ශිෂ්‍යත්ව පන්තියේ රචනා දවස සහ මගේ අද දවස…!!!

මදින් මද අඳුර ගලා එන්නට පටන්ගෙනය. හැන්දෑකරේ වනයට වැදුණු අප අතු පතර විහිදාගත් මේ මහා වනස්පතීන් අතර අතරමංවූ සෙයක් මට හැඟේ. ටිකෙන් ටික අප වෙලාගන්නා මේ අන්ධකාරය මා හදවතේ ගැස්ම වරින් වර වැඩි කරවයි. අතු පතර හැංගී රෑ වැඩ මුරය ඇරඹූ බකමූණන් හුම් හඬ නගන්නේ මා බියපත් කිරීමට මෙනි.

ඇවිද ආ දුර ගැන මැසිවිලි කියන්නට මෙන් දෙපා වෙවුලුම් දෙයි.

පුතේ…. යමු ඉක්මං කරල… සියදෝරිස් මාමාද මා දිරිගන්වන්නට හිස අතගාමින් කියයි.

ඔවු හින්නි පුතේ මහංසි නොබල යං.. හිඟුරල කන්දට ට විගහිං සේන්දු වුණොතිං අපිට ඔය බෙහෙත් පැළ ටික හොයා ගන්ඩ බැරි වෙන්නෙ නෑ… මේ ටික යන්ඩ හුලු අතු ටික නහත්ති කරල බෑ….

මගේ මන්දගාමීබව දැක අබරං මාමා කියන්නේ හැබෑවකි

අප මේ රෑ මහ වනයේ අතරමං වුවහොත් අප්පච්චී මියයනු ඇත.. එපමණක් නොව අප තිදෙනාටද ජීවත් වීමට වරම් ඇති දැයි නිසැකව කිව නොහැක.

එය සිහිවත්ම මගේ හදවත බියෙන් සලිත වී යයි!!

අවු පූටකේ කුඹුර කෙටූ අප්පච්චී සමග මා දවල්බතට ගෙදර එන අතරමග දියබොන්නට ඇදෙන පොළඟා දැක ඉදිරියෙන් ගිය මා බේරාගන්නට පැත්තකට තල්ලුකර දැමූ හැටි මට මැවී පෙනෙන්නට විය.

විසිවී බිම පතිතවූ මා හැරී බලද්දී  බල්ලෙකු මෙන් අප්පච්චිගේ කකුල පැන පැන විකන පොළඟා සිහිවන විට  මා ගත හිරිගඩු පිපුණි..

පොළඟා වේදනාවෙන් ඇඹරෙමින් බිම වැටී සිටින අප්පච්චිගේ පය අත හැරියේ පසෙක වැටී තිබුණු උදැල්ල අහුලා ගත් මා මියෙම්වා රැකෙම්වායි සිතා පොළඟාට හැකි වෙර යොදා ඉන් තැලූ පසුය.

තාත්තාගේ හිස ඇකයේ තබාගෙන උදව් ඉල්ලා මා කෑගසන හඬ ඇසී සියදෝරිස් මාමා එන විට තාත්තා සිහිසුන්ව අවසානය….

අප තිදෙනා කැලෑ වැදුණේ අප්පච්චී වෙදගෙදරට අරන් ගියපසු ඉක්මණින් සපයාගත යුතු ඖෂධ පැලෑටි කිහිපයක් වෙද මහතා නියම කළ නිසාය.

අප්පච්චිගේ ජීවිතය මේ පැලෑටි මත තීන්දුවන බව සිහිවූ විගස මා සිහි එළවාගෙන අඩිය ඉක්මන් කර සියදෝරිස් මාමලා හා එක්වීමි…

හ්ම!!!!!!!!!!!!!!!!!!!!!!!!

හැල්මෙ ලියන එක පොඩ්ඩකට නවත්තල මං ලොකු හුස්මක් ගත්ත…මේ වෙනකල් ලියාගෙන ලියාගෙන ආවෙ එක හුස්මට!!

අතත් පොඩ්ඩක් රිදීගෙන එන හන්ද මං තීන්ත පෑනෙ විල්ල ගහල පැත්තකින් තියල පොඩි විවේකයක් ගත්ත.

පහේ පන්ති තියෙන ගොඩනැගිල්ලෙ පන්ති වෙංකරල නෑනෙ ලෑලිවලින්!! පන්ති වෙං වෙන්නෙ ඒ පන්ති අතරෙ තියෙන පුංචි ඉඩකිං.. ඉතිං එක දිගට බැලුවාම පේන්නෙ පුටු මේස!!

ඒ අතරෙ තැනින් තැන ගෑනු පිරිමි ළමයි ඉඳගෙන බරටම ලියනව!!

මං කිට්ටුවම නයිජීරියාවෙ මුරූගෙ කොණ්ඩෙ වගේ ම කොණ්ඩයක් තියෙන තරංගනී ඉන්න බව දැක්ක..

මගෙ බැල්ම ඈ දිහාට බව ඉවෙන් වගේ දැනිල ඈ මා දිහා බැලුව…

ඔයා මොකද්ද ලියන්නෙ..?? මං ඇහුව

මං ලියන්නෙ ගසක් කතා කරයි. ඔයා??

ඒ රාත්‍රිය මට කෙදිනකවත් අමතක නොවේ!!!

අම්මෝ!! ඒක අමාරුයි නෙ…

ඔවු!! ඒ වුණාට මං ආසයි!

මං ආයෙමත් පෑන අතට ගන්නව!!

අරන් පොඩ්ඩක් කතාව සැලසුම් කරගන්නව!!

දැන් මේ තුන්දෙනා හිඟුරල කන්ද පීරල අර ඖෂධ පැල ටික හොයනව… හුලු අතු පත්තු කරගෙන…. අප්පච්චිගෙ වාසනාවට පැල ටික හම්බ වෙනව…

සියදෝරිස් මාමයි, ඒබරං ආතයි, මමයි දුවගෙන දුවගෙන වගේ පල්ලං බහින්නෙ වෙද ගෙදරට එන්ඩයි…

වෙදමාම ඒ පැල අඹරල හදන කසාය වඩියක් පොවල, පත්තුවක් දශ්ට කරපු තැනට තියනව

දැන් ඉතිං බය වෙන්ට කාරි නෑ

සේරම අහවර වෙලා උන්දැ එහෙම කිව්වාම තමයි ඔන්න හැමෝගෙම හිතට පොඩි සහනයක් එන්නෙ..

 

කියන්ඩ බැරි වුණානෙ මේ මොකද්ද මේ අග මුල නැති කතාව කියල…මේ මං රචනාවක් ලියනව… හිතෙන් ආපහු පහ වසරෙ ශිෂ්‍යත්ව පන්තියට ගිහින්.

පුංචි කණිෂ්ට විද්‍යාලයක් වෙච්ච අපේ ඉස්කෝලෙ මං හිටියෙ පහ වසරෙ සී පන්තියෙ.. ඒ කියන්නෙ පොඩි මැණිකෙ ටීචගෙ පන්තියෙ..

පොඩි මැණිකෙ ටීච කලුයි. මිටියි, අඳින්නෙ ඔසරිය…

තරහ ගියාම කෙල්ලේ… කොල්ලෝ…. කියල තරවටු හඬින් සැර දාන හන්ද හරි වසයි වගේ හිතුණට හිත යටිං ආදරේ දෝරෙ ගලනව…

පහ වසරෙදි අපි සඳුදටයි, බදාදටයි, සිකුරාදටයි ඉස්කෝලෙට බත් ගෙඩි දෙකක් ගේනව… ඒ දවස් තුනේම අපිට පොඩි මැණිකෙ ටීච අපිට ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙ ශිෂ්‍යත්ව පන්තියක් කරනවනෙ… ඒ හන්ද…

එක හමාරට ඉස්කෝලෙ ඇරුණම බෑග් එකත් අරන් දුවන් ගිහින් ඉස්සරහ පේලියක බෑග් එක තියල ඉතුරු බත් ගෙඩියත් ගිලල අපි පොත් පත් එළියට අරන් ලෑස්ති වෙලත් ඉවරයි..

දෙක වෙද්දි පොඩිමැණිකෙ ටීච එනව… මේ පන්තිය රස සාගරයක්..

ගණංවලට මං ඒ තරං ආස නෑ… සමහර දවසට අපිට එක එක ජාතියෙ ගණං පහළොවක්  ලැබෙනව වෙලාවට හදන්ඩ.. ඒකට පහළවෙන් ලකුණු ලැබෙනව..

ඊට පස්සෙ අත උස්සන වෙලාව..

කෝ බලන්ඩ පහළවෙන් පහළවම ගත්ත අය..

හැමදාම වගේ අත උස්සන අය අතරෙ හිරාන්, ජීවනී, අයෝමි නං හිටියමයි.

දා හතරක්??

අර අත් පහත වැටෙන අතරෙ තව අත් හතරක් පහක් ඉස්සෙනව..

ඔහොම ඔහොම එක එක පහළ යද්දි මං නොයිවසිල්ලෙන් බලං ඉන්නව.. අත උස්සන්ඩ…

මට ගණං පහළවෙන් දහයක් විතර නං හදාගන්ඩ පුලුවං.. ඒත් පහළවෙන් පහළවම නං තිබිල තියෙන්නෙ වතාවක් හරි දෙකක් හරි තමා!!

ලැජ්ජ නැද්ද කෙල්ලෙ.. අම්ම අල්ලපු ඉස්කෝලෙ උගන්නනව නේද??  දුව මේ ඉස්කෝලෙම පොල් ගාන්ඩද කල්පනාව??

මගේ ගණන් ගොඩක් වැරදි දවසට ඈ දොස් කියනව…

දහයෙන් පහළ අය වරද්දපු ගණං  හදන හැටි  පොඩි මැණිකෙ ටීච ආයෙමත් කලුලෑල්ලෙ හදල කියල දෙනව…

අපි ඒ ගණං ආපහු හදල නිවැරදි කිරීම් පෙන්නනව…

තවත් දවසක සිංහල පාඩමක්!!

උක්ත ආඛ්‍යාත නිවැරදිව ගලපන හැටි.. උදාහරණ අපෙන් අහන ගමන්!!

තව දවසක පාඩම කලින් ඉවර වුණොතිං අපිට අහන්ඩ ඇහැකි පොඩි මැණිකෙ ටීචලෑ ගමේ විත්තියක්!!

නිධානයක් ගන්ඩ ගිය මිනිස්සුන්ට වෙච්ච අකරතැබ්බයක්!! බහිරවයා ගැන.. එතකොට එක එක දේව කතා!! රජ කතා!! ගමේ මිනිස්සුන්ගෙ කතා,

කතා සාගරයක්!! විස්මයෙන් අපේ කටවල් ඇරෙන්නෙ අපිටත් නොදැනිමයි!!

බදාද කියන්නෙ හවස ශිෂ්‍යත්ව පන්තියෙ මං ආසම දවස…. ඒ එදා රචනා දවස හන්ද…

එදාට අපිට රචනා මාතෘකා තුනක් ලැබෙනව.. එක එක්කෙනා ටීච කලුලෑල්ලෙ ලියපු ඒවගෙන් තමන්ට කැමති මාතෘකාව තෝරගෙන මුලු ගොඩනැගිල්ල පුරාම තමන් කැමති තැනක ඉඳගන්නව පොතයි පැන්සල් පෙට්ටියයි අරන්..

පැයකට විතර පස්සෙ එකා දෙන්න ආපහු පන්තිය තිබුණ තැනට ඇදෙනව… රචනාව ලියල ඉවර කරල..

ඒ එන එන පිළිවෙලට පොඩි මැණිකෙ ටීච හැමෝගෙම රචනා හොඳට කියවල ලකුණු දෙනව… ඒ දහයෙන්!!

එදාට නං මං ඉන්නෙ හරි සතුටෙන්… කවදත් මට අඩුම ගානෙ දහයෙං හතක්වත් රචනාවට තියෙන හන්ද…

එදාට කරන්නෙ වැඩිපුරම ලකුණු තියෙන රචනා පන්තියෙ හැමෝටම ඇහෙන්ඩ ඒ ඒ අය කියවන එක..

ඒ අතරෙ ලස්සනට ලියවිච්ච තැන් ගැන.. පාවිච්චි කරල තියෙන වචන ගැන, යෙදුම් ගැන විස්තර කරල ඒව අගයන එකතත ඒව පන්තියෙ අනිත් ළමයින්ට කියවන්ඩ කියන එකත් වෙනව…

කලාතුරකින් ඇරෙන්ඩ බදාදට පන්තියෙ කියවන රචනා අතරෙ මගෙ රචනාවත් තිබුණ හන්දයි මට ඒ හැටි සතුටු..

ජනනි ඉතිං හැමදාම තෝරගන්නෙ කතන්දරයක් ලියන්ඩ පුලුවන් මාතෘකාවනෙ…

තරංගනී හැමදාම මගේ රචනාව කියවන්ඩ ඉල්ලගන්නකොට කියනව..

ඇත්ත තමයි!!

අනිත් ළමයි ඔය ගසක් කතා කරයි, නිදහස් වීරයෝ, මා ශිෂ්‍යත්වය සමත් වූදා, වගේ මාතෘකා තෝරගන්නකොට මං තෝරගන්නෙ ඔය මට ඉගිල්ලෙන්න හැකි නම්, මම සමනළයෙක් වෙමි, මා දුටු සිහිනයක් වගේ ඒව..

මට නිදහසේ මගේ හිතේ තියෙන එව්ව ලියාගෙන ලියාගෙන යන්ඩ පුලුවන් මාතෘකා…

අපිට ඒ කාලෙම කියල දීල තිබුන රචනාවක් ලියද්දි සැකිල්ලක් හදාගන්ඩ.. මං ඒක හැමදාම පාවිච්චි කළේ නැති වුණත් ඔය වගේ කතන්දරයක් ලියද්දි නං හිතේ ඇඳගත්ත සැකිල්ලක් තිබුණ… නැත්තං අයාලෙ යනව කියල ඒ කාලෙත් තේරුණා…

දැන් ඔය එදා ලිය ලියා හිටිය රචනාව ලියාගෙ යන අතරමග නවත්තල මං කල්පනා කළා….

එදා දවසෙ රචනා මාතෘකා දකිද්දිම මං තෝරගත්තෙ “ඒ රාත්‍රිය මට කෙදිනකවත් අමතක නොවේ!!!“

කියන එක.

අපරාදෙ කියන්ඩ බෑ මගෙ ඔලුවෙ කතාව ඇඳෙනව සට සට ගාල..  ඔය පොළඟ කාපු කතාව මං අහපු එකක්.. ඇත්තටම පොළඟ කෑවෙ එල්ලාවල ආතව.

එල්ලාවල ආත රෑ රබර් වත්ත මැද්දෙන් එද්දි තමයි බල්ලෙක් වගේ පොළඟ එල්ලිලා තියෙන්නෙ… ඒ වෙලාවෙ එයාව එක්කන් ගියෙ ඉස්පිරිතාලෙට වුණාට මං ඒ කතාව මගේ කතාවට ගැලපෙන්ඩ වෙනස් කරගන්නව..

මං කතාවෙ හැටියට පිරිමි ළමයෙක් වෙනව.. අප්පච්චිත් එක්ක මං වෙලට ගිහින් එන අතරෙ මාව බේරගන්ඩ ගිහින් අප්පච්චිව පොළඟෙක් කනව.. මං පොළඟව මරන්නෙ කොහොමද? එතකොට  මට මතක් වෙනව පොළඟ පැන පැන කනව කියල අර එල්ලාවල ආතගෙ කතාවෙදි… ලඟ  තියෙන අප්පච්චිගෙ උදැල්ලෙන් ඌට පතබාන්ඩ මං හිතන්නෙ  ඒ හන්ද… ඊට පස්සෙ  මගෙ කෑගැහිල්ලට කට්ටිය රැස් වෙලා අප්පච්චිව  හනිකට එක්කරන් යනව වෙදගෙදරට…

වෙදගෙදරින් කියනව බෙහෙත් පැල හොයන් එන්ඩ කැලෙන්.. කැලේට නමක් ඕනෙනෙ… හිඟුරල කන්ද… කොහෙන් මතක්වෙන නං ද මන්ද…

ඒ කාලෙ කියවපු යොවුන් වීර කතාවල මතකයන් තමා!!

හිඟුරල කන්ද මට මැවිල පේන්නෙ අර හනුමන් ගිර කියන ළමා නවකතාවෙ කියවෙන රූමස්සල කන්ද වගේ!!

මං ලියන්ඩ පටං ගන්නෙම ඒ චරිතෙට ආවේශ වෙලා.. හිතෙන් චිත්‍රපටයක් බලන්න වගේ ඒ ඒ ජවනිකා නරඹමින්…

ඒ චරිත ඇඳන් ඉන්න ඇඳුම පවා මගේ හිතේ ඇඳිල ඉවරයි එතකොටත්…

ඉරි සරං කොටයක් ඇඳන් එක උරහිස ගැටගහන පන්නයේ පරණ බැනියමක් ඇඳන් බයෙන් බයෙන් අඩි තිය තියා යන පුංචි හින්නි, තව පුලුං වගේ රැවුලක් තියෙන එක සරමක් ඇඳන් අනිත් සරම වළල්ලක් වගේ කරවටා උරේකින් පන්නල දාගත්තු ඒබරං ආතා. එතකොට සියදෝරිස් මාම… එයා  හැඩි දැඩි, සරම කැහැපොට ගහගත්තු එක්කෙනෙක්.. ම්… එයාගෙ පෙනුම තව හොඳයි අපේ මෙත්තෙ මාම ගෙ වගේ උඩු රැවුලකුත් තිබුණනං….

ඔන්න මං කතාව ලියන හැටි

දැන් ඔය ලියපු තැනට එනකල්  ලියල මං ආයෙමත් කල්පනාවට වැටෙනව…මේ කතාව තවත් තාත්වික කරන්ඩ (ඒ කාලෙ හිතුවෙ ඇත්තම වගේ පේන්ඩ ලියන හැටි) තව එකතු කරන්ඩ ඕනෙ මොනවද කියල. වෙදගෙදරට සර්ප දශ්ටයක් ගැන පණිවිඩේ ගේන මනුස්සයට වෙදමහත්තය හොඳ කම්මුල් පාරක් දෙනවලුනෙ.. මට ඒකත් මතක් වුණා.. ඒත් දැං ප්‍රමාද වැඩියි.. කතාවෙ හැටියට දැං මං අප්පච්චිව වෙදගෙදරට ගෙනල්ල ඉවරයිනෙ.. නැත්තං අප්පච්චිව ගෙදර උස්සං ගිහින් පස්සෙ සියදෝරිස් මාමව යවන්ඩ තිබුණ පණිවිඩේ අරන්… එහෙම වුණානං සියදෝරිස් මාමට දෙවන්ඩ තිබුණ වෙදාට කියල හොඳ කම්මුල් පාරක්!!

මං කතා අස්සෙ තව කතා හදල තනියම හිනා වෙනව…

ඒ අතරට අප්පච්චිව වෙදගෙදර ඉස්තෝප්පුවෙ පං පැදුරක බාවල ඉන්න ජවනිකාවකුත් දාන්ඩ හිතට ආවෙ ඒකාලෙ ගිය වෙදහාමිනේ ටෙලිනාට්‍යය බලපු හන්ද වෙන්ඩ ඕනෙ….

ඒ ලඟ මිටි පුටුවක ඉඳගෙන අප්පච්චි දිහා බලාන නංගිව තුරුල් කරන් ඉකිබිඳ බිඳ චීත්තෙන් හොටු පිහින අම්මව හිතට ආවෙ කොහෙන්ද මන්ද… මටත් හිතෙන දේවල්!!!

මට අදටත් හිතාගන්ඩ බෑ ඒ තරම් දේවල් එකපාරට මං ලිව්වෙ කොහොමද කියල.. සමහර විට ඒ පුංචි කාලෙ ඉඳලම අතට අහුවෙන හැම දේම කියවන එක ජීවිතේ කොටසක් වෙච්ච හන්ද වෙන්ඩ ඇති..

ඒ පොත්වල චරිත හිතේ පැලපදියං වෙලා අවශ්‍ය වෙලාවට අවශ්‍ය වේශයෙන් එළියට එන හැටි!!

ඒ කාලෙ තරම් කියවන්නෙ නැති වුණත් අදත් එදා වගේම මාත් එක්ක රැඳෙන්න තරමට ඒ කාලෙ කියවූ මතකයන් බලගතුයි!!

එතනදි  පහ වසරෙ ශිෂ්‍යත්ව පන්තිය මට සදානුස්මරණීය මතකයක්!!

අද පවා මං යමක් ලියන්ඩ හිතනවා නං මට ඒ පන්නරය ලැබුණෙ පොඩිමැණිකෙ ටීචගෙනුයි, මේ බදාද රචනාවෙනුයි තමයි!!

ඈ අපිට කිව්ව කතා මට අදටත් මතකයි.. ගණන්වලට ලකුණු අඩු වෙනකොට බැණුම් ඇහුව මාව රචනාවෙදි අයගන්ඩ ඈ පසුබට වුණේ නෑ පොඩ්ඩක්වත්!!

ඒ දිරි ගැන්වීම දරුවෙකුගේ පෞරුෂයට කොයිතරම් බලපානවද කියන එක අද අපි මහ ලොකුවට කතා කරන අධ්‍යාපන මනෝවිද්‍යාවක් ගැනඅද වගේ ගැඹුරින් හදාරල නැති පුහුණු ප්‍රාථමික ගුරුතුමියක් අද ගුරුවරුන්ට වඩා හොඳින් දැනගෙන හිටිය..

වරදට සැර වෙන්ඩ, පිටට පාරක් ගහන්ඩ වගේම අවශ්‍ය වෙලාවට ආදරේ දෙන්ඩත්!!

අනික තමා එකිනෙකා සතු ඔවුන්ට අනන්‍ය කුසලතා හඳුනා ගැනීම.. ඒ අනුව දරුවා ඇගයීම…

ඒ අතරේ ඇති හැකි , නැති බැරි භේදයක් නැතිව දරුවන් සියලුදෙනා එකසේ සැලකීම…

සියල්ලටම වඩා මවුවත්කම!!

අම්ම නිකවැරටියෙ සංගීත ප්‍රායෝගික පරීක්ෂණවලට යන කාලෙට ශිෂ්‍යත්ව පන්තිය  ඉවර වෙන වෙලාවටත් එක්ක යන්ඩ එන්ඩ බැරි වෙලා අපි දෙන්න ඉස්කෝලෙ ඉන්නව නං ඈ අපිව ඈගෙ ගෙදරට එක්කන් ගියා..

මං විතරක් නෙවෙයි මල්ලිවත්…

ඈ දවල්ට උයල තිබුණු දේවල් ඉතුරු වෙලා තිබුණ නං කන්ඩ දුන්න…

කම්මැලි නැතුව අම්ම එනකල් හදන්ඩ

එහෙම කියල මට ආයෙත් ගණං ටිකක් දුන්න.. උයන පිහන, දර පලන, පොල් ගාන අස්සෙ මට ගණං හදන්ඩ උදව් කළා…

මට සිංහලවලට අමුතුවෙන් මහන්සිවෙන්ඩ දෙයක් නෑ.. ගණන් හදන්ඩ කියල ඈ බලපෑමක් නොකර මාව පෙළඹෙව්ව..

අද ඒව කරන්ඩ ගුරුවරුන්ට ඉවසීමක් කෝ??

ඒ කාලෙ ප්‍රාථමික අධ්‍යාපනය මොන තරම් සුන්දරද?? අද කාලෙ දරුවො ඉන්න තරගෙ දිහා බැලුවාම

ඇරත් ළමයින්ගෙ නිර්මාණාත්මක චින්තනය දියුණු කරන්ඩ හිතල, කතාවක් කියන්ඩ, තමන්ගෙ අත්දැකීමක් කියන්ඩ වෙලාවක් වෙන්කරල තියෙනවද??

අපේ මාමගෙ ලොකු නංගි ශිෂ්‍යත්වෙට ලෑස්ති වෙන කාලෙ ඒ කියන්නෙ දැන් අවුරුදු හත අටකට කලින් අර අපි ලිව්ව ලස්සන රචනා වෙනුවට මාතෘකාවක් දීල ඒ ගැන ව්‍යාකරණානුකූල වාක්‍ය පහක් ලියන්ඩ තියෙනව දැකල මං කල්පනා කළේ  ඒ මොන විහිලුවක්ද කියල…

වාක්‍ය පහකින් කොහොමද දෙයියනේ රචනාවක් ලියන්නෙ??

ඊයෙ පෙරේද කඩයිම් ලකුණු පිට වෙච්ච ශිෂ්‍යත්ව විභාගෙට සිංහල ප්‍රශ්න පත්තරයක්වත් තිබුණද දන්නෙ නෑ අඩු ගානෙ…??

ඒ කාලෙ භාෂාවෙ නිර්මාණාත්මක භාවිතාව දරුවො ඉස්සෙල්ලාම ඉගෙන ගන්නෙ මේ පහවසරෙ රචනාවෙන්..

ඒක වරප්‍රසාද ලත් පාසල්වලට ඇතුල් වීමට වරම් ලැබෙන තරඟ විභාගයක්ම විතරක් නොවී අපිට වින්දනය ගැන පළවෙනි පාඩම කියල දුන්න තෝතැන්නක් වෙච්ච එක ගැන මම තාමත් සතුටු වෙනව..

අනික අල්ලපු ගෙදර ළමය, යාලුවගෙ ළමයට වඩා හොඳට විභාගෙ පාස් වෙන්ඩම ඕනෙ කියල තර්ජනය නොකළ, ඉහල පාසල්වලට අපිව දැමීමේ උමතුවෙන් මිදිච්ච අම්මයි තාත්තයි ගැන ආඩම්බර වෙනව!!

තීන්ත පෑනෙන් අකුරු රවුම් කර කර ඉස්සර පොත් පිටු පිරෙන්ඩ රචනා ලියපු මම දැන් පෑනක් අල්ලන්නෙ උදේට හවසට අත්සන් කරන්ඩ විතරයි… ඒත්  යතුරු පුවරුවකින් අන්තර්ජාලයේ අකුරු කරනව!!

ඒවගෙ යම් රහක් තියෙනව නං, ඒ පහේ පන්තියෙදි මගේ ජීවිතේ කවදාවත් අමතක නොවෙන රසබර කතන්දර කියා දුන්, ස්වාධීන නිර්මාණකරණයට අත්පොත් තැබූ,ජීවිතේ අනේකවිධ කම්කටොලු මැද පවා නොසැලී  නිස්සරණාධ්‍යාශයෙන් ශිල්ප සෑදූ පොඩි මැණිකේ ගුරු මෑණියන් නිසාමයි..

ඈ වන් ගුරු මවුන්

සදා වාසනාවන්

ආයු බෝ වේවා!!

 

පටංගත්තෙ අම්පාරෙන්, ඉවර වුනේ මන්නාරම දිහාවෙන්!!

වෙනද තරං පිලිවෙලක් නැතුව දුවනවද මන්ද මං!!

ඒත් ලියන මූඩ් එකේ ඉන්නෙ…. ඒක සතුටක්

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි and tagged , , , , . Bookmark the permalink.

13 Responses to ශිෂ්‍යත්ව පන්තියේ රචනා දවස සහ මගේ අද දවස…!!!

  1. අක්කගෙ රචනාවෙ කතන්දරේ කියවගෙන යද්දි මට මුළිංම හිතුණෙ මල්දමේ දාන්න ලියපු එක වැරදිලා මෙතන දාලද කියලා. 😀 ආයෙත් මං ආසම ලියවිල්ලක් අක්කේ. ආපහු එන්නං නිවී හැනහිල්ලේ කොමෙන්ටුවක් කොටලා යන්න.

  2. සාතන් පවසයි:

    හෙහ් හෙහ්… පොඩි කාලෙ මට එහා පැත්තෙ හිටියෙ ඈන්ගෙ වගේ කොන්ඩෙ තියෙන කෙල්ලෙක්…..

    ශිෂ්‍යත්වෙන් පස්සෙ නම් මම රචනා ලිව්වෙම නෑ ඒලෙවල් වලදි වාර විභාගෙකට ලියනකම්,.. කොහොම හරි ඒ ලියපු රචනාවත් හොඳ වැඩි කමට විනයභාර සර් කතා කරල කලාව මතු කරපන් ඒක මතුකරන්න ඕන තැන කියල එයාගෙ වේවැල හයියද බැලුවා…. (ලිව්වෙ කෙල්ලත් එක්ක නුවර ගිය කොල්ලෙක්ගෙ සීන් එකක් 😛 )

  3. praveena පවසයි:

    මන්නාරම නෙමේ දකුණු ඉන්දියාවේ කොහෙන්දෝ ඉවර කරලා තියෙන්නේ…:-)

    ඒ කාලෙත් මවාගන්න ලෙඩේ තදින් තිබිලා තියනවනේ. මටත් තියනවා ඔය ලෙඩේ ජනූ…කොහේ හරි කවුරු හරි දැක්කොත්, ඔයා අර කලින්දාක කීවා වගේ ඒ මනුස්සයන්ගේ ගෙවල්, කෑම බීම, කරන දේවල් සිහින මව මවා ඉන්නේ.

    රචනා ගැන නම් කියලා වැඩැක් නෑ.

    ගෙදරදි අම්මට රචනාවක් ලියලා පෙන්නුවා. මාතෘකාව ‘එළදෙන’…’එළදෙනගේ මහත්තයා වන ගොනා මඩුවේ නිදයි’ කියලා. අහල පහල ගෙවල් ගානක කට්ටිය හිනා උනාලු. 😀

    මගේ වැඩි කැමැත්ත තිබුනේ අවතාර දකින කතා ලියන්ට.

    • henryblogwalker පවසයි:

      ප්‍රවීනගෙ ප්‍රතිචාර දකින මට හිතෙන දෙයක් තමයි ඇත්තටම මේක ලිව්වෙ ප්‍රවීනද නැතිනම් එයාගෙ පෞද්ගලික ලේකම්ද කියලා. මෙන්න මේකනම් ප්‍රවීනගෙ ප්‍රවීනබව තියෙන නියම ප්‍රතිචාරයක්. මම ආසම්න කෑල්ල එළදෙනගෙ මහත්තයා ගැන ලියපු එක

  4. henryblogwalker පවසයි:

    මතක පොතේ පි‍ටු අතරින්…

    ඔය රචනාව මතක තියෙන හැටියට ලිව්වද නැතිනම් පරණ පොතක් හම්බ වුනාද?

    //ඒ දිරි ගැන්වීම දරුවෙකුගේ පෞරුෂයට කොයිතරම් බලපානවද කියන එක අද අපි මහ ලොකුවට කතා කරන අධ්‍යාපන මනෝවිද්‍යාවක් ගැනඅද වගේ ගැඹුරින් හදාරල නැති පුහුණු ප්‍රාථමික ගුරුතුමියක් අද ගුරුවරුන්ට වඩා හොඳින් දැනගෙන හිටිය..//

    මම ගනං හදලා බැලුවා. උඹ ඔය කියන කාලෙට කලිනුත් ගුරු පුහුණුවට අධ්‍යාපන මනෝ විද්‍යාව ඉගැන්නුවා. වෙනස ඒවා අමතක කර දාලා ගතානුගතිකත්වයට මුල් තැන දීපු එකයි.

    උඹට කියන්න, මම ඇඳපු චිත්‍රයක් හිතේ ‍රැ‍ඳෙන විදියට ගුරුවරයෙක් අතින් ඇගයීමට ලක්වුනා කියලා මට හිතෙන්නෙ නෑ. මම ලියපු රචනාත් තවත් රචනාවාක් විතරයි. ඒවා අල්ලලා දාමු.

    රචනා ලියනකොට ඔය අනුනෙ අත්දැකීම්, කියවපු පොත්, බලපු චිත්‍රපට හෙම ඒවට බලපාන හැටිපුදුමයි නේද? අර මියෙම්වා ‍රැකෙම්වා කියලා ගඟට පැන්නෙ කාලගෝලයා නේද මුලින්ම?

  5. Bindi පවසයි:

    ඔයාගේ ගුරුතුමී වගේම තමයි හතරේදී අපට හිටි ඉන්ද්‍රානි මිස්. . නොපෙනී ගිය සරුංගලය කියල මන් ලිව රචනාව ගෙනිහින් ලොකු ටීච ටත් පෙන්නලා ඒ අවුරුද්දේ විශේෂ ත්යාගයකුත් දුන්නා . නිර්මාණ ශීලි ශිෂ්‍යයාව කියල . ලියන්න පුළුවන් පොඩි හරි හැකිකමක් අද තියෙනවා නම් අන්න එදා තමයි එහි තිඹිරි ගෙය .

    නිතරම සිතින් ඒ වගේ ගුරු මව් පියවරු නමදිනවා මැරෙන කම්ම .
    කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර වුනහම මොකෝ …කතා සරිත් බස් එකේ ගමනාන්තයක් නැති ගමන් වලට අපි කැමතියි

  6. Buratheno පවසයි:

    නයිජීරියාවෙ මුරූගෙ වගේ කොණ්ඩයක් තියෙන කෙල්ලක්.!? හපොයි, මට මැවිලා පේනවා..

    අම්පාරෙන් පට්ටාං අරන් මන්නාරමෙන් බැරිනං, ඇන්ටාර්ක්ටිකාවෙන් පට්ටාං අරන් මුර්මන්ස්ක්වලින් ඉවර කලත් කමක් නෑ හැමදාම මෙහෙම ලියනවනං.. කොහෙද ඉතිං බොලාට ලියන මූඩ් එන්ට එපායැ, ඒකත් එන්නෙ හාවා හඳ දකින්නැහේ.. 🙂

  7. Ravi පවසයි:

    පහේ සිස්සත්තයක් තිබ්බෙ නෑ බං අපිට…අපි ඇවිල්ල අර සුවිසේසී කස්ටියක් නෙව. i.e. හැත්තෑව දසකයෙ යව්වන යව්වනියො…හෙහ්, හෙහ්, අපිට තිබ්බෙ හතේ සිස්සත්තෙ…විබාගෙට මාසයක් විතර තියල ඉස්කෝලෙං පස්සෙ හවස පංති තිබ්බ අපේ පංති බාර ගුරු තුමී.අර උඹ කිව්ව පොඩි මැණිකෙ මැඩම් වගේම තමයි . අදහන්ට ඕන ඒ වගෙ ගුරුවරු..ඒත් බලාපංකො කරුම දෝසෙක මහත..මට නම මතක් වෙන්නෙම නෑනෙ.මූණ කට හැඩරුව යාන්තමට වගෙ මතකයක් තියනව. ඒත් නම වෙනුවට මතක් වෙන්නෙම ඒ දවස්වල එතුමිට අපි දාල තිබ්බ වනම ( වනම කියන වචනෙ දන්නව නේද? Nickname කියන්නෙ අන්න එව්වට )

    ඔය හවහ පංතියට මම බොහොම කැමති උනෙ මොකෝ දන්නවය?..අත්තම්ම බත් එකක් බැඳල දෙනවනෙ..ඕක ඉතිං මට මාර ආසයි…

    ” සුට්ටි පුතේ මොනවද හෙට බත් එකට ඕන?…” ඔන්න අත්තම්ම කලිංදා අහනව…

    ” ගෝව කොල මැල්ලුං,ඉස්සං මගුරං, කූනිසි මැල්ලුම.කීරමිං තෙලට දාල…පරිප්පු සාරණ දාල හින්දෝල කිරිබත් වගෙ කැට කපන්ඩ ඇහැකි තරමට…මුකුණුවැන්න…”

    ඔන්න මම ඉතිං ඔය ලිස්ට් එක කිව්වම උන්දැ ඔයිං දෙක තුනක් එක්ක බත බඳිනව. කෙහෙල් කොලයක් තවල කරල එහෙම….කෙහෙල් කොලේ නවල ඉරට්ටකුත් ගහනව මම මගෙ දැඟලිල්ලට ඕක ලිහා ගනීවිය කියල…

    ඒත් ඔය වගෙ කතන්දර ලියාපු සීන් එකක් නම් මට මතක නෑ බොලේ පොඩි කාලෙ…ඒකටත් හරියන්ට මම කලේ කතන්දර හදල කිව්ව එක…දන්නවනෙ මයෙ පරිකල්පන සක්තිය…ඕන බහුබූතයක්, අබව්ය සිදුවීමක් බලාහිටිය වගෙ කිව්වෑකි….හෙහ්, හෙහ්,

    අපෙ ගෙවල් පහුකරල යන පටු පාර ඉවර වෙන්නෙ අතැරල දාපු පරන රබර් වත්තකිං,ඕකෙ මැද තිබ්බ වලව් ටයිප් සිංහල උළු හොයපු සොල්දර ගෙයක්…අපි දන්න කාලෙක ඉඳල මාස දෙහෙකට විතර සැරයක් වයසක අන්කල් කෙනෙක් ඇවිල්ල දොර වල් ඇරල වරුවක් විතර ඉඳල යනව. ඒ ඇර වෙන බලු බල්ලෙක් නෑ

    ඔයකෙ යක්කු හොල්මං තියනව කියල අපි හැමෝම විස්වාස කලා. ඔය හොල්මන් ගෙදර ගැන මම කතන්දර හදල ඇති සිය ගානක්. යක්කු මා එක්ක කතා කරපු හැටි……යස්ස ලෝකෙ විස්තර කියපු හැටි…ඔය වගෙ එව්ව…ඔව්ව මගෙ එදිනෙදා යාලුවන්ට කියන්ට ගියේ නෑ මම. උංට ඔව්ව කියන්ට ගියොත් මට තඩි ගහලයි නවතින්නෙ. මොකද උං දන්නව මම යක්කු එක්ක කතා කරනව තියා ඔය බූත බංගලාව දිහා බලන්නෙවත් නෑ කියල…

    අපෙ අම්මගෙ බාල මලෙයගෙ දරුවො එනව නිවාඩු කාලෙ අපෙ ගෙදර..ඒ නංගිල මට වැඩිය අවුරුදු හය හතක් බාලයි..ආන්න මගෙ යාවජීව ශ්‍රාවක පිරිස..යක්කුන් සමඟ මගේ අත්දැකීම්…උං කටවල් ඇරගෙන අහගෙන ඉන්නෙ…මම ත් ඉතිං දන්නවනෙ..දෙනව දොඹෙං…අන්තිමට කොහොමිං කොහොමිං හරි මටම ෂුවර් නැතිඋනා ඇත්තටම යක්කු මා එක්ක කතා කලේම නැද්ද කියල..හෙහ්, හෙහ්,

    ආය ඔය ඩීමන් ආනන්දගෙ ජේමිස් බණ්ඩ 019 පොත් කියවල මට වැහිල තිබ්බ තව පිස්සුවක්…ඔන්න අම්ම මොනව හරි ගේන්ට කඩේ යැව්ව කියාපංකො..පොල්තෙල් කාලක්…පිටි රාත්තලක්….ඔය වගෙ මොනව හරි..ඕකත් අරං එද්දි මයෙ පස්සෙං කවුරු හරි නාඳුනන මනුස්සයෙක් ආවයි කියමුකො.ඔන්න මට එනව බලවත් සැකයක් මේ මනුස්සය ගැන..අනිවා මේ මනුස්සය රහස් ඔත්තුකාරයෙක්..K.G.B. වෙන්ටම ඕන එකත් එකටම…ඩීමන්ගෙ පොත් වලින් මම ඔය K.G.B. කියන අකුරු තුන දැනගෙන හිටිය. ඒත් ඒ කියන්නෙ මොකක්ද කියල මෙලෝ සංසාරක් දන්නෙ නෑ. ඒත් ඒ අකුරු තුන හොඳට සද්ද වෙන නිසා මට හරි ආසයි.

    ඉතිං අර පස්සෙං එන මනුස්සය දිහා හොරෙං බල බල ඇවිල්ල මම එක පාරටම පාරෙං පැනල කොහෙ හරි ගහක් පිටි පස්සෙ හැංගෙනව..ඔන්න අර මනුස්සය මං ඉන්න තැන පාස් කරල යනව. මිනිහ පොඩ්ඩක් මම කැලේට පැන්න තැන නවතිල වට පිට එහෙම බලනව. ඔන්න මගෙ සැකේ තහවුරු වෙනව. මේ මනුස්සය ඔත්තු කාරයෙක්ම තමයි.හෙහ්, එයා කොහෙද මාව තම්බන්නෙ?…මට මාර හැපී..උඩ පැන පැන ඊට පස්සෙ ගෙදර යන්නෙ..

    ” මොකද ළමයො මෙච්චර වෙලා කලේ?…කඩේට දහ පාරක් ගිහිල්ල එන්ට වෙලා නේද දැං?…” ඒ අම්මයෙ ගෝරනාඩුව.

    ” නෑ..අම්මෙ මේ අර කේ.ජී.බී………”

    ” මොකක්?…..”

    • Bindi පවසයි:

      අන්න අර දඩස් ටයි සුද්දීටයි පාඩුවේ පවුල් කන්න දීල ඕන ඔයවගේ කතා ටිකක් ලියහන් අය්යේ බ්ලොග් කටුවේ .
      හැත්තෑවේ දශකයේ කිව්වට මට නම් සැකයි බොලේ . මොකද අපිත් ඔය කිව්ව දශකයේ අපිට සිස්සත්තේ තිබ්බනේ . අපේ අය්යලා අක්කලට කොටස් දෙකකට තිබුනේ . අපිට අවුරුද්දකට කලින් ඉඳන් එක කෑල්ලක් කළා . අර දෙකක් තිබ්බ කාලේ එකකින් පාස් වෙලා අනිකින් ෆේල් වෙච්ච එවුවොත් හිටිය .
      හැබැයි අර ඉමජිනරි කතන්දර ගොතපු එක නම් ඒ කාලේ තිබ්බ ලෙඩක්ද කොහෙද . අපේ අක්කයි මමයි සෙල්ලම කියල එකක් කරනවා . අනික් ඒවාත් සෙල්ලම් වුනාට මේක සෙල්ලම කියල තමයි හැදින්නුවේ .
      ඔය සෙල්ලමේදී අපි රංග නොපාපු චරිතයක් නැති තරම් .
      යක්කු කතා කිව්වම මතක් වුනේ අපේ තාත්තගේ පැත්තෙන් අපේ ලොකුම මස්සිනා පේරාදෙනි ගියේ අපි ඇඹිටිල්ලන් කාලේ . අවුරුද්දට හරි ඔය වෙන දාන මානයක් හරි තියෙද්දී අපි සේරම එක්කහු වෙනවා මහා ගෙදෙට්ට . මෙයා තමයි ඉතින් කතා පෙට්ටිය . මුන්ද ටිකක් ගරු කටයුතු පොරක් වෙන්න ඉගෙන අගත්ත නිසා ඇඳක් ලැබෙනවා . අපිත් ඉතින් මෙට්ට පැදුරු කුෂන් වගේ මොනවා හරි දාගෙන බිම නිදා ගන්නවා වටේට . මොකද අර කතා ටික අහන්න . අනේ අම්මපා කැම්පස් එකේ නවක වදේ ඉඳන් හොල්මන් අවතාර මුන්ද පස්සේ පන්නපු කතා අපි අහන ඉන්නේ එකට ගුලි වෙලා රෙද්දෙන් ඔලුවේ හිටන් වහගෙන .

      ඒ කතා බොරුයි කියන්නවත් කට ඇරුනේ නැහැ බයටම .

      • Bindi පවසයි:

        ඒ කාලෙයි අයි කියල වෙනසක් නැහැ . අපේ කෙල්ලෝ ඊයේ ඔන්න බියුටි සැලුන් එකක් දාගෙන ඉන්නව මම දැක්කා . පෙරේදා උන් දෙන්න හිටියේ උත්තර ධ්‍රැවයේ

  8. තිසර පවසයි:

    නමය වසරේ ඉඳලා මමත් වාර විභාගේ රචනාවට තෝර ගත්තේ කෙටි කතාවක් ලියන එක. කරුණු ඉදිරිපත් කර කර මාතෘකාවකට රචනාවක් ලියනවට වඩා කතාවක් ගොතා ගන්න එක්ක මට නම් ලේසි උනා. හැබැයි ඕලෙවල් විභාගෙදි එච්චර කල් සාර්ථකව කරගෙන ආපු ඒ වැඩේ ගොනා සේ අත්හැරලා බරපතල මාතෘකාවකට රචනාවක් ලියන්න ගිහින් ඇනගත්තා….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )