දඹදෙනියෙ මුං කිරිබත්, ඉඹුල් කිරිබත්,මාතර හුන්සල් බත්…!!


නංගි…. යජිත් මල්ලි ඔයා උයන එව්ව ඇද නොකිය කනවද??

පෙම්බරයගෙ ලොකු අම්මගෙ ලොකු දූ ඩිෂානි අක්ක මගෙන් ඇහුවෙ මේ පහුගිය දවස්වල පෙම්බරයගෙ ගමේ මලගෙදරකට එක්කාසු වෙච්ච අපි අවසන් කටයුතුවලින් එහෙම පස්සෙ තැන් තැන්වල වැටිල කයියක් දාගෙන හිටිය වෙලාවෙ….

අවුලක් නං නෑ අක්කෙ…. මං ඉතිං එයා කන්ඩ කැමති දේවල් දන්නවනෙ දැන්….

හපෝ!! ඉස්සර මූ එක්ක පුදුම කරදරයක් උයන්ඩ ගියාම.. ඒ කාලෙ මං එහෙ හිටියනෙ නංගි….හදිස්සියෙ වත් චූටි අම්ම නැතුව මං හරි අම්ම හරි උයන්ඩ ගියොත් ඇද කියල කෙලවරක් නෑ…
අපි හරහට ලූණු කැපුවොත්… අපේ අම්ම නං කපන්නෙ ඔහොම නෙවෙයි කියයි… අපි දිගට මිරිස් කැපුවොත් අපේ අම්ම මිරිස් කපන්නෙ දිගට නෙවෙයි කියයි…. බාජනයක් වැරදි තැනක තිබ්බොත්.. ආ… අපේ අම්ම ඒක තියන්නෙ එතන නෙවෙයි මෙතන කියයි…

ඩිෂානි අක්ක කිව්වාම මට හිනා ගියා…
පෙම්බරයට කුස්සියෙ වැඩක් පලක් මහ ලොකුවට බෑ නං තමයි…..
ඉඳල හිටල හරි මට උදව් කරන්ඩ කියල පැනගෙන ආවොත් එදාට ඉතිං දවල් වේල කන්ඩ වෙන්නෙ හැන්දෑවට තමයි….
ඒ වුණාට ඒ කාලෙත් සද්ද නැතුව කුස්සියෙ කෙරෙන දේවල් බලං ඉඳල කෙරෙන දේවල් සේරෝම අකුරට මතක තියන් ඉඳල අනිත් අයට අණ දීල නං තියෙනව…
ඔය කතා අස්සෙ වැඩ කටයුතු අහවර වෙලා ආපහු ආව මට හිතුණ ලියන්ඩ පොඩි දේවල් ටිකක් ගැන…
අපි දෙන්න කසාද බැඳල එක වහලක් යට පදිංචි වෙන්ඩ කලින් ටික කාලෙක ඉඳල පෙම්බරයගෙ අම්ම උදේ කෑම එක මටත් එක්ක හදල පාර්සල් කරල එවනව… මං පෙම්බරයට දවල් කෑම එක හදල දෙනව..

රතු බත්
පොල් මැල්ලුං
මාලු ඇඹුල් තියල්
රතු ලූණු ගෙඩි

ඉඳිආප්ප
පොල් සම්බෝල
මාලු ඇඹූල් තියල්

රතු බත්
කිරිහොදි
කට්ට සම්බල්

ඒ දවස්වල පෙම්බරයගෙ අම්ම හදන උදේ කෑම එකේ තිබුණ ඔය වගේ දේවල් හන්ද මට අදහසක් ලැබුණ පෙම්බරයගෙ ගෙදර උදේ කෑමට හදන්නෙ මොනවද කියන එක සහ එයා උදේට කන්ඩ කැමති මොනවද කියල එක ගැන…

දවල් කෑම එක කොහොමද??

තිබුණ දේවලට පෙම්බරය කැමතිද නැද්ද කියන එක ඒ දවස්වල අපි දෙන්න හවසට එද්දි හැම දාම නොවුණත් සමහර දවස්වලට මං අහනව.. එතකොට එයා කැමති දෙයක් වගේ ම අකමැති දෙයක් තිබුණ නං ඒ ගැන කියනව…
මට නං ඒක ඉතාම වැදගත් ආහාර වේල සැලසුම් කරනකොට
පෙම්බරය සිරිතක් විදියට දේවල් තෝරල බේරල කන කෙනෙක් නොවුණත් කෑමක රස හොඳට මතක තියන් ඉන්ඩ හපනෙක්

අද අඹ එකට මං එච්චර කැමති නෑ…..අපේ අම්ම අඹ උයන විදිය ඔයා අහගන්ඩකො… ඒ විදියට මං ආසයි!!
ඔයාගෙ මාලු ඇඹුල් තියල් අපේ අම්මගෙ වගේ කලු පාට නෑ… හැබැයි මං කියන්නෙ ගම්මිරිස් වැඩිපුර දාල කලු පාට කරල නෙවෙයි… පාට ඒ වගේ නැති වුනාට රස නං ඒ වගේමයි…
ඔයා ඉස්සො හදන විදියට මං හරි ආසයි… අපේ අම්ම හදන්නෙ ඉස්සගෙ පොතු ටික සේරම ගලවල.. එතකොට ගේනකොට ලොකුවට හිටපු ඉස්ස කූණිස්සෙක් විතර වෙලා…

මං අහල තියෙනව සමහර ලේලිලට තරහ යනවලුනෙ ස්වාමි පුරුෂය තමංගෙ කෑම රහ නෑ… අම්මගෙ කෑම හොඳයි කියද්දි
හැබැයි මං නං තරහ ගත්තෙත් නෑ… ගන්නෙත් නෑ…
එහෙම තරහ අරං… එහෙනං ඔයා අම්මටම කියල උයවගෙන කන්ඩ කියල දමල ගහල ගියොත් නං ඕං පරාදයි…

මං කලේ මොකද්ද දන්නවද… අම්ම උයන කෑම රහ බලල නිකං හිටියෙ නෑ… ඒව උයල තියෙන හැටි ගැන, දාල තියෙන අඩුම කුඩුම ගැන අදහසක් අරගත්ත… සමහර රසවල් ගැන හිතාගන්ඩ බැරිවුණා නං කතා කරල ඇහුව… නැත්තං මං ආව වෙලාවක ඒව උයන්ඩ යෝජනා කරල අම්මත් එක්ක එකතු වෙලා ඒව හැදුව…

ආං එහෙම තමයි මං තෙම්පරාදු කරල පොතු පිටින් අඹ කෑලි කපල දාල පස්සෙ මිටිකිරි දාල සීනි එකතු කරල හදන අඹ මාලුව වෙනුවට… අම්ම හදන පොතු ඇරිය අඹගෙඩිය හතරට පලල ඇටේ ඇතුලෙ තියෙන මදේ අයින් කරල වතුරෙන් තම්බල ගන්න අඹ කෑලි ටික, තුනපහ සහ අනෙක් අඩු වැඩිය තෙලෙන් තෙම්පරාදු කරපු ඇතිලියට එකතු කරල මද ගින්නෙ තැම්බුනාම සීනි දාල හදන අඹ මාලුව හදන්ඩ ඉගෙන ගත්තෙ….

අම්මගෙ අඹ මාලුවෙ වෙනස තමයි කිරි දාන්නෙ නැති එක…ඒ විතරක් නෙවෙයි තුනපහ මිරිස් තෙලට දාන එක..

මගෙ මාලු ඇඹුල් තියල් කලු පාට නැතුව රතු පාට ඇයි කියලත් හොයාගත්තෙ ඔය වගේම සැරෙන් සැරේ පරීක්ෂණ කරල… පෙම්බරයගෙ අම්මට කතා කරල අහල බැලුවාම අම්ම දාන අඩු වැඩියම තමා මං දාල තියෙන්නෙත්… ඒත් පාට වෙනස්… රතු පාට වෙනව….

පස්සෙ නිකමට මට හිතුණ ප්‍රශ්නෙ තියෙන්නෙ මගෙ ගොරකාවලද කියල….

කලින් වතාවල වගේ නෙවෙයි පහුගිය වතාවෙ වලස්ගල ගියාම වත්තෙ ලොකු අම්ම මට හදල දුන්න අඹරපු ගොරක තරමක් අලුත්… කඩල වේලපු ගමන්ම එව්ව
ඒවගෙ තිබුණෙ රතු මිශ්‍ර දුඹුරු පාටක් මිසක් කලින් තිබුණු තද කලු පාට නෙවෙයි…
දවසක් ඒක හරියටම බලන්ඩ මං මගේ ලඟ තිබුණු ගොරක මද ටිකක් තම්බල ගලේ අඹරල අගෙන මාලු ඇඹුල් තියල් කළා…

ඔය තියෙන්නෙ රහස…!!!

සෙනසුරාද ඉරිද අපි ගෙදර ඉන්න දවසට උදේ කෑමට අම්ම හදන තව රස කෑමක් තමයි හුන්සල් බත්!!!

(ඔන්න මගෙ බ්ලොග් එකට එබෙන ගාල්ල මාතර පැත්තෙ වසල මෙව්වට කට හුරු වෙච්ච ඈයො මේක බලල කෙල හලනවලු දැන්)

කැකුලු හුන්සල් අරන් ලිපේ තියල කලටි පොල් ගාල දාල තරමක් දියාරුවට හදන කිරිබතක් වගේ එකක්!!මේක කන්ඩ හදන්නෙ මාලු හොද්දකුයි, උම්බලකඩ දෙහි, අමුමිරිස් යහමිං දාපු අමු ලූණු සම්බලකුයි!!

මාලු හොද්දෙ සැර ගතියයි, මාලුවල රසයි, අර බතේ එන කිරි රසයි, පදමට දෙහි ඇඹුල් වැටුණු අමු ලූණු සම්බලේ රස එක්ක මුසු වුණාම රස නහර අවදි වෙනව සුවඳටම…
මේ බත කෑවම මට මතක් වුණේ අපේ ගෙදර රෑට කන්ඩ හදන මුං කිරිබත්…

මුං ඇට පෙඟෙන්ඩ දාල ඒක ලිපේ තියල බාගෙට තැම්බෙනකොට කැකුලු හාල් දාල බත සැතපෙද්දි යහමිං උකු පොල් කිරි දාල හදන මුං කිරිබත් කෑලි කපන්නෙ නෑ අපේ ගෙදර නං… කෙලින්ම මුට්ටියෙන් පිඟානට බෙදාගන්නෙ…

මුං කිරිබත් කන්ඩ බොහොමයක් තැන්වල හදන්නෙ රතු ලුණුමිරිසක් වුණාට අපේ ගෙදර හදන්නෙ ගොඩ හොද්ද…

ගොඩ හොද්ද කියන්නෙ හීං කොච්චි, උම්බලකඩ, රතු ලූණූ, ලුණු දාල හොඳට හීන්දහ වෙන්ඩ ගලේ අඹරගත්ත තලපෙට වතුර එකතු කරල පදමට ලුණු දෙහි එක්කාසු කරගත්ත හොද්දට…

පිඟානට බෙදාගත්ත කිරිබතේ මැද වලක් හදල ඒකට ගොඩ හොදි පුරවගෙන කන්ඩත් මං කැමතියි… පිඟාන ටටේටම සමෝසමේ පැතිරිලා යන විදියට ගොඩ හොද්ද බෙදාගෙන හායි හූයි කියල උණූ උණුවෙම කන්ඩ තමා හැබැයි වැඩියෙංම කැමති…

දවසක් අපේ නෑනන්ඩිත් රෑ කෑමට හිටපු දවසක අපි මුං කිරිබත් හදල ගොඩ හොදි හැදුව..

ඔන්න පෙම්බරය කැමති ලිස්ට් එකට මං හදපු තව කෑම වට්ටෝරුවක් එක්කාසු වුණා!!

අම්මගෙ කිරිබත්වලට වඩා ජනනි හැදුවාම රසයි… කියල පෙම්බරය කියනව
පෙම්බරයගෙ අම්ම නං කිව්වෙ එහෙම වෙන්නෙ එයා පිරිමහන්ඩ පොල් අඩුවෙන් දාන හන්දයි කියල….
ඔය හන්දම දවසක් අම්මත් එක්ක එකතු වෙලා මං එහෙදි කිරිබත් ඉව්ව..
අපි දෙන්නගෙ කිරිබතේ වෙනස මොකද්ද දන්නවද… ??

අපි කිරිබතට පොල් මිරිකන විදියෙ…

පොල් ත්‍රිකෝණෙ ඉපදිච්ච අපි කිරිබතට කිරි දාද්දි ලෝබ වෙන්නෙ නෑ… මං නං කැට දෙකක කිරිබත් හැදුවත් තරමක පොල් ගෙඩියක කිරි දානව….
මෙහෙම කියල හැම දේටම කිරි යහමින් දාන්නෙ නෑ ඒත් කිරිබතට, කිරි හොද්දට කිරි රහ අඩු කළොත් ඒකෙන් වැඩක් නෑ…..
ඉඳල හිටල කන එකේ එහෙම කාල වැඩක් නෑනෙ
ඉතිං මං ඉස්සෙල්ලාම පොල් ටික හීන් වෙන්ඩ ගාගෙන දෙකට බෙදාගන්නව… ඊට පස්සෙ එක කොටසක් මිරිකල ගන්න මිටි කිරිවලට ඉතුරු පොල් ටික දාල මිරිකගන්නව…
එතකොට එන්නෙ බොහොම උකු කිරක්…මේ විදියට පොල්වල දිය ගතිය අඩු වෙන් දෙපාරක් මිරිකල ලුණු එක්කරගත්තම කිරිබතට පංකාදුයි

අත්හදාබලනව නං ඔන්න සූප ශාස්ත්‍ර රහස්……!!!

මං ඉගෙන ගත්තෙ අපෙ අම්මගෙන්.. අපේ අම්ම ඉගෙනගෙන තිබුණෙ අම්මගෙ නැන්දම්ම වෙච්ච අපේ කිරි අම්මගෙන්!!

ඕං පෙම්බරයටයි, පෙම්බරයගෙ අම්මටයි ඉස්සිස්සෙල්ලාම ඉඹුල් කිරිබත් කැව්වෙ මං තමා…

කිරිබත් ටිකක් කොලපත් පට්ටෙක රවුමට තුනී කරල ඒ මැද්දට පැණි පොල් හරි හාල්මැස්සන් බැදුමක් හරි දාල කොලපත් පට්ටෙ ටොපියක දවටනේ වගේ එකතු කරල කොන් දෙකෙන් තද කරල දෙපැත්තට ඇද්දාම හැදෙනව අර බුල්ටෝ එක වගේ කිරිබත් ගුලියක්!!

මේ හැදිල්ලට කියන්නෙ ඉඹුල් අඹනව කියල….

ආයෙ එක ඉඹුලකට වඩා නං කන්ඩ බෑ මහ ලොකු බඩක් ඇත්තෙක්ට මිසක්…

මෙහෙම හදාගන්න ඉඹුල් දඹදෙනියෙ අපිට නං අරුමයක් නෙවෙයි… ඇයි වෙල් වැඩ කාලෙට කුඹුරට පාතරාසෙ ගෙනියද්දිත් ඉඹුල් වරදින්නෙ නෑ නෙ ඉස්සර.. දැන්නෙ මේ පාන් බනිස් විස්කෝතු අරන් යන්නෙ…..

පැනි රහට කැමති අපේ පෙම්බරයගෙ අම්ම ජීවිතේ පළවෙනි වතාවට ඉඹුල් රස බැලුවෙ ඔන්න ලේලි පොඩ්ඩ හදල දීල තමයි.

යන්ඩ කලිං යමක් කියන්ඩ එපැයි….

හෙටානිද්ද දීග යන්ඩ ඉන්න කෙල්ලො එහෙම මේ පැත්තෙ කැරකෙනව නං… මෙතන තියෙන්නෙ බොලාලට සූප ශාස්ත්‍ර පාඩමක් විතරක් එහෙම නං නෙවෙයි…
ඒක තේරුණ එවුං අත උස්සන එකයි

මේ දවස්වල තරමක් වැඩ අධිකයි.. එහෙමයි කියල ලියන්ඩ හිතක් ඇති වුණාම නොලිය ඉන්ඩ බෑනෙ.. ඉතිං ප්‍රතිචාරවලට උත්තර ලියන්ඩ නොඉඳ මේක ලිව්ව…
තරහ අවසර!!!

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මගේ ඉවුම් පිහුම්. Bookmark the permalink.

35 Responses to දඹදෙනියෙ මුං කිරිබත්, ඉඹුල් කිරිබත්,මාතර හුන්සල් බත්…!!

  1. රංගි පවසයි:

    මම දන්නවා ඉතින් ජනු කලින් කාලෙක ඉඳන් මා එක්ක තරහා කෙනෙක් කියලා….

    මෙහෙම කෑම ගැන කියවලා අපිව අපේ අතීත මතක අස්සේ ගෙනිහින් හූල්ලවන එක පව් නැද්ද මම අහන්නේ….?

    • රංගි පවසයි:

      ජනු දන්නවද මම මේ බ්ලොග් එක මුලින්ම කියවලා හොයා ගත්තේ ඔයාගේ ගමේ කෑම කතාව. මට ඒක හොත්තිරි පැන්චන් කියලා මතක තිබුනාට ඔයා එහෙම එකක් දන්නෙත් නෑලුනේ. ඒක අහුවෙච්ච ගමන් මම රෑ නිදි මරාගෙන ජනූගේ පෝස්ට් ඔක්කෝම කියවලා වහ වැටුනා. ඔය කෑම කතා විතරයි ඔන්න.

      පස්සේ කාලෙක මගේ හීනයක් වුනේ ජනුගේ කතාවල තියෙන ගමේ ගිහින් අර පාරුවෙන් එගොඩ වෙලා නාලා හෙම ඇවිත් ඒ ගෙදර මිදුලේ ගලක් උඩ වාඩි වෙලා කෙසෙල් කොලේක හෝ නෙළුම් කෝලේක දාපු කෑම එකක් කන්න. ඒ කෑමත් මට හිතෙන විදියට ජනුගේ බ්ලොග් එක අස්සේ ආව කෑමක්. මනෝමය කෑම වෙන්නැති. දවස් කිහිපයක මම එහෙම කෑම කනවා හීනෙනුත් දැක්කා.
      අපොයි ජනූගේ කිරි බත් රහ නෑ. ඔය පෙම්බරයාට වැරහිලා.ඒවා තිත්ත රසයි. මොකද මම නම් කිරිබත් කන්න ආසම නෑ නේ. නැත්නම් අද රෑ ඉඳන් මට ආයේ කිරිබත් මතක් වෙයිනේ.

      ජනූට කියන්න මගේ යාළුවෙක් ලංකාවේ බත් වර්ග ගැන ලිපියක් ලියලා තියෙනවා දැකල ඉඹුල් කිරිබත් මතක් වෙලා අපේ ගෙදර අයට පළු යන්න බැන්නා. මට එහෙම කෑමක් පොඩි කාලෙන් පස්සේ හදලා නොදුන්නට. 2005 විතර. එදා ඉඳන් මම ගෙදර එනවා නම් ඉඹුල් කිරිබත් බලෙන් හරි හදලා දෙනවා මට. අපේ ගෙදරත් මුලින් පුවක් කොලෙන් තමයි ඒක හදනවා මම දැකලා තිබ්බේ. අපි පොඩි කාලේ කරත්ත රේස් පදින්නෙත් ඒවයින්මයි. ඒත් දැන් නම් මම දැක්කේ අපේ ගෙදර ඒවා හදන්නේ වෙන මොනා හරි දේකින්. ඉස්සර වගේ පුවක් ගස් දැන් නෑ නේ.

      පසුගිය කාලේ එහෙම ඉස්සර වගේ ආශාවෙන් ඉඹුල් කිරිබත් කෑවේ සයිබර් දිළුම්ගේ මලගෙදර ගිහින් එන ගමන්. පේරාදෙනියේ ඇග්‍රි ෆාම් එක ගාව තියෙනවා මරු පොට් එකක්. දැක්ක ගමන්ම ගිහින් තුනක්ම අර ගත්තා. කවුද දන්නේ ඒවයින් එකක්වත් කන්න බැරි වෙයි කියලා…. එදා තමයි අර පොඩි කාලෙන් පස්සේ ඒවගේ රසට ආශාවෙන් ගමේ කමට කිරිබත් කෑවේ.

      දැන් ඉතින් ආයෙත් හීන දැක දැක හිටපන්කෝ අපි… බොගේ පෙම්බරයාව උස්සලා පොලොවේ ගහන්න ඕනේ අපිට මේ වගේ අලකලංචි උදා කරවනවට…. අඩෝ උඹල හිටු මාත් දන්නවා රසට උයන්න ඈ….

      • මං මේක ලියද්දිම දන්නව රංගි තමයි මේ ලපියට වැඩියෙන්ම සංවේදී වෙන මනුස්ස පරාණෙ කියල…. ඔය තියෙන්නෙ…… දුරු රටක ඉන්න රංගි විතරක් නෙවෙයි.. මමත් තාම ගෙදර ගියාම අපේ අම්මට බල කරල කී රොටි, පෙම්බරයගෙ අම්මට කියල කුරහන් තලප එහෙම හදවං කනව

  2. helapaya පවසයි:

    අපිනම් ඔයතරම් රස කෑම ගැන හීන දකිනව.හරිම රස පෝස්ටුවක්

  3. henryblogwalker the Dude පවසයි:

    මම අත උස්සගෙන මේ ඉන්නෙ. මේක සූප ශාස්ත්‍ර පාඩමක් නෙවෙයි. ආකල්ප පිළිබඳ පාඩමකුත් බව හොඳටම දැනිච්ච නිසා.

    මම නම් කට වහගෙන ලැබෙන දෙයක් කාලා ඉන්න එකෙක් කියලයි මම හිතාගෙන ඉන්නෙ. ඒක වුනේ මම පොඩි කාලෙ තාත්තා කියලා තියෙන දේවල් හිතේ ගැඹුරට කා වැදීම. කාලා පිඟාන සෝදන්නෙ අපිමයි අම්මට ඒක කරන්න තියන්නෙ නැතුව. කෑමට ලුණු මදිනම් ඒක කියලා කෑගහන්නෙ නැතුව ලුණු ටික දාගන්න. කෑම රහ නෑ කියලා පැමිණිලි කරන්න එපා අම්මා තනියෙම උයන්නෙ. පුලුවන් නම් ගිහින් උයන්න ටිකක් උදව් කලාට කමක් නෑ.

    තාත්තා එහෙම කියන්න ඇත්තෙ අම්මට ජීවිතය පහසු කරලා දෙන්නත්, අපිට ජීවිතය හැඩ ගසා ගන්නත් වෙන්න ඇති.

    නමුත් ප්‍රතිඵලය නම් ඔය උඩ කිව්ව එක තමයි.
    නමුත් මේකෙන් අදහස් වෙන්නෙ නෑ රස නහර නැති බව හරිද?

  4. TG පවසයි:

    මේ කෙල්ලෙ හුනුසාල් බත් උයන්ට කලින් කියහන් හුනුසාල් ගන්නේ කොහෙන්ද කියලා .නැත්තන් අර හෙටානිද්දට දීග යන්න ඉන්න කෙලිපැන්චියො අමාරුවෙ වැටෙනවා 🙂

    අහන්න දෙයක් නෑ අර මාතර රෙසිපිය ගැන නම් මම ඕවා කෑව නෙව පස් අවුරුද්දක්

    ගොඩ හොදි කියනකොට මතක්වුනේ .ඕක එක එක ගෙදරට , පවුලට ආවේණික හොද්දක් .මගේ යාලුවෙක් ඉන්නවා හම්බන්තොට .ඒයාලගේ දිහාවේ ඕක හදන්නේ කුරක්කන් පිට්ටු කන්න .හොද්දට රටේම තීන මෑ ඇට , මෑ කරල් ,මුන් ඇට , හාල් මැස්සො ,වේලපු මස් එහෙම දානවා . ඕක හදන දාට පවුලේ ඔක්කොටමයි අහල පහල ඉන්න යාලුවොන්ටයි මහගෙදර එන්න කියනවා .ගොඩ හොදි හදනවා කියලා අපිට එස් එම් එස් හරි ඊ මේල් හරි ආවොත් අපි දන්නව එහේ පාර්ටියට ඉන්විටේශන් ඇවිත් කියලා 🙂

    මේ අර ගොරකා ගනිද්දී තෝරලා බලලා ලාවෙන් කඩලා වේලුව ගොරකා නෙවෙ හොඳට ඉදිලා වේලුණ ගොරකා ගනින්. ඒවා බොහොම සිනිදුයි ගලේ අඹරන්න ඕනෙ නෑ උනු වතුරෙන් තම්බලා අතින් පොඩි කරත් පේස්ට් එක හදාගන්න පුලුවනි .

    • Nish පවසයි:

      TG යන්න අර නාරාහේන්පිට තියෙන ආරිථික මධ්‍යස්තානෙට හුන්සාල් ගත හැකි.

      මන් නම් හාල් ග්නිද්දි අනිවාර්යෙන්ම කිලෝ දෙක තුනක් අරන් යනව:)

    • ඔය ඉන්නෙ තව එක්කෙනෙක්!! අපේ ගෙවල්වල ඉස්සර කැකුලෙන් හාල් කොටල ගෙනාවත්… තම්බපු හාල් කෙටුවත් ඒව ගෙදර ගෙනල්ල කුල්ලෙන් පෙලුවාම කැඩිච්ච ඒවත් එක එක ප්‍රමාණෙට වර්ග කරනවනෙ… ආං ඒවගේ පුංචිම කෑලි එන එක තමයි හුණුසාල් කියන්නෙ…
      දැන් මේ රයිස් කුකර් අර කුකර් මේ කුකර් ආවට පස්සෙ ආයෙ පෙලිල්ලක් නෑ නෙ… සේරෝම එකට ලිපේ තියනව මිසක…. දැං කාලෙ කෙහෙල්මුහෙත් ෆුඩ් සිටියෙං ගන්ඩ වෙච්චි……ඔය ගන්න තැන නං ලියල තියෙන්නෙ අපේ නිශ්…ගොරක ගරන ඔත්තුවට නං අක්කට පින්!!

  5. නිරෝෂා පවසයි:

    ආ බං නංගියේ… අද උදේ මොනවැයි හැදුවෙ? අද උදේ හදපු දෙයක්, ඔතාගෙන අපේ ඔපීසියට එන බව දන්න එකේ ගෙනාවනම් මක් වෙනවද…?
    ඔන්න නොකීවැයි කියන්න එපා, මීළග වතාවෙ නම් අමතක කරන්න එපා… කියවනකොටත් කෙළඋනනවා දෙයියනේ….
    සුභ පැතුම් නංගියෙ… කෙල්ල හොදින් පවුල් කන බව නම් පේනවා…..!

  6. praveena පවසයි:

    නිකං බලලා යන්නම් කියලා ආවට එහෙම බලලා යන්ට බැරි උනු හන්දා කමෙන්ට් එකක් දාලම යනවා.
    මට බඩගිනී මේවා දැක්කාම.

    දවසක් එනවා ඔයාගේ අතින් උයන ඔය රහා කෑම වේලක් කන්ට.

    දැන් මේක කියවන පිරිමිත් ඔයවගේ අපෙන් කෑම ඉල්ලුවොත් මොනාද කරන්නේ. ජනූ ලඟට එයාලව එවන එක හොඳේ. ඔය ඉවුම් පිහුම් ටිකක් එයාලට පුරුදු කරලා එවන්ට. 😀

  7. මුදියන්සේ පවසයි:

    අත උස්සමි !

    කෑම ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ,
    මාත් ඩූඩ් ගේ ක්‍රමේට හුරුවෙලා තියෙන්නේ,
    වැඩියෙන්ම එහෙම හුරුවුනේ, හොස්ටල් වල කැන්ටිමෙන්, අපි උයාගෙන කන අපිට රහ ගැන හිතුවොත් බඩගින්නේ ඉන්න වෙන හින්දා

  8. Buratheno පවසයි:

    මේ දවස්සොල අපි උයන්නෙ නැතෝ.. 😛

  9. ravi පවසයි:

    හෙහ්, හෙහ්, උඹ නියමයි හෙටානිද්ද දීගයන්ට ඉන්න කෙල්ලියොන්ට දුන්නු උපදෙස් ටික නං…දාපං පහක්…

    අඩේ බොලායෙ අහ හදනවය ඉඹුල් කිරිබත හාල්මැස්සො එහෙම දාල…යකෝ මම ඔය ඇහුවමයි..අපි හදන්නෙ බොල පැණිපොල් දාල විතරයි නෙව…

    / මේ බත කෑවම මට මතක් වුණේ අපේ ගෙදර රෑට කන්ඩ හදන මුං කිරිබත්…/

    දෙයියෝ සාලෙ මුං කිරිබත් රෑටත් කෙලල අරිනවය බොලා?….අඩේ මුං කිරිබත් කියන්නෙ හම්බ හීතලයි…කන්ට එපා බොලව් රෑට..හීතලක්වත් හැදුනොත් මොන දෙයියන්ට කියන්ටද?

    / මුං ඇට පෙඟෙන්ඩ දාල ඒක ලිපේ තියල බාගෙට තැම්බෙනකොට කැකුලු හාල් දාල බත සැතපෙද්දි ……………./

    අනේ අපෙ අත්තම්ම මතක් උනා ජනූ…උන්දැගෙ වචනයක් ඔය බත හැතපෙනව කියන එක…

    උන්දැ ඒ දවස්වල ඔය බත හැතපෙන කතාව කියද්දි මට මට අනිවා මතක් වෙන සිංදුවක් තිබුණා….

    බත හැතපෙන යාමේ,
    ඔබෙ සෙනෙහස අවදිවෙවී,
    මගෙ සවනතට කියයි,
    ඔබ නොගැයූ මිහිරි කවී….:)

    • ඔන්න දැම්ම පහක් නෙවෙයි අයියෙ දහයක්ම!!

      අපේ ගෙදර ඉස්සර අපේ තාත්තගෙ අම්ම ඉඹූල් අඹද්දි ඊට කලින් දවසෙ පැණි පොල් විතරක් නෙවෙයි,ලූණූ එහෙම වැඩිපුර දාල හාල්මැස්සො උයල තියෙනව හිඳෙන්ඩ… ඒක මැද්දට තියලත් ඉඹුල් අඹනව… තාත්තයි අත්තයි දෙන්න ඉස්සර වැඩි මනාපෙ මිරිස් සැර ඉඹුල් කන්ඩනෙ අය්යෙ….

      ඇත්තමයි අපෙ ගෙදර මුං කිරිබත් හදන්නෙම රෑට නෙව….සීතලයි කියල නං දන්නව… මහිතෙ අයියෙ අර ගොඩ හොද්දට කොච්චි රතුලූණූ එහෙම යහමිං දාල හදන්නෙ ඒක කැපෙන්ඩ වෙන්ඩ ඇති නේද??

      ඔය හැතපෙනව කියන වචනෙ මගෙ කණටත් වැටෙන්ඩ ඇත්තෙ ආච්චි අම්මගෙන් තමයි!!
      බලපං… එව්ව අර විඥ්ඥානෙ තිබිල වෙලාවට එලියට පණින හැටි අම්මප!!!

      /බත හැතපෙන යාමේ,
      ඔබෙ සෙනෙහස අවදිවෙවී,
      මගෙ සවනතට කියයි,
      ඔබ නොගැයූ මිහිරි කවී….:)/

      හොඳවැයිං කාලක් ක්‍රියා කරල වගේ ඉඳල තියෙන්නෙ!!

  10. සිඳු පවසයි:

    හෙට අනිද්දා දීග යන්න ඉන්න කෙල්ලෙක් කියෙව්වා ඔන්න. සූප ශාස්ත්‍ර විතරක් නෙමේ තියෙන්නෙ කියල හොඳින්ම තේරුම් ගත්තා. ඕකට කියන්නෙ ජීවත් වීමේ කලාව කියලා….

  11. bindi2 පවසයි:

    මෙන්න මේ වර්ඩ් ප්‍රෙස් එක්ක තියෙන දිගේ දාල බ්ලොගර්ට සෙට් වුනා නම් නාකද . දැන් ඔය හෙන්රිලා හෙමත් ඩෙනිමට බැහැපු එකේ . මේකේ කමෙන්ට් කොරන්න මල වදේ උනත් මේකට මුකුත් නොකියා කොහොමද .

    උයන එව්වා වගේමයි ඒවායේ බස් වහර . දෙකම එකතු වෙලා මාර රසයි .

    පණිවුඩේ තේරුනා . ඒ වුනාට අත පල්ලෙහාට දාන්න වුනා බොලේ කොමෙන්ටුව කොටන්න . අනෙක ඉතින් අපි ආයේ දීගෙක යන්නය .

    කිව්වට මොකෝ නගේ අපේ දිහාත් කන එක ගැන කවදාවත් අවුලක් වෙලා නැහැ . උන්ද උයන්න දන්නෙත් නැහැ . හැබැයි දෙන දේ කනවා . මාත් ඉතින් කටේ තියන්න පුළුවන් වෙන මක්ක හරි හදල දෙනවානේ .

    එයාගේ අම්මගේ ඉවිලිත් මන් එහෙ ගිහින් ඉව්ව ඒවත් ඒ හැටි වෙනසක් නැති නිසා අපි දෙන්න තකට තක . හැබැයි අපේ අම්මගේ ඉවිලි බලන් ඉඳල මට යන්තම් ඉවීම ගැන අදහසක් තිබුන .
    නැන්දම්මා සමහර දේවල් හොඳට ඉව්වා . කට්ලට්ස් හෙම ඉගෙන ගත්තේ එයාගෙන් .

    බඳින්න කලින් උයලම නැහැ . අම්ම නැත්නම් අක්කා තමා ඉව්වේ .
    බැඳ ගත්ත ගමන් රසට කන්න බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ පිරිමි . කාලයක් යනවා .
    අපේ දිහා කියන්නේ එයා අසරණ ගිනි පිග් කෙනෙක් කියලයි. හැබැයි ඉතින් කෝටු බාස් වගේ ඉඳල මෙයාකාරෙට ඇඟපත හැදුනේ ගිනි පිග් න්‍යායෙන් තමයි .
    ඔයා රැවුලයි සුප් එකයි දෙකම බෙර ගන්න දක්ෂ වග පේනවා .
    ජයෙන් ජය

    • ස්තූතියි බින්දි,
      ඒ කාලෙ අපේ ගෙදර දර ලිපේ උයන කාලෙ… මං හය වසරෙදිත් දැලි වලං එහෙම හෝදනව… අම්ම කුස්සියෙ වැඩට මාව සම්බන්ධ කරගන්නව… ඉස්සර අපේ වතුර ටැප් කරල නැති හන්ද ලොකු මුට්ටි දෙකකට ලිඳෙන් වතුර පුරවන්ඩත් තිබුණ…. අකමැත්තෙන් වුණත් ඒවට සම්බන්ධ වුණ එකේ හොඳ තේරෙන්ඩ ගන්නෙ පවුල් වෙලා ගියාම තමයි!!!
      අමාරුවෙන් වුණත් මේ පැත්තෙ එනවට ස්තූතියි!!

      • bindi2 පවසයි:

        වලන් සේදීම පිඟන් සේදීම ගෙවල් අතුගෑම නම් අනිවාර්යයෙන්ම කළා . මිරිස් පවා අඹරල තියෙනව . ඒ වුනාට උයල නම් නැහැ . මොකද මට උයන්න බැරිය කියල අපේ දිහා සම්මතයක් හැදිලා තිබුන ..හික්

  12. වැස්ස පවසයි:

    නන්වේජිටේරියන් ටික අතෑරලා ඉතුරු ටික කෙල ගිල ගිල කියෙව්වේ.හී.. තැංකිව්.තැංකිව්.කෑම බීම ඇර ඉතුරු ටික නම් ඉතින් දැන්ම අදාළ වෙන්නෙ නෑ.මං තාම පොඩි එකානේ.

  13. Pramu පවසයි:

    අක්කේ පුලුවන්නම් ඔයා දන්න ගමේ කෑම බීම හදන හටි ගන ලිපි පලකරන්න. සුප ශාස්ත්‍ර පන්තියකින්වත් ඔය දෙවල් ඉගෙන ගන්න බෑ. ලොකු උපකරයක්.

  14. සමාධි පවසයි:

    නැන්දම්මත් එක්කලා ජීවත්වෙන කලාව ඔයා හරියටම අල්ලගෙන තියෙනවා..
    එහෙම උනාම පුතා එක්කත් වසන එක මහ වැඩක් නෙමයි. මට ඔය කෙරුවාව ටිකක් නුහුරුයි. නමුත් ඔයාට මගේ හද පිරි සුබ පැතුම්.

  15. Priyantha පවසයි:

    හිටු දෙන්නං වැඩේ! මම කල්පනා කරල කරල මතක් කරල දාන්නං ඇස් උඩ ගිහින් හිටින්ට ජනූ කාපු නැති කෑමක නමක්. යකෝ මේක මාර කෙළියක්නෙ. ලියනඩ දෙයක් නැතුවද වදේ කෑම ගැනම ලියන්නෙ. ලියන්ඩ බැරිද නිකං රීප්ප පරාල වගේ සංවේදී දෙයක් ගැන.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )