මතක බණවර…!!!

janu

ඒයි… අන්න රෙදි සේල් එක ආයෙමත් දානව ලබන සතියෙ… ඉස්කෝලෙ අයට කියනව…

තාත්ත වැඩ ඇරිල ගෙදර ආව ගමන් අම්ම ලිපේ තියල තියෙන උණූවතුර මුට්ටිය ගාණට ඇල් කරගෙන ඇඟ හෝදල, ඔලුව පීරල ඕඩිකොලොන් ගාල සුවඳ ගහ ගහ කුස්සිය පැත්තට එන්නෙ අමතක වෙන්ඩ කලින් අම්මට පණිවිඩෙත් කියාගෙනමයි.

අම්ම වැඩි සද්දයක් නැතුව තාත්තගෙ අතට තේ කෝප්පෙ දෙනව..

අනේ අම්මෙ මාත් එනව ඔන්න එදාට යන්ඩ.. අම්ම ගියපාරත් මාව දාල ගියා…

මං නහයෙං අඬන්ඩ පටං ගන්නව..

ආ.. එයාව එක්ක යනව නං මාත් එනව

මලයත්  දෙවෙනි වෙන්ඩ කැමති වෙයියැ…

දෙන්නම සද්ද නවත්තගන්ඩ… අපි යන්නෙ සතියෙ දවසක නෙ.. එදාට ඉස්කෝලෙ පාඩු කරගෙන අරෙහෙ මෙහෙ යන්ඩ නෙවෙයි.. දෙන්නම ඉස්කෝලෙ ගිහින් ගෙදර එන්ඩ…

අනේ අම්මේ………!!!

ආයෙ අනන්ඩ එනව…

අනේ!!!!!!!!!!!!!!

ඒ පාර දෙන්නම එකට නහයෙං අඬනව…

එකදවසක් පාඩු වුණාට කමන්නෑ අම්මෙ… අනේ අපිත් එන්ඩද??

අම්ම නෙවෙයි එතනිං එහාට වචනයක්වත් කියන්නෙ…

අපි දෙන්න හරි ආසයි තාත්තලගෙ කන්තෝරුවට යන්ඩ.. තාත්ත යන්නෙ කෝච්චියෙන්!! එදාට අපි දෙන්නටත් කෝච්චියෙ යන්ඩ පුලුවන්!!  ඒ විතරක් නෙවෙයි.. අම්ම  එක්ක ගියාම හිතේ හැටියට කඩචෝරු අරන් දෙනවයැ කන්ඩ.. තාත්ත එහෙමද… ඉල්ලන පමාව විතරයිනෙ…

එහෙමත් දවසක එන අවස්ථාව එහෙම ගඟට කැපුව ඉන්නක් වගේ වෙන්ඩ දෙන්ඩ බෑනෙ…

අනේ තාත්තෙ අම්මට කියන්ඩකො අපි  දෙන්නව එක්කගෙන එන්ඩ කියල සේල් එකට…??

මං තාත්තගෙ ඇඟේ එල්ලෙන්නෙ පුරුදු යාදින්නත් කියාගෙන

අනේ තාත්තෙ… මල්ලිත් ඒවට නං පැනල එන්නෙ

හරි හරි ඒක එදාට බලමුකො.. තාම අම්මල එන දවස වත් හරියට අපි දෙන්නෙ නෑනෙ බල්ලො…??

තාත්ත වැඩේ බාරගත්තනං ඒ වැඩේ කෙරෙන බවට සීයට හැත්තැපහක විතර විස්වාසයක් තියන්ඩ පුලුවන් බව දන්න හන්ද අපි දෙන්නම නළා දෙක නවත්තගන්නව.

ඔන්න ඔහෙ එක්ක එන්ඩ ඒයි.. එකදවසක් නොගිය කියල පාඩු වෙන්නෙ නෑනෙ ඒ හැටි.. කියල තාත්ත අම්මට කියල අපි දෙන්නව ගොඩදාන හැටි මං හිතෙං මවාගෙන සැනසුම් සුසුමක් හෙලුව.

හා හා… දෙන්නත් එක්ක ඇඬියාව නවත්තල කෑම කන්ඩ දැන්… ඉස්කෝලෙ වැඩ ඉවර කරලද දෙන්නම??

අම්ම ඇහුවම අපි දෙන්නම තරගෙට ඔවු කිව්ව

ආ එහෙනං මෙහෙ වරෙව් දෙන්නම කවන්ඩ!! තාත්ත අපි දෙන්නට රෑ කෑම කැවීමේ ඩියුටිය බාර ගත්ත…

මං ඉස්කෝලෙ කට්ටියත් එක්ක කතා කරල මේ සතිය ඇතුලතම කියන්නං අපිට එන්ඩ පුලුවන් දවස

අපි දෙන්නටම කවන්ඩ එක පිඟානකට බතුයි, අලයි හාල්මැස්සොයි එකට දාල හදපු හොද්දයි, ගොටුකොල සම්බෝලෙයි බෙදල තාත්ත අතට දෙන ගමන් අම්ම කියනව..

ඔවු එහෙම හොඳයි.. මං ලියකියවිලි ටික අරන්ම ආව.. අන්න කාමරේ මේසෙ උඩ ඇති

යන්ඩ නියමිත දවසෙ අපි දෙන්නයි තාත්තයි අම්මයි ගිරිඋල්ලට ගිහින්, ගිරිඋල්ලෙන් මීරිගමට ගිහින් කෝච්චියෙ ගම්පහට යනව..

අපි නගින්නෙ හොඳට බලන් ඉඳල එක කෝච්චි පෙට්ටියකට..මේකෙ තමයි තාත්තගෙ යාලුවො ටික සේරම එකතු වෙන්නෙ…

ආ.. අද සිය පවුලම මොකෝ මේ?? සේල් එකට යන්ඩද??

තාත්ත වගේම යන එන ගමනෙදි හොඳ හැටි විට අඹරන, තාත්තගෙ කන්තෝරුවෙම වැඩ කරන හේරා අංකල් තාත්ත ඉඳගන්න පමාවට විටක් ඒදල තාත්ත අතේ තියනව…

ශහ්!! කොල්ල උස ගිහින්නෙ දැන්? දැං කීයෙ පන්තියෙද පුතේ??

හේර අංකල් මල්ලිව ලං කරන් හුරතල් කරනව

අපි තාත්තගෙ සමාගමට බාධා නොවෙන්ඩ අනික් පැත්තෙ ආසනවලට යනව..කෝච්චිය ගමනාරම්භ කරනව

මගින් ඒ පෙට්ටියටම නගින තාත්තගෙ යාලුවො ගණය පූරණය වුණාම කාඩ් කුටටමක් සබේට එනව..

එතන ඉඳල ඉතිං ආපහු බහිනකල්ම කට්ටිය සෙල්ලමේ තමයි!!

කාලෙකින් කෝච්චියෙ යන අපි දෙන්නට කොච්චර නං දේවල් තියෙනවද බලන්ඩ

ඉතිං ජනෙල්වලින් එළියට ඔලුව එබෙන්නෙ ඉබේමයි…

චූටි පුතා!!!

අම්මගෙ තරවටුව එදාට ඉතිං කීප වතාවක් ඇහෙනව…ගම්පහෙන් කෝච්චියෙන් බහිනකල්ම

තාත්ත වැඩකළේ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවෙ..පේෂකර්මාන්ත අංශයෙ..

ඒ කාලෙ දැන් වගේ නෙවෙයි නෙ….අපිට වගේ අවුරුදු විසි අටක් තිහක් වෙනකල් විශ්ව විද්‍යාලෙ තැපල තව අවුරුදු පහ හයක් රස්සාවක් නැතුව ඉන්ඩ වුණේ නෑලු…

විශ්වවිද්‍යාලෙන් එළීයට ආව ගමන්ම  අඬ ගහල වගේ රස්සාවල් දුන්නලුනෙ…

ඒ විදියට  තරුණ කාලෙම කළමනා සහකාර තනතුරට පත් වෙච්ච තාත්ත මං මේ කියන කාලෙ වෙද්දි  හිටියෙ සහකාර අධ්‍යක්ෂ තනතුරේ..

අහම්බෙන් මේ රස්සාවට ආවයි කියල නෑ.. තාත්තට තමන්ගෙ රස්සාව ගැන හොඳ අවබෝධයක් තිබුණ… ඉස්කෝලෙ ගෘහ විද්‍යා පාඩමට අත්යන්ත්‍ර රෙදිවල වියමන් ගැන මං අහගත්තෙ තාත්තගෙන්.. ඕනෙම අත් යන්ත්‍ර වියමනක දික් හරස් නූල් ගාන ඒ දිහා බලල කියන්ඩ පුලුවන් තරමට තමන්ගෙ වෘත්තීය අත්දැකීම් තුලින් පන්නරය ලබල තිබුණු කෙනෙක්..

අපි අවුරුදු ගාණක් විශ්වවිද්‍යාලෙ ගිරව් වගේ වණපොත් කරල තව අවුරුදු ගාණක් පොල්ගාල පොල්ගාල රස්සාවක් කරන්ඩ ගිහින් වුණත් අපිට හරියන තෘප්තිමත් රස්සාවක් හම්බවෙන්නෙ ඉතිං බොහොම කලාතුරකින්නෙ.. තාත්ත ඒ වගේ නෙවෙයි.. පිළීවෙලට රස්සාව කරන එකෙන් බොහොම තෘප්තිමත් වෙච්ච කෙනෙක්!!

ඉතින් මේ කාලෙ බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙ තිබුණු අත්යන්ත්‍ර පේෂකර්ම මධ්‍යස්ථාන අධීක්ෂණය කරන්ඩ තාත්ත යනව.. ඊට අමතරව කොළඹ ප්‍රධාන කාර්යාලයට වාර්තා කරන්ඩ යන දවසුත් තිබුණ..

මේ කන්තෝරුවෙ තියෙනව අවුරුද්දකට සැරයක් තියෙනව අත්යන්ත්‍ර රෙදි සේල් එකක්…මේ සේල් එක ගැන ආරංචිය තමයි තාත්ත අම්මට අරන් ආවෙ..

අද වගේ ලොකු ඉල්ලුලමක් අත්යන්ත්‍ර රෙදිපිලිවලට ඒකාලෙ තිබුණද මන්ද??

ඒ සේල් එකේදි රෙදි රෝල් ගණන් ලාබෙට ගන්ඩ පුලුවන්!!

ඒ රෙදිවලින් දොර රෙදි ,ජනෙල් රෙදි, ඇඳ රෙදි, පොරෝන රෙදි, අත් පිස්නා එකී මෙකී නොකී හැම දේම මහන්ඩ පුලුවන්!!

තව ලස්සන සාරි!!!

මට මතක හැටියට අවුරුදු කීපයක්ම අම්ම ඉස්කෝලෙ අම්මගෙ යාලුවො එක්කාසු කරන් මේ සේල් එකට එක්ක ආව..ගොඩක් වෙලාවට අම්ම කරන්නෙ එදාට උදෙන්ම තාත්ත  එක්කල සේල් එක තියන තැනට යනව..

වැඩේ සංවිධානය කරන්ඩ.. පෝරම පුරවන්ඩ… ලස්සන රෙදි තියෙනව නං ඒව ටිකක් කලින් අරන් වෙන් කරල තියාගන්ඩ.. ඒ වගේ වැඩවලට..

ඉස්කෝලෙ කට්ටිය වෑන් එකක එනව එතෙන්ට… රෙදි පෙරෙදි අරන් ආපහු යන්නෙ වෑන් එකේ…

ඒ කාලෙ අපේ ගෙදර තිබුණෙම ජනසළු නමින් විකුණපු තාත්තලගෙ අත්යන්ත්‍ර රෙදිමයි…

දැන් අපි දෙන්න ඇයි මේ මැරීගෙන එන්ඩ දඟලන්නෙ මේ සේල් එකට??

තාත්ත එක්ක මේ සේල් එකට ගියාම අම්මල රෙදි තෝරනකල් සමහර වෙලාවට තාත්ත අපි එක්කල තාත්තගෙ වැඩපලවල් බලන්ඩ යනව.

අපිට ඉස්කෝලෙ නිවාඩු දවස්වලට අපි දෙන්න තාත්තගෙ අතේ එල්ලිලා මේ තැන්වලට එන දවසුත් තිබුණ..පෙතියගොඩ, ඒත්තුකාල, ගනේමුල්ල, අපි දෙන්නගෙ කැමතිම තැන්!!

ඒ ගියාම අපිට මෝස්තරේට ගැලපෙන්ඩ නූල් දාල  ටකස් ටකස් ටකස් ටකස් ගාල රෙදි වියන ගෑණු අය හම්බ වෙන්ඩ යන්ඩ පුලුවන්… නූල් තම්බන හැටි, ඒව පාට කරන හැටි.. වේලන හැටි, අපි දෙන්නට තාත්තගෙ අතේ එල්ලිලා යන ගමන් ලොකු පාඩමක්!!!

අපි දෙන්න ආසම දේ ඒක නෙවෙයි… තම්බල පාට කරල වේලල ලස්සනට කැරලි කරල තියෙන නූල් ගොඩවල් උඩට බඩගාල උඩ ඉඳන් බිමට රෝල් වෙන එක!!!

සමහර නූල් ගොඩවල් වහලෙ ගෑවෙන්ඩ උසයි… පාට පාට නූල් වෙනම වෙන් කරල…. හරි ලස්සනයි!!

අපි දෙන්න නූල්  ගොඩ උඩට බඩගාන්නෙ හරියට හිමාලෙ තරණය කරනව වගේ!!

තාත්ත රාජකාරි ඉවර කරල අපිව හොයන්ඩ එනකල්ම ඕක තමා රාජකාරිය අපි දෙන්නගෙ..

අර රෙදි වියන නැන්දලත් අපිට කිසි දෙයක් කියන්නෙ නෑ… අපි දෙන්නගෙ පිස්සු වැඩවලට හිනා වෙනව මිසක…

අන්තිමට නූල් ගොඩ බිමට සමතලා වෙලා  තාත්ත යන්ඩ කතා කරන්ඩ ඇතුළට ආවමත් තාත්තගෙ රැවුම් ගෙරවුම්වලින් බේරගන්නව මිසක…

අනේ සර්  ඕක මොකද්ද.. අපි අස් කරල දාන්නං… කියල

ඔන්න ඔහොම අපිට පුංචි කාලෙ ඉඳලම තිබුණෙ අත්යන්ත්‍ර රෙදි කර්මාන්තය වටා එකතු වෙච්ච සුන්දර මතකයන් තිබුණ

මං උසස් පෙළ සමත් වුණාම තාත්ත සතුටු වුණේ ඉතාම නිහඬව…

ලොකු බල්ලො උඹට ඒ තුනක් තියෙනව කියල කිව්වම ලංකාවෙන් කීවෙනියද? දිස්ත්‍රික්කෙන් කී වෙනියද කියල හේර අංකල් ඇහුව… මං දැනගෙන හිටියෙ නෑනෙ..

මට හිනා ගියා!!

මං දුන්න උත්තර අහගෙන ගිහින් හේර අංකල්ට කියපු තාත්ත එදා වැඩ ඇරිල ආවෙ ලොකු පාර්සලයක් අරන්..

මොනවද තාත්තෙ මේ??

පාර්සලේ කතාවක් බහක් නැතුව මගෙ අතට දුන්නාම මං ඇහුව

බලපංකො දිගෑරල…

දුඹුරු පාට මැනිලා කොලවල ඔතල ට්වයින් නූලකින් ගැට ගහපු ඒ පාර්සලේ ඇතුලෙ තිබුණෙ මං ජීවිතේ දැක්ක ලස්සනම අත්යන්ත්‍ර සාරි තුනක්!!!

ඒක දැකපු වෙලාවෙ පුදුමෙන් ඉහළට ඇදගත්ත හුස්ම හෙලන්ඩ අමතක වෙච්ච පාර මං තාත්තගෙ මූණ දිහා බලන් හිටිය….

ඔය උඹ විභාගෙ ඉහළිං පාස් වුණාට…කොහොමද?? ලස්සනයිද?? මං මයි පාට තේරුවෙ.. මෝස්තර හැදුවෙ… ඔය ලා පාට එක අම්මට අනිත් දෙක බොලාට..

රෝස, තැඹිලි රතු කොළ පාටවල් උඩ ඉඳල පහළට මිශ්‍ර වෙලා විහිදෙන එක සාරියකුයි, ඉර බහිනකොට අහස වගේ තව සාරියකුයි, අමුරෙද්දෙ බටර් පාට සාරියෙ දම් පාට පුංචි මෝස්තරයක් බාපු, අම්මට කියල ගෙනාපු සාරියයි මගෙ අතේ ඉඳන් මගෙ දිහා බලන් හිනා වෙවී හිටිය…

අනේ හරි ලස්සනයි තාත්තෙ!!! මං මේක රස්සාවක් කරන දාකට ඉස්සෙල්ලාම අඳින්ඩ තියා ගන්නව!!

පිස්සුද බොලාට… ඒ වෙද්දි වෙන ලස්සන සාරි වියාගමු… ඕක ඇඳපං ඉස්සෙල්ලාම වෙඩින් එකකට….

තාත්ත මගෙ කතාවට හිනාවුණා!!

ඒ කාලෙ මට පිස්සුවක් තිබුණ මගුල් සාරිය විදියට අත්යන්ත්‍රය වියූ එකක් අඳින්ඩ… ඒ කසාද බඳින්ඩ හිතකවත් නැති කාලෙ තිබුණු පිස්සු ආසාවල්

පහුගිය දවස් ගාණක් ඔපීසියෙන් නිවාඩු දුන්න … ඒ නිවාඩු දවසක පෙම්බරයට විභාගයක් තිබුණ… උන්දැ විභාගෙ ඉවර කරනකල් මං රෝන්දෙ ගැහුව…

වැඩට එද්දි යද්දි හැමදාම පහුකරන ජාවත්තෙ සලුසලට ගොඩ වැදුනෙ හිතල නෙවෙයි.. අහම්බෙන් වගේ!!

එතන තිබුණ රෙදි වියන යන්ත්‍රය දැක්කාම මට තාත්තව මතක් වුණා!!

අත් යන්ත්‍ර රෙදිවලින් එන සුවඳ මට ඒ කාලෙ අපි නූල් උඩ පිනුම් ගහපු හැටි, තාත්ත අපිව තැන් තැන්වලට එක්කන් ගිහින් ඒව විස්තර කරපු හැටි සිහිකරවන්ඩ වගේ දුවගෙන ඇවිත් නාස් පුඩුවලින් රිංගල හිතට තට්ටු කළා…

මං අත්යන්ත්‍ර රෙදි පිළි අතපත ගාමින් තාත්තගෙත් අපෙත් මතක පොත පෙරලුව සෑහෙන වෙලා…

මිස් මොනවද හොයන්නෙ??

කියල සේවිකාවක් අහල මගේ දැහැන බිඳිනකල්ම

ම්!!! කුර්තා ටොප් එකක් බලමුද??

එදා දවල් කෑමට හමුවෙමු කියල කතා කරගත්ත මිතුරියට යමක් දෙන්ඩ හිතේ තිබුණ නිසා නිකමට වගේ විපරම් කළා

එන්ඩ… මේ තියෙන්නෙ…

ඇස් කඩාගෙන යන පාටවලින් වියපු දාං ලෑලි වගේ රෙදිවලින් මහපු කිසි හැඩයක් නැති නොවටිනා ගාණක් මිල නියම වුණ බාච්චු කුර්තා දැක්කම මට තාත්තගෙ තෑග්ග මතක් වුණා…

අනේ… මං හොයන විදියෙ ඒව ඔයාල ලඟ නෑ වගේ!!!

මං හෙමින් සැරේ කඩෙන් එළියට බැස්ස…

වරුවක් විතර බලල බලල යන්ඩ නං ආවෙ මොකටද?? හොරකං කරන්ඩවත්ද??

ඒ මනුස්සයගෙ මූණෙ තිබුණ හැඟීම් මගෙ හිත කියෙව්ව…

ඒ වුණාට මගෙ හිතේ තියෙන මතක පොදිය මට වටිනව නෙ… මේ තදපාට අත් යන්ත්‍ර රෙදිකෑල්ලකට ඒකට පීඩා කරන්ඩ දෙන්ඩ බෑ නෙ…

හ්ම්!! අන්තිමට  තිඹිරිගස්යාය පුරා කරක් ගහල ඉන්දියාවෙන් ගෙන්නපු අත්යන්ත්‍ර කුර්තා දෙකක් ඈටත් මටත් අරන් මං රෝන්දෙ ඉවර කළා!!

අනේ සලුසල!! මට හිතුණ!!

පරිපාලකයෙක් විදියට කටයුතු කළත් තාත්තට තමන්ගෙ රැකියාවෙ සුවිශේෂී දේවල් වෙච්ච වර්ණ ගැලපීම සහ මෝස්තර ගැන තියෙන අවබෝධය මට තේරුණේ මට සාරි තෑගි කළ දවසෙයි…

ඒ කාලෙ අම්මට තාත්ත අරන්දුන්න අත්යන්ත්‍ර සාරි මං විශ්වවිද්‍යාලෙ වැඩ කරන කාලෙත් ඇන්ද…

පරණ සාරි දියවෙලත් ඇති මොකට අඳිනවද කියල බැන බැන අම්ම අලුත් සාරි අරන් දුන්නත් අර පරණ සාරිවලට මං පුදුම ආසයි.. ඉතිං පෑගිලා ඉරිල යනකල්ම ඇන්ද

මේ ලියන මොහොත ප්‍රමාදයි….ඒත් මං ලියනව

තාත්ත නෑ… පහුගිය ජනවාරි පළවෙනිදට දහ අවුරුද්දක් ගෙවුණ….

ඒත් ඒ අවුරුදු දහයට තාත්ත මතක් නොවී ගෙවිච්ච දවසක් මතක්කරගන්ඩ මට බෑ…

අතට ගෙනත් දීල ඕක ඇඳපං වෙඩින් එකකට කියල කිව්ව සාරිය ඇත්තටම මං වෙඩින් එකකට ඇන්ද…

එතකොට  තාත්ත නැති වෙලා මාස හය හතක් ඇති…

මේ සටහනේ මුලින්ම එල්ලපු කතාවට අදාල නෑ වගේ පේන පින්තූරෙ මං ඇඳල ඉන්නෙ ආන්න ඒ සාරියමයි

මං ඒ සාරිය අඳිනව බලන්ඩ තාත්ත හිටියෙ නෑ.. රස්සාවක් කරන කාලෙක අපි ලස්සන අලුත් සාරි වියාගමු කිව්වට මං රස්සාවට යන කාලෙ වෙද්දි ඉස්සර වගේ ලස්සන සාරි වියන්ඩ තාත්ත හිටියෙ නෑ… ජනසලු තිබුණෙත් නැද්ද කොහෙද

ඒ සාරි තුනෙන් දෙකක් අදටත් මා ලඟ තියෙනව…. අදටත් අඳිනව.

ඒත් තාත්ත නෑ!!

මං ලියන බව තාත්ත දැනගෙන හිටිය.. මට හොරෙන් මගෙ රචනා පොත්, කවි ලියපු පොත් කියවන බවත් මං දැනං උන්න..

ඒත් මේ බ්ලොග් එකේ  මං ලියන, මට කවදාවත් තාත්තට කියාගන්ඩ බැරිවුනු දේවල් කියවන්ඩ තාත්ත නෑ…

ඒ පාඩුව මකන්ඩ වගේ තාත්ත අපිව හැර ගිය ජනවාරි පළමුවෙනිද උපන්දිනේ සමරන මං ලියන දේවල් කියවන්ඩ මග බලන් ඉන්න පෙම්බරයෙක් ඉන්නව..

ඒ පෙම්බරය තරහ ගන්නෙ නෑ කියල දන්න හන්ද එයා මුණ ගැහිච්ච දා ඉඳල ජනවාරි පළමුවෙනිදට පස්සෙ එයා ගැන ලියන්ඩ හිතාගෙන බ්ලොග් එකට එන මම තාත්ත ගැන ලියනව…

මට සමාවෙන්ඩ… වැරදිච්ච වියමනක් වගේ එහෙන් මෙහෙන් නූල් එල්ලිච්ච මේ සටහනට

කවියක් ලියාගන්ඩ කොච්චර ඕනෙ වුණත් මට මීට වඩා නං වචනයක්වත් ලියාගන්ඩ බෑ

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, පෙම්බරයයි මමයි. Bookmark the permalink.

21 Responses to මතක බණවර…!!!

  1. Ravi පවසයි:

    දැං අපේ දවල් කෑම වෙලාව…ඔක්කොමල එළියට ගිහිල්ල…මම දවල් කෑම එක ගෙනෙන නිසා මම විතරයි ඉන්නෙ. කෑම එක කාල හිට පත්තරේ පොඩ්ඩක් බල බල ඉඳල ඉවර උන ගමන් දැක්කෙ ජනූ උඹේ පෝස්ට් එක ගැන ආපු ඊ මේල් එක. මතක බණවර කියනකොටම මම දැන ගත්ත මොකක්ද මේ කියන්ට යන්නෙ කියල. ඇස් තෙමෙන බව සහසුද්දෙන්ම දැනගෙනම තමයි මම කියවන්ට ගත්තෙ…

    මොනවද ආය…. ඔය දීල තියෙන්නෙ….අද හවස ඉතිං එක හිතිං වැඩක් කරල අහවරයි. අනිද්ද ඉවර කරන්ට ඕන අත්‍යාවශ්‍ය වැඩකුත් තියනව. උඹ හින්ද මයෙ රස්සාව නම් දවසක ගහල යනව….මම ඒකනම් දන්නව…වෙන මොක නැති උනත්.

    මොනිටරේ පේන්නෙ නැතුව ගිය නිසා ඉන්ට උනා පොඩ්ඩක්. ඒ කරල ඇස් පිහදාල එහෙම තමයි මේ ලියන්ට පටන් ගත්තෙ.

    උඹ තාත්ත ගැන ලියන හැමදාම මම මේ කතාව කියල ඇති.මටත් අපෙ තාත්ත ගැන ..අපි නම් කිව්වෙ අප්පච්චිය කියල…ලියන්න ලොකුවට ඕනකම තියනව..උඹත් මම ඔය කතාව කියපු හැම දාකම කියනව ඉතිං ලියහං අයියෙ කියල..මට තාම ඒකට හිත එකඟ කරගන්ට බෑ බං…ඒත් අද නම හිතා ගත්ත කොයිමක් කරල හරි මගෙ මතක බනවරත් ලියල ඉවරයක් කරන්ට ඕනය කියල.

    අපෙ අප්පච්චිත් කාලයක් ඔය පේෂකර්ම අංශය බාරව හිටිය, ඒ කෑගල්ලෙ කච්චේරියෙ..මම මේ කියන කාලෙ බොල උඹ මම හිතන්නෙ එක්කො ගන්ධබ්බ අවධියක. එහෙමත් නැත්නම් පෙර ආත්ම බාවයක..යස් මම කියන්නෙ 1974 – 75 වගෙ කාලෙ ගැන…ලක්සල පටන් ගත්තෙ ඔන්න ඔය කාලෙ. මමත් ගිහිල්ල තියනව අත්යන්ත්‍ර සහ බලවේග ..ඔය දෙවර්ගයෙම පේෂකර්මාන්ත ශාලාවලට අප්පච්චි එක්ක.

    අත්යන්ත්‍ර රෙදිවලින් අපෙ ගෙදර මට මතකයි පුටු කවර, බෙඩ් ෂීට්, දොර රෙදි එහෙම මහල තිබ්බ. පස්සෙ කාලෙක රස්සාවක් කරන්ට ගිහාම අපිට මාස දහයකින් වාරික විදිහට කපාගන්ට දුන්න මට මතක විදිහට ඔය අත්යන්ත්‍ර රෙදිපිළි..අවුරුදු කාලෙට…….අපි ඒ දවස්වල ඒකට කිව්වෙ කලාත්මක රෙදිපිළි ගන්ට යනවයි කියල.

    මේ උඹලයෙ තාත්ත වෙනුවෙන් අපෙ අප්පච්චි වෙනුවෙන් වගේම මේ ලෝකෙ ඔක්කොම තාත්තල අප්පච්චිල වෙනුවෙන්…..

    හමන පවනක රැඳුනෙ නුඹෙ මතක සුවඳ පොද,
    හෙලන කඳුලක බොඳව ගියේ නුඹෙ සොඳුරු රුව,
    දිලෙන තරුවක ඉඳන් අමාවක රෑ අහස,
    පියාණනි සිනාසෙනු යොමා ඔබ නෙතු මදෙස,

  2. henryblogwalker පවසයි:

    ඔන්න මම කියවන්න පටන් ගන්නකොටම හිතුවා උඹ අද නම් මම ආසම පවුලේ කතාවක් ලියන්න පටන් අරන් කියලා. නමුත් අන්තිමට එද්දි දුකෙන් හිත පිරිලා ගියා. මම හිතන්නෙ මගෙ තාත්තගෙත් මගෙත් තිබිච්ච සම්බන්ධය වෙන්න ඇති මාව මෙච්චර සංවේදී කරවන්නෙ.

    මට මේක පැහැදිලි කරපං. තාත්තා නැතිවුනේ ජනවාරි පළවෙනිදාවක. යජිත්ගෙ උපන්දිනෙත් එදාමද? මට තේරුනේ එහෙමයි. එහෙම නම් යජිත් අපි හැමෝම යජිත්ට ඉතාම සුභ උපන් දිනයක් පතනවා.

    ඔය අත්යන්ත්‍ර රෙදි සේල් වලට අපි කොළඹ ඉස්කෝලවල උගන්නන කාලෙත් ගිහින් තියෙනවා. විශ්වාස කරහං ඒ රෙදි තවමත් තියෙනවා. කොයි කාලෙ ගත්තුවද!

    • සමා වෙයන් අයියෙ බලාපොරොත්තු කඩ කලා නම්. ඒත් ජනවාරි මාසෙ පටන්ගන්නෙම තාත්ත සිහි කරල නෙ. වෙන යමක් ලියන්ඩ හිත දුන්නෙ නෑ බන් හරි අයියෙ තෙරුම් ගත්ත හරි. තාත්තා නැති වුනෙත් යජිත් ගෙ උපන්දිනෙත් යෙදෙන්නෙ ජනවාරි පලමුවැනිදට තමයි්

  3. මට බෑ. මං මුකුත් කියන් නෑ. මුකුත් කියාගන්ඩ බෑ. හොඳ වෙලාවට මං මේක කියෙව්වෙ ගෙදර ඉඳන්. ඒ හින්දා හිතේ හැටියට අඬනවා. මේ ටයිප් කරන වෙලාවෙදිත් ඉකි ගගහා අඬනවා. අක්කෙ මං තරහයි ඔයත් එක්ක.

  4. bindi2 පවසයි:

    ආයේ ඉතින් අපටයි කියල කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ . හිත පතුලෙන්ම ගලාගෙන ආව වචන එක හුස්මට ලියාගෙන ගියා නේද . මාත් එක හුස්මට කියෙව්වා . මුල හරියේදී සතුටු වුනා …අග දුක වෙන බව දැනගෙන වුනත් .
    තාත්ත නිකන්ම ගිහින් නැහැ . ලස්සන මතක ගොඩක් දීලා ගිහින් තියෙන්නේ .
    අත්යන්ත්‍ර සාරි වලට තමයි මමත් වඩා කැමති . සෝදන්න කරන්න ටිකක් අමාරු වුනත් ඒවාට මන් ආසයි . ඉස්සර වැඩ කල තැනට ගම්පහ පැත්තෙන් ආවා සාරි විකුණන කෙනෙක්. පඩි දවස්වලටමයි එන්නේ . ඒ සාරි ටිකක් සිල්ක් මිශ්‍ර නිසා වැඩිය බරපතල නැහැ . මදින්න ඕනත් නැහැ . මන් ගාව පාට පාට සාරි මහා ගොඩක් තිබුණ . වැඩට ගිය අලුතමයි කසාද බැඳලා පොඩි උන් ලැබෙන්න කලිනුයි උදේට සාරි අඳින්න වෙලාව තිබුණ කාලයේ ඒ සාරි තමා වැඩිපුර ඇන්දේ .
    අපේ ගෙවල් ගාව අත්යන්ත්‍ර රෙදි වැඩපොළක් තියෙනව . මේපාරත් ඒ ගොල්ල මට රෙද්දක් තෑගී දුන්න .

    70 දශකයේ අම්මලා ඇන්දේ අත්යන්ත්‍ර සාරිමයි කියල අම්ම කිව්වා මතකයි. පසු කලෙක ගාමන්ට් වගේ ඒ කාලේ අත්යන්ත්‍ර රෙදි වැඩපොලවල් වලට ගැහැණු ළමයි වැඩට ගියාලු . අත්යන්ත්‍ර වගේම තුල්හිරිය වගේ සුවිසල් පෙහෙකම්හල් ගැනත් කියවන්න වටිනා ඉතිහාස කතන්දරයක් කියලයි මට හිතෙන්නේ . ඒවා අපේ රටට ඔරොත්තු දෙන්න බැරිතරම් ලොකු වුනාද නැත්නම් නිසි පරිපාලනයක් නැතිකමින් විනාශ වුනාද කියල කියන්න දන්නේ නැහැ .

    අත්යන්ත්‍ර රෙදි කර්මාන්තෙ නම් මැරෙන්න නොදී යන්තම් හරි පන රක ගෙන තියෙන්නේ ඔයාගේ තාත්ත වගේ මිනිස්සු නිසා වෙන්න ඇති .

    • බින්දි , ඔයා හරි… මේක එක හුස්මට ලිව්ව එකක්… කාලයක් තිස්සෙ ලියන්ඩ වෙලාව එනකල් එහාට මෙහාට වෙවී පුපුරන්ඩ ඔන්න මෙන්න තිබුණ බැලුම් බෝලයක් පිපිරුණා වගේ මේක ලියල ඉවර කළාම…තාත්තල හදපු සාරි ඒ හැටි උසක් නැති මටයි අම්මටයි අඳින්ඩ හරි අමාරුයි… උස වැඩි නිසා.. ඒත් අපි ඇන්ද… ඒ තරම් පහසුවක්!!
      තාත්තල මහපොළට ප්‍රදර්ශන කුටි දානකොට ඒවගෙ බැනර් ඇන්දෙ අපේ ගෙදර එයාමයි.. තැඹිලි පාට පොප්ලින් රෙදිවල කලු පාටින් අර ජනසලු ලෝගො එක වෙච්ච චරකය කරකවන වනිතාව ස්ටෙන්සිල් එකක් කපාගෙන ලැකර්වලින් අඳින හැටි මට ඇස් පියාන තාමත් මතක් කරගන්ඩ පුලුවන්… තාත්ත නැති වෙන කාලෙ වෙද්දි ජනසලු බිඳවැටෙමින් තිබුණ… එයාලට ඒක ගොඩගන්ඩ අවශ්‍ය ශක්තිය රජයෙන් ලැබුණෙ නෑ… මේ පෝස්ට් එක කියවල හිතවතියක් එව්ව මේල් එකක තිබුණ ඒවට හේතු.. ඔයා නගන ප්‍රශ්නයට අදාල නිසා මෙහෙම ලියනව…80 ගණන් වෙද්දි රජය ව්‍යුහාත්මක ගැලපුම් ක්‍රමයකට ගියා… ඒකෙන් වුනේ ඔය වගේ ගෘහස්ත කර්මාන්තවලට යන එන මං නැති වෙලා ගිය එකයි….රජයෙන් මහාපරිමාණ කර්මාන්තවලට බදු සහන පවා දෙන්ඩ ගත්තත් අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය වගේ සුලු ගෘහස්ත කර්මාන්ත අමතක කළා..ජනසලු නැතිවුණා ගාමන්ට් බිහිවුණා…!!
      අනික තමයි තාක්ෂණය සහ නිසි පුහුණුවක් නැති කම, මෝස්තර නිර්මාණය ගැන දැනුම මදකම වගේ දේවල්… අනිත් අතට අදත් රාජ්‍ය සේවයෙන් ගිලිහිලා නැති කාලකන්නි ගති තියෙනවනෙ. ඔයවගේ දේවල් අධෛර්යයමත් වෙන්ඩ සෘජුව බලපාන….ඔහේ යන්නං වාලෙ යන.. උනන්දුවක් නැති කමම මදෑ…
      තාත්ත ගැන ලියන්ඩ තව ගොඩක් දේවල් තියෙනව… විශේෂයෙන් රස්සාව ගැන..
      හෙමින් ලියන්නං

  5. Weni පවසයි:

    කතාවෙ මුල ටික සතුටින් කියවන් එනකොට මත මතක් උනේ අපේ ගමේ තිබ්බ රෙදි ඉස්කෝලෙ කියලා අපි කියපු පේෂකර්මාන්ත අත් යන්ත්‍ර වැඩ පොල..ඒ සම්බන්ධ සිදුවීම් ගොඩක් මතක් උනා..ඔබේ පියාගෙ වියෝවීම සටහන කියවද්දි හිතට දැනුනෙ දුකක්..අපි හැමෝටම වගේ ඔහොම අපි අතරෙ නැති අපේම අය වෙනුවෙන් කරන්න බැරි වෙච්ච ඉටු කිරීම් කොයි තරම් නම් තියෙනවද ? හරිම සංවේදී ඔබේ සටහන..

    • වෙනී අයියා, ස්තූතියි සටහනට… අපි හැමෝම මතක පොදියක් හිතේ තද කරන් ඉන්නෙ… ඒක ලියල හරි එළියට දාන එක එක අතකට සහනයක්!! තාත්ත නැති අඩුව වගේම ඒ සම්බන්ධයෙන් මට තියෙන එකම දුක තමයි තේරෙන වයසෙදි එයා එක්ක යම් යම් දේවල් ගැන කතා කරන්ඩ තිබුණා නං කියන දේ!!
      තාත්ත කැමති යමක් ගැන අහද්දි, දකිද්දි, බලද්දි මට හිතෙන්නෙ අනේ තාත්ත හිටිය නං මේ ගැන අපිට නියම සංවාදයක් කරන්ඩ තිබුණ කියලයි…
      ඒක පෙම්බරය එයාගෙ තාත්ත ගැන කියන දේවලදිත් මට හිතෙනව.. අනේ ඒ තාත්තත් හිටිය නං තාත්තල දෙන්නගෙ සම්භාෂණයම අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්ඩ ඉඩක් වෙන්ඩ තිබුණ කියල…

  6. ප්‍රියන්ත පවසයි:

    ප්‍රතිචාරයක් ලබාදෙන්න කියල මෙතන කොටුවක් ඉඩ තියල තියෙන හින්ද නෙවෙයි මේ ලියන්නෙ. හදිසියේ මේ ඉඩ නොතිබ්බ නං මේල් එකක් හරි එවන්න වෙනව.

    ඒත්, තාත්තා,(තාත්ති, අප්පච්චි) සිහි කැඳවන මේ ලියවිලිවලට ප්‍රතිචාර දෙන්න කාටවත් බැහැ. ඒ ප්‍රතිචාර කඳුළු බිංදු , සුසුම්, කම්පන හැටියට තමන් ළඟම මතුවෙලා මැකිල යනව. අපි ප්‍රතිචාර දෙන්න හැදුවත් ඒ ඇත්තම හැඟීම කියන්නම බැහැ කීයටවත්. අපිට පුළුවන් ඊට පස්සෙ මොකක් හරි එකක් ලියල එවන්න. දැන් මේ මම කරනව වගේ. ඒක අපිට කියන්න ඕනම එක නෙවෙයි. ඒ කිව්වෙ ඔයාගෙ තාත්ත හරහා අපේ තාත්තිල, තාත්තල, අප්පච්චිලා සිහියට ගෙනෙන අපූරුව කොහෙ ලියන්න ද?

    ඒ නිසා මේකට දැනෙන ප්‍රතිචාරයක් දෙන්න බැහැ. ඒකට හපනෙක් ඉන්නවනං ඒ… ජනූ! ඔව් …අන්න ජනූට නං පුළුවනි පපුව කඩාගෙන වදින්න ලියල දාන්න…..

    • හ්ම්!!! එක හුස්මට ලිව්වෙ අයියෙ… මේක ලියන්ඩ හිතුණෙ දැන් සෑහෙන දවසකට කලින්.. ඒත් මගඇරුණ.. හිතේ තෙරපි තෙරපි සෑහෙන දවසක් තිස්සෙ වේදනා දීල අන්තිමට එළියට ආව…
      කාගෙ හරි මතක අහුරක් තමන්ගෙ කරගෙන ඒ ඔස්සේ අපේ මතක අතගාල බලන්ඩ තියෙන පුරුද්ද අපි හැමෝටම පොදුයි!! ඔයා කරන්නෙත්, මං කරන්නෙත්, මෙතන කතා කරන වැඩි දෙනා කරන්නෙත් ඒක..
      මං හිතල පපුව කඩාගෙන බහින්ඩ ලියනව නෙවෙයි.. ඒ ඇත්තටම මගේ හිතේ ඒ දේවල් තියෙන විදිය.. වෙනස මං ඒව ඒ විදියටම සටහන් කරන එක විතරයි!!

  7. praveena පවසයි:

    අප්පච්චිගේ සුවඳ ගෙදර හැම තැනම. එයා කියවන පොත්පත්, මේස පුරාම. මුලු ගේ පුරා ‘මේ මම ඉන්නවා’ කියන මතකය තමා හැම තිස්සෙම අප්පච්චි ගෙදර නැතිවෙලාවට තියෙන්නේ. එයා රෑ උනොත් අම්මයි, මමයි එයා එනකල් මග බලාගෙන ඉන්නේ, එලියක් දකින්ට බලා ඉන්න අඳුරේ ඉන්න දෙන්නෙක් වගේ. එයා ගෙට ගොඩ උනු හැටියේ මුලු ගේම පිරෙනවා. එයාගෙන් දැනෙන උණුසුමට ලං කරන්ට පුලුවන් උණුසුමක් මම තාම කොහෙවත් දැකලා නෑ.

    ඒ වගේ කෙනෙක් ගෙදර නැහැයි කියලා හිතන කොටත් දැනෙන හැඟීම වාව ගන්ට බෑ ජනු. ඒ හන්දා කමෙන්ට් එකක් දාන්ට බෑ. 😦

    • ඔයා ලියල තියෙන දේවල් කියෙව්වාම මට මතක් වුණේ තාත්තා වැඩ ඇරිල බස්එකෙන් බහින කල් අපි ගෙදර ඉස්තෝප්පුවෙ ඉඳන් බස් එකක් ගානෙ පාර බලන හැටි!!
      දං සාලාව ලඟ අඹගහ යට බස් එක නැවැත්තුවාම කලුවරේ බස් එකෙන් බහින තාත්තගෙ ගෙලතෙක් වැවුණු කොණ්ඩෙ හුළඟට ලෙලවෙන හැටි වාහනවල එළියට අපිට පෙනුණම තමයි ඒ එයා කියල අපි දෙන්න අඳුනගන්නෙ…
      අපි දෙන්නගෙ හිතට කොහේ දෝ ඉඳන් අමුතු , කියාගන්ඩ බැරි සතුටක් හිතට රිංගන වෙලාවක් ඒ… දැන් පෙම්බරය වැඩ ඇරිල එනකල් පාර බලන මට එයා ගෙදරට එනකොටත් දැනෙන්නෙ ඒ සතුටෙම වෙන ප්‍රකාරයක්ද මන්ද??
      පොඩ්ඩිගෙ ජීවිතේ එළිය කරන අප්පච්චීට දීර්ඝායුෂ පතනව!!

  8. තරුරසී පවසයි:

    හැමදාමත් වගේ තාත්ත ගැන මතක පෙළ හරිම සංවේදී… ඒ ‍වගේ ලස්සනට පාට ගැළපුණු අත්යන්ත්ර සාරි නෑ වගේම.. ඒ වගේම අගේට ආදරය ගැළපුණු අම්මල, තාත්තල දු දරුවො, අඹුසැමියොත් අද නෑ නේද කියල හිතෙනවා…

  9. bindi2 පවසයි:

    වැඩිහිටියෝ ජීවත්ව ඉන්න කාලේ ඒගොල්ලන්ගේ කතන්දර අහගන්න ඕන . අපේ තාත්ත ඉක්මනින් නැති වුන නිසා අපේ ළමයින්ට තාත්තගේ කතා අහගන්න බැරි වුනා . අපේ තාත්ත කරපු රැකියාව අද වෙද්දී හුඟක් අය අහල වත් නැහැ .බ්ලොක් මුද්‍රණ ක්‍රමය . හැම මනුස්සයෙක්ම ඉතිහාසයේ එක පරිච්චේදයක් නියෝජනය කරනවා .
    මේ පාර ගාලු ගිහින් මාමණ්ඩි කිව්වා කුඩා කාලේ තොරතුරු හුඟක් අහගත්තා . පොතක ලියන්න තරම් කරුණු . බ්ලොග් සටහනක් ලියන්න හිතාගෙනම ආවත් තවම ගොනු කරගන්න එකලාසයක් ලැබුනේ නැහැ . අනික් අතට සීමාවන් ඇතුලේ හිරවෙලා ලියන්න ගියහම ටිකක් කම්මැලියි..

  10. සුසර විජේරත්න පවසයි:

    අනේ නගේ වැඩි විස්තර කියන්නට වෙලාවක් නැහැ.
    මම මගේ තාත්තගේ නම වෙනි මතක බණවර වෙනුවෙන් කාර්ය බහුල වෙලා ඒ හින්දම මේ ලියවිල්ල දැනෙනවා වැඩියි

  11. fathima පවසයි:

    as everybody written in sinhala i don’t have sinhala fonts nangi,,,,,,,,all what i have to say is, it touches and feels a lot,,,,,,,,,,,believe me tearing like nothing,,,,,,,,i love to read all your blogs, way of your writng is sooooooo simple but it weaights a lot, this blog made me to feel a lot,,,,,,,

    • ෆාතිමා අක්කා, බොහොම ස්තූතියි මගේ ලියවිලි කියෙව්වාට. හ්ම්!! ඔවු ඔයා හරි.. මං ඒක හරිම සිම්පල් විදියට කියනව ඇති.. ඒත් ඔයාලට ඒව කියවල දැනෙන බර මට ඊටත් වඩා බරට දැනෙනව.. යමක් ලියන්ඩ ගත්තම හිත හරිම බරයි… හිත තියෙන්නෙ පපුවෙද, මොළේ ද කියල මට තේරෙන්නෙ නෑ… ඒත් ඔලුවත් බරයි පපුවත් බරයි… ඒ හන්ද මට හිතෙනව ඒ දෙන්නම එකතු වෙලා තමයි ඒ බර දැනෙනව ඇත්තෙ කියල… මේ සමහර සිද්ධිවලදි මං මූණ දුන්න විදිය ගැන හිතාගන්ඩ බෑ… සමහර වෙලාවට මට ලියද්දි කඳුලු එන්නෙ ඒ වෙලාවෙදි අඬන්ඩ බැරුව හරි වෙලා හිටිය හන්ද වෙන්ඩ ඇති….මට අදටත් තේරුම් ගන්ඩ බෑ අක්කෙ කොහොමද මං ඒව ගැන ඒ තරම් සැහැල්ලුවට ලියල දාන්නෙ කියල…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )