මතක පොකුරු…!!!

ආ……………..ව්!!!!

අනේ අම්මෙ අම්ම අදිනකොට රිදෙනවනෙ…………

අනේ ඇති අම්මෙ…. මට දැං යන්ඩ දෙන්ඩකො

මං ඔය කෑගහන්නෙ රිදෙනවටම නෙවෙයි….. ගැලවිලා දුවන්ඩ

ඔහොම ඉන්ඩ චූටි පුතා… මේ බලන්ඩ ඔලුව ගන්ඩ දෙයක් නෑ…. ඔ ඔ…. ඔන්න ඔන්න!! ඔහොම ඉන්ඩ…

ආ… මෙන්න….

අම්ම කලබලෙන් කලබලෙන් ඇඟිලි මගෙ ඔලුවෙ දුවවල  අල්ල ගත්ත උකුණු පැටියෙක් මගේ අතේ තිබ්බෙ තව විනාඩි දහයක් මාව එක තැන තියාගන්ඩ ඌට පුලුවන් කියල දන්න හන්දයි…

මං ඌවත් අල්ලට අරන් සෙල්ලං කරනව….. හදිස්සියෙ සිද්ද වෙච්ච අකරතැබ්බෙන් වල්මත් වෙලා පිස්සුවෙන් වගේ හතර අතේ දුවන උකුණු පැටියට බිම වැටිල තියෙන කෙස් ගහක් අහුලල දෙනව… නැත්තං මගෙ කොන්ඩෙන් එක කෙස් ගහක් ගලවල ඌට දෙනව…

උකුණු පැටිය කෙස් ගහ දිගේ නගින්නෙ හරියට අපේ ගමේ  කෙට්ටු විජා පොල් කඩන්ඩ කිසි කිසිගාල පොල් ගහට නගින්නැහෙ…..

දාගන්ඩ පුලුවන් නං ඇඟට ආපහු….

අම්ම කලින්ම අනතුරු අඟවනව.

ඔයිට කලින් කීප වතාවක් මම උකුණන්ට නගින්ඩ ඔලුවෙ තියෙද්දිම කෙස් ගස් දෙනව… උන්  මගේ ඇස්වලට වැලි ගහල ආයෙමත් ඔලුවට රිංගගන්නකං  මං දන්නෙත් නෑ…

කහඹිලිය ගෑවිලා වගේ දඟලන්නෙ නැතුව ඉන්ඩකො චූටි පුතා…

අම්ම එහෙම කියල මාව ආපහු එයාගෙ ඇඟට තද කරගත්තට ඉස්තෝප්පුවෙ බිම පුංචි පැදුරු කොටේ ඉඳගෙන ඔලුව හොල්ලන්නෙවත් නැතුව එකම ඉරියව්වෙං විනාඩි දහයක් දොළහක් ඉන්ඩ කාටද පුලුවං… කරන්ඩ කොච්චර වැඩ තියෙනවද?

අනේ අම්මෙ මං ඔලුව තියාගෙන්ඩද ඔඩොක්කුවෙ??

ඉන්ඩකො ළමයො පොඩ්ඩක් මේ හරිය බලල ඉවර කරනකල්…

අම්ම මගෙ ඔලුව බලන්නෙත් පිලිවෙලට… තීරුවෙන් තීරුවට…

බැරිම තැන අම්ම කතන්දර කියන්ඩ පටං ගන්නව… කවි කියන්ඩ පටන් ගන්නව…ඒක ඊලඟ විනාඩි දහය මාව එක විදියකට තියාගන්ඩ හොඳ බෙහෙතක්…

මම සිදුහත් කුමාරයගෙ කතාව…. බුද්ධ චරිතය ගැන ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ අම්මගෙන්… ඔන්න ඔය උකුණු හටන අස්සෙ තමයි…

ඒ විතරක් නෙවෙයි  තාත්ත ඒ වෙලාවෙන් වෙලාවට ගොත ගොතා කියන කතන්දර අහපු මම ලස්සන කවි පන්ති තාලෙට කියන්ඩ ඉගෙන ගත්තෙත් අම්ම මගේ ඔලුවෙ හිටපු උකුණො අහුලන වෙලාවෙදි….

පස්සෙ පස්සෙ මං අම්ම උකුණො බලන්ඩ අඬගැහුවම යන්නෙ හරිම කැමැත්තෙන්

පොත් කියවිල්ලට වැඩියෙන්  ඇබ්බැහි වුණාම මං  උකුණු හටනට යන්නෙ මගෙ පොරෝණයයි, කතා පොතකුයි අරන්….

ඒත් අහම්බෙන් වගේ දවසක අම්මෙ අර කවි ටික කියමුකො… කියල දෙන්නත් එක්කම කවි කියපු වෙලාවලුත් තිබුණ…

උසස්පෙළ පන්තියට විතර එනකොට ඔලුවෙ බේතකටවත් උකුණෙක් හොයාගන්ඩ හිටියෙ නැතත්  අම්මට කියල කොන්ඩෙ පීරව ගන්ඩ… බොරුවට ඔලුව කසනව කියල කියල ගිහින් අම්ම ඉස්සරහ ඉඳගත්ත වෙලාවල  අම්ම ඔලුව අතගාන සනීපෙට  හෙමින්ම ඔඩොක්කුවෙ ඔලුව තියන් පොත කියව කියව ඉන්නව…

කෝ  නැගිටින්ඩ චූටි පුතා… හවස් වෙලා උයන්ඩත් ඕනෙ නෙ….

අම්ම කතා කරනකල් මං දන්නෙත් නෑ!!!!

ඉස්සර ඔලුව අල්ලද්දි පැනල දුවන්ඩ හදන මට  අම්ම කතා කරන කල්ම ඔඩොක්කුවෙ ඉහ තියාන ඉන්න ගමන් නින්ද ගිහිල්ල

පෙම්බරය හිටියෙ නැති  පහුගිය සතියෙ ගුණවීර අංකල්ගෙ වෑන් එකේ එන ගමන් මම දැක්ක කොල්ලුපිටිය හරියෙ ගෙදරක ලොකු ගහක් වැහෙන්ඩ පිපිච්ච කහ පාට මල්!!!

මං හැරි හැරී ගහ දිහා බැලුව… ඒ තරං ලස්සනයි….

මං පස්සෙ තමයි දැනගත්තේ මලේ නම

ඒ කිණිහිරියා මල්!!!

හ්ම්!!!

කිණිහිරි ගහක මල් සෙලවෙනු වැනි සුළගේ

ඒ ඔස්සේ මාව ආයෙමත් අර පුංචි කාලෙ අම්ම උකුණො ගන්නකොට කියපු කවි පන්තියක මතකෙට ඇදිල ගියා!!!.

මේ තමයි ඒ කවි පන්තිය

බුදු හාමුදුරුවන් ඉස්සර සිටින                    කොට
මං හිටියනම් එනවිට කැලයට                       දරට
වන මල් නෙලා අතුරා සිරි පතුල                    වට
වැඳ වැටෙනවා නොගොහින් ගෙට       වරුවකට

කාටත් හොරෙන් ගොඩ අරගෙන කැටය    මගේ
සිවුරක් ගෙනත් දෙනවා කහ අත්ත             වගේ
එතකොට බලත හැකි පොරවා වඩින          ර‍ඟේ
කිණිහිරි ගහක මල් හෙලවෙන වැනි        හුළ‍ඟේ

පන් උගුලන් ඇවිත් සායම් පොවා              ගෙන
තුන් ඉරි රටාවෙන් පැදුරක් වියා                 ගෙන
අම්මට තාත්තට අත ගස්සවා                      ගෙන
දෙනවා ගිහින් සැතපෙන්නට එලා             ගෙන

රාහුල පුංචි හාමුදුරුවො වඩින                  කොට
ගෙදරට වැඩමවා ගෙන සුදු වියන්                යට
කිරිබත් හදා සුවඳැල් හාලෙන්                   රස‍ට
ටික ටික වලඳවනවා ඇවිදින්                    ළඟ‍ට

ගල් පෙරළපු දවසෙ ගිජිකුළු පව්වේ             සිට
මං හිටියනම් සත පණහක් දී                      අතට
රා බොන අපේ ලොකු මාමා පිටත්           කොට
දැනමුතු කමක් කරනව දෙව්දත්              තෙරට

බුදු හාමුදුරුවන් හට බැණ වදින                   විට
මොකටද ඉතින් ඉන්නට බැරි වුණා         කොට
අම්මලා මොනවා කීවත් මොලවලා              මිට
දෙනවා චිංචි මානවිකාවගෙ                     කටට

සච්චකයාට ඇවිදින් වාදෙට                  පැන්න
සැක්කරයා මොටද ආවේ ඔර                 වන්න
දිව ඇද විරිත්තල පණ්ඩිතකම                 යන්න
මල්ලියි මමයි හිටියම ඇති නිය               වන්න

මගෙ මල් පොකුරු දුටුවම ඉවසුමක්         නැතී
පොඩි පොඩි හාමුදුරුවරු මළුවේ           නැවතී
කිරි එතනා හෙටත් ගෙනැවිත් මල්         කිනිතී
දෙනවද කියා හෙමිහිට අහනවා               ඇතී

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් වෙසක් සිවුපද ලෙසින් නම් කරපු මේ කවි පෙළ බුද්ධ චරිතය ගැන කතා ඇසූ පුංචි ගෑණු ළමයෙක් ගෙ හිතේ බුදු හාමුදුරුවන් ගැන ඇති වෙච්ච සිතිවිලි කවියෙන් ඉදිරිපත් කිරීමක්!!!

පුංචි කාලෙ අම්මගෙ උකුලෙ ඉහ තියාන ඉන්නකොට අම්ම මේ කවි පෙල ගයද්දි මට ඇති වෙච්ච සිතිවිලි එක්ක මං දුර ගමනක් ගියා!!

රාහුල කුමාරයව මහණ කරවන්ඩ එක්කන් යන හැටි!!

බුදුහාමුදුරුවො වගෙම සන්සුන් ගමනින් පුංචි කහ සිවුරක් පොරවාන වැලි පාරක වඩින රාහුල පුංචි හාමුදුරුවො මගේ ඇස් ඉස්සරහ මැවිල පෙණුන අම්ම ගයපු මේ කවි පන්තිය නිසා

ඒ විතරක් නෙවෙයි දෙවුදත් තෙරුන් ගිජි කුලු පව්වෙ ඉඳල ගල් පෙරලන හැටි මට මැවිල පෙණුන…

එතකොට මට පෙණුනෙ ඇත්තටම අපේ ලොකු මාම  වැනි වැනී ගිහින් දෙවුදත් තෙරට බණින  හැටි

සච්චක වාදෙ වෙලාවෙ නියවන්නෙ අපේ මල්ලියි මමයි දෙන්නම තමයි කියලයි මට දැනුනෙ…

පන් උදුරන් ඇවිල්ල සායම් පොවාගෙන රටා පැදුරු වියන කවිය කියනකොට මගේ හිතේ ඇඳිල තියෙන්නෙ ඉස්සර ආච්චි අම්ම එක්ක එක්කාසු වෙලා පොල් අතු වියන්ඩ ඉගෙන ගත්තු හැටි!!

මට දැණුනෙ මේ කවි පන්තිය හරියට මා හිතන හැටි ගැනම ලිව්ව එකක් වගේ!!

අද  මේ ලිපිය ලියන්ඩ අරන් මම මතක මතක කවි ටික  ලිව්ව…. පිලිවෙලක් තිබුණෙ නෑ…. සමහර කවිවල මුල නෑ මැද විතරයි…. සමහර ඒවගෙ අග නෑ….

අන්තිමට අම්මට කතා කළා….

ඈ කවි පන්තිය කිව්ව!!!!

මතකෙන් හරි පිලිවෙලටම…

අපි ඉතිං අර විශ්ව විද්‍යලෙන් බ්‍රොයිලර් ක්‍රමේට හැදිල එළියට ආවෙ එවුන්නෙ… මාස තුනයි… සෙමෙස්තරේ ඉවරයි

සටහන් ටික ගිරව දාල ප්‍රශ්නෙ මොනව අහල තිබුණත් කටපාඩං කරපු ටික ලිව්ව…

ඊලඟ සතිය වෙද්දි අර කිසි දෙයක් මතක නෑ…

අම්මගෙ මතකයට ඈට පින් දෙමින් ආපහු සටහනට හැරුණාම මට නිකමට හිතුණෙ මේ කවි පෙළ මතක තියෙන, මේ කවි පෙළ අහල නැලවුණ කී දෙනෙක් ඉන්නව ඇද්ද කියලයි

කාලෙකින් කවියක් කියපු නැති මං වෙනසකටත් එක්ක මේ කවි ටික තාලෙට ගායනා කළා…

ඒක පටිගත කරන්ඩත් හිතට ආව….

හ්ම්!!!

ඒත් හැම දේම ලඟ තිබුණත් මොකද්දෝ අඩුවක් තිබුණ..

වෙනම ගෙදරක පවුල් පන්සල් වුණත් දුරස් බවක් දැණුනෙ නැති වුණාට ඉස්සර වගේ ඹලුව උකුලෙ තියාගන්ඩ… එහෙම තියා ගත්තම ඔලුව අතගාන්ඩ, එක්කහු වෙලා මේ කවි ටික ගයන්ඩ අනේ මේ වෙලාවෙ අම්ම ලඟ හිටිය නං කියල  මොහොතකට හිතුණ..

මේ කවි පන්තියෙ ඉතිහාසය හොයද්දි තමයි මෙන්න මේ සුන්දර වෙබ් අඩවිය ඇහැ ගැහුණෙ… බැලුවම කාලෙකට කලින් ඉඳල මේ කවි පන්තිය ඒකෙත් තියෙනව….

අම්ම කියන විදියට එක්දාස් නවසිය හතලිස් ගණන්වල විතර ලියවුණු පද්‍ය පන්තියක්!!

අම්මල පොඩි කාලෙත් සිංහල සාහිත්‍යය කියවීම් පොත්වල මේ කවි පෙල තිබුනු බව ඈට මතකයි!!

ගන්ඩද කියල නොඅහම කිණිහිරියා මල් පින්තූරෙ මං අරගත්ත එකට මියුරංග මල්ලි තරහ වෙන එකක් නෑ කියල හිතනව. බොහොම ස්තූතියි!!

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මතක. Bookmark the permalink.

20 Responses to මතක පොකුරු…!!!

  1. henryblogwalker පවසයි:

    බෞද්ධ සාහිත්‍යයට සිංහල කවියට උකුණංගේ දායකත්වය කොච්චරද කියල පිළිබිඹුවෙන ලිපියක්.

    මීට වඩා දිග කමෙන්ට් උඹේ බ්ලොගේ දාන එක මම වර්ජනය කරලා තියෙන්නෙ. මොකද උඹ උත්තර දෙන එකක්යැ.

    ඊ ලඟපාර මම දාන කමෙන්ට් එක මේ වගේ වෙන්න පුලුවන්.

    පට්ටයි. අපේ පැත්තෙත් එන්න.

    • ඕං උඹට තේරුණා අයියෙ.. ආයෙ නෑ… උඹ වචන දෙක තුනක් ලිව්වත් බං ඒකෙ තියෙනව කියන්ඩ තියෙන සේරෝම ටික… ආයෙ මොකටද කතා අහගන්නෙ… හැරෙන තැපෑලෙන් ඕං උත්තරේ!!!

    • තිසර පවසයි:

      //බෞද්ධ සාහිත්‍යයට සිංහල කවියට උකුණංගේ දායකත්වය කොච්චරද කියල පිළිබිඹුවෙන ලිපියක්.//

      එකපාරටම ඔය වගේ විචාර දෙන්න එපා බං… අපි ඔෆිස් වල ඉඳන් මේවා කියවන්නත් එපැයි… 🙂

      • තිසර අයියෙ, මේ හෙන්රි අයිය මට බැනල මීට වඩා නං වචනයක්වත් කියන්නෙ නෑ කියල යනවනෙ.. වැඩක් නෑ.. වචනෙන් දෙකෙන් හරි උන්දැ කියන්ඩ ඕනෙ සේරම කියල තමා ගිහින් තියෙන්නෙ…
        මටත් මේක දැක්කම හිනාව නවත්තගන්ඩ බැරි වුණා…
        මං මේ කල්පනා කරන්නෙ අම්මගෙයි මගෙයි උකුණු හටන ප්‍රාණ ඝාතයක් වුණත් බලපල්ලකො බෞද්ධ සාහිත්‍යයට වගෙම බෞද්ධාභාසයෙන් සුසැදි ගීත කලාවට කරල තියෙන මහඟු සේවාවෙ තරම :-p

  2. තිසර පවසයි:

    මේ බ්ලොග් එක මම මගේ ලිස්ට් එකට මැනුවලි එකතු කර ගත්තත්, මේ පෝස්ට් එකේ අප්ඩේට් එක ආවෙ නෑ… සුවර් එකටම මම ඕක හරියට කරලා නැතුව ඇති…

    මේ කවි පන්තිය නම් මීට කලින් මම අහලා තිබ්බෙ නෑ නගේ…. ඔයාට කවියේ තේරුම මැවිලා පේනවා වගේ මට මැවිලා පේනවා අම්මගෙයි දුවගෙයි උකුණු හටන… මේවා කියවනකොට මීට සමාන මගේ අත්දැකීම් එහෙම මතක් වෙලා ලියන්න හිතෙනවා.. කොහෙද කම්මැලිකම ඊට වඩා දරුණුයි… හැබැ‍යි ඕකට කම්මැලිකම කියලම කියන්නත් බෑ.. රට වටේ ඇවිදලා කොමෙන්ට් දාලා එනකොට මටම කියලා මොනවත් ලියාගන්න වෙලාවක් නෑ.

    • henryblogwalker පවසයි:

      වර්ඩ්ප්‍රෙස් ලොක්කගේ ඔය අවුල තියෙනවා, තිසර. බ්ලොගර් බ්ලොග් බ්ලොග් රෝල් එකක අප්ඩේට් වෙන්න සාමාන්‍යයෙනුත් දවසක් දෙකක් යනවා. (මම ඔය දෙකේම ඉන්න නිසා දන්නෙ).
      මෙහෙම කරපස්. ඔය follow බටන් එකක් තියෙන්නෙ (මම හිතන්නෙ පහල දකුණු පැත්තෙ කෙලවරේ) අන්න ඒක ඔබලා ෆලෝවර් කෙනෙක් වෙයං. එතකොට උඹේ මේල් එකට එනවා පට් ගාලා. සමහර විට ඒ මගුලත් එන්නෙ තායි වලින්. ඒත් කමක් නෑනෙ එතකොට අඩුගානේ new post එකක් ඇවිත් ඇති බව දැනගෙන එතනින් සයිට් එකට ගියෑකිනේ.

      අනිත් එක මේක බ්ලොග් රෝලක ගියත් කිසි ලකයක් නැත්තෙ මේකෙ පින්තූරයක් වත් නැති නිසා. ඉතින් ඇහැට අහුවෙන්නෙත් නෑ. අර උඩ තියෙන එක බ්ලොග් රෝල් වලට අහුවෙන පින්තූරයක් නෙවෙයි. ඒක දාන වෙන විදියක් තියෙනවා. මේ අම්මන්ඩිට කිව්වත් ගනං ගන්නෙ නෑ. 😀

    • තිසර අයියා,
      දැන් බූරයිය මෙතෙන්ට ආවොත් මං උන්දැගෙනුත් බැනුම් අහන්ඩ ඉඩ තියෙනව… ඔය රීඩරේ අප්ඩේට් වෙන්නෙ නැති එක උන්දැ කියල දැන් අවුරුද්දකට වැඩියි අප්ප..තාම මට ඕක බලන්ඩ බැරි වුණා…
      මං හිතක් හිතුණ වෙලාවට බස බස ගාල ලියාගෙන යන.. ආයෙ කාලෙකට පැත්ත පලාතෙ එන්නෙ නැති, කිසිම කමකට නැති එකියෙක් නෙ… පේනවනෙ මං උත්තර ලියන හැටි. අවාරෙ අඹ වැටෙන්නහෙ..

  3. Gold fish පවසයි:

    //අපි ඉතිං අර විශ්ව විද්‍යලෙන් බ්‍රොයිලර් ක්‍රමේට හැදිල එළියට ආවෙ එවුන්නෙ… මාස තුනයි… සෙමෙස්තරේ ඉවරයි// මේ ටික මරු අප්පා… 😀

    ලස්සනයි කවි පන්තිය..

  4. පැතුම් හර්ෂණ පවසයි:

    මම මීට කලින් මේ කවි පන්තිය කියවලා තිබුණෙ නෑ. මේක කියවනකොට විජය පත්තරේක මුල් පිටුවෙ ලස්සන පින්තූරෙකුත් එක්කම තිබුණු මේ වගේම කවි පන්තියක් මතක් උනා. පත්තර ගොඩ අවුස්සලා ඒක හොයා ගත්තා. 2000 අවුරුද්දෙ වෙසක් මාසෙ විජය පත්තරේක තිබුණෙ. ලියලා තිබුණෙ වතුරේගම විමලඛන්ති හිමි කියලා හාමුදුරු කෙනෙක්. මානවසිංහයන්ගෙ කවි පන්තිය ඇසුරු කරගෙන තමයි ඒකත් ලියන්න ඇත්තෙ. හැබැයි ඒ වෙසක් සිතිවිලි ටික පිරිමි ළමයෙකුගේ.

    කියවන්න දෙයක් තියෙන බ්ලොග් එකකට, කමෙන්ට් එකක් විදියට මෙච්චර දිග එකක් ටයිප් කරාට පාඩුවක් වෙන්නෙ නැති නිසා, කවි පන්තිය ටයිප් කරා. මේ තියෙන්නෙ ඒක.

    අම්මා බණ කතා පොත කියවන වේලේ
    මතකයි මට කඳුළු පිස පිස හැඬු තාලේ
    බුදුහාමුදුරුවන් ලොව වැඩ සිටි කාලේ
    සිටියා නම් මමත් පෙන්වමි මගෙ ආලේ

    බුදුරැස් වළළු විහිදුවමින් සතර වට
    පා තබා තබා මතුවන මල් පොකුරු පිට
    බුදු හාමුදුරුවන් පාරේ වඩින විට
    දුවගෙන ගොහින් අල්ලන්නම් සිවුරු පට

    ඉඳගෙන උන්වහන්සෙගෙ සෙවණැල්ල යට
    දෙපයේ හැඩය ඇඳගන්නම් වැල්ල පිට
    මැකුවොත් අනිත් ළමයින් එය සෙල්ලමට
    එහි වැලි අරන් ලා ගන්නෙමි මල්ලකට

    අක්කා වවන බංගලි රෝස ගහ මුල
    ඒ වැලි දමා පළමුව පිපෙන ලොකු මල
    බුදු හාමුදුරුවන් වැඩ සිටිය තැන කළ
    සලකුණ මත තබන්නෙමි නොකර කලබල

    සිවුරේ පාට දිග රැලි වැල් එකතු කොට
    ලස්සන සරුංගලයක් බැඳ අමුතුවට
    බුදු හාමුදුරුවන් අහසින් වඩින විට
    දෙපයේ තැවරෙන්න යවනව ගෙදර සිට

    බට දඬු කපා ගෙන කැලයෙන් කිරි නැලියේ
    කැරකෙන වෙසක් පහනක් බැඳ එක සුළියේ
    බුදු හාමුදුරුවන් සැතපෙන ගඳ කිළියේ
    එල්ලමි ගොහින් රෑ තනියම හඳ එළියේ

    නිල් කහ රතු පාට බුදු රැස් වළළු වගේ
    කැරකෙන සුළං පෙති සවි කොට ඉරටු අගේ
    පෙරහැරෙ ගොහින් පොඩි මල්ලිත් සමග මගේ
    ගෙදරට වැඩම කරවනවා ඉවුර දිගේ

    බුදු හාමුදුරුවන් ගෙදරට වැඩියාම
    සෝදමි සිරිපතුල් දෙක දොරකඩදීම
    වැඩ ඉන්නට කියා මගෙ කාමරයේම
    අම්මා ලවා පිලිගන්වමි රස කෑම

    වළඳන විට ලඟින් ඉඳගෙන බෙදවනවා
    පූසා ලඟට ආවොත් ඌ එළවනවා
    මගෙ සුරතින් දැහැත් විඩ පිළිගන්වනවා
    බුදු සිරි පතුල් ඉඹගෙන ඉඹගෙන යනවා

    අම්මා කැමති නම් මල්ලිට නොකියාම
    මම නම් මහණ වෙනවාමයි එවෙලේම
    රාහුල පොඩි සාදු සමගින් හැමදාම
    ගෙදරට පිඬු සිඟා එමි නොවරදවාම

    • මල්ලී, බොහොම ස්තූතියි ඔයයාට.. මේ කවි පන්තියත් හරිම ලස්සනයි නෙ…මං මේක අපේ අම්මට දෙනව.. එතකොට එයාට පුලුවන් නෙ එයාගෙ සෙනසුරාද සංගීත පන්තියෙ පුංචි එවුන්ට මේ කවි පන්තියත් කියල දෙන්ඩ…
      ඔයා ගැන ආඩම්බරයි.. මගෙ ලඟත් පරණ විදුසර පත්තර, තාත්තලගෙ කාලෙ ගුවන්විදුලි සඟරා, ශ්‍රී සඟරා තියෙනව තමයි.. ඒත් හදිස්සියකට දෙයක් හොයාගන්ඩ නං බෑ…. දැන් ඉතිං පදිංචියත් වෙනස් නෙ… අම්ම උන්න උන්න ගමන් ඒව තියෙන තැනුත් වෙනස් කරනව.. ඒත් ඔයාගෙ මතකය විතරක් නෙවෙයි, මේ වගේ හිතුණම ඇදල අරන් බලන්ඩ පුලුවන් වෙන්ඩ ඒව තියන් ඉන්නව කියන එකත් කොච්චර නං වටිනවද??

  5. Buratheno පවසයි:

    ඔය බලහන්කො ඉතිං, හැමදාම ඇවිත් බලලා ගියා අලුත් පෝස්ට් එකක් දාලද කියලා.. ම්හු! දවස් දෙහෙකින් එන්ට බැරි වුනා, ‍මේකි පෝස්ට් එකක් දාලා දවස් දෙහෙකට කලින්.. බොට පොඩ්ඩක් බැරිවුනා මට මතක් කොරන්ට “අලුත් පෝස්ටුවක් දැම්මා අයියෙ” කියලා.. 😦

    // දැන් බූරයිය මෙතෙන්ට ආවොත් මං උන්දැගෙනුත් බැනුම් අහන්ඩ ඉඩ තියෙනව //

    නෑ නෑ, ඕනැන්නෙ නෑ.. මං මක්කටැයි මයෙ කට රිද්දගන්නෙ..

    ——————————————————

    මේ කවි පන්තිය මං කියෙවුවෙ හිච්චි එකා කාලෙ, කෝමල රේඛා කියලා සඟරාවකින්.. ඒක අපේ තාත්තලෑ කාලෙ එකක්, බොහොම ලස්සන කවි පන්ති, ගීත තිබුනු සඟරාවක්, මේ කවි ටික, එතකොට වෙසක් මිහිර, මහ බෝ වන්නම, අකුර‍ට යනවයි කියලා ටිකිරි අයිය බැදි වලමයි, එතකොට පනාමුරේ ඇතා ගැන කවි පන්තියක් එහෙම තිබුනා, ස්වර ප්‍රස්ථාරත් එක්කම.. ඕක ගෙදර කොහේ හරි තාම ඇති, හොයලා බලන්ට ඕන..

    ඕක කියවද්දි මම හිතුවෙ නෑ කවදාහරි ඕක අහන්ට ලැබෙයි කියලා, උඹට පිං ජනුවො! 🙂

    • අඩේ අමතක වුණා නෙ අයියෙ මට උඹට දන්නන්ඩ… සමාව දෙන සේක්වා!! ආයෙ එහෙම වෙන්නෙ නෑ… දාල හැරෙන තැපෑලෙන්ම එවනව..

      ඔය මහ බෝ වන්නම කියන්නෙ හරිම ලස්සන වර්ණනාවක්!!
      ඒ විතරක් නෙවෙයි අයිය අහල තියෙනවද කුසුම් පිපේ අතු පතරේ සතර දිගන්තේ – කෝකිල කූජනය නැගේ මධුර වසන්තේ කියන කවි පෙළ… ඒකත් හරිම ලස්සනයි..
      ඒ විතරක් නෙවෙයි, පහුගිය කාලෙ අපේ අම්ම 2500 වෙනි බුද්ධ ජයන්ති ගීතය නැවත පටිගත කිරීමේ වැඩකට දායක වුණා..
      ඒ වෙලාවෙ වසර ගණනාවකට කලින් අමරදේවයන් ගායනා කරපු මුල්ගීතයේ තනුව වත් හොයාගන්ඩ පටිගත කරපු ගීතය නැතුව ගියා අඩුගානෙ ගුවන් විදුලි පුස්තකාලෙවත්…

      පාථුර හෝසී බුද්ධ ජයන්තී
      ධම්ම සමය උදපාදී
      උට්ඨහත නිසීදත ධාරේථ ධම්මං
      ආරභත නික්ඛමථ චරථ චාරිකං

      කියල පටන් ගන්න ඒ ගීතය පාලි සහ සිංහල මිශ්‍ර භාෂාවකින් ලියවිච්ච එකක්..

      ඔය ගීතයේ වැඩ කටයුතු එක්කල මානවසිංහ පවුල එක්ක ඇති වෙච්ච හිතවත්කම උඩ එතුමගෙ බොහොමයක් පොත් අම්මට ලැබිල තිබුණ. එතුමා හරිම අපූරු චරිතයක් කියල හිතෙන්නෙ තමන්ගෙ ප්‍රතිභාව විහිදල තියෙන විවිධ පැති ගැන කියවනකොට තමයි.

      බූරයියත් කියවල නැති, අහල නැති දෙයක් නෑ නේද??

    • Buratheno පවසයි:

      හපොයි කියවලා අහලා නැති දේ අනන්තයි නෙවැ බං.. මේ චුට්ටක් එහෙං මෙහෙං කියෝපුවා මක්කරන්ටැයි.!? 🙂

      …………………………………………………………….
      බොලා ඔය කියන්නෙ ‘වසන්ත ගීතය’ ගැනයි.. ඕකෙ තනුව අමරදේව මාස්ටර්ගෙ..

      කුසුම් පිපේ අතු පතරේ සතර දිගන්තේ
      කෝකිල කූජනය නැගේ මදුර වසන්තේ

      ගලන ඇළේ දොළ පහරේ පෙණ පිඩු පාවේ
      පෑයෙන් පෑයට විසිතුරු බුදු රැස් ගෑවේ

      වන වදුලේ ගස් මුදුනේ පුන්සඳ එළියේ
      ඈත පෙනේ ළපළු රැඟුම් මද සිලි සිලියේ

      නැටෙන ජලේ කමල දලේ දිය බිඳු සෙලවේ
      බුදු ගුණ ගීයක තාලය හෙමිහිට මතුවේ

      මහ කරුණා මෙත් සිසිලයි සුළඟ ගෙනෙන්නේ
      මහමුනි මහමුනි කියලයි කොළ නටවන්නේ

      ලේණ පැටව් කයිතාලම් ජයට ගසද්දී
      කුරුල්ලනේ ගීත ගයවු වෙසක් ලබද්දී

  6. susara පවසයි:

    මම කැමතිම කවිපන්තියක්
    ගායනයත් අපූරුයි
    මානවසිංහයන්ගේ මම කැමතිම ගුණය තමයි මේ වගේ සරල සිංහල කවි ගීත වගේම ජගන් මෝහිනී වගේ බර සාර සංස්‌කෘත වචන යොදලත් කවි ගීත ලියපු එක . ඒ කොහොම ලිව්වත් ඒවා දැක්ක ගමන් තාලෙට ගයන්න හිතෙන තරම් සුගමයි.
    මේ කවි මටත් තවම කට පාඩම්

  7. ravi පවසයි:

    යකෝ උඹ කවද්ද මේක ලිව්වෙ?…පෙබරවාරි 10 නේද?…මට ආවෙ නෑනෙ ඊ මේල් එක…:( 😦

    අද මේ මගෙ අලුත් පෝස්ට් එකට උඹේ ලින්ක් එක දාන්ට හොයනකොටනෙ මේක දැක්කෙ….

  8. Bindi පවසයි:

    ජනු මන් මේ ලිපිය කියෝලා ගොඩක් දවස් . එක පාරක් නෙමේ දෙතුන් පාරක්ම කවි ටික ඇහුවත් එක්ක . මගේ යාලුවටත් පෙන්නලා අපි අතීත මතක හුඟක් කතා කළා මේ ගැන . එහෙව් එකේ වචනයක් නොකියා ගිය එක ගැන හිතට මදි .

    ඇස්වහ කටවහ නැහැ ඔන්න ලස්සන කටහඬ , ඒවගේම මේ කවි පෙළ සදා අමතක නොවෙන පද පෙළක් . පොඩිකාලේ හරිම ආස කල.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )