ආනේ!!! අලුත්ම පෑනක්!!
තරංගනී ලඟ තිබුණ රත්තරං පාට විල්ල තිබුණු අලුත්ම අලුත් පෑනෙ දිස්නෙ මගෙ ඇස් දෙකට ටිකක් ඉවසා දරාගන්ඩ අමාරු වුණා…
එක සීරීමක්වත් නැතුව කොලපාටට කොලපාටෙ බැබලෙන බටයක් තිබුණු ඒ පෑන සුදුපාට ඇසුරුම් පෙට්ටිය ඇතුලෙ එයාටම කියල තැනුණු විල්ලුදවන් කලුපාට ඇතිරිල්ලෙ බොහොම සැපට විරාජමාන වෙලා හිටිය.
හීරෝ කියල වැල් අකුරින් ලියල තිබුණ සුදුපාට පියනෙ පෑනගෙ පින්තූරෙකුත් ගහල තිබුණ.
තාත්ත අරන් දුන්නෙ!!
තරංගනීගෙ කටහඬේ ගැවසුනේ ආඩම්බර ස්වරයක්!
තරංගනීගෙ තාත්ත පෑන අරන් ඇවිල්ල තරංගනීට දුන්න හැටි මගෙ හිතේ හරියට ටෙලි නාට්‍ය ජවනිකාවක් වගේ ඇඳුන.
එයා සතුටින් උඩ පනින්ඩ ඇති ඒක ලැබිච්ච වෙලාවෙ..
තරංගනී ඒක එළියට ගත්තෙ බොහොම සීරුමාරුවට.
මේක තීන්ත පෑනක්!!
මගෙ ඇස් වෙනදටත් වඩා ඇරිලද කොහෙද තිබුණෙ…
තාත්ත ලඟ තිබුණ පරණ තීන්ත පෑන අල්ලන්ඩවත් මට දුන්නෙ නෑ.
ඒක පාකර් එකක්ලු.
අල්ලන්නෙ එහෙම නෑ මගෙ පෑන…
බොලා වඩු වැඩ කරල මේක කැඩුවොත් එහෙම විනාසයි
එහෙම තමයි තාත්ත කිව්වෙ මං දවසක් ඒක බලන්ඩ ඉල්ලුවාමත්
රත්තරං පාට පෑනෙ විල්ල ඇරියාම තියෙන ඔටුන්නක් වගේ තුඩට මං හරිම ආසයි.. ඒකෙන් තාත්ත අකුරු ලියන විදිය බලන් ඉන්ඩ තවත් ආසයි.
මේ ලෝකෙ තීන්ත පෑන්වලින් ලියන්ඩ පුලුවන් ලොකු මිනිස්සුන්ට විතරයි කියලයි මං හිතන් උන්නෙ.
එහෙම හිතං උන්න මට ටිකක් ඉරිසියා හිතෙන්නෙ නැද්ද පහ වසරෙ මගේ පන්තියෙ ළමයෙක්ට තීන්ත පෑනක් තාත්තම ගෙනත් දුන්න කිව්වාම..
අනික තාත්ත කවදාවත් මට කිව්වෙ නෑ නෙ මං බොලාටත් එකක් ගෙනත් දෙන්නංකො කියලවත්…
ඔයා බොරු නේද කියන්නෙ…
මං ඇහුවෙ අවිස්වාසෙට…
නෑ මේ බලන්ඩකො
එයා පෑනෙ විල්ල අරින ගමන් කිව්ව
ඇත්ත නේන්නං… අර තාත්තගෙ පෑනෙ වගේම ඔටුනු තුඩක් මේකෙත් තියෙනව.
අපේ තාත්තටත් තියෙනව පාකර් තීන්ත පෑනක්…. හැබැයි ඒකෙ තුඩ නං මීට වඩා ලස්සනයි…
ඒ නං මගෙ ඉරිසියා වචන
ඔවු අපේ තාත්ත ලඟත් තියෙනව ඒකක්! මේකෙන් ලියනකොට අත් අකුරු ලස්සන වෙනව කියල තාත්ත කිව්ව . ඔයා දන්නවද මේකෙ තීන්ත ඉවර වෙන ගාණට තීන්ත පුරවන්ඩ ඕනෙ…
ඉතින් දැන් ඔයාට තීන්ත කෝ??
තියෙනව.. මේ…
ඒ පාර තරංගනී තව සුදුපාට පෙට්ටියක් එලියට ගත්ත. නිල්පාට මුඩියක් තිබුණ තීන්ත බෝතලයක් ඒක ඇතුලෙ තිබුණ.
ආ… එයාටම කියල පෑනක් විතරක් නෙවෙයි.. තීන්ත බෝතලේකුත් තියෙනව…
අනේ මටත් තිබුණ නං එකක්!! තරංගනී කිව්වනෙ මේකෙ රතුත් තියෙනව කලුත් තියෙනව කියල…
මං ආස රතු පාට එකකට…
මට ඉබේම හිතුණ..
කවදාවත් අනුන්ගෙ දේකට ඉරිසියා හිතන්ඩ එපා කියල ආච්චි අම්ම කියල දීල තිබුණට මොකද ඒ වෙලාවෙ ඒව සිහියට ආවෙ නෑ…
ආ මෙන්න… ඔයා මේකෙන් ලියන්ඩ…
තරංගනී රචනාව ලියන්ඩ මට එයාගෙ අලුත්ම පෑන දුන්නම මට පුදුම හිතුණ
ඇත්තටම එහෙම දෙනකල්ම මං එදා ශිෂ්‍යත්ව පන්තියෙ හිටියෙ සිහියකින් නෙවෙයි.
එදා දුන්න ගණන් පහළොවෙන් හරි ගියෙත් ගණන් අටක් විතරයි.
නිවැරදි කිරීම පෙන්නන්ඩ ගියාම දෙවෙනි වතාවටත් ගාණක් වරද්දල පොඩි මැණිකෙ ටීචගෙන් ටොක්කකුත් කෑවද කොහෙද…
ඔයාට??
නෑ කමක් නෑ මං ඊයෙ දවසම ඒකෙන් ලිව්වනෙ..
මගේ ඉහේ මල් පිපිල පන්තිය හරහා හමාගෙන ගිය හවස් කාලෙ සනීප හුලඟට හෙළවෙනවත් මට දැණුන!!
තරංගනී එහෙමයි!!
හරිම හිත හොඳ ළමයෙක්…!!!
තැන්ක් යූ!!!
හැබැයි ලියන්ඩ ගත්තාමයි තේරුණේ..
කාබන් පෑනා වගේ නෙවෙයි මේ පෑනා එච්චර ලේසි නෑ ආම්බාං කරන්ඩ
පෑනා ලියන්නෙ උන්දැට ඕනෙ හැඩේට… උන්දැව තෝන් ලණුව දාල අපිට ඕනෙ අතට හරවගන්ඩ ටිකක් මහන්සි වෙන්ඩ ඕනෙ…
ඒත් ඒ ඔටුනු තුඩෙන් අකුරු ලියවෙන විදිය බලන් ඉන්ඩ ආසයි!!
අම්මෙ… තරංගනීට තීන්ත පෑනක් අරන්දීල එයාගෙ තාත්ත
සුපුරුදු පරිදි අම්ම එක්ක පන්ති ඇරිල ගෙදර යන ගමන් මම හෙමිහිට අම්මට කිව්ව…
…………..
අම්මෙ… මටත් එකක් අරගන්ඩ අපි ලඟ සල්ලි තියෙනවද??
මං දන්නෙ නෑ… .තාත්තගෙං අහන්ඩ චූටි පුතා
ගුරු පඩියෙං මාසෙ කන බොන කළමනා ටික ගත්තම අම්ම අත ඉතුරු වෙන්නෙ සොච්චමයි කියල මං ඒ කාලෙත් දැනගෙන හිටියට මොකද තීන්ත පෑන ඒ කිසිම දෙයක් හිතට අරන් ආසාව යටපත් කරන්ඩ ඉඩ දුන්නෙම නෑ…
තාත්තෙ….
ම්හ්…….
තාත්තෙ….
මොකද බොල??
අර……………..අපේ පන්තියෙ…. තරංගනී ඉන්නෙ….??
ඔවු..
තාත්තට මතකද?? අර කොන්සට් එකේ ෆවුන්ඩ පීනට් නාට්ටියෙ හිටියෙ පොඩි ළමයට….??
ඔවු මට මතකයි බොලාගෙ යාලුවව… ඉතිං මොකද??
එයාගෙ තාත්ත එයාට තීන්ත පෑනක් අරන් දීල තාත්තෙ… අද එයා ඒක අරන් ආව… ඒක හීරෝ එකක්!!!!
මටත් ලියන්ඩ දුන්න තාත්තෙ ඒක හරි ලස්සනයි.. අනික එයා කියනව ඒකෙන් ලිව්වාම අකුරු ලස්සන වෙනව එයාගෙ තාත්ත කිව්ව කියල.
හ්ම්!!!
තාත්තෙ……………
……………………………
මටත් අරන් දෙනවද ඒ වගේ එකක්..??
…………………………………..
අරන් දෙනවද??
මේ දවස් වල මගෙ අතේ සල්ලි නෑනෙ බල්ලො…අපි පස්සෙ පඩි හම්බ වුණාම අරගමුකො එකක්
හ්ම්!!!
මගෙ මූණ නං ටිකක් මැලවුණා..
තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන හෙට හවසට තරංගනීගෙ වගේ පෑනක් අරන් ගිහින් පන්තියෙ ඉඳගෙන රචනා ලියන හීනෙක හිටිය මාව ඇහැරුණා.
ඒත් ඒ වගේ පොරොන්දුවක් ඉටු වෙන දවස වෙනකල් බෑඟිරි ගහ ගහ අඬන්නෙ දොඩන්නෙ, ආඩපාලි කියන්නෙ නැතුව දරාගෙන බලන් ඉන්ඩ පුලුවන්කමක් ඒ කාලෙත් අපිට ලැබිල තිබුණ..
සමහර විට ඒ අපි ඉල්ලපු ගමන් යමක් අරන් දෙන්ඩ වත් කමක් ගුරුවරියක් වෙච්ච අම්මටත්, හැමදාම ගෙදර ඉඳල කොළඹ වැඩට ගිය තාත්තටවත් තිබුණෙ නැති බව අපි දැනගෙන හිටිය හන්ද විතරක් නෙවෙයි…
පුලුවන් වුණත් එහෙම අරන්දුන්නෙත් නෑ… ඒ හන්ද අගහිඟකම් තියෙන වෙලාවටත්, යමක් කමක් තියෙන වෙලාවටත් අපිට දේවල් ලැබුණෙ එකම විදියට.
දවස ගත වෙලා රෑ වුණා වෙනද වගේම තාත්ත බස් එකෙන් බහිනකල් අපි පාර බලන් හිටිය.
මෙන්න බොලාගෙ පෑන….
වෙනද වගේම ඇඟ හෝදගෙන තුවායත් කරේ දාගෙන කාමරේ ඉඳල කෑම මේසෙ සතර පොත දිගෑරගෙන හිටිය මා ගාවට ආව තාත්ත මේසෙ උඩින් පාර්සලයක් තිබ්බ…
හොඳ……………තාත්ත!!!
එදා ඒ මොහොතෙ හීනෙන්වත් හිතුවෙ නැති විදියට තාත්ත මේසෙ උඩ තියපු පාර්සලේ ඇතුලෙ තිබුණ පෑනයි තීන්ත කූඩුවයි දැකල ඇස් අදහගන්ඩ බැරි වෙච්ච මං තාත්තව බදාගෙන ඉම්බාම නාල සීතල වෙලා තිබුණ තාත්තගෙ මූණ අස්සෙනුත් මට තාත්තගෙ ආදරේ උණුහුම දැණුන….
ඒ වෙලාවෙ මගේ ඇහේ දිලිසිච්ච සතුටු කඳුලු අද මේ ලියන මොහොතෙත් මගෙ ඇස්වල නලියනව….
ඒ පෑනෙන් ලියල මං අද ආපු දුර දකින්ඩ අද තාත්ත නෑ….
දැන් අත්සං කරන්ඩ විතරක් උදෙයි හවසයි පෑන අල්ලන මං යතුරුපුවරුවෙ ලියන අකුරු කියවන්ඩ තාත්ත නෑ…
මං තාත්තට ණය බව මට දැනෙන්නෙ ඒ හන්ද වෙන්ඩ ඇති.
ඒ ණය ගෙවන්ඩ පුලුවන් විදියක් දන්න කෙනෙක් ඉන්නව නං මට කියල දෙන්ඩල…
අදට ලියාගන්ඩ පුලුවං ඔච්චරයි…!!!
කාලෙකින් ලියන්ඩ මූඩ් එකක් ආවෙ.. උදේ හවස පෙම්බරයත් එක්කල එකට යන එන ගමන එයැයිට මා බාල කාලේ කතන්දර කියන එකේ වාසිය තමයි ලියන්ඩ දේවල් ඕසෙට මතක් වෙන එක!!
ඒත් ලියන මූඩ් හැමදාම නෑ…!!
ඒකට මං මක්කොරන්ඩද??
පින්තූරෙ මෙතනින්
ඉක්මනට දරු පැටියෙක් හදන්ට. ඊට පස්සේ තාත්තෙක් ඉන්නවනේ. 🙂
:-p
මගේ තීන්ත පෑන් සිහිනය මට මතක් වුනා. මටත් තීන්ත පෑනක් ලැබුණේ මම ශිෂ්‍යත්ව පන්තියේ ඉන්නකොටම තමයි. ඒ වෙනතුරු මම මගේ යාලුවා වුන ජයමාන්නගේ තීන්ත පෑනෙන් තමයි පන්තියේදි ලියන්නේ. මම ශිෂ්‍යත්ව විභාගයට ලියලා ආපුවාම මගේ මේසය උඩ හීරෝ පෑනක් තාත්තා ගෙනත් තිබුණා. හැබයි මට තාත්තගේ මූන ඉඹින්න බැරි වුනේ මම කොල්ලෙක් නිසා වෙන්න ඇති. ඒත් මේක කියෙව්වාම මට හිතුනේ ඒ මොහොතට නැවතත් යන්න ලැබුනා නම් අනිවාර්යයෙන්ම ඒක කරනවා කියන එකයි. අපේ ජීවිත වල මොන තරම් සංවේදී මතකයන් තියෙනවාද ?
මගේ සටහන් අතරට සාදරෙන් පිලිගන්නවා!! මම අපේ තාත්තට වැඳල තියේ නං ඒ බොහොම අඩු වාර ගානක් වෙල්ඩ ඕනෙ
උදේ ඉස්කෝලෙ යන්ඩ කලිනුත් දුවගෙන ගිහින් බෙල්ලෙ එල්ලිලා ඉඹල යන පුරුද්දක් මට තිබුණ… සමහර දවසට මං කලබලේට ඔය චාරිත්තරේ අමතක වෙලා දුවන්ඩ යනකොට තාත්ත කෑගහනව
ඒයි ඒයි කොහෙද දුවන්නෙ?? අමතක වෙලා නේද….?? කියල
ඒ වයසෙදි කොල්ලො ටිකක් කරදඬු උස් වෙලා හන්දද කොහෙද තාත්තල එක්ක ඒ වගේ හෘදයාංගම බැඳීම් තියාගන්නව අඩුයි නේද??
මේ සටහන් කියෙව්වම අපේ කාලේ අප්පච්චිලගෙ ආදරේ ගැන මතක සමානකමක් දැනුනා.
මාත් ඔය අන්තිමට කියපු තැනදි තාමත් ගොළු වෙනවා.
මම නම් මගෙ අම්මගෙයි අප්පච්චිගෙයි ණය ගෙවන්න තෝරගත්තේ මට නැති දේවල් වුනත් අනිත් අයට දීලා ඒ අය සතුටු වෙනවා බලන් ඉඳලා. (ඒත් ඒක විකල්පයක් නෙමෙයි.) එහෙම කියලා මට එයාලගේ අඩුව කවදාවත් පිරවුනේ නෑ.
අප්පච්චිලගෙ ආදරේ කොතනත් කොහෙදිත් කවදත් එකයි,
අපි හාමෝටම මේ දේවල් ගැන සමාන අද්දැකීම් තියෙන්නෙ ඒකයි රංගි
අපටත් හතරෙ පහේ පන්තිවලදි විතර තමා තීන්ත පෑනෙන් ලියන්ට අවස්ථාව හම්බවුනේ.. අත්අකුරු ලස්සන අයට විතරයි පෑනෙන් ලියන්ට ඉස්කෝලෙන් මුලින් අවසර දුන්නෙ.. ඒ දවස්සොල පෑනෙන් ලියනවා කියන්නෙ හෙන වීරකමක්.. මටත් ඉස්සෙල්ලාම තාත්තා අරන් දුන්නෙ කළු පාට හීරෝ තීන්ත පෑනක් වගෙයි මතක.. හැබැයි ඊට කලින් තාත්තා ගාව තිබුනු මෙරූන් පාට පෑනෙන් ලියන්ට පුරුදු වුනා..
පරණ සුන්දර මතක.. 😀
පරණ සුන්දරම සුන්දර මතක!!
අය්ය හරි… අත් අකුරු ලස්සන අය තමයි තීන්ත පෑනෙන් ඉස්සෙල්ලම ලියන්ඩ ගත්තෙ. මට අදටත් මතකයි .. තරංගනී ගෙ අත් අකුරු බෝලවගේ රවුම්.. හරිම ලස්සනයි. හරියට අච්චු අකුරු වගේ!!
බලාගෙන ගියාම හීරෝ පෑන අපේ ලෝකෙ හීරෝ කෙනෙක් නේද??
ඕන්න උඹ කිව්වට පස්සෙයි පෑන් තලේ ඔටුන්න වගේයි කියලා මට මතක් වුනේ.
ලියන මූඩ් වගේම අපේ කමෙන්ට් වලට උත්තර දාන මූඩ්ද පහල වේවා!
ඔන්න අදයි කමෙන්ට් දාන මූඩ් ආවෙ අයියෙ.. ඇයි බං උඹට තිබුණෙ නැද්ද අයියෙ එක එක දේවල් වෙන වෙන දේවල් වගේ කියල හිතාගන්න ලෙඩේ!! ඒක මට නං අදටත් තියෙනව
ඒ කියන්නෙ දැන් ඔය මං ඔය පෑන් තලේ ඔටුන්න වගේ කියනව විතරක් නෙවෙයි.. ඒ පෑන් තලයක් ඔටුන්නක් වගේ දාගත්ත පුංචි රජ්ජුරුවෙක් මගේ හිතේ ඇඳගෙන ඉන්නෙ.. මට හොඳටම විස්වාසයි ඒකා ආවෙ ගලිවර්ගෙ සුවිසැරියෙ ලිලිපුට් රජාගෙ ආශ්‍රයෙන්..
ලස්සන කතාවක් අගට දුක හිතෙන ටිකකුත් එකතු කරලා.
හ්ම් මොනතරං ලස්සන කතාවක වුණත් අස්සෙ දුක කතා තියෙනව පිෂ්මලයො
ඒ දවස් වල තීන්ත පෑනක් කියන්නේ හරිම වටින දෙයක්. ඒ කාළේ ගොඩක් වටින දේවල් අද ළමයින්ට එච්චර වටින්නේ නෑනේ.
අද ළමයි ඉල්ලන්නෙ දිලිසෙන අකුරු ලියවෙන ග්ලිටර් පෙන්ස් නෙ… දැන් දෙමාපියොවත් අඩු ගානෙ දරුවන්ට තීන්ත පෑන් අරන් දෙනවද දන්නෙ නෑ?
//ඒ පෑනෙන් ලියල මං අද ආපු දුර දකින්ඩ අද තාත්ත නෑ. දැන් අත්සං කරන්ඩ විතරං උදෙයි හවසයි පෑන අල්ලන මං යතුරුපුවරුවෙ ලියන අකුරු කියවන්ඩ තාත්ත නෑ…//
ඇත්තටම ඒ ටික කියවද්දි කදුලු ආවා……
අපි පොඩි කාලෙ මොනව හරි ඉල්ලුවහම අම්මල තාත්තලා කොච්චර අමාරුවෙන්ද ඒවා අරන් දෙන්න ඇත්තෙ කියල දැන් තමයි තේරෙන්නෙ……
ඔයා හරි!!
අම්මල සමහර දේවල් කලේ පුදුම විදියට පිරිමහල.. තාත්තල තමන්ට අඳින්ඩ ඇඳුමක් නැත්නම් එළලපු කමිස කලිසං ඇඳල හරි පාසල් යන දරුවන්ගෙ අවශ්‍යතා ඉටු කරන්ඩ වෙහෙසුනා. ඉතිං ඒ කාලෙ රජයේ සේවකයන් වෙච්ච දෙමව්පියන්ගෙ දරුවො වැඩි දෙනෙක්ගෙ කතාව මගේ කතාවට වැඩි වෙනසක් නෑ අසේල.
තීන්ත පෑනක් ගන්න හීන මැව්වා වගේම මට නම් ගත්ත ඉක්මනට ඒක එපා වුනා. ඇඟේ බරත් දාල ලියන්න පුරුදු වෙලා හිටිය හන්දා පොත් ඉරෙන්න ගත්තා. එක වාක්‍යයක් ලියලා අනිත් එක ලියනකං පෑන පොත උඩ මතක නැතුව තියං ඉඳලා පොතට තීන්ත උරනවා. ඒ මදිවට අතෙයි, අනෙත් සුදු කමිසෙයි, බෑග් එකෙයි හැම තැනම තීන්ත ගෑවෙන්න ගත්තා. ඔය හන්දා මම නම් බොහොම පොඩි කාලයයි තීන්ත පෑනක් පාවිච්චි කලේ… ඒ නිසා වෙන්න ඇති අකුරු අම්බානට කැත.
මං බොහොම ආස සිංදුවක් මතක් වුනා…
“පිතු සෙනෙහේ පිදු පියෙක් නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ…
උන්ගේ හිත රැඳි තනිය මකන්නට
මවුනට කවදා හැකිවේදෝ…”
මේක තාත්තා ගැන ලියපු සිංදුවක් උනත්, අම්ම තාත්ත නැති වීමේ අඩුව වෙන කිසිම දෙයකින් මකන්න බැහැ.
මං හිතන්නෙ කොල්ලො වැඩි දෙනා ඒ කාලෙ ඇඟේ බර දාල තමයි පොත්වල ලිව්වෙ… ඉතිං කාබන් පෑනෙං ලිව්වත් එච්චර තමා… අපේ පන්තියෙ ගොඩක් ළමයින්ගෙ පොත්වල පිටු අස්සෙං අහස පෙණුන..
අනික තීන්ත පෑන් මෝස්තරයක් වෙනවනෙ එක්කෙනෙක් ගෙනාවාම..කෙල්ලො ඒවගෙන් ලිව්වට මොකද තීන්ත හරියට පුරවගන්ඩ දන්නෙ නෑනෙ. අනික තීන්ත අතේ ගෑවෙනවට කැමතිත් නෑනෙ. ඉතිං කොල්ලො ටිකට හරිම ලොකු වැඩක් තමයි අපේ පෑන්වලට තීන්ත පුරවල දෙන එක එහෙම…
ඉතිං වැඩි හරියක් කමිසවලට අම්මලට අමුතුවෙන් නිල් දාන්ඩ ඕනෙ වෙන්ඩ නෑ… කෙල්ලොන්ට උගුරැස්ස කහට ලොවි කහට නැති ගවුං තිබුණෙ නෑ වගේ තමයි අයියෙ ඒ කාලෙ නිල් පාට පැල්ලං නැති කමිස කොල්ලන්ට තිබුණෙම නෑ
තාත්තගෙ රස්සාව නිසා විවිදාකාර පෑන් වර්ග පාවිච්චිකරන්න වාසනාව ලැබිල තියනව. මොන විදියෙ පෑන් තිබ්බත් මම අදටත් ආස කටු පෑනෙන් ( ජී නිබ්) පාච්මන්ට් කොලවල ලියන්න
ඕනමැන්ටල්වත් සාදරෙන් පිලිගන්නව!! කටු පෑන කියන්නෙ තීන්ත කූඩුවෙ ඔබල ලියන පෑන නේද??
ඒක කලාත්මක අකුරු ලියන්ඩ නියමයි කියල තමයි මං අහල තියෙන්නෙ.
ඔවු ඒක තමයි පෑන. වැඩ දාල අකුරු ලියන්න කියාපු භාන්ඩෙ.
තීන්ත පෑන්වලින් ලියන්න අපිට අවසර දුන්නෙ හතරෙ පංතියෙ ඉඳල. හතරට යනකල් අපි ඇඟිලි ගැණ ගැණ උන්නෙ. ඒ කාලෙ තිබ්බෙ සියල් පෑන් විතරයි.cial කියල සිම්පල් බැඳි අකුරු වලින් කොටල තිබ්බ පෑනෙ බඳේ.තීන්ත දැම්මෙ මිරිකන්න පුලුවන් ටියුබ් එකකට.
තීන්ත ඉතුරුවම අපි කලේ ඔලුවෙ පිහගන්න එක…හෙහ්, හෙහ්.
කාබන් පෑන් ආවෙ මගෙ හිතේ අපි දහයෙ වගෙ ඉන්දැද්දි. තැඹිලි පාට Bic පෑන තමයි ඒ දවස්වල අපේ ජනප්‍රියම පෑන.
ඉස්කෝලෙන් පස්සෙ සැලසුම් ශිල්පී පාඨමාලාවක් කරද්දි ආයෙම තීන්ත පෑන් ආශ්‍රය කරන්න උනානෙ. ඕට කැඩ් තියා කම්පියුටර් කියන එකත් යාන්තමට වචනයක් වෙච්චි ඒ කාලෙ අපි Drawings ඇන්දෙ Tracing Paper උඩ Indian Ink වලින්.එක එක ප්‍රමාණයෙ නිබ්ස් තියෙන පෑන් සෙට් එකක්ම තිබුනා. 0.1 ඉඳල 5.0 දක්වා. Rotring තමයි සුප්‍රසිද්ධ Brand එක.
/තීන්ත ඉතුරුවම අපි කලේ ඔලුවෙ පිහගන්න එක…හෙහ්, හෙහ්./
හි හි… මට මතක් වුණේ ඉස්සර අපේ ඔලුවල උකුණො ඉන්නවනෙ අයියෙ.. ඔය රචනා ලියන වෙලාවට එහෙම තමයි උන් වැඩියෙන්ම වද දෙන්ඩ ගන්නෙ… ආයෙ නෑ ලිය ලිය ඉන්න පෑනම තමා ඔලුවට දාල කසන්ඩ යොදා ගන්නෙ…
ගෙදර ඇවිල්ල අම්ම ඔලුව පීරද්දි තමයි දකින්නෙ රතු නිල් කලු පාට පාට ඔලුවෙ ඇඳපු චිත්තර…
හ්ම්, අපි ඉපදුනේ බිම වැටුනත් රෙනෝල්ඩ්ස්, යසට ලියයි රෙනෝල්ඩ්ස් යුගයෙනෙ අයියෙ..
රොට්රිං කියන්නෙ නං වගෙත් ආසම පෑනක්.. අපේ මාමගෙ පෑන් සෙට් එක මං අතපත ගාල තියෙනව නෙ… ඒ විතරක් නෙවෙයි, අපේ කැම්පස් එකේ හිටිය තාක්ෂණ නිලධාරියෙක්. අපි එයාට කිව්වෙ ලියනගේ කියල… එයා සමහර සැලසුම්, රූපසටහන් එහෙම එහෙම ඇඳල දුන්න අපිට අපේ නිබන්ධවලට..
මට අයියගෙ සැලසුම් ශිල්පී රස්සාව ගැන කියනකොට ලියනගේ අයියව මතක් වුණා
රවී,
එක්තරා කාලයකදී රොටරිං (අයිසොග්‍රාප්) පෑන් රෙපෙයාර් කරන්න ලංකාවටම හිටපු එකම එකා තමයි මම 🙂
(නයා තමයි . . . ඒත් රොටරිං නිබ් එකේ ගානෙ හැටියට අලුතින් නිබ් එකක් ගන්නෙ නැතුව කැඩුන එක රිපෙයාර් කරගන්න ඕනෙ තරම් කට්ටිය බලාන හිටිය)
ඕනමැන්ටල්,
මම සැළසුම් ශිල්පී රස්සාව කලේ බොලේ දශක තුනකට එහා.ඒ දවස්වල ලංකාවෙ රොට්‍රිං ඒජන්සි එක කලේ මට මතක විදිහට යුනයිටඩ් ඒජන්සීස් වගෙ නම තිබ්බ කම්පනි එකක්.ඩියුක් ස්ට්‍රීට් එකේද කොහෙද ඔෆිස් එක තිබ්බෙ. මම අනුරාධපුරේ ඉඳල ඔතනට ආව පෑන් අරං යන්න.අපේ ආයතනයෙන් නිබ්ස් රෙපයාර් කරන්නත් ඔය කොහාටද දුන්න වගෙ මතකයක් නම් තියනව
මේක කියෙව්වාම මතක් උනේ මට තාත්තා ඕගන් එකක් අරං දීපු හැටි… පොඩි කාලෙ ඉඳන් ස්වර පුවරුව වාදනය කරන්න හැකියාව තිබුනත් මටම කියලා ඕගන් එකක් තිබ්බෙ නැහැ. සාමාන්‍ය රජයේ සේවකයො වෙච්චි අම්මටයි තාත්තටයි එදිනෙදා වියදං වලට අමතරව වෙන දේකට සල්ලි යට කරන්න පුලුවන් කමක් තිබ්බෙ නැහැ. හැමදාම යාලුවන්ගෙන් පොඩි පොඩි ඕගන් ඉල්ලගෙන ඇවිත් ගෙදර තියාගෙන සිංදු ගහලා පෙන්නනවා. අන්තිමට තාත්තා ඔපීසියෙන් ණයක් අරගෙන මාවත් කොළඹ එක්කං ගිහින් අරන් දුන්නා යමහා ඕගන් එකක්. ඒක ලැබිච්ච වෙලේ නිකං රටක් රාජ්ජයක් ලැබුනා වගෙයි දැනුනෙ.
මේ ලඟදි මම හම්බුකරපු මුදලින් ඊට වඩා හොඳ වෙන ඕගන් එකක් ගත්ත වෙලේවත් මට අර තාත්තා ඕගන් එකක් අරං දීපු වෙලේ දැනුනු සතුට දැනුනෙ නැහැ.
ප්‍රවීන් මල්ලිවත් සාදරයෙන් පිලිගන්නව!!
අපේ අම්මල හැමෝගෙම කතාව එකවගේ!!
මටත් ඔහොම මතක කන්දක් තියෙනව… මං බලාපොරොත්තු වෙච්ච නැති මොහොතක අපේ අම්ම පඩි දවසක මට කාන්දම් පැන්සල් පෙට්ටියක් අරන්දුන්න!!
එදා තරං මං සතුටු වෙන්ඩ නෑ වෙන කිසිම දවසක!!!
හැමදාම ජනුගේ මතක එක්ක මගේ මතක සමපාත වෙන හැටි අපුරුයි. ඒ කාලේ අපේ ටාගට් ඕව . තීන්ත පෑනෙන් ලියන එක එක ටාගට් එකක් .. මටත් මුලින්ම ලැබුනේ සියල් පෑනක් . තීන්ත කුප්පියක් තිබ්බේ නැහැ අපේ දිහා . අය්ය හිටියේ අම්මගේ මහා ගෙදර නිසා එයාගේ ඒවා වෙනම තිබුනේ . ඉස්කෝලේ කම්බි වැටෙන් පැනල පොඩි කඩෙන් සත ගානක තීන්ත දාගන්නවා . පස්සේ අම්ම තීන්ත බෝතලයක් ගෙනත් දුන්න . උදේට බනිස් කන්න දෙන සල්ලි වලින් හුඟක් වෙලාවට ලිපි ද්‍රව්‍ය ගන්න එකයි වැඩියම කලෙත් ..
ශිස්‍යත්වේ පාස් වුනහමයි හීරෝ පෑනක් ලැබුනේ . රටක් ලැබුන වගේ . අදටත් වැඩියම ගත කරන්න කැමති පොත් කඩවල . පොතුයි ලස්සන ලස්සන ලිපි ද්‍රව්‍යයි අතර සැරිසරන එක ලොකු සතුටක් . හුඟක් දේවල් ඇත්තටම ළමයින්ට කියලා ගත්තට හුඟක්ම සතුටු වෙන්නේ මම .
තීන්ත පෑනෙන් ලියල වෙන්න ඇති මගේ අකුරු හරිම ලස්සන වුනා. කාබන් පෑනෙ වැඩේ එකෙන් ලියද්දි අකුරු ලියවෙන්නේ එයාට ඕන විදිහට . තීන්ත පෑනෙන් අපට ඕන විදිහට ලියන්න පුළුවන් . හැබැයි විල්ල ගැලවිලා තිබිල පොත් වල ඇඳුම් වල තීන්ත ගෑවුන සෝචනීය අවස්ථා එමටයි .
දැන් ඉතින් පෑනෙන් ගන්න වැඩ අල්පයිනේ .
එක කාලෙම නොවුණත් එක යුගයෙනෙ අපි බින්දි…
අනික අම්මල තාත්තල එක්ක අපි ගත කරපු ජීවිතේ බොහෝ දුරට එක වගේ!!
මං ශිෂ්‍යත් වෙ පාස් වුණාම අම්ම මට විශේෂ කිසිම දෙයක් අරන් දුන්නෙ නෑ… ඒත් එයා මාව එක්කන් ගියා පොත් ප්‍රදර්ශනයකට…
මට ඕනෙ තරම් පොත් කැමති කැමති පොත් අරගන්ඩ කිව්ව.
මං ඇටමැස්ස පවා අරගත්තෙ ඒ කාලෙ!!
අපේ මල්ලිට තාත්ත ශිෂ්‍යත්වෙ පාස් වුණාම ගෙනත් දුන්නෙ ඩ්විදුම් කට්ටලයක් සහ ඒකට හරියන විදියෙ කටු…
දැන් කාලෙ ළමයින්ගෙ ටාගට් කියන්නෙ ශිෂ්‍යත් වෙ පාස් වුණාම බයිසිකලයක් පෑනක් වගේ දෙයක් නෙවෙයි, ලැප්ටොප් එකක්, ජංගමයෙක්..
පොතකට පෑනකට ආසකරන ළමයි හරිම අඩුයි!!
අපේ ගෙදර වුනත් කවදාවත් විභාග පාස් වුනහම තෑගී අරන් දෙනවා කියලා පොරොන්දු වෙලා නැහැ . මට මතකයි චොපර් කියන පොඩි බයිසිකලේ ආවේ ඒ කාලේ . කලාතුරකින් ළමයෙක්ට තමයි ඒවා තිබුනේ . අපට එහෙම කරන්න පුළුවන් වුනෙත් නැහැ . අත්‍යවශ්‍ය දේවල් අරන් දෙනවා මිසක. පොත් ලැයිස්තුව ගන්න ගියහම පොතක් දෙකක් තෝරාගන්න ඉඩ ලැබුන .
ළමයි ගැන මගේ අත්දැකීම වෙනස් . අපේ ළමයි වෙනස්ද මන්දා . ඒගොල්ල පොත් වලට ආසයි . මේ දැනුත් ලොක්කි ට තර්ජනය කරලයි පොත අහක් කලේ . නැත්නම් එළිවෙනකම් කියවයි .
මට නම් පාකර් පෑන් කීවාම මතක් වෙන්නේ වෙනමම කතාවක්. අපි ඉතින් යුනි ඉන්න කාලේ ඉස්සර අවුරුද්දක ඉගෙන ගනිමින් හිටිය ලංකාවෙන් ආපු එක්කෙනෙක් පොඩ්ඩි පස්සෙන් ආවලු. පුස්තකාලේ, කැන්ටිමේ හැම තැනම. ඉතින් පොඩ්ඩිත් දන්නවනේ . හුරතල් වෙවී කතා කරනවලු ඇඹලයා එන්නේ මොකටද කියලා දැනගෙනම. දවසක් තේ බොන ගමන් දැක්කලු පෙට්ටියක ලස්සනට තැන්පත් කරලා තිබුනු දිලිහෙන පෑනක්. පොඩ්ඩි ඒක අතට ගත්තු හැටියේ අර එක්කෙනා කෑගැව්වලු ‘අනේ ඕක අල්ලන්ට එපා ‘ කියලා. එයා ඒක අල්ලන්ට දෙන්නේ නෑලු කාටවත්. එදා ඉඳන් පොඩ්ඩිට ඔය පාකර් පෑන් කියන ඒවා පෙන්නන්ට බෑ. 🙂 🙂
පොඩ්ඩිට වඩා පාකර් පෑනුත් ලොකු වෙනවලුද? 😀
ජනූ, මේ පෝස්ට් එක මගේ බ්ලොග් රෝලේ උඩට නෑවිත් පස්සට ගියේ කොහොමද ඔයා අලුත් පෝස්ට් එකක් දාලත්?
පොඩි අහල නැද්ද කතාවක් පොතුයි , ගෑනියි තීන්ත පෑනයි කාටවත් දෙන්න එපා කියලා . දුන්නොත් ආයේ වැඩක් නැහැලු . තීන්ත පෑනේ විල්ල ගෙවෙන්නේ ලියන ආකාරය අනුව . එක එක්කෙනා ලියන විදිහ වෙනස් . ඒ නිසයි එක්කෙනෙක් විතරක් පාවිච්චි කරන්නේ . ඔය කියූ කෙනා ඒ කතාව දන්නා කෙනෙක් වෙන්න ඇති . ඒ කියන්නේ දැනුමැත්තෙක් . අපරාදේ
මම අහලා තිබුනේ පොතුයි , කාරුයි ගැන විතරයි. පෑන් ගැන අහලා තිබුනේ නෑ. 🙂
@ බින්දි,
දැන් ඔය පොතුයි කියල කිව්වෙ මොන පොතු ගැනද?
@ බින්දි,
මොකක්ද අපරාදේ? අර අහිංසකයාව දෙයියො බේරලා නෙවැ.. ඕක තමා කියන්නේ “ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකී” කියලා.. 😛
මෙහෙමයි පොඩ්ඩි සහ බින්දි
පුස්තකං වනිතං චිත්තං
පරහස්තේන ගතෝ ගතඃ
ආදී වශයෙන් තමා කියල තියෙන්නෙ,ඒකෙ පෑන් සහ කාර් නම් නෑ.
ඔය ශ්ලෝක කියූ කාලේ පෑන සහ කාර්ය සොයා ගෙන නැහැ නොව හැලප ..
@ හැලපයා,
/ පුස්තකං වනිතං චිත්තං /
මේකෙ බොලේ පොත් සහ ඉස්තිරින්ට අමතරව චීත්ත ගැනත් කියල තියනවනෙ, ඒ කියන්නෙ චීත්ත වෙනමද නැත්තං චීත්ත ඇඳං ඉන්න ඉස්තිරියාවො ගැනද?
@බින්දි,
එහෙනං ඊට පස්සෙ හැදුණු ශ්ලෝකෙ කියමුද
@ රවි,
යකෝ චීත්ත නෙවෙයි චිත්ත,හිත හෙවත් රහස
කොහෙද ඉතිං හැම එකම පේන්නෙ චීත්තෙ වාගෙනෙ
හැලපයා අයියවත් සාදරෙන් පිලිගන්නව!!
මේ රසවත් සංවාදය තවත් දිගට යනකල් මං මේ මග බලන් ඉන්නෙ 😀
ශා!! මං නැති අතරෙ මාර සංවාදයක් ගිහින්නෙ ළමයි!!!
පොඩ්ඩි අක්කෙ, ඔය බ්ලොග්රෝල්වල අප්ඩේට් වෙන්නෙ නැති රීඩර්ස්වල අප්ඩේට් වෙන්නෙ නැති එක දැනගෙන දැන් ටික දවසක්. ඒත් අර අසීමිත කම්මැලිකම තියෙනව නෙ… ආන්න ඒක හන්ද ඕක ගොඩ දාන්ඩ තාම අතගැහුවෙ නෑ අපි දෙන්න…
මේක බූරයියා නොදකීවා!!!
ඌ දැක්කා.. ඒ වුනාට මං ඌට කිවුවා නොදැක්කා වගේ අහක බලන් හිටු කියලා.. 🙂
😀
හෙහ් හෙහ්.. මමත් ඔයි තීන්ත පෑන් එක්ක හටි හරි කෙළි කොරල තියනව බං. මට තාම හොතාගන්න බෑ මච් වැඩියෙන්ම ආසා රතුපාට එකටද කොළ පාට එකටද එහෙමත් නැත්නම් කළුපාට එකටද කියල. එක එක කාලෙට එක එක ඒව තිබුන වගේ මතකයි. මං. අන්තිම කාලෙනම් තාත්ත රට ඉඳල එනකොට ගෙනාපු පාකර් පෑනක් එහෙමත් තුබුන. අනේ මං දන්නවැයි ඒවයෙ වටිනාකම. කොහේද මංද අරංගිහිල්ල නැතිකරගත්ත.
ඔයි තීන්ත පෑන් වලින් ලියපු කොලයකට වතුර බින්දුවක් එහෙම වැටුනොත් බොඳවෙලා යනවනෙ. අන්න ඒකෙන් බොහොම අපූරු වැඩ කරන්න පුළුවන්, අර නිකං දුකෙන් ලියන ලව් ලෙටර් එකකට කඳුළු ඉෆෙක්ට් එක දානව වගේ.. හෙහ් හෙහ්…..
මටත් අදයි කාලෙකට පස්සෙ ලියන කියවන මූඩ් එකක් ආවෙ. 🙂
මටත් තීන්ත පෑනක් හම්බ වුනේ ශිෂ්‍යත්ව පන්තියේ ඉන්න කොට 1999 දී 🙂
ලස්සනට ලියවුනත් ලියපුවට වඩා කොයි වෙලෙත් තීන්ත මාරු කරන්න ගිහින් ඇඳුමෙයි පොත් වලයි හලා ගත්තු එකයි වුනේ.. 😉
තීන්ත පෑන් වලින් පස්සේ මට පෑන් මේනියාව හැදුනේ එකම පෑනේ පාට පාට බට 3,4 ක් ආපු පෑන් වලට…ඊට පස්සේ එක එක වර්ග වල සුවඳ කවපු කාබන් පෑන්..එයිනුත් පස්සේ අද වෙනකම් ආසාවෙන් කොහේ දැක්කොත් ගන්නේ දිලිසෙන liquid jel ආපු පෑන් 😉