දොළහක් ගැන මගෙ කතාව..!!!

දොළහක් !!

හැමතැනම පෝස්ටර් ගහල තිබුණ!!

ලංකාවෙ ඉන්න මට ලංකාවෙ පෙන්නන නාට්‍යයක් ගැන ඔත්තුව ලැබුණෙ කැංගරු දේශෙ ඉඳල…‍

ඉතිං පහුගිය දොළොස් වෙනිදාව මගේ දින පොතේ සතියක වෙලේ  ඉඳන්ම වෙන් වෙලයි තිබුණ….

මැතකදී වේදිකා නාට්‍ය බලන්ඩ පුරුදු වෙච්ච පෙම්බරයවත් වැඩේට එකඟ කරගත්තට පස්සෙ මගෙ හිතේ ආයෙමත්  අර ඉස්සර සරසවියේ දෙවන තුන්වන වසරවලදී ශාලිනී සහ කාලිංගය එක්ක සිනමාපට සහ වේදිකා නාට්‍ය නරඹන්නට ගිය, සරසවි ආපන ශාලාවේ වරුගණන් ප්ලේන් ටී බොමින්, වඩේ කමින් ඒ ගැන කතා කළ  යුගයේ මගේ හිතේ  ගැවසි කුරුලු හැඟීමම ගැවසෙන්ඩ වුණා.

මාසෙකට  එකහමාරකට කලිං  පෙම්බරයගෙ කාර්යාල සගයන් එක්ක “කලුමාලි” නාට්‍යය බලන්ඩ වුණේ බැල්කනියේ ඝෝෂා මැද.  ඒ වෙලාවෙ උගත් පාඩම් අමතක වෙන්ඩ තරං කල් ගත වුනේ නැති නිසා මේ පාර නං  ඉස්සරහින්ම ඉඳගන්නව කියල හිතාගෙන මිනිත්තු පහෙන් පහට වෙලාව බලල හරියට පහට වැඩ ඉවර කරපු මම ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවට ගියේ ඉගිල්ලිලා..

විකාර විගඩං ටෙලිනාට්‍ය බලල හෙම්බත් වෙලා රූවාහිනියවත් හරි හැටි බලන්නෙ නැතිව දැන් අවුරුදු දහයක් විතර වෙන්ඩ ආව.. එහෙව් මට වේදිකා නාට්‍යයක් බලන්ඩ ලැබෙනව කියන සොඳුරු  බලාපොරොත්තුවක පහස මොන තරම් වටිනවද කියල තේරුම් ගන්ඩ පුලුවන් වෙන්නෙ ඒකෙ සුවය දන්න කෙනෙක්ටම තමයි..

දොළහක්!!!

නාට්‍යය බලල මා පත් වූ කම්පනයෙන් බින්දුවක් හරි මා එක්ක එක්කාසු වෙන ඔබත් විඳිය යුතුයි කියල මට හිතෙනව.. ඒ හන්ද මං අද ඒ ගැන ලියනව.

මුලින්ම මේ නාට්‍යය ගැන යමක් කියන්ඩ ඕනෙ. මේ  නාට්‍යය අප අතරට එන්නෙ ඇමරිකානු රචක රෙජිනෝල්ඩ් රෝස්ගේ “The Twelve Angry men” නම් කෘතියේ අනුවාදයක් ලෙසින්. ඒක ඒ කාලෙ  ඇමරිකානු රූපවාහිනී මාලා නාටකයක් විදියට ප්‍රචාරය වෙලා  විතරක්  නෙවෙයි සිනමාවට පවා නැගුණ කෘතියක්.(මේ සටහන දැකල අදාල සබැඳි සොයා දුන් චානුක වත්තේගම අයියාට ස්තුතියි.)

කතාව බොහොම කෙටියෙන් කියනවනං  තමන්ගෙ පියා පිහියකින් ඇනල මැරුවයි කියල සැක කෙරෙන 16 හැවිරිදි කොලුවෙකු සම්බන්ධ අපරාධ නඩු විභාගෙකදී විත්තියේත් පැමිණිල්ලේත් තර්ක විතර්ක, ඉදිරිපත් වෙලා ඉවර වුණාම විනිසුරුවරයා මේ කොලුව වැරදි කරුද, නිවැරදිකරුද යන අවසාන ඒකමතික තීරණය ලබා දීමේ වගකීම භාරදෙනව දින තුනක් තිස්සෙ මේ නඩුව යන විදිය බලන් හිටිය  12 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවට

රංගය ඇරඹෙන්නේ විනිසුරුවරයා ජූරි සභාවට තමන් සතු වගකීම පැහැදිලි කර දෙනු ලබන පසුබිම් කථනයකින්

ජූරි සභිකයන් දොළොස් දෙනා වේදිකාව ආක්‍රමණය කරන්නෙ එකවරම… ඉන් පස්සෙ ගතවන එකම මොහොතක් හෝ අපිට දෙනෙත් වේදිකාවෙන් ඉවතට ගන්ඩ ඉඩක් නෑ.. ඒ තරමටම වේදිකාව ජීවයෙන් පිරෙනව.. එක තැනක කල්පනාවට වැටිච්ච ජූරි සභිකයෙක්.. තව තැනක තවෙකෙක්ට තමන්ව හඳුන්වාදෙන ජූරි සභිකයෙක්… උසාවියේ නීතිවලින් වටවෙච්ච පරිසරයෙ හිර වෙලා හුස්මක් ගන්ඩ බැරුව හිටිය ඔවුන් අතපය දිගාරින්නෙ ජූරි කාමරේදි..

මනාව පුහුණු වෙලා ඉදිරිපත් කරපු  ඒ ප්‍රවේශය රංගයට පුදුම තරම් සාර්ථක ආරම්භයක් ලබා දුන්න!!

ඒක හරියට එතනින් පස්සෙ වේදිකාවේ සෑම තැනකටම අවධානයෙන් ඇස් යොමා සිටිය යුතු බවට ප්‍රේක්ෂකයාට අඟවන සංඥාවක් වගේ.

මේ ජූරි සභිකයන් එකොළොස් දෙනෙක් ඉන්නෙ කොලුවා වැරදිකරුය යන මතයේ. නමුත් අට වන ජූරි සභිකයා කියන්නේ ඔහුට එය හරියටම කියන්ඩ බෑ..කොලුවාට ට එරෙහිව ඉදිරිපත්වූ සාක්ෂිවල පරස්පරතා සහ විශ්වසනීයත්වය ගැන ඔහුට ගැටලු තියෙනව ඒ නිසා එහෙම එක පාරට තීරණයක්  නොදිය යුතු බවයි. ඒ ගැන ජූරි සභිකයන් අතර වඩා ගැඹූරින් සාකච්චා කරල ලැබෙන තීරණයක් කොලුවාට හිමි විය යුතුයි කියල තමා විශ්වාස කරන බව කියන ඔහු අනෙක් අයට යෝජනා කරනව ඒ ගැන පැයක් අරන් කතා කරමු කියල.

මේ යෝජනාව  ජූරි කාමරයට පැමිණෙන්නට පෙරම කොලුවා වැරදිකරුය යන තීරණයේ එල්බගෙන පැමිණි අනෙක් ජූරි සභිකයන් සියලු දෙනාම පුදුමයට පත් වෙනව. ඒ විතරක් නෙවෙයි කොලුවාගේ ජාතිය, සමාජ පසුබිම සහ තවත් නොයෙකුත් හේතු නිසා කොලුවා ගැන මුල ඉඳලම වැරදි අදහස්  හිතේ තියාන ආපු ඇතැම් ජූරි සභිකයන්ව කුපිත කරවන්නට පවා  හේතු වෙනව.

යමෙක්ව මරණයට පත් කරන්ඩ දෙන තීන්දුවක් වුණත් කරන මලදානයක් ඉක්මණට කරල තමන්ගෙ වැඩවලට දුවන්ඩ ආව මිනිස්සු මේ යෝජනාවෙන් පිස්සු වැටෙනව.

මේ අතරේ තුන්වන ජූරි සභිකයාට තියෙනව තමන්ගෙ පුතා එක්කල ආරෝවක්.. මේ නිසා ඔහු මේ සිද්ධීය දිහා හැම තිස්සෙම බලන්නෙ ඒ පෞද්ගලික අත්දැකීමත් එක්ක ගලපල.

කොලුවාට මරණ දඬුවම ලැබිය යුතුයි!!

ඔහු එක හෙළා කියනව.

නඩුවේදී ලබා දුන් සාක්ෂි අතරෙ එක් වයසක මනුස්සයෙක් සහ සිද්ධිය ඇසින් දුටුවා යැයි කියන ගැහැණියකගෙන් ලැබුණු සාක්ෂිවල තිබූ ඇතැම් දුර්වලතා පෙන්වාදෙන අටවැන්නා කියන්නෙ මේ  දහසය හැවිරිදි කොලුවා විදුලි පුටුවක හිඳුවන්නට දෙන තීරණයක් ගැනීම එහෙම නොසැලකිල්ලෙන් කල නොයුතු බවයි.

මේ විස්තර කිරීමෙන් පස්සෙ ඔහු යෝජනා කරනව තමන් ඡන්දය දීමෙන් වැලකී සිටින වෙලාවෙ අනිත් සභිකයන් අතරෙ ඡන්දයක්.. රහස් ඡන්දයක්…

එකක් හෝ නිර්දෝෂයි කියල ලැබුණොත්!! අටවැන්නා කියන විදියට එය සාකච්චා කළ යුතුයි.

ඒ වෙද්දි ඔහු විතරක් නෙවෙයි ප්‍රේක්ෂකාගාරෙ ඉන්න හැමෝම යටි හිතින් හිතනව අනේ ඔහුට පක්ෂව එක ඡන්දයක් හරි ලැබේවා කියල!!

හරියට හරි !! එක් ඡන්දයක් ලැබෙනව කොලුව නිර්දෝෂයි කියල….

කෝපයෙන් මුසපත්වෙන අනිත් ජූරි සභිකයන් එකිනෙකාට චෝදනා කරගන්නව අනෙකා තමයි ඒක කළේ කියල. රැවුම් ගෙරවුම් බැණුම් මැද්දෙ නව වන ජූරි සභිකයා විදියට අපි  හඳනාගන්න මහලු පුද්ගලයා කියනව තම තමයි ඡන්දය වෙනස් කළේ කියල.  ඔහු කියන්නෙ ඔහු එසේ ඡන්දය දුන්නෙ සිද්ධිය ගැන විමසිල්ලෙන් බලල තීරණයකට එළඹිය යුතුයි කියන අටවැන්නාගේ අදහස ඉදිරියට ගෙන යාම වැදගත් යැයි සිතන නිසා කියලයි.

මෙන්න මේ අවස්ථාවෙ තමයි  නාට්‍යයේ දිශානතිය සහමුලින්ම වෙනස් වෙන්නෙ. ඡන්ද වටයකදී නිර්දෝෂයි කියා ඡන්දය ලබා දුන්නත් අටවන ජූරි සභිකයා කිසි විටෙකත් කොලුවා නිර්දෝෂයි කියල කියන්නෙ නෑ.  ඔහු පෙන්වා දෙන්නට උත්සාහ කරන්නෙ ඉදිරිපත් වූ සාක්ෂිවලට පමණක් සීමා වී එම තීරණය දීම නොමනා බවයි. මෙහෙම කථාව ගලා යද්දී සභිකයන් එකිනෙකාගේ චරිත ස්වභාවයන් විතරක් නෙවෙයි ඔවුන්ගේ සිත් තුළ ඇති පුද්ගලික මතිමතාන්තර, ආකල්ප වගේම අත්දැකීම්ද එකිනෙකා ඉදිරියෙ හෙළි කරනව….

තර්ක විතර්ක, තර්ජන ගර්ජන, මැද වරින්වර අට වන ජූරි සභිකයා තමන් නගන තර්ක ඔස්සේ සාකච්චාව සිදුවන අතරේ පැවැත්වෙන ඡන්ද වට කිහිපයක් අවසානයේ  එකොලොස් දෙනෙක් කොලුවා නිර්දෝෂබවට ඡන්දය පලකරනව. කොලුවා වැරදිකරුමයි කියල දැඩි මතයක එල්ලුණු තුන්වන ජූරි සභිකයා මෙතනදි දැඩි අසරණ තත්වයකට පත් වෙනව.

බහුතරය එකඟවූ කොලුවා නිර්දෝෂයි කියව ඒ තීරණයට එකඟ වෙන්නට  ඉතා අසීරු මානසික සටනක යෙදෙන තුන්වැන්නා අවසානයේ තම එකඟත්වය පළ කරනව.

සියල්ලෝ ජූරි කාමරයෙන් නික්ම විනිසුරු ඉදිරියට යන්නේ ජූරියේ ඒකමතික තීරණය කියන්ඩ.

ඒ කොලුවා නිර්දෝෂීබව!!

ඇමරිකානු නිර්මාණයක් ඇසුරු කළාට මොකද මේ නාට්‍යයේ පෙළ එහෙමත් නැත්තං පිටපත ප්‍රබලයි. අනුවාදයක් කියල දැනෙන්නෙ නැති තරමට සමීපයි.  වැඩි දෙනා නොදන්නව වුණාට රංගයේ එකොලොස්වෙනි ජූරි සභිකයා විදියට  රඟන සමන් පුෂ්ප ලියනගේ තමයි මේක අනුවාදයට නගල තියෙන්නෙ. රංගයට යටින් මිනිසුන්ට දැනෙන  අරුත්වලට සර්වකාලික අගයක් තියෙනව විතරක් නෙවෙයි මේ රංගයේ තවත් විශේෂත්වයක් තමයි ඕනෑම රටක සමාජ දේශපාලන වස්තුවිෂයන් එක්කල ගලපගන්ඩ පුලුවන් තරම් අපූර්වත්වයකින් යුක්ත වීම.

වේදිකාව ඉදිරියෙන් නැගිටල ගෙදර ගිහිල්ලත් කල්පනා කරන්ඩ දෙයක් ඉතුරු වෙන ගතියක්!!

කොටින්ම කියනව නං හොඳට වදින ගතියක්!!

මට හිතෙන විදියට නං ඒක තමා නාට්‍යයක තියෙන්ඩ ඕනෙ දේ..!!

මේ නාට්‍යයට තියෙන එකම පසුතලය උසාවියෙ  ජූරි කාමරය.

නාට්‍යය අතරෙ විවේකයක් දෙන්නෙ නෑ කියල පටන් ගන්ඩ කලින්ම කිව්‍ව..

ධාවන කාලය පැය දෙකක්!!

ඒ මදිවට  පැය දෙකක කාලය තුළ චරිත සියල්ලම එකවර වේදිකාවේ ඉන්නව.

නමුත් පුදුමයකට වගේ  එක දිගට පැයක් ඉඳගෙන යමක් බලන් ඉන්න  බැරි ප්‍රේක්ෂකයාව කිසිදු ඒකාකාරී හැඟමකින් තොරව  පැය දෙකක් රඳවා තබා ගන්නට සමත් ගුණයක් ඒකෙ තියෙනව.

ඔන්න ඔතනදි නාට්‍යයට සම්මාදම් වෙලා  හිටිය රංගන ශිල්පීන්ගේ දායකත්වය ඉතාම වැදගත්!!

ප්‍රධාන භූමිකාව ගැන පස්සෙ කතා කරන්ඩ තියා ගෙන තුන්වන ජූරි සභිකයාගේ භුමිකාව රඟන ධර්මප්‍රිය ඩයස්  ගැන ඉස්සෙල්ල කතා කරන්ඩ මං කැමතියි. වත්මන් වේදිකාවේ මං ඉතා ප්‍රිය කරන රංග ශිල්පියා ඔහුයි. ඒ  හින්දම විතරක් නෙවෙයි, මචං චිත්‍රපටයේ දැක්ක ඔහුගේ විශිෂ්ට රංගනයෙන් කම්පනයට පත් වෙච්ච මාව එදා හැන්දෑවෙ මේ නාට්‍යයේදි ඔහු ආයෙමත් එතෙන්ට ඇදල දැම්ම..

මේ නාට්‍යය පුරාවටම ප්‍රේක්ෂකයෙක් විදියට තුන්වැන්නාගේ දැඩි තීරණයට මං  විරුද්ධයි…

ඒත්  නාට්‍යය ඉවර වෙද්දි මගෙ ඇස්වල කඳුලු!!

ඒ ප්‍රබල අවසානය සහමුලින්ම ගොඩනැගෙන්නෙ ධර්මප්‍රියගේ ප්‍රතිභාව මතින්!

අපි  ඉඳගත්ත ඉස්සරහ වැඩි නැද්ද??

පටංගන්ඩ කලින් පෙම්බරය ඇහුව

නෑ දෙබස් ඇහෙන්නෙ නෑ ගොඩක් පස්සට ගියාම..මතකනෙ කලුමාලි… 

නෑ මං කියන්නෙ බැල්කනියෙ නෙවෙයි.. නරකද තව පේලි දෙක තුනක් වත් පස්සට ගියා නං…..?? අනික ඉතිං ඇයි නලු නිලියො කන්ටැක්ට් මයික් පාවිච්චි කරන්නෙ නැත්තෙ… මෙච්චර තාක්ෂණය දියුණු කාලෙ..??

මගෙ මූණ ඇදවුණා…

ඇයි??

නෑ….ඒක හරි නෑ…   එතකොට නාට්‍යයේ තියෙන සජීව ගුණය නැති වෙනවනෙ…. වේදිකාවට ඒක ගැලපෙන්නෙ නෑ…

එහෙම වෙන්නෙ කොහොමද?? එහෙනං ඔය රෙකෝඩ් කරල තියන සින්දුවකත් එහෙම වෙන්ඩ එපැයි…

පෙම්බරය වාදෙට ආව

හ්ම්!! මං දන්නෙ නෑ… මට ඒක හරියටම කියන්ඩ අමාරුයි… මං හිතන්නෙ නෑ මේ නාට්‍යයෙ වුණත් මයික් පාවිච්චි කරයි කියල..

එහෙම කියල ලිස්සල ගියා!!

ඒත් මං තනියම ටිකක් කල්පනා කළා ඒ ගැන…ඇත්තටම පෙම්බරය කියන දේ හරිද කියල??

මට මතක් වුණේ කැලණි පාලම නාට්‍යය!!

මම ඒක බැලුවෙ නාට්‍යයට වගේම රඟපාපු නලු නිලියන්ටත් සෑහෙන්ඩ වයස කාලෙ

ඒකෙ මං කැමතිම දේ වුණේ  නීල් අලස් රඟපානකොට ඔහුගෙ හඬ මුලු ශාලාව පුරාම දෝංකාර දෙන හැටි අහන් ඉන්ඩ!!

පුංචි කාලෙ ඉඳල ගුවන් විදුලියෙ මගේ ප්‍රියතම හඬක් වුණු රම්‍යා වනිගසේකර ගෙ හඬ එදා මට දැණුනෙ යටි ගිරියෙන් කෑගහනව වගේ..

ඒත් නීල් අලස් තමන්ගෙ හඬ පාලනය කරපු විදියට එදා මගේ ඇඟේ හිරිගඩු පිපුණ!

පටිගත කරපු සින්දුවක් වගේ නෙවෙයි…වේදිකා නාට්‍යයක් ඊට වඩා වෙනස්නෙ…  මම ඇති තරම් දැකල තියෙනව වේදිකා නාට්‍යවල පසුබිම් සංගීතය රෙකෝඩ් කරල තියෙනව… එක අතකට ඒක නාට්‍යයට යන වියදම් අවම කරගන්ඩ කරන දෙයක් වෙන්ඩත් පුලුවන්… අනික නාඩගම් නූර්ති වගේ නෙවෙයි නෙ… මේවගේ නාට්‍යවලට ඒකටම අනන්‍ය වෙච්ච සංගීතයක් නෑ නෙ. ගැලපෙන ඕනෙ දෙයක් පාවිච්චි කරන්ඩ පුලුවන්…

ඒත් තාක්ෂණය කොච්චර ඉස්සරහට ගියත් නලු නිලියන් එතනදි තමන්ගෙ සජීවී හඬ සජීවී විදියටම පාවිච්චි කරනවට මං කැමතියි.

ඒකෙ තියෙනව වචනයෙන් විස්තර කරන්ඩ අමාරු  හිතට විතරක් දැනෙන මොකද්දෝ අමුතු ගතියක්!!

නාට්‍යය පටන්ගත්තාම යම් යම්තැන්වලදි මට දැනුන ධර්මප්‍රිය ඩයස් ගෙ හඬේ වෙනසක්!!

විශේෂයෙන් වේදිකාවෙ තරමක් ඈතින් ඔහු ඉඳගෙන රඟපාන අවස්ථාවල ..

කවදත් ඔහුගෙ රංගනය ගැන දැඩි අවධානයෙන් ඉන්න මට ඒක මගහැරුණෙ නෑ

ඊට පස්සෙයි මං දැක්ක ඔහු මයික් එකක් පැළඳගෙන ඉන්නව…

පෙම්බරයත් මට ඒක පෙන්නුව… ඒකෙන් රසවින්දනයට බාධාවක් වුණා කියල මට කියන්ඩ බෑ..

දෙබස් මත වැඩි හරියක් පදනම් වෙන නාට්‍යයක වේදිකාවෙ කතා කරන දේ ප්‍රේක්ෂකයන්ට ඇහෙන්නෙ නැත්තං ඒ නාට්‍යය බලල තේරුමක් නෑ නෙ…

ඒත් මගෙ හිත ටිකක් රිදුන…

වේදිකා නාට්‍යයක නලු නිළියන් සජීවීව තමන්ගෙ හඬ උස්පහත් කරන, පාලනය කරන විදිය ගැන වැඩියෙන් උනන්දු වෙන මට ඒක දැණුන…

මට හිතෙන්නෙ ඔහු රෝගාතුරව ඉන්ඩ ඇති… නැතිනම් කීයටවත් මයික් එකක් පාවිච්චි කරන්ඩ වෙන්නෙ නෑනෙ…

මං හිත හදාගත්තෙ එහෙම හිතල…

වේදිකාවෙදි නලුවෙක්ට නිලියෙක්ට තම හඬ ආභරණයක්!!

හඬ  ඒ ඒ චරිතයට අවස්ථාවට ගැලපෙන විදියට පාලනය කරන්ඩ තියෙන හැකියාව ඒ ආභරණයෙ සියුම් ලියකම් වගේ!!

ඒ ගැන මොහොතකින් මට අමතක වුණා!! ධර්මප්‍රියගේ චරිත නිරූපණය වගේම  ඔහුගේ හැඟීම් ප්‍රකාශනයේ තියෙන තීව්‍ර කම හඬ පරද්දල ඉහළට ආව නිසා…

නාට්‍යයේ ප්‍රධාන චරිතය වන අටවන ජූරි සභිකයා  විදියට රඟන විශ්වජිත් ගුණසේකර මං මීට කලින් දැකල නෑ.. ඒ ඔහුගේ වරදකින්  නෙවෙයි… සරසවි ජීවිතේ අහවර වෙනකල්ම තෙක්ම කලාවට, විශේෂයෙන්ම වේදිකාවට තිබූ දැඩි ඇල්ම අමතක කරල දාල  වෘත්තීය ජීවිතයේ සංකීර්ණතා  අස්සෙ කරවටක් ගිලිල ඉන්න ගමන්, පොත්පත් නාට්‍ය, සංගීතය අතෑරල අන්තර්ජාලය බදා ගත්ත මගේ වැරැද්දෙන්.

විශ්වජිත් ගේ පාසැල් මිතුරෙක් වෙන චානුක වත්තේගම මුහුණු පොත තුළ රංගය ගැන කතා කරල තිබුණ වෙලාවෙ ඔහු ගැන විශේෂයෙන් කියල තිබුණ. ඇත්තටම ඔහුගේ රංගනයට මං කැමතියි. නමුත් ඔහු අනවශ්‍ය ලෙස ඉක්මන්වෙලා කතා කරන බවක් දැනුණේ මට විතරක් කියල මං හිතන්නෙ නෑ… මේ නාට්‍යයේ තීරණය උඩු යටිකුරු කරන්නෙ ඔහු!! ඒ නිසා ඔහු කතා කරන දේවල් හරි හැටි ඇහුණෙ නැති වුණාම ප්‍රේක්ෂකය අන්දුං කුන්දුං!!

හැබැයි ඒකට ප්‍රේක්ෂකාගාරයේ සිනහවත් බොහොම බලපෑව.
මං නං නාට්‍යයක් බලන්ඩ එන්නෙ ඒක ඇතුළට ගිලිල නරඹන්ඩ…ඒත් අපි වගේ එවුන්ගෙ අවාසනාවටද කොහෙද ප්‍රේක්ෂකාගාරයෙන් වැඩිදෙනා හිතාගෙන හිටියෙ එයාල නාට්‍යයේ ගරාජ් අයිතිකරුවෙක්  වෙච්ච දසවන ජූරි සභිකයා විදියට රඟන ඩබ්ලිව් ජයසිරි හැරුණත් හිනා වෙන්ඩ ඕනෙ කියල.

සමහරු හිනාවුණේ තමන්ට හිනා ගියාට වඩා හයියෙන් හිනාවෙන අනිත් අයට දිනුම දෙන්ඩ  අකමැති හන්ද…එතනත් තිබුණෙ එක අතකට හිනාවෙන තරගයක්!!

මට හිනාගියේ ඒකට

මං දන්නව පැය දෙකක් ප්‍රේක්ෂකයා අසුනක ඉන්දවන එක ලේසි නෑ!! ඒත් උපක්‍රමයක් විදියට අමුතුවෙන් හාස්‍යය ඔබන්ඩ අධ්‍යක්ෂවරයාට අවශ්‍යතාවක්  තිබුණ කියල මට හිතෙන්නෙ නෑ ..

ජයසිරිගෙ චරිතයට  වඩා අපට අපි ගැනම හාස්‍යය උපදින ස්ථාන, ප්‍රේක්ෂකයෙකු විදියට නාට්‍යය තුළ දිග හැරෙන සමහර සිද්ධිවලදි සැබෑ ජීවිතයේ  තමන්ගෙ අද්දැකීම් සිහිවෙලා තමා ඒවගේ වෙලාවක ගත්තු තීරණාත්මක තීන්දු ගැන තමාගෙන් නැවත ප්‍රශ්න කරගන්ඩ  පුලුවන් ජවනිකා නාට්‍යය පුරා  අනන්තවත් තිබුණ.

ඇත්තම කියනව නං  මේ නාට්‍යයේ ජයසිරිගෙ ඇතැම් දෙබස් මට අප්පිරියයි. මේ මනුස්සය මෙහෙම අනවශ්‍ය විදියට හාස්‍යය කුලුගන්නන්ඩ උත්සාහ කරන්ඩ හදන්නෙ ඇයි කියලත් මට සමහර වෙලාවට හිතුණ…

ඒත් මං තාමත් විස්වාස කරන්නෙ ඒක වේදිකාවේත්, සිනමාවේත්, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේත් මං ඉස්සර ඉඳන්ම ප්‍රිය කරපු විශිෂ්ට ගණයේ රංගධරයෙකු  වෙන ඔහු  තමාගෙ හිතුමතයට පෙලෙන් පිට පැනල අනෙක් චරිතවලට ඉහළින් ඉන්ඩ, තමාගෙ රංගනය  ඉස්මතු කරන්නට ගත් උත්සාහයක් වෙන්ඩ බෑ කියලයි.

අනෙක්  අතට විකට නාට්‍යයක මුල ඉඳන් අගටම  බඩ අල්ලාගෙන හිනාවෙන ප්‍රේක්ෂක පිරිසක් මෙතෙන්ටත් ආව එක වැරැද්දක් කියල මං හිතල වැඩක් නෑනෙ. මට හිතෙන්නෙ මිනිසුන්ට ආයාසයෙන් සිය සිනහව පාලනය කරගන්ඩ කියල කියනවාට වඩා ඊට අවශ්‍ය සංයමය  නාට්‍යයතුළ ඇතිවෙන්ඩ ඕනෙ. මොකද මේ නාට්‍යය රස විඳින්ඩ නං ප්‍රේක්ෂකයාගේ පූර්ණ අවධානය ඒ වෙත යොමු වී තිබිය යුතුයි… එතෙන්දි මොන හේතුවක් මත හරි අපට ගිලිහෙන එක වචනයක් අපේ වින්දනයට කරන්නේ සුලුපටු අපරාධයක් නෙවෙයි..

අනිත් එක තමයි නාට්‍ය පටං ගන්ඩ කලිං බණ කියන්න වගේ කොච්චර කිව්වත් නිහඬ වෙලා තිබුණෙ නැති  ප්‍රේක්ෂකයොන්ගෙ ජංගමයො…සැරෙන් සැරේ තැනින් තැන අඬන්ඩ ගත්ත!!

පුදුමයක් නෙවෙයි..මං වැඩ දාහක් අමතක කරල නාට්‍ය බලන්ඩ ආවට වැඩි දෙනා ඇවිල්ල ඉන්ඩ ඇත්තෙ වැඩ දාහක් අස්සෙ ඒකටත් හොට දාල යන්ඩ වෙන්ඩ ඇති නෙ… ඉතිං ජංගමයන්ට අඬන්ඩ ඉඩ දීල තියන්නෙ නැතුව බෑනෙ..ඒකෙන් අනිත් අයගෙ අවධානය බිඳෙන එක ගැන හිතල බෑ නෙ…. එයාල මෙතන ඉන්නකොට අර දාහක් වැඩ යන විදිය ගැන තමන්ට කියන්නෙ ජංගමයො නෙ…

හැබැයි ඉතිං ඒ වගේ සුලු දේවල් වුණත් මිනිස්සුංගෙ සැබෑ වින්දන මට්ටම ගැන පෙන්නල දෙන සාධක වෙනව.

ට්‍රැක් පැනල බෑනෙ… ආවෙ නාට්‍යය ගැන කතා කරන්ඩ නං

මිනිහෙක් විදියට ඉපදිලා තවත් මිනිහෙක්ගේ ජීවිතය හෝ මරණය තීරණය කරන්ඩ සාකච්චා කරන අවස්ථාවේත් පොරි විකුණන්ඩ දැන්වීම් ලියන ඇඩ්වටයිසිං හාදයා, නඩුවේදි  ඉදිරිපත්  වෙච්ච සාක්ෂි තමා හරිම සාක්ෂි කියල හිතල ඒ මතම එල්ලිලා කොලුවා වැරදිකරු යන තීරණයේ ඉන්න කොටස් වෙළඳපල තැරැව්කරුවා, බේස් බෝල තරගයක් නරඹන්ඩ දුවන්ඩ කොලුවා විදුලි පුටුවට යාම නොසලකා හරින තරුණයා,තමන් ගන්ඩ හදන මේ තීරණය ගැන පැහැදිලි අදහසක් නැති බැංකු සේවකයා, ඡන්දයක් පවත්වන්නට යෝජනා කරමින් ක්‍රමයෙන් සාකච්චාව මෙහෙයවන්නට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙන  පා පන්දු තීරකවරයා, මුඩුක්කු ජීවිතයේ අක්මුල් තියෙන තරුණයා, බිත්ති පින්තාරු කරන්නා, මහා කළබලයක් නොකර, සිදුවන පමාව ගැන හැඟීමක් නැතිව සිටි, සාක්ෂිකරුවන් ගැන අනිත්  කවුරුත් දැක්කෙ නැති  සුලු දේවල් වුණත්, නමුත් තීන්දුවෙ වෙනසකට  බොහොම උපකාර වෙන දේ පවා නිරීක්ෂණය කළ, තමන්ගෙ ජීවිතයෙ වැඩි හරියක් ගෙවී අවසන් වෙලා තියෙද්දි  තව එකෙක්ගේ ජීවිතය ගැන මොකට හිතනවාද කියා නොසිතා ජූරියේ අවසාන තීරණය උඩු යටිකුරු කිරීමට ඡන්දය දෙන වයෝවෘද්ධ තැනැත්තා මේ නාට්‍යයට කරන දායකත්වය නැත්තං මේ නාට්‍යය මේ තරම් සාර්ථක  නොවෙන්ඩ ඉඩ තිබුණ…

මං  ඒ ගැන විශේෂයෙන් කතා කරන්ඩ යන්නෙ නෑ.. ඒ  මේ නාට්‍යයේ චරිතවල මම දැක්ක සියුම් දේවල් විග්‍රහ කරන්ඩ තරම් රංගනය ගැන හෝ නාට්‍ය කලාව ගැන මං දන්නෙ නැති හන්ද මිසක මේ නාට්‍යයේ  චරිත විදියට ඔවුන්ව අඩු තක්සේරුවකට ලක්කරන්ඩ එහෙම නෙවෙයි.

මට හිතෙන්නෙ මං ලියන්ඩ ඕනෙ මේ නාට්‍යට  බලල මම යම් මානසික උත්තේජනයක්  ලැබුව නං වින්දනයක් ලැබුව නං අන්න ඒ ගැනයි කියල.

මම කලිනුත් කිව්වනෙ මේ නාට්‍යයට පසුබිම් වෙන්නෙ විදේශීය ජන්මයක් ඇති නිර්මාණයක්..

ඒත් ඒ නිර්මාණයේ වස්තුවිෂය අද අපි ජීවත් වෙන සමාජය එක්ක ගැලපිලා යන විදියට  සියුම්ව ඉදිරිපත් කිරීම අනුවාදකයා  වගේම නාට්‍ය අධ්‍යක්ෂවරයාගෙ දක්ෂතාව.

පොදුවේ සලකනකොට විතරක් නෙවෙයි එක් එක් ප්‍රේක්ෂකයා විදියට සැලකුවත් තමන්ට තමන්ගෙ හෘද සාක්ෂිය ප්‍රශ්න කර ගැනීමට ඉඩක් ලබා දෙන්ඩ ඒක හේතු වෙනව.

මගෙ ගැරෙජ් ටික අරෙහෙ මක බෑවෙනව, තොපි සේරම අපතයො, උන්ට ජීවත්වෙන්ඩ ඉඩ දෙන්ඩ නරකයි

කියමින් මොර දෙන, ප්‍රේක්ෂකාගාරය හිනස්සන ගැරෙජ් හිමියා  මිනී මැරුම් චෝදනා එල්ල වෙච්ච කොලුවා  මුඩුක්කුවක ඉපදිච්ච හන්ද ඌ ඒක කරන්ඩම ඇති කියල කියන්නෙ මුඩුක්කුවල ඉපදිච්ච මිනිස්සු ගැන එයාගෙ හිතේ  පැලපදියං වෙලා තියෙන යම් නරක අත්දැකීමක් හන්ද වෙන්ඩ ඇති.. ඒත් ඔහු උත්සහ කරන්නෙ  තමන්ගෙ ඒ අගතිගාමී අදහස් අන්‍යයන් මත බලෙන් පටවල තමන්ගෙ මතය විසුරුවන්ඩ.. අණසක පවත්තගන්ඩ..  සාමාන්‍ය ජීවිතයේදී එවැනි අත්දකිම්වලට මුහුණදීල තියෙන, එහෙම කරන්ඩ  උත්සාහ දරල තියෙන ප්‍රේක්ෂකයාට මේ ජවනිකා දකිනකොට  ඒ සිද්ධි මතකෙට එනව… ඒ මතකය ඔවුන්ට තමාටම සිනාසෙන්නට අවස්ථාවක් සලසල දෙනව.

ඒක වටිනා ඉඩක්!! හැම තැනකදිම නොලැබෙන

එදා හවස බේස්බෝල් තරඟය මගහැරෙයි කියල බයෙන්, තමන්ට තව මනුස්ස ජීවිතයක් ගැන තියෙන වගකීම ගැන බින්දුවක් වත් හිතන්නෙ නැතුව පුලුවන් ඉක්මනින් එතනින් පිට  වෙන්ඩ හදන තරුණයා කොලුවා නිර්දෝෂයි කියන්නෙ තමන්ට ඒ ගැන අවංකව හිතෙන හන්ද නෙවෙයි.. තමන්ට යන්ඩ පරක්කු වෙන හන්දයි…

මට හිතෙන්නෙ මේ  තරුණයා නියෝජනය කරන්නේ වර්තමානයේ මගතොට අපි දකින, තමා වටේට තියෙන බරක් තියෙන, සංකීර්ණ බාහිර ලෝකය දරා ගන්ඩ බැරිව හෙඩ්සෙට් එකකින්  තාප්පයක් හදාගෙන ඒ ලෝකෙන් තමාගෙ වර්චුවල් ලෝකය වෙන් කර ගන්ඩ දඟලන වර්තමාන තාරුණ්‍යය කියලයි.

ජූරි සාකච්චාවේදීත්  මිනිස්සු අතරෙ නැගල යන්ඩ පොරි විකුණන්නෙ කොහොමද කියල හිතන තරුණයා අපට කියන්නේ අද සමාජයේ තියෙන  තරගකාරී හැඩ පහරට ඔරොත්තු දෙන්ඩ ගැලපෙන විදියට තමන්ගෙ හැඟීම් පවා උගස් කරල තියෙන මිනිස්සුන්ගෙ කතාව.

කොලුවාගේ ජිවිතය ගැන තමන්ගෙ දරුවත් එක්ක තමාට තියෙන අවුල මතින් තීරණ  ගන්ඩ හදන තුන්වන ජූරි සභිකයාගේ හිතේ තියෙන ඇත්ත කාරණාව එළියට ගන්ඩ අටවැන්නා ඔහුව හිතාමතා කෝප ගන්නන අවස්ථාවෙ ඔහු දැඩි කෝපයට පත්වෙලා අටවැන්නා දිහාට ඇඟිල්ල දික්කරල  මං තෝව මරණවා  කියල කෑගසන අවස්ථාව තමයි මට දැනෙන නාට්‍යයේ බලවත්ම තැන!!

ඒක හරියට හීනයක් දැක දැක හිටපු තුන්වැන්නා  ඒ හීනෙන් අවදි වුණා වගේ.

එතනදි ඔහුට ඒත්තු යනව වැරදි කරු කියල තමන් තරයේම හිතාගෙන ඉන්න චූදිත කොලුවත් තාත්තට මං තෝව මරණවා කියල කෑ ගහන්ඩ ඇත්තෙ ඇත්තටම මරන්ඩ හිතාගෙන නෙවෙයි, යම් අවස්ථාවකදි ඇති වෙච්ච  අධික කෝපයෙන්  කියල.

වේදිකාව විතරක් නෙවෙයි ප්‍රේක්ෂකාගාරය පවා හෙල්ලිලා යනව මේ වෙලාවෙ… තත්පර ගාණක් යනකල් ප්‍රේක්ෂකාගාරය අක්‍රීය වෙනව…

ඒක හරියට වේදිකාවෙ ඉඳල ප්‍රේක්ෂකාගාරයට තියපු වෙඩිල්ලක් වගේ…

මගේ හිත ඇතුළෙන් මට දැණුනෙ හිටපු තැනින් මාව කොහෙටදෝ විසි වුණා වගේ හැඟීමක්…

හරියට විදුලි සැර වැදුණ වගේ !!

ඒ ඔබේ දරුවා නෙවෙයි…

ඒ වෙනකෙනෙක්

එයාට ජීවත් වෙන්ඩ ඉඩ හරින්ඩ…

අටවැන්නා ඔහුට කියන හැටි  තාමත් මගේ කන් ඇතුළෙ දෝංකාර දෙනව..

ඒ වෙලාවෙ ඇති වෙච්ච කම්පනය මට දැනුත් දැනෙන තරම්!!

කෙසේ හෝ අවසානයේ  තුන්වැන්නා තමන්ගෙ තීරණය වෙනස් කරනව .  ඒ වෙනුවෙන්  ඔහු කරන මානසික අරගලය  සෙල්ලමක් නෙවෙයි… ඒක ඒ විදියට අපිට දනවන එක ඊටත් වඩා  අසීරුයි… වචනයක් වත් නැතුව….

ධර්මප්‍රිය ඩයස් ට තරම් හොඳට ඒක කරන්ඩ පුලුවන් වෙන කෙනෙක් ගැන මං හිතන්ඩ වත් යන්නෙ නෑ…

එතනදි පසුබිම් සංගීතය ගැනත් කතා කරන්ඩ වෙනව..

වචන ගණනාවක් යොදාගෙන කතා කළත් කියල ඉවරයක් කරන්ඩ බැරි  තමන්ගෙ පුතා තමන්ට විරුද්ධව නැගිච්ච තාත්ත කෙනෙක්ගෙ හැඟීම් විස්තර කරන්ඩ කසුන් කල්හාර  මහ ලොකුවට දඟලල තිබුණෙ නෑ..සංගීත භාණ්ඩ ඒ හැටි යොදාගෙන තිබුණෙත් නෑ…

ඒත් ඒ වෙලාවෙ ඒ හැඟීම් ප්‍රේක්ෂකයාට උපරිමයෙන් දැනෙන්ඩ ඇති වෙන්ඩ ඕනෙ පසුබිම ඇති වෙලා තිබුණ..

ඇස්වලට කඳුලු පිරෙන තරමට!!

ඒ පසුබිම් සංගීත භාවිතාව ගැන මං ඉතාම තෘප්තිමත්!!

නාට්‍යය ආරම්භයේදී වාදනය වන විනිසුරුවරයාගේ හඩ පටිගත කළ එකක් නොවී පියවි හඬින්ම වූවා නම්!!  කියන එක මගෙ හිතේ පටං ගන්න කොටම ඇති වෙච්ච එකක්…

නාට්‍ය කලාවේ තාක්ෂණික ගැටලු ගැන මට අවබෝධයක් නෑ නෙ… ඒ පසුතැවිල්ල දුරු කළේ  ප්‍රියන්ත අයිය..

මේ කතාවෙ දි විනිසුරුවරයව වේදිකාවට ගේන්ඩ බෑනෙ.. එයා  වේදිකා පසු තලයෙ ඉඳල කතා කළාම ප්‍රොජෙක්ෂන් අවුල් වෙන්ඩ පුලුවන්…  ඒ නිසා වෙන්ඩ ඕනෙ අතුල එහෙම කරල තියෙන්නෙ

ප්‍රියන්ත අයිය හරි වෙන්ඩ ඕනෙ..

ඒක මොකක් හරි තාක්ෂණික ගැටලුවක් ජය ගන්ඩ කරපු දෙයක් වෙන්ඩ ඇති..!!

ඒ වුණාට මට හිතෙනව ඒක  පටිගත කරපු එකේ නෙවෙයි මට දැණුන අවුල තිබුණෙ.

ඒකෙ ප්‍රකාශනය තව ටිකක් සජීවී  වෙන්ඩ තිබුණ. නාට්‍යයේ ආරම්භය ආරම්භය එතන හන්ද  ඒක මේ ජූරි සභිකයන් දොලොස් දෙනා අබිමුවේ ඇති භාරදූර වගකීම  ගැන  ඒත්තු ගන්න්ඩ කරන ප්‍රකාශයක්  විතරක් නොවී  ඒ වගේ අවස්ථාවකදි  උසාවියක විනිසුරුවරයෙක් කතා කරන හැටි ගැන  හිතල අන්න ඒ සජීව ගුණය මුහු වුණා ඒක වඩාත් හොඳට වදින්ඩ තිබුණ කියල හිතෙනව මිසක ඒක අඩුපාඩුවක් විදියට ගණං ගන්ඩ බෑ.

කොහොම වුණත් හැම දේම ගැන හිතුවාම මේ නාට්‍යය මෑත කාලයේ මං බලපු වේදිකා නාට්‍ය අතර ඉහළම තැන තියෙන කීපයෙන් එකක් කියල බය නැතුව කියන්ඩ පුලුවන් මට.

මෑතක මං බලපු සමහර නාට්‍යවල මට දැනුණ දෙයක් තමයි නාට්‍යය කියල ජවනිකා ටිකක් පෙන්නල, අන්තිමට කතාවෙන් පෙන්නන්ඩ උත්සහ කළේ මෙන්න මේකයි කියල ගෙඩි පිටින්ම කියල බලං ඉන්න මිනිස්සුන්ට නාට්‍ය හරය බලෙන් ඒත්තු ගන්නන්ඩ යන එක… හැබැයි ඒ ටික ප්‍රේක්ෂකයට හිතාගන්ඩ පුලුවන් වෙන්ඩ අර ජවනිකා සැලසුම් වෙලා තිබුණෙ නෑ…

කලුමාලි මේකට හොඳම උදාහරණයක්!!

මං හිතන්නෙ නාට්‍යයකදි හැම දේම ඇඟිල්ලෙන් ඇනල පෙන්නන්ඩ ඕනෙ නෑ…

ඒක ප්‍රේක්ෂකයා වටහා ගන්ඩ ඕනෙ තමන්ගෙ නැණ පමණින්…

අනික ප්‍රේක්ෂකයාට නිදහස තියෙන්ඩ ඕනෙ තමන්ට අනන්‍ය වෙච්ච වින්දනයක් ඒකෙන් ලබන්ඩත්..

පෞද්ගලිකව මං කැමතියි මොකක් වුණත් බලල ගෙදර ගිහින් වරු ගාණක් ඒක ගැන හිතන්ඩ…

මට ඕනෙ අන්න ඒ ඉඩ…

මේ නාට්‍යය සාර්ථක වුණ එක ගැන පුදුමයක් නෑ…. නලුවො ටිකට මාස හය හතක දිගු පුහුණු කාලයක් සංයමයෙන් ඉවසා වදාරන්ඩ පුලුවන්  වෙච්ච එකම මදැයි… රංගනය  තමන්ගෙ ජීවන වෘත්තිය කරගත්ත වුණත්  ඒක ලැබෙන මුදල මත තීරණය නොකර කරපු කැපවීමට  මේ නාට්‍යයට දායක  වෙච්ච සියලුම දෙනාට මගේ හිස නමා ආචාර කරන්ඩ මං කැමතියි.

දෙදහස් දොළහේ දොළොස් වෙනි මාසෙ දෙළොස්වැනිදා  දොළහක් නාට්‍යය වේදිකා ගත කරල අවුරුද්දක් පිරුණ…

ඒ සමරුවට එක් වෙන්ඩ කියල දුරු රටක  ඉඳල මාව උනන්දු කරල….  ඔන්න නොකීවයි කියන්ඩ එපා….ගියෙ නැත්තං බලාගෙනයි කියල සොඳුරු තර්ජන එල්ල කරපු,  මේ ගැන ලියන්ඩ ඕනෙ කිව්වාම පුංචි ලෝබකමක් වත් නැතුව  ඒ ගැන තමන් ලියපු දේවල් මට එව්ව ප්‍රියන්ත අයියට පින්!!

සීරියස් නං සීරියස්… ඔයාගෙ සාමාන්‍ය බ්ලොග් භාෂාව නං ඒක…මේ ලිපිය ඒ දෙක අතර මැද තියෙන එක හරි නෑ.. මේක ආයෙ ලියපිය

එහාටත් නැති මෙහාටත් නැති වෙනමම විදියකට ලියල තිබුණු මේ කතාවම කියවල ඒ ගැන තමන්ගෙ අදහස කෙලින්ම කිව්ව…

ඒකට විතරක් නෙවෙයි මට මේ නාට්‍යය බලන්ඩ යන්ඩ බල කළාට බොහොම ස්තූතියි!!!

 නියමයි!!! පෙම්බරයත් කිව්ව.

ලැජ්ජාවකුත් තියෙනව…මහලොකුවට මං වේදිකාවට ආසයි කියල කිව්වට අන්තිමට අවුරුද්දක් පිරෙනකල්ම ඒක බලන්ඩ බැරි වුණ එක ගැන

කොහොම වුණත් දොළහක් නාට්‍යය බලපු එක මට මගේ ජීවිතේ හරිම වැදගත් අවස්ථාවක්…

සෑහෙන කාලෙකින් ආයෙමත් වේදිකා ව ආශ්‍රයට වැටුණ!!

දැන් ඉතිං තවත් තුන්වන සීනුවක් නාදවෙනකල්  මගේ හිත නොයිවසිල්ලෙන්..!!!!

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

19 Responses to දොළහක් ගැන මගෙ කතාව..!!!

  1. මුදියන්සේ පවසයි:

    හොද විචාරයක්

    වේදිකා නාට්‍ය බලන්න කොච්චර ආසා වුනත් හැමදාම මග හැරෙනවා. කොළඹින් පිටට වෙදිකා නාට්‍ය යනවා අඩුයි. කොළඹ ඉන්න නිසා සති අන්තයක් ඉදලා වත් ඕකක් බලන්න හිතුවත්, එතකොට ජීවිතය මග හැරෙනවා. (දෙමාපියන් බලන්න තියෙන්නේ සති අන්තේ නිසා ) .
    මම දෙළහක් ගැන ගියපු රූපවාහිනී වැඩසටහන්ක් බැලුවා. ඒ තිබ්බ විදිහටත් මේක අමුතු වැඩක්.

  2. Sadeepa Ravinath Palliyaguru පවසයි:

    අක්කේ ,
    මේ විචාරයට ස්තුතියි. කියෙව්වම මේක බලන්න යන්නම හිතෙනවා… අවුරුදු ගානකින් නාට්‍යක් බලන්න බැරි වුනා.

  3. මේක නියමයි ජනූ. මේ දොළහක් ගැන මම කියවපු පරිපූර්ණම එක් සටහනක්. ඇත්තටම මේ නාට්‍ය ඇතුළේ මුන් දොළොස්දෙනාම යක්කු වගේ රඟපෑවා වුණත් ධර්මප්‍රිය ඩයස් තමයි එහි ජීව ගුණය කියලා මට හිතෙන්නේ. මචං වලත් මිනිහා නියමයි තමයි. නමුත් ඩයස් මට හොදටම නෝට් වුණේ මනෝරත්නගේ ගුරුතරුවෙ ටිකිරිබණ්ඩාර හින්දයි. ඊට කලින් ඒක කරාපු සරත් චන්ද්‍රසිරිත් මරු. හැබැයි ඩයසා ඒක අපුරුවට ප්‍රතිනිර්මාණය කරා.
    වේදිකා නාට්‍ය වලදි නවීන තාක්ෂණික උපක්‍රම පාවිච්චි කළ යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. ඔබ නීල් අලස් ගැනත් කියලා තිබුණානෙ ජනූ ඔහු අපට සිටින හොද හඬ නළුවෙක් ..ඒත් ලංකාවේ රේඩියෝ නිෂ්පාදන නීල්ගෙ හඬ හරි විදිහට ප්‍රයෝජනය ගත්තේ නෑ. ඔහු අවුරුදු දෙකකට කිට්ටු කාලයක් මම ලංකාවෙ රේඩියෝවක් වෙනුවෙන් නිෂ්පාදනය කරපු රේඩියෝ නාට්‍ය මාලාවක සහභාගී වුණු නිසා ඒ ගැන මම දන්නවා.
    මම් හිතුවේ ජනූ ඉන්දියාවේ ඉන්නවයි කියලයි.

  4. ravi පවසයි:

    නියමයි බොල….උඹට නාරං විකුණන ආච්චිල, කෝච්චි පෙට්ටි අතුගාන කොල්ලො ගැන විතරක් නෙවෙයි එහෙනං ලියන්ට පුලුවන්?…..හෙහ්, හෙහ්, අපූරු විග්‍රහයක්……ආයෙම වේදිකා නාට්‍ය ගැන මතක් වෙල හිතට මහ පාළු මූසල හැඟීමක් ආව බං…..මම නාට්‍යයක් බලල නෑ මම හිතන්නෙ අවුරුදු විසි පහකින් විතර..අන්තිමට බැළුවෙ මොකක්ද දන්නවද?….” අත් ” …. ජයන්ත චන්ද්‍රසිරිගෙ….

    නිල් අලස් ගැන උඹ කියල තියන ටික ඇත්තම ඇත්ත. ඒ වගෙ රංගාවෝචිත කටහඬක්, ශාලාව සිසාරා යන පෞරුෂයක් තිබුනු නළුවෙක් මම ඊට පස් සෙ දැක්කෙම නෑ…..සිහින සාප්පුව….තවත් නීල්ගෙ විශිෂ්ඨ රඟපෑමක්….

    විශ්වජිත් ගුණසේකර වේදිකාවෙ රඟ පානව මම දැකල නෑ….ඒත් මතකද අපූරු ටෙලි චිත්‍රපටයක් ….රළ බිඳෙන තැන….ඒකෙ ඔහු රඟපෑවා අමතක නොවෙන භූමිකාවක්……

    / ඒ වගේ අවස්ථාවකදි  උසාවියක විනිසුරුවරයෙක් කතා කරන හැටි ගැන  හිතල………………. /

    මෙතන නම් බොලේ මට පොඩි ගැටළුවක් තියනව. උසාවියක විනිසුරු භූමිකාව ඒ විදිහටම තාත්විකව වේදිකාව මත ප්‍රතිනිර්මාණය කල යුතුමද ඒ හැඟීම ප්‍රේක්ෂකයට දෙන්න?

  5. Maneka පවසයි:

    ඔන්න ඉතිං දැන් මටත් බලන්ඩ ඕනා ඒක 😦 අන්තිමට නාට්ටි බැලුවේ කැම්පස් එකේ වේදිකාවෙන් මහ පොළොවට නාට්ටි උළෙලින් 😦 වැඩි හරියක් රෑටම තියන නිසා.. ඉතිං බලන්ඩ යන්ඩ හැටියක් නෑනේ! දුකම තමා ! :((

  6. Buratheno පවසයි:

    පෝස්ට් එක ගැන බොලාගෙ ඊ-පණිවිඩයත් ලැබුනා, මම මොබයිල් එකෙන් පෝස්ට් එකත් කියෙවුවා.. ඒත් මේ දැන් තමා කමෙන්ට් එකක් කොටාගන්ට පුළුවන් වුනේ බං.. පහුගිය දවස් දෙක-තුනේම එකේක වැඩවලට එහෙ මෙහෙ දිවුවා, ඉතිං ඉස්පාසුවක් ලැබුන් නෑ හරිහමං විදියට නෙට් එක පැත්තෙ එන්ට..

    වේදිකා නාට්ටියක් බලපු කාලයක් මතක නෑ බොලං.. ලැජ්ජයි කියන්ට, ඒත් ඒක තමා ඇත්ත.. ඉස්කෝලෙ යන කාලෙ නම් නාට්ටිය බැලුවා මදි නොකියන්ට.. ඒත් දැන් අවුරුදු ගානකින් (අඩුම ගානෙ අවුරුදු 10කින් වත් මෙහා) බලන්ට ගිහිල්ලා නෑ..

    මේක ගැන මොකුත් කියන්ට බෑ, නාට්ටිය බලලම ඉන්ට වෙයි වගේ.. 🙂

  7. සුසර විජේරත්න පවසයි:

    අපූරුයි
    විඳීම වගේම ලිවීමත් ඉස්තරම්.
    හොඳ නාට්‍යයක් ඇස් පුරා බලාලා හිත පුරා විඳලා ඒත් සෑහීමකට පත්වෙන්න බැහැ. අපට දැනුන කම්පනය තවත් කෙනෙක් එක්ක බෙදා හදා ගන්නටත් ඕනෑමයි.
    ඒත් එහෙම බෙදා හදා ගන්න පුළුවන් වෙන්නේ එක විදිහට දැනෙන පිරිසක් එක්ක විතරයි ( සහෘදයෝ කියන්නේ එහෙම අයට ).
    මම තවම දොළහක් බලල නැහැ. පහුගිය දොළොස් වෙනිදත් මට ඒක මග හැරුන. නැතිනම් ජනුවත් මුණගැහෙන්න තිබුණා. දැන් අපට නාට්‍යයක් බලනවා කියන්නේ ටිකක් සංකීරණ ප්‍රොජෙක්ට් එකක්. ඒ වෙනුවෙන්ම කිලෝමීටර් 40විතර ගෙවාගෙන කොළඹ එන්න ඕනේ . ඉතින් ඒ හැන්දෑවේ දරුවන්ට අමතර පන්ති නැතිවෙන්නත් ඕනේ . ඔයවගේ කාරණා රාශියක් එකතු වෙලා තමයි අපි නාට්‍යයක් බලන්නේ .හුඟ වෙලාවට ඔය ඔක්කොම හරියනකොට හොඳ නාට්‍යයක් නැතිවෙනවා .
    කොහොම හරි නාට්‍යය බලා නැති නිසා ඒ ගැන කියන්න යන්නේ නැහැ. ( බලන්න පෙරුම් පුරමින් ඉන්න නාට්‍යයක් බලලා කෙනෙක් මේ වගේ විස්තර කරත්දී ඉරිසියත් හිතෙනවා )
    මම නම් කැමති මේ වගේ නාට්‍ය වල ස්වභාවික කටහඬ ප්‍රක්ෂේපනය භාවිතා කරනවට. වේදිකාවේ සිට ඉදිරිපෙලට වගේම ගැලරියේ ( බැල්කනියේ ) ඈත කොනටත් එකෙසේ පැහැදිලිව ඇසෙන්නට හඬ ප්‍රක්ෂේපනය කිරීම විශේෂයෙන් ප්‍රගුනකොට ලබා ගතයුතු හැකියාවක්. මම දන්නා ඒ හැකියාව ඇති හොඳම කෙනා මනෝරත්න . ගුරුතරුව හෝ අන්දරේලා හි ඔහුගේ දෙබස් මෙන්ම ගීත ගායනාවන් වල ඔය ගුණය තියෙනවා. නීල් අලස් කියන්නෙත් ඒ වගේම කෙනෙක.් නරිබෑනා අලුත් නිෂ්පාදනයේත් ඔහුගේ රංගනය හරිම අපුරුයි .
    අපි මේ මොනවා කිව්වත් නාට්‍ය නිෂ්පාදකයෝ තමයි දන්නේ එක කරන්න තියෙන අමාරුව . ඉතින් එක එක තාක්ෂණික ප්‍රයෝග සහ පටිගත කල සංගීතය හෝ දෙබස් යොදා ගන්නට ඔවුන්ට සිද්ද වෙනවා. නිෂ්පාදන වියදම වගේම කාර්යබහුල ශිල්පීන් ගෙන් දින ලබා ගැනීමේ ගැටළු නිසා.
    ඔය තුන්වැනි සීනුවට ඇබ්බැහි වීම එක්තරා විදියක ලෙඩක් . මටත් ඕක තියෙනවා හොඳ වෙලවට ගෙදර උන්දැටත් ඒ ලෙඩේම තියෙන නිසා අවුලක් නැහැ වියයුතු පරිදිම අප‍ දරුවන්ටත් ඔය ලෙඩේම හැදෙනව.
    බකමූණා වීදි බසී , සුද්දෙක් කතා කරයි , බූරුවා මහත්තය වගේම කොලොම්බෝ කොලොම්බොත් අවස්ථාවක් ලදොත් ඇත නොහැරිය යුතු නාට්‍ය

  8. නිරෝෂා පවසයි:

    හ්ම් ආයෙත් 12ක් බැලුවා වගේ…

    පහුගිය නොවැම්බරයේ මාත් මේ නාට්‍යය නොසෑහෙන්න වින්දා. මටනම් අනුවාදයක් කියලා තේරුනේම නෑ, ඒ තරමට සමීප බවක් දැනුනා. චරිත 12නම් තකට තක.හොදින් පෑහෙනවා.
    අනේ කෙල්ලේ,බෞද්ධ මන්දිරයේ තිබුනු දර්ශනයෙදීත් මයික් කීපයක්ම පාවිච්චි කලා මං දැක්කා. ඒ විතරක් නෙවෙයි, අමුතු සද්දයක් ආව නිසා ඒ ගැන හොයන්න ගිය වෙලාවෙ දැක්කේ ශාලාවෙ බිත්තියට හේත්තුවක් දාගෙන ගොරවමින් නිදන කෙනෙක්ව.

    දොළහක් අපිට අපිවම පෙන්නලා දෙනවා.අපි හුගක් දේවල් මුලින්ම දකින්නේ අපේ අත්දැකීම් අනුව කියලයි මට හිතෙන්නේ. ධර්මප‍්‍රිය හිරවුනෙත් ඒ වගේ මානසික සටනක

    හුගක් හොද, රසවත් විචාරයක්. හැමදාම වගේ අදත් මම ආසාවෙන් කියෙව්වා.

  9. Gaminie Vijith පවසයි:

    මගේ කැලෑ රස්සාවත් එක්ක නාට්‍ය බලන්න ලැබුනු අවස්ථා අතේ අඟිලි ගානටත් අඩුයි. ඒත් ඒ හැම නාට්‍යයක්ම එකවගේ අපූරු අත්දැකීමක්. නාට්‍ය වේදිකාව කියන්නෙ නලු නිළි නිෂ්පාදනාගාරයක් කියලා මට හිතෙනවා. සිනමාවටත් ටෙලිනාටකවලටත් පිවිසුනු ප්‍රතිභාවක් තියෙන හැම ශිල්පියෙක්ම බිහිවුනේ එතනින් නිසා. නාට්‍ය අත් දැකීම බෙදා හදා ගත්තට ස්තුතියි නගේ..!

  10. ඉසුරු සම්පත් පවසයි:

    හොද ලිපියක්. මමත් මෑතකදි බලපු හොදම නාට්‍ය දෙකෙන් එකක් තමයි 12 ක් කියන්නේ. ධර්මප්‍රියගේ උගුරේ ආබාධයක් තියෙනවා මේ දවස් වල. එයාට එක දිගට හයියෙන් කථා කරන්න අමාරුයි. ඒ නිසා තමයි මයික් දාන්න ඇත්තේ. මම 12 බැලුවේ 2011. 12 දෙවෙනි දර්ශනය. එදා ලයනල් වෙන්ඩ් එක හවුස්ෆුල්. වෙන්ඩ් එකට යද්දිම මම කලබල වුනා. කහපාට තිර ඇදලා මිනී මැරුමක් වෙලා වගේ. මම යාළුවෙකුටත් කථා කරලා ඇහුවා වෙන්ඩ් මිනීමැරුමක් ගැන ආරංචියක් තියෙනවාද කියලා. නාට්‍ය බැළුවට පස්සේ තමයි සිද්ධිය තේරුනේ.

  11. Kaushali Anagipura පවසයි:

    හරිම අපූරු විචාරයක්…
    මං මේ නාට්‍යය දෙවෙනි සැරෙටත් බැලුවා… උපරිමයෙන් රස වින්දා.. ඒත් තවමත් මං සෑහීමකට පත්වුනේ නෑ. මට නම් හිතෙන්නේ කොයිතරම් බැලුවත් මේක එපා වෙන්නේ නෑ කියලයි..
    (ධර්මප‍්‍රිය මයික් පාවිච්චි කලේ අසනීපයෙන් සිටි නිසා)

  12. Hasitha පවසයි:

    ලබන මාසේ අපේ කැම්පස් එකෙත් මේ නාට්‍යය පෙන්වනවා. ඊට පස්සේ බලමුකෝ මොකද හිතෙන්නේ කියලා 🙂

  13. Gayani Wedage පවසයි:

    අපුරු විචාරයකි.එහි සියුම් තැන් පවා ඔබේ මනා විචාරයට නතු විම අගය කරමි.

    මනසින් දිවියට

  14. රූ පවසයි:

    හැමදාම කොමෙන්ටුවක් නොදැම්මත් ජනූගෙ සටහන් හැමදාමත් කියවන්නෙ අසාවෙන්..ඒත් අද සටහන ගැන නම් පොඩි දුකක් තියනවා..
    සාමාන්‍යයෙන් නාට්‍ය විචාරයක් කියවද්දි කතාවෙ අවසානය නොකියනවා නම් මම කැමතියි (විශේෂයෙන් බ්ලොග් එකකදි) මොකද බලන්න හිතාගෙන ඉන්න අයට නාට්‍යකරුවා මවන කුතුහලය එයින් හීන වන නිසා..දොලහක් කතාවට මේක ගොඩක් වලංගුයි..
    අනික මේ සටහන ගොඩක් සම්පූර්ණ වේවි අතුල ලියනගේ නාට්‍යකරුවා ගැනත් පොඩියක් සටහන් කලා නම්..
    ඔහුගේ අධ්‍යක්ෂණයේ දක්ෂතාව නාට්‍ය පුරාම විසිරී ගොස් තියනවා..
    ලයනල් වෙන්ට්ඩ් හි බැලකනියේ අන්තිම පේලිවලට වී නාට්‍ය බැලූ නිසා තාක්ෂණික උපකරණ භාවිතය ගැන නම් මට තියෙන්නෙ පහන් හැඟීමක්..නැත්නම් පොරකාලා අඩුම ගානෙ වාඩිවෙන්න තැනක් ලැබීම ගැන විතරයි සතුටු වෙන්න පුළුවන් වෙන්නෙ..!!
    මම මේ නාට්‍ය බැලුවෙ එහි මංගල දර්ශන වාරයෙදි..එයින් ඇතිවූ කම්පනය තවමත් නැවුම්…නාට්‍යයේ නළුවන් සියළු දෙනාම පැය දෙක පුරාවටම වේදිකාවේ රැඳී සිටීම තරම් පුදුමයක් මට තවත් නැහැ..

    ස්තුතියි ජනූ සටහනට..්

  15. bindi2 පවසයි:

    ජිවිතේ අඩුවෙන්ම කරලා තියෙන දෙයක් වේදිකා නාට්‍ය බැලීම . ඉස්සරහටත් එහෙම වෙන්ට ඉඩ තියේ. ආසාව නැතුව නෙමේ .ඉස්සර ගමනාගමන අපහසුකම් නිසා බලන්න ලැබුනේ නැහැ . ගෙදර එක්කෙනා නම් සැහෙන්න වේදිකා නාට්‍ය වලට වහ වැටිලා හිටි කෙනෙක් . ස්තුතියි ජ නුගේ ලිපියට . ලියවිල්ල නම් උපරිමයි

  16. නවම් පවසයි:

    //සමහරු හිනාවුණේ තමන්ට හිනා ගියාට වඩා හයියෙන් හිනාවෙන අනිත් අයට දිනුම දෙන්ඩ අකමැති හන්ද…එතනත් තිබුණෙ එක අතකට හිනාවෙන තරගයක්!!
    මට හිනාගියේ ඒකට//

    නාට්‍යට වඩා මං මෙන්න මේකට ආසයි. …..

  17. Anithkona පවසයි:

    ස්තූතියි … ඇත්තටම අමතක වුනු අතීතයක් මතක් කෙරුවාට. අවුරුදු 3කින් වේදිකා නාට්ටියක් බලන්න බැරි වුනා. ඔබේ විචාරය ඉස්තරම්. මේ නාට්‍යය හොයාගෙන ගිහින් මටත් බලන්න හිතෙන තරමට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )