මගෙ බොලඳ ඇබ්බැහිකම්…!!!

වෙලාව පාන්දර පහයි!!!

මගේ ජංගමය එයාගෙ කැලෑ බෙර තේමාව වාදනය කරනව මාව ඇහැරවන්ඩ…

මං කලුවරේම අතපත ගාල පුරුද්දට වගේ ජංගමයව නිහඬ කරවනව….

හරි හරි නැගිටින්නං… මලවදේ………. ආව මෙතන බෙර ගහන්ඩ!!

අපි දෙන්නට උදේටයි දවල්ටයි කෑම හදාගන්ඩ ඒ වෙලාවට ඇහැරින්ඩ ඕනෙ කියල දන්නව වුණත් කම්මැලි නිදිබර හිත කියන්නෙ තව විනාඩි පහක් හරි වැඩියෙන් නිදාගන්ඩ කියලයි…

කොහෙන්දෝ ආව සීතල හුළඟක් කණ ලඟ සැරිසරල ඇතුළට වැදුණ.. ඒ සීතලට මුලු ඇඟම වෙවුලුම් කෑව…

කෝ මේ පොරෝණයා…

මං වෙනද වගේ පහළට ගිහින් ඇති කියල හිතල පොරෝණයාව උඩට අදින්ඩ හැදුව කං වහගන්ඩ

අනේ ඒ වුණාට ඌ නෑ…

තව ටිකක් අතපත ගානකොට මෙන්න මුන්දැ ඉන්නව කලින් දවසෙ නවල තියපු හැටියටම ඇඳේ පැත්තක

අයියෝ!!!!!!!!!!!!

මං විලාප දුන්න… හිතෙං!!!

මං මුලු රෑම නිදාගෙන තියෙන්නෙ පොරෝණයා නැතුව……………..මේ හීතලේ!!!!!!!!!!!!!!

ඒ මොන අපරාදයක්ද??

මගේ හිතේ තියෙන දුක කියල නිමකරන්ඩ බෑ….

මං දඩිබිඩි ගාල ජංගමයව අතට අරන් නිදිමත බේරි බේරි තව විනාඩි පහකින් නාදවෙන්ඩ වෙලාව තියනව..

ඊට පස්සෙ දඩිබිඩි ගාල පොරෝණයව අරන් වහගන්නව ඉහේ ඉඳන් පය වෙනකල්….!!

නින්ද ගියත් නොගියත් ඊලඟ එලාම් එකට හිත හදාගෙන නැගිටින්ඩ පුලුවන් වෙන්නෙ එතකොටයි…

කලින් දවසෙ රෑම පොරෝණය නැතුව නිදාගත්ත එකේ හිලව්වට අඩුම ගාණෙ විනාඩි පහක්වත් ඔලුවෙ ඉඳන් පොරෝගෙන හිටියාමයි!!!

මං විතරක් නෙවෙයි අපේ මල්ලිත් පොරෝණයාට ඇබ්බැහි වෙලා ඉන්න එකෙක්..

නිදාගන්ඩ ගියාම මට ඔලුවෙ ඉඳල කකුල් දෙක වෙනකල්ම වහගන්ඩ ඕනෙ… හුස්ම ගන්ඩම ඕනෙ හන්ද නහය ඩිංගිත්තක් එළියට දාල තියං ඉන්නව මිසක් නැත්තං ආයෙ මේ සම්මජ්ජාතියෙ මොකාටවත් හොයන්ඩ බෑ මොකාද මේ ඉන්නෙ කියල…

මං ඒකට කොයි තරං නං ඇබ්බැහි වෙලාද කියනව නං රස්නෙ දවස්වල, දාඩිය ගංගා හතක් ගැලුවත් මං නෙවෙයි පොරෝණයව අතාරින්නෙ..

සීතල දවස්වලට මට තව අමතර පොරෝණයෙකුත් ඉන්නව!!

මහ දවල් නිදාගත්තත් ඇඳේ ඉඳන් චිත්‍රපටයක් බැලුවත් මං පොරෝණය එක්ක තමයි!!

ඒ වුණාට උන්න ගමන් මහ කාලකන්නි රාත්‍රීන් උදාවෙනව…

ඒ කියන්නෙ පස්සෙ පොරෝ ගන්නං කියල හිතල පොතකට පතකට වහ වැටිල හරි පෙම්බරයගෙන් හැමදාම බැනුං අහ අහ ලැපා ඇඳට අරන් චිත්‍රපට බල බලා ඉන්නකොට චිත්‍රපටය දුවන ගමන්  හරි නින්ද යන….

හයියෝ!!!! එදාට ඔය වගේ උදේට ජංගමය ඇහැරවන කල්ම මං දන්නෙ නෑ නෙ කලින් දවසෙ රෑ පොරෝගෙන නෑ කියල…

ආන්න ඒ වෙලාවට තමයි මට මාරාන්තික කේන්තියක් එන්නෙ…

ෂික්!!!

ඒක හරියට දැනෙන්නෙ මුලු රෑම නිදාගෙන නෑ වගේ තමයි එතකොට…

ඉතිං මට පොඩි වෙලාවකට හරි ආයෙ මුල ඉඳල නිදාගන්ඩ වෙනව….

මටම හිතෙං පුටු පුටු ගගා බැන බැන විනාඩි පහක් එලාම් තියල පොරෝගෙන නිදාගන්නෙ ආන්න ඒ හන්දයි….

හිනා!!!! හිනා නෙවෙයි!!

ඇත්තම ඇත්ත…

ආ…………….ඔයාල නං කියයි…

එහෙම නැතුව මට මුලු දවසම ඕක මතක් වෙවී දුක් වෙවී ඉන්ඩද කියන්නෙ??

සීතලම දවසක ඇරෙන්ඩ පොරෝණයට ඒ හැටි මනාපයක් නැති අපේ පෙම්බරයට නං මේක හරි විහිලුවක්!

උන්දැ හිනා වෙනව මට යකා නගිනව කිව්වාම මං රෑට පොරෝගෙන නෑ කියල උදේට දැනගත්තාම

පුංචි කාලෙ ඉඳලම මං පොත් කියවන්නෙත් එහෙම, ෆිල්ම් බලන්නෙත් එහෙම… නිදාගන්නෙත් එහෙම…

මං හිතන්නෙ ඒ අපේ ගෙදරින් වෙච්ච පුරුද්ද… අපේ අම්ම මලයටයි මටයි ටීවී බලන්ඩ දාල දීල තිබුණෙ ඇඳක් නෙ… ඕකෙ විට්ටං දෙක දෙපැත්තට කොට්ට හේත්තු කරාන… පොරෝගෙන තමා ඉස්සර හිටං අපි  දෙන්න ටීවී බැලුවෙ…

ඔය ඇඳේ හොඳට පේන පැත්ත අල්ලගන්ඩ ගිහින් තුවාල කරගන්නෙ නැතුව බේරුණා ඇති…

එකෙක් හොඳ පැත්තෙ ඉඳගෙන ඉන්නව නං අනික ටීවී බලනවට වඩා බලං ඉන්නෙ හොඳ පැත්තෙ ඉන්න එකා පොඩ්ඩකට හරි නැගිටින කල්…. ටක් ගාල පැනපු ගමන් එතන අල්ලගන්ඩ..

අක්කෙ.. අන්න අම්ම තමුසෙට කතා කරනව…..

ඒ මල්ලිගෙ පොත්!!! මාව හොඳ පැත්තෙන් නැගිට්ටවන්ඩ

අන්න අම්ම තමුසෙට තේ හදන්ඩ කිව්ව!!

අනේ යනව යන්ඩ….මාව තම්බන්ඩ තමුසෙ ගාව තියෙන ලුණු ගොරක මදි….

ඊට පස්සෙ පටං ගන්නව දෙපැත්තෙ ඉඳල පහර දෙන්ඩ..

පහර දෙන්නෙ කකුලෙන්…

පයිං ඇනගන්න එක ඉවසන්ඩම බැරි වුණාම මං නැගිටිනව… සමහර වෙලාවට මගෙ පොරෝණය හන්ද කකුල් මාට්ටු වැටිල ඇඳෙං බිමට දෙරි ගහන වෙලාවලුත් තියෙනව….

ඒ මොනව වුණත් පොරෝණයට මගෙ තියෙන ආදරේ නං අඩුවක් වෙන්නෙ නෑ!!!

ඉතිං………….. ඔයාලට නැද්ද ඔහොම පිස්සු වැඩ??

මහා බොළඳ, ඒත් ඒක කලේ නැත්තං, මග හැරුණොත් හරියට සම්පූර්ණ වුණේ නෑ වගේ හැඟීමක් දැනෙන වැඩ?

මට නං මෙහෙම ඉඳන් මතක් කලොත් එහෙම දේවල් ඕනෙ තරම්!!

ඕං මට නං  තව එකක් මතක් වෙනව

ඉස්සර ඉඳලම මං හරි ආසයි බිත්තර කන්ඩ….

මං බිත්තරේ ඉස්සෙල්ලාම කන්නෙ සුදුමදේ… ඒකත් ඉවර වෙයි කියල පෙරේතකමට ටික ටික… බෝල කහ මදේ කන්නෙ අන්තිමට….

ඉස්සර ගෙදරදි අලයි බිත්තරයි හොද්ද හදපු දවසට බත් පිඟානම ඉවර වුණත් එක අල කෑල්ලකුයි මුලු බිත්තරේමයි  ඒ වෙද්දිත් පිඟානෙ

මං ඒක කන්නෙ අන්තිමට… හෙමින් හෙමින්.. බිත්තරේ කහමදෙත් ඉවර වුණාම නං හරි දුකයි…!!

ඒත් අම්ම කවදාවත්ම එක බිත්තරේකට වැඩිය දුන්නෙම නෑ නෙ…

අද කියල වෙනසක් නෑ බිත්තර තියෙනව නං මං කන්නෙ ඒක ඉතුරු කරගෙන…

ඒක එහෙම විඳ විඳ කෑවෙ නැත්තං වැඩක් නෑ…!!

අනේ සමහර වෙලාවට ඕකට හෙණහුරා ලබන වෙලාවලුත් තියෙනව ඉතිං!!!

මං හැඩට ඉතුරු කරගෙන අන්තිමට කන්නං කියල තියාගෙන ඉන්න බිත්තර කෑල්ලට අන්තිමේදි පෙම්බරය විදිනව…

පුංචි කාලෙ එහෙම නං මං දනී කරන දේ..

ආයෙ දෙකක් නෑ අහල පහල ඉන්න සේරෝම ගෙදරට රැස්කරනව බෙරිහන්දීල

දැං ඉතිං එහෙම බෑනෙ…. අනික ඒ පෙම්බරය නෙව.. වෙන කවුරුවත්යැ…

ඔන්න මට තියෙනව අපේ ගෙදර පිඟානක්..

ගෙදරය කිව්වෙ අපේ අම්මලගෙ ගෙදර…

ඒක පරණ එනමල් පිඟානක්!! අත්තගෙ කඩේ තිබුණ කාලෙ එකක්ද කොහෙද…

අර බෙලෙක් පිඟං කියන්නෙ ආං ඒකක්

මං මැටි පිඟන්වලට නං ආසම නෑ.. ඒව බරයි.. හදිස්සියකට අල්ල උඩ තියාගෙන කෑම කන්ඩ බැරි තරං..

ඒ වගේ ද බෙලෙක් පිඟන්!!

හරිම සැහැල්ලුයි…

ඕනෙ වෙලාවක බිම අතෑරුණත් පතුරු යනව විතරයි!!

බිඳිල කෑල අහුලන්ඩ වෙන්නෙ නෑනෙ…පොඩි සද්දයක් නං එනව තමයි…

ඒක ඒ හැටි දෙයක් යැ…

අනික කෑම ටික බෙදාගන්ඩ  ගානට බොක්කත් තියෙනව..

මොකද්ද ළමයො ඔය කෑම කන පිඟානෙ හැටි.. දැන් අර ළමය මොනව හිතයිද දන්නෙ නෑ ඕක අරං යනව එහෙම නෙවෙයි මේසෙට…

පෙම්බරයයි අම්මයි දෙන්න ඉස්සිස්සෙල්ලාම අපේ ගෙදර ආව දවසෙ මං ඔය පිඟානත් අරන් කෑම මේසෙට වාඩි වෙන්ඩ යනකොට අපේ අම්මගෙ හිතවතී ගුණවතී නැන්ද මට සැර දැම්ම…

අනේ නැන්දෙ… මේ ගෙදරට කවුරු ආවත් මං මේ පිඟාන මේසෙට අරං යන්ඩ ලැජ්ජ නෑ…

මේක මං පුංචි කාලෙ ඉඳල කාපු පිඟාන වෙච්චි.. ඒක දැක්කාම මක් වෙනවද එයා??

මං පිඟාන අරන් දිව්වෙ එහෙම කියන ගමන්

අදටත් මං ගෙදර ගියොත් කන්නෙ ඒ පිඟානෙම තමයි…

ඒ විතරක් නෙවෙයි මොන රාජසභාව අපේ ගෙදර තිබුණත් මං ඒ ඕනෙ රාජ සභාවක කන්නෙ ඔය පිඟානෙමයි..

නැත්තං ඉතිං කෑවෙ නෑ වගේ තමයි කොච්චර රස මසවුලු කෑවත්, කොච්චර බඩ පිරුණත්!!!

පුංචි කාලෙ ඉඳල එන මගේ ඇබ්බැහිකං ගැන හිතද්දි මටම හරි පුදුමයි!!

ඒව අපි කොච්චර වයසින් වැඩුනත් අපිව අතෑරල යන දේවල් නෙවෙයි…

මොහොතකට අමතක වෙලා තිබුණත් දැක්ක මොහොතට ඒක අපිට අර ඉස්සර වගේමයි!!

දන්නවද??

මං අම්මලගෙ ගෙදරිං මේ වෙද්දි මගෙයි කියල අරං ඇවිල්ල තියෙන්නෙ

මං නිතර කියවන පොත් කීපය වෙච්ච

ඇට මැස්සා

රිදී තිරංගනාව

ප්‍රේම පුරාණය

අරණකට පෙම් බැඳ

සැබෑ මිනිසෙකුගේ කතාව

අපූ ත්‍රිත්වය ( ත්‍රිත්වයම දැන් ලඟ නෑ) සහ තවත් පොත් දහයක් පහළොවක් විතරයි.

ඒ ඇරුණාම මං  අරන්ආව එකම වස්තුව තමයි මං ඉස්සර ඉඳල පොරෝපු ආදරණීය පොරෝණයා!!!

ඒක තාත්ත වැඩකරන කාලෙ අර පහසු ගෙවීම් ක්‍රමේට රෙදි දෙන කාලෙ ගත්ත අත් යන්ත්‍ර පොරෝණයෙක්!!

ඌ ඉන්නෙ දැන් මටම පදම් වෙලා…

ඊයෙ තමයි මට තේරුණේ මං ඇයි ඒ හැටි ඒකට ඇබ්බැහි වෙලා ඉන්නෙ කියල

ඒ පොරෝණයා මට තවත් එක රෙද්දක් නෙවෙයි

ඒකෙ තාත්තගෙ සුවඳ තියෙනව.. අම්මගෙ ආදරේ තියෙනව, මල්ලිත් එක්ක මං කරපු නසරාණි වැඩවල මතකයන් ඒකෙ ඇඳිල තියෙනව…

අදටත් ගෙදරින් නිල වශයෙන් වෙන් වෙලා ඇවිල්ල වෙනම පවුල් වෙලාවත් මට ඒ ගතිය දැනෙන්නෙ නැත්තෙ ඒ හින්දයි…

ගෙදරත් එක්ක මටයි කියල තිබුණු බැඳීම් සේරෝම ඒ එක්ක මා ලඟ තියෙන නිසයි…

ඒ හන්ද මං ජිවත්ව ඉන්නකල් පොරෝණයාට ඉරෙන්නෙ නැතුව ඉන්ඩ ආයුෂ තිබුණොත් එතකල් එයා හැමදාම මං එක්කම ඉඳීවි!!!

අපේ බොළඳ ඇබ්බැහිකං හැම එකකම ගැබ් වෙන්නෙ අපේ මතකයන්!!!

ඒව අපි කොච්චර ගතින් වැඩිච්ච කාලෙක වුණත් හිතෙන් පිස්සු ලෝකෙට ගෙනියන්ඩ පුලුවන් තරම් බලගතුයි..

ඉතිං ඔය පිස්සු ඇබ්බැහියක් දෙකක් තිබ්බට පාඩුවක් වෙනවයැ??

මොකද ඔයාලට හිතෙන්නෙ?

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

51 Responses to මගෙ බොලඳ ඇබ්බැහිකම්…!!!

  1. Weniwel පවසයි:

    අපි පිටස්තරයෙක් විදියට බලද්දි අපිට යමක පේන්නෙ මුදල්මය වටිනාකම විතරයි..ඒත් ඒ දේ පාවිච්චි කරන එක්කෙනාගේ මතකයන් සියල්ලම එකතු වෙච්ච තමන්ටම අනන්‍ය වෙච්ච මුදලින් මනින්න බැරි තරමේ වටින වස්තූන් හැමෝටම තියෙනවා..හැමදාම මගෙන් අහනවා දකින අය “ඔය වැඩ කරන්නෙත් නැති කබල් ඔරලෝසුව මොකටද තියන් ඉන්නෙ විසි කරන්නැතුව” කියලා..ඒකෙ වටිනාකම මන් නොවැ දන්නෙ..මන් හිනා වෙලා නිකන් ඉන්නවා..

    • හ්ම්.. මං කලින් වතාවක ලියලත් තියෙනව වෙනී අයියෙ මේ ගැන… ඉස්සර මං ආසාවෙන් අම්මට කියල මස්සගත්ත අලුත්ම ගවුම අඳින්ඩ යමක් ඉල්ලාන ආව මගෙ වයසෙම පුංචි ළමයෙක්ට දුන්න එක ගැන… කොච්චර ආසාවෙන් හිටියත් පොඩ්ඩක්වත් දුක හිතුණෙ නෑ ඒක දෙද්දි මට.. හැබැයි මං ගාලු කොටුවෙදි අඬල අඬල අම්මගෙන් සල්ලි ඉල්ලාන ගත්ත ලස්සනම ලස්සන සිප්පි කටුව යාලුවෙක් අතින් බිම වැටිල කුඩු වුණාම.. මං කාඩ් හදන්ඩ එකතු කරපු වේලිච්ච මල් මං කැම්පස් ගිය අතරෙ කාමරේ හැඩි කරල දාල කියල අපේ අම්ම විසිකරල දැම්මම මට කඳුලු පනින්ඩ තරං දුකක් ආව.. මගෙ ගෝර පොතේ මල්ලි කහට ගාල අරන් ආවාම මං වැලපුණා…. ඒවට මගෙ ජීවිතේ එක්ක තියෙන සම්බන්ධෙ හෝවටිනාකම හෝ වැදගත්කම තව කෙනෙක්ට විස්තර කරල දෙන්ඩ හරි අමාරුයි…

  2. henryblogwalker පවසයි:

    මරු බං.
    කියන්න දේවල් එක දිගට ආවත්, පස්සෙ බ්ලොග් පෝස්ට් එකක්ම කියන්න ඉතුරු කරගත්තා අර උඹේ බිත්තර කහමදේ වගේ.

    අර කැමති ජාතියක් අන්තිමට කන්න ඉතුරු කරගන්න පුරුද්ද ඉස්සර මටත් තිබ්බා. මගෙ දූටත් ඒක තියෙනවා.

    ඔය අප්‍රාණවාචී දේවල් වල්ට ප්‍රාණවාචී විදියට සලකන කතාකරන පුරුද්ද තියෙන්නෙ දීපා ලඟ. අර උඹේ පොරෝණයා වගේ.

    මගේ පොඩි වුන් මේසෙ උඩ ඉඳලා බිමට වැක්කෙරෙන්න බෙඩ්ෂීට් දාලා ගෙවල් හදාගෙන මේසෙ යට පදිංචි වෙනවා ඉස්සර. පස්සෙ අපි ෆැබ්‍රික් සෙල්ලම් ගෙයක් අරන් දුන්නත් මම හිතන්නෙ අර ආතල් එක තියෙන්නෙ නැතුව ඇති.

    මට නම් පොරවා ගත්තාම පතුල් දෙක එලියෙ තිබ්බේ නැතිනම් මාර දාඩියයි.

    අපිත් ගෙදරින් අරගෙන ඇවිත් තිබ්බෙ පොල් බිඳින්න මහ පිහියක් විතරයි. පස්සෙ ඒකත් දීලා දැම්මා.

    පරණ මතක ඇවිස්සුවට උඹට ස්තුතියි.

    (උඹ අපේ දුප්පත් බ්ලොග් පැත්තේ නාවත්, උඹට එකට එක කරන්නෙ කොහොමද?
    හා, හා, දැන් දුවගෙන ඇවිත් කම්මැලි කමට ඇපෙන් බේරෙන්න කමෙන්ට් එකක් කොටලා යන්න ඕනෙ නෑ. ඔහොමම හිටූ.)

    • ඉස්සර අපිත් ඔහොම සෙල්ලං ගෙවල් දැම්ම මේසෙ යට… තාත්ත නං පොල් අතු වට කරල සෙල්ලංගෙවල් හදලත් දුන්න.. ඔය අප්‍රාණවාචී දේවල්වලට පණ පිහිටුවල කතා කරණ එක නං මට පුංචි කාලෙ ඉඳලම තිබුණ..
      කම්මැලිකමට කමෙන්ට් නොකලට හැමදාම මේල් එක ආවගමන් මං දුවගෙන ගිහින් පොස්ට් එක කියවනවනෙ බං… සමා වෙලා ඉවසපං… කම්මැලි නැති දවසට දාන්නංකො මාගලක් වගේ කමෙන්ට්
      මාව ඉවසා වදාරල , එකට එක කරන්නෙ නැතුව හැමදාම මේපැත්තට එන එකට උඹට පිං!!

  3. mahima පවසයි:

    අනේ මන්ද අක්කේ අක්කා ලියන ඒවා කියවන හැමදාම මර විදියට දුකහිතෙනවා නේ.හොදක් හිතට දැනෙනවා මහලොකු වැදගත් දෙයක් නොවුනත්.අක්කා ලස්සනට ලියනවා.ආසයි කියවන්න.

    • ස්තූතියි මහිමා.. ඔයා හරි… සමහර විට මට වැදගත් යැයි හිතෙන දේ තව කෙනෙක්ට නොවැදගත් වෙන්ඩ පුලුවන්!! ඒත් ඒ දේවල් ගැන ලියද්දි ඒක තව කෙනෙක් අකමැති දෙයක් වුණත් ඒ ගැන කියවන්ඩ ආස වෙන්ඩ පුලුවන්!!
      මං ඔයාට කලිං දීපු උත්තරේ ආපහු මටම කියවද්දි හරි නෑ කියල හිතුණ…ඇත්තටම ඒක පෙම්බරය පෙන්නුවාම තමයි මට හිතුණෙ…කලබලේ කමෙන්ට්කළ නිසා වෙන්ඩ ඕනෙ… ඒ නිසා ආයෙමත් ලියන්ඩ හිතුව.. ආයෙමත් ස්තූතියි මේ පැත්තට ආවට

  4. kkrox පවසයි:

    මම පෙරෙව්වේ නැතත් රෙද්ද නම් ලග තියෙන්න ඕනි නැත්නම් නින්ද යන්නේ නැ හැබැයි ඉතින් ඔක්කොම ගෙදර ඉන්නකම් විතරයි රාස්තියාදුවක් ගියාම මොකුත් නැ

  5. Buratheno පවසයි:

    // නිදාගන්ඩ ගියාම මට ඔලුවෙ ඉඳල කකුල් දෙක වෙනකල්ම වහගන්ඩ ඕනෙ… හුස්ම ගන්ඩම ඕනෙ හන්ද නහය ඩිංගිත්තක් එළියට දාල තියං ඉන්නව මිසක් නැත්තං ආයෙ මේ සම්මජ්ජාතියෙ මොකාටවත් හොයන්ඩ බෑ මොකාද මේ ඉන්නෙ කියල //

    ඈ බොල, මාත් ඔහොම්මයි නිදාගන්නෙ.. බොට නං අමතකවීමකින් හරි පොරෝණයක් නැතුව නින්ද යනවා, මට ඒක නැත්තං නින්ද අහලකටවත් එන්නෙ නෑ.. 🙂

  6. Ravi පවසයි:

    මොනවද බං බොලාගෙ මේ වැඩ?…අර ඊයෙ පුල් සෝක බරිත පෝස්ට් එකක් ලිව්ව…එහෙම එකක් ලිව්වම ඉන්ට එපාය ඒ සෝකෙන් බර මූඩ් එකේ දවස් දෙක තුනක්වත්…අස්සය මැරිච්ච කව් බෝයි වගෙ..මූණත්තහඩුව එල්ලගෙන….යටි තොල එළියට පැනල…විඩෙන් විඩේ හොටු හූර හූර….ඇස් ඔල කඳුළු පුරෝගෙන….මේක එහෙමද?….අද මේ වෙන බහු බූතයක් ලියල… 🙂 🙂

    අපෙ උන්දැත් බුදියෙන්නෙ ඔලුවෙ ඉඳං පෙරවාන…අර පොල් ගෝනි තියෙන්නෙ ආන්න ඒ වගෙ…ඔය පොල් ගෝනි කතාව අපි දෙන්න අතර Private Joke එකක් වෙලත් තිබුන ඒ දවස්වල…..උඹනං යටත් පිරිසෙයිං නහපොල්ලවත් එලියට දානවනෙ..මුන්දැ…මොන? නාහෙත් ඇතුලෙ…මේ යෝදි හුස්ම ගන්නෙ කොහොමද කියල මම දහ අතේ කම්පනා කොන්නව…උඹට කියන්ට බැඳපු අළුත මට මහ විකාරෙ වගෙ..මොකෝ මාත් ඔය උඹේ පෙම්බ්‍රාස් ගෙ මොඩල් එකේ බුවෙක්…වෙව්ලන්ට හීතල නැත්තං මං නෙවෙයි රෙද්දක් පෙරෙව්වෙ ඒ දවස්වල…ඉතිං ඔන්න එයයි ඔළුවෙ ඉඳං පෙරවාන බුදියනව කියාපංකො…මයෙ ඇඟේ ලේ නෑ..මුන්දැ හුස්ම ගන්නෙ කොහොමද කියල…විනාඩි පහෙං පහට මම බුලංකේට්ටුව හෙමීට අයිං කරල හොදිවිසි කරල බලනව.ඇයි දෙයියෝ සාක්කි මුන්දැ ඒක අස්සෙ මලොත් එහෙම මාව කුදලං යාවි පොලීසියෙං…

    ඔන්න බලාපං ඒකෙත් හැටි Marriage is nothing but compromising….ඕං ඔහොම කියල තියනවනෙ වෑත්තෑවෙ හාමුදුරුවො…විවාහය කියන්නෙ සම්මුතියක් කියලනෙ ඒ කියන්නෙ…හෙහ්, හෙහ්, මාත් පස්සෙං පහු ඔන්න පොරවන්ඩ පුරුදු උනා… 🙂 🙂

    / මං අම්මලගෙ ගෙදරිං කියල මේ වෙද්දි මගෙයි කියල අරං ඇවිල්ල තියෙන්නෙ
    මං නිතර කියවන පොත් කීපය වෙච්ච
    ඇට මැස්සා
    රිදී තිරංගනාව
    ප්‍රේම පුරාණය
    අරණකට පෙම් බැඳ
    සැබෑ මිනිසෙකුගේ කතාව
    අපූ ත්‍රිත්වය ( ත්‍රිත්වයම දැන් ලඟ නෑ) සහ තවත් පොත් දහයක් පහළොවක් විතරයි.
    ඒ ඇරුණාම මං  අරන්ආව එකම වස්තුව තමයි මං ඉස්සර ඉඳල පොරෝපු ආදරණීය පොරෝණයා!!! /

    අම්මප බලාපං උඹ කිසි විලි ලැජ්ජාවක් නැතුව ඒක කියාපු ලස්සන…නෙදකිං විතරක්…යකෝ…ගෑණු ළමිස්සියෙක් උනාම දීග තලග එනකොට යහමිං දෑවැද්දක් අරං එන්ට ඕන..මොකෝ අර කොළුව කියල මොනවයිං අඩුවක්ද?…තේජස පෙරෙනව නෙව දෙකංසෙං…එතකොට කඩවසං කොම…එහූ රටක් වටින පුරුසයෙක් එක්ක දීගෙක එනකොට උඹ මොනවද ගෙනාවෙ?…..අර කසි කබල් පොත් මිටියකුයි උඹේ මහ ලොකු පොරෝණයයි…අනෙ අම්මප මේ පට්ට හීතලෙත් මයෙ ලේ රත් වෙනව මෙව්ව කියෝන කොටත්..යජිය රත්තරං කොල්ල හින්දම හොඳයි..මම එහෙම නං පයිං ගහල එලවන්නෙ..පයිං ගහල…ඇහුණය? පයිං ගහල…අනෙ අම්මප…

    • ‘බුලංකේට්ටුව’

      හයියෝ මොකද්ද අයියෙ මේ වචනෙ. මං කළිං දවසකුත් අයියා කොහෙද මන්දා ඕක ලියාපු තැනකදි කියවගෙන කියවගෙන ගිහිල්ලා බ්‍රේක් ගහලා දහ අතේ කල්පනා කළා කොහොමද ‘බුලත් හෙප්පුව’ අස්සෙ රිංගගෙන නිදාගන්නෙ කියලා! අදත් ඒකම උනානෙ.

      • Ravi පවසයි:

        බුලංකේට්ටුව කියන්නෙ Blanket එකට බොල….හෙහ්, හෙහ්, ඕක අපෙ අත්තම්මගෙ වචනයක්..අම්මයෙ අම්ම…පොඩි දවස්වල මයෙ ජීවිතේට ලොකු බලපෑමක් කරපු කීපදෙනාගෙන් කෙනෙක්.උන්දැ අපෙ අම්මට මාව හම්බ වෙල මාව බලන්ට කියල ආපු ගමන එහෙම්මම අපෙ ගෙදර නතර උනා. ඒ විඩේ අවුරුදු 28 අපි එක්කම ඉඳල අපෙ ගෙදරම මිය පරලොව ගියා…වයස 94 ක් මැරෙන කොට….අප්පච්චි ගැන වගේම උන්දැ ගැනත් මතක බණවරක් ලියන්ට මයෙ හිතේ තියනව මහ මෙරක් වගෙ.

        උන්දැගෙ තිබ්බ මහ අපූරු වචන…හාල් වලට කිව්වෙ හාට ගෙඩි…වී වලට වියට ගෙඩි….දවසක් නාන්ට බැරිඋනොත් උන්ද මෙහෙම කියනව ” සුට්ටි පුතේ ඊයෙ නාගන්ට බැරි උනා, මයෙ ඇස් ගෙඩිවල පිඟං කටු අනින්නැහෙ ඕං ”

        මම පාවිච්චි කරන වචන බහුතරයක් ඔය අත්තම්මගෙ වචන ..ආය සුනේත්‍රා රාජකරුණානායක නෝනා මහත්මිය සහ දයා රාජපක්ෂ මහත්මයගෙන් උපුටාගත්තු ඒවා.

    • RanDil පවසයි:

      //උඹට කියන්ට බැඳපු අළුත මට මහ විකාරෙ වගෙ.. ……………………………විනාඩි පහෙං පහට මම බුලංකේට්ටුව හෙමීට අයිං කරල හොදිවිසි කරල බලනව// හුස්ම ගන්නවද කියලද? 😀 😀 😀

      මේ ඩී අකුරු පේලියට අමතරව නොයෙකුත් දේවල් තියෙනවා මෙතැන ටයිප් කරනවා නං………….. ඒත් ආයේ මොකටද නේද? 😀 😀 😀

      • Ravi පවසයි:

        ආ….ඔ‍ය ආවෙ …ඔන්න ආව….. ඔන්න ආව. උඹ විතරයි අඩුවකට හිටියෙ…දැක්ක නේද මේ කාලෙකට පස්සෙ එනගමං කියාගෙන ආපු එක?..අනෙ අම්මප ඔව්වට කියන්ට දේවල් නං තියනව අනන්ත..ඒත් මොකටද ආය?….:) 🙂

    • henryblogwalker පවසයි:

      මචං කිව්වට තරහ ගන්නෙපා. පොල් ගෝනියක් කියන්නෙ කිසි හැඩයක් නැතුව තැනින් තැන ගෙඩි ගෙඩි වගෙ ඉලිප්පිලා පේන එකක්නෙ. උඹේ ෆොටෝ එක කෝ කියලා ඇහුවාම උඹ මට බලන්න කියලා ලින්ක් එක දීපු වෙඩිං ෆෝටෝ එකේ ඉන්න සඳා නෝනා නම් පොරවා ගත්තාම පොල් ගෝනියක් වගේ කියලා උඹ කියනවා නම් ඒක පැහැදිලි ඉරිසියාව. සමහරවිට ලිංගික ඊර්ෂ්‍යාව කියන්න ඕකද මන්දා. :O
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      • Ravi පවසයි:

        හෙහ්, හෙහ්, ඔය කොයි රූප රාජිනිත් බං ඔලුවෙ ඉඳං පෙරව ගත්තම ආය පොල් ගෝනියක් වගෙ තමයි. ජොලීත් එහෙමයි, J.Loත් එහෙමයි.දීපිකාත් එහෙමයි, අයිෂ්වර්යාත් එහෙමයි, සඳා නෝනාත් එහෙමයි, DJ නෝනත් එහෙමයි. 😀 😀

        / සමහරවිට ලිංගික ඊර්ෂ්‍යාව කියන්න ඕකද මන්දා. :O /

        නෑ මචං ඕකට කියන්නෙ Sexual Fantasy – ලිංගික විචිත්‍ර සංකල්පනා……උඹලට වෙලා තියෙන්නෙ බං කිසිම Imagination එකක් නෑනෙ…එහෙම වෙලාවක පොල් ගෝනියක් හිතේ මවා ගන්න පුළුවන්ය කියන්නෙ බං ඒකෙ විලෝමයත් ඒ වගේම පුළුවන්ය කියන එකනෙ.

        දැන් මම පොල් ගෙඩියක් ගේන්ඩ කඩේ ගියාය කියමු. ලොක්කි උදේට රොටි හදන්ට පිටි එහෙම අනල ඔන්න පොල් මදිවෙල මට කියනවනෙ ” අනේ ගේන්ටකො දුවල ගිහිල්ල පොල් ගෙඩියක් ” කියල.රොටි කන්ට වෙන්නෙ හවස තේ බොනකොට තමයි..ඔන්න කඩේට ගියාම මයෙ Imagination Run Riot වෙනව. පොල් ගෝනි වල මට හිතෙන්නෙම… මේකෙ ඉන්නව ඇත්තෙ ප්‍රියංකා, මේකෙ කරීනා, මේකෙ සිල්වියා, මේකෙ මධුරි..ඔන්න ඔහොම..ඉතිං වරුවක් මම බලා ඉන්නව පොල් ගෝනි දිහාවෙ.. 😀 😀 😀

    • අනේ මන්ද දැන් මාත් මෙතෙන්ට මොනවත් කියන්ඩ ඕනැද බං??
      හි හි..
      අස්සය මැරිච්ච කවුබෝයි!! උඹගෙ කට තමා අයියෙ කට.. උඹ ඉන්න උපාසක ලීලාවට අනේ අර සඳක් වගේ ඉන්න සඳා අක්ක රැවටුණා නෙව හැබෑට..??
      /විනාඩි පහෙං පහට මම බුලංකේට්ටුව හෙමීට අයිං කරල හොදිවිසි කරල බලනව./
      ඇයි බං අය්යෙ හොදි විසි කරන්නෙ අක්කගෙ ඇඟට.. අනික අක් දන්නව නං එහෙම උඹ මෙච්චර දවසක් හොදි විසි කළාය කියල එයාට ඊලඟ දවසෙ නවයි ඉඳුල් වතුර කොරහක්ම උඹේ ඔලුවට…. උඹෙත් කිසි කමකට නැති වැඩ බං තියෙන්නෙ…. ඔය පොඩ්ඩක් එබිල නහය දිහාට අත ලං කළා නං තේරෙනව නෙව හුසුම වැටෙනවද කියල..
      /ගෑණු ළමිස්සියෙක් උනාම දීග තලග එනකොට යහමිං දෑවැද්දක් අරං එන්ට ඕන./
      ආයෙ තව මොන දෑවැදිද බං… මේ මං ආවම මදෑ.. මොකෝ මයෙ කියලත් ආයෙ මොන අඩුපාඩුවද්ද??

  7. රෝස කුමාරි පවසයි:

    මටත් තියනව ඔය පොරෝනෙ ඔලුවෙ ඉදන් පතුලට පොරවන පුරුද්ද. මටනම් පොරෝනයක් නැතුව නින්දයන්නෙම නෑ. මොනතරම් දාඩිය දැම්මත් පොරෝනෙ ඕන. ඒ විතරක් නම් මදෑ මම ලංකාවෙ ඉද්දිත් පෙරෙව්වෙ “කම්ෆටර්” එකක්. ඒකෙ තුනී පුළුන් තට්‍ටුවෙ බර ඇඟට දැනෙන්නෙ නැතුව මට නින්ද යන්නෙ නෑ. මෙහෙදිත් සීත කාලෙ වගේම ග්‍රීශ්ම කාලෙත් ඔය කම්ෆටර් එකක්ම තමයි පොරවන්නෙ. සීතකාලෙ ඒකෙ ගුලි උනාට මෙලෝ මනුස්සයෙක් සමර් එකේ ඕව පොරවනවද කියල මට හැමෝම හිනාවෙනව උනත් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නොවැ.

  8. තිසර පවසයි:

    මගෙ කාමරේ, මේසෙ, පොත් රාක්කේ කිසිම පිළිවෙලක් නැතත් මට නිදාගන්න ඇඳ නම් රැල්ලක් වත් නැතුව, හොඳට වැලි, දූවිලි ගසලා හෙම තියෙන්නෙ ඕනෙ…

    • හි හි.. මට තියෙන පුරුද්දක් තමයි රස්නෙ දවසට සැරෙන් සැරේ කොට්ටෙ පැති දෙක මාරු කරන එක… සමහර දවසට රෑ නින්දෙනුත් මම කොට්ටෙ යට පැත්ත ආපහු උඩට දාගන්නව… ඒ විතරක් නෙවෙයි… හරියට සෙට් වෙන අතට හරිබරි ගැනුණෙ නැත්තං නින්ද යන්නෙ නෑ වරුවකට….

  9. ඔන්න මේ ලියමනනං පපුව හිර කරගන්නෙ නැතුව කියෙව්වා. නැත්තං පහුගිය ටිකේ එක දිග..ටම අක්කා ලියපුවා කියවලා මට මහා දුකක් දැනුණේ. ඒ ඔයාගේ හිත, හැඟීම් එහෙමම අකුරු වලට හරවන්න ඔයා දක්ෂ නිසා අක්කේ. ඔයාට එහෙම ඒවා ලියන්න එපා කියන්නෙ නෑ, ඒත් වැඩිපුර මේ වගේ ඒවා ලියන්න.

    බත් පිඟානෙ ආස කෑම ටික අන්තිමට ඉතුරු කරගෙන රස කර කර කන පුරුද්ද මටත් තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම, තාමත් ඒක එහෙමමයි. මම කෑම කන්නෙ මගේම පිළිවෙලකට. ඉතිං මහා සභාවක් මැද්දේ කන්න ගියහම මට මළ වදේ. මොකද මේ ළමයා පරිප්පුයි බතුයි විතරක් කන්නේ කියලා ඔන්න ඉතිං අර අමාරුවෙන් කාලා කාලා ඉවර කරගත්තු බෝංචියි, වැටකොළුයි, කොහිලයි, අරවයි මේවයි ආයෙත් ගෙනල්ලා බෙදනවා. හපොයි! මගෙ පාඩුවේ කන්න දෙන්නෙම නෑ. ඉස්සර මං බිත්තර කන කාලේ මං ඒක කෑවෙත් ඔය අක්කා කියපු විදිහටමයි. ඇයි තව රෝල්ස්, පැටිස් වගේ ජාති කනකොට. ඒකේ රහ ඉතිං අර බැදිච්ච හරියනේ. මට ඉතිං ඕක අර එක කටට හපලා දාන්න ලෝබයි. ගෙදරදිනං මං කරන්නෙ හොඳට හරිබරි ගැහිලා පිඟානක් උඩට ඕක වඩම්මලා ඒක දිග ඇරගෙන, මුලින් මැද්දෙ ටික කාලා පස්සෙ හෙමින් හෙමින් වටේ ටික කන්නේ. ඒත් ඉතිං ගෙදර සෙල්ලං පිටදි බෑනේ. ඒ නිසා බොහොම දුකෙන් ශීලාචාර විදිහට කනවා එළියෙදි ඕකක් කන කොට.

    හැබැයි ඉතිං ඔය ‘රස කෑම අන්තිමට’ පිළිවෙලනං පොඩ්ඩක් එහා මෙහා වෙනවා ලෙමන් පෆ් බිස්කට් එකක් එහෙම හම්බුනාම.

    නිදාගන්නකොට පොරවගන්නනං මට ඕනෙ වෙන්නේ වැස්ස දාටයි, සීතල තදින් දැනිච්ච දාටයි විතරයි.

    මට තව පුරුද්දක් තියෙනවා හැම දාම යන එන ගමන් වලදි දකින මොනවා හරි දෙයක් හරි දකින කෙනෙක් හරි මගේ මතකේ රැඳුනොත් මට ඒ කෙනාව හරි, ඒ දේ හරි හැමදාම දකින්න ඕනේ. නැත්තං හිතට හරි පාළුයි. අර මං කළින් දවසකත් කිව්ව සෝමෙ ආච්චි අන්න ඒ වගේ කෙනෙක්. අම්මලාගෙ ගෙදර ඉඳන් බස් හෝල්ට් එකට යන අතරෙදී එයාව දැක්කෙ නැත්තං එදාට මට හරි පාළුයි. තව හෝල්ට් එකට ගිහිල්ලා බස් එක එනකල් බලං ඉන්නකල් එතන ඉස්සරහා තියෙනවා අර ‘මෑන් හෝල්’ එකක්. ඕකේ පියන ටිකක් බුරුල්. ඉතිං ඕක උඩින් වාහන යන කොට ඩාං ඩාං ගාලා සද්දෙ එනවා. ලොකු වාහන යද්දි ලොකු සද්දයක්. පොඩි වාහන යද්දි පොඩි සද්දයක්. පියන මැද්දෙන් වාහනේ ගියොත් එක සද්දයක්. පියනේ අයිනෙන් වාහනේ ගියොත් තව සද්දයක්. ඉතිං බස් එක එනකල් මං ඕක දිහා බලාගත්තු ගමන්මයි ඉන්නේ. වාහනයක් ඒකට කිට්ටු වෙනකොටම මං හිතෙන් හිතනවා ඔන්න මේකෙන් එන්න ඕනේ මේ වගේ සද්දයක් කියලා. හරි ගියොත් මට හරි සතුටුයි. ඒක මගේ පුංචි සෙල්ලමක්. ඒත් අනේ දැං ඒ සෙල්ලම නැවතිලා. ඒ පියන දැන් හදලා. දැං ඒක උඩින් වාහනයක් ගියාට ඒ සද්දෙ ඇහෙන්නෙ නෑ. බස් හෝල්ට් එකේ ඉන්නකොට දැන් මට හරි පාළුයි.

    • Ravi පවසයි:

      / ඒ පියන දැන් හදලා. දැං ඒක උඩින් වාහනයක් ගියාට ඒ සද්දෙ ඇහෙන්නෙ නෑ. බස් හෝල්ට් එකේ ඉන්නකොට දැන් මට හරි පාළුයි. /

      හයියෝ..ඔය පාළුව නැතිකරගන්ට බොහොම පොඩි දෙයක් නෙව කොරන්ට තියෙන්නෙ…දෙන්නංකො උපදෙස් නොමිලෙම….

      ඔන්න වැඩේ කරන්ට ඕන අමාවක දාක..හරිද?….එලාම් එක තියල ඇහැරපං දෙන්නත් එක්ක පාන්දර තුනට…ම්ම් ..නෑ දෙකට කියාපංකො…ඔව් දෙක හොඳයි…මේකට ඕන වෙනව තනිකර කළු ඇඳුං…උඹට කළු පාට කිට් එකක් නැත්තං වහාම ගනිං…හැබැයි මතක ඇතුව අර මුසිලිං අයගෙ කඩවලට යන්ට එපා හරිය?…සිංහල ජාතිය බේරාගන්ටත් එපාය, මොක නැති උනත්…හෙහ්, හෙහ්,

      ඊගාවට ගාගනිං ඇඳුමට වැහෙන්නෙ නැති හරිය ඔක්කොම ග්‍රීස් සහ කළුතෙල් එකට කලතල හිට, ඒකරල ඔන්න දෙන්න පිටත් වෙනවලු…සිත්තරාගෙ කරේ අලවංගුවක්…උඹේ අතේ ටෝච් එකක්…ටෝච් එලිය වැඩිය නොපෙනෙන්ට අතිං මුවා කර ගනිං මතක ඇතුව ( Like a deer )

      ආහ්, වැදගත්ම කොටසක් අමතක උනා නෙව..මේ මෙහෙයුමට නමක් දාන්ට එපාය….Operation Manhole cover…මනුබිල් අපධාන මෙහෙයුම ..Commander in chief – Brigadier General Siththami, MKB, NST,

      ඔන්න දෙන්නත් එක්ක හෙමීට යනව වට පිට බල බල…වාහනේක එලිය එහෙම දැක්කොත් Down යන්ට ඕන හොඳද?

      මෑන් හෝල් එක ලඟට ගියාම උඹ ඔත්තු බලපං..ඒ අතර සිත්තරා අර අලවංගුවෙන් ඇනල පියන බුරුල් කරල තියාපං….මෙහෙයුම සාර්ථකයි..

      Your majesty, I beg your gracious indulgence to report the successful completion of Operation Manhole cover

      ආන්න, පහුවදා ඉඳල උඹට පාළුවක් නෑ…හෙහ්, හෙහ්,

      දැක්කද අපි වාගෙ වැදගත්තු ආස්සරේ කොරන එකෙන් තියෙන වාසිය?….වෙන කවුද කියාපං උඹට ඔහොම නොමිලේ උපදෙස් දෙන්නෙ..:) 🙂

      ****************************************

      ප.ලි – ඔන්න Manhole ය කියනකොට හැමදාම මට මතක් වෙන දෙයක්…ඔය Chairman කියන එක එහෙම පුරුසාදිපත්තිය ( ඔහොම එකක් තියනවය කියල කියනව…මාත් මේ දාහත් අවුරුද්දක් තිස්සෙ හොයනව..ඩිංගක් විතර පාවිච්චි කොරන්ට..ම්හු තාම හම්බ උනේ නං නෑ..මේ පාර ගිහාම අපෙ උන්දැගෙං අහල බලන්ට ඕන..කොහෙද ඒක තියෙන්නෙ කියල )ප්‍රකාස කරන වචනයක්ය කියල ඒක දැං වෙනස් කලා නෙව Chairperson කියල. ඒ වගේ Manhole කියන එකත් නරකද Personhole කියල වෙනස් කලානං..

      • MKB, NST කිව්වෙ අයියෙ?

        /*දැක්කද අපි වාගෙ වැදගත්තු ආස්සරේ කොරන එකෙන් තියෙන වාසිය?….වෙන කවුද කියාපං උඹට ඔහොම නොමිලේ උපදෙස් දෙන්නෙ..:)*/

        අනේද කියන්නෙ. අපේ පෙර පිනක් වෙන්ඩ ඕනෙ මෙහෙව් උපදෙස් දෙන අයියණ්ඩියෙක් හම්බ උනේ. මල් වට්ටියක්ම කකුල් දෙක ලඟ තියලා වඳින්න හිතෙනවා, අනෙ ඇත්තමයි. අදම ඕඩර් එකක් දෙන්ඩ ඕනෙ කාට හරි පොල් මල්, කිතුල් මල් හෙම අඩුක් කරන්න පුළුවං වට්ටියක් හදන්ඩය කියලා. 😛

      • Ravi පවසයි:

        Mole Koloppan Baageta , Nuhuguneth Suttak Thiyanava 😀 😀 😀

      • හපෝයි, මුන්දැගෙ හැටි දැනගෙනම මේක පොරොසිද්දියෙ ඇහැව්වට මට හොඳ වැඩේ!

      • henryblogwalker පවසයි:

        මචං මුවා වෙනවා කියන්නෙ like a deer නෙවෙයි බං. be a deer.

        මම තනියෙන් හිනාවෙන කොට මගෙ පොඩි එකා මොකද කියලා ඇහුවා. මමත් හඬ නගා කියෙව්වා උඹේ සංවාදෙ. ඒක බාගෙට අහගෙන හිටපු දීපා කිව්වා අනුමානයක් නෑ අර රවියා වෙන්නැති ඕක ලියන්න ඇත්තෙ කියලා. මගෙ පොඩි එකා කිව්වා සිත්තමීගෙ ඔය මෑන්හෝල් කවර් එක ගැන අහලා එක යූ ටියුබ් වීඩියෝවක් තියෙනවලු The games we play කියලා.

        මෑන්හෝල් කවර් ගැන මටත් කතාවක් මතක් වුනා. මුල්ම කාලෙ ඔය එංගලන්තෙ කාන්තා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ආපු වෙලේ ලංකාවෙ සුප්‍රසිද්ධ ක්‍රිකට් වලට සම්බන්ධ බුවෙක් ඕකෙ කැප්ටන්ව ඉන්ටවිව් කරාලු. මූත් අර උඹ කිව්ව පුරුෂාධිපත්‍ය අහවල් එක ඔලුවෙ තියාගෙන හිටපු එකෙක් නිසා විහිලුවට අහලා, ඔය සංවේදී කලාප වල ආරක්ෂාවට ඔය පිරිමි ක්‍රීඩකයො නම් අඳිනවනෙ ඔය බෝල් ගාඩ් (බොක්ස්) කියලා එකක්. එතකොට ඔයගොල්ලොත් එහෙම එකක් අඳිනවද? ගෑණිටත් තේරුනාලු මූ නිකම් බයිට් කරන්න එනබව. මොකක්ද බෝල් ගාඩ් කියන්නෙ කියලා අහලා. මූත් ඉතින් ඒකෙ ප්‍රයෝජනය විස්තර කරන කල් හිටපු කාන්තා කැප්ටන් හිනාවෙලා කිව්වලු, “හික්ස් ඔයාලා ඒකට කියන්නෙ බෝල් ගාඩ් කියලද? අපි නම් කියන්නෙ… (හා රවි උඹ වැඩ කාරයානෙ. මොකක් කියලද කියන්න ඇත්තෙ?)
        henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      • Buratheno පවසයි:

        @ සිත්තමියා,

        හා දැන් බොලා කියන්නෙ රවියා ඕක මෙතන පොරසිද්දියේ කිවුව නිසා අපි ඕවා දැනගත්ත කියලයැ.!? අනේ නිකා හිටු, අපි එදා ඉඳංම දන්නවා සිත්තමියාට මොළේ කොලොප්පම් & නුහුගුනේ තියෙනවය කියලා.. 😛

      • Ravi පවසයි:

        @ Henry,

        / මචං මුවා වෙනවා කියන්නෙ like a deer නෙවෙයි බං. be a deer. /

        ස්තූතියි හෙන්රි…ඔබ හරි…

        / මූත් ඉතින් ඒකෙ ප්‍රයෝජනය විස්තර කරන කල් හිටපු කාන්තා කැප්ටන් හිනාවෙලා කිව්වලු, “හික්ස් ඔයාලා ඒකට කියන්නෙ බෝල් ගාඩ් කියලද? අපි නම් කියන්නෙ… (හා රවි උඹ වැඩ කාරයානෙ. මොකක් කියලද කියන්න ඇත්තෙ?) /

        දැං මචං මෙතනෙ පොඩි Ambiguity එකක් තියනව.කාන්තා කැප්ටන් කියන්නෙ ඔය උපකරණය පිරිමි පාවිච්චි කරනකොට කියන නමක් ගැනද නැත්නම් එයාල, ඒ කිව්වෙ බබලත්තු පාවිච්චි කරන කොට කියන නමක් ගැනද?…කාන්තාවො පාවිච්චි කරනකොට කියන නමක් ගැනනම් උඹ මේ අහන්නෙ ඒක බොහොම සිම්පල්…අර සිත්තමීගෙ කතාවෙ තියන එකම තමයි.

        කාන්තාවො ඕක පාවිච්චි කරන කොටත් බෝල් ගාඩ් කියල යෙදෙනව. හැබැයි ඒ සපුරාම විරුද්ධ අර්ථයෙන්…හෙහ්, හෙහ්, එතකොට ඕක පාවිච්චි වෙන්නෙ බෝලෙ ආරක්ෂා කරගන්ට……:) 🙂

      • Ravi පවසයි:

        @ සිත්තමී,

        ඔව්වොව්වොව්..උඹට එව්ව ඕනැන්නෙ නෑ…හෙහ්, හෙහ්,

        ඊයෙ මම ඔය කතන්දර ලිව්වෙත් වං ඇහෙං හොදිවිසි කරමිං උඹ කොයි වෙලාවෙ හරි ඔන් ලයින් ආවොත් කියල..වෙලාවට ඊයෙ උඹ හිටියෙ නෑ 🙂 🙂

    • මේකට තව මාත් මොනව හරි කියන්ඩ ඕනෙ නං කියහං සිත්තමී නගේ…. 😀

      /හැබැයි ඉතිං ඔය ‘රස කෑම අන්තිමට’ පිළිවෙලනං පොඩ්ඩක් එහා මෙහා වෙනවා ලෙමන් පෆ් බිස්කට් එකක් එහෙම හම්බුනාම./
      මගෙත් ආසම බිස්කට් එක තමයි ලෙමන් පෆ්.. ඊලඟට චීස් බිට්ස්, චික් බිට්ස්, ක්‍රිස්කෝ!!
      හැබැයි මැලිබන්!!
      ඉස්සර මතකද ලෙමන්පෆ් බිස්කට් එක.. අර ක්‍රීම් ක්‍රැකර් එකේ වගේ හයිය බිස්කට් එක උඩ යාන්තමට කැරමල් වෙච්ච සීනි ඇට හැපෙන…
      මැද්දෙ තියෙන ලෙමන් ක්‍රීම් එක කොච්චර රසද??
      ඔය මංචිල ලෙමන්පෆ් එක වෙනස් කළානෙ අර ටිෆින් වගේ බිස්කට් එකකට..හපෝ මං ඒ කාලෙ නං ලෙමන් පෆ් කටේ තිබුබෙ නෑ…. මට පේන්ඩ බෑ ඒ කටේ පිටි වගේ තැවරෙන බිස්කට් එක…වැඩේ කියන්නෙ මැලිබන්ලත් මාරු වුණා නෙ ඒ වගේ ම බිස්කට් එකකට… ඊට පස්සෙ ආව අර ක්‍රීම් ක්‍රැකර් එක තරං හයිය නැති බිස්කට් එකක්.. ඒකත් ඒ හැටි ඇල්ලුවෙ නෑ මට නං… ඔන්න දැං ආයෙමත් මැලිබන්ලගෙ බිස්කට් එක ඉස්සර තරංම නැතත් තරමක් ඉස්සර ගතියට කිට්ටුවෙන්ඩ තියෙනව…
      ඒ තරං මං ආස තව දෙයක් නෑ….
      විස්වාස කරපං නංගියෙ මතක් වෙච්ච පාර ඔපීසියෙ ප්‍රගීත් කොලුවව යවල ගෙන්නගත්ත ලොකු ලෙමන් පෆ් පැකට් එකක්..
      බිස්කට් අටකට විතර වග කියලයි මේ ලියන්නෙත්

      • @ Buro Ayya
        අනේ එහෙමද? ඔන්න ඔයගොල්ලො දැනගත්තට කමක් නෑ, වෙන කාටවත් එහෙම කියන්ට එපා, හරිද! 🙂

        @ Ravi Ayya & Henry Ayya
        මොනවද අනේ මේ කියලා තියෙන විකාර කතා. මට බාගෙට බාගයක්ම තේරුනේ නෑ. හැබැයි දෙන්නගෙ තරම දන්න හින්දා මං හිතන්නෙ මට ඕක තේරුං ගන්ඩ ඕනෙත් නෑ.

        @ Janu Akka
        පැණි රස කන්න වැඩිය ආස නැති මම ලෙමන් පෆ් එකට ඔය දස වදේ දුන්නට මං වැඩියෙන්ම කන්න කැමති බිස්කට් එකනං චීස් බට්න්ස්. අර රුපියල් විසිපහටද කොහෙද තියෙන පොඩි පැකට් එකක් කෑවොත් මට බත් වේලක් වෙනුවට ඇති ඒක. 🙂 ඊලඟට අනියන් බිස්කට්, චික් බිට්ස්, චීස්ලට්ස්. ඔන්න මටත් දැන් ආවා බිස්කට් බඩගින්නක්. 🙂

      • මාත් ඒ හැටි පැණි රහට කැමති නෑ… ඇත්තටම මං කන්ඩ ආස නෑ නෙවෙයි.. බොන්ඩයි ආස නැත්තෙ.. තේ එකට සීනි වැඩි නං එහෙම මං බොන්නෙම නෑ… වෙන ක්‍රීම් බිස්කට්වලට ආසත් නෑ.. ලෙමන් පෆ්!! වැඩේ කියන්නෙ පෙම්බරයත් ආස ඒවටමනෙ… එහෙම වුණාම පාඩුයි වැඩේ!

  10. Kusumsiri Edirappuli පවසයි:

    මාරයි,ජනනි අවුරුදු 25ක් විතර අතීතයට යන්න පුල්වන් උනා. දැන් හැදෙන පොඩ්උන්ට මෙහෙම මතක් කරන්න දේවල් තියේවිද?

  11. සාතන් පවසයි:

    විශේෂ රෙද්දක් නම් නෑ පොරවන්න… ඒත් මටත් ඔය ලෙඩේ ටිකක් වෙනස් විදිහකට තියෙනව… පොරවගෙන නිදාගන්න බෑ… හැබැයි උදේට නැගිට්ටහම නම් ඕක පොරවන් තව වෙලාවක් ඉන්න ඕන 😉

    බිත්තරේ කහ මදේ තමා ඉතුරු කලොත් 🙂

  12. Bindi පවසයි:

    බොලේ මන් ඊයේ යක්කු ගස් යන ජාමේ පට්ට හීතලේ බ්ලැන්කට් එකට රිංගන එකත් පමා කොරල කොටපු කොමෙන්ටුවට මක් වුනාද .

    එහෙමයි කියල මෙච්චර වටිනා ලියුමකට මොකවත් නොකියා ඉන්නේ කොහමද

    ඔය ඔලුවේ හිටන් වහගන්න පුරුද්ද මටත් තිබ්බා . ආයේ මලා වගේ තමයි . නාහෙත් වහන් . පස්සෙන් පහු ඉතින් කෙල්ලන් උපන්නම උන් අපිව ටිකක් වෙනස් කළා . කොටින්ම අනික් පැත්ත හැරුනොත් අපේ පොඩි එකී වලි. එයාගේ පැත්ත හැරිලා එයාව තුරුළු කරගන්නත් ඕන . දැන් නම් සිතල කාලේ . කෙලින්ම රිංගනවා බ්ලැන්කට් එක යටට . ෆෝන් එකත් කෝට්ටේ යට . එලාම් එක පහේ ඉඳන් විනාඩි පහෙන් පහට වදින කොට ඔෆ් කරන්නේ කොහොමද නැත්නම් .
    යාන්තම් හයට විතර එලියට එන්නේ ගොලුබෙල්ලෙක් උගේ කට්ටෙන් එලියට දාන කොට දැනෙන හිතේ අමාරුවෙන් .
    ගිනි රස්නේ කාලෙට නම් කකුල් විතරයි වහන්නේ .
    බලන් ගියහම පෙම්බරයත් අපේ මනුස්සයා වගේම ගිය ආත්මේ පොත් කාවෝ මරලද කොහෙද . උන්දැටත් දායාද විදිහට හම්බ වුනේ පොත් කබල් ටිකක් . පව් .
    රස ජාති හෙමින් කන පුරුද්ද මටත් තිබුන . දැන් නම් නැහැ . ඉස්සර රටකජු හම්බ වුනහම පොතු ගලවනවා එකින් එක .ඉස්සෙල්ලම කන්නේ පොතු . පස්සේ තමයි රටකජු ටික කන්නේ .
    අනික් උන්ගෙන් ත්‍රස්තවාදී ප්‍රහාර එනවා .
    අපේ පුහුණු සන්දියේ හිටියා යාලුවෙක් . බිත්තරේ අන්තිමට කන්නේ . අනෙක් කොල්ලෝ නෙමේ විහිලුවට වත් හොරා ගන්නේ ඒ බිත්තරේ . අතක් වත් තිබ්බොත් අර කොලුවා දෙනවා මාර බැල්මක් . ආයේ ජීවිතේට බිත්තර නොකන්න හිතෙන .
    අනේ ඇත්තටම ලිපියයි රවිගේ කමෙන්ට් ටිකයි කියවල හිනා වුනා ඇති වෙන්න .

    • අනේ මං මේකට ඊයෙ කමෙන්ට් එකක් ලිව්වනෙ… මක් වුණාද ඒකට??
      කමන්නෑ ආයෙ කියන්නං… ඔය ජංගමය කොට්ටෙ යට, ඇඳේ තියාගන්න පුරුද්ද මගෙන් ගියේ මේ මෑතක පෙම්බරයගෙන් බැන්ං අහලමයි.. ඒක ඒ හැටි හොඳ පුරුද්දක් නෙවෙයි අපේ සෞඛ්‍යයට…

      නෑ නෑ.. පොත් කාවො මරල නෙවෙයි අපේ එක්කෙනා නං.. උන්දැ ලබා උපං හැටි.. උන්දැට තියෙන්නෙත් ඩීවීඩී කන්දක් දෑවැද්දට…

      බිත්තර කියද්දි මතක් වෙන්නෙ අපේ තාත්තගෙයි මල්ලිගෙයි බිත්තර හබේ… දෙන්නට තිබුණ ලොකුම බිත්තරේ තමන් සතු කරගන්න තරගයක්.. හැමදාම දිනන්නෙ මල්ලි වුනාට තාත්ත හැමදාම පැන්සලකින් ලොකුම බිත්තරේ “තාත්තා“ කියල ලියල තැම්බෙන්ඩ දානව.. තැම්බිලා මිනිරන් දියවෙලා නම මැකුණාම ආයෙමත් ලොකු බිත්තරේ මල්ලිට!!

  13. praveena පවසයි:

    ඔය පොරෝගන්න ලෙඩේ මටත් තියනවා. ඇස් දෙක විතරයි එලියේ තියෙන්නේ. බය හිතෙන පොතක් කියවපු දාට හරි, ෆිල්ම් එකක් බලපුදාට හරි ඒකත් පේන්ට නෑ. ලංකාවට ගියාම මාර කරදරේ. ගමේ නම් කමක් නෑ සීතලයි. ඒත් කොළඹ…?

    රස කෑම අන්තිමට තියාගෙන කන එක මගෙත් පුරුද්දක්. පොඩි කාලේ අම්මයි, අප්පච්චියි මාව රවට්ටල පස්සේ හිමින් කන්ට තියාගෙන හිටපූ චොක්ලට් ඉවර කරපු හැටි තාම මතකයි.

    කකුල් උඩින් බරක් වැටෙන වානම් හොඳට නින්ද යන ලෙඩකුත් තියනවා. 😀

    මේ දවස්වල කොට්ටයක් තියාගෙන නිදන්නේ . හැබැයි ටික වෙලාවකින් ඒකට පයින් ගහලා විසි කරනවා.පස්සේ මොනවා වෙයිද කියන්ට බෑ. 🙂

    • අප්පච්චියේ, කොහොමද මට පොඩ්ඩි අක්කවයි බින්දි අක්කවයි මග ඇරුණෙ… ??
      සමා වෙන්ඩල…
      මම සාමාන්‍යෙයන් නිදා ගන්නෙ මුනින් අතට… ගෙම්බෙක් පොළවෙ ගැහුව වගේ… ඊට පස්සෙ කකුලක් නවාගෙන දනිස්ස හරියට කොට්ටයක් තියාන.. මුනින් නිදා ගත්තම අත් දෙක තියෙන විදිය ටිකක් අස්වාභාවිකයි… නිකං කැරකිලා වගේ… දවසක් මට හොඳට නින්ද ගිහින් ඉන්න වෙලාවක පෙම්බරය අවදි කළා… අත තියෙන විදියට අත කැඩෙයි කියල බය වෙලා…

      /මේ දවස්වල කොට්ටයක් තියාගෙන නිදන්නේ . හැබැයි ටික වෙලාවකින් ඒකට පයින් ගහලා විසි කරනවා.පස්සේ මොනවා වෙයිද කියන්ට බෑ. /

      අනේ මන්ද මෙව්වට කියන්ඩ එව්ව කටට එනව.. එක්කොත් ඔන්න ඔහෙ කට වහ ගන්නව 🙂

  14. Asoka පවසයි:

    Beautiful blog and I am addicted to it already. Sorry I cant type in Sinhala which I am trying to learn but enjoying your writing. Reminds me of Sunethra Rajakarunanayake’s books which I know you like.

  15. පවසයි:

    ඔච්චර කාලයක් පෙරෝන එකම පෙරවන රෙද්දක් පාවිච්චි කරනවා කියන්නේ ඕක හෝදන්නේ නැතුව කුනු වලටම හන් වෙලා වෙන්න ඕනේ නැත්නම් කොහෙද ඔච්චර කාලයක් තියෙන්නේ. 😀

    මාත් කැමතියි බෙලෙක්ක පිඟන් වලට. තාමත් මහගෙදර ගියාම කන්නේ දැනට අවුරුදු 20කට විතර කලින් ඉඳන් කන පිඟන් වලම තමා.

    අර උදේ නැගිටලා පෙරවගෙන තව විනාඩි 5ක් නිදා ගන්න කතාව නම් සහතීක ඇත්ත

  16. Anithkona පවසයි:

    මේ කියවීම මට මගේ අතීතයේ සිදුවීම් මතකයට ගෙනගියා. මටත් ඔය පුරුද්ද තියෙනවා පොරෝනයක් නැතිව නින්ද යන්නේ නෑ. කොයිතරම් රස්නෙ වුනත්… පිඟනුත් එහෙමයි. රිදී පාට බෙලෙක් පිඟානක කන්න පුරුදුවෙලා හිටියේ. දැන්නම් ඉතින් අමාරුවෙන් ඒ පුරුද්ද අත ඇරියා මයික්‍රොවේව් සහ ශීතකරණ පිහිටෙන් කෑම කන නිසා.

    • බලාගෙන ගියාම වැඩි දෙනෙක් පොරෝන කට්ටිය නේද?

      මගේ මයික්‍රොවේව් එක නං ටික දවසක් විරාජමාන වුණා කුස්සියෙ.. ඊට පස්සෙ මටම එපා වුණා.. අපි දෙන්නම කෑම රත් කරල කන එවුන් නෙවෙයි.. අනික ඒක සුදු අලියෙක් වගේ එතන වැඩ ඉන්ඩ ගියාම මගෙ වැදගත් ඉඩකඩක් ඇහිරෙනව…
      ඔය පුරුද්ද නං ඒ හැටි හොඳ නෑ මගෙ හිතේ… ආයෙ මං කියන්ඩ දෙයක් නෑනෙ…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )