොනු වුණ පාර මං යන ගමන එහෙමම නැවැත්තුව…

ආයෙමත් මගේ පුරුදු අසුනේ ඉඳගෙන හිස් බැල්මෙන් කවුලුවෙන් අහක බැලුවට හිත ඇතුලෙ මහා කඩු හරඹයක වේදනාව මට දැණුන…

දුම්රිය ඇදුණ…රෝගී මහළු ගමනෙන්….

දැන් මොහොතකට කලින් අමුතු තානාලංකාර මවමින් ගමන්කරපු දුම්රියේ හඬ පවා මට වද දෙන්ඩ ගත්ත…..

කොළඹ මැද්දෙ ඔඩෙල් එක ඉස්සරහ පදිංචි වෙලා හිටිය යාචක පවුල්වල දරුවො පාරෙ ඇහිඳගෙන කනව මං දැකල නෑ… කුණු බක්කිවලට අත දානව මං දැකල තිබුණෙ නෑ….

ඉන්ඩ හිටින්ඩ ගෙයක් දොරක් නැතුව වුණත්  ඒ ළමයින්ට අම්මෙක් තාත්තෙක් හිටිය..

ඒ ළමයි උදේට සුදු ඇඳල ඉස්කෝලෙ යන එක ගැන අපි ඒ දවස්වල කතා වුණා!!!

ඉගෙන ගන්ඩ විදියක්, ඉන්ඩ හිටින්ඩ ගෙයක් දොරක්, ආදරේ කරන්ඩ හදා වඩා ගන්ඩ අම්මෙක් තාත්තෙක් හොයා ගන්ඩ කලින් බඩගින්න එක්ක සටන් කරන්ඩ වෙලා තියෙන දරුවන් ගැන උපන් වේදනාව විස්තර කරන්ඩ ඒ වෙලාවෙ ඇස්වලට නැගිච්ච කඳුලුවලට වත් බෑ…..

බඩගින්නක් නොවුණු හිතේ ගින්නකින් මාව පිච්චුණා….!!

කවුලුවෙන් එළියට යොමු වෙච්ච මගේ බොඳ වෙච්ච ඇස් අද්දර අර රොටී කෑල්ල දැකපු වෙලාවෙ පස්වනක් ප්‍රීතියෙන් උද්දාම වෙච්ච කොලුවගෙ මූණ සෑහෙන වෙලාවක් යනකල්ම මැවි මැවී පෙනුණ…

 

තරහ අවසර!!! මං ආයෙමත් කම්මැලි සිසිරතාරක නිද්‍රාකාලයක් ගතකළා..

ඒ අතරෙ සැරෙන් සැරේ ඇවිල්ල එක එක දේවල් කුරුටු ගාල අතෑරල දාපු වෙලාවල් තිබුණ.

ඒත් ඒ එකක්වත් ලිව්වෙ ඒ ඒ ලියවිල්ලට අවශ්‍ය කරන කම්පනයෙන් නෙවෙයි.. ඒ හන්ද කිසිම දුකක් නැතුව ඒව අතාරින්ඩ පුලුවන් වුණා…

මල්ලිගෙ විවාහ උත්සව කටයුතු සහ නෑනන්ඩිගෙ මගුල් සාරි හැදිලි, වෙඩින් කේක් හැදිලි ආදී එකී මෙකී නොකී වැඩ කෝටියකුත් තිබුණනෙ…

අවිවේකී සති අන්ත ගණනාවකට පස්සෙ කෙඳිරිගාමින් හිටිය හිත වෙසක් සතියෙ කන්තෝරුවෙන් හම්බවුණු අතිරේක නිවාඩුවත් එක්ක දවස් හතරක් ගෙදර හිටියාම  තරමක් යථා තත්වයට පත් වුණාද කොහෙද

ඇයි දැන් ලියන්නෙ නැත්තෙ?? කරදරයක්වත්ද??  කියල අහපු හැමෝටම ස්තූතියි..

කම්මැලිකම තමයි ඉතිං වෙන මොකද්ද හේතුව…

අද දවසෙ පින්තූරෙ ගත්ත තැනක් මතක නෑ… ඉන්දියානු චාරිකා ගැන ලියන්ඩ ගත්ත කාලෙ හොයල තියාගෙන හිටිය මිසක කොහෙන්ද ගත්තෙ කියල ලියල තියාගෙනත් නෑ..

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මගේ චාරිකා, මට හිතෙන හැටි, මතක. Bookmark the permalink.

24 Responses to බඩගින්න…!!!

  1. හිරු පවසයි:

    ඉස්සර මගේ හිතත්, ඔච්චර දුක්බර නැති උණත්, ඔය වගේ දේවල් දකිද්දි අමුතුම කම්පනයකින් හිරි වැටිලා යනවා…. විශේෂයෙන් දරුවන්ගේ දේවල්… ඒත් කාලයත් එක්ක දැන් මගේ හිත දැඩි වෙලා… ඉස්සර වගේ කම්පනයක් දැනෙනවා අඩුයි…. දැන් දැනෙන්නේ දුකක්…. ඒ සමහර විට පුංචිම දෙයක්වත් කරගන්න පුළුවන් තත්වයක මම නැති හින්දා වෙන්න පුළුවන්…

  2. henryblogwalker පවසයි:

    බඩ ගින්නට මොනවද කරන්න බැරි නේද? බඩ ගින්නට ආණ්ඩු පෙරලන්න පුලුවන්. මතකද එක පාරක් ගුවන් අනතුරකින් දිවි ගලවාගත්ත අයට තමන්ගේම මියගිය සගයින්ගේ මස් ගුවන් යානාවේ ත‍ටුව ඉඩ තියලා වේලලා කාලා දිවි ‍රැකගන්න සිද්ද වුනා?

    • හ්ම්!! විප්ලවයක් සැබෑ ලෙස ඇති වෙන්ඩ නං බඩගින්න දැනෙන්ඩ ඕනෙලුනෙ…. අයිය කියපු කතාව නං මං අහල තිබුණෙ නෑ…

      • henryblogwalker පවසයි:

        ඒක උඹ ඉපදෙන්න කලින් වෙච්ච එකක් ජනුවෝ. ඕක සිළුමිණ පත්තරේ කොටස් වශයෙනුත් ගියා ඉස්සර. මම පොඩි වැඩියි ඒක කියවන්න. අපි අම්මා ඔය කතාව කියවලා අපිටත් කියා දෙනවා. ඒ ගැන ගිල්ම් එකක් තියෙනවා අපි මේ ලඟදි බැලුවා. බලාපං ALIVE.

  3. Nish පවසයි:

    හ්ම්ම් රිදම් එක අවුල් වෙලා
    ඊලඟ ලිපිය ඉක්මනින් ලිවුවා හරියයි…………
    කොහොම උනත් ස්තූතියි
    ටික දවසකට පස්සෙ හිතට දැනෙන දෙයක් කියෙවුවෙ….

    සිසිර තාරක නින්ද…………:)

  4. wicharaka විචාරක පවසයි:

    ඉන්දියාවේදී මමත් මේ වගේ අත්දැකීම් රාශියක් ලැබුවා 1995 වසරේදී. අපේ රට දිව්‍යලෝකයක් කියලා දැනුනේ එදා තමයි. හැබැයි අමතක කරන්න එපා. මෛත්‍රී බෝධිසත්වයෝ බුදුවෙන්නෙත් ඉන්දියාවේ.

  5. Ravi පවසයි:

    ජනූ,

    හෙන්රිගෙ කමෙන්ට් එක දැක්කම බඩගින්න ගැන මම කියවපු කෙටිකතාවක් මතක් උනා.

    Stephen Kingගෙ Skeleton Crew කෙටිකතා එකතුවෙ Survivor Type කෙටි කතාව…

    ශල්‍ය වෛද්‍යවරයෙක් හෙරොයින් වගයකුත් අරගෙන යද්දි නැව විනාස වෙලා පාළු දූපතක අතරමං වෙනව. කන්ඩ බොන්ඩ කිසි දෙයක් නෑ. අන්තිමට මිනිහ නිර්වින්දකයක් විදිහට හෙරොයින් පාවිච්චි කරල තමන්ගෙම වම් කකුල ඇස් වටේට පහලින් කපල කනව. ඔය වගෙ ටිකෙන් ටික මිනිහ ඉණෙං පල්ලෙහ කකුල් දෙකම කපල කනව…අන්තිමට වම් අත කපන්ඩ සූදානම් වෙන තැනින් කතාව ඉවරයි.

    • henryblogwalker පවසයි:

      ඔය Stephen King ලොක්කට අනුව මචං, ඔය මහ අභූත දේවල් සිද්ද වෙන්නේම Maine වල. අනික ඔය ගමක නම් -ville කියලා ඉවරවෙනවා නම් දැනගනිං පළාතේ නොගිහින් ඉන්න, අඩුම ගානේ ඒ හරහා interstate එකේ වත් යන්න හොඳ නෑ. අනික ඔය තිරිඟු යායවල් (corn fields) තියෙනවා නේද? අප්පා, අන්තිම භයානක තැන්. ඒවෑ පඹයෙක් හේම හිටියොත් ඌ අනිවා රෑට පන ඇවිත් ඇවිදින්න යනවා මිනී මරලා හෙම එන්න.

  6. පවසයි:

    ඇත්තටම මාත් බඩගින්න කියන එක හරියට විඳලා නැහැ . කෑම එක ඕන කමඉන් මග ඇරිලා මිසක් කෑම එකක් ගන්න සල්ලි නැති නිසා බඩගින්නේ හිටපු දවසක් තිබිලා නැහැ.

    හැමදාම දවලට කන්න කඩේට ගියාම බත් කන වෙලාවට ඇවිල්ල කහට එකක් බොන කුලී වැඩ කරන මිනිස්සු දැක්කම මට වෙලාවකට හිතෙනවා මේ මිනිස්සු කහට එකකින් බඩපුරෝ ගන්න වෙලේ මන් මෙහෙම බත් ගිලින එක වැරදි නේද කියලත්

    • Charmi පවසයි:

      ඔන්න ඔතෙන්ට තමයි මචං ආගම ඕනෙ වෙන්නෙ. ඒකෙ කියනවා උඹ බඩගින්නෙ නොඉන්නෙ පෙර කුසල්, නැතිනම් දෙවියන්ගෙ කැමැත්ත නිසා කියලා. ඒක නිසා උඹ බිල ගෙවල යන්න ගියාම සේරම හරි. මේක විකාරයක් බං.

      • බුරු පවසයි:

        මටත් කන්න නැතිකමට බඩගින්නේ ඉන්න වෙලා නෑ. සමහරවෙලාවට කෑම කන්න නැතිව අසරන මිනිස්සු දැක්කම මට දුක හිතෙන්නෙත්. මට ඇඬෙන්නෙත්, මම අසරණ වෙලා ගෙම්බෙක් වෙන්නෙත් අර උඩ මරේ කියන වරදකාරි හැඟීම මට දැනෙන හින්දා වෙන්න ඇති. සමහර අය නම් මට ඒකට හිනාවෙන්නේ මගේ ඉමැචුරිටි එක කියලා. මේ වගේ අසරනකම් මවා පෑම් බොහොමයක්ම වෙන හින්දා මම මෝඩයෙක් වෙනවත් ඇති. ඒත් බඩගින්න වගේ දේකට එහෙම වංචා කරන්න පුළුවන්ද කියලා මට හිතාගන්න බෑ. ඒත් අත්දැකීමෙන් මම ඒක නිතර දැකලා තියෙන දෙයක්.

  7. Sumith Niriella පවසයි:

    ඕවා පාන් කෑල්ලක් පරිත්‍යාගකරලා විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. එකම විසඳුම උපත් පාලනය; ඉන්දියාවට විතරක් නෙවෙයි, ලංකාවටත් (කැමැත්තක් තිබුණත් නැතත්)

    • bindi2 පවසයි:

      මමත් සුමිත් එක්ක එකඟයි ..ලෝකේ වෙනස් කරන්න බැරි දේවල් තියෙනව ..නමුත් මැස්සෝ වගේ ළමයි හදලා පාරට අත අරින එක නවත්තන්න තරම් මොලේ කලඳක් නැති එකට නම් සමාව දෙන්න අමාරුයි

    • kathandarakaraya පවසයි:

      විකාර කතාවක් සුමිත්.

      අද ලෝකයේ නිපදවෙන කෑම ප්‍රමාණය ඇති තව බිලියනයකට කන්න දෙන්න. ප්‍රශ්නය තියෙන්නේ නාස්තිය සහ ජාතික ආදායම සමසේ බෙදී නොයාමයි.

      ඔය ඉන්දියාවේම නේද ක්‍රිකට් ගහන්න රුපියල් කෝටි ගණං ගෙවන්නේ?

  8. දැකලා නෑ ඒත් කියවන කොට හිතෙනවා අපි එච්චර පව් කරලා නෑ කියලා

  9. bindi2 පවසයි:

    උදව්වක් කරන්න ඕන වුනත් කරන්නේ කොහොමද ..කියල දන්නේ නැතුව අසරණ වුන වෙලාවල් මටත් ඕන තරම් තියෙනව ..

    ලිවිල්ල මග ඇරුනම ආය පටන් ගන්න අමාරුව ආයේ කියල වැඩක් නැහැ . ආයේ පාරට ගත්තත් සීරුවට ඇවිදන් යන්න ඊටත් අමාරුයි

  10. gaminie vijith පවසයි:

    මමත් නගේ ආණ්ඩුවෙ වියදමින් කීප පාරක් ඉන්දියාවට ගිහින් තියෙනවා. යන හැම වතාවකම අපේ රට ඉන්දියානු උප මහාද්වීපයෙන් කැඩිලා වෙන්වෙලා දූපතක් වෙච්ච එක ගැන පුදුමාකාර සතුටක් දැනෙනවා. අවසන් වතාවට ගිය වෙලාවෙ ගුවන් පාලම්, මෙට්‍රො ට්‍රැක්, හයි වේ වගේ ආශ්චර්ය අඩුවක් නැතුව දැක්කත් 1991 දි මම ඉස්සෙල්ලාම ගිය වතාවෙ දැකපු අපිරිසිදුකම, දුප්පත්කම, දෙනෝදාහක් බලා ඉන්දෙද්දි පාර අයිනෙ තාප්ප වලට චූ කෙරිලි තවම එහෙමමයි.

  11. බුරු පවසයි:

    මට තේරෙන්නේ නෑ ජනූ මොනවා කියන්නද කියලා.
    ඒ ළමයා මට දැනුත් මැවිලා පේනවා. ඒ විතරක් නෙමෙයි යාපනේදි, කොළඹදි හා තව තව තැන් වලදි ඔය විදියට බඩගින්නේ ඉන්නවා දැක්ක ළමයිව මට තාමත් රෑට හීනෙන් පේනවා. ඒ වෙලාවට ඒ එදා දැනුණ ශොක් එකම තාමත් දැනෙනවා.

  12. kathandarakaraya පවසයි:

    අපේ නැන්දා ගිහින් තියෙනවා ඉන්දියාවේ 1970 ද කොහෙද කෝච්චියේ ලංකාවේ ඉඳලාම. එයා කියන විදියට ඒ කාලේ කෙසෙල් ගෙඩියක් කාලා ලෙල්කල විසි කළාම ඒක කන්න පොඩි ළමයි පොර කනවලු. අද තත්වයත් වෙනස් නෑ වගේ.

    මට මතක් වුනේ අරවින්ද් අඩිගා ලියපු වයිට් ටයිගර් කියන පොත. දුප්පත්කමත් ලංකාවට වඩා වැඩි විතරක් නොවෙයි ඉන්දියාවේ දූෂණයත් ඉතා ඉහලයි. අපේ කෂ්ටිය කැලේ!

  13. Underwriter පවසයි:

    ඉන්දියාව =අපාය+දිව්‍ය ලෝකය+ප්‍රේත ලෝකය+භූත ලෝකය+තිරිසන් ලෝකය

  14. තිසර පවසයි:

    මේක කියවන්න දවසක් දෙකක් පටං ගත්තත් ඉවර කරන්න ලැබුනේ නෑ… අද තමයි ඔක්කොම කියෙව්වේ. අර ළමයා මැරෙනකම් බලං ඉන්න උකුස්සා වගේ පින්තූර දැක්ක කාලේ ඉඳලම, කෙනෙක් බඩගින්නේ ඉන්නවා කියල දැනගැනීම මගේ හිතට හරි වදයක් උණා. අදට උණත් මම ගෙදර උයන දේවල් නිරපරාදේ විසික් කරන්න දෙන්නේ නෑ. ඒ වගේමයි ළමයින්ට කන්න බැරි තරමට පිඟානට බත් බෙදලා වීසි කරන දෙමව්පියන්ටත්, තමන්ටත් කන්න බැරි ගාණට කෑම බෙදා ගන්න අයටත් හැකි හැම වෙලේම ව්‍යංගයෙන් හරි ඒක වැරදි වැඩක් කියලා අඟවන්න මම උත්සාහ කරනවා.

    හැබැ‍යි නාස්තිය මග අරින්න මිසක්, බඩගින්නේ ඉන්න අය හොයාගෙන ගිහින් කන්න දෙන්න නම් මගේ ඒ හැටි උත්සාහයක් නැහැ. තමන්ගේ නාස්තිය අවම කරගැනීම තමයි මම කරන්න උත්සාහ කරන්නේ.

  15. Ashfa Muslimah පවසයි:

    බඩගින්නත් හරි විවිධාකාරයි නේ,,අපිත් දැන් උපවාස මාසය පටන් අරන් දවස් පහක් වෙනවා,, 🙂 ඒකෙ ප්‍රධාන පරමාර්ථය තමයි දුගියන් ගේ කුසගින්න අපිටත් දැනෙන හැටි අවබෝධ කර ගැනීම…ඉතින් මේ කාලෙ දනට පිනට දීම් වැඩි වශයෙන් සිද්ධ වෙනවා,,
    ළඟදී මගේ මලය බැලුවලු සත්‍යය සිදුවීමක් ආශ්‍රිත විනාඩි කිහිපයක කෙටි චිත්‍රපටියක් ,,mcdonalds වගේ ඉහල පෙළේ අවන්හල් වල කෑම ගන්න එන උදවිය ඉතිරි කරලා යන කෑම එකතු කරගෙන ගිහින් තමන්ගේ පවුලේ උදවියත් එක්ක හරිම සතුටින් candle light dinner ගන්න දුගී පවුල් ගැන..

    බඩගින්න ගැන හොඳට ලියවුන පොතක් තමයි පර්ල් එස් බක් ගේ ‘සාර භූමි’ නව කතාව..

    ඒ වගේම මං ටික කාලෙකට කලින් කියවපු කෙටිකතාවක් මතක් වෙනවා..
    මට මතක විදියට ඒක තුර්කි කෙටි කතාවක්..
    කතා නායිකාවගේ නම ගුල්නාස්..ඇගේ සැමියා මිය ගිහින් ඇගේ පවුල අන්ත අසරණ තත්ත්වයට පත් වෙනවා,,නමුත් මුල් දින කිහිපයේදී එක ඔවුන්ට දැනෙන්නේ නැත්තේ වටේ පිටේ අය ඔවුන්ට සෑහෙන දින ගණනක් එක එක වර්ගයේ කෑම වර්ග ගෙනත් දෙන නිසයි….(මේ විදිහට ලංකාවේ මුස්ලිම් පවුල් වලත් සිද්ධ වෙනවා)
    නමුත් දවස් යන්න යන්න ඔවුන්ට එහෙම කෑම ගෙනත් දීම් අඩුවෙලා අඩු වෙලා ගිහින් එහෙමම නවතිනවා…ගුල්නාස් ගේ පුත්තු දෙන්නා බඩගින්නේ මිරිකෙමින් හැමදාම මග බලන් ඉන්නවා කව්රු හරි ආහාර බන්දේසියක් ගෙනත් දේවි කියල…හැමෝගෙම කුසගින්න වැඩි වෙලා තත්ත්වය නරක අතට හැරෙන කොට එක දරුවෙක් රෝගී වෙනවා,,නමුත් ගෙදර කැඳ උගුරක් හදා ගන්න වත් කිසිම දෙයක් නෑ …කතාවේ අන්තිමට තමයි අනුවේදනීයම කොටස එන්නේ..කුසගින්න දරා ගන්න බැරුව අනිත් පුතා කියනවා අම්මේ ලෙඩ වෙලා ඉන්න මල්ලි(/අයියා) මැරුණොත් හොඳයි නේද,එතකොට අර ධනවත් ගෙවල් වලින් කලින් වගේ රස කෑම බන්දේසි ඒවි කියල… 😦
    -faz

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )