අනුකම්පාව අනවශ්‍යයි…!!!

ශිෂ්‍යත්වෙ පාස්වෙලා අම්ම උගන්නපු ඉස්කෝලෙට අපි ආවෙ අලුත් යාලුවො ගොඩක් ඉන්න පන්තියකට..

ඔය අතරෙ මාව පන්ති නායිකාව කරල තිබුණ.

ගුරුවරයෙක් ආවෙ නැති කාලච්ඡේදයක පන්තිවල ළමයිංගෙ කෑගැහිල්ල පාලනය කිරීමේ වගකීම තියෙන්නෙ පන්ති නායකයටයි නායිකාවටයි නෙ… ඉතිං මමයි පන්ති නායකය වෙච්ච ශාන්තයි දෙන්න  වරින් වර කෑගහන ළමයින්ව මේච්චල් කරන්ඩ අසාර්ථක උත්සාහයක නිරත වෙමින් හිටිය..

අලුත් ඉස්කෝලෙට ඇවිල්ල සතියයි.. දන්නෙ ළමයින්ගෙ නම් විතරයි.. අනික කොල්ලො විතරක් නෙවෙයි නාහෙට අහන්නෙ නැති කෙල්ලො රොත්තකුත් හිටිය පන්තියෙ…

තතතතතනූජා… කෑගහන්ඩ එපා අනේ…

මං ඉවසං ඉන්ඩම බැරි තැන මං තනුජා ඉන්න තැනට ගිහින්  කට ඇරිය…

මගේ කතාවෙ වෙනසක් දැක්ක තනූජ කට ඇරගෙන බලන් හිටිය මං දිහා…

තතතත…… තත් තත් තත් තාර පැටිය!!!

ඒ ලඟම හිටිය මධුෂානි ඇද කළා…

තත් තත්තත් තාර පැටිය – තාත්ත ගෙනා තාර පැටිය

තනූජ පටං ගත්ත

ළඟ හිටිය ළමයි සේරමල ඒ පාර මහ හයියෙන් සින්දු කියන්ඩ පටං ගත්ත.

පුංචි දේටත් කඳුලු පිරෙන ඇස්වල පිරිච්ච කඳුලු හංගගන්ඩ මං වචනයක්වත් නොකියා එතනින් ඈත් වෙලා ගිහින් මගෙ පුටුවෙ ඉඳගත්ත…

කතා කරන වෙලාවට නිතර ගොත ගැහෙන මට තනූජගෙ ප්‍රතිචාරය මහ ලොකු  අමුත්තක් වුණේ නෑ මට…

අනික  ඕක වෙච්ච පළමුවෙනි වතාව නෙවෙයි..

ඒත් මට තිබුණෙත් හිතක් නෙ.. දුකකට වඩා මගේ හිතේ තිබුණෙ ආත්මානුකම්පාවක්!!

ඒ වැඩේට අනිත් අයත් එකතු වෙච්ච එක ගැන තරහක්

අනෙත් අතට ඒකට එරෙහිව ආයෙමත් කට අරින්ඩ තිබුනෙ බයක්!!

ආයෙමත් ගොත ගැහුනොත්

පුදුමෙ කියන්නෙ මං ගිහින් ඉඳගත්තට පස්සෙ පන්තිය නිශ්ශබ්ද වුණා…

හැමෝම තුෂ්නීම්භූත වෙලා ගිහින්…

මං ඇඬුවොත්… අම්ම ඉස්කෝලෙම ටීච කෙනෙක් හන්ද මං ගිහින් පැමිණිලි කලොත්!!

ඔය වගේ ප්‍රශ්න හිතට ඇවිල්ල වෙන්ඩ ඇති.

මුන් නං මහ ජරා කෙල්ලො

පවු බං ජනනි…

තමුසෙල බලනව දැන්වෙන දේ… ජනනි ගිහින් අම්මට කිව්වොත් තමුසෙලව ඇන් යයි ප්‍රින්සිපල් ලඟට…

ඒ වයසෙදි කෙල්ලො අරහං වගේ හැසිරෙන, උන් ඇඟේ වැදුනත් ඒ වැදිච්ච තැන පිහදාගන්න අපේ පන්තියෙ කොල්ලො ටික මගෙ පැත්ත ගත්තෙ කොහොමද මන්ද??

මං එහෙම අම්මට පැමිණිලි කරන්ඩ යන්නෙ නෑ කියන එක කියන්ඩවත් කට ඇරගන්ඩවත් බැරි තරමට හිත කඩං වැටිල තිබුණෙ..

මගෙ ඇස්වලට කඳුලුවල බර  දරාගන්ඩ බැරිම තැන ඒව ඩෙස් එක උඩට අතෑරිය…

කාගෙන්වත් අනුකම්පාව අපේක්ෂා නොකළ මං එහෙමම ඔලුව තියාගත්ත.

ජනනි මොකද ඔලුව තියාගෙන?? සනීප නැද්ද??

විනාඩි දහයක් විතර පරක්කු වෙලා පන්තියට ආව වර්ණසූරිය සර් මගෙ ලඟට ඇවිල්ල ඇහුව..

ඔලුව රිදෙනව සර්…

නෑ සර්… එයා ඇඬුව… මේ ගෑනු ළමයි එයාට විහිලු කළා….

ඒ මොකටද??

කොල්ලො ටික මුලු කතාවම සර්ට කිව්ව.

මතක තියාගන්ඩ ඔයාල තාම ඇවිල්ල සතියයි… ඒ ටිකට මෙහෙම දේවල් කරන්ඩත් පුරුදු වුණාද??

දැන් මෙතන ඉන්න කවුරු හරි කැමතිද වෙන කවුරු හරි ඔයාගෙ හමේ පාට ගැන ඇද කරනවට??

අපි හැමෝම සර්වසම්පූර්ණව උපදින්නෙ නෑ ළමයි… සමහරු බොහොම ලස්සන හමක් ඇතුව උපදිනව.. කව සමහරු තාර වගේ කලු හමක් ඇතිව උපදිනව..

සමහරුන්ට උපතින්ම කතා කරන්ඩ බැරි වෙනව.. කන් ඇහෙන්නෙ නැති වෙලා උපදිනව.. කකුල් අතපයවල ආබාධ ඇතිව උපදිනව..මෙතන ඉන්න වැඩි දෙනා බෞද්ධ… දහම්පාසලේදි ඉගෙන ගෙන ඇතිනෙ.. එහෙම මිනිස්සුන්ගෙ අඩුපාඩුවලට හිනා වුණාම සිද්ධ වෙන පවු ගැන… නේද??

හැබැයි.. එකක් අමතක කරන්ඩ එපා….. ඔය තමන් සර්ව සම්පූර්ණයි කියල  හිතාගෙන අනුන්ට ඇද කරල හිනාවෙන අය අනිත් පැත්තෙන් තමන්ටම හිනාවෙනව කියල..

ඒ කතාව ඉවරයි.. යමු පාඩමට…

වර්ණසූරිය සර් තමන්ගෙ පාඩම පටන්ගත්ත…

කතාව එතනින් ඉවර වුණා… මං දිගටම ගොත ගැහුව

තනුජයි මධුෂානියි දෙන්න ඊට පස්සෙ සෑහනේඩ උත්සහ කළා මාත් එක්ක හිතවත් වෙන්ඩ… කොච්චර පිලිවෙලට ශක්තිමත්ව ඇලෙව්වත් බිඳිච්ච වීදුරුවක වතුර පුරවන්ඩ හදනව වගේ වැඩක්.

වතුරත් පිරිල, බොන්ඩත් පුලුවන් ඒත් කිසි පිරියක් නෑ… මොකද ඒ වීදුරුවෙ කිසිම පැහැදිලි ගතියක් නෑ….

උන් එක්ක මගෙ අමනාපයක් තිබුණෙත් නෑ… හැබැයි මහ ලොකු හිතවත්කමක් තිබුණෙත් නෑ…

මයුරපාදෙ හිටපු කාලෙ වැඩි හරියක් කොල්ලො යාලුවො විදියට ඇසුරු කරන්ඩ ඒ සිද්ධිය හේතු වෙන්ඩත් ඇති…

මම වයසින් වැඩෙද්දි ඒ විහිලුවලට මං පදම් වුණා… එකපාරටම හිනා හඬ ඇහුණම  විනාඩියක් දෙකක් හිතේ මොකක්දෝ හිරවෙනව තේරුණාට

ඔයාල හිනාවුණාට වැඩක් නෑ අනේ…. මං පුංචි කාලෙ ඉඳලම ගොත ගහනව

කියල කියාගන්ඩ බැරි කමක් තිබුණෙ නෑ මට..

දවසිං දවස පදං වුණා…

මං ගොත ගහන්ඩ ගත්තෙ කවද ඉඳලද කියල මට මතකයක් නෑ… මම දන්න කාලෙ ඉඳල මට ගොත ගැහෙනව.

උපතින්ම වමත හුරු මම වමෙන් කෑම කනකොට ඒක බලන් හිටිය ආච්චි අම්ම මට දකුණෙං කන්ඩ පුරුදු කරන්ඩ ගියාලු…

හුරු අත වෙනස් කරන එකෙන්  ළමයි ගොත ගහනව  විතරක් නෙවෙයි වෙනත් සංකූලතාත් ඇති වෙනව කියල සමහරු කියනව.. ඒකෙ විද්‍යාත්මක පසුබිම ගැන නං මං ඒ හැටි දන්නෙ නෑ..

ඒත් මං දන්නව ඒක  විතරක්ම නං නෙවෙයි හේතුව…

ඒක එන්නෙ අපේ අම්මලගෙ පැත්තෙ ඉඳල…

අපේ අම්මගෙ ලොකු මල්ලි… මල්දෙනියෙ කතාවල මං ලියපු ලොකුමාම කතා කරන වචනයක් ගානෙ ගොත ගැහුව.

ඒ විතරක් නෙවෙයි, ලොකු චූටි මාම කියල මං ආදරෙන් කතා කරන අපේ අම්මගේ පුංචි අම්මගෙ පුතා ඉරාජ් මාමත් ගොත ගහනව.

මේ දෙන්නගෙම ගොතේ මට වඩා සෑහෙන්ඩ බරපතලයි…

සමහර වෙලාවට සමහර වචන කියාගන්ඩ බැරිව ඒ දෙන්න දඟලන විදිය ගොත ගැහෙනව කියන එකේ වේදනාව දන්න මට දරාගෙන ඉන්ඩ බෑ….

ඒවෙලාවට මට දැණුනෙ හදවත ගලවල අතට අරගත්ත නං ඒත් මීට වඩා හොඳයි කියලයි.

ඔය ගොතේ ගැන මං කරපු ස්වයං පරීක්ෂණ වලින් මං තේරුම් ගත්ත යම් යම් දේවල් තිබුණ.

ගොඩක් වෙලාවට මට එක පාරටම ස්වර අක්ෂර උච්ඡාරණය කරන්ඩ බෑ…

මං නිරායාසයෙන් කතා නොකර හිතල කතා කළොත් මට  බැරි නෑ ඒ අකුරු එකපාරට කියන්ඩ.. ඒත් වැඩි හරියක් මාව හිරවෙන්නෙ ස්වරවලදි.

සමහර වෙලාවට මට “අම්මෙ” කියන්ඩ බෑ එකපාරටම….

ඉස්සර මං අම්ම ලඟට ගිහින් අයන්න කියාගන්ඩ බැරුව හිර වෙලා ඉන්නකොට අම්මට ඉවෙන් වගේ ඒක දැනෙනව.

ඇයි චූටි පුතා??

ඈ අහනව.

හදිස්සියක් නෑනෙ චූටි පුතා හෙමින් කතා කරන්ඩකො… මං එකදිගටම ගොත ගහනව නං… අම්ම හිත නොරිදෙන්ඩ හෙමින් කියනව…

අම්ම තරම් මගේ  ඒ තත්වය තේරුම් ගත්ත කෙනෙක් නෑ…..!!

අනික මං මගේ පවුලෙ අයත් එක්ක කතා කරද්දි බරපතල විදියට ගොත ගහනව කියන එක.

පෙම්බරය හමු වුණු මුල් කාලෙ මං මගේ ගොතය ගැන එයාට කිව්වාම එයා පුදුම වුණා.. එයාට එහෙම දෙයක් දැනිල වත් තිබුණෙ නෑ මං කියනකලුත්…

ඒත් ටික ටික අපි සමීප වෙලා එක පවුලක් වුණාට පස්සෙ මං කතා කරද්දි ගොත ගහන බව එයාට තේරුණා…

මං හිතන්නෙ මම පිටස්තර අයත් එක්ක කතා කරද්දි තරමක් පරීක්ෂාකාරී වෙන නිසා වෙන්ඩ ඇති..

සමහර විට පවුලෙ අය මගේ ගොතය හොඳින් දන්න නිසා එතනදි මාව අමුතු කෙනෙක් කියල පේන්නෙ නැති බව මගේ විඥානය තේරුම් අරන් ඇති.

මුලදි මුලදි  ගොතය සම්බන්ධ සමහර සිදුවීම් බරපතල විදියට දැණුනත් ඒ එක දේකටවත් මාව මුලුගන්නල තියන්ඩ බැරි වුණා.

ඒ කාලෙ මගේ ගොතය ගැන ඉව වැටිල, මගෙ මූණ දිහා හා කට ඇරගෙන බලන් ඉන්නව දකිනකොටම මගේ ඹලුවෙ පිටිපස්සෙන් හිරි වැටෙන්ඩ ගන්නව…

ඒකෙ පීඩනය  පිට වෙන්නෙ ඇස් වලින්… උගුර වේදනා දෙන්ඩ ගන්නව කඳුලු නවත්තගන්ඩ හදද්දි.

එහෙම හිටපු  මාව පදං වෙන්ඩ ගත්තෙ කොහොමද කියල අදටත් මට අදහසක් නෑ.

අර ගොත ගහන ජනනි වෙලා මුලු ගැන්නිලා ඉන්නෙ නැතුව ඉස්කෝලෙ සංගීත වැඩවලට  වගේම වෙනත් බාහිර වැඩ වලට මම පන්තියෙ වැඩවලටත් වඩා තැන දෙන්ඩ ගත්තම හැමෝම මාව අඳුනගන්ඩ ගත්තෙ අර සින්දු කියන ජනනි කියලයි…

ජිවිතේ මං ලබපු ලොකුම වාසනාව තමයි ගායන හැකියාව… කතාකරද්දි වචනයක් පාසා ගොත ගැහුවත් මං ගායනා කරද්දි කිසිම හෝඩුවාවක් තිබුණෙ නෑ මට ගොත ගැහෙනව කියල… පුදුමයි නේද…?

ඒ ගැන මං වෙන දෙයක් කියන්නෙ නෑ…. භාතිය ජයකොඩිව මතක් කරගන්ඩලකො.

කැම්පස් ආවම කලාතුරකින් ඇරෙන්ඩ ගොතේ කරලියට ආවෙ නෑ…

ඉතිං කාටවත් විශේෂ හැඟීමක් තිබුණෙ නෑ ඒක ගැන…

අනික ඒ වෙද්දි පුදුම විදියට මගේ ගොතේ සෑහෙන්ඩ අඩු වෙලා තිබුන… මට දැනෙන විදියට ඒකට බලපාපු හේතු කීපයක් තිබුණ…

පිලිගැනීම කියන එක ලැබෙද්දි අර අඩුපාඩුව ගැන තියෙන හීන මානසිකත්වය තුනී වෙලා යාම තමයි ප්‍රධානම දේ..

ඒ වෙනුවට ඉස්සරහට ඇවිල්ල ආත්ම විශ්වාසයෙන් කතා කරන්ඩ, ඔය පොඩ්ඩක් ගොත ගැහුණම මක් වෙනවද කියල හිතන්ඩ පුලුවන් තරම් ශක්තිමත් හිතක් ඇති වෙච්ච හන්ද පස්සෙ පස්සෙ මගෙන් කවුරු හරි ඔයා ගොත ගහනවද?? කියල ඇහුවාම ඔවු අනේ… පුංචි කාලෙ ඉඳලම කියල බොහොම සැහැල්ලුවෙන් කියන්ඩ පුලුවන් වුණා.

අනික තමයි මම  පුංචි කාලෙම අම්මගෙන් ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්ඩ පටන් ගැනීම.

ඒක කෙනෙක්ට හිතාගන්ඩවත් බැරි දෙයක්වෙන්ඩ ඉඩ තියෙනව.. ඒත් මට දැනෙන විදියට  ඒක චිකිත්සාවක්.

සංගීතය සම්බන්ධ බාහිර විභාගවලට අම්ම බලෙන්ම ඉල්ලුම් පත් දැම්ම නිසා ඒවගේ ප්‍රායෝගික පරීක්ෂණවලට අකමැත්තෙන් වුණත් සූදානම් වෙන්ඩ වුණා…

ඉතින් සමහර දවස්වලට මම පැය ගණන් එක දිගට අභ්‍යාස කළා. ඒ අභ්‍යාසය ඉස්සර විනාඩි පහක් එක තැන ඉන්ඩ බැරි කහඹිලියා ගාය තිබුණු මාව පැය ගණන් එක තැන එක ඉරියව්වෙන් තියන්ඩ තරම් බලපෑමක් කළා.

බොහෝ දෙනාට නොදැනුනාට නොහිතුණාට සංගීතය කියන්නෙ ඖෂධයක් ඒ වගේම භාවනාවක්.. හරි විදියට යොදා ගත්තොත්.

සංගීතය හදාරපු එක  සහ අර අභභාසය මගේ ගොතයට කථන චිකිත්සාවක් වෙන්ඩ ඇති… නිරායාසයෙන්ම ගොතය තුනී වෙලා යන්ඩ ඇත්තෙ එහෙමයි කියල මට  හිතෙන්නෙ නිකමට නෙවෙයි.

ඒක මට  මගේ කලබල, එහෙ මෙහෙ දුවන හිත එකතැන් කරගන්ඩ උදව් වුණා වගේම ජීවිතේ අසීරු තැන්වලදි සමබරව, නොවැටී ඉන්ඩ අවශ්‍ය කරන මානසික ඒකාග්‍රතාව ඇති කරගන්ඩත් උදව් වුණා…

හැබැයි එහෙමයි කියල නෑ අදටත් මට කතා කරද්දි ගොත ගැහෙනව… ඉතිං මොකෝ!!!

හෙලෝ ජනුවො…

ආ අයියෙ… කොහොමද ඉතිං??

මං මේ කතා කලේ බං අපි යනව කියන්ඩ… දැං මේ එයාපෝට් එකේ ඉන්නෙ..

අඩේ මෙච්චර ඉක්මනට යනවද??

ඔවු බං.. නිවාඩුව  ඉවරයිනෙ… මේ ඒක නෙවෙයි.. මං මේ අහන්ඩමයි කියල හිටියෙ… එදා ආව වෙලාවෙත් අහන්ඩ බැරි වුණානෙ…

මොකද්ද බං

අර බිංගො කෝ??

ආ… ඌව යජිත්ගෙ අම්මට ගෙනිහින් දුන්නනෙ… ආං එහෙ ඉන්නව දැන් මහ රැජන වගේ.

ආ ඒක හරි… එතකොට… අර උඹේ ගොතේට මොකද උණේ??

ඈ… උඹ කොහොමද ඒක දන්නෙ??

ඇය බොල උඹ බ්ලොග්  එකේ දවසක් ගෑවිලා යන්ඩ ලියල තිබුණම මං ඒ ගැන ඇහුවෙ උඹෙන්…මට දැණුනෙ නෑනෙ බං එහෙම ගොතයක් තියෙන බවක් උඹට..

ආ… ඒක සෑහෙන්ඩ වෙලාවක් අරන් කියන්ඩ ඕනෙ කතාවක් අයියෙ… මං උඹට ලියන්නං වෙනම ඒක..

ඒ ගැන මං කරපු පරීක්ෂණ පවා තියෙනව හි හි…

පහුගිය නිවාඩුවෙ අපේ ගෙදර ඇවිල්ලත් අහන්ඩ අමතක වෙච්ච ප්‍රශ්න ටික එයාපෝට් එකේදි අහපු හෙන්රි අයියට ඔහොම පොරොන්දු වුණාට මොකද කම්මැලිකම ආවොත් අම්මෙ මුත්තෙ කිව්වත් ලියන්නෙ නැති… මටම හිතුණාම ලියාගෙන ලියාගෙන යන හිතක් තියෙන මං ඕක ලියන එක දවසින් දවස පරක්කු කළා..

ඒ පාර මුන්දැ මට ආයෙ ඊමේල් එකක් දාල මතක් කරල තිබුණ..

උඹ අර ගොතේ ගැන මට තාම ලිව්වෙ නෑ කියල

ඒ පාර මං පොරොන්දු වුණා ඒක බ්ලොග් එකේ ලියන්ඩ…

දවස් දෙක තුනක් කට්ටි පැන පැන හිටියම… පෙම්බරයගෙනුත් දෝස්මුරේ හම්බ වෙනවනෙ ලියන්නෙ නෑ කියල

ඒ අස්සෙ රවී අයියත් ගොත ගැහෙන කෙනෙක් සම්බන්ධව තමන්ගෙ අත්දැකීම් ලියල තිබුණ.

ඇත්තම කිව්වොත් ලියන්ඩ කම්මැලි වෙලා හෙන්රි අය්යට වෙච්ච පොරොන්දුත් කඩ කරල  හිටිය මාව ආරෝපණය කළාට රවී අයියට ස්තූතිවන්ත වෙන්ඩ ඕනෙ. (මම ඒ ලිපියට සබැඳියක් නොදෙන්නට අදහස් කරන්නෙ ඒ මේ සටහන ලියන්ඩ මාව පෙළඹවීමක් වුණාට මෙතන ඒක හුවා දක්වල ඔහුට අපහසුතාවයක් ඇති කිරීම අනවශ්‍ය නිසයි)

කථන ආබාධයකින් පීඩා වින්ද කෙනෙක් විදියට මට හිතුණ මගේ අත්දැකීම් මගේ සටහනේම කියන එක හොඳයි කියල

රවී අයිය ලිව්ව දේ කියවල ඉවර වුණාම ඇත්තටම මට හිනා ගියාට වඩා හිතුණෙ  ඒ ගැන මටත් ලියන්ඩ යමක් තියෙනව නේද කියලයි.

හැබැයි වරදවා වටහා ගන්ඩ එහෙම එපා…

මෙතන ඉඳන් මං ලියන කිසිම දෙයක් ඔහුගේ ලිපිය ඉලක්ක කරගෙන ඔහුට පෞද්ගලිකව කරන චෝදනාවක් විදියට ලියන දේවල් නෙවෙයි. 

 ඒත් ඒක කියවල ලියන හිතක් ඇති වෙච්ච මං මේ ලියන්නෙ මගෙ අත්දැකීම් මත පදනම්ව ආබාධයක් සිනාවට ලක්කිරීම ගැන මට ඇත්තටම හිතෙන දේ විතරයි…

ගොතය විතරක් නෙවෙයි කිසිම ශාරීරික දුබලතාවකට හෝ මානසික දුබලතාවකට හිනා වෙනවට මං ඉස්සර ඉඳල ම කිසිසේත්ම කැමති නෑ…

කෙනෙක්ව ඔවුන්ගෙ ශාරීරික අඩුපාඩු නිසා නිගා කරනව කියන එක තරං මට තරහ යන තවත් දෙයක් නෑ…

ඒ නිසා ඒ මිනිස්සුන්ව අණුකරණය කරල හිනා වෙන එක, ඒ ගැන විශේෂයෙන් හුවා දක්වන එක කිසිසේත්ම මං අනුමත කරන්නෙත් නෑ…

ඒ මෙන්න මේ හන්දයි.

සමහර විට මං දැන් මට ඒ වගේ දේකට මුහුණ දෙන්ඩ වෙද්දි ඒක බොහොම සැහැල්ලුවෙන් අරන් ඉන්නව වෙන්ඩ පුලුවන්.. ඒත් හැමෝම එහෙම නෑ..

එහෙමයි කියල තව කෙනෙක්ට ඒ ගැන හිනා වෙන්ඩ හෝ ඇද කරන්ඩ අයිතියක් නෑ… අන්න ඒකට මං තරයේම විරුද්ධයි…

මට ඒක ඒ තරම් දැනෙන්නෙ මං ඒකෙන් ඇති වෙන වේදනාව හොඳින්ම අඳුනන නිසා..

දැන් අර කම්මලේ බල්ලට හෙණ වැදුනත් ගානක් නෑ වගේ වුණාට හය හතර තේරෙන කාලෙ ඉඳල ඒකෙ වේදනාව ඇති තරම් විඳල තියෙන නිසා

තව මනුස්සයෙක්ව හඳුන්වන්ඩ කොරා, පොට්ටය, ගොතයා, කියල කියල කවද හරි නොහිත හරි පාවිච්චි කරල තියෙන කෙනෙක් ඒ වෙලාවෙ නිකමට හරි හිතල ඇතිද තමන්ට නොපෙනෙන තමන්ගෙ තියෙන්ඩ පුලුවන් අඩු පාඩු ගැන??

සමහර විට ඒක හදවතේ සිදුරක් වෙන්ඩ පුලුවන්.. සමහර විට වකුගඩුවක් ක්‍රියා විරහිත වෙලා තියෙන්ඩ පුලුවන් ඒ  වෙලාව වෙද්දිත්..

ඒත් පිටට කැපිල නොපෙනෙන ඒ අඩුපාඩුවට ඔබට කවුරුත් හිනා වෙන්නෙ නෑ..

ඒත් මට නං මගේ ගොතයෙයි ඒකෙයි වෙනසක් නෑ…

මිනිස්සුංව බලෙං හිනස්සන්ඩ ගොතය යොදාගත්ත නාට්‍ය රැල්ල, වෙළෙඳ දැන්වීම් රැල්ල ගැන මං කතා නොකර ඉන්නං… ඒ ගැන වචන නාස්ති කරන එක අපරාදයක් හන්ද…

මෙතනදි රවී අයිය ලියපු ලියවිල්ල ගැන ආයෙමත් ලියනව නං ඒක කියෙව්වාම මට පෞද්ගලිකව කිසිම දුකක් දැණුනෙ නෑ… කොටිංම ඒ වෙලාවෙ මතක් වුනෙත් නෑ මට ගොත ගැහෙනව නේද කියල එකපාරටම…

අඩේ මං මේ ගැන ලියන්ඩ හිතුව නේද.. ඇයි මං අද මේ ගැන ලියන්නනෙ නැත්තෙ කියල හිතුන විතරයි…

ඒත් ඊලඟ මොහොතෙ මට හිතුණ ඒක රවී අයියට සුන්දර මතකයක්වෙන්ඩ පුලුවන්, හාස්‍යය ගෙන දෙන සිදුවීමක් වෙන්ඩත් පුලුවන්, ඒත් මේක කියෙව්වාම මං වගේ හිත හයිය නැති, මට වඩා  ගොත ගැහෙන කෙනෙක්ට ඒක වේදනාවක් වෙන්ඩ පුලුවන් කියන එක…

ඒ අර ඒකෙ වේදනාව විඳල තියෙන මං  ඒ හා සමාන අත්දැකීම් ඇති නමුත් මට තරම් හයියක් නැති අනිත් අය වෙනුවෙන් හිතපුවාම හට හිතෙන දේ…

ඒ නිසා මං කථන ආබාධයක් තියෙන කෙනෙක් විදියට මගේ ඇසින් ඒක දිහා බලනකොට මට පේනව එතන අපි හැමෝගෙම අවධානයට ලක් විය යුතු යමක්…

අන්න ඒ නිසා තමයි මේ ලියන්නෙ.

පොදුවේ මේක කියවන ඔබ සහ ලියන මා අමතක නොකළ යුතු දෙයක් තියෙනව.

අපි තව කෙනෙක්ට හිනාවෙන්නෙ අපි සර්ව සම්පූර්ණ වෙලා නෙවෙයි.

ඔබ  හිනාවෙද්දි නොදන්නා, ඔබට නොපෙනෙන, සමහර විට ඔබ හිනාවෙන පුද්ගලයාට පෙනෙන නමුත් ඔහු ඒ ගැන වචනයක්වත් නොකියන අඩුපාඩු ඕනැ තරම් ඔබ තුළ තියෙන්ඩ පුලුවන්…

අනික ඒ අඩුපාඩු මං වගේ කම්මලේ බල්ලො කී පදෙනෙක්ට දැන් සාමාන්‍ය දේවල් බවට පත්වෙලා තිබුණට.. ඒව නිසා මුලු ගැන්නිලා ඉන්න, කොන් වෙලා ඉන්න කෙනෙක්ට ඒක දරාගන්ඩ බැරි, සමහර විට දිවි හානි කරගන්න තරමට හිත රිදෙන සිදුවීමක් වෙන්ඩ පුලුවන්.

ඔවුන්ට ඔබේ අනුකම්පාව අනවශ්‍යයි… අවශ්‍ය එකම දේ ඔවුන් ඔබ වගේ ම සාමාන්‍ය, හිතක් පපුවක් තියෙන මිනිස්සු කියල අවබෝධ කරගැනීම විතරයි..

ඔවුන්ගේ අඩුපාඩු හුවාදක්වල, අනුකරණය කරල, ඇද කරල කතා කරන එක වෙනුවට ඔවුන් ඉල්ලන්නෙ ඔවුන්ව සාමාන්‍ය මිනිස්සු විදියට සලකන එකයි.

ඒකයි මනුශ්‍යත්වය.

මං හිතනව මං මේ කියන දේ තේරුම් ගන්ඩ මේ සටහන කියවන්ඩ එන බහුතරයට පුලුවන් වෙයි කියල…

අන්න ඒ නිසා මං ඔයාලට මෙහෙම කියනව.

ඊලඟ පාර කෙනෙක් ගෙ අඩපාඩුවකට හිනාවෙන්ඩ, ඇද කරන්ඩ, අඩුම ගානෙ විහිලුවක් කරන්ඩ හිතෙනකොට ඒ ගැන දෙපාරක් හිතන්ඩ…‍

මේ වැල්වටාරං සේරම ලිව්වෙ අන්න  ඒ ටික තේරුං කරන්ඩයි.

ලියනව නං ලියන්ඩ ඕනැ හැටියෙ දේවල් තියෙනව වුණත් මීට වඩා ඒ ගැන ලියන්ඩ බලාපොරොත්තුවක් නෑ..

මේ වෙලාවේ මට මතක නැති වුණත්, ගෙදර ගිහින් කියවල නැවත ඇවිල්ල මෙතන සටහන් කරන්ඩ යමක් ඇටමැස්සා පොතේ තියෙනව.

ඒක ලියන්ඩ ඉඩ තියල මම ඔබෙන් සමුගන්නව

එවිට මම

ජීවත් වුණත්

මිය ගියත්

වාසනාවන්ත මැස්සෙක්මි.

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

21 Responses to අනුකම්පාව අනවශ්‍යයි…!!!

  1. v (@gaishara) පවසයි:

    “අපි හැමෝම සර්වසම්පූර්ණව උපදින්නෙ නෑ ළමයි… සමහරු බොහොම ලස්සන හමක් ඇතුව උපදිනව.. කව සමහරු තාර වගේ කලු හමක් ඇතිව උපදිනව..

    සමහරුන්ට උපතින්ම කතා කරන්ඩ බැරි වෙනව.. කන් ඇහෙන්නෙ නැති වෙලා උපදිනව.. කකුල් අතපයවල ආබාධ ඇතිව උපදිනව.”

    සහතික ඇත්ත.මට ඔබ ගැන සෑහෙන සතුටුයි.

  2. Anithkona පවසයි:

    ඇත්තටම ඔබ එයට සාර්ථකව මුහුණ දීම ගැන මගේ සතුට ! මගෙ යාළුවෙක් හිටියා ගොත ගැහෙන. පොඩි කාලේ එයාට සිදු වෙච්ච භයානක මානසික තත්වයක් නිසා. ඒත් කවදාවත් අපි විහිළුනම් කලේ නෑ. එයාට සමහර විට අපි කතාකරන්න ගැම්ම අරගෙන දුන්නා. ගොතේ මග ඇරුනා ටිකක් කල් අපි එක්ක කතා කරද්දී. මගෙත් ඔහොම ප්‍රශ්ණයක් තිබුනා. උපතින්ම මගේ දිව යටි තල්ලට පටලයකින් ඇලවිලා වගේ. (ankyloglossia මේක දුලබ ජානමය ලක්ෂණයක්. අම්මා බයේ හිටියා කතා කරන්න බැරි වෙයි කියලා. ගොඩක් සංගීතය , කතික තරඟ වගේ දේ වලට යොමු කළා නමුත් සේරටම වඩා හොඳට මම කතා කෙරුවා. මට මේක දැනුනේ සුවිෂේෂී ලක්ෂණයක් හැටියට.. අනික් අයට වඩා මම වෙනස් කියලා. පාසැලේ ළමුන් දිව පෙන්නුවම බයත් වුනා. ඊයා කියපු අයත් හිටියා. මම ඒලියන් කෙනෙක් කියලත් කිව්වා. ඒත් මම නම් බය උනෙත් නෑ ගණං ගත්තෙත් නෑ. කථික විවාද ගායනය මේ සේරම කළා ඉස්කෝලෙදිත් , විශ්ව විද්‍යාලෙදිත්….

  3. සිතුවම් පවසයි:

    මාත් අහන්න හැදුවේ එතකොට කොහොමද ලස්සනට සින්දු කියන්නෙ කියලා.උත්තරෙත් දීලම තියෙන්න..

  4. henryblogwalker පවසයි:

    ඔය තියෙන්නෙ. ඇත්තෙන්ම මට එහෙම එකක් දැනුනෙවත් නෑ. පස්සෙ මතක් වුනා යකෝ මේකි එහෙම කතාවක් කිව්වා නේද කියලා.

    සමහරුන්ට මම හිතන්නෙ nervous වුනාම මේ තත්වෙ උග්‍ර වෙනවා.

    නමුත් ඒක ජය අරන් තියෙන හැටි නම් අපූරුයි. සින්දු කියන කොට එහෙම එකක් ඇත්තෙම නෑ කිව්වම පුදුමයි නේ? මම හිතන්නෙ ඒක චිකිත්සාවක් වෙන්න ඇති අර කිව්වා වගේ. මට මතකයි භාතිය දවසක් ටීවී එකේ ඕක කියනවා.

    මම පොඩි කාලෙ මගෙ හම තද වර්ණ වීම නිසා හුඟාක් හිත් පීඩාවට පත් වුනා. පහු කාලෙදි නම් උඹ කලුයි කිව්වට ගානවත් නැත්තෙ ඒකත් සුදු කහ රෝස දුඹුරු වගෙ තවත් පිළිගත් ශරීර වර්ණයක් බව තේරුම් ගත්ත නිසා. දැන් ඒකෙන් ඉස්සර වගේ රිදෙන්නෙ නෑ.

    මගෙ ලඟම නෑයෙක්ගෙ එක ඇහැක් පේන්නෙ නෑ. මේකා කෙල්ලෙක් එක්ක යාලු වුනාම කෙල්ලගෙ අම්මා කිව්වෙ මගෙ කෙල්ල නම් පොට්ටයෙකුට දෙන්නෙ නෑ කියලා. පස්සෙ උන් දෙන්නා විවාහ වුනා හිතුවක්කාරෙට. සාක්කියට අත්සන් කරපු එකෙක් මම. අද ඒ “පොට්ටයා” කියලා අහගත්ත එකා ඉන්නෙ එක්සත් ජනපදයෙ පවුලම එක්ක.

    මේ වියමන නම් හරිම සංවේදී එකක් බව නොකියාම බෑ. උඹට අනුකම්පා නොකලට මම දැක්කා මේක කියවපු කෙනෙක්ගෙ ඇස් වල කඳුලු නලියනවා.

  5. Ravi පවසයි:

    මුලින්ම කියන්න ඕන සමාවෙන්න කියල මම කියන්නෙ නෑ…එහෙම ඕන නෑ…එහෙම සමාව ඉල්ලීමක් අවශ්‍ය නොවෙන තරමට උඹ මාවත් මම උඹවත් තේරුම් අරගෙන ඉන්නෙ. ඒක උඹත් දන්නව මමත් දන්නව. මම ඒ පෝස්ට් එක ලිව්ව එකෙන් මම බලාපොරොත්තු උනදේ ජනූ උඹත්, උඹ මේ පෝස්ට් එක ලියපු එකෙන් උඹ බලාපොරොත්තු උනදේ මමත් හොඳාකාරවම දන්නව.ඒ නිසා ඒ කතාව එතනින් ඉවරයි.

    ඇත්තම කිව්වොත් මම ඔය පෝස්ට් එක ලියල දවස් දෙක තුනක් වෙනව. දාම්දෝ ..නොදාම්දෝ කියල එහෙට මෙහෙට වෙවී ඉඳල තමයි අද ඔය දැම්මෙ….

    උඹේ කතාව සහතිකම ඇත්ත. කම්මලේ බල්ලො වගෙම සංවේදී වෙණ තත් වගෙ හිත් තියෙන අයත් මේ ලෝකෙ ඉන්නව…අපි ඒක මොහොතකටවත් අමතක කරන්න නරකයි…බල්ලොන්ට වඩා වැඩිපුර ඉන්නෙ වෙණ තත්..ඒක තමයි ඇත්ත…අපි ලියන කියන දේවල් අර වෙණ තත් ගැනත් හිතලයි ලියන්ට ඕන.

    ඔය පෝස්ට් එකේ අර මුල General Manager ගෙ කතාව ඇත්ත. එහෙම උනා ඇත්තටම..ඒ ඇර ජයනාත් වගෙ මගෙ යාළුවෙකුත් හිටිය. ඌට තිබ්බෙ බොහොම පොඩි ගොතයක්. ඒත් සමහර වචන වලට විතරයි. අපි කිසිම දවසක ඌට ඒ ගැන කියල විහිලු කලේ නෑ. ඒ ඇර ඔය අනික් ටෙලිෆෝන් කතා , ලියුම් කතා, එතකොට වෙඩිං කතා ඔක්කොම මගෙ පරිකල්පන…සමහර විට ඇත්තටම ඔහොම දේවල් උනා නම් මම මේ වගෙ පෝස්ට් එකක් ලියන එකක් නෑ අනිවාර්යයෙන්ම.

    ඒ මොනව උනත් මගෙ පරිකල්පනයෙන් හරි මම ලිව්වෙ කෙනෙකුගෙ ශාරීරික ආබාධයක් ගැන. ඒක මගෙ වරද. ඒ ගැන ආයෙ කතා දෙකක් නෑ. ඒත් අර මම මුලින්ම කියල පටන්ගත්ත වගෙ මම ගැන උඹ හොඳාකාරවම දන්න නිසා මම උඹෙන් සමාව ඉල්ලන්නෙ නම් නෑ..:) 🙂

    අනුකම්පාව අනවශ්‍යයයි කියලනෙ උඹ කිව්වෙ…හරි මම මෙහෙම කියන්නම් ..:)

    සමාව අනවශ්‍යයයි..අවශ්‍ය එකම දේ මෙය ලිවීමෙහිදී මගේ අපේක්ෂාවන් තේරුම් ගැනීම පමණයි…එපමණයි…… 🙂 🙂

  6. praveena පවසයි:

    මට මේක කියෙව්වාම ‘Taare Zameen Par’ කියන ෆිල්ම් එක මතක් උනා. පුංචි ලමයින්ට පුලුවන් ගොඩක් නපුරු වෙන්ට. මේක එයාලා දැනගෙනම කරනවා කියලා හිතන්ට බෑ.

    මට හිතෙන්නේ ජනූ අර බ්‍රේක් නැතුව ලියනවා වගේ කතා කරනවා ඇති. කොච්චර දේවල් එකපාර කියනවද කීවොත්, එතකොට තමා ඔහොම වෙනවා ඇත්තේ කියලයි මට හිතෙන්නේ… 🙂

    කිසිම අනුකම්පාවක් නෑ ආඩම්බරයක් මිස…. 😀

  7. තිසර පවසයි:

    මමත් මුලින්ම කියන්නම් රවී කියලා තියන දෙය… //අවශ්‍ය එකම දේ මෙය ලිවීමෙහිදී මගේ අපේක්ෂාවන් තේරුම් ගැනීම පමණයි//

    දැන් අපි දන්න කතාවක් අරගෙන බලමු… සිදුහත් කුමරු ගිහිගෙය හැර යන එකෙන් වලක්වන්න, ඔහුට ලෝකයේ දුක දැකීම වලක්වන්න විවිධ උපක්‍රම යොදලා තිබ්බ කියලා අපි කියවලා තියනවනේ… නමුත් වැඩක් උනේ නෑ…. ‘දුක’ පළමු වරට දැකීමෙන්ම ගිහිගෙය කළකිරුනා… (එසේ නොවුනා නම් අද අපට බුදු කෙනෙක් නොමැති එක වෙනම කතාවක්).

    මම කියන්න හදන්නේ, අපිට සමාජය වෙනස් කරන්න පුළුවන් සීමාවක් තියනවා… ලෝකයේ හැම නරකක්ම නැතිකරන්න හරි පාලනය කරන්න හරි අපිට බැහැ… අපි අමාරුවෙන් අර කිසිම නරකකට අනාවරණය වෙන්න ඉඩ නොදී රැකගෙන ඉන්න දෙයක්, කවදා හරි අර සැබෑ සමාජයට ඉදිරියේ තියන්න සිද්ධ උනහම මොකද වෙන්නේ…

    ජනූගෙ කතාව කියවන කොට මට හිතෙන්නේ… අර මුලින්ම පන්තියේ සිදුවීමෙන්, ඊට පස්සෙ අත්දැකීම් වලින් ජනූ කොච්චර පන්නරයක් ලැබුවද කියන එකයි…. හිතන්න ජනූගෙ අම්මා, අනෙකුත් ඉස්කෝල ගුරුවරු එකතුවෙලා සම්පූර්ණයෙන් පාලනය කරපු තත්වයක් උඩ ජනූට කිසිම වෙනසක් කලේ නැහැ කියලා… කවදා හරි ඉස්කෝලෙන් පිටවුනු දවසක, ගොතයට හිනාවෙන එකම එක මිනිහෙක්ට මුහුණදෙන්න ජනූට ආත්ම ශක්තියක් තියෙයිද?

    මට හිතෙන්නේ මෙතැනදි වැදගත්ම කාරණේ තමන්ගේ අඩුපාඩුව තේරුම් ගත්ත, ඒ අඩුව ජයගන්න උදව් කරන පිරිසක් තමන් වටේ සිටීම. අනිවාර්යයෙන් මේ වගේ අවස්ථාවක සමාජයේ ප්‍රතිචාර නිසා මිනිස්සු මානසිකව වැටෙනවා… ඒ වෙලාවට හිත හදන්න, තමන්ගේ ආබාධය වෙන වෙන ආකාර වලින් ජයගන්න, මනස ශක්තිමත් කරන දෙමාපියන්, සොයුරු සොයුරියන්, නෑදෑ හිත මිතුරන් පිරිසක් සිටීම තමයි අත්‍යාවශ්‍ය.

    නරක කියන එක ලෝකයෙන් පුළුවන් තරම් නැති කරන්න හැකි නම් හොඳයි වගේම, නරක නැත්නම් හොඳ කියලා දෙයකුත් නැති බව අපි තේරුම්ගත යුතුයි නේද? අපිට යම් අඩුවක් තියනවා නම්, අපි යම් අයුරකින් මේ ‘සාමාන්‍ය මිනිසා’ට වඩා වෙනස් නම්, අපිට සමාජයේ අභියෝග බොහොමයි. නමුත්, තමන් අනිත් අයට වඩා වෙනස්, තමන්ට යම් අඩුවක් තියනවා කියලා තේරුම් ගන්න කෙනා තමයි මේ අභියෝග ජය ගන්න උත්සහ දරන්නේ. ඒ සඳහා දැඩි ආත්ම ශක්තියක් අවශ්‍යයි. ඒ දැඩි ආත්ම ශක්තිය අපිට ලැබෙන්න ඔය විහිලු ටිකක් හරි දායක වෙලා තියනවා නේද?

    මම පොඩි කාලෙන් ඉඳලම ශරීර ප්‍රමාණයෙන් ලොකු කෙනෙක්… මට ඉස්කෝලේ පට බැඳුන නම් ඔක්කොම මගේ ශරීර ප්‍රමාණයට සම්බන්ධයි… ‘බතලයා’ සිට ‘තඩියා’ දක්වා විවිධ නම් රාශියක් මට තිබ්බා… ඔය නම් වලින් කතා කරනකොට දුකක් කේන්තියක් දැනුනු කාලයක් තිබ්බා. කියන එවුන්ට ගහන්න පස්සෙන් දුවලා තවත් විහිලුවට ලක් වෙච්ච කාලයක් තිබ්බා. ලොකුම දේ තමයි ඔය නම් කිව්වා කියලා කිසිම කෙනෙක් මාව කොන් කලේ නැහැ, මම හිතලා කොන් වුනෙත් නැහැ… ක්‍රිකට් ගහද්දි කණ්ඩායම් බෙදනකොට මාව කණ්ඩායමකට තේරෙන්නෙ ඇන්තිමටම වගේ, ඒත් රගර් ගහනකොට මම තමයි මුලින්ම තේරෙන්නේ… මගේ ඇඟේ ප්‍රමාණය ගැන විහිලුවලට මම කොච්චර පදං උනාද කියනවා නම්… දවසක් මාව ‘උස්සලා පොලොවේ ගහනවා’ කියලා කියපු අයියා කෙනෙකුට… මම ම කිව්ව ‘අයියේ පොලොවෙ ගැහිල්ල කෙසේ වෙතත් උස්සන්න නම් අමාරු වෙයි’ කියලා. අදටත් මගේ යාලුවෝ වැඩිහරියක් මට කතා කරන්නෙ තඩියා කියලා.

    කෙනෙක්ව කොන් කිරීමයි, එයාගේ දුර්වලතාවයකට හිනාවීමයි දෙකක් කියලා මට හිතෙන්නේ… අන්න එතැනදි අපි සමාජය දැනුවත් කරන්න ඕනේ… මේ ඉන්නෙ අනිත් අය වගේම කෙනෙක් කියන එක… ඔවුන්ව කොන් කිරීමෙන් වලක්වන්න තමයි අපි මහන්සි වෙන්න ඕනේ…

    මම මේ ඔක්කොම කිව්වේ, ජනූට මේ වගේ පෝස්ට් එකක් ලියන්න තරම් ආත්ම ශක්තියක් තියනවා නම්, මේ ටිකත් අනිවාර්යයෙන් දිරවගන්න පුළුවන් බව මම විස්වාස කරන නිසා. අනික ජනූයි මමයි එකම ඉස්කොලෙ ඉගෙනගෙන තියනවා, මම ජනූගෙ අම්මගෙන් සංගීතය ඉගෙනගෙන තියනවා… (අතිගරු හෙන්රි මැතිතුමාගේ ලින්කුවක් ඔස්සේ තමයි මම ජනූගෙ බ්ලොගයට ආවෙ… ඉතිං හෙන්රියාටත් ස්තූතියි හොඳේ)… ඒ බැඳීම උඩත් ජනූ මම කියන දේ තේරුම් ගනියි කියලා මට හිතෙනවා…

    • henryblogwalker පවසයි:

      ස්තුතියි තිසර. උඹ කියලා තියෙන දේ මට කියන්න ඕනෙ වෙච්ච පද ගලපා ගන්න බැරි වුන දෙයක්. අර සමාජයට මුහුණ දීමට පන්නරය ලැබීම. ඒක නම් සහතික ඇත්ත. මමත් කලු එකා කියලා අහගත්ත දේට පදම් වුනේ ඉස්කෝලෙදිමයි.

      දැන් උඹ ආපු එකේ මේකෙ මුල ඉඳන් පෝස්ට් කියවලා බලාපං. මෙහෙම හදවතින් කෙරෙන අව්‍යාජ ලියවිල්ලක් උඹට බ්ලොග් අවකාශෙ හොයාගන්න පුලුවන් තව බොහොම ටිකයි.

      • තිසර පවසයි:

        ඔව් බං.. එහෙම කියවනකොට තමයි.. මට වැඩේ අහු වුනේ…. මම දැන් අර ලේඛනාගාරය ඇතුලේ ඉන්නේ… සෑහෙන කලක් යයි වර්ථමානෙට එන්න…

  8. Bindi පවසයි:

    මොන අනුකම්පාවක්ද ජනුවෝ .ඇත්තමයි ආඩම්බරයි

  9. තිස්ස දොඩන්ගොඩ පවසයි:

    ජනූ ගැන නම් බොහොම ආඩම්බරයි – ‘වෙන්න ඕනත්’ ඒකම තමා
    ඒත් ජනූගේ පන්නරය හැමෝටම තියේවිද? එයාට අම්මගෙන් ගුරුවරුන්ගෙන් ලැබුණු හයිය අනෙක් අයටත් ලැබේවිද? රවී මහත්තයගේ කථාවෙනුත් ජනූගේ කථාවෙනුත් මට උපේක්ෂාව වර්ධනය කරගන්න අවස්ථාවක් ලැබුණා යයි සිතමි
    සැමට ජය!

    [කතිකාවට යහමින් අනුපාන සැපයූ තිසරටයි ඩූඩ්ටයි ස්තූති වෙන්න ඕන – ඩූඩ් බරපතල ලොජික් එකක් ඉස්මතු කලා – මම තාම උත්තර හොයනව – දිගින් දිගට කල්පනා කලොත් හැබෑවටම විහිලුවක් කරගන්න වෙන්නේ තමන්ටම විතරයි – ඒක මට පිළිගන්න කියල මගේ හිත බලකරනව – තිසර කියන අනෙක් කාරණය – දිගින් දිගට විහිලුවක් විදිහට විවෘතව කථා කරල එයත් ‘අනුකම්පාවට’ ලක් නො-විය යුතු, අනෙක් අය වාගෙම සාමාන්‍ය කෙනෙක් විදිහට සලකන එකත් අදාල කෙනාගේ හිත හයිය කරන්න පුලුවන් විදිහක් කියලත් හිතෙනව – තරමක් අවදානමක් තියන වැඩක් වුණත් කිට්ටුවන්තයින්ට කල හැකි!]

  10. Yasiru පවසයි:

    හොද ලිපියක්.තිස්ස මහත්තයා කිව්ව වගේ මටත් ජනූ ගැන ආඩම්බරයි.

  11. Gold fish පවසයි:

    කෙනෙක්ගේ දුරුවලතාවය ලොකු දෙයක් කරගන්නේ ඊට වැඩිය ​ලොකු සැඟවෙච්චි දුර්වලතාවයක් තියෙන කෙනෙක්…

  12. Gaminie Vijith පවසයි:

    මගෙත් තියෙනවා නගේ එක ඇහැක වපරයක්. මට හිතෙනවා ඒක මට අමතර අනන්‍යතාවයක් ලබා දෙනවා කියලා. ඒ වගෙ දේවල් අපි ප්‍රශ්ණයක් කර ගන්නෙ නැත්නම් අවුලක් ඇත්තෙම නෑ.

  13. ඔයාගෙ ලියන විදිය හරිම අපූරුයි. කිසිදාක ප්‍රතිචාරයක් සටහන් කරල නොගියත්, මන් ආසාවෙන් අනිවාර්යෙන් අලුත් සටහනක් එනතුරු මග බලාඉඳල කියවන බ්ලොග් එකක් මේ. දිගටම ලියන්න සුභ පැතුම් මගෙන්.

    මේ පෝස්ටුවට අදාල නූනත්, ගිය පෙබරවාරියෙ (අවුරුද්දක් පරන) ‘හිත ඇත්නම් පත කුඩාද’ සටහනට අදාලව මට උදව්වක් ඕන වෙලා තියනව. අර දෙවෙනි දවසෙ ඔබ ඇන්ද ඔසරිය හැඩකරන්න අරගත්තු පටියෙ මිල මට දැනගන්න පුලුවන්ද?

    බොහොම ස්තූතියි.

    • බොහොම ස්තූතියි.. ඒ පටියේ යාර 10ක් විතර තිබුණා.. ඒක මම අරගත්තෙ නම් රුපියල් එක්දහස් අටසීයක් වගේ ගාණකට… මම යාර 10ක පටි දෙකක් ගත්තා.. පස්සෙ වෙන වැඩකට අරගන්ඩත් එක්කල. පිටකොටුවේ දෙවෙනි හරස් වීදියේ තියෙන කඩවල ටිකක් බලන්ඩ.. මම දැනට සති දෙකකට උඩදිත් දැක්ක.. ගාණ නං ටිකක් වැඩි වෙලා වගේ දැන්. තව ඔයාට උදව් ඕනෙ නං අහන්ඩකෝ

      • ගොඩක් ස්තූතියි. ඔයාගෙ කෑම හදන විදිත් මම ගෙදර පොතක අලවල තියනව. ඔයාගෙ මගුල් ඇඳුම්, සැරසිලිත්අලවල තියනව. මට දවසක ප්‍රයෝජනේට ගන්න. ජනූගෙ කතා (පොඩි කාලෙ) Blog එකත් ලියන්න.

  14. rangi පවසයි:

    ඊයේ රැ The kings speech බලන පුරාවටම මතක් වුනේ ජනූගේ මේ සටහන.

  15. Pravin Indranama පවසයි:

    මේ ගැන නම් මටත් කියන්න කතාවක් තියෙනව. මාත් මේ වගේ දේකින් පොඩි කාලේ හරියට පීඩා වින්ද නිසා. මගේ උඩුතොලේ පිහිටීමේ යම් අසාමාන්‍යතාවක් නිසා ආයාසයෙන් කට වැහුවෙ නැත්තම් මම ඉන්නෙ කට ඇරගෙන. ඔය වෙනුවෙන් මම පොඩි කාලේ ඇති තරම් උසුලු විසුලු නින්දා අපහාස වලට ලක් වෙලා තියෙනවා. ගොඩක් පොඩිකාලේ විතරක් නෙමේ උසස්පෙල කරන කාලෙදි පවා. ප්ලාස්ටික් සැත්කමකින් මේක හදාගන්න හිතුනු වාර ගාණ අනන්තයි.
    ඒත් විශ්වවිද්‍යාලයට ගියාම, එතනින් රැකියාවට ගියාම ‍තේරුණා ඒතැන් වලදී පුද්ගලයාගේ බාහිර ස්වරූපයට වඩා අදහස් වලට, හැකියාවන් වලට තැන ලැබෙනවා කියලා. පාසැල් කාලෙන් පස්සේ කිසිම අවස්ථාවක ඔය ප්‍රශ්නය මතු වෙච්ච බවක් මට මතක නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )