වැඩි සද්දයක් බද්දයක් නැතුව අවුරුද්ද ගෙවිල ගියා..
මේපාර නැකැත්වලටවත් මහ ලොකු රතිඥ්ඥා සද්ද තිබුණෙ නෑ…
දැන් මිනිස්සු සිංහලයගෙ අවුරුද්ද කියල සලකන්නෙ ජනවාරි පළවෙනිදද කොහෙද? බට කැලේ ගිණිගත්තහෙ රතිඥ්ඥ ඇහෙන්නෙ එදාටනෙ
මේ අවුරුද්දෙවත් අපේම ගෙදර අවුරුදු චාරිත්‍ර කරන්ඩ ඕනෙ කියල කලින්ම හිතල තිබුණ නිසා සති අන්තෙක ගෙවල් අස්කරල, මකුළු දැල් පිහල එහෙම ලකලෑස්ති වුණා.
ඉස්සර ඉස්කෝලෙ නිවාඩුවෙ, විශ්වවිද්‍යාලෙ නිවාඩුවෙ මතක සිහි කර කර අනේ දැනුත් එහෙම ගෙදර ඉන්ඩ පුලුවන් නං කියල හිතන ගමන් දොළොස්වෙනිද දවසම කැවිලි හැදුව,
පුංචි කාලෙ ආච්චි අම්ම එක්ක දැවටිලා, පස්සෙංපහු අම්ම එක්ක එක්කාසුවෙලා කැවිලි හදද්දි අත්උදව් දීල බලං හිටිය මිසක තනියෙං අතගැහුවෙ එදා තමයි..
දඩිබිඩියෙ කළත් ඒකෙත් අමුතුම මිහිරියාවක් තියෙනව….
කඩිමුඩියෙම දඹදෙනියෙත් ගිහින් ආවයිං අතිරහ ටිකකුත් ලැබුණ මේසෙට තියන්ඩ…
ඉතින් මේ වතාවෙ සත්කෝරලෙයි, සබරගමුවෙයි, වැල්ලබඩ පත්තුවෙයි අවුරුදු චාරිත්‍ර මුහුවෙච්ච අපූරු අවුරුද්දක් සමරන්ඩ අපි දෙන්නට පුලුවන් වුණා!!!
අම්ම ඊට කලින් සුමානෙම ගෙදර හදපු ආස්මී ටිකකුයි, හාල් පොල් එහෙමයි එවල තිබුණ…
ඒව අස්කරනකොට මට හිනාකටක් මැවුණෙ අම්ම වට්ටක්ක දලුත් එවල තියෙනව දැක්කාමයි… ඒ හත්මාලුවට
හත්මාලුව කියන්නෙ මං ඉපදිච්ච සත්කෝරලේට ආගන්තුක වෑංජනයක්, සබරගමුවෙං ආව අපේ අම්ම තමයි අපේ ගෙදරට හත්මාලුව අරන් ඇවිල්ල තියෙන්නෙ.
කජු නාඹර,කොස් ඇට, මෑකරල්, බටු, අලු කෙසෙල්, කිරි අල සහ වට්ටක්කා දලු එක්කාසු කරල කිරට උයන හත්මාලුව අවුරුදු දා නැතකට උයන කිරිබත එක්ක අම්ම එහෙට ආදා ඉඳලම පිලියෙල වුණ වෑංජනයක්! වුණත් සබරගමුවෙ ඇතැම් පලාත්වල මේ වෑංජනේ එක්ක කන්ඩ පිලියෙල කරන්නෙ කිරිබත් නෙවෙයි බතක් ලු…
ඒක නිකංම නිකං ජාති හතක් දාල උයනව නෙවෙයි..
දැං අපි ඉවක් බවක් නැතුව කොටා බෑවට නොනගතේ කියන්නෙ නිරාහාරව ගත කරන කාලයක් නෙ…
ඉතිං ඒ නිරාහාරව ගත කරන පැය ගණනකට පස්සෙ ගන්න මුල්ම ආහාරය එක්ක එක්කාසු වෙන මේ හත්මාලුවෙ අඩංගු වෙන දේවල් කුස සිහිල් කරන, ඒ වගේම අපත්තියක් නොවී තියන්ඩ සමත් ඖෂධීය ගුණයක් තියෙනව කියල තමයි මං අහල, කියවල තියෙන්නෙ…
සමහර පලාත් වල බටු වෙනුවට එළබටු වගේම තිබ්බටුත් යොදනවලු..
එක එක පලාත්වල මේ හත් මාලුවට යොදන දේවල් වෙනස් බව තමයි වැඩිදුර කියවද්දි තේරුම් ගියේ..
මං දැක්ක අපේ හර්ෂණත් කියල තියෙනව ඒ පැත්තෙ හත්මාලුවෙ වගතුග…
අවුරුදු නැකතට කිරි උතුරවල, කිරිබත ලිපේ තියල හත්මාලුව ඒදන ගමන් මම කල්පනා කළේ ඉස්සර අපි අවුරුදු සමරපු හැටි !!
රටක් විදියට ලංකාවෙ සිංහලයො අතරෙ ඉටු කෙරෙන අවුරුදු චාරිත්‍රවල තියෙන ප්‍රාදේශීය විවිධත්වය ගැන…
මේ අතරෙ එකම චාරිත්‍රය වුණත් ප්‍රාදේශීයව වෙනස් වෙලා ඒ ඒ පලාතෙ සංස්කෘතිය එක්ක බද්ධ වෙලා ගොඩනැගෙන හැටි ගැන… ඉතිං රටිං රටක් ගැන කවර කතාද??
අවුරුද්ද සමරන අනෙත් රටවල අවුරුදු චාරිත්‍ර ගැනත් කියවන්ඩ තිබුණ නං හොඳයි කියල මේ ලියන වෙලාවෙත් හිතෙන්නෙ ඒකයි
ශ්‍රී ලාංකේය අලුත් අවුරුදු චාරිත්‍රවල ප්‍රාදේශීය විවිධත්වය ගැන අධ්‍යයනයක් කරන්ඩත් හිතක් පහල වුණා මේ එක්කල..
පෙනේද හත්මාලුවක් මාව අරන් ආව දුරක්!!!
ඔය ලොකු වැඩ කවද කෙරෙයිද මන්ද??
ඒ හන්ද අවුරුද්දෙ ඉස්සිස්සෙල්ලම මේ පැත්තෙ ආව එකේ මට හිතුණ අපේ පැත්තට ආවේණිකයි කියල හිතෙන අවුරුදු චාරිත්‍රයක් ගැන ලියන්ඩ..
ඒ ඉසතෙල් ගාන දා කෙරෙන අළුබොක්කා පිදීම!!
අද කාලෙ ගෑස් ලිපට වගේ නෙවෙයි අපේ ගම්වල ගොම මැටි ගාපු කුස්සිවල තිබුණ ලිග්ගල් තුනේ ලිපට ඒ ඇත්තො බොහොම ගරුසරුයි…
අවුරුද්දක් අහවර වෙලා අලුත් අවුරුද්ද ලබන්ඩ කලියෙං ලිපේ කැඩිච්ච බිඳිච්ච තැන් හදල මැටියෙන් පිරියං කරල.. ඒ උඩින් ගොම අතක් ගාගෙන යනව…නොනගතේට වැඩ අත්තැරියයිං පස්සෙ ආයෙ ඔය ලිප දල්වන්නෙ ගිනි මොළවන නැකතට තමා!!
සමහර නං කිරි උතුරවනව… සමහරු ලිප ගිනි මොළවල කිරිබතට හාල් ලිප තියනව…
කොහොමිං හරි ඔය අවුරුදු දා අවුලපු ලිපේ අලු අහක් කරන්නෙ ඉසතෙල් ගාන දාට… ඒ කියන්නෙ අලුබොක්ක පුදන දාට.
අලුබොක්කගෙ පිඟාන තමා කුස්සියෙ කුල්ල.
මෙන්න මෙහෙමයි අලුබොක්කගෙ කුල්ලෙ අඩුම කුඩුම.
කුල්ලට කෙසෙල් අග්ගිස්සක් එලනව
ඒකට අවල්ට උයාපු බත් මාලුපිණි, කැවිලි වර්ග එහෙම තියල, තව බුලත් විටකුත් හදල තියනව. අර අවුරුදු දා නැකතට ගිනි මොළවපු ලිපේ තියෙන අළු ටික මේ ඉස තෙල් ගාන දා වෙනකල්ම අස් කරන්නෙ නෑ… එදාට ඒ අළු ටික පොල් කටුවකට පුරවල තියනව…. තෙල් පොඟවපු මහත පහන් තිරයක් පත්තු කරල බුලත් කොළයක් උඩ තියල ඒකත් කුල්ලෙන් තියනව.
ඕක වත්ත පල්ලෙහා ගහක රඳවනව.
ඔන්න ඕක තමා අළු බොක්ක පිදිල්ල!!
මට මතකයි අපේ තාත්ත කියනව මේ අළුබොක්කගෙ කතාව. හරියටම පැහැදිලි කරගන්ඩ ඕනෙ හන්ද මං අපේ චූටි නැන්දට කතා කළා
අළුබොක්කා කියන්නෙ ලිපට අරක් ගත්තු යකෙක්.
වසරක් ගෙවිල අලුත් වසරක් ආරම්භ වෙන්ඩ යන වෙලාවෙ ඒ අවුරුද්ද පුරාවටම අඩුවක් පාඩුවක් නැතුව උයල පිහල කුස පුරවන්ඩ ඉඩ සැලැස්සුවෙ අළු බොක්කනෙ….
ඉතිං දවස් තුන්සිය හැට පහක් තිස්සේ උයා පිහාගෙන කන්ඩ සැලැස්සූ අලුබොක්කට කෘතගුණ පිදීමක් විදියට තමයි මේ කෑම කුල්ල පුදන්නෙ.
ඉස්සර ආච්චි අම්ම ඉන්න දවස්වල නං අපේ ගෙදර මේ චාරිත්‍රය අනිවාර්යයෙන්ම කෙරුණ.
ඒත් සබරගමුවෙ ඌරුවට දැන් අපේ ගෙදර අවුරුදු ගොටුව තියන්නෙ අවුරුදු කුමාරයට..
අනික මේ සත් කෝරලේ, සියනෑ කෝරලේ වගේ පරණ අවුරුදු දා පහන් පැලක් හදන්නෙ නෑලු එහෙ. වෙසක් එකටලු පහන් පැල හදන්නෙ…
මේ අලුබොක්ක පිදිල්ල ගැන අහල තියෙන්නෙ අපේ පැත්තෙ විතරයි.. ඒ කියන්නෙ ඒක මේ වයඹ පලාතෙ සමහර ප්‍රදේශවල විතරක් කෙරෙන චාරිත්‍රයක් වෙන්ඩ ඕනෙ…
ටිකක් වයසින් වැඩිල මොළේ පළල් වුණාට පස්සෙ අපි හැම දේම තරමක් විවෘතව දකින්ඩ ගන්නවනෙ…
අහන, කියල දෙන දේම පිළිගන්ඩ යන්නෙ නැතුව..
සමහර විට මේ අලුබොක්කා කියල ලිපට අධිපති අමනුෂ්‍ය රූපකායකට ඇමතුවට ඕක ලිපේ අළු තියෙන බොක්ක වෙන්ඩ ඕනෙ…
පස්සෙ කාලෙක මට හිතුණෙ එහෙමයි.
ඒ අතරෙ මේ පහුගිය දවස්වල ඒ ගැන උනන්දුවක් ඇතිවෙලා කියවද්දි උඩරට අවුරුදු චාරිත්‍ර ගැන කියවෙන මේ ලිපිය දැක්ක.
ඒක අනුව උඩරට පලාතෙ වැඩ අත් හරින්ඩ ලිප නිවල අස්කරන වෙලාවෙ ගෘහණියො ලිපෙන් අස් කරන අළුත් එක්කල කැවිලි, සහ බුලත් විටක් කතා නොකර එලියෙන් තියල එන චාරිත්‍රයක් තියෙනව කුණුමුල්ල පිදීම කියල.
එහෙම තියල ඇවිල්ල ඇවිල්ල අපි කුණුමුල්ල පුදල ආවා!! කියල කියනවලු හැමෝටම ඇහෙන්ඩ.
යකෙක් හිටියත් නැතත් සත්කෝරලේ අළුබොක්ක පිදිල්ලයි උඩරට කුණුමුල්ල පිදිල්ලයි එකම අරමුණක් උදෙසා හැදුණු චාරිත්‍රයක් පලාතෙන් පලාතට වෙනස් වෙච්ච ආකාරය පෙන්වල දෙනව.
ලිඳ අලෙවි කිරිල්ල, වැඩ ඇල්ලිල්ල වගේ චාරිත්‍රවලත් හරය එක වුණාට ඒව ඉටු කෙරෙන විදියෙ යම් යම් වෙනස් කම් තියෙනව,
මට මතකයි ඉස්සර අපේ අත්ත වැඩ අල්ලන්නෙ කලින් දා නොනගතේට කලියෙං බොහෝ වෙලාවට පල්ලෙහා පොළොස් හොඳ කොස් ගහෙන් ගලවගෙන ආව කිරිගහක අත්තක් කපල උදැල්ලෙන් බිම කොටල..
ආච්චි අම්ම මැසිම පාගල වාටියක් මහනව.
දැන් වගේ ලැප්ටොප් ඉස්සරහ ඉඳගෙන නැකතට ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට් කරන යුගයක හිටියෙ නැති හන්ද අපි ඒ දවස්වල නැකතට පොතක් පාඩං කළා.. අකුරක් ලිව්ව.
අඟුරු කෑල්ලක්, තඹ සතයක් ඇතුලුව කුස්සියෙ කුලුබඩු පොට්ටනියක් ලිඳට දාල වතුර කොතලයක් අරන් තමයි ගෘහණියො අලුත් අවුරුද්දෙ ගනුදෙනු ආරම්භ කරන්නෙ.
මේ පාර ගෙදර ගියාම අපේ අම්ම කිව්ව මේ කතාව ඇහුවාම එක පාරටම හිනා ගියා තමයි…
ඒත් මේක හිනාවෙන්ඩ කාරණාවක්ම නෙවෙයි කියලයි මට හිතෙන්නෙ.
දැන් දැන් අපේ ගම්වල පවා මේ චාරිත්‍ර කරන්ඩ ගෙවල්වල ගෑණු අවුරුදු දවසට ගෙදර නෑ… ඉන්නෙ දැන් දැන් අපේ ගම්වලටත් බෝ වෙලා තියෙන ජනප්‍රිය සංස්කෘතියෙ අසපුවල.
අවුරුද්ද කියන්නෙ ගෙදර ගෘහණිය මූලික කරගත්තු පිලිවෙත් සමුදායක්…
දැන් අවුරුදු දාට ගම්වලත් බොහෝ ගෙවල්වල පිරිමි බඩගින්නෙ.. ඇයි අම්මල දුවලත් ඉස්සර කරගෙන අවුරුදු නැකතටත් අසපුවෙනෙ…
අවුරුදු චාරිත්‍ර අම්මගෙන් දුවට උරුම වෙන එක පැත්තක තියමුකො….
ඒ තියා අවුරුදු දවසෙ ගෙදර ඉන්න මිනිස්සු බඩගින්නෙ තියන්නෙ නැතුවවත් ඉන්ඩ පුලුවන් නං හොඳයි කියලයි මට හිතුණෙ…
තව ඩිංගිත්තක් වෙලාව තිබුණනං කොණ්ඩ කැවුමක් දෙකකුත් හදන්ඩ උත්සාහ කරන්ඩ තිබුණ කියල අමාරුවෙන් ඉරටුවෙන් කොණ්ඩෙ මතු කරන හැටි හිත හිත ඉන්නකොට මට අපේ ගුණවතී නැන්ද ගෙනල්ල තිබුණ ඇලුමිනියම්වලින් හදාපු කොණ්ඩෙත් තියෙන අලුත්ම පන්නෙ රෙඩි මේඩ් කොණ්ඩ කැවුං අච්චුව දැක්කම නං මහ අමුතු හැඟීමක් දැණුන..
ඒක ඉස්සර තිබුණ දැති කැවුම් අච්චුව දැක්කට ඇති නොවිච්ච අමුතු පාලුවක්!!
මේක ඊට වඩා සුකුරුත්තං!!!
ඒත් එහෙම හිතිල බෑ කියලයි මට දැන් හිතෙන්නෙ
කාලෙ වෙනස් මිනිස්සු වෙනස්!!
මිනිස්සුන්ගෙ ජීවන රටාව වෙනස්
කොච්චර ආස වුණත් ඉස්සර වගේ සීරුවට කැවුම වක්කරල, හැන්දෙන් තෙල් ගහගහ, ඉරටුව කරකවල කොණ්ඩෙ හදන්ඩ තරං වෙලාවක් උදේ පාන්දර බත් තමිබගෙන වැඩට දුවල රෑ කරුවලේ ගෙදර එන අද කාලෙ ගෑණු අපිට නෑ
ඉතිං කලබලෙන් හරි අවුරුද්දට කොණ්ඩ කැවුමක් හදන්ඩ හිතන ගෘහණියක් වෙනුවෙන් නවීන පන්නෙ කැවුම් අච්චුවක් ආවට මොකෝ වෙන්නෙ..
නැද්ද??
මේං ඔහේල සබරගමුවෙ හත්මාලුව ගැන වැඩිදුර කියවනව නං!!
අඩේ! දැනුයි මතක් වුනේ.. මෙදා පාර වැඩ අල්ලන නැකත් වෙලාවට මාත් හිටියෙ FB එකේ තමා..
ම්…. සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කේ…
හප්පටසිරි බොල මොකද්ද ඒ කොන්ඩෙත් එක්කම එන අච්චුව??!!! හෑ! දාපල්ලකෝ පින්තූරයක් වත් අරගෙන කුම්මැහිකමට ඉන්නැතුව! මට මේ පාර එක කැවුමක් කොකිසයක් වත් හදන්ට දායක වෙන්ඩ බැරි වුණා නෙව ! දුකේ බෑ! 😦
බොලා නැතුව බොලාලගේ ගෙදරත් පාලුයි බොල.. අපි එහෙ ගෙහුං රෑ වෙනකං නිදි කිරා කිරා වැටි වැටි ඉඳලා ආවා! ඇය් බොල අක්කලයි නංගිලයි නෑනලයි ලොකු අයිය්ලයි එකතු වෙලා අසපු ගැනයි හාමුදුරුවො ගැනයි රට කරවන්ඩ ඕන හැටියි ගැන විද්වත් සාකච්චාවක් තිබ්බ නොවැ! බැරිම තැන මං ගෙහුං කෑ ගැහුවා දොරමඬලාව වහල හසන්ත මහත්තයා බුදි කියලා…. අම්මප ඉවර කොලා කියලද…. නෑ! අන්තිමට අපි තුන්දෙනා ඔලු හේත්තු කරගෙන බුදියගත්තා 😦
අඩේ..මනේකො…බොල ඕක එන්නෙ කැවුමට වෙනම අච්චුවක් කොන්ඩෙට වෙනම අච්චුවක්..ඒ දෙක වෙනම හදල ටූත් පික් එකක් වගෙ එකක් ගහනව කැවුමෙ යටි පැත්තෙං කොන්ඩෙ හයි වෙන්ට.ඒ ටූත් පික් වගෙ එව්වත් වෙනම එනව 50 පැකට් වලින්. Oil cake fasteners කියලයි එව්වට කියන්නෙ. එව්ව කෑවට අවුලක් නෑ. බඩේදි දිරෝනව.
එහෙමත් නැත්තං කැවුං පිඟාන වෙනම කොණ්ඩ පිඟාන වෙනම තියන්ටත් ඇහැකි.මොකද කොණ්ඩ කැවුම කිඹුල කිරි මැටි ගිලින්නැහෙ බග් ගල එක පාරට කටේ දාගන්න සිරිතක් නෑනෙ. ඒක කොහොමත් කන්නෙ කලිං කොණ්ඩෙ කනව. පස්සෙ කැවුම. ඉතිං කොන්ඩ පිඟානෙං කොණ්ඩයක් කාල ඉම් පස්සෙ කැවුං පිඟානෙං කැවුමක් කෑවත් ඒකමනෙව වෙන්නෙ.
ලස්සනයි ලස්සනයි . එක හුස්මට කියෙව්වා . ලින්ක් වලින් තියෙන එව්වා වෙන වෙලාවක . අම්ම සබරගමුවෙන් ගෙනා අවුරුදු සිරිත් අපි වින්දා ඉස්සර ගමේ ගෙහුං . කහවත්තේ කජු අඩුයි . කොහෙන්ද මන්දා ආච්චි කජු ටිකක් සොයාගෙන එනවා ..
තමුන් ඉන්න ගෙදර පොඩියට හරි අවුරුදු සිරිත් කරන එක හොඳයි . ගෙදරට සිරියාවයි . අර කිව්වහේ අලුත් වුනාට කමක් නැහැ . සිරිත් මරාදාන්නේ නැතුව . අළු බොක්ක ගැන නම් අදමයි ඇහුවේ . අවුරුදු දා කුණු එලියට විසිකරන්නේ නැහැ අපේ පළාතේ ත් .
නැකතට කාලා අපේ ළමයි දෙන්න නම් පොත පත තමයි ඇල්ලුවේ . අපි තුන්දෙනාම චිත්‍ර ඇන්දා .ඊට පස්සේ නම් ෆේස් බුක් ගියා තමයි මමත් . සුබ පැතුම් ටික බාර ගන්න එපාය . අනික දිගටම මහන්සි වෙලා එදා විවේක ගන්නයි හිතා හිටියේ .
විවිධ ප්‍රදේශ වල අවුරුදු සිරිත් ගැන දැන ගන්න එක හරිම ආසා වැඩක් . ඒ වගේම අපි එක්ක අවුරුදු සමරන බුරුම , කාම්බෝජියා තායිලන්ත ලාඕස් නේපාල සහ ඉන්දියාවේ ඇතැම් පළාත් වල සිරිත් ගැනත් දැන ගැනීම රසවත් .
අපි ගිය අවුරුද්දේ ගැහැණු අය එක්කහු වෙලා රටවල් පහේම අවුරුදු කන හැටි කරලම පෙන්නුවා . මන් ඒ ගැන ලිව්වද . මටත් මතක නැහැ ජනු . ඔන්නොහෙ කමක් නැහැ මතක ටික මෙතනම කොටන්නම් .
තායිලන්තේ
…ආගමික පිළිවෙත් කරනවා . ඊට පස්සේ ප්‍රධානම දේ වතුර විද ගැනීම . සොන්ක්රාන්ත් කියල තමයි ඒගොල්ලන්ගේ අවුරුද්දට කියන්නේ .
කම්බෝජියාව
මේගොල්ල බුදු පිළිම නාවනවා . ඒ වගේම තමනුත් නානවා . ඒ ඇරෙන්න යම් යම් ආහාර වර්ගත් හදනව . මුලිකවම සහල් වලින් හදන දේවල් . අස්වනු කපාගැනීමට පසේ එළඹෙන කාලය නේ .
ලාඕසය ගැන එතරම් මතක නැහැ . බුරුමයේත් නැම වගේම සහල් පිටි වලින් ගුලි වර්ගයක් හදල උතුරන වතුරට දමනවා . ඒ ගුලි උඩට පාවීම තමයි අපේ කිරී ඉතිරීම වගේ සුබ ලෙස සලකන්නේ .
නේපාලයේ උදේම නැගිටලා දෙවියන්ට පුද පුජා කිරීම තමා සිද්ද වෙන්නේ . ඉන්දියාවේදීත් දෙවියන් වන්දිම සහ කැවිලි සැදීම සිදුවෙනවා . දෙවියන්ට සහල් පලතුරු පුජා කරනවා . ඉන්දියාවේදී පලාතෙන් පලාතට වෙනස් .
හැබැයි නැකතට මේ දේවල් සිද්ද වෙන්නේ ලංකාවේ විතරයි මන් හිතන්නේ . පහුගිය ටිකේ වෙන රටවල යාළුවන්ට අපේ අවුරුදු ගැන කියල කියලා මගේ කටත් රිදෙනවා . හැබැයි එහම විස්තර කියද්දී දැනෙන සතුට ඒ සේරටම වැඩියි . කවද හරි අපේ ළමයින්ටත් ඒ වගේ කියන්න දෙයක් ඉතුරු කරලා දෙන එක අපේ වගකීම .
අදට මෙපමණයි . අසා සිටි සැමට ස්තුතියි
කාම්බෝජයේ අවුරුදු කුමාරයා ඒ ඒ අවුරුද්දට කැමති ජාති කන්න හදල ගේ දොරකඩ තියෙනවලු . මන මතක් වෙන වෙලාවට මේකට තව කාරනා එකතු කරන්නම් . කවද හරි දවසක ප්‍රයෝජනවත් වෙන්න කියල
අම්මෝ උඹව දැකපු කල්! මේ ඇහුනද? ලෝකෙ ඉන්න වෙන ඕනෑම ජාතියකට තමන් අහවල් ජාතියේ කියන්න තහනමක් නැති වුනත් “සිංහලයගෙ අවුරුද්ද” වගේ කියලා අපි ලිව්වාම ඒවා වර්ගවාදී, ජාතිවාදී, ජාතික අසමගියට උල්පන්දන් දෙන ප්‍රකාශ වෙන එකට දැන් නිකම්ම මාත් හුරුවෙලා. බලාපං ඒකෙත් හැටි.
මම නම් දන්න හත් මාලුව, සින්ඩියක්.
අඩේ දැන් උඹේ බ්ලොග මාර ස්පීඩ් අප්ඩේට් වෙන්නෙ මොකෝ බං? මොකක්ද කලේ? සමහර විට රවියා කමෙන්ට් එකක් දානකල් එහෙම වෙනවා ඇති, බර අඩු නිසා. 😀
/ අඩේ දැන් උඹේ බ්ලොග මාර ස්පීඩ් අප්ඩේට් වෙන්නෙ මොකෝ බං? /
දෙයියෝම නඩු…උඹනං මොන නැකතකිං උපං එකෙක්ද මංද…පහුගිය ටිකේ මෙතන කණක් ඇහෙන්ට තිබ්බෙ නෑ ජනූගෙ පෝස්ට් අප්ඩේට් වෙන්ට පරක්කු වෙනවය, ඒකට ජනුව නිසි පියවර ගන්නෙ නෑය, අනේ එහෙම කරන්ට එපාය, කොයිමක් කරල හරි ඒක හදන්ටය, නැත්තං මං වහ බොනවය, එහෙම වහ බීල මං මලොත් ඒකෙ පාපෙත් උඹටය..රටේ නැති අවලාද..දැං ඒපාර මෙන්න හයිස්පීඩ් අප්ඩේට් වෙනවය කියල ඒ මොකද කියල අහනව…ඉතිං කාටද මේ අවනඩු කියන්නෙ?
/ සමහර විට රවියා කමෙන්ට් එකක් දානකල් එහෙම වෙනවා ඇති, බර අඩු නිසා /
ආ..ඔය තියෙන්නෙ ..අපරාදෙ කියන්ට බෑ..කොහෙං හරි කරකෝල මටත් කොණක් පටලෝල ඇති. අම්මප මයෙම කරුමෙ..මයෙම කරුමෙ..මේ නහින දෙහින කාලෙ උණු වතුර ටිකක් කාරිය නාගෙන අර අම්මණ්ඩි රත් කොරල දෙන දෙයක් කොටා බාල, හවහට හවහට හීන්වට දෙකක් නවාගෙන ඉන්නෙ නැතුව මේ මල ඉලව් බොලොග් කෙහෙල්මලක් ලියන්ට කියල ඇවිදිල්ල හිට මාත් අහගන්න කතා අම්මප…..මොකදෑ කොරන්නෙ?…. කරුමේ …කරුමේ..අම්මප මටම තලාගන්ට හිතෙනව අර වේලපු මොනවද එකකිං
// කරුමේ …කරුමේ..අම්මප මටම තලාගන්ට හිතෙනව අර වේලපු මොනවද එකකිං //
ආං අරහෙ ඩූඩියා උඹට තලාගන්ටය කියලා තැපෑලෙන් එවන්ට පණ දාගෙන මොකක්දෝ එකක් වේලනවලු.. හැබැයි උන්දෑ හරියටම කියන්නෙ නෑ මොකක්ද ඒ වේලන්නෙ කියලා.. ඩිංගක් හොර රහසේ විපරං කොරලා බැලුවනං.. 😉
ඇඈ?????..ඒ කොහොමෙයි බාං ඒ? එහෙමත් පුලුවනිද තමංගෙම සරීර අවයවයක් වේලන්ට?…..සංදුක්කාරේ!!!!!!
අලුත් අවුරුද්දට චාරිත්‍ර වාරිත්‍ර ගොඩක් තිබ්බ පලාතක නෙමෙයි අපි හිටියේ. නොනගතයට පන්සල් යාම, නැකතට කිරි ඉතිරවීම, අනුභවය, වැඩ ඇල්ලීම, ගනුදෙනු, හිස තෙල් ගෑමට පස්සේ ගමේ අවුරුදු උත්සවේ තමයි තිබ්බ ලොකුම දේ. හරියටම අවුරුදු උදාවෙන මොහොතේ පොතක් පතක් අතින් අරගෙන ඉන්න තමයි අපිට කියල දීලා තිබ්බේ. ඕක ඉතිං අතට ගත්තට මළාට කියවන්නෙ නෑ.
කාලෙන් කාලෙට ඔය චාරිත්‍ර වෙනස්වීම නම් මට ඒ හැටි අවුලක් නෑ. ඉස්සර අවුරුද්දට මෙන්න මෙහෙම කලා කියලා, කිසි අවබෝධයක් නැතුව ඔහේ චාරිත්‍ර ඉෂ්ඨ කරන එකට වඩා තමන්ට හැඟීමෙන් කරන්න පුළුවන් සුලු චාරිත්‍රය කරන එක වඩා හොඳයි කියලා මට හිතෙන්නේ. අනුභවය කරන නැකතට, පවුලේ හැමෝම එකට කන එක, අම්ම තාත්තා අතින් කිරිබත් කෑල්ලක් කාලා, අපේ ළමයින්ටත් කෑල්ලක් කවන එක (කොහොමත් කන එක මම හැම වෙලාවෙම හැඟීමෙන් කරන්නේ), ඒ ඇරුණාම, නිකමට හරි සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතන එක තමයි මම උවමනාවෙන් කරන්නේ. හැබැයි ඔය විවිධ චාරිත්‍රවාරිත්‍ර ඉෂ්ඨ කරන හැටි බලං ඉන්න නම් බොහොම කැමතියි, සහභාගි නොවුනට.
හරිම වටින ලිපියක්.
ආසාවෙන් කියෙව්ව.
මමත් කැවුම් උයනව. ඒත් අච්චු කැවුම් වලට නම් ආසම නෑ. ඒක හරිම කෘතිම පෙනුමක් තියෙන්නෙ
හෙහ්, හෙහ්, අවුරුදු සැමරුම්…..
අපි බැඳල පලවෙනි අවුරුද්ද ඔන්න අරුන්දැ කිරිබතක් එහෙම උයාන පානක් එහෙම පත්තු කොරල ලැහැත්ති උනානෙව වැඩේට.පාන පත්තු කෙරිල්ල මිස කිරිබත උයන එකේ නම් ඒ හැටි විසේසයක් තිබ්බෙ නෑ මොකෝ උන්දැ හැමදාම උයන්නෙ කිරිබතට බොහොම සමාන දෙයක් හින්ද…
ඔන්න රෑ අටට විතර තිබ්බෙ ආහාර අනුබවය. එතකල් ඉන්ට පුලුවනි කාටද?…මම හවසම කොකිස් පිඟානකුත් ලං කොරාන අවුරුදු පීතිය බුක්ති විඳිංට පටං ගත්ත කියාපංකො..අප්පට සිරි නැකත ලං වෙනකොට හොඳ ගනං…
අනුබව නැකැත් වෙලාවට මේසෙට ඉඳගන්ට ගිහිල්ල මම වාරු නැතුව ගිහිල්ල මූණ ඇනුන කෙලිම්ම මෙසේ තිබ්බ ඇඹුල් තියල් හට්ටියෙ. ඊට පස්සෙ කෙලිං වෙනකොට ආයෙම දෝයි ගාල වැටුන මම මේසෙ උඩම..පිරියම්බිකා තොමෝ මා දිහා රවාගෙන ඉන්නව ඉණට අත් දෙකත් තියාගෙන.
” නෝ ප්‍රොබ්ලම්. කාම් ඩවුන් පිලීස්, ඔන්න අද තමයි නි..නි..නියම නැකතට අ..අ…අවුරුදු සංකරාන්තිය සිද්ද උනේ..”
” ඒ කොහොමද?..” උන්දැ තාම රවාගෙන,
” ඇයි..අ..අනේ..අ..අවුරුද්ද කියන්නෙ මොකද්ද? සූර්යයා මින රාසියෙං මේස රාසියට සංක්‍රමනය වීම නෙවෙයිද? ඉතිං මෙතන මේ උනෙත් ඒකම නෙවෙයිද? ”
” හුහ්, මින රාසියෙං මේස රාසියට නේද?…මම කිව්වයි කියල හිතා ගන්නව.. ”
එදයිං පස් සෙං පහු අපේ ගෙදර නෝ අවුරුදු සැමරුම්. 😀 😀
ජනූ අක්කලත් හත්මාලුව හදනවද? ඔන්න අපේ ගෙදරත් ආච්චි වරද්දන්නේ නැතුවම හදනව.ඉස්සරහට ඉතින් අපිත් ඒ චාරිත්‍ර ඒ විදියටම කරගෙන යාවි.මේක කියෙව්වට පස්සෙ හිතාගත්තා මාත් හදන්න පුරුදු වෙන්න ඕනා කියල! සුබ අලුත් අවුරුද්දක් වේවා!!
ඔයාගෙ අලුත් ලියවිල්ලක් කියවන්න ආසයි!
ඔන්න දැම්ම