දොලොස් වසරක් දැල්වී නිවුණු ශාන්ත ආනාවේ පහන…!!!


පන්තියෙ කෑකෝ හඬ එක පාරටම නැවතුණා!!
අටේ පන්තියට හදිස්සියෙම ඉංග්‍රීසි ගුරුවරිය නිවාඩු හන්ද නිදහස් කාලච්ඡේදයක් ලැබුණාම කට්ටියට ඉතිං රජ මගුල් නෙ…
මං ඔලුව උස්සල බැලුවෙ මේ මොන විපර්යාසයක්ද මේ කියල!!!
පන්තියෙ ළමයි තුෂ්නීම්භූත වෙලා….කටවල් ඇරිල උන්න උන්න තැන්වලම ඉන්දවිලා හිටිය…කෙල්ලො එකිනෙකාට හොරෙන් ඇඟිල්ලෙන් ඇන ඇන ඉස්සරහ පෙන්නුව….
කලු ලෑල්ල ලඟ බෙල්ලත් පියවෙන්ඩ ගවුමක් ඇඳපු, කැරලි කොන්ඩෙ පස්සට පීරපු, වඩිග පටුන නටන්ඩ අපේ ජින්ජි දාන බොරු රැවුල වගේ රැවුලක් වවාගත්ත තරුණ පිරිමියෙක් හිටගෙන හිටිය…
මොකද කොල්ලනේ මේ කන් අඩි පැලෙන්ඩ සද්දෙ??
බොහොම මිහිරි හඬින් ඇහුවාම තමයි කොල්ලන් රංචුව පියවි සිහියට ආවෙ…
මගේ නම ඩෙන්සිල් සහෝදරතුමා!!! ඔයාල මට බ්‍රදර් ඩෙන්සිල් කියන්ඩකො ලේසියට ….මං තමයි අද පන්තිය කරන්නෙ… ටීච නිවාඩු නෙ නේද??
කෝ ගන්ඩ පොත්….

ඔන්න තමන්ගෙ සහෝදරය ඇරෙන්ඩ කවදාවත් වෙන සහෝදරවරු ගැන දැනගෙන හිටියෙ නැති රජයේ මධ්‍ය මහා විද්‍යාලයක අටේ පන්තියෙ දරුවොන්ව එක දවසෙන් වසඟ කරගන්ඩ බ්‍රදර් ඩෙන්සිල් සමත් වුන හැටි!!!!
විහිලුවෙන් තහලුවෙන් දවස ගෙවුව එතුමා මයුරපාදෙට එතුමා ආවෙ බොහොම පොඩි කාලෙකට… ඒ ටික කාලෙ ඇතුළත එතුමා මුලු පාසලකම දරු දැරියන්ගෙ පමණක් නෙවෙයි ගුරුවරුන්ගෙත් හිත දිනාගත්ත!!
සහෝදරතුමෙක් ලෙස පුහුණුවෙන් ලද විනයගරුකබවත්, මන බඳන කතාබහත් ඒ ආකර්ෂණයට දැඩි සේ රුකුල් දුන්නා…
මට එතුමව ලඟින් ඇසුරු කරන්ඩ ලැබුණෙ අම්ම නිසා… පාසලේ සංගීත ගුරුවරිය වෙලා හිටිය අම්මට බ්‍රදර් ඩෙන්සිල් පුදුම තරම් ගරු කළා… ආදරේ කළා…
අපේ රුක්මනී ටීච…..!!
බ්‍රදර් අපේ අම්මව ඇමතුවෙ එහෙමයි
වෙසක් සැරසිලි කරන්ඩ, භක්ති ගී වැඩසටහන් සංවිධානය කරන්ඩ එතුමා දක්වපු උනන්දුව අපිට එතුමගෙ අන්‍යාගමික බව අමතක කරවල දැම්ම…
අමතක නොවෙන විදියෙ මතකයන් ඉතිරි කරල එතුමා මයුරපාදයට සමු දුන්න!!!!
නැවත මට එතුම හමු වෙන්නෙ උසස්පෙල සඳහා කුරුණෑගල ශුද්ධවූ පවුලේ බාලිකාවට ඇතුලත් වුණාම මගේ සහෝදර පාසැල වුණු ශාන්ත ආනා විද්‍යාලයේ විදුහල්පතිවරයා විදියටයි…
දෝණි…ඔයා කොහෙද මෙහෙ??
ඒ බවක් නොදැන කලා උළෙලට ගිහින් එතුමාව දැකල මම ලඟට ගිහින් කතා කළාම විස්මයට පත් වෙලා ඇහුව…
එතුමාට ඉතා හොඳ මතකයක් තිබුණ!!!
ඒ වසර දෙක තුළ බ්‍රදර් ඩෙන්සිල්ව නිතර හමු වුණා!!
කොහෙද කෙල්ලො ටික මේ යන්නේ??
පාසැලේ අවශ්‍යතාවලට සංගීත භාණ්ඩ හුවමාරු කරගෙන නැවත භාර දෙන්ඩ යද්දි වුණත් අපිව දැක්කොත් විහිලුවක් කරල උපැස් යුවලට උඩින් බලන හැටි මට අදවගේ මතකයි!!

මගේ උසස්පෙළ ප්‍රතිඵල දැනගෙන බ්‍රදර් ඩෙන්සිල් අල්ලපු වැටේ අපේ පාසලටම ආව මට ආශිර්වාද කරල යන්ඩ…
මං මේ කෙල්ලව දන්නෙ අද ඊයෙ නෙවෙයි සිස්ට…. පුංචි කාලෙ ඉඳල…
බ්‍රදර් ඇවිත් හෙව්වාම මාව කාර්යාලයට කැඳවල බ්‍රදර් මාව අඳුනන්නෙ කොහොමද කියල හිතාගන්ඩ බැරුව පුදුම වෙලා හිටපු සිස්ට හෙන්රියෙටා ට කිව්ව…
පාසල් කාලෙ නිමාවෙලා විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙත් අම්මව මුණ ගැහුණම මාව මතක් කරන්ඩ කියල එවල තිබුණ…

චූටි පුතා….මං මේ චේතන මල්ලි එක්ක කුරුණෑගල යන ගමන්…. අනේ බ්‍රදර් ඩෙන්සිල් නැතිවෙලානෙ…
පහුගිය හයවෙනිදා දවාලෙ අම්මා කතා කරල කිව්වාම ඊට කලින් සතියෙ පෙම්බරයගෙ ලොකුතාත්තගෙ වියෝවෙන් ඇති වෙලා මදින් මද වියැකෙමින් තිබුණු හිතේ ගින්න ආයෙමත් ඇවිලුණා!!
හදිසියේ ඇතිවූ රොගාබාධයකින් එතුමා ස්වර්ගස්ථ වෙලා!!!
එතුමා ශාන්තආනාවේ ගතකළ දොලොස්වසරකට වැඩි කාලය ගැන මහා ගැඹුරින් කතා කරන්ඩ තරම් මට දැනුමක් නෑ..
ඒක අපේ සහෝදරයන් කරාවි ඔවුන්ගෙ නිල වෙබ් අඩවියෙ
මං දන්නෙ මනුස්සයෙක් විදියට එතුමා තුළ තිබුණු මිත්‍රශීලී ගුණය සහ නිහතමානීබව!!
එතුමා නිසැකවම ශාන්ත ආනාවට ආලෝකයක්!!!
අපේ සොහොයුරන්ට ලඟම යහලුවෙක් !!
කතෝලික පාසලක පාලකයා වුණත් එතුමා අන්‍යාගම් මැදහත් සිතින් ඉවසුවා පමණක් නෙවෙයි.. මයුරපාදෙදි වගේම අන්‍යාගමික වැඩසටහන්වලටත් අත හිත දුන්නෙ ඉත සිතින්
එතුමා අද කාලෙ ඉන්න බොරු ආගම්වාදී චරිතවලට හොඳ ආදර්ශයක්!!!

චූටි පුතා!! මං මළගෙදර ගියා……බලන් ඉන්ඩ දුකයි…
පුදුම තරං සෙනගක්!!!!!

අම්ම එදා හැන්දෑවෙ මාත් එක්ක කතා කරන ගමන් කිව්ව…

අද කවදාවත් නැතුව දවාලෙ අම්ම කතා කළා

චූටි පුතා!!!
ඔයා බ්‍රදර් ඩෙන්සිල් ගැනත් ලියන්ඩකො ඉන්ටනෙට් එකේ!!!
ඒක එතකොට ගොඩක් දෙනා බලයිනෙ!!! එයා ගැන අපි විතරක් නෙවෙයි තව ගොඩක් දෙනා දැන ගනීවි නෙ…

අපේ පෙම්බරය ගෙදර ගියාහ මට හොරෙන් අපේ අම්මට බ්ලොග් එක පෙන්නන බව මං දැනගෙන හිටියත් මං හිතුවෙ නෑ අම්මට කවදාවත් ඒ වගේ දෙයක් හිතේවි කියල….
ඉතින් සටහනක් ලියන්ඩ තුන් හිතකවත් නොතිබ්බ වෙලාවක මේ ලිපිය ලියන්නෙ හා පුරා කියල බ්ලොග් සටහනක් ලියන්ඩ කියල කරපු අපේ අම්මගෙ ඉල්ලීම ඉටු කරන්ඩ අම්මගෙ වචනවලින්ම
කරදඬු උස් වෙච්ච කොල්ලො ඇවිල්ල බ්‍රදර් ලඟ ඉකි ගහ ගහ අඬනව!!
තමන්ගෙ පවුලෙ කෙනෙක් නැති වුණා වගේ ඒ ළමයින්ට
එහෙම තරුණ ඇහැකින් කඳුලක් වැටෙනව කියන්නෙ බ්‍රදර් ඩෙන්සිල් ඒ දරුවන්ට මොන තරං නං සමීපව ඉන්ඩ ඇත්ද??
මේ වගේ කාලෙක මට ඒක හරිම තදට දැණුන සිද්ධියක්!!
මොන තරං සේවයක් කරන්ඩ ඇත්ද ඉස්කෝලෙට!!
ඔයා ඒ ගැන වචනයක් ලියන්ඩ!!!

අම්මගෙ ඉල්ලීම ඉටු කරන්ඩ ලිව්වම නෙවෙයි!!
නිහතමානී, මිත්‍රශීලී, කරුණාගුණය උතුරායන එවන් මිනිසෙක් ගැන වචනයක් නොකියා සිටිම ගුණමකු කමක් නිසා!!!
ඉතින් ගරු ඩෙන්සිල් මෙන්ඩිස් සහෝදරතුමෙනි ඔබට සුබ ගමන්!!!

Boys lost their dear mentor
Teachers lost their teacher
College lost its hero
Earth lost a great human being

පින්තූර සහ අවසාන වචන පෙළ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයීය නිල වෙබ් අඩවියෙන්

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

10 Responses to දොලොස් වසරක් දැල්වී නිවුණු ශාන්ත ආනාවේ පහන…!!!

  1. රංගි says:

    එතුමා අද කාලෙ ඉන්න බොරු ආගම්වාදී චරිතවලට හොඳ ආදර්ශයක්!!!

    ලිපිය කියෙව්ව ගමන්ම මගේ ඔළුව නතර වුනේ මේ වචන අස්සේ…
    මේ දවස් වල බ්ලොග් කියවද්දි පත්තර අස්සේ මට මේ වචන ටික මහ ලොකු තේරුමක්….

    ඔබගේ පෝස්ට් එකෙන් එහාට යමක් කියන්න වීම ගැන සමාවෙන්න ඕනේ. කතාවෙන් ඔහු මිනිසෙක් වීම ගැන සතුටුයි අප්‍රමාණව.

  2. kavikaari says:

    RIP බ්‍රදර් ඩෙන්සිල්!

  3. ඩෙන්සිල් සහෝදරතුමා සමාදානයේ සැතපේවා!

    මට මතක්වුනේ මර්සලීන් ජයකොඩි පංසලේ පියතුමා!

    අන්න මිනිස්සු!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  4. ravi says:

    බෞද්ධාගමික පූජ්‍ය පක්ෂය කියන නමින් ඉන්න මොලේ කොලොප්පංකාරයො නටන පිස්සු විකාර දැක්කම අන්‍යාගමික මේ වගෙ උතුමන් මල් පුදා නමස්කාර කල යුතුයි.

    ඔහු කතෝලික සහෝදරතුමකු වීමට වඩා වඩාත්ම වැදගත් ඔහු මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ හඳුනාගත් මිනිසකු වීමයි…

    ඩෙන්සිල් සහෝදරතුමනි..ඔබ සමාදානයේ සැතපේවා!!!!

  5. Buratheno says:

    දෙවියන් වහන්සේ හොඳ මිනිසුන්ව ඉක්මනටම නැවත කැඳවා ගන්නවා…

  6. සිඳු says:

    සිස්ට හෙන්රියෙටා කිවුව ගමන් මගෙ හිතේ ඊට උඩින් ඇඳුනෙ සිස්ට අයිඩා ව. (අක්කලාගෙ ඉස්කෝලෙන් පස්සෙ ඒ දෙන්නම ආවෙ අපේ ඉස්කෝලෙට) ගිය සතියෙ සිස්ට අයිඩාව හම්බුණා අම්ම එක්ක කාර්යාලයට ගිය වෙලාවෙ. ඉස්සර මම ගුටිත් කාලා තියෙනව, කණ පිරෙන්න බැනුන් අහගෙනත් තියෙනව. ඒත් එදා සිස්ටට මාව දැක්කම පුදුම සතුටක් ආවා කියල මට දැනුනා. අපේ විනය මේ විදියට හැදුනෙ ඇත්තමයි සිස්ට අයිඩා නිසා. ස්ටේප්ලර් ක‍ටුවක් වත් බිම දාන්න එපා කියල සිස්ට අපිව හැදුව. හරි දුකයි මතක් වෙද්දි.

    අක්ක බ්‍රදර් ගැන දාපු පෝස්ට් එකේ මම සිස්ට ගැන දැම්මට තරහ වෙන එකක් නෑ මම හිතන්නෙ. මොකද එතුමියත් කුරුනෑගල වගේම වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ බාලිකා විද්‍යාල වලට කළ මෙහෙය අපමණයි නිසා.

    (සිස්ට ඉස්සර අපිට බනින්නෙ කුරුණෑගල එකේ ළමයින්ගෙ හොඳ කියල)

    ඩෙන්සිල් සහෝදරතුමා සමාදානයේ සැතපේවා!!

  7. praveena says:

    ඒ වගේ උතුම් මනුස්සයෙක් ගැන මේ වගේ සටහන්ක් කල ඔයාට ස්තූතියි ජනු…
    ඔහු සමාදානයේ සැතපේවා!!!

  8. abeetha says:

    කථාවේ ඇතුලේ චරිත දෙකක් තියෙනවානේ ජනූ… බ්‍රදර් ඩෙන්සිල්, සිස්ට හෙන්රියෙටා… මේ චරිත දෙකම මම ගොඩාක් ආදරය කරන ගරු කරන වගේම, මටත් හරිම ආදරය කරපු චරිත දෙකක්.. සිස්ට හෙන්රියෙටා මාව අදුරගත්තේ මලියදේවයෙන් කොන්වන්ට් එකට ආපු සොඳුරුම හදවතක් ඇති ප්‍රියන්ති මිස්ගේ ගෝලයෙක් විදිහට.. බාලිකා ඉස්කෝලෙක බාලදක්ශිකාවෝ එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සිස්ට හෙන්රියෙටා අවසර දීලා තිබ්බේ අපි ගැන හරිම විශ්වාසයක් තියෙලා.. ඔයාලටනම් එයා ගොඩාක් සැරයිනේ.. අපිට නම් හරිම ආදරෙයි.. අපිට නිතරම කිව්වේ පුතාලා මට විශ්වාසයි.. ඒත් මේ කෙල්ලෝ ටික මට විශ්වාස නෑ කියලා… 🙂

    ප්‍රධාන චරිතය වෙච්ච බ්‍රදර් ඩෙන්සිල් මට මුණ ගැහුනේ පැසිපන්දු පිටියෙදි.. පසු කාලයක බාලදක්ශ කටයුතු වලදිත් එතුමා සමඟ වැඩ කරන්න ලැබුනා.. පැසිපන්දු ක්‍රීඩා කරන්න එන අනිත් පාසල් වල දරුවන්ට එතුමාගේ පෞද්ගලික ධනයෙන් සංග්‍රහ කරන්න එතුමා සැදී පැහැදී හිටියා.. අපි ශාන්ත ආනා පැසිපන්දු පිටියේ පුහුණුවීම් කරද්දි එතුමා ඈතින් හරි මතු වෙනවා දැක්කොත් දන්නවා බීම බෝතලයක් ශුවර් කියලා…

    විශය භාහිර ක්‍රියා සම්භන්ධයෙන් එතුමාගේ තිබ්බේ වෙන විදුහල්පතිවරුන්ගේ නැති තරම් උනන්දුවක්.. මට හමු වූ මිනිසුන් අතර සිටි සොඳුරුතුම මිනිස්සුන්ගේ නාමාවලියේ ඉදිරියෙන්ම ඉන්න සහෝදරතුමෙක්…

    ඩෙන්සිල් සහෝදරතුමානෙනි… ඔබ ගැන මතකය අපට දිව ඔසුවකි.. සාමදානයේ සැතපේවා..!

  9. මම දැනන් හිටියේ නෑ මේ කවුද කියලා. ඒත් ඔයාලගෙම ඉස්කෝලේ මගේ යාලුවෙක් මූනු පොතෙ මේ පින්තුරය දාල තිබුනා. අද තමය් හරියටම විස්තරයක් දැන ගත්තේ. හොඳ කෙනෙක් වගෙයි. සාමදානයේ සැතපේවා..!

  10. සහෝදරතුමාට සමාදානයේ සැතපීම ලැබේවා !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s