අමතක නොවෙන පාඩම…!!!

images

තාත්තෙ…. අනේ මට හෙට  ඉස්කෝලෙ යද්දි ගෙනියන්ඩ රුපියල් දහයක් දෙනවද?

හැන්දෑවෙ වැඩ ඇරිල ඇවිල්ල අම්ම උණු කරල තිබුණ වතුර මුට්ටියෙන් ඇඟ හෝදගෙන කුස්සියෙ පුටුවකට බර දීල හිටපු තාත්ත වටේ මං දැවටුණා..

ඒ මොකටද බොලාට සල්ලි??

තාත්ත ඇහුව

හා කිව්වොත් දෙනවද තාත්ත මට සල්ලි?? අනේ දෙනව නේද??

මං යාප්පු වුණා…. තාත්ත කතාවක් නැතුව මං දිහා බලං ඉන්නව..

ඒ තමයි තාත්තව එකඟ කරගන්ඩ තියෙන වෙලාව…

අපේ ඉස්කෝලෙ ලඟ අලුත් කඩයක් දාල තියෙනව තාත්තෙ… ඒකෙ නම හංග්‍රි බෙයා…

ඒක බෙයා කෙනෙක් වගේ හදල තියෙන්නෙ තාත්තෙ… හරි ලස්සනයි

ඒකෙ අයිස් පැකටුයි, බිත්තර බනිසුයි, පොල් ටොෆියි තියෙනව…  බෙයාගෙ බඩ මැද්දෙන් ලොකු හිලක් තියෙනව.. ඒකෙන් තමයි තාත්තෙ ඒව  විකුණන්නෙ….

මං හුස්මක් කටක් ගන්නෙ නැතුව  දන්න විස්තර ටික කියාගෙන කියාගෙන ගියා….

තාත්තට අපූරු හිනාවක් ගියා..

දැන් ඇයි රුපියල් දහයක්..??

බිත්තර බනිස් කන්ඩනෙ තාත්තෙ..

හ්ම්… එතකොට පොල් ටොෆි කීයද??

සත පණහයි

එතකොට අයිස් පලං කීයද?

පලං නෙවෙයි තාත්තෙ පැකට් තියෙන්නෙ…

හරි හරි.. මොකක් වුණත් ඒව කීයද??

ම්.. හීනි එක රුපියලයි.. තව මහත කොට එකක් තියෙනව රුපියල් දෙකයි…

දැන් මොනවද බොලා ඔතනිං කාල තියෙන්නෙ??

පොල් ටොෆි කාල තියෙනව… අම්ම අරන් දීල දවසක්

එතකොට අයිස්පලං??

අපේ පන්තියෙ දර්ශනී  දවසක් රුපියල් දෙකේ අයිස් පැකට් එකක අරන් දෙකට කපල මටත් කෑල්ලක් දුන්න දවසක්

අනේ තාත්තෙ දෙනවද??

අම්මගෙං අහමු බලන්ඩ??

මේ ඒයි…. මොකද්ද මේ කෙල්ල කියන්නෙ?? බිත්තර බනිස් කන්ඩ ඕනෙ කියල??

මගේ මූණ ඇද වෙන්නෙ තාත්තා ප්‍රශ්නය අම්මට යොමු කරන්ඩත් කලින්මයි…

වැඩේ නං හරි නොයන පාටයි!!!

දෙන්ඩ එහෙම එපා ළමයට ඒ හැටි සල්ලි… රුපියල් දහයක් ගෙනිහිං බිත්තර බනිස් කන්නෙ.. මේ ගෙදරිං ගෙනියන බත් එක කන්ඩකො චූටි පුතේ…

වේලිච්ච මිරිස් වට්ටියක නැටි කඩ කඩා මේ කතාව කනිං කොනිං අහං හිටිය ආච්චි අම්ම පැන්න ගමං කිව්ව….

ඔය ඉතිං එයත් ඉන්නෙ හරහටමනෙ

ඒ හැටි දෙන්නෙ මොකටද කඩචෝරු කන්ඩ?? නිකං ලෙඩ වෙන්ඩ

අම්මත් කිව්ව…

ඉතිං තාත්තෙ දර්ශනී හැම දාම කන්නෙ?? එහෙනං එයා ලෙඩ වෙන්ඩ එපැයි…

මං මගේ ඉල්ලීම දිනාගන්ඩ සටනේ….

බොහොම හොඳා…..එක එක්කෙනා කරන කරන දේවල් කරන්ඩද දැං ඕනෙ??

අම්ම සැර වුණා

හ්ම්!! සලකා බලමු කො හෙට උදේට එහෙනං…දැන් ගිහිල්ල ඉස්කෝලෙ වැඩ ටික ඉවරකරන්ඩකො

තාත්තා ඒ වෙනකොට තාත්ත දන්නෙත් නැතුවම  ඔඩොක්කුවෙ ඉඳගෙන හිටිය මාවත් නැගිට්ටවල එයාගෙ සුපුරුදු ඩොල්කී වාදනයට ගියා.

ඊලඟ දවසෙ උදේ ඉස්කෝලෙ යද්දි තාත්ත මට රුපියල් දෙකක් දුන්න…

බිත්තර බනිස් කන්ඩ ඕනෙ නෑ බොලා.. එච්චර සල්ලි නෑනෙ අපි ලඟ…පොල් ටොෆි කන්ඩකො  මේකෙ

හ්ම්!!

කීයක්වත් නැති කොට ඕකත් මදෑ…

එදා හවස මං චණ්ඩිය වගේ හංග්‍රි බෙයාගෙ බඩෙන් පොල් ටොෆි ගන්ඩ ගියාට මොකද පොල් ටොෆි  ඉවර වෙලා…

ඒ හන්ද මං රුපියල් දෙකේ අයිස් පැකට් එකක් අරන් ඒක දෙකට කප්පවගත්ත..

දර්ශනීටත් කෑල්ලක් දුන්න.

කිරියි, වතුරයි කොකෝවා පිටියි මුසු අයිස් පැකට් එක ගිනි මද්දහනෙ ඉස්කෝලෙ මිදුලෙ නටල නටල හෙම්බත් වෙලා එන අපිට දිව්‍ය ලෝක රහයි!!

හිතාගන්ඩවත් බැරි ඉක්මනට අයිස් පැකට් බාගෙ ඉවර වුණේ!!!

 අපි හෙටත් කමු… දර්ශනී කිව්ව

ම්… මට හෙට නං සල්ලි ගේන්ඩ විදියක් නැති වෙයි!!! මං කිව්වෙ අද රුපියල හම්බ වුණ එකේ අමාරුවත් මතක් කරගන්න ගමන්

ගෙදර ඇවිල්ල මං දහ අතේ කල්පනා කළේ රුපියල් දෙකක් හොයාගන්න හැටි!!

ආච්චි අම්මගෙ පරණ සයිබෝට්ටුවෙ ලාච්චු සේරම ඇදල බැලුවම සත දහයෙ කාසි පහක් හම්බ වුණා.

සත පණහයි!!

අහු මුලු පීරල හෙව්වත් වෙන සත පහක් වත් හොයාගන්ඩ බැරි වුණු තැන මම තීරණයක් ගත්ත..

අයිස් පැකට් එකේ රහට ලොබ බැඳ ගත්ත මං එදයින් පස්සෙ සතියක් එක දිගට අයිස් පැකට් කෑව..

කිසි දෙයක් ගිල ගන්ඩ බැරුව සෙංගෙඩි හැදිල බෙහෙතුත් ගන්ඩ වුණ පාර අම්ම ආරංචි කරල බලල තිබුණ…

මං හැමදාම අයිස් පැකට් කන බව හංග්‍රිබෙයා කඩේ ප්‍රියන්ත අයිය අම්මට කියල තිබුණ‍

ගෙදර උසාවිය රැස් වුණා.

අම්ම නඩුව ඇහුව තාත්ත ඉස්සරහ

චූටි පුතා… කොහෙන්ද ඔයාට හැමදාම අයිස් පැකට් කන්ඩ සල්ලි??

…………………

ඇත්ත කියනව….

……………………..

නැත්තං ඉතිං උණ කියල බලන්නෙ නෑ කෝටු හාමි වඩම්මනව.

තාත්ත ලොකු හුස්මක් හෙලුව…

මං ළමයට රුපියල් දහයක් දුන්න…ඒකෙන් වෙන්ඩ ඇති කන්ඩ ඇත්තෙ…

තාත්ත එහෙම කිව්වම මාව ගල් බීත වුණා…

මං හෙමින් සැරේ ඔලුව උස්සල තාත්ත දිහා බැලුව.

ඒ වෙලාවෙ තාත්ත මං දිහා බලන් හිටිය හැටි මේ දැනුත් මට මතකයි.. එදා වාගෙම…

තාත්තගෙ ඇස්වල තිබුණෙ දුකක්ද!! පසුතැවිල්ලක්ද!!

ඔයාටත් ඉන්ඩ බැරි හැටියක්.. දැන් බලන්ඩ…. අන්තිමට සෙංගෙඩි හදාගෙනනෙ නැවතුනේ….ඔය හැටි බෙහෙත් ගන්ඩ යන්ඩ සල්ලි කාටද තියෙන්නෙ??

හා හා දැන් කෑගහන්ඩ එපා….පොඩි එවුන්නෙ… ලෙඩ  වෙනව තමයි ඉතිං… එය මොනවහරි කෑවාම. ඒ හැටි කෑගහන්ඩ දෙයක් නෑ….

යං.. මං කතාවක් කියල දෙන්නං.

තාත්ත වෙනද වගේම මාව යවන්නෙ නැතුව මාවත් එක්කරගෙන ඉස්තෝප්පු කාමරේට ගියා.

තාත්ත කාමරේ පොත් අල්මාරිය ලඟට කිට්ටුවෙන අඩියක් ගානෙ මගෙ හිත ගැහුණ.

බොහොම ශාන්ත දාන්ත විදියට  තාත්ත පොත් අල්මාරියෙ පහළ ලාච්චුව අරිනකොට මට දැණුනෙ හරියට මගෙ පපුව දෙකට ඉරල හදවත එළියට අරන් දැම්ම වගේ…

මගෙ ඇස්වල කඳුලු බින්දු දෙකක් පිරුණ

ඇයි දැං බොලා අඬන්නෙ….??

මගේ කඳුලු බින්දු දෙක දිය ඇල්ලක් වෙලා හැලෙන්ඩ මහ ලොකු වෙලාවක් ගියෙ නෑ..

තාත්තෙ මං තාත්තගෙ ලාච්චුවෙන් සල්ලි හොරකං කළා.. ඒ සල්ලිවලින් තමයි මං අයිස් පැකට් කෑවෙ…

මං හැඬුම් ස්වරයෙන් කියාගෙන කියාගෙන ගියා.

හ්ම්!! ඒකත් එහෙමද? ඒත් ඉතිං ඇයි බොලා හොරෙන් සල්ලි ගත්තෙ??

තාත්ත දෙන එකක් නෑ කියල හිතුණ.

ඉතිං ඒ හන්ද හොරෙං ගත්තද?? කොයි වෙලේ ද අරගත්තෙ??

තාත්ත ඇඟ හෝදන්ඩ ගියාම

අඬන්ඩ දෙයක් නෑනෙ දැන්…. අනික අයිස් පැකට් කන්ඩ හොඳ නෑනෙ බොලාට… ඇයි එහෙම තියෙද්දිත් අයිස් පැකට් කෑවෙ…

මට ඒවට ආස හිතුණ තාත්තෙ…..මං ආයෙ එහෙම කරන්නෙ නෑ

ආයෙ කවදාවත්, කවම කවදාවත් අනුන්ගෙ දෙයක් හොරකං කරන්ඩ එපා….බොලා මගෙන් ඉල්ලුව නං මං දෙනවනෙ??

මං තාත්තට වැඳල පොරොන්දු වුණා ආයෙ කවදාවත් හොරකං කරන්නෙ නෑ කියල…

ඒ පොරොන්දුව දුන්නෙ එදාට විතරක් නෙවෙයි… සදහටම.

ඉස්කෝලයක් ගාව අයිස් පැකට් එකක් උරන පොඩි එකෙක් දැක්කාම මට තාත්ත මාව කෝටු හාමිගෙන් බේරගත්ත හැටි මතක් නොවී තියෙන්නෙ නෑ.

ඒත්

චූටි පුතා…අද තාත්තගෙ හැත්තෑවෙනි උපන්දිනේ…..!!

අම්ම කියනකල් මට ඒක මතක් වුණේ නැත්තෙ ඇයි?

තාත්තෙ,

ජීවතුන් අතර හිටිය නං අවුරුදු හැත්තෑවක් වෙච්ව තාත්ත කොහොම ඉඳීවිද කියල මේ ලියන ගමනුත් වරින්වර  මං ඇස් පියාන  හිතේ මවාගන්ඩ උත්සාහ කරනව.

හැරමිටි වාරුවෙන් යන සීය කෙනෙක් වගේ මගේ හිතේ ඇඳෙන්නෙ තාත්ත නෙවෙයි කියල මං හිතට කෑගහල කියනව…

ඒ අතරෙ මං බලෙන්ම හිතේ ඇඳගන්නව දැන් සාලෙ මැද්දෙ රතු විල්ලුද රෙද්දක් පොරවාගෙන කුසීත කමට ඉන්න ඩෝල්කිය පරණ ගෙයි ජනේලෙ ලඟ මේසෙ උඩ තියාගෙන හැන්දෑවෙ තුනේ ඉඳන් ගුවන් විදුලියෙ පැරණි රසාංගවලට ඒක වාදනය කරන තාත්තව.

බ්‍රිස්ටල් සිගරට් පැකට් එක කීතු කීතු කරල දාපු වෙලාවෙ මට ගහන්ඩම ඇවිල්ල අත උස්සගෙන මගේ දිහා බලන් ඉඳල ආපහු හැරිල ගිය තාත්තව

වැඩට යන්ඩ ලෑස්ති වෙලා හොරෙන්ම මගේ කාමරේට වැදිල ඒ වෙද්දිත් තැනින් තැනින් සුදු වෙච්ච, බෙල්ලට වැවිච්ච කොණ්ඩෙ කණ්නාඩියෙන් බල බලා ජේත්තු වෙවී මගෙ ඕඩිකොලොන් බෝතලේ ඇඟේ හලාගෙන යන තාත්තව

උන්නගමන් කවියක් ලියල මගේ මේසෙ උඩ තියල , හැන්දෑවට පිලිතුරු කවියක් එයාගෙ මේසෙ උඩ තියන්ඩ කියල ලියල යන තාත්තව

මගේ හිතේ ඉන්න තාත්තා තරුණයි… හිතෙන් ගොඩාක් තරුණයි!!!

හිටියනං තාත්තට කෙල්ලයි කොල්ලයි විතරක් නෙවෙයි, අද බෑණෙකුයි යේලියෙකුයි එක්කත් උපන්දිනේ සමරන්ඩ තිබුණ නේද කියල හිතද්දි ආයෙමත් අර අටුකොස් වෙච්ච දුක පොඩ්ඩක් පෙඟීල ඉල්පෙනව.

ඒ වෙලාවට මං ලියනව

කොහේ හරි ඉඳන් තාත්ත මේ දේවල් කියවනව ඇති!!

මට නිකමට හිතෙනව

කවමදාවත් උපන්දින සමරපු නැති තාත්තට ජීවතුන් අතරෙ ඉන්නකොට කවමදාවත් කියන්ඩ  බැරි වෙච්ච දෙයක් කියල අදට සමු දෙනව

සුබ උපන්දිනයක් තාත්තේ!!!!!

පින්තූරෙ මෙතනින්

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

19 Responses to අමතක නොවෙන පාඩම…!!!

  1. Ravi පවසයි:

    තාත්ත ගැන උඹ ලියන වියුණු සටහන් හැම එකක් අන්තිමටම මයෙ හිතේ ඉතිරිවෙන්නෙ මොකක්දෝ කිසිම විදිහකින් විස්තර කරන්ඩ බැරි අමුතුම හැඟීමක්. හැඟීමක් කියනවට වඩා මම කැමතියි හැඟීම් මහ ගොඩක අඩු වැඩි වශයෙන් එකතුවක්ය කියල කියන්න.

    හිත වෙලා ගත්තු මහ තනිකමක්, ඒ එක්කම දුකක්..පාළුවක් අනික් අතට කියවල ඉවර වෙද්දි චුට්ටි සතුටක් වගෙ එකකුත් නැත්තෙම නෑ. සතුට මම හිතන්නෙ උඹෙ තාත්ත අනිවාර්යයෙන් කොහෙ හරි ඉඳගෙන උඹ දිහා බලාගෙන ඇති කියන සිතුවිල්ල නිසා…

    ” ලොකු බල්ලො මොකෝ බොල කරන්නෙ?…හැත්තෑවකුත් උනා එහෙනං නේද?….හෙහ්, හෙහ්, මට හිතෙන්නෙ නෑ බං මම එච්චර වයසයි කියල…බලාපං මං දිහා …ඇත්තම කියාපං එච්චර පේනවද?… නෑනෙ……”

  2. Cheena පවසයි:

    අපේ තාත්තාවත් මට මතක් වුණා… හොඳට ලියපු කතාවක්…..

  3. Asoka පවසයි:

    අනේ ජනුවො මේක කියවලා මට කන්දුලු ආවා කෙල්ලෙ. ඔයාගෙ තාත්තා විතරක් නෙවේ මගෙ තාත්තාත් මතක් වෙලා.
    ඔය වගෙම සිද්දියක් මටත් වෙල තියනවා. E කාලෙ මම වෙච්ච පොරොන්දු මම තාම ඉටු කරනවා මගෙ තාත්තා පරලොව ගිහින් අවුරුදු 23ක් වෙලත් මේ අවුරුද්දට. මගෙ තාත්තා හිටියනම් මේ වෙනකොට වයස අවුරුදු 90ක් වෙනවා.
    හිතට සන්තොස වෙන්න පුලුවන් ඔයගේ මගෙයි තාත්තලා ඩෙන්නටම තමන්ගෙ දූලා නිසා ආඩම්බර වෙන්න පුලුවන් එයාලා හිටියා නම්. ඔයාගෙ පියතුමාට නිවන් සෑප පතනවා කෙල්ලෙ.

  4. praveena පවසයි:

    මේක කියෙව්වාම මට පොඩි ජනූත්, එයාගේ අප්පච්චිත් මැවිලා පෙනුනා. දරුවෙකුට මේ වගේ ගහන්නේ , බනින්නේ නැතුව ආදරෙන් පාඩමක් කියා දුන්නු එක නම් හරි අගෙයි.
    ඇහැට වෙනදා වගේම කඳුලක් ආවා.

    පියා නිවී, සැනහේවා යැයි පතනවා ජනූ.

    මම නම් අයිස්-ක්‍රීම් කන එක අත් ඇරියා.

  5. ඇනකොන්ඩා පවසයි:

    මගෙ ඔලුවෙ ඉදන් කකුල් දෙකටම හිරි වැටීගෙන ගියා. ඇස් දෙකත් තෙතයි.තාම මං ගල් ගැහිලා. එච්චරයි.

  6. Bindi පවසයි:

    අපේ තාත්ත නැති වෙලා ඊයේට අවුරුදු පහයි . මන් වෙන මොකවත් මෙතන ලියන්න ඕන නැහැනේ .

  7. Chathu Ranga පවසයි:

    මටත් ගොඩක් දුක හිතුනා කතාවට..

  8. sasini lakmini පවසයි:

    හරිම දුක හිතෙන කතාවක්….

    අම්මයි තාත්තයි අපට කොයි තරම් අදරෙද?

    අම්ම කොච්චර සැර කලත් තාත්ත අපිට සැර කරන්න යද්දි අපිව බේරගන්නව….
    ඒ වගේම තාත්තත් එහෙමයි….

  9. Miyuru පවසයි:

    ඇස් දෙකට කඳුළු ඉනුව ජනූ… ඔයා තාත්තත් එක්ක පුංචි කාලෙ ගත කරපු හැටි ගැන කියන කතා කියවද්දි මට නිතරම මතක් වෙන්නෙ මං මාමලත් එක්ක ගත කළ පුංචි කාලෙ…
    ඔයාගෙ තාත්තට සුභ උපන් දිනයක් කියල මාත් පතනව…

  10. kumaraya පවසයි:

    මට මේක කියවන්න ලැබුනෙ අහම්බෙන් .. බොහොම අපූරුවට ගළපල ලියල තියෙනව.
    මේක කියෙව්වට පස්සෙ .. මේකත් එක්ක සැසඳුවහම … මම ලියන ඒවත් ලියමන් ද කියල ලැජ්ජත් හිතුන.

  11. henryblogwalker the Dude පවසයි:

    ජනූගෙ තාත්තට සුභ උපන් දිනයක්.

    ඔයාගේ තාත්තා ගැන මගේ හැඟීම රහසක් නෙවෙයිනෙ. ඒ නිසා ඒ ගැන කතා නොකර ඉන්නම්.

    මගෙ තාත්තාත් හිටියා නම් අවුරුදු අසූ දෙකක්. එයා ගියේ හැට පහෙන්.

  12. තිසර පවසයි:

    මවක් පියෙක් හදිසියේ අහිමිවීම තරුණ වයසේ ළමයි කොහොම දරාගන්නවද කියලා මට අනන්තවත් හිතිලා තියනවා. අම්මා ගැන අඩු තක්සේරුවක් කරනවා නෙවෙයි, ඒත් තාත්තා කෙනෙක්ගේ රැකවරණය අහිමි වෙනවා කියන එක හරිම බරපතල කාරණයක්. පුතෙක් සහ පියෙක් හැටියට ඒ ගැන හිතනකොටත් මගේ ඇඟ හිරිවැටිලා යනවා.

    අර අම්මාවරුනේ සිංදුවේ කියනවා වගේ… සුරලොව සිට අත පා.. කඳුලැලි පිසින්නේ අම්මලා විතරක්ම නෙමෙයි… ඉතිං ජනූ නගාගෙ තාත්තට සුභ උපන්දිනයක් පතනවා…

  13. weniwel පවසයි:

    ගොඩක් තාත්තලා ඔහොම මයි ජනු…

  14. mekuwi පවසයි:

    හැමදාම කම්මෙන්ට් නොකලට ඔයාගෙ ලිපි ඔක්කොම කියොනව..මේක කියොල ඇත්තටම ඇඬුනා මොකද මටත් තාත්තා ගැන තියෙන්නෙ මේ අත්දැකීම්ම නිසා..පව්ලෙ එකම ලමය නිසා තාත්තාගෙ අස්සෙමය් හිටියෙ.. එත් මට 19 දි accident එකකින් තාත්තා නැති උනා..අදටත් ඒ දැනෙන අඩුව කියාගන්න බැරි තරම්..

  15. Ashfa Muslimah පවසයි:

    හරිම ලස්සනයි ජනූ ,ඒ වගේම හැඟුම්බරයි..
    මටත් අපේ තාත්තව මතක් වුණා ..අපි යන්තම් ලෝකය ගැන අවබෝධ කර ගනිද්දිම තාත්ත අපිව දාල ගියා .නමුත් ඒ මතයකයන්..!!
    අම්මට හොරෙන් කී පාරක් තාත්තගේ සාක්කුවේ බර අඩු කරලා ඇද්ද 😉
    තාත්තල තමයි දූලගේ මුල්ම වීරයෝ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )