සන්තරා ආච්චී, අපූගේ ආච්චී සහ කිරි අම්මා…

සන්තරේ!! සන්තරේ!!!

ඉර පේන්ඩ එන්නෙවත් නැති ලක්නව් සීතලේ බර පොරෝණාවක් අස්සෙ ගුලි වෙලා ඉන්න මල්ලි බොහොමයක් දවසට අවදි වෙන්නෙ හැමදාම එකම වෙලාවට  රිසාල්දාර් පාක් එක ඉස්සරහින් යන සන්තරා විකුණන වයසක උන්දැගෙ සද්දෙට…

මල්ලි ඇඳෙන් නැගිටපු හැටියෙම මාවත් ඇදං බුද්ධ විහාරෙ පඩිපෙළ ලඟට දුවනව… මාව  ඇදන් යන්නෙ මට කියල උන්දැට සල්ලි දෙන්ඩ…මල්ලිගෙ වියදමට අම්ම දෙන සල්ලි මග දිගට කඩචෝරුවලටම ඉවරයි…

අපි යනකොට අරුන්දැත් සන්තරා කූඩෙ ඉහෙන් බිම තියල බුද්ධ විහාරෙ පඩි පෙලේ ඉඳගෙන සැරෙන් සැරේ අපි එනවද කියල ඉස්සරහ දොරටුවෙන් ඇතුළ බලනව….

කැඩිච්ච හින්දියෙන් තමන්ගෙ ගෙදර විස්තර පවා අහන බුද්ධ විහාරෙ පුංචි නෝනයි පුංචි මහත්තයයි ඉන්නකල් ලේසියකට දවසෙ වෙළදාම වරදින්නෙ නැති හන්ද

සන්තරා!!

ඉන්දියාවෙ විතරද මන්ද මේ ජාතිය හම්බ වෙන්නෙ.. පෙනුමෙන් නං කාගිල්ස් ෆුඩ් සිටියෙ තියෙන කහ පාට ලොකු නාරං වගෙමයි… ඒත් ඒ වගේ පෙට්ටිවල ඇහිරිලා, මාස ගණං නැව් නැගල, ගහේ තිබුණ කාලෙටත් වඩා පෙට්ටිගත වෙලා තිබුණු ඒව වගේ නෙවෙයි…

පුදුම රසක්!!

ලෙලි ගහද්දි එන සුවඳ!!

උදේ පාන්දර ගස්වලින් නෙලාගෙන එන මේ සන්තරාවල බික් හරියට භද්‍ර යෞවනියකගෙ පිරිච්ච තොල්පෙති වගේ!

අපි එන සද්දෙට සන්තරා ආච්චි තමන්ගෙ සාරිපොටෙන් හිස වැහිල තියෙනවද කියල නැවත අතගාල බලනව…

අපේක්ෂාවේ ඇස් දල්වාගෙන අපි දිහා බලන් ඉන්න  ඇගේ දෙඅත් එකට ලං වෙලා එකිනෙක පිරිමැදෙනව….

කොහොමද ආච්චි??

මං ඉතිං ඈ එක්ක සුපුරුදු කයියට මුල පුරණව

හොඳයි!!! බොහොම හොඳයි!!

හිස පැත්තකට ඇල කරල.. ඈ සිරියාවන්ත විදියට හිනාවුණාට කටේ එක දතක්වක් නෑ….

හැබැයි බුලත් හපයක් නං වරදින්නෙ නෑ….

ඈ ඇඳන් ඉන්නෙ රතු පාට හැට්ටයක්!! හැට්ටෙ අස්සෙන් එල්ලෙන වැල් කෝටු වෙච්ච වෙව්ලන අත්වලින් ඈ වට්ටියෙ ලොකුම සන්තරා තෝරනව මල්ලිට දෙන්ඩ….

ඇගේ බඳ දැවටිලා තියෙන්නෙ පාට සේදී ගිය කපු  සාරියක්…

මං ආස කරන පඬු කහ පාටට දුඹුරුපාට මුහු වෙච්ච බවක් පේන ඒ සාරියෙ බෝඩරේ තියෙන, රන් නූලෙන් මතු කරාපු අලංකාර නාටිකාංගනා වියමන් කියා පාන්නෙ මිල අධික එකක් වෙච්ච කවුරු හරි ධනවත් පවුලක කාන්තාවක් ඇඳල ඇඳල දියවුණාම ඈට දීපු එකක් මිස ඈ මිලදි ගත්ත එකක් නොවන බවයි.

නාරං මල්ලි අතට දීල ඈ මගෙ අතින් සල්ලි අරන් ඒ සල්ලි ඉඹිනව!! ඊට පස්සෙ නළලෙත් ගාවනව!!

ඇස් පියාන මොනවදෝ නොතේරෙන යමක් මුමුණනව

මල්ලි නාරං අරන් එතැනින් මාරු වෙන්නෙ නෑ… එතනම ඉඳන් කනව!!

මං සන්තරා ආච්චිත් එක්ක බුද්ධ විහාරෙ පඩිපෙලේ වාඩි වෙලා කයිය ගහනව…

ඒක හරි අමුතු කයියක්…!!

ඈ කියන සමහර දේවල් මට තේරෙන්නෙත්නෑ… මං අහන දේවල් ඈට තේරෙන්නෙත් නෑ කියල මං දන්නව…

ඒත් ඈ නොනවත්වා කතා කරනව!! මං අහන හැම දේටම උත්තර දෙනව

ඇගේ කතා රටාවෙන් සමහර දේවල් මට දැනෙනව.. වැටහෙනව!!

සමහර වෙලාවට වචනවලට වඩා ඒ මුහුණෙ හැඟීම් මට කතා කරනව..!!

ඇගේ මුහුණෙ වැටිච්ච දහස් ගණනක් රැලිවල කතාව මගේ හිතට දාහක් දේ කොඳුරණව

ඒ ඔස්සෙ එක එක දවසට මං ඇගේ කතාව ගොතනව..

මේ කතාවට මං දන්නෙම නැතුව මං බලාපු චිත්‍රපට ජවනිකා ඇමිණෙනව…

කියවපු පොත්වල චරිත මේ කතාවෙ රඟපානව!!

මසං ගස් වැටියෙන් හෙවණ වෙච්ච පාරක කරත්ත පේලියක් යනව…

ලස්සනට සරසපු කරත්තෙක  ඈ මනමාලියක්..  බාල වයසෙදි විවාහ වෙලා ……

නාකි මනමාලයා ඈ අසල!!

කලුද සුදුද කියල දැකල නැතිව සරණ බැඳුණු ඈ හොරෙන් මනාලයා දිහා බලනව..

තමන්ට වඩා අවුරුදු විස්සකටත් වඩා වැඩුමල් පෙනුමක් තියෙන මනමාලය දිහා බලල ඈ සුසුමක් හෙළනව!!

ඒ සුසුම සතුටටද දුකටද…….??

මං මගෙ හිතේ ඉන්න මනමාලිට කිට්ටු වෙලා ඇගේ මූණෙ ඉරියවු නිරීක්ෂණය කරනව!!

වටේ මසං ගස්වල පිරුණු මස දකින ඈට කරත්තෙ පොඩ්ඩකට නවත්තල මනාලයත් එක්ක බැහැල අත් අල්ලාන මසං කැලේ තනි වෙන්ඩ ඕනෙ වෙනව…

මනමාලය මසං කඩල ඈට කවන හැටි මගේ හිතේ මැවෙනව!!

මොහොතකින් ඒ ජවනිකා බොඳ වෙනව…. පේන්නෙ නැතුව යනව

ඊට පස්සෙ අතින් වඩාගත්තු දරුවෙක්, බඩේ ඉපදෙන්ඩ තව එකෙක්, බාච්චු ගවුම් කොට ඇඳගත්ත මිදුලෙ සෙල්ලං කරන කෙල්ලො දෙන්නට තරවටු හඬින් කතා කරන අම්මෙක්!!

වයෝවෘදධ ස්වාමියා මිය ගිහින්!! දරුවො එක්ක තනිවෙච්ච ඈ සටනේ!!

කෙල්ලොන්ට දෑවැදි හොයන්ඩ තියා එදාවේල කන්ඩ හොයාගන්ඩ ඈ වෙච්ච මහන්සිය දැනෙන්ඩ ගන්නව..

ඈට සාරි අරන්දෙන්ඩ තියා ඈ කන්නෙ බොන්නෙ කොහොමද කියල හොයන්ඩ බලන්ඩවත් කවුරුත් නැති හන්දනෙ ඈ මෙහෙම වෙළදාමෙ එනව ඇත්තෙ….

සමහර විට දන්නෙ කවුද දරුවන්ගෙ දරුවන්ටත් කන්ඩ අඳින්ඩ දෙන්නෙ මේ උන්දැද කියල…

හීන් දුකක් එක්ක වයලීන හඬක් හිත ඇතුලෙන්  ඇහෙන්ඩ ගන්නව…

රස්සාවක් නැති දරුවගෙ දරුවොත් රකින්නෙ මං නේ දැන්!!!!!

මොහොතකට හිත එතනින් ඉගිල්ලිලා ලංකාවෙ ගීතයක් වෙතට පියාඹනව!!

මං අරණකට පෙම්බැඳපු කාලෙ දරුවන්ට මසං කඩං යන්ඩ එන කුන්තා, ගෝරාට අම්ම වෙච්ච ආනන්දමයී, අපූගෙ අම්මා, මේ හැමෝම එක්කාසුවෙලා මට සන්තරා උන්දැගෙ කතාව ගොතල දෙනව!!

හිස්බඩ නාරං කන්නෙ ඇයි සුදු පුතා!!!

මගෙයි ඇගෙයි කතාව මදකට නවතිනව!!

එහෙම අහගෙන අපේ අම්ම එනකොට ඈ දන්නව ඈට යන්ඩ වෙලාව හරිකියල… වෙලාව ගැන කිසි හැඟීමක්  නැතුව කයිය ගැහුවට ඇගෙ සන්තරා  විකි‍ණෙන්නෙ නෑ…

ඒ සේරම අපි ගන්නවයැ…

වෙළදාං කරන්ඩනෙ ආවෙ….

ඈත් මාත් දෙන්නම පියවි සිහියට එනව…

බච්චා හේ නා… ඛානේ දෝ…..

අම්මගෙ තරවටු කටහඬින් අරුත වටහා ගන්න ඈ අම්මගෙ මූණ දිහා බලන් අහිංසක විදියට හින්දියෙන් කියන වචන මට කාලෙකට ඉස්සර ලටපට කාල බත් කන්නෙ නෑ කියල අම්ම අපි දෙන්නට කෑගහද්දි අපිව බේරගන්ඩ “මුන් තාම පොඩි දරුවොනේ දුවේ… ඔන්න ඔහෙ කන්ඩ දෙන්ඩකො!!!“කියන අපේ කිරි අම්මව සිහියට නංවනව

අපෙන් සමු අරන් දරණුව හිසේ තියන් ඊට උඩින් සන්තරා කූඩෙ ඔලුවෙ තියන් හිතේ හයියට දෙපා ඔසවල තියල යන ඈ පටු වීදිවලට ඇදෙන අතොරක් නැති මිනිස් ප්‍රවාහයට එක්කාසුවෙලා නොපෙනී යනකල් ඒ දිහා මං බලන් ඉන්නව…

එක සීතලම සීතල දවසක මල්ලිගෙ ප්‍රායෝගික පරීක්ෂණේ ඉවර වෙලා සීතලෙන් ගැහි ගැහී ගෝමතී ගඟ හරහා වැටුණු පාලම මතින් දවසක් රික්ෂෝවක එන ගමන පාලම දෙපැත්තෙ සිමෙන්ති ඇන්දට හේත්තු වෙලා ඔලගු පොදි මත හිස තියාන එකිනෙකාට හිප්පිලා උණුසුම බෙදාගෙන නිදා හිටිය යාචකයො කන්දරාව දැක්ක මාව හිත ඇතුලෙන් නාය ගිය හැටි මතක් වෙනව!!!

ඒ කොහේ ඉන්නවාදැයි, නම මොකද්දැයි නොදන්නා මුත් දැඩි හිතවන්ත කමෙන් බැඳණු සන්තරා ආච්චිත් තව ටික කාලෙකින් මේ අතර ඉඳීවීද කියන හැඟීමෙන්!!

පාඨර් පන්චාලි චිත්‍රපටයෙ ඉන්න කොන්ද කුදු වෙච්ච වයෝවෘද්ධ ආච්චී ගහකට හේත්තු වෙච්ච ගමන් මිය ගිහින් උන්න හැටි, අපූගෙ අක්කා ඈට අත තියා කතා කරන විට ඇගේ හිස කඩන් වැටිච්ච හැටි….

දරාගන්ඩ බැරි හීතල මදිවට මගේ හිතේ රූප රාමු මාරු වෙන්නෙ මට දරාගන්ඩ බැරි වේගෙන්!!!

ඒ ඔස්සේ පුංචි කාලෙ දවල්ට කිරි අම්ම එක්ක එක ඇඳේ නිදාන ඉද්දි ඈ මියයාදෝයි බියෙන් ඈ හුස්ම ගන්නවාදැයි බලන හැටි, තද නින්දෙ ඈ ඉන්න වෙලාවට පපුව උස්පහත් වෙන එක පේන්නෙ නැති නං ඒක හරියට තහවුරු කරගන්ඩ පපුවට අතතියා බලන හැටි…..!!

ඒ වෙලාවෙ කිරි අම්ම වෙනුවෙන් මගෙ හිතේ තිබුණු වේදනාව දුක සන්තරා ආච්චි ගැන දුකත් එක්ක ඈඳෙන බව හිසේ කොහෙදෝ නොදන්නා තැනක විදුලිකොටන්ඩ වුණා!!

මට කතා කරගන්ඩ බැරුව, උගුර හිර වෙලා ගියා!! හිතේ වේගෙ එලියට පැන්නෙ කඳුලු ගුලි දෙකක් වෙලා!!

දවස් ගණන් හිතේ රැඳෙන, හොල්මන් කරන, එදිනෙදා වැඩ ටිකවත් හරි හිතකින් කරන්ඩ බැරි වෙලා ඔහේ වැටිල ඉන්ඩ හිතෙන තරං නොසන්සුන් හැඟීම් හිතේ පැලපදියං වෙනව මේ වෙලාවට !!!

ඊට කාලෙකට පස්සෙ විශ්වවිද්‍යාලෙ අවසන් අවුරුද්දෙ ඉගෙන ගන්න කාලෙ බස් එකක යද්දි ඉල්ලගෙන කන්ඩ වයසක ආච්චි කෙනෙක් නැග්ග….

පලපුරුදු යාචක ලක්ෂණ නැති හන්ද ඈ දිහාවට මගේ අවධානය යොමු වුණේ!!

කවි නෑ, සුපුරුදු යාදිනි නෑ!!

හීන් හඬින් මුමුණමින් අත පාල ඈ ඉල්ලුවෙ සල්ලි නෙවෙයි, බඩගිනියි කියල කන්ඩ දෙයක්!!

මගෙ දවල් බත් මුල ඈ අතේ තියල රීඩ් මාවතෙන් බැහැපු මට නවත්තගන්ඩ තියා මොකක් හන්ද එච්චර වැටෙනවද කියල හිතාගන්ඩ බැරි තරං කඳුලු වැටෙන්ඩ ගත්ත…

ඒ කඳුලු අස්සෙ කිරි අම්මා, සන්තරා ආච්චී වගෙම තව මහ හුඟක් චරිත හිටිය බව නං දැණුන!!!

පින්තූරෙ ගෞරවය මෙන්න මේ අඩවියට

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මගේ චාරිකා, මට හිතෙන හැටි and tagged , , . Bookmark the permalink.

33 Responses to සන්තරා ආච්චී, අපූගේ ආච්චී සහ කිරි අම්මා…

  1. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    හිත පතුලටම තට්ටු කරපු ලිපියක් අක්කේ. මගේ ආච්චිව මතක් උනා. ආච්චි එක්ක මගෙ තිබ්බ බැඳීම ගැන මේ වෙලාවේ කතා කරන්න මට අමාරුයි. ඒ එක්කම මතක් වෙච්ච තව කෙනෙක් ගැන ඒ නිසා මම කියන්නම්. අපේ අම්මලාගෙ ගෙවල් පැත්තෙ ඉන්න ආච්චි කෙනෙක්. මුළු ගමම ඈව අඳුනන්නෙ සෝමෙ ආච්චි කියලා. එහෙ ඉඳං මං බස් එකට යද්දි හැමදාම ඇගේ ගේ දොරකඩ පොල් කොටේ උඩට වෙලා පාර දිහා බලාගෙන ඉන්නවා. හැමදාම මම සෝමෙ ආච්චි එක්කත්, ආච්චි මං එක්කත් හිනා වෙනවා. ඉඳ හිට මං ආච්චි ලඟට ගිහින් වචනයක් දෙකක් කතා කරනවා. මං කතා කරන සමහර දේවල් ආච්චිට තේරෙන්නෙ නෑ, ආච්චිගෙ කන් ඇහෙනවා ටිකක් හොරයි. එක දවසක් ඒ පැත්තේ බස් වර්ජනයක් නිසා මට වැඩට යාගන්න විදිහක් නැතුව ආපහු ගෙදර යන්න උනා. මං ආපහු යනවා දැකලා ආච්චි ඔළුව වනලා ඇහුවා මොකද කියලා. මං ලඟට ගිහින් කිව්වා ‘බස් නෑ, ඉතිං ආපහු ගෙදර යනවා ආච්චි අම්මේ’ කියලා. සෝමෙ ආච්චි කම්මුලේ අතකුත් තියාගත්තා ‘අස් කළා? අපොයි දෙයියනේ!’ කියලා. සමහර දාට සෝමෙ ආච්චි පොල් කොටේ උඩ පේන්න නෑ. ඒ සිරියාවන්ත හිනාව නොදැක වැඩට එන්න වෙච්ච එහෙම දාට මගෙ හිතේ දවස පුරාම පාළුවක් රැඳිලා තියෙනවා.

    /*මං අරණකට පෙම්බැඳපු කාලෙ දරුවන්ට මසං කඩං යන්ඩ එන කුන්තා, ගෝරාට අම්ම වෙච්ච ආනන්දමයී, අපූගෙ අම්මා, මේ හැමෝම එක්කාසුවෙලා මට සන්තරා උන්දැගෙ කතාව ගොතල දෙනව!!*/

    මං තාමත් මේ ලෝකේ අතරමං වෙනවා. මගේ හීන කුමාරයාව මං මුලින්ම දැක්කේ අපූගෙ ලෝකයෙන්.

    • ස්තූතියි නගේ!!
      මං හිතන්නෙ ඔයා බස් නෑ කිව්වම ආච්චි තේරුං අරන් තියෙන්නෙ ඊට වඩා හාත්පස්න්ම වෙනස් දෙයක් වගේ නේද??

  2. දුමී says:

    උපරිමයි…. සහ හරිම සංවේදනීයයි….

  3. bindi2 says:

    ආයෙ කියන්න දෙයක් නැහැ. වචන නැති ගොලු හිතක් එක්ක මන් බලන් ඉන්නවා සන්තරා ආච්චි දිහා. විශිෂ්ඨයි ජනු

    • ස්තූතියි බින්දි!
      සන්තරා ආච්චිල, අපේ කිරි අම්මල මේ කවුරුත් වෙනසක් නැතුව අපේ කරගන්ඩ පුලුවන් වෙලා තියෙන එක එක අතකට මහා දුකක්, විඳවීමක්!! ඒත් ඒක අස්සෙ කිසි පසුතැවිල්ලක් නැති අමුතු විඳිල්ලකුත් තියෙනව

  4. Buratheno says:

    සුපිරියි කියලා ආයෙ ආයෙ කියන්ට ඕනැන්නෙ නෑ නෙවැ, හැමෝම ඒක කියලා තියෙනවනේ..

    අරණකට පෙම් බැඳ ආයෙමත් ‍කියවන්ට ඕන, මමත් පෙම් බැඳපු එක පොතක් තමා.. කුන්තා, මංචි, යුගල ප්‍රසාද් එහෙම අමතක ‍වෙලා යන්ට දෙන්ට නාකයි..

    හැබැයි නගේ, තාමත් ෆීඩ්ස් අප්ඩේට් වෙන්නෙ නම් නැතෝ..

    • පහුගිය දවසක ගෙදර ගිහින් කියවන්ඩ ඕනෙ වෙලා අරණකට පෙම්බැඳ හොයද්දි පොත් කබඩ් එකේ ඒක නෑ අයියෙ, ඒ මදිවට ඒ පොත් ගෙනියද්දි ගෙනිච්චෙ කවුද කියල ලියන පොතත් අතුරුදහන්!!
      අනේ මගෙ ලඟ තිබුණෙ පරණම මුද්‍රණය… අර ලස්සන පිටකවරෙ තිබුණෙ… ඒක
      දැන් තියෙන්නෙ වෙන පිටකවරයක්.. 😦
      මට එන තරහ නං!!

      අයියෝ!! මං හිතුව ෆීඩ් වැඩේ හරි ඇති කියල… පෙම්බරය මේ දවස්වල බිසී අය්යෙ.. මං උන්දැට කියල බලන්නං.. මට නිකමට හිතෙනව මේක මේ වර්ඩ්ප්‍රෙස්වල අවුලක්ද කියල.. මං මොනව හරි යාවත්කාලකිරීමක් කරගන්ඩ ඕනෙද දන්නෙ නෑ නේද??

      ඉන්ඩ මං ඉක්මණටම ඒකට විසඳුමක් හොයාගන්නං.. එතකන් ඉවසන්ඩ අයියෙ

      • Nish says:

        ඔව් මේ වර්ඩ්ප්‍රෙස් මෙලෝ රහක් නෑ
        ලිවුවන බ්ලොගර් වල:)

      • අනේ මන්ද මොන එකක්ද කියල නිෂ්… මං මේ වර්ඩ්ප්‍රෙස්වලින් ගැලවෙන්ඩ හිතෙන්නෙම නෑ…

      • Maneka says:

        //ඒ මදිවට ඒ පොත් ගෙනියද්දි ගෙනිච්චෙ කවුද කියල ලියන පොතත් අතුරුදහන්//

        හෙහ් හෙහ්!! කවුද දෙය්යනේ ඒක අරන් ගියේ??!!! මෙතන මොකක් හරි රහසක් තියනව… මොකක් නමුත් අදිසි හස්තයක්!!!

      • Buratheno says:

        පුහුල් හොරා, කෙහෙල් කැණ එහෙම මතක් වෙනවා මට මේවා ඇහෙන‍කොට දකිනකොට.. 😛

      • ඊයෙ ඉඳල දඟලල දඟලල යාන්තං ආවෙ.. යකෝ දැං මගෙ බ්ලොග් එකට මටම එන්ඩ බැරි කරල නෙ…
        ක්‍රෝම් තියා මොන බ්‍රවුසරෙන්වත්…
        @මනේකා: ඒක නේන්නං කියන්නෙ..
        @බූරයිය: අනේ මනේක නං ඉතිං මගෙන් ඉල්ලං යන දෙයක් ආපහු ගෙනල්ල දෙනව… අපේ මලයයි උගෙ යාලුවොයි තමයි කිසිම විස්වාසයක් නැත්තෙ…

  5. bindi2 says:

    yes I found this in FB only. No updates. It is a nice post. Pl check

  6. kavikaari says:

    මෙහෙම ආත්තම්මලා කොච්චර නං ඉන්නවද ජනූ මේ ලෝකේ? කවදාවත් සැප නොවිඳින ගැහැණු. හිතෙනකොට දුකයි.

    • හ්ම්…සැපක් නැතත් අඩු ගානෙ තමන් වෙනුවෙන් යමක් කරගන්ඩ ලැබෙන එක!!
      හැමදාම අනුන් වෙනුවෙන්ම ජීවිතේ කැප කරන්නෙ නැතුව…

  7. Nish says:

    සුපිරියි.

  8. රංගි says:

    කොයි තරම් කතාද මතක එක්ක. පෙරේදා රෑ මටත් මැන්ඩරින් කතා මතක් වුනා. ඊයේ උදේ නැගිටිනකොට බින්දි එයාගේ කතා ලියලා. තව ටිකකින් මෙන්න ජනුවාගේ පෝස්ට් එක කියලා මේල් එකක්.
    ඔය පොත් කතා කියවද්දි ටිකක් වගතුග ඇතුව කියනවකෝ නම විතරක් නොදා. එතකොට අපිටත් ආශාවක් හේම ආවොත් මිලට ගන්න පුළුවන්නේ. නැත්නම් අපිට හැදෙන්න අසහනේ නේ මේ පෝස්ට් කියවලා ඉවර උනාම.

    • Buratheno says:

      ආයෙ වගතුග අහ අහා ඉන්නෙ නැතුව ඔය ‘අරණකට පෙම් බැඳ’ පොත අරන් කියවපිය.. බොලාට පිස්සු හැදෙයි, ඒකෙ දෙකක් නෑ.. 🙂

      • රංගි says:

        බොහෝම ස්තුතියි. ඒ පොතයි මම ආශාවෙන් කියවන්න උන්න සරත්චන්ද්‍ර මහත්තයාගේ පොත් දෙහකුයි (මළගිය ඇත්තෝ හා මළවුන්ගේ අවුරුදුදා )ත් අපේ වජිරදේවි නෝනා එවලා තිබ්බා… ඕන කෙනෙක් ඉන්නවා නම් දෙන්න පුළුවන් මටත් දැන්. මෙන්න මේක හින්ද තමයි ඕවා ගැන කියන්න ඕනේ.

      • හි හි.. මටත් එක්ක බූරයිය දීල තියෙන්නෙ උත්තරේ…ඔයාට ඕනෙ පොතක් තියෙනව නං කියන්ඩ.. මං එවන්නං

  9. මට මේ පෝස්ට් කියවලා කවදාවත්ම කමෙන්ට් එකක් දාන්න හිත දෙන්නෙ නැත්තෙ මේවා හැඟීම්බර වැඩී.හොදටම..

  10. says:

    නීල් විජේරත්නගේ මදුරාසි කොලුවා, බෙංගාල යෙහෙළිය සහ කේරළ නළඟන මන් ආසම කරන ඉන්දියානු චාරිකා සටහන් පොත් තුනක්. ඔයාගේ මේ ලිපිත් ඒ වගේ හරිම රසවත්.

    • ඔය පොත් ටික මං තාමක් හොයනව මරණෙ අයියෙ.. වැඩේ කියන්නෙ දැන් මට ඔය කතාව මේ බ්ලොග් එකේ ම කීප දෙනෙක් කිව්වට මොකද මං තාම ඒ පොත් කියවල නෑ නෙ.. ලැජ්ජයි කියන්ඩත්…
      ස්තූතියි!!

  11. Ravi says:

    උඹ නඟේ මගෙ ඇඟට ගොඩ වෙනව අයියෙ උඹ කියන කතා අහල හිනා ගිහිල්ල වෙලාවක ඔෆිස් එකේදි මට හොඳ වැඩක් වෙනව කියල….

    එතකොට කියාපං මයෙ ඇස් දෙකට ඔෆිස් එකේදි කඳුලු පිරෙන එව්වට වග කියන්නෙ කවුද?….

    මයෙ අත්තම්ම පොඩි කාලෙ මගෙ ජීවිතේට පුදුම විදිහට ළං වුනා..ඒ නිසාමදෝ මන්ද තාමත් අද උනත් පාර අයිනෙ අනුන්ට අත පාන වයසක අම්ම කෙනෙක් දැක්කොත් මයෙ දවසම ඉතිං ඉවරයි ඔන්න…

    උඹේ ලිවිල්ල ගැන ආය වෙන මොකවත් කියන්ට දෙයක් නෑ…..මයෙ ඇස් දෙක තෙමාන ගලන කඳුලු ඒ කතාව කියයි වචන දාහකට වඩා අපූරුවට…

    • මොකද බං කරන්නෙ ඉතිං.. මෙව්ව මෙච්චර අවුරුදු ගාණක් ගිහිල්ලත් අමතක නොවුණ එකේ.. තව ඉස්සරහටත් අමතක වෙයියැ??
      සමහර දවසට ඔය හිඟාකන්ඩ එන වයසක උන්දැල දැක්කාම මට පුදුම දුකක් වගේම තරහක් එන්නෙ.. ලංකාවෙ නං ඇවිදගන්ඩවත් පණ නැති ඒ මිනිස්සුන්ව මෙහෙයවල, යන එන අයට අත පාල හොයාගන්න සල්ලි ටික ගසා කන්නෙ වෙනම මිනිස්සු…. අපිට හිතාගන්ඩවත් බැරි මට්ටමේ මිනිස්සු…

  12. එන්න බැරි වුනානෙ වෙලාවට. මේක කොහොම හරි මග ඇරුනා. උම දන්නවද දැන් අපි මෙහෙ ඉන්නෙ. ලංකාවෙ. නිවාඩුවට ඇවිත්. ඉතින් වෙලාවක් නැතිම තරම්.

    වෙනදා වගෙම උඹේ ලියවිල්ල ගැන නම් කියලා වැඩක් නෑ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    • මං දැක්ක අයියෙ… උඹල ලංකාවට ආව කියල.. මේ දවස්වල තියෙන වැඩ කරගන්ඩ දවස මදි ඇති කියල හිත හිත හිටියෙ…

  13. Priyantha says:

    හැමදාම කියනව වගේ අදත් කියන්න තියෙන්න සිනමා ගතිය තියෙනව කියල තමයි. ජනූ නංගි පිටපතක් ලියන්න දවසක. හොඳ ලියවිල්ලක් වෙන එක සිකුරුයි!

    • ස්තූතියි අයියෙ… පිටපතක් ලියනව කියන එක තව බොහොම දුර ගිහින් කරන්ඩ හිතමු… මං මෙහෙම ලියන්ඩ පෙළඹිච්ච එකත් ලොකු දෙයක් අයියෙ… කී බෝඩ් එකෙන් අන්තර් ජාලෙ ලියන්ඩ ගත්තට පස්සෙ දැන් පෑනක් පැන්සලක් අල්ලල අකුරු ලියන්නෙම නැති තරං..
      ඒත් මෙහෙම හරි ලිව්වෙ නැත්තං මොට වෙලා මොට වෙලා අන්තිමට කිසිම වැඩක ගන්ඩ බැරි තැනට එයි කියල මටම බයයි…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s